(11) රනිල්ගේ මරණයෙන් පසු මිලින්ද මොරගොඩ එජාපයේ නායකත්වයට || Milinda Moragoda to lead UNP after Ranil dies in a blast

  • කාලය: 2008, සමාන්තර විශ්වය
  • ස්ථානය: කොළඹ, ලංකාව

**********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

අද මම චිරාත් කාලයකට පසු මගේ පැරැණි සගයකු වූ මිලින්ද මොරගොඩට දුරකථන කළෙමි. ඒ ඔහු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වීමට සුභ පතන්ටය. මිලින්ද මට ස්තූති කොට ඒ විගසම දුරකථනය විසන්ධි කළේ මීටිමක සිටින්නේය කියමිනි. අඩුතරමින් ඔහු “…I’ll call you back” වත් නොකීම ගැන මගේ හිත පොඩියක් රිදුණේය.

කොහොමටත්, කවරදාකවත් මිලින්ද මගේ කිට්ටු මිතුරකු නොවූයේය. ඔහු හා අප අතර යා කළ නොහැකි පරතරයක් හැමදාම විය. යා දෙක නොරත රත සමඟ පෑහීමෙක් නැත – රත් වූ යකඩය සමඟ නොරත්වූ යකඩය නො එක්වේ. මේ නිසා අපේ සම්බන්ධකම් හැමදාමත් වූයේ මතුපිටිනි.

පොදුවේ හැම දේශපාලකයකුම කරන ජඩ වැඩ ඒ මට්ටමින්ම හෝ සමහරවිට ඊටත් වැඩියෙන් කළත් මිලින්දට අවශ්‍ය වූයේ තමා සොර රැළක් මැද ඉන්නා ‘The Gentleman Politician’ බව ලෝකයට පෙන්නන්ටය. මෙනිසා ඔහු පක්ෂය තුළ ජනප්‍රිය නොවන චරිතයක් විය. 2005 ජනාධිපතිවරණය මැඩම් තෙවන වරටත් ජය ගැනීමෙන් පසු අප විශාල පිරිසක් ආණ්ඩු පක්ෂයට එක් නොවන්ට ඔහු වැනි හාල්පාරුවෙකුට එක්සත් ජාතික පක්ෂය වැනි කලෙක සද්දන්ත වූ දේශපාලන බලවේගයක නායකත්වය ලබා ගැනීම සිහිනයක් පමණක්ම වනු ඇත්තේය.

මිලින්ද ගැන සිතට එන හැම විටෙකම මට මා අසා ඇති කතාවක් මතක් වෙයි.

අප්‍රිකාව අඳුරු මහාද්වීපයක්ව පැවැති සමයේ එහි සංචාරය කළ යුරෝපීය ගවේෂකයකු මිනීමස් බුදින ගෝත්‍රික කණ්ඩායමකට හසු වූයේලු. ගෝත්‍රිකයෝ ඔහු කුදලාගෙන තම නායකයා වෙත ගෙන ගියහ.

ගවේෂකයා විස්මයට පත් කරමින් ගෝත්‍රික නායකයා නිවැරදි ඉංගිරිසියෙන් ඔහුට කතා කළේලු. ඉන්පසු ඔවුන් අතර දෙබස මෙසේ විය.

ගවේෂකයා: ඈං, උඹ ඉංගිරිසිත් දන්නවා?
ගෝත්‍රික නායකයා: ඔව්, පැහැදිළිවම.
ගවේෂකයා: උඹ කොහොමද ඔච්චර හොඳට ඉංගිරිසි ඉගෙන ගත්තෙ?
ගෝත්‍රික නායකයා: ඇයි උලමෝ, දැං මෙහෙම හිටියට මාත් ඉගෙන ගත්තෙ උඹලගෙම ඔක්ස්ෆර්ඩ් එකෙන් නෙවැ.
ගවේෂකයා (උපහාසයෙන්) : උඹ ඔක්ස්ෆර්ඩ් හිටියට ඒ ශිෂ්ටාචාරයෙන් භාෂාව මිසක වෙන දෙයක් නම් ඉගෙන ගෙන නැති හැඩයි…
ගෝත්‍රික නායකයා: නැත්තෙ මොකද? දැන් මම මිනී මස් කන්නෙ හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි…

මිලින්ද මොරගොඩ යනු අකුරක වෙනසක් නැතිව මේ හැඳි ගෑරුප්පු වලින් මිනීමස් කෑ ගෝත්‍රිකයාය. ඇමරිකාවේ උපත ලබා යුරෝපයේ අධ්‍යාපනය ලද ඔහු ඒ සංස්කෘතීන් වලින් උකහා ගත් දෙයක් ඇත්නම් එය පිට පොත්තට පමණක් සීමා විය. ඇතුළතින් ඔහු අප සියළුදෙනාටම වඩා ගෝත්‍රිකයකු වූයේය.

එතකුදු වුව අප අතරද යම් සමානත්වයක් විය. මා එය දැන ගත්තේ මාස කිහිපයකට පෙර ඔහුට කුළුඳුලේ පුතකු ලද ආරංචිය දැන මෙසේම සුභ පතන්ට කතා කළ විටය.

“So have you named the kid…?” මූලික විස්තර කතා කිරීමෙන් පසු මම ඇසීමි.

“Yes, I named him Charith…”

මට එක් වරම සිනා පහළ විය. මගේ සිනා හඬ ඔහුටද ඇසෙන්ට ඇත.

“What’s so funny about that?”

“Just that it is the same name I gave to my son…”

“Mr. Arisen Ahubudu too said anybody with such a great name is sure to become a very talented person…” කී ඔහු වහා “…not that I believe in astrology” කියාද එක් කළේය.

අපි දෙදෙනම සිනාසුනෙමු. ‘Talented’ යන්න නම් මට මගේ එකා ගැනද බිය නැතිව එක් කළ හැකි විශේෂණයකි. අනෙක් විශේෂණ ගැන මම නොදනිමි. ඔහු එතරම්ම අවිශද, අපැහැදිළි චරිතයක් බවට පත්වෙමින් සිටියි.

රිසීවරය තියා මම කලෙක මගේද අනුත්තර නිවහන වූ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන කල්පනා කළෙමි.

එජාපය කිසි දිනෙක විශාල ජන පදනමක් වූ පක්ෂයක් නොවීය. ලංකාව වැනි ස්වෝත්සාහයෙන් නැඟී සිටිනවාට වඩා අනුන්ට බැළකම් කරමින් දිවි පෙවෙත ගෙන යාමට සැදී පැහැදී සිටින අති බහුතර ජනකායක් සිටින රටකට එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ප්‍රතිපත්ති කවරදාවත් නොපෑහුණේය. එජාපයට යම් ජන පදනමක් වී නම් ඒ වාමාංශික පක්ෂ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇතුළුව) දරුණුම වැරදි කළ අවස්ථාවන්හිදී ගොඩ නැඟුණු එකක් හෝ වෙනත් පක්ෂ වලට එවක නොතිබුණු ධන බලය මත ගොඩ නඟා ගත් එකකි. එජාපය පසුපස හුන් වැඩි පිරිසක් “අපි-අලියට – වැඩ කුලියට” යි කිව හැකි උන්දෙලාය. ඔවුන් පක්ෂය පසුපස ආවේ ප්‍රතිපත්තිමය වශයෙන් වූ එකඟතාවයකට නොව “ලොකු එකාට රස්සාවක්” හෝ “පෙළපාලියට ගිහින් එනකොට බුරියානි එකක්” ලබා ගන්ටය. නැත්නම් ගමේ වාමාංශය නියෝජනය කළ පිළ හත්මුතු පරම්පරාවක් තිස්සේ වෛරක්කාරයින් වූ නිසාය.

ජන පදනමක් නැති එක්සත් ජාතික පක්ෂය ජන පදනම ගොඩ නඟා ගත්තේ අපූරු ක්‍රමවේදයකිනි. පක්ෂයට බැක් කළ මහා ධනවත්තු සල්ලි පොම්ප කළහ. මේ සල්ලි වලින් පාක්ෂිකයින් ‘මිළදී ගනු’ ලැබිණි. පක්ෂයට වූ කැපැවීම දිළින්දන්ගේ ජීවන මාර්ගය බවට පත් කරන ලදී.

මට අප්පච්චි සිහිවෙයි. ඔහු ජීවතුන් අතර සිටියදී හැම මැතිවරණයකටම පෙර වළව්වේ හා අපේ ව්‍යාපාරික ආයතනයන්හි සේවකයින් රැස් කොට ඡන්ද කොළයේ අලියා ඉදිරියේ කතිරය ගසන්ට විස්තර සහිතව කියා දුන්නේය. අඩු ගණනේ මේ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ සැබෑ මනාපය විමසන්ට හෝ සදාචාරයක් ඔහුට නොවීය. තම සේවකයකු වෙනත් පක්ෂයකට අනුකූලතාවයක් දක්වන්නේය සුළු හෝ සැකයක් මතු වූ විට (මෙවැනි දේ මොහොතක පමාවෙකින් තොරව අප්පච්චිගේ කණේ තියන්ට සේවක පිරිස අතරම ඕනෑ තරම් කේලාම් කාරයෝ, කේලාම් කාරියෝ වූහ.) ඔහු කළේ බොරු වරදක් හොයාගෙන ඔවුන් සේවයෙන් නෙරපීමයි. එය වරදකැයි ඔහු මැරෙණ තුරු නොසිතුවේය.

අප්පච්චිගේ තර්කය වූයේ මා රැකෙන්නේ – යූ. එන්. පි.ය නිසා; නුඹලා රැකෙන්නේ මා නිසා එසේනම් නුඹලා රැකෙන්නේද යූ. එන්. පි.ය නිසා යන්නය. මෙය සාධාරණ තර්කයකැයි මම සිතමි.

එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම වූයේ ක්‍රොම්ප්‍රදෝරු ධනපති පන්තිය හා දේශීය ධනපති පන්තිය අතරය.

ඉංගිරිසි ‘compradores’ යන යෙදුම ‘මිළදී ගන්නා’ යන අරුත දෙන පෘතුගීසි පදයෙන් නිපන්නකි. මුල්වරට මේ පදය භාවිතා කරන ලද්දේ දක්ෂිණ චීනයේ Guangzhouහි වෙළෙන්දන් සමඟ ගනුදෙනු කළ යුරෝපීය වෙළඳුන් හැඳින්වීම සඳහාය. කලෙකට පසු එය විදේශයකින් පැමිණෙන ඕනෑම වෙළෙන්දකු හැඳින්වීම පිණිස යොදා ගැණිනි. මොවුන් සමඟ ගනුදෙනු කළ දේශීය වෙළෙන්දෝ ‘ක්‍රොම්ප්‍රදෝරු ධනපති පන්තිය’ බවට පත්වූහ. ඔවුන් දේශීයව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොකළහ. ඔවුන්ගේ පැවැත්ම රැඳී තිබුණේ තනිකරම ආනයනය මතය.

මගේ අදහසේ හැටියට රටකට ක්‍රොම්පදෝරු ධනපති පන්තියට වඩා වැදගත් එරට තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන දේශීය ධනපති පන්තියයි. අපේ පවුල ඊට අයිති විය. එනිසාය අප සම්ප්‍රදායිකව යූ ඇන් පී කාරයින් වූයේ.

යූ. එන්. පි.ය මේ දෙකොටසම සමතුලිතව නියෝජනය කළේය. උපරිපථනය නොසළකා හැරියොත් යූ එන් පිය තුළ කොතළාවලලා ජයවර්ධනලා හා පසුව රනිල් වික්‍රමසිංහ නියෝජනය කළේ ක්‍රොම්ප්‍රදෝරු ධනපති පංතියයි. රනිල්ට කෙළ වීමට එක හේතුවක්ද වූයේ එවිට දේශීය ධනපති පන්තිය (ඒ වන විට නිදහස් ආර්ථිකය පිළිගෙන සිටි) පොදු පෙරමුණ හා එක් වීමය. යූ. එන්. පි.ය තුළ දේශීය ධනපති පන්තියේ නියෝජිතයන් වූයේ සේනානායකලා හා පසුව රණසිංහ ප්‍රේමදාස, ඔහුගේ පුතු සජිත් හා කරු ජයසූරියයි.

මිලින්ද මොරගොඩ අයත් වන්නේ මින් කුමන කොටසටදැයි තීරණය කරන්ට කෙස් පළාගන්ට අවශ්‍ය නොවේ. කවරදා හෝ විකිලීක්ස් හි අසංගයා විසින් මෙරට ඇමෙරිකානු තානාපති විසින් තම රටට යවන ලද කේබල් එකක් ප්‍රසිද්ධ කරනු ලැබුවොත් එය මෙසේ විය හැකිය සිතමි.

C O N F I D E N T I A L SECTION 01 OF 04 COLOMBO 000909 SIPDIS DEPARTMENT FOR SA, SA/INS, S/P, IO, INR/NESA; NSC FOR E.MILLARD LONDON FOR POL/RIEDEL E.O. 12958: DECL: 05-29-13TAGS: PREL PGOV PINR CE UNSUBJECT: Sri Lanka’s foreign policy: Prime Ministertilts toward U.S., but faces resistance Refs: Colombo 873, and previous (U) Classified by Ambassador. Reasons: 1.5 (b,d).

SUMMARY: More than Peiris’, Moragoda’s direct focus has been on cultivating relations with the U.S. and with India. Re the U.S., the intelligent, articulate Moragoda is a perfect fit. Born in Washington, D.C, he is a dual national American citizen (please protect) married to an American, with plenty of Washington connections, many from his days as a visiting fellow at the Heritage Foundation and at Harvard. A “big picture” person, Moragoda is also highly aware that the U.S. is the most powerful country in the world, and he feels that it is better that Sri Lanka recognize that fact and work within it.

දිවා ආහරය අතරතුර මම පුරුදු ලෙස රූපවාහිනිය නාළිකාවෙන් නාළිකාවට මාරු කළෙමි. හැම නාළිකාවෙකම වාගේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණේ ඊයේ සන්ධ්‍යා භාගයෙහි අහවර වූ රනිල් වික්‍රමසිංහගේ ආදාහනෝත්සවයේ දර්ශනය.

මා සිරස තෝරා ගත්තේ අහම්බයෙන් සාසනයා ඇස ගැසුණු හෙයිනි. නිදහස් චතුරශ්‍රයේ සිට ඔහු නියම ‘මළගෙදර’ ටයිප් වොයිස් කට් එකක්, ඇදලා පැදලා දෙමින් සිටියේ රනිල් වික්‍රමසිංහ උපන්දා සිට දන්නා අඳුනන බොක්කක් විදියටය. ඒ අහු අස්සේ ඔහු මැඩම්ට දාන්ට පුළුවන් බවුන්සර් සියල්ලම දැම්මේය.

“…අප අතරින්… දින කිහිපයකට පෙර වෙන්වුණු… මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා… අපේ රට ජාතිය නංවන්න… තමන්ගෙ මුළු ජීවිතයම… කැපකළ නායකයෙක්. (සාටකයෙන් කට පිස දා ගනියි) විශේෂයෙන්ම කියන්ට ඕනැ… දේශපාලනේට ඇවිදින්… රටට වැඩ කරනවා වෙනුවට… තමන්ගෙ පවුලට වැඩ කර ගන්නා …නායක නායිකාවන් වැඩි වශයෙන් ඉන්නා මේ රටේ… (සාටකයෙන් කට පිස දා ගනියි)…රනිල් වික්‍රමසිංහ මැතිතුමා… තමන්ගේ පවුල නැංවීම ගැන… මොහොතකටවත් කල්පනා නොකර… තමන්ගේ සම්පූර්ණ කාලය… රට නැංවීම සඳහා යෙදුවා.තමන්ගෙන් පස්සෙ නායකත්වයට… තමන්ගෙ දරුවෙක් හදල තියන්ට… කවදාවත් එතුමාට… ඕනැකමක් වුණේ නැහැ…”

සාසනයා තව මොන මොනවාදෝ කී නමුත් මට ඒවා නොඇසුනේ එකපාරට හිනා ගොස් කටේ තිබුණු බත් කට ඉස්මොල්ලෙ ගිය නිසාය. මේ රනිල් වික්‍රමසිංහ ගුණ කථනයක් නොව අනාගත ජනාධිපතිකමට තම පුත් විමුක්ති පුරුදු පුහුණු කරන්ට මැඩම් ගන්නා උත්සාහයට එල්ල කළ ඩිරෙක්ට් හින්ට් එකකි.

සාසනයා මේ සියල්ල කියන්නේද ‘මං සුදනා’ ටෝන් එකෙනි. ඔය කියන සාසනයාම කවදා හරි තැනකට ආවොත් දරුවන් විතරක් නොව දැනට ඇමෙරිකාවේ ඉන්නා අයියලා මල්ලිලා රොත්ත බුරුත්තම මෙහි ගෙනත් දමා,  පසුව පොදු පෙරමුණට එක්වූ අපට තියා, ඩෙංගු සිරිසේනයාට හෝ බාල පැට්රලයාට වත් ඔළුව උස්සන්ට බැරි විදියට පවුල් පාලනයක් ගෙන යනු ඇති බවට මට ඕනෑම මොහොතක රෙඩ් ලේබල් බෝතයලක් ඔට්ටු ඇල්ලිය හැකි තරමට ෂුවර්ය.

ඒ පැත්තත් මේ පැත්තත් බේරාගෙන සිරසට ‘අනුශාසනා වොයිස් කට් එකක්’ කළ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ දසවන පරාක්‍රමබාහු රජතුමා වෙන්ට තරම් හැකියාව හා වාසනා ගුණ මහිමය තිබුණු කෙනෙක් බවටත්, කොටි ත්‍රස්තයින් විසින් කළ මේ තුච්ඡ අපරාධය නිසා එය වැලැකුණු බවත් කීවෝය. අපි නොදන්න පරාක්‍රමබාහු! රනිල් වික්‍රමසිංහට පරාක්‍රමබාහු වෙන්ට පුළුවන් නම් මට දුටුගැමුණු වෙන්ටත් පිළිවන!

ජවිපෙ වෙනුවෙන් කථාකළ විමල් වීරවංශ ප්‍රතිපත්ති අතින් තමන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ එකඟ නොවූවත් එතුමා අවංක නායකයකු බව කීවේය. ඔහුගේ විනාඩි තුනේ වොයිස් කට් එකේ වැඩි කාලයක් වෙන් වුණේ මේ අපරාධය කළ කොටි ත්‍රස්තයින් හෙළා දකින්ටත් එය කළ හැකි නිවැරදි නායකත්වයක් අප වහ වහා පත් කර ගත යුතු බැව් කියන්ටත්ය. මේ ඝාතනය හෙළා දකින්ට එක්සත් ජාතීන්ගේ මහාලේකම් බැංකි මූන් මෙතරම් ප්‍රමාද ඔහුද සුදු කොටියෙක් නිසාදැයි වීරවංශ ප්‍රශ්න කළේය.

මම නාළිකා මාරු කළෙමි. අයි. ටී. එන්. එකේ තිබුණේ ඊයේ රාත්‍රියෙහි දොරමඬලාවේ නැවත විකාශයකි.

“…දැන් බලන්ඩ හසන්ත මහත්තයෝ, අපේ ඇඟේ මයිල් කෙළින් වෙන්නෙ නැද්ද මේවා අහන කොට. මේ රටේ ලීලාවතී රැජිනගෙන් පස්සෙ අපට ආඩම්බර වෙන්ට පුළුවන් රැජිනක් නේද මෙ බිහිවෙලා ඉන්නෙ..?”

මම නැවත සිරසට මාරු කළෙමි.

අවසානයේ සිරස චිතකයට ගිනි අවුළන දර්ශන ප්‍රදර්ශනය කළේය. රනිල්ගේම අන්තිම කැමැත්තට අනුව, මේ කාර්යයේ නිරත වූයේ බෑනාවරුන් දෙදෙනකු නොව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වූ සාගල රත්නායක හා අකිල විරාජ් කාරියවසම්ය.

“…මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි…”

යුදහමුදා තූර්යවාදක කණ්ඩායම නිකුත්කළ ශෝකී ගී රාවය කෙමෙන් මැකී ගියේ සිරස කැමරාව චිතකයේ සිට දූර දර්ශනයකට ක්‍රමයෙන් යොමු වූ බැවිනි.

මා අහර ගෙන අවසාන වනවාත් සමඟම ලිපිගොණු දහයක් විතර ඔසවාගෙන කාමරයට ඇතුළු වූයේ අමාත්‍යාංශ ලේකම්ය.

“It is a really strange world…” ඔහුව කතාවට අල්ලා ගැනීමේ අරමුණින් මම කීමි. “Who would think Ranil will die so soon? I thought one day he would become the President…even at the age of 90 years!”

“It is strange…”  ඔහු එකඟ විය. “Who would have thought a black could rule USA? Now it seems inevitable. Hilary Clinton has officially given up yesterday. Now nobody can stop this guy Obama…”

(ඉවසන්න…………………….සමනළයා නැවත පියා සලන තුරු )

Advertisements
Leave a comment

19 Comments

  1. කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාසත් චන්ද්‍රිකා මැතිණියගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින්ද? 😉

    අපේ විශ්වයේත් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ගාමිණී අතුකෝරාල, ලක්ෂ්මන් කදිරගාමර් වැනි අයගේ මරණයන් ඉන් පසුව ලාංකීය දේශපාලනයේ සුදුවූ සිදුවූම් වැලම ප්‍රබලව වෙනස් කරන්නට ඇත. (මේ කිසිදු චරිතයක් සුපිරි චරිතයක් බව අදහස් නොකරමි) ඔවුන් ජීවත්ව සිටියානම් මහින්ද, රනිල් වැනි චරිත මෙතරම් ඉහල නොම එන්නට බෙහෙවින් ඉඩ තිබිනි.

    Reply
    • /කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාසත් චන්ද්‍රිකා මැතිණියගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින්ද?/

      කරු ජයසුරිය ගියා. සජිත් නෑ.

      – ලේඛක

      Reply
    • වෙන්න පුලුවන් මචන් රනිල් මහින්ද උඩට නොඵන්න තිබුනා.
      නමුත් ගාමිනීලා ලලිත්ලා හිටියත් රටට වෙන්නේ මේටිකමයි.ඔන්නම් මීටවඩා දශමයක් හොදවෙයි.

      Reply
      • /නමුත් ගාමිනීලා ලලිත්ලා හිටියත් රටට වෙන්නේ මේටිකමයි.ඔන්නම් මීටවඩා දශමයක් හොදවෙයි./

        කරුමෙට මේ සමාන්තර විශ්වයෙත් දෙන්නාම මැරුණා. (කාල වකවාණු නම් පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා.) නැත්නම් මේක ඇත්තද බොරුද කියලා බලා ගන්න තිබුණා.

        – ලේඛක

      • ලංකාවට අද තියෙන්නේ නායකත්ව ප්‍රශ්ණයක් තමයි.හැබැයි ඒ ලලිත්ලා, ගාමීණීලා නැති එක නෙමයි. රටේ නායකත්වය ගන්න හිටිය (දේශපාලන වශයෙන් විතරක් නෙමයි) හැකියාව තිබුන තරුණ පිරිස 70 දීත් 87,89 අවුරුද්දු වල රටට අහිමි වීම. සමහර විට අද අපි දකින පිස්සු කෙලින්නෝ බහුතරය බවට පත් වෙන්නේ ඒ රික්තකය නිසා.

      • ඒකට නම් එකඟ වෙන්න බෑ. මොකද ඔය 70-71 හා 88-89 කාලෙ ඉතුරු වෙච්ච පිරිසකුත් ඉන්නවනෙ. 1971 දි වික්ටර් අයිවන්. ලොකු අතුල, උයන්ගොඩ, සුනන්ද දේශප්‍රිය….. 88-89 දි සෝමවංශ, ටිල්වින්, විමල් වීරවංශ, චම්පික රණවක, අතුරලියේ රතන, විජිත හේරත්, නිහාල් ගලප්පත්ති….

        මේ කිසිම කෙනෙක් මේ වනතුරුම කිසිම කැපී පෙනෙන නායකත්ව හැකියාවක් පෙන්නල නෑනෙ. (එක්තරා දුරකට චම්පික හැර)

        – ලේඛක

      • //නමුත් ගාමිනීලා ලලිත්ලා හිටියත් රටට වෙන්නේ මේටිකමයි

        අනිවාර්යෙන්ම. “මේ කිසිදු චරිතයක් සුපිරි චරිතයක් බව අදහස් නොකරමි” කියල සඳහන් කලේ ඒ නිසා.

        නමුත් දන්නා තරමින් ඉහත සඳහන් මළගිය ප්‍රාණකාරයන් කිසි කෙනෙකුට සාසනයාට මෙන් මොංගල් පුත්‍ර රත්නයන්ගෙන් “මදි නොකියන්න තුනක්ම!” සහ නොම්බර එකේ අයිය-මලෝ සැට් එකක් සහිත සාගත ඥාති සනුහරයක් නොසිටීමම යාන්තම් හෝ සහනයක් විය හැකි බවයි මගේ උපකල්පනය.

      • මගුලක් කතා කරනවා… දියසේන කුමාරයා පහල වෙලා ඉන්න වෙලේ.. කශ්ටිය එක්ක.. සමාන්තර විෂ්වයේ එයා නැද්ද….?

    • @lekhakaya

      [ඒකට නම් එකඟ වෙන්න බෑ. මොකද ඔය 70-71 හා 88-89 කාලෙ ඉතුරු වෙච්ච පිරිසකුත් ඉන්නවනෙ. 1971 දි වික්ටර් අයිවන්. ලොකු අතුල, උයන්ගොඩ, සුනන්ද දේශප්‍රිය….. 88-89 දි සෝමවංශ, ටිල්වින්, විමල් වීරවංශ, චම්පික රණවක, අතුරලියේ රතන, විජිත හේරත්, නිහාල් ගලප්පත්ති….]

      පිලිගන්න අමාරුයි නේද?
      වික්ටර් අයිවන්ලා,සුනන්දලා නෑවතුනේ NGOපිලේය ඵනම් නිල CIAනොවන පිලේය.ඔවුන්ගේ ජාතික දේශපාලනය ඵතනින් අහවරය.
      සෝමවශ ටිල්වින් ගලප්පත්ති තම මතය වෙනුවෙන් නොසෑලී සිටියත් බහුතර ජනතාව තමන් වෙත කෑදවාගන්නට අසමත් නේද?
      සෝමවoශ ටිල්වින් ගලප්පත්ති වෑනි අතලොස්සක් ඉතුරූ උනාට, බුද්දිමත් තරුණපරපුරේ සාතිශ්‍ය බහුතරය මළ උන් අතරට යෑවුනා.ඉතුරු උනු ටිකදෙනා ගේම මෑනේජ්කරගෙන යම් දුරකට පෑමිනියත් ඵතනින් ඵහාට යාමට බෑරිඋනේ විජේවීරලා ගමනායකලා DMආනන්දලගේ වටිනාකම පසක්කරමින් නේද?අනික විජේවිරගේ නයකත්ව හෑකියාවයි සෝමවoශගෙ නායකත්ව හෑකියාවයි අමු වෙනස්නේ.
      විශේශයෙන්ම ගමනායකලා,DMආනන්දලා සිටිතෑනට පසුකාලීනව පෑමිනි ව්මල් වීරවශ,නන්දන ගුණතිලක වගේ බඩු කරපු වෑඩ නිසා ජවිපෙ රටතුල ගොඩනගෑගෙන තිබූ කීර්තිය සෑහෙන දුරකට නෑතිකලා කියන්නපුලුවන්.මම හිතන්නෙ ජනතාව ඵතෑන සිට තමයි ජවිපෙ සමග පෙලගෑහෙන්න පසුබටවෙන්නේ.

      චම්පික ගන්න.අපි චම්පිකගේ නායකත්ව හෑකියවේ හොදකම් නිසා ඉහින් කනින් දාඩිය බේරමින් සිටිමු.

      මේ අතරේ ජනතාව මොට්ටකරන්න සෑම ආණ්ඩුවකම නායකයන් ලොකු වෑඩපිලිවෙලක් අරන්ගියා.සි0හල රජබස කිරීම,පාසල් පෙලපොතෙන් ඉතිහාසය අයින්කිරීමේ පටන් රූපවාහිනියේ යන කාටුන් ඵකේ ටෙලිනට්‍ය වෙනකන්ම මිනිස්සුන්ගේ සිතීමේ හෑකියාව මොට්ටකලා කියලයි පේන්නේ.
      අන්තීමේදී හොද ජනතානියෝජිතයෙකුට වඩා ලොකුම රෑවුල තියන,වෑඩියෙන්ම කුනුහරුප කියන,වෑඩිම කුඩු ප්‍රමානය විකුනන ලොකුම මස්ගොබතියන මන්ත්‍රීකෙනෙක් තේරීම දක්වාම ජනතාව පල්ලම් බෑස්ස නිසා හොද මිනිස්සුන්ට රටේ දේශපාලන තලය තුල ඉඩක් නෑතිඋනා කියලයි පේන්න තියෙන්නේ.

      Reply
  2. එජාපයේ ඇත්ත ඇති සැටියෙන්ම ලියා ඇත. සමාන්තර විශ්වය කේස් එක නිසා වැඩේ අවුල් සහගත වූවත්. එක දෙයක් මග හැරි ඇති බව පෙනේ. ඇත්ත සාගලලා, අකිලලා චිතකයට ගිනි අවුලා දර සෑයට පැනීමට පවා ඉඩ ඇත. දේශපාළන ළෝකයේ නරි මුත්තාටත් (OLD FOX) වඩා තෙම්පරාදු, සාසනයා ඇමරිකන් ඔත්තු සේවයත් සාක්කුවේ දමාගෙන අවසානය. හිලරි ක්ලින්ටන් නටන්නේද සාසනයාගේ පදයටය. එබැවින් මිලින්ද නායකත්වයට පත්වීමකට වඩා සාසනයාගේ ආශීර්වාදය ලද්දෙකු (දයාසිරි වුව) පත්විය හැක. මන්ද මිලින්ද කොම්ප්‍රදෝරු පන්තියට අයත් වූවකු යන්න මගේ මතයයි. කාළ පරතරය් වෙනස් වී තව වසර දෙක තුනකින් මරණය සිඳු වුවහොත. සාසනයගේ කැමැත්ත නොලැබූවද. නායකත්ව පුණුව ලබන රුවන් විජේවර්ධන නායකත්වයට පත්වීම කිසි කෙනෙකුට වැලැක්විය නොහැක.

    Reply
    • “”රුවන් විජේවර්ධන නායකත්වයට පත්වීම කිසි කෙනෙකුට වැලැක්විය නොහැක.””

      රනිල් ගොයියා කොහෙමෙන් කොහොම හරි අල්ලන් ඉල්ලනේ බෑණා [?] පොඩ්ඩ වෙනුවෙන්නේ.

      Reply
  3. DDT

     /  August 20, 2012

    සමහර අවමංගල ගුණකථන අහනකොට ඉතිං මේ විශ්වයෙ ඉන්න අපිටත් හිනා කාල මැරෙනව. සමහරක්ව සියවසේ ලොකුම විහිළු.
    අර සාගලයි අකිලයි චිතකය දල්වන්න දමපු එක ටිකක් වැරදි වගේ. ඇත්තටම මෙහේ තවම ජීවත් වෙන එතුමගෙ අන්තිම කැමැත්තෙත් එහෙම තියෙනවද කවුද දන්නෙ.

    Reply
    • ඒ විශ්වයටත් මේ විශ්වයටත් පොදු දේවල් ඕනැ තරම් තියෙන්න පුළුවන්.

      – ලේඛක

      Reply
  4. “…දැන් බලන්ඩ හසන්ත මහත්තයෝ, අපේ ඇඟේ මයිල් කෙළින් වෙන්නෙ නැද්ද මේවා අහන කොට. මේ රටේ ලීලාවතී රැජිනගෙන් පස්සෙ අපට ආඩම්බර වෙන්ට පුළුවන් රැජිනක් නේද මෙ බිහිවෙලා ඉන්නෙ..?”

    හිනාව ඉස්මොල්ලෙ ගියා.. හම්මෝ..!!

    Reply
  5. ranwala

     /  August 20, 2012

    මිලින්ද මොරගොඩ ඩලස් අලහප්පෙරුම වගේ චරිත සමාන්තර විශ්වයේදීත් බැටළු හම් පොරවා ගත් වෘකයෝ නේද !

    Reply
  6. සමාන්තර විශ්වයේදීත් ලයිට් කපනවද දන්නෑ. උදේ මේක කියවන්න කොටම ලයිට් ගියා. මෙහේ 2001 දි ආණ්ඩුව පෙරලුනෙත් ලයිට් කපන්න ගිහිල්ලනේ

    Reply
  7. නිම් හිම් හෙව්වා මා සසරේ

    found it at last..
    ultimate modern Sinhala novel…

    Reply
  8. එජාපය ගැන සාලිය බන්ඩාරගෙ මතය ලේඛකයගෙ මතයම කියල විශ්වාස කලොත් ඔබ නිවැරදිවම කියවීම කරල තියනව. ඒ වගේම මිලින්ද මොරගොඩ ගැන ඇති කියැවීම අති විශිෂ්ටයි. කියන්න දේවල් බොහෙමයක් තිබුනත් දැනට ඇති‍. පරක්කුත් වෙලානෙ 🙂

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: