(06) යාපනය ගිනි ගනියි || Jaffna is on fire

  • කාලය: මැයි 1981, සමාන්තර විශ්වය
  • ස්ථානය: උතුරු පළාත, ලංකාව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කථාව)**********

ලංකාවේ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ සම්භවය දුම්කොළ වැවීම පිණිස ලන්දේසි සමයේ මෙහි රැගෙන ආ දෙමළ කම්කරුවන්ය උපතිස්ස කියද්දී මම කෝපයට පත්වෙමි. ඒ දෙමළුන් කෙරෙහි ඇති විශේෂාදරයකින් නොව, හුදෙක් වාර්ගික අභිමතාර්ථයන් පිණිසම මෙවැනි අමු අමුවේ කරන ඉතිහාස විකෘති කිරීම් වලට මා නොකැමැති හෙයිනි.

“දන්නෙ නැත්නම් ඉගෙන ගනින්. අඩුම වශයෙන් දහතුන්වැනි සියවසේ ඉඳන් උතුරු පළාතෙ දෙමළ ජනාවාස විතරක් නෙවෙයි දෙමළ රාජ්‍යයකුත් තිබුණා. ඒකට ඕනැ තරම් ලිඛිත සාක්ෂි තියෙනවා”

“ඕව දෙමළු ලියා ගත්තු ඉතිහාස කතානෙ” සුනන්දයාද මැදට පනී.

“එතකොට පරණවිතාන මහත්තයත් දෙමළෙක්ද? පරණවිතාන ලියපු ‘උතුරුකරයේ ආර්ය රාජ්‍යය’ පොතේ ආර්ය චක්‍රවර්තීන් ගැන පැහැදිළිව සඳහන් වෙනවා. ඉබන් බතූතා කියනවා ආර්ය චක්‍රවර්තීන්ගෙ නාවුක බලය ගැන. ඉබන් බතූතාගෙ නැව වරායට එනකොට තවත් නැව් සීයකට වැඩි ගාණක් දැක්කයි කියල එයා ලියනවා. ඒ විස්තරේට අනුව ආර්ය චක්‍රවර්තීන් කියන්නෙ පොළොන්නරු යුගයෙන් පස්සෙ අපේ රටේ බිහි වෙච්චි බලවත්ම රාජ වංශය වෙන්න පුළුවන්…”

මගේ සගයන් කිසිවකුට මා හා තර්ක කර ජය ගන්ට තරම් ඉතිහාස දැනුමක් නොවේ. එහෙත් එනිසාම පරාජය බාර ගන්ට ඔවුනට උවමනාවක්ද නැත.

“ඔච්චර බලයක් තිබුණ එවුන්වත් සපුමල් කුමාරයා පරාජය කළා…”

මට හිනා යයි.

“දැන් උඹලම නේද ටික වෙලාවකට කලින් කිව්වෙ දෙමළුන්ගෙ ඉතිහාසය පටන් ගන්නෙ ලන්දේසින් දුම්කොළ වවන්ට ගෙනාපු කම්කරුවන්ගෙන් කියල, පහළොස්වෙනි සියවසේ දෙමළු නොහිටිය නම් සපුමල් කුමාරයා බහිරවයන්ටද ගැහුවෙ?”

“ඒ ස්වාධීන රාජ්‍යයක් නෙවෙයි, කෝට්ටේ රාජධානිය යටතේ තිබුණු ප්‍රාන්ත රාජ්‍යයක්…”

“මොන මෝඩයද බං තමන්ගෙම ප්‍රාන්ත රාජ්‍යයකට ගහන්නෙ..?”

පැජරෝයියාගේ ඉදිරි ආසනයේ නිදා සිටින්නාක් මෙන් සිටි ඇමැතිතුමාද අපේ කතාවට ඇහුම් කන් දීගෙන යන බව මට මීටර් වන්නේ ඔහු එක්වර “වික්ටර්” කියා කතා කරන නිසාය.

“යස් සර්?”

“තමුසෙ ඉතිහාසය ඉගෙනගෙන තියෙනවද?”

“ඔව් සර්, ඩිග්‍රි එකට කළා” මා කියන්නේ අව්‍යාජ ආඩම්බරයකිනි. මගේ සගයින් කිසිවකුට නැති ඩිග්‍රියක් මට තියේ. එහි ලොකු වාණිජ වටිනාකමක් නැතද, ඒ බව ලොක්කාද දැන ගැනීමෙන් මම තෘප්තියක් ලබමි.

“What were the other subjects you took?”

“Sir, Econ and Sinhala…”

“From Peradeniya?”

“Yes sir…”

“තමුසෙට අපි සලකනව මදිනෙ වික්ටර්!”

“ඒ කිව්වෙ සර්…”

දැන් බලනව මගේ මිනිස්ට්‍රියෙ ඉන්න උපාධිකාරයො. මුන්ට බී.ඒ.ද, එම්. ඒ.ද නැති සහතිකයක් නෑ. හැබැයි පොතේ ගුරාලා විතරයි. ඉංගිරිසියෙන් තියා සරල සිංහලෙන්වත් ලියුමක් ලියා ගන්ඩ බෑ. දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. මුදල් ඇමැති කවුද ඇහුවොත් එන්. එම්. පෙරේරා කියාවි. රුසියාවෙ අගනුවර ඇහුවොත් ලන්ඩන් කියාවි. තමුසෙට ඊට වඩා දෙයක් කර ගන්ඩ පුළුවන්නෙ…”

මගේ සිත ආඩම්බරයෙන් පිරී යයි. ලොක්කා යමක් කියන විට ඊට බාධා කිරීම අපේ සිරිත නොවේ. අපි සාවධානව අසා සිටිමු.

“වික්ටර්?”

“ඔව් සර්…”

“මේ රට හැමදාම මෙහෙම තියෙන්නෙ නෑ. අපිත් හැමදාම මෙහෙම ඉන්නෙ නෑ. තේරුණැයි…?”

“ඔව් සර්” කියා එවේලෙහි කීවද, ටියුබ් ලයිට් එකක් ගැස්සී පත්තු වන්නාක් සේ මට මෙහි සැබෑ අරුත වැටහෙන්නේ පසුවය. මීයක් කඩන්නේ අත ලෙවකන්ට නොවන්නාක් සේම දේශපාලනයට බහින්නේ ඇමැතිකමකින් නතරවන්ට නොවේ. ලොක්කාට රටේ ජනාධිපති පදවිය දක්වාම ගමන් කරන්ට අදහසක් ඇති බව කොල්ලන් කියන්නේ කට කහනවාට නොවිය හැකිය.

“අපි මේවයින් යනකොට වික්ටර් බුද්ධිමත් තරුණ පිරිසකට මේව භාරදීලා යන්නෝනැ. තමුසෙ ගැන මං බොස්ට කියලයි තියෙන්නෙ. ඊළඟ සැරේ ටිකට් එක දෙන්න අපි සලකා බලනවා…”

එහා පැත්තේ සිටින සුනන්දයා මට වැළමිටින් අනී.

“සර් සුනන්දගෙ ඇප්ලිකේෂන් එකත් දුන්නයි කිව්ව නේද…?”

“හ්ම්ම්ම්ම්….සුනන්ද, තමුසෙට ටිකක් කල් ඉන්න වෙයි. තමුසෙ නරකවට නෙවෙයි. ඒත් මේ වෙලාවෙ බියගමට කෙනෙක් දා ගන්න අමාරුයි. ලොක්කට ඕනැ බෑණන්ඩියට තරගයක් නැතුවම ඉහළට එන්ඩ දෙන්ඩ. හැම තැනම යුක්තියක් නෑ අයිසෙ. අර උතුමාණෙනි ෆිල්ම් එකේ ගාමිණී ෆොන්සේකාත් කියන්නෙ ‘යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න, උතුමාණෙනි’ කියල… ”

“කමක් නෑ, සර්…” සුනන්ද එක්වරම කීවද ඔහුගේ හඬෙහි ඇත්තේ බලාපොරොත්තු සුන් වූ ස්වරයකි.

“ගාමිණී ෆොන්සේකත් එහෙම කියනව නම් මොනව කරන්ඩද?” සුනන්ද අපට පමණක් ඇසෙන්ට කියයි. අපි හඬ නොනඟා සිනාසෙමු.

“කොහොමටත් බය වෙන්ඩ එපා. තමුසෙලා සෙට් එක ගැනම ලොක්කා සැටිස්ෆයිඩ්. ඒකයි මට විශේෂයෙන්ම කිව්වෙ කට්ටිය එක්ක ගෙන යන්න කියලා යාපනේ යනකොට, පොඩි එක්ස්පීරියන්ස් එකකටත් එක්ක…”

“තෑන්ක් යූ සර්…”

ලොක්කා යමක් කියන්ටත් මත්තෙන් අපේ මාතලී පැජරෝයියා තල් වැටක් ළඟින් හරවා යාපනේ රෙස්ට් හවුසිය ඉදිරිපස නතර කරයි. මේ ඉදිරි දින කිහිපය තුළ අපේ නිවහනය. දකුණුකරයේ සිට අප ඇවිත් ඉන්නේ සපුමල් කුමාරයා සේම මිෂන් එකකටයි. දිනෙන් දින උග්‍ර වන ත්‍රස්තවාදී ක්‍රියා හමුවේ උතුරු පළාතේ හීන වෙමින් යන පක්ෂයේ ශක්තිය යළි ගොඩ නඟා ගන්ට ජනාධිපති උතුමාණන්ට අවශ්‍යව තියේ. අපේ නායකයා ඇමැතිතුමාය. අපි එතුමන්ගේ සෙබළුන් වෙමු. ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි, සෙබළු අපියි අපේ රාජ්ජේ….

රෙස්ට් හවුසියට අසාමාන්‍ය ලෙස ආරක්ෂාවක් සපයා තිබේ. පොලීසිය පමණක් නොව යුද හමුදා රථයක්ද එහි වෙයි. ඇමැතිතුමා ඔවුන් සමඟ මිනිත්තු කිහිපයක් කථා බහෙහි නියැළී හිඳ අප වෙත එයි.

“අද පොඩ්ඩක් කලබල දවසක්. අමිර්තලිංගම්ලගෙ රැස්වීමක පොඩි හුටපටයක් වෙලා පොලිස්කාරයො කීප දෙනෙකුට වෙඩි වැදිල තියෙනව. එක්කෙනෙක් මැරිලලු. දෙන්නෙකුට අමාරුයි. කලබල ටිකක් ඇති වෙන්ඩ පුළුවන් කියල කියන්නෙ…බය වෙන්න එපා. මං ලොක්කට කතා කරල කියල තියන්නම්”

හිමිදිරියේ පටන්, පැය දහයක පමණ ගමන් වෙහෙසද, මසාල තෝසේ දෙකක් උඩට වැටුණු විස්කි වීදුරුවද මා ඉක්මණ් නින්දකට යොමු කරවයි. (අපේ ආණ්ඩුවේ නිදහස් ආර්ථික ප්‍රතිපත්ති නිසා එතෙක් ගල් පොල් ගහමින් සිටි අපටත් ඉඳහිට විස්කි වීදුරුවක රහ බලන්ට අවකාශ ලැබී තිබේ. සමහරවිට ලොක්කා වොඩ්කා එකක් පවා දෙයි. තවම මා රහ බලා නැත්තේ සකේ පමණකි.) යාපා පටුන උණුසුම්ය. නිරුවත් උඩුකයට සුළඟ වැදෙන පරිදි පොරෝණයක් නැතිව නිදන්ට පහසුය.

මා අවදි වන්නේ මහා කාල ගෝට්ටියකිනි. දහසක් දෙනකු එකවර කතා කරන්ට පටන් ගෙන ඇතිවාක් වැන්න. දෙමළෙන් කෑ ගසා කියන කිසිවක් මට නොවැටහේ. ඉඳහිට වෙඩි හඬ ඇසේ. මම සරම පටළවාගෙන එළියට දුවමි. මට පෙර අවදි වූ මගේ සගයින් කිහිපදෙනෙක් ඒ වන විටත් රෙස්ට් හවුසියේ වැරෙන්ඩාවෙහි රැඳී සිටිති. ඔවුන්ගේ මුහුණු වල ඇත්තේ ප්‍රශ්නාර්ථයන්ය. හාත්පස කළුවරය. බටහිර පැත්තෙන් පමණක් අහසෙහි ගිනිදළුවලින් නැඟෙන රතුපාටක් ඉඳහිට පෙනේ.

“මොකද බං?”

“දන්නෙ නෑ. මොකක් හරි ගිනි ගන්නවා…”

“මේ සද්දෙ?”

“අපේ අයියලා සුද්දයක් දෙනවා වගේ…”

“ඒ කිව්වෙ?”

“නිකං බබා වෙන්ඩ එපා වික්ටර්. දෙමළු පොලිස්කාරයෙක් මරල නම් පොලීසිය බකං නිලාගෙන ඉඳී කියලද උඹ හිතන්නෙ?”

“කියමුද ලොක්කට?”

“ලොක්ක මොනව කරන්ඩද බං. ඔන්නහො කර ගන්න දෙයක් කර ගන්ඩ දීපං… පර දෙමළු. වේසිගෙ පුත්තු.”

“පර දෙමළු හරි නැතුව හරි, මිනිස්ට’ මෙතැන ඉඳගෙන මේ වගේ දේවල් වෙන එක එයාට හොඳ නෑ.”

ඇමැතිතුමාට මේ ආරංචිය දෙන්ට මට ඇත්තේ දැඩි උවමනාවකි. ඔහු වහා පියවර ගන්නා බව මට නිසැකය. ඒ ඔහු මහා මානව හිතවාදියකු නිසා නොවේ. ඇමැතිවරුන් ක්‍රියා කරන්නේ එහෙමය. “යාපනේ මහා විනාශයක් ඇමැතිතුමාගේ මැදිගත් වීමෙන් වැළකේ” හෙට දිනමිණ පුවත්පතේ හෙඩ් ලයින් එකම යනු ඇත්තේය. “Quick action by minister stops catastrophe in Jaffna” Daily News එක කියනු ඇත. එය ඊටත් හොඳය. දෙමළ ජනතාවද ඉංගිරිසි පත්තර කියවති. ඇමැතිවරු එවන් ප්‍රසිද්ධියට කැමැතියහ.

ඇමැතිතුමා සයනය කළේ අප සමඟ නොව වෙනම කුටියකය. ඊට පොලිස් හා හමුදා මුර යොදා ඇත. මම අතට හසු වූ ටීෂර්ට් එකක් දාගෙන ඔහු සොයා යමි. හමුදා නිලධරයකු විසින් මා නතර කරනු ලබයි.

“මහත්තය කොහෙද යන්නෙ…?”

ඔහුගේ හඬ සංවරය. එහෙත් දැඩිය.

“ඔෆිස’, මේක ඉම’ජන්සි එකක්. මට මිනිස්ට’ට කතා කරන්න ඕනැ…”

“මිනිස්ට’ දැන් නිදි. අද හවස කොළඹ ඉඳල ආවෙ. දැන් නැඟිට්ටවන්ඩ බෑ. මහත්තය යන්ඩ…”

මා සවන් අදහා ගත නොහැකි ලෙසින් බලා සිටිමි. මා ඇමැතිතුමා සමඟ එකම වාහනයෙන් මෙහි පැමිණි බැව් මොහු නුදුටුවේද?

“Officer, I am the Secretary of UNP’s youth wing. My name is….”

“මම දන්නව මහත්තය කවුද කියල. ඒත් මිනිස්ට’ට නැඟිට්ටවන්න බෑ” ඔහු ස්වරය වෙනස් නොකර කියයි. “ඇයි තව බලන් ඉන්නෙ දැන් යන්ඩ…”

මම තවදුරටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු නොවන බැව් මම මතක්කර ගනිමි. වැඩිහිටියකු විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුට වඩා පරිණතභාවයකින් යුතුව හැසිරිය යුතුය. ඉල්ලල දෙන්නං උඹට හෙට මිනිස්ට’ට කියල. එකම ප්‍රශ්නෙ මූව ට්‍රාන්ස්ෆ’ කරන්න තැනක් නැති වීමයි. දැන් ඉන්නෙත් යාපනේ නෙවැ. තව කොහේ යවන්ටද?

ඔහු ටක් ටොක් ගගා සිමෙන්තියෙහි ඇණ වදින සේ අඩිය තියමින් මා පසුපසින් වැරැන්ඩාවටද එයි.

“දැන් ඔය මහත්තුරු ඔතැන මොනවද කරන්නෙ. ඔතැන හිටියය කියල මොකුත් වෙන්නෙ නෑ. ආරක්ෂාව ගැන බලාගන්ඩ අපට දීල ගිහින් නිදා ගන්ඩ. යන්ඩකෝ ඇතුළට…”

ඔහු අප කාමරය තුළට යනතුරු සිට දොරටුවට මුර භටයින් දෙදෙනකු යොදවයි. අපට කතා කර ගන්ට බොහෝ දේ තිබේ. එහෙත් අපි නිහඬතාවය රකිමු. මේ නොදන්නා ප්‍රදේශයකි. වවුලාගෙ ගෙදර ආවා නම් එල්ලී සිටිය යුතුය. කට වරද්දා ගත යුතු නොවේ.

මම මහා ඝෝෂාව මැද නිදන්ට අසාර්ථක උත්සාහයක් දරමි. පාන්දර නැවත මට නින්ද ගියා විය හැකිය. මට කඩින් කඩ සිහින පෙනේ. සිහිනද කරදරයක් වන තරමට විකාශය වේ. අවිනිශ්චිතතාව ඒ තරම්ටම වදයකි.

සිදු වූ සියල්ල අපට දැනගන්ට ලැබෙන්නේ උදෑසන ආහාරය පිණිස එක් වූ අවස්ථාවේය. ඒද සම්පූර්ණ වශයෙන් නොව එකිනෙකා විසින් එකතු කරගත් කෑලි වලිනි. මේ ජිග් සෝ ප්‍රහේළිකාවේ කෑලි අප එකට තියා සම්පූර්ණ චිත්‍රය නිමා කරන්ට උත්සාහයක යෙදෙමු.

මැයි තිස් එක්වැනිදා එනම් ඊයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පැවැත්වූ දේශපාලන රැස්වීමකදී සිදුවූ හරිහැටිම පැහැදිළි නැති සිද්ධි දාමයක් කෙළවරව ඇත්තේ සිංහල පොලිස් නිලධරයන් දෙදෙනකු වෙඩි වැදී මරුමුව පත්වීමෙනි. එදින රාත්‍රියේ හඳුනා නොගත් පිරිස් විසින් යාපනයේ ගොඩනැඟිලි සමූහයක් ගිණිබත් කොට තිබේ. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය හා යාපනේ පුස්තකාලය ඒ අතර වෙතැයි කියැවේ. තවත් එතරම් වැදගත් නොවන ගොඩනැඟිලි කිහිපයකට හානි පමුණවා ඇති බවක් ආරංචිය. යාපන නගර මධ්‍යයේ තිබුණු බොහෝ ප්‍රතිමා එක්කෝ කඩා බිඳ දමා නැතිනම් තාර ආලේප කොට විකෘති කර ඇත. සුබ්‍රමනියම් ළමා උද්‍යානයේ සරස්වතී පිළිරුවද ඒ අතර වේ.

මේ සියල්ල තහවුරු නොකැර ගන්නා ලද ප්‍රවෘත්තිය.

ඇමැතිතුමා උදය ආහාරගන්නේ අපෙන් වෙන්ව ඉස්තෝප්පුවේය. මම ඔහු වෙත යමි. ඔහු මට හිඳගන්ට සන් කරයි. ඔහු අත අද Daily News පුවත්පත තිබේ. යාපනයේදී සිංහල පත්තර මිළට ගන්ට හැකිදැයි මම නොදනිමි. ඉංගිරිසි පත්තර නම් ටික හෝ එනවා වන්ට ඇත.

“So Victor what you think about this?”

‘Accelerated Mahaweli development project to create one million jobs’ වෙනදා මෙන්ම Daily News එකේ අද හෙඩ් ලයින් එකත් අපේ ආණ්ඩුවේ පම්පෝරියකි. එහි පුදුමයක් නැත. Daily News එක ගහන්නේ අපේ ආණ්ඩුවය.

“By a special correspondent” මම හයියෙන් කියවමි. නාමමාත්‍රික වශයෙන් හෝ පිට කොන්දක් ඇති Daily News කතුවරයා මේ අඟවන්නේ මේ වාර්තාව රජයේ අමාත්‍යාංශයක ගොබිලකු විසින් ලියා සංස්කරණයකින් තොරව පළකරන්ට පත්තරයට එවා ඇති බවය.

“මේ පත්තරේම හෙට මොනවා කියයිද සර්…?”

“මොකක් ගැනද වික්ටර්…?” ඇමැතිතුමා ඉතිරි වී ඇති බිත්තර ආප්පය සමඟ පිඟාන මවෙත දිගු කරයි. මම එය ගෙන නොකා අසළ වූ පුටුව මත තියමි. උපසේවියකු විසින් කෑ යුතු මෙන්ම නොකෑ යුතු ඉඳුල්ද වේ.

“ඊයේ ජැෆ්නා ලයිබ්‍රරි එකට ගිණි තියලා…”

“Yes, that is what I have heard Victor. Sad. Sad state of affairs… අර සරුංගලේ ගාමිණී ෆොන්සේකා කියනව වගේ ඩර්ටි පොලිටික්ස්”

ඔහු සැහැල්ලු ලෙස සිනාසෙන්ට උත්සාහ දරයි.

“සර් දන්නවනෙ ජැෆ්නා ලයිබ්‍රරි එකේ වැදගත්කම?”

“කියමු බලන්න…”

“ජැෆ්නා ලයිබ්‍රරි එකේ තිබුණේ මිළ කරන්ට බැරි තරම් වටිනා පොත්පත් ලිපි ලේඛන සමූහයක්. ඩොක්ටර් ආනන්ද කුමාරස්වාමිගෙ රීසර්ච් මැනුස්ක්‍රිප්ට්ස් තිබුනෙ එතැන. ප්‍රොෆෙසර් සෙනරත් පරණවිතාන මැරුණහම එයාගෙ බුක් කලෙක්ෂන් එක ගන්න රජය ඉදිරිපත් වුණේ නැහැ. දෙමළ මුදලාලි කෙනෙක් ඒක රුපියල් 25,000ක් දීල අරගෙන ජැෆ්නා ලයිබ්‍රරි එකට පරිත්‍යාග කළා. ඊයෙ පිච්චුනේ අන්න එහෙම දැනුම් සම්භාරයක් සර්. කාලිංග මාඝ යුගයෙන් පස්සෙ මේ වගේ බුද්ධිමය විනාශයක් කරපු පළමු අවස්ථාව මේක…”

“I say, pass me those toothpicks…” ඔහු දත් හාරන්ට පටන් ගනියි.

“Victor, can I say you something…?”

“Yes, sir…”

“වික්ටර්, මම තමුසෙට මෙහෙම කියන්නෙ වැඩිහිටියෙක් හැටියට. ඒවගේම තමුසෙට වඩා දවසක් හරි වැඩිපුර දේශපාලනයේ අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට. You are still young. You have time. මේ වගේ කතාවක් තමුසෙ මට කිව්වට කමක් නෑ. මම කැමැතියි මගේ ගෝලයො මට ඇත්ත කියනව අහන්න. තමුසෙලාට ඇත්ත කතා කරන්ඩ ඉඩ නොදුන්නොත් අපිමයි ඇඳ ගන්නෙ. නමුත් තමුසෙ මේව පක්ෂ ඇතුළ වෙන කා එක්කවත් කියන්ඩ ඕනැ නෑ…”

“ඔව් සර්…”

“අයිසෙ වික්ටර්, මට ආරංචියි තමුසෙ ඊයෙ රෑ මාව ඇහැරවන්න ආවය කියල. තමුසෙ හිතුවෙ මං නිදි කියල නේද? නෑ අයිසෙ. මම මුළු රෑම ඇහැර ගෙන, ඇස් ඇරගෙන හිටියෙ. ප්‍රෙසිඩෙන්ට් එක්ක මම එක එක සැරේට කෝල්ස් දහයකට වඩා ගත්තා. ඊයෙ රෑ ප්‍රෙසිඩෙන්ට්ටත් වැඩි නින්දක් නෑ මගෙ හිතේ…”

“ඔව් සර්…”

“ඒත් වික්ටර් සමහර දෙවල් තියෙනවා රටේ ජනාධිපතිතුමන්ටත් වෙනස් කරන්න බැරි. සමහර දේවල් අපි වෙනස් කළ යුතුත් නෑ. ප්‍රෙසිඩෙන්ට් දන්නවා ජැෆ්නා ලයිබ්‍රරි එකේ වටිනාකම. වික්ටර් වගේ නෙවෙයි එයා ඒ පොත් පාවිච්චි කරපු කෙනෙක්. ප්‍රෙසිඩෙන්ට් හුඟාක් දුක්වුණා මේ ගැන අහල. Believe me Victor. He was upset. He was really upset. He didn’t like it…”

“ඔව් සර්…”

මම ජනේල උළුවස්ස මත වසා තටු සලන සමනළයා දෙස බලා සිටිමි.

“What more can I say Victor? අපි දේශපාලනයට ආවෙ අපේ පුද්ගලිකත්වය පැත්තක තියල. දේශපාලනේදි අපට හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න බෑ. I say this because you are still young Victor. When you get some grey hair you will understand. There are so many things we cannot control. And we shouldn’t try to control. Let history takes its own path. You will understand one day. කොටි වළිගෙ ගාමිණී ෆොන්සේකා කියනවා ‘සාජ්, අපි පොලිස්කාරයෝ’ කියල. We too are politicians Victor…”

ගාමිණී ෆොන්සේකාත් එහෙම කියනවා නම් මා තව මොනවා කියන්ටද?

(ඉවසන්න………සමනළයා යළි තටු සලන තුරු)

Advertisements
Leave a comment

30 Comments

  1. kathandarakaraya

     /  August 4, 2012

    දෙවියනි, මේ අපරාධ සිදු නොවුනු පැරලල් ලෝකයකට අප කැඳවා ගෙන යනු මැනවි!

    (ඒකත් චිත්‍රපටියක තිබුණු කෑල්ලක්)

    Reply
    • “යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි.” ඒකත් කියන්නෙ ගාමිණී ෆොන්සේකා, උතුමාණෙනි ෆිල්ම් එකේ.

      මතක් කළාට ස්තූතියි . කථාවට ඒක එකතු කළා. තව කෝට් එකක් මතක නැතුව හිටියේ.

      – ලේඛක

      Reply
    • මහරජ, මේ පැරලල් යුනිවර්සය හැර තවත් පැරලල් යුනිවර්ස් තිබේද?

      Reply
      • තවත් ඒවා ඇති නිසා නේද ‘පැරලල්’ වෙන්නේ 🙂

      • අපි ඉන්න විශ්වයයි, මේ ලේඛකයාගේ කතාවේ තියෙන විශ්වයයි ගත්තහම දෙකයි. දෙකක් උනත් ඇතිනේ පැරලල් වෙන්න. 🙂

        නමුත් කතාවේ විදිහට ඔය විශ්ව දෙකේම කලු ජූලිය ඇති වෙලා, යාපනේ පුස්තකාලය පුච්චලා, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සාසනයා වගේ අයගේ දෙමවුපියන්ගේ බීජ සාර්ථකව එකතු වෙලා. මේ දේවල් සිද්ධ උනේ නැති සමාන්තර විශ්වයක් කතාවකවත් දකින්න නැති හැටි කියලයි මම කල්පනා කලේ.. 😦

      • @මහෝදර,

        සමාන්තර විශ්වයක් ඇති වෙන්නෙ යම් තනි සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස. උදාහරණයක් හැටියට ක්‍රිකට් තරගයකට කලින් කාසියක් උඩ දැමීම සලකන්න. එහි Head වැටුනොත් එක සමාන්තර විශ්වයක්. Tail වැටුනොත් තව එකක්. වෙනත් වචන වලින් කිව්වොත් මේ සිද්ධිය නිසා ඉතිහාසය දෙකට බෙදී ඉන්පසු මාර්ග දෙකක ගමන් ගන්නවා.

        මේ කතාවට අදාළ Turning point එක මේක:

        “සමනළ විප්ලවය” ට අදාළ සමාන්තර විශ්වය ගොඩ නැඟෙන්නේ 2003 ඔක්තෝබරයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එවක අගැමැති රනිල් වික්‍රමසිංහ සමඟ වූ අවබෝධයක් මත සිදු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟය.

        ඉතින් මේ මොහොත (2003) දක්වා ඔබ ඉන්නා සමාන්තර විශ්වයේත් මේ කතාව සිද්ධ වෙන සමාන්තර විශ්වයේත් සිද්ධි සමානයි. එතැනින් එපිටට සමහර සිද්ධි සමාන වන අතර සමහර සිද්ධි වෙනස්. අනිවාර්යයෙන්ම සියළු දේ වෙනස් විය යුතුය කියා නීතියක් නෑ.

        – ලේඛක

  2. kathandarakaraya

     /  August 4, 2012

    යාපනේ නැද්ද සමනල්ලු?

    Reply
    • යාල්පානමා වන්නාත්තිපුච්චි ඉල්ලෙයි? එන්න පයිත්තියමා දොරේ?

      – ஆசிரியர்

      Reply
      • kathandarakaraya

         /  August 4, 2012

        Sorry, මගේ ප්‍රශ්ණය අසම්පූර්ණයි.

        යාපනේ “දැන්” නැද්ද සමනල්ලු?

      • දොරේ, විනා තෙරි ඉල්ලෙයි.

        – ஆசிரியர்

  3. “”මම ජනේල උළුවස්ස මත වසා තටු සලන සමනළයා දෙස බලා සිටිමි””
    🙂

    Reply
  4. DDT

     /  August 4, 2012

    ඔය සිද්ධිය වෙනකොට මම ඉපදිලවත් නෑ. ඒත් මම පස්සෙ කාලෙක කියෙව්ව ඔය ගැන. එහෙම වැඩ කරයි කියල මම හීනෙන්වත් නොහිතපු ඇමතිවරුත් ඒක පිටිපස්සෙ හිටිය කියල මම කියවල තියෙනව. මොන තත්ත්වය යටතේ උනත් යාපනය පුස්තකාලෙට ගිනි තියපු එක දෙමළ ජාතියෙන් පලිගන්න කරපු එකක් නෙවි, ඒක මුළු රටෙන්ම පලි ගැනීමක්. ඩර්ටි පොලිටික්ස් !

    Reply
  5. වික්ටර්ව හරියට අඳුනගත්තේ අදනේ… බලාගෙන යද්දී ග්‍රේ හෙයා කියන්නේ මාර වැදගත් දෙයක්…

    (කෝ මේ කකා…)

    Reply
  6. ranwala

     /  August 4, 2012

    //(ඉවසන්න………සමනළයා යළි තටු සලන තුරු)// දැන් කතාව යන විදිහට ඉවසන්නත් බැරි තරම්ය…

    Reply
  7. “ගාමිණී ෆොන්සේකාත් එහෙම කියනවා නම් මා තව මොනවා කියන්ටද?”

    Reply
  8. Ano

     /  August 5, 2012

    JRta sudu hunu gala thiyyene…

    Reply
    • @Ano,

      පේළි අතර කියවන්ට ඔබට ඇති නොහැකියාව ගැන කණගාටු වෙමි.

      – ලේඛක

      Reply
  9. විශ්ලේෂකයා

     /  August 7, 2012

    ඔබේ මෙම සංකල්පය ලංකාවට නවමු අත්දැකීමක් බව නොකියාම බැරිය. කෙසේ වුවත් කතාවේ රිද්මය කියවන්නාගේ කුතුහලයට හේතුවන පරිදි ඉදිරිපත් කිරීමට මේ වන තෙක් ඔබ සමත්ව ඇත .තවත සමාන්තර විශ්වයන් ගැන ලියවුනු රොබට් හැරිස් ගේ ෆාතර්ලන්ඩ් මෙන් අප නොහිතු අවසානයක් ( twist ending) කරා ගෙනයාමට ඔබ සමත්වෙතිය් පතමි

    Reply
    • මේ චරිත කිසිවක් ඊළඟ පිටුවේදී කරන්නේ කුමක් දැයි මම වත් නොදනිමි.

      – ලේඛක

      Reply
  10. මෙවැනි කතාවක් ලියන්නට අනිවාර්යයෙන්ම ඔබ ග්‍රේ හෙයාර් ඒජ් එක පහු කල පුද්ගලයෙකු විය යුතුය. ඔබ කියවා ලබා තිබෙන පරිනත කම අප කියවා ලබා ගෙන තිබෙන එකට වඩා ඉහලින් ගිය එකකි. මන්ද ඔබ එක් ග්‍රන්ථයක් පරිශීලනය කර තිබෙන වාර ගණන දහයකට වැඩි විය යුතුය. ඔබ ලියන විට එලියට පනින්නේ ඔබේ ඒ පරිනත කමය.

    Reply
  11. ඉතිරි ඒවා රසවත්ව කියවන්න නම් මෙතනින් එහාට මගේ යාලුවොත් එක්ක මෙතෙක් කතාව ගැන ලොකු කයියක් ගහලම ඉන්න ඕන . . .

    Reply
  12. වික්රට්ගේ ලොක්කා සිරිල් මැතිව්ද?

    Reply
  13. මගේ මතකයේ හැටියට කොටිවලිගය තිර ගත උනේ 1986 දී විතර නේද? යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බේ 1981 දී. මෙතැන පොඩි කාල පරස්පරයක් තියෙනවා වගේ.

    Reply
  14. Anonymous

     /  November 12, 2012

    A Very Nice post. Read the whole blog. Saw this just today.

    Reply
  15. Anonymous

     /  February 7, 2014

    Very refreshing…

    Reply
  1. අවුල් වන්නට පෙර (44)…පොලිස් කැස්බෑවෝ | Aru-ge adaviya

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: