(14) උගනිව්, නැත පිටවෙව් || Learn or Depart || Disce aut Discede

  • කාලය: 1997, සමාන්තර විශ්වය
  • ස්ථානය: රාජකීය විද්‍යාලය, කොළඹ

**********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )**********

අපට තර්ස්ටන් පාර හෝ රාජකීය මාවත දෙකින්ම එළියට එන්ට පිළිවන. අප්පච්චි කී නිසා මම රාජකීය මාවතෙන් එළියට ආවෙමි. රත්නායක අන්කල්ට ගේට්ටුවට කිට්ටුම වෙන්ට බැරි වුණොත් නව රඟහල ගේට්ටුවට නුදුරින් කාර් එක නවත්වා ගෙන ඉන්ට වන බව ඔහු දිගින් දිගටම කීවේ මා වරද්දා ගනී සිතා විය යුතුය.

“So, how do you go?” තිසර ඇසුවේය.

මම ඒ වන විටත් අප්පච්චිගේ ස්ටේෂන් වැගන් එක නෝට් කර ගෙන අහවරය. මම ඊට ඇඟිල්ල දිගු කළෙමි.

“How do you go…?”

“School bus…” ඔහු රීඩ් මාවත දෙසට අත දිගු කළේය.

“Can I drop you somewhere…?”

මා ඇසූයේ මේ වන විට තව මිනිත්තු කිහිපයක් හෝ එකට ඉන්ට ඕනෑය කියා හැඟීමක් ඇතිවන තරමට මිත්‍රත්වයක් අප අතර ඒ වන විට ඇති වී තිබුණු නිසාය. මා යන්නේ දෙල්කඳට පමණක් බව මම දැන සිටියෙමි. ඔහු කොතැනක යන්නේද, දෙල්කඳ ඇත්තේ ඒ පැත්තේමද යන කාරණා ගැන මට කිසිදු අවබෝධයක් නොවීය. රත්නායක අංකල් කොළඹ ගැන සියල්ල දනිතැයි මම උපකල්පනය කළෙමි.

තිසර මොහොතක් කල්පනා කළේය.

“No. It is easy for me to take the bus. My friends are waiting. See you tomorrow…”

“See you. Don’t forget ‘The Red Sea Sharks’…”

“No, I won’t. Bye, you lucky guy…”

ඔහු මට ‘Lucky Guy’ කීම ගැන මට මුලින් ඇතිවූයේ ආඩම්බරයකි. එහෙත් ඊළඟ මොහොතේදී මේ හැඟීම මතක නැතිවීමෙකින් අව්වේ තබන ලද ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එකක් සේ දියවී ගියේය. ඔහු පාසල් බස් රථයෙන් ගෙදර යයි. දහදිය පෙරාගෙන, අතර මඟදී සගයින් සමඟ පොරකා, දඟ කොට ඇඳුම් කිලිටි කරගෙන විය යුතුය. එහෙත් ඒ දහදිය සෝදා, නාවා අළුත් ඇඳුම් අන්දවන්ට ඔහුට අම්මෙක් සිටියි. මම දහදිය පෙරා ගැනීමෙකින් ඇඳුම් කිලිටි කර ගැනීමෙකින් තොරව කාර් එකේ සුව පහසුව නිවෙසට යමි. මගේ ඇඳුම් මාරු කරන්ට, මට බත් එකක් උයා දෙන්ට අම්මෙක් බලා නොසිටින්නීය. රත්නායක අංකල් ගෙදර යන ගමන් මැක්ඩොනල්ඩ්ස් එකෙන් Happy Meal එකක් අරගෙන දුන්නත් මට එය කන්ට වෙන්නේ තනිවය. රෑට ඔහු මට තවත් බත් පාර්සලයක් ගෙනෙනු ඇත. අප්පච්චි කීයට ඒද මම නොදිනිමි. නාවත් මට පාන්යැ!

ඔහු කවරදාවත් මගේ ඉස්කෝලෙ වැඩක් ගැන නොසොයයි. නමුත් ඉල්ලන මුදලක් වේද මොහොතක පමාවෙකින් තොරව, කිසිම ප්‍රශ්නයක් නොනඟා දෙයි. එසේ වුවත් මා ඔහුගෙන් මුදලක් ඉල්ලන්නේ ඉතාම කලාතුරෙකිනි. මගේ මිතුරන් බොහෝ දෙනකු අත මා අත ගැවසෙනවාට වඩා පොකට් මනි ගැවසෙයි.

ට්‍රිනිටියේ සිටියදී එක දවසක අප හැම දෙනාටම පොපි මලක් ගැනීමට රුපියල් පහක් ගේන්ට කිව්වේය. මා සාමාන්‍යයෙන් මෙවැනි දේවල් කියන්නේ අප්සරා ආන්ටිටය. නමුත් කවර හෝ හේතුවක් නිසා – සමහරවිට එදාම හවස අප්පච්චි ආ නිසා – මට මෙය ඔහුට කියන්ට සිත්විය. මම ගණන නොකියා සල්ලි අවශ්‍ය කවර කාරණයකටදැයි විස්තර කළෙමි.

“How much you need..?” ඔහු ඇසුවේය.

“Five…” මම දකුණතේ අත්ළ විදහා දැක්වූයෙමි.

අප්පච්චි කතාවක් නැතුව පර්ස් එක ඇද සීයේ කොළ පහක් මට ගණන් කර දුන්නේය. මම ඔහුට වැරදුණු එක ගැන හොඳටම සිනා වී ඔහුගෙන් රුපියල් පහේ කාසියක් ඉල්ලා ගත්තෙමි.

අද හවස ‘Five Go to Mystery Moor’ කියවන්ට තියේ. මා නතර කළේ ජෝර්ජ්ට හෙන්රියාටා හමු වූ තැනිනි. හෙන්රියාටාද ජෝර්ජ් සේම ‘ටොම් බෝයි’ කෙනෙකි. එනම් කොල්ලකු සේ පෙනී සිටින්ට වඩා කැමැති වූ කෙල්ලකි. කෙල්ලන් කියන්නේත් මාර ජාතියකි. පුදුම පිස්සුය තියෙන්නේ. පොත ඉස්කෝලේදී කියවන්ට හිතාගෙන හිටියත් අළුත් යාළුවන්, විශේෂයෙන්ම තිසර හා චැටක් දාගෙන හිටි නිසා බැරි විය. රෑ වන විට පිටු විස්සක් තිහක් වත් ඉවර කළ යුතුයි.

අද රාජකීය විද්‍යාලයේ මගේ පළමු දිනයයි.

මා හොස්ටල් එකේ නතර කරන්ට අප්පච්චි දැනටමත් කටයුතු යොදා අවසන්ය. ඒ වනතුරු දින දෙක තුනක් දෙල්කඳ නිවසෙහි නතර වෙන්ට සිදුවූයේ ඇඳුම් පැලැඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර යනාදිය පිළියෙළ කොට ගත යුතු වූ නිසාය. මා කොළඹ එන බව අප්පච්චි රත්නායක අංකල්ට කියා තිබුණේ අවසාන මොහොතෙහි නිසා මේ කිසිවක් පිළියෙළ කර දෙන්ට ඔහුට වෙලාවක් නොවීය.

අළුත් කමිසයක් හා කලිසමක් අප්සරා ආන්ටි මට අඳින්ට නොදී පැත්තක තියාගෙන හිටි එක හොඳට ගියේය. නැත්නම් පළමුවැනි දවසේත් මට අඳින්ට වන්නේ පරණ ඇඳුම්ය. කොළඹ එන ගමනේ අපි බාටා සපත්තු කුට්ටමක්ද (තවමත් ඊට කකුල කැපෙයි.) මේස් කුට්ටම් කිහිපයක්ද, පාසල් බෑගයක්ද, එක්සසයිස් පොත්, පෑන් පැන්සල්ද මිළට ගතිමු.

ශිෂ්‍යත්වයේ ලකුණු මත අප රාජකීය විද්‍යාලයට ඇතුළු කරන ලද හෙයින් මට හය වසරට එකතු වෙන්ට හැකිවූයේ වසර පටන් ගෙන මාස දෙකකට පමණ පසුය.

අළුතින් ආ බොහෝ ළමයි පන්ති භාර සේනාරත්න මිස්ට බුලත් දී වැන්දෝය. ඇය ඒ බුලත් අත් මේසය මත ගොඩ ගැසුවාය. මා අත බුලත් අතක් නොවීය. මා ඇයට වැන්දේ නිකම්ය. ඇය නොපෙන්නුවත් එතැන ලොකු අඩුවක් විනිය මගේ පුංචි සිතට හිතුණේය.

ළමුන් සමඟ ආ අම්මලා තාත්තලාද මිස්ට කරදර වෙන තරමටම බොහෝ දේ ගැන කතා කරනවා පෙණිනි. අප්පච්චි නම් ඇය සමඟ වචනයක් වත් කතා කළේ නැත. මා ඇයට වැන්දායින් පසුව, යන්තමට ඇය හා සිනා වී දොරින් අතුරුදහන් විය.

මට හිඳ ගන්ට ලැබුණේ මැද පේළියේ කොණේ පුටුවකි. එහා පැත්තේ හුන් ළමයා කලිසමේ කක්කා කරගෙන වගේ බැරෑරුම් මූණක් හදාගෙන හිටියේය. ඔහුගේ ඔළුවේ ආලේප කොට තිබුණු පොල්තෙල් කණ දෙපසින් බේරුණේය. කලිසමද තරමට වඩා ලොකු බව පැහැදිළිවම පෙණුනේය. මම ඔහු සමඟ සිනා වූයෙමි. ඔහු සිනා නොවීය. හිනාවෙන්ට වත් දන්නෙ නැති ළමයෙක්.

“ඔයා කොහෙන්ද…?” මම ඔහුගෙන් සිංහලෙන් ඇසුවෙමි.

“මොකක්?”

“ඔයා මොන ඉස්කෝලෙන්ද ආවෙ…”

“රෝයල් එකෙන්, පොළොන්නරුවෙ…” පොළොන්නරුවෙත් රෝයල් එකක් තිබුණු බව මම දැන නොසිටියෙමි.

“ඔයා…?”

“මම ට්‍රිනිටි එකෙන්…”

“ඒ කොහේද…?” යම් යම් දේවල් නොදන්නේ මා පමණක් නොවන බව අවබෝධ වී මට සතුටක් ඇතිවිය.

“නුවර…”

“නුවර මං අහල තිබුණෙ ධර්මරාජෙ ගැන විතරයි…”

“නෑ නුවර තව ගොඩාක් ඉස්කෝල තියෙනව…”

එක දවසකට ඕනෑවට වඩා වැඩිය කතා කළාය සිතුණු නිසාදෝ අපි දෙදෙනාම ගොළු වීමු.

සේනාරත්න මිස්ගෙන් පසුව ‘විද්‍යාව’ පීරියඩ් එකට පන්තියට ආවේ වීරසූරිය සර්ය හෙවත් (මා පසුව දැනගත් පරිදි ) ‘ජංගල් මූන්’ය. ඔහු ‘ජංගල් මූන්’ (මේ අපේ පරම්පරාවේ රාජකීයයන් ‘කැලෑ හඳ’ ඉංගිරිසියට හරවා ගත සැටිය!) වුණේ ඔළුව වටේට කොණ්ඩය තිබුණත් හිස මැද වූ තට්ටය නිසාය. ඔහු පොටෑසියම් ප’මැන්ගනේට් රත් කරන පරීක්ෂණයක් විස්තර කළේ පන්තියේ අළුත් ළමයි කිහිප දෙනෙක් ඉන්නේය යන වග මොහොතකට හෝ නොසලකමිනි. පරීක්ෂණයේ ඇටැවුම ඇඳ ගන්ට අඩි රූලක් ඕනෑය. මා සතුව රූලක් හෝ කව කටු පෙට්ටියක් නොවීය. මගේ පොළොන්නරුවේ යාළුවාද පුරුදු කක්කා-බර මූණ දාගෙන හිටියේය. ඔහු ළඟද කවකටු පෙට්ටියක් නැති බවට සැක නැත.

මගේ දකුණු අතේ උල් යමක් ඇනෙන බව දැනුණු හෙයින් මම ඒ පැත්ත බැලුවෙමි.

“Take this…” දකුණු අත පැත්තෙ පේළියේ කොණේ හුන් ළමයා විහිත චතුරශ්‍රයක් මවෙත දිගු කළේය. ඒ මා ඔහු දුටු මුල් වතාවය.

චබී ඇඟ හා මුහුණ! ඉත්තෑ කූරු කොණ්ඩය!

මා UP සිතුවම් පටය බැළුවේ මින් බොහෝ කාලයකටය පසුවයි. කාල් ෆෙඩ්රික්සන්ගේ නිවසෙහි දොරට තට්ටු කරන බාලදක්ෂයා – රසල් – දුටු විට මට එක වර සිනා පහළ විය. ඉතා සුළු වෙනස්කම් කිහිපයක් ඇතිව ඒ මා පළමුවරට ‘තිසර’ දුටු අයුරුමයි.

මම විහිත චතුරශ්‍රයෙන් වැඩ ගෙන අහවර කොට පොළොන්නරුවේ යාළුවාටද දුනිමි.

විද්‍යාව පීරියඩ් එකෙන් පසුව තිබුණේ විවේක කාලයයි.

ට්‍රිනිටි එකට යද්දී නම් අප්සරා ආන්ටි මට හැමදාම බටර් හෝ ජෑම් ගා සැන්ඩ්විචස් කිහිපයක් පෙට්ටියකට දමා දෙයි. හැමදාම මේ පෙට්ටියේ සැන්ඩ්විච් එකක් හෝ ඉතිරි වෙයි. ඒ කොයි තරම් කිව්වත් ඇය සැන්ඩ්විචස් ගණන අඩු නොකළ නිසාය. මට කන්ට බැරි තරම් සැන්ඩ්විචස් ප්‍රමාණයක් තනා දීම ඇයට ජයග්‍රහණයක් විය. ඒත් අද මට විවේක කාලයේදී කන්ට යමක් නොතිබුණේය. කන්ට තියා තිබහට බොන්ට වතුර ටිකක් වත් නොවීය. ඉතින් මට පාන්යැ! දවල්ට කනතුරු බඩගින්නේ සිටිමි.

මගේ අළුත් යාළුවා ‘රසල්‘ නැවත මා සමඟ සිනහ විය.

“Hi. My name is Thisara. What’s your name..?”

“I am Charith Kalinga Bandara…” කවුරුන් හෝ ඇසුවොත් සම්පූර්ණ නම කිව යුතුය කියා අප්සරා ආන්ටි කියා දී තිබුණු නිසා මම පිළිතුරු දුන්නෙමි.

“Where are you from..?”

“I am from Trinity in Kandy…”

“Yes, I know. Went for last Bradby shield with thattha…”

කවුරුන් හෝ ට්‍රිනිටි එක ගැන දැන සිටීය කියා මට ඇතිවූයේ සතුටෙකි.

“You have anything to eat..?”

මම හිස සැළුවෙමි.

“Lets go to canteen. I have enough to buy something for us…”

බොහෝ වාරයක් නැවත මතක් කොට ඇති හෙයින් මේ කැන්ටීන් ගමනේ ඉතාම සුළු දත්ත පවා මට මතකය. තිසර මැෂිමක් මෙන් කථා කළේය. මා යමක් එක් කළේ ඔහු ඇසූ විට පමණෙකි. ඔහුගේ පියා වෛද්‍යවරයකු බවත්, කලින් බැංකුවක සේවය කළ අම්මා දැන් රැකියාවක් නොකරන බවත්, ලොකු අක්කා වෛද්‍ය විද්‍යාලයේ බවත්, පොඩි අක්කා නුගේගොඩ අනුලා විද්‍යාලයේ බවත් ඔහු කීවේය. මට කියන්ට තිබුනේ අප්පච්චි ගැන විතරය. ව්‍යාපාරිකයකු කියනවාට වැඩි යමක් ඔහු ගැන මම දැන නොසිටියෙමි. (ඔහු දේශපාලනයද කළත් අප්පච්චි දේශපාලකයකු සේ හැඳින්වීමට මම අකැමැති වීමි. ඒ සමහරුන් ඊට සිනා වූ නිසාය.)  අප්පච්චි මුද්‍රණාලයක් හා රටේ තැනින් තැන සාප්පු කිහිපයක් පවත්වාගෙන යන බව මා දැන සිටියද, මා ගොස් තිබුණේ මුද්‍රණාලයට පමණය. අම්මාගේ නම් මා දැන සිටියේ ඉස්කෝලය හා විශ්ව විද්‍යාලය විතරය. ඒ අප්සරා ආන්ටිද ඇය සමඟ එකට ඉගෙන ගෙන තිබුණු නිසාය. ඇය කවර හෝ රැකියාවක් කළාද, එසේ නම් ඒ කිමෙක්ද මම දැන නොසිටියෙමි.

තිසරට වැඩිපුරම දැන ගන්ට අවශ්‍යව තිබුණේ මා ළඟ ටින්-ටින් පොත් තියේද යන්නය. ඔහු නොකියවූ ටින්-ටින් පොත් හයක් වූ අතර ඒවා සොයා ගැනීම ඔහුගේ ජීවන ඉලක්කය බවට පත්ව ඇති සෙයක්ය පෙණුනේ. මා ලඟ පෞද්ගලිකව නොවූවත් දිලූෂා හා රිද්මි අක්කලා ළඟ ටින්-ටින් පොත් කිහිපයක් විය. තිසර නොකියැවූ ‘The Blue Lotus’ හා ‘Flight 714’ ඔවුන් ළඟ තිබුණු බැව් මම දැන සිටියෙමි. නුවර ගිය දවසෙක ඒවා ගෙන එන්නෙමැයි මම පොරොන්දු වීමි. ඔහු මා නොකියැවූ ‘The Red Sea Sharks’ පසු දින ගෙනෙන්ට පොරොන්දු විය.

අපි කැන්ටීන් එකෙන් සොසේජ් බන් දෙකක් මිළට ගෙන අහරට ගතිමු.

නැවත පන්තියට නැවත එන විට මගේ පොළොන්නරු යාළුවාගේ කක්කා බරද පහව ගොස් ඇති සෙයක් පෙනෙන්ට තිබුණේය. ඔහුටද තවත් අළුත් යාළුවන් දෙදෙනකු හමු වී තිබිණි. එකකු ඇඹිළිපිටියෙනි. අනෙකා අකුරැස්සෙනි. (‘Birds of a feather flock together’ කියා කියමනක් වේ.) ඔහු මට අළුත් යාළුවන් දෙදෙනා හඳුන්නා දුන්නේය.

මම ඔවුන්ට තිසර හඳුන්නා දීමට නොවෙහෙසුනෙමි. මන්ද මම නොදනිමි. සමහරවිට තිසර මේ තුන්දෙනා සමඟ ‘හුවමාරු කර ගන්ට’ තරම් නොවටනේය මට සිතුණු නිසා විය හැකිය. අනෙක ඔහු මගේ යාළුවෙකි. මගේ යාළුවන් අනෙකුන් සමඟ බෙදා ගන්නේ ඇයි?

අපට අන්තිම පීරියඩ් එකේදී තිබුණේ බුද්ධාගමය. එය ඉගැන්වූයේ විශ්‍රාම යන්ට ආසන්නයේය සිතිය හැකි වයසක මිස් කෙනෙකි. ඇයට බුද්ධාගම උගන්වනවාට වඩා අවශ්‍ය වූයේ පොඩි රෙස්ට් එක ගැනීම බව පෙනුණේය.

“දැන් අළුත් ළමයි ගොඩාක් ඇවිල්ල ඉන්නවනෙ අද පන්තියට. ඔය පරණ ළමයෙක් ඇවිත් ඒ හැමෝටම දැනගන්ට පාසල් ගීතය ලියනවද බෝඩ් එකේ…කෝ, ඔය ළමයා එන්න. ලියන්න පාසල් ගීතය”

ඉදිරියට ආ ළමයෙක් පාසල් ගීතය කළු ලෑල්ලේ ලියන්ට පටන් ගත්තේය. අපි එය පිටපත් කර ගතිමු. මිස් පුටුවට වී දෑස් පියා ගත්තාය.

පුන්සඳේ සිරි දිනූ – ගොන් පුතුන් බිහි කෙරූ…

පන්තියේම සිනා හඬින් කුමක් හෝ වැරදී ඇතැයි ඇයට හැඟෙන්ට ඇත. බෝඩ් එක දෙස බැලූ ඇයටද සිනහ පහළ විය.

“ගොන් පුතුන් තමයි…ගොන් පුතුන්!” ඇය ටොක්කක් අනින්ට යන බව අභිනයෙන් දැක්වූ මුත් ලියමින් සිටි සිසුවාට දඬුවමක් නුදුන්නාය. “කෝ ගිහින් වාඩි වෙනවා, මං ඕක ලියන්න” කියූ ඇය රටහුණු කැබැල්ල ගෙන ‘ගොන් පුතුන්’ මකා ‘රන් පුතුන්’ ලෙස නිවැරදි කළාය.

හෝම්වර්ක් නොවුණු නිසා හවස් වරුව ගත වූයේ ‘Five Go to Mystery Moor’ කියවන්ට හා ටිකක් නිදා ගන්ටය. ඊට අමතරව මම රත්නායක අංකල්ගේ ජංගමය ඉල්ලාගෙන අප්සරා ආන්ටිටත් අක්කලා දෙන්නාටත් කථා කළෙමි. ජයන්ත අන්කල් නම් ගෙදර හිටියේ නැත. තිසර ගැන කියන්ට මට වැඩිපුර ඕනෑ වුණත් ඔවුන්ට අසන්ට ඕනැ වුණේ ඉස්කෝලේ අළුත් විස්තරය. මිස්ලා, පාඩම් වැඩ ආදියයි. අප්සරා ආන්ටි කතා කළේ අමාරුවෙනි. ඇය අතරින් පතර හඬන්නේය මට සිතුණේය. කොහොමටත් අප්සරා ආන්ටි පොඩි දේටත් අඬන කාන්තාවකි. ඇයට තව රිද්දන්ට මට අවශ්‍ය වූයේ නැත. එනිසා මම කෙටියෙන් කතාව නිමා කොට ජංගමය කට් කළෙමි.

අප්පච්චි රෑ වන තුරුම නාවේය. රත්නායක අංකල් මට බත් පාර්සලයක් ගෙනැවිත් තිබුණේය. විවෘත කළ මොහොතේම එහි මට අමුත්තක් දැනුනේය.

“මොනවද මේ…?”

“බීෆ්…”

“මම හරක් මස් කන්නෙ නෑනෙ…”

“කියන්ට එපායැ. මම ගිහින් මාළු එකක් ගේන්ටද?”

“එපා. බඩගිනි නෑ.”

අළුත් ඉස්කෝලයේ පළමුවැනි දවසේ මම හිස් බඩ නින්දට ගියෙමි. ටින්-ටින් සමඟ, ගුවන් යානය ඇද වැටී හිමාලයේ අතුරුදහන් වූ චෑං බේරා ගන්ට යන සිහිනයක් දුටු බවද මතකය. එහෙත් එය ඉවර වෙන්ටත් කලියෙන් පසුදින උදේ වී තිබුණේය.

.

.

(ඉවසන්න……………සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

30 Comments

  1. ඊයේ දවසෙත් 10,15 සැරයක් ඇවිත් බැලුවා,අළුත් කථාවක් දාලද කියලා.
    මං බලන් ඉන්නෙ ඔහේ සාසනයා ජනධිපති වුනේ ජන්දේකින්ද? නැත්නම් ඩී.බී.විජේතුංග උන්නැගේ ක්‍රමයටද? කියලා මොකද පලමු එක වෙන්න තියෙන ඉඩ අඩුයි මැඩම් ඉන්නවනං, ව්‍යවස්ථාව වෙනස් කරගෙන නොවැ ඉන්නේ.දෙවැනි එකත් වෙන්න අමාරුයි අගමැති විදියට කදිර්ගාමර් ඉන්න හින්ද.? දෙන්නටම එක සැරේ කොටි ස්වීප් එක ඇදුවාවත්ද?
    චරියා රෝයල් එකට ආපු හැටි නම් අද කථාවෙන් විසඳුනා.

    Reply
    • ඕවා රාජ්‍ය රහස්!

      හැබැයි සාසනයා පොඩි හින්ට් එකක් දෙනවා නේද කොහොමද වැඩේ වුනේ කියලා.

      “වික්ටර් මුගෙන් වැඩ ගන්ට ගිහින් අල කර ගත්තේ නැත්නම් මට කවදාවත් මෙතෙන්ට එන්ට ලැබෙන්නේ නැත”

      – ලේඛක

      Reply
      • ජූල් පිටියේ අමරේ..?

      • අංජන

         /  August 27, 2012

        අමරෙ පත්තු කරාද සැට් එකටම.

      • අන්න නියම අයිඩියා එකක්. මගේ පාඨකයින්ට මට නැති පරිකල්පන ශක්තියක් ඇතැයි දැන ගැනීම සතුටට කාරණාවක්. (මේක වෙන්න බැරිම නෑ. නේපාලෙ ඔහොම දෙයක් වුණා එක සැරේක. http://news.bbc.co.uk/2/hi/south_asia/1365393.stm)

        – ලේඛක

      • luxlk@email.com

         /  August 27, 2012

        අමරෙ කට්ටියටම පත්තු කරා කියලා හිතන්න අමාරුයි. වික්ටර් මැරිච්ච වෙලාවේ මැඩම් කෝල් කරනවනෙ චරිත් ට. (වැඩේ සෙට් කරලා තියන අතරෙ වික්ටරයට ගේම හම්බවුනා වෙන්න පුලුවන් හැබැයි ) 😀

  2. “”නාවත් මට පාන්යැ!””

    මේ යෙදුම මා වෙන කොහේ හෝ බ්ලොගයක කමෙන්ටුවක් ලෙස කියවා ඇත. මම මේ කම්පොනා කලේ ඒ කොහෙදැයි කියාලා..! [සමාන්තර විශවයක වෙන්ටැ]

    “”ඕනැ නම් බලපුවාවෙ. මට පාන්යැ?”” 😉

    Reply
  3. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේට මම හියෙත් ඔය විදියටමයි.. ඒත් අමම ගියේ ට්‍රිනිටි එකෙන් නෙමෙයි, කැළණියේ ධර්මාළෝකෙන්. ඒ කාළේ ඒකට ප්‍රේමාළෝකේ කියලත් කිව්වා. ඒ උනාට අද වාගේම එදත් රෝයල් ලුක් එක තිබුනා. ඒක මට ගොඩක් වාසි ගෙනත් තියෙන දෙයක්. ඒ වගේම මෙතනදිත් ඒක වාසි උනා. මම ගමේ එකෙක් උනාට, ගමේ උන් මාත් එක්ක කතා කරන්න බය උනා. (කැළණිය කිව්වම සමහර උන් හිතුවේ මහියංගනේටත් එහා කියලා ඒ කාළේ.) අපේ පන්තියේ ගල්කිස්සෙයි කොල්ලුපිටියෙයි තෝර පැටව් ගොඩක් හිටියා. උන් ඔක්කෝම මම එක්ක සෙට් උනා. ඒ උනාට මගේ හොඳම යාළුවා උනේ අධිකාරි (අතුල අධිකාරී) මම හිතාගෙන ඉන්නේ පොතක් ලියන්න ඉස්කෝලේ ගැන. කැන්ටිමේ අල පාන් එහෙම මතකද. කඩලේ ගැන, කටයා (DP) ගැන එහෙම මම ලිව්වා. මේ තරම් සුන්දර කාළයක් ආයෙත් එන එකක් නෑ.

    Reply
    • අදහසක් දුන්නාට ස්තුතියි. ‘කඩලේ’ ඉදිරියට කතාවට ගේන්න පුළුවන් චරිතයක්. කඩලේ ගැන පත්තරේක ගිය ලිපියකුත් මා ගාව තිබුණා කාලයක්. VP නම් ඉතින් වෙන කෙනෙකුට ප්‍රයෝජනයට ගන්න බැරි තරමටම භාවිතා කළානේ සෙල්වදොරෙයි. අනෙක මේ 1997. ලෝකය වෙනස් වෙලා.

      – ලේඛක

      Reply
    • kathandarakaraya

       /  August 27, 2012

      මාතලන් ගේ පොත බැලීමට ආසාවක් ඇතිවිය.
      වෙනත් අයෙකුද පොතක් ලියා ඇත.
      කතෘ-තිලක් චන්ද්‍රසිරි
      පොතේ නම- “උගෙනුව නැත පිටවෙව”

      Reply
      • එහෙනම් ඉස්සෙල්ල එක හොයාගෙන කියවන්න වෙනවා…

  4. මේ ලියන කෙනාත් චරිත් ගේ වයසට ආසන්න කෙනෙක්ද කියල හිතෙන තරමට ඒ කාලේ ළමයි කියවපු ෆෙමස් ෆයිව්, ටින් ටින් පොත් ගැන ලියල තියෙන්නේ !…
    මමත් හයේදී හතේදී ජෝර්ජ් ගේ වික්‍රම ඇතුලත් ෆේමස් ෆයිව් පොත් පන්තියේ වෙලාවලදිත් එක හුස්මට කියෝපු හැටි මතක් උනා 🙂

    හැබැයි හත පාස් උනාට පස්සේ එනිඩ් බල්යිටන් ‘පොඩි වැඩි’ වෙන නිසා මේ චරිත් ෆේමස් ෆයිව් කියවන අන්තිම අවුරුද්ද වෙන්න ඇති!

    Reply
  5. අමිල

     /  August 27, 2012

    රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට මමත් ගියේ ඔය විදියටමයි (ට්‍රිනිටි එකෙන් නම් නෙවෙයි) මගේ පරණ ඉස්කෝලේ නම එකෙක්වත් දැන ගෙන හිටියේ නෑ. 😛 😛 හැබැයි අපරාදේ කියන්න බෑ අලුතෙන් ආව කියල කිසිම වෙනසක් නැතුව මාවත් තමන්ගේම එකෙක් කියල පිලිගන්න පුළුවන් කමක් ඉස්කෝලේ ඉඳපු පරණ එවුන්ට තිබ්බා (මාත් එක්කම ශිෂ්‍යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝල වලට ගිය අයගේ අද්දැකීම සෑහෙන්න වෙනස්) 😀 😀

    Reply
  6. kathandarakaraya

     /  August 27, 2012

    මා මේ කොටස අද උදේම කියෙව්වා.
    මං මෙතෙක් කියවූ කොටස්වලින් කැමතිම පරිච්ඡේදය මෙයයි.
    පොලිටික්ස් නැත.
    අවලාද නැත.
    පැරලල් කතාවලින් ද විමුක්තය.

    මා නම් කොඹල ලොකු ඉස්කෝළෙට ගියේ දහයේ පන්තියට නිසා මෙවැනි අහිංසක කතා නොතිබුණි!

    Reply
    • පොලිටික්ස් හා අවලාද නැති පෝස්ට් එකට හිට්ස් ගණන = 100 නම්
      පොලිටික්ස් හා අවලාද ඇති පෝස්ට් එකට හිට්ස් ගණන = 500

      කකා දන්නවා ඇතිනේ අපට වැඩිය!

      – ලේඛක

      Reply
  7. DDT

     /  August 27, 2012

    ඔන්න අන්තිමේදි ඇවිල්ල ගැහුව ජැක් එක නියම තැනට, රෝයල් කොලේජ් ! මම බ්ලොග් කියවන්ට ඇබ්බැහි උනේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එක නිසා. එයත් වෙලාවකට ගිහින් හේත්තු වෙන්නෙ රෝයල්එකට. ලේඛකයගෙ නොසැලකිය නොහැකි සමානකමක් තියනව වගේ ටැබූට. 😀

    මම ගොඩක්ම කැමතියි ළමයෙක්ගෙ දෘෂ්ඨියෙන් කතාව කියන පොත් කියවන්න. ඒ විදියෙන් නම් මේ පොස්ට් එක නියමයි, තව ටිකක් ලියන්ට තිබ්බෙ.

    Reply
  8. රනිල් වික්‍රමසිංහ සමග ඇති අමනාපකම් පාසල් ගීය හරහා පිට කර ගැනීම නම් සුදුසු නොවේ මිත්‍රයා.

    අනෙක් අතට එස්.ආර්.බීයේ පිටුපස ඇති දෙය නැවත කළු ලෑල්ලේ ලිවීම? ඊටත් වඩා සිංහල ගීතය? Cummon! This is Royal College you’re talking about.

    1997 දී මෙහි නොසිටියාවූ කෙනෙක් හට මගහැරෙන සුන්දර දෑ ඔබටද මගහැරී ඇති සෙයකි. ‘මිල්ක් බාර්’ එක? ‘රූම් මද’ස් බුක් ෂොප්’ එක?

    සුන්දර මතකයන් නැවත අවදිකරවන ලියමනක්. පාන්දර තුනටත් ඇහැරගෙන දාහතර වෙනි පේස්ට් එක කියෙව්වට බිඳක්වත් පාඩුවක් නම් නැත. 🙂

    Reply
    • ඔබ මේ වාක්‍යය නොදැක්කා හැඩයි.

      “ඇයට බුද්ධාගම උගන්වනවාට වඩා අවශ්‍ය වූයේ පොඩි රෙස්ට් එක ගැනීම බව පෙනුණේය.”

      – ලේඛක

      Reply
  9. ~Kasun~

     /  August 28, 2012

    “චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව” සම්පූර්ණ කතාවම එපා කරවයි.. බලෙන් එබුවක්‌ ලෙස දැනේ..

    Reply
  10. Charith M

     /  August 28, 2012

    like the way you described THISARA …he he he..its really cool thanx buddy

    Reply
  11. මං නං ඔන්න අහන්නේ නැහැ අරක වුනේ කොහොමද මේක වුනේ කොහොමද කියලා……………….. කොටින්ම ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා මොකද හත වසරට ගියේ කියලාවත්…………….. මේක මේ සමාන්තර විශ්වයක කථාවක්නේ……………… ඉතිං ඕනෑම දෙයක් වෙන්න පුළුවන්…… !!!

    Reply
  12. හොස්ටල් එකේ නතර වුවද චරියා ඉක්මණින්ම එය එපාවී ආපහු දෙල්කඳ නිවසට යාවි යැයි හිතමි… ඒ පොළොන්නරු යාළුවාගේ ගැන් එක මිස එහි තිසරලා නැති හෙයිනි…

    Reply
  13. Susara

     /  August 30, 2012

    මමත් 1980 පෙබරවාරියේ ඔය අත් දැකීම ඔය විදියටම ලැබුවා. හැබැයි මමත් අයත් උනේ අර පොළොන්නරුවේ ගැන්සියට . මේ සමාජයේ වෙනස් කම් මෙච්චර තියෙනවා කියන එක මුලින්ම ඉගෙනගත්තේ එදා තමයි . මොනතරම් පිටස්තර හැගීමක් තිබුනත් එක වගේ ළමයි කිහිපදෙනෙක් හිටපු නිසා ඊට ඔරොත්තු දෙන්නත් හැඩ ගැහෙන්නටත් පුළුවන් උනා. සර් ජෝන් කොතලාවල මියගිය දවසේ පාසැල නිවාඩු දීල දේහය ප්‍රධාන ශාලාවේ තැන්පත් කරපු එකත් . ජේ ආර් ඉස්කෝලෙට එන හැමදාම පහුවදාට නිවාඩු ලැබීමත් පුංචි අපට ඉස්කෝලෙත් රජවරුත් ගැන මුලින්ම අදහසක් දීපු සිදුවීම් . පස්සේ තව ගොඩක් දේවල් . 80 වර්ජනය නිසා රස්සාව නැති උන ගුරුවරුන්ගේ දරුවන්නත් වෙනස් කම් කරපු ගුරුවරු . ඒ වගේම ඊට හාත්පසින්ම වෙනස් දෙවිවරු වගේ අයත් මුණගැහුන .83 දී දෙමළ යාලුවෝ බොහෝ දෙනෙක් ( ශ්‍යාම් වගේ ) රට හැර ගියා. දළඹුවෙක් සමනලයෙක් වෙලා තටුසලන්න මේ හැම පොඩි දෙයක්මත් හේතු වෙන්න ඇති .
    නොහඳුනන ලේඛකයා සුපුරුදු පාසල් කාලය අපූරුවට මවනවා . සමාන්තර විශ්වයක නිසා දන්නා කෙනෙක් වෙන්න බැහැනේ .

    Reply
  14. මට දැනගත යුත්තේ එකකි.
    සමනලයත් හොස්ටල් එකට මෙහායින් තාප්පය තරණය කර රීඩ් මාවත හරහා ගොස් ඇත්ද, කියායි.

    Reply
  15. මේ කතාව ලස්සනයි . හයේ පන්තියට ලොකු ඉස්කෝලයකට යාම ..හ්ම් අපි කාටත් පොදුයි..අපේ දවස්වල පාසල් වෑන් වල යාමත් ටිකක් සුපිරි වැඩක්. පුද්ගලික වාහන වල යාම ඊටත් වඩා ඉහලයි .

    අපි ස්කුල් බස් වල හරි පාරේ බස් වල හරි දාඩිය පෙරාගෙන හිරවෙලා ගිය අය . එතකොට කාර් වල ගිය ළමයි සැපට ගියත් ඒගොල්ල කැමති වෙන්න ඇති අපි වගේ පොරකාල නැගල කිචි කිචි ගගා බස් වල යන්න . එක අතකට පව් . සැහෙන විනෝදයක් ඒ ළමයින්ට නැති වෙලානේ .

    මට නම් සාසනයගේ කතා වලට වඩා මේක හොඳයි,..මේ කතා නායකයා තුලින් ලේඛකයා ඉස්කෝලේ කාලේ රවුමක් ගහල වගේ .
    මටත් ඔය ඉස්කෝලය එක්ක බැඳීම් තියෙන නිසා ඔන්න අද කමෙන්ටුවකුත් දාලම යනවා .

    Reply
  16. මට මේ ලින්ක් එක හමුවුනේ මගේ බ්ලොග් පෝස්ට් එකෙන්. මමත් දෙල්කඳ සහ රාජකීය. නමුත් 1980 වෙනකොට පාසලෙන් අවුට්.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: