(08) හුණුවටය හා ගෲෂා || The Caucasian Chalk Circle and Grusha

  • කාලය: 2001, සමාන්තර විශ්වය
  • ස්ථානය: රාජකීය විද්‍යාලය, කොළඹ, ලංකාව

**********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )**********

ගෲෂා, දිනූෂා හා අරේෂා.

මගේ නව යොවුන් ජීවිතය නම් වූ, තිර හතක් පසු කරගෙන ගොස් ඇතුළු විය යුතු වූ අඳුරු දේවාලයට ඇතුළු වූ ගැහැණු තිදෙනෙක් වූහ. ඔවුන් එක් වූයේ ඉහත අනු පිළිවෙළිනි. සියල්ලන් එකට නොව එකියක පස්සේ තවෙකකිය.

මේ කතාව කියාගෙන යද්දී මේ අනු පිළිවෙළ වෙනස් විය හැකිය. දිනූෂා ගැන මම දැනටමත් ඉඟියක් දී ඇත්තෙමි. මා සිතා සිටියේ ඉන්පසු අරේෂා ගැන කියන්ටයි. ඒ කතාව ෂොක් ඇබ්සෝබර්ස් සවිකරගෙන මිස නොඇසිය යුතු කම්පනයක් විය හැකි බැවින් මුලින් ගෲෂා ගැන කියන්ට සිතුවෙමි.

මට ගෲෂා වන්ට සිදු වූයේ රාජකීය විද්‍යාල පිරිමි පාසලක් වූ බැවිනියි මම මුලින් කල්පනා කළෙමි. එසේ නොවූවත් එය වන්ට ඉඩ තිබිණියි මට අවබෝධ වූයේ පසුවයි.

සෝමරත්න සර් Bertolt Brecht ගැඹුරින් හැදෑරුවෙකි. ඔහුගේ විශ්වාසය වූයේ හෙන්රි ජයසේන Bertolt Brecht ගේ  ‘The Caucasian Chalk Circle’ මුල් කෘතිය ‘හුණු වටයේ කතාව‘ ට නඟා අමු අමුවේ විනාශ කළ බවයි.

“…ගෲෂා කියන්නෙ රළු, ගොරහැඩි කම්කරු ගැහැණියක්. නැතුව සුකොමළ කාන්තාවක් නෙවෙයි. ඒ වගේ චරිතයක් වඩා හොඳින් නිරූපනය කරන්ට පුළුවන් පිරිමියකුට… පිරිමියකු ගැහැණු චරිත නිරූපනය කිරීම අළුත් දෙයක් නෙවෙයි. ආදි ග්‍රීසියෙත්, ජපානෙ කබුකි නාට්‍යවලත් ගැහැණු චරිත සම්ප්‍රදායිකව නිරූපනය කළේ පිරිමි. මුල් යුගයේ ජෝන් ද සිල්වගෙ නාට්‍ය වලත් එහෙමයි”

“සර් එතකොට සයිමන් චචාවා ගොරහැඩි ගෑනියකුට කැමැති වුණේ ඇයි? “

“… ගිහින් බලනවා වතාතමුල්ලට ගොරහැඩි ගෑනු නැතුව සියුමැළි ගෑනුද ඉන්නෙ කියලා. සයිමාත් කැමැති වෙන්න ඇති ලස්සන ගෑනු දැරිවියකට. ඒත් යන්න පුළුවන් සීමා තියෙනවනෙ. නැතුව සයිමා නටේලා අබෂ්විලිට ට්‍රයි කරන්නයැ?”

‘සර්’ කියා කීවාට විසි ගණන් වල අග හරියේ ඉන්නා සෝමරත්න සර් හා අප අතර ඇත්තේ ගුරු-ගෝල බැඳීමකට වඩා මිතුරුකමකි. එහෙත් වේදිකාවේ පරිචය අතින් ඔහු අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටී.

“පිරිමි පාටක් ඕනැම නම් සර්, අපි චරිත් වෙනුවට වෙනින් කවුරු හරි ගනිමුකො. මූත් නිකං කෑල්ලක් වගෙයිනෙ…”

“නෑ. නෑ. එහෙම කියන්න එපා. නාට්‍යයක් කියන්නෙ සැබෑ ජීවිතයම නෙවෙයි. ප්‍රේක්ෂකයා කැමැතියි රළු ගැහැනියකගෙ වුණත් සුන්දරත්වයක් දකින්න. අපේ අභියෝගය වෙන්නෙ ඕඩියන්ස් එකේ බලාපොරොත්තුවයි යථාර්ථයයි දෙක බැලන්ස් කරන එක…”

ගෲෂාගේ චරිතය හා මා අතර සර් නොපවතින ගැලැපීමක් හොයන්නේ හේතු දෙකක් නිසාය මට සිතේ. එකක් බොහෝ ගැහැණු චරිත නිරූපනයේ මා පෙර දක්වා ඇති දස්කමයි. මා ක්ලියෝපැට්රාගේ චරිතයට පණදුන් පසුගිය වසරක අපට අන්තර් පාඨශාලීය ශේක්ස්පියර් නාට්‍ය උළෙලෙහි දෙවන තැන දිනා ගන්ට ලැබුණේය. පිරිමියකු නිරූපනය කරන රළු ගැහැණු චරිතයකින් වුව පිරිමි ඇස් බලාපොරොත්තුවන්නේ ශෘංගාර රසයකි.  මගේ සාපේක්ෂව සුදු හමට හා ඉරියව් වලට මේ ශෘංගාරය මැවිය හැකියැයි සෝමරත්න සර් කල්පනා කරයි. මීට වඩා වැදගත් දෙවන හේතුව ඉංග්‍රීසි සාහිත්‍ය උළෙල පිණිස ප්‍රධාන ආරාධිතයා සේ සහභාගි වන්නේ අළුතින් පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර මහතා වීමයි. එවැනි අවස්ථාවක නාට්‍ය කණ්ඩායමෙහි සිටින ඔහුගේම පුතණුවන්ට උප චරිතයක් දීම අසාධාරණයකි. එසේම ඔහු අසඩක් හෝ සයිමන් චචාවා තියා ෂවුවාවත් කළ නොහැකිය.

අපේ නිරූපණය සම්පූර්ණ හුණුවටය නොව මිනිත්තු තිහකට කෙටි කරන ලද, කතාව කූටප්‍රාප්තියට පත් කරන, එහි අවසන් ජවනිකාවය.

මේ නටේලා අබෂ්විලිගේ ගිනි කන ලෝයරයාය.

“High Court of Justice, I protest. I object that the fate of the great Abashvili estates, which are bound up with the child as the heir, should be made dependent on such a doubtful wrestling match. Moreover, my client does not command the same physical strength as this person, who is accustomed to physical work…”

අසඩක් ඊට එකඟ නොවේ.

” She looks pretty well fed to me, pull!”

හුණුවටය දෙපසින් සිටින අපි – මා හා නටේලා අබශ්විලිට හැඳ සිටින සාරංග – මයිකල් කුමරුට රඟපාන හත්වන වසරේ සමුදිත මල්ලීව දෙපසට අදිමු. මේ ජවනිකාව තාත්ත්විකව නොව, සංකේතාත්මකව වේදිකාවට ගෙනෙන්ට සෝමරත්න සර්ට ඕනැ විය. ඊට අපි වෙනත් බොහෝ රටවල දැක ඇති පරිදි (පොළොවේ ඇඳි රවුමක් වෙනුවට) ලොකු සුදු වළල්ලක් භාවිතා කළෙමු. තාත්ත්වික රංග භූමියේ මේ විකාරයකි. එහෙත් නරඹන්නාට එය වඩා අර්ථපූර්ණ වේ.

මේ මා වඩාත්ම සීරියස් ලෙස ගෲෂාගේ භූමිකාවට අවතීර්ණ වන මොහොතයි. “Facial expressions, Charith, Facial expressions!” සෝමරත්න සර් මිනිත්තුවෙන් මිනිත්තුවට කෑ ගසයි. අවසානයේ මම මයිකල් කුමරු ගිලිහී යන්ට අරිමි. නටේලා අබෂ්විලි ඇය තමන්ගේ පැත්තට ඇද ගනී.

ලෝයරයෝ නටේලා වැළැඳ ගනිති.

“What did I say! The bonds of blood!”

අසඩක් ගෲෂා (හෙවත් මා) දෙස තරහින් බලයි.

“What’s the matter with you woman? You didn’t pull!”

“I didn’t hold on to him!”

මම අසඩක් වෙත දිවගොස් ඔහු ඉදිරියේ දණින් වැටෙමි.

“Your Worship. I take back everything I said against you. I ask your forgiveness. If I could just keep him until he can speak properly. He knows only a few words.”

“Don’t influence the Court! I bet you know only twenty yourself. All right, I’ll do the test once more, to make certain.”

අපි නැවත මයිකල් කුමරු දෙපසට අදින්ට පටන් ගනිමු.

නව රඟහලේ පැවැති ඉංග්‍රීසි සාහිත්‍ය දිනය ගැන මට කාරණා කිහිපයක් මතකය.

එකක් මා දිනූෂා සේම අරේෂාද හඳුනා ගත්තේ මේ තීරණාත්මක දිනයේ බවය.

දෙවැන්න, ඉතිරි සියළු කාරණා අමතක කොට මා ගෲෂාගේ චරිතයට කළ හැකි උපරිම සාධාරණය ඉටු කළ බවය. (ඉතාම කලාතුරෙකින් ශිෂ්‍යයකුට අසන්ට ලැබෙන විද්‍යාලාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට මා ලක්වීමද සඳහන් නොකර හැරිය නොහැකි කාරණාවකි.)

තෙවැන්න උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ අප්පච්චි, නොඑන බව වත් නොදන්වා ඊට සහභාහි නොවීමය.

වටහා ගත හැකි ලෙසින්ම බොහෝ දෙනකු මේ ගැන මට දෝෂාරෝපණය කරන්ට සූදානම් වූහ. මා ඔවුන් සියළු දෙනාටම ඉවසීමකින් යුතුව මතක් කළේ අප්පච්චිට ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කරනවාට මා මුල පටන්ම පෞද්ගලිකව අකැමැති වූ බවය. ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවන්ට කැමැතිදැයි අප්පච්චිගෙන් අසන ලෙස විද්‍යාලාධිපති තුමන් මට කියූ අවස්ථාවේදී පවා මා පෙරළා ඇසුවේ “Sir, with due respects, can’t we invite another minister?” කියාය. ඔහු කෝප ගනිතැයි මා සිතුවද ඔහු කීවේ “Okay, I will handle that” කියා පමණෙකි. ඒ ප්‍රයත්නය අසාර්ථක වූ පසු ඔහු කිසිවිටෙක වචනයකින් හෝ ඒ ගැන සඳහන් නොකළ බවද කිව යුතුය. ගෝමස් මහතා එබඳු වූ උත්තුංග ගතිගුණ සහිත ගුරු පියෙකි.

අප්පච්චි නොදන්වාම මේ උත්සවය මඟ හැරියේ ඇයි?

“So I hear you are acting in ‘Hunuvataya’..?”

ඉරිදා දවසක හමුවූ විටෙක ඔහු මට මේ ප්‍රකාශය ඉදිරිපත් කළේ ප්‍රශ්නයක් ලෙසිනි. ඔහු මේ බව දැන ගන්ට ඇත්තේ විදුහල්පතිතුමාගෙන් විය යුතුය. අඩු ගණනේ මගේ නළු ඇඳුම් පිණිස මුදල් වත් නොඉල්ලුවෙමි. සිය සොහොයුරියන්ගෙන් ඉල්ලා ගත් දෙයින් මට නළු ඇඳුම් සපයා දුන්නෝ මගේ මිතුරෝය.

“…It is not Hunuvataya, it is Caucasian Chalk Circle’

“Ah, Is there a difference? I thought both are same…”

“We follow the original, not the Sinhala version…”

“So who are you? Azdak..?”

“No, I am Grusha…”

“Grusha…?”

එය විස්මයකින්, සතුටකින්, අසතුටකින්, කෝපයකින් හෝ අඩු තරමින් උනන්දුවකින් වත් ඇසූ ප්‍රශ්නයක් නොවේ. කිසිම හැඟීමක් ඵල නොකොට ඇසූ එකකි. ඊට වඩා පැහැදිළි කිරීමක් අවශ්‍යය මම නොසිතුවෙමි.

සාහිත්‍ය උළෙලට නොවරදාම පැමිණෙන බව අප්පච්චි විදුහල්පතිතුමන්ට ඉන් සතියකට උඩදීත් දන්වා තිබුණේය.

එහෙත් ඔහු නොආවේය!

ඉතින් මට පාන්යැ!

වෙන කිසිවකු ගැන සිතන්ට වත් නොහැකි අන්දමට මම ගෲෂාගේ ආත්මය තුළට පිවිස සිටියෙමි.

වේදිකාවෙහිදී මගේ අවධානය රැක ගනු පිණිස මම එක් සුලබ උපක්‍රමයක් භාවිතා කරමි. එනම් මුල පටන්ම මට මුහුණු ඉරියව් වලින් ප්‍රතිචාර දක්වන එක් අයකු ප්‍රේක්ෂකාගාරයෙන් තෝරාගෙන ඔහුට හෝ ඇයට පමණක් රැඟීමයි. එවිට සුළු මොහොතකදී මේ පුද්ගලයා හැර සමස්ත ප්‍රේක්ෂකාගාරය මගේ මනසින් ඉවත් වෙයි. මා රඟනුයේ තනි පුද්ගලයකු පිණිසය.

මේ තීරණාත්මක රාත්‍රියේ මගේ වින්දිතය වූයේ ඇස් ලොකු ගැහැණු ළමයෙකි. මා ගෲෂා බවට පත් වූයේ ඇය පිණිසය.

“And now I can tell you: I took him because on that Easter Sunday I got engaged to you. And so it is the child of love. Michael, let’s dance.”

මම සයිමන් හා මයිකල් සමඟ නටමින් වේදිකාවෙන් ඉවත් වෙමි. අසඩක් නොකියාම ගොස් ඇත. වේදිකාවේ ඉතිරිව සිටින්නේ ගායක පිරිස පමණෙකි.

“But you, who have listened to the story of the Chalk Circle
Take not of the meaning of the ancient song:
That what there is shall belong to those who are good for it, thus
The children to the maternal, that they thrive;
The carriages to good drivers, that they are driven well;
And the valley to the waterers, that it shall bear fruit.”

ඉංග්‍රීසි සාහිත්‍ය දිනයට මගේ එකම සම්මාදම වූයේ මේ කෙටි නාට්‍ය ජවනිකාවටයි. ඒ මයිකල් කුමරුන් ලෙස පෙනී සිටි සමුදිත මල්ලී හැරුණු විට ළාබාලම නළුවා (නිළිය?) වශයෙනි. ඉතිරි සියළු චරිත රඟ ලද්දේද, උළෙල සංවිධානය කරන ලද්දේද ඒ ලෙවල් අයියලා විසිනි. මට ඒ කිසිවකු සමඟ දැන ඇඳුනුම් කමකට එපිට ගිය විශේෂ මිතුදමක් නොවීය. එබැවින් නාට්‍යය අවසානයේ මම නැවත සුපුරුදු ‘තනියා’ බවට පත්වීමි.

මගේ තනිකම තවත් තීව්‍ර කරන්ට හේතුවක් වූයේ නාට්‍යයේ නළුවන් සේම සංවිධායකයින් රැසකගේ පෙම්වතියන්/මිතුරියන්/ට්‍රයි කරන ඒවා හා අඩුම ගණනේ ට්‍රයි කරන්ට පුළුවන් ඒවා බාලිකා පාසල් වලින් පැමිණ සිටීමය. මේ නිසා සාහිත්‍ය උළෙල අවසානවීමෙන් පසුව එළඹුණු කෙටි කාලය නව රඟහල මලවි කරළියක් බවට පත් කරන්ට සමත් විය. තැන තැන දකින්ට ලැබුණේ පොකුරු වශයෙන් එකිනෙකා හා සල්ලාපයේ යෙදී සිටින කෙලි-කොලු රැළය.

නව රඟහල අඩ අඳුරේය. නිළි ඇඳුම් හැරපියා සාමාන්‍ය ඇඳුමට මාරු වූ මා, ඉක්මණින් මේක් අප්ද දෝවනය කර හැර, බැක් පැකරය කරලා නව රඟහලේ වම් පසින් ඇතුළුව වේදිකාව ඉදිරියෙන් දකුණු පසට ගමන් කළේ එළියට යනු පිණිසය. පුරුදු ඉංගිරිසි සිංදුවක් මුමුණමින් මා අඩක් පමණ දුර යන්ට ඇත.

Everything I want the world to be – is now coming true especially for me
And the reason is clear – it’s because you are here
You’re the nearest thing to heaven that I’ve seen…
I’m on the top of the world lookin’ down on creation…”

“චරිත් මල්ලී…”

මම හැරී බැලුවෙමි. ඉරාන් අයියා ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ ලේකම්ය. මේ ඉහළ ලේයරය සමඟ මගේ වැඩි සම්බන්ධයක් නොතිබුණද, ඉරාන් අයියා සමඟ පොඩි ඇයි හොඳයියක් තිබුණේය. ඒ පන්ති දෙක තුනෙකට කලින් Famous Five, Secret Seven, Harry Potter පොත් මාරු කරගෙන කියවන කාලයේ ඇති වූ මිතු දමකි.

“See, these two young ladies wants meet the guy who played Grusha so well…”

ඔහු සමඟ ඉන්නේ කවුරුන්දැයි මට මීටර් වුණේ ඉරාන් අයියා මේසේ කී පසුවය. එකියක මා ප්‍රේක්ෂකාගාරයේ දුටු ඇස් ලොකු ගැහැණු ළමයාය. දෙවැන්නිය ඇගේම වයසේ මා නොහඳුනන්නියකි.

” චරිත් , මේ මගේ නංගි අරේෂා. මෙයා දිනූෂා…”

1969දී නව රඟහල ආරම්භ වීමේ පටන් අද දක්වා එතුළ සිදුවූ වැදගත්ම සිදුවීම 1972 මැයි මාසයේදී ලංකාව හිරු නොබසින අධිරාජ්‍යයෙන් පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත්වීමය. එහි සිදුවූ දෙවන වැදගත්ම සිදුවීම 2001 අග හරියේදී චරිත් කාලිංග බණ්ඩාරට දිනුෂා දෙබරවැව හා අරේෂා ජයවර්ධන එකවිට හමුවීමය.

(ඉවසන්න…සමනළයා නැවත පියා සලන තෙක්)

Advertisements
Leave a comment

21 Comments

  1. I thought Charith is Trintian. Did I missed anything?
    😕

    Reply
    • Yes. As the story does not flow in the chronological order you and the readers miss certain things that happened in the middle. Sometimes the confusion is intentionally created. 🙂

      – The Writer

      Reply
      • මේ ඉහළ ලේයරය සමඟ මගේ වැඩි සම්බන්ධයක් නොතිබුණද,

        Charith joined RC based on the grade 5 scholarship exam results 😉

      • @Beetle
        Yes you may be right.
        But person like Charith [provided that his father was a top tier minister] doesn’t need to pass scholarship exam to enter RC . May be with his father Charith too has moved to Colombo and changed the school.

      • @Beetle and මාලන්,

        All I know is Charith was at Trinity first and he was in Royal some time later. Frankly, I have no idea right now what happened in the middle.

        – The Writer

  2. Anonymous

     /  August 9, 2012

    ඉස්තරම්!!!

    Reply
  3. Kasun

     /  August 9, 2012

    අඩහඳයා හෙවත් දමයන්ත ඔහුගේ කතාව කිව්වේත් මේ ශෛලියෙන්මයි.

    Reply
    • kathandarakaraya

       /  August 9, 2012

      මට මතක්වුනේ ෂ්‍යාම් සෙල්වදොරේ ගේ ෆනි බෝයි.

      Reply
      • සෙල්වදොරෙයිගේ කතාවකින් පොඩි උත්තේජයක් ලැබුවා මේ ලියනකොට. නමුත් ඒ Funny Boy නෙවෙයි Swimming in the Monsoon Sea.

        – ලේඛක

      • එතකොට කතා මම අර කාළගෝල නාට්ටියේ රඟපාන්න ගියපු කතාවත් ටිකක් ඒ වගේ නේද?

      • Vimukthi

         /  August 14, 2012

        swimming…! i’m also a fan of swimming

  4. එම සමාන්තර විශ්වයේදීත් 1969 දී නවරඟහල ආරම්භවීමත්, 2011 දී ගෝමස් ගුරු පියාණන් රාජකීය විදුහලේ විදුහල්පතිව සිටීමත් හරිම අපූරු ය. Wish he had not retire in 2003 and Royal College didn’t get a principal like Mr. Gunasekara in this parallel universe.

    Anyway, this episode took me back to some wonderful memories I had in that heavenly place. Thanks.

    Reply
    • සමාන්තර විශ්වයේ සිද්දවෙන සමහර දේවල් හොඳයි වගේ 😀 😀

      Reply
  5. DDT

     /  August 9, 2012

    යම් කිසිවක් ඉඟි කිරීමක් මෙතන තියනව වගේ මට හිතෙනව. ඒත් ඒක එහෙමමද කියල මට නැවත ප්‍රශ්නයකුත් ඇතිවෙනව. අනේ මන්දා.

    Reply
  6. kathandarakaraya

     /  August 9, 2012

    ටියුෂන් ක්ලාස්වලදී නිදිමත නැතිවෙන්න හොඳම බේත තමයි කෙල්ලේක් දිහා නිතරම බැලීම.

    Reply
  7. මේ බ්ලොග් එක ගැන මම තවම හොල්මන්.. ඒක මට විතරක් අදාල ප්‍රශ්නයක් නෙමෙයි මගේ හිතේ. එතකොට මේ තියෙන්නේ ඇත්ත කතාවක්ද.? නිර්මාණයක්ද.? ඒ කෙසේ වෙතත් ඒ සුන්දර පරාදීසයේ මතකය අවදි කිරීම…

    Reply
  8. ඔන්න දැං ඉතිං පටංගනීවි මේක ලියල එකාගෙ පැටිකිරිය හොයන්න

    Reply
  9. කියවමි 🙂

    Reply
  10. Susara Wijerathe

     /  August 11, 2012

    නවරඟහල, ගැහැණු චරිත කොල්ලන්ම රඟපාල කරන පාසල් නාට්‍ය, ශ්‍යාම් , මේ හැමදේම සමාන්තර විශ්වයේ දීත් එකවගේ සමපාත වෙලා. කොහොම උනත් ඒක හරිම සුන්දර මතකයක්
    ලේඛකයා කවරෙක් උනත් ඔහුට ස්තුතියි සුන්දර ඉසව්වක් ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කළාට. කතාව අවසානය තෙක් රැඳී ඉන්න හිතෙනවා ( මානසික අල්ලසක්ද මන්ද? )

    Reply
  11. Anoma Janadare

     /  October 21, 2012

    It’s Brilliant.I Inspired about the story that Mr,Jayasena’s distortion …I really agree with it.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: