(02) ජනරාල් සරත් ෆොන්සේකා මියයයි || Gen. Sarath fonseka is dead

  • කාලය: අප්‍රේල් 2006, සමාන්තර විශ්වය
  • ස්ථානය: ක්වාලාලම්පූර්, මැලේසියාව

අද සන්ධ්‍යාව ප්‍ර‍යොත්කර්ෂයක් විය. වෙයි හා මා සැලැසුම් කොට තිබුණේ  Brokeback Mountain නරඹන්ටය. Brokeback Mountain මැලේසියාවේ ප්‍රදර්ශනය කරන්ට පටන් ගත්තේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයෙන් මාස කිහිපයකට පසුවය. සංස්කරණ කිහිපයක් සමඟය. කෙසේ වෙතත් අපට එය බලන්ට ඕනෑම  විය. බදාදාව ඊට සුදුසුම දිනය වෙතැයි අපි කල්පනා කළෙමු. මැදි වාර පරීක්ෂණය නිමා වන්ට නියමිතව තිබුණේ අඟහරුවාදා බැවිනි.

මේ සැලසුම අවුල් වූයේ උදෑසන ලැබුණු සෝබර ආරංචියෙන් පසුව මා මේ ගමනට උචිත මානසික තත්ත්වයක නොසිටි නිසාය. ඊයේ කොටි කෙල්ලකගේ ස්වනාශක බෝම්බ ප්‍රහාරයකින් මාරාන්තික තුවාල ලද ලෙෆ්ටිනන්ට් ජනරාල් සරත් ෆොන්සේකා, තම බිරිය හා දරු දෙදෙනා මෙලොව තනිකොට, අද උදෑසන ජීවිතයට සමු දී තිබුණේය. මැලේසියානු පුවත් සේවා මේ ආරංචියට ඕනෑවටත් වඩා වැඩි වැදගත්කමක් දී තිබුණේ මෙහි වෙසෙන දෙමළ ජනගහණය නිසා විය යුතුය. එහෙත් මට අවබෝධ වූ තරමින් ඔවුනට ලංකාවේ ජාතික ගැටළුව පිළිබඳව දකුණු ඉන්දියානු දෙමළුන්ට මෙන් ලොකු උවමනාවක් නොවීය.

මම සවස සැලසුම් ගැන අදහස අත්හැර වෙයිට කෙටි පණිවිඩයක් යැවීමි. ඔහුගේ සිත ඉන් බිඳෙන්ට ඇතැයි සිතමි. වෙයි මට ඉන්පසු කථා කළ මුත් මම කරදර කරන්ට එපාය කියා දුරකථනය විසන්ධි කළෙමි. ඔහුගේ පසු ඇමැතුම් එකකටවත් පිළිතුරු දෙන්ට මට උවමනා නොවූ අතර එය දරා ගන්ට බැරි කරදරයක් වූ කල්හි මොබයිලය ක්‍රියාවිරහිත කළෙමි. වෙයිගේ කෝපය ගැන හෙට උදේට බලා ගනිමි.

මා හොස්ටලයට ගියේ සිහිනෙන් ඇවිදින්නාක් මෙනි. මගේ කාමර සගයින් දෙදෙනාම නොසිටීම සහනයක් විය. අතර මැදි පරීක්ෂණය නිමා වීමෙන් පසු දවස ඔවුන් පෙම්වතියන් හෝ මිතුරන් සමඟ විඳිනවා විය හැකිය. අස්ලාන්ට නම් පෙම්වතියක සිටියේය. මලික්  මිතුරන් සමඟ බොන්නට යන්ට ඇත.

මම බොහෝ වේලාවක් කොට්ටය බදාගෙන හඬ නොනඟා හැඬූයෙමි. මා හැඬූයේ ශෝකයෙන්ද කෝපයෙන්ද මම නොදනිමි.

ලෙෆ්ටිනන්ට් ජනරාල් සරත් ෆොන්සේකා මගේ ලෝකයෙහි අසමසම වීරයා වූයේය. මේ උදාර මිනිසා හමුදාපති පදවිය භාර ගත්තේ මේ ගැටළුව වෙනත් හමුදාපතිවරයකුට විසඳන්ට ඉතිරි නොකරන්නේය යන ප්‍රතිඥාව සමඟය. ඊනියා සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ආරම්භ වූ ඊලාම් යුද්ධයේ සිව්වන පියවරේදී ඔහු මේ ප්‍රතිඥාව හුදෙක් කටට ආ කියමනක් නොවන බව ඔප්පු කළේය. නැඟෙනහිර පළාතෙහි කොටි කඳවුරු රාශියක් සෙල්ලම් ගෙවල් බිඳින යෝධයකු සේ බිඳ හෙළන්ට ඔහු සමත් විය. රටේ බොහෝ දෙනකු මෙන්ම මමද ඔහු කෙදිනක හෝ මේ ගැටළුව අප වෙනුවෙන්, රට වෙනුවෙන් විසඳන්ට සමත් එකම තැනැත්තා ලෙස විශ්වාස කළෙමි. කොටින්ට ඔහුට සමීප විය හැකිය මම කිසිදිනෙක නොසිතීමි. මේ පුවත මා මෙපමණ සසල කළේ එහෙයිනි.

ඒ සමඟම මට රනිල් වික්‍රමසිංහ පිළිබඳව ඇතිවූයේ දැඩි අමර්ෂයකි. ඊනියා සාම සාකච්ඡා සාර්ථක නොවන බැව් අපි නොදැන නොසිටියෙමුද? කොටින්ට අවශ්‍ය වූ හෝ කළ හැකි හෝ ෆෙඩරල් රාජ්‍යයක් නොවූයේය. ඔවුන්ට අවශ්‍ය වූයේ ශයිලොක්ගේ මස් රාත්තලය. ඒ මස් රාත්තල ලබා ගෙන දෙමළ වැසියා පෙළාගෙන ඒකාධිපති පාලනයක් ගොඩ නැඟීමටය. මධ්‍යම රජය සමඟ සහයෝගයකින් කටයුතු කරන්ට කැමැති බව ඔවුහු කිසිම විටෙක නොහැඟවූහ. එවැනි වැරදි උපකල්පනයකින් රට නොමඟ යවන ලද්දේ රනිල් වික්‍රමසිංහ විසිනි. ඊනියා සාම සාකච්ඡා සමයේ ඔවුනට සියළු පහසුකම් සපයමින් කොටින් තවත් ශක්තිමත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ නම් වූ නිවටයා විසිනි. එක්සත් ජාතික පක්ෂය බඳු ජාතික මට්ටමේ පක්ෂයක් විනාශ මුඛයට ඇදගෙන ගිය අමනයා ඔහුය.

මා අප්පච්චිට ලීවේ කලාතුරෙකිනි. ඒද මට අවශ්‍ය මුදල් නියමිත වෙලාවට නොලැබුණත් මතක් කරන්ටය. ඔහු නම් නොලීවා තරම්ය. අප්පච්චිට ඊ-මේල් එකක් යැවිය යුතු යැයි මට සිතුණේය.

ආමන්ත්‍රණයකින් තොරව මම ලිපිය ආරම්භ කළෙමි.

are you happy? are you bloody happy now?  if you ask me now i feel like shit. you hear? i feel like shit. and this is what the ponnaya you call the leader did. you should be ashamed of yourself for working a ponnaya like ranil wickremasinghe. i am ashamed that i voted for him. this just didn’t happen. it was nothing but the result of your bloody leader ranil wickremasinghe’s peace talks. remember you have blood on your hands. you can’t wash them off so easily.

අප්පච්චි විද්‍යුත් ලිපි නොකියැවූයේය. ඔහුට පරිගණකයක් භාවිතා කරන්ට බැරි විය. සිදුවූයේ ඔහුගේ නමට ලැබෙන ලිපි සහායකයකු විසින් ප්‍රින්ට් එකක් ගෙන ඔහු අතට දීමයි. සහායකයා මේ ලිපිය කියවන බව මම දැන සිටියෙමි. මට අවශ්‍ය වූයේ අප්පච්චි ඔහු ඉදිරියේත් හෑල්ලුවට ලක් කරන්ටය.

මම එක්සත් ජාතික පක්ෂයට ගරු කළෙමි. ආදරය කළෙමි. කවර හෝ මැතිවරණයක් පිණිස පිළියෙළ කළ ළා කොළ පාට ප්ලාස්ටික් රැල් ඇඟවටා ඔතාගෙන “අලියත දයවේවා!” කියමින් වත්ත වටේ දුවන මගේ මතකය පාසල් සමයටත් පැරැණිය. අපි ‘හත්මුතු පරම්පරාවක’ සිටම යූ. ඇන්. පී කාරයෝ වීමු.  එක්සත් ජාතික පක්ෂය මට පෙණුනේ යෝධ හස්තියකු ලෙසිනි.

අගැමැති සමයේදී රණසිංහ ප්‍රේමදාසයන් විසින් ලියන ලද ‘ඇතාගෙ කථාව’ මට සිහිවෙයි. යෝධ හස්තියෙක් නියං සමයෙක මහ වනයේ  දිය වලක් හාරා ගෝනුන්ට මුවන්ට දිය ලබා දෙයි. පසුව එන  නරි -ඌරු රෑනක් මේ වලෙහි බැස, නටා, වසුරු හළා දිය බොර කරති. නැවත ඇතා කුඩා සතුන්ගේ ආධාරයෙන් මේ නරි-ඌරු රැළ පළවා හැර උත්සාහයෙන් දිය වළ පවිත්‍ර කරයි. මා එක්සත් ජාතික පක්ෂය දුටුවේ මේ ඇතා තුළිනි.

මේ රනිල් වික්‍රමසිංහ යුගයට පෙරාතුවය. රනිල් වික්‍රමසිංහ යුගයේදී මේ ඇතා මහළු විය. ලෙඩ විය. නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර නැති කමින් අනුන්ට දිය වළ හාරා දෙනු තියා තමන්ටවත් දිය සොයා ගත නුහුණු තරමට දුබල විය. නැතොත්, දුබල කරන ලද්දේය. ඒ බව නොදත් මෝඩ පාක්ෂිකයෝ තවමත් මේ දුබල ඇතා පසුපස යති. ඇතා තවත් මහළු හා තවත් දුබල වන බවක් විනා ජවයක් ලබා ගන්නා බවක් නොපෙණේ.

අප්පච්චි මේ දුබල ඇතාගේ ගොව්වෙකි. දිරාගිය දතක් සේ වැනෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමැතිවරයෙකි. ඔහුගේ දේශපාලනයේද වෙනසක් මට නොපෙණුනේය. වසුරු වලෙක දඟලන කවර නම් සූකරයකුගෙන් නිල් මහනෙල් සුවඳ හමයිද?

රනිල් වික්‍රමසිංහ විසින් ඇති කරන ලද රික්තකයෙහි අපට එක්සත් ජාතික පක්ෂය තුළ නායකයින් නැති විය. සරත් ෆොන්සේකා වැනි විකල්ප නායකයින් ගැන විශ්වාසය තබන්ට අපට සිදු වූයේ එනිසාය.

මා නින්දට ගියේ රාත්‍රියේ පශ්චිම භාගයත් පසුකිරීමෙන් අනතුරුවය. ඒද කඩින් කඩ ඇහැරුණු නිස්තේජ නින්දකි. නින්දේදී මම ජනරාල් සරත් ෆොන්සේකා ගැන අපූරු සිහිනයක් දුටිමි. (ඔහු මරණාපරව ජනරාල් පදවියට උසස් කොට ඇති බව කොතැනක හෝ කියැවීමි.)

ආශ්චර්යමත් ලෙස බෝම්බ ප්‍රහාරයෙන් මිදෙන ජනරාල් ෆොන්සේකා, සුව වීමෙන් පසුව, නැවැත යුද හමුදාපති පදවියට පත් වේ. තමන් මුහුණ දුන් අනතුර කොටි සංවිධානයට එරෙහි සටන් තවත් දැඩිව ගෙනයාමට කරන ලද අධිෂ්ඨානයක් සේ ගන්නා ඔහු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ප්‍රභාකරන් නම් පාදඩයා දණ ගස්සවා කොටි බල සුන්නද්දූලි කරයි. ඉන්පසු සිහිනය අතිශය ප්‍රසන්න කූටප්‍රාප්තියකට පැමිණෙන අතර මගේ මනසෙහි මැවුණේ යුද ජයග්‍රණයෙන් පසුව අප එකිනෙකාට කිරිබත් කවා ගන්නා ආකාරයයි. අගනගරය පමණක් නොව ගම් දනව්ද එකම සැණකෙළියක් වැන්න. මට ගුත්තිලයෙහි සැණකෙළි වැණුම් සිහිවේ.  රන් රසු දැල් ගිගිළී – රන් දද පෙළින් වූ එළි – එ නුවර  තුර බැබළි – දුටුහු කෙළිනා මහත් සැණ කෙළි.

මේ සිහිනයෙහි ද්විතීය භාගය ආයේ මඳක් පමා වීය. යුද ඇඳුම් වෙනුවට සුදෝ සුදු ඇඳුමින් සැරැසුණු ජනරාල් සරත් ෆොන්සේකා සිංහ කොඩියක් පෙරටු කරගෙන කැළැණි විහාරයට යයි. ඔහු හමුදාවෙන් සමුගෙන දේශපාලනයට අවතීර්ණ වී සිටියි. එහෙත් බොහෝ සිහින සේ මේ සිහිනයද අවසාන වූයේ නපුරකිනි. ජනරාල් ෆොන්සේකාගේ සතුරෝ ඔහු බන්ධනාගාර ගත කරති. ඔහු ජම්පරයෙන් සැරහී සිටිනු දැකීමෙන් මම එක්වරම හඬ නඟා අවදි වීමි.

මගේ ‘රූමි’ අස්ලාන් දත් බුරුසුවක් අතැතිව මදෙස බලාගෙන සිටියි.

“Chari…Had another of your nightmares?…I think you are bit late. If you don’t get up quickly you are going to miss the first hour”

(මතු සම්බන්ධයි.)

Advertisements
Leave a comment

11 Comments

  1. ඔබේ එක උපකල්පනයක් නම් පැරලල් යුනිවර්සය කියන්නේ ද මේ අප ඉන්නා සක්වවෙල් වෙන දේවල්ම සිදුවෙන තැනක් බවයි. වී ඇත්තේ පොඩි වයර් මාරුවීමක් පමණි.

    ඇයි පැරලල් යුනිවර්සයක් තියෙන්න බැරිද අපේ සක්වල ගේට් එකකින් අනිත් පැත්තට ගත්තොත් වගේ දේවල් වෙන. ඒ කියන්නේ පිරිම ළමයි වදනවා, ගෑණු ලොරි, දුම්රිය පදවනවා වගේ දේවල් වෙන?

    Reply
    • පැරලල් යුනිවර්ස් අනන්ත සංඛ්‍යාවක් තිබිය හැකි අතර ඒවායේ අනන්ත සංඛ්‍යාවක් සිද්ධීන් සිදුවිය හැකිය. මේ එක පැරලල් යුනිවර්ස් එකක කථාවක්. එය පොඩි වයර් මාරු වීමක්ද ලොකු වයර් මාරු වීමක්ද තීරණය කරන්නේ අනාගතයයි.

      Reply
  2. බලමු තව කොටස් දෙක තුනක්!

    Reply
    • සමනළ විප්ලවය අනිවාර්යයෙන්ම දේශපාලන නවකථාවකි. එතැනින් එපිට යමක් බලාපොරොත්තුවන්නැයි නොකියමි.

      – ලේඛකයා

      Reply
  3. DDT

     /  August 2, 2012

    ඕ …… හීනෙන් සැබෑ ලෝකෙට විකල්පත් පේනවනේ. කකා කිව්ව වගේ මේක වයර් මාරුවීමක්ම තමා.

    Reply
  4. coz

     /  August 3, 2012

    මේකනම් කතන්දරගේම ජිල්මර්ට් එකක් ද කොහේදෝ … කතන්දරම ප්‍රශ්න අහල උ..ම උත්තර දීගන්නවා වගේ

    Reply
    • වෙන්න බෑ.. මේක කතන්දරගෙ ස්ටයිල් එකෙන් සහමුලින්ම වෙනස්., කෙනෙකුට කියන්න පුලුවනි කතන්දරට කවදාවත් මේ ස්ටයිල් එකට ලියන්න බෑ කියල… 🙂

      Reply
  5. ලියන්නේ කවුරු උනාම මොකෝ අප්පා . . . . රසකර කර කියවන ගමන් එතනින් එහාටත් හිතලා ගන්න දෙයක් තියේ නම් ගන්නවා මිසක් . . .

    Reply
  6. Chathuri

     /  May 1, 2015

    I really enjoy what you write. Thank you

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: