(05) ජුලම්පිටියෙ අමරේ සහ රතු හාමුදුරුවෝ || Julampitiye Amare and Rathu Hamuduruvo

  • කාලය: 2009, සමාන්තර විශ්වය
  • ස්ථානය: බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව

**********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කථාව)**********

අද කැබිනට් මීටිම පට්ට වාතයක් විය. මට ඉදිරිපත් කරන්ට තිබුණේ කැබිනට් පත්‍රිකා දෙකක් පමණි. ඒ විදුලි බල මණ්ඩලයට අළුතින් බඳවා ගන්නා උපදේශකවරුන් දෙදෙනකු පිළිබඳවය. ප්ලග් එකක ෆේස් එක මොකද්ද නිව්ට්‍රල් එක මොකද්ද වත් නොදන්නා ලොකුආරච්චියා පක්ෂයේ පරාජිත මන්ත්‍රීවරයෙකි. අන් ආදායම් මාර්ගයක් නැති නිසා ඔහුට ජොබක් සෙට් කරන්ට පක්ෂයට සිදුවී තිබුණේය. අනෙකා, අසූ වියද පසුකළ අමරසේකර ආතා, ජනාධිපතිනියගේ සෝබෝන් දවස් වල සිට එකට සිටි, දීර්ඝකාලීන යෙහෙළියකගේ ඥාතියෙකි. ඔහුට විදුලිය හා ඇතැයි සිතිය හැකි එකම සම්බන්ධය විනාඩි දහයකට විතර සැරයක් විදුලි සැරයක් වැදුණා සේ ගැස්සීමය. මෙවන් උපදේශකයින් පත් කරන්ට කැබිනට් පේපර් දාන අපටද යම රජ්ජුරුවන් අමුතුම ඩිපාර්ට්මන්ට් එකක් හදාගෙන සිටිනවා විය යුතුය. එහෙත් මට කරන්ට දෙයක් නැත. මේ මගේ අවශ්‍යතාවයන්ට කරන දේවල් නොවේ. පක්ෂය රැක ගැනීම සඳහා අප යම් කැප කිරීමක් කරන්ට ඕනෑය. මම විශාල යන්ත්‍රයක පුංචි දැති රෝදයක් පමණක්මි. මට ඕනෑ අතට, ඕනෑ වේගයකින් කැරකෙන්ට නිදහසක් නොවේ.

කැබිනෙට්ටුව එකම ප්‍රශ්නයක් වත් නොනඟා මගේ පත්‍රිකා අනුමත කළේය. අඩුගාණේ හැම එකටම හොට දාන තාක්ෂණ සීයාටවත් (මහාචාර්ය පිස්සු විතාරණ) කියන්ට යමක් නොතිබිණි. මේ ‘orders coming directly from above’ බව ඔවුහු දනිති.

තව දුර යන්ට මත්තෙන් මගේ නාමකරණය ගැන යමක් කිව යුතුය. අපේ පහසුව තකා අපි කැබිනට් ඇමැති සගයින් ඔවුන්ට අදාළ විෂයනාමයන්ගෙන් ඇමැතුවෙමු. තාක්ෂණ විෂය භාරව සිටි මහාචාර්ය පිස්සු විතාරණ “තාක්ෂණයා” වූයේ එහෙයිනි. පාර්ලිමේන්තු කටයුතු හාර අමාත්‍යවරයා “පාර්ලිමේන්තුවා” විය. ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා “ක්‍රීඩාවා” වී පහසුව තකා “කීඩාවා” විය. සාමාන්‍යයෙන් මා අමතනු ලැබූ කෙටි නාමය වූ “VS” පිණිස “විදුලිය සොරා” කියා අපර නාමයක්ද පට බැඳී තිබුණු බව කවරකු හෝ නොකීවද මම දැන සිටියෙමි.

අද කැබිනට් මීටිමෙන් වැඩි හරියක් වෙන් වූයේ “අධ්‍යාපනයා” විසින් අපොස උසස් පෙළ පැරණි හා නව නිර්දේශ සිසුන් “සියළු දෙනාටම සාධාරණයක් කරන්ට” හඳුන්නා දෙන්ට යන නව Z ස්කෝර් මෙතඩොලොජියක් ගැන කතා බහටය. පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක්ද ආධාරයෙන් මේ පැහැදිළි කිරීම කරනු ලැබූ මුත් මට නම් මෙළෝ මළ දානයක් නොතේරුණේය. ඔහු කීවේ පැරණි නිර්දේශයට Z ස්කෝර් එක වෙනම ගෙන නව නිර්දේශයට වෙනම ගෙන පසුව දෙක එකට “මෙව්වා කරන්ට” ඕනෑ බවය. “උසස් අධ්‍යාපනයා” ද මොන මොනවාදෝ කිව්වේය.

ඔහු ඒක මෙව්වා කරද්දී මම වෙනත් මෙව්වා කිරීමක් පටන් ගතිමි. මට කෙළින්ම ඉදිරියෙන් හිඳගෙන සිටියේ “සංස්කෘතිකී” ය. හතළිස් ගණන් වල අග හරියේ සිටියද ඇය තවම නව යොවුන් නාරි ලක්ෂණ විදහා පාන පුරාතන ග්‍රීක ප්‍රතිමාවකි. සුදු හැට්ටයෙන් හා නිල් සාරියෙන් වැසුණු ඇගේ පිරිපුන් තන මඬල රණ හසුන් යුවළක සේ මදෙස බලා සිටියි. මම මේසය යටින් කකුල දිගුකොට ඇගේ කකුල පෑගුවෙමි. ඇය ඊට ඇඟිල්ලක් උරුක් කළ ” වික්ටර්, විකාර කරන්ට ආවොත් බලාගෙනයි!” වැනි මුහුණක් පෑවාය. මම ඇයට ඇසක් ගැසුවෙමි. ඇය බොරු තරහ මුහුණක් ආරූඪ කර ගත්තාය. පුටු දෙකකට එහා සිටි “කෘෂිකර්මයා” අප දෙස බලා සිටින බව පෙණුනු නිසා මේ සෙල්ලම එතෙකින් නතර කරන්ට සිදුවිය.  කොහොමටත් අදට මේ ඇති. ඇගේ නොම්මරය මා දන්නාක් සේම, මගේ නොම්මරයද ඇය දනී. කතාව දිගට ගෙන යන්ට ඕනෑ නම් SMS කියා ජාතියක් තිබේ.

ඊයේ රෑ මැදියම වනතුරු ඇදී ගිය ආසන බල මණ්ඩල රැස්වීමක් නිසා මා සිටියේ බාගෙට නිදිමතිනි. එබැවින් කැබිනට් මීටිමේ ඉතුරු ටික මා කළේ නිදා ගන්නා එකය. දැන් මම ඊට විශේෂඥයෙක්මි. ලොකු රාමුව සහිත කණ්නාඩි දෙක දාගත් කළ ඇස් ඇරී තිබේද වැසී තිබේද කිසිවකුට නොපෙණේ. ඉඳහිට මැඩම් “VS, what do you think about that?” කියා ඇසුවොත් (මේ කලාතුරෙකින් වෙන දෙයකි.) එහා පැත්තේ ඉන්නා “තොරතුරු තාක්ෂණයා” මට වැළමිටින් අනියි.

“It looks okay madam. I think it is a good idea, but we should look holistically. I hope everyone agrees”

සියයට අනූවක් ප්‍රශ්න වල මේ පිළිතුර සෑහේ. වැරදිලාවත් මා සමඟ එකඟ නොවන කෙනෙක් සිටියොත් වහා කතා කරන්ට පටන් ගෙන අවධානය ඔහු වෙතට ඇද ගනියි. එසේ නැතිනම් හැමෝම හැපිය. මම නැවත නිදන්ට යමි.

අද කැබිනට් මීටිම අවසන් වූ බව මා දැන ගත්තේ “ඒයි වී. එස්. නැඟිටපන්, ගෙදර යන්නෙ නැද්ද?” කවුරුන් හෝ මා සොලවා ඇසූ හෙයිනි.

මා අදහස් කරගෙන හිටියේ ගෙදර යන්ට නොවේ. ලිබර්ටි ප්ලාසා එකට අඩු ගානේ නවයටවත් එනවායි මම ජිනාට පොරොන්දු වීමි. ඒත් ඊට පෙර මට “සාසනයා” (බුද්ධ ශාසන ඇමැති) හමුවීමේ අවශ්‍යතාවයක් විය. මම ඔහු පසුපස දිව්වෙමි. සාසනයා රෙස්ට් රූම් එකට රිංගුවේ පම්ප් එකක් දාන්ටය. සරම හැඳ සිටි නිසා ඔහු යුරිනලය භාවිතා නොකොට වැසිකිළි කුටියකට රිංගුවේය. මම අත සෝදන මුවාවෙන් ඔහු එනතුරු රැක සිටියෙමි. මිනිත්තු කිහිපයකින් පසු ඔහු මා ආසන්නයට පැමිණ අත සෝදන්ට පටන් ගත්තේය.

“මචං… පොඩි උපදේසයක් ඕනැ!”

සාසනයා විමසිලි බැල්මෙන් මා දෙස බලා සාටකයෙන් කට පිහදා ගත්තේය. මේ අමු කපටියා වචනයක් කියන්නේත් ඊට මුදලක් වැයනොවන බව ස්ථිර ලෙස දැනගත් පසුවය.

“මෙහෙම කතා කරන්ට අමාරුයි. මං එන්නද උඹ එක්ක දැන්?” මම ඇසීමි.

“…ම්ම්ම්ම් මාත් දැන් ගෙදර නෙවෙයි යන්නෙ. පිළියන්දල මළ ගෙදරකට යන්ඩ තියෙනවා. එන්ඩ පුළුවන් නම් යමු.”

“හරි. මං ඩ්‍රැයිවර්ට කියන්නම්. මට පැය භාගයක් තිබුණ නම් ඇති”

මට තිබුණේ සාසනයාගේ රථය පසුපසින් එන්ට මගේ රියැදුරාට උපදෙස් දෙන්ට පමණෙකි. ජිනාට SMS එකක් යවා ඇපොයින්ට්මන්ට් එක කැන්සල් කර ගතිමි. ජිනා ආපසු මට කතාකළේ “රෑ වුණත් කමක් නෑ, එන්ට” කියන්ට විය හැකිය. සාසනයා ළඟ සිටි නිසා මම ඊට පිළිතුරු නොදුන්නෙමි. ඔහුට මාර ඉවක් තිබේ. ඒ මදිවාට පත්තරකාරයින් සීයක් පමණ දනියි. අනවශ්‍ය කරදර හදා ගන්ට ඕනෑ නැත.

සාසනයා කාර් එකේ පසුපස ආසනයේ වූ විස්කි කේස් එක ඩිකියට දාන්ට කියා මට වාඩි වෙන්ට ඉඩ හදා දුන්නේය.

එදින රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ සිට පිළියන්දල දක්වා සමනළයා කී වරක් පියාපත් සැලුවේද මම නොදනිමි. නමුත් ජුලම්පිටියේ අමරේගේ නම මා පළමුවරට ඇසූයේ එදින රාත්‍රියේ බව කිව යුතුය.

මට ජුලම්පිටියෙ අමරේ (මින්මතු “අමරේ” ලෙස භාවිතා කරමි.) කාර්යාලයේදී හමුවන්ට නුපුළුවන. මගේ කාර්යාල කිහිපයම නිතරම ඡන්දදායකින්ගෙන්, උදව් ඉල්ලා එන මිනිසුන්ගෙන් පිරී පවතී. වරෙන්තු කිහිපයක්ම ඇති අපරාධකරුවකු, ඔහු දේශපාලන වශයෙන් බලවත් වුවද, ගෙදරට වැද්ද ගන්ටද මට උවමනාවක් නොවේ. සර්පයන්ද, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද, තවත් කවුද මන්දා අතේ දුරින් තබා ගන්ට වුවමනා බව මා අසා ඇත්තේ ජේ.ආර්. පප්පාගෙනි. කැටගරියක් නැති වුවද අමරේද මේ ගොඩට වැටෙන්නෙකි. ඒ හේතුව නිසාම ඔහු හෝටලයක ලොබියෙහි හෝ ක්ලබ් එකේදී හමුවන්ටද සුදුසු පුද්ගලයකු නොවේ. අවසානයේ මේ චතුස්කෝටික ප්‍රශ්නය විසඳන්ට ආවේ රතු හාමුදුරුවන්ය. ඒ මට අමරේ උන් වහන්සේගේ පන්සලේදී මුණ ගැසෙන්ට අවකාශ සලසමිනි.

රතු හාමුදුරුවන්ද අධ්‍යයනය කිරීමට තරම් අපූරු චරිතයකි. මම ඔහු ගැන බොහෝ කථාන්තර අසා ඇත්තෙමි. ඔහුගේ රූපාන්තරණය ගැන කියන මෙය ඉන් හොඳම එකය.

අසූව දශකය අවසාන හරිය වන තුරුම, ස්වකීය තළ එළෙලු පැහැය නිසා එනම ලද රතු හාමුදුරුවන්, යක්කල පැත්තේ, නුවර පාරෙන් හැරී යා යුතු පාරක පිහිටි කුඩා හා අප්‍රකට පන්සලක විසූ, ආගමානුකූල ජීවිතයක් ගත කළ භික්ෂූන් වහන්සේ නමකි. කෝටියක් සංවර ශීලය ඇතැයි කියන්නේ එවැනි භික්ෂූ වහන්සේලාටය. නමුත් හැම දෙයක්ම අනිත්‍ය වන සංසාරයේ රතු හාමුදුරුවන්ගේ කෝටියක් සංවර ශීලය නිත්‍ය වීමට ඉඩක් නොවේ. යම් අවස්ථාවක එය බිඳුණේය. ඒ මෙසේය.

අගැමැති කාලයේ, කරන්ට විශේෂ කාර්යයක් නොවූ රණසිංහ ප්‍රේමදාස මහත්තයා උදාගම් නිර්මාණය කරමින්, පාලම්වල තැඹිලි පැහැ සායම් ආලේපනය කරමින්, අනුන් ට ජාතක වූ පොත් වලට තමන්ගේ නම උප්පැන්නයට යොදමින්, ගම් නියම් ගම් හි සංචාරයේ නියැළෙමින් ගත කළ සංක්‍රාන්ති කාල සීමාවක් වූයේය. මෙසේ ගම් දනව්වකට ගොස් එමින් සිටි ඔහුට (සමහර විට ඊට බොහෝ කාලයකට පෙර සැලසුම් කළාක් සේ) රතු හාමුදුරුවන්ගේ පන්සල කිට්ටුවදීම මුත්‍රා බරක් හැදුණේය. ප්‍රේමදාස අගැමැතිතුමා මුත්‍රා බරෙන් මිදෙන්ට ගියේ අසළ වූ පන්සලටය. මුත්‍රා බර පහ කරගෙන ඔහු නැවත යන්ට සූදානම් වන විට ඒ වනතුරු, අත කැපුවත් සමසමාජයේ මහත්තයාට මිස ඡන්දය නොදෙමිය වරක් කියා සිටි රතු හාමුදුරුවෝ නමින් පමණක් “රතු” වී සිටියෝය.

මේ සිද්ධියෙන් පසුව රතු හාමුදුරුවන් පෙර ආත්ම භාවයන්හි කළ කුසල කර්ම එකින් එක ඵල දෙන සෙයක්ද නිරීක්ෂකයකුට පෙනුණේය. සියමේ බැංකොක් නගරාශ්‍රිත ථෙරවාදී බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කර ගන්ට රිටර්න් ටිකට් පතක්ද නොබෝ කලකින්ම උන් වහන්සේ අතට පත් විය. එය රැගෙන ආ දූතයා ලොකු සූට් කේස් එකක්ද කලිසම්, ටීෂර්ට්, යට ඇඳුම්, සපත්තු, මේස් ආදී තවත් ආම්පන්න තොගයක්ද උන් වහන්සේ අතට පත් කළේ “ලොක්කා දෙන්ඩ කීවා” කියමිනි.

“මේවා මොටද ළමයෝ මේ පැවිදි උන්නාන්සෙලට?” රතු හාමුදුරුවෝ ඇහි බැම ඉහළ යැව්වෝය.

දූතයා කිව්වේ බැංකොක් නගරය රාත්‍රියේ සීතල වන්ට ඉඩ ඇති හෙයින් සිවුර පෙරවාගෙන පමණක් නිදන්ට අපහසු විය හැකි බවය. එතකොට සපත්තු මේස් මොටදැයි නොඅසන්නට තරම් ස්ථානෝචිත ප්‍රඥාවක් උන් වහන්සේට වූ නිසා වෙනත් ගැටළු මතු වූයේ නොමැත.

රතු හාමුදුරුවන්ට නවාතැන් සැපැයුණේ පන්සලක නොව පැරැණි බැංකොක් නගරය ආශ්‍රිත කුඩා වුවද නරක නැති හෝටලයකය. මෙය දිනපතා සිද්ධස්ථාන වන්දනාවටද පහසුවක් වූයේ බොහොමයක් සිද්ධස්ථාන වූයේ ඒ අවටම බැවිනි. උන්වහන්සේ පළමු දින දෙක තුළ වට් ප්‍රාකීව්, වට් ෆෝ හා යෝධ උන්චිල්ලාවක් ඇති වට් සුටැට් වැනි බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගත්තේය. වට් සුටැට් වලදී භක්තිමත් තායි උවැසියන් විසින් පිළිගන්වන ලද පිරිකර පවා උන්වහන්සේ පින් දී භාර ගත්තේය.

රතු හාමුදුරුවන්ගේ නවාතැන ඉදිරිපිටම වූයේ තට්ටු හතරක රෝස පැහැති ගොඩනැඟිල්ලකි. මේ ගොඩනැඟිල්ල ඉදිරියේ වර්ණවත් විදුලි ආලෝකයෙන් යුතුව ප්‍රදර්ශනය කෙරුණු HAPPYLIFE THAI BODY MASSAGE නම් පුවරුවක් විය. වැඩි ඉංගිරිසි දැනුමක් නැතිව වුවද රතු හාමුදුරුවන්ට මේ වචන තේරුම් ගන්ට අපහසු වූයේ නැත. ඇස් ඇති ඕනෑම කෙනෙකුට මෙන් උන් වහන්සේටද මේ පුවරුව නවාතැනට යන එන හැම විටම පෙනුණේය. දෙවැනි දවස අවසානයේදී උන් වහන්සේ ලොක්කා තමන්ට කමිස කලිසම් දුන්නේත් මේ නවාතැනෙහිම නතර වීමට පහසුකම් දුන්නේත් මන්ද පූර්වාපර සිද්ධි ගළපමින් කල්පනා කළේය. ඉන්පසුව උන් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වන්නාක් මෙන් යමක් අවබෝධ වී මුවඟට සිනාවක්ද නැඟුණේය.

එදින සන්ධ්‍යාවෙහිම, කළු කලිසමකින් හා නිල් පැහැ ටීෂර්ට් එකකින් සැරසී කැප් තොප්පියක් ලාගෙන හැපි ලයිෆ් හෙවත් සන්තුෂ්ටිමත් ජීවිතයක් සොයා වැඩම කළ උන් වහන්සේට එය ලැබුණු ආකාරය ගැන දීර්ඝ පැහැදිළි කිරීමක් අනවශ්‍යය. උන් වහන්සේගේ වසර තිස් පහක ජීවිතයේ එක් දිනක් තුළ වූ ලොකුම පරිවර්තනය එදින රාත්‍රියේ වූ බව සඳහන් වීම පමණක් ප්‍රමාණවත්ය.

තෙවැනි දින උන් වහන්සේ යොදාගෙන තිබුණේ දුසිත්හි, වට් බෙන්ජම්බෝෆිත් හෙවත් “වට් බෙන්ජා” බලන්ටය. මෑත භාගයේදී ප්‍රතිසංස්කරණය කරන ලද, පැරැණි ථෙරවාද පන්සලක් වූ එහි විශේෂත්වය එක පෙළට තබා ඇති, විවිධ රටවල විවිධ නිර්මාණ ශිල්පෝක්‍රමවලට අනුව නිර්මාණය කරන ලද ලොකු බුදු පිළිම සිය ගණනෙකි. මින් එක පිළිමයක් ලංකාවේ වල්ලිපුරම්හි තිබුණු එකකැයි මතයක්ද ඇති නිසා රතු හාමුදුරුවෝ එතැනට වැඩම කරන්ට විශේෂ ඕනෑකමකින් සිටියහ. නමුත් රාත්‍රියේ බිහි වූ අමුතු පුද්ගලයාට තව දුරටත් මේ දේවල් වැදගත් වූයේ නැත. එබැවින් රතු හාමුදුරුවෝ සුපිරි වෙළඳසලකට ෂොපින් ගියහ. ඒ ලොක්කාට (කලින් දෙන්ට සැලසුම් කළ ධර්ම ග්‍රන්ථය වෙනුවට) දෙන්ට හොඳ සාළුවක් මිළට ගැනීමේ අරමුණද ඇතිවය.

කථාවේ ඉතිරි හරිය ඔවුන් කියන්නාක් සේ ඉතිහාසයයි. The rest is history.

ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා ගමක කුඩා පන්සලක සිටි උන් වහන්සේට කොළඹ නගරයේ පන්සලක් හිමිවූයේ කෙසේද, ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ අනපේක්ෂිත මරණයෙන් පසු ඇති වූ එදිරිවාදී වාතාවරණය තුළ උන් වහන්සේ ප්‍රවර්ථනය වූයේ කෙසේද වැනි ප්‍රශ්න ඔබ විසින් නොනඟතැයි සිතමි. හිත ඇතිනම් පත කුඩාද? උත්සාහවන්තයා ඉඳිකටු හිලෙන් වුව රිංගා ඉදිරියටම යයි.

සහස්‍රකයේ මුල් දශකය අවසාන වන විට රතු හාමුදුරුවන් කුළුපගව නොදන්නා ඇමැතිවරයකු නොවීය. එහෙත් උන් වහන්සේ කිට්ටු සම්බන්ධතා පැවැත්වූයේ මා ඇතුළු කිහිප දෙනකු සමඟ පමණෙකි. රහස්‍යභාවය පිළිබඳව මා කලින් කළ ටෙස්ට් කිහිපකයින්ම උන් වහන්සේ සමත්ව සිටියේය. රතනාරාමයෙහිදී අමරේ හමුවීම ගැන මට විචිකිච්ඡාවක් නොවූයේ එනිසාය.

(ඉවසන්න……..සමනලයා නැවත තටු සලන තුරු )

Advertisements
Leave a comment

14 Comments

  1. හ්ම්, නව් යු ආ ටෝකින්!

    Reply
  2. සමනලයා තටු සලන තුරු නොඉවසිල්ලෙන් බලා හිඳිමි 🙂

    Reply
  3. DDT

     /  August 2, 2012

    ෂා …. දැන් නම් මේක එන්න එන්නම රසවත් වෙනව.

    Reply
    • DDT

       /  August 2, 2012

      ආ …. අමතක උනා, ඔයා ‘සාසනයා‘ අඳුරගෙන තියෙන හැටිනම් නියමයි. මමත් මෑන්ගෙ කැමතිම පාට් එක මැඩම් ඉන්න කාලෙ කරපු ටික තමා. මොනව උනත් මිනිහ ජොලි පොර.

      Reply
  4. පරිස්සමින් ලොක්කා. සමාන්තර ග්‍රහ ලෝක වල සුදු වෑන් නැතත්, රාජ ද්‍රෝහී චෝදනාවට පාත්‍ර විය හැක.
    S.B කියනා විට වෙන ලෝකෙක හිටියත් ඇගේ මාළු නටයි, නොදොකින්.

    Reply
  5. ranwala

     /  August 2, 2012

    දැනට ආපු ඒවායින් හොඳම එක ..යමු යමු….!

    Reply
  6. ප්‍රියන්ත

     /  August 3, 2012

    මේ පිවිසුම නම් කදිමයි. සියල්ල එක දිගටම කියෙව්වා

    Reply
  7. Anonymous

     /  August 3, 2012

    කතන්දරගේ ඔත්තුවෙන් මේ පැත්තට ආවේ .. නැගලා යනවා වගේ වැඩේ

    Reply
  8. රසවත්…ඉදිරි කොටස් පලවෙන කම් බලාගෙන ඉන්නේ !

    Reply
  9. ප්‍රදීප්

     /  August 3, 2012

    හ්ම්.. අද 3 යි, ශුවර් මූව උස්සලා

    Reply
  10. මා දැන් ඔබව පැහැදිලිව කියවමින් සිටිමි. ඔබව නිවැරදිව කියවීමට තරම් මනස වෘද්ධ වූ පාඨකයන් මා සිටින විශ්වය තුළ අල්පය. නමුදු කතරක දිය බිදක් බලාපොරොත්තුව සිටින්නන්ගේ ‘තිබහ’ දිව ගිල ගන්නාසුළු ය.

    කෙසේ වෙතත් ඔබේ නවකතාව මෑත අනාගතයේ මුද්‍රණ:දිවාරයෙන් එළි දැක්වීමට ‘නොලැබේවායි’ පතමි. මන්ද යත් ඔබ වැනි ලේඛකයන් මා සිටිනා විශ්වය තුළ ‘දිගු කල් ජීවත් විය යුතු බව’ මා අදහන බැවිනි.

    මා මෙතැනට යොමු කල ‘කකා’ ටත්, ඔහුගේ ‘බ්ලොග්ස්පොට්’ අදහසටත් ප්‍රණාමය!

    ඔබට සුභ පැතුම්!

    Reply
    • kathandarakaraya

       /  August 4, 2012

      මේ වගේ කතන්දර සුගතපාල ද සිල්වා සහ කේ ජයතිලකත් ලියලා තියෙනවා.

      Reply
  11. ranwala

     /  August 3, 2012

    සුදු වෑන් උවදුරකට පත්ව නැතැයි සිතමි.ඊළඟ කොටස තෙක් බලාපොරොත්තුවෙන් ඉමි.එතරම් රසවත්ය!

    Reply
  12. ප්‍රියතම විශය වුවත් ලාංකික දේශපාලනය මඩ ගොහොරුවක් නිසා ඒ ගැන ඕනවට වඩා හොයල බලන්න තරම් විචිකිච්චාවක් නැති උනා උනත් මේ චරිත වලට සමගාමී චරිත නම් අඳුන ගන්න ඒ තරම්ම අමාරු නෑ වගේ

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: