(13) ‘සාසනයා’ ජනාධිපති වෙයි || ‘Sasanaya’ becomes President

  • කාලය: 2016, සමාන්තර විශ්වය
  • ස්ථානය: හම්බන්තොට දිස්ත්‍රික්කය, ලංකාව

**********(‘සාසනයා’ කියන කතාව)**********

අද අතිශයින් සතුටු දවසකි. ඒ මට ලංකාවේ ජනාධිපතිකම ලැබුණු නිසාය.

“අපටත් දවසක හඳ පායනවා. එදාට අපි මල් පැණියෙන් නානවා!” ලුණු ඇටයක් එක්ක හොඳ කිතුල් රා කට්ටක් ගසා, පැරණි රසාංගයක් ගයමින් ගෙදර වටේ වයිපරයත් එක්ක නට නටා යන්ට හිතෙයි.

රකී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ…
සිතේ ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ
ඒ තුමා, ඒ තුමා, ඒ තුමා වෙතේ…

දන්න වංහුං අප කන්දසාමි රාජ දුරයේ
රාජ දුර රාජ දුර රාජ දුරයේ…..

මම ජ්‍යෝතිෂය විශ්වාස කරමි. හඳහනේ රාජ යෝග තිබේ නම් ඒවා වළක්වන්ට බැරිය. එසේම මම බුද්ධාගම විශ්වාස කරමි. හොඳට හෝ නරකට කර්මයක් ඵල දෙන්ට තියේ නම් එයද වළක්වන්ට බැරිය. මේ මාගේ රාජ යෝගයයි. පුර්වයෙහි කරන ලද පින් ඵල දෙන කාලයයි.

රනිලා මළ එකත් මගේ ජයග්‍රහණයට අනියමින් බල පෑවේය. ලොකු වැඩකාරයකු නොවුණත් රනිලා හිටියා නම් යූ. එන්. පී. එක ඔය තරමටම චාටර් වන්නේ නැතිය සිතමි. අනෙක මැඩම් අනාගත්තා වැඩිය. නියපොත්තෙන් කඩා ගන්ට තිබුණු කන්‍යාරත්නගේ ප්‍රශ්නය බඳු ඒවා පොරොවෙන් කපන තරමට ලොකු වුණේ එනිසාය.

ජනාධිපති වෙනකොට මගේ වයස අවුරුදු 71ක් බව මහාවංශ ඉතිහාසඥයින් ලියනු ඇත්තේය. ඒකට කමක් නැත. ජේ. ආර්. පප්පා ජනාධිපති වුණේ ඊටත් එහා පැත්තේදී, එනම් වයස අවුරුදු 72 දීය. එයාට හොඳ නම් මට නරක ඇයි? වැදගත් දේ මේ පුටුවේ වාඩි වෙන එකය. ඒක අවුරුදු හතළිහේදී කළත් එකය. හැත්තෑවේදී කළත් එකය. මැරෙන්ට දවසකට හරි කලින් කළත් එකය.

අනෙක ජේ. ආර්. පප්පාගේ මෙන් තවම මගේ කොණ්ඩය සුදු වෙලාත් නැත. දැන් නාඹර ගැටිස්සියක්ව සිටින චම්පකගේ දුවත් මට කියන්නේ ‘සීයා’ කියලා නොව ‘අංකල්’ කියලාය. (තව ටික දවසකින් ‘අයියා’ කියා ගන්ටත් ෆුල් ට්‍රයි එකක් දෙමි. හිහි හිහි හිහි මගෙත් නාකි මනමාල කං!) ජේ. ආර්. පප්පා මෙන් නොව මට තවම ගෝල්ෆේස් එක වටේ රවුමක් (මුළු ගෝල්ෆේස් එක වටේම නොවේ – හෝටලේ ඉස්සරහ හරියේ) දුවන්ටත් පුළුවන. එතකොට හෝටලයේ නතර වී ඉන්නා සුද්දියෝත් Usain Bolt දෙස බලන්නාක් සේ මා දෙස බලති. මිනිසකු වයස යන්නේ ශරීරයෙන් නොව මනසින්ය. හිතින් අවුරුදු දහ අටක් නම් ගතින්ද අවුරුදු දහ අටකි. එනයින් මා මේ රටේ බිහි වූ තරුණම ජනාධිපතිවරයාය සිතමි. මට තරම් නැවුම්, තරුණ අදහස් මින් පෙර මේ පුටුවේ හිඳගත් කිසිවකුට හෝ නොවීය සිතමි.

මගේ ජයග්‍රහණය මට වැදගත්ය. ඒ එතැනට එන්ට රෝස මල් ඇතිරූ මාවතක් නොවූ නිසාය. මා එතැනට ආ මාර්ගය ගල්ලෑල්ලක් හා හෝඩි පොතක් අතින් ගෙන පයට සෙරෙප්පුවක්වත් නැතිව, වැටෙන කලිසම ඉඳහිට ඔසවා ගනිමින්, ගමේ පාසලට යන්ට තිබුණු, හෙන්දිරික්කා කැලෑව මැදින් වැටුණු අඩිපාරටත් වඩා දුෂ්කර එකකි. එහි සමතුලිතතාව රැකගෙන ඉදිරියට යෑම හන්දා ඇළේ ඒදණ්ඩෙන් එගොඩ වනවාටත් වඩා අසීරු කාර්යයක් වූ බව මතකයි.

මට ලොකුම අභියෝගය එල්ල වූයේ බණ්ඩාරනායකලාගෙනි. මේකුන් නම් මාව කන්ටම උපන් ජාතියකි. හොඳ වෙලාවට දෙවියන් වහන්සේ කිසිම කෙනකු හෝ පවුලක් සර්ව සම්පූර්ණ නොකරන්නේය. ධනය, බලය ආදී අනෙක් සියළුම දේවල් වලින් අඩුවක් නැතිව මවා තිබුණද, දෙවියන් වහන්සේ බණ්ඩාරනායකලාට (හා රත්වත්තෙලාට) දුන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා මොළයකි. මේ නිසා මුං හැරෙණ කොට එන්නේ කොයි පොල් පැළේ කන්ට දැයි මට හිතා ගන්ට පුළුවන් විය.

මුලින්ම මා සෙට් වුණේ ‘ඔටුන්න හිමි කුමාරයා’ එක්කය. ඌ නම් අම්බ ගොනෙකි. මේකාගේ ගොන් කං ගැන අමාරුවකින් තොරව වෙළුම් දොළහක පොතක් ලිවිය හැකිය.

චිත්තරපටි කිහිපයක කොල්ලාගේ චරිතය රඟපා නමක් දිනාගෙන සිටි, රතු පොත්තත්, ක්‍රේල් කොණ්ඩයත් ඇරුණාම වෙන මෙලෝ මළ දානයක් නැති විජේ මල්ලීව පක්ෂයට ගෙන ‘මිනිහෙක්’ කරලා ගත්තේ ඔටුන්න හිමි කුමාරයාය. ඒ පෞද්ගලික උදව් වලට හිලව් වශයෙනි. විජේ මල්ලී කළ පෞද්ගලික උදව්ව කුමාරයාට ටෙම්පරරි බඩු සෙට් කර දෙන එකය. වෙනත් වචනයකින් කිව්වොත් පිම්පිකමය. එහෙව් විජේ මල්ලී අන්තිමේදී කුමාරයාගේ අක්කාටම සෙට් විය. නිකං සෙට් වුණා නොව පවුල් දෙක අතර වූ පන්ති පරතරය (ධනහිමි පන්තියට එරෙහිව නිර්ධන පන්තිය);  ආගම් පරතරය (බෞද්ධාගමට එරෙහිව කතෝලික ආගම); කුල පරතරය (ගොවිගම රදළ කුලයට එරෙහිව දුරාව) ආදී සියළු බාධක මැද බැඳ ගත්තේය. අනේ දෙවියනේ මට වුණු වියෝයා – අක්කව මගේ පිම්පියා ගෙන ගියෝයා! දැන් ඉතින් කුමාරයා වහ කාපිය!

විජේ මල්ලීත් අක්කව බැඳගෙන නිකං හිටියේ නැත. ඉත්තෑවාගේ ගෙදරට වන් කබැල්ලෑවා සේ ඔටුන්න හිමි කුමාරයා ටිකෙන් ටික එළියට තල්ලු කළේය. එය තවත් පහසු වූයේ ජේ. ආර්. පප්පාටත් කර ගන්ට ඕනෑ වූයේ ඒ ටිකම නිසාය. ජේ. ආර්. පප්පා ඉඳලා හිටලා සීනිබෝලයක් දෙකක් කුමාරයා දිහාවට වීසි කළේය. මේ ගොන් නාම්බාත් පැණගෙන ගොහින් එව්වා ගත්තේය. අන්තිමට ‘දොහ්’ ගාලා එළියට වැටෙන කල් මෙලෝ හසරක් දැන සිටියේ නැත. පස්සේ බීලා බීලා මළාය. පව්!

බණ්ඩාරනායක/රත්වත්තේ පවුල් වලින් යම් පමණෙකට හෝ මොළයක් තිබුණු එකම එක්කෙනා මැඩම්ය. ඒ නම් දෙවියන් වහන්සේටත් මොළේ පොඩ්ඩක් අඩු කරන්ට මිස් වුණු කේස් එකකි. නැත්නම් අවුරුදු විසි දෙකක් තිස්සේ මාත් පැත්තකින් සිටියදී එහෙම අල්ලාගැනීමක් අල්ලාගෙන හිටින්නේ නැත.

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය!

මම ඉවසුවෙමි. අවුරුදු විසි දෙකකට පසුව හෝ මේ පුටුවේ වාඩි වෙන්ට මට ඉඩ ලැබුණේ එනිසාය.

ඉක්මණින්ම කළ යුතු වැඩ ගණනාවක් තිබේ.

  1. ලංකාවේ දේශපාලනයේ කැතම සංසිද්ධියක් වන්නේ පවුල්වාදයයි. දේශපාලනයට පිවිස ඇති සමහර පවුල් අති විශාලය. උදාරණයක් හැටියට ‘සවුක්කියාගේ’ පවුල පඩි පේළියක් වගේ දොළොස් දෙනෙකි. මා දිනපතාම, දවසක් වරද්දන්නේ නැතුව, උදේට ඇඟ බස්සවා ගන්ට එක්සසයිස් මැසිමට ගොඩ වෙන්නාක් මෙන් සවුක්කියාගේ තාත්තා හැමදාම රෑට ඒකාගේ අම්මගේ ඇඳට ගොඩ වුණාක් සේ පෙනේ. තාත්තලා මෙහෙම ලාබෙට එක්සසයිස් මැසින් ගත්තාම ඒකට විඳවන්න වෙන්නේ ඊළඟ පරම්පරාවලටය. සවුක්කියාට හෙම තැනක් ලැබුණොත් මේකා මුළු අමාත්‍යාංශයක්ම පවුලේ ඥාතීන්ගෙන් රන් කරනවා ඇත. අමාත්‍යාංශ ලේකම් අයියා, අතිරේක ලේකම් මල්ලී, අමාත්‍යාංශ රියැදුරු නංගි බැඳපු එකාගේ නැන්දගේ පුතා ආදී වශයෙනි.  එනිසා වහාම ලංකා දේශපාලනය තුළ පවුල්වාදය පැතිරීම නතර කළ යුතුය. එය දැනට ඇමෙරිකාවේ ඉන්නා පොඩි මල්ලීට ගෙන්නා ගෙන භාර දෙන්ට හැකි රාජකාරියකි.
  2. ඊළඟට ලොකු මල්ලීත් අනිවාර්යයෙන්ම ගෙන්නා ගත යුතුයි. (මිනිහට නම් ලංකාව අමතක වෙලත් ඇති. ඇයි දෙයියනේ අන්තිමට ආවේ හිරුණිකා දුමින්ද බැන්ද කාලෙ නෙවැ!) ලොකු මල්ලි ඕනෑ මළ වදයක් වී තිබෙන කොටි රැළට ගේම දෙන්ටය. මිනිසුන් ඉන්නේ තරහෙනි. මේ ප්‍රශ්නය මෙහෙම දිගට ගෙනිච්චොත් ආයෙත් 1993දි වගේම ජාතිවාදී කලබල ඇතිවන්ට පිළිවන. මට බලයක් තිබුණා නම් ඕකුන්ට කරන දේ දනිමි. නමුත් මැඩම්ට එවැනි පිට කොන්දක් නොතිබුණේය. ඇය මාරුවෙන් මාරුවට ඇමෙරිකාවටත් ඉන්දියාවටත් නැවුණාය. ඕවා ඔහොම කළ හැකි වැඩ නොවේ. අපට මොටද අපි දසසිල් උපාසක – ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට! ඉබ්බන්ගේ කටුව පැත්තෙන් පුච්චා වැඩක් නැත. ලොකු මල්ලී ඒක බලා ගනීය මම සිතමි. සරත් ෆොන්සේකාත් හිටියා නම් හොඳයි. මිනිහා දක්ෂයා. නැති එකේ මොනවා කරන්ටද?
  3. බුද්ධ ශාසන අමාත්‍යාංශය නම වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර දැමිය යුතුය. මැඩම් ඔය බඩු කුඩුත්තුව මට දුන්නේ ආදරයකට නොව මූ පීචං පොරක් කියා රට්ටුන්ට පෙන්නන්ටය. එයා හිතුවේ මා දමලා ගහලා යයි කියලාය. ඒව කොහෙද! බුද්ධ ශාසනය නංවන්ට මට වැඩි දෙයක් කරන්ට නොතිබුණේ දේවානම් පිය තිස්සලා, දුටුගැමුණුලා, මහා පරාක්‍රමබාහුලා, විජයබාහුලා මදි නැතුව මට කලින් කරන්ට පුළුවන් හරිය කරලා තිබුණු නිසාය. (නැතුව මා රුවන්වැලි සෑය තනන්ටයැ!) ඉතින් මම එසේ ඉතුරුවුණු වෙලාව මගේ ප්‍රොපගැන්ඩා වලට පාවිච්චි කළෙමි. හැම පන්සලකටම පරිගණක දී පන්සල් ජාලයක් ගොඩ නඟා ගතිමි. පන්සල් හරහා මට ජනතා සහයෝගය ලැබුණේ කළුතර බෝධියේ පිං පෙට්ටියට කාසි වැටෙන්නාක් සේය. මා මැඩම්ට කළ දේ වෙනත් කිසිවකු විසින් මට කරන්ට ඉඩ නොතැබිය යුතුය. අනෙක දෙවන පෙළ නායකයින්ට වැඩකට නැති අමාත්‍යාංශ දීම වැරදි ප්‍රතිපත්තියකි. උන්ට දිය යුත්තේ මොකක් කළත් හොඳක් අහන්ඩ බැරි ජන දිවියට තීරණාත්මක අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා එකා හැම දාම ඩෙංගු නිසා බැනුම් අහයි. නියඟය ඇතිවන වාරයක් වාරයක් පාසා, ලයිට් කපද්දී, මහ ජනතාව විදුලිබල ඇමැතිගේ මෑණියන් වහන්සේ මතක් කරති. ලෝක වෙළඳපළේ බොරතෙල් බැරල් මිළ ඉහළ යන වාර ගණන පහළ යන වාර ගණනට වඩා ඉතා වැඩි හෙයින් ඛනිජතෙල් භාර ඇමැතියා හැමදාම අඳුරේය. ඔක්කෝටම වඩා හොඳ අධ්‍යාපනයයි. විභාග ප්‍රශ්න පත්තරයක ඇලපිල්ලක් අඩු වුණත් ඇමැති බැනුම් අහයි. Z ස්කෝර් තියෙන කල් හැමදාම වලිය. මම ෂේප්ය. මගේ දෙවන පෙළ තරගකාරයින්ට දිය යුත්තේ මේ වගේ අමාත්‍යාංශය. එයින් වාසි දෙකකි. උන් සේරම බලා ඉඳිද්දී ජනප්‍රියතාවයෙන් වැටෙන අතර මගේ ජනප්‍රියතාවය ඉබේම ඉහළ යයි. මොන ආතල්ද? බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබුණත් දිය යුත්තේ ඔය රිෂාද් බදුද්දීන් වගේ මිනිහෙකුටය. ඒකා බෞද්ධයෙක්ද කියලා අපේ හාමුදුරුවෝ ඇහුවොත්, ඉතින් මොකෑ? ධීවර ඇමැති මාළුවෙක්යැ? ආරක්ෂක ඇමැති සිකියුරිටි කාරයෙක්යැ? කියා පෙරළා ප්‍රශ්න කරන්ට පුළුවන.
  4. පුතාලා තුන් දෙනාට හා වයිපරේටත් මොනවා මොනවා හෝ ඉක්මණින් සෙට් කර දිය යුතුය. ඒ සියල්ලන්ටම විඳවන්ට වුනේ මට මේ ඉලව්ව හම්බවෙන එක ප්‍රමාද වුණු නිසාය. ලොකු පුතාගේ නම් අදහස තිබුණේ රූපවාහිනී ස්පෝර්ට්ස් නෙට්වර්ක් එකක් දාගෙන රෑට රෑට කොළඹ හා මහනුවර කාර් රේස් තියන්ටය. කොළඹ කෙසේ වෙතත් නුවර ඕවා තියන්ට මහනායක හාමුදුරුවරු ඉඩ දෙයිද සැකය. හරි, නුදුන්නොත් ඒක ඒ වෙලාවට බලාගනිමුකෝ. දෙවෙනියාට නේවි එකට යන්ට බැරි වුණේ මැඩම් කොක්ක ඇද්ද හන්දාය. තුන්වැනියා අභ්‍යවකාශගාමියකු වෙන එක නම් මැඩම්ට නතර කරන්ට පුළුවන්කම ලැබුණේ නැත. මිනිහා ලබන අවුරුද්දේ රුසියානු යානයක අඟහරු වෙත යන්ට ලෑස්ති වෙයි. ඕකා මෙච්චර කල් කරපු දේවල් වල හැටියට අඟහරු ගෑනියෙක් එල්ලගෙන නාවොත් ඇති. වයිපරේගේ පවුලටත් මොකක් හෝ කරන්ට ඕනෑය. එයාගේ අර එම්බාම් මූණ තියෙන අයියාට ශ්‍රී ලංකන් එයා ලයින්ස් බාර දෙන්ට පුළුවන. එතකොට වත් ඒ අහිංසකයාට ජීවිතකාලයක් තිස්සේ බලාගෙන ඉන්නා රොලෙක්ස් ඔරලෝසුව ගන්ට පුළුවන් වෙයි. හැබැයි ඔය මනුස්සයාට ඒක හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්ටවත් පුළුවන්ද කියලා නම් මට සැකයි.
  5. වෙන කාට නැති වුණත් ස්වාසිලන්තයේ රජාට රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට ආරාධනා කළ යුතුයි. එතෙකොට ඔහුද මට ආරාධනා කරනු ඇත. යායුත්තේ අනිවාර්යයෙනම් ඔහු නව බිසවුන් තෝරන උත්සවයටය. උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා!
  6. ජුලම්පිටියේ අමරේ මතක ඇතිව ඉතාලියේ තානාපති කරන්ට ඕනෑය. ඉතාලියට යන එක ඒ කාලේ ඕකාගේ හීනයක් විය. බෝට්ටුවේ ඉතාලියට යන්ට පට්ට චාන්ස් එකක් හම්බවෙලාත් මූ නොගියේ මගේ වැඩ කිහිපයක් කර දෙන්ටය. හැබැයි මට මූ ලොකුම උදව්ව කර දුන්නේ වික්ටර් හරහාය. වික්ටර් මුගෙන් වැඩ ගන්ට ගිහින් අල කර ගත්තේ නැත්නම් මට කවදාවත් මෙතෙන්ට එන්ට ලැබෙන්නේ නැත. මැඩම් ගේ බිඳ වැටීම පටන් ගත්තේ වික්ටර් අල කර ගත් තැනින්ය. හැබෑටම වික්ටර්ගේ පුතාට මොකද වුණේ? ඒ සිද්දියෙන් පස්සේ ඌ ගැන කිසිම ආරංචියක් නැත. වික්ටර්ගේ මරණ ගෙදරදි හම්බ වුණත් වැඩි විස්තරයක් කතාකර ගන්ට බැරිවිය. ඌ ගැන හොයන්ට ඕනෑය.
  7. මතකම නැතිවුණා, රට දියුණු කරන්ටත් මොනවා මොනවා හරි කරන්ට ඕනෑය. නැත්නම්  මට ඡන්දය දුන් මිනිස්සුලාට පව්.

දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය අගැමැතිකම කාට දෙන්ටද කියලාය. එය ලැබිය යුත්තේ හීනෙකින්වත් මට ගේම දෙන්ට බැරි පොරකටය. මෑතක් වනතුරු මේක මට ලොකු ගැටළුවක් නොවුණේ අවුරුදු දෙක තුනක් තිස්සේ නවලෝකයේ ස්ථිර පදිංචිකාරයකු වුවත්, මගේ විශ්වාසය දිනාගත් දිමු සීයා නිසාය. ඒත් හරියටම මාසෙකට කලින් මූත් මට නාක්කලේට වගේ වල කජ්ජ ගැහුවාය. සවුක්කියාට හෝ බාල පැට්රලයාට අගැමැතිකම දෙනවා කියන්නේ කේස්ය. ඕනැ නැති ප්‍රශ්න හදා ගන්ට ඕනෑම නැත.

එතකොට ඉතුරු වෙන්නේ බන්දු-බණ්ඩා ඩබලය. Z ස්කෝර් එකක් වත් හරියට හදා ගන්ට බැරි මුන් දෙන්නාට නම් මේක දෙන්ට කිසිම බයක් නැත. ඒත් දෙන්නාගෙන් කවුද හොඳ? දෙන්නාම එක වගේය. අයියා හා මල්ලී වාගේ. කොයිකා හොඳද තෝරන්නේ කොහොමද?

හෙට මම කාසියක් උඩ දා බලමි. නැතිනම් ඔන්නොහෙ අද්දියාපනය වගේ දෙන්නාටම බෙදාගෙන කන්ට දෙමි.

.

(ඉවසන්න…………..සමනළයා නැවත පියා සලන තෙක්)

Advertisements
Leave a comment

21 Comments

  1. “”හෙට මම කාසියක් උඩ දා බලමි. නැතිනම් ඔන්නොහෙ අද්දියාපනය වගේ දෙන්නාටම බෙදාගෙන කන්ට දෙමි.”” HA HA 😀

    Reply
  2. ප: ලි:
    අර අගමැති තෝරන එක ඒ විදියට කරන එක අසාධාරණ බව මල්ලිලා කීවේය. එබැවින් ඇස් ඇම් ඇස් (SMS) මගින් එය ජනතාවට තීරණය කිරීම සඳහා, “අගමැති ස්ටාර්” නමින් තරඟයක් පැවැත්වීමට තීරණය කළෙමි. මෙහි නිවේදක කටයුතු හෙළයේ මහා කළා කරු ජැක්සන් ඇන්තනී වෙත පිරිනමන අතර, ගුන දොස් කීම සඳහා, මහනායක හිමිවරුන් පත්කරමි. මේ පිළිබඳ ප්‍රචාරණයේදී පහත සඳහන් වැකි ප්‍රචාරය කිරීම අනිවාර්යය.

    * පවුලේ අයට වූවද මේ සඳහා ඉදිරිපත් විය හැක.
    * දහවන ස්ථානය දක්වා ජයග්‍රහණය කරණා අයට සැනසිලි තෑගී වශයෙන් ජනාධිපති උපදේශක කම් පිරිනමනු ලැබේ.

    Reply
  3. විමුක්තිට මොකද වුනේ?

    Reply
    • තාම දන්නෙ නැතෝ!

      (පස්සෙ ආරංචි වෙයි සමහර විට!)

      – ලේඛක

      Reply
  4. මදැයි මොරගොඩ ජනාධිපති වෙනකං හිටියා. සමාන්තර මෙව්වා එකේවත් යූඑන්පි ආණ්ඩුවක් එන්නේ නෑ වගේ

    රිෂාද් බදුද්දීන්ට දෙන්න ඕනේ අධිකරණ ඇමතිකම. මිනිහ ගාණට හදල ගනියි

    කලින් එක ලව් ස්ටොරියක් අද කොම්ඩියක්. අංක දාලා ලියපු ටිකට තාමත් හිනා

    Reply
  5. මුල ඉඳන්ම කියවීම කෙසේ වෙතත් . . එක එක වෙන වෙනම කියවලාත් උපරිම රසය විඳින්න (ලංකීය දේසපාලනයේ කුනු රසය) පුලුවන් විදිහට ලියලා තියෙන හැටි නම් අපූරුයි . .. .

    Reply
  6. හෙට මම කාසියක් උඩ දා බලමි. නැතිනම් ඔන්නොහෙ අද්දියාපනය වගේ දෙන්නාටම බෙදාගෙන කන්ට දෙමි.. . . he he he

    Reply
  7. Kenji @ Japan

     /  August 24, 2012

    බඩ අල්ලාගෙන කියෙඋව්වෙමි.මේවා ඇත්තට වෙලා තියනවා කියල මතකයක් නැත.ඇත්තටම කවද හරි මේ “අය්ශ්චර්යය” දකින්න ලැබෙයිද?නොම්බර 5 ඉක්මනින් උදවෙව්වා [සසනයාට] කියල පතමි!

    Reply
  8. ranwala

     /  August 24, 2012

    සිවු මහ බඹුන් උන් විවරණින් අපටත් රජෙක් උරුමව ඇතේ…
    සමාන්තර මෙව්වා එකෙත් සහේලි නංගිය මේක ගායනා කරාද ?

    Reply
    • දන්නෙ නෑ. තාම දෙරණ එක් සේසත් කළේ නෑ නෙවැ!

      – ලේඛක

      Reply
  9. DDT

     /  August 24, 2012

    // ‘සාසනයා’ ජනාධිපති වෙයි //

    හෆ්ෆා …. ඇති යාන්තම්, දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. 😀

    සමාන්තර ලෝකෙක වුනත් මේක දේශද්‍රෝහී ලිවිලක්නේ. අර ඒ ලෝකෙ තායිලන්ත රජ්ජුරුවොන්ගෙ ෆොටෝ එකක් ද දාල තියෙන්නෙ, වයස 71 දි නෙවෙයි 171 දි වත් ශාසනය නම් ඒ වගේ වෙනකක් නෑ.

    Reply
  10. kathandarakaraya

     /  August 24, 2012

    සමාන්තර ලෝකේ දී මෙයාව අවුරුදු 11කට පස්සේ උපදින්න සෙට් කලානම් ඔය වයස කේස් එක නෑනේ. හරියට අර චරියාව ජූලි කලබල මැදින් යවන්න 1983 පස්සට සෙට් කල වගේ!

    Reply
  11. භාෂා ස්වරූපය අතිශය ගැලරිමය ආකාරයකට පත්වී තිබේ.. ඒකත් හොඳා..!!

    Reply
  12. //මතකම නැතිවුණා, රට දියුණු කරන්ටත් මොනවා මොනවා හරි කරන්ට ඕනෑය. නැත්නම් මට ඡන්දය දුන් මිනිස්සුලාට පව්.//

    අන්තිමට හරි සාසනයාට මේක මතක් වුන එක ලොකු දෙයක්ය.

    භාෂා විලාසය සාසනයාගේ චරිතයට ගලපා ගත් ආකාරය නම් මැනවිය.

    අමරේ වික්ටර් ට කරදුන් වැඩේ මොකක්ද යන කුතුහලය සිත පෙලයි.

    Reply
  13. අනේ දෙවියනේ මට වුණු වියෝයා – අක්කව මගේ පිම්පියා ගෙන ගියෝයා! දැන් ඉතින් කුමාරයා වහ කාපිය!

    😀 😀 😀

    Reply
  14. ඔබ ඇඟිල්ල දික්කළ යුතු නියම ස්ථාන කිහිපයක් මතුකර හාස්‍යයට ලක්කර තිබෙනවා. ඔබ මෙහි ලියුවත්, අප කියැවූවත්, එවැනි දෙයක් ඇත්තවශයෙන් ම සිදුවූවත් අපට පුදුම වෙන්න දෙයක් නැති වේ ය කියා සිතෙනවා.

    Reply
  15. පවු අපේ ඇමති තුමන්ලාට ටිකට.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: