විරාමය: ‘වානේ පන්නරය ලැබූ හැටි’ නරඹමු

නිකොලායි ඇලෙක්සිවිච් ඔස්ත්‍රොවොස්කි (Николай Алексеевич Островский) ගේ ‘කක් සකල්යාලස් ස්තාල්’ (Как закалялась сталь) – සිංහල පරිවර්තනය ‘වානේ පන්නරය ලැබූ හැටි 1 හා 2’ පරිවර්තක මතක හැටියට දැදිගම වී. රුද්‍රිගු – ද ‘ගුරු ගීතය සේම ජෝෂෆ් ස්ටාලින් යුගයේ ප්‍රචාරාත්මක නවකථාවකි. මීට පාදක වන්නේ 1918-21 අතර රුසියානු සිවිල් යුද්ධයයි. කථා නායකයා පාවෙල් කෝර්චිගින් මෙහිදී බොල්ෂෙවිකයන්ගේ පක්ෂය ගෙන සටන් වදියි. කෘතියට කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් රාශියක් යොදා ගෙන තිබේ.

කතුවරයා 1936දී එනම් ඔහු තිස් දෙහැවිරිදි වියෙහිදී (32) මිය ගියේය.

මෙම කෘතියේ පළමු කොටස 1932දී ‘මොලොදොවා ග්වාර්දියා’ (තරුණ ආරක්ෂකයා) සඟරාවෙහි කොටස් වශයෙන් පළවිය. 1934දී එහි දෙවන කොටස ආරම්භ විය. 1936දී නව කථාව පොතක් සේ පළ වූ නමුත් එහි බොහෝ කොටස් සෝවියට් ආණ්ඩුවේ මැදිහත්වීම විසින් ඉවත් කොට තිබුණේය. මුල් කෘතියෙහි සඳහන් වූ කථා නායකයාගේ පවුල හා සම්බන්ධ අප්‍රසන්න සිද්ධීන්, ආබාධිතයකු ලෙස ඔහු මුහුණ දුන් දුෂ්කරතා හා බිරිඳ සමඟ ඔහුගේ සම්බන්ධය ක්‍රමයෙන් බිඳ වැටුණු ආකාරය මෙසේ ඉවත් කළ කොටස් අතර විය. එසේම කථා නායකයා කෘතිමව පුම්බා යුගයේ දේශපාලන අවශ්‍යතාවයන්ට ගැළපෙන සේ වීරයකු කොට තිබුණේය.පසුකාලීනව ‘වානේ පන්නරය ලැබූ හැටි’ලෙස ප්‍රචලිත වූයේ මේ සංශෝධිත කෘතියයි.

මෙහි ඔබ දකින සිතුවම්පටය සංශෝධිත කෘතිය පදනම් කොට ගෙන 1942දී නිර්මාණය කරන ලද්දකි. 1975දී එය එක් කොටසක් පැය බැගින් වූ රූපවාහිනී සිතුවම්පටයෙකට නැඟුණු අතර ඒ කොටස් හයම You Tube හි දක්නා ලැබේ.

ඉංගිරිසි උපසිරැසි නැති වීම ගැන නැවත කණගාටුව!

විරාමයෙහි ‘ගුරු ගීතය’ නරඹමු!

කාර්ය බහුලත්වය නිසා ‘සමනල විප්ලවය’ ලිවීම කෙටි කලෙකට නතර කරන්ට සිදුව ඇත. අක්‍රිය කාල පරිච්ඡේද බ්ලොග්කරණයේ නොවැළක්විය හැකි occupational hazard එකකි. කමන්න.

එසේ වුව මනසට අහරක් සොයා නිරන්තරයෙන් මෙහි එන පාඨකයින් හිස් අතින් යවන්ට මම අකැමැත්තෙමි. ඔවුන්ගේ වින්දනය පිණිස මා වින්දනය ලැබූ යම් අන්තර්ගතයක් මෙහි බෙදා ගැන්මට කැමැත්තෙමි. මේ ඉන් පළමුවැන්නය.

‘ගුරු ගීතය’ නමින් දැදිගම වී. රුද්‍රිගු විසින් සිංහලට පරිවර්තනය කොට ඇති චිංගීස් තුරේකුවොලිච් අයිත්මාතෝෆ් ගේ (Чинги́з Тореку́лович Айтма́тов –  උච්චාරණය නිවැරදිය සිතමි. – ලේඛකයා රුසියානු භාෂාව තරමක් දුරට උගත්තේ බොහෝ කලකට ඉහතදී වන අතර සෑහෙන කාලයකින් භාවිතා කොට නැත.)  ‘පෙර්වි උචිතේල්’ (Первый учитель) හෙවත් ‘පළමු ගුරුවරයා’ නවකථාවට දේශපාලන ඉතිහාසයක් ඇත්තේය. එය කෘතිය රස විඳීමේදී ප්‍රයෝජනවත් වේය සිතමි.

කෘතියේ ආරම්භය 1924ය. මේ සුවිශේෂී වසරෙකි. ලෙනින් මිය යන්නේද ස්ටාලින් බලය තහවුරු කර ගන්නේද 1924දීය. එසේම රුසියාව, කොකේසියාව, යුක්‍රේනය හා බයිලොරුසියාව 1922දී එකතු වීම තුළින් බිහිවන සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව පළමුවරට විදේශයක් විසින් නිල වශයෙන් පිළි ගැනෙන්නේ 1924දීය. සෝවියට් දේශයේ ව්‍යවස්ථාව බිහි වන්නේද මේ වසරෙහිය.

කිර්ගීස් ලේඛකයකු වන චිංගීස් අයිත්මාතෝෆ්ට මේ වකවානුව වැදගත් වන්නේ එනිසාම නොවේ. (කිර්ගීසය රුසියාවේ ‘යටත් විජිතයක්’ වන්නේ ‘ඔක්තෝබර් විප්ලවයට’ පෙරය.) මේ වකවානුව සෝවියට් මධ්‍යම ආණ්ඩුව විසින් එවක ඉතාම නොදියුණු ප්‍රදේශයක් වූ කිර්ගීසය නතු කර ගන්ට උත්සාහ දරණ යුගයයි. (තවමත් එය සාපේක්ෂව නොදියුණුය.) ඔවුන් ඒ සඳහා යොදා ගන්නා මෙවලම අධ්‍යාපනයයි. මෙහි එන ‘පළමු ගුරුවරයා’ මේ සෝවියට් උත්සාහයේ නියෝජනයෙකි. එනයින් ‘පෙර්වි උචිතේල්’ ඉතාම සියුම් ප්‍රචාරක කෘතියක් වේ.

කෘතිය ගැනද රචකයා ගැනය කිව යුතු තවත් දේ වෙයි. කාලය පිළිබඳ ගැටළුව නිසා එය කාරණා කිහිපයකට සීමා කරමි.

1. චිංගීස් අයිත්මාතෝෆ් කමියුනිස්ට් ලේඛකයකි. නමුත් ඔහුගේ පියා ‘දේශ ද්‍රෝහී’ හංවඩුව මත ඝාතනයට ලක්වන්නේද කමියුනිස්ට් ආණ්ඩුව අතිනි. කමියුනිස්ට් රටවල ඉතිහාසය දන්නා පිරිසට මෙය පුදුමයක් විය නොහැකිය.

2. චිංගීස් අයිත්මාතෝෆ් මේ කෘතිය රචනා කරන්නේ 1962දීය. එය සිතුවම් පටයකට නැඟෙන්නේ 1965දීය. මේ සිතුවම් පටයේ ප්‍රධාන නිළිය සම්පූර්ණයෙන්ම නිරුවත් වන ජවනිකාවක් තිබේ. (with frontal nudity) කමියුනිස්ට් රටවල ඉතිහාසය දන්නා පිරිසට මෙය පුදුමයක් විය හැකිය.

ඉතිරිය පසුව. රස විඳින්න. ඉංගිරිසි උප සිරැසි නැතිවීම ගැන කණගාටුයි, නමුත් ‘ගුරු ගීතය’ පොත කියැවූ කෙනකුට භාෂාව නැතිවීම බාධාවක් නොවේ.

(24) උපේක්ෂාගේ උපන් දින සාදයට ස්ට්‍රිපර්ස්ලා || Upeksha brings male strippers to her birthday party

**********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව )**********

ආවොත් යා යුතුමය.
නොගියොත් නැවත ඊමක් නැත.
නාවොත් යන්ට බැරිය.
නොගොස් එන්ට බැරිය.

මගේ පළමු පෙම්වතා ශේන් මගේ ජීවිතයෙන් පියඹා ගියේය. වැහි ලිහිණියකු සේය. ඔහු කවදා හෝ මා හැර යනු ඇතැයි මට අපැහැදිළි අදහසක් විය. එහෙත් එය මෙතෙක් ඉක්මණින් වෙතැයි මම නොසිතුවෙමි.

ඇත්තටම ඔහු මා හැර ගියා කීම වැරදිය. අප දෙදෙනා එක මඟෙක ගමන් කිරීම නතර කළ බව කීම වඩා නිවැරදිය. මානව සම්බන්ධතා සංකීර්ණය. ආදරයක් බිඳීම හුදෙක් එක් පාර්ශ්වයක වරදක් සේ දකින්ට බැරිය. ඇරත් සිදු වූ සියල්ල සිදු වී හමාරය. කවුරු වැරදිද කවුරු හරිද කියා සෙවීමෙන් ඇති ඵලය කිමද?

මේ සියල්ලෙහි ආරම්භය උපේක්ෂාගේ උපන් දින සාදයය සිතමි.

උපේක්ෂා මා සාමාන්‍ය පෙළ කාලයේ එකට ටියුෂන් ගිය යෙහෙළියකි. අප අතර එවක ලොකු මිතුරුකමක් නොතිබිණි. කොටින්ම ඇය මගේ ෆේස් බුක් එකේ වත් නොසිටියාය. එහෙත් මෑතකදී Odel එකට ශොපිං ගිය දවසක ඇය යළි හමුවීමෙන් අපේ මිතු දම අළුත් විය. මා ගියේ සපත්තු දෙකක් ගන්ට විතරය. එනිසා කා දමන්ට ඕනැ තරම් කාලය තිබුණේය. ඇය ඉදිරියේ පැවැත්වෙන උපන් දින සාදයට අවශ්‍ය කළමනා ගැනීමටය, පැමිණ සිටියේ. මම ඇයට අවශ්‍ය දේ තේරීමට හා මිළට ගන්ට සහාය වීමි. ඇත්තටම ඇයට යම් යම් ප්‍රයෝජනවත් උපදෙස් දෙන්ට මට පුළුවන් විය. මෙනිසා කලින් සැලසුමක් නොතිබුණද, මට උපන් දින සාදයට ඇරැයුම් නොකර සිටින්ට ඇයට නොහැකි වූයේය සිතමි.

Odel එක ඉදිරිපස බුලවාඩයෙහි අසුන් ගෙන Roots එකෙන් ගත් මිල්ක් ශේක්ස් දෙකක් රස බලමිනි සිටියදීය, උපේක්ෂා ඇගේ උපන් දින සාදය පිළිබඳ රස වෑහෙන කාරණා දෙකක් මා සමඟ බෙදා ගත්තේ. පළමුවැන්න එය all-girls-party එකක් බවය. මම එහි වරදක් නොදකිමි. මේ ෆේස්බුක් යුගයේ වුවද, කොල්ලන්ට සම්පූර්ණයෙන් නිරාවරණය කළ නොහැකි පෞද්ගලිකත්වයක් අපට තියේ. ඉඳහිට වුව අපට එය විඳින්ට අවස්ථා ඕනෑය. දෙවැන්න ඇය ඒ පිණිස male strippers ලා දෙදෙනකු ගෙන්වන්ට සැලසුම් කොට ඇති බවය.

සියවස් ගණනාවක් තිස්සේ පිරිමි නාටිකාංගනාවන් නිරුවත් කොට ඔවුන්ගේ සිරුරු දෙස බලා වින්දනයක් ලැබුවෝය. දැන් සමතැන සමඟ අපටද ඒ අවස්ථාව ලැබී තියේ.

Male stripperලා හොරොව්පතානේ ගාමන්ට් කෙල්ලන්ට මිසක් කොළඹ අපට නම් අළුත් දේවල් නොවේ. මා මුලින්ම එවැන්නක් ගැන කියැවූයේ වසර කිහිපයකට පෙරදීය. අපේ පන්තියේ පත්තරය සේ සැලකිය හැකි Sunday Leader එකෙනි. ඉන් පසු රස්සාවට මේවා කරන කොල්ලන් ගැන නිතර අසන්ට ලැබුණේය. එක් වරෙක සාදයකදී මම male strip show එකක් දුටුවෙමි. එහි නම් කිසිම කොල්ලකුගේ ගන්ට දෙයක් නොතිබුණේය. උන්ගේ සිරුරු එක්කෝ ඉතියෝපියාවෙන් ගෙනාවා වැනිය. නැත්නම් මහ බඩවල් වලින් කැත වූ ඒවාය. කැළණිය වැන්දායින් පසුව ගමේ පන්සලෙන් වැඩක් නැතිය කියන්නාක් සේ මට නම් තවදුරටත් ඒවා පසුපස එල්ලෙමින් යන්ට ඕනෑකමක් නොවීය. අනෙක් අතට නිකම් පෙන්නනවා නම් බලන්ට අකැමැත්තක්ද තිබුණේ නැත.

මගේ කුහුල ටිකක් ඇවිස්සුනේ උපේක්ෂා ගෙනෙන්ට සැලසුම් කරන්නේ ආමි එකේ කොල්ලන් දෙදෙනකුය ඇසීමෙනි.

කොළඹ කෙල්ලන්ට ආමි කොල්ලන් ගැන පිස්සුවල් ඇති වුණේ මෑතකදීය. එය යුද්ධයට සමාන්තර වූ සංසිද්ධියකැයි සිතමි.

චිරාත් කාලයක් තිස්සේ කොළඹ කෙල්ලෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කොළඹ කොල්ලන්ගෙන් සන්තෘප්තව සිටියහ. බිෂොප්ස්, මෙතඩිස්ට්, ලේඩීස් ගිය කෙල්ලෝ රෝයල්, සෙන්ට් තෝමස්, සෙන්ට් පීටර්ස් කොල්ලන්ට සෙට් වූහ. පසුව විශාකා, දේවි බාලිකා කෙල්ලෝ ආනන්ද, නාලන්ද, මහානාම, ඩී. එස්. කොල්ලන්ට සෙට් වූහ. ගෝතමී, ආනන්ද බාලිකා කෑලිද ලුම්බිනි, අසෝක හෝ රාජගිරියේ ජනාධිපති කොල්ලන්ට වත් සෙට් වන්ට ඇත. ඉන්ටර්නැෂනල් ස්කූල්ස් පටන් ගත්තායින් පසු ඒවායේ කෙල්ලෝ ලොක්කෝ වෙනමම බන්ධන ඇති කර ගත්හ. මේ කිසිවකුට හොරොව්පතානේ කොල්ලකු ගැන උනන්දු වන්ට අවශ්‍ය නොවීය.

යුද්ධය මේ සියල්ල වෙනස් කළේය.

දීර්ඝ කාලයක් ඇදී ගිය යුද්ධය ගම්බද කොල්ලන්ට අමුතුම වීරත්වයක් ගෙනාවේය. නිව්ස් වල මුල් තැනක් ලැබුණේ ඔවුන්ටය. ඊට අමතරව ‘රණවිරු’ ලේබලයට මුවා වී බොහෝ දේ කළ හැකි විය. කෙල්ලකුට වුව යුද භටයකුගේ ඡායාරූපයක් කරදරයකින් තොරව පොතක් අස්සේ, හෑන්ඩ් බෑග් එකේ ගෙනයන්ට පිළිවන් විය. සාමාන්‍යෙන් කොල්ලන්ට ඇතුළු වෙන්ට ඉතාම අසීරු බාලිකා විද්‍යාලයකට පවා ‘රණවිරුවන්ට’ කිසිම කරදරයකින් තොරව ඇතුළු වෙන්ට ලැබුණේය. ‘රණවිරු සුභසාධක ව්‍යාපෘති’ ක්‍රියාත්මක කිරීමේදී අතිශය සාම්ප්‍රදායික කොළඹ බාලිකා විද්‍යාල වල යුවතියන්ට පවා මේ කොල්ලන් සමඟ නිදහසේ ගැවසෙන්ට ඉඩ ලැබුනේය. හරියට ඔවුන් කොල්ලන් නෙවෙයි වගේය.

මේ නිසා පශ්චාත් සහශ්‍රක යුගයේදී, කොළඹ ඉස්කෝලවල කෙල්ලන් අතර කොළඹ කොල්ලන්ට අන් කිසිදු ආකාරයකින් තරගයක් දෙන්ට නුසුදුසු වූ ගමේ බයියන්ටත් ‘රණ විරු’ ලේබලය යටතේ ලොකු ඉල්ලුමක් ඇතිවිය. ලේඩීස් එකට ගිය මගේ මිතුරියක සෙන්ට් තෝමස් එකේ ෆස්ට් එලවන් ගැසූ හොඳ පවුලක කොල්ලකු අතහැර එයා ෆෝර්ස් එකේ නිකම්ම නිකං ගොඩයකුගේ කරේ එල්ලුණේ නොබෝදාය. මම නම් පෞද්ගලිකව මේ ප්‍රවණතාවයට කැමැති වීමි. කොළඹ ඉස්කෝල වල ඩීසන්ට් කොල්ලන්ට වූ තරගය අඩු වූ නිසාය.

උපෙක්ෂා තම උපන්දින සාදයට male strippers ලා හැටියට ආමි එකේ කොල්ලන් ගෙන්වීමද මේ පිස්සුවේම වෙනත් පැති කඩෙකි. කොයි තරම් ගොන් පාට් එකක වුණත් ආමි එකේ කී පමණින් කෙල්ලන් අතර උත්තේජයක් ඇතිවන බව ඇය දනී. එය බලය පිළිබඳ ප්‍රශ්නයක්ද වේ. මේ නිරුවත් වන්නේ නිකම්ම නිකම් කොල්ලන් දෙදෙනකු නොව බලයේ සංකේතය. කෙල්ලෝ එවැන්නකින් ලැබෙන බලය පිළිබඳ හැඟීමට ආදරය කරති.

I have seen better. මේ මට එදා රෑ strip show ගැන කිව හැකි එකම දෙයයි. එවැන්නක් නොදුටු කෙල්ලකට නම් නරකම නැත. සමහරු නම් අන්තිම හරියේදී බැරි බැරි ගාතේ විස්ල්ද ගැසුවෝය. එසේම කොයිතරම් කෑ ගැසුවත් කොල්ලන් දෙදෙනාගෙන් එකකු හෝ ලවා ඉණ කඩ ගලවා ගන්ට නම් කෙල්ලන්ට අවස්ථාව නොලැබුණේය. ආමි කොල්ලන් දෙදෙනා බයියන්ම නොවෙතැයි මට සිතුනේ ඒ අවස්ථාවේය. යම් යෙහෙකින් එසේ කළේ නම් උන් strip show එක සම්පූර්ණයෙන්ම වනසා ගනු ඇත. එසේ නොකළ නිසා professionalism එක රැකුණේය.

කොල්ලන් දෙදෙනා තම ගාස්තුවට අමතර හොඳ ගණනක් සොයා ගන්ට ඇතැයි සිතමි. උන්ගේ ඉණකඩෙහි දාහේ දෙදාහේ නෝට්ටු ඔබන්ට අපගේ යෙහෙළියන් පොර කෑ බැවිණි. මේ සල්ලි strip show එකේ ගාස්තුවට අමතරව ඔවුන්ට රැගෙන යන්ට ඉඩ ලැබේ.

මට එච්චර විසයක් නොවූ නිසා සමුද්‍රා සමඟ වයින් වීදුරුවක් තොළ ගාමින් හිඳ ගෙන සිටියෙමි. සමුද්‍රා මා එදින හඳුනා ගත් මිතුරියකි. ඇයටද strip show එක ගැන වැඩි උනන්දුවක් නොවූ හෙයින් උනන්දුවියන්ට කරන මළ දානයක් කර ගන්ට දී අපි පසෙකට වී හුන්නෙමු. ඇය සේවය කළේ ශ්‍රී ලංකන් එයා ලයින්ස් වලය. ශේන් ගැන මම ඇයට නොකීවෙමි. මා අදහස් කළේ පසුව ස’ප්‍රයිස් එකක් දෙන්ටය.

මධුවිත් එකින් එක හිස් වෙද්දී ඇය වඩ වඩා දොඩමළු වෙයි.

ශ්‍රී ලංකන් එයා ලයින්ස් යනු ඕපාදූප ආකරයකි. එහි සේවය කරන බොහෝ දෙනකු, විශේෂයෙන්ම කැබින් කෲ සාමාජික සාමාජිකාවන් ගැන ඇසෙන කට කතා රාශියකි.  ඒවායින් කොයිතරම් ඇත්තද, කොයි තරම් බොරුද කිසිවකුත් නොදනිති. නමුත් ඉඳහිට ගුවන් සේවකයකු/ගුවන් සේවිකාවක කුඩු වික්කා හෝ කටුගෙයි කඩු සොරකම් කළාය මාධ්‍යයන්හි පළ වන විට මේ කතා වලටද තටු ලැබේ. ඉන් සමහරක් ශේන් විටින් විට මට කියයි.

ශ්‍රී ලංකන් එයා ලයින්ස් විසින් තම සේවක සේවිකාවන් පිණිස මෙහය වූ ස්වේච්ඡා වෛද්‍ය පරීක්ෂණයකදී HIV ආසාදිතයකු හමුවීය ශේන් මට කියා තිබුණේය. මම ඒ ගැන සමුද්‍රාගෙන් අසමි.

“…Oh, yeah. But that wasn’t as unusual as it sounds. Any large employer has to face such situations these days…”

“I thought it was a nightmare…”

“No, not at all. We have our standards and we don’t discriminate over such issues. But it was too risky to have him as cabin crew. The company offered two options. He could either join the ground staff or voluntary retire with sufficient compensation. He opted for the second. The company had a golden handshake and I heard he started his own business with the money…so no issues for him or for us…”

ලෝකයේ සෑම සංකීර්ණ ප්‍රශ්නයකටම මෙවැනි යහපත් අවසානයක් ඇත්තේ නම් කොයි තරම් හොඳද මට සිතේ.

“But there was more…”

සමුද්‍රා කට හදන හැටියෙන්ම ඇය කියන්ට සැරසෙන්නේ ලොකු ඕපාදූපයක් බව මට වැටහේ. මෙය ශේන් ගෙන් මා නොඇසූ කතාවකි. මම ඇය දෙසට හැරෙමි.

“What’s that…?”

“About a month after that, a girl committed suicide. There was no apparent reason, like financial issues or a broken affair…”

“And…?”

“The rumor was that this guy had sex with her…”

“Oh, Gosh. She was probably not infected…”

“Well, we will never know. It is the life…”

“Is office sex that common there…?

“It is not office sex darling. Anybody in cabin crew does a difficult job. It is not easy to smile and politely call every arsehole ‘sir’. They need to relive their stress. And when you are in a different city with enough money and free time in your hand, anything can happen…”

ශේන් සේවය කරන්නේද කැබින් කෲ එකේය. මේ අමාරු ජීවිතය ගැන ඔහු මට කියා ඇත්තේය. සමුද්‍රා ඔහු ගැන මොනවා දන්නවා ඇත්ද? මේ ශෙන්ව සාකච්ඡාවට ගෙන එන්ට හොඳම අවස්ථාවය සිතේ.

“Yeah. I too have heard. Have few friends there. Probably you know Shane…?”

“Shane who?”

“Shane Andrews…?”

“Shane Andrews…Why that names rings a bell? Ah, yes. Shane Andrews, I know. That tall guy. An old Josephian, I think…”

“Yeah, that’s him…he is..”

මා වාක්‍යය අවසාන කරන්ට පළමුව ඇය කතා කරයි. මගේ ස’ප්‍රයිස් එක කල් දැමිය යුතුය.

“…Is he a good friend of yours?”

“Not really. Actually someone I know through my friends…” මම බොරු කියමි. වින්දනය ඇත්තේ ස’ප්‍රයිස් එක කල් දැමූ තරමටය.

“That’s good. I was about to warn you…”

“Warn me…?”

“Yes. He is bit of a crackpot. I think he is mentally unstable. His recent behavior has been violent and unusual…”

“Like…?” මත්ව ඉන්නා සමුද්‍රා මගේ කට හඬෙහි වෙනස නිරීක්ෂණය නොකරතැයි මම සිතමි.

“Last week this animal has burned a girl with a cigarette butt so severely that she had to be hospitalized…”

.

.

(ඉවසන්න,……………. සමනලයා යළි පියා සලන තෙක්)

(23) සර්වඥ ධාතූන් වහන්සේලා වැඩියහ; මා එතැනමය. || The mystery begins

  • කාලය: අවශ්‍ය නැත, පින්වත
  • ස්ථානය: අවශ්‍ය නැත, පින්වත

**********(රතු හාමුදුරුවන් කියන කතාව)**********

න අනතලිකෙඛ, න සමුදදමජෙඣ,
න පබබතානං විවරං පවිසස,
න විජජති සො ජගතිපපදෙසො
යත‍ථටඨිතො මුඤෙචය්‍ය පාපකමමා.

යම් තැනක සිට අකුශලයා ගේ විපාකයෙන් මිදිය හැකි නම් එවැනි තැනක් ලෝකයෙහි නැත. අහසෙහි සිටියත් මූද මැද සිටිය , පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් එයින් නිදහස් වෙන්ට නො හැකි ය.

(ධම්මපදය, පාප වග්ගය )

රතනාරාමයෙහි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසාන වූයේ ඊයේය. මේ රටේ සිංහල බෞද්ධයෝ කොයි තරම් රාග, ද්වේෂ මෝහයන්හි ඇලී ගැලී සිටියද අමා මෑණියන් කෙරෙහි අපරිමිත භක්තියක් දක්වති. කිලෝ මීටර දෙකක් හෝ තුනක් දිග පෝලිමක් හැම විටෙකම දිවා රෑ නැතිව සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කර ගන්ට තිබුණේය. මේ මගේ මතකයට අනුව රතනාරාමයට විශාලතම පිරිසක් එක වර රැස් වු අවස්ථාවයි.

පින්වතුනි , මා මීට වසර විස්සකට පෙර සිටි පුද්ගලයාම වී නම් මේ බුද්ධාලම්බන ප්‍රීතියෙන්ම මට සති මාස ගණනක් ගෙවා දමන්ට තිබුණේය. එහෙත් මම දැන් වෙනස් පුද්ගලයෙක්මි. මා අගය කරන පුරුෂාර්ථ, චර්යා හා සාර ධර්ම වෙනස් වී ඇත්තේය. එබැවින් මේ සිද්ධිය වුව මට ලොකු සතුටක් ගෙන නොආයේය. එයින් වුව මගේ සිතෙහි ඇති මහ බරින් දශමයක් වත් නොඅඩු වූ හෙයිනි.

මේ බර මම මරණය තෙක්ම රැගෙන යමි. එයින් මතු මට මිදීමක් නොවන බව දනිමි.

මෙලොව කී දෙනකු තම ජීවිතයෙහි වසර ගණනාවක් දැන දැනම මළ මිනියක් සමඟ ගෙවා ඇත්ද මම නොදනිමි. මෙරට මෙන්ම තායිලන්තය, ලාඕසය වැනි වෙනත් බෞද්ධ රටවලද, කෙනකුට ලෙහෙසියෙන් පිවිසිය නොහැකි, හුදෙකලාව පිහිටා ඇති වන ආරණ්‍යයන්හි බෞද්ධ භික්ෂූහු දිරායන මළ මිනී අරමුණු කොට ගෙන කමටහන් වඩති. ජීවිතයේ නිස්සාරත්වය අවබෝධ කොට ගනිති. මම එසේ කමටහන් වඩන්නකු නොවෙමි. මට මළ මිනියක් සමඟ ජීවිතය ගත කරන්ට සිදුවී ඇත්තේ වෙනත් හේතූන් නිසාය.

මේ සියල්ලම සිදුවූයේ ඇමැතියා නිසාය. මේ අසත්පුරුෂයා නමින් වත් හඳුන්වන්ට මම අකැමැත්තෙමි. සමාජයට ප්‍රසිද්ධියේ මුහුණ දෙන්ට අවශ්‍ය අවස්ථාවන්හීදී අප දෙදෙනා එකිනෙකාට ප්‍රශංසා කර ගන්නා අවස්ථා ඔබ දැක ඇතිවා වන්ට පිළිවන. එසේම අප දෙදෙනාගේ සමූහ ඡායාරූප පවා අන්තර්ජාලයෙහි නොවිරලයහ. ඒවායින් සමහරක මම සිනහමුසු මුහුණින් ඔහුට පිරිත් නූලක් බඳිමින් සිටිමි. තව එකක ඔහු සමඟ දිගු කලක් දන්නා මිතුරකු සේ දොඩමින් සිටිමි. මේ ලෝකයා රවටන්ට කරන දේය. මගේ ජීවිතය අපායක් කළේ මේ පාපතරයාය.

මේ සියල්ල ආරම්භ වූයේ මීට වසර ගණනාවකට පෙර අඳුරු රාත්‍රියකය.

මම දවසේ වැඩ කටයුතු අවසන් කොට ස්වාධීන රූපවාහිනී සේවයේ ‘දොරමඬලාව’ නරඹමින් සිටියෙමි. එහි සූරියප්පෙරුම උපාසක මහත්මයා “දැන් බලන්ඩ හසන්ත මහත්තයෝ…” යි පටන් ගෙන කරන ‘අපේ කම’ ගැන කරන අව්‍යාජ, හිතට වදින සුළු කෙටි දේශනාවන්ට මම කැමැත්තෙමි. ඒවා අසන විට මගේද ඇඟේ මවිල් කෙළින් වෙයි. ජාතිකාභිමානය වැඩේ. දේශ වාත්සල්‍යය තියුණු වේ. අපේ මේ රට විනාශ කළ පර සුද්දා මරාගෙන මැරෙන්ට හිතේ. සූරියප්පෙරුම උපාසක මහත්මයා වැනි ජාති හිතෛශීන් තව නව දෙනකු සිටියේ නම් මෙරට කේතුමතී රාජ්‍යයක් වනු ඇතැයි මම බොහෝ අවස්ථාවන්හීදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත්තෙමි. සූරියප්පෙරුම උපාසක මහත්මයා යනු අනගාරික ධර්මපාල හාමුදුරුවන්ගේම අත් භවයකැයි මට වරෙක සිතුණේය. එහෙත් මම එය ප්‍රකාශ කරන්ට නොගියෙමි. කටට එන හැම දෙයක්ම කියන්ට හොඳ නැත.

අනෙක් උන්නාන්සේලා සියළු දෙනාම පාහේ නුදුරු නිවෙසක පිරිත් පිංකමකට වැඩම කර හුන් හෙයින් ඒ අවස්ථාවේ පන්සලේ හුන්නේ මා පමණෙකි. උන්නාන්සේලා කිවාට අපේ පන්සලේ මහ ලොකු ගණනක් නැත. ඔය හතර පස් දෙනක් විතරයි. ඇබිත්ත කොලුවා සුදත් හැරුණු විට ඩේවිඩ් අයියාද අපට උදව් වෙයි. නමුත් මේ කියන අවස්ථාවේ ඔහුද නොසිටියේය. මගේ තනියට හිටියේ එකොළොස් හැවිරිදි සුදතාය.

ලොකු කළු පාට ජීප් එකක් බරාස් ගා මිදුලේ බ්‍රේක් ගැසූ නිසා කවුදැයි බලන්ට මම එළියට ආවෙමි. මම ඔය ප්‍රාඩෝ, අර ඩෝ, මේ ඩෝ වැනි ජීප් ගැන අන්දෝ සංසාරයක් නොදන්නෙමි. මේවා ලොකු ලොක්කන් භාවිතා කරනවා කියා මිසෙක අඩු ගණනේ ඒවා ජීප් බවත් මා දැනගත්තේ බොහෝ කාලයකට පසුයි. අප ඉස්සර ජීප් කිව්වේ කොළපාට, එකිනෙකට කිට්ටුවෙන්, සාමාන්‍ය මෝටර් රථයක ඒවා ඇති මට්ටමට ඉහළින්, ලොකු රවුම්  ලයිට් දෙකක් තිබුණු, පිටිපස්සට හුඩ් එකක දැමූ පොලෝසියේ මහත්වරුන් පාවිච්චි කල ජීප් වලටය. ඇමැති ගොයියන්ගේ මේ අරුමෝසං වාහන වලට කියන්නේද ජීප් කියා මට මුලින්ම කියා දුන්නේ පන්සලේ ඇබිත්ත කොලුවා සුදත්ය. ඒකා නම වසවර්තියෙකි. ඒත් මේ වගේ නොදන්නා දෙයක් අසා දැන ගැන්මට සේම, ඉඳ හිටලා මේ කුණු ශරීරය රිදුම් දෙන වෙලාවට ටිකක් මිරිකා ගන්ටද, හදිසියකට අර කොණ්ඩෝංද මොණ්ඩෝංද කියන කාම කොපු පැකැට් එකක් දෙකක් ඉඳහිට හන්දියේ ජීවක ෆාමසියෙන් ගෙන්නා ගන්ටද කුකුල් ගූ වගේ ඌත් ඕනෑ වෙනවාය.

එදා ජීප් එකේ පැමිණි පිරිස මට විස්තර කරන්ට පුළුවන් සංජය බෙල්ලට්ඨිපුත්තගේ භාෂාවෙන් පමණෙකි. ඔවුන් මා දන්නා එහෙත් නොදන්නා පිරිසකි.  ඔවුන් ඇමැතිතුමාගේ ගෝලයින් බව පෙර දුටු බැවින් මම දත්තෙමි. එහෙත් මේ මේකාය කියා නමින් කියන්ට පුළුවන් කමක් මට නොතිබුණේය.

පන්සලට එන කවුරුත් සාමාන්‍යයෙන් ආවාසයට ගොඩ වෙති. එහෙත් මේ පිරිස හැසිරුණේ ගිනි පෙනෙල්ල ලිපේ දමා ආ ගොයියන් විදියටය. ඔවුන්ට තිබුණේ හරියට රා පෙවූ නාලාගිරි ඇතා පස්සෙන් පන්නාගෙන එන විට දුවන්ට තියෙන හදිස්සිය මෙන් හදිස්සියකි.

“රතු සාදු අපි ඇමැතිතුමාගෙන්…”

ගෝඨයිම්බරයා මෙන් තඩි ශරීරයක්ද කුඩා හිසක්ද ඇත්තෙක් රථයේ ඉදිරිපසින් එළියට බසින ගමන් කීවේය. මේකා හැරුණු විට තව පස් හය දෙනක් ඒ වාගේම තඩියන් ඉන්ට ඇත. ඒත් වැඩිපුර කතා කළේ මේකාය. හරියට කටක් තිබුණේ ඌට පමණක් වාගේය.

සක්විති රජකෙනකු වුවද කිසිම ගරුසරුවක් නැතුව ‘රතු සාදු’ කියන විට මට සිංහ කොඩිය බිම දමා සුද්දාගේ කතිර කොඩිය උස්සා තියෙනු දුටු වාරියපොළ සුමංගල උන්නාසේට මෙන් සාධාරණ කෝපයක් ඇතිවේ. හරියට අප උන්ගේ අත පල්ලෙන් වැටිලා වගේය. ඒත් මේ අනුශාසනා පවත්වන්ට වෙලාවක් නොවේ. පසුව ලොක්කා ආපු සැරේක ගෝලයින්ට කතා කොරන හැටි උගන්නන්ට කියලා, රෙදි ගැළවෙන්ට ලැක්චර් එකක් දෙන්ට පුළුවන්ය.

“ඔව්. මං නොදන්නවය ළමයිනේ. ඇතුළට ආවනං…”

“ඇතුළට එන්ට ඕනැන්නෙ නෑ රතු සාදු. අපි ආවෙ අර ළිඳ වහල දාන්ටය කියල ඇමැතිතුමාට කියපු පණිවිඩේට ඒ වැඩේ කරලා දෙන්ට…”

මේ කියවන්නේ මොන අන්තෝ ජටාවක් බහි ජටාවක් දැයි තේරුම් ගන්ට මට ටික වෙලාවක් ගතවිය. තේරුණේ පස්සේය. මේ පන්සල පුරාණ විහාරයකි. එහි එක් කොණක එකදාස් නවසිය තිස් හතළිස් ගණන් වල මහ සේනානායක උන්නැහේගේ කාලයේ කළ, දැනට කාලෙකින් පාවිච්චි කොට නැති  ළිඳක් තියේ. ළිඳක් කීවාට එහි ඇති ලොකු වතුරක් නැත. හැබැයි (පන්සල පිහිටියේ තරමක උස් බිමක නිසා) ටිකක් ජඹුරය. වසර ගණනක් තිස්සේ රොඩු බොඩු, මළුවෙන් අතුගා දමන බෝ කොළ, පරවුණු මල් ගඩොල් සිමෙන්ති කෑලි හා පස් දැමීම නිසා බාගෙට පිරිලාය. එහි ඩෙංගු මදුරුවන් බෝවෙන්ට පුළුවන් කියා හෙල්ත් ඉස්පැට්ටර මහත්තයා දැන් කාලයක සිට කෝන්තර කරයි. එනිසා මට එය වසා දමන්ට ඕනෑ වී තිබුණේය. ඇමැතිතුමා පන්සලට ආ දවසක, ඔහුටද ඒ වග, හැමදෙනාටම කියනවා වාගේම, කියන්ටත් ඇත. හැබැයි ඒ ගැන මට නම් හාංකවිසියක මතකයක් නොවීය. දැන් මේ උදවිය එන්ට ඇත්තේ ඇමැතිතුමාට මට වඩා මේ කාරිය ගැන මතක තිබුණු නිසා විය යුතුය.

“ළිඳ නං වහ ගන්ට ඕනෑ තමයි දරුවො. ඒත් මේ මහ රෑ ඕව කරන්ට පුළුවනෑ…දවාලෙක කළා නං නෙවෙද හොඳ…”

“…ඔන්න ඕකට මොන රැයක් දවාලක්ද සාදු? වැඩේ කෙරෙන්ඩ නෙව ඕනැ. අනෙක මේ වෙලාවට තමයි ඇමැතිතුමාට අපිව රිලීස් කරන්ඩ පුළුවන්. නැත්නම් දවල් දවස තිස්සෙ වැඩනෙ…”

“නෑ මං කිව්වෙ මේ රෑ එළියක් වත් නැතුව කොහොමද ඔව්ව කරන්නෙ?”

“මොන එළියක්ද සාදු? අර හඳ තියෙන්නෙ. මේ වාහනේ හෙඩ් ලයිට්ස් ඔය පැත්තට හැරෙව්වාම ඉතුරු ටික හරිනෙ…”

මේ තරම් ඕනෑ කමින් මේ වැඩේ කරන්ට මේ ඇත්තන් සැරසීම ගැන මට ඇති වූයේ ගර්වයකි. ඇරත් මේ ගැන කිසිම ඕනැකමකින් ඇමැතිතුමාට කියලත් නැතිව! වැදගත් පුද්ගලයින් වුණාම ඔහොම තමයි. අනේ පිඬු සිටාණන් අප මහ බුදුරජානන් වහන්සේට බිම වැහෙන්ට රන්කාසි අතුරා ජේතවනාරාමය මිළ දී ගෙන දුන්නේ උන්නාන්සෙ ඉල්ලලයැ. ඔන්නොහේ ඕනැ එකක්. මමයැ කරන්නෙ?

“… කොහෙන්ද දැන් ඔය ළිඳ පුරවන්ට පස් අදින්ට හිතාන ඉන්නේ..?”

උනන්දුවේ තරම කොපමණද කිව්වොත් ඒ වන විටත් දෙදෙනකු ගොස් ළිඳ තියෙන හරිය බලා කියාගෙන ඇවිත් තිබුණේය.

“…ඕකට ඔච්චර පස් ඕනැ නෑ හාමුදුරුවනේ. ඔය ළිං කණු දෙකයි, ළිං බිත්තියයි කඩා දැම්මාම බාගයක් පිරෙයි. මදි වුණොත් අර එහායින් කණ්ඩිය ටිකක් කපලා ගනිමුකෝ…”

“…අනේ මන්දා ළමයිනේ. මට නං හිතෙන්නෙම මේක කරන්ට මේ වෙලාව නෙවෙයි කියලා. අනෙක් උන්නාන්සෙලත් නැති කොට…”

“සාදු. බණ නං කතා කරන්ට එපා…” ගෝඨයිම්බරයා එය කීවේ තරමක කෝපයෙනි.  “ඇමැතිතුමා එව්වෙ කොහොම හරි මේක කරලාම දීල එන්ට කියල. මං ඇමැතිතුමාට ෆෝන් කරලා කියන්ටද සාදු ඥං පචං ගානවා කියලා…”

“අනේ, නෑ දරුවො. මං මේ කල්පනා කළේ ඔය දරුවන්ගෙ පහසුව. මට නං ඕක කොයි වෙළේ කළාම මොකද…?”

මම වහා කීමි. ඔය පැත්තක තියෙන ළිඳක් නිසා ඇමැතිතුමා තරහ කර ගන්ට ඕනැ නැත.

“හරි. සමරේ. ඔන්න ඕක පොඩ්ඩක් ඉස්සරහට ගනින් බං…”

“එහෙනං අපි තේ ටිකක් හෙම බීලම වැඩට බහිමුද දරුවනේ…?”

“තේ නං බොන්ට බැරුවයැ, කොයි වෙලාවෙ හරි. අපි වැඩ පටන් ගනිමුකෝ. සාදු ගිහින් නිදා ගන්ටකෝ. වැරදුනා…සැතපෙන්ටකෝ. කොහෙද අපි පොඩිකාලෙ පන්සල් ආශ්‍රය කරපු අයයැ සාදු. සාදුලට රෙස්පෙක්ට් එකට කතා කරන්ට ඉගෙන ගත්තු එකක්යැ. ඇමැතිතුමා හින්ද නෙවැ මේ විදියට වත් පන්සලකට එන්නේ…”

කරගන්නා මළ දානයක් කර ගන්ට දී මා ඉවත් විය යුතුය මට සිතුණේය. අරෙහෙ සූරියප්පරුම මහත්මයා කළු සුද්දන්ට අම්මා මුත්තා කාලේ බිව් රංකිරි මතක් වෙන්ට නෙළනවා ඇති. මේ කෙහල්මලක් නිසා මට ඒකත් නැති වුණා. ඉවර වෙන්ට කලින් ටිකක් වත් බලන්ට ඕනැ.

මම නැවත ආවාසයට ගොස් රූපවාහිනිය නරඹන්ට පටන් ගත්තෙමි. උදළු අලවංගු ආදී ඕනෑ දෙයක් දෙන ලෙස ඇබිත්ත කොලුවාට කීවෙමි.

එදා දොරමඬලාව නම් මල් හතය. මාතෘකාව ‘ගම් පෙරළිය’ හෙවත් නූතනත්වයත් සමඟ අපේ පුරාණ සිංහල බෞද්ධ ගම් විනාශ වීමයි. සූරියප්පෙරුම උපාසක මහත්මයා අපේ හැම ගමකම දැන් ටැලිවිසොං කණු, මොබයිල් පෝං කණු හතු පිපෙන්නාක් මෙන් බිහිවී ගම් වල ස්වභාවික සෞන්දර්යය විනාස වෙන හැටි ටෙලිවිසොං ටෙලිපෝං කොම්පැණි වල ගොයියන්ට කණේ ඇඟිලි ගහ ගන්ට හිතෙන විදියට විග්‍රහ කළේය. මම අවට පන්සල් හැම එකකම දන්නා කියන උන්නාසෙලාට මගේ මොබයිල් පෝං එකෙන් කතා කොට වැඩ සටහන බලන්ට කීවෙමි.

දොරමඬලාව බැලුවායින් පසු මට ළිඳ පැත්තට ගොහින් වැඩ කෙරෙන හැටි ගැන බලන්ටද සිතුණේය. ඒත් මා සිටියේ මහන්සියෙනි. ඊට කලින් දවසේද පිරිත් පින්කමක් නිසා සැතපෙන්ට ලැබුණේ කඩින් කඩය. මුන් ළිඳ උස්සගෙන යන එකක්යැ. ඔන්නොහෙ කරන මඟුලක් කරපුවාවෙ. හෙට උදේට බලන්ට බැරියැ.

මේ වන විට තව උන්නාන්සෙලා කීප නමක් පැමිණ සිටි හෙයින් පිරිසට අවශ්‍ය නම් කෝපි වත්කර දෙන්ටත්, වැඩ ඉවර වුණාම මට කරදර නොකොට යන්ට කියන ලෙසටත් දැනුම් දී සැතැපුණෙමි.

පැය කිහිපයකට පසුව ජීප් එක පිටව යනු මට ඇසුණේය. මා ඒ වන විට මඳ නින්දේය. වෙලාව බලා ගන්ට බැරිවිය. හඳ එළිය වැටී තිබුණු හැටියට එක හෝ දෙක විතර වෙන්ට ඇත. තුන හතරද කියන්ට බැරිය. අනිද්දා පසළොස්වකය. නිදිමතයි.

පසුදින උදෑසන මට පෙණුනේ වරදක් නැතුව වැඩේ සිදු වී ඇති බවයි. මට නොතේරුණු එකම දෙය ළිඳ පුරවා මේ ඇත්තන් උඩින් සිමෙන්තිද දමා තිබුනේ මන්ද යන්නය. ඒක නම් වැඩි වැඩකි. එතැන සිමෙන්ති දාන්ට කිසිම ඕනැකමක් නැත. ඇමැතිතුමාගෙ උනන්දුව තමයි. දවල් වෙලා කතා කරලා පින් දෙන්ට ඕනැ.

අර අලුගුත්තේරු ඇබිත්තයා සුදතා නොවේ නම් මේ සියල්ල යහපත් පරිදි නිමා වෙන්ට තිබුණේය.

මේකා පසු දින උදේ වරුවම නූලට ඉඳිකට්ට වාගේ මගේ පස්සෙන් එන්නේ හොඳකට නොවන බව මට තේරුණේය. ඌ හිටපු ගමන් “ලොකු හාමුදුරුවනේ…” කියයි. “ඇයි?” කියා ඇසුවාම නිහඬ වෙයි. මොකක් හරි කියන්ට තියෙනවාද ඇහුවාම නෑ කියයි. ඒත් මුහුණේ තියෙන්නේ බිය වූ පෙණුමකි.

මීට ටික කාලයකටද පෙරද මේකා මීට බෙහෙවින් සමාන හැසිරීමක් පළ කළ බව අවස්ථාවක් වූ බව මට මතක් විය.

“සුදත්…මෙහාට වරෙන්” මම කොලුවාට කතා කළෙමි. ඔහු එක් වර නොආවේය.

“කිව්වම වරෙන්. නැත්නම් මම ගෙන්න ගන්ඩද?”

කොලුවා මා අසළට විත් සිට ගත්තේය.

“කියපං දැං උඹට කියන්ඩ ඕනැ දේ…”

“නෑ මොකුත් නෑ , ලොකු හාමුදුරුවනේ…”

“ධම්මරතන උන්නාන්සෙ ආයෙත් උඹට කරදර කළා නේද…?”

ධම්මරතන උන්නාන්සේ කීවෙ මගේ ජ්‍යේෂ්ට ගෝලයෙකි. කැළණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසර සිසුවකු වූ ඔහු පන්සලේ රැඳී හිටියේ ඉඳ හිට දවසකය. එසේ හුන් දවසක ඇබිත්ත කොලුවා සමඟ පොඩි හුටපටයක් වී තිබුණේය. මේවා සිදු නොවන දේවල් නොවේ. මේවා නොවෙන තැං හොයන එක කිසිවකු නොමළ ගෙයකින් අබ ඇට හොයනවාටත් අමාරුය. හැබැයි කරේ එල්ල ගන්නේ නැතුව කුණු මාළු කන හැටිත් අපේ උන්නාන්සෙලා ඉගෙන ගත යුතුය. ප්‍රශ්නය විසඳන්ට වුණේ මටය. කොළුවාගේ මව් ඊළඟ සැරේට ආ ගමන්ම රුපියක් දෙදාහේ කොළයක් ඉල්ලන්ට පෙරම ඇය අතට දුනිමි. ඒ බලා සිටි කොලුවා ඒ සිද්ධිය සම්බන්ධව කිසිවක් මවට නොකීවේය. මුහුදෙහි නැව් ගියාට පාරවල් හැදෙන්නේ නැති බව ඌටත් වැටහුණා විය යුතුය. ඒ අතින් ඌ හොඳ එකෙකි. ඒ නිසා ඌ අසීරුවට නොවැටී බේරන එක මගේ යුතුකමය.

“ඇත්ත කියාපන්. නැත්නම් වැඩ දුරදිග යයි. ධම්මරතන හාමුදුරුවො ආයෙත් උඹට ආවාසෙට කතා කළා නේද…?”

“නෑ, අනේ නෑ හාමුදුරුවනේ…”

කොලුවාගේ ඇත්ත දැන ගන්ට පුළුවන් වුණේ පැයක පමණ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසුය. මේ ධම්මරතන සම්බන්ධ දෙයක් නොව ඊයේ රෑ සිද්ධිය සම්බන්ධ දෙයකි. කට්ටිය ළිඳ වහන්ට ඇවිත් තියෙන්නේ නිකම් නොවේ. මාත් ගොනා වෙච්චි හැටි. මුන්ට කෝපි හදවලත් දුන්න නෙවැ.

කොලුවා කී හැටියට ළිඳ වහන්ට කලියෙන් ජීප් එකේ පිටිපස්සෙන් ගත් තරමක් ලොකු හා බර පෝර උරයක් දෙදෙනකු උස්සාගෙන ගොස් ළිඳට දමා තිබේ. ළිඳේ කණු දෙක කඩා දමා තියෙන්නේ ඒ මතටය. පෝර උරයේ තිබුණේ මොකද්ද කොලුවා නොදනියි. නමුත් ඔහුට යම් සැකයක් ඇති වී තියෙන්නේ එහි යට කොටස කළුපාටට පෙණුනු නිසාය. රෑ නිසා හරියටම පෙනී නැත.

පිරවූ පෝර උරයෙක යට කළුපාට වෙන්නේ මන්ද?

මම මෑත භාගයේ සිවුරට නුසුදුසු යම් යම් දෑ කළ බව අවංකව පිළිගනිමි. මාද පෘතග්ජන මනුෂ්‍යයකු නිසාය.  ඒ කිසිවක් නිසා අහස කඩා නොවැටුණේය. දැන අහස කඩා වැටී තියේ.

මම වහාම පෙරදින රාත්‍රියෙහි වාහනය නතර කොට තිබුණු තැන සිට ළිඳ පිරවූ භූමිය තෙක් පැහැදිළිව අඟලෙන් අඟල පරීක්ෂා කළෙමි. දෙයි හාමුදුරුවන්නෙ පිහිටෙන් අපල උපද්‍රවයක් නැත. මා සෙවූ දේ මට දක්නට නොලැබුණේය.

නමුත් මගේ ඇඟ තාම සීතලය. පෝර උරයේ වූ දේ මට සිතා ගැනීමට අපහසු නොවේ. මා අත දරුවකු නොවන නිසාය. ඇමැතිවරුන්ගේ වැඩ ගැන මා අසා තිබුණු නිසාය. මේ නුවණ මට ඊයේ නොපැමිණියේ මන්ද?

දැන් වැඩ කළ යුත්තේ කල්පනාකාරීවය. පැටළුණු නූල් බෝලය තවත් පටළවා ගන්ට බැරිය. පැටළුම් එකින් එක ඇරිය යුතුය. පිරිත් නූල් වල පැටළුම් ඇර පුරුදු නිසා එය කෙසේ කළ යුතුද මම දනිමි.

මම කොලුවාට කතා කළෙමි.

“සුදත්…”

කොලුවා ඇස් දල්වාගෙන මා දෙස බලා සිටී.

“මං ඇමැතිතුමාට කතා කළා. ඒක අර ඇමැතිතුමාගෙ බංගලාවෙ කුස්සියෙන් විසි කරපු එළෝලු ගෝනියක්. උන් ඒක පාර අයිනට විසික් කරන්ට අරං ඇවිත් තියෙන්නේ. මේ වැඩේ කරන්ට ආපු නිසා ළිඳට දාල…එච්චරයි.”

මම ආයාසයෙන් සිනා වීමි. කොලුවාගේ මුවටද සිනාවක් නැංගේය.

“උඹ ඒ ගැන හිතන්ට ඕනැ නෑ. මම ඒක බලා ගන්නම්.”

කොලුවා හිස සැලුවේය. ඌ මා කියන දෙයකට ඉහළින් නොයයි. අනෙක් උන්නාසෙලාගේ අතවර වලින් මිදෙන්ට නම් මා නැතිව බැරි බවද දනී. එ නිසා ඌ කට අරීය නොසිතමි.

“ටික කාලෙකින් ගිය නැති නිසා කිරිකැට් ගහන්න ගියාට කමක් නෑ. හවස් නොවී වරෙන්…” සුදත් ඉගිලුණේය. ඌට කිරිකැට් තරම් දෙයක් නැත. තව ටික දොහකින් ඌට ඕක අමතක වනු ඇත්තේය.

මට එය එසේ අමතක කරන්ට බැරිය.

එක පැටළුමක් ලිහූ පසුව මට ගත හැකි පියවර කවරේද මම කල්පනා කළෙමි. එක – මට මේ සිද්ධිය පොලෝසියට දන්වන්ට පිළිවන. “ඇමැතිතුමාගේ ගෝලයින් පිරිසක් ඇවිත් ඊයේ රෑ ගෝනියක් ළිඳට දාල තියෙනවා. ඒකෙ මනුස්ස සරීරයක් තියෙනවා කියලා මට සැකයි” දෙක (ඒ තරමටම නිවැරදි නොවුණත්) සිද්ධිය පොලෝසියට කියනවා කියා තර්ජනය කොට වහාම ළිඳ නැවත හාරා ඒ සරීරය රැගෙන යන්ට ඇමැතියාට කියන්ට පිළිවන. තුන – වෙනත් උන්නාන්සේ කෙනෙකුට කතා කොට උපදේසයක් ඇසිය හැකිය. හතර – කිසිවක් නොකර එන දේකට එන විදියට මුහුණ දෙනවා කියා ඉන්ට පුළුවන.

හොඳයි පොලෝසියට කිව්වාය හිතමු. කියන්නේ කවුරු කළා කියලාද? ඊයේ පැමිණි එකෙකුගේ වත් නම් මම නොදනිමි. අඩු ගණනේ ආපු ජීප් එකේ අංකයවත් නැත. තමන් එවන් පිරිසක් නො එවූ බව ඇමැතියාට පහසුවෙන් කිව හැකිය. උන් ළිඳට දැම්මේ මනුස්ස සරීරයක්ම නම් මේ පිරිස දැනටමත් සඟවලා වෙන්ට පිළිවන. මට තියෙන එකම සාක්ෂිය සුදත්ය. ඌ එකොළොස් හැවිරිදි කොලුවෙකි. උසාවියකදී දක්ෂ නීතිඥයකුට ඉතාම පහසුවෙන් උගේ සාක්ෂිය කඩන්ට පිළිවන. ඒ උසාවියට ගියොත්ය. උසාවියට යන්ට පෙර මෙය අහවර කර ගන්ට ඇමැතියා හැම උත්සාහයක්ම දරණු ඇත. ඒ කාලය තුළ පත්තර වල යනු ඇත්තේ ඇමැතියා ගැන නොව පන්සල හා මා ගැනය. පොටෝ අල්ලනු ඇත්තේ පන්සල් වත්තටය. කවුරු වැරදි වුවද නොවැරදි වුවද ඉන්පසු බල්ලකු වත් පන්සලට නො එනු ඇත. අන්තිමේදී මේක මා විසින්ම කළ එකක් බව උසාවිය තීරණය දින්නොත් මට එල්ලුම් ගහට යන්ට වෙනු ඇත්තේය. අනෙක මා වැනි සාමාන්‍ය පුද්ගලයකුට රටේ බලවත්ම ඇමැතියකු හා හැපී ජය ගන්ට පුළුවන්ද? මා දන්නා අනෙක් ඇමැතියන් හා මැඩම් පවා ගනු ඇත්තේ කාගේ පැත්තද? මට කළු ගල් හා ඔළුව හප්පා ගන්ට පුළුවන්ද?

මගේ අහිංසක අම්මා, ගමේ නෑදෑයන්, අවට පන්සල් වල උන්නාන්සෙලා මා ගැන මොනවා නොසිතනු ඇත්ද?

මේ හේතුව නිසාම දෙවැන්න කරන්ටත් බැරිය. මට පොලෝසියට යන්ට බැරි බව ඇමැතියා දනියි. ඒ නිසා ඔහු තර්ජන වලට බිය නොවෙයි.

තව උන්නාන්සෙ කෙනකු ගෙන් ඇහුවා කියා වැඩක් වෙයිද? බෞද්ධ භික්ෂූන් වහන්සේලා යනු ලෝකෝත්තර ජීවිතය ගැන පමණක් දන්නා පිරිසකි. ලෞකික ජීවිතයේ ඉතාම සරල ගැටළුවක් ඉදිරියේ පවා ඔවුහු අසරණ වෙති. මේ ලෝකෝත්තර ගැටළුවක් නොවේ. අනෙක අපේ උන්නාන්සෙලා ගැනත් මම දනිමි. ඕපාදූප කඳුය. පත්තරේ දාන එක ඊට වඩා හොඳය. එනිසා කට පරිස්සම් කර ගනිමි.

කොයි තරම් දුරට සිතා බැලුවද මට ඉතිරිව ඇති එකම විකල්පය සේ පෙණුනේ සිව් වැන්නය. එන හැටියකට මුහුණ දෙමි. මගේ කර්ම ශක්තිය මගේ ඉරණම තීරණය කරනු ඇත. මම මේ මළ මිනිය සමඟ මියෙන තුරු දිවි ගෙවමි.

ඇමැතියාට කථා කළ යුතුය මට සිතුණේය. ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කොට තිබේ.

මම නිකමට එදින උදේ ලංකාදීපයට නැවත නෙත් යොමු කළෙමි. “ප්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් නෑ” හෙඩිම කළු අකුරින් කියයි. ඊට යටින් ඔහුගේ බිරියගේ හා දරු දෙදෙනාගේ දුක්මුසු මුහුණු දැක්වෙන ඡායාරූපයකි. තම ස්වාමි පුරුෂයාගේ, පියාගේ ඉරණම ඔවුන් කවදා හෝ දැන ගනීද මම නොදනිමි.

පැයකට පමණ පසු මම නැවත ඇමැතියාට කථා කළෙමි. ඔහු එහා පැත්තෙන් හලෝ කීවේය. කතා කරන්ට බැරි තරමට මම කෝප ගෙන සිටිමි. ඇමැතියා කතා කළේය.

“අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සෙ කතා කරපු එක හොඳයි. මාත් ඔබ වහන්සෙට කතා කරන්ටමයි හිටියෙ. ඔන්න අපි ඔබ වහන්සෙගෙ එක ප්‍රශ්නයක් ඊයේ විසඳුවා…”

මම සිවුර දරා ගත් පසු කිසිම දවසක කිසිම කෙනකුට කතා නොකළ තරම් සැරෙන් ඔහුට කුණුහරුපයෙන් බනිමි.

“ගෙරි වේසිගෙ පුතෝ, තොගෙ අම්මට හැමිනෙන්ඩ මොන ගෙරි වැඩක්ද තෝ ඊයෙ රෑ කළේ? ගෙරි බල්ලා තෝ මාව කෑවා…”

.

.

(ඉවසන්න,……………….සමනළයා යළි පියා සලන තුරු )

(22) දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි || The days of wolves

  • කාලය: 1988, සමාන්තර විශ්වය
  • ස්ථානය: ලංකාව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

අපේ රටේ ආණ්ඩු දෙකකි. මහ ආණ්ඩුව හා පුංචි ආණ්ඩුවය. මීට අමතරව මහ ජනතාව උපහාසයට කියන්නේ තුන්වැනි ආණ්ඩුවකුත් ඇති බවයි. ඒ සියඹලාණ්ඩුවය.

සියඹලාණ්ඩුව කෙසේ වෙතත් අනෙක් ආණ්ඩු දෙකම නම් තියෙන බව අපට හොඳින්ම දැනේ. ඒ ඒ දෙකෙන් මාරුවෙන් මාරුවට සතියට දවස් දෙක තුනක් ඇඳිරි නීතිය පැනැවීම නිසාය. කිසිම විටෙක මේ ආණ්ඩු දෙකම එක දවසේ ඇඳිරි නීතිය නොපණවයි. මන්ද මේ ඇඳිරි නීතිය පැනැවීම තම තමන්ගේ බලය ප්‍රකාශ කිරීමක් වන නිසාය. එක ආණ්ඩුවක ඇඳිරි නීතිය දවස ඒ නිසා අනිවාර්යයෙන්ම අනෙක් ආණ්ඩුවේ වැඩ කරන දවසක් බවට පත්වේ.

මහ ආණ්ඩුවේ ඇඳිරි නීතිය මිනිස්සු දණින් ඉහළට නොගනිති. උදේ පාන්දරට ටිකක් පාරවල් හිස් වෙනවා විතරය. කඩ වසා තියේ. නමුත් නවය දහය වෙද්දී මිනිස්සු පාරට එති. කඩද එකින් එක විවෘත වේ. මුලින්ම බඩු දෙන්නේ පස්සා දොරින්ය. ඉන්පසු ඉදිරියේ එක දොර පළුවක් විවෘත කර ගෙනය. ඉර මුදුන් වෙද්දී තත්ත්වය සාමාන්‍ය අතට හැරේ. කඩ ඔක්කෝම ඇරළාය. මිනිස්සු එක්කෝ පන් මළු රැගෙන කඩේ යති. නැත්නම් පාරට වී ජේ. ආර්.ට බනිති. ඉස්කෝලේ නොගිය කොල්ලෝ පාර බදු ගෙන ක්‍රිකට් ගසති. වාහනයක් ඉඳහිට යයි. ලංගම බස්ද දුවයි. ටිකක් වෙලා බලා හිඳ ප්‍රයිවෙට් බස් කාරයෝද ගමන පටන් ගනිති. රජයේ කාර්යාල බැංකු හෙමත් පැයකට දෙකකට හෝ ඇරෙයි.

“බඩගින්නට ඇඳිරි නීති දාන්න පුළුවනෑ” මිනිස්සු එකිනෙකාට කියා ගනිති.

පුංචි ආණ්ඩුවේ ඇඳිරි නීතිය මීට වෙනස්ය. පුංචි ආණ්ඩුව ඇඳිරි නීතිය දැමූ දවසට මිනිස්සු බඩගින්නටද ඇඳිරි නීතිය දමති.

ඒ දිනවලට කළ හැකි එකම කාර්යය නිවෙසට වී බඩගින්නේ හෝ රූපවාහිනිය නැරැඹීමය. නැති නම් බබා හම්බ වෙයි. “දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි.” මේ කට කහනවාට කියන කතාවක් නොවේ. සමහරවිට දඬුවම මරණයෙන්ද නොනවතියි. ‘දේශද්‍රෝහියකුගේ’ මිනිය කරින් ගෙනයාම තහනම්ය. අදාළ පුද්ගලයා සමාජයේ මොනතරම් ප්‍රභූවරයකු වුවද මිනී පෙට්ටිය ඔසවාගෙන යා යුත්තේ මරණ දණ්ඩනයට නියම වූ අපරාධකරුවකුගේ මිනිය සේ දණිස් මට්ටමිනි. එසේ නැතහොත් ‘දේශප්‍රේමීහු’ දඬුවම දෙගුණ කරති. මෙසේ ‘දේශප්‍රේමීන්ගේ’ අණ නොතකා කරින් ගෙන ගිය දේහයන්ට ‘දේශප්‍රේමීන්’ විසින් දඬුවම් දුන් ආකාර ගැන නිරන්තරයෙන් ඔවුන්ගේ බලකඳවුර වූ දකුණින් වාර්තා වේ. එවන් එක් මිනියක් ‘දේශප්‍රේමීන්’ විසින් වල හාරා නැවත ගොඩ ගෙන එළිමහනේ දමා තිබුණේය. එය යළි වළලන්නකුට දඬුවම මරණය බවටද දැන්වීමක් විය. මෙනිසා කිසිවකුත් මේ මිනිය යළි වළ නොලෑවෝය. එය බලු කපුටුවන්ට අහර වී සති මාස ගණනාවක් පරිසරය දුර්ගන්ධවත් කරමින් දිරා ගියේය.

‘දේශප්‍රේමීන්’ මළ කුණු ගඳින් මාර තෘප්තියක් ලබන්නාක් සේ පෙනේ. වරෙක ඔවුහු සතියක පොදු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහ. කර්මාන්තශාලා, කාර්යාල, ගමනාගමනය පමණක් නොව රෝහල්ද මේ සතිය තුළ වැඩ නොකළේය. (මෙය සේවකයින් ස්වේච්ඡාවෙන් වැඩ වැරීමක් සේ වරදවා වටහා නොගත යුතුය. එය බලෙන් වැඩ වරවා ගැන්මකි. වැඩ කිරීමට දඬුවම වූයේ, කෲර ලෙස – සමහරවිට කුඩා දරුවන්ද ඇතුළු පවුලේ සාමාජිකයින් ඉදිරිපස දීම – අමු අමුවේ ඝාතනය කිරීමය.) රෝහල් වල මෝචරි වල පවා සේවකයෝ නොවූහ. මළ මිනී ඔහේ දිරා ගියේය. කොළඹ මහ ඉස්පිරිතාලය කිට්ටු වෙන්ට බැරි තරමට ගඳ ගැසුවේය.

මේ දශකයකට පමණ ඉහත යාපනයේදී මා අත්විඳි සිද්ධීන්ටත් දරුණු ඒවාය.

මා ‘දේශප්‍රේමීන්’ කියන යෙදුම භාවිතා කළේ මේ අමනයන්ට ඇති ඊනියා ‘දේශප්‍රේමයක්’ නිසා නොවේ. ඔවුන් මේ වචනයේ තේරුම වත් නොදන්නවා විය හැකිය. ‘දේශප්‍රේමීන්’ ලෙස තමන් හඳුන්නා ගත්තෝ ඔවුහුමය. ඔවුන්ගේ ‘ව්‍යාපාරය’ ජනතා විමුක්ති පෙරමුණ නොව ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි’. එහි නායකයා රෝහණ විජේවීර නොවේ. කීර්ති විජේබාහුය. ඉරිදා ලංකාදීපයට රෝහණ විජේවීර විසින් ලබාදුන් චිර ප්‍රසිද්ධ සාකච්ඡාවේදී ඔහු දිගින් දිගටම කීවේ කීර්ති විජේබාහු යනු කවරෙක්ද තමන් නොදන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කල්ලියක් නොවන බවත්ය. මේවා විශ්වාස කරන්ට කොණ්ඩේ බැඳපු චීනුන් එදත් නොසිටියේය සිතමි.

නායකතුමාට නම් සිදුවෙමින් පවතින දේ ගැන ඌරු ජුවල් ගොස් ඇති බව පෙණුනේ ඔහු ප්‍රසිද්ධියේ කතා කරන්ට ගොස් වචනද වරද්දා ගත් හෙයිනි.

“…බණ්ඩරනායක මැතිනි මේ ඔක්කොම නායකයො ටික හිර ගත කොරලයි තිබුණේ. රොහාන් විජේවීරයි (sic), ලොකු අතුලයි පුංචි අතුලයි (sic) හැමෝම. මං ඇවිල්ලා තමයි නිදහස් කොරාන්ට කටයුතු කොළේ. මටත් උපදෙස් ලැබුණා නිදහස් කොරාන්ට එපාය කියල. මුරුගයෝ සර්, අන්න එහෙමයි මට කිව්වෙ. මුරුගයෝ සර්, මුංව නිදහස් කොරාන්ට එපා කිව්වා. ඒ වුණත් මම නිදහස් කොරාන්ට කටයුතු කළා. දැන් එනවා ගල්කට්ට (sic) අරන් මටම උළුක් කොරලා වෙඩි තියන්ට…”

(ලොක්කා ‘ගල්කට්ට’ කීවේ ‘ගල්කටස් එකටයි. ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ප්‍රාථමික මට්ටමේ තුවක්කු වලට එවක ප්‍රචලිත නාමයයි ඒ.)

පුංචි ආණ්ඩුව සම්බන්ධව මගේ අත්දැකීම් බොහෝය. මින් සමහරක් එකල විසූ හැමෙකෙකුටම පොදු ඒවාය. සමහරක් පාලක එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයකු ලෙස මටම විශේෂ ඒවාය.

සමහර අත්දැකීම් හාස්‍යජනකය. එහෙත් ඒ හාස්‍යයට යටින් කියැවෙන්නේ පොදු ජනතාවට වෘකයින් දෙදෙනකුට මැදි වූ මුව පොව්වකු වෙන්ට සිදුවූ  මේ යුගය  පිළිබඳ කටුක අන්දරයයි.

1988 හෝ තදාසන්න කාලයක කොළඹ සිට මහනුවරට ගමන් ගත් ජපන් වැසියකු නිවෙස් ගණනෙකම තම රටේ ධජය ලෙලදෙනු දැකීමෙන් විස්මය පත්වන්ට ඉඩ තිබුණේය. මේට පාදක වූ සිද්ධිය මෙසේය: රජය විසින් ජවිපෙ ප්‍රබලයකු මරා දමන ලද්දේය.  (මතක හැටියට ශාන්ත බණ්ඩාර – ඔව්, රාජගිරියේ ආයුර්වේද ශිෂ්‍ය නිවහනක් පසු සමයෙක අනවසරයෙන් නම් වූයේ ඔහුගේ නමිනි.) තම නායකයාගේ මිනිය මහනුවර නිවෙසට රැගෙන යන දින පාර දෙපස හැම ගෙදරක්ම රතු හා සුදු කොඩි වලින් සරසා ගන්ට ‘දේශප්‍රේමීන්’ට ඕනෑ විය. මෙය ඉටු කර ගන්නා ලද්දේ ඒ වන විට ප්‍රචලිත වූ සාමාන්‍ය ක්‍රමයටය.

“කොඩි නොදමන දේශ ද්‍රෝහීන්ට මරණය”

කවර හෝ හේතුවක් නිසා හමුදාවද මෙහිදී තදින් සිට රතු / සුදු කොඩි දමන්නන්ට බකට් එක පෙරළන්ට පටන් ගත්තේය. ගිරයට අසුවුණු පුවක මෙන් වූ අහිංසක මිනිස්සු වඩා නිර්මාණශීලී උපායක් තෝරාගත්හ. ඒ නිවෙස්වල ජපානයේ ජාතික ධජය ප්‍රදර්ශනය කිරීමය. එයද රතු හා සුදු පැහැයෙන් යුක්තය. එසේම මිතුරු රටක ජාතික ධජය ප්‍රදර්ශනය කළේය කියා කාටවත් නඩු දැමිය නොහැකිය. එනිසා දෙපාර්ශ්වයෙන්ම ගැලැවිය හැක්කේය.මෙසේම ජවිපෙ ඉන්දියන් භාණ්ඩ තහනම් කළ අවස්ථාවක “xx-xx-1988 දිනට පෙර මිළට ගත් බස් රථයකි” කියා දැන්වීම ගැසූ TATA බස් රථ මහා මාර්ගයේ දකින්ට ලැබුණේය. මේ සම්‍යප්‍රයෝගයන්ය

පුංචි ආණ්ඩුවේ බලවතා වන රෝහණ විජේවීර සහෝදරයා මේ දිනයන්හි නිතර FM තරංග මාලා ඔස්සේ ‘ජනතාව’ අමතයි. ඔහු එක තරංග මාලවෙක වැඩි දිනක් නොසිටියි. එසේම මේ කථා අපැහැදිළිය. අසාගත හැක්කේ කණ රෝඩියෝ එකට ළං කිරීමෙන් පමණෙකි. ‘දේශ ද්‍රෝහීන්’ පනස් දෙනකුගේ ලැයිස්තුවක් ගැන විජේවීර සහෝදරයා නිතර කථා කළේය. ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතු බවද කියැවිණි. කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි, විජය කුමාරතුංග ඇතුළු මේ ලැයිස්තුවේ කිහිපදෙනකුට ‘දඬුවම්’ ලැබුණු බවද පෙණුනේය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා “විජයගේ ලස්සන මුහුණ කැත මුහුණක් ඇත්තකු විසින් ඊර්ෂ්‍යා සහගතව විනාශ කළා” ය කියා පින්ලන්තයට පැණ ගියේය.

පුංචි ආණ්ඩුව ඇඳිරි නීතිය දැමූ දවසක මම අත්‍යාවශ්‍ය කටයුත්තකට දෙල්කඳ සිට කොළඹට යමින් සිටියෙමි. පොදු වාහන කිසිවක් නැති නිසාත් පෞද්ගලික වාහනයකින් යෑම අන්තරායකට අත වැනීමක් නිසාත් මේ කිලෝ මීටර විසි ගණනෙක ගමන මා ගමන් කළේ පයිනි. කිලිටි කමිසයක් හා සරමක් ඇඳගෙන සෙරෙප්පු පවා නැතිවය. පුංචි ආණ්ඩුවේ ඇඳිරි නීතිය දිනවලට සමහරුන් රස්සාවට යන්නේත් මෙහෙමය. සම්පත් බැංකුවේ සේවය කරන මගේ මිතුරෙක් මේ විදියට රැකියාවට ගොස්, කොළඹ කොටුවෙන් කමිසයක් මිළට ගෙන එය ඇඳගෙන, (රටේ අන් කොතැනකට දැම්මත්, කොළඹ කොටුවට ඇඳිරි නීතිය දාන්ට තරම් පුංචි ආණ්ඩුව තවම බලවත් නොවේ) ටයි පටියකුත් පැළඳ, සරම පිටින්, සෙරෙප්පුවක් වත් නැතිව දවසම වැඩ කළේය.

හයිලෙවල් පාරම හිස්ය. චලනය වන වාහනයක් බේතකටවත් දකින්ට නැත. පාර දෙපැත්තේ නතර කර ඇති වාහන වලද (හදිසියේවත් කවර හෝ පාර්ශ්වයක් විසින් ගෙන යතැයි බියෙන්) එක රෝදයක් හෝ ගලවලාය. සම්පූර්ණ මහා මාර්ගයේම අයිතිකරුවා මා වැන්න.

ගම්සභා හන්දිය කිට්ටුවට යන විට නුගේගොඩ සිට වෑන් එකක් සෙනඟ පුරවා එනු පෙණුනේය. පුංචි ආණ්ඩුවේ ඇඳිරි නීති දිනවල කිසිම ප්‍රවාහණ සේවාවක් පැවැත්වීම සපුරා තහනම්ය. එසේ කරන්නට දඬුවම – ‘දේශප්‍රේමීන් දැන සිටි එකම දඬුවම වූ – කටුක මරණයයි. එහෙත් අවදානමක් ගනු රිස්සෝ, මේ හොද්ද බොරවන දිනයකැයි දැන කවර හෝ වාහනයක සෙනඟ අදිති. එය එක්තරා අන්දමක සේවයකි. එසේම බිස්නස් එකද නරකම නැත. පයින් යාගත නොහැක්කෝ ඉල්ලන ගාණක් දී මෙවැනි තාවකාලික බස් රථයන්හි ගමන් කරති.

නමුත් එදින නම් වැඩ වැරදුණු සෙයක්ය පෙණුනේ. හිටි හැටියේ බස් එක (වෑන් එක) පාර මැද නතර කරන ලද්දේය. රියැදුරු හා කොන්දොස්තර බයාදු ලෙස බැස ගත්හ. ඉන්පසු මඟියෝද එකා දෙන්නා බැස ගත්තෝය. ඔවුනතර යම් යම් අන්තර්ක්‍රියා ඇතිවනු පෙණුනු මුත් මා සිටියේ ඈතින් නිසා සිදුවන්නේ කුමක්ද හරියටම කිව නොහැකි විය.

ඉන්පසු එකපාරටම වෑන් එක සවිමත් අත් කිහිපයකින් අනෙක් අතට පෙරළා දමන ලදී. ඉන් මොහොතකට පෙර එහි ගමන් ගත් මගියෝම ඊට ගල් මුල් වලින් දමා ගසා වීදුරු කුඩු කළහ. රියදුරා හා කොන්දෝස්තර ඉවතට ඇවිද ගිය අතර කිසිවකු ඔවුන් ගැන උනන්දුවක් දක්වනුද නොපෙණිනි. මොහොතෙකින් මඟියෝ වෑන් රථය ගිනි තැබුවෝය. එය ගිනි දළු වලින් වැසී යද්දී ඔවුහු නුගේගොඩ මහරගම දෙසට පයින්ම ගමන් කරන්ට පටන් ගත්හ.

‘දේශ ද්‍රෝහියාට’ දඬුවම ලැබී තියේ.

මා සසල කළේ මේ සිද්ධියම නොවේ. තුවක්කුකරුවකු පැමිණ අණදී මිනිසුන් මේ වෑන් රථය ගිනි තැබුවා නම් මම විස්මය පත් නොවෙමි. නමුත් මට එවැනි කිසිම අණ දෙන්නකු නොපෙණුනේය. එවැන්නකු හෝ දෙදෙනකු සිටින්ට ඇති බවට සැක නැති මුත් සියල්ල බලා සිටියකුට පෙණුනේ මිනිසුන් සිය කැමැත්තෙන් මේ කාර්යය කළ බවය.

මගේ ඇඟද සීතල වී ගියේය. ඉදින් මෙතැන මා ද ‘දේශ ද්‍රෝහියකු’ සේ නම් කළේ නම් මේ මිනිසුන්ම අවම උත්තේජයකින් මාද මෙසේම ගිනිබත් කරනු ඇත්තේය. ඉන්පසු ඔවුන් කිසිවක් නොසිදුවුනාක් සේ තමන්ගේ ගමන යනු යනවා විය හැකිය. ඔවුන් මා ගිනි බත් කරනු ඇත්තේ මා සමඟ තරහකට හෝ ගනුදෙනුවක් විසඳා ගන්ට නොවේ. මේ චණ්ඩියකු ඉදිරියේ බෙලහීන අහිංසක මිනිසුන් හැසිරෙන සාමාන්‍ය ආකාරයයි. රෝහණ විජේවීරගේ අණින් ඔවුන් තම දෙමාපියන් වුව කෲර ලෙස මරා දමනු ඇත්තේය. මෙවන් සිදුවීමක් භීතිය ජනනය නොකරන්නේ නම් වෙන කවරක්ද එසේ කරනුයේ?

මම පේරාදෙණියේදී රෝහණ වීරසූරිය මරා දැමූ දිනටත් වඩා තියුණු ආත්මානුකම්පාවෙකින් පෙළෙමි.

කුඩා තුණ්ඩු කැබැල්ලකට මේ කාලයේ ලැබුණු බලය විස්මය සහගතය. “අද ඇඳිරි නීතිය. අවනත නොවන්නන්ට මරණය” ය ලියූ තුණ්ඩු කැබැල්ලකින් කම්හලක් කොයිතරම් වැඩ රාජකාරි තිබුණද වසා දැමිය හැකිය. අපේ දෙහිවල මුද්‍රණාලයද මෙසේ දවස් ගණනක් වසන්ට වූයේය. පසුව අපි මෙසේ වසන දවස් වලට පඩි නොගෙවීමේ ප්‍රතිපත්තියක් ඇතිකර ගතිමු. තරමක හෝ වැඩක් කර ගන්ට පුළුවන් වූයේ ඉන් පසුය.

‘දේශප්‍රේමීන්’ ගේ ක්‍රියාකාරකම් ගැන අප අසන්නේද ඉන් පෙර කවදා හෝ නොඇසූ කතාය.

දකුණේ මුදලාලි කෙනකුගෙන් ‘දේශප්‍රේමීහු’ රුපියල් විසිපන්දහසක කප්පමක් ඉල්ලූහ. මුදලාලි අත එපමණ මුදල් නොතිබුණු නිසා ඔහු එය දෙන්ට කල් ඉල්ලා සිටියේය. කල් ලැබිණි. මේ අතර කප්පම් ඉල්ලීම ගැන දැන ගත් වෙනත් පුද්ගලයකු ‘දේශප්‍රේමියකු’ සේ පැමිණ රඟපා මුළු මුදලම ගෙන ගියේය.

‘දේශප්‍රේමීන්’ කප්පම එකතු කරන්ට එද්දී මේ සොරකම වී අවසානය. මුලදී ඔවුහු මුදලාලිගේ කතාව විශ්වාස නොකළහ. නමුත් මුදලාලි බිම වැටී දණ ගසා තමන් නොමරන ලෙස කළ බැගෑපත් ආයාචනය ඇසූ ඔවුහු මුදලාලි කියන්නේ ඇත්ත බව තේරුම් ගත්තෝය.

දින කිහිපයකට පසු සවසක මෝටර් බයිසිකලයක පැමිණි පිරිසක් “අපේ මහත්තයා දෙන්ට කීවා” කියමින් මුදලාලිට මල්ලක් දී ගියෝය. මුදලාලි ‘අපේ මහත්තයා’ ‘අපේ මහත්තයා’ කවුදැයි කල්පනා කරමින් මල්ල විවෘත කර බැලුවේය. ඔහුට එක්වණම කෑගැසිණි. මල්ල තුළ වූයේ කප්පම සොරෙන් ගත් පුද්ගලයාගේ හිසය.

මමද ඒ වන විටද ‘දේශ ද්‍රෝහියකු’ සේ ලේබල් ගැසී සිටියෙමි. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකයකු වූ නිසාය. මේ ලේබලය ගැසුණායින් පසු කෙනකුගේ ජීවිතය අවිනිශ්චිතය. මට ගමින් මෑත් වී සිටින්ට සිදුවූයේ ඒ නිසාය. මා ගමේ කරන දේශපාලනය කොළඹ ‘දේශප්‍රේමීන් නොදනිතැයි මම උපකල්පනය කළෙමි. මෙහි මම සාමාන්‍ය ව්‍යාපාරිකයකු මිස පාලක පක්ෂයේ නියෝජිතයක් නොවෙමි. ‘දේශප්‍රේමීන්’ අතර සන්නිවේදනය පිළිබඳ ගැටළුද වූ බව රහසක් නොවීය. (කොටින්ම ධනවත් වතු හිමියකු සේ වෙස් වළාගෙන සිටියදී රෝහණ විජේවීරද,  ඔහු කවුරුන්දැයි නොදන්නා ඒ පළාතේම ගම් මට්ටමේ ‘දේශප්‍රේමීන්’ගේ අඩන්තේට්ටම් වලට නතු වී තිබුණේ ඒනිසාය.) මගේ දිවිය මෙතෙක් රැකී තිබුණේ නම් ඒ මේ සියළු කාරණා නිසාය.

නමුත් හැම එක්සත් ජාතික පාක්ෂිකයකුම එසේ වාසනාවන්ත නොවූයේය. ගම් මට්ටමේ අපේ සංවිධායකයින් විශාල පිරිසක් ‘දේශප්‍රේමීන්’ ගේ තුවක්කුවට ගොදුරුව මිය ගියහ. ඔවුන්ගේ අවමඟුල් සද්ද බද්දයකින් තොරව සිදුවිය. එක අතකට සියල්ලන්ගේම මරණ දේශප්‍රේමීන්ගේ ගිණුමට බැර කිරීම අසාධාරණය. පෞද්ගලික කෝන්තර නිසා සිදුවූ ඝාතනද ඇති තරම් විය. එහෙත් එවක පැවැති වාතාවරණය මත ඒවා වෙන් කර හඳුනා ගැන්ම පහසු නොවූයේය. අනෙක් අතට කවුරු මැරුවත් මේ වාතාවරණය ඇති කරන ලද්දේ ‘දේශප්‍රේමීන්’ නිසා ඔවුන් ඊට යම් පමණෙකට හෝ වග කිව යුතු බවට සැක නැත.

දේශප්‍රේමීන්ගේ ඝාතන අතින් මා වඩාත්ම සසල කළේ මගේ කිට්ටුම හිතවතකු හා දේශපාලන සගයකු වූ ඉන්ද්‍රනාම ගේ මරණයයි. ඇත්තටම මා සෑහෙන කාලයක ආපසු නොයන්ට ගමින් පැණ ගත්තේ ඔහුගේ අවමඟුලෙන් පසුවය.

ඉන්ද්‍රනාම ස්වෝත්සාහයෙන් නැඟී සිටින්ට උත්සාහ කළ සුළු ව්‍යාපාරික තරුණයෙකි. ව්‍යාපාරික කටයුතු නිසා ඔහු විවාහ වූයේද කල වයස පැන්නායින් පසුවය. මියෙන විට පස් වියැති දැරියකගේ පියෙකි. ඉන්ද්‍රනාම කැපුවත් කොළපාට යූ. එන්. පී. කාරයෙකි. මේ ‘දේශප්‍රේමීන්’ විසින් ඔහු ඝාතනය කරන්ට වූ එකම හේතුවයි.

ඉරිදා දවසක බිස්නස් කටයුත්තකට කියමින් නිවෙසට ආ තරුණයින් දෙදෙනා ගැන සැක සිතන්ට ඉන්ද්‍රනාමට හේතුවක් නොවූයේය. එන් එකකු වතුර වීදුරුවක් ඉල්ලූ නිසා ඔහුගේ බිරිඳ එය ගෙනෙන්ට ගෙට ගියාය. සිය පස් වියැති දියණිය ඉදිරිපිටදීම ඉන්ද්‍රනාමට වෙඩි තබන ලද්දේ ඒ අවස්ථාවේදීය.

මගේ පුතා චරිත්ගේ වයස අවුරුදු තුනකි. ඔහු ඉදිරිපසම මට වෙඩි තබන ලද්දේ නම් ඔහු එය කෙසේ දරා ගනු ඇත්තේද? මම ඒ ගැන නොසිතන්ට උත්සාහ ගනිමි.

‘දේශප්‍රේමීහු’ අප කෙතෙක් සංකීර්ණ ජීවිත ගත කරන්නේද නොදනිති. දැන ගත්තද එය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවේ. මා මරා දැමුවොත් අම්මාත් නැති චරිත් ලොව තනිවනු ඇත. මගේ පැවැත්ම මට වෙනත් කෙනකුට වඩා වැදගත් එනිසාය. පුතා චරිත්ට ලොව තනිවන්ට ඉඩ දිය නොහැකිය.

පුදුමය නම් ඔවුන් පමණක් නොව අපේ සමහර නායකයින්ද මේ බව තේරුම් නොගැනීමයි. මා ආසනයෙන් බැහැරව සිටීම ගැන පක්ෂයේ ඉහළ පෙළ නායකයින් තුළ ඇත්තේ අමනාපයකි. එක අතකට එය ඇත්තය. එක්සත් ජාතික පක්ෂයේ කොඳු නාරටිය ගම් මට්ටමේ ශාඛා සංවිධානය. අපේ නායකයින් කරන සියළු වැරදි අතරේද පක්ෂය තවමත් ජනතාව අතර ජීවමාන මේ ගම් මට්ටමේ ශාඛා නිසාය. මේවා බිඳවැටුණු දවසට පක්ෂයක් නොවේ. එසේ වෙතත් අප අපේ ජීවිත ගැනද සැලකිලිමත් විය යුතු වෙයි.

‘දේශප්‍රේමීන්’ට බිය වී ගම හැර පැණ නොගිය මගේ එක් මිතුරකු නම් විජේතුංගය. ඔහු බිය නොවුණා නොවේ. නමුත් වඩා හිඳ සැලසුමක් නිසා ජීවිතය බේරා ගත්තේය.

විජේතුංග මොහොතකටවත් සේවකයින් හෝ ආරක්ෂකයින් හෝ ඒ තබා පොලීසිය වත් විශ්වාස නොකළේය. තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසා ගත යුතුය යන ප්‍රතිපත්තියේ සිටි කෙනෙකි ඔහු. මෙනිසා රාත්‍රී දහයේ සිට උදෑසන හය දක්වා කාලය – මෙහෙකරුවන්, ආරක්ෂකයින් සියළු දෙනා කෙතෙක් අවදියෙන් සිටියද – ඔහු බිරිඳ හා වැඩිවිය පත් පිරිමි දරුවා සමඟ බෙදාගෙන මුර කළේය. තමන් මරන්ට රාත්‍රියේ ආ ‘දේශප්‍රේමීන්’ දෙදෙනකු ගෙන් එකකු ඔහුගේ මුරකාරයින්ට අල්ලා ගන්ට පුළුවන් වූයේ එනිසාය. මේ අල්ලපු ගමේ වයස දහහතක් පමණ ගැටයෙකි. ඔහුගේ පියා මම යන්තමින් දනිමි. කාලයක මේ පවුලම අලියාට ඡන්දය දුන්නෝය. පසුව විරසක වන්ට ඇත. ඔහුගේ පියා නම් අහිංසක පෙදරේරුවෙකි. මව්පියන්ගෙන් දරුවන් මනින්ට බැරිය, විශේෂයෙන්ම මේ කාලයේ.

විජේතුංගගේ අතටම අසුවූ ගැටයාට වූ දේ ගැන අමුතුවෙන් කියන්ට දෙයක් නැත. පොලීසියට භාර දෙන්ට පළමු මේ ගැටයා නිරුවත් කොට ගස් බැඳ, ඉන්පසු පාරේ බිම දමා නහයෙන් කටින් ලේ දමමින් වැඳ වැටී බැගෑපත්ව අනුකම්පාව යදින තුරු පහර දෙන ලද්දේය. දිග කතාවක් කෙටියෙන් කියන්නේ නම් ඔහු පොලීසියට භාර දෙන ලද්දේ සදාකාලික අබ්බගාතයකු හා ලිංගික බෙලහීනයකු කළායින් අනතුරුවය.

මේ සිද්ධිය ගැන මා සසල කළ කාරණා දෙකක් විය. එකක් සාමාන්‍යයෙන් ආගම ධර්මයට ලැදි ‘හොඳ’ මිනිසකු සේ මා දැන සිටි විජේතුංග තම පුතාගේම වයසේ මේ තරුණයාට එවන් කෲර දඬුවමක් දීමය. දෙවැන්න ඒ දඬුවමින් වැඩි කොටසක් දෙන ලද්දේ මේ තරුණයා හා සම වයසේ සිටි විජේතුංග ගේ පුත්‍රයා විසින්ම වීමය.

බොහෝ කාලයකට පසුව, මේ සියල්ලෙහි ගිනි නිවුණායින් පසුව ඒ ගැන මට විජේතුංග සමඟ කතා කරන්ට ලැබුණේය. මේ වන විට කතාවට අදාළ තරුණයා අර්ධ මානසික රෝගියකු හා ආබාධිතයකුව, ඇඳට සීමා වී මහළු හා දුප්පත් දෙමාපියන්ගෙන් යැපෙමින් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කාලකණ්නි ජීවිතයක් ගත කරමින් සිටියේය. (විජේතුංග විසින් පොලීසියට භාර දීමෙන් පසුව ඔහු පොලීසියේදී ලද සැලකිල්ල අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.) නමුත් විජේතුංගගේ කටහඬෙහි දොම්නසක සේයාවක් හෝ නොතිබිණි.

“උඹට පිස්සුද වික්ටර්. ඒ පරයා ආවෙ මාව මරන්ඩ. මං ඌ අල්ල ගත්තෙ නැත්නම් ඌ මාව මරල. උඹ කියන්නෙ මාව මරන්ඩ ආපු බැල්ලිගෙ පුතෙකුට අනුකම්පා කරන්ඩ කියලද? මට දුක එදා ඌ මරන්ඩ බැරි වෙච්චි එක…”

මෙය ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ පෙළ නායකයින් සියල්ලන් තුළ වූ පොදු අදහස ලඝු කිරීමක් විය. එය වඩාත් හොඳින් ප්‍රකාශ කළේ රන්ජන් විජේරත්නය.

“Kill the son of bitch or otherwise he will kill you!”

.

.

(ඉවසන්න……..සමනළයා යළි පියා සලන තෙක්)

(21) නිරුවත් වෙරළකට ගිය ඇමැතිවරයකුගේ දින සටහන් || Ministerial diaries…from a Nude Beach

  • කාලය: 2001/2, සමාන්තර විශ්වය
  • ස්ථාන: කොළඹ, ලංකාව/අහස/මෙල්බන්, ඕස්ට්‍රේලියාව

**********(නියෝජ්‍ය ඇමැති වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

[මේ තෝරාගත් දින සටහන් උපුටාගෙන ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දින පොතිනි. පාඨකයාට පහසුවක් වනු පිණිස ඒවා සිංහලයට පෙරළා තියේ.]

දෙසැම්බර් 21, 2001 – සිකුරාදා

අද දවල් රනිල් වික්‍රමසිංහ මට දුරකථන කොට වහාම අරලියගහ මන්දිරයට එන්ටය කීවේය. මන්දැයි ඇසූ විට ඔහු දුන්නේ කැත පිළිතුරකි. “Victor, the Prime Minister of Sri Lanka doesn’t ask you to come if it is not important. So hereafter don’t ask why”

රනිල් මට වඩා වැඩිමහළු වසර හය හතෙකිනි. වසර ගණනින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය ගණන් බැලූ විට අප දෙදෙනා අතර වෙනසක් නැති තරම්ය. කලෙක ඔහු කොළඹත් මම පේරාදෙණියේත් සමවාදී ශිෂ්‍ය සංගම් නායකත්වය දැරීමු. එහෙත් අද ඔහු ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. මම ඔහුගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්මි. එනිසා හේතුවක් හෝ නොදැන සවස් කාලයෙහි මට නියමිතව තිබූ සියළු වැඩ කටයුතු අවලංගු කරන ලෙස දන්නා සුභද්‍රාට (මගේ පෞද්ගලික ලේකම්වරිය) SMS එකක් යවා අරලිය ගහ මන්දිරයට ඉගිලෙන්ට මට සිදුවිය. මා සිටියේ කාර්යාලයෙන් පිටත වෙනත් රැස්වීමක හෙයින් අඩු තරමින් මගේ දෛනික කාලසටහන පිරික්සා බලා ඇපොයින්ට්මන්ට් එකින් එකට කරන්නේ මන්දැයි උපදෙස් දෙන්ටවත් අවකාශයක් නොවීය.

හදිසියේ මා කැඳවූවාට රනිල් එක්වර මා ඇතුළට ගන්ටවත් කාරුණික නොවූයේය. ඔහු පැය දෙකකට ආසන්න කාලයක්, ඒ වන විට දිවා ආහාරයවත් නොගෙන සිටි මා අමුත්තන්ගේ ලොබියෙහි රස්තියාදු කරවූයේ ඕනෑකමින්ය සිතමි. මම රනිල්ගේ good chaps’ list එකට පිටින් සිටින්නෙක්මි. මගේ සම්බන්ධතා වූයේ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, රංජන් විජේරත්න බඳු ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ හා අනිවාර්යයෙන්ම දක්ෂ පැරණි නායකයින් සමඟය. තමන්ට ‘සර්’ නොකියන්නන්ට රනිල් සමාවක් නොදෙන බවද මම දනිමි. ඒත් මේ පරයාට ‘සර්’ කියන්ට මගේ දිව නොනැමෙන්නේය.

රනිල් මා කැඳවා තිබුණේද මහ ලොකු දෙයකට නොවේ. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‘දිළිඳුකම දුරැලීම’ (poverty alleviation) පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකට ඔහු ලද ආරාධනයකට මට ඔහු නියෝජනය කළ හැකි දැයි අසන්ටය. ‘දිළිඳුකම දුරැලීම’ ගැන රනිල් සේම මාද දන්නා කෙංගෙඩියක් නැත. මගේ අමාත්‍යාංශයේ විෂය පථය විදුලි බලයයි. මා ධනවත් පවුලක උපන් හෙයින් කවදාවත් දිළිඳුකම ගැන හිතන්ටද මට උවමනාවක් නොවීය. නමුත් මා ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ එක් වතාවකි. ඒ ද මෙල්බන් නුවරට නොවේ. එසේම රටතොට බලා කියා ගන්ටද එවර අවකාශයක් නොවීය. එබැවින් මේ ඇරැයුම පිළිගන්ට මම තීරණය කළෙමි. ගමන යන්ට තව කල් තියේ. ඒ අතර මා දිළිඳුකම ගැන අනෙක් ජාතීන්ට උපදෙස් දෙන තරමට යමක් ඉගෙන ගන්ට අධිෂ්ඨාන කර ගතිමි. අද උදෑසන ඉගෙන ගත් දෙයක් ජීවිත කාලයක් ප්‍රගුණකළ ශාස්ත්‍රයක් සේ සවස් කාලයේ වැමරීමේ හැකියාව මම මේ වන විට ප්‍රගුණ කර සිටියෙමි.

මේ කාලකණ්නියා නිසා මා සමාව දිය නොහැකි වරදක් කර ඇති බව දැනගත්තේ සවස නැවත කාර්යාලයට පැමිණි පසුය. මම ප්‍රධාන අමුත්තා හැටියට රාජකීය විද්‍යාලයේ English Day එකට සහභාගි වන්ට නියමිතව සිටියෙමි. පුතා චරිත්ද එහි නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්ට නියමිත විය. දැන් කරන්ට දෙයක් නැත. චරිත්ට පසුව කතා කර පැහැදිළි කරමි. ඇරත් ඕනෑත් නැත. මේ මා චරිත් සහභාගි වූ ප්‍රසංගයක් මඟ හැරිය පළමු වතාව නොවේ.

.

මැයි 12, 2002 – ඉරිදා

කටුනායකදීය.

තව සුළු මොහොතෙකින් මම ක්වාලා ලම්පූර් හරහා මෙල්බන් බලා පිටත් වන්ට සූදානම්ව සිටිමි. තවමත් පොඩ්ඩකු නිසා මට යන්ට සිදුවූයේ තනිවමය. පරිවාර සේනා සමඟ යන්නේ නියෝජ්‍ය ඇමැතිවරුන්ට වඩා ලොක්කන්ය.

සිංගප්පුරුව හරහා යන්ට මම වඩාත් කැමැති වූයෙමි. එසේ වී නම් දින කිහිපයක් සිංගප්පුරුවේ රැඳෙන්ටද තිබුණේය. Singapore Airlines මඟී සේවාව මා අත්විඳ ඇති හොඳම මඟී සේවාව වූ අතර Singapore girlsලාද ලිප්ස්ටික්, පවුඩර් පදාස ගණනින් උලාගත් අපේ හුචක්කුවලට වඩා සෙක්සිය. ඔවුහු දීර්ඝ ගුවන් ගමනෙක වෙහෙස මොහොතෙකින් මඟ හැරලන්නේ නෙතට රසඳුනක් වෙමිනි. Singapore Airlines වල මත්පැන්ද වඩා හොඳය. මේ සියල්ලට හරස් වූයේ අපේම නායකයකු විසින් පනවා තිබුණු පැරැණි රෙගුලාසියකි. එයාර් ලංකා පිහිටුවීමේදී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පැණවූ එක් නීතියක් නම් හැම රාජ්‍ය සේවකයකුම හැකි හැම අවස්ථාවකදීම රාජ්‍ය ගුවන් සේවය භාවිතා කළ යුතු බවයි. රාජ්‍ය ගුවන් සේවයට මෙල්බන් නුවරට කෝඩ් ෂෙයාරිං තිබුණේ Malaysia Airlines සමඟ ක්වාලා ලම්පූර් හරහාය. එනිසා නොකැමැත්තෙන් වුව ඒ මාර්ගය තෝරා ගන්ට මට සිදුවිය.

මොහොතකට පෙර මා හඳුනා ගත් වැදගත් පුද්ගලයකු නම් ‘සන්ඩේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංගය. දුරකථනයෙන් කතා බස් කොට තිබුණද, මා ඔහු මුහුණට මුහුණ හමුවූ මුල් වතාවයි මේ. ට්‍රාන්සිට් ඒරියා එකේදී, Dilmah ෂොප් එකෙන් මා තේ පැකට් කිහිපයක් මිළදී ගනිමින් සිටියදී, ඔහුම විත් තමන් හඳුන්නා දී මට කතා කළේය. ලසන්තද සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ යමින් සිටියේ මෙල්බන් වෙතයි. නිවාඩුවක් පිණිසය. ඔහු මෙල්බන් ගැන හොඳින් දන්නා බවක් පෙණුනු නිසා මම උපදෙස් කිහිපයක් ලබා ගන්ට අදහස් කළෙමි. මා අදහස් කර සිටියේ සමුළුව අවසානයේ මගේ වියදමින් දින කිහිපයක් රැඳී සිට රටතොට බලා කියා ගන්ටයි.  Federation Square, Melbourne Museum, Melbourne Cricket Ground, Melbourne Observation Deck වැනි ප්‍රකට සංචාරක ආකර්ෂණ කිහිපයක් ඔහු යෝජනා කළේය. Great Ocean Road එක දිගේ ටික දුරක් හෝ ගමන් කරන්ට පුළුවන් නම් හොඳය කියාද කීවේය. ඊට අමතරව මට මෙල්බන් හි සුප්‍රකට වෙරළකට යන්ට අවශ්‍ය විය. ලසන්ත ඒ ගැන වැඩිපුර නොදැන සිටි හෙයින් රාණිගෙන් විමසීමෙන් අනතුරුව මට ටිප්ස් කිහිපයක් දුන්නේය. ලසන්තට දේශපාලන කාරණා කිහිපයක්ද දැන ගන්ට අවශ්‍යව තිබුණු මුත් Final Call එක නිකුත් වී තිබුණු නිසා අපට ඉක්මණින් ගුවන් යානය වෙතට යන්ට සිදුවිය.

මා යන එන තැන් ගැන මේ සියළු තොරතුරු ස්වේච්ඡාවෙන්ම දුන්නේ පැපරාසියකුට බව මතක් වූයේ පසුවයි.

.

මැයි 13, 2002 – සඳුදා

මම ක්වාලා ලම්පූර් සිට මෙල්බන් බලා පොළෝ මට්ටමේ සිට අඩි 30,000ක් ඉහළින් පියාසර කරමින් සිටිමි.

ලසන්ත ක්වාලා ලම්පූර් හිදීද මා සමඟ කතා බහට පැටළෙන්ට ආයේය. වෙහෙස බව කියා මම VIP ලොන්ජ් එකට ගොස් විස්කි එකක් මත ඇළවීමි. මේ කෙටි නින්ද තුළදී මට බොහෝ කාලයකට පසුව බියට්‍රිස් සිහිනෙන් පෙණුනේය. මෑතදී ජනප්‍රිය වූ ඉන්දියානු නිළියකට බියට්‍රිස්ගේම පෙනුම ඇති බව දවසක කිව්වේ අම්මාය. මම ඒ ගැන කරදර නොවීමි. බියට්‍රිස් මිය ගොස්ය. චරිත් නිසා නොවේ නම් ගෙදර ඇති ඇගේ පින්තූර පවා මා ඉවත් කොට බොහෝ කල්ය.

පොතක් කියවන්ට කම්මැලි හිතුණු බැවින් මම සරල වින්දනයක් පිණිස Finding Nemo බලන්ට තීරණය කළෙමි. මම කාටූන් සිතුවම්පට වලට අකැමැත්තෙමි. නමුත් ගුවන් ගමනෙකදී ඒවා නරකම නැත.

වෝල්ට් ඩිස්නි චිත්‍රපටයක් වූ Finding Nemo මාලින් නැමැති clown fish කෙනකු හා ඔහුගේ පුතා නිමෝ ගැනය. මාලින්ගේ බිරිය කොරල්, මහා බාධක කොරල් පරයෙහි දමන බිත්තර දහස් ගණනක් සමඟින්ම බැරකූඩාවකුට ගොදුරු වේ. ඉතිරි වන්නේ එකම එක බිත්තරයකි. ඒ නිමෝය. මාලින් ඔහු රැක බලා ගන්නේ දෙඇස මෙනි. පාසල් යන වයසට පැමිණි නිමෝ හිතුවක්කාරකම නිසා කිමිදුම්කරුවකුගේ දැළට හසුවෙයි. කිමිදුම්කරුවාගේ ගිලී වැටෙන ගෝග්ල් එකක Sydney යන වචනය දකින මාලින් කවර හෝ බාධක මැද නිමෝ සොයා යන්ට තීරණය කරයි. Finding Nemo ඔහු එසේ සිය දරුවා සොයා යන කතාවය.

මේ කියන්නේ මගේම කතාවය මට සිතුණේ වරක් දෙවරක් නොවේ. චරිත්ද මාද බියට්‍රිස් නැතිව මෙලොව තනිව සිටිමු. වෙනස චරිත් හා මා අතර මාලින් හා නිමෝ අතර බඳු කිට්ටු සම්බන්ධතාවයක් නොතිබීමය. එහි වගකීම මා සම්පූර්ණයෙන් ගත යුතුද මම නොදනිමි. චරිත්ට අම්මාගෙන් නොලැබුණු ආදර අප්සරාගෙන් ලැබුණේය. ඔහුගේ සියළු කටයුතු පිණිස මම වියදම් කළෙමි. නිහඬ චරිතයක් වුව චරිත් ඉගෙනීමට අදක්ෂ බවක් කවදාවත් නොපෙන්නුවේය. දැන් ඔහු ලංකාවේ හොඳම පාසලෙහි අධ්‍යාපනය ලබයි. වෙනත් බොහෝ දරුවන්ට වන ප්‍රශ්න ඔහුට නොවීය. මම එයින් සතුටු වීමි. මව්පියන් අහිමි වන දරුවෝ කාලයාත් සමඟ පරිසරයට හුරු වෙති. මේ මා හිත හදා ගන්ට කරන කල්පනා නොවේ. ඇත්තය.

චරිත්ද කිමිදුම්කරුවකුගේ දැළකට හසු වුවහොත් මා මාලින්ගේ භූමිකාව රඟපානු ඇතිද? එසේය මම සිතමි. 1993 ජූලි කලබල මැද, අන්තරාදායක මොහොතක සියල්ලට පළමු මම ඔහු ගැන සිතුවෙමි. මේ තාත්තලාගේ හැටිය. චරිත් පිළි ගත්තද නැතද මම චරිත්ට හොඳ පියකු වීය මම අවංකව සිතමි.

.

මැයි 15, 2002 – බදාදා

අද සමුළුවෙහි දෙවන දිනයයි. මගේ කෙටි දේශනය නියමිතව තිබුණේ අද උදෑසනටය. එයද සමුළුවේ වෙනත් දේශන වලට වඩා වෙනස් නුවූයේය. මම ලංකාවේ ඓතිහාසික දුප්පත්කම ගැනද, නිදහසින් පසු දුප්පත්කම මැඬීමට විවිධ රජයන් යටතේ ගෙන ඇති පියවරද විස්තර කළෙමි. විශේෂයෙන් 1977 දී අපේ ආණ්ඩුවක් යටතේ විවෘත ආර්ථිකය හඳුන්නා දීමෙන් පසු දුප්පත්කම අඩු වූ හැටි මම විස්තර කළෙමි. වර්තමානයේ දුප්පත්කම දුරලීමට ඇති බාධා ගැන කථා කළ මා ඉන්පසු යොමුවූයේ ජනවාර්ගික අර්බූදය හා සිවිල් යුද්ධය මේ තත්ත්වය තවත් උග්‍ර කරන ලද්දේ කෙසේද පැහැදිළි කරන්ටය. සාම සාකච්ඡාවල සුභවාදී ආරම්භයෙන් මම දේශනය නිම කළෙමි. රනිල්ට මා ලවා කියවා ගන්ට අවශ්‍ය වූයේත් ඒ ටිකය.

මගේ දේශනයට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණේය. ලෝක බැංකු හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ පිළිවෙල නියෝජිතයෝ මා කියූ දේවල් අගය කරමින් අදහස් දැක්වූහ. යුරෝපීයයන් හා ඕස්ට්‍රේලියානුන් කිහිපදෙනකුට සාම ක්‍රියා දාමයේ ඉදිරි මඟ ගැන දැන ගන්ට අවශ්‍ය විය. (මේ නම් මා අමාරුවේ වැටුණු තැනක් විය. සාම ක්‍රියාදාමයේ තොරතුරු රනිල් අප සමඟ වත් බෙදා නොගත්තේ එය තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ සලකමිනි. එය බාරව සිටියේ මිලින්ද හා ළඟදී අපට එක්වූ ජී. එල්. පප්පාය. ජී. එල්. නම් මම කොහොමටත් නොදත්තෙමි. මිලින්ද සමඟ වුව මගේ වැඩි සමාගමක් නොවීය. ඒ නිසා මා මේ සියල්ලක් ගැන දැන සිටියේ යන්තමිනි. මගේ ප්‍රශ්න විචාරකයන් ඒ ගැන මට වඩා දන්නා බව පෙණුනේය.)

ඉන්දියාවෙන් පැමිණි, open economy, neo liberal , capitalism වැනි යෙදුම් ඇහෙන විටම සර්පයකුට බූමිතෙල් ගැසුවාක් මෙන් කුලප්පු වන වාමාංශික උගතකු මා සමඟ දීර්ඝ වාදයකට පැටළෙන්ට හැදුවේය. මා එයින් ගැළවුණේ මුලසුනේ සිටි ලෝක බැංකු නියෝජිතයාගෙන් ඔහුට අනුකම්පාවක් නොලැබුණු නිසාය.

මම රනිල්ට සාධාරණය ඉටු කළාය සිතමි. කෙටි විස්තරයක් අතින් ලියා සවස ඔහුට ෆැක්ස් කළෙමි. ඔහු ලැබුණු බව වත් දන්වන්ට උනන්දු නොවූයේය.

.

මැයි 16, 2002 – බ්‍රහස්පතින්දා

අද සමුළුවේ තෙවන දිනයයි. මගේ දේශනය බොහෝ පුවත්පත් නොසලකා හැර දමා තිබුණේය. ප්‍රධාන කොටම වික්ටෝරියා ප්‍රාන්තයට, ටස්මේනියාවට, හා නිව් සවුත් වේල්සයට සීමා වූ ටැබ්ලොයිඩයක් වන Herald Sun පමණක් කෙටි නිව්ස් අයිටම් එකක් පළ කොට තිබුණේ මා අවසානයට කියූ සාම සාකච්ඡා ගැන පමණක් අවධානය යොමු කරමිනි. රනිල් හා සාම සාකච්ඡා ගැන මා නොකී කොටසක්ද වාර්තාකාරිනිය අතින් දමා තිබීම මට වාසියක් විය. මම එයද කපා රනිල්ගේ ඔෆිස් එකට ෆැක්ස් කළෙමි.

.

මැයි 17, 2002 – සිකුරාදා

සමුළුවේ අවසාන දිනයයි. බොහෝ දුරට විවේකී දිනයකි. දිවා ආහාරය සමඟ සමුළුව නිමාවන්ට නියමිත වූ අතර සවස සංවිධායකයින් විසින් අප වෙනුවෙන් නගර සංචාරයක්ද සූදානම් කොට තිබුණේය. ඊට සහභාගි වනවාද තීරණය කිරීම මම පසුවට කල් දැමීමි.

උදෑසන මා සමුළුවෙන් ටික වේලාවකට සමු ගත්තේ අංජලීට දී තුබුණු ඇපොයින්ට්මන්ට් එක නිසාය. ඇය ලාංකීය දෙමළ සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු නීති ශිෂ්‍යාවකි. ඇගේ දෙමාපියන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයව තිබුණේ 1956හි සිංහල රාජ්‍ය භාෂාව කරද්දී සිංහල නොදත්තවුන්ට සිය රැකියාවෙන් වන්දියක් සහිතව විශ්‍රාම ගැනීමට ලැබුණු අවකාශය ප්‍රයෝජනයට ගනිමිනි. ඈ මට කථා කළේ පෙරදින Herald Sun පුවත්පතෙහි වූ වාර්තාව දැක්කායින් පසුවය. ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා සාම සාකච්ඡා ගැන දැන ගන්ට ඇයට අවශ්‍ය විය.

අංජලී හමුව පළමු මිනිත්තු පහ තුළ මා කාරණා තුනක් නිරීක්ෂණය කළෙමි. එකක් ඇය මා සිතුවාට වඩා ලාබාල විය හැකි බවයි. මගේ ඇස්තමේන්තුව වයස 20-22 අතරය. දෙවැන්න ඇය අතිශයින් රූමත් බවය. ඕනෑවට වඩා විශාලව පෙණුනු ඇගේ පියොවුරු සිරුරෙහි අනෙක් මිනුම් වලට නොගැළපුනද මම ඊට ආසා කළෙමි. තෙවැන්න ඇය ආන්තිකව දෙමළ කොටි සංවිධානයට අනුකම්පා පාන්නියක බවයි. තෙවැන්න සිහියට ගැනීම වැදගත් වුවද මට ඒ අවස්ථාවෙහි කාරණා  එක හා දෙක ඊට වඩා වැදගත් විය. අපි පැය දෙක හමාරක් පමණ ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා වර්තමාන දේශපාලනය ගැන කතා කළෙමු. මගේ භූමිකාව අවසන්ව තිබුණු හෙයින් සමුළුවට සහභාගි වීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වූයේ නැත.

මේ සංවාදය අවසානයේ අපි එකිනෙකාට පෞද්ගලික වශයෙන් කිට්ටුව සිටියෙමු. මා මගේ පවුල ගැනද තනිකඩ ජීවිතය ගැනද ඇයට කී මුත් පුතා ගැන නොකියන්ට පරිස්සම් වීමි. ඇය මෑතදී බිඳුනු තම ප්‍රේම සම්බන්ධයක් ගැන කීවාය. තම හිටපු පෙම්වතා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව ඇය කීවාය. ‘කවුරුත් කරන’ එක්තරා මට්ටමකට මත්ද්‍රව්‍ය භාවිතය ඇය හෙළා නොදකින මුත් එය සීමාව ඉක්මවා කිරීම ඇය නොරිස්සුවාය. අද ප්‍රේම සම්බන්ධතා බිඳෙන කාරණා අපේ කාලයේ ප්‍රේම සම්බන්ධතා බිඳෙන කාරණා වලින් කොයිතරම් වෙනස්දැයි මම කල්පනා කළෙමි.

අවදානමක් රැගෙන මම ඇයට රාත්‍රී භෝජන සංග්‍රයකට ඇරැයුම් කළෙමි. මඳක් සිතා බැලීමෙන් පසුව ඇය එය පිළි ගත්තාය.

ඉතාලි අවන්හළෙක අපේ රාත්‍රි භෝජනය බොහෝ කාලයකට පසු මා අත්විඳි රෝමෑන්තික අත්දැකීමකි. පසුගිය වසර කිහිපය තුළ මගේ කාන්තා සම්බන්ධතා සෙක්ස් වලට පමණක් සීමා විය. පසුගිය අමිහිරි අත්දැකීම් වලින් පසු නැවත ආදරයක පැටලෙන්ට මට අවශ්‍යතාවයක් නුවූ අතර මට හමුවූ ගැහැණුද දකින දකින පිරිමියා ඉදිරියේ සළුව ඔසවන්නියන් මිස භාවාතිශය සම්බන්ධයකට සුදුස්සෝ නුවූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සල්ලිය. නැතිනම් රැකියාවකි. මට අවශ්‍ය වූයේ සෙක්ස්ය. මේ ඉල්ලුම හා සැපැයුම මනාව සමතුලිත වී අපේ ගනුදෙනු අවසන් විය. කොටින්ම මා ලිංගික සම්බන්ධතා පැවැත්වූ සමහර ගැහැණු ඉඹින්ට පවා මම පැකිළුණෙමි.  අපි ඒ තරමටම යන්ත්‍ර වී සිටියෙමු.

අංජලී වෙනස්ය. ඇය මා හා හරවත් දෙයක් කතා කරන්ට, මා කියන දේවල් ප්‍රශ්න කරන්ට, මා දැනමුත්තකු බව අයත්නයෙන්ම මට ඒත්තු ගන්වා මට ego boost එකක් දෙන්ට සමත් වූවාය. ඇය මා කියන දේවල් ලියා ගත්තා පමණක් නොව නැවත ඒවා ගැන සඳහන් කරමින් මා ප්‍රශ්න කළාය. බියට්‍රිස්ද මා හා වාද කරන්ට තරම් දැන උගත්තියක වූ මුත් මෙසේ මා කියන හැම දෙයක්ම වැදගත්ය යන හැඟීම මට දෙන්ට සමත් වූයේ නැත. එසේම බියට්‍රිස්ගේ උගත්කම හමුවේ මට සමහරවිට පහළ වූයේ හීනමානයකි. අංජලී සමඟ මගේ අත්දැකීම ඊට වෙනස් විය සමහර විට අංජලී හා මා අතර වූ වයසෙහි හා වෘත්තීමය වෙනස මීට හේතු වන්ට ඇත.

වැඩි විස්තර නැතිව, මේ හමුව මගේ හෝටල් කාමරයේදී කායික සම්බන්ධයකින් අවසන් වූ බව ලියමි. ඒ මා වසර ගණනාවකින් ලද හොඳම ලිංගික අත්දැකීම බව සටහන් විය යුතුය.

.

මැයි 19, 2002 – ඉරිදා

සමුළුව අවසන් වූයේ පෙරේදාය. ඊයේ මම මෙල්බන් නුවර බලා කියා ගතිමි. කිහිප දෙනකුට තෑගිද ගතිමි. අම්මා නම් මගෙන් යමක් බලාපොරොත්තු නුවූවාය. දීර්ඝ කාලයක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්නා ඇයට දෙන්ට සුදුසු යමක්ද නොවේ. මම මගේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම මොන මොනවා හෝ ගතිමි. එසේම ඉඳහිට හෝටලයකට උස්සාගෙන යන ගෑනු කිහිප දෙනාටද වැඩකට ඇති දෙයක් ගන්ට අවශ්‍ය විය. (ප්‍රතිපත්තියක් ලෙස මම මගේ කාර්ය මණ්ඩලයේ කිසිවකු සමඟ පුද්ගලික සම්බන්ධතා නොපවත්වමි. එය දේශපාලකයකු හෝ ව්‍යාපාරිකයකු විසින් කළ හැකි දරුණුම ප්‍රමාදයක් බැව් මට වරෙක නොකියා කීවේ ගාමිණී දිසානායක ඇමැතිතුමාය.)

බටහිර රටක නිරුවත් වෙරළකට යන්ට මට බොහෝ කාලයක් තිස්සේ ආසාවක් විය. එය එක්තරා ආකාරයක කුතුහලයකි. වසර ගණනාවකට පෙර දිවයින පුවත්පතෙහි පළ වූ, භද්‍රජී මහින්ද ජයතිලක නිරුවත් කඳවුරකට ගිය ගමනක් පාදක කොට ගෙන ලියූ ලිපියක් මීට බොහෝ සෙයින් පාදක විය. මේ කාලය තුළ බටහිර රටවල් කිහිපයකම සරන්නට ලැබුනද විවිධ හේතූන් නිසා මේ අත්දැකීම ලබා ගන්ට නොලැබුණේය.

මම නිකමට මේ ගැන සඳහන් කළ අවස්ථාවේ අංජලී මා සමඟ එන්ට කැමැති වූවාය. ඈ දැමූ එකම කොන්දේසිය ඇයට මුළුමණින් නිරුවත් වන්ට බැරි බවයි. වෙරළ clothing optional මිස nude නොවූ නිසා මට ඒ ගැන ගැටළුවක් නොවීය. අනෙක මටද මුළුමණින් ප්‍රසිද්ධියේ නිරුවත් වෙන්ට අවශ්‍යතාවයක් නොවීය. මට අවශ්‍යවූයේ peeping tom කෙනක් වෙන්ට විතරය.

නිරුවත් වෙරළ ගැන මගේ ඇගැයීම මිශ්‍රය. නිරුවත් නාරි දේහ එහි නොවුණා නොවේ. එහෙත් අප බලාපොරොත්තු වන්නාක් සේ එලිසබෙත් ටේලර්ලා, සොෆියා ලොරේන්ලා, ජූලියා රොබර්ට්ස්ලා, කේට් වින්ස්ලෙට්ලා, අව්ව තපින්ට නිරුවත් වෙරළ තීරයන්ට නො එති.

මෙහි නාන්නට අව්ව තපින්ට එන බොහෝ ගෑණු මැක්ඩොනල්ඩ්ස් වලින්, KFC වලින් සෞඛ්‍යයට අහිතකර Fast Foods කා තරවූ එල්ලෙන මස් වැදලිවලින් යුතු working class එළදෙනුන්ය. නැතිනම් වැල මදුලු සේ එල්ලන තන් ඇති නාකිච්චියන්ය. තරුණ වියෙහි වූ යුවතියන් කිහිප දෙනකුද නොසිටියා නොවේ. එහෙත් ඔවුන් සිටියේ පෙම්වතුන් සමඟ නිසා කතා කරන්ට වත් බැරිවිය. නිරුවත් ආච්චිලා නම් මඳ සිනාවක් පෑවත් එල්ලී කතාවට එයි. මුන්ට ඇත්තේ පුදුම විසයක් විය යුතුය. නමුත් මට ඒ සමඟම අනුකම්පාවක්ද ඇතිවිය. මේ ජීවිතකාලය පුරාවට කිසිම ආදරයක් නොලද මහළු විය හෝ මැදිවිය තනිව ගත කරන ගැහැණු විය යුතුය. බටහිර රටවල එවන් ගැහැණු සුලබය. බටහිර වියපත් බඹරෝ මේ ගැහැණු වෙනුවට නෑඹුල් තරුණ මල් සොයා යති. එනිසා මොවුන් ගැන බලන්ට කෙනෙක් නැත. ඔවුන්ට අවශ්‍ය වයස මොක වුණත් පිරිමි පරාණයකි. අපේ කොල්ලන්ට මෙහි එන්ට විදියක් හොයා දෙන්ට පුළුවන් නම් මට ඊළඟ ඡන්දයත් නිසැකවම දිනිය හැකි වනු ඇත්තේය.

අංජලී තනපට ඉවත් කොට topless අව්ව තැප්පද මොනම හෝ අවස්ථාවක, ඇඳුම් මාරු කරද්දී පවා නිරුවත් නොවන්ට මම පරිස්සම් වීමි. එසේම මගේ උකුසු ඇස් ever vigilant පැවතියේ වැරදිලාවත් මා දන්නා අඳුනන කෙනෙක් – විශේෂයෙන්ම ලාංකිකයකු – මෙහි වේද නොදත් හෙයිනි. වාසනාවකට එවැනි අබග්ගයක් වූයේ නොවේ.

මගේ අවසාන දොම්නස වූයේ, හිර ඇඳුමින් නිදහස් වූ හා  මුහුදු වතුරින් මේකප් සේදී ගිය අංජලී මා සිතූ තරම් තරුණ හෝ රූමත් නොවන බවට වූ අවබෝධයයි. ඇයට වයස 26-28ක්ය මම සිතමි. එසේම ඇය සැබැවින්ම නීති ශිෂ්‍යාවක්ද යන්න මම සැක කරමි. එහෙත් ඇය මට බොරුවක් කීවේ මන්ද?

.

.

(ඉවසන්න………………සමනළයා යළි පියා සලන තෙක්)

(20) මගේ පළමු හාදුව || My first kiss

**********(තිසර රාජිත සේනාපති කියන කතාව)**********

.

පෙම්වත, මම ඔබට බොහෝ පෙම් කරමි.
දිවුරමි මම ඒ ගැන, ඔබ රිසියෙහි නම්,
දිවුරමි මම, දෙවියන්ගේ නාමයෙන්.

හැම මොහොතක්ම මා ඔබට ඇති ආදරයෙන් පිරී ඇත්තේය.
එවන් දැඩි ආශාවක් පවතින්නේ කෙසේදැයි
පෙම්වත, ඔබ මා හමුවුවහොත්
මම ඔබට කියාදෙමි.

මගේ කවිය ඔබ ගැන මැවූ අපූරු සිහිනයකි.
ඔබෙන් තොර දිවියක් මට නැත්තේය
මට හුස්ම වැටෙන්නේ කවදා තෙක්ද
එතෙක් මම ඔබට ආදරය කරමි.

සයුරෙහි රළ ඇත්තේ යම් පමණෙකටද
එපමණටම මම ඔබට ආදරය කරමි.
එබැවින් මේ මනදොළ
කිසිදිනෙක තුනී නොවන්නේය.

පෙම්වත, මම ඔබට බොහෝ පෙම් කරමි.
දිවුරමි මම ඒ ගැන, ඔබ රිසියෙහි නම්,
දිවුරමි මම, දෙවියන්ගේ නාමයෙන්.

.

හැම මිනිසකුම පළමු වරට මවගෙන්ද, දෙවන වර තවත් ගැහැණියකගෙන්ද උපත ලබන්නේය කතාවක් තිබේ.

මමද එලෙස වෙනත් ගැහැණියකගෙන් ද්වෝත්පත්තිය ලද්දෙක්මි. ඒ අසිරිමත් ගැහැණිය මාධුරී දික්සිත්ය.

“දිල් තෝ පාගල් හේ – දිල් දිවානා හේ…”

‘දිල් තෝ පාගල් හේ’ මා  අනිමිසලෝචනය කළ පළමු හින්දි සිතුවම්පටයයි. ඉංග්ලිෂ් ෆිල්ම් එකකට හෝ ඉතා කලාතුරෙකින් සිංහල ෆිල්ම් එකකට හැරුණු විට තාත්තා අප හින්දි ෆිල්ම්ස් බලන්ට කැටුව නොගියේය. මගේ වැඩිමහළු සොහොයුරියන්ටද හින්දි උන්මාදයක් නොවීය. “කුච් කුච් හෝතා හේ” වැනි රණවිරු අයියා කෙනකුට, ගාමන්ට් අක්කා කෙනෙකුට වුව වැටහෙන සරල හින්දි කෑල්ලක් වත් ඔවුහු නොදත්තෝය.  මෙනිසා මා පළමු හින්දි සිතුවම්පටය දුටුවේ නව යොවුන් වියෙහි එළිපත්තේදීය. මගේ පරිගණක තිරයෙනි. DVD එක ඉල්ලා ගත්තේ මිතුරකුගෙනි. සොසේජ් බන් එකක හා ප්ලේන්ටියක හිලව්වටය.

පුංචි තිරයේ නටන මේ අපූරු යුවතියට මම එකෙණෙහිම වශී වූයෙමි. ඇගේ, ඇස්, නැහැය, සිහින් සිරුර, ආඩම්බරකාර පෙනුම මා උදෙසාම දෙවියන් විසින් මවන ලද්දාක් වැන්න. මට හැඟුණේ ඇය මා ජීවිතකාලය පුරාවට දත් කෙනකු සේය. මගේ මොළයෙහි නියුරෝන සියල්ල එකවර පණ ආවාක් සේ විදිලි සර නිකුත් කරන්ට පටන් ගත්තේය. කිසිම වෙහෙසක් නොදරාම ‘දිල් තෝ පාගල් හේ’ ගීතය මට පාඩම් විය. ඉන්ටර්නෙට්හි එක සැරයක් දැක කියැවූවාට පසු එහි අර්ථය මට මතක හිටියේය.

ඉනික්බිති  එකකට පසු එකක් මම ඇය රඟපෑ සිතුවම්පට නරඹන්ට පටන් ගතිමි. එසේ වෙතත්, මට DVD ගන්ට අම්මා සල්ලි නුදුන් නිසාත්, තැටියක් ඉල්ලා ගන්ට හෝ හින්දි ෆිල්ම් පිස්සන් මගේ මිතුරන් අතර සුලබ නොවූ නිසාත් මට ඉදිරියට යන්ට හැකි වූයේ සෙමෙනි.

මගේ දෙවන ‘මාධුරී’ අත්දැකීම ‘සාජන්‘ය. ‘දිල් තෝ පාගල් හේ’ ට වඩා වසර හයක් පැරැණි එය ත්‍රිකෝණ ප්‍රේම වෘත්තාන්තයකි.

අමාන් (සන්ජේ දත්) ආබධිත අනාථ දරුවෙකි. ඔහු සම වයසේ වූ ආකාෂ් (සල්මන් ඛාන්) ට මුණ ගැසෙයි. ටිපිකල් හින්දි ෆිල්ම් එකක වන්නාක් සේම ආකාෂ් ගේ දෙමාපියෝ අමාන් හදා වඩා ගන්ට කැමැති වෙති. මේ දෙදෙනාම සොහොයුරන් සේ වැඩෙති. අමාන් ‘සාගර්’ යන නමින් කවි ලියන්ට පටන් ගන්නා අතර නොබෝ කාලයකින්ම ටිපිකල් හින්දි ෆිල්ම් එකක වන්නාක් සේම අතිශය ජනප්‍රියතාවයක් දිනා ගන්ට සමත් වෙයි. පූජා (මාධුරී) ඔහුගේ රසිකාවියකි. ඇය කවියා හා ලියුම් ගණුදෙනු කරන මුත් ඔහු මුහුණට මුහුණ හමුවී නොමැත. මේ අතර ටිපිකල් හින්දි ෆිල්ම් එකක වන්නාක් සේම ආකාෂ්ට පූජා වෙසෙන ගම්මානයටම ව්‍යාපාරික කටයුත්තකට යන්ට සිදුවේ. අමාන් හා පූජා අතර වූ අතත්‍ය සම්බන්ධතාවය දන්නා ආකාෂ් ‘සාගර්’ නම් කවියා තමන්ය පූජා රවටයි. අමාන් ඇයට පෙම් කළද මිත්‍රත්වය හා තමන්ගේ ආබාධිත තත්ත්වය හමුවෙහි ඇය ආකාෂ් හා එක් වන්නේ නම් යහපත්ය කල්පනා කරයි. අවසානයේ ටිපිකල් හින්දි ෆිල්ම් එකක වන්නාක් සේම මේ ගැටළුවට හැමට පිළිගන්ට පුළුවන් විසඳුමක් ලැබී පූජා අමාන් හා එක්වෙයි. සිතුවම්පටය අවසාන වෙද්දී මගේ නෙත් තෙත්ව තිබුණේය.

මේ බොළඳ අතාත්වික ආදර අන්දරයට මා එතෙක් බැඳුනේ මන්ද?

‘සාජන්’ හි ප්‍රධාන චරිතය මාධුරී රඟ නොපෑවේ නම් මා ඊට ආකර්ෂණය වනු ඇත්දැයි මම මගෙන්ම අසා ගනිමි. ඊට පිළිතුරක් නැත. මාධුරීගෙන් තොර ‘සාජන්’ සිතුවම්පටයක් නිර්මාණයව නොතිබුණු බැවිනි. එනිසා මට සන්සන්දනය කර බලන්ට දෙයක් නැතිය.

මම සාජන් හි ‘බහුත් ප්‍යාර් කර්ති හේන්..’, ‘ජියේ තෝ ජියේ කයිසේ…’ හා ‘මෙරා දිල්භි කිතනා පාගල් හේ…‘ ගීත තරමටම ඊළඟට හමු වූ ‘පාරින්දා‘හි ‘තුම් සේ මිල්කේ‘ ටත් ආදරය කළෙමි. හින්දි අර්ථය පිළිබඳව අන්දෝ සංසාරයක දැනුමක් නැතිව ඒවා පොත් වල ලියා තැබුවෙමි. දිනෙකට සිය සැරයක් ඉඩ ලැබුණු විටෙක මිමුණුවෙමි. ඒ රහසිනි. මා කොටසක් වූ සමාජය හින්දි සිතුවම්පට ගැන ප්‍රශංසා මුඛයෙකින් කතා කළ එකක් නොවීය. ඔවුන් අතර නුසුදුස්සකු වන්ට ඕනෑකමක් නොවූ හෙයින් මම ලේබල් ගසා නොගන්ට පරෙස්සම් වීමි.

‘බහුත් ප්‍යාර් කර්ති හේන්..’ ගැයුවේ අනුරාධා පෞද්වාල් ය. ‘තුම් සේ මිල්කේ’ හි ගායිකාව ආශා බෝස්ලේ ය. මේ දෙදෙනාගේම හඬ මාධුරීට අපූරුවට ගැළපුණේය.

මට මාධුරී කෙරෙහි වූයේ රසිකයකුට ශිල්පිනියක කෙරෙහි දැක්විය හැකි උතුම් ප්ලැටොනික වීතරාගී ආදරයකි. මිතුරකු ඇගේ නිරුවත් පින්තූර රැසක් ඉන්ටර්නෙට් හි ඇතැයි කී නිසා දිනෙක මම නිකමට ‘Madhuri Dixit Nude Photos’ කියා ගූගල් කළෙමි. මා දුටු සියල්ල ෆොටෝ දක්ෂ ග්‍රැෆික් එඩිටර්ලාගේ නිර්මාණ බවට සැකයක් නැත. නැතිනම් පින්තූරයෙන් පින්තූරයට මාධුරීගේ ඇනටොමි එක වෙනස් වන්ට බැරිය. (එක පින්තූරයක ඇගේ පියයුරු දොඩම් ගෙඩි තරම් වූ අතර තවෙකක ඒවා ජම්බෝල තරම් විය!) මේ කිසිවකට මම නොකැමැති වීම්. ඉන්පසු කෙදිනක හෝ මම ඇගේ නිරුවත් ඡායාරූප නොසෙවීමි. වරක් හෝ එසේ කිරීම ගැනද මට ඇතිවූයේ වරදකාරී හැඟීමකි. මා ගැනම පිළිකුළෙකි. මා එසේ නොකළා නම් හොඳය මට අදත් සිතෙයි.

මාධුරීට වශී වූ එකම පිරිමියා මා නොවීම ගැන නම් මට වූයේ සතුටකි. ඇගේ රසිකයින් අතර මට වඩා බොහෝ ඉහළින් සිටියෝ වූහ. එවැන්නකු නම් ‘භාරතයේ පිකාසෝ’ ලෙස Forbes සඟරාව වරක නම් කරන ලද. එරට ප්‍රකටතම චිත්‍ර ශිල්පියකු වූ එම්. එෆ්. හුසේන්ය. ජීවිතයේ නව වැනි දශකය ගෙවමින් හුන් හුසේන් මාධුරී රඟපෑ ‘හම් ආප්කේ හේන් කෞන්” හැට හත් (67) වතාවක් නැරැඹීය. ඇය සිය තෙලි තුඩට වාර ගණනාවක්ම මාතෘකා කොට ගත්තේය. භාරත මාධ්‍ය හුසේන්ට ‘නාකි මනමාළයා’ය නොකියා කීහ. නමුදු ඔහු තුළ මාධුරී කෙරෙහි වූයේ මා තුළ වූවාක් සේම ප්ලැටොනික වීතරාගී ආදරයක් බවය මා සිතූයේ.

මා මාධුරී දික්සිත් ගැන මෙතෙක් කියන්නේ මන්ද?

ජීවිතය ගලා යන්නේ අපට ඕනෑ විදියට නොවේ. සමහර විට එය අප කිසිසේත් නොසිතන ආකාරයේ වංගු ගනියි. මාධුරී නිසා මා ජීවිතයේ නොසිතූ විරූ වංගුවක් ගෙන ඇති බව මා අවබෝධකොට ගත්තේ බොහෝ කාලයකට පසුවය.

චරී මාධුරීගේ රසිකයකු බව මම දැන නොසිටියෙමි. අඩු තරමින් ඔහු හින්දි ෆිල්ම්ස් බලන බවක් වත් මම අසා නොතිබුණෙමි. නමුත් මා ඔහුගෙන් ඉල්ලාගත් එරික් සෙගාල්ගේ  Love Story ඇතුළේ මාධුරීගේ ටිකක් පරණ වූ කළු සුදු ඡායාරූපයක් තිබුණේය. මුහුණ පොඩියක් විතර මා දැන සිටි මාධුරීට වෙනස්ය. සමහර විට ඇය සිතුවම්පටයකට වෙස් ගන්වා ඇති අවස්ථාවෙක ගත් එකක් වන්ට ඉඩ තියේ. එසේම සැබෑ ජීවිතයේදී නළු නිළියන් තිරයෙහි දකිනවාට වඩා වෙනස්ය. මට තවත් ගැටළුවක් වූයේ ඡායාරූපය පසුපස ස්ටූඩියෝ එකක නමක් හා යම් අංකයක් ලියා තිබීමයි. ඒ ගැන දුරට කල්පනා කරන්ට මට එවෙලෙහි නොසිතුණේය.

“I didn’t know you were a fan of Madhuri…” පසු දිනෙක මම පොත රිටර්න් කරද්දී කීවෙමි.

“Who..?” චරී විපිළසර විය.

“Madhuri…Madhuri Dixit. Don’t tell you don’t know her”

“Who is she? Why should I know her?”

“There was a photo of her in your book.”

“In my book…?”

මම පොත තුළින් ඡායාරූපය ඇද ඔහුට දුනිමි. ඔහු ටික වෙලාවක් එදෙස බලා සිටියේය.

“This was my mother…” චරී කීවේය. “…actually, this book was hers.”

අවුරුදු ගණනාවක ගැටළුවකට විසඳුම තත්පරයකින් දහයෙන් පංගුවකදී මට ලැබුණේය.

ඒ කළු දීප්තිමත් ඇස්! ඒ දිගටි නැහැය! ඒ සිහින් සිරුර!

‘දිල් තෝ පාගල්’ දුටු දිනයෙහිම මාධුරී බොහෝ කාලයක් තිස්සේ දැන සිටි කෙනකු යැයි මට හැඟුණේ මන්ද? මම දැන් ඊට පිළිතුර දනිමි.

දයාබර පාඨකය, ඉදින් මගේ කතාව නවකතාවක් වී නම් මාධුරී මගේ ජීවිතයට සම්බන්ධ වීම මේ සිද්ධියට අනුගාමීව චරීද මා සේම ඇගේ ඩිවෝටඩ් ෆෑන් කෙනකු වීමෙන් පමණක් නිමාවන්ට තිබුණේය. නවකතාකරුවෝ අතිශය කලාතුරෙකින් හැරුණු විට සංකීර්ණත්වයට නොරිසි වෙති.  එහෙත් ජීවිතය නවකතාවකට වෙනස්ය. අතිශය සංකීර්ණය. ජීවිතයෙහි වන්නේ නවකතාවෙක ඇතුළු කරන්ට ලේඛකයකු සිහිනෙකින්වත් නොසිතන දේය.

අප දෙදෙනාම මාධුරී සමඟ තවත් කාලයක් ඉදිරියට ගමන් කළ යුතුය කොතැනක හෝ ලියැවී තිබුණාක් වැන්න. මින් වසර කිහිපයකට පසු ඇය නැවත අපේ ජීවිත වලට ඇතුළු වූවාය. චරීගේ පැත්තෙන් ගතොත් ඒ ගෲෂාට පසුව දිනූෂාට කලිනි. අප දෙදෙනා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අවසන් කළ වහාම වාගේය.

මේ කතාව නවකතාකරුවකු අතින් ලියැවුණේ නම් ඔහු කොයි තරම් පිස්සකු වුණත් මාධුරී ලංකාවට කැඳවාගෙන එනු ඇතැයි ඔබ සිතන්නේද? එහෙත් සැබෑ ජීවිතයේදී මාධුරී ලංකාවට ආවාය. වඩා නිවැරදි වුවහොත් සිරස මාධ්‍ය ජාලය විසින් කැඳවාගෙන එනු ලැබුවාය. එපමණක් නොව චරීටද මටද ඇය හමුව කතා කරන්ටද ලැබුණේය.

දැන් නම් මෙය සහතිකවම මගේ සිහිනයකැයි ඔබ කියනු ඇත්තේය. නැත. එසේ වූයේ සිරස නිසාය.

Akon ලංකාවට ගෙනෙන්ට ගොස් හොම්බ බිම ඇණ ගත්තායින් පසුව සිරස ඊට වඩා ‘දේශප්‍රේමයට කිට්ටු’ මෙහෙයුමක් සැලසුම් කළේය. මාධුරී මෙහි ආවේ ඒ අනුවය.

සිරස මාධ්‍ය ජාලය මාධුරී ලංකාවට පැමිණෙන්ට මාස දෙකකට කලින් තරගයක් හඳුන්නා දුන්නේය. ඒ ඇය වෙනුවෙන් ෆේක්බුක් පිටුවක් තනා වැඩිම මිතුරන් පිරිසක් ඇති කර ගන්නා රසික රසිකාවියන් දස දෙනකුට ඇය සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වීමේ අවස්ථාව ලබා දෙන්ටය. චරී හා මා ඇය හමුවූයේ කෙසේ දැයි දැන් ඔබට සිතා ගත හැකි වන්නේය. චරී මේ තරගයේ තුන් වැන්නාය. ඔහුගේ පිටුවට මිතුරන් 18,000 කට අධික පිරිසක් විය. මිතුරන් 16,000 කට  ආසන්න සංඛ්‍යාවක් සමඟ මම සත්වැනි තැනට පත්ව සිටියෙමි.

සිරස මාධ්‍ය ජාලය පොරොන්දුවෙහි අඩක් ඉටු කළ මුත් ඉතිරි අඩ ඉටු නොකළාය. අපට ඇය සමඟ භෝජන සංග්‍රහයකට සහභාගි වන්ට නොලැබුණේය. ඒ වෙනුවට අප දස දෙනාට අවස්ථාව ලැබුණේ ඇය සමඟ මිනිත්තු පහක් ගත කරන්ටය. අනෙකුන් ගැන මම නොදනිමි. මම නම් ඉන් පූර්ණව තෘප්තිමත්ව සිටියෙමි. මා දෙවන වර ලොවට බිහිකළ මේ ගැහැණිය මුහුණට මුහුණ හමුවීම මට ඒ වනතෙක්ම සිහිනයක් පමණක් විය. ඉන් පෙර රාත්‍රිය මා නිදිවර්ජිතව ගෙවූයේ කවර හෝ හේතුවක් නිසා ඇය තම ලංකා ගමන කල් තබාවිය බියෙනි.

අපි ටජ් සමුද්‍රා හෝටලයේ ලොබියේදී ඇය හමුවීමු. ඒ නිල උත්සවයෙන් පසුය. නිල උත්සවයටද ආරාධනා ලැබුණු මුත් අනවශ්‍ය ප්‍රචාරය අපට ගැටළුවක් වූයේ මේ තරගයට අප සහභාගි වූ බව දෙමාපියන්වත් විද්‍යාලය වත් දැන නොසිටි හෙයිනි. මා ගෙදරට කියා ආයේ චරීලාගේ ගෙදර යන බවය. එය පාර්ශ්විකව ඇත්තකි. දෙල්කඳ සිට ටාජ් සමුද්‍රා එකට ආවේ චරිගේ අප්පච්චිගේ වාහනයෙන් නිසාය.

තමන්ගේ සිහින වීරවරිය පියවි ලෝකයේ මුණ ගැසීම කෙනකුට කොයිතරම් වැදගත් සිදුවීමක් විය හැක්කේද? එවන් අවස්ථාවක කෙනෙකුට අසන්ට ප්‍රශ්නයකුත් ඇද්ද? මාධුරීගෙන් අසන්ට ප්‍රශ්න දහසක් මට තිබුණද ඇය හමුවේ මම ගොලුවීමි.

මා වෙනුවෙන්ද කථා කළේ චරීය. සාමාන්‍යයෙන් නිහඬ චරිතයක් වූ ඔහු මේ අවස්ථාවේදී නම් අප සියළු දෙනා වෙනුවෙන්ම කතා කළේය. එය වැදගත් වූයේ අනෙක් අට දෙනාගෙන් වැඩි පිරිසකට Yes madam, No madam, You are very very beautiful madam, You like Sri Lanka madam, no? Do you like Sri Lanka cricket madam?, Who is the best Sri Lanka cricketer madam?, Do you like Sanath Jayasuriya madam?, What is your best film madam?, My grandmother too very much like you madam වලින් එපිට ඉංගිරිසියක් බැරි වූ හෙයිනි.

සිරස අයියලාද මේ විනාඩි පහ කැමරා කිහිපයකින්ම වීඩියෝ කළහ. එය වළක්වන්ට බැරිය. එය ඔවුන්ගේ ජොබ් එකය. මම හැකිතාක් කැමරාවට වෙට්ටු දමමින් සිටියෙමි. මේවා රූපවාහිනියේ පෙන්නුවාම උත්තර බඳින්ට වෙන එක ගැන සිතමිනි. චරීට නම් එය ලොකු ගැටළුවක් නොවෙන්ට ඇත. ඔහුගේ අප්පච්චි ඔහු උන්නාද මළාද නොසොයයි. චරී කවදාවත් ඒ නිදහස අයුතු ලෙස භාවිතා නොකළ බවත් ලිවිය යුතුය. මේ විශේෂ අවස්ථාවකි. අනෙක ටජ් සමුද්‍රා එකට විවෘතව ප්‍රකට ඉන්දියානු නිළියක මුණ ගැසෙන්ට යනවා කියන්නේ කෙල්ලක් එක්ක ගෝල්ෆේස් යනවාට නොවේ.

මාධුරී සිටියේ සැහැල්ලුවෙනි. මේ ඇගේ දින චරියාවෙහි එක් අංගයක් විය යුතුය. ඇය අප සියළුදෙනාගෙන්ම එක ප්‍රශ්නයක් හෝ අසන්ට උත්සුක වූවාය.

“So do you also love Devdas?”

මට සිහි එළවා ගන්ට ටික වෙලාවක් ගතවිය. කවුරුන් හෝ මගේ අතින් ඇද්දේය සිතමි.

“Of course! Chandramukhi’s role was perhaps the best in your career. It impressed me so much that I even read Chattopadhyay’s novel

“අචා. That’s good. බුක් පධා නහි හුම්…මත්ලබ්, ..I have not read the book”

මමද චට්ඨෝපාධ්‍යගේ ‘දේවදාසි’ නවකථාව කියවා නැත්තෙමි. මා දැන සිටියේද ඒ ගැන ඉන්ටර්නෙට් වලින් සොයා ගත් කාරණා කිහිපයක් පමණෙකි. එහෙත් තමන්ගේ වීරවරිය අභියස ලකුණු ටිකක් දමා ගන්ට අකැමැති කෙනෙකුත් වේද?

“It’s a great book. You should give a try…”

“Yes, I should definitely. Thanks…Now, what do you think about ‘Hum Aapke Hain Koun..’? You liked it?”  ඇය මට වම් පසින් සිටි පැල්මඩුල්ලෙන් ආවාය කියූ ගැහැණු ළමයා දෙසට හැරුණාය.

“Yes madam. Thank you madam. You are very beautiful madam…”

මේ මෙම ගැහැණු ළමයා ඕනෑම ප්‍රශ්නයකට දෙන්ට කට පාඩම් කර ගෙන ආ පිළිතුරය සිතමි.

මාධුරී ඉක්මණින් අපේ සමුගත්තේ “Sorry, I have to go. Minister is waiting for me, but I love to meet you all again.” කියමිනි. මේ නොවන්නක් බව මම දනිමි. මම ඒ ගැන කම්පා නොවෙමි. ඇය මා වෙනුවෙන් මිනිත්තුවක් හෝ වැය කිරීම මට වටනේය.

සමුගෙන යන්ට කලියෙන් මාධුරී අප සියළු දෙනාටම cheek kiss එක බැගින් දුන්නාය. ඇය චරීගේ මුහුණට සිය මුහුණ ළං කරද්දී මා දුටුවේ ඔවුන් දෙදෙනා අතර කෙළින් බලන විට මඳක් සැඟවෙන, එහෙත් පැත්තෙන් බලන විට අපූරුවට ඉස්මතු වන සමානතාවයයි.

කා-පාක් එකට ඇවිද යන තුරුද චරීගේ සුදු මුහුණ රතු වී තිබෙණු මම නිරීක්ෂණය කළෙමි.

“You know something Thisu…” ඔහු මට කොඳුරයි.

“Tell me…”

“That was the first kiss I had in my life…”

එය මගේ ජීවිතයේද පළමු හාදුව බව මා ඔහුට කිව යුතුද?

.

.

(ඉවසන්න…………………සමනළයා යළි පියා සලන තෙක්)

(19) සමනල පැටවා || The Young Butterfly

  • කාලය: 1992, සමාන්තර විශ්වය
  • ස්ථානය: මහනුවර, ලංකාව

**********(අප්සරා පුෂ්පාංජලී කියන කතාව)**********

.

######    Myself   #####

My name is Charith Kalinga Bandara. My school is Trinity College. It is situated in Kandy. It is the best school of all schools. I am proud of my school.

I am in Grade 2C. My favorite subject is English. My class teacher’s name is Mrs. Swarna Malwenna. She is very kind to us. Our Principal sir is Lt. Col. Leonard M. De Alwis.

My country is Sri Lanka. I love my country. The President of our country is His Excellency Mr. Ranasinghe Premadasa. He wears National dress.

My father’s name is Mr. Victor Bandara. He is a businessman. He has a factory. It is situated in Dehiwala.

My mother’s name is Mrs. Beatrice Samarasinghe. She is in heaven. She loves me. I love her.

I live with Apsara aunty, Jayantha uncle, Dilusha akka and Ridmi akka. I love them a lot.

I want to be a pilot in future. I will fly war planes. One day I will bomb my father’s factory.

.

අද චරිත්ගේ පාසලේ නත්තල් උත්සවයයි. ජයන්තට හදිසි වැඩ වගයක් නිසා ඊට සහභාගි වන්ට බැරිය කී හෙයින් මම රිද්මිත් සමඟ ගියෙමි. වික්ටර්ට කිව යුතුය අපි කල්පනා නොකළෙමු. කිව්වත් වික්ටර් නොඑන්ට පිළිවන. එවිට චරිත්ගේ සිත රිදෙයි. නොකියාම සිටීම හොඳය.

චරිත් සුපුරුදු පරිදි හැම තරගයකින්ම අන්තිමයා විය. දෙහි ගෙඩිය මුලින්ම හැන්දෙන් වට්ටා ගත්තේ ඔහුය. සංගීත පුටු තරගයේදී ඔහු වෙනත් ළමයකු කලින් අල්ලා ගත් පුටුවක් උදුරාගන්ට අසාර්ථක උත්සාහයක් දරා ගුරුතුමියගේ අණින් තරගයෙන් ඉවත් විය. බනිස් කෑමේදී ඔහුට බනිස් ගෙඩියෙන් බාගයක් වත් කන්ට බැරිවිය. යෝගට් කෑමේදී අන් සියළු දෙනාම තරග භූමියෙන් ඉවත් වීමෙන් පසුවද ඔහු තනිව යෝගට් එක කමින් සිටියේය. චරිත් ක්‍රීඩාවට අදක්ෂ දරුවකු බව මා දැන නොසිටියේ නම් මට දුක හිතෙන්ට ඉඩ තිබුණේය. එසේම චරිත් මේ කිසිවකින් ජයග්‍රහණ බලාපොරොත්තු නොවූ බවද මම දැන සිටියෙමි. එනිසා ඔහු පැරදුණු එකට මට ලොකු දුකක් නැතිවිය.

චරිත් මෙන්ම රිද්මිද සිතන්ට ඇත්තේ මගේ ඇස් වලට කඳුළු ඉනුවේ චරිත් පැරැදුණු නිසා වන්ට ඇති බවය. නැත. දැනටමත් පැරදී ඇති චරිත්ට තව පැරදෙන්ට දෙයක් නැත. මට කඳුළු ඉනුවේ බියට්‍රිස් මතක් වූ නිසාය.

අප දෙදෙනා එකම වයසේ වුවද මගේ විවාහය සිදුවූයේ කලිනි. දමිළ කාන්තාවක වූ මගේ මෑණියන්ට මා ඉක්මණින් විවාහ කර දෙන්ට ඕනැ විය. මෙනිසා මා ජයන්ත සමඟ අතිනත ගත්තේ විශ්ව විද්‍යාලයේ අවසාන වසරේදීය. එය යෝජිත විවාහයක් වූ නිසා මා ඒ වන විට ජයන්තව දැනගෙන තිබුණේ යන්තමිනි. නමුත් ඔහු ලෙහෙසියෙන් සොයා ගන්ට බැරි ආකාරයේ හොඳ ගතිගුණ ඇති සැමියකු විය. විවාහයෙන් පසු මම ජයන්ත සමඟ මහනුවර පදිංචියට ආවෙමි. සයන්ස් වලට සෙකන්ඩ් ලෝවර් එකක් තිබුණද මම කිසිම දවසක රැකියාවක් නොකළෙමි. ඉගෙන ගත් දෙය මතක නැති වන්ට නොදී මුලදී ගෙදර ළඟ ළමයින්ට නොමිළේම උගන්වන්ට පටන් ගත් නමුත් ඒ සියල්ලක් ඉක්මණින් නතර විය. මම නිවසෙහි බිත්ති හතරට කොටු වූ ගෘහණියක් වීමි. මගේ එකම සැනසීම වූයේ ජයන්තගේ නම්‍යශීලී බවය. මෙනිසා මට පැමිණිලි කරන්ට තරම් දරුණු ගැටළුවක් නොවීය. දිලූෂාත් රිද්මිත් අපේ කැදැල්ලට එක්වීමෙන් මගේ තනිය පහව ගියේය.

බියට්‍රිස් මිය යන විට රිද්මිට යාන්තම් අවුරුදු එකහමාරක් වුණා පමණය. ජයන්ත පුතෙක් හදන්ට ඕනෑකමින් සිටියේය. ඒ සිහිනය පැවතියේ මා චරිත්ගේ මුහුණ දකින තුරු පමණය. උපන් අවස්ථාවේ කිසිම දරුවකු ප්‍රසන්න නොවේය කතාවක් තියේ. ඒ මාස කිහිපයක් ඔවුන්ට වැඩෙන්ට වන්නේ මවගේ කුස තුළ සිරවී, අසීරු පරිසරයක් තුළ නිසාය. පුදුමයකට මෙන් චරිත් උපන් අවස්ථාවෙහි පටන්ම සමනල් පැටවකු විය. ඔහුගේ සිඟිති අත් පා, කළු ඇස්, බ්‍රියස්ටිස්ගේම කපාපු පළුව මෙන් වූ දිගු නැහැය දුටු පමණින් මම පුතකු සෑදීමේ අදහස් අතහැර ගතිමි. දෙවියන් වහන්සේ විසින් මේ තරම් ලස්සන පුතකු ලබා දුන් කල්හි තවත් පුතකු පතන්නේ මොන මෝඩ ගැහැණියක්ද? තරමක අදිමදි කිරීමකින් වුවද ජයන්ත මගේ අදහස හා එකඟ විය. පසුව ඔහු මටද වඩා චරිත්ට ආදරය කළ බව මම දනිමි.

අප අතර මේ පිළිබඳව කිසිම දවසක විවෘත කතා බහක් නුවුවද, චරිත් දෙවියන් වහන්සේ විසින් අපට ලබාදෙන ලද ත්‍යාගයක්ය යන සිතිවිල්ල අපේ පවුල මට පමණක් උරුම වූවක් නොවීය. ජයන්ත පමණක් නොව එවකට සිව්වන වියෙහි සිටි දිලූෂා පවා එවැන්නක් විශ්වාස කළාය. ඇය තමන්ගේම නංගීට වඩා දහ ගුණයක් අළුත් මල්ලීට ආදරය කරන්ට පටන් ගත්තාය. දිනූෂාගේ සියළු සෙල්ලම් බඩු චරිත්ට පමණක් ලැබීම වළක්වන්ට හැකිවූයේ මගේ හෝ ජයන්තගේ මැදිහත් වීමෙනි. පුදුමය වූයේ එවන් තත්ත්වයක් යටතේ පවා රිද්මි චරිත් තමන්ගේ තරගකරුවකු සේ නොසිතීමය. පසු කාලයක මල්ලි බෙදා ගන්ට අක්කලා දෙදෙනා අතර පොරයක් පවා ඇති වූයේය.

මේ සියල්ල යහපත්ව සිදුවූයේ අහම්බයකින් බව අදහන්ට මම මැළිවෙමි. පල්ලියේ පියතුමාගේ වුව අදහස් වූයේ මේ සියල්ල දේව කැමැත්ත බවයි. භක්තිමත් කිතුණු කාන්තාවක ලෙස මම ඒ දේව කැමැත්තට ඉඩ දුනිමි. ශාන්ත වූ මරියා දෙව් මව්තුමියනි, ඔබට අනේක වාරයක් ස්තුති වේවා!

And calling to him a child, he put him in the midst of them and said, “Truly, I say to you, unless you turn and become like children, you will never enter the kingdom of heaven. Whoever humbles himself like this child is the greatest in the kingdom of heaven. “Whoever receives one such child in my name receives me, but whoever causes one of these little ones who believe in me to sin, it would be better for him to have a great millstone fastened around his neck and to be drowned in the depth of the sea.

(Matthew 18:2-6)

චරිත් අපූරු දරුවෙකි. සියල්ලන්ගේ ආදරය දිනා ගන්ට ඔහුට සහජ හැකියාවක් විය. එසේම ඔහු අතිශයින් අහිංසක නිහඬ චරිතයකි. කිසිම අවස්ථාවක කොයිතරම් ආසා කළත් ඔහු සෙල්ලම් බඩුවක් ඉල්ලන්ට උත්සාහ නොකළේය. තමන් ආසා කරන දෙයක් දෙස ලොකු කරගත් දෑසින් යුතු ව බලා සිටියා පමණය. දෙමාපියන් භාග්‍යවතුන්ය කියන්නේ මෙබඳු දරුවන් ලද කල්හිය. නමුත් චරිත්ගේ දෙමාපියන්ට ඒ දකින භාග්‍යය නොලැබුණේය.

“We should have a child together, for it would be blessed with my beauty and your brains.” රාත්‍රී සාදයකදී මුණගැසුණු රූමත් නළඟනක, ඔහු හා වට කිහිපයක් නැටීමෙන් පසුව ජෝර්ජ් බර්නාඩ් ෂෝට කීවේලු.

“Ah, but what if it had my beauty and your brains?” යි ෂෝ පෙරළා ඇසූ බව කියැවේ.

පුදුමයකට මෙන් චරිත්ට ලස්සන සේම බුද්ධියද ලැබී තිබුණේ බියට්‍රිස්ගෙන්ය. වික්ටර් ගෙන් ඔහු ලද දෙයක් නැති තරම්ය.

බියට්‍රිස් ගැන හොඳින් නොදැන සිටියේ නම් මා චරිත් වික්ටර්ගේ දරුවෙක්මද සැක කරන්ටත් ඉඩ තිබුණේය. චරිත් එපමණකටම පියාගෙන් වෙනස් විය. නමුත් භක්තිමත් කිතුණු කාන්තාවක වූ බියට්‍රිස් දිවි හිමියෙන් පතිවත රැකි බව නම් මට දෙවියන් වහන්සේ ඉදිරියේ සපථ කළ හැකිය. එබැවින් චරිත් වික්ටර්ගේ දරුවකු නොවේය සිතන්ට කිසිම ඉඩක් නොවීය. වික්ටර්ද මොහොතකට හෝ එසේ සිතීය මම නොසිතමි.

වික්ටර්ට වන්ට ඇත්තේ බලාපොරොත්තු නොවූ මොහොතක දරාගන්ට බැරි තරම් ලොකු වගකීමක් ඔහුගේ හිස මත කඩා වැටීමය. ඔහු පවුල් සංස්ථාව තුළ ජීවත් වීමට පුරුදු වූ චරිතයක් නොවේ. බියට්‍රිස්ගේ මරණයෙන් පසු ඇතිවූ වාතාවරණයෙහි නව වගකීමට එක්තරා මට්ටමකට හෝ අනුගත වන්ට උත්සාහ දරණු වෙනුවට වික්ටර් ඒ වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැරියේය. කවදා හෝ චරිත් ඊට ඔහුට සමාව දේද මම නොදනිමි.

බියට්‍රිස්ගෙන් නම චරිත් නොලැබූ දෙයක් නැති තරම්ය!

කළුපාට ඇස්! දිගු නැහැය! කොයිතරම් අවුල් වුවත් කිසියම් අපූර්වත්වයක් ඇති කොණ්ඩය!

බියට්‍රිස්ගෙන් නොවේ නම් කවුරුන්ගෙන්ද චරිත් මේ සියල්ල ලැබුවේ?

නමුත් බියට්‍රිස්ගෙන් චරිත් ලද බුද්ධිමය දායාදය ඒ සියල්ලට වඩා කැපී පෙණුනේය.

කීර්තිමත් දිස්ත්‍රික් විනිශ්චයකරුවකු බවට පසුව පත්වූ බියට්‍රිස්ගේ පියා දැඩි කතෝලික බැතිමතෙකි. එසේම ආචාර්ය එන්. එම්. පෙරේරා ඇසුරෙහි දේශපාලනයට පිළිපන් පරණ සමසමාජ කාරයෙකි. මාක්ස්වාදය හා ආගම අතර සාධාරණ සමතුලිතතාවයක් ඇතිකර ගන්ට ඔහුට පුළුවන් විය. මාක්ස්වාදය විසින් ඔහු වෙන් කෙරුණේ කතෝලික පල්ලියෙන් පමණෙකි. එය ඔහුගේ දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය මඳකුදු පළුදු නොකළේය. වොල්ටර් සමරසිංහ මෙ නිසා පල්ලියකට පා නොතබන, පල්ලියේ ආගමික ආධිපත්‍යය හෙළා දකින භක්තිමත් කතෝලිකයකු විය. ඔහු ජේසුස් ක්‍රිස්තු දුටුවේ ලොව මහම විප්ලවවාදියා, සමාජවාදියා හැටියටය. සමාජ සාධාරණත්වය පිණිස ජේසුස් හැර තම ජීවිත පූජාවෙන් ක්‍රියාකළ අන් කිසිවකු ඔහු නොදත්තේය. වෝල්ටර් සමරසිංහ සිය කැමැත්තෙන්ම ජේසුස්ගේ කටු ඔටුන්න පැළඳ ගත්තේය. බැහැරින් බැලූ කෙනෙකුට එය පෙණුනේ රතු තොප්පියක් විදියටය. නමුත් එය කටු ඔටුන්නම බව ඔහු විශ්වාස කළේය.

1952දී ඍජුවද 1956දී වක්‍රවද මහ මැතිවරණවලදී කතෝලික පල්ලිය යූ. එන්. පී. යට දේශපාලනිකව සහය පළ කරද්දී මීගමුව වැනි සියයට සියයක් කතෝලික පුරවරයක ඊට එරෙහිව නැඟී සිටින්ට ඔහුට කොන්දක් සේම සමාජවාදය පිළිබඳ අචල විශ්වාසයක්ද විය.

1952 මැතිවරණයේදී, සමසමාජ නායකයින්ට මීගමුවේ රැස්වීම් වලදී කතා කරන්ට බැරි වන විදියට බාධා කරන්ට යූ. එන්. පී. මැරයන් යොදා තිබුණේය. එක් තීරණාත්මක රැස්වීමක කථා කරමින් සිටියේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. කොල්වින් තම කතාවට වූ බාධාවන් වරක් දෙකක් ඉවසුවේය. බැරිම තැන අසළ හුන් පොලිස් නිලධරයන්ට මැදිහත් වන්ට ඉල්ලා සිටියේය. එයින්ද පළක් නොවූයේ පොලිස් නිලධරයන් සංඛ්‍යාව මඳ වූ හෙයිනි.

මඳක් කතාව නතර කළ කොල්වින් “Bring me a stick…” කියා බියට්‍රිස්ගේ පියා ලවා දණ්ඩක් ගෙන්නා ගත්තේය. ඉන්පසු ඔහුගේ කතාව වේගවත් විය.

“සහෝදරවරුනි, ඔය අපට මෙතැන්ට ඇවිල්ලා බාධා කරන බාධා කරන යූ. එන්. පී.යේ කුලී ගැත්තන් නිහඬ කරන්ඩ කියලා මම පොලීසියේ මහත්වරුන්ට කිව්වා. ඒත් ඒක වුණේ නැහැ. දැන් අපට පිහිට අපිමයි. ඔය ගැත්තන් අල්ලලා මෙන්න මෙහම කඩලා දාන්ඩ. (ඔහු දණ්ඩ හඬ නැඟෙන පරිදි කැඩුවේය.) බය වෙන්ඩ එපා, පොඩ්ඩක් වත්. තමුන්නාන්සෙලා කාටවත් හිරේ යන්ඩ දෙන්නෙ නෑ. මමම උසාවියෙ කතා කරලා බේරා ගන්නවා…”

ඒ ඇසුණු වහා යූ. එන්. පී. මැරයෝ පැණ ගියහ.කොල්වින්ගේ කතාවට ඉන්පසු කිසිදු බාධාවක් නොවීය . මේ සමරසිංහ අන්කල් අපට කිහිප වතාවක් කියා ඇති කතාවකි.

බියට්‍රිස් කැම්පස් ආවේ සිය පියාගෙන් උරුම වූ මේ විප්ලවීය ගතිගුණද ඇතිවය. ගණිත අංශයෙන් ඉගෙනුම ලබන්ට ගැහැණු දැරිවියන් මැළි වූ ඒ යුගයේ ඇය එයම තෝරා ගත්තාය. එසේම සාරිය වෙනුවට මිනි ගවුම හෝ කලිසම් අඳින්ටත් නොපැකිළුණාය. එහෙත් ඇගේ දේශපාලනය පිටතට පෙනෙන්ට කළ එකක් නොවීය. එය, ඇයගේ පියාගේ දේශපාලනයටත් වඩා අභ්‍යන්තරික, සැඟවුණු එකක් විය. මේ නිසා පේරාදෙණිය සරසවියේ එවකට දහයක් පහළොවක් වූ සමසමාජ පක්ෂ එකකට වත් බැඳෙන්ට වත් ඇයට උවමනාවක් නොවීය.

ඇත්තටම හෑත්තෑව දශකය යනු පේරාදෙණියට එන්. එම්.ලා කොල්වින්ලාගේ පැරැණි සමසමාජය රතු මදි වූ කාල සීමාවකි. එහි බොහෝ ආචාර්යවරුන්ට ඊට වඩා විප්ලවීය මුහුණුවරක සමසමාජයක් අවශ්‍ය විය. ඉංජිනේරු පීඨයේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න හා ආචාර්ය කුමාර් ඩේවිඩ්, විද්‍යා පීඨයේ (එවක සයන්ස් ෆැකල්ටියේ මගේද ගුරුවරයකු වූ) ආචාර්ය නලින් ද සිල්වා හා කලා පීඨයේ ආචාර්ය සුමනසිරි ලියනගේ පසුව නව සමසමාජ පක්ෂය බවට පත් වූ “වාම සමසමාජය” බිහි කළේ ඒ අනුවය. ආචාර්ය ඩේවිඩ් හා ආචාර්ය ලියනගේ පසුව මින් කැඩී ගොස් වෙනම කඳවුරු පිහිටුවා ගත් අතර කොල්ලෝ ඒවා පිළිවෙළින් (නායකයින්ගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ කාරණා මත) “කාම සමසමාජය” හා “වාත සමසමාජය” ලෙස නම් කළහ.

බියට්‍රිස් මේ සියල්ලෙන් ඈත්ව සිටියාය. කොටින්ම පසුව විශ්ව විද්‍යාලය තුළම යූ. එන්. පී. ශිෂ්‍ය නායකයකු වූ වික්ටර් බණ්ඩාර සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්නා තරමටම විප්ලවවාදී වූවාය.

බියට්‍රිස් කැම්පස් කාලේ ප්‍රකටව සිටියේ පොත් කියැවීම ගැනය. ඇය ජීවත් වූයේ පොත් සමඟය. එකල ජනප්‍රිය Penguin, Mills & Boons වැනි නවකතා සංග්‍රහ සේම Reader’s Digest, Femina, Illustrated Weekly of India වැනි සඟරාද පළකරන ලද්දේ ඇය වෙනුවෙන්ද සිතෙන තරමට ඇය ඒවාට ඇබ්බහිව සිටියාය. කොයිවෙලේත් පොත් පණහක් හැටක් අපේ කාමරයේ දකින්ට තිබුණේය. කොටින්ම එය කාමරයකට වඩා කුඩා පොත්හළක් බඳු විය.

චරිත්ද දැන් පුංචි කමට අතට අසුවන ඕනෑම දෙයක් කියවයි. ඔහු දිලූෂාගේ Famous Five පොත් පවා අමාරුවෙන් කියවන්ට උත්සාහ කරයි. සෙල්ලම් බඩුවකට වඩා පොතක් ත්‍යාගයක් සේ ලැබීම අගයයි. වෙන මොන විෂයට ලකුණු අඩුවුවද ඉංගිරිසි වලට හා ගණිතයට අනූ ගණනක් ලෙහෙසියෙන්ම ගනියි. ජයන්තට පුදුමයක් වුවද මට නම් මෙහි අරුමයක් නොවේ. මේ බියට්‍රිස්ගේ ‘genes at work’ය.

වික්ටර් ගැන යමක් කියන්ට මම අකැමැත්තෙමි.

“Love at first sight” යැයි ඉංග්‍රීසියෙහි කතාවක් තියේ. මෙහි විලෝමයද සත්‍ය විය යුතුය සිතමි. එනම් කිසිම සාධාරණ හේතුවක් නැතිව අප යම් යම් පුද්ගලයින් දුටු මොහොතෙහි පටන් අප්‍රිය කරන බවය. වික්ටර් ගැන මට කියන්ට ඇත්තේද එපමණෙකි. මම පළමුවරට මහනුවර දුම්රිය පොළේදී දුටු දිනයේ පටන් පටන් කිසිම දවසක ඔහු ප්‍රිය නොකළෙමි. බියට්‍රිස්ගේ මරණයෙන් පසුව අප අතර පරතරය තවත් වැඩිවිය.

මේ තරම් කරුණු කාරණා දත් වික්ටර් හා බියට්‍රිස් දෙදෙනාම, දරු උපත ඇගේ ජීවිතයට තර්ජනයක් බව හොඳින් දැන දැනම සිසේරියන් සැත්කමක් සඳහා යොමු නොවූයේ මන්ද? සිසේරියන් සැත්කමක් යනු අරුමයක් නොවේ. සාමාන්‍යයෙන් ඕනෑම සංකූලතා සහිත දරු උපතක් පිණිස නිර්දේශිත විකල්පයයි. දරු උපතෙහි සංකූලතා ඇති විය හැකි බව හොඳින්ම දැන සිටි මේ අවස්ථාවේ එය භාවිතා නොවූයේ මන්ද?

මේ ප්‍රශ්නයට මට කවදා හෝ පිළිතුරු ලැබේද මම නොදනිමි.
.
.

(ඉවසන්න…..සමනළයා යළි පියා සලන තෙක්)

(18) මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට || Mervin Silva becomes a Buddhist monk

  • කාලය: 2012, නොවැම්බර්, සමාන්තර විශ්වය
  • ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව

**********(‘සාසනයා’ කියන කතාව )**********

මම කිරෙන් පොඟවා, තෙලෙන් බැද, ඩෙවිල් කරන ලද දේශපාලකයෙක්මි. දේශපාලනයේ අයන්නේ සිට අඃයන්න දක්වා මම අතැඹුලක් සේ දනිමි. මට තේරුම් ගන්ට බැරි සංසිද්ධීන් වලින් මා කැළඹීමට පත්වන්නේ එහෙයිනි.

වික්ටර් මිය ගොස් තෙමසක් පිරුණේ ඊයේටයි. මා එය දැන ගත්තේ රාවයේ පළවූ වික්ටර් අයිවන් විසින් ලියන ලද ගුණ සමරු ලිපියකිනි.

රාවයේ හිටපු කතුවර වික්ටර් අයිවන් දේශපාලන ලිපි ලිවීම නතර කොට (a) විශ්‍රාම දිවිය සුවසේ ගත කරන්නේ කොහොමද, (b) ගෙදරක බල්ලන් පූසන් ඇති කරන්නේ කොහොමද, (c) මළ පහ කොට කඩදාසියෙන් පිසදා ගැනීමට වඩා වතුරෙන් සෝදා ගැනීම හොඳ ඇයි, (d) මාසයකට කී වතාවක් ලිංගික සංසර්ගයෙහි යෙදිය යුතුද, (e) ඇඹෙණිය හා වළං පිඟන් හෝදා ගැනීම රෙදි සෝදා ගැනීම වැනි කටයුතු බෙදාගෙන කරන්නේ කොහොමද (f) නැන්දා ලේලි ආරාවුල හා අයිසෙක් නිව්ටන්ගේ බ‍්‍රහ්මචර්යාව වැනි සරත් විජේසූරිය කියන ජාතියේ හුචක්කු කතා කිය කියා හිටියේය. නාකි වෙන කොට සමහර මිනිසුන්ට අමුතුම ජාතියක උමතු රෝග ලක්ෂණ පහළ වෙයි. මේකාට හැදී තියෙන්නේ වෙන කාටවත් නොහැදුණු ඔරිජිනල් ම ඔරිජිනල් නැවට එකයි පිස්සුවකි. ඕවාට හිනා වී නිකං හිටියාම හරිය. වැඩිපුර කලබල වෙන්ට ඕනෑ නැත. ඔන්නොහෙ හොඳටම සීරියස් වී මුල්ලේරියාවට ඇඩ්මිට් කරපු දවසක ඇපල් ගෙඩි ටිකක් හා මිදි දෙසීයක් විතර අරගෙන ගොස් බලලා එන්ට පිළිවන.

වික්ටර් ගැන වික්ටර් ලියූ ලිපියේත් වැඩිපුර තිබුණේ මැරුණු (දේශපාලක) වික්ටර් ගැන නොව ජීවත් වුණාක් මළාක් වැනි විශ්‍රාම ගිය කතුවර වික්ටර්ගේ පුරසාරම් හා මැඩම්ට ගහපු හින්ට්ය. තමාට මෙන් හොඳට (දේශපාලක) වික්ටර්ට හෝ මැඩම්ට දරුවන් හදා ගන්ට බැරිවුණු බවත් තමන්ට දරුවන් හදා ගන්ට පුළුවන් වූයේ හැම සති අන්තයකම ඔවුන් හා ගත කළ නිසා හා පොඩිකාලයේ පටන්ම වෙන කාටවත් කරන්ට නොදී තමන්ම ඔවුන්ගේ කක්කි හේදූ නිසා බවත් අයිවන් වැඩි දුරටත් ලියා තිබුණේය.

පුදුමයකට මෙන් (දේශපාලක) වික්ටර්ගේ මරණය ගැන මට ඇති වූ සැක කිසිවකුත් (හිටපු කතුවර) වික්ටර්ට ඇති වී නොතිබුණේය. ඔහු රටේ බොහෝ දෙනා කරන්නාක් සේ එය කොටින්ගේ ගිණුමට බැර කරන්ට උත්සුක වී ඇති බව පැහැදිළිය. මේ වැඩිය හිතන්ට කරදර නොවන පිරිසට easy way out එකකි. මට එසේ කරන්ට පුළුවන් කමක් නැත්තේ මේ සිද්ධිය මත මගේ අනාගතය පමණක් නොව ජීවිතයද රැඳී පවත්නා නිසාය.

වික්ටර් සාලිය බණ්ඩාර මරන්ට තරම් විශේෂ උවමනාවක් කොටින්ට නුවූ බව මම දනිමි. ඔහු කොටින් හා ගණුදෙනු කළ එකම අවස්ථාව ‘දඹර අමිල සිද්ධිය’යි. එයද කිසිදු පාර්ශ්වයකට පරාජයක් අත් නොවන සේ සූක්ෂ්මව විසඳා ගන්ට ඔහු සමත් විය. අනෙක තමන්ට හොඳටම වැදී ඇති මේ අවස්ථාවේ කොටින් වික්ටර් මරන්නේ ඇයිද? (රනිල් මරපු එක වෙනම කතාවකි. සාම සාකච්ඡා හරහා තමන්ව පාච්චල් කිරීම ගැන කොටින්ට හැමදාමත් රනිල් සම්බන්ධයෙන් වූයේ තරහකි.)

මේ ප්‍රශ්න මටම ඇතිවන්නේ ඇයි? වික්ටර්ගේ මරණයට පෙර හා පසුව සිදු වූ සිද්ධි කිහිපයක් අතර විය හැකි (අන් කිසිවකු නොදන්නා) අන්තර්සම්බන්ධතාවය මා දන්නා නිසාද?

මගේ ප්‍රශ්න මම කාලානුරූපව පෙළ ගස්වමි.

1. ලසන්ත වික්‍රමතුංග මැරුව්වේ කවුද? ඔහු මැරෙව්වේ අමරේ විසින් වික්ටර්ගේ උවමනාවටද? එසේ නම් ඒ ඇයි? වික්ටර්ට ලසන්ත සමඟ තිබුණු පලහිලව්ව මොකද්ද?

2. ප්‍රගීත් එක්නැලිගොඩට වූයේ කුමක්ද? ඔහු ඉස්සුවේත් වික්ටර්ගේ උපදෙස් මත අමරේද? එසේ නම් ඒ ඇයි? නැත්නම් එය වික්ටර්ට සම්බන්ධයක් නැති සිදුවීමක්ද? මැඩම් මේ ගැන යමක් දන්නවාද?

3. වික්ටර් මැරුවේ/මැරෙව්වේ කවුද? අමරේද? එසේනම් ඒ ඇයි? කලින් කළ වැඩ වලට ගාණ සෙට්ල් නොකළ නිසාද? වික්ටර්ගේ ඝාතනයට මැඩම්ගේ සම්බන්ධයක් ඇත්ද? වික්ටර් තමන්ට තර්ජනයක් බව මැඩම් සැක කළාද?

4. අමරේ කොහේද? අමරේට මොකද උණේ? කිසිම කෙනෙක් ඒ ගැන නොදන්නේ ඇයි?

5. ඇඹිලිපිටියේ පියදාසට වූයේ කුමක්ද? ඔහුගේ මේ සිද්ධීන් වලට ඇති සම්බන්ධය කුමක්ද? තුම්මෝදර පැත්තේ වෙළකින් මතු වූ හඳුනාගත නොහැකි තරමට පිළිස්සුණු මළ සිරුර පියදාසගේද? අමරේගේද?

කාලයා විසින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ඇතැයි මම සිතමි.

බුද්ධ ශාසන ඇමැති හැටියටත්, පුද්ගලිකවත් වැදගත් උත්සවයකට අද මට සහභාගි වන්ට සිදුව තිබුණේය. ඒ දීර්ඝ කාලයක් තිස්සේ මගේ සගයකු හා කිට්ටු මිත්‍රයකු වූ හිටපු මන්ත්‍රී මර්වින් සිල්වා බම්බලපිටියේ වජිරාරාමයේදී ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට එක්වීමේ අවස්ථාවයි. (ඔහු කැමැත්තෙන් හිටියේ කැළණි විහාරයේදීම පැවිදි වීමටයි. නමුත් සියම් නිකායික මහා සඞඝයා වහන්සේ විසින් ගොවිගම නොවන හීනකුල ඇත්තන් මහණ දම් පිරීමට නුසුදුසුය කියා රටේ ජනාධිපතිට පවා වෙනස් කරන්ට බැරි දැඩි මතයක සිටි හෙයින් ඔහුට තමන්ගේ කුලයට අයිති වජිරාරාමය තෝරාගන්ට සිදුවිය.)

ලංකාවේ වර්තමාන දේශපාලනය වැටී ඇති පතුළක් නැති ආගාධය ගැන මර්වින් සිටියේ කණගාටුවෙනි. අද ඇති වාතාවරණය තුළ නම්බුකාර විදියට දේශපාලනය කරන්ට කිසිම ඉඩක් නැති බව ඔහු සංවේගයෙන් මට කීපවතාවක්ම කීවේය. මර්වින් වැදගත් දේශපාලනය කීවේ ආචාර්ය එන්. එම්. පෙරේරලා, ඩඩ්ලි සේනානායකලා, මෛත්‍රිපාල සේනානායකලා, දොස්තර වික්‍රමසිංහලා කළ මහත්මා දේශපාලනයයි. මේ මහත්වරුන් වෙනුවට අද දේශපාලනයට පිවිස ඇත්තේ කිසිම උගත්කමක් හෝ හැදියාවක් නැති සමාජයේ හැසිරෙන්ට නොදන්නා සුනඛයින්ය. රටේ පොදු යහපත බල්ලාට දමා ස්වකීය පෞද්ගලික සුඛ විහරණයම ඒකායන පරමාර්ථය කරගත් තක්කඩියන්ය. රටේ ජාතික ධනය කොල්ලකන, කිසිම ලජ්ජාවකින් තොරව කප්පම් ගන්නා අධමයින්ය. මර්වින් තුළ මේ තත්ත්වය ගැන විශාල කලකිරීමක් විය. පිරිසක් මැදට පැණ පිස්තෝලය උරුක් කොට කුණුහරුප වපුරන වර්තමාන මැර දේශපාලකයින් ඔහුට පිළිකුල් විය. මහත්මා දේශපාලනයක් කිරීමේ අවස්ථාව ඉක්මණින්ම උදාවනු ඇති බව කියූ මම එසේ වනතුරු ඉවසා සිටින්නැයි ඔහුට උපදෙස් දුනිමි, එහෙත් මර්වින් ඉක්මන් විය. ඔහු මේ කාලකණ්නි දේශපාලනයෙන් මිදී සසුන් ගත වීමට දැඩි තීරණයක් ගෙන සිටියේය.

සිරස මාධ්‍ය ජාලය විසින් කරන ලද අකටයුත්තක් ගැනද මර්වින් බෙහෙවින් කම්පා වී සිටියේය. යම් කිසි ‘රඟපෑමක්’ කරන්ට සිරස හා මර්වින් සිල්වා අතර එකඟතාවයක් විය. ඊට අනුව මර්වින් විසින් තමන් නිරුවත් කොට ගසෙක බඳිනවාට සිරස මාධ්‍යවේදියා සිය කැමැත්ත පළ කොට තිබුණේය. අනුන් විශ්වාස කරන්ට මර්වින්ට තිබුණු පුරුද්ද නිසා ඒ පිණිස දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්ට අවශ්‍ය යැයි ඔහු කල්පනා නොකළේය. මර්වින් විසින් මාධ්‍යවේදියා නිරුවත් කොට ගස් බැන්ද පසු සිරස විසින් සිය මූලික එකඟතාව නිර්ලජ්ජිතව කඩ කරන ලදී. ඔවුන් Sirasa News1st ඔස්සේ කීවේ වෙනම කතාවකි. එනම් මර්වින් විසින් බලයෙන් මේ ක්‍රියාව සිදු කරන්ට ඇති බවයි. මෙසේ අස්ථාන චෝදනා වලට ලක් වෙන්ට වීමද මර්වින්ට ගිහි ජීවිතය ගැන කළකිරෙන්ට හේතු වූයේය මට සිතේ.

ගිහි සැප හැරපියා ස්ථිර වශයෙන්ම සසුන් ගත වන්ට මර්වින් තීරණය කළේ පසුගිය පොසොන් මාසයේ අනුරාධපුර චාරිකාවකදී සිදු වු යම් විශේෂ ආධ්‍යාත්මික සිද්ධියක් නිසාය. මා ඇසූ පරිදි ඒ මෙසේය. (මේ සිද්ධිය පාදක කර ගනිමින් වික්ටර් අයිවන් ‘මාසයකට වතාවක් වත් අෂ්ඨාංග සීලය සමාදන් වීමේ වැදගත්කම‘ ගැන ලිපියක් ලියා තිබූ නිසා මට එය විශේෂයෙන්ම මතකය.)

සැදහවැත් බෞද්ධයකු වූ මර්වින් සිල්වා තම කණ්ඩායම සමඟ ජය සිරිමා බෝධි මූලයෙහි අෂ්ඨාංග සීලය සමාදන් වූයේය. රාත්‍රියෙහි පශ්චිම යාමය වනතෙක් ධර්ම සාකච්ඡාවෙහි නියැළි පිරිස අතුරින් බොහෝ දෙනෙක් නින්දට වන්හ. මර්වින්ට නින්ද නොආයේය. ඔහු ඈතින් පෙනෙන රුවන්වැලි සෑයේ කොත් වහන්සේ දෙස බලාගෙන සසරෙහි අනියතභාවය ගැන අනුලෝම ප්‍රතිලෝමව මෙනෙහි කරමින් හුන්නේය.

සුදෝ සුදු වතින් සැරසුණු ඍෂිවරයකු, බෝ මළුව ඒකාලෝක කොට ඔහු ඉදිරියේ පහළ වූයේ ඒ අවස්ථාවේදීය. මර්වින් විස්මය පත්වුවද බිය නොවීය. ඔවුන් අතර ඇති වූ ආධ්‍යාත්මික සංවාදය මෙසේය.

මර්වින් සිල්වා: ස්වාමීනි ඔබ කවුරුන්ද?

(මේ අවස්ථාවේ ඍෂිවරයා හා තමන් මිසෙක පිරිසෙහි අන් කිසිවකු දකින්ට නැති බවද, දැවැන්තව පෙණුනු රුවන්වැලියෙහි කොත් වහන්සේ පවා අතුරුදන් වී ඇති බවද මර්වින්ට අවබෝධ විය. හාත්පස බැලූ බැලූ අත පැවතියේ නිරපේක්ෂ නිශ්චලතාවයයි. එහෙත් ඩෙංගි මදුරුවාට වත් මෙල්ල කළ නොහැකි වූ මහා පුරුෂයකු වූ මර්වින් බිය නොවීය.)

ඍෂි: දරුව, වඩා වැදගත් තමන් සෙවීම නොවේද?

මර්වින් සිල්වා: ස්වාමීනි, මම ඔබ නොදනිමි. එහෙත් ඔබ මට ගැටළුවකි. ඔබ මා වෙහෙස කරවමින් මා ඉදිරියෙහි වෙයි. ඔබ මා වෙහෙස කරන්නේ මන්ද?

ඍෂි: දරුව ඔබට මේ දැනෙන වෙහෙස හෙවත් ස්කන්ධය ඔබේ වර්තමාන ස්වරූපය හා අත්‍යන්තයෙන් බැඳුනකි. ඒ බර, ගැල පිටුපස ඇදෙන සක් රිය සේ ඔබ පසුපසින් එයි. ඔබ වර්තමාන ස්වරූපයෙන් මිදෙන්නේ යම් මොහොතකද ඔබ එකී වෙහෙසින්ද ස්කන්ධයෙන්ද මිදෙන්නෙහිය. ශූන්‍යතාවයට පත් වන්නෙහිය.

මර්වින් සිල්වා: මට නොවැටහෙයි ස්වාමීනි.

ඍෂි: ශූන්‍යතාවයෙහි ඇදෙන හිග්ස් බෝසෝනය ස්කන්ධ රැස් නොකරන්නේය; ස්කන්ධ රැස් නොකරනා තුරු ජීවය රැස් නොකරන්නේය; ජීවය රැස් නොකරනා තුරු පැවැත්මක් නොවන්නේය. පැවැත්මක් නොවනා තුරු සංසාරයක් නොවන්නේය. මේ බව පසක් කරන්නේ යම් ප්‍ර ඥාවන්තයෙක් වේද ඔහු නිරපේක්ෂ ශුන්‍යතාවයෙහි ඇදෙන හිග්ස් බෝසෝනය සේම මිදුණේ වෙයි.

මෙසේ කියූ ඍෂිවරයා කෙමෙන් වාතලයෙහි මැකී ගියේය. මර්වින් සිල්වා නැවත මහා සෑයෙහි කොත දුටුවේය. මේ නින්දෙහි දුටු සිහිනයක් නොව සැබෑව තුළ තුටු මායවක් නැතහොත් මායාව තුළ දුටු සැබෑවක් බව ඔහුට අවබෝධ විය.

මර්වින් සිල්වා අනුරාධපුර චාරිකාව නිමා කොට කොළඹ ආයේ වෙනස් එහෙත් අපූර්ණ පරිවර්තිත, මිනිසකු සේය. ඔහුගේ ආධ්‍යාත්මික පරිවර්තනය සම්පූර්ණ වී නොතිබිණි. දින කිහිපයක ඇවෑමෙන් ස්විට්සර්ලන්තයේ CERN ආයතනයේ විද්වත්හු හිග්ස් බෝසෝනය දුටහ. හරියටම මේ අවස්ථාවේදීම එය වීම මර්වින්ට පෙණුනේ අසාමාන්‍ය සිද්ධියක් හැටියටය. මර්වින් සිල්වා හිග්ස් බෝසෝනය තුළින් අඳුර විනිවිද එළිය දුටුවේය.

තවදුරටත් නිරපේක්ෂ ශුන්‍යතාවයෙහි ඇදෙන හිග්ස් බෝසෝනය සේ, ස්කන්ධ රැස් නොකරන්ට මර්වින් සිල්වා තීරණය කළේය.

එහෙත් ගිහි ජීවිතය අතාරින්ට ඔහුට මඳක් පමා වන්ට සිදුවූයේ ගිහියකුව හිඳිමින්ම අනිවාර්යයෙන්ම කළ යුතු වැදගත් කටයුතු කිහිපයක් තිබුණු නිසාය. ඉන්පසු මාස කිහිපය තුළ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් වික්ටර් සාලිය බණ්ඩාරද මැරුණේය. ජුලම්පිටියේ අමරේ හා ඇඹිලිපිටියේ පියදාස ආ ගිය අතක් නැති විය. මර්වින් සිල්වා සසරින් සමුගන්ට මුල් පියවර තබන්ට කල්පනා කළේය. රතු හාමුදුරුවන්ද යම් පමණෙකට ඒ තීරණය පසුපස හුන් බව මම දනිමි.

මර්වින් සිල්වා බඳු වැදගත් මහත්මා දේශපාලකයකු රටට අහිමි වීම ගැන යම් කණගාටුවක්ද ඇති මුත් අද මට සතුටු දවසකි. ඒ තමන් තෝරාගත් ආධ්‍යාත්මික මාර්ගයෙහි ගමන් කොට ඔහුට ඊට වඩා සාර්ථකත්වයක් ලබා ගත හැකි බව මා හොඳින්ම දන්නා නිසාය.

මම වජිරාරාමයේදී තංගල්ලේ ධීරානන්ද හිමියන්ට ශීර්ෂ ප්‍රණාමය කොට වැන්දෙමි. උන්වහන්සේ  මට “සුවපත් වේවා!” යි ආශිර්වාද කළහ. මගේ නෙතින් ගිළිහුණු කඳුළක් සාටකයෙන් පිසදාගන්ට ප්‍රථමයෙන් දෙපා මැදින් වැටී වජිරාරාමයේද වැලි කැට අතරට එක් විය.

මා වජිරාරාමයෙන් එළියට බැස්සේ උසස් අධ්‍යාපනයා සමඟය. ඔහු මට මොකද්දෝ ඕපාදූපයක් කියන්ට තටමන බව පෙනුණේය.

“දන්නවද, ළඟඳිම අපට කේක් කන්ට ලැබෙන පාටයි…”

“ඇයි උඹට අන්තරෙන් පාටියක් වත් දෙනවද..?” මගේ බ්‍රේක් නැති කටය, මටත් කලින් කතා කළේ.

“නෑ. නෑ. පබා දිනේෂ්ව බඳින්න යනවලු…”

“දිනේෂ්…? මේ අපේ දිනේෂයා..?”

“ඔව් බං ඌ තමයි…”

දිනේෂයාගේ බිරිඳ මියගියේ වසර තිස් පහකට පෙරය. පබා දැන් සිය සැමියාගෙන් දික්කසාද වී සිටී. දිනේෂයා දැන් නිකම් මිනිස්ටර් කෙනෙක් නොව සීනියර්ම සීනියර් මිනිස්ටර් කෙනෙකි. මේ මැඩම් පට්ට නාකින්ට නාකින්ය නොකියා නාකි කියන හැටිය. ඒකට කමක් නැත. මේ මඟුල් සක්වලෙහි වෙන්ට බැරි දෙයක් නැත්තේය. තිස් ගණන් වල හුන් ජැකී කෙනඩි හැට පැනපු ඕනාසිස් බැන්දා නම් ඕවා මොනවද? අනෙක හිරුණිකා දුමින්ද බඳී කියලත් අපි හිතාන හිටියයැ? පබා දිනේෂ්ට යහපත් භාර්යාවක් වනු ඇතිය මම සිතමි. වෙන දේවල් බැරි වුණත් ඇයට දිනේෂ්ගේ රෝද පුටුව වත් තල්ලු කරන්ට, උදේ හවා හැන්දකින් කිරි ටිකක් පොවන්ට පුළුවන් වුණා නම් ඒකම මදෑ.

.

.

(ඉවසන්න………….සමනළයා යළි පියා සලන තෙක්)

(17) පශ්චාත්-සහස්‍රක ආදර කතාවක් (18+) || A post-millennium love story (18+)

  • කාලය: 2004, සමාන්තර විශ්වය
  • ස්ථානය: කිතුල්ගල, සබරගමුව පළාත, ලංකාව

**********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව)**********

You are my fire – The one desire
Believe when I say – I want it that way

But we are two worlds apart – Can’t reach to your heart
When you say – That I want it that way

Tell me why – Ain’t nothin’ but a heartache
Tell me why – Ain’t nothin’ but a mistake
Tell me why – I never wanna hear you say
I want it that way

ආදරය යනු F(Love) = a Sex2 + b Sex + c ආකාරයේ සමීකරණයක් වී නම් ශේන් ලෝකයේ හොඳම පෙම්වතුන් දස දෙනා අතරට වැටේය මම සිතමි.

අනෝරා වැස්ස. නිරිතදිග මෝසම නිරිතදිග වැසි වනාන්තරයට ඇද හැළෙන්නේ අනුකම්පාවෙන් තොරවය. වසරේ වියළි කාලවලදී හිම කැට සේ සීත දිය බිඳු පමණක් ඉසින, බෙලිලෙන ඉදිරිපසින් ඇද හැළෙන දිය ඇල්ල මහා දිය දහරාවක්ව ඇත්තේය. මම ඒ සීත දිය දහරේ ඇට මිඳුළු දක්වා දිවෙන සීත විඳිමින් හිතේ හැටියට තෙමෙමි.

“Come here baby, you are going to catch pneumonia…”

මේ ශේන්ය. ඔහු ඉහළ ලෙන පාමුළ සිට මදෙස බලා හිඳී.

මම ඔහුට මගේ කහපාට ටී ෂර්ට් එක ඉහළට ඔසවා පෙන්නා දත් විරිත්තමි. ශේන් හඬ නඟා සිනාසෙයි. ඔහුත් එකට එක කරමින් කලිසම පහත් කොට නිරුවත් තට්ටම් මාවෙත දක්වතැයි මම සිතුවෙමි. එහෙත් ඔහු එසේ නොකරයි.

“Come on baby, there are better things to do…”

අප මෙහි ආයේ බෙලි ලෙන අපට අපේම අපේම අපේ ලොවක් වෙතැයි සිතා නොවේ. කිතුල්ගල රෙස්ට් හවුසියේ සහායිකාව කිව්වේ නුදුරු ස්ථානයක නිවැසි මුරකරුවකු එය බලා ගන්ට සිටින බවය. මේ ආචාර්ය ශිරාන් දැරණියගල විසින් 1978 – 1983 අතර කාලයේ බෙලි ලෙනෙහි කැණීම් කරන අවස්ථාවේ පත්කළ මහළු මුරකරුගේ පුතාය. සමහරවිට උදෑසන සිට ඇද හැළෙන මහ වැස්ස ඔහුගේ පැමිණීම වලක්වන්ට ඇත.

දිය බේරෙන ඇඳුමින් යුතුව මම කළුගල් කණ්ඩිය නඟිමි. මා ලේනකුට කුරුමානම් අල්ලා ළිඳට වැටුණු දවසේ අපේ බළල් තඩියා ‘ෆෙලිස්’ වැන්න. ඉහේ සිට දෙපා දක්වාම දිය බේරෙයි. ශේන් මා ඔහු වෙතට ඇද, තුරුළු කොටගෙන මගේ මුව සිප ගනියි. කවුරුන් හෝ දකිතැයි මට මොහොතක චකිතයක් හට ගනී. මම හාත්පස බලමි. වනාන්තරය හා වර්ෂාව විසින් අප අවශේෂ ලෝකයෙන් වෙන් කොට ඇත්තේය.

“Not here, sweety. Someone might see…”

“Lets go in…”

“Are you mad? This is a public place…”

“…not for the next thirty minutes”

“Still..I am scared…”

“Come on… nobody will come. Not in this rain…”

මිනිස් සිත පුදුමාකාරය. එය අපට අවශ්‍ය අවස්ථාවට අපට අවශ්‍ය තීරණයම ගනියි. වෙනත් අවස්ථාවෙකදී නම් ඒ තීරණ මොන තරම් මැටි ඒවාද සිතෙයි. එහෙත් ඒ අවස්ථාවේදී අපි ඒවා ස්ථානෝචිතව ගත හැකි හොඳම තීරණ බව දනිමු.

මම ශේන්ගේ අතේ එල්ලී බෙලිලෙන තුළට වැදෙමි.

ගමන සෙට් වුණේ හදිසියේ නිසා මට නුගේගොඩ කුඩා ෆාමසියකින් ගන්ට පුළුවන් වුණේ Moonbeam රබර් පැකට් එකක් විතරය. ප්‍රීති නම් අමු ගොඩේය. හමුදාවේ අයියලාට හා ගාමන්ට් නංගිලාට කෙසේ වෙතත් මට නම් ඒ මදිය. ප්‍රීති තරමටම නරක නැති වුණත් Moonbeam රබර් එක පවා මට සංවේදී මදිය සිතෙයි.. වාසනාවට ශේන් යන තැනෙක Durex Extra Sensitive Condoms පැකට් එකක් හෝ දෙකක් රැගෙන යයි. මේ තරම් සංවේදී විඳීමක් ලැබෙන රබර් එකක් නැතිය සිතමි. එය රබර් එකක් ඇඳෙගෙන සිටින්නේය අමතක වන තරමට තුනීය. ශේන් ඒවා ගෙනෙන්නේ සිංගප්පුරුවෙනි. ලංකාවේ තවමත් Durex නැත්තේ ඇයි? ඇයි අපි ඔටුවොද?

බෙලිලෙන මින් වසර තිස් දහසකට පමණ පෙර බලංගොඩ වානර මානවයින් දහසකට හෝ දෙදහසකට සෙවන දුන් එකකි. ලිංගික සංසර්ගය අනෙකුන්ගෙන් නොසඟවා එළිපිට කෙරෙන ක්‍රියාවක් වූ එසමයෙහි මෙහි හැම රාත්‍රියක්ම සිය දහස් ගණනෙක සොඳුරු රමණයන් මානව ඉතිහාසයට එක් කරන්ට ඇතැයි සිතමි. සහකාරියන් බෙදා ගන්ට වන ගැටුම් වලදී නිසැකවම තව සිය ගණනක් හැම රැයෙකම මියෙන්ට ඇත. අද ෂෝ එක ඊට සාපේක්ෂව බෝරිංය. මා බෙදාගන්ට ශේන් සමඟ ගැටුමක් ඇති කරන්ට  තරගකරුවකු මෙහි නොවේ. මේ අපේ රාජ්‍යයයි. ඔහු මෙහි එකම කිරුළ පළන් අධිරාජයාය. මම ඔහුගේ රැජන වෙමි.

කෝකිල හඬ කන් පිනවයි – රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සින්දු – අම බින්දූ
සෑම දෙසේ සංගීත ඇසේ
පිපි තඹරන නද බඹරන පිය රැව් දෙන ලිය කිඳුරන

ප්‍රේමයෙන් මන රංජිත වේ – නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ – ලංකෘත වේ
ආලයෙන් වෙළි සැදි මෙ ලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

අපි ලෙනෙහි අඳුරු මුල්ලකට වැදෙමු. එහි බිම වැතිරෙන්ට තරම් සුමුදු නොවේ. මම ශේන් ගැන දනිමි. ශේන් රමණයේදී වන මෘගයෙකි. මෙහි වැතිරුණොත්, ඔහු දඟලන දැඟලිල්ලට, ප්‍රාග් ඓතිහාසික පාෂණයන්ගෙන් පිට ලෙලි ගහගෙන මට යන්ට වෙන්නේ ඉස්පිරිතාලයටය. ශේන් සිරස් ගල් බිත්තියට හේත්තු වෙයි. මේ අංශක හැට හෑත්තෑවකට ඇළ සමතල බිත්තිය අප වෙනුවෙන්ම කවුරුන් හෝ තැනුවාක් වැන්න. මම දඟකාර ලෙස ඔහුගේ බෙල්ලේ එල්ලී ඔහු බඳ වටා මගේ දෙපා යවමි. ඔහු තම උණුසුම් තොල් මගේ නළලට ළංකරයි.

“Remove your shoes… they are dirty…” ඔහු ඇසෙන නෑසෙන හඬින් කියයි. කැලේ යන්ට තිබුණු නිසා මා ආවේ මගේ Coach sneakers ඇඳගෙනය. දැන් ඒවා සපත්තුද නොපෙනෙන තරමට මඩින් වැසී තිබේ. ඒ මඩ වලින් කොටසක් ශේන්ගේ ඩෙනිමේය.

“This is not a temple you stupid. Don’t you think we have better things to do than worrying about my shoes…” මම කොඳුරමි.

Monnbeam පැකට් එකේ රබර් එකක් පළඳින නිවැරදි ක්‍රමය පින්තූර වලින් දක්වා ඇත්තේ මේ රටේ ඉන්නේ ඒකවත් නොදන්නා ගොඩේ බයියලා නිසා විය යුතුය. එසේම ඒ පිරිමියකු එය පළඳින විදියයි. ගැහැණියක විසින් පිරිමියකුට එය පැළඳවිය යුත්තේ ඊට වෙනස් ආකාරයෙකිනි. මම Durex පැකට් එක රබර් එකට මගේ නියපොතුවලින් හානියක් නොවන සේ සීරුවෙන් විවෘත කරමි. ඉන් පසු රබර් එකේ තුඩ වා බිංදු නොරඳන ආකාරයෙන් යටි තල්ලට දිවෙන් තදකර ගනිමි. ශේන් බෙල්ට් එක ගලවා සිප් එක පහතට කරයි. මේ ගොන් තඩියාට Crocodile briefs පෙට්ටි ගණන් අරන් දුන්නත් හැමදාම අඳින්නේ කළුපාට බොක්සර්ය. මම බොක්සර්ස් සේම කළුපාටද අප්‍රිය කරමි. මා ලිංගිකව උද්දීපනය වන්නේ සුදු හෝ දීප්තිමත් වර්ණයෙක බ්‍රීෆ් එකකිනි. පිරිමි වෙනස් කරන්ට බැරිය. මේ තරම් තේරුම් කර දීත් මා කියවන්ට ශේන්ට තවම නොහැකි මන්ද? ඇඳුම් පැළඳුම් තේරීමේදී ඔහුගේ රුචිකත්වයන් ගැන මේ තරම් සිතන මා වෙනුවෙන් පොඩියක් සිතන්ට ඔහුට බැරි ඇයි? හැම පිරිමියෙක්ම මෙසේ ආත්මාර්ථකාමීද? ආත්මාභිසාරීද?

මම නෙත් පියා ගනිමි. ශේන්ගේ උණුසුම් රෝස තොල් මගේ තොල් සොයා එයි. ශේන් දීර්ඝ ලිප් කිස් වලට හපනෙකි. මගේ නැබ මුල දහසක් මල් පිබිදෙයි. සාක්කුවේ ජංගමය දෙවරක් රිං වී නතර වේ. මම සකල ලෝක ධාතුව මගේ මනසින් බැහැර කොට තව තවත් ශේන්ට තුරුල් වෙමි.

You are my fire – The one desire
You are,  You are, you are, you are

Don’t wanna hear you – Ain’t nothin’ but a heartache
Ain’t nothin’ but a mistake – (Don’t wanna hear you say)
I never wanna hear you say
Oh Yeah
I want it that way

Tell me why – Ain’t nothin’ but a heartache
Tell me why -Ain’t nothin but a mistake
Tell me why  – I never wanna hear you say
(Don’t wanna hear you say)
I want it that way

Tell me why – Ain’t nothin’ but a heartache
Ain’t nothin’ but a mistake
Tell me why – I never wanna hear you say
I want it that way

‘Cause I want it that way

.

“පිරිමියකුට සුරතාන්තයක් යනු ඔහුගේ ශරීරයෙන් පිටත සිදුවන එක් ක්‍රියාවලියක් පමණය. ගැහැණියක් එය මුළු ශරීරයෙන්ම විඳියි. එය ඇයට ඇගේ ශරීරයම කපු රොදක් සේ ඔසවා වළාකුළු මත තැබීමකි.”

මේ වචන වලින්ම නොවෙතුදු අදහස කමලා දාස්ගේය. අනුරාගයේ මුල් පොතිනි.

අප අපගේ අනුරාගයේ මුල්පොතෙහි අවසන් පරිච්ඡේදය නිමාකොට පොත වසන කල්හි මම හොඳටම හෙම්බත්ව සිටිමි. හරියකට උදෑසන ආහාරය නොගත් බව මතක් වන්නේද දැන්ය.

තවමත් වර්ෂාව පහව නැත. ශේන් කැබ් එක නතර කර ආවේ කිතුල්ගල සිට කිලෝමීටර් අටක් පමණ ඇතුළට, එන්ට පුළුවන් උපරිම දුර පැමිණ, මොකද්දෝ ව්‍යාපෘතියකින් ඉදිකළ කුඩා ගෙවල් කිහිපයක් ආසන්නයේදීය. නැවත යාමේදීත් අපට තෙමෙන්ට වන බවට සැක නැත. ශේන්ට නම් කොයිතරම් වැස්සත් බියර් එකත් Dunhill පැකට් එකත් එක්ක රෙස්ට් හවුසිය පහළ කැළණි ගඟට බහින්ට ඕනෑම වෙයි. නැතිනම් ඔහුගේ සතුට පූර්ණත්වයට පත් නොවුනාක් මෙනි. මම Dunhillද බියර් ද දෙකම අප්‍රිය කරමි. මම හැදිච්චි ගෑනු ළමයෙක්මි. මා කැමැති එකම මත්පැන Red wine ය.

ශේන් මා තුළට වදින විට ලැබුණු, එවේලෙහි නොසලකා හරින ලද txt එක මම කියවා බලමි. එය චරියා ගෙන්ය. සිතුවම්පටයකට ආරාධනාවකි. ඔහුට තනිව යන්ට කම්මැලි වූ විටෙක මට txt කරයි.

කිසි විටෙක කෙළින් ප්‍රකාශ නොකළද මම චරියාට කාලයක් තිස්සේ ලාවට ට්‍රයි කළෙමි. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරය ගැටළු සහගතය. තේරුම් ගන්ට අමාරුය. ඔහු කිසිම අවස්ථාවෙක මට බැරිය කීවේත් නැත. මා ඈත් කරන්ට තැත් කළේද නැත. එසේම තමන්ට වෙනත් කෙල්ලක සිටින බවක් ඇඟෙව්වේද නැත. මා දන්නා තරමින් ඔහුට ගර්ල් කෙනෙක් නොසිටියාය. ෆිල්ම් එකක් බලන්ට යන්ට, ඇඳුම් ගන්ට යන්ට ඉඳහිට මට කතා කරන සිරිතද ඔහු දිගටම පවත්වා ගෙන ගියේය.

ඔහු අප්‍රකාශිතව අරේෂාට ට්‍රයි කරතැයි මම සිතුවෙමි. අරේෂාටත් මා දන්නා තරමින් බෝයි කෙනකු නොසිටි අතර ඇයද අසාමාන්‍ය ලෙස චරියාට සමීපව සිටියාය. එහෙත් චරිත් හා අරේෂා දෙදෙනාම හැසිරුණේ රසායන විද්‍යාවට අප උගත් හීලියම්, නියොන්, ආගන් වැනි අක්‍රිය වායු පරමාණු සේය. ඔවුන් දෙදෙනා අතර බන්ධනයක් නොවූවා සේම දෙදෙනාගෙන් එකකුටවත් එවැන්නක් ඇති කර ගන්ට සුළු හෝ උවමනාවක් ඇති බවද නොපෙණුනේය.

අපේ ගැන්සියේ කෙළි රෑන චරියා ගැන දැන සිටියේ මගේ හා අරේෂාගේ ‘බොක්ක’ හැටියටය. අප දෙදෙනා සමඟම වෙන වෙනම ගත් ඡායාරූප ඔහු ෆේස් බුක් එකේ පළ කළේය. මිතුරෝ. මිතුරියෝ මේවාට “ආව්…ආව්…” කියා කමෙන්ට් කළහ. චරියා ඒවාට ප්‍රති කමෙන්ට් කළේවත් ඒවා මකා දැමුවේවත් නැත. දුටු බව අඟවන්ට ලයික් කළා පමණෙකි. ඉඳහිට කොල්ලකු අප ගැන විමසිලිමත්ව කැමැත්ත අසන්ට, මොබයිල් නම්බර් එක අසා ගන්ට හෝ ලියුමක් දෙන්ට යොදා ගත්තේද චරියාය. මේ මෝඩයාද කියූ ලෙසටම ඒ සියල්ලක්ම කළේය. මා නම් එය සිනාසී ඉවසූ මුත් අරේෂා එය දෙතුන් වතාවක් වීමෙන් පසුව ඔහුට බැණ වැදුණාය.

මා කළ වරද කිසිම දවසක චරිත්ගෙන් කැමැත්ත නොවිමසීමයි. ඒ ඇයි? සමහර විට ආදරයක පළමු පිට පෙරළීම පිරිමියාට අයත් රාජකාරියකැයි මා සිතා නිසා විය යුතුය. ගැහැණියකට හැක්කේ එසේ ඇසූ කල්හි ඊට නතු වීම හෝ ප්‍රතික්ෂේප කිරීම පමණෙකි. මේ භූමිකා පටළා ගත යුතු නැතැයි මම සිතුවෙමි.

එසේම අනෙක් අතට ඔහු මගෙන් කවදාවත් කැමැත්ත නොවිමසන්ට ඇත්තේ මා ඔහුට මාස කිහිපයකින් වැඩිමහළු වී පන්තියක් ඉහළින් සිටි නිසා විය යුතුය මම සිතුවෙමි. මේ වයසේ කොල්ලන් සමහරක් ආදරයක් ලෙස නංගියකු මිස අක්කියකු බාර ගන්ට නොකැමැති වෙති. චරියාද එසේ නොවේය කවුරු නම් දනිත්ද? රෝයල් එකේ ඉගෙන ගත්තත් වෙනස් නොවෙන දේවල් තියේ. චරියා ආනන්දෙට හරි මහානාමෙට හරි ගියා නම් කොහොමට හිටීද?

චරිත් මා ආදරය ගැන කතා කළේ නම් ඒ අනුන් සම්බන්ධවය. අරකා අරකි සමඟ සෙට් වෙච්චි හැටි ගැන හෝ අරකි අරකාට බූට් එක දුන් හැටි ගැනය.

ශේන් චරිත් මෙන් නොව බුල්ඩෝසරයකි. ආදරය කිරීමේදී චරියාට ඔහුට කිට්ටු වෙන්ට වත් බැරිය. අනෙක ඔහු චරියාටද මටද වඩා වසර කිහිපයකින්ම වැඩිමහළුය. ශ්‍රී ලංකන් එයා ලයින්ස් වල කැබින් කෲ එකේ පට්ට රස්සාවක් කරමින්, ශේන් මාසයකට පිටරට සිටියදී ලැබෙන ඩොලර් ටික නැතුවත්, පණහක් හැටක්වත් හොයයි.  එසේම ජීවිතයේ මොන බාධක තිබුණද ඔහු ඒ සියල්ලක් මැඬගෙන ඉදිරියට යයි. ඔහු මගෙන් කැමැත්ත විමසූයේ මට බෑය කියන්ට කිසිම ඉඩක් නොතබාය. දැන් මා ශේන්ගේය. චරියාට කිසිත් නොතබාම ශේන් සියල්ල උදුරා තම තනි භුක්තියට පවරාගෙනය.  චරිත් මේ කිසිත් නොදනී. පෙර පුරුදු පරිදි මිතුරකු සේ මට txt කරයි.

Butrfly efct. Gr8. At savoy. Plan 2 go 2day 4.30. Can I buy a tckt 4 u?

The Butterfly Effect හොඳ සිතුවම් පටයක් බව මම දැන සිටියෙමි. එය කාල තරණය කොට අතීතයට ගමන් කොට අතීතයේ යම් යම් දේවල් වෙනස් කරන්ට හැකියාව තිබුණු විසි හැවිරිදි තරුණයකු වටා ගෙතුණු විද්‍යා ප්‍රබන්ධයකි. නමුත් මෙසේ අතීතය වෙනස් කරද්දී බටර්ෆ්ලයි එෆෙක්ට් එක හෙවත් බ්‍රසීලයේ තටු සලා ටෙක්සාස් හි කුණාටු ඇති කරවන එඩ්වඩ් ලොරෙන්ස්ගේ සමනළයා නිසා ඔහු බලාපොරොත්තු නොවූ වෙනත් බොහෝ දේවල්ද වෙනස් වෙයි. මේ නිසා නැවත නැවත අතීතයට යන්ටත් අතීතය වෙනස් කරන්ටත් ඔහුට සිදුවෙයි. ඇත්තටම එය නරඹන්ට මට ඕනෑකම තිබුණේය. නමුත් මට චරියාගේ ඇරැයුම පිළි නොගත හැක්කේ වෙනත් හේතුවක් නිසාය.

චරිත් මා ශේන් සමඟ කිතුල්ගල බවක් නොදනී. ඔහු එය දැන ගත යුතුද නැත.

Thx. Nt 2day dear. May be nxt wk. Luv.

Oh k. Nxt wk thn. Tc.

Tc. U 2.

ශේන් මා මෙහි කැන්දා ආයේ කරට අත දමාගෙනය. එහෙත් ආපසු යද්දී, මගේ අත ලිහිල්ව අල්ලාගෙන වුවද ඔහු ගමන් කරන්නේ ඉදිරියෙනි. නිහඬවය. මේ ශේන්ය. ඔහු මා කෙරෙහි දක්වන උනන්දුව, ලිංගිකව එක් වන මොහොත තෙක් බින්දුවේ සිට π/2 දක්වා සයින් චක්‍රයක් මෙන් ඉහළ යයි. සුරාන්තයට පත් වූ මොහොතෙහි පටන් ඔහු හැසිරෙන්නේ දිනූෂා කියා කෙනෙකු සිටීදැයි නොදන්නා ගානටය. අපේ බළල් තඩියා ෆෙලිස් ද මෙහෙමය. සංසර්ගය තෙක් ඌ බැළලිය පසුපස ඉඳිකට්ටට නූල්පට මෙනි. ඇගේ බෙල්ල විකාගෙන, ඇය පැහැදිළිවම වේදනාවට පත්කරමින් සංසර්ගයේ යෙදෙන ඌ එය නිම වූ වහාම කිසිවක් සිදු නොවූවාක් සේ පැණයයි.  හැම පිරිමියකුම මෙසේදැයි මම නොදනිමි. කවදා නම් ම්ට පිරිමියකු තේරුම් ගන්ට හැකිවේද?

අඩිපාරේ පහළට ඇවිද යන අපට කුඩයක් ඉහළා, තුවායක් ඔළුවේ ඔතාගෙන එන මැදිවියේ ගැමියකු හමුවේ. ඔහු මොහොතකට නැවතී විමසිලි දෑසින් අප දෙස බලා සිටියි. මේ මෙතෙක් නො ආ බෙලිලෙනෙහි මුරකරුවා විය හැකිය. අපි ඔහු නොසලකා හරිමු.

ශේන් භාවිතා කළ රබර් දෙක වීසි කළේ කොහාටද අසන්ට මතක නැති විය. ලෙන තුළ තිබී ඒවා හමුවුවහොත් මොහු අපේ හත්මුතු පරම්පරාවටම අම්මා මුත්තා මතක් කරමින් බැණ වදිනු ඇත්තේය. “වල් පරයි. ඓතිහාසික භූමියක් වත් තියා ගන්ට බෑ, එතෙන්ට ඇවිත් හැමිනෙන්ඩ ඕනැ!” මට සිනා පහළ වේ.

“Why are you smiling…?

“Nothing…Are we going in the evening…?”

“Yeap. Let’s take tea and leave…”

“Can’t we leave a bit early. Just after lunch. I am bit tired…”

“Lets see…first go and change. We look like two buffaloes on a field…”

බඩගින්න නැවත දැනෙන්ට පටන් ගනී. ගිය ගමන් කාලා ටිකක් නිදාගන්ට ඕනෑය. යනකොට ටිකක් හවස් වුණත් කමක් නැහැ. මම දැන් පොඩි ළමයෙක් නෙවෙයිනෙ. අනික පරිස්සම් වෙන්ට මම දන්නවා. අම්මි ඇහුවොත් ඇත්තම කියනවා. අහන එකක් නෑ. අම්මිත් ඔය වයස පහු කරන්ට ඇතිනේ.

ගඟට බහින්ට නම් බැරිය. ඕනැ නම් ශේන් තනියම බැස්සාවේ. ඔහුගේ එක හොඳක් ඇත්තේ දකින දකින හැම කෙල්ලටම සෙට් නොවෙන එකය. මෙහේ ඉන්නා ගොඩේ කෑලි ශේන්ගේ ටේස්ට් එකට මදිය. එනිසා ගොනා දිගෙලි කර තබන්ට අවශ්‍යතාවයක් නොවේ.

Am I your fire – Your one desire
Yes I know it’s too late – But I want it that way

Tell me why – Ain’t nothin’ but a heartache
Tell me why – Ain’t nothin’ but a mistake
Tell me why – I never wanna hear you say
I want it that way

Now I can see that we’re falling apart
From the way that it used to be, yeah
No matter the distance – I want you to know
That deep down inside of me…

.

.

(ඉවසන්න………….සමනළයා, යළි පියා සලන තෙක්)