(07) සමනළයා සෙට් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – දුමින්ද සිල්වා ප්‍රේමය || Hirunika to wed Duminda Silva

  • කාලය: ඔක්තෝබර් 2011, සමාන්තර විශ්වය
  • ස්ථානය: සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කොළඹ, ලංකාව

**********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කථාව)**********

“…මාරාතිරෙක මභියුජ්ජිත සබ්බරත්තිං
ඝොරම්පනාලවකමක්ඛමථද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමඞගලානී…”

මාරයකු වන් වූ ආලවක යක්ෂයා මුනිඳුහු ඉවසීමේ බලයෙන් දිනූහ. ඒ ආනුභාවයෙන් ඔබට ජයමංගල්‍යයක්ම වේවා!

ජය මංගල ගාථා අවසානයේ මාලක සිල්වා, දෙවැනි මනමලයා, දුමින්ද අතට ලියුම් කවර කිහිපයක් දෙයි. දුමින්ද ඒවා දැරියන් අතර බෙදා දෙන්නේ සෙනෙහසින් ඔවුන්ගේ හිසද අත ගාමිනි. හිරුණිකා දුමින්ද ගේ කණට මොනවාදෝ මුමුණයි. ඔවුන් දෙදෙනාම හඬ නඟා සිනාසෙති.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුගේ දියණියක විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකු හා අතිනත ගැනීම සමස්ත පාර්ලිමේන්තුවටම සතුටු දවසකි. මගේ කැබිනට් හා පාර්ලිමේන්තු සගයින්ගෙන් ශාලාව පිරී ගොසිනි. අද සවස් භාගයේ පවත්වන්ට නියමිතව තිබුණු කැබිනට් මීටිම කල් දමන ලද්දේද සියල්ලන්ටම මේ සතුටු අවස්ථාවට සහභාගි වන්ට ඉඩ සලසනු පිණිසය.

අද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පාර්ලිමේන්තුව බඳුය. එහා මේසයේ ‘අධ්‍යාපනයා’, ‘උසස් අධ්‍යාපනයා’, ‘සෞඛ්‍යයා’, ‘පරිසරයා’, ‘රාජ්‍ය පරිපාලනයා’ හා ‘ආපදා කළමණාකරණයා’ එක් වී බර කතාවකය. ඔවුන් Z ස්කෝර් එක නිසා ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වය ආපදා කළමණාකරණය කරන හැටි සාකච්ඡා කරනවා වන්ට පිළිවන. මම හාත්පස නිරීක්ෂණය කරමි. මෙතැනට අඩු අනර්කලී ආරක්ෂා ගාළු දිස්ත්‍රික් මන්ත්‍රීතුමිය විතරය. එතුමිය රටින් පිට බවකි ‘වාරිමාර්ගයා’ කීවේ.  එය ඇත්තක් වන්ට පිළිවන. අනෙක් අතට ගහ දන්නා අපට කොළ කඩා පාන්නේ මොටද?

හිරුණිකා-දුමින්ද විවාහ මංගල්‍යයේ සාක්ෂිකාරිය ලෙස මනාලියගේ පාර්ශ්වයෙන් අත්සන් කරන්ට නියමිත ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි; මනාලයාගේ පාර්ශ්වයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක මිලින්ද මොරගොඩ මැතිතුමාය.

මගේ මේසය බොහෝ දුරට හිස්ය. අනෙක් පැත්තේ හිඳගෙන සිටින ‘සාසනයා’ (බුද්ධ ශාසන ඇමැති) ඊට එකම හේතුව වන්ට පිළිවන. සාසනයා මැඩම්ගේ උදහසට බඳුන් වූ, මේ ආණ්ඩුවේ කැපී ගිය චරිතයකි. මේ නිසා කිසිවෙක් ඔහුට ළං නොවෙති. මැඩම්ටත් වඩා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ඔහුට බුද්ධ ශාසන ඇමැති පදවිය ලැබී ඇත්තේ ඇමැති පදවියක් දෙන්ට ඕනෑම නිසා මිස අන් කාරණයකට නොවේ. මැඩම්ට පුළුවන් නම් ගොඩක් කාලයකට කලින් සාසනයා බැක් බෙන්චර් කෙනෙක් කරලාය. ඒත් සාසනයාද අමු කපටියෙකි. මැඩම්ට ඔහු තම්බන්ට බැරිය. තමන් වෙත එන මිසයිල සියල්ල ඔළුවට උඩින් යවා හීන් නූලෙන් ජාම බේරා ගන්නා හැටි ඔහු දනියි.

සාසනයා පැමිණ ඇත්තේ ඔහුගේ බිරිඳ, බාල සහෝදරයා හා සහෝදරයාගේ බිරිඳ සමඟය. සාසනයාගේ සහෝදරයා ගැන කණින් කොණින් අසා තිබුණද ඔහු දුටු හා හමු වූ පළමු අවස්ථාවයි මේ. ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිට අනූ ගණන් මුල හරියේදී යුද සේවයෙන් විශ්‍රාම ගිය ඔහු දැනට සේවය කරන්නේ ඇමෙරිකාවේ නීති විද්‍යාලයකය. ඔහු නිහඬ පුද්ගලයෙකැයි මට සිතෙයි. එවැන්නන් සමඟ දිගින් දිගටම කතාවට යන්ට මම අකැමැත්තෙමි.

මගේ පාර්ලිමේන්තු සගයා, මනාලියගේ පියා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඉහේ මලක් පිපී ඇතිවාක් වැන්න. මේසයෙන් මේසයට ගොස් වචනයක් දෙකක් කතා කරන ඔහු අපේ මේසයටද පැමිණේ.

“ඔක්කොම හරිද මන්දා…මේ වැඩ අස්සෙ මට අමුත්තො ගැනත් බලන එක මඟ හැරිලා…සමාවෙන්ඩ ඕනෑ” ඔහු කියයි.

“හරි. හරි. ඒ ඔක්කෝම හරි…අපි ගැන කරදර වෙන්ඩ ඕනැ නෑ”

සාසනයා අප සියළු දෙනා වෙනුවෙන් කියයි. (අප දෙදෙනාම රෙඩ් ලේබල් මිලි ලීටර් අනූවකට වග කිව්වේ යාන්තම් පැය භාගයකට මත්තෙනි.)

“භාරත, මේ මගෙ මල්ලි ගෝටා. අහල ඇති නේද? ඉස්සර ආමි එකේ හිටියෙ…”

භාරතගේ මුහුණින් පළවන්නේ අමුත්තා ගැන අන්දෝ සංසාරයක් නොදන්නා බවකි. එහෙත් එවැනි දේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීම හොඳ සිංහල සිරිතකි. භාරත අසීරු අවස්ථාවෙන් මිදෙන්ට සම්‍යප්‍රයෝගයක් උපයෝගී කර ගනී.

“ඔව්. ඔව්. මට මතකයි. රිටයර් වුණා නේද? දැන් කොහේද වැඩ?”

“මම දැන් ස්ටේස්ට්වල වැඩ කරන්නෙ. ලෝ කොලේජ් එකක…”

“අයියා වගේ නීති විද්‍යාලෙට ගිය පාටයි…”

“නෑ. නෑ. මම හමුදාවෙන් රිටයර් වෙලා කලම්බු යුනිවර්සිටි එකේ පෝස්ට් ග්‍රැජුවට් එකක් කළා කම්පියුටර් සයන්ස්. ලෝ කොලේජ් එකක් වුණාට මම වැඩ කරන්නෙ කම්පියුටර් ඩිවිෂන් එකේ…”

“අනේ හොඳයි. යුද්දෙ නං තාම ඇදෙනවා නේද? අනූ ගණන් වලත් යුද්ධ කළා. අදත් කරනවා.”

“ඉවරයක් කරල දාන්න හරි හමන් එකෙකුට බාර දෙන එකක්යැ. මට දුන්න නම් ඕක මාස හයෙන් ඉවර කරනවා…”

මම යටි හිතින් සිනා නඟමි. මේ පුරසාරමම මම තවත් බොහෝදෙනකුගෙන් මින් පෙර අසා ඇත්තෙමි.

“මං හම්බු වෙන්නකො…” භාරත අපෙන් සමුගෙන නුදුරු මේසයට යයි.

අපේ මේසයට තවත් අමුත්තෙක් එක්වෙයි. ඒ The Island පුවත්පතෙහි දේශපාලන ලියුම්කරු සී.ඒ. චන්ද්‍රප්‍රේම හෙවත් තඩි ප්‍රියන්තය. තඩි ප්‍රියන්තද භාරත ලක්ෂ්මන්සේම පැරැණි විජයවාදියෙකි.

“ප්‍රියන්ත මොකද හිතන්නෙ? යුද්දේ ඉවර වෙයිද නැද්ද…?”

මම අසමි. බයිට් එකක් දුටු තැන කර කර ගා හැපීම මගේ සිරිතකි.

“සර් ඔය ප්‍රශ්නෙට මගේ රෙඩි මේඩ් උත්තරේ මේකයි. යුද්දෙ යුද්දයක් හැටියට විතරක් සිද්ධ වෙනවා නම් අපට ලේසියෙන්ම දිනන්න පුළුවන්. ලෝකෙ කිසිම තැනක දීර්ඝ කාලයක් තිස්සේ කුඩා ගරිල්ලා හමුදාවක් රටේ රජය එක්ක යුද්ධ කරලා දිනපු අවස්ථා වලට උදාහරණ නැහැ. නමුත් අපි මේ යුද්දෙ කරන්නෙ දේශපාලන පරිසරයක. සර්ලා මට වැඩිය දන්නවනෙ. ලෝකෙ බලවත්ම රාජ්‍යයන් මේ යුද්ද අඩාල කරන්න වැඩ කරනව නම් අපට ස්ථිර ජයග්‍රහණයක් ගැන හිතන්න අමාරුයි…”

“ඔය යුද්ද කතා නතර කරලා අද වගේ දවසක සන්තෝස වෙමුකෝ…”

සාසනයා කියයි. අපි සියල්ලෝ සිනාසෙමු.

දුමින්ද හා හිරුණිකා දුටු විට මට සිතෙන්නේ විවාහ සැලසුම් කරන්නේ දිව්‍ය ලෝකයේය කියන කතාව ඇත්ත බවය. ඔවුන් ඒ තරමටම එකට මැච් වෙන ජෝඩුවකි.

දුමින්ද හා හිරුණිකා සෙට් කළේද සමනළයෙකි. ඒ මෙසේය.

[පාඨකය, ඔබේ දැහැන් බිඳින්ට මොහොතකට අවසර දෙන්න. ‘සමනළයා’ හැටියට වික්ටර් බණ්ඩාර ඇමැතිතුමා අදහස් කළේ එඩ්වඩ් ලොරේන්ස් ගේ, බ්‍රසීලයේ තටු සලා, ටෙක්සාස් හි කුණාටුවක් ඇති කළ සමනළයාද යන්න මම නොදනිමි. ගණිතඥයකු හා කාලගුණ විද්‍යාඥයකු වූ ලොරෙන්ස් නම් මේ උදාහරණය යොදා ගත්තේ සමනළයකු තටු සැලීම වැනි ඉතාම සරල සිදුවීමකින් පවා ඉතිහාසය වෙනස් වන්ට හැකි බව නිදර්ශනය කරන්ටය. මෙසේ වන්නේ ඊළඟ තත්පරයේදී සිදුවීමට නියමිත යම් සිද්ධියක් මේ මොහොතෙහි සිදුවන සිද්ධීන්ට අදාළ පරාමිතීන් අනන්තයක් මත රඳා පවතින හෙයිනි. මේ එක් පරාමිතියක හෝ වෙනස ඉතිහාසයේ වෙනත් සිද්ධීන් රාශියක වෙනසක් වෙයි.  ලොරෙන්ස්ගේ මේ තියරිය හොඳින්ම ආදර්ශනය කළේ එය තම විද්‍යා ප්‍රබන්ධයක් පිණිස යොදාගත් රේ බ්‍රැඩ්බරිය. රේ බ්‍රැඩ්බරිගේ කතාවකට අනුව අනාගතයේ ඇමෙරිකාව කාල යන්ත්‍රයක් නිර්මාණය කරන අතර එයින් වර්තමානයේ සිට නිරීක්ෂකයෝ අතීතයට රැගෙන යනු ලබති. මේ නිරීක්ෂකයින්ට හැකි අතීතය නිරීක්ෂණය කිරීම පමණෙකි. එහි කිසිවක් වෙනස් කරන්ට සපුරා තහනම්ය. එහෙත් ඩයිනෝසරයන් නිරීක්ෂණයට ගිය කණ්ඩායමක සංචාරකයකු අතින් සමනළයකු පෑගී මරණයට පත් වේ. මේ නොවැදගත් සිද්ධියක් නිසා ඔහු එය කවරකුට හෝ සඳහන් නොකරයි. ආපසු වර්තමානයට පැමිණෙන නිරීක්ෂකයින් දකින්නේ හැමදෙනාම ඉංගිරිසි වෙනුවට ජර්මන් කතා කරන බවය. හිට්ලර් දෙවන ලෝක යුද්ධය ජය ගෙන තිබේ! නැවත කතාවට…]

වසර දෙක තුනකට ඉහත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව සංවිධායකවරයාය. දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයේ කොළොන්නාව සංවිධායකවරයාය. මේ දෙදෙනා අතර ඇත්තේ කැපියුලට්-මොන්ටේගු පවුල් අතර බඳු බද්ධ වෛරයකි.

යම් ප්‍රාදේශීය සභා මැතිවරණයක් අවසානයේ, ඡන්ද පොළක් කිට්ටුව දුමින්ද සිල්වා තම ආධාරකරුවන් පිරිසකට තර්ජනය කරමින් සිටින බව භාරතට දැන ගන්ට ලැබේ. ඔහු වහාම අදාළ ස්ථානයට යන්නේය. මෙහිදී ඇතිවන එදිරිවාදී කතා බහ ගැටුම ඊළඟ තලයට ගෙනයයි. දුමින්ද සිල්වා තම සාක්කුවෙන් පිස්තෝලය ඉවතට ගෙන භාරතට වෙඩි තබයි.

නමුත් මේ මොහොතෙහිම අපූර්ව සංසිද්ධියක් වේ. දුමින්දගේ දර්ශන පථය හරහා කහ පැහැති සමනළයකු ඉගිළ යයි. මේ සමනළයාට අවිඥාණකව හෝ අවධානය යොමු වීම නිසා දුමින්දගේ ඉලක්කය වෙනස් වේ. පිස්තෝල උණ්ඩය භාරතගේ හිසට මිලිමීටරයක පරතරයක් ඇතිව ගමන් කොට ඉදිරියේ කපරාරු නොකළ බිත්තියක් තුළට කිඳා බසී.

(පොලිස් වාර්තාවන්හි නම් මේ සිද්ධිය ගැන කිසිම සඳහනක් නොවෙතැයි සිතමි. ඊට හේතුව දුමින්ද හා භාරත දෙදෙනාම මෙවන් සිද්ධියක් ගැන තමන්ට අංශුමාත්‍රයක හෝ මතකයක් නැතැයි පසුව පොලීසියට කී හෙයිනි. එනිසා රහස් පොලීසිය වත් මේ අපූර්ව සමනළයා ගැන නොදනී.)

මොහොතකින් පසුව භාරතගේ ආරක්ෂකයෝ දුමින්ද සිල්වා පෙරළා බිම දමාගෙන පොළොවට තද කර ගනිති. දුමින්ද සරෙන්ඩර්ය. පිස්තෝලය ඔහු අතින් ගිලිහී යයි. දැන් වාරය භාරතගේය. භාරත දුමින්දට මෙසේ කියා කතාවේ ගලායාම වෙනස් කරයි.

“දුමින්ද මල්ලි, මේවා තුවක්කු වලින් විසඳ ගන්ඩ ඕනැ දේවල් නෙවෙයි. මං දන්නව යූ. එන්. පී. කාරයා වුණාට උඹ හිත හොඳ කොල්ලෙක්. යමු අපි ගෙදර. ඇයි රෙඩ් ලේබල් වලින් විසඳගන්ඩ පුළුවන් දේවල් අපි සංකීර්ණ කර ගන්නේ…?”

දුමින්දට විකල්පයක් නොවේ . ඔහු අකැමැත්තෙන් වුවද හිස සලයි.

එදින රාත්‍රියේ මැදියම පසුවන තෙක්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ නිවසෙහි ඇදෙන සංවාදය බුරියානි දෙකකින්ද, රෙඩ් ලේබල් බෝතල් තුන්කාලකින්ද, වමනය කිරීම් හා ඔළුවේ දෙහි ඇතිල්ලීම් කීපයකින්ද ඔබ්බට ගමන් කරන්නේය. පැය කිහිපයකට පෙර මරා ගන්ට ගිය දෙදෙනාගේ රැකවල්ලු භාරතගේ ඉස්තෝප්පුවෙහි ගල් බෝතල් කිහිපයක් වට කරගෙන පරණ කතා හුවමාරු කර ගනිති.

“…දුමින්ද මහත්තයත් අත ඇරියෙ නෑ. ‘අඩෝ මං ඉන්නකල් තෝ කොහෙද ඩෝ මීතොටමුල්ලෙ කුඩු බිස්නස් කරන්නෙ!’ කියල දුන්න එකක් පයින් – උගෙ යටි බඩට. අරූ හතර ගාතෙන් ‘දොහ්’ කියල වැටුණ. ඊට පස්සෙ පපුවට කකුල තියල ‘පරයා තෝ වෙන බිස්නස් එකක් කරං මිනිහෙක් වෙයන්’ කියලා විසිකළා මොණරු දෙන්නෙක්. ඌ මොණරු දෙන්නව අතේ ගුලි කරගෙන දුමින්ද මහත්තයට අම්මට තාත්තට වඳිනව වගේ වැඳල ගියේ. ඊට පස්සෙ ආයෙ නෑ කුඩු බිස්නස්…”

“…අර මරදානෙ බෝලකොටා. නාලන්දෙට පොඩ්ඩක් මෙහායින්, සිරිධම්ම මාවත හරියෙදි පිහිය ඇනුමකින් මළේ, චීත්ත කේස් එකකට. ඕකා ඔය භාරත මහත්තයා ආනන්දෙට යන කාලෙ ඉඳන් දන්න පොරක්නෙ…”

මේ දෙපිරිසටම බයිට් හදන්නේ හිරුණිකාය. දුමින්දට හා තාත්තාට බැදපු කජු එකට හරියටම ගැළපෙන්ට ඩෙවිල්ඩ් චිකන්ය. රැකවලුන්ට ටිකක් කට සැරට හරක් මස්ය.

මේ අපූර්ව සන්ධ්‍යාවේදී, සාන්ද්‍ර ඊතයිල් ඇල්කොහොල් මිලිලීටර් දෙසීයකට වඩා තම රුධිර නාළ ඔස්සේ සංසරණය වෙද්දී, පවා දුමින්ද සිල්වා නිරීක්ෂණය කළ කාරණා දෙකක් විය. එක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන් හිතුවාට වඩා රූමත් බවය. දෙවැන්න ඇයට හස්බණ්ඩෙකුට ඩ්‍රින්ක් එකක් දාද්දි බයිට් හදා දෙන්ට තරම් පරහිතදක්ෂ වයිපරයක් වන්ට බැරි නැති බවය.

කථාවේ ඉතිරි හරිය ඔවුන් කියන්නාක් සේ ඉතිහාසයයි. The rest is history.

ප්‍රතිඵලය: අද මේ සුබ දවසෙහි දුමින්ද සිල්වා තරුණ මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ අත ගෙන ඇත.

රන් දුණුකේ මල සේ – රන් මැණිකේ සැරහේ
පති කුලයේ කුමරා – ඇය කැන්දා යනවා…
සුදු සේල ගතේ එතුනා – ගෙළ මාල හතක් බැඳුනා
රස මියුරු කතා ඇසුනා………… – මුව කෝල සිනා පිපුනා…
රන් දුණුකේ මල සේ….

මේ ගීතය මා මුල්වරට ඇසුවේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සජීවී හඬිනි. ඔහුගේම ගිටාරයෙන් පමණක් නිකුත් වූ සංගීතයටය. අද මට එහි එදින හෝ නොදැණුනු රසයක් වේ.

මේ බ්‍රහස්පතින්දා තවත් බොහෝ දේ සිදුවිය. එහෙත් ඒ කිසිවක මේ සිද්ධිදාමයට ඍජු සම්බන්ධයක් නැති නිසා සඳහන් කිරීම අවශ්‍ය නොවෙතැයි සිතමි. ඒ අතර සඳහන් කළ යුතු එකම සිද්ධිය සේ මට පෙනෙන්නේ රාත්‍රියේ මා දුටු සිහිනයයි. ඒ ඊට දහවල් සිද්ධිවලට සම්බන්ධ චරිත කිහිපයක් පාදක වූ නිසාය.

මගේ සිහිනය ආරම්භ වන්නේ භාරත ලක්ෂ්මන් හා දුමින්ද සිල්වා අතර වන ද්වන්ධව සටනිනි. එහෙත් සිහිනයේ සමනළයකු නොවූ හෙයින් දුමින්දගේ ඉලක්කය මඟ නොහැරෙයි. වෙඩි උණ්ඩය භාරත ලක්ෂ්මන්ගේ පපුව පසාරු කරගෙන යයි. තත්පරයක කොටසක් තුළ (සැබෑ ජීවිතයේදී එදා රෑ එකට ඩ්‍රින්ක් එක දැමූ) භාරතගේ හා දුමින්දගේ රැකවල්ලු සිහිනයේදී මරා ගන්ට පටන් ගනිති. භාරත රෝහලකට ඇතුළු කිරීමේදීත් මිය ගොස් සිටින අතර දුමින්දගේ මොළය හරහා වෙඩි උණ්ඩ දෙකක් ගමන් කොට තිබේ. වෙඩි උණ්ඩ දෙකක් මොළය හරහා ගිය දුමින්ද ජීවත් වූයේ කෙසේද මම නොදනිමි. සිහින වල සිදුවන දේවල් වලට හේතූන් සෙවීම අර්ථ විරහිතය.

ඉන්පසු සිහිනය බිඳෙන අතර නැවත පටන් ගන්නේ සිංගප්පූරුවේ රෝහලක ශල්‍යකර්ම කිහිපයකට භාජනය වූ දුමින්ද සියරට එන අවස්ථාවේය. තම පියාගේ මරණයෙන් දැඩි ලෙස කෝපවී සිටින හිරුණිකා දේවාලයක් දේවාලයක් ගානේ ගොස් දුමින්දට පොල් ගසයි. දුමින්දගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබීම ඔහුගේ මතකයටද සාමාන්‍ය ජීවිතයටද සැලකිය යුතු ලෙස බලපා ඇත.

මගේ සිහිනයේ දුමින්ද ‘සිංගපෝර් එයා ලයින්ස්’ ගුවන් යානයක බිස්නස් පංතියේ මඟියකු සේ පැමිණ ආගමන විගමන කවුන්ටර් වෙත රෝද පුටුවකින් ගමන් ගනී.

“සර් ගෙ නම මොකද්ද?”

“මතක නෑ බං”

“සර්, ගියේ සිංගපෝර් වලටද?”

“නෑ වේසිගෙ පුතෝ, උඹෙ අම්මට අරින්ඩ…”

මේ අහු අස්සේ සාසනයාද (බුද්ධ ශාසන ඇමැති) කොහේදෝ සිට සාටකයෙන් කට පිස දමමින් එයි. සිහින වල එහෙමය. ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඕනෑම තැනක ප්‍රාදුර්භූත විය හැක්කේය.

“අනේ දුමින්දයෝ. උඹ දැක්ක කල්. උඹට කිසිම දෙයක් මතක නැතිලු නේද බං. අඩුගානෙ උඹට මාව වත් මතක නැද්ද, කොල්ලෝ..?”

මගේ සිහිනයේ දුමින්ද සාසනයාගේ හිසේ සිට දෙපතුළ දක්වා බැල්මක් හෙළයි.

“කවුද ඩෝ උඹ? උඹ අපේ රටේ ජනාධිපතිතුමා වගේමයි!”

සිහිනයේ ඉතිරි හරිය නොකිව හැක්කේ මා මේ මොහොතෙහිදීම අවදි වූ හෙයිනි.

සිහින සැබෑ ජීවිතයෙන් කොයිතරම් වෙනස්ද? මා මේ සිහිනයක් සේ දුටු සිද්ධි දාමයම වෙනත් කොතැනක හෝ සමාන්තර විශ්වයක ඇත්තටම සිදු වෙනවා වන්ට බැරිද? මම නොදනිමි. මා ජීවත්වන සමාන්තර විශ්වයේ මේ සිද්ධි දාමය සුඛාන්තයක් වීම ගැන මම සතුටු වෙමි.

ඒ සමඟම මට මතක් වූයේ මේ දුමින්ද හා හිරුණිකා අඹු සැමියන් ලෙස ගත කරන පළමු රාත්‍රිය නොවේද යන්නයි. ඒ සමඟම මගේ හීලෑ නොවුණු හිතේ චිත්ත රූප සමූහයක් මැවෙයි. ඒවා මෙහි විස්තර කිරීම අනුචිතය සිතමි.

(ඉවසන්න…සමනළයා යළි තටු සලන තෙක්)

Advertisements
Leave a comment

25 Comments

  1. අනේ මන්දා සරත්..!

    Reply
  2. එක හුස්මට කියෙව්වා ….ටැබුව මතක් වුනා…

    Reply
  3. “භාරත හා හිරුණිකා සෙට් කළේද සමනළයෙකි.”දුමින්ද නෙද?

    Reply
    • ස්තූතියි. නිවැරදි කළෙමි. ඔබේ අවධානය අගය කරමි.

      – ලේඛක

      Reply
      • Weere

         /  November 21, 2012

        භාරත හා හිරුණිකා දුටු විට මට සිතෙන්නේ විවාහ සැලසුම් කරන්නේ දිව්‍ය ලෝකයේය කියන කතාව ඇත්ත බවය. ඔවුන් ඒ තරමටම එකට මැච් වෙන ජෝඩුවකි.

        Duminda & Hirunika

      • Corrected. Thanks.

        – The Writer

  4. කතාව අසීමිත් ලෙස රසවත්ය. සමාන්තර විශ්වයේ දි අනර්කලී කෙල්ල දුමින්ද මාම එක්ක තිබ්බ හුටපටේට මොකද දන්නෑ නේ උනේ.. මොකද තාම දුමින්ද යූඑන්පී නෙ :O

    Reply
  5. kathandarakaraya

     /  August 6, 2012

    අද මගේ බ්ලොගයේ කමෙන්ට් කරන්නේ ඇනෝලා පමණයි. ඒ දේශපලාන කතාවක් නිසාය.

    මෙතනත් එහෙම වෙන්නට ඉඩ ඇත.

    Reply
  6. හරිම රසවත්..

    Reply
  7. DDT

     /  August 6, 2012

    හෙහ් හෙහ් ….. පිස්සු හැදිල හොඳ වෙල ආයිත් හැදෙනව. සමාන්තර විශ්ව සංකල්පෙත් නරකම නෑ. මම ඒත් කල්පනා කළේ අර හීනෙන් පෙනුනු සිද්ධිය වෙච්චි සමාන්තර විශ්වයෙ ඉන්න හිරුණිකා මේ කතාව දැක්කොත් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි ද කියල.

    Reply
  8. Vimukthi

     /  August 6, 2012

    මේ හඳුනන්නන් අතර නොහඳුනන්නෙක් ද?

    Reply
  9. ranwala

     /  August 6, 2012

    සිහින හොරු අරන්….

    Reply
  10. Sumudu

     /  August 6, 2012

    PaXta ah

    Reply
  11. තවත් සමාන්තර විශ්වයකදි අර දෙන්න මැදින් ගිය සමනලයා රතුපාටයි.

    Reply
  12. Sujeewa

     /  August 6, 2012

    සුපිරි

    Reply
  13. ප්‍රදීප්

     /  August 7, 2012

    දාපන් යකෝ ඉතුරු ටික

    Reply
  14. ranwala

     /  August 7, 2012

    මේ වැඩේට ආස නැහැ. කකා රෙකමන්ඩ් කරලා එව්වේ ඩේලි යනවා කියලනේ..

    Reply
  15. අදයි මුලින්ම මේ ‘සමනලයව’ දැක්කෙ. හත්වෙනි ලිපිය ඉස්සෙල්ලාම කියෙව්වත් මොකක්දෝ පරණ මතකයක් නිසා වෙන්න ඇති මුල් ලිපියෙ ඉඳන්ම කියවන්න හිතුනෙ ආයෙත්. මගේ මතකය නිවැරදිනම් ඒ http://en.wikipedia.org/wiki/Butterfly_effect නිසා. මත්කුඩුවලට ඇබ්බැහිවූවෙකුට ඒවා නැතුව සිටීමට නොහැක්කාක් සේම ලියන්නට පුරුදුවෙච්ච එකාට ඒක නොකර සිටීමටද බැරිය.
    නැවත ආගමනයේ මාකටින් වැඩේ සඳහා ඊට සුදුසුම පුද්ගලයා තෝරාගෙන ඇතත් ඔහුගේ ක්‍රියාකලාපය බ්ලොග් අවකාශය තුළ ඔහු සතුව ඇත්තාවූ තත්වයට නොගැළපේ. එසේත් නැතහොත් ඕව’ ඇක්ටින් වීමට ගොස් ඔහුට පැවරුණු රාජකාරිය අනාගෙන ඇත.
    කෙසේ වෙතත් තමාගේ අනන්යතාව සියයට සීයක් සැඟවීමට ලේඛකයාට අවශ්ය නැති බව මාගේ හැඟීමයි.
    මා සිතූ පරිදිම ඔබ තෝරාගෙන ඇත්තේ රාජකීය විදුහල නොව ත්‍රිත්ව විදුහලයි.
    එකම ප්‍රශ්නයක් ඇත. ඔබගේ පසුබිමෙහි සඳහන් “මේ සමාන්තර විශ්වයේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරියේ මිය නොයන අතර මේ නව කතාවෙහි උප ප්‍රධාන චරිතයක්ද වේ” යන්න, “මේ ලසන්ත වික්‍රමතුංග විය නොහැකිය. ඔහු එලොව සිට මට කථා කරන්නේද? මම දුරකථනයට පිළිතුරු දීමට තීරණය කරමි.” යන්න සමග ගලපා ගැනීමට මා අපොහොසත් ය.
    සුබ පැතුම්! ඔබගේ ආගමනයෙන් බෙහෙවින් සතුටට පත්වීමි.

    Reply
  16. Vimukthi

     /  August 8, 2012

    hello… we r waiting to see the 8th episode

    Reply
  17. දුමියට සේරම අමතක හින්ද හිරුනිකා අනුකම්පා කරන්නත් බැරි නැත.

    Reply
  18. අයියෝ අනර්කලී ආකර්ෂා, ගීතා කුමාරසිංහ, මාලනී ෆොන්සේකා වගේ අයටත් උප ප්‍රධාන හරි චරිත දෙන්න හොඳේ . . . !!!

    Reply
  19. Anonymous

     /  September 6, 2012

    ජනපති දෑත් ශක්තිමත් කරන්න – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    පළාත් පාලන අයතන මැතිවරණයක දී ගිය වසරේ ඔක්තෝබර් මසයේ කොළොන්නාවේ දී වෙඩි පහරින් මිය ගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිඟුරක්ගොඩදී අද සන්ධාන මැතිවරණ වේදිකාවට ගොඩ වූවාය. උතුරු මැද පළාත් සභාවේ පොළොන්නරුව දිසා අපේක්ෂකයනට සහාය දක්වමින් අදහස් දක්වමින් ඇය පැවැසුයේ පොදු විපක්ෂයක් හෝ කඩාවැටුණු විපක්ෂයකට එකතු වන්නට තමන්ට කිසිදු අදහසක් නැති බවයි. ඇය එසේ කීවේ ඇය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කරමිනි. තම පියාණන් ලේ වගුරුවමින් දහඩිය හළමින් රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් රැකගත යුතු බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ ජනපතිගේ දෑත් ශක්තිමත් කළ යුතු බවත් කීවාය.

    http://www.lankadeepa.lk/index.php/articles/62961

    Reply
  20. Anonymous

     /  September 11, 2012

    /ජය මංගල ගාථා අවසානයේ මාලක සිල්වා, දෙවැනි මනමලයා, දුමින්ද අතට ලියුම් කවර කිහිපයක් දෙයි. දුමින්ද ඒවා දැරියන් අතර බෙදා දෙන්නේ සෙනෙහසින් ඔවුන්ගේ හිසද අත ගාමිනි. හිරුණිකා දුමින්ද ගේ කණට මොනවාදෝ මුමුණයි. ඔවුන් දෙදෙනාම හඬ නඟා සිනාසෙති./

    උඹට දිවැස් තිබිලද බං මේක ලිව්වෙ?

    http://www.dailymirror.lk/caption-story/21833-2012-09-11-07-53-25.html

    The Minister Mervin Silva, his son Malaka and Hirunika Premachandra are seen paying homage to the sacred relics at the Kelaniya Rajamaha Viharaya this morning.

    Reply
  21. Dont worry my dear……..from very ancient times the history shows women are like this. So nothing to worry…..let Hirunika join with the “Dust Bin of History” and we as a group lets fight against these injustice. We will win one day and keep in minds, not in dreams but in real terms.

    Reply
  22. Mean while in our universe, Duminda returned to Parliment.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: