(10) මේ සිංහල අපගේ රටයි!! || Amidst Black July

  • කාලය: 1993 ජූලි, සමාන්තර විශ්වය
  • ස්ථාන පථය: මහනුවර සිට කොළඹ දක්වා නුවර පාර, ලංකාව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව )**********

[පාඨකය, සමාන්තර විශ්වයකදී ඔබ දන්නා සමහර සිද්ධි සිදු නොවන අතර ඒ වෙනුවට අළුත් සිද්ධින් එක්වේ. එසේම සමහර සිද්ධීන් එසේම සිදුවේ. තවත් සමහර සිද්ධීන් වන්නේ කාල පරතරයක් ඇතිවය…

– ලේඛක]

අද මූසල දවසකි. උදේ පටන්ම කොළඹින් ලැබුණේ නරක ආරංචිය.

“දෙමළ කඩ කඩනවා.”

“ බොරැල්ලේ ඔක්කෝම දෙමළ කඩ ඉවරයි. BCC බිල්ඩිං එක ගිනි අරන් පොළොවට පාත් වෙලාලු!”

“හෙට්ටි වීදියේ කඩ කඩලා. රත්තරන්, ආබරණ, මැණික් පාර පුරාලු…”

“දෙමළුන්ට ගහනවා!”

“දෙමළු මරනවා. මරදාන හන්දියෙම මිනී විස්සක්ලු…කඩු වලින් කොටලා මරලා තියෙන්නේ.”

“නගුලේසන් කියලා දෙමළ දොස්තර කෙනෙක් දෙමටගොඩදි පවුලත් එක්ක කාර් එකට දාල පිච්චුවලු…”

මෙයින් බාගයක් බොරු විය හැකිය. එහෙත් මට ඒ උඩ තීරණ ගත නොහැකිය. ඇත්ත මොකද්ද බොරුව මොකද්ද මම නොදනිමි. එසේම කොළඹ යමක් වෙමින් තිබෙන බැව් පැහැදිළිය. මේ අප කාලයක් තිස්සේ කොයි මොහොතේ හෝ වෙතැයි බියෙන් සිටි සිද්ධියකි. ඉදිරි දින කිහිපය තුළ එය නුවරටද ව්‍යාප්ත විය හැකිය.

මම පිස්සකු සේ පක්ෂ නායකයින්ව දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරමින් සිටිමි. අවශ්‍ය වෙලාවට කිසිවෙක් නොවෙති. සමහරුන් ජනාධිපති මන්දිරයට ගිහිල්ලාය. සමහරුන් ගිය දිහාව ගෙදර උන්දෙලාද නොදනිති. අවසානයේ මම දැඩි වෙහෙසකින් පසු අධ්‍යාපන ඇමැති ලලිත් ඇතුළත්මුදලි සම්බන්ධ කර ගනිමි. මට ඇති කලබලය ඔහුට නැත්තාක් සේය.

“Yes, Victor. There are some incidents. They are pretty atrocious, but I don’t think they will spread. At the moment everything is under control. Don’t worry…It will be just like 1979”

1958 නැතද, මට 1979 මතකය. එසේම 1981දී යාපනයේදී ලද පළමෝත අත්දැකීම්ද වේ. මේ සිද්ධීන් කිසිවක් දිගින් දිගට ඇවිළ නොගිය බව සබැවි. නමුත් ඒ මේ සියල්ලක් එක්තරා මට්ටමකට හෝ පාලනය කළ හෙයිනි. සිංහල කැරැළිකරුවන් මෙහෙයවනු ලබන ගෝත්‍රික අමානුෂිකත්වය මම හඳුනමි. දෙමළුන් කෙරෙහි සිංහල ජනගහණය තුළ ඇත්තේ බද්ධ වෛරයකි. වෙනත් අවස්ථාවන්හීදී ආයාසයකින් යුතුව යටකරගෙන ඇති මේ ක්‍රෝධය ඉතාම කුඩා ගිනි පුපුරකින් වුවද බට කැළයකට ගිනි තැබුවාක් මෙන් ඇවිළ යා හැකිය. රට පුරා එකම මොහොතක පැතිර යන ජාතිවාදී කෝලාහල මැඬ පැවැත්වීමේ හැකියාවක් පොලීසියට හෝ අඩු තරමින් හමුදාවට හෝ නොවේ.

ඇතුළත්මුදලි ඇමැතිතුමාගේ වචනය පිළිගෙන මට නිහඬව නොසිටිය හැක්කේ එනිසාය.

මට කාරණා දෙකක් එකවර සිහියට නැඟේ.

එකක් දෙහිවල අපේ මුද්‍රණාලයයි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ පවුලට අයත්ව තිබූ එහි පරිපාලන කටයුතු කර ගෙන ආවේ මවිසිනි. එය පිහිටා ඇත්තේ සැලකිය යුතු තරම් දෙමළ ජනගහණයක් ඇති ප්‍රදේශයකය. එසේම අපේ සේවක පිරිසෙන් හරි අඩකට වඩා දෙමළය.

දෙවන කාරණය පුතා, චරිත්ය.

මම මුද්‍රණාලයට කතා කරමි. මැනේජර් අල්ලා ගැනීමට ලැබෙන්නේ තරමක වෙහෙසකින් පසුවය.

“මේ පැත්තෙ නම් තාම ඒ හැටි කලබලයක් නෑ සර්. කොළඹ නම් ගොඩක් කලබලලු. දෙමළ මිනිස්සු සෑහෙන ගාණක් මරල කියල කියන්නේ. 1958 වගේ තමයි. කඩ සාප්පු, ෆැක්ටරි හෙමත් ගිනි තියලලු…වැඩි විස්තරයක් දන්නෙ නෑ. ඔය කටකතා වලින් අහන ඒවා තමයි”

මම අපේ දෙමළ සේවකයින් ගැන අසමි.

“වැඩි දෙනෙක් අද වැඩට ආවෙ නෑ. ලේබරස්ලා දහයක් විතර තමා ඇවිත් ඉන්නෙ. මම කට්ටියටම පුළුවන් නම් ගෙදර යන්න කිව්වා. ඒත් සමහරුන්ට මෙතැන ඉන්න එක ආරක්ෂිතයිලු ගෙදර යනවට වඩා මේ වෙලාවෙ. කට්ටියම මම ස්ටෝරුවට දාල වැහුවා…”

මැනේජර්ගේ මාළු කෑමට තරම් කෝපයක් මට එයි. දෙමළ කම්කරුවන් පිරිසක් ස්ටෝරුවේ සැඟව සිටින බව දැනගත්තොත්   සිංහල කැරළිකරුවන් ස්ටෝරුවට එහෙම්පිටින්ම ගිනි තබනු ඇත්තේය. එහි පුරවා ඇත්තේද කඩදාසි, මුද්‍රණ තීන්ත යනාදී පහසුවෙන් ගිනි ගන්නා දේවල්ය. මුද්‍රණාලයම මළ සොහොනක් වන්ට බැරි නැත.

අනෙක් අතට මැනේජර්ට බැනීම අසාධාරණය. මේ විශේෂ අවස්ථාවකි. එදිනෙදා සාමාන්‍ය තත්ත්වයක් නොවේ. ජීවිතයම එම වෘත්තියට කැපකළ මැනේජර් මුද්‍රණ කටයුතු මිස වෙනත් දෙයක් ගැන නොදනියි. පනස් ගණන් වල මැද හරියේ වුවද ඔහු සමහර තීරණ ගන්නේ කුඩා දරුවකු සේය. මේ මා කොළඹ සිටිය යුතු මොහොතයි.

පුතාගේ ප්‍රශ්නය මීට සංකීර්ණය. ජයන්තද, අප්සරාද ඔහු හොඳින් රැක බලා ගනිති. එය මට කරන්ට නොහැකි වූ දෙයකි. එකම කාරණාවක් නිසා නොවෙන්ට මා මේ අවස්ථාවේ වුව පුතා ඔවුන් ළඟ තියන්ට කැමැත්තෙමි. මා එයින් වළකන එකම තීරණාත්මක කාරණාව අප්සරාගේ අඩ දෙමළ සම්භවයයි. වැඩි දෙනකු නොදන්නවා වුවද ඇගේ මව දෙමළ කාන්තාවකි. කොළඹ කලබල නුවරට එන්ටත් පුළුවන නේන්ටත් පුළුවන. කැරළිකරුවන් අප්සරාගේ දෙමළ සම්භවය දැන සිටින්ටත් පුළුවන නොදැන සිටින්ටත් පුළුවන. මට එසේ සිතා අවදානමක් ගත නොහැකිය.

මම ජයන්තට කතා කරමි. අප්සරා ඊට පිළිතුරු දෙයි. කොළඹ කලබල ගැන කෙටි කතා බහකින් පසුව මම පුතා ගැන අසමි.

“චරිත්ව උදේ ජයන්ත එක්කගෙන ගියා. හැබැයි දැන් ෂොප් එකේ ඉඳන් කතා කරල කිව්වා ඉස්කෝල වහල හින්ද ගෙදර එක්ක ගෙන එනවා කියල. කැමති අයට ගෙදර යන්න කිව්වලු ඉස්කෝලෙන්…තව පැය භාගෙකින් විතර එයි. දුවලා දෙන්නත් ආවා ටිකකට කලින්!”

“මට චරිත්ව ගන්න ඕනැ…”

අප්සරා මොහොතක් නිහඬව සිටියි.

“ඇයි වික්ටර් මේ වෙලාවෙ? අපට චරිත් බලා ගන්න පුළුවන්. අපට ඒක කරදරයක් නෙවෙයි. Trust me.”

“මං දන්නව අප්සරා. ඒත් මේ මම රිස්ක් එකක් ගන්න වෙලාවක් නෙවෙයි…”

“අනේ මන්දා. මම ජයන්ත ආවාම කියන්නම්…”

“Okay, I will come in another half an hour”

අප්සරා ‘දඩස්’ ගා රිසීවරය තබන හඬ මට ඇසේ. කොහොමටත් ඇයට මා ගැන ඇත්තේ නුරුස්නා හැඟීමකි. ඇගේ මිතුරිය, බියට්‍රිස් මරා ගත්තේ මා බව ඇය තවමත් විශ්වාස කරයි. මම ඇය නිවැරදි කරන්ට නොයමි.

මගේ ඔළුව යකාගෙ කම්මල මෙනි. කොළඹ යා යුතුය. පුතා මා ළඟට ගත යුතුය. සියල්ලට පළමු මුදල් ඕනෑය. මම වහා හැඳ පැළඳ බැංකුවට දුවමි. වාසනාවකට මෙන් එය තවමත් විවෘතය. කළමණාකරුගේ මිතුරුකම නිසාම මම රුපියල් පනස් දහසක් දාහේ නෝට්ටු වලින් ලබා ගනිමි.

“මොනවද වික්ටර් මේ රටට වෙන්නෙ?” ඔහු අසයි. අපේ රටේ ඕනෑම පුද්ගලයෙකුට මොහොතෙක පමාවකින් දේශපාලන විචාරකයෙක් වන්ට පිළිවන.

මම දෙවුර සොළවමි. මේ දිගු කතාබහකට වෙලාව නොවේ. ජීවිත ගණනක් මගේ අතේ රැඳී ඇති මොහොතෙකි.

“දුවන්ට ඕනැ මචං!” කියා මම සමුගනිමි.

ඊළඟ ගැටළුව පෙට්රල්ය. මහනුවර ෂෙඩ් එක ඉදිරියේ දිගු වාහන පෝලිමකි. මම එය මඟ හැර ගොස් පේරාදෙණියෙන් ෆුල් ටෑන්ක් ගසා ගනිමි. සියල්ලටම පැයක් යන්ට ඇත. හිතුවාට වඩා ප්‍රමාදය. මම නැවත ගෙදරට ගොඩ වන්නේ නොනවත්වා වදින දුරකථනයට පිළිතුරු දෙන්ටය.

“වික්ටර්..?”

“ඔව්, ජයන්ත…”

“වික්ටර් මට අප්සරා කිව්ව විස්තරේ. ටිකක් කලබල තමයි. නමුත් අපට වෙනදා වගේම පුතා බලාගන්ට පුළුවන්…”

ඔහු ‘වෙනදා වගේම’ කියන්නේ බර කරය. මේ දක්වා එකම දවසක් හෝ චරිත් මා සමඟ රැඳී නැත්තේය. චරිත්ට මා තවමත් අමුත්තෙකි. ‘අප්පච්චි’ කීවාට ඔහු මා හා සෙල්ලමට වත් නො එයි.

“I know Jayantha, I know, නමුත් ඒ ළමයගේ තාත්තා විදියට මට මේ තීරණය ගන්ට වෙනවා. Please understand it…”

ජයන්ත යමක් කියන්ට පළමුව මම බාධා කරමි.

“…and I will be there in another fifteen minutes”

මා ජයන්තගේ නිවසෙහිදී දකින හැඟුම්බර දසුන කෙසේ නම් විස්තර කරන්නෙම්ද?

අට හැවිරිදි පුංචි චරිත් පුංචි සූට්කේස් එකකට සිය සකල මනාව පුරවාගෙන හිස් බැල්මෙන් සාලයේ සෙටිය මත හිඳගෙන සිටියි. ඔහුට නිල්පාට ටීෂර්ට් එකක්ද, කළු කලිසමක්ද අන්දවා හිස තෙල් ගා පීරා තිබේ. ජයන්ත හා අප්සරා ඔහු දෙපසිනි. අප්සරාගේ ඇස් වළ කඳුළුය. ජයන්තගේ දියණියෝ ඈත සිට බලා හිඳිති.

“I know you can look after him Jayantha, but I have to take this decision as a father” මම හිත දැඩි කරන්ට ආයාසයක් ගෙන කියමි. “I am sorry. I am extremely sorry…”

“It is okay, Victor” ජයන්ත කියයි. ඒ නැතිව ඔහු මක් කියන්ටද? මම තවමත් දරුවාගේ නීත්‍යානුකූල භාරකාරයා වෙමි. එය ජයන්තට හා අප්සරාට පවරා දී නොමැත.

අප්සරා චරිත් බදාගෙන හඬන්ට පටන් ගනී. මේ ශෝකජනක ජවනිකාව ඉක්මණින් අවසන් කළ යුතුය මට සිතේ.

“Putha, Lets go…”

මේ මා ඔහුට ‘පුතා’ කියා ඉතාම කලාතුරෙකින් කථා කළ අවස්ථාවකි. සමාන්‍යයෙන් මා ඔහුට කතා කරන්නේ ආමන්ත්‍රණයක් නැතිවය. අවශ්‍යම වුවහොත් නමිනි.

චරිත් ජයන්තට හා අප්සරාට දණගසා වඳියි. මෙතක් කිසි දවසක ඔහු මට වැඳ නැත. ඉන්පසු ඔහු අක්කලා දෙදෙනා වැළඳ සමු දෙයි. වැඩිමහළු දිලූෂා ශෝකය සඟවා ගන්ට උත්සාහයක් දරණ මුත් රිද්මි හඬයි.

“I will bring him again darling. This is only for few days…” මම ඔවුන්ට කියමි.

චරිත්ගේ මුහුණෙහි හැඟීමක සේයාවක් හෝ නොවේ. එය හිස්ය. සුදු කඩදාසියක් සේ හිස්ය.

පොඩි එකා සූට්කේසයද අතැතිව ස්ටේෂන් වැගන් එකට ගොඩ වෙයි. ඔහු තමන්ට අවශ්‍ය අඩුම කුඩුම පැක් කර ගත්තාද අසන්ට වත් මට අමතක වෙයි. අප්සරා සියල්ල නිසි පරිදි පැක් කර ඇතැයි මම ආත්මාර්ථකාමී ලෙස උපකල්පනය කරමි.

පේරාදෙණිය හරහා යද්දී මට මතක් වන්නේ මධ්‍යාහ්නය පසුව ඇති බවත් චරිත් තවම බඩගින්නේ ඇති බවත්ය.

“Charith, did you have your lunch?”

ඔහු නැතැයි කියන්ට හිස සළයි.

මම රථය පේරාදෙණිය රෙස්ට් හවුසියට හරවමි. මේ මට හුරු පුරුදු තැනකි. මා නිතර වාඩිවන මේසයක් පවා එහි වෙයි. එහෙත් මා එහි චරිත් කැටුව ආ පළමු වතාවය. කලාතුරෙකින් දිනෙක මා සමඟ නුවර ආ විටෙක අප අහර ගන්නේ ක්වීන්ස් හෝටලයෙන් හෝ දළදා මාළිගාවට නුදුරින් ඇති කුඩා අවන්හලෙකිනි.

මම මෙනු පත අතට ගනිමි.

“What do you like? Shall I order noodles..?”

ඔහු හිස සලයි.

අපි නිහඬව අහාර ගනිමු. බඩගිනියි කියුවද චරිත් අහර ගන්නේ සෙමෙනි. ඔහු පිඟානෙන් අඩක් පමණ හිස් කොට “මට ඇති”යි කියන්නාක් සේ එය ඉදිරියට තල්ලු කොට අත සෝදා ගනියි.

“You didn’t eat. Do you like a dessert? Ice cream..?”

ඔහු හිස සලයි.

“What do you have? Vanilla? Chocolate? Strawberry..? “

“…Strawberry…”

එය කැමැත්තකින් කියූ දෙයක් නොව යමක් කිව යුතු නිසා කියූවක් වැන්න.

මම ස්ට්‍රොබෙරි අයිස්ක්‍රීම් දෙකක් ඕඩර් කරමි.

චරිත් පෙන්නුම් කරන්නේ මගේ ලක්ෂණ වලට වඩා බියට්‍රිස්ගේ ලක්ෂණය. බියට්‍රිස් සුදුය. චරිත්ද සුදුය. බියට්‍රිස් සේම ඔහුද සිහින්ය. මුහුණෙහි පවා මේ නම් බියට්‍රිස්ගේම දරුවෙකැයි කෙනකුට හඳුනාගත හැකි වන සුළු ලකුණු වේ. උස් නැහැය ඉන් එකකි. කෙළින්ම ප්‍රකාශ නුවුවත් බියට්‍රිස්ගේ මුරණ්ඩුකමද ඔහුට එක්තරා දුරකට උරුම වී ඇතැයි මම සිතමි.

මහනුවර-කොළඹ ගමනේ වැඩි හරියක් චරිත් කරන්නේ නිදා ගන්නා එකය. මම ඔහුට බාධා නොකරමි. ඉඳහිට මම මඟ හමුවන තැපැල් කන්තෝරුවකින් පක්ෂයේ නායකයින්ට කතා කරන්ට උත්සාහ ගනිමි. මේ උත්සාහ බොහෝ විට අසාර්ථක වෙයි. ඇතුළත්මුදලි හැරුණු විට මට සම්බන්ධ කරගත හැකි වූ එකම නායකයා ඇලික් අළුවිහාරේය. ඔහුද මා දන්නා තරමට වැඩි යමක් නොදනියි.

“ඕවා ඔහොම තමයි ළමයෝ, ඕවාට කලබල වෙලා දේශපාලනේ කරන්ට බෑ මේ රටේ…”

අපේ නායකයින් කිසිවකුට තමන්ගේ වගකීම ගැන අංශු මාත්‍රයක හෝ හැඟීමක් නැත්තේ මන්ද?

මම මුද්‍රණාලයේ මැනේජර්ටද දිගටම කතා කරමි. ඒ හරියටම පැමිණ නැතත් දෙහිවල කලබල පටන් ගෙන ඇත. හැකි ඉක්මණින් මා එහි යා යුතුය.

මිරිස්වත්ත හරියට එනතුරුම ලොකු කලබලයක් නැත. මිරිස්වත්තේදී අපේ වාහනය අවිගත් සිංහල මැරයින් විසින් නතර කර ලනු ලැබේ. මේ ප්‍රචණ්ඩ කල්ලියට නායකත්වය දෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකි. උන් වහන්සේ රියැදුරු ආසනය පැත්තේ වීදුරුවෙන් වාහනය තුළට එබෙති.

“මහත්තයා සිංහලනෙ…?”

“ඔව්…එහෙමයි හාමුදුරුවනේ…”

“මහත්තයා, මේ හැම සිංහලයෙක්ම තමන්ගෙ රට, ජාතිය, ආගම වෙනුවෙන් වැඩ කරන්න ඕනැ අවස්ථාවක්. පර දෙමළුන්ට ඉඩ දෙන්ඩ බෑ අපේ වීර සිංහල කොල්ලො බල්ලො බළල්ලු වගේ මරා දාන්ඩ. තේරුණයි..?”

“එහෙමයි හාමුදුරුවනේ…අපි මේ කොළඹ යන ගමන්…”

“හරි. හරි. මහත්තයා යන ගමනක් යන්ඩ. හැබැයි රට, ජාතිය, ආගම වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරලා. අපි පෙට්රල් ටිකක් ගනිමු”

“හාමුදුරුවනේ මම කොළඹ යන ගමන්…මේ පොඩි පුතා”

“හරි. හරි.  මහත්තයා ඔක්කොම ගන්නේ නෑ. අපි එහෙම අසාධාරණ වැඩ කරන මිනිස්සු නෙවෙයි . මේ වගේ දරුවො නිසා තමයි අපි පර දෙමළට බය නොවී මේ වෙලාවෙ රට, ජාතිය, ආගම ආරක්ෂා කර ගන්ඩ ඕනැ. මේක අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන දෙයක්. සාංඝීක දානයක් දෙනවා වගේ මහා පින්කමක් කළා කියා හිතා ගන්ඩ. රට, ජාතිය, ආගම වෙනුවෙන් පොඩි යුතුකමක් කරමු…”

මෙතැන වාදයෙන් ඵලක් නොවේ. පොඩි එකාද බියපත් දෑසින් මා දෙස බලා සිටී. මට විකල්පයක් නැත. මම වාහනය නවතා යතුර ඔවුන් අතට දෙමි. සාමනේර භික්ෂුන් වහන්සේලා දෙනමක් පුරුදුකාරයින් ලෙස මගේ වාහනයෙන් පෙට්රල් අදිති. මේ ඔවුන් පෙට්රල් අදින එකම වාහනය නොවිය හැකිය. මෙසේ ඇදගන්නා පෙට්රල් කවුරුන් අහිංසකයකු දහදිය මහන්සියෙන් උපයා තනා ගත් නිවෙසක් පුච්චා දමන්ට යොදා ගැනෙනවා ඇත. නැතහොත් එබඳුම අහිංසකයකුගේ සිරුරට වත්කොට ගිනි තබනවා ඇත. මට ඔක්කාරයට එයි.

මිරිස්වත්තේ සිට මා වාහනය පදවන්නේ සෙමෙනි. කොයිවෙලේ හෝ එය පෙට්රල් නැතිව නතර වනු ඇතැයි මට සිතෙයි. පෙට්රල් ෂෙඩ් දෙක තුනක්ම පසු වුවද ඒ සියල්ලම වසා දමා ඇත. එකක ඩීසල් තිබුණද පෙට්රල් ඉවරය. චරිත් මේ ගමනට සම්බන්ධ කර ගැනීම ගැන මම මටම දොස් පවරා ගනිමි. ජයන්ත හා අප්සරා සමඟ ඔහු මීට වඩා ආරක්ෂිත විය හැකිව තුබුණේය. දැන් කරන්ට දෙයක් නැත. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය හැක්කේද?

අප දැන් ටිකෙන් ටික ඇතුළුවන්නේ යක්ෂයාගේ පුරවරයටයි. නිතරම නොවුණත් අපි ගිනිගෙන දැවෙන කඩ සාප්පු, නිවෙස් පසු කරමු. කැරළිකරුවෝ මේ ගිනි වටකොට ගෙන ම්ලේච්ඡයන් සේ නටති. මාර්ගය මිනිසුන්ගෙන් පිරී ගොස් තිබේ. ජාති ආලය සමඟ කොල්ලයද ඇරැඹුණු සේය. ටී.වී., කැසට් රේඩියෝ, රෙදිපිළි පමණක් නොව ලී බඩුද කර ගසා ගෙන යන මිනිස්සු වෙති. එකකු වෙනත් කිසිවක් නොලැබුණු නිසාදෝ කොමඩ් එකක් කර ගසා ගෙන යයි. මේ තමන් වැනිම මස් ලේ ඇට වලින් සැදුණු මිනිසුන් පිරිසක් දහදිය මහන්සියෙන් හම්බ කරගත් දේය කියා ඔවුන්ට කිසිදු හැඟීමක් ඇති වගක් වත් නොපෙණේ.

“Don’t be scared. We will be in Colombo soon…”

මම පොඩි එකාට කියමි. ඔහු මා විශ්වාස කරන්නේද නැද්ද නොදනිමි. මට වත් මගේ වචන ගැන විශ්වාසයක් නැති මොහොතෙකි මේ.

කිරිබත්ගොඩදී අපේ ස්ටේෂන් වැගනය නැවත නතර කරනු ලබයි. මෙවර වඩා ප්‍රචණ්ඩ බීමත් පිරිසක් විසිනි.

“මහත්තයා සිංහලද?”

“ඔව්. අපි මේ කොළඹ යන ගමන්…”

“ඔහොම කියලා හරි යන්නෙ නෑ. පර දෙමළුත් හැංගිලා පැනල යන්නෙ ඔහොම තමයි.කෝ ගන්ඩ අයිඩෙන්ටිය…?”

මම හැඳුනුම්පත ඔහු අතට දෙමි.

“…පටබැඳිලත් වික්ටර් සාලිය බණ්ඩාර. අඩෝ. මෙන්න නියම සිංහලයෙක්. සිංහල ලේ කකියනවා ඩෝ!”

පිරිස හුරේ දමති. මැරයා නැවත හැඳුනුම්පත මා අතට දෙයි.

“…එතකොට මේ බබා?”

“ඒ මගෙ පුතා…”

“එහෙම කියල හරියන්නෙ නෑ…සිංහල නම් ඒ බව ඔප්පු කරන්ඩ ඕනැ”

මගේ ඉහේ සිට දෙපතුළ දක්වා සීතල වේගන යයි. චරිත්ගේ කිසිම ලේඛනයක් මා සතුව නැත. මේ වන මෘගයින් කුඩා දරුවන්ගේ පවා අනන්‍යතාවය පරීක්ෂා කරන්නේද?

පුතාට අතක් තිබ්බොත් මුනුත් මරාගෙන මාත් මැරිය යුතුය යන ආන්තික හැඟීම මට එයි.

“තමුසෙලාට පිස්සුද? මේ මගෙ පුතා. මේ වගෙ වෙලාවක මම වෙන ළමයෙක් කාර් එකේ දාගෙන යන්ඩ තරම් මෝඩ නෑ…”

මැරයා ඒ නොඇසුනාක් සේ චරිත්ට කතා කරයි.

“සිංහල ළමයෙක් නම් සිංහල සින්දුවක් හරි දැන ගන්ඩ ඕන. බබා කියන්න බලන්ඩ සිංහල සිංදුවක්. ‘මේ සිංහල අපගෙ රටයි…’ දන්නවද?”

මගේ කටේ කෙළ සිඳී යයි. තීරණාත්මක මොහොත පැමිණ තිබේ. මගේ සීට් එක යට ජැක් එකේ කෙටි යකඩ පොල්ල තිබෙන බව මට මතක් වෙයි. මම එය අතට ගන්ට නැඹුරු වෙමි.

චරිත්ගේ දුර්වල හඬින් මම අවදි වෙමි. ඉතා සෙමෙන් පටන් ගන්නා ඔහුගේ ස්වරය ක්‍රමයෙන් ඉහළ නඟියි…

“මේ සිංහල අපගෙ රටයි….
අප ඉපදෙන – මැරෙණ රටයි…
අප හද පණ ගැහෙන රටයි…
මුළු ලොව ඒ රටට යටයි…”

මැරයෝ, අත්පුඩි තළමින්, දඩි බිඩි ගා වාහනයට ගසමින් තිරිසන් ගෝත්‍රික විලාපයක් නංවති. මොහොතකින් ඔවුහු අප අතහැර ඊළඟ වාහනයට යොමුවෙති.

මම දෑසින් ගලන කඳුළු මැදින් චරිත් දෙස බලා සිටිමි. අද දවසේ පළමු වරට ඔහු හඬ නඟා සිනාසෙයි.

“ඒ මාමි හිතුවෙ මම ඒක දන්නෙ නෑ කියලා…”

මම දරාගත නොහෙන දාරක ස්නේහයෙන් ඔහු වැළඳ ගනිමි.

“මයෙ පුතා…”

(ඉවසන්න……..සමනළයා නැවත පියා සලන තුරු)

Advertisements
Leave a comment

27 Comments

  1. This is my favorite part of the story (so far). I’ve a somewhat similar experience in 1983 as a child, while returning home from Colombo with my father.

    Ironically the person who led the atrocities in our area was the “Pradhaana Daayaka” of the temple!

    Reply
  2. 83 දී හරි වැරද්ද හරියට දකින්න උත්සහා කරන වික්ටර් සාලිය බණ්ඩාර 2000ගනන් වල තමන්ට හරි වැරද්ද නිවැරදි කරන්න හැකියාව තියෙද්දී මඟ හරින ආකාරය හරි අපුරුයි.

    Reply
  3. මුළු ලොව ඒ රටට යටයි… 🙂

    Reply
  4. මෙතෙක් ගිය කතාංග දහයෙන් මගෙත් ප්‍රියතම කතාංගයයි… අඩු කහට වැඩි සීනි ප්ලේන්ටියක් වගේ…

    Reply
  5. DDT

     /  August 15, 2012

    මේ පෝස්ට් එක කියෙව්වම ශ්‍යාම් සෙල්වදුරෙයිගෙ ජනප්‍රිය පොත් දෙකක් මතක් වුනා. අර දෙමළ පවුලක් කාරෙක ඇතුලෙම ගිනි තියන කතාව ෆනි බෝයි පොතෙත් තියෙනව. අනෙක කුඩා චරිත් ඔහුගෙ මවගෙ මිතුරියක්ගෙ නිවසෙ ඇති දැඩි වීම, ඒ වගේ කතාන්දරයක් මම මුල්වරට කියෙව්වෙ මෝසම් මුහුදෙ පිහිනීම කියන පොතේ.

    Reply
    • සමහර වෙලාවට අප කියවා ඇති පොත් අවිඥානකව අප ලියන දේවල් වලට ඇතුළු වෙනවා. කාරය පිළිස්සීම නම් පොතකින් ගත්තු දෙයක් නෙවෙයි. සත්‍ය සිදුවීමක් BCC බිල්ඩිං එක වගේම. (මතක හැටියට නියම නමත් එක්ක). නමුත් ඔබ කියන දේට එකඟයි. නවවැනි කථාංගය ලියුවායින් පසුවයි හිතුනේ යකෝ මේ Yes Minister එකේ ශෛලිය නේද කියලා.

      නමුත් මෙහි කිසිම දෙයක් ඕනැ කමින් කොපි කර නැහැ.

      – ලේඛක

      Reply
      • DDT

         /  August 15, 2012

        ෴ කාලය: 1993 ජූලි, සමාන්තර විශ්වය ෴
        1983 වෙන්න ඕන නේද?

      • මටත් හෙන අවුල්.එතකොට චන්ද්‍රිකා ජනාධිපති වෙන්නේ 94 ද? 93ට කලින් යුද්ධයක් තිබුනේ නැද්ද?

      • @DDT,

        “”[පාඨකය, සමාන්තර විශ්වයකදී ඔබ දන්නා සමහර සිද්ධි සිදු නොවන අතර ඒ වෙනුවට අළුත් සිද්ධින් එක්වේ. එසේම සමහර සිද්ධීන් එසේම සිදුවේ. තවත් සමහර සිද්ධීන් වන්නේ කාල පරතරයක් ඇතිවය…

        – ලේඛක]””

      • DDT

         /  August 15, 2012

        @ මාලන්,
        ඔව් එය මා දුටුවා. මුල සිටම මේ කතාව මා යම් අවබෝධයකින් කියෙව්වය කියල කියන්නත් පුළුවන්. ඒ නිසාම තමයි මම අර විදියෙ ප්‍රශ්නයක් ඇහැව්වෙත්. ඉතාම පහසුවෙන් මෙය ඔබේ උපුටනය හරහා විසඳීමට හැකි බව සැබෑව. එහෙත් එයින් කතාවේ පෙළට වෙනත් පසකින් හානිවෙනව නේද? හැම දේම ඒ ආකාරයට ගොඩ නැගීම අසීරුයි නේ ද? මට හිතෙන හැටියට වඩාමත් අසීරු වන්නෙ සිදුවීම් දින වකවානු මේ ආකාරයට වෙනස් කිරීමේ දී විටින් විට එහි යම් යම් පරස්පරතාවයන් ඇති වීමයි. පහත උදාහරණය බලන්න.

        සමනළ විප්ලවය – කථාංගය 3 – මව් මරා උපන් කුමරා
        කාලය: 1980 දශකය, සමාන්තර විශ්වය
        ස්ථානය: මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව

        චරිත්ගෙ උපත 1980 දි වෙනව නම් 1993 දි ඔහු අරතරම් කුඩා සුරතල් දරුවෙක් වෙන්න පුළුවන් ද? මෙය 1983 වශයෙන් වුවත් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනව.

        හොඳයි, මින් පසු ඒව ගැන නොසිතා කථාව ගැන විතරක් අවධානය යොමු කරමු. 🙂

      • 1980 දශකය = 1980-89 දක්වා කාල පරිච්ඡේදය

        – ලේඛක

      • @DDT,
        කියන දේ ඇති සැටියෙන් පිළි ගන්නවට වඩා ප්‍රශ්න කරන එක හොඳයි මම හිතන්නේ. ඒක නිසා ප්‍රශ්න කිරීම නවත්වන්න එපා. මොකද ඔබ අහපු මේ ප්‍රශ්නයේ වුනත් ඇත්තක් තියෙනවා නේද කියලා මට හිතුණේ ඔබේ පැහැදිලි කිරීම කියෙව්වට පස්සේ. ඔබේ ප්‍රශ්න කිරීම් ලේඛකයාට එයාගේ කතාව තාර්කික පදනමක ඉදගෙන ගොඩ නඟන්න උදව්වක් වේවි.

    • DDT

       /  August 16, 2012

      ඇත්ත නේන්නම්, ඔබ අපූරුවට ඒක ජයගෙන තිබෙනව. මම නැවතත් මුල් පෝස්ට් ටික කියවල බැලුව, යම් ඉඟිකිරීම් තිබුණත් නිශ්චිතවම තහවුරු කළ හැක්කක් නෑ. වැරැද්ද මගේ. දිගමට ලියමු. ජය !

      Reply
  6. ranwala

     /  August 15, 2012

    this is the best part so far ….

    Reply
  7. මේ යන ආකාරයට රට ගියෝත්. මේ වගේ ලිපි ඉස්සරහටත් ලියවෙයි.

    Reply
  8. Charith

     /  August 16, 2012

    Best ever… anyway like ur introduction about my big nose.. ..

    Reply
  9. විශ්ලේෂකයා

     /  August 16, 2012

    This is the Best. Now we are back in business . Please, even if you have not figured out the rest yet, do not make this one an anti climax

    Reply
  10. සමාන්තර කියන්නේ නිකංද, ජ්‍යමිතිකව නේ, මේ සමාන්තර ලෝකේ යන්නේත් රෝං එකේමයි.

    මං යනවා නං යන්නේ මේ අපි ඉන්නා කාලකන්නි ලෝකෙට සමාන්තර නැති නිකං ඔබ්ලික් ලෝකෙකටයි.

    Reply
  11. rear

     /  August 19, 2012

    දෙමළුන් කෙරෙහි සිංහල ජනගහණය තුළ ඇත්තේ බද්ධ වෛරයකි. වෙනත් අවස්ථාවන්හීදී ආයාසයකින් යුතුව යටකරගෙන ඇති මේ ක්‍රෝධය ඉතාම කුඩා ගිනි පුපුරකින් වුවද බට කැළයකට ගිනි තැබුවාක් මෙන් ඇවිළ යා හැකිය.
    —-
    ලේකකයා වර්ණ අන්දතාවයෙන් පෙලෙන බව මගේ හැගීමය්

    Reply
    • ඔය ප්‍රකාශය කරන්නේ ලේඛකයා නොව මේ කතාවේ පාත්‍රයෙකි. සමහර විට ඔහුට වර්ණ අන්ධතාවය ඇතිවා විය හැකිය. එසේම මේ කතාවේ පාත්‍රයන් කියන දේවල් ලේඛකයාට ආදේශ කරන ඔබටද යම් අන්ධතාවයක් ඇති බව වටහා ගත හැකිය.

      – ලේඛක

      Reply
  12. හ්ම්ම්ම්ම්,,, ඒ අමිහිරි අතීතය.

    Reply
  13. මුල් කාලයේම මේ කතාන්දරය කොටස් කිහිපයක් කියවා අත්හැරදැම්මා. මුල් කොටස් කිහිපයේදී තිබුනෙ එකිනෙක නොබැ‍ඳෙන නොපෑහෙන කතන්දරයක සිවරූපයක්. මේ වනවිට හොඳින් ගලායාම සිදුවෙනව.
    මේ කමෙන්ටුව දාන්න හිතුනෙ මේ දක්වා ලියැවුනු හොඳම කොටස මේක නිසා.
    //“ඒ මාමි හිතුවෙ මම ඒක දන්නෙ නෑ කියලා…”//
    ඒ(සැබෑ) සිදුවීම් කොයි තරම් අවලස්සනද කියල හිතෙන්නෙ මේවගේ කතාවක් කියවනවිට.

    Reply
  14. මේ වගේ කාලකණ්ණි අතීතයකුත් අපට තිබුනනෙ ඇත්තට!

    Reply
  15. dilhara

     /  June 17, 2014

    “මේ වගේ කාලකණ්ණි අතීතයකුත් අපට තිබුනනෙ ඇත්තට!” danuth thiyenawa. 3 muslims killed yesterday in Aluthgama.

    සිංහලයන් යනු පරිය්නාමය නොවූ ග්ප්ත්රික ජාතියකි. උන් උපන් ගෙයි මොඩයිනි
    I should have done lot of sins last life to born in uncivilised country.

    Reply
  16. Tharindu

     /  August 3, 2014

    me kathawa liyapu kena mata adunaganna awashyai.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: