(03) මව් මරා උපන් කුමරා || My mother’s death

  • කාලය: 1980 දශකය, සමාන්තර විශ්වය
  • ස්ථානය: මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව

මෑතකදී මම ‘ඩොක්ටර් ෂිවාගෝ’ නැරැඹූයෙමි. පැය තුනහමාරක් තිස්සේ දිවෙන ඩේවිඩ් ලීන්ගේ මේ අසාමාන්‍ය සිනමා කෘතිය ආරම්භ වන්නේ ශෝකජනක ජවනිකාවෙකිනි. සත් හැවිරිදි යුරි සුදු පැහැති මල් කිනිත්තක් අතින් ගෙන තම මෑණියන්ගේ විවෘත දෙන පසුපසින් අවමංගල්‍ය පෙරහැරේ ගමන් කරයි. ගිම්හාන සුළඟින් විසිර යන කොළ, පරඬල්, දුහුවිලි පාවී අවුත් මවගේ ජීවයෙන් තොර සිරුර මතද, යූරිගේ කළු කබාය මතද වැටෙයි. ඔහු වත හැඟීම් විරහිතය. සම්ප්‍රදායික රුසියානු ඕතොඩොක්ස් කිතුණු සිරිතට නිමාවන කෙටි අවමංගල්‍ය උත්සවයක් හමුවේ දෙන සහිත පෙට්ටිය ඇණ ගසා වසා භූමදානය කෙරේ.

මොහොතකට දෙනෙත් වසන්න. දැන් ඔබේ ආත්මයෙන් මිදී මේ කුඩා දරුවාගේ ආත්මය තුළට පිය නඟන්න. අඩියෙන් අඩිය, සෙමෙන් හඬ නොනැඟෙන සේ පියවර තබමින් පා නඟන්න. ඔහුගේ ඇසින් දකින්න. ඔහුගේ කණින් අසන්න. ඔහුට මිහිමත වූ අගනාම වස්තුව අහිමි වී තිබේ. මහත්වරුණි, මීට වඩා ඝන අන්ධකාරයක් ගැන ඔබට සිතිය හැක්කේද?

ඉතාම කෙටියෙන් කියන්නේ නම් මගේ කථාන්තරයද මින් නොවෙනස්ය. එකම වෙනස මගේ මෑණියන් දිවියෙන් සමු ගන්නේ මගේ උපත හා සමගාමීව වීමය. වෛද්‍ය විද්‍යාව මේසා ප්‍රගතියක් ලද යුගයක පවා මෙවැන්නක් සිදු වන්නේ කෙසේද මට සිතා ගත නොහැකිය. දරු උපතෙහි යම් ව්‍යාකූලතාවක් සැක කළේ නම් ප්‍රසව හා නාරි වෛද්‍යවරයා සිසේරියන් සැත්කමක් යෝජනා නොකළේ ඇයිද? එවැන්නක් අනවශ්‍ය යැයි අප්පච්චි කල්පනා කළේද?

ඇය: කොහෙදිද අම්මව නැතිවුණේ?
මම: ඩර්ඩන්ස් එකේදි…
ඇය: ඩර්ඩන්ස් එකේදි…? ඒ කියන්නෙ කොළඹනෙ
මම: ඔව්, නුවර නෑනෙ ඩර්ඩන්ස් එකක්, තිබුණද මන්දා ඒ කාලෙ
ඇය: ඔයා කොහොමද හරියටම කියන්නෙ කොළඹදි කියලා
මම: ඇයි කොළඹදි මිනිස්සු මැරෙන්නෙ නැද්ද?
ඇය: නෑ එහෙම නෙවෙයි…
මම: තමුසෙලාට ඉතින් සාක්ෂි සහිතව ඔප්පු නොකළොත් ලෝකය ගෝලාකාරයි කියලත් පිළිගන්නෙ නෑනෙ. මෙන්න බලනවා මගෙ අයිඩෙන්ටිය. උපත…හරි… දින කොළඹ දීය…සන්තෝසද දැන්?
ඇය: හ්ම්ම්ම්…චරී ඔයා කිව්ව නේද මේ කතාව ලියන්න යනව කියල?
මම: ඔව්..ඇයි?
ඇය: ඒක මේ විදියට කවදාවත් ලියන්න එපා. මිනිස්සු කියාවි අතාත්විකයි කියල…
මම: ඇයි බොරු කියන්නෙ….?
ඇය: ඔයා කියන්න අම්මා නැති වුණේ හ්ම්ම්ම්… හිතමුකෝ තැනක්…රත්නපුර මහ රෝහල…ඒක හොඳයි. අම්ම නැති වුණේ රත්නපුර මහ රෝහලේදි. ඒක වඩා තාත්ත්විකයි…
මම: ඇයි මම සිද්ධ වෙච්චි දෙයක් වෙනස් කරන්නෙ?

ඇත්තෙන්ම මම මේ මාතෘකාව හා සම්බන්ධ කිසිවක් කිසි දිනෙක අප්පච්චි හා කථා කොට නැත්තෙමි. අම්මා ගැන වුවද ඔහු මට කියා ඇත්තේ අල්පවය. ඒද මා කුඩා අවදියේදීය. කුඩා දරුවකු ඉදිරියේදී කට පරිස්සම් කර ගන්ට නොදන්නා නෑදෑයින්ගෙනි, අම්මා ගැන බොහෝ තොරතුරු මා දැනගන්නේ. ඔවුනට අනුව අම්මාගේ පළමු දරු උපතද ව්‍යවර්ථ වී ඇති අතර ඉන් අ‍ය යම් සෞඛ්‍යමය ව්‍යාකූලතාවයකට පත්ව ඇත. වෛද්‍ය උපදෙස්ව ඇත්තේ නැවත දරුවකු බිහි නොකිරීමටය. එවැන්නක් මෑණියන්ට අයහපත් වන්ට ඉඩ ඇති බව වෛද්‍යවරුන් බරපතළ ලෙස අනතුරු අඟවා තිබේ. මගේ දෙමාපියන් මේ අවවාදය නොතකා දරුවකු තනා ගන්ට උත්සාහ දරා තිබේ. එහි ප්‍රතිඵලය එක් ජීවියකු ලෝකයට බිහි වීම හා තවත් ජීවියකු ලෝකය හැර යාමය.

ගණිතමය වශයෙන් එය පද්ධතිය සමතුලිත වීමකි. එක් ජීවයක් විසින් තවෙකක් බැලන්ස් කරනු ලබයි. එහෙත් සැබෑ ලෝකයේදී එවැනි සමතුලිතතාවයක් ඇති නොවේ.

මා නැතිව අම්මා ජීවත්ව සිටියේ නම් අප්පච්චිගේ ජීවිතය කෙසේ වෙනස් විය හැකිව තිබුණේද? මේ මට පිළිතුරක් නොසිතා ගත හැකි පැණයකි. අප්පච්චි අම්මා විවාහ කොට ගත්තේ සමාජ ජීවිතයට ගෑණියෙකුත් ඕනෑ නිසා පමණක්ය යන කතාව මම නොයෙක් වර අසා ඇත්තෙමි. අප්පච්චි ගැහැණුසොඬකු වූ බව ඔහු ගැන දන්නා කිසිවකුට රහසක් නොවූයේය. ඒ හැංගි හොරා නොව බොහෝ දුරට එළිපිටය. පසු කාලයකදී නම් මේ අසංවරකම් තම ගැටවර දරුවාට අසු වේය කිසිදු චකිතයකින් තොරවය. (මේ වෙනම කිව යුතු කතා ගොන්නකි.) තම සෞඛ්‍ය තත්ත්වය ගැන දැන දැනම අම්මා තවත් දරුවකු හදන්ට කල්පනා කරන්ට ඇත්තේ සමහරවිට තාත්තා තමන් වෙතම රඳවා තැබීම උපක්‍රමයක් හැටියට විය හැකිය. ඇගේ මරණය ඔහුගේ සෙල්ලක්කාර දිවියට දුන් ලැයිසමක් වැනි විය.

අම්මාගේ මරණයෙන් පසු මගේ ඉරණමද බොහෝ දුරට යූරිගේ ඉරණමට සමාන්තර විය. මා හදා වඩා ගැනීමට ඕනෑකමක් හෝ පුළුවන්කමක් අප්පච්චිට නොවූ හෙයින් මා ඇති දැඩි වූයේ මගේ මෑණියන්ගේ කිට්ටුම මිතුරියක වූ අප්සරා ඇන්ටි හා ජයන්ත අන්කල් ඇසුරෙහිය. ඔවුනට සිටියේ දැරියන් දෙදනකු පමණක් වීම එක අතෙකින් මා ඇති දැඩි කර ගැනීමට ඔවුන් පෙළඹ වූ මූලික කාරණාවක් විය. අප්පච්චි මාසයකට පමණක් ඇවිත් යන නාඳුනන මිනිසකු වූයේය. මේ නාඳුනන මිනිසා හා මා අතර එක් කාලයක ඇති වූ එකම සම්බන්ධතාවය ඔහු එන විට නොවැරදීම රැගෙන ආ එකම වර්ගයේ කැන්ඩොස් චොකලට් එකයි. මම මේ කැන්ඩොස් චොකලට් එකට එය රැගෙන ආ මිනිසාට වඩා ආදරය කළෙමි.

පස්වන ශ්‍රේණියෙන් පසුව මගේ ජීවිතය පාසැලේද හොස්ටලයේද තාප්ප අතරට සීමාවිය. මම අප්පච්චිට වරද නොපවරමි. අම්මා ජීවතුන් අතර සිටියත් එසේ විය හැකිව තිබුණේය. “Three generations of Trinitians” යැයි ඔහුට ආඩම්බරයෙන් කියන්ට ඕනෑ වූ බව මම දනිමි.  ඔහු මා වෙනුවෙන් කළ යුතු වූ කවර හෝ ආයෝජනයක්, කිසිම මතක් කිරීමකින් තොරව නොවරදවා කළ බැව් සාධාරණත්වයේ නාමයෙන් සටහන් විය යුතුය. ස්කූල් ෆීස් ප්‍රමාද වී යැයි මා නැඟිටවා පන්තියේදී ප්‍රශ්න කළ අවස්ථාවක් මට මතකයට නඟා ගැනීමට අසීරුය. එසේම ධනවත් ව්‍යාපාරියයකු හා පසුව දේශපාලකයකු වූ අප්පච්චිට මුදල් පිළිබඳ ගැටළුවක්ද කිසිදා නොවූ බවත් සඳහන් විය යුතුය.

අම්මාගේ මරණයෙන් පසු අප්පච්චි නැවත විවාහ නොවූයේ මන්දැයි රහසක් නුවූවත් එය සැක හැර දැන ගන්ට මට අවශ්‍ය විය. ඉඳුරුව වෙරළෙහි නාන්ට ගිය දිනෙක මා ඒ ගැන ඇසුවේ වාචාලයකු වූ රත්නායක අංකල්ගෙනි. ඔහු පිළිතුරු දුන්නේ මුවඟට නඟා ගත් සියුම් සිනාවක්ද සහිතවය.

“Why buy a cow when milk is so cheap, putha?”

අප්පච්චි මා කෙදිනක හෝ ‘මව් මරා උපන් කුමරෙකු’ ලෙස නොසැලකූ බවද කිව යුතුය. අප දෙදෙනා අතර පසු කලෙක ඇති වූ දුරස්ථභාවයට හේතු වූයේ වෙනත් කාරණාය. මා මව් මරා ගත්තැයි ඔහු සැලකීම නිසා නොවේ. මට කෙසේ වෙතත් අම්මාගේ මරණය ඔහුට ස්වකීය ගමන් මාර්ගය වෙනස් කරන්ට හේතුභූත වූ සිද්ධියක් සේ සැලැකීමට කරුණු අදත් සොයා ගන්ට පහසු නොවේ. ඔහු සිය සැලැසුම් ඇන්දේ අම්මාගේ මරණය නොසිදුවූ දෙයක් සේ සලකමිනි.

අවසාන නිගමනය: අම්මාගේ මරණය වෙනස් කළේ මගේ ජීවිතය පමණෙකි. අප්පච්චිගේ ජීවිතය නොවේ. එක අතෙකින් මෙසේ කියන්ට බැරිය. සිදු වූ දෙයක්, එය නොසිදුවූයේ නම් අනාගතය මෙසේ විය හැකිව තිබුණාය කියා පැහැදිළි කිරීමට නුපුළුවන. සිදු වූ දෙය සිදු වී අවසානය. ඉන්පසු සියළු සිද්ධීන්ට එය ඍජුව හෝ වක්‍රව බලපායි. අනේ අම්මා හිටියා නම් කියා සිතා මට අනාගතය ලියන්ට නුපුළුවන. ඇය කිසිදිනෙක නොවූවාය. ඇත්ත එයයි.

බොහෝ කාලයකට පසුව මම සමනළයා ගැන උගනිමි. ඔව් බ්‍රසීලයේදී තටු සලා ටෙක්සාස් නුවර කුණාටුවක් ඇති කළ සමනළයා ගැනය. ඇමෙරිකානු ගණිතඥයකු  හා කාලගුණ විද්‍යාඥයකු වූ එඩ්වඩ් ලොරෙන්ස් (1917-2008) සමනළයාගේ උදාහරණය ඉදිරිපත් කරන්නේ ඉතාම කුඩා සිද්ධියක් පවා ඉතිසාහයේ දැවැන්ත වෙනසක් ඇති කළ හැකි බව කියන්ටය. සමනළයා ගැන පළමු කෙටිකතාව ලීවේ රේ බ්‍රැඩ්බරි (1920-2012) වුවද වර්තමානයේ මේ සංකල්පය පිණිස වඩා ගැළපෙන නිදර්ශනයක් වන්නේ තුන් අඳුතු කතාවක් සේ ඇදී ගිය The Butterfly Effect සිතුවම් පටයයි.

අප්පච්චිද, ඒ ආකාරයෙන්ම නොවතුදු සමනළයා ගැන දැන සිටියේය සිතිය හැක්කේ ඔහු මා නම් කළ ආකාරයෙනි.

මට නම තියන්නට, මගේ කේන්දරය පිළියෙළ කළ ගම්පහ වෙද මහත්තයා විසින් (ඔහු ගම්පහ වෙද මහත්තයා වූයේ ගම ගම්පහ නිසා නොවන බවත් ලිවිය යුතුද?) ලබා දුන් එක් අකුරක් වූයේ ‘ච’ යන්නය. ආත්තම්මාගේ අදහස වූයේ මා “චන්දන” ලෙස නම් කළ යුතු බවයි. (අම්මාගේ මරණය හමුවේ පවා මගේ පිය පාර්ශ්වය මේ කාරණා ගැන දැක්වූ සැලකිල්ල ගැන පුදුම නොවන්න. ඔබ මේ කියවන්නේ KGB – Kandyan Govigama Buddhists ලෙසින් හඳුන්වනු ලැබූ ලාංකීය උඩරට ගොවි බොදු ප්‍රභූ පවුලක කථාන්තරයයි.)

“චන්දන…? චැහ්. චන්දන කියන්නෙත් නමක්ද?” ඒ අප්පච්චිය.

“ඇයි මොකද ‘චන්දන” කියන නමේ වැරැද්ද?”

“චන්දන අපට – අපි චන්දනට – නෑ ඒක යන්නෙ නෑ. නම ඊට වැඩිය සරල වෙන්න ඕනැ. චරිත් අපට – අපි චරිත්ට කියන එක ඊට ලේසියි…”

මා චරිත් කාලිංග බණ්ඩාර වූයේ එලෙසය. “කාලිංග” යන නම එකතු වූයේ අප්පච්චිගේ හොඳම මිතුරකු සිහිවීම පිණිසය.

(සමනළයා නැවත පියාපත් සලන තුරු…………..ඉවසන්න )

(02) ජනරාල් සරත් ෆොන්සේකා මියයයි || Gen. Sarath fonseka is dead

  • කාලය: අප්‍රේල් 2006, සමාන්තර විශ්වය
  • ස්ථානය: ක්වාලාලම්පූර්, මැලේසියාව

අද සන්ධ්‍යාව ප්‍ර‍යොත්කර්ෂයක් විය. වෙයි හා මා සැලැසුම් කොට තිබුණේ  Brokeback Mountain නරඹන්ටය. Brokeback Mountain මැලේසියාවේ ප්‍රදර්ශනය කරන්ට පටන් ගත්තේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයෙන් මාස කිහිපයකට පසුවය. සංස්කරණ කිහිපයක් සමඟය. කෙසේ වෙතත් අපට එය බලන්ට ඕනෑම  විය. බදාදාව ඊට සුදුසුම දිනය වෙතැයි අපි කල්පනා කළෙමු. මැදි වාර පරීක්ෂණය නිමා වන්ට නියමිතව තිබුණේ අඟහරුවාදා බැවිනි.

මේ සැලසුම අවුල් වූයේ උදෑසන ලැබුණු සෝබර ආරංචියෙන් පසුව මා මේ ගමනට උචිත මානසික තත්ත්වයක නොසිටි නිසාය. ඊයේ කොටි කෙල්ලකගේ ස්වනාශක බෝම්බ ප්‍රහාරයකින් මාරාන්තික තුවාල ලද ලෙෆ්ටිනන්ට් ජනරාල් සරත් ෆොන්සේකා, තම බිරිය හා දරු දෙදෙනා මෙලොව තනිකොට, අද උදෑසන ජීවිතයට සමු දී තිබුණේය. මැලේසියානු පුවත් සේවා මේ ආරංචියට ඕනෑවටත් වඩා වැඩි වැදගත්කමක් දී තිබුණේ මෙහි වෙසෙන දෙමළ ජනගහණය නිසා විය යුතුය. එහෙත් මට අවබෝධ වූ තරමින් ඔවුනට ලංකාවේ ජාතික ගැටළුව පිළිබඳව දකුණු ඉන්දියානු දෙමළුන්ට මෙන් ලොකු උවමනාවක් නොවීය.

මම සවස සැලසුම් ගැන අදහස අත්හැර වෙයිට කෙටි පණිවිඩයක් යැවීමි. ඔහුගේ සිත ඉන් බිඳෙන්ට ඇතැයි සිතමි. වෙයි මට ඉන්පසු කථා කළ මුත් මම කරදර කරන්ට එපාය කියා දුරකථනය විසන්ධි කළෙමි. ඔහුගේ පසු ඇමැතුම් එකකටවත් පිළිතුරු දෙන්ට මට උවමනා නොවූ අතර එය දරා ගන්ට බැරි කරදරයක් වූ කල්හි මොබයිලය ක්‍රියාවිරහිත කළෙමි. වෙයිගේ කෝපය ගැන හෙට උදේට බලා ගනිමි.

මා හොස්ටලයට ගියේ සිහිනෙන් ඇවිදින්නාක් මෙනි. මගේ කාමර සගයින් දෙදෙනාම නොසිටීම සහනයක් විය. අතර මැදි පරීක්ෂණය නිමා වීමෙන් පසු දවස ඔවුන් පෙම්වතියන් හෝ මිතුරන් සමඟ විඳිනවා විය හැකිය. අස්ලාන්ට නම් පෙම්වතියක සිටියේය. මලික්  මිතුරන් සමඟ බොන්නට යන්ට ඇත.

මම බොහෝ වේලාවක් කොට්ටය බදාගෙන හඬ නොනඟා හැඬූයෙමි. මා හැඬූයේ ශෝකයෙන්ද කෝපයෙන්ද මම නොදනිමි.

ලෙෆ්ටිනන්ට් ජනරාල් සරත් ෆොන්සේකා මගේ ලෝකයෙහි අසමසම වීරයා වූයේය. මේ උදාර මිනිසා හමුදාපති පදවිය භාර ගත්තේ මේ ගැටළුව වෙනත් හමුදාපතිවරයකුට විසඳන්ට ඉතිරි නොකරන්නේය යන ප්‍රතිඥාව සමඟය. ඊනියා සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ආරම්භ වූ ඊලාම් යුද්ධයේ සිව්වන පියවරේදී ඔහු මේ ප්‍රතිඥාව හුදෙක් කටට ආ කියමනක් නොවන බව ඔප්පු කළේය. නැඟෙනහිර පළාතෙහි කොටි කඳවුරු රාශියක් සෙල්ලම් ගෙවල් බිඳින යෝධයකු සේ බිඳ හෙළන්ට ඔහු සමත් විය. රටේ බොහෝ දෙනකු මෙන්ම මමද ඔහු කෙදිනක හෝ මේ ගැටළුව අප වෙනුවෙන්, රට වෙනුවෙන් විසඳන්ට සමත් එකම තැනැත්තා ලෙස විශ්වාස කළෙමි. කොටින්ට ඔහුට සමීප විය හැකිය මම කිසිදිනෙක නොසිතීමි. මේ පුවත මා මෙපමණ සසල කළේ එහෙයිනි.

ඒ සමඟම මට රනිල් වික්‍රමසිංහ පිළිබඳව ඇතිවූයේ දැඩි අමර්ෂයකි. ඊනියා සාම සාකච්ඡා සාර්ථක නොවන බැව් අපි නොදැන නොසිටියෙමුද? කොටින්ට අවශ්‍ය වූ හෝ කළ හැකි හෝ ෆෙඩරල් රාජ්‍යයක් නොවූයේය. ඔවුන්ට අවශ්‍ය වූයේ ශයිලොක්ගේ මස් රාත්තලය. ඒ මස් රාත්තල ලබා ගෙන දෙමළ වැසියා පෙළාගෙන ඒකාධිපති පාලනයක් ගොඩ නැඟීමටය. මධ්‍යම රජය සමඟ සහයෝගයකින් කටයුතු කරන්ට කැමැති බව ඔවුහු කිසිම විටෙක නොහැඟවූහ. එවැනි වැරදි උපකල්පනයකින් රට නොමඟ යවන ලද්දේ රනිල් වික්‍රමසිංහ විසිනි. ඊනියා සාම සාකච්ඡා සමයේ ඔවුනට සියළු පහසුකම් සපයමින් කොටින් තවත් ශක්තිමත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ නම් වූ නිවටයා විසිනි. එක්සත් ජාතික පක්ෂය බඳු ජාතික මට්ටමේ පක්ෂයක් විනාශ මුඛයට ඇදගෙන ගිය අමනයා ඔහුය.

මා අප්පච්චිට ලීවේ කලාතුරෙකිනි. ඒද මට අවශ්‍ය මුදල් නියමිත වෙලාවට නොලැබුණත් මතක් කරන්ටය. ඔහු නම් නොලීවා තරම්ය. අප්පච්චිට ඊ-මේල් එකක් යැවිය යුතු යැයි මට සිතුණේය.

ආමන්ත්‍රණයකින් තොරව මම ලිපිය ආරම්භ කළෙමි.

are you happy? are you bloody happy now?  if you ask me now i feel like shit. you hear? i feel like shit. and this is what the ponnaya you call the leader did. you should be ashamed of yourself for working a ponnaya like ranil wickremasinghe. i am ashamed that i voted for him. this just didn’t happen. it was nothing but the result of your bloody leader ranil wickremasinghe’s peace talks. remember you have blood on your hands. you can’t wash them off so easily.

අප්පච්චි විද්‍යුත් ලිපි නොකියැවූයේය. ඔහුට පරිගණකයක් භාවිතා කරන්ට බැරි විය. සිදුවූයේ ඔහුගේ නමට ලැබෙන ලිපි සහායකයකු විසින් ප්‍රින්ට් එකක් ගෙන ඔහු අතට දීමයි. සහායකයා මේ ලිපිය කියවන බව මම දැන සිටියෙමි. මට අවශ්‍ය වූයේ අප්පච්චි ඔහු ඉදිරියේත් හෑල්ලුවට ලක් කරන්ටය.

මම එක්සත් ජාතික පක්ෂයට ගරු කළෙමි. ආදරය කළෙමි. කවර හෝ මැතිවරණයක් පිණිස පිළියෙළ කළ ළා කොළ පාට ප්ලාස්ටික් රැල් ඇඟවටා ඔතාගෙන “අලියත දයවේවා!” කියමින් වත්ත වටේ දුවන මගේ මතකය පාසල් සමයටත් පැරැණිය. අපි ‘හත්මුතු පරම්පරාවක’ සිටම යූ. ඇන්. පී කාරයෝ වීමු.  එක්සත් ජාතික පක්ෂය මට පෙණුනේ යෝධ හස්තියකු ලෙසිනි.

අගැමැති සමයේදී රණසිංහ ප්‍රේමදාසයන් විසින් ලියන ලද ‘ඇතාගෙ කථාව’ මට සිහිවෙයි. යෝධ හස්තියෙක් නියං සමයෙක මහ වනයේ  දිය වලක් හාරා ගෝනුන්ට මුවන්ට දිය ලබා දෙයි. පසුව එන  නරි -ඌරු රෑනක් මේ වලෙහි බැස, නටා, වසුරු හළා දිය බොර කරති. නැවත ඇතා කුඩා සතුන්ගේ ආධාරයෙන් මේ නරි-ඌරු රැළ පළවා හැර උත්සාහයෙන් දිය වළ පවිත්‍ර කරයි. මා එක්සත් ජාතික පක්ෂය දුටුවේ මේ ඇතා තුළිනි.

මේ රනිල් වික්‍රමසිංහ යුගයට පෙරාතුවය. රනිල් වික්‍රමසිංහ යුගයේදී මේ ඇතා මහළු විය. ලෙඩ විය. නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර නැති කමින් අනුන්ට දිය වළ හාරා දෙනු තියා තමන්ටවත් දිය සොයා ගත නුහුණු තරමට දුබල විය. නැතොත්, දුබල කරන ලද්දේය. ඒ බව නොදත් මෝඩ පාක්ෂිකයෝ තවමත් මේ දුබල ඇතා පසුපස යති. ඇතා තවත් මහළු හා තවත් දුබල වන බවක් විනා ජවයක් ලබා ගන්නා බවක් නොපෙණේ.

අප්පච්චි මේ දුබල ඇතාගේ ගොව්වෙකි. දිරාගිය දතක් සේ වැනෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමැතිවරයෙකි. ඔහුගේ දේශපාලනයේද වෙනසක් මට නොපෙණුනේය. වසුරු වලෙක දඟලන කවර නම් සූකරයකුගෙන් නිල් මහනෙල් සුවඳ හමයිද?

රනිල් වික්‍රමසිංහ විසින් ඇති කරන ලද රික්තකයෙහි අපට එක්සත් ජාතික පක්ෂය තුළ නායකයින් නැති විය. සරත් ෆොන්සේකා වැනි විකල්ප නායකයින් ගැන විශ්වාසය තබන්ට අපට සිදු වූයේ එනිසාය.

මා නින්දට ගියේ රාත්‍රියේ පශ්චිම භාගයත් පසුකිරීමෙන් අනතුරුවය. ඒද කඩින් කඩ ඇහැරුණු නිස්තේජ නින්දකි. නින්දේදී මම ජනරාල් සරත් ෆොන්සේකා ගැන අපූරු සිහිනයක් දුටිමි. (ඔහු මරණාපරව ජනරාල් පදවියට උසස් කොට ඇති බව කොතැනක හෝ කියැවීමි.)

ආශ්චර්යමත් ලෙස බෝම්බ ප්‍රහාරයෙන් මිදෙන ජනරාල් ෆොන්සේකා, සුව වීමෙන් පසුව, නැවැත යුද හමුදාපති පදවියට පත් වේ. තමන් මුහුණ දුන් අනතුර කොටි සංවිධානයට එරෙහි සටන් තවත් දැඩිව ගෙනයාමට කරන ලද අධිෂ්ඨානයක් සේ ගන්නා ඔහු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ප්‍රභාකරන් නම් පාදඩයා දණ ගස්සවා කොටි බල සුන්නද්දූලි කරයි. ඉන්පසු සිහිනය අතිශය ප්‍රසන්න කූටප්‍රාප්තියකට පැමිණෙන අතර මගේ මනසෙහි මැවුණේ යුද ජයග්‍රණයෙන් පසුව අප එකිනෙකාට කිරිබත් කවා ගන්නා ආකාරයයි. අගනගරය පමණක් නොව ගම් දනව්ද එකම සැණකෙළියක් වැන්න. මට ගුත්තිලයෙහි සැණකෙළි වැණුම් සිහිවේ.  රන් රසු දැල් ගිගිළී – රන් දද පෙළින් වූ එළි – එ නුවර  තුර බැබළි – දුටුහු කෙළිනා මහත් සැණ කෙළි.

මේ සිහිනයෙහි ද්විතීය භාගය ආයේ මඳක් පමා වීය. යුද ඇඳුම් වෙනුවට සුදෝ සුදු ඇඳුමින් සැරැසුණු ජනරාල් සරත් ෆොන්සේකා සිංහ කොඩියක් පෙරටු කරගෙන කැළැණි විහාරයට යයි. ඔහු හමුදාවෙන් සමුගෙන දේශපාලනයට අවතීර්ණ වී සිටියි. එහෙත් බොහෝ සිහින සේ මේ සිහිනයද අවසාන වූයේ නපුරකිනි. ජනරාල් ෆොන්සේකාගේ සතුරෝ ඔහු බන්ධනාගාර ගත කරති. ඔහු ජම්පරයෙන් සැරහී සිටිනු දැකීමෙන් මම එක්වරම හඬ නඟා අවදි වීමි.

මගේ ‘රූමි’ අස්ලාන් දත් බුරුසුවක් අතැතිව මදෙස බලාගෙන සිටියි.

“Chari…Had another of your nightmares?…I think you are bit late. If you don’t get up quickly you are going to miss the first hour”

(මතු සම්බන්ධයි.)

(01) සුදු කොඩි || The Funeral

  • කාලය: අගෝස්තු, 2012 සමාන්තර විශ්වය
  • ස්ථානය: මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව

බැනරය එල්ලන්ට එතරම් පහසු නොවූයේ එක පැත්තකින් ලණු ගැට ගසන්ට වූයේ කණාටු පොල් ගසක් පමණක් වූ හෙයිණි. ඊට නැඟිය යුතු වූයේ පරිස්සමෙනි. කෙනකු නඟින්ට තැත්කළ හැම විටෙකම එය කඩා වැටෙන්ට මෙන් පාත් විය.අවසානයේ හිණිමඟෙක ආධාරයෙන් ඔවුහු ඒ බාධකයද ජය ගත්තෝය.

අනිච්ඡාවත සංඛාරා!

හදිසියේ අප අතුරින් වියෝ වූ

විදුලිබල හා බලශක්ති අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර මැතිතුමාට

නිවන් සැප ලැබේවා!

ශෝකයට පත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. ඩී. සරත් ඇතුළු පිරිස

මේ අද පාන්දර සිට හතු පිපෙන්නාක් මෙන් මතුවන්ට පටන් ගත් බැනර් අතුරින් එකකි. තව පැය කිහිපයකින් හාත්පස සුදු කොඩි හා බැනර් වලින් වැසී යතැයි මට සිතේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර මැතිතුමා මියගියේ පෙරදින සන්ධ්‍යා භාගයේදීය. නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකිනි. ඔහුගේ දේහය තවමත් මල් ශාලාවේය. අද උදෑසන එය නිවසට රැගෙන එනු ඇතැයි කිසිවකු විසින් මට කියන ලද්දේය. එසේ වුවද ඊයේ රාත්‍රී සිටම වළව්ව හිතමිත්‍රාදීන්ගෙන් හා සපෝටරයන්ගෙන් පිරී පැවැත්තේය.

වේලාව උදෑසන පහයි. කිසිවකු විසින් මට උණු කෝපි කෝප්පයක් ගෙනැවිත් දෙයි. මම නිහඬව එය තොලගාමි. අගෝස්තු මාසයේ කන්ද උඩරට සීතල උදෑසනක වදය පහ කිරීමට එය අප්‍රමාණවත්ය. මම දෑතට දැනෙන දැඩි සීතල මඟහරවා ගනු වස් දෙ අත් කලවා අතර සිරකර ගනිමි.

නැඟෙනහිර අහස යන්තමින් එළි වෙමින් පවතී. තව සුළු මොහොතෙකින් හිරු නැඟෙනු ඇත්තේය.

“ඔය කොටියි කොටියි කිව්වට ඕව පස්සෙ ඉන්නෙ කවුද කියල අපි දන්නව. දැන් මේ මනුස්සය මරා ගත්තහම තමන්ට ඕනැ තොවිලයක් නටා ගත්තෑකිනෙ…” මා පසුකර යන සපෝටරයෙකු තම සගයාට සිහින් හඬෙකින් කියයි.

වළව්ව කඩි ගුළක් මෙන් ඇවිස්සී තිබේ. මට ආසන්නයේ තරුණ පිරිසක් පාර හරහා ඇදීම පිණිස ගොක්කොළ රැහැන් පිළියෙළ කරති. තවත් පිරිසක් ටෙන්ට් අටවති. ලොරියෙන් ඇලුමිනියම් පුටු බිමට බාති. වත්තේ තැන් තැන්හි විදුලි බල්බ එලීම සඳහා නිවසින් විදුලිය ගැනීමට රැහැන් අදිති. මගේ ඇට මිදුළු පාසාකරගෙන යන සීතල ඔවුන්ට නොදැනුනාක් සේය.

සුදු කොඩි අදින ළාබාල තරුණයන් පිරිසක් කෝපි අල්ලන, ඔවුන්ට වැඩිමහළු තරුණියන් දෙදෙනකු සමඟ මුකුළු කරති. මෙවැනි අවස්ථාවක වින්දනයකට අක්කලා නොව ආච්චිලා හිටියත් ඇතිය. මම ඉවත බලා ගනිමි.

මන්ත්‍රී කෙනකු, ප්‍රාදේශීය සභ මන්ත්‍රී කෙනකු ඉඳහිට නිවසෙන් එළියට විත් විපරමක නියැළුනද මේ කටයුතු වැඩි හරියක් සිදුවන්නේ නායකයකු නොමැතිවය. සියල්ලන්ම තමන්ට පැවැරි රාජකාරිය අකුරටම දන්නාක් සේය.

මෙහි කිසිම කටයුත්තක නොනියැළි එකම පුද්ගලයා මාය. තමන්ගේ භූමිකාව නොදන්නා එකම පුද්ගලයාද මාය. මේ ස්ථානයට ආගන්තුක එකම පුද්ගලයාද මාය.

වික්ටර් සාලිය බණ්ඩාර මගේ අප්පච්චිය. ඊයේ වනතුරු මේ මිහිතලය මට සිටි කිට්ටුම ඥාතියාය.

මපියාණන්ගේ ජීවය මා තනිකොට මේ ලෝකයෙන් ගෙන ගොස් ඇති මොහොතක මවිසින් කුමක් කළ යුතුද? මම නොදනිමි. මා උපතේදීම මියගිය, මා ඡායාරූපයන්ගෙන් පමණක් දැක ඇති මෑණියන් සේ කිතුණුවකු වී නම් මට දෙවියන් වහන්සේගෙන් ඇසිය හැකිව තිබුණේය.  පියාණන් සේ බොදුනුවකු වී නම් මට පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇසිය හැකිව තිබුණේය. මේ දෙකටම අයත් නොවන මම කුමක් කරන්නෙම්ද, මේ සීතල උදෑසන සීතල සමඟ පොර බදනවා හැර?

“චරිත්…, චරිත් පුතා…කොහේද?”

ඒ රත්නායක අංකල්ගේ හඬය. මම ඔහුට පෙනෙන සේ අත වනමි.

“කෝ… මොනව කරනවද මෙහාට වෙලා? මම හැම තැනම හෙව්වා…අන්න මැඩම් ලයින් එකේ. ඔයාට කතා කරන්න ඕනැලු.”

“මොන ලයින් එකේද?”

‘අප්පච්චිගේ ඔෆිස් රූම් එකේ…දුවල යන්න”

මම අප්පච්චිගේ විශාල ලියන මේසය ඉදිරිපිට වූ පුටුවක හිඳගෙන ඒ වන විටත් ඔසවා මේසය මත තබා තිබූ රිසීවරය කණට ළංකර ගනිමි. මේසයේ එහා පැත්තේ වූ අප්පච්චිගේ විශාල පුටුවේ හිඳ ගත්තේ නම් මේ කාර්යය වඩා පහසුය. එහෙත් ජීවිත කාලයක් තිස්සේ කිසිදිනෙක මා හිඳගෙන නැති මේ පුටුවේ මා මේ මොහොතේ, ඔහු නැතිවත්, හිඳ ගත යුතුද?

“හෙලෝ…”

“…හෙලෝ, ඔය ඇමැතිතුමාගේ පුතාද කතා කරන්නේ?”

“ඔව්…”

“සර් ලයින් එකේ ඔහොම පොඩ්ඩක් ඉන්න. එච්.ඊ.ට මං කනෙක්ට් කරන කල්…”

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය රිසීවරය ඔසවන හඬ මට ඇසේ.

“Hello Charith, Good morning…”

බ්‍රිතාන්‍ය මහ රැජන ආමන්ත්‍රණය කිරීමේ නම් නිශ්චිත ක්‍රමවේදයක් තිබේ. ඔබ කවරකු හෝ වේවා, ඇය මුණ ගැසෙන පළමුවර අනිවාර්යයෙන්ම Your Majesty ලෙස ඇය ඇමැතිය යුතුය. ඉන්පසුව අවශ්‍යනම් Madam හෝ Ma’am ලෙස ආමන්ත්‍රණය කළ හැකිය. එබඳු නිශ්චිත ක්‍රමවේදයක් නොදන්නා මම සුදුසු යැයි මට හැඟෙන ආමන්ත්‍රණය තෝරා ගනිමි.

“Good morning madam…”

“Charith, first of all, I am so sorry about what happened. As you probably know I have always treated VS not just as a colleague, but as a close friend as well. So I am really upset what happened. It was such a great loss…”

මම කුමක් කියමිද? වසර පහ හයකට පමණ පෙර අප්පච්චි එවක ඇයට විරුද්ධ පිළේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමැති ධුරයක් දරණ කාලයේ මාතලේ රැළියකදී “ඔය බණ්ඩාර කියන ඇමැතියා අහිංසක ගොවීන්ට අපේ රජය විසින් ගෙවමින් සිටි ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමත් නතර කරන්න කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා තමුන්නාසේලාගේ පවුල් දරුවන් වින්ද වේදනා අපි දන්නවා. දැන් තමුන්නාසේලාම තීරණය කරන්න, හෙට අනිද්දා අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තායින් පස්සෙ මේ වගේ හොරෙකුට කරන්නෙ මොකද්ද කියලා…” කීවේ මේ කටින්ම නොවේද?

අප්පච්චි කවදාවත් දේශපාලන වේදිකාවේ කියූ දේවල් සීරියස් ලෙස නොගත්තේය. මේ කතාව අයි.ටී. එන්. ප්‍රවෘත්ති වලින් අසාද ඔහු හිනැහුණා පමණෙකි. දැන් මේ මොහොතේ මා මේ පරණ කුණු කන්දල් ඇදිය යුතුද? අවසානයේ අකැමැත්තෙන් හෝ ඇය අප්පච්චි තම රජයට බඳවාගෙන වැදගත් ඇමැති ධුරයක් දුන්නා නොවේද? මේ මොහොතෙහි මගේ කර්තව්‍ය දේශපාලනය නැමැති මඩ වලෙහි දඟලන්නගේ වැරදි සෙවීම විය යුත්තේද? නැතැයි මම තීරණය කරමි.

“Yes, madam. The feelings were mutual. He too always had a very high regard for you…” මම පිළිවදන් දෙමි.

“Charith, actually I should have called you yesterday night itself, but I never knew VS had a son. You know he never spoke about his personal affairs. Anyway, I am happy that I called you…”

මේ කපටි ගැහැණිය මෙසේ  ඇදබාන්නේ තවත් පට්ටපල් බොරුවක් නොවේද? වසර කිහිපයකට පෙර ඇගේ ආණ්ඩුව අන්තිම අසීරු අඩියකට ඇද දැමීමට හේතු වූ “චරිත් කාලිංග බණ්ඩාර” ගැන ඇය අසා නැත්තේද? අප්පච්චිගේ පුද්ගලික ජීවිතය ගැන නොදන්නේය කියන ඇය Sunday Leader පුවත්පත සති ගණන්, පිටු ගණන් තලුමරමින් පළ කළ ඔහුගේ අනියම් භාර්යාවන්ගේ තොරතුරු කියවාම නැද්ද? මම පාදයක් පසුපසට ගෙන කල්පනාකාරීව පන්දුවට පහර දෙමි.

“…I wasn’t here for some time ma’am. I studied overseas. That’s probably why we never met”

“Oh, is that so?. ..Anyway, Charith, I just wanted to tell that we will attend the rest of things the best we can. You don’t have to worry about anything. I have already asked Lakshman to arrange everything. He will call you soon. I may drop late tonight or if not tomorrow. Meanwhile, if you need anything, please tell Lakshman…again, I am so sorry Charith. Bye”

“I appreciate that ma’am. Bye!”

මම රිසීවරය තබමි. මොහොතකින් එය නැවත නාද වේ.

“Hello. Can I speak to Mr. Charith Bandara?” ගැහැණු කටහඬක්.

“Yes. Speaking…”

“Sir, wait…Prime Minister Lakshman Kadirgamar wishes to speak to you. Please wait in the line…”

මම දුරකථනයේ රැඳී හිඳිමි. තත්පර තිහක්. මිනිත්තුවක්. මිනිත්තු දෙකක්. අගැමැති තුමා තවම නැත. නැවත ගැහැනු කටහඬ ඇසේ.

“Sir, so sorry. He is on an international call and we will call you in another ten minutes. Sorry about this…”

මම අප්පච්චිගේ කාර්යාල කාමරයේ සිට එළියට එමි. මේ වන විට හාත්පස අඳුර පහ වෙමින්ද, මළගෙදරට තවත් සෙනඟ එක්වෙමින්ද තිබේ. මිදුලේ ඈත කොනෙක අඬ අඳුරෙහි පිරිසක් සමඟ කථා කරමින් සිටින්නේ ඇමැතිවරයකුය සිතමි. දම් පැහැ සාටකයෙන් ඒ බුද්ධ ශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ බව හඳුනා ගනිමි. ඔහු වර්තමාන ආණ්ඩුවේ කැපී ගිය, එළවන්ට බැරි නිසා තියාගෙන ඉන්නා චරිතයකි. මෙතරම් කලින් මළ ගෙදරට එන්ට ඔහු හා අප්පච්චි අතර වූ සම්බන්ධය මම නොදනිමි.

මගේ මොබයිලය සාක්කුවේ කම්පනය වේ. මම එය ඉවත ගෙන බලමි.

Lasantha Wick

මේ ලසන්ත වික්‍රමතුංග විය නොහැකිය. ඔහු එලොව සිට මට කථා කරන්නේද? මම දුරකථනයට පිළිතුරු දීමට තීරණය කරමි.

“Good morning, Charith. Not sure you know me. My name is Frederica Jansz and I am the editor of…”

(මතු සම්බන්ධයි…)

(00) සමාරම්භය || The Beginning

“සමනළ විප්ලවය” දේශපාලන නවකථාවකි. ඊට පාදක වන්නේ වර්තමානය (2012) වුවද අදාළ සිද්ධි දාමය සිදුවන්නේ සමාන්තර විශ්වයකය. සමාන්තර විශ්වයක් වූ කලි ඉතිහාසය ‘විකල්ප මාර්ගය’ ගැනීම හේතු කොට ගෙන ගොඩ නැඟෙන, වර්තමානයට වෙනස් වූ කාලාවකාශයකි. එවන් කාලාවකාශයක් තුළ ඕනෑම දෙයක් සිදු විය හැකිය. උදා: හිට්ලර් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමෙන් පසු බිහිවන ලෝකය. (වැඩි විස්තර පිණිස බලන්න http://tinyurl.com/nw4sq)

“සමනළ විප්ලවය” ට අදාළ සමාන්තර විශ්වය ගොඩ නැඟෙන්නේ 2003 ඔක්තෝබරයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එවක අගැමැති රනිල් වික්‍රමසිංහ සමඟ වූ අවබෝධයක් මත සිදු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟය. ඒ අනුව යම් පුද්ගලයකුට ජනාධිපතිවරණයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කෙරෙයි. ඇය 2005 ජනාධිපතිවරණයට තරග වදින අතර ඉන්ද වසර හයක් ගිය තැන එළඹෙන 2011 ජනපතිවරණයෙන්ද ජය ගනියි. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2007දී බිඳ වැටෙන අතර ජවිපෙ සමඟ සහයෝගයෙන් පිහිටුවා ගන්නා, අග්‍රාමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ නායකත්වයෙන් යුතු සභාග රජය 2012 දී ලංකාවේ පාර්ලිමේන්තු බහුතරය නියෝජනය කරයි. මහින්ද රාජපක්ෂ ඒ රජයේ බුද්ධ ශාසන කටයුතු අමාත්‍යවරයාය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පසුව මේ රජයට එක්වෙති.

2006 අප්‍රියෙල් මාසයේ දී අනෝජා කුගෙන්තිරාසා ලෙස පසුව හඳුනා ගන්නා ලද කොටි සෙබළියකගේ ස්වනාශක බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවන යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් සරත් ෆොන්සේකා (මරණාපරව ජනරාල් සරත් ෆොන්සේකා) මිය යයි.

මේ සමාන්තර විශ්වයේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරියේ මිය නොයන අතර මේ නව කතාවෙහි උප ප්‍රධාන චරිතයක්ද වේ.

2008 මුල් භාගයේ මාස තුනක කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ කොටි බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවද, සෝමවංශ අමරසිංහ අහුන්ගල්ලේදී වන රිය අනතුරෙකින්ද ජීවිතයෙන් සමු ගනිති. ඒ වන විටත් පක්ෂයේ රැඳී සිටින මන්ත්‍රීවරුන් අතළොස්ස තුළින් කෙනකු වූ මිලින්ද මොරගොඩ එක්සත් ජාතික පක්ෂයේ නායක හා විපක්ෂ නායක ධුරයට පත්වන අතර නන්දන ගුණතිලක හා විජිත හේරත් සමඟ තියුණු තරගයකින් පසුව විමල් වීරවංශ ජවිපෙ නායකත්වය දිනා ගනී.

2011 මැයි මාසයේ දී එක්සත් රාජධානියට රාජ්‍ය තාන්ත්‍රික ගමනක යෙදෙමින් සිටින ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හා බිරිඳ රැගත් යානය අත්ලාන්තික් සාගරය මැද්දී අනපේක්ෂිත අනතුරකට ලක්ව කොටසක් හෝ සොයා ගත නොහැකි පරිද්දෙන් අතුරුදහන් වේ. ජෝන් බිඩෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි හතළිස් පස් වන ජනාධිපතිවරයා සේ දිවුරුම් දෙයි.

දශක හතරකට යුද්ධය දිග් ගැසෙමින් පවතී. ඇන්ටන් බාලසිංහම් 2006 දෙසැම්බරයේ මියයයි. දැඩි ලෙස රෝගාතුර වන ප්‍රභාකරන් 2009දී නායකත්වය තම පුතු චාල්ස් ඇන්තනිට පවරා සටන් බිමෙන් සමුගනී. 2012දී ඔහු අක්‍රිය, පාදයක් අහිමි දියවැඩියා රෝගියෙකි. උපක්‍රමශීලීව තමිල්සෙල්වන් තම පක්ෂයට ගැනීමට චන්ද්‍රිකා රජයට හැකිවන අතර ඔහු විසින් සපයනු ලැබී ඔත්තු මත නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ බලය සුන් කොට එහි එල්. ටී. ටී. ඊ. නායක කරුණා අම්මන් නාවික හමුදාව මඟින් රටින් පැන යද්දී ඝාතනය කෙරේ. අන්තර්ජාතික මට්ටමින් එල්. ටී. ටි. ඊ .යට ආයුධ සපයමින් ඉන්නා කුමරන් පද්මනාභන් හෙවත් කේ.පී. කොටු කර ගැනීම යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් පාරමී කුලතුංග දැන් මුහුණ දෙන විශාලතම අභියෝගයයි.

මේ සමාන්තර විශ්වයෙහි “චරිත් කාලිංග බණ්ඩාර” නම් තරුණයාගේ කථාවයි ‘සමනළ විප්ලවය’.