(15) පොලිස් වෙඩි පහරින් පේරාදෙණියේ සරසවි ශිෂ්‍යයකු මරුට || A death at Peradeniya University

  • කාලය: 1976, සමාන්තර විශ්වය
  • ස්ථානය: මධ්‍යම පළාත, ලංකාව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

ඩග්! ඩග්! ඩග්!…!”

“වෙඩි තියනවෝ…”

පොලීසිය වෙඩිතබාවිය කියා කල්පනා කරන්ට අපට කිසිම හේතුවක් නොවීය. වෙනදා මේ වගේ පඩ ෂෝ එකක් කඳුළු ගෑස් වලින් අවසන් වෙයි. අප විසිර යන නිසා උන්ට සන්තෝසය. අරමුණ වෙනුවෙන් කඳුලු ගෑස් පාරක් කෑවාය කියා අපටද අම්බානට සන්තෝසය. Win-Win Situation එකකි.

මේ බැල්ලිගෙ පුත්තු කවර හෝ හේතුවකට එදා අපට වෙඩි තැබුවෝය. මීට වඩා සීරියස් කුණුහරුපයක් මගේ කටට නාවේ KGB (Kandyan-Govigama-Buddhist) පවුල් පසුබිම නිසාම පමණෙකැයි සිතමි.

මේ සිද්ධිය ප්‍රතිනිර්මාණය කරන ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’ සිතුවම් පටය (මතක හැටියට) ඒ සඳහා තෝරාගෙන තිබුණේ ඉංජිනේරු පීඨය පැත්තේ කණ්ඩියකි. සිනමාත්මක හේතූන් නිසා එසේ කළා විය හැකිය. කණ්ඩිය පහළ සිට කැමරාව මෑනුවාම අපූරු රූප රාමුවක් මැවේ. නමුත් සැබෑ ලෝකය එසේ සිනමාත්මක නොවේ. එහි ඇති සුන්දරත්වයක් නැත. අප සිටියේ කණ්ඩියකද නොවීය. පොලිසිය අපට වෙඩි තබන විට අප හිටියේ ගලහ හන්දිය පේනතෙක් මානයේ පරණ ගලහ පාරේය. පෝස්ට් ඔපීසියට පොඩ්ඩක් එහායිනි.

මා සිටියේ ශිෂ්‍ය කණ්ඩායමේ පසුපස කොටසේය. එසේ වන්ට හේතුවක් තිබිණි. සමවාදීන් (යූ. එන්. පී. කාරයින්) වූ අපට මේ සටනට එක් වන්ට පුළුවන් වූයේ අප ආණ්ඩු විරෝධීන් වූ නිසාම පමණෙකි. එසේ නැතිව අපට එහි වැඩි ඉඩක් නොවීය. සටනෙහි පෙරමුණ ගත්තෝ ඒ වන විට ආණ්ඩුවෙන් හැලී සිටි සමසමාජ හා කමියුනිස්ට් පාක්ෂිකයෝය. විරෝධතා සංවිධානය, පෝස්ටර් ගැසීම ආදී සියළු බරපැණ උන් ගෙනි. අපෙන් සයිඩ් සපෝට් එකක් විතරය. හැබැයි මේ මෝලුන්ගේ ගොන්කම කෙතෙක්ද කියතොත් මුන් මුළු වැර යොදා පාර තනමින් සිටියේ අපටය.

“දුවපිය පරයිනේ මුන් පිස්සු බල්ලො වගේ වෙඩි තියනවා…”

ඉදිරියේ වූ නාඳුනනන්නකු සාමුහික අවවාදයක් /අණ කිරීමක් කළේය.

මා හැරි දුවන්ට වෑයම් කළ මුත්, පය පැකිළී උඩු බැලි අතට වැටුණේය. කිහිප දෙනෙක් මා පාගාගෙන දිව ගියහ. එකකු අඩිය තැබූයේ මගේ යටි බඩට හෙයින් මොහොතකට හුස්ම හිරවිය.

උඩු බැලි අතට වැටී සිටි තත්පර කිහිපය තුළ මගේ මතකයන් දෙකකි.

පළමුවැන්න එකකට පසු එකක් කිට්ටුවෙන් ඇසුණු වෙඩි හඬ කිහිපයයි.

දෙවැන්න මගේ දර්ශනපථය සිසාරා ඉගිළ ගිය කහ පැහැති සමනළයාය.

කවුරුන් හෝ පෑගූ මගේ උදරය තවම වේදනාත්මකය. මේ ඒ ගැන සිතන්ට වෙලාවක් නොවේ. මම මොහොතෙකින් නැඟී සිට ගාල කැඩුණු හරක් රැළක් සේ දිවයන සිසු පිරිසට එක්වීමි. මේ එල්ලයක් නැතිව දිව ගිය ගමනෙකි. අප කොටසක් නතර වූයේ එහා පැත්තේ වෛද්‍ය පීඨයේ ගොඩනැඟිල්ලක් අසළය. ‘අප’ කිව්වාට මේ මගේ කණ්ඩායම නොවේ. උන් කොහි දිව ගියේද මම නොදනිමි. මේ කොහෙද යන වම්මුන් රැළකි. අවස්ථාවේ අවශ්‍යතාවය විසින් අප එක පත කන සහෝදරයින් බවට පත් කොට තිබේ.

“අධිරාජ්‍යවාදී මුරබල්ලෝ…”

“පාලක පන්තියේ කටුකන පන්ති විරෝධී ජඩයෝ…”

“පරයෝ…පක්කලියෝ…අවස්ථාවාදියෝ…”

“අටපාස් ප්‍රතිගාමියෝ…”

මේ කාල් මාක්ස් මහාචාර්යතුමා විසින් සංස්කරණය කරන ලද, මා පරිහරණය කොට නැති, ශබ්ද කෝෂයක කුණුහරුප බවට මට අවබෝධ වූයේ ටික වේලාවකට පසුවයි. දැන් කුණුහරුපවලින් බැණ ඵලක් නොවේ. කාට හෝ වෙඩි වැදුනාද සොයා ගත යුතුය. සමහර විට මුන් අප එළවන්ට අහසට වෙඩි තියන්ට ඇත. වැරදිලාවත් කවරකුට හෝ වෙඩි වැදී ඇති නම් රෝහලකට ගෙන යන්ට කටයුතු කළ යුතුය.

මගේ නව සහෝදරයින්ට ‘විප්ලවය ඉදිරියට ගෙන යෑමේ වගකීම’ තම ඇද වැටුණු සගයින්ට මක් වීද සොයා බැලීමේ වගකීමට වඩා වැදගත් වූ හෙයින් වෙඩි තැබීමේ ප්‍රතිඵල මට දැන ගන්ට ලැබුණේ තවත් බොහෝ වේලාවකට පසුවයි. ශිෂ්‍යයින් පස් හය දෙනකුටම වෙඩි වැදී තිබේ. ඉන් තිදෙනකුට අසාධ්‍යය. කටකථාව එකකු නම් දැනටමත් මළ බවයි. පොලීසිය විසින් තුවාලකරුවන් මහනුවර රෝහල වෙත ගෙන ගොස් තිබේ.

පැයක් දෙකක් අවිනිශ්චිතව ගෙවී ගියේය. පිහියෙකින් කපන්ට තරමට දැඩි වූ පීඩක සිතිවිලි මම විස්තර කරන්ට නොයමි. වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නායකයකු වූ රෝහණ වීරසූරිය නියත වශයෙන්ම මිය ගිය බැව් අප දැන ගත්තේ දොළහයි හතළිස්පහේ ගුවන් විදිලි ප්‍රවෘත්ති වලටය.

ආණ්ඩුවට නිසැකවම මේ පුවත යට ගැසීමට ඕනෑ වෙන්ට ඇත. නමුත් මේ සංක්‍රාන්ති සමයේ හැම රජයේ ආයතනයකම යූ. එන්. පි. යට හිතැති පොඩ්ඩන් ලේයරයක් බිහිකිරීම තුළින් ඒවායේ පාලනාධිකාරියටවත් කර ගන්ට නොහැකි වූ දේවල් මේ ආයතන වලින්ම කර ගැනීමේ කලාව ජේ.ආර්. මෙන්ම ප්‍රේමදාසද ප්‍රගුණ කළ සිටියෝය. සමහරවිට ගුවන් විදිලියේ ප්‍රවෘත්ති කියැවූ නිවේදකයා කියවන්ට ඇත්තේ පිටපතේ නැති දෙයක් විය හැකිය. ඒ ගැන විනය පරීක්ෂණයක් පැවැත්වෙන්ටත් ඔහුට ගෙදර යන්ටත් සිදුවිය හැකිය. නමුත් ආණ්ඩුවක් මාරුවෙන්ට තියෙන සංක්‍රාන්ති සමයේ මෙවැනි අවදානම් ගන්ට කැමැත්තෝ වෙති.

විශ්ව විද්‍යාල භූමියක් තුළ ඇති වූ සමනළ තටු සැලීම ජාතික දේශපාලනයේ කුණාටුවක් ඇති කොට තිබේ.

අපි 1976 වසර පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉතිහාසයේ පමණක් නොව ලංකා ඉතිහාසයේද සන්ලයිට් බාර් සෝප් එකක් යොදා හෝදලාවත් අමතක කරන්ට බැරි වසරක් බවට පත් කර ඇත්තෙමු.

ඇත්තටම 1976 බොහෝ දෙනකුට මතක තියෙන්ට ඉඩ තිබුණේ වෙනත් හේතුවක් නිසාය. ඒ එතෙක් මෙතෙක් එකවර වැඩිම රාජ්‍ය නායකයින් පිරිසක් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුව පැවැත්වීම වෙනුවෙනි. 1976 වසරේ අගෝස්තු මාසයේදී, අභිනවයෙන් විවෘත කරන ලද බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුවට මාෂල් ටිටෝ, ෆිඩෙල් ක්‍රස්තෝ, ඉන්දිරා ගාන්ධි, මොහොමඩ් ගඩාෆි, ඉඩි අමීන්, සුල්ෆිකාර් අලි බුට්ඨෝ, සුහර්තෝ වැනි තෙවැනි ලොව රාජ්‍ය නායකයින් අසූ ගණනක් මෙහි ආ බව මතකය. ප්‍රේමදාස මහත්තයා ඊට ‘නොබැඳි මඟුල’ කීවත් ඇත්ත එතෙක් කිසිම ආණ්ඩුවකට එවැන්නක් කරන්ට බැරි වූ බවය.

කොටින්ම 1976 දී සිරිමා බණ්ඩාරනායක ලංකාවේ අගමැතිනිය පමණක් නොවූවාය. ඇය ඒ වන විට රටවල් අසූ ගණනෙකින් යුතු වූ නොබැඳි සංවිධානයේද නිල නායිකාව වූවාය.

පුදුමයකට මෙන් සමනළයා තටු සැලුවේ විරුද්ධ දිශාවට පියඹා යන්ටය.

1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂය යන පක්ෂ තුනේ සභාග නායකත්වයෙන් පිහිටවූ සමගි පෙරමුණු රජය මෙරට වැඩිම හැළ හැප්පීම් ගණනකට ගොදුරු වූ ආණ්ඩුවක් සේ වාර්තාගතය. මේ සියළු හැළ හැප්පීම් මැද 1975 දක්වා එය තම ජනප්‍රියතාවය ග්‍රවුන්ඩ් ලෙවල් එකේදී රැක ගන්ට සමත් විය. ඒ අවුරුද්දේ, ධීවර ඇමැති ජෝර්ජ් රාජපක්ෂගේ මරණයෙන් හිස් වූ මුල්කිරිගල ආසනය වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණය, දැඩි මැර බලය යොදමින් වුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂට ජයග්‍රහණය කරන්ට හැකි වීම ආණ්ඩුවේ ජනප්‍රියතාව බිඳී නැති බවට වූ සහතිකයකි. හාල් පොළු, මිරිස් පොළු, අල බතල මඤ්ඤොක්කා, සීනි නැති කහට යනාදිය ගැටළුවක් වූයේ නම් ඒ මධ්‍යම පංතියටය. හැමදාමත් මෙවායින් ඈත්ව සිටි ඒ වන විට ජනගහණයේ සැලකිය යුතු ප්‍රතිශතයක් වූ දිළින්දන්ට මේවා ලොකු ගැටළු නොවීය. එක අතකට ඔවුන් මධ්‍යම පාංතිකයින්ද තමන් විඳි ගැහැට විඳින්නේය සිතමින් කාලකණ්නි සතුටක් ලබන්ට ඇත.

1976 මේ සියල්ල වෙනස් කළේය.

ආණ්ඩුවට වූ එකම වාසිය මාධ්‍ය සියල්ලක්ම ඒ වන විට ආණ්ඩුවේ ඍජු පාලනය යටතේ තිබීමය. සියල්ලක්ම කිව්වාට තුනකි. ලේක් හවුසිය 1974 දී  ආණ්ඩුවට පවරාගෙන තිබිණි. ටෛම්ස් පුවත්පත් 1975 දී ආණ්ඩුවට පවරා ගැණුනු අතර අගමැතිනියගේ පුත්‍රයා, අනුර බණ්ඩාරනායක එහි නොනිල බලධරයා විය. ගුවන් විදිලිය කොහොමටත් තිබුණේ ආණ්ඩුව අතේය. රූපවාහිනී නැත. දවස සීල් තියලාය.

විකල්ප මාධ්‍ය තුනක් අඩුව පිරිමැහුවෝය. එක කමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පත්තරයයි. දෙක ජේ. ආර්. ජයවර්ධන විසින් ඒ වන විටත් සංවිධානාත්මකව ගොඩ නඟා තිබුණු එක්සත් ජාතික පක්ෂ ජාලයයි. තුන කට කතාය.

මේ සියල්ල සිදුවූයේ කාලයාගේ ඇවෑමෙනි. 1976 නොවැම්බර් මාසයේ හීතල දවසක හවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුවකු වූ මා දැන සිටියේ කාරණා හතරකි. එක – වීරසූරිය මිය ගොස්ය. දෙක – විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා ඇත. තුන – විශ්ව විද්‍යාලයට පොලිස් ආරක්ෂාව. රාත්‍රි හයට ඇඳිරි නීතිය හතර – සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වහාම විශ්ව විද්‍යාලයෙන් පිට විය යුතුය.

මේ වන විට ආණ්ඩුව ගුවන් විදිලිය මඟින් ප්‍රචාරය කරමින් සිටියේ ශිෂ්‍යයාගේ මරණය සිදුවූයේ කලහකාරී ශිෂ්‍ය කණ්ඩායම් පේරාදෙණිය පොලීසියට පහර දෙන්ට තැත් කිරීමේදී බවය. 1971 දීත් චේගුවේරා කාරයින් පොලීසි වලට ගැසූ නිසා පොදු ජනතාව එක්තරා මට්ටමකට මේ කතාව විශ්වාස කරන බව පෙනුණේය. නමුත් 1976 විරෝධයට මුල් වූයේ මරාගෙන මැරෙන්ට යන ‘ජේ.වී.පී. අප්පුහාමිලා’ නොව පොතේ ගුරුන් වූ කමියුනිස්ට් සමසමාජකාරයින්ය. ඔවුන්ගේ විරෝධය සාපේක්ෂව සාමකාමී එකකි. ඔවුන්ට පොලීසි වලට ගහන්ට තරම් ඕනෑකමක් හෝ ඕනෑකමක් තිබුණද ගටක් නොවීය. ඔවුන්ට අවශ්‍ය වූ එකම දෙය තමන් ආණ්ඩුවෙන් පයින් ගසා එළවා දැමූ වාඩුව ගන්ට රිදෙන්ට යමක් කිරීමය. මේ අපතයන්ට වෙඩි තියා කෙළවා ගත්තේ ආණ්ඩුවමය.

සරසවියෙන් පිටවෙන්ට මට ගැටළුවක් වූයේ නැත. මට අනතුරක් නැති බව ඒ වන විටත් අප්පච්චිගේ කාර්යාලයට දුරකථන කොට තිබිණි. නුවර සිට රෑ දහයටත් මට බස් එකක් ගන්ට පිළිවන. බැරිම උනොත් ලොරියක හරි එල්ලී ඒ හැතැප්ම දොළහ යන්ට පුළුවන. එහෙත් මහනුවරට පැණවූ ඇඳිරි නීතිය නිසා අනෙකුත් පළාත්වලට බස් කෝච්චි කොයි මොහොතේ නතර වේද යන සැකය විය. එසේම මගේ මිතුරන්, මිතුරියන් වැඩි දෙනකුට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් ගෙදරට යා ගන්ටය. ගෙදර ගොස් “අම්මේ මළේ මම නෙවෙයි” කියා මූණ පෙන්නන්ටය. මන්ද මේ කාලයේ සමහර ගම්බද අම්මලා පොඩි මැණිකේ මීරිගමදී පීලි පැන්නත් පේරාදෙණියේ ඉගෙනුම ලබන පුතාට, දුවට කරදරයකැයි බිය වූ හෙයිනි. එනිසා මම හැකි පමණින් අනුන්ට උදව් කරන්ට ඉදිරිපත් වීමි.

ඈත පළාත් කිහිපයකට යන්ට නියමිත මිතුරන්, මිතුරියන් කිහිපදෙනකු පොල්ගහවෙලට යන කෝච්චියට පටවා මම මහනුවර දුම්රිය ස්ථානයෙන් එළියට එමින් සිටියෙමි.

කහපාට සමනළයෙක් මගේ දර්ශන පථය හරහා පියඹා ගියේය. මම ඌ පියාඹන දෙස බලන්ට හිස හැරැවීමි.

මා ඇය දුටුවේ එවිටයි.

කළු ඇස්. සිහින් සිරුර. දිගටි නැහැය. මඳක් අවුල් වුවත් ලස්සනට අවුල් වී ඇති කොණ්ඩය.

ඇය යෙහෙළියන් කිහිප දෙනකු සමඟ කුලී රථයකින් තම සූට්කේස් එළියට අදිමින් සිටියාය. මම ඒ කිසිවකු මින් පෙර නොදත්තෙමි. එහෙත් ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යාවන් බව වටහා ගැන්මට මට අපහසු වූයේ නොවේ. සීනියර්ස්ලා නම් කුලී රථයෙකින් මහනුවරට එන්ට නොසිතනු ඇත. එසේම ඔවුන් ගෙදරට ඇරලන්ට ‘අයිතිකාරයින්’ කටයුතු කරනු ඇත. මෙසේ අමාරුවට වැටෙන්නේ නවකයින්ය.  ඔවුන් සියළු දෙනාගේ මුහුණු වල තිබුණේ බිය, අනාරක්ෂාව හා ශෝකය මුසු වූ හැඟීමකි.

මම ඔවුන් වෙත ගොස් බර සූට්කේස් කිහිපයක් රථයෙන් එළියට ගන්ට උදව් කළෙමි. මා එසේ කළේ ඇයිද මම නොදනිමි. සමහර විට අප සියළුම දෙනා වෙනුවෙන් උපන් ආත්මානුකම්පාව විය හැකිය. මේ වන විට පොදු ජනතාවගේ අනුකම්පාව සරසවි සිසුන්ට අහිමි වීමේ තර්ජනයක් තිබුණේය. මහනුවරට එද්දී බසයේදීත් මඟීන් කථාකළේ “අම්මලා තාත්තලා ඉඩම්, කණකර උකස් කර දුන් සල්ලි වලින් විශ්ව විද්‍යාල වලට ඇවිත් කා බත් දිරවා ගන්ට බැරුව විප්ලව කරන මැට්ටන්” ගැනය. අපි නොඇසුණාක් මෙන් ගමන් කළෙමු. මේ තර්ජනය නිසා සරසවි සිසුන් වශයෙන් අප එකිනෙකාට උදව් කර ගත යුතුය යන සිතිවිල්ල ඔස්සේ මා අවිඥානකව ක්‍රියා කරන්ට ඇත.

ඇගේ සූට්කේසය අනෙකුන්ගේ ඒවාට වඩා ලොකු විය. මම එය බලෙන්ම අතට ගතිමි. එක් යුවතියක කුලී රථයට මුදල් ගෙවනු පෙණිනි. අපි කණ්ඩායමක් සේ දුම්රියපළට ඇතුළු වීමු.

“මූණ දැකල පුරුදුයි. ඔයා ආට්ස් ෆැකල්ටි එකේද…?” ඇය ඇසුවාය.

(අයියා, අක්කා, මල්ලී, නංගී ලෙස එකිනෙකා අමතන ගොන්පාට් එකල සරසවියෙහි නොවිණි. කවර වසරෙක වුවද අප එකිනෙකා හා සංවාදයේ නියැළුණේ සමානයින් ලෙසිනි.)

“මම ආට්ස් ෆැකල්ටියේ. ෆයිනල් ඉයර්…”

“අපි සයන්ස් ෆැකල්ටියෙ…ෆස්ට් ඉයර් එකේ. මම බියට්‍රිස්, මේ අප්සරා, මේ විජිතා…මේ සඳමලී… මේ අනුරාධා…මේ චන්ද්‍රා”

ඇය තමන්ද මිතුරියන් කිහිප දෙනෙක්ද හඳුන්නා දුන්නාය.

“මම වික්ටර්…”

පෙර වූ එකඟතාවයකින් සේ අපි ඉන් පැය කිහිපයකට පෙර වූ සිද්ධිය ගැන කිසිත් කථා නොකළෙමු. එක්කෝ එය කතා කරන්ට වත් බිය ජනක අත්දැකීමක් වන්ට ඇත. නැතොත් තවම එහි ප්‍රතිඵලයන්හි දරුණු බව අපට දැනෙන්ට පටන් ගෙන නොතිබිණි.

“ඔය ගොල්ල කොහාටද යන්නෙ?”

“එක තැනක් කියල නෑ. දෙන්නෙකුට ගාල්ලටයි අම්බලන්ගොඩටයි යන්න තියෙනව. අප්සරා කොළඹ. මෙයා පොල්ගහවෙලින් බහීවි. සඳමලී නම් මහරගම. තාත්තා කොටුවෙ ස්ටේෂන් එකට එනවය කිව්වලු. මම මීගමුවට යන්න ඕනැ”

“මීගමුවට? දැන් මේක කොළඹට යනකොටම අට නවය වත් වෙයිනෙ…”

“ඒක තමයි. ඒත් සංඝමිත්තා එකේ ඉන්න දෙන්නෙත් නෑනෙ. නුවර දන්න කෙනෙකුත් නෑ. මට ගෙදෙට්ට කියන්ට හැටියකුත් නෑ…”

මේ මොහොතේදී සමනළයා තටු සැලුවේද මම නොදනිමි. අඩු තරමින් මම ඒ බව නුදුටුවෙමි. මම ක්ෂණික තීරණයක් ගතිමි.

“යමු. මම පුළුවන් විදියකට උදව් කරන්නම්…”

ඇය “එපා!” කියන එක වචනය තෙපළුවේ නම් මගේ ජීවිතය වෙනස් වන්ටත් ලෝකයට චරිත් බණ්ඩාර කෙනෙක් බිහි නොවන්ටත් ඉඩ තිබුණේය. එහෙත් ඇය සේ නොකීවාය. මම කවුන්ටරයෙන් බියට්‍රිස්ටත් මටත් කොළඹ කොටුවට ප්‍රවේශපත්‍ර දෙකක් මිළට ගත්තෙමි.

.

.

(ඉවසන්න…………සමනළයා නැවත පියා සලන තෙක්)

Advertisements
Leave a comment

34 Comments

  1. අදත් උපරිමයි. කොහොම මෙහෙම ලියනවද මන්ද.

    Reply
    • ඇත්තටම මටත් හිතෙන්නේ ඒක. කොහොම මෙහෙම ලියනවද මන්ද.

      Reply
  2. දැන් දැන් දවසක් හැර දවසක් කතාවක් එනවා ..ඔහොම යං ඔහොම යං………

    Reply
  3. දැන් මේ බ්ලොග් එක කියවන එක රෝගයක් තරමට වෙලා වගේ . . . ගහමරා ගනිමින් කා කොටා ගනිමින් තිබූ බ්ලොග් අවකාශය වසුරු ගොඩක් නොව නිර්මාණශීලීත්වයේ නිජබිමක් බව යලි සනාථ කරන සාධකයක් වගේ මේ අඩවිය.

    ජය වේවා . . !

    Reply
  4. මමත් ආසාවෙන් කියවන ලිපි පෙලක්. බ්ලොග් අවකාශය තුළ නිර්මාණශීලීත්වයේ උපරිමයට ලඟා වෙලා. මෙන්න මේවටයි සම්මාන දෙන්න ඕන… කවුරු සම්මාන නොදුන්නත් කියවන අපේ හිතේ මතකයක් එකතු කරන්න තියෙන හැකියාව ම හොඳටම ප්‍රමාණවත්….
    දිගටම ලියන්න ශක්තිය ඇතිවේවා….
    මේක මට හඳුන්වා දුන් දුකාටත් ස්තුතියි….

    Reply
  5. The Butterfly Effect ෆිල්ම් ත්‍රිත්වයෙත් , The source code, Deja-Vu ෆිල්ම් වලත් නොමඳව රසවිඳපු, මෙම ආරේ කතාවල උපරිම රසාස්වාදිත පරිච්චේදයයි ‘සමණලයා’ මේ විස්තර කරන්නේ, එනම් පූර්වාපර සන්ධි ගලපන පරිච්චේදය, නැත්නම් ඒවා එහෙම උනේ කොහොමද කියන එක. කලිනුත් කිව්ව වගේ බ්ලොග් ලෝකෙ මෙහෙම ලියන්න පුලුවන් එක්කෙනයි හිටියෙ, එකම එක්කෙනයි…!!

    Reply
  6. great as usual!

    Reply
  7. අමිල

     /  August 29, 2012

    මේ බ්ලොග් එකට ඇබ්බැහි වෙලා වගේ දැනෙනවා.. මේ ශෙලියටම ලියපු කෙනෙක් නිසා තමයි මම බ්ලොග් කියවන්න පටන් ගත්තෙත්.. 😛 😛

    Reply
  8. Anonymous

     /  August 29, 2012

    සුපිරි.

    Reply
  9. visheshakaya

     /  August 29, 2012

    Ryan O’Neil ,Allie Mcgrew – Love Story ,synonomous with counterculture of 1970 s

    Reply
  10. visheshakaya

     /  August 29, 2012

    Also I might add , while Sirimavo’s Govt was before my time , the discontent that the people had with the Govt was far widespread than you allude to here, if I go by what my father told me. It was specifcally for this reason that Sirimavo supposedly extended her term limit by two additional years after kicking out the reds

    Reply
    • It is difficult to say. I just checked the 1977 general election results. While UNP got 51%, SLFP+LSSP+CP got 36%. (They were together till 1975) We also have to account for multiple votes in few populous seas like Colombo Central. So the gap will fall to something like 48% to 39%. This is not too bad.

      – The writer

      Reply
    • K.A.

       /  August 29, 2012

      Correction: Sirimavo Bandaranaike extended her term by two years in 1972 while the reds were still in her government. This was done with the adoption of the new Constitution. When Colombo Central MP (later President) R. Premadasa raised the issue in the Parliament, the then Minister of Finance Dr. N. M. Perera (LSSP leader) replied that with their 2/3 majority they could extend the government’s term indefinitely.

      Reply
  11. හැමදාම ආණ්ඩු ඇන ගත්තේත්, වම නැග්ගෙත් උද්ඝෝෂණ මලමිනී උඩින්. නොබැදි සමුළුව ගැන කතා කරන, උද්ඝෝෂණයකට කදුළු ගෑස් වැදුන අද දවසෙම ලිපිය එළියට ආපු එකෙන් ඔබගේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ පුදුම හැකියාව පේනවා.

    මීගමුව – නුවර ‘පාත ඉදන් අපි ආවේ’ වගේ නොගැලපීමක් බ්‍රියටිස්ගේ අකල් මරණයට හේතු වෙන්නත් පුළුවන්.

    Reply
  12. DDT

     /  August 29, 2012

    අද ගොඩක් ඈතටම ගිහින්. ඔහොම යං, ඔහොම යං.

    Reply
  13. kathandarakaraya

     /  August 29, 2012

    1. චරියා ගේ සමාන්තර ලොකේ නොතිබුණාට මේ ලෝකේ නං තිබුණාලු සියරට කියලා විප්ස්ස පත්තරයකුත්, ඇත්තට අමතරව.

    2. ඒ එක්කම මාෂල් ටිටෝ, ෆිඩෙල් ක්‍රස්තෝ, මොහොමඩ් ගඩාෆි, ඉඩි අමීන්, සුල්ෆිකාර් අලි බුට්ඨෝ, සුහර්තෝ වැනි ආඥාදායකියන්ට අමතරව “මේ ලෝකේ ලංකාවට” පොල්පොට් ගේ දෙවෙනියෙක් වුණු කියු-සම්පන් කාරයාත් ආවා කියලායි මං අහලා තියෙන්නේ.

    Reply
    • DDT

       /  August 29, 2012

      ඔය සෙට් එකේ හැටියට වඩාත් ගැලපෙන්නෙ පොල්පොට්ගේ දෙවෙනියා නෙවි පොල්පොට්ම ආවනං. 😀

      Reply
      • ~Kasun~

         /  August 29, 2012

        අද කව්රු කොහොම කිව්වත් පොල්පොට් කටයුතු කරේ උසස් අරමුණක් වෙනුවෙන්.. !!

      • DDT

         /  August 30, 2012

        යාළුව, සෛද්ධාන්තිකව ගොඩනගන්න පුළුවන් හැමදේම ප්‍රායෝගික වෙන්නෙ නෑ. වඩාමත් නරක ඒවයින් පීඩාවට පත් වෙන්නෙ, තැලෙන්නෙ පොඩිවෙන්නෙ මියයන්නෙ පුටු උඩ ඉඳගෙන තියරිය හිතපු උන්ට කිසිම සම්බන්ධයක් නැති සාමාන්‍ය මිනිස්සු වීම. අපි ඒ කාලෙ නොහිටියත් සිරිමගෙ හාල්පොලු මිරිස් පොලු අල බතල කාපු භූමිතෙල් රෙදි ඇඳපු සමූපකාර පෝලිම් යුගය ගැන ඔයා අහල ඇති. මටනම් හිතෙන්නෙ නෑ ඒක ප්‍රායෝගිකයි කියල. ඒකෙන් රටට වුනු නරකම දේ ජේ. ආර්. පප්පට අසීමිත බලයක් ලැබීම. ලංකාවෙ තත්ත්වය ඒ තරම් දරුණු නොවුනත්, පොල්පොට්ගෙ ඔය කියන උසස් අරමුණ වෙනුවෙන් කම්බෝජයෙ මිනිස්සු ලක්‍ෂ ගානක් ජීවිතයෙන් වන්දි ගෙව්වා. උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් ඝාතනය කරල ශුන්‍යයේ සිට නැවත රට ගොඩනැගීම, නගර හිස්කරල හැම මනුස්සයම වහල්ලු වගේ කෘෂිකර්මාන්තයේ යෙදිය යුතු වීම පටන් ඔහු කළ සියළු මුග්ධ ක්‍රියා ඔබ අනුමත කරනවද? මට නම් හිතෙන්නෙ පොල්පොට් යම් මානසික ව්‍යාධියකින් පෙලිච්ච පුද්ගලයෙක් කියල.

      • kathandarakaraya

         /  August 30, 2012

        අපේම පොරවල්වන වීජේවීර හෝ ප්‍රභාකරන පොල්පොට්ගේ ලඟින් හෝ නොයයි.

      • ~Kasun~

         /  August 31, 2012

        @DDT
        සෛද්ධාන්තික දේවල් ප්‍රයෝගිකද නැද්ද කියල බලන්න ඒක කරලම බලන්න ඕනෙ.. ඒ වගේ කරල බලන්න තමුන්නැහේ හිතනවට වඩා කොන්දක් තියෙන්න ඕනෙ.. ඒක කරද්දී සාමාන්‍ය මිනිස්සු ලක්ෂයකට දෙකකට ජීවිතය පරිත්‍යාග කරන්න වෙනවා වෙන්න පුළුවන්.. උදාහරණයකට පොල්පොට්ට වැඩේ සාර්ථක කරගන්න බැරි උනාට පොල්පොට්ගේ මල්ලි වැඩේ හොඳට කරා නේද(දැන් ඇඟට දැනෙනවද )?

        @kathandarakaraya

        ඔය තුන්දෙනා සාර්ථක වෙලා පොල්පොට්ගේ මල්ලි අසාර්ථක උනානම් අද කතන්දරකාරයා කියන්නේ මොකක්ද? සමහර විට හිට්ලර් ලෝක යුද්දේ දිනපු මේ සමාන්තර විශ්වයෙ හිට්ලර් ගැන කියන්නෙ මොකක්ද කියන එක ගැන “ලේඛකයට” පුළුවන් වෙයි කතන්දරට පොඩි හින්ට් එකක් දෙන්න..

      • DDT

         /  August 31, 2012

        @ Kasun,
        ඔවු ඉතිං කරල බලපු නිසා නේ කිව්වෙ ඒක ප්‍රායෝගික නෑ කියල. මිනිස්සු ලක්‍ෂයක් දෙකක් ඝාතනය කිරීම ඔය තරම් ලඝු කරල සලකන්න පුළුවන් වෙන්න ඔයා මොනවගේ මානසිකත්වයකද ඉන්නෙ? එවැනි මහා ජන සංහාරයකින් පසු ලබා ගන්නා මොනයම්ම වූ දෙයක්වත් වටිනව කියල ඔබ හිතනවද? අනෙක එතරම් විනාශයක් සිදුකරන ක්‍රමයක් ප්‍රායෝගික නෑ කියල අමුතුවෙන් කියන්න ඕනද? තමන්ගෙ ඔලමොට්ටල අදහස් සාක්‍ෂාත් කරගන්න මිනීමරන මිනිස්සුන්ට කොන්දක් තියෙනව ද? ඉතිහාසය පුරාවටම මෙතෙක් සිදුවෙල තියෙන්නෙ අනෙක් අයව මරණය කරා දක්කපු ඒ වගේ ඔලමොට්ටලයො මරණයට බයේ තම ඉරණමෙන් ගැලවෙන්න පැනල ගියපු කතන්දර. නමුත් සැබෑවටම මානව ඉතිහාසයෙ රන් අකුරින් ලියවුනු, පවතින ක්‍රමයට අභියෝග කළ, සමාජයේ ඉදිරි ගමනට හේතුවන සොයාගැනීම් කළ බොහෝ දෙනෙක් ‘තමන්ගෙ ජීවීතය කැප කරල‘ ඒ දේවල් කරල තියෙනව. ඔවුන් සම්බන්ධයෙන් නම් ඔබ කියන කතාව ඇත්ත. ඔවුන්ට කොන්දක් තිබුණෙ නැත්නම් අපේ වර්තමානය සමහරවිට මීට වඩා වෙනස් වෙන්න තිබුණ. මම නැවතත් කියනව, අහිංසක නිරායුධ මනුෂ්‍යයෙක්ගෙ පන නසන්නෙ හෝ ඊට අණ දෙන්නෙ බය ගුල්ලෙක් මිස කොන්ද පන තියෙන මිනිහෙක් නෙවි. පොල්පොට් ගැන ඔබේ කියවීම වැරදියි, නැවත වරක් නිවැරදිව කියවන්න. ඔහුත් ඔහුගෙ සහචරයොත් ක්‍රියාකරපු විදිය ශිෂ්ඨසම්පන්න කිසිම මනුෂ්‍යයෙක් අනුමත කරන්නෙ නෑ. ඒක මහ උමතුවක්.
        මම හිතන්නෙ උනා කියල හිතන දේට, කියන දේට වඩා සත්‍ය වශයෙන්ම සිද්ධ වුනු දේ තමයි වැදගත් වෙන්නෙ. “සමනළ විප්ලවය” ට අදාළ සමාන්තර විශ්වයෙ හිට්ලර් ලෝකෙ යුද්ධය ජය ගත්ත කියල නියත වශයෙන්ම සඳහන් වෙල තිබුණෙ කොතනද? මම දැක්කෙ හිට්ලර් ගැන සඳහන් වෙල තිබුණෙ තැන් දෙකකයි. එකක් සාහිත්‍ය කෘතියක් පිළිබඳ සඳහනක්,

        // රේ බ්‍රැඩ්බරිගේ කතාවකට අනුව අනාගතයේ ඇමෙරිකාව කාල යන්ත්‍රයක් නිර්මාණය කරන අතර එයින් වර්තමානයේ සිට නිරීක්ෂකයෝ අතීතයට රැගෙන යනු ලබති. මේ නිරීක්ෂකයින්ට හැකි අතීතය නිරීක්ෂණය කිරීම පමණෙකි. එහි කිසිවක් වෙනස් කරන්ට සපුරා තහනම්ය. එහෙත් ඩයිනෝසරයන් නිරීක්ෂණයට ගිය කණ්ඩායමක සංචාරකයකු අතින් සමනළයකු පෑගී මරණයට පත් වේ. මේ නොවැදගත් සිද්ධියක් නිසා ඔහු එය කවරකුට හෝ සඳහන් නොකරයි. ආපසු වර්තමානයට පැමිණෙන නිරීක්ෂකයින් දකින්නේ හැමදෙනාම ඉංගිරිසි වෙනුවට ජර්මන් කතා කරන බවය. හිට්ලර් දෙවන ලෝක යුද්ධය ජය ගෙන තිබේ! නැවත කතාවට…] //

        අනෙක මේ කතාවෙ මුලදිම සමාන්තර විශ්වයක විය හැකි දේවල් ගැන කරපු සඳහනක.

        // සමාන්තර විශ්වයක් වූ කලි ඉතිහාසය ‘විකල්ප මාර්ගය’ ගැනීම හේතු කොට ගෙන ගොඩ නැඟෙන, වර්තමානයට වෙනස් වූ කාලාවකාශයකි. එවන් කාලාවකාශයක් තුළ ඕනෑම දෙයක් සිදු විය හැකිය. උදා: හිට්ලර් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමෙන් පසු බිහිවන ලෝකය. //

  14. ~Kasun~

     /  August 29, 2012

    මට නම් හිතෙන්නෙ , මේ ලිපි ඉහලම මට්ටමේ කියල අපට දැනෙන්න හේතුව බ්ලොග් අවකාශයෙ උසස් නිර්මාණ නොමැතිකම. ප්‍රසිද්ධ නවකතාකරුවෙක් බ්ලොග් එකක් ලිව්වොත් කොහොමට තියෙයිද..

    Reply
    • හීරෝ

       /  August 29, 2012

      ප්‍රසිද්ධ කිව්වේ?? සුජීව ප්‍රසන්නආරච්චි වගේ කෙනෙක්ද?

      Reply
    • නිර්මාණකරුවෙක්ගේ ප්‍රසිද්දිය නිර්මාණයක නිර්මාණශීලීත්වය මනින සාධකයක් කියලා මම නම් හිතන්නේ නෑ. කෑමක රස දැනෙන්න හොඳ දිවක් තියෙන්න ඕන වගේ නිර්මාණයක රස දැනෙන්න රස අඳුන්නනෙක් විය යුතුයි සිංහලෙන් කිව්වොත් හොඳ ටේස්ට් එකක් තිබිය යුතුයි. මේ මට හිතෙන හැටි.

      Reply
    • ~Kasun~

       /  August 31, 2012

      @දුකා

      “”නිර්මාණකරුවෙක්ගේ ප්‍රසිද්දිය නිර්මාණයක නිර්මාණශීලීත්වය මනින සාධකයක් කියලා මම නම් හිතන්නේ නෑ.””

      නිර්මාණශීලිත්වය තීරණය කරන්නෙ පාඨකයා විසින්. ‘ලේඛකයෙක්’ ප්‍රසිද්ධයි කියන්නේ ඔහු ජනප්‍රියයි කියන එක. එහෙමනම් අවසාන නිගමනය ඔහු උසස් නිර්මාණ කරුවෙක් කියන එක..

      Reply
      • DDT

         /  August 31, 2012

        // නිර්මාණශීලිත්වය තීරණය කරන්නෙ පාඨකයා විසින්. ‘ලේඛකයෙක්’ ප්‍රසිද්ධයි කියන්නේ ඔහු ජනප්‍රියයි කියන එක. එහෙමනම් අවසාන නිගමනය ඔහු උසස් නිර්මාණ කරුවෙක් කියන එක.. //

        මෙතන පොඩි අවුලක් තියෙනව වගේ. සමහර විට ඔයා කියන්න උත්සාහ කරන දේ ඔයා භාවිත කරපු වචනවලින් ගම්‍ය වෙන්නෙ නැතුව වෙන්න පුළුවන් යාළුව.

        ජනප්‍රිය හැමෝම උසස් නිර්මාණකරුවො නෙවෙයි. ඒ වගේම උසස් නිර්මාණකරුවො හැමෝම ජනප්‍රියත් නෑ.

  15. Ano

     /  August 29, 2012

    (අයියා, අක්කා, මල්ලී, නංගී ලෙස එකිනෙකා අමතන ගොන්පාට් එකල සරසවියෙහි නොවිණි. කවර වසරෙක වුවද අප එකිනෙකා හා සංවාදයේ නියැළුණේ සමානයින් ලෙසිනි.)

    මෙහි කතන්දරකරයගේ පඩගඳ හමන්නෙ ඇයි?

    Reply
    • kathandarakaraya

       /  August 30, 2012

      මෝඩකමට බේත් නැති නිසාය!

      Reply
  16. ranwala

     /  August 29, 2012

    වික්ටර්ගේ ප්‍රේමයයි චරියගේ ප්‍රේමයයි ගලාගෙන යන වෙනස ….බොරු ඕන් නෑ මාත් මේ සමනලය තටු සලන එකට ඇබ්බැහිවෙලා.

    Reply
  17. K.A.

     /  August 29, 2012

    1977 UNP ජයග්‍රහණයෙන් පසු රජය පිහිටවූ අලුත එවකට නිවාස ඇමති (පසුව අගමැති සහ ඊටත් පසුව ජනාධිපති) ආර්. ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කීවේ ඊට කලින් පැවති රජය “නොබඳින මඟුලක්” කන්න අහවල් ගාණක් වියදම් කළා කියලා. මේ කථාව ගුවන් විදුලියෙනුත් ප්‍රචාරය වුණා.

    Reply
    • විශ්ලේෂකයා

       /  September 6, 2012

      මම නම් අහල තියෙන්නේ “කාපිරි මඟුල” කියල කිව්වැයි කියල. ආව සෙට් එක ( ඉඩි අමීන්) හැටියට ඒකත් හරි

      Reply
      • Rojpoj

         /  September 7, 2012

        නොබැඳි සමුළුවට “කාපිරි මඟුල” කියලා කිව්වේ ගාමිණි දිසානායක.

  18. kathandarakaraya

     /  August 30, 2012

    /* අයියා, අක්කා, මල්ලී, නංගී ලෙස එකිනෙකා අමතන ගොන්පාට් එකල සරසවියෙහි නොවිණි. කවර වසරෙක වුවද අප එකිනෙකා හා සංවාදයේ නියැළුණේ සමානයින් ලෙසිනි.
    */

    විට්ටර්ලාගෙන් පසු කාලයක මා පේරාදෙනියේ ඉන්න කාලේ පවා ඔය අයියා මල්ලී කෑලි නොතිබුණි! ඒවා ගම්බද පාසල්වල තිබුණා විය හැක.

    ඒත් මා ගිය ගමේ කණිෂ්ඨ විද්‍යාලයේදි හෝ එතනින් හයේ පන්තියට ගිය ටවුමේ මධ්‍යමහා විද්‍යාලයේදී හෝ පසුව අවුරුදු හතරක් සිටි කොළඹ ඉස්කෝලේදී හෝ කිසිවෙකුම මා අයියා අක්කා නංගී මල්ලී කියා නැති අතර, කවරෙකු හෝ මට අයියා කියාද නැත.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: