(01) සුදු කොඩි || The Funeral

  • කාලය: අගෝස්තු, 2012 සමාන්තර විශ්වය
  • ස්ථානය: මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව

බැනරය එල්ලන්ට එතරම් පහසු නොවූයේ එක පැත්තකින් ලණු ගැට ගසන්ට වූයේ කණාටු පොල් ගසක් පමණක් වූ හෙයිණි. ඊට නැඟිය යුතු වූයේ පරිස්සමෙනි. කෙනකු නඟින්ට තැත්කළ හැම විටෙකම එය කඩා වැටෙන්ට මෙන් පාත් විය.අවසානයේ හිණිමඟෙක ආධාරයෙන් ඔවුහු ඒ බාධකයද ජය ගත්තෝය.

අනිච්ඡාවත සංඛාරා!

හදිසියේ අප අතුරින් වියෝ වූ

විදුලිබල හා බලශක්ති අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර මැතිතුමාට

නිවන් සැප ලැබේවා!

ශෝකයට පත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. ඩී. සරත් ඇතුළු පිරිස

මේ අද පාන්දර සිට හතු පිපෙන්නාක් මෙන් මතුවන්ට පටන් ගත් බැනර් අතුරින් එකකි. තව පැය කිහිපයකින් හාත්පස සුදු කොඩි හා බැනර් වලින් වැසී යතැයි මට සිතේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර මැතිතුමා මියගියේ පෙරදින සන්ධ්‍යා භාගයේදීය. නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකිනි. ඔහුගේ දේහය තවමත් මල් ශාලාවේය. අද උදෑසන එය නිවසට රැගෙන එනු ඇතැයි කිසිවකු විසින් මට කියන ලද්දේය. එසේ වුවද ඊයේ රාත්‍රී සිටම වළව්ව හිතමිත්‍රාදීන්ගෙන් හා සපෝටරයන්ගෙන් පිරී පැවැත්තේය.

වේලාව උදෑසන පහයි. කිසිවකු විසින් මට උණු කෝපි කෝප්පයක් ගෙනැවිත් දෙයි. මම නිහඬව එය තොලගාමි. අගෝස්තු මාසයේ කන්ද උඩරට සීතල උදෑසනක වදය පහ කිරීමට එය අප්‍රමාණවත්ය. මම දෑතට දැනෙන දැඩි සීතල මඟහරවා ගනු වස් දෙ අත් කලවා අතර සිරකර ගනිමි.

නැඟෙනහිර අහස යන්තමින් එළි වෙමින් පවතී. තව සුළු මොහොතෙකින් හිරු නැඟෙනු ඇත්තේය.

“ඔය කොටියි කොටියි කිව්වට ඕව පස්සෙ ඉන්නෙ කවුද කියල අපි දන්නව. දැන් මේ මනුස්සය මරා ගත්තහම තමන්ට ඕනැ තොවිලයක් නටා ගත්තෑකිනෙ…” මා පසුකර යන සපෝටරයෙකු තම සගයාට සිහින් හඬෙකින් කියයි.

වළව්ව කඩි ගුළක් මෙන් ඇවිස්සී තිබේ. මට ආසන්නයේ තරුණ පිරිසක් පාර හරහා ඇදීම පිණිස ගොක්කොළ රැහැන් පිළියෙළ කරති. තවත් පිරිසක් ටෙන්ට් අටවති. ලොරියෙන් ඇලුමිනියම් පුටු බිමට බාති. වත්තේ තැන් තැන්හි විදුලි බල්බ එලීම සඳහා නිවසින් විදුලිය ගැනීමට රැහැන් අදිති. මගේ ඇට මිදුළු පාසාකරගෙන යන සීතල ඔවුන්ට නොදැනුනාක් සේය.

සුදු කොඩි අදින ළාබාල තරුණයන් පිරිසක් කෝපි අල්ලන, ඔවුන්ට වැඩිමහළු තරුණියන් දෙදෙනකු සමඟ මුකුළු කරති. මෙවැනි අවස්ථාවක වින්දනයකට අක්කලා නොව ආච්චිලා හිටියත් ඇතිය. මම ඉවත බලා ගනිමි.

මන්ත්‍රී කෙනකු, ප්‍රාදේශීය සභ මන්ත්‍රී කෙනකු ඉඳහිට නිවසෙන් එළියට විත් විපරමක නියැළුනද මේ කටයුතු වැඩි හරියක් සිදුවන්නේ නායකයකු නොමැතිවය. සියල්ලන්ම තමන්ට පැවැරි රාජකාරිය අකුරටම දන්නාක් සේය.

මෙහි කිසිම කටයුත්තක නොනියැළි එකම පුද්ගලයා මාය. තමන්ගේ භූමිකාව නොදන්නා එකම පුද්ගලයාද මාය. මේ ස්ථානයට ආගන්තුක එකම පුද්ගලයාද මාය.

වික්ටර් සාලිය බණ්ඩාර මගේ අප්පච්චිය. ඊයේ වනතුරු මේ මිහිතලය මට සිටි කිට්ටුම ඥාතියාය.

මපියාණන්ගේ ජීවය මා තනිකොට මේ ලෝකයෙන් ගෙන ගොස් ඇති මොහොතක මවිසින් කුමක් කළ යුතුද? මම නොදනිමි. මා උපතේදීම මියගිය, මා ඡායාරූපයන්ගෙන් පමණක් දැක ඇති මෑණියන් සේ කිතුණුවකු වී නම් මට දෙවියන් වහන්සේගෙන් ඇසිය හැකිව තිබුණේය.  පියාණන් සේ බොදුනුවකු වී නම් මට පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇසිය හැකිව තිබුණේය. මේ දෙකටම අයත් නොවන මම කුමක් කරන්නෙම්ද, මේ සීතල උදෑසන සීතල සමඟ පොර බදනවා හැර?

“චරිත්…, චරිත් පුතා…කොහේද?”

ඒ රත්නායක අංකල්ගේ හඬය. මම ඔහුට පෙනෙන සේ අත වනමි.

“කෝ… මොනව කරනවද මෙහාට වෙලා? මම හැම තැනම හෙව්වා…අන්න මැඩම් ලයින් එකේ. ඔයාට කතා කරන්න ඕනැලු.”

“මොන ලයින් එකේද?”

‘අප්පච්චිගේ ඔෆිස් රූම් එකේ…දුවල යන්න”

මම අප්පච්චිගේ විශාල ලියන මේසය ඉදිරිපිට වූ පුටුවක හිඳගෙන ඒ වන විටත් ඔසවා මේසය මත තබා තිබූ රිසීවරය කණට ළංකර ගනිමි. මේසයේ එහා පැත්තේ වූ අප්පච්චිගේ විශාල පුටුවේ හිඳ ගත්තේ නම් මේ කාර්යය වඩා පහසුය. එහෙත් ජීවිත කාලයක් තිස්සේ කිසිදිනෙක මා හිඳගෙන නැති මේ පුටුවේ මා මේ මොහොතේ, ඔහු නැතිවත්, හිඳ ගත යුතුද?

“හෙලෝ…”

“…හෙලෝ, ඔය ඇමැතිතුමාගේ පුතාද කතා කරන්නේ?”

“ඔව්…”

“සර් ලයින් එකේ ඔහොම පොඩ්ඩක් ඉන්න. එච්.ඊ.ට මං කනෙක්ට් කරන කල්…”

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය රිසීවරය ඔසවන හඬ මට ඇසේ.

“Hello Charith, Good morning…”

බ්‍රිතාන්‍ය මහ රැජන ආමන්ත්‍රණය කිරීමේ නම් නිශ්චිත ක්‍රමවේදයක් තිබේ. ඔබ කවරකු හෝ වේවා, ඇය මුණ ගැසෙන පළමුවර අනිවාර්යයෙන්ම Your Majesty ලෙස ඇය ඇමැතිය යුතුය. ඉන්පසුව අවශ්‍යනම් Madam හෝ Ma’am ලෙස ආමන්ත්‍රණය කළ හැකිය. එබඳු නිශ්චිත ක්‍රමවේදයක් නොදන්නා මම සුදුසු යැයි මට හැඟෙන ආමන්ත්‍රණය තෝරා ගනිමි.

“Good morning madam…”

“Charith, first of all, I am so sorry about what happened. As you probably know I have always treated VS not just as a colleague, but as a close friend as well. So I am really upset what happened. It was such a great loss…”

මම කුමක් කියමිද? වසර පහ හයකට පමණ පෙර අප්පච්චි එවක ඇයට විරුද්ධ පිළේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමැති ධුරයක් දරණ කාලයේ මාතලේ රැළියකදී “ඔය බණ්ඩාර කියන ඇමැතියා අහිංසක ගොවීන්ට අපේ රජය විසින් ගෙවමින් සිටි ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමත් නතර කරන්න කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා තමුන්නාසේලාගේ පවුල් දරුවන් වින්ද වේදනා අපි දන්නවා. දැන් තමුන්නාසේලාම තීරණය කරන්න, හෙට අනිද්දා අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තායින් පස්සෙ මේ වගේ හොරෙකුට කරන්නෙ මොකද්ද කියලා…” කීවේ මේ කටින්ම නොවේද?

අප්පච්චි කවදාවත් දේශපාලන වේදිකාවේ කියූ දේවල් සීරියස් ලෙස නොගත්තේය. මේ කතාව අයි.ටී. එන්. ප්‍රවෘත්ති වලින් අසාද ඔහු හිනැහුණා පමණෙකි. දැන් මේ මොහොතේ මා මේ පරණ කුණු කන්දල් ඇදිය යුතුද? අවසානයේ අකැමැත්තෙන් හෝ ඇය අප්පච්චි තම රජයට බඳවාගෙන වැදගත් ඇමැති ධුරයක් දුන්නා නොවේද? මේ මොහොතෙහි මගේ කර්තව්‍ය දේශපාලනය නැමැති මඩ වලෙහි දඟලන්නගේ වැරදි සෙවීම විය යුත්තේද? නැතැයි මම තීරණය කරමි.

“Yes, madam. The feelings were mutual. He too always had a very high regard for you…” මම පිළිවදන් දෙමි.

“Charith, actually I should have called you yesterday night itself, but I never knew VS had a son. You know he never spoke about his personal affairs. Anyway, I am happy that I called you…”

මේ කපටි ගැහැණිය මෙසේ  ඇදබාන්නේ තවත් පට්ටපල් බොරුවක් නොවේද? වසර කිහිපයකට පෙර ඇගේ ආණ්ඩුව අන්තිම අසීරු අඩියකට ඇද දැමීමට හේතු වූ “චරිත් කාලිංග බණ්ඩාර” ගැන ඇය අසා නැත්තේද? අප්පච්චිගේ පුද්ගලික ජීවිතය ගැන නොදන්නේය කියන ඇය Sunday Leader පුවත්පත සති ගණන්, පිටු ගණන් තලුමරමින් පළ කළ ඔහුගේ අනියම් භාර්යාවන්ගේ තොරතුරු කියවාම නැද්ද? මම පාදයක් පසුපසට ගෙන කල්පනාකාරීව පන්දුවට පහර දෙමි.

“…I wasn’t here for some time ma’am. I studied overseas. That’s probably why we never met”

“Oh, is that so?. ..Anyway, Charith, I just wanted to tell that we will attend the rest of things the best we can. You don’t have to worry about anything. I have already asked Lakshman to arrange everything. He will call you soon. I may drop late tonight or if not tomorrow. Meanwhile, if you need anything, please tell Lakshman…again, I am so sorry Charith. Bye”

“I appreciate that ma’am. Bye!”

මම රිසීවරය තබමි. මොහොතකින් එය නැවත නාද වේ.

“Hello. Can I speak to Mr. Charith Bandara?” ගැහැණු කටහඬක්.

“Yes. Speaking…”

“Sir, wait…Prime Minister Lakshman Kadirgamar wishes to speak to you. Please wait in the line…”

මම දුරකථනයේ රැඳී හිඳිමි. තත්පර තිහක්. මිනිත්තුවක්. මිනිත්තු දෙකක්. අගැමැති තුමා තවම නැත. නැවත ගැහැනු කටහඬ ඇසේ.

“Sir, so sorry. He is on an international call and we will call you in another ten minutes. Sorry about this…”

මම අප්පච්චිගේ කාර්යාල කාමරයේ සිට එළියට එමි. මේ වන විට හාත්පස අඳුර පහ වෙමින්ද, මළගෙදරට තවත් සෙනඟ එක්වෙමින්ද තිබේ. මිදුලේ ඈත කොනෙක අඬ අඳුරෙහි පිරිසක් සමඟ කථා කරමින් සිටින්නේ ඇමැතිවරයකුය සිතමි. දම් පැහැ සාටකයෙන් ඒ බුද්ධ ශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ බව හඳුනා ගනිමි. ඔහු වර්තමාන ආණ්ඩුවේ කැපී ගිය, එළවන්ට බැරි නිසා තියාගෙන ඉන්නා චරිතයකි. මෙතරම් කලින් මළ ගෙදරට එන්ට ඔහු හා අප්පච්චි අතර වූ සම්බන්ධය මම නොදනිමි.

මගේ මොබයිලය සාක්කුවේ කම්පනය වේ. මම එය ඉවත ගෙන බලමි.

Lasantha Wick

මේ ලසන්ත වික්‍රමතුංග විය නොහැකිය. ඔහු එලොව සිට මට කථා කරන්නේද? මම දුරකථනයට පිළිතුරු දීමට තීරණය කරමි.

“Good morning, Charith. Not sure you know me. My name is Frederica Jansz and I am the editor of…”

(මතු සම්බන්ධයි…)

Advertisements
Leave a comment

19 Comments

  1. පැරලල් යුනිවර්ස් එකේත් පලා බබා ලා නේද? ඒ මදිවට ෆෙඩ්රිකාත්!

    Reply
  2. ඇයි ලසන්තට එළොව ඉඳන් විතරද කතා කරන්න පුළුවනි. මිනිහෙක් මැරුණාම පැරලල් යුනිවරස් හැම එකකම මැරෙන්නේ නෑ නේ?

    Reply
    • පැරලල් යුනිවර්ස් එකකදි ලසන්ත මැරෙන දිනය, විදිය හෙම වෙනස් වෙන්න පුළුවන්.

      Reply
  3. තව එකක්!

    ඇයි මේ වර්ඩ්ප්‍රෙස් වල මේ කතාව දාන්නේ. ටැබූට කෙලවුනේ වර්ඩ්ප්‍රෙස් පාවිච්චි කළ නිසාය කියා වර්ගපූර්ණිකාව ලියන මිවනපලානේ ජයරත්නයන් කියනවා. හෙළ තාක්‍ෂණය ගූගල් බ්ලොග්ස්පොට් ලු…!!!

    Reply
  4. සිත්ගන්නාසුලුයි!

    මේ සිංහල භාෂාවෙන් ලියවෙන Alternative History මත පදනම් වූ පළමු නව කථාවද? Chaos Theory, Butterfly Effect වැනි සංකල්ප භාවිතාවන් බටහිර සාහිත්‍ය තුල සුලභව දකින්න ලැබුනත් ලංකාවේදී මේවායේ භාවිතය දකින්නම නැති තරම්.

    Reply
  5. ලස්සන කතාවක්.ඉතුරු කතා ටිකත් කියවලා ආයේ කමෙන්ට් කරන්නම් 🙂

    Reply
  6. DDT

     /  August 2, 2012

    ආඃ …. අර අමාත්‍ය මහින්ද රාජපක්ෂ දම් පැහැ සාටකයක් දාන් ඉන්නෙ එහේ කුරක්කන් දම් පාට ද?

    Reply
  7. ranwala

     /  August 2, 2012

    frist time i read in this type.great.all the best!

    Reply
  8. අළුත් සංකල්පයක්. බැඳීම් නැති ආකෘතියක්.
    සුබ පැතුම්….!

    Reply
    • බැඳීම් අඩු ආකෘතියක් කිව්වොත් වඩා හරි. මෙවැනි ආකෘතියකදී පවා යම් යම් හේතූන් නිසා කථාකරුවාට සමහර බැඳීම් පවත්වා ගන්නට වෙනවා.

      – ලේඛක

      Reply
      • එහෙනම් ඔන්න කිව්වා.
        “ බැඳීම් අඩු ආකෘතියක් ….!“
        🙂

  9. එතකොට ලසන්ත වික්‍රමතුංග 2009 මැරුණේ නෑ කියල පළවෙනි පෝස්ට් එකේ දැම්මේ. කවදද මැරුනේ?

    දිගටම ලියමු. අපි එනවා බලන්න.

    Reply
  10. අදයි කියවන්න ගත්තේ මරු.. ටැබු ලොක්කව මතක් උනා..!!

    Reply
  11. වාව් . . මගේ ප්‍රියතම විෂය මේ වගේ වෙනස්ම ආකාරයකට කියවන්න ලැබීම කොයි තරම් සතුටක්ද . . ඉස්සර දිවයින පත්තරේ මධාරා කියෙව්ව කාලේ ආපහු මතක් උනා . . .

    Reply
  12. අගින් මැදින් කියවූ මම අද මුලට පැමිණියෙමි.. මගේ හිතේ හැමදාමත් වූ ගැටළුවක් වුයේ මා ඉපදුනු 92 වර්ෂයට ප්‍රථමයෙන් සහ මා හට නොතේරුන අවදියේ අපරටේ සිදුවූ දේවල් අන්තර්ජාලයට ක්‍රමවත්ව එක්නොවිමයි.. මෙම ලිපි පෙළ එම අඩුව යම් තරමකට හෝ පුරවතෙයි සිතමි.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: