(16) කුඩු කුඩු කුඩු || Drugs Drugs Drugs

  • කාලය: 2009, සමාන්තර විශ්වය
  • ස්ථානය: දකුණු පළාත, ලංකාව

**********(ඇඹිලිපිටියේ පියදාස කියන කතාව )**********

[මෙය ලේඛකයා විසින් සංස්කරිතය. ඇඹිලිපිටියේ පියදාස සඳහන් නොකළ තාක්ෂණික තොරතුරු යම් ප්‍රමාණයක්ද ලේඛකයා විසින් එකතු කර ඇති බව කරුණාවෙන් සලකන්න. Track changes නොපෙන්වන්නේ පාඨකයාට කියැවීමේදී වන අපහසුව වැළක්වීම පිණිසය.]

මේ දවස් වල නම් ජීවිතේ මල්ය. මේ තරමට බිස්නස් නැඟලා ගිය කාලයක් මගේ මතකයෙහි නොවේ. මැඩම්ට අනේක වාරයක් ස්තූතියි! ජනතාවගේ දුක දන්නා මේ කාර්යශූර නායිකාවට යහපතක්ම වේවා! ඇය කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර දෙවියන් විසින් රැක ගත යුතුයි.

මම කුඩුකාරයෙක්මි. ඒ කුඩු නිෂ්පාදකයා යන අර්ථයෙන් මිස, කුඩු භාවිතා කරන්නා යන අර්ථයෙන් නොවේ. අතිශය කලාතුරෙකින් ජොයින්ට් එකක් ඇද්දාට ඔය ජරාව දිනපතා පාවිච්චි කරන පුරුද්දක් මට නොවේ. I am a responsible business person, you know? අපේ කුඩු නිෂ්පාදන ව්‍යාපාරයත් කොළඹ කොටස් වෙළෙඳපළෙහි ලියාපදිංචි වී තිබුණේ නම් මා එහි ප්‍රධාන විධායක නිලධරයාය. MBA එකක් ඇරුණාම, ව්‍යාපාරික ඥානය ඇතුළුව, කිෂූ ගෝමස්ට හා හාන්ස් විජේසූරියට ඇති බොහෝ දේ මටද තියේ. අද නිකම්ම නිකම් පියදාස වුවද මා ඉගෙන ගත්තේද කොළඹ ආනන්දයේය. (මේ මගේ නියම නම නොවේ. නමුත් පරිසරයේ හැටියට සමහර දේ පරිණාමය වන බව අසංග සර්ගේ ක්ලාස් ගිය නිසා මම දනිමි.) පමාදෝ මච්චුනෝ පදං නිසා මගේ බොහෝ ක්ලාස් මැට්ටන් ගිය දුර මට යන්ට නොහැකි විය. එනිසා ඔවුන් තරමට පොතපත නූගත්තද, ඔවුන්ට වඩා සමාජය ගැන දැනුම්වත්ව, ඔවුන්ට වඩා පොහොසත්ව, ඔවුන්ට වඩා අනිවාර්යයෙන්ම බලවත්ව ගෙවන මේ දිවිය මම තෝරා ගත්තෙමි.

මම ධනවතෙක්මි. අපේ පළාතේ ජෙප්පන්ට ඉරිසියා කරන්ට තරම් ධනවතෙක්මි. මගේම මහන්සියෙන් උපයා ගොඩ නැඟූ ගෙවල් කිහිපයක්ද මට වේ. එසේම මේ මගේ එකම ව්‍යාපාරයද නොවේ. රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන ව්‍යාපාර සමුළු වලට ආරාධනා ලබන්ට තරම් වන වෙනත් ව්‍යාපාරද මට තියේ. මගේ දරුවන් ඉගෙන ගන්නේ කොළඹ දේවි බාලිකාවේත් ගාල්ලේ මහින්දයේත්ය. ඇඹිලිපිටිය හෝ මොරකැටිය මහා විද්‍යාල වල නොවේ.

ගිය සතියේ මැඩම් කතරගම දේවාලය වන්දනා කොට නැවත කොළඹ බලා ගියේ ඇඹිලිපිටිය රත්නපුර පාරෙන්ය. මැතිවරණය පෙනෙන තෙක් මානයට පැමිණි කල්හි දේශපාලකයෝද චොපර් එක පැත්තක තියා බිමින් යන්ට රිසි වෙති. ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට ජය මඟුල් කියන්නේ ඕවාටය. අපේ ලොක්කා මැඩම් ගේ කොන්වෝයි එකට අමතර ඇම්බියුලන්ස් එකක් එකතු කළේය. මොකද කොටි බෝම්බයක් තිබ්බොත් හෙම එක ඇම්බියුලන්ස් එකක් මදිනෙ. ඒක පිඹගෙන මැඩම් පිටිපසින්ම කොළඹ ගියේ අපේ බඩු තොගයක්ද පටවාගෙනය. ඒ ටික (මා නොහඳුනන හා හඳුනාගන්ට කිසිම අවශ්‍යතාවයක් නැති) කොළඹ සප්ලයර් කෙනෙකුටය. මැඩම් ඕවා නොදනිතැයි සිතමි. දැන් ගත්තත් මැඩම් අපි පොඩි බිස්නස් එකක් කරගෙන මිනිහෙක් වෙනවාට ඉරිසියා නොකරයි. අපට ඉරිසියා කරන්නේම මේ පොලීසියේ වාහෙලාය. මුන් නම් පුදුම ජරා පප්පලාය. මගේ ආදායමින් බාගයක් යන්නේ මුන්ට ජරාව දෙන්ටය.

අපට කොළඹට (හෝ දිවයිනේ වෙනත් ප්‍රදේශයකට) බඩු යවන්ට වෙනත් ක්‍රම සහ විධි තියේ. ඒත් ලොකු බඩු තොගයක් ආරක්ෂාකාරීව යවන්ට මේ තරම් සඵලදායක වෙනත් ක්‍රමයක් නොවේ. කොයිතරම් ඔත්තු හම්බවුණත් ජනාධිපති කොන්වෝයි එකක යන රථයක් නතර කර චෙක් කරන්ට තරම් කොන්දක් ඇති පොලිස්කාරයෝ මේ රටේ නොවෙති. අප මේ ක්‍රමයට කැමැති ඒකයි.

“බල්ලෙක් එනකල් ඉන්නවද, නැත්නම් පයින් යනවද?” කියා රාත්‍රී චිත්‍රපටයක් නරඹා ගෙදර යන බලුමැක්කකු බලුමැක්කියගෙන් ඇසුවේලු.

අපත් මේ වගේමය. අප අසන්නේ බඩු ටික වෙන විදියකට යවනවද, නැත්නම් ජනාධිපති/අගමැති ආපහු කතරගම වන්දනා කරන්ට එනකල් ඉන්නවද කියාය.

මා සම්බන්ධ නිෂ්පාදනයට හෙයින් බඩු කොළඹ ගියත් නැතත් ලොකු ගැටළුවක් නැත. ඒ හැම කුඩු තොගයකටම අපට අත්පිට මුදල් ලැබෙන නිසාය. මෙසේ 100%ක් අත්පිට මුදලට ක්‍රියාත්මක වන වෙනත් බිස්නස් තියේ නම් මා දන්නේ මැතිවරණ පෝස්ටර් ගැසීම පමණය. ඒකද මුදල් අතට ලැබෙන තෙක් මුද්‍රණාල හිමියා ප්‍රින්ටරය ක්‍රියාත්මක කරන බිස්නස් එකකි. දෙඤ්ඤං කාසි කවදාවත් ෂුවර් නැති නිසාය.

කුඩු වෙළඳාම අත්පිට මුදලට වන්නේ තවත් කාරණා රාශියක් නිසාය. කුඩු තොගයක් ඕනෑම මොහොතක පොලීසියට හසුවීමේ හෝ ‘ගල්වීමේ’ අවදානමක් පවතියි. ඇත්තටම ගමනාන්තය කරා ළඟා වන්නේ අපේ නිෂ්පාදන වලින් භාගයටත් අඩු ප්‍රමාණයකි. පොලීසියට හසුවන හෝ ‘ගල්වන’ (ගෝලයකු මඟදී මාටියා පාර දෙන) කුඩු තොග වලින් කිසිම ආදායමක් නොලැබේ. ණයට දුන්නේ නම් ඒ කවදාවත් නොපියැවෙන ණයකි. එනිසාය කවමදාවත්, නිෂ්පාදනයේ කවර මට්ටමකදීවත් කුඩු ණයට නොවිකිණෙන්නේ. එසේම අවබෝධ කර ගත හැකි හේතූන් නිසා සප්ලයි චේන් එකේ පුරුක් අතර ණය ගනුදෙනු වලට තරම් යාළුකමක්ද නොවේ.

පසුගිය සමය හොඳය කීවේ බලා සිටිද්දීම ඉල්ලුම ඉහළ ගිය නිසාය. එසේම ඒ ඉල්ලුමට සැපැයීමේදී වෙනදා වගේ පොලීසියෙන්ද ලොකු ගැටළුවක් නොවූ නිසාය.

ලෝකයේ බොහෝ දියුණු රටවලට මත්ද්‍රව්‍ය එන්නේ පිටිනි. ලංකාව වෙන මොනවායින් නැතත් මතින් ස්වයංපෝෂිතය. අපේ රටට විදේශයන්ගෙන් ලැබෙන මත්ද්‍රව්‍ය තොගය ප්‍රමාණාත්මකව සුළුය. ඒද හෙරොයින්, කොකේන් වැනි වඩා ප්‍රබල මත් ද්‍රව්‍යයි. දුර්වල මත්ද්‍රව්‍ය වැඩි හරියක්  වැඩි හරියක් අපිම නිෂ්පාදනය කර ගන්නෙමු. හැම භාණ්ඩයක්ම පිණිස මෙසේ නම් රටේ ආර්ථිකය මීට වඩා බොහෝ ඉදිරියට යනු ඇත්තේය.

Cannabis  හා marijuana (නිවැරදි උච්ඡාරණය ‘මරිජුවානා’ නොව ‘මරුවානා’ විය යුතුයි.) ඇතුළු තවත් නම් රාශියකින් හඳුන්වනු ලබන මත්ද්‍රව්‍යයේ මූලය Cannabis හෙවත් ‘කංසා’ ලෙස පොදු ව්‍යවහාරයේ හඳුන්වනු ලබන එකම පැලෑටියකි. වඩා නිවැරදි වෙතොත් Cannabis sativa, Cannabis indica  හා Cannabis ruderalis  නම් පැලටි තුනක කුලකයකි. මේ පැලෑටි delta-9-tetrahydrocannabinol (Δ9-THC) නම් භ්‍රාන්තිකාරය රසායනය නිපදවනු ලබයි. ශරීර ස්කන්ධයෙන් කිලෝග්‍රෑම් එකකට මයික්‍රොග්‍රම් 10ක් වැනි සුළු ප්‍රමාණයකින් ශරීර ගත වුවද මේ රසායනිකය කෙනකුගේ මුඩ් එක වෙනස් කිරීමට හා ඉන්ද්‍රජාලික පරිසරයක් නිර්මාණය කිරීමට සමත්ය. වෙනත් මත්ද්‍රව්‍යයන්ට සාපේක්ෂව ඇබ්බැහි වීමේ ගුණය අඩු වුවද මීට ලොකු ඉල්ලුමක් ඇතිවීම මින් තේරුම් ගත හැක්කේය.

පැලෑටියෙන් නිස්සාරණය කරන මේ රසායනිකය ශරීර ගත කරන ක්‍රම රාශියකි. මෙයින් වැඩි හරියක් මා නොදන්නේය සිතමි. මා දන්නා ක්‍රම වලින් වඩාත්ම ප්‍රචලිත අදාළ පැලෑටියේ වේලූ මල් හෝ දළු පුළුස්සා දුම ආඝ්‍රාණය කිරීමයි. මෙය මේවා ඊයම් කොළයක දවටා හෝ සිගරැට්ටුවකට එක්කොට ‘ජොයින්ට් එකක්’ හදාගෙන කළ හැකිය. නමුත් මේ ක්‍රමයේ කාර්යක්ෂ්මතාවය අඩුය. දහනය වැඩිය. වඩා සඵලදායක මේ ශාක කොටස් ඉහළ උෂ්ණත්වයකදී (සෙල්සියස් අංශක 200 පමණ) දහනය කරන ‘වේපරයිසරයක්’ භාවිතයයි. ආර්ථික හේතු නිසා එවැන්නන් ලංකාවේ භාවිතා වන්නේ අතිශය කලාතුරෙකිනි. මීට අමතරව මේ මත්ද්‍රව්‍ය විවිධ දියරයන්ට එක් කළ පානය කළ හැකිය. දිවයිනේ බොහෝ පළාත්වල මේ සඳහා භාවිතා වන සුලබ පාන නම් සාමාන්‍ය තේ හෝ කෝපිය. එසේ නැතිනම් කසිප්පුවලට වුවද මිශ්‍ර කර ‘ඩබල් එෆෙක්ට්’ එකක් පිණිස පානය කළ හැකිය. බියර් වුවද නරකම නැත.

ලංකාවේ කංසා ඉල්ලුම බොහෝ දුරට සපිරෙන්නේ දිස්ත්‍රීක්ක තුනෙකිනි. ඒ මොණරාගල, හම්බන්තොට හා අම්පාරය. පළමුවැන්නේ මාකට් ෂෙයාර් එක 50% වත් විය යුතුය. 1950 දශකයේ හා ඉන් පෙර වියළි කලාපයේද බහුල ලෙස කංසා වැවූ මුත් (මේ කාලයේ රජරට සාපේක්ෂව ජනශූන්‍ය ප්‍රදේශයකි.) පසු කාලීනව ජනවාර්ගික ගැටුම් හා කැලෑ එළිවීම් යනාදිය හේතු කොට ගෙන දැනට කංසා වගාව ලංකාවේ ගිනිකොණදිග කලාපයට බොහෝ දුරට සීමා වී තිබේ. පනස් ගණන් වල මුල හරියේ ක්‍රියාත්මක වූ ‘කංසා සංහාරය’ ද වියළි කලාපයේ කංසා වගාව අඩු වෙන්ට හේතුවකැයි සිතිය හැක්කේය. ඇත්තටම ඒ නිසා රටේ කංසා නිෂ්පාදනයේ පසු බෑමක් විය එය නැවත දළු ලා වැඩෙන්ට පටන් ගත්තේ 1977 න් පසුවය.

දකුණු ඇමෙරිකාවේ සේම මේ ප්‍රදේශ වලද මේ කර්මාන්තයෙහි නියැළි ව්‍යාපාරික හා දේශපාලන බලවත්තු ‘කාටල්’ නිර්මාණය කර ගෙන සිටිති. මේ කාටල් වල ක්‍රියාකාරිත්වයද, ඒවා අක්‍රිය නොකළ හැකි කාරණාද අන්තර්ජාතික ඒවාට බෙහෙවින් සමානය. (දකුණු ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම ගැන දීර්ඝ විස්තරයක් පිණිස Frederick Forsyth ගේ ‘The Cobra’ කියවන්න. – ලේඛක) කාටල් හැසිරීම ගැන සවිස්තර තොරතුරු කතාවට අනවශ්‍යයි. එක් එක් දිස්ත්‍රික්කයේ ප්‍රබලයා දැන ගැනීම සෑහේ. හම්බන්තොට නම් අපේ ලොක්කාය. මොණරාගල නම් පුෂ්පයාය. අම්පාරේ කවුද කියා හරියටම නොදනිතත් කල් ඉකුත් වූ කිරි පැකට් බොන්නට දී පාසලක් ලෙඩ කළ නයා මහත්තයා එක චරිතයකි. පොළොන්නරුවේ සිරිසේනලා වී වෙළඳාම පාලනය කරන්නාක් සේ මේ මහා පුරුෂයෝ ගිනිකොණදිග ලංකාවේ කංසා වගාව හා වෙළඳාම පාලනය කරති.

ඔවුන් අතරින්ද මොණරාගල පුෂ්පයා ට්‍රේඩ් එකේ රියල් එක්ස්පර්ට් කෙනෙකි. මේ කියන්නේ ඔහුට නුවර එළියේ තේ වතු ගානට මොණරාගල කංසා වතු ඇති බව නොවේ. යාල මහ වනය තුළ වුවද එසේ අඩියෙන් අඩියට කංසා වගාවන් නැත. කංසා වවනුයේ අතිශයින් රහසිගතව වෙනත් වගාවන් හා මිශ්‍රිතවය. අහම්බෙන් හමුවුවහොත් මිසෙක සොයා ගන්ට පහසු නැත.

නමුත් යාල මහ වන මැද කංසා හේන් නැතිවාම නොවේ. කැබැලිත්ත සියඹලාපේ දේවාලය වඳින්ට යන වන්දනාකරුවන්ට දෙන පොදු උවදෙසක් නම් රටතොට දන්නා, ප්‍රදේශයේ කෙනෙක් කැටුව යන්ට කියන එකය. නැති නම් දේව අනුහසින් අනිවාර්යයෙන්ම අතරමං වේය කියති. මේ මිථ්‍යාවකි. පුෂ්පයාගේ ගෝලයින් විසින් උවමනාවෙන්ම පතුරන ලද මිථ්‍යාවකි. එවැනි මිථ්‍යාවක් පැතිරවීමට හේතුව මඟ වැරදෙන නඩයක් පුෂ්පයාගේ කංසා හේනකට පිවිසෙන්ට ඉඩ ඇති නිසාය. කංසා හේන් තියෙන තැන දන්නා මාර්ගෝපදේශකයෝ ඒවා මඟ හැර වන්දනා නඩ දේවාලයට ගෙනියති.

මා මේ හැම දෙයක්ම ඔබට කියන්නේ ඇයි? මේ සියල්ල කතාවට අදාළද?

මම නොදනිමි. පිළිතුරු සොයන්ට නොවෙහෙසෙමි. මම මේ සිස්ටම් එක නැමැති යන්ත්‍රයේ පුංචි දැති රෝදයක් පමණක්මි. තමන්ට කැමැති වේගයකින් තමන්ට කැමැති අතකට කැරකෙන්ට කිසිම දැති රෝදයකට නුපුළුවන.

ඉදින් එසේ වී නම් මට එදා හවස ලැබුණු දුරකථන ඇමැතුම නොසලකා හරින්ට පුළුවන්කම තිබුණේය. මා දැතිරෝදයක් පමණක් වූ නිසා එය කරන්ට බැරි විය.

මා සිටියේ දිවා ආහරයෙන් පසුව, තිස්සමහාරාමයේ මගේ දෙමහල් නිවසේ උඩ තට්ටුවේ සුව නින්දකය. කොළඹ විධායක නිලධරයන් සේම අපිද power naps ගනිමු. කොයි මොහොතෙහි ලොක්කා හෝ අමාරුවක වැටුණු ගෝලයකු හෝ කතා කරයිද නොදන්නා නිසා ජංගමය ක්‍රියා විරහිත නොකොට, නින්දට ගියද, වැසිකිළියට ගියද මා ළඟින්ම තබා ගෙන සිටීමේ පුරුද්දක් මට විය. එදා ජංගමය වැදුණේ මගේ IMAX හීනයක් මැදය.

“පියදාස…”

ඒ ගැඹුරු කටහඬ! මම වහා අවදි වීමි.

“ඔව් සර්….?”

“කොහොමද දැන් වැඩ කටයුතු…?”

“අනේ වරදක් නෑ සර්. සර්ලගෙ පිහිටෙන් ඉන්නවා…”

“හඃ හඃ හඃ අපේ පිහිටෙන් නෙවෙයි මනුස්සයෝ. තමුන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බ කරගෙන කියල කිව්ව නම් හරි. අපි මොනව කරලද…? ඒක නෙවෙයි, අම්ම හෙම සනීපෙන්ද?”

“ඔය පොඩි පොඩි ලෙඩ ටිකක් තියෙනවා සර්. කොහොමටත් වයසයිනෙ දැන්. ඒ ඇරෙන්න ලොකු අමාරුවක් නම් නෑ…”

“වයසට යන කොට කොහොමත් ඔහොම තමයි මනුස්සයෝ. තමුසෙටයි මටයි වුණත් ඒමයි…අෂ්ඨ ලෝක ධර්ම චක්‍රය!”

“මොනවා කියනවද සර්…සර්, හදිස්සියකටද කතා කළේ…?”

“මටම කියලා වැඩකට නෙවෙයි අයිසේ. මගේ යාලුවෙකුට කෙනෙක්ගෙ විස්තර හොයනවා. මම හොයන්ට ට්‍රයි එකක් දුන්නා. හරිගියේ නෑ. බැරි තැන තමයි තමුසෙට කතා කරන්න හිතුණේ…”

“කවුද සර්? දන්න කෙනෙක් නම් කියන්ට බැරියැ…”

ඔහු නමක් සඳහන් කළේය. මගේ ඉහේ සිට පාදාන්තයට විදිලියක් ඇදී යයි.

“මාත් ළඟකදි දැක්කෙ නෑ සර් මේ පැත්තෙ. ළඟකදි කිව්වෙ අවුරුදු හත අටකින්. අන්තිමට දැක්කෙ මයෙ හිතේ…අතපත්තු මහත්තයගෙ අයියගෙ අවමඟුලෙදි. ඒත් ඔය මිනිහා ගමට එනවා කියලයි කියන්නෙ. පොඩ්ඩක් හොයල බලන්නම්කො…”

“අනේ, පොඩ්ඩක් බලල මට කියනවකො…” ඔහු ලයින් එක විසන්ධි කරයි.

මේ කරුමය මෙතැනින් ඉවර කළ යුතුය මට සිතෙයි. මා කුඩු බිස්නස් කරන එක එකකි. වෙන අනම් මනම් වලට පැටැළී හිරේ විලංගුවේ ලගින්ට මට ඕනෑ කමක් නැත. ඔන්නොහෙ මොකුත් නොකර හිටියාම හරි. ආපහු ඇහුවොත් කියනව මෑන්ස් ගම් පළාතෙ ළඟකදි ඇවිත් ගිහිල්ල නෑය කියල. මොකෝ සී. අයි. ඩී. එකෙන් දාල හොයන්ටයැ මං බොරු කිව්වය කියල?

මගේ දුරකථනය නැවත නාදවෙයි. ඒ ගෝලයෙකි.

“ඔව් මොකද…?”

“සර්, අර විල්ලුව ගාව වගාවට පොලීසියෙන් පැන්න අද උදේ. මට නම් දුව ගන්ට ලැබුණ. හැබැයි කොල්ලො ටිකක් මාට්ටු වගෙයි පේන්නෙ. ලොකු ඩැමේජ් එකක් නෑ අපට එතැන බඩු ගොඩක් නොතිබිච්චි නිසා. සර්…අහු වෙච්චි කොල්ලො…”

“හරි. තමුසෙ බය නැතුව ඉන්නව. පුළුවන්නම් ගෙදර යනව මේ ටිකේ. මං බලා ගන්නම්…”

මේ මාසෙකට සැරයක් දෙකක් වෙන දෙයකි. එක්කෝ අප පාඩමක් ඉගෙන ගත යුතුය. නැතිනම් උන් පාඩමක් ඉගෙන ගත යුතුය. ගහන්ට ගහන්ට වඳින මිනිහා සේම වඳින්ට වඳින්ට ගහන මිනිහාද මෝඩයෙකි.

මෙවර ඇති එකම වෙනස ලොක්කා රටේ නැති අවස්ථාවක මේක වීමය. ඔහු බැංකොක්වල සතියක සවාරියක් සඳහා, ගිය සැරේ ඕ ලෙවල් කර ගෙදර හිටි, පොඩ්ඩක් සාරංග දිසාසේකර වගේ ලුක් එක තිබුණු, සෝමක්කාගේ කඩවසම් මුනුබුරාටද නිකං ටිකට් එකක් අරගෙන දී එක්කගෙන පිටව ගියේ ඊයේ උදේය.

වෙන කරන්ට කිසිම දෙයක් නැත. මම ජංගමය අතට ගෙන Received Calls ලැයිස්තුව බලා එහි උඩින්ම ඇති අංකයට කථා කරමි.

.

.

(ඉවසන්න……….සමනළයා නැවත පියා සලන තෙක්)

(15) පොලිස් වෙඩි පහරින් පේරාදෙණියේ සරසවි ශිෂ්‍යයකු මරුට || A death at Peradeniya University

  • කාලය: 1976, සමාන්තර විශ්වය
  • ස්ථානය: මධ්‍යම පළාත, ලංකාව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

ඩග්! ඩග්! ඩග්!…!”

“වෙඩි තියනවෝ…”

පොලීසිය වෙඩිතබාවිය කියා කල්පනා කරන්ට අපට කිසිම හේතුවක් නොවීය. වෙනදා මේ වගේ පඩ ෂෝ එකක් කඳුළු ගෑස් වලින් අවසන් වෙයි. අප විසිර යන නිසා උන්ට සන්තෝසය. අරමුණ වෙනුවෙන් කඳුලු ගෑස් පාරක් කෑවාය කියා අපටද අම්බානට සන්තෝසය. Win-Win Situation එකකි.

මේ බැල්ලිගෙ පුත්තු කවර හෝ හේතුවකට එදා අපට වෙඩි තැබුවෝය. මීට වඩා සීරියස් කුණුහරුපයක් මගේ කටට නාවේ KGB (Kandyan-Govigama-Buddhist) පවුල් පසුබිම නිසාම පමණෙකැයි සිතමි.

මේ සිද්ධිය ප්‍රතිනිර්මාණය කරන ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’ සිතුවම් පටය (මතක හැටියට) ඒ සඳහා තෝරාගෙන තිබුණේ ඉංජිනේරු පීඨය පැත්තේ කණ්ඩියකි. සිනමාත්මක හේතූන් නිසා එසේ කළා විය හැකිය. කණ්ඩිය පහළ සිට කැමරාව මෑනුවාම අපූරු රූප රාමුවක් මැවේ. නමුත් සැබෑ ලෝකය එසේ සිනමාත්මක නොවේ. එහි ඇති සුන්දරත්වයක් නැත. අප සිටියේ කණ්ඩියකද නොවීය. පොලිසිය අපට වෙඩි තබන විට අප හිටියේ ගලහ හන්දිය පේනතෙක් මානයේ පරණ ගලහ පාරේය. පෝස්ට් ඔපීසියට පොඩ්ඩක් එහායිනි.

මා සිටියේ ශිෂ්‍ය කණ්ඩායමේ පසුපස කොටසේය. එසේ වන්ට හේතුවක් තිබිණි. සමවාදීන් (යූ. එන්. පී. කාරයින්) වූ අපට මේ සටනට එක් වන්ට පුළුවන් වූයේ අප ආණ්ඩු විරෝධීන් වූ නිසාම පමණෙකි. එසේ නැතිව අපට එහි වැඩි ඉඩක් නොවීය. සටනෙහි පෙරමුණ ගත්තෝ ඒ වන විට ආණ්ඩුවෙන් හැලී සිටි සමසමාජ හා කමියුනිස්ට් පාක්ෂිකයෝය. විරෝධතා සංවිධානය, පෝස්ටර් ගැසීම ආදී සියළු බරපැණ උන් ගෙනි. අපෙන් සයිඩ් සපෝට් එකක් විතරය. හැබැයි මේ මෝලුන්ගේ ගොන්කම කෙතෙක්ද කියතොත් මුන් මුළු වැර යොදා පාර තනමින් සිටියේ අපටය.

“දුවපිය පරයිනේ මුන් පිස්සු බල්ලො වගේ වෙඩි තියනවා…”

ඉදිරියේ වූ නාඳුනනන්නකු සාමුහික අවවාදයක් /අණ කිරීමක් කළේය.

මා හැරි දුවන්ට වෑයම් කළ මුත්, පය පැකිළී උඩු බැලි අතට වැටුණේය. කිහිප දෙනෙක් මා පාගාගෙන දිව ගියහ. එකකු අඩිය තැබූයේ මගේ යටි බඩට හෙයින් මොහොතකට හුස්ම හිරවිය.

උඩු බැලි අතට වැටී සිටි තත්පර කිහිපය තුළ මගේ මතකයන් දෙකකි.

පළමුවැන්න එකකට පසු එකක් කිට්ටුවෙන් ඇසුණු වෙඩි හඬ කිහිපයයි.

දෙවැන්න මගේ දර්ශනපථය සිසාරා ඉගිළ ගිය කහ පැහැති සමනළයාය.

කවුරුන් හෝ පෑගූ මගේ උදරය තවම වේදනාත්මකය. මේ ඒ ගැන සිතන්ට වෙලාවක් නොවේ. මම මොහොතෙකින් නැඟී සිට ගාල කැඩුණු හරක් රැළක් සේ දිවයන සිසු පිරිසට එක්වීමි. මේ එල්ලයක් නැතිව දිව ගිය ගමනෙකි. අප කොටසක් නතර වූයේ එහා පැත්තේ වෛද්‍ය පීඨයේ ගොඩනැඟිල්ලක් අසළය. ‘අප’ කිව්වාට මේ මගේ කණ්ඩායම නොවේ. උන් කොහි දිව ගියේද මම නොදනිමි. මේ කොහෙද යන වම්මුන් රැළකි. අවස්ථාවේ අවශ්‍යතාවය විසින් අප එක පත කන සහෝදරයින් බවට පත් කොට තිබේ.

“අධිරාජ්‍යවාදී මුරබල්ලෝ…”

“පාලක පන්තියේ කටුකන පන්ති විරෝධී ජඩයෝ…”

“පරයෝ…පක්කලියෝ…අවස්ථාවාදියෝ…”

“අටපාස් ප්‍රතිගාමියෝ…”

මේ කාල් මාක්ස් මහාචාර්යතුමා විසින් සංස්කරණය කරන ලද, මා පරිහරණය කොට නැති, ශබ්ද කෝෂයක කුණුහරුප බවට මට අවබෝධ වූයේ ටික වේලාවකට පසුවයි. දැන් කුණුහරුපවලින් බැණ ඵලක් නොවේ. කාට හෝ වෙඩි වැදුනාද සොයා ගත යුතුය. සමහර විට මුන් අප එළවන්ට අහසට වෙඩි තියන්ට ඇත. වැරදිලාවත් කවරකුට හෝ වෙඩි වැදී ඇති නම් රෝහලකට ගෙන යන්ට කටයුතු කළ යුතුය.

මගේ නව සහෝදරයින්ට ‘විප්ලවය ඉදිරියට ගෙන යෑමේ වගකීම’ තම ඇද වැටුණු සගයින්ට මක් වීද සොයා බැලීමේ වගකීමට වඩා වැදගත් වූ හෙයින් වෙඩි තැබීමේ ප්‍රතිඵල මට දැන ගන්ට ලැබුණේ තවත් බොහෝ වේලාවකට පසුවයි. ශිෂ්‍යයින් පස් හය දෙනකුටම වෙඩි වැදී තිබේ. ඉන් තිදෙනකුට අසාධ්‍යය. කටකථාව එකකු නම් දැනටමත් මළ බවයි. පොලීසිය විසින් තුවාලකරුවන් මහනුවර රෝහල වෙත ගෙන ගොස් තිබේ.

පැයක් දෙකක් අවිනිශ්චිතව ගෙවී ගියේය. පිහියෙකින් කපන්ට තරමට දැඩි වූ පීඩක සිතිවිලි මම විස්තර කරන්ට නොයමි. වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නායකයකු වූ රෝහණ වීරසූරිය නියත වශයෙන්ම මිය ගිය බැව් අප දැන ගත්තේ දොළහයි හතළිස්පහේ ගුවන් විදිලි ප්‍රවෘත්ති වලටය.

ආණ්ඩුවට නිසැකවම මේ පුවත යට ගැසීමට ඕනෑ වෙන්ට ඇත. නමුත් මේ සංක්‍රාන්ති සමයේ හැම රජයේ ආයතනයකම යූ. එන්. පි. යට හිතැති පොඩ්ඩන් ලේයරයක් බිහිකිරීම තුළින් ඒවායේ පාලනාධිකාරියටවත් කර ගන්ට නොහැකි වූ දේවල් මේ ආයතන වලින්ම කර ගැනීමේ කලාව ජේ.ආර්. මෙන්ම ප්‍රේමදාසද ප්‍රගුණ කළ සිටියෝය. සමහරවිට ගුවන් විදිලියේ ප්‍රවෘත්ති කියැවූ නිවේදකයා කියවන්ට ඇත්තේ පිටපතේ නැති දෙයක් විය හැකිය. ඒ ගැන විනය පරීක්ෂණයක් පැවැත්වෙන්ටත් ඔහුට ගෙදර යන්ටත් සිදුවිය හැකිය. නමුත් ආණ්ඩුවක් මාරුවෙන්ට තියෙන සංක්‍රාන්ති සමයේ මෙවැනි අවදානම් ගන්ට කැමැත්තෝ වෙති.

විශ්ව විද්‍යාල භූමියක් තුළ ඇති වූ සමනළ තටු සැලීම ජාතික දේශපාලනයේ කුණාටුවක් ඇති කොට තිබේ.

අපි 1976 වසර පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉතිහාසයේ පමණක් නොව ලංකා ඉතිහාසයේද සන්ලයිට් බාර් සෝප් එකක් යොදා හෝදලාවත් අමතක කරන්ට බැරි වසරක් බවට පත් කර ඇත්තෙමු.

ඇත්තටම 1976 බොහෝ දෙනකුට මතක තියෙන්ට ඉඩ තිබුණේ වෙනත් හේතුවක් නිසාය. ඒ එතෙක් මෙතෙක් එකවර වැඩිම රාජ්‍ය නායකයින් පිරිසක් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුව පැවැත්වීම වෙනුවෙනි. 1976 වසරේ අගෝස්තු මාසයේදී, අභිනවයෙන් විවෘත කරන ලද බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුවට මාෂල් ටිටෝ, ෆිඩෙල් ක්‍රස්තෝ, ඉන්දිරා ගාන්ධි, මොහොමඩ් ගඩාෆි, ඉඩි අමීන්, සුල්ෆිකාර් අලි බුට්ඨෝ, සුහර්තෝ වැනි තෙවැනි ලොව රාජ්‍ය නායකයින් අසූ ගණනක් මෙහි ආ බව මතකය. ප්‍රේමදාස මහත්තයා ඊට ‘නොබැඳි මඟුල’ කීවත් ඇත්ත එතෙක් කිසිම ආණ්ඩුවකට එවැන්නක් කරන්ට බැරි වූ බවය.

කොටින්ම 1976 දී සිරිමා බණ්ඩාරනායක ලංකාවේ අගමැතිනිය පමණක් නොවූවාය. ඇය ඒ වන විට රටවල් අසූ ගණනෙකින් යුතු වූ නොබැඳි සංවිධානයේද නිල නායිකාව වූවාය.

පුදුමයකට මෙන් සමනළයා තටු සැලුවේ විරුද්ධ දිශාවට පියඹා යන්ටය.

1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂය යන පක්ෂ තුනේ සභාග නායකත්වයෙන් පිහිටවූ සමගි පෙරමුණු රජය මෙරට වැඩිම හැළ හැප්පීම් ගණනකට ගොදුරු වූ ආණ්ඩුවක් සේ වාර්තාගතය. මේ සියළු හැළ හැප්පීම් මැද 1975 දක්වා එය තම ජනප්‍රියතාවය ග්‍රවුන්ඩ් ලෙවල් එකේදී රැක ගන්ට සමත් විය. ඒ අවුරුද්දේ, ධීවර ඇමැති ජෝර්ජ් රාජපක්ෂගේ මරණයෙන් හිස් වූ මුල්කිරිගල ආසනය වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණය, දැඩි මැර බලය යොදමින් වුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂට ජයග්‍රහණය කරන්ට හැකි වීම ආණ්ඩුවේ ජනප්‍රියතාව බිඳී නැති බවට වූ සහතිකයකි. හාල් පොළු, මිරිස් පොළු, අල බතල මඤ්ඤොක්කා, සීනි නැති කහට යනාදිය ගැටළුවක් වූයේ නම් ඒ මධ්‍යම පංතියටය. හැමදාමත් මෙවායින් ඈත්ව සිටි ඒ වන විට ජනගහණයේ සැලකිය යුතු ප්‍රතිශතයක් වූ දිළින්දන්ට මේවා ලොකු ගැටළු නොවීය. එක අතකට ඔවුන් මධ්‍යම පාංතිකයින්ද තමන් විඳි ගැහැට විඳින්නේය සිතමින් කාලකණ්නි සතුටක් ලබන්ට ඇත.

1976 මේ සියල්ල වෙනස් කළේය.

ආණ්ඩුවට වූ එකම වාසිය මාධ්‍ය සියල්ලක්ම ඒ වන විට ආණ්ඩුවේ ඍජු පාලනය යටතේ තිබීමය. සියල්ලක්ම කිව්වාට තුනකි. ලේක් හවුසිය 1974 දී  ආණ්ඩුවට පවරාගෙන තිබිණි. ටෛම්ස් පුවත්පත් 1975 දී ආණ්ඩුවට පවරා ගැණුනු අතර අගමැතිනියගේ පුත්‍රයා, අනුර බණ්ඩාරනායක එහි නොනිල බලධරයා විය. ගුවන් විදිලිය කොහොමටත් තිබුණේ ආණ්ඩුව අතේය. රූපවාහිනී නැත. දවස සීල් තියලාය.

විකල්ප මාධ්‍ය තුනක් අඩුව පිරිමැහුවෝය. එක කමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පත්තරයයි. දෙක ජේ. ආර්. ජයවර්ධන විසින් ඒ වන විටත් සංවිධානාත්මකව ගොඩ නඟා තිබුණු එක්සත් ජාතික පක්ෂ ජාලයයි. තුන කට කතාය.

මේ සියල්ල සිදුවූයේ කාලයාගේ ඇවෑමෙනි. 1976 නොවැම්බර් මාසයේ හීතල දවසක හවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුවකු වූ මා දැන සිටියේ කාරණා හතරකි. එක – වීරසූරිය මිය ගොස්ය. දෙක – විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා ඇත. තුන – විශ්ව විද්‍යාලයට පොලිස් ආරක්ෂාව. රාත්‍රි හයට ඇඳිරි නීතිය හතර – සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වහාම විශ්ව විද්‍යාලයෙන් පිට විය යුතුය.

මේ වන විට ආණ්ඩුව ගුවන් විදිලිය මඟින් ප්‍රචාරය කරමින් සිටියේ ශිෂ්‍යයාගේ මරණය සිදුවූයේ කලහකාරී ශිෂ්‍ය කණ්ඩායම් පේරාදෙණිය පොලීසියට පහර දෙන්ට තැත් කිරීමේදී බවය. 1971 දීත් චේගුවේරා කාරයින් පොලීසි වලට ගැසූ නිසා පොදු ජනතාව එක්තරා මට්ටමකට මේ කතාව විශ්වාස කරන බව පෙනුණේය. නමුත් 1976 විරෝධයට මුල් වූයේ මරාගෙන මැරෙන්ට යන ‘ජේ.වී.පී. අප්පුහාමිලා’ නොව පොතේ ගුරුන් වූ කමියුනිස්ට් සමසමාජකාරයින්ය. ඔවුන්ගේ විරෝධය සාපේක්ෂව සාමකාමී එකකි. ඔවුන්ට පොලීසි වලට ගහන්ට තරම් ඕනෑකමක් හෝ ඕනෑකමක් තිබුණද ගටක් නොවීය. ඔවුන්ට අවශ්‍ය වූ එකම දෙය තමන් ආණ්ඩුවෙන් පයින් ගසා එළවා දැමූ වාඩුව ගන්ට රිදෙන්ට යමක් කිරීමය. මේ අපතයන්ට වෙඩි තියා කෙළවා ගත්තේ ආණ්ඩුවමය.

සරසවියෙන් පිටවෙන්ට මට ගැටළුවක් වූයේ නැත. මට අනතුරක් නැති බව ඒ වන විටත් අප්පච්චිගේ කාර්යාලයට දුරකථන කොට තිබිණි. නුවර සිට රෑ දහයටත් මට බස් එකක් ගන්ට පිළිවන. බැරිම උනොත් ලොරියක හරි එල්ලී ඒ හැතැප්ම දොළහ යන්ට පුළුවන. එහෙත් මහනුවරට පැණවූ ඇඳිරි නීතිය නිසා අනෙකුත් පළාත්වලට බස් කෝච්චි කොයි මොහොතේ නතර වේද යන සැකය විය. එසේම මගේ මිතුරන්, මිතුරියන් වැඩි දෙනකුට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් ගෙදරට යා ගන්ටය. ගෙදර ගොස් “අම්මේ මළේ මම නෙවෙයි” කියා මූණ පෙන්නන්ටය. මන්ද මේ කාලයේ සමහර ගම්බද අම්මලා පොඩි මැණිකේ මීරිගමදී පීලි පැන්නත් පේරාදෙණියේ ඉගෙනුම ලබන පුතාට, දුවට කරදරයකැයි බිය වූ හෙයිනි. එනිසා මම හැකි පමණින් අනුන්ට උදව් කරන්ට ඉදිරිපත් වීමි.

ඈත පළාත් කිහිපයකට යන්ට නියමිත මිතුරන්, මිතුරියන් කිහිපදෙනකු පොල්ගහවෙලට යන කෝච්චියට පටවා මම මහනුවර දුම්රිය ස්ථානයෙන් එළියට එමින් සිටියෙමි.

කහපාට සමනළයෙක් මගේ දර්ශන පථය හරහා පියඹා ගියේය. මම ඌ පියාඹන දෙස බලන්ට හිස හැරැවීමි.

මා ඇය දුටුවේ එවිටයි.

කළු ඇස්. සිහින් සිරුර. දිගටි නැහැය. මඳක් අවුල් වුවත් ලස්සනට අවුල් වී ඇති කොණ්ඩය.

ඇය යෙහෙළියන් කිහිප දෙනකු සමඟ කුලී රථයකින් තම සූට්කේස් එළියට අදිමින් සිටියාය. මම ඒ කිසිවකු මින් පෙර නොදත්තෙමි. එහෙත් ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යාවන් බව වටහා ගැන්මට මට අපහසු වූයේ නොවේ. සීනියර්ස්ලා නම් කුලී රථයෙකින් මහනුවරට එන්ට නොසිතනු ඇත. එසේම ඔවුන් ගෙදරට ඇරලන්ට ‘අයිතිකාරයින්’ කටයුතු කරනු ඇත. මෙසේ අමාරුවට වැටෙන්නේ නවකයින්ය.  ඔවුන් සියළු දෙනාගේ මුහුණු වල තිබුණේ බිය, අනාරක්ෂාව හා ශෝකය මුසු වූ හැඟීමකි.

මම ඔවුන් වෙත ගොස් බර සූට්කේස් කිහිපයක් රථයෙන් එළියට ගන්ට උදව් කළෙමි. මා එසේ කළේ ඇයිද මම නොදනිමි. සමහර විට අප සියළුම දෙනා වෙනුවෙන් උපන් ආත්මානුකම්පාව විය හැකිය. මේ වන විට පොදු ජනතාවගේ අනුකම්පාව සරසවි සිසුන්ට අහිමි වීමේ තර්ජනයක් තිබුණේය. මහනුවරට එද්දී බසයේදීත් මඟීන් කථාකළේ “අම්මලා තාත්තලා ඉඩම්, කණකර උකස් කර දුන් සල්ලි වලින් විශ්ව විද්‍යාල වලට ඇවිත් කා බත් දිරවා ගන්ට බැරුව විප්ලව කරන මැට්ටන්” ගැනය. අපි නොඇසුණාක් මෙන් ගමන් කළෙමු. මේ තර්ජනය නිසා සරසවි සිසුන් වශයෙන් අප එකිනෙකාට උදව් කර ගත යුතුය යන සිතිවිල්ල ඔස්සේ මා අවිඥානකව ක්‍රියා කරන්ට ඇත.

ඇගේ සූට්කේසය අනෙකුන්ගේ ඒවාට වඩා ලොකු විය. මම එය බලෙන්ම අතට ගතිමි. එක් යුවතියක කුලී රථයට මුදල් ගෙවනු පෙණිනි. අපි කණ්ඩායමක් සේ දුම්රියපළට ඇතුළු වීමු.

“මූණ දැකල පුරුදුයි. ඔයා ආට්ස් ෆැකල්ටි එකේද…?” ඇය ඇසුවාය.

(අයියා, අක්කා, මල්ලී, නංගී ලෙස එකිනෙකා අමතන ගොන්පාට් එකල සරසවියෙහි නොවිණි. කවර වසරෙක වුවද අප එකිනෙකා හා සංවාදයේ නියැළුණේ සමානයින් ලෙසිනි.)

“මම ආට්ස් ෆැකල්ටියේ. ෆයිනල් ඉයර්…”

“අපි සයන්ස් ෆැකල්ටියෙ…ෆස්ට් ඉයර් එකේ. මම බියට්‍රිස්, මේ අප්සරා, මේ විජිතා…මේ සඳමලී… මේ අනුරාධා…මේ චන්ද්‍රා”

ඇය තමන්ද මිතුරියන් කිහිප දෙනෙක්ද හඳුන්නා දුන්නාය.

“මම වික්ටර්…”

පෙර වූ එකඟතාවයකින් සේ අපි ඉන් පැය කිහිපයකට පෙර වූ සිද්ධිය ගැන කිසිත් කථා නොකළෙමු. එක්කෝ එය කතා කරන්ට වත් බිය ජනක අත්දැකීමක් වන්ට ඇත. නැතොත් තවම එහි ප්‍රතිඵලයන්හි දරුණු බව අපට දැනෙන්ට පටන් ගෙන නොතිබිණි.

“ඔය ගොල්ල කොහාටද යන්නෙ?”

“එක තැනක් කියල නෑ. දෙන්නෙකුට ගාල්ලටයි අම්බලන්ගොඩටයි යන්න තියෙනව. අප්සරා කොළඹ. මෙයා පොල්ගහවෙලින් බහීවි. සඳමලී නම් මහරගම. තාත්තා කොටුවෙ ස්ටේෂන් එකට එනවය කිව්වලු. මම මීගමුවට යන්න ඕනැ”

“මීගමුවට? දැන් මේක කොළඹට යනකොටම අට නවය වත් වෙයිනෙ…”

“ඒක තමයි. ඒත් සංඝමිත්තා එකේ ඉන්න දෙන්නෙත් නෑනෙ. නුවර දන්න කෙනෙකුත් නෑ. මට ගෙදෙට්ට කියන්ට හැටියකුත් නෑ…”

මේ මොහොතේදී සමනළයා තටු සැලුවේද මම නොදනිමි. අඩු තරමින් මම ඒ බව නුදුටුවෙමි. මම ක්ෂණික තීරණයක් ගතිමි.

“යමු. මම පුළුවන් විදියකට උදව් කරන්නම්…”

ඇය “එපා!” කියන එක වචනය තෙපළුවේ නම් මගේ ජීවිතය වෙනස් වන්ටත් ලෝකයට චරිත් බණ්ඩාර කෙනෙක් බිහි නොවන්ටත් ඉඩ තිබුණේය. එහෙත් ඇය සේ නොකීවාය. මම කවුන්ටරයෙන් බියට්‍රිස්ටත් මටත් කොළඹ කොටුවට ප්‍රවේශපත්‍ර දෙකක් මිළට ගත්තෙමි.

.

.

(ඉවසන්න…………සමනළයා නැවත පියා සලන තෙක්)

(14) උගනිව්, නැත පිටවෙව් || Learn or Depart || Disce aut Discede

  • කාලය: 1997, සමාන්තර විශ්වය
  • ස්ථානය: රාජකීය විද්‍යාලය, කොළඹ

**********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )**********

අපට තර්ස්ටන් පාර හෝ රාජකීය මාවත දෙකින්ම එළියට එන්ට පිළිවන. අප්පච්චි කී නිසා මම රාජකීය මාවතෙන් එළියට ආවෙමි. රත්නායක අන්කල්ට ගේට්ටුවට කිට්ටුම වෙන්ට බැරි වුණොත් නව රඟහල ගේට්ටුවට නුදුරින් කාර් එක නවත්වා ගෙන ඉන්ට වන බව ඔහු දිගින් දිගටම කීවේ මා වරද්දා ගනී සිතා විය යුතුය.

“So, how do you go?” තිසර ඇසුවේය.

මම ඒ වන විටත් අප්පච්චිගේ ස්ටේෂන් වැගන් එක නෝට් කර ගෙන අහවරය. මම ඊට ඇඟිල්ල දිගු කළෙමි.

“How do you go…?”

“School bus…” ඔහු රීඩ් මාවත දෙසට අත දිගු කළේය.

“Can I drop you somewhere…?”

මා ඇසූයේ මේ වන විට තව මිනිත්තු කිහිපයක් හෝ එකට ඉන්ට ඕනෑය කියා හැඟීමක් ඇතිවන තරමට මිත්‍රත්වයක් අප අතර ඒ වන විට ඇති වී තිබුණු නිසාය. මා යන්නේ දෙල්කඳට පමණක් බව මම දැන සිටියෙමි. ඔහු කොතැනක යන්නේද, දෙල්කඳ ඇත්තේ ඒ පැත්තේමද යන කාරණා ගැන මට කිසිදු අවබෝධයක් නොවීය. රත්නායක අංකල් කොළඹ ගැන සියල්ල දනිතැයි මම උපකල්පනය කළෙමි.

තිසර මොහොතක් කල්පනා කළේය.

“No. It is easy for me to take the bus. My friends are waiting. See you tomorrow…”

“See you. Don’t forget ‘The Red Sea Sharks’…”

“No, I won’t. Bye, you lucky guy…”

ඔහු මට ‘Lucky Guy’ කීම ගැන මට මුලින් ඇතිවූයේ ආඩම්බරයකි. එහෙත් ඊළඟ මොහොතේදී මේ හැඟීම මතක නැතිවීමෙකින් අව්වේ තබන ලද ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එකක් සේ දියවී ගියේය. ඔහු පාසල් බස් රථයෙන් ගෙදර යයි. දහදිය පෙරාගෙන, අතර මඟදී සගයින් සමඟ පොරකා, දඟ කොට ඇඳුම් කිලිටි කරගෙන විය යුතුය. එහෙත් ඒ දහදිය සෝදා, නාවා අළුත් ඇඳුම් අන්දවන්ට ඔහුට අම්මෙක් සිටියි. මම දහදිය පෙරා ගැනීමෙකින් ඇඳුම් කිලිටි කර ගැනීමෙකින් තොරව කාර් එකේ සුව පහසුව නිවෙසට යමි. මගේ ඇඳුම් මාරු කරන්ට, මට බත් එකක් උයා දෙන්ට අම්මෙක් බලා නොසිටින්නීය. රත්නායක අංකල් ගෙදර යන ගමන් මැක්ඩොනල්ඩ්ස් එකෙන් Happy Meal එකක් අරගෙන දුන්නත් මට එය කන්ට වෙන්නේ තනිවය. රෑට ඔහු මට තවත් බත් පාර්සලයක් ගෙනෙනු ඇත. අප්පච්චි කීයට ඒද මම නොදිනිමි. නාවත් මට පාන්යැ!

ඔහු කවරදාවත් මගේ ඉස්කෝලෙ වැඩක් ගැන නොසොයයි. නමුත් ඉල්ලන මුදලක් වේද මොහොතක පමාවෙකින් තොරව, කිසිම ප්‍රශ්නයක් නොනඟා දෙයි. එසේ වුවත් මා ඔහුගෙන් මුදලක් ඉල්ලන්නේ ඉතාම කලාතුරෙකිනි. මගේ මිතුරන් බොහෝ දෙනකු අත මා අත ගැවසෙනවාට වඩා පොකට් මනි ගැවසෙයි.

ට්‍රිනිටියේ සිටියදී එක දවසක අප හැම දෙනාටම පොපි මලක් ගැනීමට රුපියල් පහක් ගේන්ට කිව්වේය. මා සාමාන්‍යයෙන් මෙවැනි දේවල් කියන්නේ අප්සරා ආන්ටිටය. නමුත් කවර හෝ හේතුවක් නිසා – සමහරවිට එදාම හවස අප්පච්චි ආ නිසා – මට මෙය ඔහුට කියන්ට සිත්විය. මම ගණන නොකියා සල්ලි අවශ්‍ය කවර කාරණයකටදැයි විස්තර කළෙමි.

“How much you need..?” ඔහු ඇසුවේය.

“Five…” මම දකුණතේ අත්ළ විදහා දැක්වූයෙමි.

අප්පච්චි කතාවක් නැතුව පර්ස් එක ඇද සීයේ කොළ පහක් මට ගණන් කර දුන්නේය. මම ඔහුට වැරදුණු එක ගැන හොඳටම සිනා වී ඔහුගෙන් රුපියල් පහේ කාසියක් ඉල්ලා ගත්තෙමි.

අද හවස ‘Five Go to Mystery Moor’ කියවන්ට තියේ. මා නතර කළේ ජෝර්ජ්ට හෙන්රියාටා හමු වූ තැනිනි. හෙන්රියාටාද ජෝර්ජ් සේම ‘ටොම් බෝයි’ කෙනෙකි. එනම් කොල්ලකු සේ පෙනී සිටින්ට වඩා කැමැති වූ කෙල්ලකි. කෙල්ලන් කියන්නේත් මාර ජාතියකි. පුදුම පිස්සුය තියෙන්නේ. පොත ඉස්කෝලේදී කියවන්ට හිතාගෙන හිටියත් අළුත් යාළුවන්, විශේෂයෙන්ම තිසර හා චැටක් දාගෙන හිටි නිසා බැරි විය. රෑ වන විට පිටු විස්සක් තිහක් වත් ඉවර කළ යුතුයි.

අද රාජකීය විද්‍යාලයේ මගේ පළමු දිනයයි.

මා හොස්ටල් එකේ නතර කරන්ට අප්පච්චි දැනටමත් කටයුතු යොදා අවසන්ය. ඒ වනතුරු දින දෙක තුනක් දෙල්කඳ නිවසෙහි නතර වෙන්ට සිදුවූයේ ඇඳුම් පැලැඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර යනාදිය පිළියෙළ කොට ගත යුතු වූ නිසාය. මා කොළඹ එන බව අප්පච්චි රත්නායක අංකල්ට කියා තිබුණේ අවසාන මොහොතෙහි නිසා මේ කිසිවක් පිළියෙළ කර දෙන්ට ඔහුට වෙලාවක් නොවීය.

අළුත් කමිසයක් හා කලිසමක් අප්සරා ආන්ටි මට අඳින්ට නොදී පැත්තක තියාගෙන හිටි එක හොඳට ගියේය. නැත්නම් පළමුවැනි දවසේත් මට අඳින්ට වන්නේ පරණ ඇඳුම්ය. කොළඹ එන ගමනේ අපි බාටා සපත්තු කුට්ටමක්ද (තවමත් ඊට කකුල කැපෙයි.) මේස් කුට්ටම් කිහිපයක්ද, පාසල් බෑගයක්ද, එක්සසයිස් පොත්, පෑන් පැන්සල්ද මිළට ගතිමු.

ශිෂ්‍යත්වයේ ලකුණු මත අප රාජකීය විද්‍යාලයට ඇතුළු කරන ලද හෙයින් මට හය වසරට එකතු වෙන්ට හැකිවූයේ වසර පටන් ගෙන මාස දෙකකට පමණ පසුය.

අළුතින් ආ බොහෝ ළමයි පන්ති භාර සේනාරත්න මිස්ට බුලත් දී වැන්දෝය. ඇය ඒ බුලත් අත් මේසය මත ගොඩ ගැසුවාය. මා අත බුලත් අතක් නොවීය. මා ඇයට වැන්දේ නිකම්ය. ඇය නොපෙන්නුවත් එතැන ලොකු අඩුවක් විනිය මගේ පුංචි සිතට හිතුණේය.

ළමුන් සමඟ ආ අම්මලා තාත්තලාද මිස්ට කරදර වෙන තරමටම බොහෝ දේ ගැන කතා කරනවා පෙණිනි. අප්පච්චි නම් ඇය සමඟ වචනයක් වත් කතා කළේ නැත. මා ඇයට වැන්දායින් පසුව, යන්තමට ඇය හා සිනා වී දොරින් අතුරුදහන් විය.

මට හිඳ ගන්ට ලැබුණේ මැද පේළියේ කොණේ පුටුවකි. එහා පැත්තේ හුන් ළමයා කලිසමේ කක්කා කරගෙන වගේ බැරෑරුම් මූණක් හදාගෙන හිටියේය. ඔහුගේ ඔළුවේ ආලේප කොට තිබුණු පොල්තෙල් කණ දෙපසින් බේරුණේය. කලිසමද තරමට වඩා ලොකු බව පැහැදිළිවම පෙණුනේය. මම ඔහු සමඟ සිනා වූයෙමි. ඔහු සිනා නොවීය. හිනාවෙන්ට වත් දන්නෙ නැති ළමයෙක්.

“ඔයා කොහෙන්ද…?” මම ඔහුගෙන් සිංහලෙන් ඇසුවෙමි.

“මොකක්?”

“ඔයා මොන ඉස්කෝලෙන්ද ආවෙ…”

“රෝයල් එකෙන්, පොළොන්නරුවෙ…” පොළොන්නරුවෙත් රෝයල් එකක් තිබුණු බව මම දැන නොසිටියෙමි.

“ඔයා…?”

“මම ට්‍රිනිටි එකෙන්…”

“ඒ කොහේද…?” යම් යම් දේවල් නොදන්නේ මා පමණක් නොවන බව අවබෝධ වී මට සතුටක් ඇතිවිය.

“නුවර…”

“නුවර මං අහල තිබුණෙ ධර්මරාජෙ ගැන විතරයි…”

“නෑ නුවර තව ගොඩාක් ඉස්කෝල තියෙනව…”

එක දවසකට ඕනෑවට වඩා වැඩිය කතා කළාය සිතුණු නිසාදෝ අපි දෙදෙනාම ගොළු වීමු.

සේනාරත්න මිස්ගෙන් පසුව ‘විද්‍යාව’ පීරියඩ් එකට පන්තියට ආවේ වීරසූරිය සර්ය හෙවත් (මා පසුව දැනගත් පරිදි ) ‘ජංගල් මූන්’ය. ඔහු ‘ජංගල් මූන්’ (මේ අපේ පරම්පරාවේ රාජකීයයන් ‘කැලෑ හඳ’ ඉංගිරිසියට හරවා ගත සැටිය!) වුණේ ඔළුව වටේට කොණ්ඩය තිබුණත් හිස මැද වූ තට්ටය නිසාය. ඔහු පොටෑසියම් ප’මැන්ගනේට් රත් කරන පරීක්ෂණයක් විස්තර කළේ පන්තියේ අළුත් ළමයි කිහිප දෙනෙක් ඉන්නේය යන වග මොහොතකට හෝ නොසලකමිනි. පරීක්ෂණයේ ඇටැවුම ඇඳ ගන්ට අඩි රූලක් ඕනෑය. මා සතුව රූලක් හෝ කව කටු පෙට්ටියක් නොවීය. මගේ පොළොන්නරුවේ යාළුවාද පුරුදු කක්කා-බර මූණ දාගෙන හිටියේය. ඔහු ළඟද කවකටු පෙට්ටියක් නැති බවට සැක නැත.

මගේ දකුණු අතේ උල් යමක් ඇනෙන බව දැනුණු හෙයින් මම ඒ පැත්ත බැලුවෙමි.

“Take this…” දකුණු අත පැත්තෙ පේළියේ කොණේ හුන් ළමයා විහිත චතුරශ්‍රයක් මවෙත දිගු කළේය. ඒ මා ඔහු දුටු මුල් වතාවය.

චබී ඇඟ හා මුහුණ! ඉත්තෑ කූරු කොණ්ඩය!

මා UP සිතුවම් පටය බැළුවේ මින් බොහෝ කාලයකටය පසුවයි. කාල් ෆෙඩ්රික්සන්ගේ නිවසෙහි දොරට තට්ටු කරන බාලදක්ෂයා – රසල් – දුටු විට මට එක වර සිනා පහළ විය. ඉතා සුළු වෙනස්කම් කිහිපයක් ඇතිව ඒ මා පළමුවරට ‘තිසර’ දුටු අයුරුමයි.

මම විහිත චතුරශ්‍රයෙන් වැඩ ගෙන අහවර කොට පොළොන්නරුවේ යාළුවාටද දුනිමි.

විද්‍යාව පීරියඩ් එකෙන් පසුව තිබුණේ විවේක කාලයයි.

ට්‍රිනිටි එකට යද්දී නම් අප්සරා ආන්ටි මට හැමදාම බටර් හෝ ජෑම් ගා සැන්ඩ්විචස් කිහිපයක් පෙට්ටියකට දමා දෙයි. හැමදාම මේ පෙට්ටියේ සැන්ඩ්විච් එකක් හෝ ඉතිරි වෙයි. ඒ කොයි තරම් කිව්වත් ඇය සැන්ඩ්විචස් ගණන අඩු නොකළ නිසාය. මට කන්ට බැරි තරම් සැන්ඩ්විචස් ප්‍රමාණයක් තනා දීම ඇයට ජයග්‍රහණයක් විය. ඒත් අද මට විවේක කාලයේදී කන්ට යමක් නොතිබුණේය. කන්ට තියා තිබහට බොන්ට වතුර ටිකක් වත් නොවීය. ඉතින් මට පාන්යැ! දවල්ට කනතුරු බඩගින්නේ සිටිමි.

මගේ අළුත් යාළුවා ‘රසල්‘ නැවත මා සමඟ සිනහ විය.

“Hi. My name is Thisara. What’s your name..?”

“I am Charith Kalinga Bandara…” කවුරුන් හෝ ඇසුවොත් සම්පූර්ණ නම කිව යුතුය කියා අප්සරා ආන්ටි කියා දී තිබුණු නිසා මම පිළිතුරු දුන්නෙමි.

“Where are you from..?”

“I am from Trinity in Kandy…”

“Yes, I know. Went for last Bradby shield with thattha…”

කවුරුන් හෝ ට්‍රිනිටි එක ගැන දැන සිටීය කියා මට ඇතිවූයේ සතුටෙකි.

“You have anything to eat..?”

මම හිස සැළුවෙමි.

“Lets go to canteen. I have enough to buy something for us…”

බොහෝ වාරයක් නැවත මතක් කොට ඇති හෙයින් මේ කැන්ටීන් ගමනේ ඉතාම සුළු දත්ත පවා මට මතකය. තිසර මැෂිමක් මෙන් කථා කළේය. මා යමක් එක් කළේ ඔහු ඇසූ විට පමණෙකි. ඔහුගේ පියා වෛද්‍යවරයකු බවත්, කලින් බැංකුවක සේවය කළ අම්මා දැන් රැකියාවක් නොකරන බවත්, ලොකු අක්කා වෛද්‍ය විද්‍යාලයේ බවත්, පොඩි අක්කා නුගේගොඩ අනුලා විද්‍යාලයේ බවත් ඔහු කීවේය. මට කියන්ට තිබුනේ අප්පච්චි ගැන විතරය. ව්‍යාපාරිකයකු කියනවාට වැඩි යමක් ඔහු ගැන මම දැන නොසිටියෙමි. (ඔහු දේශපාලනයද කළත් අප්පච්චි දේශපාලකයකු සේ හැඳින්වීමට මම අකැමැති වීමි. ඒ සමහරුන් ඊට සිනා වූ නිසාය.)  අප්පච්චි මුද්‍රණාලයක් හා රටේ තැනින් තැන සාප්පු කිහිපයක් පවත්වාගෙන යන බව මා දැන සිටියද, මා ගොස් තිබුණේ මුද්‍රණාලයට පමණය. අම්මාගේ නම් මා දැන සිටියේ ඉස්කෝලය හා විශ්ව විද්‍යාලය විතරය. ඒ අප්සරා ආන්ටිද ඇය සමඟ එකට ඉගෙන ගෙන තිබුණු නිසාය. ඇය කවර හෝ රැකියාවක් කළාද, එසේ නම් ඒ කිමෙක්ද මම දැන නොසිටියෙමි.

තිසරට වැඩිපුරම දැන ගන්ට අවශ්‍යව තිබුණේ මා ළඟ ටින්-ටින් පොත් තියේද යන්නය. ඔහු නොකියවූ ටින්-ටින් පොත් හයක් වූ අතර ඒවා සොයා ගැනීම ඔහුගේ ජීවන ඉලක්කය බවට පත්ව ඇති සෙයක්ය පෙණුනේ. මා ලඟ පෞද්ගලිකව නොවූවත් දිලූෂා හා රිද්මි අක්කලා ළඟ ටින්-ටින් පොත් කිහිපයක් විය. තිසර නොකියැවූ ‘The Blue Lotus’ හා ‘Flight 714’ ඔවුන් ළඟ තිබුණු බැව් මම දැන සිටියෙමි. නුවර ගිය දවසෙක ඒවා ගෙන එන්නෙමැයි මම පොරොන්දු වීමි. ඔහු මා නොකියැවූ ‘The Red Sea Sharks’ පසු දින ගෙනෙන්ට පොරොන්දු විය.

අපි කැන්ටීන් එකෙන් සොසේජ් බන් දෙකක් මිළට ගෙන අහරට ගතිමු.

නැවත පන්තියට නැවත එන විට මගේ පොළොන්නරු යාළුවාගේ කක්කා බරද පහව ගොස් ඇති සෙයක් පෙනෙන්ට තිබුණේය. ඔහුටද තවත් අළුත් යාළුවන් දෙදෙනකු හමු වී තිබිණි. එකකු ඇඹිළිපිටියෙනි. අනෙකා අකුරැස්සෙනි. (‘Birds of a feather flock together’ කියා කියමනක් වේ.) ඔහු මට අළුත් යාළුවන් දෙදෙනා හඳුන්නා දුන්නේය.

මම ඔවුන්ට තිසර හඳුන්නා දීමට නොවෙහෙසුනෙමි. මන්ද මම නොදනිමි. සමහරවිට තිසර මේ තුන්දෙනා සමඟ ‘හුවමාරු කර ගන්ට’ තරම් නොවටනේය මට සිතුණු නිසා විය හැකිය. අනෙක ඔහු මගේ යාළුවෙකි. මගේ යාළුවන් අනෙකුන් සමඟ බෙදා ගන්නේ ඇයි?

අපට අන්තිම පීරියඩ් එකේදී තිබුණේ බුද්ධාගමය. එය ඉගැන්වූයේ විශ්‍රාම යන්ට ආසන්නයේය සිතිය හැකි වයසක මිස් කෙනෙකි. ඇයට බුද්ධාගම උගන්වනවාට වඩා අවශ්‍ය වූයේ පොඩි රෙස්ට් එක ගැනීම බව පෙනුණේය.

“දැන් අළුත් ළමයි ගොඩාක් ඇවිල්ල ඉන්නවනෙ අද පන්තියට. ඔය පරණ ළමයෙක් ඇවිත් ඒ හැමෝටම දැනගන්ට පාසල් ගීතය ලියනවද බෝඩ් එකේ…කෝ, ඔය ළමයා එන්න. ලියන්න පාසල් ගීතය”

ඉදිරියට ආ ළමයෙක් පාසල් ගීතය කළු ලෑල්ලේ ලියන්ට පටන් ගත්තේය. අපි එය පිටපත් කර ගතිමු. මිස් පුටුවට වී දෑස් පියා ගත්තාය.

පුන්සඳේ සිරි දිනූ – ගොන් පුතුන් බිහි කෙරූ…

පන්තියේම සිනා හඬින් කුමක් හෝ වැරදී ඇතැයි ඇයට හැඟෙන්ට ඇත. බෝඩ් එක දෙස බැලූ ඇයටද සිනහ පහළ විය.

“ගොන් පුතුන් තමයි…ගොන් පුතුන්!” ඇය ටොක්කක් අනින්ට යන බව අභිනයෙන් දැක්වූ මුත් ලියමින් සිටි සිසුවාට දඬුවමක් නුදුන්නාය. “කෝ ගිහින් වාඩි වෙනවා, මං ඕක ලියන්න” කියූ ඇය රටහුණු කැබැල්ල ගෙන ‘ගොන් පුතුන්’ මකා ‘රන් පුතුන්’ ලෙස නිවැරදි කළාය.

හෝම්වර්ක් නොවුණු නිසා හවස් වරුව ගත වූයේ ‘Five Go to Mystery Moor’ කියවන්ට හා ටිකක් නිදා ගන්ටය. ඊට අමතරව මම රත්නායක අංකල්ගේ ජංගමය ඉල්ලාගෙන අප්සරා ආන්ටිටත් අක්කලා දෙන්නාටත් කථා කළෙමි. ජයන්ත අන්කල් නම් ගෙදර හිටියේ නැත. තිසර ගැන කියන්ට මට වැඩිපුර ඕනෑ වුණත් ඔවුන්ට අසන්ට ඕනැ වුණේ ඉස්කෝලේ අළුත් විස්තරය. මිස්ලා, පාඩම් වැඩ ආදියයි. අප්සරා ආන්ටි කතා කළේ අමාරුවෙනි. ඇය අතරින් පතර හඬන්නේය මට සිතුණේය. කොහොමටත් අප්සරා ආන්ටි පොඩි දේටත් අඬන කාන්තාවකි. ඇයට තව රිද්දන්ට මට අවශ්‍ය වූයේ නැත. එනිසා මම කෙටියෙන් කතාව නිමා කොට ජංගමය කට් කළෙමි.

අප්පච්චි රෑ වන තුරුම නාවේය. රත්නායක අංකල් මට බත් පාර්සලයක් ගෙනැවිත් තිබුණේය. විවෘත කළ මොහොතේම එහි මට අමුත්තක් දැනුනේය.

“මොනවද මේ…?”

“බීෆ්…”

“මම හරක් මස් කන්නෙ නෑනෙ…”

“කියන්ට එපායැ. මම ගිහින් මාළු එකක් ගේන්ටද?”

“එපා. බඩගිනි නෑ.”

අළුත් ඉස්කෝලයේ පළමුවැනි දවසේ මම හිස් බඩ නින්දට ගියෙමි. ටින්-ටින් සමඟ, ගුවන් යානය ඇද වැටී හිමාලයේ අතුරුදහන් වූ චෑං බේරා ගන්ට යන සිහිනයක් දුටු බවද මතකය. එහෙත් එය ඉවර වෙන්ටත් කලියෙන් පසුදින උදේ වී තිබුණේය.

.

.

(ඉවසන්න……………සමනළයා යළි පියා සලන තෙක්)

(13) ‘සාසනයා’ ජනාධිපති වෙයි || ‘Sasanaya’ becomes President

  • කාලය: 2016, සමාන්තර විශ්වය
  • ස්ථානය: හම්බන්තොට දිස්ත්‍රික්කය, ලංකාව

**********(‘සාසනයා’ කියන කතාව)**********

අද අතිශයින් සතුටු දවසකි. ඒ මට ලංකාවේ ජනාධිපතිකම ලැබුණු නිසාය.

“අපටත් දවසක හඳ පායනවා. එදාට අපි මල් පැණියෙන් නානවා!” ලුණු ඇටයක් එක්ක හොඳ කිතුල් රා කට්ටක් ගසා, පැරණි රසාංගයක් ගයමින් ගෙදර වටේ වයිපරයත් එක්ක නට නටා යන්ට හිතෙයි.

රකී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ…
සිතේ ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ
ඒ තුමා, ඒ තුමා, ඒ තුමා වෙතේ…

දන්න වංහුං අප කන්දසාමි රාජ දුරයේ
රාජ දුර රාජ දුර රාජ දුරයේ…..

මම ජ්‍යෝතිෂය විශ්වාස කරමි. හඳහනේ රාජ යෝග තිබේ නම් ඒවා වළක්වන්ට බැරිය. එසේම මම බුද්ධාගම විශ්වාස කරමි. හොඳට හෝ නරකට කර්මයක් ඵල දෙන්ට තියේ නම් එයද වළක්වන්ට බැරිය. මේ මාගේ රාජ යෝගයයි. පුර්වයෙහි කරන ලද පින් ඵල දෙන කාලයයි.

රනිලා මළ එකත් මගේ ජයග්‍රහණයට අනියමින් බල පෑවේය. ලොකු වැඩකාරයකු නොවුණත් රනිලා හිටියා නම් යූ. එන්. පී. එක ඔය තරමටම චාටර් වන්නේ නැතිය සිතමි. අනෙක මැඩම් අනාගත්තා වැඩිය. නියපොත්තෙන් කඩා ගන්ට තිබුණු කන්‍යාරත්නගේ ප්‍රශ්නය බඳු ඒවා පොරොවෙන් කපන තරමට ලොකු වුණේ එනිසාය.

ජනාධිපති වෙනකොට මගේ වයස අවුරුදු 71ක් බව මහාවංශ ඉතිහාසඥයින් ලියනු ඇත්තේය. ඒකට කමක් නැත. ජේ. ආර්. පප්පා ජනාධිපති වුණේ ඊටත් එහා පැත්තේදී, එනම් වයස අවුරුදු 72 දීය. එයාට හොඳ නම් මට නරක ඇයි? වැදගත් දේ මේ පුටුවේ වාඩි වෙන එකය. ඒක අවුරුදු හතළිහේදී කළත් එකය. හැත්තෑවේදී කළත් එකය. මැරෙන්ට දවසකට හරි කලින් කළත් එකය.

අනෙක ජේ. ආර්. පප්පාගේ මෙන් තවම මගේ කොණ්ඩය සුදු වෙලාත් නැත. දැන් නාඹර ගැටිස්සියක්ව සිටින චම්පකගේ දුවත් මට කියන්නේ ‘සීයා’ කියලා නොව ‘අංකල්’ කියලාය. (තව ටික දවසකින් ‘අයියා’ කියා ගන්ටත් ෆුල් ට්‍රයි එකක් දෙමි. හිහි හිහි හිහි මගෙත් නාකි මනමාල කං!) ජේ. ආර්. පප්පා මෙන් නොව මට තවම ගෝල්ෆේස් එක වටේ රවුමක් (මුළු ගෝල්ෆේස් එක වටේම නොවේ – හෝටලේ ඉස්සරහ හරියේ) දුවන්ටත් පුළුවන. එතකොට හෝටලයේ නතර වී ඉන්නා සුද්දියෝත් Usain Bolt දෙස බලන්නාක් සේ මා දෙස බලති. මිනිසකු වයස යන්නේ ශරීරයෙන් නොව මනසින්ය. හිතින් අවුරුදු දහ අටක් නම් ගතින්ද අවුරුදු දහ අටකි. එනයින් මා මේ රටේ බිහි වූ තරුණම ජනාධිපතිවරයාය සිතමි. මට තරම් නැවුම්, තරුණ අදහස් මින් පෙර මේ පුටුවේ හිඳගත් කිසිවකුට හෝ නොවීය සිතමි.

මගේ ජයග්‍රහණය මට වැදගත්ය. ඒ එතැනට එන්ට රෝස මල් ඇතිරූ මාවතක් නොවූ නිසාය. මා එතැනට ආ මාර්ගය ගල්ලෑල්ලක් හා හෝඩි පොතක් අතින් ගෙන පයට සෙරෙප්පුවක්වත් නැතිව, වැටෙන කලිසම ඉඳහිට ඔසවා ගනිමින්, ගමේ පාසලට යන්ට තිබුණු, හෙන්දිරික්කා කැලෑව මැදින් වැටුණු අඩිපාරටත් වඩා දුෂ්කර එකකි. එහි සමතුලිතතාව රැකගෙන ඉදිරියට යෑම හන්දා ඇළේ ඒදණ්ඩෙන් එගොඩ වනවාටත් වඩා අසීරු කාර්යයක් වූ බව මතකයි.

මට ලොකුම අභියෝගය එල්ල වූයේ බණ්ඩාරනායකලාගෙනි. මේකුන් නම් මාව කන්ටම උපන් ජාතියකි. හොඳ වෙලාවට දෙවියන් වහන්සේ කිසිම කෙනකු හෝ පවුලක් සර්ව සම්පූර්ණ නොකරන්නේය. ධනය, බලය ආදී අනෙක් සියළුම දේවල් වලින් අඩුවක් නැතිව මවා තිබුණද, දෙවියන් වහන්සේ බණ්ඩාරනායකලාට (හා රත්වත්තෙලාට) දුන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා මොළයකි. මේ නිසා මුං හැරෙණ කොට එන්නේ කොයි පොල් පැළේ කන්ට දැයි මට හිතා ගන්ට පුළුවන් විය.

මුලින්ම මා සෙට් වුණේ ‘ඔටුන්න හිමි කුමාරයා’ එක්කය. ඌ නම් අම්බ ගොනෙකි. මේකාගේ ගොන් කං ගැන අමාරුවකින් තොරව වෙළුම් දොළහක පොතක් ලිවිය හැකිය.

චිත්තරපටි කිහිපයක කොල්ලාගේ චරිතය රඟපා නමක් දිනාගෙන සිටි, රතු පොත්තත්, ක්‍රේල් කොණ්ඩයත් ඇරුණාම වෙන මෙලෝ මළ දානයක් නැති විජේ මල්ලීව පක්ෂයට ගෙන ‘මිනිහෙක්’ කරලා ගත්තේ ඔටුන්න හිමි කුමාරයාය. ඒ පෞද්ගලික උදව් වලට හිලව් වශයෙනි. විජේ මල්ලී කළ පෞද්ගලික උදව්ව කුමාරයාට ටෙම්පරරි බඩු සෙට් කර දෙන එකය. වෙනත් වචනයකින් කිව්වොත් පිම්පිකමය. එහෙව් විජේ මල්ලී අන්තිමේදී කුමාරයාගේ අක්කාටම සෙට් විය. නිකං සෙට් වුණා නොව පවුල් දෙක අතර වූ පන්ති පරතරය (ධනහිමි පන්තියට එරෙහිව නිර්ධන පන්තිය);  ආගම් පරතරය (බෞද්ධාගමට එරෙහිව කතෝලික ආගම); කුල පරතරය (ගොවිගම රදළ කුලයට එරෙහිව දුරාව) ආදී සියළු බාධක මැද බැඳ ගත්තේය. අනේ දෙවියනේ මට වුණු වියෝයා – අක්කව මගේ පිම්පියා ගෙන ගියෝයා! දැන් ඉතින් කුමාරයා වහ කාපිය!

විජේ මල්ලීත් අක්කව බැඳගෙන නිකං හිටියේ නැත. ඉත්තෑවාගේ ගෙදරට වන් කබැල්ලෑවා සේ ඔටුන්න හිමි කුමාරයා ටිකෙන් ටික එළියට තල්ලු කළේය. එය තවත් පහසු වූයේ ජේ. ආර්. පප්පාටත් කර ගන්ට ඕනෑ වූයේ ඒ ටිකම නිසාය. ජේ. ආර්. පප්පා ඉඳලා හිටලා සීනිබෝලයක් දෙකක් කුමාරයා දිහාවට වීසි කළේය. මේ ගොන් නාම්බාත් පැණගෙන ගොහින් එව්වා ගත්තේය. අන්තිමට ‘දොහ්’ ගාලා එළියට වැටෙන කල් මෙලෝ හසරක් දැන සිටියේ නැත. පස්සේ බීලා බීලා මළාය. පව්!

බණ්ඩාරනායක/රත්වත්තේ පවුල් වලින් යම් පමණෙකට හෝ මොළයක් තිබුණු එකම එක්කෙනා මැඩම්ය. ඒ නම් දෙවියන් වහන්සේටත් මොළේ පොඩ්ඩක් අඩු කරන්ට මිස් වුණු කේස් එකකි. නැත්නම් අවුරුදු විසි දෙකක් තිස්සේ මාත් පැත්තකින් සිටියදී එහෙම අල්ලාගැනීමක් අල්ලාගෙන හිටින්නේ නැත.

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය!

මම ඉවසුවෙමි. අවුරුදු විසි දෙකකට පසුව හෝ මේ පුටුවේ වාඩි වෙන්ට මට ඉඩ ලැබුණේ එනිසාය.

ඉක්මණින්ම කළ යුතු වැඩ ගණනාවක් තිබේ.

  1. ලංකාවේ දේශපාලනයේ කැතම සංසිද්ධියක් වන්නේ පවුල්වාදයයි. දේශපාලනයට පිවිස ඇති සමහර පවුල් අති විශාලය. උදාරණයක් හැටියට ‘සවුක්කියාගේ’ පවුල පඩි පේළියක් වගේ දොළොස් දෙනෙකි. මා දිනපතාම, දවසක් වරද්දන්නේ නැතුව, උදේට ඇඟ බස්සවා ගන්ට එක්සසයිස් මැසිමට ගොඩ වෙන්නාක් මෙන් සවුක්කියාගේ තාත්තා හැමදාම රෑට ඒකාගේ අම්මගේ ඇඳට ගොඩ වුණාක් සේ පෙනේ. තාත්තලා මෙහෙම ලාබෙට එක්සසයිස් මැසින් ගත්තාම ඒකට විඳවන්න වෙන්නේ ඊළඟ පරම්පරාවලටය. සවුක්කියාට හෙම තැනක් ලැබුණොත් මේකා මුළු අමාත්‍යාංශයක්ම පවුලේ ඥාතීන්ගෙන් රන් කරනවා ඇත. අමාත්‍යාංශ ලේකම් අයියා, අතිරේක ලේකම් මල්ලී, අමාත්‍යාංශ රියැදුරු නංගි බැඳපු එකාගේ නැන්දගේ පුතා ආදී වශයෙනි.  එනිසා වහාම ලංකා දේශපාලනය තුළ පවුල්වාදය පැතිරීම නතර කළ යුතුය. එය දැනට ඇමෙරිකාවේ ඉන්නා පොඩි මල්ලීට ගෙන්නා ගෙන භාර දෙන්ට හැකි රාජකාරියකි.
  2. ඊළඟට ලොකු මල්ලීත් අනිවාර්යයෙන්ම ගෙන්නා ගත යුතුයි. (මිනිහට නම් ලංකාව අමතක වෙලත් ඇති. ඇයි දෙයියනේ අන්තිමට ආවේ හිරුණිකා දුමින්ද බැන්ද කාලෙ නෙවැ!) ලොකු මල්ලි ඕනෑ මළ වදයක් වී තිබෙන කොටි රැළට ගේම දෙන්ටය. මිනිසුන් ඉන්නේ තරහෙනි. මේ ප්‍රශ්නය මෙහෙම දිගට ගෙනිච්චොත් ආයෙත් 1993දි වගේම ජාතිවාදී කලබල ඇතිවන්ට පිළිවන. මට බලයක් තිබුණා නම් ඕකුන්ට කරන දේ දනිමි. නමුත් මැඩම්ට එවැනි පිට කොන්දක් නොතිබුණේය. ඇය මාරුවෙන් මාරුවට ඇමෙරිකාවටත් ඉන්දියාවටත් නැවුණාය. ඕවා ඔහොම කළ හැකි වැඩ නොවේ. අපට මොටද අපි දසසිල් උපාසක – ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට! ඉබ්බන්ගේ කටුව පැත්තෙන් පුච්චා වැඩක් නැත. ලොකු මල්ලී ඒක බලා ගනීය මම සිතමි. සරත් ෆොන්සේකාත් හිටියා නම් හොඳයි. මිනිහා දක්ෂයා. නැති එකේ මොනවා කරන්ටද?
  3. බුද්ධ ශාසන අමාත්‍යාංශය නම වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර දැමිය යුතුය. මැඩම් ඔය බඩු කුඩුත්තුව මට දුන්නේ ආදරයකට නොව මූ පීචං පොරක් කියා රට්ටුන්ට පෙන්නන්ටය. එයා හිතුවේ මා දමලා ගහලා යයි කියලාය. ඒව කොහෙද! බුද්ධ ශාසනය නංවන්ට මට වැඩි දෙයක් කරන්ට නොතිබුණේ දේවානම් පිය තිස්සලා, දුටුගැමුණුලා, මහා පරාක්‍රමබාහුලා, විජයබාහුලා මදි නැතුව මට කලින් කරන්ට පුළුවන් හරිය කරලා තිබුණු නිසාය. (නැතුව මා රුවන්වැලි සෑය තනන්ටයැ!) ඉතින් මම එසේ ඉතුරුවුණු වෙලාව මගේ ප්‍රොපගැන්ඩා වලට පාවිච්චි කළෙමි. හැම පන්සලකටම පරිගණක දී පන්සල් ජාලයක් ගොඩ නඟා ගතිමි. පන්සල් හරහා මට ජනතා සහයෝගය ලැබුණේ කළුතර බෝධියේ පිං පෙට්ටියට කාසි වැටෙන්නාක් සේය. මා මැඩම්ට කළ දේ වෙනත් කිසිවකු විසින් මට කරන්ට ඉඩ නොතැබිය යුතුය. අනෙක දෙවන පෙළ නායකයින්ට වැඩකට නැති අමාත්‍යාංශ දීම වැරදි ප්‍රතිපත්තියකි. උන්ට දිය යුත්තේ මොකක් කළත් හොඳක් අහන්ඩ බැරි ජන දිවියට තීරණාත්මක අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා එකා හැම දාම ඩෙංගු නිසා බැනුම් අහයි. නියඟය ඇතිවන වාරයක් වාරයක් පාසා, ලයිට් කපද්දී, මහ ජනතාව විදුලිබල ඇමැතිගේ මෑණියන් වහන්සේ මතක් කරති. ලෝක වෙළඳපළේ බොරතෙල් බැරල් මිළ ඉහළ යන වාර ගණන පහළ යන වාර ගණනට වඩා ඉතා වැඩි හෙයින් ඛනිජතෙල් භාර ඇමැතියා හැමදාම අඳුරේය. ඔක්කෝටම වඩා හොඳ අධ්‍යාපනයයි. විභාග ප්‍රශ්න පත්තරයක ඇලපිල්ලක් අඩු වුණත් ඇමැති බැනුම් අහයි. Z ස්කෝර් තියෙන කල් හැමදාම වලිය. මම ෂේප්ය. මගේ දෙවන පෙළ තරගකාරයින්ට දිය යුත්තේ මේ වගේ අමාත්‍යාංශය. එයින් වාසි දෙකකි. උන් සේරම බලා ඉඳිද්දී ජනප්‍රියතාවයෙන් වැටෙන අතර මගේ ජනප්‍රියතාවය ඉබේම ඉහළ යයි. මොන ආතල්ද? බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබුණත් දිය යුත්තේ ඔය රිෂාද් බදුද්දීන් වගේ මිනිහෙකුටය. ඒකා බෞද්ධයෙක්ද කියලා අපේ හාමුදුරුවෝ ඇහුවොත්, ඉතින් මොකෑ? ධීවර ඇමැති මාළුවෙක්යැ? ආරක්ෂක ඇමැති සිකියුරිටි කාරයෙක්යැ? කියා පෙරළා ප්‍රශ්න කරන්ට පුළුවන.
  4. පුතාලා තුන් දෙනාට හා වයිපරේටත් මොනවා මොනවා හෝ ඉක්මණින් සෙට් කර දිය යුතුය. ඒ සියල්ලන්ටම විඳවන්ට වුනේ මට මේ ඉලව්ව හම්බවෙන එක ප්‍රමාද වුණු නිසාය. ලොකු පුතාගේ නම් අදහස තිබුණේ රූපවාහිනී ස්පෝර්ට්ස් නෙට්වර්ක් එකක් දාගෙන රෑට රෑට කොළඹ හා මහනුවර කාර් රේස් තියන්ටය. කොළඹ කෙසේ වෙතත් නුවර ඕවා තියන්ට මහනායක හාමුදුරුවරු ඉඩ දෙයිද සැකය. හරි, නුදුන්නොත් ඒක ඒ වෙලාවට බලාගනිමුකෝ. දෙවෙනියාට නේවි එකට යන්ට බැරි වුණේ මැඩම් කොක්ක ඇද්ද හන්දාය. තුන්වැනියා අභ්‍යවකාශගාමියකු වෙන එක නම් මැඩම්ට නතර කරන්ට පුළුවන්කම ලැබුණේ නැත. මිනිහා ලබන අවුරුද්දේ රුසියානු යානයක අඟහරු වෙත යන්ට ලෑස්ති වෙයි. ඕකා මෙච්චර කල් කරපු දේවල් වල හැටියට අඟහරු ගෑනියෙක් එල්ලගෙන නාවොත් ඇති. වයිපරේගේ පවුලටත් මොකක් හෝ කරන්ට ඕනෑය. එයාගේ අර එම්බාම් මූණ තියෙන අයියාට ශ්‍රී ලංකන් එයා ලයින්ස් බාර දෙන්ට පුළුවන. එතකොට වත් ඒ අහිංසකයාට ජීවිතකාලයක් තිස්සේ බලාගෙන ඉන්නා රොලෙක්ස් ඔරලෝසුව ගන්ට පුළුවන් වෙයි. හැබැයි ඔය මනුස්සයාට ඒක හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්ටවත් පුළුවන්ද කියලා නම් මට සැකයි.
  5. වෙන කාට නැති වුණත් ස්වාසිලන්තයේ රජාට රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට ආරාධනා කළ යුතුයි. එතෙකොට ඔහුද මට ආරාධනා කරනු ඇත. යායුත්තේ අනිවාර්යයෙනම් ඔහු නව බිසවුන් තෝරන උත්සවයටය. උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා!
  6. ජුලම්පිටියේ අමරේ මතක ඇතිව ඉතාලියේ තානාපති කරන්ට ඕනෑය. ඉතාලියට යන එක ඒ කාලේ ඕකාගේ හීනයක් විය. බෝට්ටුවේ ඉතාලියට යන්ට පට්ට චාන්ස් එකක් හම්බවෙලාත් මූ නොගියේ මගේ වැඩ කිහිපයක් කර දෙන්ටය. හැබැයි මට මූ ලොකුම උදව්ව කර දුන්නේ වික්ටර් හරහාය. වික්ටර් මුගෙන් වැඩ ගන්ට ගිහින් අල කර ගත්තේ නැත්නම් මට කවදාවත් මෙතෙන්ට එන්ට ලැබෙන්නේ නැත. මැඩම් ගේ බිඳ වැටීම පටන් ගත්තේ වික්ටර් අල කර ගත් තැනින්ය. හැබෑටම වික්ටර්ගේ පුතාට මොකද වුණේ? ඒ සිද්දියෙන් පස්සේ ඌ ගැන කිසිම ආරංචියක් නැත. වික්ටර්ගේ මරණ ගෙදරදි හම්බ වුණත් වැඩි විස්තරයක් කතාකර ගන්ට බැරිවිය. ඌ ගැන හොයන්ට ඕනෑය.
  7. මතකම නැතිවුණා, රට දියුණු කරන්ටත් මොනවා මොනවා හරි කරන්ට ඕනෑය. නැත්නම්  මට ඡන්දය දුන් මිනිස්සුලාට පව්.

දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය අගැමැතිකම කාට දෙන්ටද කියලාය. එය ලැබිය යුත්තේ හීනෙකින්වත් මට ගේම දෙන්ට බැරි පොරකටය. මෑතක් වනතුරු මේක මට ලොකු ගැටළුවක් නොවුණේ අවුරුදු දෙක තුනක් තිස්සේ නවලෝකයේ ස්ථිර පදිංචිකාරයකු වුවත්, මගේ විශ්වාසය දිනාගත් දිමු සීයා නිසාය. ඒත් හරියටම මාසෙකට කලින් මූත් මට නාක්කලේට වගේ වල කජ්ජ ගැහුවාය. සවුක්කියාට හෝ බාල පැට්රලයාට අගැමැතිකම දෙනවා කියන්නේ කේස්ය. ඕනැ නැති ප්‍රශ්න හදා ගන්ට ඕනෑම නැත.

එතකොට ඉතුරු වෙන්නේ බන්දු-බණ්ඩා ඩබලය. Z ස්කෝර් එකක් වත් හරියට හදා ගන්ට බැරි මුන් දෙන්නාට නම් මේක දෙන්ට කිසිම බයක් නැත. ඒත් දෙන්නාගෙන් කවුද හොඳ? දෙන්නාම එක වගේය. අයියා හා මල්ලී වාගේ. කොයිකා හොඳද තෝරන්නේ කොහොමද?

හෙට මම කාසියක් උඩ දා බලමි. නැතිනම් ඔන්නොහෙ අද්දියාපනය වගේ දෙන්නාටම බෙදාගෙන කන්ට දෙමි.

.

(ඉවසන්න…………..සමනළයා නැවත පියා සලන තෙක්)

(12) ආදරයේ කෝඩුකාරයෝ (18+) || The Baby Lovers (18+)

  • කාලය: 2005, සමාන්තර විශ්වය
  • ස්ථානය: කොළඹ, ලංකාව

**********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව )**********

…Something in the wind has learned my name
And it’s tellin’ me that things are not the same
In the leaves on the trees and the touch of the breeze
There’s a pleasin’ sense of happiness for me…

කල්ප කාලාන්තරයකැයි හැඟුණු කාල සීමාවෙකින් පසුව මම චරිත්ගේ හද නැමැති අඳුරු කුටීරයේ යතුර දිනා ගන්ට සමත්ව සිටිමි.

ඔහු දවසට සිය සැරයක් ‘I love you’ කියා txt කරන සාම්ප්‍රදායික ප්‍රේමවන්තයකු නොවේ. නමුත් චරියා දැන් මා ගැන වෙනදා නොදැක්වූ උනන්දුවක් දක්වතැයි මට සිතෙයි. ඒ සිතිවිල්ලම පමණක් මා අමුතුම ලෝකයකට රැගෙන යන්ට සමත්ය.

ඒ ලෝකයේ බැලු බැලු අත දේදුනු පායා තිබේ. සමනල්ලු රෑන් පිටින් ඈත කඳු මුදුන් කරා ඉගිලෙති. වළාකුළු ස්පර්ශ කළ හැකි මට්ටමින් ඇදේ. සියොත්හු දවස තිස්සේ කීචි බීචි හඬ නංවති. වැලිකැට පුපුරන උණුසුම් මධ්‍යාහන්‍යය පවා ගතටද සිතටද සනීපය.

…There is only one wish on my mind
When this day is through I hope that I will find
That tomorrow will be just the same for you and me
All I need will be mine if you are here

I’m on the top of the world lookin’ down on creation
And the only explanation I can find
Is the love that I’ve found ever since you’ve been around
Your love’s put me at the top of the world…

එකම ගැටළුව තවමත් මට ඔහු මගේම යැයි නොහැඟෙන්නේ මන්ද යන්නයි. ඒ ඇයිද මම නොදනිමි.

චරිත් බඳු හොඳ පවුල් පසුබිමක් ඇති, කැපී පෙනෙන ලෙස කඩවසම්, ඩීසන්ට් ලුක් එකක් ඇති කොල්ලකුට වයස අවුරුදු විස්සක් වනතුරුම කෙල්ලක නොසිටියේ මන්දැයි මට සිතා ගත නොහැකිය. චරියා අනුන්ගේ කරේ එල්ලෙන්ට නොගියත් කවර හෝ නැට්ටුක්කාරියක එතෙක් කල් ඔහුගේ කරේ නොඑල්ලුනේ මන්ද? වෙන කෙනකු ගැන නම් මා සිතන්නේ මේ කතාව බොරුවක් බවය. එහෙත් මම වසර හතරකට ආසන්න කාලයක් චරියා කිට්ටුවෙන් දැන සිටිමි. ඔහුට පෙම්වතියක් වී නම් මා එය නොදැන ගන්ට හේතුවක් නැත. චරියාට පෙම්වතියක සිටින්නේද ඉරාන් අයියාගෙන් අසන හැමවිටෙකම ඔහු කරන්නේ “Are you mad?” කියා කට කොණින් සිනාසී වෙන දෙයක් කතා කරන්ට පටන් ගන්නා එකය.

චරියා ඉතාම දැඩි ලෙස ඇතුළතට හැරුණු සිතක් ඇත්තෙකැයි මම සිතමි. කිසි දිනෙක මවගේ ඇසුරක් නොලැබීමත්, නමට විතරක් සීමාවූ පියකු සිටීමත් මීට හේතු වන්ට ඇත. ඔහු කටුවක් තුළ වසන බෙල්ලකු වැනිය. ඉතාම කලාතුරෙකින්, කණ කැස්බෑවා විය සිදුරින් අහස බලන්නාක් සේ, මේ බෙල්ලා කටුවෙන් හිස එළියට දමයි. එහෙත් ඉතාම සුළු බාධාවෙකින් පවා අධෛර්යමත් වී නැවත කටුව තුළටම රිංගා ගනියි.

මම චරියා ගේ ආත්මය මේ බෙල්ලා තුළින් එළියට ගන්ට උත්සාහ කරමි. ඔහු දේශපාලනය නොකළාට කම් නැත. ඇත්තටම මම පෞද්ගලිකව ඊට ප්‍රිය නොකරමි. එහෙත් ඔහු මිනිසකු විය යුතුය. විරාගයේ අරවින්දට අම්මා කීවාක් මෙන් ලොකු මිනිසකු නොව හොඳ මිනිසකු විය යුතුය.

අරවින්ද!

අරවින්ද සරෝජිනීට ආදරය කරයි. සරෝජිනීද ඔහුට පෙරළා ආදරය කරයි. එය බාධා රහිත සාර්ථක ටීන් ලව් එකකි. එහෙත් අරවින්ද කවර හෝ හේතුවක් මත ඊළඟ පියවර ගන්ට මැළිවෙයි. “අපි පැනලා යමු” සරා අරවින්දට යෝජනා කරයි. “ඇවිත් මෙහි නතර කර ගන්ට” මේනකා අරවින්දට පූර්ණ අවසරය දෙයි. එහෙත් සරෝජිනී බාලවයස්කාරිකය යන සරල කාරණය හමුවේ අරවින්ද දුර්මුඛ වේ. සරා අරවින්දට අහිමි වේ. අරවින්ද එය උපේක්ෂාවෙන් දරා ගනියි.

මේ ආකාරයටම චරිත් මට අහිමි වෙතැයි මට ඇත්තේ බියකි. මම එය සඟවා ගන්ට වෑයම් කරමි.

ඊයේ අපි ලිබර්ටිහි War of the Worlds බලන්ට ගියෙමු. මේ අප දෙදෙනා එක්ව නැරැඹූ පළමු සිතුවම්පටය නොවේ. ගැන්සියක් හැටියට පමණක් නොව මිතුරන් හැටියටද මම චරිත් සමඟ මින් පෙර බොහෝ වතාවක් – සමහරවිට ලිබර්ටි එකේදීම – සිතුවම්පට නරඹා ඇත්තෙමි. එහෙත් අද වෙනස්ය. මේ අප පෙම්වතුන් හැටියට එකට බලන පළමු සිතුවම්පටයයි. එය සුවිශේෂ අවස්ථාවක් වන්නේ එනිසාය.

ආධුනික පෙම්වතකු හැටියට චරියාට ඉගෙන ගන්ට ඇති දේ බොහෝය. මා එය හොඳින්ම දන්නේ පෙම්වතුන් හැටියට පළමු සිතුවම්පටය නැරැඹීම සඳහා මා මේ හෝල් එකටම කැඳවාගෙන ආ ශේන් හා අකලංක දෙදෙනාම චරිත්ට බොහෝ ඉදිරියෙන් සිටි නිසාය.

ශේන් නම් ඊළඟ සති අන්තයේ මා ලවා ගෙදරට බොරු හැටක් කියවා, මාව නුවරඑළි කැන්දාගෙන යන්ට තරම් ශූර විය. එය අවසන් වූයේ මගේ ඉදුණු චෙරි ගෙඩිය ඔහු ඇහිඳ ගැනීමෙනි. අකලංකට මා නුවරඑළි රැගෙන යන්ට අවශ්‍ය නුවූයේ බ්ලෝ ජොබ් එකක්, හෑන්ඩ් ජොබ් එකක් වැනි සරල දේවල් වලින් පමණක් සංතෘප්ත වන්ට ඔහුට හැකියාවක් තිබුණු නිසාය. මූවී හෝල් එකක බොක්ස් එකක් තුළදී හෝ සමහරවිට ඔහුගේ හොණ්ඩා සිවික් එකේදීම  ඒවා ලබා දෙන්ට පුළුවන් විය. (අප කාර් එකේ සෙල්ලම් කිරීම නතර කළේ එක් රාත්‍රියෙක හෑන්ඩ් ජොබ් එකක් විඳිමින්ම රිය පදවාගෙන ගිය අකලංක අතින් බයිසිකල්කාරයකු යට වෙන්ට ගිහින් අනූ නවයෙන් බේරුණු පසුවය. )

මේ දෙදෙනාට සාපේක්ෂව චරියා කෝඩුකාරයෙකි. නිකම් කෝඩුකාරයෙක් නොව කිරි කෝඩුය. ඔහුට තව බොහෝ කල් දිය යුතුය මම සිතමි. පසු දිනෙක මම ශේන් හා අකලංක ගැන ඔහුට කියමි.

“Let’s have two strawberry ice-creams…”

මේ මගේ ආධුනික පෙම්වතා චරිත්ය. ඔහුට වැදගත් ඔහුගේ රුචිය පමණෙකි. අඩු තරමින් මා කැමැති මොනවාද අසන්ට වත් මේ කිරි කෝඩුවාට අවශ්‍යතාවයක් නැති සේය.

නමුත් මම ඔහු වරදවා වටහා නොගනිමි. මින් වසර හතරකට ඉහත නව රඟහලේදී, සාමාන්‍ය පෙළ පොඩ්ඩකු ලෙස  ගෲෂාගේ චරිතයට පණදුන් මේ කොළු ගැටයා ගැන මම කිසිවකුට හෝ වඩා හොඳින් දනිමි. කොග්ගල ඔයේදී ත්සුනාමියෙන් ඇතිවූ ජල කැළැඹීමට නතුව බෝට්ටුව පෙරළෙන්ට යද්දී කොතැනින් මතුවීද අප කිසිවකුට සිතාගන්ටත් නොහැකි වූ ජවයකින් හා ස්ථානෝචිත ප්‍රඥාවකින් ක්‍රියා කරමින් බෝට්ටුව නුදුරින්ම වූ දූවකට ගෙන යන්ටත්, ත්සුනාමියේ අඳුරු සිදුවීම් මැද, දින කිහිපයකට පසු මාත් ඉවෝනුත් ගෙදර ඇරළවන තෙක්ම අප හා රැඳී ඉන්ටත් ක්‍රියා කළේ චරිත්ය. පැණි උරා බොන්ට පමණක් මලක වසන බමරකුට වඩා මේ අහිංසක සමනලයා දහස් වාරයක් හොඳය මම සිතමි.

“Why you like strawberry ice-creams so much..?”

මා අසන්නේ පිළිතුර නොදැන නොවේ. මේ මා සියක් වාරයක් අසා ඇති කතාවකි. ඒ බව චරිත්ද දන්නවා විය හැකිය. එහෙත් ඔහු එය පුනරුච්චාරණයෙන් වින්දනයක් ලබතිය මම සිතමි.

“It was about the first ice-cream I ever had…” කියා පටන් ගන්නා ඔහු ජීවිතයේ පළමුවරට එතෙක් බොහෝ ඈතින් පමණක් දැන සිටි සිය පියා සමඟ මහනුවර සිට කොළඹ එන්ට පටන් ගත් හැටිද, කළු ජූලියේ සැහැසිකම් වලට මැදි වූ හැටිද, බණ්ඩාර අන්කල් කෙසේ හෝ ඒ සියල්ලෙන් ඔහු මුදා ආරක්ෂිතව දෙල්කඳ නිවෙසට රැගෙන ආ සැටිද, ඒ සියල්ලට වඩා පේරාදෙණිය රෙස්ට් හවුසියේදී, අට හැවිරිදි දරුවකුව ජීවිතයේ පළමු අයිස්ක්‍රීම් එක රස විඳි හැටිද මහත් අභිරුචියකින් යුතුව වර්ණනා කරයි. මේ කොපමණ වාර ගණනක් කීවද ඔහුට එපා නොවන කතාවකි.

ශේන්ද අයිස්ක්‍රීම් වලට ඇළුම් කළේය. එහෙත් ඒ කෝන් එකකින් කන්ට නොව මගේ ගැට පියයුරු මත හළා තොළ ගාන්ටය. (ඇත්තටම ඔහුට අවශ්‍ය වූයේ මගේ ඇඟපුරාම අයිස්ක්‍රීම් හළන්ටය. එක කලාපයකට පමණක් අවසරය ලැබෙන ‘කම්ප්‍රමයිස් සොලුෂන්’ එකට ඔහු පසුව එකඟ විය.) ඒ අවස්ථාවේදී එය අතිශය අනුරාගික හැඟීමක් වුවද ශේන් මගේ  ජීවිතය ඇද දැමූ ආගාධය හා සැලැකීමේදී තවදුරටත් කොහොමටවත් ප්‍රසන්න මතකයක් නොවේ. මට පසුව හිතුණේ අප හමුවූ පළමු අවස්ථාවෙහි පටන්ම ඔහු මා යූස් කළ බවයි.

කවදා හෝ මේ අත්දැකීම් චරියා හා බෙදා ගන්ට මම කැමැත්තෙමි. ඒවා දැන්ම කියා මේ පොඩි එකා නරක් කළ යුතු නොවේ.

“Charee…?”

“Yes..”

“Have you ever been to a movie with a girl..?”

“Yes, of course!”

මගේ පල්ස් එක මොහොතෙකින් ඉහළ යයි.

“You were? With whom..?”

“With you…Remember we watched Madagascar sometime back…”

“Not me you stupid!”

“Hey, don’t repeat this question. I am tired of it. I don’t have all the time in the world for movies and girls. There are so many other things in life…”

“There is no need to raise your voice…”

ඔහු මොහොතකට කලින් රස කැවිල්ලක් සොරකම් කර හසුවූ කුඩාවකුගේ අහිංසක දෑසින් මා දෙස බලයි. ඒ තියුණු කළු ඇස්! ඒ දිගටි නැහැය! කොයිතරම් අවුල් වුවත් එකිනෙකට වෙනස් අපූරු හැඩ ගන්නා ඒ දඟකාර කොණ්ඩය! මම ෆේස්බුක් එකේ චරිත්ගේ පින්තූර දෙස එක දිගට පැය ගණන් බලා සිටිමි. ඒ හැම මොහොතෙකම මා කලින් නුදුටු යමක් එතුළින් දකිමි. මේ පින්තූර මා කොයිතරම් බලා සිටියද මට එපා නොවන්නේ ඇයිද?

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය.
දැන් මගේ අතීතය ඔබය.
මගේ වර්තමානයද ඔබය.
මගේ උත්තරීතර අනාගතයද ඔබය.

ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ
සදානන්දකරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක්සේ තඩාගේ…

අපි War of the Worlds නරඹමු. වඩාත් නිවැරදි වුව හොත් චරියා War of the Worlds නරඹයි. මම චරියාගේ දිගටි නැහැය දෙස බලා සිටිමි.

චරිත්ගේ දිගු ඇඟිලි මගේ දෙවුර මත දුවයි. මම මගේ මුහුණ ඔහුගේ මුහුණට ළංකරමි. ඔහු ඔහුගේ උණුසුම් රෝස තොල් පෙති වලින් මගේ නළල සිඹී.

කොල්ලා නවකයකු වුවත් කවදා හෝ මේවා ඉගෙන ගත යුතුය. මම ඔහුගේ ඇදුරුතුමිය වෙමි. තිරය මත පිටසක්වල ජීවීහු මහ පොළොව ආක්‍රමණය කරති. මම චරිත් බණ්ඩාර නම් යෞවනයාගේ ජීවිතය ආක්‍රමණය කරමි.

අද ෂර්ට් එක ඇඳගෙන ආවේ යටට ඕනෑකමින්ම බ්‍රා එක නොඇඳ බව ඔහුට කිව යුතුද? නැතිනම් ඔහුටම එය සොයා ගන්ට ඉඩ හැරිය යුතුද?

.

(ඉවසන්න…………….සමනළයා නැවත තටු සලන තෙක්)

(11) රනිල්ගේ මරණයෙන් පසු මිලින්ද මොරගොඩ එජාපයේ නායකත්වයට || Milinda Moragoda to lead UNP after Ranil dies in a blast

  • කාලය: 2008, සමාන්තර විශ්වය
  • ස්ථානය: කොළඹ, ලංකාව

**********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

අද මම චිරාත් කාලයකට පසු මගේ පැරැණි සගයකු වූ මිලින්ද මොරගොඩට දුරකථන කළෙමි. ඒ ඔහු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වීමට සුභ පතන්ටය. මිලින්ද මට ස්තූති කොට ඒ විගසම දුරකථනය විසන්ධි කළේ මීටිමක සිටින්නේය කියමිනි. අඩුතරමින් ඔහු “…I’ll call you back” වත් නොකීම ගැන මගේ හිත පොඩියක් රිදුණේය.

කොහොමටත්, කවරදාකවත් මිලින්ද මගේ කිට්ටු මිතුරකු නොවූයේය. ඔහු හා අප අතර යා කළ නොහැකි පරතරයක් හැමදාම විය. යා දෙක නොරත රත සමඟ පෑහීමෙක් නැත – රත් වූ යකඩය සමඟ නොරත්වූ යකඩය නො එක්වේ. මේ නිසා අපේ සම්බන්ධකම් හැමදාමත් වූයේ මතුපිටිනි.

පොදුවේ හැම දේශපාලකයකුම කරන ජඩ වැඩ ඒ මට්ටමින්ම හෝ සමහරවිට ඊටත් වැඩියෙන් කළත් මිලින්දට අවශ්‍ය වූයේ තමා සොර රැළක් මැද ඉන්නා ‘The Gentleman Politician’ බව ලෝකයට පෙන්නන්ටය. මෙනිසා ඔහු පක්ෂය තුළ ජනප්‍රිය නොවන චරිතයක් විය. 2005 ජනාධිපතිවරණය මැඩම් තෙවන වරටත් ජය ගැනීමෙන් පසු අප විශාල පිරිසක් ආණ්ඩු පක්ෂයට එක් නොවන්ට ඔහු වැනි හාල්පාරුවෙකුට එක්සත් ජාතික පක්ෂය වැනි කලෙක සද්දන්ත වූ දේශපාලන බලවේගයක නායකත්වය ලබා ගැනීම සිහිනයක් පමණක්ම වනු ඇත්තේය.

මිලින්ද ගැන සිතට එන හැම විටෙකම මට මා අසා ඇති කතාවක් මතක් වෙයි.

අප්‍රිකාව අඳුරු මහාද්වීපයක්ව පැවැති සමයේ එහි සංචාරය කළ යුරෝපීය ගවේෂකයකු මිනීමස් බුදින ගෝත්‍රික කණ්ඩායමකට හසු වූයේලු. ගෝත්‍රිකයෝ ඔහු කුදලාගෙන තම නායකයා වෙත ගෙන ගියහ.

ගවේෂකයා විස්මයට පත් කරමින් ගෝත්‍රික නායකයා නිවැරදි ඉංගිරිසියෙන් ඔහුට කතා කළේලු. ඉන්පසු ඔවුන් අතර දෙබස මෙසේ විය.

ගවේෂකයා: ඈං, උඹ ඉංගිරිසිත් දන්නවා?
ගෝත්‍රික නායකයා: ඔව්, පැහැදිළිවම.
ගවේෂකයා: උඹ කොහොමද ඔච්චර හොඳට ඉංගිරිසි ඉගෙන ගත්තෙ?
ගෝත්‍රික නායකයා: ඇයි උලමෝ, දැං මෙහෙම හිටියට මාත් ඉගෙන ගත්තෙ උඹලගෙම ඔක්ස්ෆර්ඩ් එකෙන් නෙවැ.
ගවේෂකයා (උපහාසයෙන්) : උඹ ඔක්ස්ෆර්ඩ් හිටියට ඒ ශිෂ්ටාචාරයෙන් භාෂාව මිසක වෙන දෙයක් නම් ඉගෙන ගෙන නැති හැඩයි…
ගෝත්‍රික නායකයා: නැත්තෙ මොකද? දැන් මම මිනී මස් කන්නෙ හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි…

මිලින්ද මොරගොඩ යනු අකුරක වෙනසක් නැතිව මේ හැඳි ගෑරුප්පු වලින් මිනීමස් කෑ ගෝත්‍රිකයාය. ඇමරිකාවේ උපත ලබා යුරෝපයේ අධ්‍යාපනය ලද ඔහු ඒ සංස්කෘතීන් වලින් උකහා ගත් දෙයක් ඇත්නම් එය පිට පොත්තට පමණක් සීමා විය. ඇතුළතින් ඔහු අප සියළුදෙනාටම වඩා ගෝත්‍රිකයකු වූයේය.

එතකුදු වුව අප අතරද යම් සමානත්වයක් විය. මා එය දැන ගත්තේ මාස කිහිපයකට පෙර ඔහුට කුළුඳුලේ පුතකු ලද ආරංචිය දැන මෙසේම සුභ පතන්ට කතා කළ විටය.

“So have you named the kid…?” මූලික විස්තර කතා කිරීමෙන් පසු මම ඇසීමි.

“Yes, I named him Charith…”

මට එක් වරම සිනා පහළ විය. මගේ සිනා හඬ ඔහුටද ඇසෙන්ට ඇත.

“What’s so funny about that?”

“Just that it is the same name I gave to my son…”

“Mr. Arisen Ahubudu too said anybody with such a great name is sure to become a very talented person…” කී ඔහු වහා “…not that I believe in astrology” කියාද එක් කළේය.

අපි දෙදෙනම සිනාසුනෙමු. ‘Talented’ යන්න නම් මට මගේ එකා ගැනද බිය නැතිව එක් කළ හැකි විශේෂණයකි. අනෙක් විශේෂණ ගැන මම නොදනිමි. ඔහු එතරම්ම අවිශද, අපැහැදිළි චරිතයක් බවට පත්වෙමින් සිටියි.

රිසීවරය තියා මම කලෙක මගේද අනුත්තර නිවහන වූ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන කල්පනා කළෙමි.

එජාපය කිසි දිනෙක විශාල ජන පදනමක් වූ පක්ෂයක් නොවීය. ලංකාව වැනි ස්වෝත්සාහයෙන් නැඟී සිටිනවාට වඩා අනුන්ට බැළකම් කරමින් දිවි පෙවෙත ගෙන යාමට සැදී පැහැදී සිටින අති බහුතර ජනකායක් සිටින රටකට එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ප්‍රතිපත්ති කවරදාවත් නොපෑහුණේය. එජාපයට යම් ජන පදනමක් වී නම් ඒ වාමාංශික පක්ෂ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇතුළුව) දරුණුම වැරදි කළ අවස්ථාවන්හිදී ගොඩ නැඟුණු එකක් හෝ වෙනත් පක්ෂ වලට එවක නොතිබුණු ධන බලය මත ගොඩ නඟා ගත් එකකි. එජාපය පසුපස හුන් වැඩි පිරිසක් “අපි-අලියට – වැඩ කුලියට” යි කිව හැකි උන්දෙලාය. ඔවුන් පක්ෂය පසුපස ආවේ ප්‍රතිපත්තිමය වශයෙන් වූ එකඟතාවයකට නොව “ලොකු එකාට රස්සාවක්” හෝ “පෙළපාලියට ගිහින් එනකොට බුරියානි එකක්” ලබා ගන්ටය. නැත්නම් ගමේ වාමාංශය නියෝජනය කළ පිළ හත්මුතු පරම්පරාවක් තිස්සේ වෛරක්කාරයින් වූ නිසාය.

ජන පදනමක් නැති එක්සත් ජාතික පක්ෂය ජන පදනම ගොඩ නඟා ගත්තේ අපූරු ක්‍රමවේදයකිනි. පක්ෂයට බැක් කළ මහා ධනවත්තු සල්ලි පොම්ප කළහ. මේ සල්ලි වලින් පාක්ෂිකයින් ‘මිළදී ගනු’ ලැබිණි. පක්ෂයට වූ කැපැවීම දිළින්දන්ගේ ජීවන මාර්ගය බවට පත් කරන ලදී.

මට අප්පච්චි සිහිවෙයි. ඔහු ජීවතුන් අතර සිටියදී හැම මැතිවරණයකටම පෙර වළව්වේ හා අපේ ව්‍යාපාරික ආයතනයන්හි සේවකයින් රැස් කොට ඡන්ද කොළයේ අලියා ඉදිරියේ කතිරය ගසන්ට විස්තර සහිතව කියා දුන්නේය. අඩු ගණනේ මේ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ සැබෑ මනාපය විමසන්ට හෝ සදාචාරයක් ඔහුට නොවීය. තම සේවකයකු වෙනත් පක්ෂයකට අනුකූලතාවයක් දක්වන්නේය සුළු හෝ සැකයක් මතු වූ විට (මෙවැනි දේ මොහොතක පමාවෙකින් තොරව අප්පච්චිගේ කණේ තියන්ට සේවක පිරිස අතරම ඕනෑ තරම් කේලාම් කාරයෝ, කේලාම් කාරියෝ වූහ.) ඔහු කළේ බොරු වරදක් හොයාගෙන ඔවුන් සේවයෙන් නෙරපීමයි. එය වරදකැයි ඔහු මැරෙණ තුරු නොසිතුවේය.

අප්පච්චිගේ තර්කය වූයේ මා රැකෙන්නේ – යූ. එන්. පි.ය නිසා; නුඹලා රැකෙන්නේ මා නිසා එසේනම් නුඹලා රැකෙන්නේද යූ. එන්. පි.ය නිසා යන්නය. මෙය සාධාරණ තර්කයකැයි මම සිතමි.

එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම වූයේ ක්‍රොම්ප්‍රදෝරු ධනපති පන්තිය හා දේශීය ධනපති පන්තිය අතරය.

ඉංගිරිසි ‘compradores’ යන යෙදුම ‘මිළදී ගන්නා’ යන අරුත දෙන පෘතුගීසි පදයෙන් නිපන්නකි. මුල්වරට මේ පදය භාවිතා කරන ලද්දේ දක්ෂිණ චීනයේ Guangzhouහි වෙළෙන්දන් සමඟ ගනුදෙනු කළ යුරෝපීය වෙළඳුන් හැඳින්වීම සඳහාය. කලෙකට පසු එය විදේශයකින් පැමිණෙන ඕනෑම වෙළෙන්දකු හැඳින්වීම පිණිස යොදා ගැණිනි. මොවුන් සමඟ ගනුදෙනු කළ දේශීය වෙළෙන්දෝ ‘ක්‍රොම්ප්‍රදෝරු ධනපති පන්තිය’ බවට පත්වූහ. ඔවුන් දේශීයව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොකළහ. ඔවුන්ගේ පැවැත්ම රැඳී තිබුණේ තනිකරම ආනයනය මතය.

මගේ අදහසේ හැටියට රටකට ක්‍රොම්පදෝරු ධනපති පන්තියට වඩා වැදගත් එරට තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන දේශීය ධනපති පන්තියයි. අපේ පවුල ඊට අයිති විය. එනිසාය අප සම්ප්‍රදායිකව යූ ඇන් පී කාරයින් වූයේ.

යූ. එන්. පි.ය මේ දෙකොටසම සමතුලිතව නියෝජනය කළේය. උපරිපථනය නොසළකා හැරියොත් යූ එන් පිය තුළ කොතළාවලලා ජයවර්ධනලා හා පසුව රනිල් වික්‍රමසිංහ නියෝජනය කළේ ක්‍රොම්ප්‍රදෝරු ධනපති පංතියයි. රනිල්ට කෙළ වීමට එක හේතුවක්ද වූයේ එවිට දේශීය ධනපති පන්තිය (ඒ වන විට නිදහස් ආර්ථිකය පිළිගෙන සිටි) පොදු පෙරමුණ හා එක් වීමය. යූ. එන්. පි.ය තුළ දේශීය ධනපති පන්තියේ නියෝජිතයන් වූයේ සේනානායකලා හා පසුව රණසිංහ ප්‍රේමදාස, ඔහුගේ පුතු සජිත් හා කරු ජයසූරියයි.

මිලින්ද මොරගොඩ අයත් වන්නේ මින් කුමන කොටසටදැයි තීරණය කරන්ට කෙස් පළාගන්ට අවශ්‍ය නොවේ. කවරදා හෝ විකිලීක්ස් හි අසංගයා විසින් මෙරට ඇමෙරිකානු තානාපති විසින් තම රටට යවන ලද කේබල් එකක් ප්‍රසිද්ධ කරනු ලැබුවොත් එය මෙසේ විය හැකිය සිතමි.

C O N F I D E N T I A L SECTION 01 OF 04 COLOMBO 000909 SIPDIS DEPARTMENT FOR SA, SA/INS, S/P, IO, INR/NESA; NSC FOR E.MILLARD LONDON FOR POL/RIEDEL E.O. 12958: DECL: 05-29-13TAGS: PREL PGOV PINR CE UNSUBJECT: Sri Lanka’s foreign policy: Prime Ministertilts toward U.S., but faces resistance Refs: Colombo 873, and previous (U) Classified by Ambassador. Reasons: 1.5 (b,d).

SUMMARY: More than Peiris’, Moragoda’s direct focus has been on cultivating relations with the U.S. and with India. Re the U.S., the intelligent, articulate Moragoda is a perfect fit. Born in Washington, D.C, he is a dual national American citizen (please protect) married to an American, with plenty of Washington connections, many from his days as a visiting fellow at the Heritage Foundation and at Harvard. A “big picture” person, Moragoda is also highly aware that the U.S. is the most powerful country in the world, and he feels that it is better that Sri Lanka recognize that fact and work within it.

දිවා ආහරය අතරතුර මම පුරුදු ලෙස රූපවාහිනිය නාළිකාවෙන් නාළිකාවට මාරු කළෙමි. හැම නාළිකාවෙකම වාගේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණේ ඊයේ සන්ධ්‍යා භාගයෙහි අහවර වූ රනිල් වික්‍රමසිංහගේ ආදාහනෝත්සවයේ දර්ශනය.

මා සිරස තෝරා ගත්තේ අහම්බයෙන් සාසනයා ඇස ගැසුණු හෙයිනි. නිදහස් චතුරශ්‍රයේ සිට ඔහු නියම ‘මළගෙදර’ ටයිප් වොයිස් කට් එකක්, ඇදලා පැදලා දෙමින් සිටියේ රනිල් වික්‍රමසිංහ උපන්දා සිට දන්නා අඳුනන බොක්කක් විදියටය. ඒ අහු අස්සේ ඔහු මැඩම්ට දාන්ට පුළුවන් බවුන්සර් සියල්ලම දැම්මේය.

“…අප අතරින්… දින කිහිපයකට පෙර වෙන්වුණු… මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා… අපේ රට ජාතිය නංවන්න… තමන්ගෙ මුළු ජීවිතයම… කැපකළ නායකයෙක්. (සාටකයෙන් කට පිස දා ගනියි) විශේෂයෙන්ම කියන්ට ඕනැ… දේශපාලනේට ඇවිදින්… රටට වැඩ කරනවා වෙනුවට… තමන්ගෙ පවුලට වැඩ කර ගන්නා …නායක නායිකාවන් වැඩි වශයෙන් ඉන්නා මේ රටේ… (සාටකයෙන් කට පිස දා ගනියි)…රනිල් වික්‍රමසිංහ මැතිතුමා… තමන්ගේ පවුල නැංවීම ගැන… මොහොතකටවත් කල්පනා නොකර… තමන්ගේ සම්පූර්ණ කාලය… රට නැංවීම සඳහා යෙදුවා.තමන්ගෙන් පස්සෙ නායකත්වයට… තමන්ගෙ දරුවෙක් හදල තියන්ට… කවදාවත් එතුමාට… ඕනැකමක් වුණේ නැහැ…”

සාසනයා තව මොන මොනවාදෝ කී නමුත් මට ඒවා නොඇසුනේ එකපාරට හිනා ගොස් කටේ තිබුණු බත් කට ඉස්මොල්ලෙ ගිය නිසාය. මේ රනිල් වික්‍රමසිංහ ගුණ කථනයක් නොව අනාගත ජනාධිපතිකමට තම පුත් විමුක්ති පුරුදු පුහුණු කරන්ට මැඩම් ගන්නා උත්සාහයට එල්ල කළ ඩිරෙක්ට් හින්ට් එකකි.

සාසනයා මේ සියල්ල කියන්නේද ‘මං සුදනා’ ටෝන් එකෙනි. ඔය කියන සාසනයාම කවදා හරි තැනකට ආවොත් දරුවන් විතරක් නොව දැනට ඇමෙරිකාවේ ඉන්නා අයියලා මල්ලිලා රොත්ත බුරුත්තම මෙහි ගෙනත් දමා,  පසුව පොදු පෙරමුණට එක්වූ අපට තියා, ඩෙංගු සිරිසේනයාට හෝ බාල පැට්රලයාට වත් ඔළුව උස්සන්ට බැරි විදියට පවුල් පාලනයක් ගෙන යනු ඇති බවට මට ඕනෑම මොහොතක රෙඩ් ලේබල් බෝතයලක් ඔට්ටු ඇල්ලිය හැකි තරමට ෂුවර්ය.

ඒ පැත්තත් මේ පැත්තත් බේරාගෙන සිරසට ‘අනුශාසනා වොයිස් කට් එකක්’ කළ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ දසවන පරාක්‍රමබාහු රජතුමා වෙන්ට තරම් හැකියාව හා වාසනා ගුණ මහිමය තිබුණු කෙනෙක් බවටත්, කොටි ත්‍රස්තයින් විසින් කළ මේ තුච්ඡ අපරාධය නිසා එය වැලැකුණු බවත් කීවෝය. අපි නොදන්න පරාක්‍රමබාහු! රනිල් වික්‍රමසිංහට පරාක්‍රමබාහු වෙන්ට පුළුවන් නම් මට දුටුගැමුණු වෙන්ටත් පිළිවන!

ජවිපෙ වෙනුවෙන් කථාකළ විමල් වීරවංශ ප්‍රතිපත්ති අතින් තමන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ එකඟ නොවූවත් එතුමා අවංක නායකයකු බව කීවේය. ඔහුගේ විනාඩි තුනේ වොයිස් කට් එකේ වැඩි කාලයක් වෙන් වුණේ මේ අපරාධය කළ කොටි ත්‍රස්තයින් හෙළා දකින්ටත් එය කළ හැකි නිවැරදි නායකත්වයක් අප වහ වහා පත් කර ගත යුතු බැව් කියන්ටත්ය. මේ ඝාතනය හෙළා දකින්ට එක්සත් ජාතීන්ගේ මහාලේකම් බැංකි මූන් මෙතරම් ප්‍රමාද ඔහුද සුදු කොටියෙක් නිසාදැයි වීරවංශ ප්‍රශ්න කළේය.

මම නාළිකා මාරු කළෙමි. අයි. ටී. එන්. එකේ තිබුණේ ඊයේ රාත්‍රියෙහි දොරමඬලාවේ නැවත විකාශයකි.

“…දැන් බලන්ඩ හසන්ත මහත්තයෝ, අපේ ඇඟේ මයිල් කෙළින් වෙන්නෙ නැද්ද මේවා අහන කොට. මේ රටේ ලීලාවතී රැජිනගෙන් පස්සෙ අපට ආඩම්බර වෙන්ට පුළුවන් රැජිනක් නේද මෙ බිහිවෙලා ඉන්නෙ..?”

මම නැවත සිරසට මාරු කළෙමි.

අවසානයේ සිරස චිතකයට ගිනි අවුළන දර්ශන ප්‍රදර්ශනය කළේය. රනිල්ගේම අන්තිම කැමැත්තට අනුව, මේ කාර්යයේ නිරත වූයේ බෑනාවරුන් දෙදෙනකු නොව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වූ සාගල රත්නායක හා අකිල විරාජ් කාරියවසම්ය.

“…මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි…”

යුදහමුදා තූර්යවාදක කණ්ඩායම නිකුත්කළ ශෝකී ගී රාවය කෙමෙන් මැකී ගියේ සිරස කැමරාව චිතකයේ සිට දූර දර්ශනයකට ක්‍රමයෙන් යොමු වූ බැවිනි.

මා අහර ගෙන අවසාන වනවාත් සමඟම ලිපිගොණු දහයක් විතර ඔසවාගෙන කාමරයට ඇතුළු වූයේ අමාත්‍යාංශ ලේකම්ය.

“It is a really strange world…” ඔහුව කතාවට අල්ලා ගැනීමේ අරමුණින් මම කීමි. “Who would think Ranil will die so soon? I thought one day he would become the President…even at the age of 90 years!”

“It is strange…”  ඔහු එකඟ විය. “Who would have thought a black could rule USA? Now it seems inevitable. Hilary Clinton has officially given up yesterday. Now nobody can stop this guy Obama…”

(ඉවසන්න…………………….සමනළයා නැවත පියා සලන තුරු )

(10) මේ සිංහල අපගේ රටයි!! || Amidst Black July

  • කාලය: 1993 ජූලි, සමාන්තර විශ්වය
  • ස්ථාන පථය: මහනුවර සිට කොළඹ දක්වා නුවර පාර, ලංකාව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව )**********

[පාඨකය, සමාන්තර විශ්වයකදී ඔබ දන්නා සමහර සිද්ධි සිදු නොවන අතර ඒ වෙනුවට අළුත් සිද්ධින් එක්වේ. එසේම සමහර සිද්ධීන් එසේම සිදුවේ. තවත් සමහර සිද්ධීන් වන්නේ කාල පරතරයක් ඇතිවය…

– ලේඛක]

අද මූසල දවසකි. උදේ පටන්ම කොළඹින් ලැබුණේ නරක ආරංචිය.

“දෙමළ කඩ කඩනවා.”

“ බොරැල්ලේ ඔක්කෝම දෙමළ කඩ ඉවරයි. BCC බිල්ඩිං එක ගිනි අරන් පොළොවට පාත් වෙලාලු!”

“හෙට්ටි වීදියේ කඩ කඩලා. රත්තරන්, ආබරණ, මැණික් පාර පුරාලු…”

“දෙමළුන්ට ගහනවා!”

“දෙමළු මරනවා. මරදාන හන්දියෙම මිනී විස්සක්ලු…කඩු වලින් කොටලා මරලා තියෙන්නේ.”

“නගුලේසන් කියලා දෙමළ දොස්තර කෙනෙක් දෙමටගොඩදි පවුලත් එක්ක කාර් එකට දාල පිච්චුවලු…”

මෙයින් බාගයක් බොරු විය හැකිය. එහෙත් මට ඒ උඩ තීරණ ගත නොහැකිය. ඇත්ත මොකද්ද බොරුව මොකද්ද මම නොදනිමි. එසේම කොළඹ යමක් වෙමින් තිබෙන බැව් පැහැදිළිය. මේ අප කාලයක් තිස්සේ කොයි මොහොතේ හෝ වෙතැයි බියෙන් සිටි සිද්ධියකි. ඉදිරි දින කිහිපය තුළ එය නුවරටද ව්‍යාප්ත විය හැකිය.

මම පිස්සකු සේ පක්ෂ නායකයින්ව දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරමින් සිටිමි. අවශ්‍ය වෙලාවට කිසිවෙක් නොවෙති. සමහරුන් ජනාධිපති මන්දිරයට ගිහිල්ලාය. සමහරුන් ගිය දිහාව ගෙදර උන්දෙලාද නොදනිති. අවසානයේ මම දැඩි වෙහෙසකින් පසු අධ්‍යාපන ඇමැති ලලිත් ඇතුළත්මුදලි සම්බන්ධ කර ගනිමි. මට ඇති කලබලය ඔහුට නැත්තාක් සේය.

“Yes, Victor. There are some incidents. They are pretty atrocious, but I don’t think they will spread. At the moment everything is under control. Don’t worry…It will be just like 1979”

1958 නැතද, මට 1979 මතකය. එසේම 1981දී යාපනයේදී ලද පළමෝත අත්දැකීම්ද වේ. මේ සිද්ධීන් කිසිවක් දිගින් දිගට ඇවිළ නොගිය බව සබැවි. නමුත් ඒ මේ සියල්ලක් එක්තරා මට්ටමකට හෝ පාලනය කළ හෙයිනි. සිංහල කැරැළිකරුවන් මෙහෙයවනු ලබන ගෝත්‍රික අමානුෂිකත්වය මම හඳුනමි. දෙමළුන් කෙරෙහි සිංහල ජනගහණය තුළ ඇත්තේ බද්ධ වෛරයකි. වෙනත් අවස්ථාවන්හීදී ආයාසයකින් යුතුව යටකරගෙන ඇති මේ ක්‍රෝධය ඉතාම කුඩා ගිනි පුපුරකින් වුවද බට කැළයකට ගිනි තැබුවාක් මෙන් ඇවිළ යා හැකිය. රට පුරා එකම මොහොතක පැතිර යන ජාතිවාදී කෝලාහල මැඬ පැවැත්වීමේ හැකියාවක් පොලීසියට හෝ අඩු තරමින් හමුදාවට හෝ නොවේ.

ඇතුළත්මුදලි ඇමැතිතුමාගේ වචනය පිළිගෙන මට නිහඬව නොසිටිය හැක්කේ එනිසාය.

මට කාරණා දෙකක් එකවර සිහියට නැඟේ.

එකක් දෙහිවල අපේ මුද්‍රණාලයයි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ පවුලට අයත්ව තිබූ එහි පරිපාලන කටයුතු කර ගෙන ආවේ මවිසිනි. එය පිහිටා ඇත්තේ සැලකිය යුතු තරම් දෙමළ ජනගහණයක් ඇති ප්‍රදේශයකය. එසේම අපේ සේවක පිරිසෙන් හරි අඩකට වඩා දෙමළය.

දෙවන කාරණය පුතා, චරිත්ය.

මම මුද්‍රණාලයට කතා කරමි. මැනේජර් අල්ලා ගැනීමට ලැබෙන්නේ තරමක වෙහෙසකින් පසුවය.

“මේ පැත්තෙ නම් තාම ඒ හැටි කලබලයක් නෑ සර්. කොළඹ නම් ගොඩක් කලබලලු. දෙමළ මිනිස්සු සෑහෙන ගාණක් මරල කියල කියන්නේ. 1958 වගේ තමයි. කඩ සාප්පු, ෆැක්ටරි හෙමත් ගිනි තියලලු…වැඩි විස්තරයක් දන්නෙ නෑ. ඔය කටකතා වලින් අහන ඒවා තමයි”

මම අපේ දෙමළ සේවකයින් ගැන අසමි.

“වැඩි දෙනෙක් අද වැඩට ආවෙ නෑ. ලේබරස්ලා දහයක් විතර තමා ඇවිත් ඉන්නෙ. මම කට්ටියටම පුළුවන් නම් ගෙදර යන්න කිව්වා. ඒත් සමහරුන්ට මෙතැන ඉන්න එක ආරක්ෂිතයිලු ගෙදර යනවට වඩා මේ වෙලාවෙ. කට්ටියම මම ස්ටෝරුවට දාල වැහුවා…”

මැනේජර්ගේ මාළු කෑමට තරම් කෝපයක් මට එයි. දෙමළ කම්කරුවන් පිරිසක් ස්ටෝරුවේ සැඟව සිටින බව දැනගත්තොත්   සිංහල කැරළිකරුවන් ස්ටෝරුවට එහෙම්පිටින්ම ගිනි තබනු ඇත්තේය. එහි පුරවා ඇත්තේද කඩදාසි, මුද්‍රණ තීන්ත යනාදී පහසුවෙන් ගිනි ගන්නා දේවල්ය. මුද්‍රණාලයම මළ සොහොනක් වන්ට බැරි නැත.

අනෙක් අතට මැනේජර්ට බැනීම අසාධාරණය. මේ විශේෂ අවස්ථාවකි. එදිනෙදා සාමාන්‍ය තත්ත්වයක් නොවේ. ජීවිතයම එම වෘත්තියට කැපකළ මැනේජර් මුද්‍රණ කටයුතු මිස වෙනත් දෙයක් ගැන නොදනියි. පනස් ගණන් වල මැද හරියේ වුවද ඔහු සමහර තීරණ ගන්නේ කුඩා දරුවකු සේය. මේ මා කොළඹ සිටිය යුතු මොහොතයි.

පුතාගේ ප්‍රශ්නය මීට සංකීර්ණය. ජයන්තද, අප්සරාද ඔහු හොඳින් රැක බලා ගනිති. එය මට කරන්ට නොහැකි වූ දෙයකි. එකම කාරණාවක් නිසා නොවෙන්ට මා මේ අවස්ථාවේ වුව පුතා ඔවුන් ළඟ තියන්ට කැමැත්තෙමි. මා එයින් වළකන එකම තීරණාත්මක කාරණාව අප්සරාගේ අඩ දෙමළ සම්භවයයි. වැඩි දෙනකු නොදන්නවා වුවද ඇගේ මව දෙමළ කාන්තාවකි. කොළඹ කලබල නුවරට එන්ටත් පුළුවන නේන්ටත් පුළුවන. කැරළිකරුවන් අප්සරාගේ දෙමළ සම්භවය දැන සිටින්ටත් පුළුවන නොදැන සිටින්ටත් පුළුවන. මට එසේ සිතා අවදානමක් ගත නොහැකිය.

මම ජයන්තට කතා කරමි. අප්සරා ඊට පිළිතුරු දෙයි. කොළඹ කලබල ගැන කෙටි කතා බහකින් පසුව මම පුතා ගැන අසමි.

“චරිත්ව උදේ ජයන්ත එක්කගෙන ගියා. හැබැයි දැන් ෂොප් එකේ ඉඳන් කතා කරල කිව්වා ඉස්කෝල වහල හින්ද ගෙදර එක්ක ගෙන එනවා කියල. කැමති අයට ගෙදර යන්න කිව්වලු ඉස්කෝලෙන්…තව පැය භාගෙකින් විතර එයි. දුවලා දෙන්නත් ආවා ටිකකට කලින්!”

“මට චරිත්ව ගන්න ඕනැ…”

අප්සරා මොහොතක් නිහඬව සිටියි.

“ඇයි වික්ටර් මේ වෙලාවෙ? අපට චරිත් බලා ගන්න පුළුවන්. අපට ඒක කරදරයක් නෙවෙයි. Trust me.”

“මං දන්නව අප්සරා. ඒත් මේ මම රිස්ක් එකක් ගන්න වෙලාවක් නෙවෙයි…”

“අනේ මන්දා. මම ජයන්ත ආවාම කියන්නම්…”

“Okay, I will come in another half an hour”

අප්සරා ‘දඩස්’ ගා රිසීවරය තබන හඬ මට ඇසේ. කොහොමටත් ඇයට මා ගැන ඇත්තේ නුරුස්නා හැඟීමකි. ඇගේ මිතුරිය, බියට්‍රිස් මරා ගත්තේ මා බව ඇය තවමත් විශ්වාස කරයි. මම ඇය නිවැරදි කරන්ට නොයමි.

මගේ ඔළුව යකාගෙ කම්මල මෙනි. කොළඹ යා යුතුය. පුතා මා ළඟට ගත යුතුය. සියල්ලට පළමු මුදල් ඕනෑය. මම වහා හැඳ පැළඳ බැංකුවට දුවමි. වාසනාවකට මෙන් එය තවමත් විවෘතය. කළමණාකරුගේ මිතුරුකම නිසාම මම රුපියල් පනස් දහසක් දාහේ නෝට්ටු වලින් ලබා ගනිමි.

“මොනවද වික්ටර් මේ රටට වෙන්නෙ?” ඔහු අසයි. අපේ රටේ ඕනෑම පුද්ගලයෙකුට මොහොතෙක පමාවකින් දේශපාලන විචාරකයෙක් වන්ට පිළිවන.

මම දෙවුර සොළවමි. මේ දිගු කතාබහකට වෙලාව නොවේ. ජීවිත ගණනක් මගේ අතේ රැඳී ඇති මොහොතෙකි.

“දුවන්ට ඕනැ මචං!” කියා මම සමුගනිමි.

ඊළඟ ගැටළුව පෙට්රල්ය. මහනුවර ෂෙඩ් එක ඉදිරියේ දිගු වාහන පෝලිමකි. මම එය මඟ හැර ගොස් පේරාදෙණියෙන් ෆුල් ටෑන්ක් ගසා ගනිමි. සියල්ලටම පැයක් යන්ට ඇත. හිතුවාට වඩා ප්‍රමාදය. මම නැවත ගෙදරට ගොඩ වන්නේ නොනවත්වා වදින දුරකථනයට පිළිතුරු දෙන්ටය.

“වික්ටර්..?”

“ඔව්, ජයන්ත…”

“වික්ටර් මට අප්සරා කිව්ව විස්තරේ. ටිකක් කලබල තමයි. නමුත් අපට වෙනදා වගේම පුතා බලාගන්ට පුළුවන්…”

ඔහු ‘වෙනදා වගේම’ කියන්නේ බර කරය. මේ දක්වා එකම දවසක් හෝ චරිත් මා සමඟ රැඳී නැත්තේය. චරිත්ට මා තවමත් අමුත්තෙකි. ‘අප්පච්චි’ කීවාට ඔහු මා හා සෙල්ලමට වත් නො එයි.

“I know Jayantha, I know, නමුත් ඒ ළමයගේ තාත්තා විදියට මට මේ තීරණය ගන්ට වෙනවා. Please understand it…”

ජයන්ත යමක් කියන්ට පළමුව මම බාධා කරමි.

“…and I will be there in another fifteen minutes”

මා ජයන්තගේ නිවසෙහිදී දකින හැඟුම්බර දසුන කෙසේ නම් විස්තර කරන්නෙම්ද?

අට හැවිරිදි පුංචි චරිත් පුංචි සූට්කේස් එකකට සිය සකල මනාව පුරවාගෙන හිස් බැල්මෙන් සාලයේ සෙටිය මත හිඳගෙන සිටියි. ඔහුට නිල්පාට ටීෂර්ට් එකක්ද, කළු කලිසමක්ද අන්දවා හිස තෙල් ගා පීරා තිබේ. ජයන්ත හා අප්සරා ඔහු දෙපසිනි. අප්සරාගේ ඇස් වළ කඳුළුය. ජයන්තගේ දියණියෝ ඈත සිට බලා හිඳිති.

“I know you can look after him Jayantha, but I have to take this decision as a father” මම හිත දැඩි කරන්ට ආයාසයක් ගෙන කියමි. “I am sorry. I am extremely sorry…”

“It is okay, Victor” ජයන්ත කියයි. ඒ නැතිව ඔහු මක් කියන්ටද? මම තවමත් දරුවාගේ නීත්‍යානුකූල භාරකාරයා වෙමි. එය ජයන්තට හා අප්සරාට පවරා දී නොමැත.

අප්සරා චරිත් බදාගෙන හඬන්ට පටන් ගනී. මේ ශෝකජනක ජවනිකාව ඉක්මණින් අවසන් කළ යුතුය මට සිතේ.

“Putha, Lets go…”

මේ මා ඔහුට ‘පුතා’ කියා ඉතාම කලාතුරෙකින් කථා කළ අවස්ථාවකි. සමාන්‍යයෙන් මා ඔහුට කතා කරන්නේ ආමන්ත්‍රණයක් නැතිවය. අවශ්‍යම වුවහොත් නමිනි.

චරිත් ජයන්තට හා අප්සරාට දණගසා වඳියි. මෙතක් කිසි දවසක ඔහු මට වැඳ නැත. ඉන්පසු ඔහු අක්කලා දෙදෙනා වැළඳ සමු දෙයි. වැඩිමහළු දිලූෂා ශෝකය සඟවා ගන්ට උත්සාහයක් දරණ මුත් රිද්මි හඬයි.

“I will bring him again darling. This is only for few days…” මම ඔවුන්ට කියමි.

චරිත්ගේ මුහුණෙහි හැඟීමක සේයාවක් හෝ නොවේ. එය හිස්ය. සුදු කඩදාසියක් සේ හිස්ය.

පොඩි එකා සූට්කේසයද අතැතිව ස්ටේෂන් වැගන් එකට ගොඩ වෙයි. ඔහු තමන්ට අවශ්‍ය අඩුම කුඩුම පැක් කර ගත්තාද අසන්ට වත් මට අමතක වෙයි. අප්සරා සියල්ල නිසි පරිදි පැක් කර ඇතැයි මම ආත්මාර්ථකාමී ලෙස උපකල්පනය කරමි.

පේරාදෙණිය හරහා යද්දී මට මතක් වන්නේ මධ්‍යාහ්නය පසුව ඇති බවත් චරිත් තවම බඩගින්නේ ඇති බවත්ය.

“Charith, did you have your lunch?”

ඔහු නැතැයි කියන්ට හිස සළයි.

මම රථය පේරාදෙණිය රෙස්ට් හවුසියට හරවමි. මේ මට හුරු පුරුදු තැනකි. මා නිතර වාඩිවන මේසයක් පවා එහි වෙයි. එහෙත් මා එහි චරිත් කැටුව ආ පළමු වතාවය. කලාතුරෙකින් දිනෙක මා සමඟ නුවර ආ විටෙක අප අහර ගන්නේ ක්වීන්ස් හෝටලයෙන් හෝ දළදා මාළිගාවට නුදුරින් ඇති කුඩා අවන්හලෙකිනි.

මම මෙනු පත අතට ගනිමි.

“What do you like? Shall I order noodles..?”

ඔහු හිස සලයි.

අපි නිහඬව අහාර ගනිමු. බඩගිනියි කියුවද චරිත් අහර ගන්නේ සෙමෙනි. ඔහු පිඟානෙන් අඩක් පමණ හිස් කොට “මට ඇති”යි කියන්නාක් සේ එය ඉදිරියට තල්ලු කොට අත සෝදා ගනියි.

“You didn’t eat. Do you like a dessert? Ice cream..?”

ඔහු හිස සලයි.

“What do you have? Vanilla? Chocolate? Strawberry..? “

“…Strawberry…”

එය කැමැත්තකින් කියූ දෙයක් නොව යමක් කිව යුතු නිසා කියූවක් වැන්න.

මම ස්ට්‍රොබෙරි අයිස්ක්‍රීම් දෙකක් ඕඩර් කරමි.

චරිත් පෙන්නුම් කරන්නේ මගේ ලක්ෂණ වලට වඩා බියට්‍රිස්ගේ ලක්ෂණය. බියට්‍රිස් සුදුය. චරිත්ද සුදුය. බියට්‍රිස් සේම ඔහුද සිහින්ය. මුහුණෙහි පවා මේ නම් බියට්‍රිස්ගේම දරුවෙකැයි කෙනකුට හඳුනාගත හැකි වන සුළු ලකුණු වේ. උස් නැහැය ඉන් එකකි. කෙළින්ම ප්‍රකාශ නුවුවත් බියට්‍රිස්ගේ මුරණ්ඩුකමද ඔහුට එක්තරා දුරකට උරුම වී ඇතැයි මම සිතමි.

මහනුවර-කොළඹ ගමනේ වැඩි හරියක් චරිත් කරන්නේ නිදා ගන්නා එකය. මම ඔහුට බාධා නොකරමි. ඉඳහිට මම මඟ හමුවන තැපැල් කන්තෝරුවකින් පක්ෂයේ නායකයින්ට කතා කරන්ට උත්සාහ ගනිමි. මේ උත්සාහ බොහෝ විට අසාර්ථක වෙයි. ඇතුළත්මුදලි හැරුණු විට මට සම්බන්ධ කරගත හැකි වූ එකම නායකයා ඇලික් අළුවිහාරේය. ඔහුද මා දන්නා තරමට වැඩි යමක් නොදනියි.

“ඕවා ඔහොම තමයි ළමයෝ, ඕවාට කලබල වෙලා දේශපාලනේ කරන්ට බෑ මේ රටේ…”

අපේ නායකයින් කිසිවකුට තමන්ගේ වගකීම ගැන අංශු මාත්‍රයක හෝ හැඟීමක් නැත්තේ මන්ද?

මම මුද්‍රණාලයේ මැනේජර්ටද දිගටම කතා කරමි. ඒ හරියටම පැමිණ නැතත් දෙහිවල කලබල පටන් ගෙන ඇත. හැකි ඉක්මණින් මා එහි යා යුතුය.

මිරිස්වත්ත හරියට එනතුරුම ලොකු කලබලයක් නැත. මිරිස්වත්තේදී අපේ වාහනය අවිගත් සිංහල මැරයින් විසින් නතර කර ලනු ලැබේ. මේ ප්‍රචණ්ඩ කල්ලියට නායකත්වය දෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකි. උන් වහන්සේ රියැදුරු ආසනය පැත්තේ වීදුරුවෙන් වාහනය තුළට එබෙති.

“මහත්තයා සිංහලනෙ…?”

“ඔව්…එහෙමයි හාමුදුරුවනේ…”

“මහත්තයා, මේ හැම සිංහලයෙක්ම තමන්ගෙ රට, ජාතිය, ආගම වෙනුවෙන් වැඩ කරන්න ඕනැ අවස්ථාවක්. පර දෙමළුන්ට ඉඩ දෙන්ඩ බෑ අපේ වීර සිංහල කොල්ලො බල්ලො බළල්ලු වගේ මරා දාන්ඩ. තේරුණයි..?”

“එහෙමයි හාමුදුරුවනේ…අපි මේ කොළඹ යන ගමන්…”

“හරි. හරි. මහත්තයා යන ගමනක් යන්ඩ. හැබැයි රට, ජාතිය, ආගම වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරලා. අපි පෙට්රල් ටිකක් ගනිමු”

“හාමුදුරුවනේ මම කොළඹ යන ගමන්…මේ පොඩි පුතා”

“හරි. හරි.  මහත්තයා ඔක්කොම ගන්නේ නෑ. අපි එහෙම අසාධාරණ වැඩ කරන මිනිස්සු නෙවෙයි . මේ වගේ දරුවො නිසා තමයි අපි පර දෙමළට බය නොවී මේ වෙලාවෙ රට, ජාතිය, ආගම ආරක්ෂා කර ගන්ඩ ඕනැ. මේක අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන දෙයක්. සාංඝීක දානයක් දෙනවා වගේ මහා පින්කමක් කළා කියා හිතා ගන්ඩ. රට, ජාතිය, ආගම වෙනුවෙන් පොඩි යුතුකමක් කරමු…”

මෙතැන වාදයෙන් ඵලක් නොවේ. පොඩි එකාද බියපත් දෑසින් මා දෙස බලා සිටී. මට විකල්පයක් නැත. මම වාහනය නවතා යතුර ඔවුන් අතට දෙමි. සාමනේර භික්ෂුන් වහන්සේලා දෙනමක් පුරුදුකාරයින් ලෙස මගේ වාහනයෙන් පෙට්රල් අදිති. මේ ඔවුන් පෙට්රල් අදින එකම වාහනය නොවිය හැකිය. මෙසේ ඇදගන්නා පෙට්රල් කවුරුන් අහිංසකයකු දහදිය මහන්සියෙන් උපයා තනා ගත් නිවෙසක් පුච්චා දමන්ට යොදා ගැනෙනවා ඇත. නැතහොත් එබඳුම අහිංසකයකුගේ සිරුරට වත්කොට ගිනි තබනවා ඇත. මට ඔක්කාරයට එයි.

මිරිස්වත්තේ සිට මා වාහනය පදවන්නේ සෙමෙනි. කොයිවෙලේ හෝ එය පෙට්රල් නැතිව නතර වනු ඇතැයි මට සිතෙයි. පෙට්රල් ෂෙඩ් දෙක තුනක්ම පසු වුවද ඒ සියල්ලම වසා දමා ඇත. එකක ඩීසල් තිබුණද පෙට්රල් ඉවරය. චරිත් මේ ගමනට සම්බන්ධ කර ගැනීම ගැන මම මටම දොස් පවරා ගනිමි. ජයන්ත හා අප්සරා සමඟ ඔහු මීට වඩා ආරක්ෂිත විය හැකිව තුබුණේය. දැන් කරන්ට දෙයක් නැත. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය හැක්කේද?

අප දැන් ටිකෙන් ටික ඇතුළුවන්නේ යක්ෂයාගේ පුරවරයටයි. නිතරම නොවුණත් අපි ගිනිගෙන දැවෙන කඩ සාප්පු, නිවෙස් පසු කරමු. කැරළිකරුවෝ මේ ගිනි වටකොට ගෙන ම්ලේච්ඡයන් සේ නටති. මාර්ගය මිනිසුන්ගෙන් පිරී ගොස් තිබේ. ජාති ආලය සමඟ කොල්ලයද ඇරැඹුණු සේය. ටී.වී., කැසට් රේඩියෝ, රෙදිපිළි පමණක් නොව ලී බඩුද කර ගසා ගෙන යන මිනිස්සු වෙති. එකකු වෙනත් කිසිවක් නොලැබුණු නිසාදෝ කොමඩ් එකක් කර ගසා ගෙන යයි. මේ තමන් වැනිම මස් ලේ ඇට වලින් සැදුණු මිනිසුන් පිරිසක් දහදිය මහන්සියෙන් හම්බ කරගත් දේය කියා ඔවුන්ට කිසිදු හැඟීමක් ඇති වගක් වත් නොපෙණේ.

“Don’t be scared. We will be in Colombo soon…”

මම පොඩි එකාට කියමි. ඔහු මා විශ්වාස කරන්නේද නැද්ද නොදනිමි. මට වත් මගේ වචන ගැන විශ්වාසයක් නැති මොහොතෙකි මේ.

කිරිබත්ගොඩදී අපේ ස්ටේෂන් වැගනය නැවත නතර කරනු ලබයි. මෙවර වඩා ප්‍රචණ්ඩ බීමත් පිරිසක් විසිනි.

“මහත්තයා සිංහලද?”

“ඔව්. අපි මේ කොළඹ යන ගමන්…”

“ඔහොම කියලා හරි යන්නෙ නෑ. පර දෙමළුත් හැංගිලා පැනල යන්නෙ ඔහොම තමයි.කෝ ගන්ඩ අයිඩෙන්ටිය…?”

මම හැඳුනුම්පත ඔහු අතට දෙමි.

“…පටබැඳිලත් වික්ටර් සාලිය බණ්ඩාර. අඩෝ. මෙන්න නියම සිංහලයෙක්. සිංහල ලේ කකියනවා ඩෝ!”

පිරිස හුරේ දමති. මැරයා නැවත හැඳුනුම්පත මා අතට දෙයි.

“…එතකොට මේ බබා?”

“ඒ මගෙ පුතා…”

“එහෙම කියල හරියන්නෙ නෑ…සිංහල නම් ඒ බව ඔප්පු කරන්ඩ ඕනැ”

මගේ ඉහේ සිට දෙපතුළ දක්වා සීතල වේගන යයි. චරිත්ගේ කිසිම ලේඛනයක් මා සතුව නැත. මේ වන මෘගයින් කුඩා දරුවන්ගේ පවා අනන්‍යතාවය පරීක්ෂා කරන්නේද?

පුතාට අතක් තිබ්බොත් මුනුත් මරාගෙන මාත් මැරිය යුතුය යන ආන්තික හැඟීම මට එයි.

“තමුසෙලාට පිස්සුද? මේ මගෙ පුතා. මේ වගෙ වෙලාවක මම වෙන ළමයෙක් කාර් එකේ දාගෙන යන්ඩ තරම් මෝඩ නෑ…”

මැරයා ඒ නොඇසුනාක් සේ චරිත්ට කතා කරයි.

“සිංහල ළමයෙක් නම් සිංහල සින්දුවක් හරි දැන ගන්ඩ ඕන. බබා කියන්න බලන්ඩ සිංහල සිංදුවක්. ‘මේ සිංහල අපගෙ රටයි…’ දන්නවද?”

මගේ කටේ කෙළ සිඳී යයි. තීරණාත්මක මොහොත පැමිණ තිබේ. මගේ සීට් එක යට ජැක් එකේ කෙටි යකඩ පොල්ල තිබෙන බව මට මතක් වෙයි. මම එය අතට ගන්ට නැඹුරු වෙමි.

චරිත්ගේ දුර්වල හඬින් මම අවදි වෙමි. ඉතා සෙමෙන් පටන් ගන්නා ඔහුගේ ස්වරය ක්‍රමයෙන් ඉහළ නඟියි…

“මේ සිංහල අපගෙ රටයි….
අප ඉපදෙන – මැරෙණ රටයි…
අප හද පණ ගැහෙන රටයි…
මුළු ලොව ඒ රටට යටයි…”

මැරයෝ, අත්පුඩි තළමින්, දඩි බිඩි ගා වාහනයට ගසමින් තිරිසන් ගෝත්‍රික විලාපයක් නංවති. මොහොතකින් ඔවුහු අප අතහැර ඊළඟ වාහනයට යොමුවෙති.

මම දෑසින් ගලන කඳුළු මැදින් චරිත් දෙස බලා සිටිමි. අද දවසේ පළමු වරට ඔහු හඬ නඟා සිනාසෙයි.

“ඒ මාමි හිතුවෙ මම ඒක දන්නෙ නෑ කියලා…”

මම දරාගත නොහෙන දාරක ස්නේහයෙන් ඔහු වැළඳ ගනිමි.

“මයෙ පුතා…”

(ඉවසන්න……..සමනළයා නැවත පියා සලන තුරු)

(09) උපකුලපතිතුමා සරසවි සිසුවිය දූෂණය කළාද? || Vice Chancellor seduces a student?

  • කාලය: 2008, සමාන්තර විශ්වය
  • ස්ථාන පථය: කොළඹ සිට මහනුවර දක්වා නුවර පාර

**********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

දේශපාලනය ගැන නොදන්නෝ එය අධිවේගී මාර්ගයක ටොප් ගියරයෙන් කාර් එකක් එළවාගෙන යාමක් වැනිය සිතති. සැබෑ ජීවිතයේදී එය වඩා ආසන්න වන්නේ අඳුරු, කුණාටු ගහණ වූ රාත්‍රියක, ගල්පර වලින් පිරුණු චණ්ඩ සමුද්‍රයක නෞකාවක් පදවා ගෙන යාමට බව ඔවුහු නොදනිති.

ඇස් ඇරගෙන නොසිටියේ නම් ඉතාම සුළු වරදකින්, ඕනෑම මොහොතක නෞකාව ගල්පරයෙක හැපී කුඩු වී යා හැකිය.

ඊයේ අනපේක්ෂිත ලෙස කාලගුණය රළු වූ දවසක් විය. ගුවන් ගමනෙකදී නම් නියමුවා මඟීන්ට පමණක් නොව ගුවන් යානා කාර්ය මණ්ඩලයටද “Cabin crew, please stop all cabin services and be seated” කියන්ට තරම් දරුණු ‘ටර්බියුලන්ස්’ එකක් නොව කිහිපයක්ම ඇති වූ නිසාය.

පළමුවැන්න මා මුල් වරට දැන ගත්තේ මගේ රියැදුරු පියරත්න ගෙනි. මේ සන්නිවේදන යුගයේ සමහර ආරංචි අපට බොහෝ කලින් අපේ රියැදුරන්ට ලැබේ.

මේ මා සතියේ මුල් දින කිහිපය කොළඹ ගතකොට ආසනයේ වැඩ කටයුතු පිණිස ගම් දනව් බලා යන දවසක් විය. කොළඹින් ගමන පිටත් වෙද්දී නම් එය අසාමාන්‍ය සිකුරාදාවක් වෙතැයි සිතන්ට කිසිම හේතුවක් තිබුණේ නොවේ. හිරු සාමාන්‍ය විදියට පායා තිබුණේය. රාජකාරිය සඳහා ඇදෙන කාර්යාල සේවකයින්ගෙන් හා පාසල් වෙත ඇදෙන සුදු ඇඳුමින් සැරසුණු සිසු සිසුවියන්ගෙන් පාරවල් පිරී තිබුණේය. ප්‍රයිවෙට් බස් රියැදුරෝ සුපුරුදු පරිදි රේස් ගියහ. හිතුමතයට නළාව හඬවමින් ශබ්ද දූෂණය කළහ. පොලීසිය වෙනදා වගේම පාරවල් වල ඔවුන් නොසිටියානම් හොඳින් ඇදෙන වාහන වැළ අවුල් කොට මාර්ග බාධක ඇති කළහ. මගේ පෙර ගමන් රථය අපට ඉඩ සලසා දුන් හෙයින් අපේ ගමනට දැඩි බාධාවක් එල්ල වූයේ නැත.

එදින “Friday the 13th” හෙවත් දහතුන්වැනිදාවක්ද වන සිකුරාදාවක් බව කාටත් මතක් වූයේ පසුවය.

නුවර පාරේ අප ගමන් කරමින් සිටියේ මඩවල කරාය. මගේ විමධ්‍යගත අයවැයෙන් වෙන්කළ මුදල් වලින් කොටසක්ද යොදවා උල්පොත මහා විද්‍යාලයෙහි යළි ප්‍රතිසංස්කරණය කරන ලද පුස්තකාලය විවෘත කිරීම මගේ කාලසටහනේ වූ පළමු අංගයයි. සවසද එවැනිම උත්සව තුනක් හෝ හතරක් යෙදී තිබුණේය. මල්වතු මහානායක හිමියන් බැහැ දකින්ටද ඇපොයින්ට්මන්ට් එකක් විය. මේ කිසිවක් ඒ තරමටම වැදගත් නොවන හෙයින් මා ගමන් කළේ පීඩනයකින් තොරවය.

නුවර යද්දී මා උදෑසන ආහාරය ගනු රිසි තැන් දෙකක් වේ. එකක් අඹේපුස්ස තානායමයි. දෙවැන්න මගේ පාර්ලිමේන්තු සගයකු වන කබීර් හෂීම්ගේ පවුලට අයත් අඹේපුස්ස හා කෑගල්ල අතර පිහිටි Thirst Aid Restaurant එකය. මේ දෙකටම මම එක ලෙස කැමැත්තෙමි. එනිසා කවරක් තෝරා ගන්නේද යන්න ඉදිරියෙන් යන පෙර ගමන් රථයේ තීරණයකි. එදින ඔවුහු Thirst Aid තෝරා ගත්හ.

“සර් දැන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පඩි වැඩි කරනවය…?”

මා අහර ගෙන පෙරළා රථයට ගොඩ වෙද්දී පියරත්න ඇසුවේය. පියරත්නගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ අතුරු ප්‍රශ්න ඇසීම් වැනිය. අතුරු ප්‍රශ්න මුලින් අහන ප්‍රශ්නයට ඉඳුරා වෙනස්ය. මේ සැරසෙන්නේ ඕපාදූපයක් කියන්ට බව ඉවෙන් මෙන් වටහා ගත් මම ඊට අනුගත වන්ට කල්පනා කළෙමි.

“ඕව කරන්ට පුළුවන් වැඩයැ පියරත්න…? කොහේ තියෙන සල්ලිද? ඇයි හදිස්සියෙම එහෙම ඇහුවෙ?”

“නෑ, සර් පඩි වැඩි කරන්නෙ මක්කටෙයි ඔය දීල තියෙන සැප පහසුකම් එක්ක..?” පියරත්න අවඥාවෙන් සිනාසුනේය.

“මොන සැප පහසුකම්ද පියරත්න?”

“අහ්, සර් දන්නෙ නැද්ද කතාව…?”

පියරත්න ඕපාදූපයක් කියන්නේ අගේ කර කොටසින් කොටසය. හරියට රූපවාහිනියේ වෙළඳ දැන්වීම් අතරතුර කාලය පුරවා ගන්ට පෙන්වන මෙගා ටෙලියක් වැනිය. මේ නිසා මා මුළු සිද්ධියම දැන ගන්නා විට අප කෑගල්ලද පසු කොට තිබිණි.

අද උදෑසන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබේ. මේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර විසින් නඟා ඇත්තේ සීරියස් චෝදනාවකි. රාජ්‍ය විශ්ව විද්‍යාලයක මහළු උපකුලපතියා විසින් විශ්ව විද්‍යාල සිසුවියක් කෙලෙසා ඇත. එක් වරක් පමණක් නොවේ. අනියම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස එය වාර කිහිපයක්ම සිදු වී තිබේ. දැන් සිසුවිය මේ සිද්ධිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් උපකුලපතියාට චෝදනා නඟයි. උපකුලපතියාගේ ශුක්‍ර තරලය තැවැරී ඇතැයි කියන ඇගේ යටඇඳුම් DNA පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට ඇය සූදානම්ය. උපකුලපතියා මාධ්‍ය මඟහරිමින් සිටී. එය අනියම් ආකාරයට වැරැද්ද පිළි ගැනීමකි.

ලිංගික නිදහස ඇතැයි කියන බටහිර රටවලට පවා ගුරු-සිසු ලිංගික සබඳතා සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයකි.

“දැන් කොහොමද පියරත්න කියන්නෙ ඔය මිනිහ ඕක කළාමය කියල…?” මම අසමි.

“…ඔන්න සරුත් මිනිහගෙ පැත්ත ගන්නවනෙ…”

ඔහු චෝදනා මුඛයෙන් කියයි.

“…මගේ අක්කගෙ පුතා ඉගෙන ගන්නෙත් ඔය කැම්පස් එකේම තමයි. ඔය උපකුලපති ටිකක් අමුතු ජාතියෙ මිනිහෙක්. “

“ඒ මොනව වුණත් මනුස්සයො, කොහොමද කෙල්ලෙක්ව දෙතුන් සැරයක් දූෂණය කරන්නෙ. එක සැරයක් නම් බලෙන් කළා කිව්වැකි. දෙතුන් සැරයක් කියන්නෙ එයාගෙ කැමැත්තත් තිබිල තියෙනව නෙවැ…”

“ඔය අහිංසක කෙල්ලො සර්, මුන් රවට්ට ගන්නව…”

මට බිල් ක්ලින්ටන් හා මොනිකා ලෙවෙන්ස්කි සිද්ධිය සිහිවේ. එයද මීට සමානය. නෛතික වශයෙන් එය අපරාධයක් නොවේ. 1995 දී මනෝවිද්‍යාව පිණිස ලත් උපාධියක් ඇතැතිව ධවල මන්දිරයේ සේවයට බැඳෙන මොනිකා එවක ඇමෙරිකානු ජනාධිපති ක්ලින්ටන් හා ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නේද, ඔහුගේ ලිංගික අවශ්‍යතා ඉටු කරන්නේද සිය කැමැත්තෙනි. මේ සිද්ධීන් මාධ්‍යයට හෙළිවන්නේද ඇගෙන් නොව ඇය විශ්වාසයට ගන්නා මිතුරියක ගෙනි. එසේම සිද්ධීන් හෙළි වූ පසුවද ඇය එවැන්නක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරයි. මොනිකා මොනම අවස්ථාවකදීවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන්ට වරදක් කළ බවට චෝදනා නොකරයි. ඇය ඔහුට දිගටම ආදරය කරනවා විය හැකිය. සිද්ධිය ප්‍රශ්නයක් වන්නේ ඔවුන් දෙදෙනාට නොව අවශේෂ ලෝකයටය. එය පෞද්ගලික ගැටළුවක් නොව දේශපාලන ගැටළුවකි.

කවරකු වගකිව යුතු වුවද මේ සිද්ධිය අපේ ආණ්ඩුවට බෝම්බයකි. උපකුලපතියා මැඩම්ගේ සුවච කීකරු සුනඛ පෝතකයෙකි. සෙනට් සභාව විසින් අදාළ ධුරය සඳහා යෝජනා කරන ලද නම් තුනෙන් අඩුම සුදුසුකම් තිබුණේ මොහුටය. ඒත් මැඩම් විසින් ඔහු තෝරා ගන්නා ලද්දේය. ඒ උදව්ව පිණිස, මැඩම්ට අවම වශයෙන් පස් වසරෙකින් වැඩිමහළු ‘කන්‍යාරත්න’ උපකුලපතියා මැඩම්ගේ දෙපා මුළ දිගා වී වැන්දේය.

“උපකුලපතිවරයා විශ්ව විද්‍යාල ශිෂ්‍යාව කෙලෙසලා”

හෙට ලංකාදීපයේ පොල් අකුරු කියනු ඇත.

මම ඒ ගැන කලබල නොවෙමි. උපකුලපතියාත් මැඩමුත් ඒක බලාගත්තාවේ. චෝදනා ලැබ සිටින්නේ විදුලිබල මණ්ඩලයේ සභාපති නොවන තාක් කල් මට ගැටළුවක් නොවේ.

වහාම යමක් මීටර් වූ හෙයින් මම විදුලිබල මණ්ඩල සභාපතිගේ ජංගමයට කතා කරමි.

“Have you seen the news?”

“Sir, which news..?”

“About the VC having an affair with one of his students…”

තත්පර කිහිපයක නිහඬතාවයක්.

“Yes sir…”

“See, I tell you for the first time and this will be the last. Your personal life is not my concern. But if you ever get into a similar trouble don’t expect me to protect your back…”

“Sir…” ඔහු යමක් කියන්ට තනතයි.

“That’s all. Have I made it clear enough?”

“Yes, sir. I understand, sir…”

මම දුරකථනය විසන්ධි කරමි.

දෙවන බෝම්බය පත්තු වන්නේ සවසය. එයද කිසිවකු හෝ මට නොකී හෙයින් මා එය දැන ගන්නේ සවස මල්වතු මහනායක නාහිමියන් බැහැ දුටු අවස්ථාවේදීය.

“…මේ වෙන දේවල් ගැන නම් සතුටු වෙන්න බැහැ ඇමැතිතුමා”

උන්වහන්සේ සඳහන් කරන්නේ උපකුලපතිතුමා සම්බන්ධ සිද්ධිය බව මම උපකල්පනය කරමි.

“එහෙමයි, අපෙ හාමුදුරුවනේ. හැබැයි ඕවයෙ දෙපැත්තක් තියෙනවා. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද අපි දන්නෙ නෑනෙ…”

“මොකක්? දැන් එතකොට ඇමැතිතුමා කියන්නෙ මේ මනුස්සය මැරුණ කියන කතාව බොරුවක්ද?”

කොතැක හෝ වැරදීමක් වී ඇතැයි මට සිතේ.

“…දැන් ඔය ඔබ වහන්සේ කිව්වෙ මොකක් ගැනද?”

“මොකක් ගැනද? මේ හැම නාලිකාවෙම කියන දෙ ගැන තමා. මැතිවරණ කොමසරිස්තුමා සිය දිවි නසා ගැනීම ගැන…”

මළ සේක! මගේ ඉහ මොළ රත්වේ.  උන් වහන්සේ පසෙක වූ රූපවාහිනී යන්ත්‍රය බල ගන්වයි. රෝහල් භූමියේ සිට කතා කරන්නේ සිරසේ කිංස්ලි රත්නායකය. කතාව පරිච්ඡේදයෙන් පරිච්ඡේදය දිග හැරේ.

විශ්‍රාම යන වයස අවුරුදු හත අටකින් පසුකර සිටි අපේ මහළු මැතිවරණ කොමසාරිස්තුමා විශ්‍රාම යන්ට අවසර ඉල්ලා සිටියේ වසර දහයකවත් සිටය. ඔහු ඒ පිණිස දුන් සාධාරණ හේතුව වූයේ අනවශ්‍ය ලෙස දීර්ඝ කාලයක් වැඩ කිරීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී, ආතතිය වැඩිවූ බවය. ඔහු විශ්‍රාම ගැන්වීමට හැකියාව තිබුණේ මැඩම්ට පමණෙකි. ඒ 17වැනි සංශෝධනයට අනුව මැතිවරණ කොමිසමක් පත් කිරීමෙන් පසුවය. මැඩම්ට ස්වාධීන මැතිවරණ කොමිසමක් අවශ්‍ය නොවුණු නිසා එය කවරදාවත් පත් නොකරන ලද්දේය. ඒ අතර මැතිවරණ කොමසාරිස්තුමාගේ ආතතිය බලාන ඉඳිද්දී වැඩි විය. ඔහු වරින් වර තමා රැකියාවට නොඑන බව කියා තර්ජනය කළේය. ඒ ඒ අවස්ථාවන්හීදී හොඳින් හා නරකින් කියා ඔහු කාර්යාලය වෙත කඳවා ගනු ලැබිණි. අවසාන වාර කිහිපයේ ඔහු කාර්යාලයට බලෙන් ගෙන එන ලද්දේ හමුදා භටයින් නිවෙසට යැවීමෙනි.

මෑතකදී ඔහු රෝහල් ගතව සිටියේ රුධිර පීඩනය සීරියස් ලෙස ඉහළ යාම නිසාය. අද හවස ඔහු තමන් ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලෙහි සය වැනි තට්ටුවෙන් පැණ දිවි නසා ගෙන තිබේ. ආතතිය දරාගන්ට බැරි තරමට උත්සන්න වන්ට ඇත.

“හොඳටම වැරදියි, මහත්තයා. හොඳටම වැරදියි. දැන් ඔය දිසානායක මහත්තයා කොයි කාලෙ ඉඳන්ද විශ්‍රාම යන්ට ඕනැ කිය කියා හිටියේ. ඒ නාකි මනුස්සයට ඔය තරම් වද දුන්නෙ කවුද? ඇයි ඒ මනුස්සයාට මහළු වයසෙදි තමන්ගෙ වැඩක් පලක් බලාගෙන ඉන්ට නුදුන්නේ? කවුද මේවට වග කියන්නෙ..?”

“එහෙමයි අපේ හාමුදුරුවනේ…”

“එහෙමයි, එහෙමයි කියල හරියන්නෙ නෑ. මේව ගිහිල්ල කියන්ට ඕනැ ජනාධිපතිතුමියට. මේවා මෙහෙම වෙන එක කාටවත් හරි නැහැ…”

“එහෙමයි අපේ හාමුදුරුවනේ…”

“හැමෝම කියන්නෙ එහෙමයි එහෙමයි කියල තමයි. කවුරුත් ගණන් ගන්නෙ නෑ අපි කියන දෙයක්. කාදිනල්තුමා කියන දේවල් තමයි ඇහෙන්නෙ කාට කාටත්…”

“එහෙමයි අපේ හාමුදුරුවනේ…”

“එහෙමයි නෙවෙයි, තේරුණාද? මේ ටික මෙහෙමම කියන්න ඕනැ ගියපු ගමන් මැඩම්ට…”

“එහෙමයි අපේ හාමුදුරුවනේ…”

මේවා ගිහින් මැඩම්ට කියා පුක ඉරා ගන්ට මට පිස්සුයැ! “Ask him to mind his own business” කියා මැඩම් පෙරළා කියනු ඇත්තේය.

මල්වතු විහාරයෙන් පිටවන මම මේ සිද්ධීන් දෙකෙන් ඇතිවිය හැකි අනිටු ප්‍රතිඵල කවරේද කල්පනා කරමි. මේ දෙකම අපේ වරදින්ම වූ ඒවා නොවතුදු ඒවාට උත්තර බඳින්ට වන්නේ අපටය. කන්‍යාරත්න උපකුලපතියා මැඩම්ගේ සුරතුලකු බව සියල්ලෝ දනිති. මැතිවරණ කොමසාරිස්තුමන්ටද විශ්‍රාම යන වයස පසු කොට දීර්ඝ කාලයක් ඔහුගේ දැඩි අකැමැත්ත මත සේවයෙහි නියැළෙන්ට සිදු වූයේ මැතිවරණ කොමිසම පත් කිරීමට මැඩම් උත්සුක නොවූ හෙයිනි. සාමාන්‍ය අවස්ථාවක නම් මේ දෙකම ආණ්ඩුවකට දරා ගත හැකිය. එහෙත් අප අද සිටින්නේ සාමාන්‍ය අවස්ථාවක නොවේ; අතිශයින් අසීරු අවස්ථාවකය. අපේ බලය සේම මැඩම්ගේ ජනප්‍රියතාවයද පිරිහෙමින් පවතියි. ආණ්ඩුව නරක් වූ දතක් මෙන් වැනේ. ඒ සියල්ල පසෙක ලා අප තව මාස හයෙකින් මැතිවරණයකට යන්ට සිතාගෙන සිටිමු. සියළු කරදර එන්නේ බලාපොරොත්තු නොවන අවස්ථා වලය! මේ දේශපාලනයේ හැටිද?

මගේ ජංගමය නාද වේ. නොදන්නා අංකයකි. මම සාමාන්‍යයෙන් නොදන්නා අංක වලින් එන ඇමැතුම් නොගනිමි. වැඩක් නැති නිසාම එයට ආන්සර් කරමි.

“…සර්, මේ කීර්ති වර්ණකුලසූරිය කතා කරන්නෙ දිවයින පත්තරෙන්…”

මළ කරදරයක්. අඩුවකට තිබුණේ පත්තර විතරය.

“ඔව්, කියන්න…”

“සර්, පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් හැටියට මොකද්ද කියන්න තියෙන්නෙ අද සිද්ධිය ගැන…?”

“මොන සිද්ධියද පුතා?”

” මර්වින් සිල්වා මන්ත්‍රීතුමා අද හවස ප්‍රසිද්ධියෙ සිරස මාධ්‍යවේදියෙක් නිරුවත් කරලා ගස් බැඳීම ගැන…?”

(ඉවසන්න…………….සමනළයා යළි පියා සලන තෙක්)

(08) හුණුවටය හා ගෲෂා || The Caucasian Chalk Circle and Grusha

  • කාලය: 2001, සමාන්තර විශ්වය
  • ස්ථානය: රාජකීය විද්‍යාලය, කොළඹ, ලංකාව

**********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )**********

ගෲෂා, දිනූෂා හා අරේෂා.

මගේ නව යොවුන් ජීවිතය නම් වූ, තිර හතක් පසු කරගෙන ගොස් ඇතුළු විය යුතු වූ අඳුරු දේවාලයට ඇතුළු වූ ගැහැණු තිදෙනෙක් වූහ. ඔවුන් එක් වූයේ ඉහත අනු පිළිවෙළිනි. සියල්ලන් එකට නොව එකියක පස්සේ තවෙකකිය.

මේ කතාව කියාගෙන යද්දී මේ අනු පිළිවෙළ වෙනස් විය හැකිය. දිනූෂා ගැන මම දැනටමත් ඉඟියක් දී ඇත්තෙමි. මා සිතා සිටියේ ඉන්පසු අරේෂා ගැන කියන්ටයි. ඒ කතාව ෂොක් ඇබ්සෝබර්ස් සවිකරගෙන මිස නොඇසිය යුතු කම්පනයක් විය හැකි බැවින් මුලින් ගෲෂා ගැන කියන්ට සිතුවෙමි.

මට ගෲෂා වන්ට සිදු වූයේ රාජකීය විද්‍යාල පිරිමි පාසලක් වූ බැවිනියි මම මුලින් කල්පනා කළෙමි. එසේ නොවූවත් එය වන්ට ඉඩ තිබිණියි මට අවබෝධ වූයේ පසුවයි.

සෝමරත්න සර් Bertolt Brecht ගැඹුරින් හැදෑරුවෙකි. ඔහුගේ විශ්වාසය වූයේ හෙන්රි ජයසේන Bertolt Brecht ගේ  ‘The Caucasian Chalk Circle’ මුල් කෘතිය ‘හුණු වටයේ කතාව‘ ට නඟා අමු අමුවේ විනාශ කළ බවයි.

“…ගෲෂා කියන්නෙ රළු, ගොරහැඩි කම්කරු ගැහැණියක්. නැතුව සුකොමළ කාන්තාවක් නෙවෙයි. ඒ වගේ චරිතයක් වඩා හොඳින් නිරූපනය කරන්ට පුළුවන් පිරිමියකුට… පිරිමියකු ගැහැණු චරිත නිරූපනය කිරීම අළුත් දෙයක් නෙවෙයි. ආදි ග්‍රීසියෙත්, ජපානෙ කබුකි නාට්‍යවලත් ගැහැණු චරිත සම්ප්‍රදායිකව නිරූපනය කළේ පිරිමි. මුල් යුගයේ ජෝන් ද සිල්වගෙ නාට්‍ය වලත් එහෙමයි”

“සර් එතකොට සයිමන් චචාවා ගොරහැඩි ගෑනියකුට කැමැති වුණේ ඇයි? “

“… ගිහින් බලනවා වතාතමුල්ලට ගොරහැඩි ගෑනු නැතුව සියුමැළි ගෑනුද ඉන්නෙ කියලා. සයිමාත් කැමැති වෙන්න ඇති ලස්සන ගෑනු දැරිවියකට. ඒත් යන්න පුළුවන් සීමා තියෙනවනෙ. නැතුව සයිමා නටේලා අබෂ්විලිට ට්‍රයි කරන්නයැ?”

‘සර්’ කියා කීවාට විසි ගණන් වල අග හරියේ ඉන්නා සෝමරත්න සර් හා අප අතර ඇත්තේ ගුරු-ගෝල බැඳීමකට වඩා මිතුරුකමකි. එහෙත් වේදිකාවේ පරිචය අතින් ඔහු අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටී.

“පිරිමි පාටක් ඕනැම නම් සර්, අපි චරිත් වෙනුවට වෙනින් කවුරු හරි ගනිමුකො. මූත් නිකං කෑල්ලක් වගෙයිනෙ…”

“නෑ. නෑ. එහෙම කියන්න එපා. නාට්‍යයක් කියන්නෙ සැබෑ ජීවිතයම නෙවෙයි. ප්‍රේක්ෂකයා කැමැතියි රළු ගැහැනියකගෙ වුණත් සුන්දරත්වයක් දකින්න. අපේ අභියෝගය වෙන්නෙ ඕඩියන්ස් එකේ බලාපොරොත්තුවයි යථාර්ථයයි දෙක බැලන්ස් කරන එක…”

ගෲෂාගේ චරිතය හා මා අතර සර් නොපවතින ගැලැපීමක් හොයන්නේ හේතු දෙකක් නිසාය මට සිතේ. එකක් බොහෝ ගැහැණු චරිත නිරූපනයේ මා පෙර දක්වා ඇති දස්කමයි. මා ක්ලියෝපැට්රාගේ චරිතයට පණදුන් පසුගිය වසරක අපට අන්තර් පාඨශාලීය ශේක්ස්පියර් නාට්‍ය උළෙලෙහි දෙවන තැන දිනා ගන්ට ලැබුණේය. පිරිමියකු නිරූපනය කරන රළු ගැහැණු චරිතයකින් වුව පිරිමි ඇස් බලාපොරොත්තුවන්නේ ශෘංගාර රසයකි.  මගේ සාපේක්ෂව සුදු හමට හා ඉරියව් වලට මේ ශෘංගාරය මැවිය හැකියැයි සෝමරත්න සර් කල්පනා කරයි. මීට වඩා වැදගත් දෙවන හේතුව ඉංග්‍රීසි සාහිත්‍ය උළෙල පිණිස ප්‍රධාන ආරාධිතයා සේ සහභාගි වන්නේ අළුතින් පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර මහතා වීමයි. එවැනි අවස්ථාවක නාට්‍ය කණ්ඩායමෙහි සිටින ඔහුගේම පුතණුවන්ට උප චරිතයක් දීම අසාධාරණයකි. එසේම ඔහු අසඩක් හෝ සයිමන් චචාවා තියා ෂවුවාවත් කළ නොහැකිය.

අපේ නිරූපණය සම්පූර්ණ හුණුවටය නොව මිනිත්තු තිහකට කෙටි කරන ලද, කතාව කූටප්‍රාප්තියට පත් කරන, එහි අවසන් ජවනිකාවය.

මේ නටේලා අබෂ්විලිගේ ගිනි කන ලෝයරයාය.

“High Court of Justice, I protest. I object that the fate of the great Abashvili estates, which are bound up with the child as the heir, should be made dependent on such a doubtful wrestling match. Moreover, my client does not command the same physical strength as this person, who is accustomed to physical work…”

අසඩක් ඊට එකඟ නොවේ.

” She looks pretty well fed to me, pull!”

හුණුවටය දෙපසින් සිටින අපි – මා හා නටේලා අබශ්විලිට හැඳ සිටින සාරංග – මයිකල් කුමරුට රඟපාන හත්වන වසරේ සමුදිත මල්ලීව දෙපසට අදිමු. මේ ජවනිකාව තාත්ත්විකව නොව, සංකේතාත්මකව වේදිකාවට ගෙනෙන්ට සෝමරත්න සර්ට ඕනැ විය. ඊට අපි වෙනත් බොහෝ රටවල දැක ඇති පරිදි (පොළොවේ ඇඳි රවුමක් වෙනුවට) ලොකු සුදු වළල්ලක් භාවිතා කළෙමු. තාත්ත්වික රංග භූමියේ මේ විකාරයකි. එහෙත් නරඹන්නාට එය වඩා අර්ථපූර්ණ වේ.

මේ මා වඩාත්ම සීරියස් ලෙස ගෲෂාගේ භූමිකාවට අවතීර්ණ වන මොහොතයි. “Facial expressions, Charith, Facial expressions!” සෝමරත්න සර් මිනිත්තුවෙන් මිනිත්තුවට කෑ ගසයි. අවසානයේ මම මයිකල් කුමරු ගිලිහී යන්ට අරිමි. නටේලා අබෂ්විලි ඇය තමන්ගේ පැත්තට ඇද ගනී.

ලෝයරයෝ නටේලා වැළැඳ ගනිති.

“What did I say! The bonds of blood!”

අසඩක් ගෲෂා (හෙවත් මා) දෙස තරහින් බලයි.

“What’s the matter with you woman? You didn’t pull!”

“I didn’t hold on to him!”

මම අසඩක් වෙත දිවගොස් ඔහු ඉදිරියේ දණින් වැටෙමි.

“Your Worship. I take back everything I said against you. I ask your forgiveness. If I could just keep him until he can speak properly. He knows only a few words.”

“Don’t influence the Court! I bet you know only twenty yourself. All right, I’ll do the test once more, to make certain.”

අපි නැවත මයිකල් කුමරු දෙපසට අදින්ට පටන් ගනිමු.

නව රඟහලේ පැවැති ඉංග්‍රීසි සාහිත්‍ය දිනය ගැන මට කාරණා කිහිපයක් මතකය.

එකක් මා දිනූෂා සේම අරේෂාද හඳුනා ගත්තේ මේ තීරණාත්මක දිනයේ බවය.

දෙවැන්න, ඉතිරි සියළු කාරණා අමතක කොට මා ගෲෂාගේ චරිතයට කළ හැකි උපරිම සාධාරණය ඉටු කළ බවය. (ඉතාම කලාතුරෙකින් ශිෂ්‍යයකුට අසන්ට ලැබෙන විද්‍යාලාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට මා ලක්වීමද සඳහන් නොකර හැරිය නොහැකි කාරණාවකි.)

තෙවැන්න උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ අප්පච්චි, නොඑන බව වත් නොදන්වා ඊට සහභාහි නොවීමය.

වටහා ගත හැකි ලෙසින්ම බොහෝ දෙනකු මේ ගැන මට දෝෂාරෝපණය කරන්ට සූදානම් වූහ. මා ඔවුන් සියළු දෙනාටම ඉවසීමකින් යුතුව මතක් කළේ අප්පච්චිට ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කරනවාට මා මුල පටන්ම පෞද්ගලිකව අකැමැති වූ බවය. ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවන්ට කැමැතිදැයි අප්පච්චිගෙන් අසන ලෙස විද්‍යාලාධිපති තුමන් මට කියූ අවස්ථාවේදී පවා මා පෙරළා ඇසුවේ “Sir, with due respects, can’t we invite another minister?” කියාය. ඔහු කෝප ගනිතැයි මා සිතුවද ඔහු කීවේ “Okay, I will handle that” කියා පමණෙකි. ඒ ප්‍රයත්නය අසාර්ථක වූ පසු ඔහු කිසිවිටෙක වචනයකින් හෝ ඒ ගැන සඳහන් නොකළ බවද කිව යුතුය. ගෝමස් මහතා එබඳු වූ උත්තුංග ගතිගුණ සහිත ගුරු පියෙකි.

අප්පච්චි නොදන්වාම මේ උත්සවය මඟ හැරියේ ඇයි?

“So I hear you are acting in ‘Hunuvataya’..?”

ඉරිදා දවසක හමුවූ විටෙක ඔහු මට මේ ප්‍රකාශය ඉදිරිපත් කළේ ප්‍රශ්නයක් ලෙසිනි. ඔහු මේ බව දැන ගන්ට ඇත්තේ විදුහල්පතිතුමාගෙන් විය යුතුය. අඩු ගණනේ මගේ නළු ඇඳුම් පිණිස මුදල් වත් නොඉල්ලුවෙමි. සිය සොහොයුරියන්ගෙන් ඉල්ලා ගත් දෙයින් මට නළු ඇඳුම් සපයා දුන්නෝ මගේ මිතුරෝය.

“…It is not Hunuvataya, it is Caucasian Chalk Circle’

“Ah, Is there a difference? I thought both are same…”

“We follow the original, not the Sinhala version…”

“So who are you? Azdak..?”

“No, I am Grusha…”

“Grusha…?”

එය විස්මයකින්, සතුටකින්, අසතුටකින්, කෝපයකින් හෝ අඩු තරමින් උනන්දුවකින් වත් ඇසූ ප්‍රශ්නයක් නොවේ. කිසිම හැඟීමක් ඵල නොකොට ඇසූ එකකි. ඊට වඩා පැහැදිළි කිරීමක් අවශ්‍යය මම නොසිතුවෙමි.

සාහිත්‍ය උළෙලට නොවරදාම පැමිණෙන බව අප්පච්චි විදුහල්පතිතුමන්ට ඉන් සතියකට උඩදීත් දන්වා තිබුණේය.

එහෙත් ඔහු නොආවේය!

ඉතින් මට පාන්යැ!

වෙන කිසිවකු ගැන සිතන්ට වත් නොහැකි අන්දමට මම ගෲෂාගේ ආත්මය තුළට පිවිස සිටියෙමි.

වේදිකාවෙහිදී මගේ අවධානය රැක ගනු පිණිස මම එක් සුලබ උපක්‍රමයක් භාවිතා කරමි. එනම් මුල පටන්ම මට මුහුණු ඉරියව් වලින් ප්‍රතිචාර දක්වන එක් අයකු ප්‍රේක්ෂකාගාරයෙන් තෝරාගෙන ඔහුට හෝ ඇයට පමණක් රැඟීමයි. එවිට සුළු මොහොතකදී මේ පුද්ගලයා හැර සමස්ත ප්‍රේක්ෂකාගාරය මගේ මනසින් ඉවත් වෙයි. මා රඟනුයේ තනි පුද්ගලයකු පිණිසය.

මේ තීරණාත්මක රාත්‍රියේ මගේ වින්දිතය වූයේ ඇස් ලොකු ගැහැණු ළමයෙකි. මා ගෲෂා බවට පත් වූයේ ඇය පිණිසය.

“And now I can tell you: I took him because on that Easter Sunday I got engaged to you. And so it is the child of love. Michael, let’s dance.”

මම සයිමන් හා මයිකල් සමඟ නටමින් වේදිකාවෙන් ඉවත් වෙමි. අසඩක් නොකියාම ගොස් ඇත. වේදිකාවේ ඉතිරිව සිටින්නේ ගායක පිරිස පමණෙකි.

“But you, who have listened to the story of the Chalk Circle
Take not of the meaning of the ancient song:
That what there is shall belong to those who are good for it, thus
The children to the maternal, that they thrive;
The carriages to good drivers, that they are driven well;
And the valley to the waterers, that it shall bear fruit.”

ඉංග්‍රීසි සාහිත්‍ය දිනයට මගේ එකම සම්මාදම වූයේ මේ කෙටි නාට්‍ය ජවනිකාවටයි. ඒ මයිකල් කුමරුන් ලෙස පෙනී සිටි සමුදිත මල්ලී හැරුණු විට ළාබාලම නළුවා (නිළිය?) වශයෙනි. ඉතිරි සියළු චරිත රඟ ලද්දේද, උළෙල සංවිධානය කරන ලද්දේද ඒ ලෙවල් අයියලා විසිනි. මට ඒ කිසිවකු සමඟ දැන ඇඳුනුම් කමකට එපිට ගිය විශේෂ මිතුදමක් නොවීය. එබැවින් නාට්‍යය අවසානයේ මම නැවත සුපුරුදු ‘තනියා’ බවට පත්වීමි.

මගේ තනිකම තවත් තීව්‍ර කරන්ට හේතුවක් වූයේ නාට්‍යයේ නළුවන් සේම සංවිධායකයින් රැසකගේ පෙම්වතියන්/මිතුරියන්/ට්‍රයි කරන ඒවා හා අඩුම ගණනේ ට්‍රයි කරන්ට පුළුවන් ඒවා බාලිකා පාසල් වලින් පැමිණ සිටීමය. මේ නිසා සාහිත්‍ය උළෙල අවසානවීමෙන් පසුව එළඹුණු කෙටි කාලය නව රඟහල මලවි කරළියක් බවට පත් කරන්ට සමත් විය. තැන තැන දකින්ට ලැබුණේ පොකුරු වශයෙන් එකිනෙකා හා සල්ලාපයේ යෙදී සිටින කෙලි-කොලු රැළය.

නව රඟහල අඩ අඳුරේය. නිළි ඇඳුම් හැරපියා සාමාන්‍ය ඇඳුමට මාරු වූ මා, ඉක්මණින් මේක් අප්ද දෝවනය කර හැර, බැක් පැකරය කරලා නව රඟහලේ වම් පසින් ඇතුළුව වේදිකාව ඉදිරියෙන් දකුණු පසට ගමන් කළේ එළියට යනු පිණිසය. පුරුදු ඉංගිරිසි සිංදුවක් මුමුණමින් මා අඩක් පමණ දුර යන්ට ඇත.

Everything I want the world to be – is now coming true especially for me
And the reason is clear – it’s because you are here
You’re the nearest thing to heaven that I’ve seen…
I’m on the top of the world lookin’ down on creation…”

“චරිත් මල්ලී…”

මම හැරී බැලුවෙමි. ඉරාන් අයියා ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ ලේකම්ය. මේ ඉහළ ලේයරය සමඟ මගේ වැඩි සම්බන්ධයක් නොතිබුණද, ඉරාන් අයියා සමඟ පොඩි ඇයි හොඳයියක් තිබුණේය. ඒ පන්ති දෙක තුනෙකට කලින් Famous Five, Secret Seven, Harry Potter පොත් මාරු කරගෙන කියවන කාලයේ ඇති වූ මිතු දමකි.

“See, these two young ladies wants meet the guy who played Grusha so well…”

ඔහු සමඟ ඉන්නේ කවුරුන්දැයි මට මීටර් වුණේ ඉරාන් අයියා මේසේ කී පසුවය. එකියක මා ප්‍රේක්ෂකාගාරයේ දුටු ඇස් ලොකු ගැහැණු ළමයාය. දෙවැන්නිය ඇගේම වයසේ මා නොහඳුනන්නියකි.

” චරිත් , මේ මගේ නංගි අරේෂා. මෙයා දිනූෂා…”

1969දී නව රඟහල ආරම්භ වීමේ පටන් අද දක්වා එතුළ සිදුවූ වැදගත්ම සිදුවීම 1972 මැයි මාසයේදී ලංකාව හිරු නොබසින අධිරාජ්‍යයෙන් පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත්වීමය. එහි සිදුවූ දෙවන වැදගත්ම සිදුවීම 2001 අග හරියේදී චරිත් කාලිංග බණ්ඩාරට දිනුෂා දෙබරවැව හා අරේෂා ජයවර්ධන එකවිට හමුවීමය.

(ඉවසන්න…සමනළයා නැවත පියා සලන තෙක්)

(07) සමනළයා සෙට් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – දුමින්ද සිල්වා ප්‍රේමය || Hirunika to wed Duminda Silva

  • කාලය: ඔක්තෝබර් 2011, සමාන්තර විශ්වය
  • ස්ථානය: සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කොළඹ, ලංකාව

**********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කථාව)**********

“…මාරාතිරෙක මභියුජ්ජිත සබ්බරත්තිං
ඝොරම්පනාලවකමක්ඛමථද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමඞගලානී…”

මාරයකු වන් වූ ආලවක යක්ෂයා මුනිඳුහු ඉවසීමේ බලයෙන් දිනූහ. ඒ ආනුභාවයෙන් ඔබට ජයමංගල්‍යයක්ම වේවා!

ජය මංගල ගාථා අවසානයේ මාලක සිල්වා, දෙවැනි මනමලයා, දුමින්ද අතට ලියුම් කවර කිහිපයක් දෙයි. දුමින්ද ඒවා දැරියන් අතර බෙදා දෙන්නේ සෙනෙහසින් ඔවුන්ගේ හිසද අත ගාමිනි. හිරුණිකා දුමින්ද ගේ කණට මොනවාදෝ මුමුණයි. ඔවුන් දෙදෙනාම හඬ නඟා සිනාසෙති.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුගේ දියණියක විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකු හා අතිනත ගැනීම සමස්ත පාර්ලිමේන්තුවටම සතුටු දවසකි. මගේ කැබිනට් හා පාර්ලිමේන්තු සගයින්ගෙන් ශාලාව පිරී ගොසිනි. අද සවස් භාගයේ පවත්වන්ට නියමිතව තිබුණු කැබිනට් මීටිම කල් දමන ලද්දේද සියල්ලන්ටම මේ සතුටු අවස්ථාවට සහභාගි වන්ට ඉඩ සලසනු පිණිසය.

අද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පාර්ලිමේන්තුව බඳුය. එහා මේසයේ ‘අධ්‍යාපනයා’, ‘උසස් අධ්‍යාපනයා’, ‘සෞඛ්‍යයා’, ‘පරිසරයා’, ‘රාජ්‍ය පරිපාලනයා’ හා ‘ආපදා කළමණාකරණයා’ එක් වී බර කතාවකය. ඔවුන් Z ස්කෝර් එක නිසා ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වය ආපදා කළමණාකරණය කරන හැටි සාකච්ඡා කරනවා වන්ට පිළිවන. මම හාත්පස නිරීක්ෂණය කරමි. මෙතැනට අඩු අනර්කලී ආරක්ෂා ගාළු දිස්ත්‍රික් මන්ත්‍රීතුමිය විතරය. එතුමිය රටින් පිට බවකි ‘වාරිමාර්ගයා’ කීවේ.  එය ඇත්තක් වන්ට පිළිවන. අනෙක් අතට ගහ දන්නා අපට කොළ කඩා පාන්නේ මොටද?

හිරුණිකා-දුමින්ද විවාහ මංගල්‍යයේ සාක්ෂිකාරිය ලෙස මනාලියගේ පාර්ශ්වයෙන් අත්සන් කරන්ට නියමිත ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි; මනාලයාගේ පාර්ශ්වයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක මිලින්ද මොරගොඩ මැතිතුමාය.

මගේ මේසය බොහෝ දුරට හිස්ය. අනෙක් පැත්තේ හිඳගෙන සිටින ‘සාසනයා’ (බුද්ධ ශාසන ඇමැති) ඊට එකම හේතුව වන්ට පිළිවන. සාසනයා මැඩම්ගේ උදහසට බඳුන් වූ, මේ ආණ්ඩුවේ කැපී ගිය චරිතයකි. මේ නිසා කිසිවෙක් ඔහුට ළං නොවෙති. මැඩම්ටත් වඩා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ඔහුට බුද්ධ ශාසන ඇමැති පදවිය ලැබී ඇත්තේ ඇමැති පදවියක් දෙන්ට ඕනෑම නිසා මිස අන් කාරණයකට නොවේ. මැඩම්ට පුළුවන් නම් ගොඩක් කාලයකට කලින් සාසනයා බැක් බෙන්චර් කෙනෙක් කරලාය. ඒත් සාසනයාද අමු කපටියෙකි. මැඩම්ට ඔහු තම්බන්ට බැරිය. තමන් වෙත එන මිසයිල සියල්ල ඔළුවට උඩින් යවා හීන් නූලෙන් ජාම බේරා ගන්නා හැටි ඔහු දනියි.

සාසනයා පැමිණ ඇත්තේ ඔහුගේ බිරිඳ, බාල සහෝදරයා හා සහෝදරයාගේ බිරිඳ සමඟය. සාසනයාගේ සහෝදරයා ගැන කණින් කොණින් අසා තිබුණද ඔහු දුටු හා හමු වූ පළමු අවස්ථාවයි මේ. ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිට අනූ ගණන් මුල හරියේදී යුද සේවයෙන් විශ්‍රාම ගිය ඔහු දැනට සේවය කරන්නේ ඇමෙරිකාවේ නීති විද්‍යාලයකය. ඔහු නිහඬ පුද්ගලයෙකැයි මට සිතෙයි. එවැන්නන් සමඟ දිගින් දිගටම කතාවට යන්ට මම අකැමැත්තෙමි.

මගේ පාර්ලිමේන්තු සගයා, මනාලියගේ පියා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඉහේ මලක් පිපී ඇතිවාක් වැන්න. මේසයෙන් මේසයට ගොස් වචනයක් දෙකක් කතා කරන ඔහු අපේ මේසයටද පැමිණේ.

“ඔක්කොම හරිද මන්දා…මේ වැඩ අස්සෙ මට අමුත්තො ගැනත් බලන එක මඟ හැරිලා…සමාවෙන්ඩ ඕනෑ” ඔහු කියයි.

“හරි. හරි. ඒ ඔක්කෝම හරි…අපි ගැන කරදර වෙන්ඩ ඕනැ නෑ”

සාසනයා අප සියළු දෙනා වෙනුවෙන් කියයි. (අප දෙදෙනාම රෙඩ් ලේබල් මිලි ලීටර් අනූවකට වග කිව්වේ යාන්තම් පැය භාගයකට මත්තෙනි.)

“භාරත, මේ මගෙ මල්ලි ගෝටා. අහල ඇති නේද? ඉස්සර ආමි එකේ හිටියෙ…”

භාරතගේ මුහුණින් පළවන්නේ අමුත්තා ගැන අන්දෝ සංසාරයක් නොදන්නා බවකි. එහෙත් එවැනි දේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීම හොඳ සිංහල සිරිතකි. භාරත අසීරු අවස්ථාවෙන් මිදෙන්ට සම්‍යප්‍රයෝගයක් උපයෝගී කර ගනී.

“ඔව්. ඔව්. මට මතකයි. රිටයර් වුණා නේද? දැන් කොහේද වැඩ?”

“මම දැන් ස්ටේස්ට්වල වැඩ කරන්නෙ. ලෝ කොලේජ් එකක…”

“අයියා වගේ නීති විද්‍යාලෙට ගිය පාටයි…”

“නෑ. නෑ. මම හමුදාවෙන් රිටයර් වෙලා කලම්බු යුනිවර්සිටි එකේ පෝස්ට් ග්‍රැජුවට් එකක් කළා කම්පියුටර් සයන්ස්. ලෝ කොලේජ් එකක් වුණාට මම වැඩ කරන්නෙ කම්පියුටර් ඩිවිෂන් එකේ…”

“අනේ හොඳයි. යුද්දෙ නං තාම ඇදෙනවා නේද? අනූ ගණන් වලත් යුද්ධ කළා. අදත් කරනවා.”

“ඉවරයක් කරල දාන්න හරි හමන් එකෙකුට බාර දෙන එකක්යැ. මට දුන්න නම් ඕක මාස හයෙන් ඉවර කරනවා…”

මම යටි හිතින් සිනා නඟමි. මේ පුරසාරමම මම තවත් බොහෝදෙනකුගෙන් මින් පෙර අසා ඇත්තෙමි.

“මං හම්බු වෙන්නකො…” භාරත අපෙන් සමුගෙන නුදුරු මේසයට යයි.

අපේ මේසයට තවත් අමුත්තෙක් එක්වෙයි. ඒ The Island පුවත්පතෙහි දේශපාලන ලියුම්කරු සී.ඒ. චන්ද්‍රප්‍රේම හෙවත් තඩි ප්‍රියන්තය. තඩි ප්‍රියන්තද භාරත ලක්ෂ්මන්සේම පැරැණි විජයවාදියෙකි.

“ප්‍රියන්ත මොකද හිතන්නෙ? යුද්දේ ඉවර වෙයිද නැද්ද…?”

මම අසමි. බයිට් එකක් දුටු තැන කර කර ගා හැපීම මගේ සිරිතකි.

“සර් ඔය ප්‍රශ්නෙට මගේ රෙඩි මේඩ් උත්තරේ මේකයි. යුද්දෙ යුද්දයක් හැටියට විතරක් සිද්ධ වෙනවා නම් අපට ලේසියෙන්ම දිනන්න පුළුවන්. ලෝකෙ කිසිම තැනක දීර්ඝ කාලයක් තිස්සේ කුඩා ගරිල්ලා හමුදාවක් රටේ රජය එක්ක යුද්ධ කරලා දිනපු අවස්ථා වලට උදාහරණ නැහැ. නමුත් අපි මේ යුද්දෙ කරන්නෙ දේශපාලන පරිසරයක. සර්ලා මට වැඩිය දන්නවනෙ. ලෝකෙ බලවත්ම රාජ්‍යයන් මේ යුද්ද අඩාල කරන්න වැඩ කරනව නම් අපට ස්ථිර ජයග්‍රහණයක් ගැන හිතන්න අමාරුයි…”

“ඔය යුද්ද කතා නතර කරලා අද වගේ දවසක සන්තෝස වෙමුකෝ…”

සාසනයා කියයි. අපි සියල්ලෝ සිනාසෙමු.

දුමින්ද හා හිරුණිකා දුටු විට මට සිතෙන්නේ විවාහ සැලසුම් කරන්නේ දිව්‍ය ලෝකයේය කියන කතාව ඇත්ත බවය. ඔවුන් ඒ තරමටම එකට මැච් වෙන ජෝඩුවකි.

දුමින්ද හා හිරුණිකා සෙට් කළේද සමනළයෙකි. ඒ මෙසේය.

[පාඨකය, ඔබේ දැහැන් බිඳින්ට මොහොතකට අවසර දෙන්න. ‘සමනළයා’ හැටියට වික්ටර් බණ්ඩාර ඇමැතිතුමා අදහස් කළේ එඩ්වඩ් ලොරේන්ස් ගේ, බ්‍රසීලයේ තටු සලා, ටෙක්සාස් හි කුණාටුවක් ඇති කළ සමනළයාද යන්න මම නොදනිමි. ගණිතඥයකු හා කාලගුණ විද්‍යාඥයකු වූ ලොරෙන්ස් නම් මේ උදාහරණය යොදා ගත්තේ සමනළයකු තටු සැලීම වැනි ඉතාම සරල සිදුවීමකින් පවා ඉතිහාසය වෙනස් වන්ට හැකි බව නිදර්ශනය කරන්ටය. මෙසේ වන්නේ ඊළඟ තත්පරයේදී සිදුවීමට නියමිත යම් සිද්ධියක් මේ මොහොතෙහි සිදුවන සිද්ධීන්ට අදාළ පරාමිතීන් අනන්තයක් මත රඳා පවතින හෙයිනි. මේ එක් පරාමිතියක හෝ වෙනස ඉතිහාසයේ වෙනත් සිද්ධීන් රාශියක වෙනසක් වෙයි.  ලොරෙන්ස්ගේ මේ තියරිය හොඳින්ම ආදර්ශනය කළේ එය තම විද්‍යා ප්‍රබන්ධයක් පිණිස යොදාගත් රේ බ්‍රැඩ්බරිය. රේ බ්‍රැඩ්බරිගේ කතාවකට අනුව අනාගතයේ ඇමෙරිකාව කාල යන්ත්‍රයක් නිර්මාණය කරන අතර එයින් වර්තමානයේ සිට නිරීක්ෂකයෝ අතීතයට රැගෙන යනු ලබති. මේ නිරීක්ෂකයින්ට හැකි අතීතය නිරීක්ෂණය කිරීම පමණෙකි. එහි කිසිවක් වෙනස් කරන්ට සපුරා තහනම්ය. එහෙත් ඩයිනෝසරයන් නිරීක්ෂණයට ගිය කණ්ඩායමක සංචාරකයකු අතින් සමනළයකු පෑගී මරණයට පත් වේ. මේ නොවැදගත් සිද්ධියක් නිසා ඔහු එය කවරකුට හෝ සඳහන් නොකරයි. ආපසු වර්තමානයට පැමිණෙන නිරීක්ෂකයින් දකින්නේ හැමදෙනාම ඉංගිරිසි වෙනුවට ජර්මන් කතා කරන බවය. හිට්ලර් දෙවන ලෝක යුද්ධය ජය ගෙන තිබේ! නැවත කතාවට…]

වසර දෙක තුනකට ඉහත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව සංවිධායකවරයාය. දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයේ කොළොන්නාව සංවිධායකවරයාය. මේ දෙදෙනා අතර ඇත්තේ කැපියුලට්-මොන්ටේගු පවුල් අතර බඳු බද්ධ වෛරයකි.

යම් ප්‍රාදේශීය සභා මැතිවරණයක් අවසානයේ, ඡන්ද පොළක් කිට්ටුව දුමින්ද සිල්වා තම ආධාරකරුවන් පිරිසකට තර්ජනය කරමින් සිටින බව භාරතට දැන ගන්ට ලැබේ. ඔහු වහාම අදාළ ස්ථානයට යන්නේය. මෙහිදී ඇතිවන එදිරිවාදී කතා බහ ගැටුම ඊළඟ තලයට ගෙනයයි. දුමින්ද සිල්වා තම සාක්කුවෙන් පිස්තෝලය ඉවතට ගෙන භාරතට වෙඩි තබයි.

නමුත් මේ මොහොතෙහිම අපූර්ව සංසිද්ධියක් වේ. දුමින්දගේ දර්ශන පථය හරහා කහ පැහැති සමනළයකු ඉගිළ යයි. මේ සමනළයාට අවිඥාණකව හෝ අවධානය යොමු වීම නිසා දුමින්දගේ ඉලක්කය වෙනස් වේ. පිස්තෝල උණ්ඩය භාරතගේ හිසට මිලිමීටරයක පරතරයක් ඇතිව ගමන් කොට ඉදිරියේ කපරාරු නොකළ බිත්තියක් තුළට කිඳා බසී.

(පොලිස් වාර්තාවන්හි නම් මේ සිද්ධිය ගැන කිසිම සඳහනක් නොවෙතැයි සිතමි. ඊට හේතුව දුමින්ද හා භාරත දෙදෙනාම මෙවන් සිද්ධියක් ගැන තමන්ට අංශුමාත්‍රයක හෝ මතකයක් නැතැයි පසුව පොලීසියට කී හෙයිනි. එනිසා රහස් පොලීසිය වත් මේ අපූර්ව සමනළයා ගැන නොදනී.)

මොහොතකින් පසුව භාරතගේ ආරක්ෂකයෝ දුමින්ද සිල්වා පෙරළා බිම දමාගෙන පොළොවට තද කර ගනිති. දුමින්ද සරෙන්ඩර්ය. පිස්තෝලය ඔහු අතින් ගිලිහී යයි. දැන් වාරය භාරතගේය. භාරත දුමින්දට මෙසේ කියා කතාවේ ගලායාම වෙනස් කරයි.

“දුමින්ද මල්ලි, මේවා තුවක්කු වලින් විසඳ ගන්ඩ ඕනැ දේවල් නෙවෙයි. මං දන්නව යූ. එන්. පී. කාරයා වුණාට උඹ හිත හොඳ කොල්ලෙක්. යමු අපි ගෙදර. ඇයි රෙඩ් ලේබල් වලින් විසඳගන්ඩ පුළුවන් දේවල් අපි සංකීර්ණ කර ගන්නේ…?”

දුමින්දට විකල්පයක් නොවේ . ඔහු අකැමැත්තෙන් වුවද හිස සලයි.

එදින රාත්‍රියේ මැදියම පසුවන තෙක්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ නිවසෙහි ඇදෙන සංවාදය බුරියානි දෙකකින්ද, රෙඩ් ලේබල් බෝතල් තුන්කාලකින්ද, වමනය කිරීම් හා ඔළුවේ දෙහි ඇතිල්ලීම් කීපයකින්ද ඔබ්බට ගමන් කරන්නේය. පැය කිහිපයකට පෙර මරා ගන්ට ගිය දෙදෙනාගේ රැකවල්ලු භාරතගේ ඉස්තෝප්පුවෙහි ගල් බෝතල් කිහිපයක් වට කරගෙන පරණ කතා හුවමාරු කර ගනිති.

“…දුමින්ද මහත්තයත් අත ඇරියෙ නෑ. ‘අඩෝ මං ඉන්නකල් තෝ කොහෙද ඩෝ මීතොටමුල්ලෙ කුඩු බිස්නස් කරන්නෙ!’ කියල දුන්න එකක් පයින් – උගෙ යටි බඩට. අරූ හතර ගාතෙන් ‘දොහ්’ කියල වැටුණ. ඊට පස්සෙ පපුවට කකුල තියල ‘පරයා තෝ වෙන බිස්නස් එකක් කරං මිනිහෙක් වෙයන්’ කියලා විසිකළා මොණරු දෙන්නෙක්. ඌ මොණරු දෙන්නව අතේ ගුලි කරගෙන දුමින්ද මහත්තයට අම්මට තාත්තට වඳිනව වගේ වැඳල ගියේ. ඊට පස්සෙ ආයෙ නෑ කුඩු බිස්නස්…”

“…අර මරදානෙ බෝලකොටා. නාලන්දෙට පොඩ්ඩක් මෙහායින්, සිරිධම්ම මාවත හරියෙදි පිහිය ඇනුමකින් මළේ, චීත්ත කේස් එකකට. ඕකා ඔය භාරත මහත්තයා ආනන්දෙට යන කාලෙ ඉඳන් දන්න පොරක්නෙ…”

මේ දෙපිරිසටම බයිට් හදන්නේ හිරුණිකාය. දුමින්දට හා තාත්තාට බැදපු කජු එකට හරියටම ගැළපෙන්ට ඩෙවිල්ඩ් චිකන්ය. රැකවලුන්ට ටිකක් කට සැරට හරක් මස්ය.

මේ අපූර්ව සන්ධ්‍යාවේදී, සාන්ද්‍ර ඊතයිල් ඇල්කොහොල් මිලිලීටර් දෙසීයකට වඩා තම රුධිර නාළ ඔස්සේ සංසරණය වෙද්දී, පවා දුමින්ද සිල්වා නිරීක්ෂණය කළ කාරණා දෙකක් විය. එක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන් හිතුවාට වඩා රූමත් බවය. දෙවැන්න ඇයට හස්බණ්ඩෙකුට ඩ්‍රින්ක් එකක් දාද්දි බයිට් හදා දෙන්ට තරම් පරහිතදක්ෂ වයිපරයක් වන්ට බැරි නැති බවය.

කථාවේ ඉතිරි හරිය ඔවුන් කියන්නාක් සේ ඉතිහාසයයි. The rest is history.

ප්‍රතිඵලය: අද මේ සුබ දවසෙහි දුමින්ද සිල්වා තරුණ මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ අත ගෙන ඇත.

රන් දුණුකේ මල සේ – රන් මැණිකේ සැරහේ
පති කුලයේ කුමරා – ඇය කැන්දා යනවා…
සුදු සේල ගතේ එතුනා – ගෙළ මාල හතක් බැඳුනා
රස මියුරු කතා ඇසුනා………… – මුව කෝල සිනා පිපුනා…
රන් දුණුකේ මල සේ….

මේ ගීතය මා මුල්වරට ඇසුවේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සජීවී හඬිනි. ඔහුගේම ගිටාරයෙන් පමණක් නිකුත් වූ සංගීතයටය. අද මට එහි එදින හෝ නොදැණුනු රසයක් වේ.

මේ බ්‍රහස්පතින්දා තවත් බොහෝ දේ සිදුවිය. එහෙත් ඒ කිසිවක මේ සිද්ධිදාමයට ඍජු සම්බන්ධයක් නැති නිසා සඳහන් කිරීම අවශ්‍ය නොවෙතැයි සිතමි. ඒ අතර සඳහන් කළ යුතු එකම සිද්ධිය සේ මට පෙනෙන්නේ රාත්‍රියේ මා දුටු සිහිනයයි. ඒ ඊට දහවල් සිද්ධිවලට සම්බන්ධ චරිත කිහිපයක් පාදක වූ නිසාය.

මගේ සිහිනය ආරම්භ වන්නේ භාරත ලක්ෂ්මන් හා දුමින්ද සිල්වා අතර වන ද්වන්ධව සටනිනි. එහෙත් සිහිනයේ සමනළයකු නොවූ හෙයින් දුමින්දගේ ඉලක්කය මඟ නොහැරෙයි. වෙඩි උණ්ඩය භාරත ලක්ෂ්මන්ගේ පපුව පසාරු කරගෙන යයි. තත්පරයක කොටසක් තුළ (සැබෑ ජීවිතයේදී එදා රෑ එකට ඩ්‍රින්ක් එක දැමූ) භාරතගේ හා දුමින්දගේ රැකවල්ලු සිහිනයේදී මරා ගන්ට පටන් ගනිති. භාරත රෝහලකට ඇතුළු කිරීමේදීත් මිය ගොස් සිටින අතර දුමින්දගේ මොළය හරහා වෙඩි උණ්ඩ දෙකක් ගමන් කොට තිබේ. වෙඩි උණ්ඩ දෙකක් මොළය හරහා ගිය දුමින්ද ජීවත් වූයේ කෙසේද මම නොදනිමි. සිහින වල සිදුවන දේවල් වලට හේතූන් සෙවීම අර්ථ විරහිතය.

ඉන්පසු සිහිනය බිඳෙන අතර නැවත පටන් ගන්නේ සිංගප්පූරුවේ රෝහලක ශල්‍යකර්ම කිහිපයකට භාජනය වූ දුමින්ද සියරට එන අවස්ථාවේය. තම පියාගේ මරණයෙන් දැඩි ලෙස කෝපවී සිටින හිරුණිකා දේවාලයක් දේවාලයක් ගානේ ගොස් දුමින්දට පොල් ගසයි. දුමින්දගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබීම ඔහුගේ මතකයටද සාමාන්‍ය ජීවිතයටද සැලකිය යුතු ලෙස බලපා ඇත.

මගේ සිහිනයේ දුමින්ද ‘සිංගපෝර් එයා ලයින්ස්’ ගුවන් යානයක බිස්නස් පංතියේ මඟියකු සේ පැමිණ ආගමන විගමන කවුන්ටර් වෙත රෝද පුටුවකින් ගමන් ගනී.

“සර් ගෙ නම මොකද්ද?”

“මතක නෑ බං”

“සර්, ගියේ සිංගපෝර් වලටද?”

“නෑ වේසිගෙ පුතෝ, උඹෙ අම්මට අරින්ඩ…”

මේ අහු අස්සේ සාසනයාද (බුද්ධ ශාසන ඇමැති) කොහේදෝ සිට සාටකයෙන් කට පිස දමමින් එයි. සිහින වල එහෙමය. ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඕනෑම තැනක ප්‍රාදුර්භූත විය හැක්කේය.

“අනේ දුමින්දයෝ. උඹ දැක්ක කල්. උඹට කිසිම දෙයක් මතක නැතිලු නේද බං. අඩුගානෙ උඹට මාව වත් මතක නැද්ද, කොල්ලෝ..?”

මගේ සිහිනයේ දුමින්ද සාසනයාගේ හිසේ සිට දෙපතුළ දක්වා බැල්මක් හෙළයි.

“කවුද ඩෝ උඹ? උඹ අපේ රටේ ජනාධිපතිතුමා වගේමයි!”

සිහිනයේ ඉතිරි හරිය නොකිව හැක්කේ මා මේ මොහොතෙහිදීම අවදි වූ හෙයිනි.

සිහින සැබෑ ජීවිතයෙන් කොයිතරම් වෙනස්ද? මා මේ සිහිනයක් සේ දුටු සිද්ධි දාමයම වෙනත් කොතැනක හෝ සමාන්තර විශ්වයක ඇත්තටම සිදු වෙනවා වන්ට බැරිද? මම නොදනිමි. මා ජීවත්වන සමාන්තර විශ්වයේ මේ සිද්ධි දාමය සුඛාන්තයක් වීම ගැන මම සතුටු වෙමි.

ඒ සමඟම මට මතක් වූයේ මේ දුමින්ද හා හිරුණිකා අඹු සැමියන් ලෙස ගත කරන පළමු රාත්‍රිය නොවේද යන්නයි. ඒ සමඟම මගේ හීලෑ නොවුණු හිතේ චිත්ත රූප සමූහයක් මැවෙයි. ඒවා මෙහි විස්තර කිරීම අනුචිතය සිතමි.

(ඉවසන්න…සමනළයා යළි තටු සලන තෙක්)