(03) මව් මරා උපන් කුමරා || My mother’s death

  • කාලය: 1980 දශකය, සමාන්තර විශ්වය
  • ස්ථානය: මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව

මෑතකදී මම ‘ඩොක්ටර් ෂිවාගෝ’ නැරැඹූයෙමි. පැය තුනහමාරක් තිස්සේ දිවෙන ඩේවිඩ් ලීන්ගේ මේ අසාමාන්‍ය සිනමා කෘතිය ආරම්භ වන්නේ ශෝකජනක ජවනිකාවෙකිනි. සත් හැවිරිදි යුරි සුදු පැහැති මල් කිනිත්තක් අතින් ගෙන තම මෑණියන්ගේ විවෘත දෙන පසුපසින් අවමංගල්‍ය පෙරහැරේ ගමන් කරයි. ගිම්හාන සුළඟින් විසිර යන කොළ, පරඬල්, දුහුවිලි පාවී අවුත් මවගේ ජීවයෙන් තොර සිරුර මතද, යූරිගේ කළු කබාය මතද වැටෙයි. ඔහු වත හැඟීම් විරහිතය. සම්ප්‍රදායික රුසියානු ඕතොඩොක්ස් කිතුණු සිරිතට නිමාවන කෙටි අවමංගල්‍ය උත්සවයක් හමුවේ දෙන සහිත පෙට්ටිය ඇණ ගසා වසා භූමදානය කෙරේ.

මොහොතකට දෙනෙත් වසන්න. දැන් ඔබේ ආත්මයෙන් මිදී මේ කුඩා දරුවාගේ ආත්මය තුළට පිය නඟන්න. අඩියෙන් අඩිය, සෙමෙන් හඬ නොනැඟෙන සේ පියවර තබමින් පා නඟන්න. ඔහුගේ ඇසින් දකින්න. ඔහුගේ කණින් අසන්න. ඔහුට මිහිමත වූ අගනාම වස්තුව අහිමි වී තිබේ. මහත්වරුණි, මීට වඩා ඝන අන්ධකාරයක් ගැන ඔබට සිතිය හැක්කේද?

ඉතාම කෙටියෙන් කියන්නේ නම් මගේ කථාන්තරයද මින් නොවෙනස්ය. එකම වෙනස මගේ මෑණියන් දිවියෙන් සමු ගන්නේ මගේ උපත හා සමගාමීව වීමය. වෛද්‍ය විද්‍යාව මේසා ප්‍රගතියක් ලද යුගයක පවා මෙවැන්නක් සිදු වන්නේ කෙසේද මට සිතා ගත නොහැකිය. දරු උපතෙහි යම් ව්‍යාකූලතාවක් සැක කළේ නම් ප්‍රසව හා නාරි වෛද්‍යවරයා සිසේරියන් සැත්කමක් යෝජනා නොකළේ ඇයිද? එවැන්නක් අනවශ්‍ය යැයි අප්පච්චි කල්පනා කළේද?

ඇය: කොහෙදිද අම්මව නැතිවුණේ?
මම: ඩර්ඩන්ස් එකේදි…
ඇය: ඩර්ඩන්ස් එකේදි…? ඒ කියන්නෙ කොළඹනෙ
මම: ඔව්, නුවර නෑනෙ ඩර්ඩන්ස් එකක්, තිබුණද මන්දා ඒ කාලෙ
ඇය: ඔයා කොහොමද හරියටම කියන්නෙ කොළඹදි කියලා
මම: ඇයි කොළඹදි මිනිස්සු මැරෙන්නෙ නැද්ද?
ඇය: නෑ එහෙම නෙවෙයි…
මම: තමුසෙලාට ඉතින් සාක්ෂි සහිතව ඔප්පු නොකළොත් ලෝකය ගෝලාකාරයි කියලත් පිළිගන්නෙ නෑනෙ. මෙන්න බලනවා මගෙ අයිඩෙන්ටිය. උපත…හරි… දින කොළඹ දීය…සන්තෝසද දැන්?
ඇය: හ්ම්ම්ම්…චරී ඔයා කිව්ව නේද මේ කතාව ලියන්න යනව කියල?
මම: ඔව්..ඇයි?
ඇය: ඒක මේ විදියට කවදාවත් ලියන්න එපා. මිනිස්සු කියාවි අතාත්විකයි කියල…
මම: ඇයි බොරු කියන්නෙ….?
ඇය: ඔයා කියන්න අම්මා නැති වුණේ හ්ම්ම්ම්… හිතමුකෝ තැනක්…රත්නපුර මහ රෝහල…ඒක හොඳයි. අම්ම නැති වුණේ රත්නපුර මහ රෝහලේදි. ඒක වඩා තාත්ත්විකයි…
මම: ඇයි මම සිද්ධ වෙච්චි දෙයක් වෙනස් කරන්නෙ?

ඇත්තෙන්ම මම මේ මාතෘකාව හා සම්බන්ධ කිසිවක් කිසි දිනෙක අප්පච්චි හා කථා කොට නැත්තෙමි. අම්මා ගැන වුවද ඔහු මට කියා ඇත්තේ අල්පවය. ඒද මා කුඩා අවදියේදීය. කුඩා දරුවකු ඉදිරියේදී කට පරිස්සම් කර ගන්ට නොදන්නා නෑදෑයින්ගෙනි, අම්මා ගැන බොහෝ තොරතුරු මා දැනගන්නේ. ඔවුනට අනුව අම්මාගේ පළමු දරු උපතද ව්‍යවර්ථ වී ඇති අතර ඉන් අ‍ය යම් සෞඛ්‍යමය ව්‍යාකූලතාවයකට පත්ව ඇත. වෛද්‍ය උපදෙස්ව ඇත්තේ නැවත දරුවකු බිහි නොකිරීමටය. එවැන්නක් මෑණියන්ට අයහපත් වන්ට ඉඩ ඇති බව වෛද්‍යවරුන් බරපතළ ලෙස අනතුරු අඟවා තිබේ. මගේ දෙමාපියන් මේ අවවාදය නොතකා දරුවකු තනා ගන්ට උත්සාහ දරා තිබේ. එහි ප්‍රතිඵලය එක් ජීවියකු ලෝකයට බිහි වීම හා තවත් ජීවියකු ලෝකය හැර යාමය.

ගණිතමය වශයෙන් එය පද්ධතිය සමතුලිත වීමකි. එක් ජීවයක් විසින් තවෙකක් බැලන්ස් කරනු ලබයි. එහෙත් සැබෑ ලෝකයේදී එවැනි සමතුලිතතාවයක් ඇති නොවේ.

මා නැතිව අම්මා ජීවත්ව සිටියේ නම් අප්පච්චිගේ ජීවිතය කෙසේ වෙනස් විය හැකිව තිබුණේද? මේ මට පිළිතුරක් නොසිතා ගත හැකි පැණයකි. අප්පච්චි අම්මා විවාහ කොට ගත්තේ සමාජ ජීවිතයට ගෑණියෙකුත් ඕනෑ නිසා පමණක්ය යන කතාව මම නොයෙක් වර අසා ඇත්තෙමි. අප්පච්චි ගැහැණුසොඬකු වූ බව ඔහු ගැන දන්නා කිසිවකුට රහසක් නොවූයේය. ඒ හැංගි හොරා නොව බොහෝ දුරට එළිපිටය. පසු කාලයකදී නම් මේ අසංවරකම් තම ගැටවර දරුවාට අසු වේය කිසිදු චකිතයකින් තොරවය. (මේ වෙනම කිව යුතු කතා ගොන්නකි.) තම සෞඛ්‍ය තත්ත්වය ගැන දැන දැනම අම්මා තවත් දරුවකු හදන්ට කල්පනා කරන්ට ඇත්තේ සමහරවිට තාත්තා තමන් වෙතම රඳවා තැබීම උපක්‍රමයක් හැටියට විය හැකිය. ඇගේ මරණය ඔහුගේ සෙල්ලක්කාර දිවියට දුන් ලැයිසමක් වැනි විය.

අම්මාගේ මරණයෙන් පසු මගේ ඉරණමද බොහෝ දුරට යූරිගේ ඉරණමට සමාන්තර විය. මා හදා වඩා ගැනීමට ඕනෑකමක් හෝ පුළුවන්කමක් අප්පච්චිට නොවූ හෙයින් මා ඇති දැඩි වූයේ මගේ මෑණියන්ගේ කිට්ටුම මිතුරියක වූ අප්සරා ඇන්ටි හා ජයන්ත අන්කල් ඇසුරෙහිය. ඔවුනට සිටියේ දැරියන් දෙදනකු පමණක් වීම එක අතෙකින් මා ඇති දැඩි කර ගැනීමට ඔවුන් පෙළඹ වූ මූලික කාරණාවක් විය. අප්පච්චි මාසයකට පමණක් ඇවිත් යන නාඳුනන මිනිසකු වූයේය. මේ නාඳුනන මිනිසා හා මා අතර එක් කාලයක ඇති වූ එකම සම්බන්ධතාවය ඔහු එන විට නොවැරදීම රැගෙන ආ එකම වර්ගයේ කැන්ඩොස් චොකලට් එකයි. මම මේ කැන්ඩොස් චොකලට් එකට එය රැගෙන ආ මිනිසාට වඩා ආදරය කළෙමි.

පස්වන ශ්‍රේණියෙන් පසුව මගේ ජීවිතය පාසැලේද හොස්ටලයේද තාප්ප අතරට සීමාවිය. මම අප්පච්චිට වරද නොපවරමි. අම්මා ජීවතුන් අතර සිටියත් එසේ විය හැකිව තිබුණේය. “Three generations of Trinitians” යැයි ඔහුට ආඩම්බරයෙන් කියන්ට ඕනෑ වූ බව මම දනිමි.  ඔහු මා වෙනුවෙන් කළ යුතු වූ කවර හෝ ආයෝජනයක්, කිසිම මතක් කිරීමකින් තොරව නොවරදවා කළ බැව් සාධාරණත්වයේ නාමයෙන් සටහන් විය යුතුය. ස්කූල් ෆීස් ප්‍රමාද වී යැයි මා නැඟිටවා පන්තියේදී ප්‍රශ්න කළ අවස්ථාවක් මට මතකයට නඟා ගැනීමට අසීරුය. එසේම ධනවත් ව්‍යාපාරියයකු හා පසුව දේශපාලකයකු වූ අප්පච්චිට මුදල් පිළිබඳ ගැටළුවක්ද කිසිදා නොවූ බවත් සඳහන් විය යුතුය.

අම්මාගේ මරණයෙන් පසු අප්පච්චි නැවත විවාහ නොවූයේ මන්දැයි රහසක් නුවූවත් එය සැක හැර දැන ගන්ට මට අවශ්‍ය විය. ඉඳුරුව වෙරළෙහි නාන්ට ගිය දිනෙක මා ඒ ගැන ඇසුවේ වාචාලයකු වූ රත්නායක අංකල්ගෙනි. ඔහු පිළිතුරු දුන්නේ මුවඟට නඟා ගත් සියුම් සිනාවක්ද සහිතවය.

“Why buy a cow when milk is so cheap, putha?”

අප්පච්චි මා කෙදිනක හෝ ‘මව් මරා උපන් කුමරෙකු’ ලෙස නොසැලකූ බවද කිව යුතුය. අප දෙදෙනා අතර පසු කලෙක ඇති වූ දුරස්ථභාවයට හේතු වූයේ වෙනත් කාරණාය. මා මව් මරා ගත්තැයි ඔහු සැලකීම නිසා නොවේ. මට කෙසේ වෙතත් අම්මාගේ මරණය ඔහුට ස්වකීය ගමන් මාර්ගය වෙනස් කරන්ට හේතුභූත වූ සිද්ධියක් සේ සැලැකීමට කරුණු අදත් සොයා ගන්ට පහසු නොවේ. ඔහු සිය සැලැසුම් ඇන්දේ අම්මාගේ මරණය නොසිදුවූ දෙයක් සේ සලකමිනි.

අවසාන නිගමනය: අම්මාගේ මරණය වෙනස් කළේ මගේ ජීවිතය පමණෙකි. අප්පච්චිගේ ජීවිතය නොවේ. එක අතෙකින් මෙසේ කියන්ට බැරිය. සිදු වූ දෙයක්, එය නොසිදුවූයේ නම් අනාගතය මෙසේ විය හැකිව තිබුණාය කියා පැහැදිළි කිරීමට නුපුළුවන. සිදු වූ දෙය සිදු වී අවසානය. ඉන්පසු සියළු සිද්ධීන්ට එය ඍජුව හෝ වක්‍රව බලපායි. අනේ අම්මා හිටියා නම් කියා සිතා මට අනාගතය ලියන්ට නුපුළුවන. ඇය කිසිදිනෙක නොවූවාය. ඇත්ත එයයි.

බොහෝ කාලයකට පසුව මම සමනළයා ගැන උගනිමි. ඔව් බ්‍රසීලයේදී තටු සලා ටෙක්සාස් නුවර කුණාටුවක් ඇති කළ සමනළයා ගැනය. ඇමෙරිකානු ගණිතඥයකු  හා කාලගුණ විද්‍යාඥයකු වූ එඩ්වඩ් ලොරෙන්ස් (1917-2008) සමනළයාගේ උදාහරණය ඉදිරිපත් කරන්නේ ඉතාම කුඩා සිද්ධියක් පවා ඉතිසාහයේ දැවැන්ත වෙනසක් ඇති කළ හැකි බව කියන්ටය. සමනළයා ගැන පළමු කෙටිකතාව ලීවේ රේ බ්‍රැඩ්බරි (1920-2012) වුවද වර්තමානයේ මේ සංකල්පය පිණිස වඩා ගැළපෙන නිදර්ශනයක් වන්නේ තුන් අඳුතු කතාවක් සේ ඇදී ගිය The Butterfly Effect සිතුවම් පටයයි.

අප්පච්චිද, ඒ ආකාරයෙන්ම නොවතුදු සමනළයා ගැන දැන සිටියේය සිතිය හැක්කේ ඔහු මා නම් කළ ආකාරයෙනි.

මට නම තියන්නට, මගේ කේන්දරය පිළියෙළ කළ ගම්පහ වෙද මහත්තයා විසින් (ඔහු ගම්පහ වෙද මහත්තයා වූයේ ගම ගම්පහ නිසා නොවන බවත් ලිවිය යුතුද?) ලබා දුන් එක් අකුරක් වූයේ ‘ච’ යන්නය. ආත්තම්මාගේ අදහස වූයේ මා “චන්දන” ලෙස නම් කළ යුතු බවයි. (අම්මාගේ මරණය හමුවේ පවා මගේ පිය පාර්ශ්වය මේ කාරණා ගැන දැක්වූ සැලකිල්ල ගැන පුදුම නොවන්න. ඔබ මේ කියවන්නේ KGB – Kandyan Govigama Buddhists ලෙසින් හඳුන්වනු ලැබූ ලාංකීය උඩරට ගොවි බොදු ප්‍රභූ පවුලක කථාන්තරයයි.)

“චන්දන…? චැහ්. චන්දන කියන්නෙත් නමක්ද?” ඒ අප්පච්චිය.

“ඇයි මොකද ‘චන්දන” කියන නමේ වැරැද්ද?”

“චන්දන අපට – අපි චන්දනට – නෑ ඒක යන්නෙ නෑ. නම ඊට වැඩිය සරල වෙන්න ඕනැ. චරිත් අපට – අපි චරිත්ට කියන එක ඊට ලේසියි…”

මා චරිත් කාලිංග බණ්ඩාර වූයේ එලෙසය. “කාලිංග” යන නම එකතු වූයේ අප්පච්චිගේ හොඳම මිතුරකු සිහිවීම පිණිසය.

(සමනළයා නැවත පියාපත් සලන තුරු…………..ඉවසන්න )

Advertisements
Leave a comment

12 Comments

  1. මට නං මෙතන කිසිම වෙනසක් පේන්නේ නෑ අපේ සක්වලේත්, මේ කතාව වෙන සමාන්තර මෙව්වා එකේත්.

    ඩර්ඩන්ස් ඩර්ඩන්ස්මය
    ට්‍රිනිටිය ට්‍රිනිටියමය
    මානෙල් සුවඳමය
    පොලිටික්කෝ ගූ ගඳමය!

    Reply
    • දැන් පෝස්ට් ගානක මම බලන් හිටියා… කකා ඉල්ලන්නෙම සේරම අඥ්ඥකොරොස් වෙලා යන සමාන්තර මෙව්වා එකක්… 😀 ඉතින් අනන්තයක්ද කොහෙදෝ තියෙනවාලුනේ… ඒ වෙන එකක කකාගේ විදියට වෙනවලු.. මෙයාට මේක මෙහෙම ලියාන්ඩ දෙනඩකෝ… 😀 😀

      Reply
      • මොකද පොර පටන් ගත්තේ අපිට අන්දලා නේ මේ පැරලල් සක්වලක් ගැන කියලා. මං මුලිං හිතුවේ මේක Sci-Fi කතාවක් කියලයි. ඊලඟට බලං හිටියේ මේ කියන වෙනස් ලෝකේවත් හොඳ පොලිටික්කෝ, මිනිස්සු, සමාජයක් ඇති කියලායි.

        ආයෙ ඒ වගේ කමෙන්ට් නෑ. ඊයේ වටහා ගත්තා!

      • කකාට විතරක් නෙවෙයි හසන්ත මහත්තයෝ, චරිත්ටත් ඕනැ පාරේ නෙවෙයි දැන් කතාව යන්නේ. මේ බලන්ටකෝ!

        Me: Sorry about this, but I had to kill your hero Sarath Fonseka. It will be too complicated if he survives.

        Charith: haiyoo.. k k .. kill him with a bang.. then there will be a big twist on ur story

        – ලේඛක

      • Seriouslly KaKa, let him do his thing.

        PS: However thanks for directing us here.

    • Chaos

       /  August 24, 2012

      මේ නාකි හුචක්කුව මල වදයක් වුනානෙ. මාකටිං කියල මෙහෙමත් වදයක් වෙන්න තරං මේ පොතේගුරා තුප්පහියෙක් වුනාද?

      Reply
  2. DDT

     /  August 2, 2012

    හ්ම් …. බලමු ඊළඟ කොටසත්.

    Reply
  3. Kasun

     /  August 4, 2012

    අපි දන්න චරියා නම් කාලිංග එක්ක හිටියෙ හෙන අවුලෙන්.. චරිත් කාලිංග බණ්ඩාරත් එහෙමද?

    Reply
    • Kasun

       /  August 4, 2012

      මහා පතරංග tag list එක බැලුවහම නම් පේන්නෙ ඒ චරියාත් මේ චරියාත් එක්කෙනෙක් විය හැකි බවයි.

      Reply
  4. තාම ලස්සනට යනවා . . . ඉස්සර ඩුබායි වට්ටකා ලියපු පුතා තමා මට කිව්වේ කකා දිල්ෂාරගේ බ්ලොග් පෝස්ට් එකක මේ බ්ලොග් එකේ ලින්ක් එක දාලා ඒක කියවන්න කියලා . . .මේ අපූරු බ්ලොග් එකට ඩිරෙක්ට් කරපු හැමෝටම බොහෝම ස්තූතියි

    Reply
  5. හ්ම්ම්ම්…මෙහෙම අහනවට සමාවෙන්න ඕනෙ

    Reply
  6. මේ නම් ටැබූමැයි (?)

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: