(16) කුඩු කුඩු කුඩු || Drugs Drugs Drugs

  • කාලය: 2009, සමාන්තර විශ්වය
  • ස්ථානය: දකුණු පළාත, ලංකාව

**********(ඇඹිලිපිටියේ පියදාස කියන කතාව )**********

[මෙය ලේඛකයා විසින් සංස්කරිතය. ඇඹිලිපිටියේ පියදාස සඳහන් නොකළ තාක්ෂණික තොරතුරු යම් ප්‍රමාණයක්ද ලේඛකයා විසින් එකතු කර ඇති බව කරුණාවෙන් සලකන්න. Track changes නොපෙන්වන්නේ පාඨකයාට කියැවීමේදී වන අපහසුව වැළක්වීම පිණිසය.]

මේ දවස් වල නම් ජීවිතේ මල්ය. මේ තරමට බිස්නස් නැඟලා ගිය කාලයක් මගේ මතකයෙහි නොවේ. මැඩම්ට අනේක වාරයක් ස්තූතියි! ජනතාවගේ දුක දන්නා මේ කාර්යශූර නායිකාවට යහපතක්ම වේවා! ඇය කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර දෙවියන් විසින් රැක ගත යුතුයි.

මම කුඩුකාරයෙක්මි. ඒ කුඩු නිෂ්පාදකයා යන අර්ථයෙන් මිස, කුඩු භාවිතා කරන්නා යන අර්ථයෙන් නොවේ. අතිශය කලාතුරෙකින් ජොයින්ට් එකක් ඇද්දාට ඔය ජරාව දිනපතා පාවිච්චි කරන පුරුද්දක් මට නොවේ. I am a responsible business person, you know? අපේ කුඩු නිෂ්පාදන ව්‍යාපාරයත් කොළඹ කොටස් වෙළෙඳපළෙහි ලියාපදිංචි වී තිබුණේ නම් මා එහි ප්‍රධාන විධායක නිලධරයාය. MBA එකක් ඇරුණාම, ව්‍යාපාරික ඥානය ඇතුළුව, කිෂූ ගෝමස්ට හා හාන්ස් විජේසූරියට ඇති බොහෝ දේ මටද තියේ. අද නිකම්ම නිකම් පියදාස වුවද මා ඉගෙන ගත්තේද කොළඹ ආනන්දයේය. (මේ මගේ නියම නම නොවේ. නමුත් පරිසරයේ හැටියට සමහර දේ පරිණාමය වන බව අසංග සර්ගේ ක්ලාස් ගිය නිසා මම දනිමි.) පමාදෝ මච්චුනෝ පදං නිසා මගේ බොහෝ ක්ලාස් මැට්ටන් ගිය දුර මට යන්ට නොහැකි විය. එනිසා ඔවුන් තරමට පොතපත නූගත්තද, ඔවුන්ට වඩා සමාජය ගැන දැනුම්වත්ව, ඔවුන්ට වඩා පොහොසත්ව, ඔවුන්ට වඩා අනිවාර්යයෙන්ම බලවත්ව ගෙවන මේ දිවිය මම තෝරා ගත්තෙමි.

මම ධනවතෙක්මි. අපේ පළාතේ ජෙප්පන්ට ඉරිසියා කරන්ට තරම් ධනවතෙක්මි. මගේම මහන්සියෙන් උපයා ගොඩ නැඟූ ගෙවල් කිහිපයක්ද මට වේ. එසේම මේ මගේ එකම ව්‍යාපාරයද නොවේ. රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන ව්‍යාපාර සමුළු වලට ආරාධනා ලබන්ට තරම් වන වෙනත් ව්‍යාපාරද මට තියේ. මගේ දරුවන් ඉගෙන ගන්නේ කොළඹ දේවි බාලිකාවේත් ගාල්ලේ මහින්දයේත්ය. ඇඹිලිපිටිය හෝ මොරකැටිය මහා විද්‍යාල වල නොවේ.

ගිය සතියේ මැඩම් කතරගම දේවාලය වන්දනා කොට නැවත කොළඹ බලා ගියේ ඇඹිලිපිටිය රත්නපුර පාරෙන්ය. මැතිවරණය පෙනෙන තෙක් මානයට පැමිණි කල්හි දේශපාලකයෝද චොපර් එක පැත්තක තියා බිමින් යන්ට රිසි වෙති. ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට ජය මඟුල් කියන්නේ ඕවාටය. අපේ ලොක්කා මැඩම් ගේ කොන්වෝයි එකට අමතර ඇම්බියුලන්ස් එකක් එකතු කළේය. මොකද කොටි බෝම්බයක් තිබ්බොත් හෙම එක ඇම්බියුලන්ස් එකක් මදිනෙ. ඒක පිඹගෙන මැඩම් පිටිපසින්ම කොළඹ ගියේ අපේ බඩු තොගයක්ද පටවාගෙනය. ඒ ටික (මා නොහඳුනන හා හඳුනාගන්ට කිසිම අවශ්‍යතාවයක් නැති) කොළඹ සප්ලයර් කෙනෙකුටය. මැඩම් ඕවා නොදනිතැයි සිතමි. දැන් ගත්තත් මැඩම් අපි පොඩි බිස්නස් එකක් කරගෙන මිනිහෙක් වෙනවාට ඉරිසියා නොකරයි. අපට ඉරිසියා කරන්නේම මේ පොලීසියේ වාහෙලාය. මුන් නම් පුදුම ජරා පප්පලාය. මගේ ආදායමින් බාගයක් යන්නේ මුන්ට ජරාව දෙන්ටය.

අපට කොළඹට (හෝ දිවයිනේ වෙනත් ප්‍රදේශයකට) බඩු යවන්ට වෙනත් ක්‍රම සහ විධි තියේ. ඒත් ලොකු බඩු තොගයක් ආරක්ෂාකාරීව යවන්ට මේ තරම් සඵලදායක වෙනත් ක්‍රමයක් නොවේ. කොයිතරම් ඔත්තු හම්බවුණත් ජනාධිපති කොන්වෝයි එකක යන රථයක් නතර කර චෙක් කරන්ට තරම් කොන්දක් ඇති පොලිස්කාරයෝ මේ රටේ නොවෙති. අප මේ ක්‍රමයට කැමැති ඒකයි.

“බල්ලෙක් එනකල් ඉන්නවද, නැත්නම් පයින් යනවද?” කියා රාත්‍රී චිත්‍රපටයක් නරඹා ගෙදර යන බලුමැක්කකු බලුමැක්කියගෙන් ඇසුවේලු.

අපත් මේ වගේමය. අප අසන්නේ බඩු ටික වෙන විදියකට යවනවද, නැත්නම් ජනාධිපති/අගමැති ආපහු කතරගම වන්දනා කරන්ට එනකල් ඉන්නවද කියාය.

මා සම්බන්ධ නිෂ්පාදනයට හෙයින් බඩු කොළඹ ගියත් නැතත් ලොකු ගැටළුවක් නැත. ඒ හැම කුඩු තොගයකටම අපට අත්පිට මුදල් ලැබෙන නිසාය. මෙසේ 100%ක් අත්පිට මුදලට ක්‍රියාත්මක වන වෙනත් බිස්නස් තියේ නම් මා දන්නේ මැතිවරණ පෝස්ටර් ගැසීම පමණය. ඒකද මුදල් අතට ලැබෙන තෙක් මුද්‍රණාල හිමියා ප්‍රින්ටරය ක්‍රියාත්මක කරන බිස්නස් එකකි. දෙඤ්ඤං කාසි කවදාවත් ෂුවර් නැති නිසාය.

කුඩු වෙළඳාම අත්පිට මුදලට වන්නේ තවත් කාරණා රාශියක් නිසාය. කුඩු තොගයක් ඕනෑම මොහොතක පොලීසියට හසුවීමේ හෝ ‘ගල්වීමේ’ අවදානමක් පවතියි. ඇත්තටම ගමනාන්තය කරා ළඟා වන්නේ අපේ නිෂ්පාදන වලින් භාගයටත් අඩු ප්‍රමාණයකි. පොලීසියට හසුවන හෝ ‘ගල්වන’ (ගෝලයකු මඟදී මාටියා පාර දෙන) කුඩු තොග වලින් කිසිම ආදායමක් නොලැබේ. ණයට දුන්නේ නම් ඒ කවදාවත් නොපියැවෙන ණයකි. එනිසාය කවමදාවත්, නිෂ්පාදනයේ කවර මට්ටමකදීවත් කුඩු ණයට නොවිකිණෙන්නේ. එසේම අවබෝධ කර ගත හැකි හේතූන් නිසා සප්ලයි චේන් එකේ පුරුක් අතර ණය ගනුදෙනු වලට තරම් යාළුකමක්ද නොවේ.

පසුගිය සමය හොඳය කීවේ බලා සිටිද්දීම ඉල්ලුම ඉහළ ගිය නිසාය. එසේම ඒ ඉල්ලුමට සැපැයීමේදී වෙනදා වගේ පොලීසියෙන්ද ලොකු ගැටළුවක් නොවූ නිසාය.

ලෝකයේ බොහෝ දියුණු රටවලට මත්ද්‍රව්‍ය එන්නේ පිටිනි. ලංකාව වෙන මොනවායින් නැතත් මතින් ස්වයංපෝෂිතය. අපේ රටට විදේශයන්ගෙන් ලැබෙන මත්ද්‍රව්‍ය තොගය ප්‍රමාණාත්මකව සුළුය. ඒද හෙරොයින්, කොකේන් වැනි වඩා ප්‍රබල මත් ද්‍රව්‍යයි. දුර්වල මත්ද්‍රව්‍ය වැඩි හරියක්  වැඩි හරියක් අපිම නිෂ්පාදනය කර ගන්නෙමු. හැම භාණ්ඩයක්ම පිණිස මෙසේ නම් රටේ ආර්ථිකය මීට වඩා බොහෝ ඉදිරියට යනු ඇත්තේය.

Cannabis  හා marijuana (නිවැරදි උච්ඡාරණය ‘මරිජුවානා’ නොව ‘මරුවානා’ විය යුතුයි.) ඇතුළු තවත් නම් රාශියකින් හඳුන්වනු ලබන මත්ද්‍රව්‍යයේ මූලය Cannabis හෙවත් ‘කංසා’ ලෙස පොදු ව්‍යවහාරයේ හඳුන්වනු ලබන එකම පැලෑටියකි. වඩා නිවැරදි වෙතොත් Cannabis sativa, Cannabis indica  හා Cannabis ruderalis  නම් පැලටි තුනක කුලකයකි. මේ පැලෑටි delta-9-tetrahydrocannabinol (Δ9-THC) නම් භ්‍රාන්තිකාරය රසායනය නිපදවනු ලබයි. ශරීර ස්කන්ධයෙන් කිලෝග්‍රෑම් එකකට මයික්‍රොග්‍රම් 10ක් වැනි සුළු ප්‍රමාණයකින් ශරීර ගත වුවද මේ රසායනිකය කෙනකුගේ මුඩ් එක වෙනස් කිරීමට හා ඉන්ද්‍රජාලික පරිසරයක් නිර්මාණය කිරීමට සමත්ය. වෙනත් මත්ද්‍රව්‍යයන්ට සාපේක්ෂව ඇබ්බැහි වීමේ ගුණය අඩු වුවද මීට ලොකු ඉල්ලුමක් ඇතිවීම මින් තේරුම් ගත හැක්කේය.

පැලෑටියෙන් නිස්සාරණය කරන මේ රසායනිකය ශරීර ගත කරන ක්‍රම රාශියකි. මෙයින් වැඩි හරියක් මා නොදන්නේය සිතමි. මා දන්නා ක්‍රම වලින් වඩාත්ම ප්‍රචලිත අදාළ පැලෑටියේ වේලූ මල් හෝ දළු පුළුස්සා දුම ආඝ්‍රාණය කිරීමයි. මෙය මේවා ඊයම් කොළයක දවටා හෝ සිගරැට්ටුවකට එක්කොට ‘ජොයින්ට් එකක්’ හදාගෙන කළ හැකිය. නමුත් මේ ක්‍රමයේ කාර්යක්ෂ්මතාවය අඩුය. දහනය වැඩිය. වඩා සඵලදායක මේ ශාක කොටස් ඉහළ උෂ්ණත්වයකදී (සෙල්සියස් අංශක 200 පමණ) දහනය කරන ‘වේපරයිසරයක්’ භාවිතයයි. ආර්ථික හේතු නිසා එවැන්නන් ලංකාවේ භාවිතා වන්නේ අතිශය කලාතුරෙකිනි. මීට අමතරව මේ මත්ද්‍රව්‍ය විවිධ දියරයන්ට එක් කළ පානය කළ හැකිය. දිවයිනේ බොහෝ පළාත්වල මේ සඳහා භාවිතා වන සුලබ පාන නම් සාමාන්‍ය තේ හෝ කෝපිය. එසේ නැතිනම් කසිප්පුවලට වුවද මිශ්‍ර කර ‘ඩබල් එෆෙක්ට්’ එකක් පිණිස පානය කළ හැකිය. බියර් වුවද නරකම නැත.

ලංකාවේ කංසා ඉල්ලුම බොහෝ දුරට සපිරෙන්නේ දිස්ත්‍රීක්ක තුනෙකිනි. ඒ මොණරාගල, හම්බන්තොට හා අම්පාරය. පළමුවැන්නේ මාකට් ෂෙයාර් එක 50% වත් විය යුතුය. 1950 දශකයේ හා ඉන් පෙර වියළි කලාපයේද බහුල ලෙස කංසා වැවූ මුත් (මේ කාලයේ රජරට සාපේක්ෂව ජනශූන්‍ය ප්‍රදේශයකි.) පසු කාලීනව ජනවාර්ගික ගැටුම් හා කැලෑ එළිවීම් යනාදිය හේතු කොට ගෙන දැනට කංසා වගාව ලංකාවේ ගිනිකොණදිග කලාපයට බොහෝ දුරට සීමා වී තිබේ. පනස් ගණන් වල මුල හරියේ ක්‍රියාත්මක වූ ‘කංසා සංහාරය’ ද වියළි කලාපයේ කංසා වගාව අඩු වෙන්ට හේතුවකැයි සිතිය හැක්කේය. ඇත්තටම ඒ නිසා රටේ කංසා නිෂ්පාදනයේ පසු බෑමක් විය එය නැවත දළු ලා වැඩෙන්ට පටන් ගත්තේ 1977 න් පසුවය.

දකුණු ඇමෙරිකාවේ සේම මේ ප්‍රදේශ වලද මේ කර්මාන්තයෙහි නියැළි ව්‍යාපාරික හා දේශපාලන බලවත්තු ‘කාටල්’ නිර්මාණය කර ගෙන සිටිති. මේ කාටල් වල ක්‍රියාකාරිත්වයද, ඒවා අක්‍රිය නොකළ හැකි කාරණාද අන්තර්ජාතික ඒවාට බෙහෙවින් සමානය. (දකුණු ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම ගැන දීර්ඝ විස්තරයක් පිණිස Frederick Forsyth ගේ ‘The Cobra’ කියවන්න. – ලේඛක) කාටල් හැසිරීම ගැන සවිස්තර තොරතුරු කතාවට අනවශ්‍යයි. එක් එක් දිස්ත්‍රික්කයේ ප්‍රබලයා දැන ගැනීම සෑහේ. හම්බන්තොට නම් අපේ ලොක්කාය. මොණරාගල නම් පුෂ්පයාය. අම්පාරේ කවුද කියා හරියටම නොදනිතත් කල් ඉකුත් වූ කිරි පැකට් බොන්නට දී පාසලක් ලෙඩ කළ නයා මහත්තයා එක චරිතයකි. පොළොන්නරුවේ සිරිසේනලා වී වෙළඳාම පාලනය කරන්නාක් සේ මේ මහා පුරුෂයෝ ගිනිකොණදිග ලංකාවේ කංසා වගාව හා වෙළඳාම පාලනය කරති.

ඔවුන් අතරින්ද මොණරාගල පුෂ්පයා ට්‍රේඩ් එකේ රියල් එක්ස්පර්ට් කෙනෙකි. මේ කියන්නේ ඔහුට නුවර එළියේ තේ වතු ගානට මොණරාගල කංසා වතු ඇති බව නොවේ. යාල මහ වනය තුළ වුවද එසේ අඩියෙන් අඩියට කංසා වගාවන් නැත. කංසා වවනුයේ අතිශයින් රහසිගතව වෙනත් වගාවන් හා මිශ්‍රිතවය. අහම්බෙන් හමුවුවහොත් මිසෙක සොයා ගන්ට පහසු නැත.

නමුත් යාල මහ වන මැද කංසා හේන් නැතිවාම නොවේ. කැබැලිත්ත සියඹලාපේ දේවාලය වඳින්ට යන වන්දනාකරුවන්ට දෙන පොදු උවදෙසක් නම් රටතොට දන්නා, ප්‍රදේශයේ කෙනෙක් කැටුව යන්ට කියන එකය. නැති නම් දේව අනුහසින් අනිවාර්යයෙන්ම අතරමං වේය කියති. මේ මිථ්‍යාවකි. පුෂ්පයාගේ ගෝලයින් විසින් උවමනාවෙන්ම පතුරන ලද මිථ්‍යාවකි. එවැනි මිථ්‍යාවක් පැතිරවීමට හේතුව මඟ වැරදෙන නඩයක් පුෂ්පයාගේ කංසා හේනකට පිවිසෙන්ට ඉඩ ඇති නිසාය. කංසා හේන් තියෙන තැන දන්නා මාර්ගෝපදේශකයෝ ඒවා මඟ හැර වන්දනා නඩ දේවාලයට ගෙනියති.

මා මේ හැම දෙයක්ම ඔබට කියන්නේ ඇයි? මේ සියල්ල කතාවට අදාළද?

මම නොදනිමි. පිළිතුරු සොයන්ට නොවෙහෙසෙමි. මම මේ සිස්ටම් එක නැමැති යන්ත්‍රයේ පුංචි දැති රෝදයක් පමණක්මි. තමන්ට කැමැති වේගයකින් තමන්ට කැමැති අතකට කැරකෙන්ට කිසිම දැති රෝදයකට නුපුළුවන.

ඉදින් එසේ වී නම් මට එදා හවස ලැබුණු දුරකථන ඇමැතුම නොසලකා හරින්ට පුළුවන්කම තිබුණේය. මා දැතිරෝදයක් පමණක් වූ නිසා එය කරන්ට බැරි විය.

මා සිටියේ දිවා ආහරයෙන් පසුව, තිස්සමහාරාමයේ මගේ දෙමහල් නිවසේ උඩ තට්ටුවේ සුව නින්දකය. කොළඹ විධායක නිලධරයන් සේම අපිද power naps ගනිමු. කොයි මොහොතෙහි ලොක්කා හෝ අමාරුවක වැටුණු ගෝලයකු හෝ කතා කරයිද නොදන්නා නිසා ජංගමය ක්‍රියා විරහිත නොකොට, නින්දට ගියද, වැසිකිළියට ගියද මා ළඟින්ම තබා ගෙන සිටීමේ පුරුද්දක් මට විය. එදා ජංගමය වැදුණේ මගේ IMAX හීනයක් මැදය.

“පියදාස…”

ඒ ගැඹුරු කටහඬ! මම වහා අවදි වීමි.

“ඔව් සර්….?”

“කොහොමද දැන් වැඩ කටයුතු…?”

“අනේ වරදක් නෑ සර්. සර්ලගෙ පිහිටෙන් ඉන්නවා…”

“හඃ හඃ හඃ අපේ පිහිටෙන් නෙවෙයි මනුස්සයෝ. තමුන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බ කරගෙන කියල කිව්ව නම් හරි. අපි මොනව කරලද…? ඒක නෙවෙයි, අම්ම හෙම සනීපෙන්ද?”

“ඔය පොඩි පොඩි ලෙඩ ටිකක් තියෙනවා සර්. කොහොමටත් වයසයිනෙ දැන්. ඒ ඇරෙන්න ලොකු අමාරුවක් නම් නෑ…”

“වයසට යන කොට කොහොමත් ඔහොම තමයි මනුස්සයෝ. තමුසෙටයි මටයි වුණත් ඒමයි…අෂ්ඨ ලෝක ධර්ම චක්‍රය!”

“මොනවා කියනවද සර්…සර්, හදිස්සියකටද කතා කළේ…?”

“මටම කියලා වැඩකට නෙවෙයි අයිසේ. මගේ යාලුවෙකුට කෙනෙක්ගෙ විස්තර හොයනවා. මම හොයන්ට ට්‍රයි එකක් දුන්නා. හරිගියේ නෑ. බැරි තැන තමයි තමුසෙට කතා කරන්න හිතුණේ…”

“කවුද සර්? දන්න කෙනෙක් නම් කියන්ට බැරියැ…”

ඔහු නමක් සඳහන් කළේය. මගේ ඉහේ සිට පාදාන්තයට විදිලියක් ඇදී යයි.

“මාත් ළඟකදි දැක්කෙ නෑ සර් මේ පැත්තෙ. ළඟකදි කිව්වෙ අවුරුදු හත අටකින්. අන්තිමට දැක්කෙ මයෙ හිතේ…අතපත්තු මහත්තයගෙ අයියගෙ අවමඟුලෙදි. ඒත් ඔය මිනිහා ගමට එනවා කියලයි කියන්නෙ. පොඩ්ඩක් හොයල බලන්නම්කො…”

“අනේ, පොඩ්ඩක් බලල මට කියනවකො…” ඔහු ලයින් එක විසන්ධි කරයි.

මේ කරුමය මෙතැනින් ඉවර කළ යුතුය මට සිතෙයි. මා කුඩු බිස්නස් කරන එක එකකි. වෙන අනම් මනම් වලට පැටැළී හිරේ විලංගුවේ ලගින්ට මට ඕනෑ කමක් නැත. ඔන්නොහෙ මොකුත් නොකර හිටියාම හරි. ආපහු ඇහුවොත් කියනව මෑන්ස් ගම් පළාතෙ ළඟකදි ඇවිත් ගිහිල්ල නෑය කියල. මොකෝ සී. අයි. ඩී. එකෙන් දාල හොයන්ටයැ මං බොරු කිව්වය කියල?

මගේ දුරකථනය නැවත නාදවෙයි. ඒ ගෝලයෙකි.

“ඔව් මොකද…?”

“සර්, අර විල්ලුව ගාව වගාවට පොලීසියෙන් පැන්න අද උදේ. මට නම් දුව ගන්ට ලැබුණ. හැබැයි කොල්ලො ටිකක් මාට්ටු වගෙයි පේන්නෙ. ලොකු ඩැමේජ් එකක් නෑ අපට එතැන බඩු ගොඩක් නොතිබිච්චි නිසා. සර්…අහු වෙච්චි කොල්ලො…”

“හරි. තමුසෙ බය නැතුව ඉන්නව. පුළුවන්නම් ගෙදර යනව මේ ටිකේ. මං බලා ගන්නම්…”

මේ මාසෙකට සැරයක් දෙකක් වෙන දෙයකි. එක්කෝ අප පාඩමක් ඉගෙන ගත යුතුය. නැතිනම් උන් පාඩමක් ඉගෙන ගත යුතුය. ගහන්ට ගහන්ට වඳින මිනිහා සේම වඳින්ට වඳින්ට ගහන මිනිහාද මෝඩයෙකි.

මෙවර ඇති එකම වෙනස ලොක්කා රටේ නැති අවස්ථාවක මේක වීමය. ඔහු බැංකොක්වල සතියක සවාරියක් සඳහා, ගිය සැරේ ඕ ලෙවල් කර ගෙදර හිටි, පොඩ්ඩක් සාරංග දිසාසේකර වගේ ලුක් එක තිබුණු, සෝමක්කාගේ කඩවසම් මුනුබුරාටද නිකං ටිකට් එකක් අරගෙන දී එක්කගෙන පිටව ගියේ ඊයේ උදේය.

වෙන කරන්ට කිසිම දෙයක් නැත. මම ජංගමය අතට ගෙන Received Calls ලැයිස්තුව බලා එහි උඩින්ම ඇති අංකයට කථා කරමි.

.

.

(ඉවසන්න……….සමනළයා නැවත පියා සලන තෙක්)

Advertisements
Leave a comment

20 Comments

  1. සාසනයා හොයන්නේ අමරේ වද?

    Reply
  2. හීරෝ

     /  August 31, 2012

    පියදාසගේ කතාව වෙනස් නොකර දැම්ම නම් හොදයි වගේ.. වෙනද රහ පොඩ්ඩක් විතර අඩුයි අද..

    Reply
    • හැමදාම ෆ්‍රයිඩ් රයිස් කනකොටත් ඒකෙ රහක් නැති වෙනවනෙ. ඉඳල හිටල දවසක රයිස් ඇන්ඩ් කරි කන එක හොඳයි. 🙂

      – ලේඛක

      Reply
  3. ~Kasun~

     /  August 31, 2012

    මේ විශ්වයේ නයා මහත්තයා ගැන ලින්ක් එකක් දාපු එක හරිනැහැ වගේ.. අපේ නයා මහත්තයා මම දන්නා තරමින් ඔය වැඩවලට සම්බන්දයක් නැහැ..

    Reply
    • පියදාසනෙ ඒක කිව්වෙ මම නෙවෙයි. වැරදෙන්න ඇති සමහර විට.

      – ලේඛක

      Reply
  4. වෙනදා එකා වෙනුවට අද පියා සලලා තියෙන්නේ වැඩ බලන සමනළයෙන්ද කොහෙද. 😦

    Reply
  5. kathandarakaraya

     /  August 31, 2012

    ඇයි මේ මල් පියදාසයාවත් විට්ටර්ව වගේ ට්‍රිනියට හරි චරියාව වගේ රෝයල් එකට හරි නොඇරියේ?

    Reply
    • ……………අඩුම තරමේ පියදාසගේ දරුවේක්වත් රොයල් එකට යවන්න තිබුනා

      Reply
    • සාමාන්‍යයේන් මිල අඩු ගංජා කාරයෝ ආනන්දේ….මිල වැඩි හෙරොයින් කාරයෝ රෝයල් එකේ

      Reply
  6. DDT

     /  August 31, 2012

    ෴ “බල්ලෙක් එනකල් ඉන්නවද, නැත්නම් පයින් යනවද?”
    අප අසන්නේ බඩු ටික වෙන විදියකට යවනවද, නැත්නම් ජනාධිපති/අගමැති ආපහු කතරගම වන්දනා කරන්ට එනකල් ඉන්නවද කියාය. ෴

    හෙහ් හෙහ් හෙහ් …… නරකමත් නෑ.

    ෴ ඔහු බැංකොක්වල සතියක සවාරියක් සඳහා, ගිය සැරේ ඕ ලෙවල් කර ගෙදර හිටි, පොඩ්ඩක් සාරංග දිසාසේකර වගේ ලුක් එක තිබුණු, සෝමක්කාගේ කඩවසම් මුනුබුරාටද නිකං ටිකට් එකක් අරගෙන දී එක්කගෙන පිටව ගියේ ඊයේ උදේය. ෴

    මීට කලිනුත් කතාවල මේ වගේ ඉඟි කිරීම් තිබුණ. ඇයි ලේඛකයා මෙහෙම ඉඟිකිරීම් කරන්න උනන්දු වෙන්නෙ. ටැබූත් තරමක අභිරුචියකින් මේ මාතෘකාව ගැන කතාකරා. මේකත් ඒකෙම ෂැඩෝ එකක් ද?

    Reply
    • විශ්ලේෂකයා

       /  September 1, 2012

      DDT මචෝ , අනම් මනම් ඕන නැහැනේ . ජාතකේ හොයන්න එපා . කතාව රසවිදපන් . “සත්‍ය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකය”

      Reply
      • DDT

         /  September 1, 2012

        අපොයි මචං මම මීට කලින් නම් කාගෙවත් ජාතක හොයන්න ගිහිල්ලත් නෑ, මට එවුවයින් ඇති වැඩකුත් නෑ. ඒ වුනාට මචං ටැබූ කියන්නෙ වෙනම කතන්දරයක්, මම බ්ලොග් කියවන්න ඇබ්බැහි වුනෙත් ඔහුගෙ/ඇයගෙ ලිවීම නිසා, ඒ වගේම මේ අඩවියෙ ලිපි කියවද්දි නිතරම මට ඔහුව/ඇයව මතක් වෙනව. මම අදටත් කැමතිම බ්ලොග්කරු ටැබූ, මොන හේතුවක් නිසා හරි ඔහුව/ඇයව අමතක කිරීමේ නොහැකියාවක් මට තියෙනව. ඔහු/ඇය බ්ලොග් එකත් සමඟ අතුරුදන් වුනාට එයාගෙ හුඟක් ලිපි කමෙන්ට්ස් එක්කම සේව් කරගත්තුව අදටත් මගේ ළඟ තියෙනව, ඉඩ ලැබෙන හැටියට මම නැවත නැවත ඒව කියවනව.
        මෙතනදි නම් මම ඇහුවෙ මේ අඩවියෙ පළවූ කතා කිහිපයකින්ම කළ යම් ඉඟි කිරීමක් ගැන, ඇයි ලේඛකයා ඒ වගේ දෙයක් ඉඟි කරන්න උනන්දු වෙන්නෙ කියල. (ඇත්තෙන්ම එහෙම සඳහනක් කළාට ඔය ප්‍රශ්නෙට ලේඛකයා උත්තරයක් දෙයි කියල මම බලාපොරොත්තු වුනෙත් නැහැ)

      • විශ්ලේෂකයා

         /  September 3, 2012

        DDT – අප සමහරෙක් සමරිසියන් අධ්‍යනය කිරීම ප්‍රිය කරනවා. ඔවුන්ගේ ජීවිත දෙස බලන්නේ කුහුලින් සහ අපූර්වත්වයෙන්. මේ ලේඛකයාත් එවැන්නෙක් විය යුතුයි. ඔහු සමරිසියෙක් නොවුනත් ඔහු සමරිසියන්ගේ චර්යාවන්හි යම් අපූර්වත්වයක් දකිනවා විය යුතුයි. ඉතින් එය ඔහුගේ නිර්මාණ තුළටත් ඇතුළු වෙනවා. පුද්ගලිකව මම වුණත් ශ්‍යාම් සෙල්වදොරේ ගේ පොත් ප්‍රිය කරන ප්‍රබල හේතුවක් වන්නේ මේ අපූර්වත්වයයි.

  7. සරලවම කියනවනං අදයි බ්ලොග් එකට ආවෙ. තවම ලිපි එකක් වත් කියෙව්වෙ නෑ. උඩින් බැලුවා. දුකා අයියා කියපු පාරක ආවෙ, මං පස්සෙ බලලා කමෙන්ට් කරන්න බුක් මාර්ක් එකක් දාගත්තා. දිගටම ලියන්න. කියවනවා!!

    Reply
  8. දුකා පෙන්නපු පාරෙන් ආවා. දිගටම එන්නං, බ්ලොග් රෝලටත් දැම්මා

    Reply
  9. Susara

     /  September 2, 2012

    //”බල්ලෙක් එනකල් ඉන්නවද, නැත්නම් පයින් යනවද?” කියා රාත්‍රී චිත්‍රපටයක් නරඹා ගෙදර යන බලුමැක්කකු බලුමැක්කියගෙන් ඇසුවේලු.//
    මේ කොටසනම් ලියල තියෙන්නේ සුගතපාල සිල්වා ආවේශ වෙලා
    “බල්ලෝ බත්කති ”
    “එසේ වී නම් මිනිසුනේ අසව් ”
    මෙතෙක් මා සිංහලෙන් කියවපු හොඳම දේශපාලන නවකතා .

    Reply
  10. දුකා මල්ලිගෙන් දැන ගෙන අදයි මේ පැත්තට ආවෙ. සමනලයා බලන්න අයෙත් එනවා. ස්තූතියි!

    Reply
  11. abeetha

     /  September 3, 2012

    මම බැලුවා මගේ බ්ලොග් එකට ට්‍රැෆික් ආවේ කොහොමද කියලා මෙතනින්.. මේ තියෙන්නේ පාරක්….

    මේ දැති රෝද ගැන කියනවානම් දැන් මේ සමාජය දැති රෝද විමානයක් නේ… එක එක දැති රෝද එක එක පැත්තට එක එක වේගෙන් කැරකෙනවා… එච්චරයි… දැති රෝද නැවැත්වීමක්.. අනේ මන්ද කවදා කොහොම වෙයිද කියලා…

    නියම ලියවිල්ලක්.. සුපිරි…

    Reply
  12. //මම කුඩුකාරයෙක්මි.

    ගංජා කාරයෙකුට කුඩු කාරයා කියන එක සාධාරන නෑ නේද?

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: