(19) සමනල පැටවා || The Young Butterfly

  • කාලය: 1992, සමාන්තර විශ්වය
  • ස්ථානය: මහනුවර, ලංකාව

**********(අප්සරා පුෂ්පාංජලී කියන කතාව)**********

.

######    Myself   #####

My name is Charith Kalinga Bandara. My school is Trinity College. It is situated in Kandy. It is the best school of all schools. I am proud of my school.

I am in Grade 2C. My favorite subject is English. My class teacher’s name is Mrs. Swarna Malwenna. She is very kind to us. Our Principal sir is Lt. Col. Leonard M. De Alwis.

My country is Sri Lanka. I love my country. The President of our country is His Excellency Mr. Ranasinghe Premadasa. He wears National dress.

My father’s name is Mr. Victor Bandara. He is a businessman. He has a factory. It is situated in Dehiwala.

My mother’s name is Mrs. Beatrice Samarasinghe. She is in heaven. She loves me. I love her.

I live with Apsara aunty, Jayantha uncle, Dilusha akka and Ridmi akka. I love them a lot.

I want to be a pilot in future. I will fly war planes. One day I will bomb my father’s factory.

.

අද චරිත්ගේ පාසලේ නත්තල් උත්සවයයි. ජයන්තට හදිසි වැඩ වගයක් නිසා ඊට සහභාගි වන්ට බැරිය කී හෙයින් මම රිද්මිත් සමඟ ගියෙමි. වික්ටර්ට කිව යුතුය අපි කල්පනා නොකළෙමු. කිව්වත් වික්ටර් නොඑන්ට පිළිවන. එවිට චරිත්ගේ සිත රිදෙයි. නොකියාම සිටීම හොඳය.

චරිත් සුපුරුදු පරිදි හැම තරගයකින්ම අන්තිමයා විය. දෙහි ගෙඩිය මුලින්ම හැන්දෙන් වට්ටා ගත්තේ ඔහුය. සංගීත පුටු තරගයේදී ඔහු වෙනත් ළමයකු කලින් අල්ලා ගත් පුටුවක් උදුරාගන්ට අසාර්ථක උත්සාහයක් දරා ගුරුතුමියගේ අණින් තරගයෙන් ඉවත් විය. බනිස් කෑමේදී ඔහුට බනිස් ගෙඩියෙන් බාගයක් වත් කන්ට බැරිවිය. යෝගට් කෑමේදී අන් සියළු දෙනාම තරග භූමියෙන් ඉවත් වීමෙන් පසුවද ඔහු තනිව යෝගට් එක කමින් සිටියේය. චරිත් ක්‍රීඩාවට අදක්ෂ දරුවකු බව මා දැන නොසිටියේ නම් මට දුක හිතෙන්ට ඉඩ තිබුණේය. එසේම චරිත් මේ කිසිවකින් ජයග්‍රහණ බලාපොරොත්තු නොවූ බවද මම දැන සිටියෙමි. එනිසා ඔහු පැරදුණු එකට මට ලොකු දුකක් නැතිවිය.

චරිත් මෙන්ම රිද්මිද සිතන්ට ඇත්තේ මගේ ඇස් වලට කඳුළු ඉනුවේ චරිත් පැරැදුණු නිසා වන්ට ඇති බවය. නැත. දැනටමත් පැරදී ඇති චරිත්ට තව පැරදෙන්ට දෙයක් නැත. මට කඳුළු ඉනුවේ බියට්‍රිස් මතක් වූ නිසාය.

අප දෙදෙනා එකම වයසේ වුවද මගේ විවාහය සිදුවූයේ කලිනි. දමිළ කාන්තාවක වූ මගේ මෑණියන්ට මා ඉක්මණින් විවාහ කර දෙන්ට ඕනැ විය. මෙනිසා මා ජයන්ත සමඟ අතිනත ගත්තේ විශ්ව විද්‍යාලයේ අවසාන වසරේදීය. එය යෝජිත විවාහයක් වූ නිසා මා ඒ වන විට ජයන්තව දැනගෙන තිබුණේ යන්තමිනි. නමුත් ඔහු ලෙහෙසියෙන් සොයා ගන්ට බැරි ආකාරයේ හොඳ ගතිගුණ ඇති සැමියකු විය. විවාහයෙන් පසු මම ජයන්ත සමඟ මහනුවර පදිංචියට ආවෙමි. සයන්ස් වලට සෙකන්ඩ් ලෝවර් එකක් තිබුණද මම කිසිම දවසක රැකියාවක් නොකළෙමි. ඉගෙන ගත් දෙය මතක නැති වන්ට නොදී මුලදී ගෙදර ළඟ ළමයින්ට නොමිළේම උගන්වන්ට පටන් ගත් නමුත් ඒ සියල්ලක් ඉක්මණින් නතර විය. මම නිවසෙහි බිත්ති හතරට කොටු වූ ගෘහණියක් වීමි. මගේ එකම සැනසීම වූයේ ජයන්තගේ නම්‍යශීලී බවය. මෙනිසා මට පැමිණිලි කරන්ට තරම් දරුණු ගැටළුවක් නොවීය. දිලූෂාත් රිද්මිත් අපේ කැදැල්ලට එක්වීමෙන් මගේ තනිය පහව ගියේය.

බියට්‍රිස් මිය යන විට රිද්මිට යාන්තම් අවුරුදු එකහමාරක් වුණා පමණය. ජයන්ත පුතෙක් හදන්ට ඕනෑකමින් සිටියේය. ඒ සිහිනය පැවතියේ මා චරිත්ගේ මුහුණ දකින තුරු පමණය. උපන් අවස්ථාවේ කිසිම දරුවකු ප්‍රසන්න නොවේය කතාවක් තියේ. ඒ මාස කිහිපයක් ඔවුන්ට වැඩෙන්ට වන්නේ මවගේ කුස තුළ සිරවී, අසීරු පරිසරයක් තුළ නිසාය. පුදුමයකට මෙන් චරිත් උපන් අවස්ථාවෙහි පටන්ම සමනල් පැටවකු විය. ඔහුගේ සිඟිති අත් පා, කළු ඇස්, බ්‍රියස්ටිස්ගේම කපාපු පළුව මෙන් වූ දිගු නැහැය දුටු පමණින් මම පුතකු සෑදීමේ අදහස් අතහැර ගතිමි. දෙවියන් වහන්සේ විසින් මේ තරම් ලස්සන පුතකු ලබා දුන් කල්හි තවත් පුතකු පතන්නේ මොන මෝඩ ගැහැණියක්ද? තරමක අදිමදි කිරීමකින් වුවද ජයන්ත මගේ අදහස හා එකඟ විය. පසුව ඔහු මටද වඩා චරිත්ට ආදරය කළ බව මම දනිමි.

අප අතර මේ පිළිබඳව කිසිම දවසක විවෘත කතා බහක් නුවුවද, චරිත් දෙවියන් වහන්සේ විසින් අපට ලබාදෙන ලද ත්‍යාගයක්ය යන සිතිවිල්ල අපේ පවුල මට පමණක් උරුම වූවක් නොවීය. ජයන්ත පමණක් නොව එවකට සිව්වන වියෙහි සිටි දිලූෂා පවා එවැන්නක් විශ්වාස කළාය. ඇය තමන්ගේම නංගීට වඩා දහ ගුණයක් අළුත් මල්ලීට ආදරය කරන්ට පටන් ගත්තාය. දිනූෂාගේ සියළු සෙල්ලම් බඩු චරිත්ට පමණක් ලැබීම වළක්වන්ට හැකිවූයේ මගේ හෝ ජයන්තගේ මැදිහත් වීමෙනි. පුදුමය වූයේ එවන් තත්ත්වයක් යටතේ පවා රිද්මි චරිත් තමන්ගේ තරගකරුවකු සේ නොසිතීමය. පසු කාලයක මල්ලි බෙදා ගන්ට අක්කලා දෙදෙනා අතර පොරයක් පවා ඇති වූයේය.

මේ සියල්ල යහපත්ව සිදුවූයේ අහම්බයකින් බව අදහන්ට මම මැළිවෙමි. පල්ලියේ පියතුමාගේ වුව අදහස් වූයේ මේ සියල්ල දේව කැමැත්ත බවයි. භක්තිමත් කිතුණු කාන්තාවක ලෙස මම ඒ දේව කැමැත්තට ඉඩ දුනිමි. ශාන්ත වූ මරියා දෙව් මව්තුමියනි, ඔබට අනේක වාරයක් ස්තුති වේවා!

And calling to him a child, he put him in the midst of them and said, “Truly, I say to you, unless you turn and become like children, you will never enter the kingdom of heaven. Whoever humbles himself like this child is the greatest in the kingdom of heaven. “Whoever receives one such child in my name receives me, but whoever causes one of these little ones who believe in me to sin, it would be better for him to have a great millstone fastened around his neck and to be drowned in the depth of the sea.

(Matthew 18:2-6)

චරිත් අපූරු දරුවෙකි. සියල්ලන්ගේ ආදරය දිනා ගන්ට ඔහුට සහජ හැකියාවක් විය. එසේම ඔහු අතිශයින් අහිංසක නිහඬ චරිතයකි. කිසිම අවස්ථාවක කොයිතරම් ආසා කළත් ඔහු සෙල්ලම් බඩුවක් ඉල්ලන්ට උත්සාහ නොකළේය. තමන් ආසා කරන දෙයක් දෙස ලොකු කරගත් දෑසින් යුතු ව බලා සිටියා පමණය. දෙමාපියන් භාග්‍යවතුන්ය කියන්නේ මෙබඳු දරුවන් ලද කල්හිය. නමුත් චරිත්ගේ දෙමාපියන්ට ඒ දකින භාග්‍යය නොලැබුණේය.

“We should have a child together, for it would be blessed with my beauty and your brains.” රාත්‍රී සාදයකදී මුණගැසුණු රූමත් නළඟනක, ඔහු හා වට කිහිපයක් නැටීමෙන් පසුව ජෝර්ජ් බර්නාඩ් ෂෝට කීවේලු.

“Ah, but what if it had my beauty and your brains?” යි ෂෝ පෙරළා ඇසූ බව කියැවේ.

පුදුමයකට මෙන් චරිත්ට ලස්සන සේම බුද්ධියද ලැබී තිබුණේ බියට්‍රිස්ගෙන්ය. වික්ටර් ගෙන් ඔහු ලද දෙයක් නැති තරම්ය.

බියට්‍රිස් ගැන හොඳින් නොදැන සිටියේ නම් මා චරිත් වික්ටර්ගේ දරුවෙක්මද සැක කරන්ටත් ඉඩ තිබුණේය. චරිත් එපමණකටම පියාගෙන් වෙනස් විය. නමුත් භක්තිමත් කිතුණු කාන්තාවක වූ බියට්‍රිස් දිවි හිමියෙන් පතිවත රැකි බව නම් මට දෙවියන් වහන්සේ ඉදිරියේ සපථ කළ හැකිය. එබැවින් චරිත් වික්ටර්ගේ දරුවකු නොවේය සිතන්ට කිසිම ඉඩක් නොවීය. වික්ටර්ද මොහොතකට හෝ එසේ සිතීය මම නොසිතමි.

වික්ටර්ට වන්ට ඇත්තේ බලාපොරොත්තු නොවූ මොහොතක දරාගන්ට බැරි තරම් ලොකු වගකීමක් ඔහුගේ හිස මත කඩා වැටීමය. ඔහු පවුල් සංස්ථාව තුළ ජීවත් වීමට පුරුදු වූ චරිතයක් නොවේ. බියට්‍රිස්ගේ මරණයෙන් පසු ඇතිවූ වාතාවරණයෙහි නව වගකීමට එක්තරා මට්ටමකට හෝ අනුගත වන්ට උත්සාහ දරණු වෙනුවට වික්ටර් ඒ වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැරියේය. කවදා හෝ චරිත් ඊට ඔහුට සමාව දේද මම නොදනිමි.

බියට්‍රිස්ගෙන් නම චරිත් නොලැබූ දෙයක් නැති තරම්ය!

කළුපාට ඇස්! දිගු නැහැය! කොයිතරම් අවුල් වුවත් කිසියම් අපූර්වත්වයක් ඇති කොණ්ඩය!

බියට්‍රිස්ගෙන් නොවේ නම් කවුරුන්ගෙන්ද චරිත් මේ සියල්ල ලැබුවේ?

නමුත් බියට්‍රිස්ගෙන් චරිත් ලද බුද්ධිමය දායාදය ඒ සියල්ලට වඩා කැපී පෙණුනේය.

කීර්තිමත් දිස්ත්‍රික් විනිශ්චයකරුවකු බවට පසුව පත්වූ බියට්‍රිස්ගේ පියා දැඩි කතෝලික බැතිමතෙකි. එසේම ආචාර්ය එන්. එම්. පෙරේරා ඇසුරෙහි දේශපාලනයට පිළිපන් පරණ සමසමාජ කාරයෙකි. මාක්ස්වාදය හා ආගම අතර සාධාරණ සමතුලිතතාවයක් ඇතිකර ගන්ට ඔහුට පුළුවන් විය. මාක්ස්වාදය විසින් ඔහු වෙන් කෙරුණේ කතෝලික පල්ලියෙන් පමණෙකි. එය ඔහුගේ දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය මඳකුදු පළුදු නොකළේය. වොල්ටර් සමරසිංහ මෙ නිසා පල්ලියකට පා නොතබන, පල්ලියේ ආගමික ආධිපත්‍යය හෙළා දකින භක්තිමත් කතෝලිකයකු විය. ඔහු ජේසුස් ක්‍රිස්තු දුටුවේ ලොව මහම විප්ලවවාදියා, සමාජවාදියා හැටියටය. සමාජ සාධාරණත්වය පිණිස ජේසුස් හැර තම ජීවිත පූජාවෙන් ක්‍රියාකළ අන් කිසිවකු ඔහු නොදත්තේය. වෝල්ටර් සමරසිංහ සිය කැමැත්තෙන්ම ජේසුස්ගේ කටු ඔටුන්න පැළඳ ගත්තේය. බැහැරින් බැලූ කෙනෙකුට එය පෙණුනේ රතු තොප්පියක් විදියටය. නමුත් එය කටු ඔටුන්නම බව ඔහු විශ්වාස කළේය.

1952දී ඍජුවද 1956දී වක්‍රවද මහ මැතිවරණවලදී කතෝලික පල්ලිය යූ. එන්. පී. යට දේශපාලනිකව සහය පළ කරද්දී මීගමුව වැනි සියයට සියයක් කතෝලික පුරවරයක ඊට එරෙහිව නැඟී සිටින්ට ඔහුට කොන්දක් සේම සමාජවාදය පිළිබඳ අචල විශ්වාසයක්ද විය.

1952 මැතිවරණයේදී, සමසමාජ නායකයින්ට මීගමුවේ රැස්වීම් වලදී කතා කරන්ට බැරි වන විදියට බාධා කරන්ට යූ. එන්. පී. මැරයන් යොදා තිබුණේය. එක් තීරණාත්මක රැස්වීමක කථා කරමින් සිටියේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. කොල්වින් තම කතාවට වූ බාධාවන් වරක් දෙකක් ඉවසුවේය. බැරිම තැන අසළ හුන් පොලිස් නිලධරයන්ට මැදිහත් වන්ට ඉල්ලා සිටියේය. එයින්ද පළක් නොවූයේ පොලිස් නිලධරයන් සංඛ්‍යාව මඳ වූ හෙයිනි.

මඳක් කතාව නතර කළ කොල්වින් “Bring me a stick…” කියා බියට්‍රිස්ගේ පියා ලවා දණ්ඩක් ගෙන්නා ගත්තේය. ඉන්පසු ඔහුගේ කතාව වේගවත් විය.

“සහෝදරවරුනි, ඔය අපට මෙතැන්ට ඇවිල්ලා බාධා කරන බාධා කරන යූ. එන්. පී.යේ කුලී ගැත්තන් නිහඬ කරන්ඩ කියලා මම පොලීසියේ මහත්වරුන්ට කිව්වා. ඒත් ඒක වුණේ නැහැ. දැන් අපට පිහිට අපිමයි. ඔය ගැත්තන් අල්ලලා මෙන්න මෙහම කඩලා දාන්ඩ. (ඔහු දණ්ඩ හඬ නැඟෙන පරිදි කැඩුවේය.) බය වෙන්ඩ එපා, පොඩ්ඩක් වත්. තමුන්නාන්සෙලා කාටවත් හිරේ යන්ඩ දෙන්නෙ නෑ. මමම උසාවියෙ කතා කරලා බේරා ගන්නවා…”

ඒ ඇසුණු වහා යූ. එන්. පී. මැරයෝ පැණ ගියහ.කොල්වින්ගේ කතාවට ඉන්පසු කිසිදු බාධාවක් නොවීය . මේ සමරසිංහ අන්කල් අපට කිහිප වතාවක් කියා ඇති කතාවකි.

බියට්‍රිස් කැම්පස් ආවේ සිය පියාගෙන් උරුම වූ මේ විප්ලවීය ගතිගුණද ඇතිවය. ගණිත අංශයෙන් ඉගෙනුම ලබන්ට ගැහැණු දැරිවියන් මැළි වූ ඒ යුගයේ ඇය එයම තෝරා ගත්තාය. එසේම සාරිය වෙනුවට මිනි ගවුම හෝ කලිසම් අඳින්ටත් නොපැකිළුණාය. එහෙත් ඇගේ දේශපාලනය පිටතට පෙනෙන්ට කළ එකක් නොවීය. එය, ඇයගේ පියාගේ දේශපාලනයටත් වඩා අභ්‍යන්තරික, සැඟවුණු එකක් විය. මේ නිසා පේරාදෙණිය සරසවියේ එවකට දහයක් පහළොවක් වූ සමසමාජ පක්ෂ එකකට වත් බැඳෙන්ට වත් ඇයට උවමනාවක් නොවීය.

ඇත්තටම හෑත්තෑව දශකය යනු පේරාදෙණියට එන්. එම්.ලා කොල්වින්ලාගේ පැරැණි සමසමාජය රතු මදි වූ කාල සීමාවකි. එහි බොහෝ ආචාර්යවරුන්ට ඊට වඩා විප්ලවීය මුහුණුවරක සමසමාජයක් අවශ්‍ය විය. ඉංජිනේරු පීඨයේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න හා ආචාර්ය කුමාර් ඩේවිඩ්, විද්‍යා පීඨයේ (එවක සයන්ස් ෆැකල්ටියේ මගේද ගුරුවරයකු වූ) ආචාර්ය නලින් ද සිල්වා හා කලා පීඨයේ ආචාර්ය සුමනසිරි ලියනගේ පසුව නව සමසමාජ පක්ෂය බවට පත් වූ “වාම සමසමාජය” බිහි කළේ ඒ අනුවය. ආචාර්ය ඩේවිඩ් හා ආචාර්ය ලියනගේ පසුව මින් කැඩී ගොස් වෙනම කඳවුරු පිහිටුවා ගත් අතර කොල්ලෝ ඒවා පිළිවෙළින් (නායකයින්ගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ කාරණා මත) “කාම සමසමාජය” හා “වාත සමසමාජය” ලෙස නම් කළහ.

බියට්‍රිස් මේ සියල්ලෙන් ඈත්ව සිටියාය. කොටින්ම පසුව විශ්ව විද්‍යාලය තුළම යූ. එන්. පී. ශිෂ්‍ය නායකයකු වූ වික්ටර් බණ්ඩාර සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්නා තරමටම විප්ලවවාදී වූවාය.

බියට්‍රිස් කැම්පස් කාලේ ප්‍රකටව සිටියේ පොත් කියැවීම ගැනය. ඇය ජීවත් වූයේ පොත් සමඟය. එකල ජනප්‍රිය Penguin, Mills & Boons වැනි නවකතා සංග්‍රහ සේම Reader’s Digest, Femina, Illustrated Weekly of India වැනි සඟරාද පළකරන ලද්දේ ඇය වෙනුවෙන්ද සිතෙන තරමට ඇය ඒවාට ඇබ්බහිව සිටියාය. කොයිවෙලේත් පොත් පණහක් හැටක් අපේ කාමරයේ දකින්ට තිබුණේය. කොටින්ම එය කාමරයකට වඩා කුඩා පොත්හළක් බඳු විය.

චරිත්ද දැන් පුංචි කමට අතට අසුවන ඕනෑම දෙයක් කියවයි. ඔහු දිලූෂාගේ Famous Five පොත් පවා අමාරුවෙන් කියවන්ට උත්සාහ කරයි. සෙල්ලම් බඩුවකට වඩා පොතක් ත්‍යාගයක් සේ ලැබීම අගයයි. වෙන මොන විෂයට ලකුණු අඩුවුවද ඉංගිරිසි වලට හා ගණිතයට අනූ ගණනක් ලෙහෙසියෙන්ම ගනියි. ජයන්තට පුදුමයක් වුවද මට නම් මෙහි අරුමයක් නොවේ. මේ බියට්‍රිස්ගේ ‘genes at work’ය.

වික්ටර් ගැන යමක් කියන්ට මම අකැමැත්තෙමි.

“Love at first sight” යැයි ඉංග්‍රීසියෙහි කතාවක් තියේ. මෙහි විලෝමයද සත්‍ය විය යුතුය සිතමි. එනම් කිසිම සාධාරණ හේතුවක් නැතිව අප යම් යම් පුද්ගලයින් දුටු මොහොතෙහි පටන් අප්‍රිය කරන බවය. වික්ටර් ගැන මට කියන්ට ඇත්තේද එපමණෙකි. මම පළමුවරට මහනුවර දුම්රිය පොළේදී දුටු දිනයේ පටන් පටන් කිසිම දවසක ඔහු ප්‍රිය නොකළෙමි. බියට්‍රිස්ගේ මරණයෙන් පසුව අප අතර පරතරය තවත් වැඩිවිය.

මේ තරම් කරුණු කාරණා දත් වික්ටර් හා බියට්‍රිස් දෙදෙනාම, දරු උපත ඇගේ ජීවිතයට තර්ජනයක් බව හොඳින් දැන දැනම සිසේරියන් සැත්කමක් සඳහා යොමු නොවූයේ මන්ද? සිසේරියන් සැත්කමක් යනු අරුමයක් නොවේ. සාමාන්‍යයෙන් ඕනෑම සංකූලතා සහිත දරු උපතක් පිණිස නිර්දේශිත විකල්පයයි. දරු උපතෙහි සංකූලතා ඇති විය හැකි බව හොඳින්ම දැන සිටි මේ අවස්ථාවේ එය භාවිතා නොවූයේ මන්ද?

මේ ප්‍රශ්නයට මට කවදා හෝ පිළිතුරු ලැබේද මම නොදනිමි.
.
.

(ඉවසන්න…..සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

37 Comments

  1. One day I will bomb my father’s factory.

    HA HA 😀

    Reply
    • ~Kasun~

       /  September 7, 2012

      මම එක කියලත් දැම්මනම් හොඳයි නේද මාලන් සහෝදරය? 😛

      Reply
      • Please…No ‘මම එක’s here. I take pains to do this. And I believe I deserve a meaningful comment from a reader.

        – The Writer

      • සමණළ විප්ලවය දිනපතා කියවමි. හැමදාම හොඳයි, නියමයි, එක්සලන්ට් කියා නොලියා, මොකක් හෝ උපුටනයක් සමඟ කමෙන්ට් එකක් යෙදුවේ නිරන්තර පාඨකයන් සිටින බව හඟවා ලේඛකයා දිරිමත් කරන අදිටනිනි [මෙය කාකාද කළ බැව් පිළිගත්තේය]. ඒ ලේඛකයා මඟින් මෙය අත හැර දමනු නවත්වනු පිණිසය.

        ලේඛකයා එයට අකමැත්තේ නම් එයද නොයොදා නිහඬව යන්නට පුළුවන. මෙහි එක වූවා හෝ නොවූවා කියා මට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් නැත.

      • @මාලන්,

        මා අකමැතිය කීවේ ඔබේ ප්‍රතිචාරයට නොව ‘මං එක’ ක්‍රීඩාවටයි. ඔබේ ප්‍රතිචාර මට ධෛර්යයකි. ස්තූතියි.

        – ලේඛක

  2. No comments, very emotional, sorry

    Reply
  3. kathandarakaraya

     /  September 7, 2012

    මා අසා තියෙන පරිදි තී්‍ර ඩොක්ටර්ස් පාටි එක හෙවත් නව සමසමාජ මුල් අංකුරයට මුල්වුනේ නලින්, වික්‍රමබාහු සහ කුමාර්තිදෙනායි.

    සුමනසිරි ගැන මා කියවු මූලාශයේ සඳහනක් තිබුනේ නෑ.

    ඒ සමහර විට ඔහුට එකල ආචාර්ය උපාධියක් නොතිබි නිසා විය යුතුයි. දැන් තියෙනවාදැයි නොදනිමි.

    Reply
  4. Vishleshakaya

     /  September 7, 2012

    I like this style. It’s original. can someone ( apart from Ashoka Handagama) make a movie out of this novel one day, I wonder

    Reply
  5. kathandarakaraya

     /  September 7, 2012

    /* “Love at first sight” යැයි ඉංග්‍රීසියෙහි කතාවක් තියේ. මෙහි විලෝමයද සත්‍ය විය යුතුය සිතමි. */

    Hate from the first sight!

    That’s agood one.

    Reply
  6. kathandarakaraya

     /  September 7, 2012

    /* පුදුමයකට මෙන් චරිත්ට ලස්සන සේම බුද්ධියද ලැබී තිබුණේ බියට්‍රිස්ගෙන්ය. වික්ටර් ගෙන් ඔහු ලද දෙයක් නැති තරම්ය.
    */

    අනුරට ඇවිත් තිබුනේ සේරම සිරිමා ගේ ජාන නේද?

    😉

    Reply
    • අනුරගේ තාත්තා කවුදැයි 100%ක් සහතිකව නොදැන ඒ ගැන කියන්න අමාරුයි. කතාවක් තියෙනවා ඒ යුගයේ හිටිය ප්‍රකට සිවිල් සේවකයකුගේ ලක්ෂණ අනුරගේ ලක්ෂණ වලට සමානයි කියලා. ඉතින් මා හිටියේ ඔය විශ්වයින් දෙකෙන් කොයිකද මා තවම දන්නේ නැති නිසා යමක් කියන්න බැහැ.

      – ලේඛක

      Reply
      • DDT

         /  September 7, 2012

        // අනුරගේ තාත්තා කවුදැයි 100%ක් සහතිකව නොදැන ඒ ගැන කියන්න අමාරුයි. //

        ආඃ ……. සමාන්තර විශ්වයෙත් අනුරුද්ධ රත්වත්තෙ කෙනෙක් ඉඳල. 😀

  7. another excellent chapter..!

    Reply
  8. මහ පරණ හම්පඩ කතාවක් උනත් ලියපු ආකාරය නිසා ආකර්ශනීයයි…මිය ගිය හෝ මිය යමින් පැවතුන ජීවිත කිහිපයක් ගැන වෙන්න ඕනි මේ කියන්නෙ….

    Reply
    • ‘මිය ගිය ජීවිත’ ගැන කිව්වාම මේ කතාව මතක් වුණා. මේක සිද්ද වුණේ ටික කාලයකට පෙර. යුද්දෙ දවස් වල.

      කොළඹ යම් තැනක අපි එකතු වුණා Hitler: The Rise of Evil සිතුවම්පටය නරඹා ඒ ගැන පශ්චාත් සංවාදයකට. සංවාදය මෙහෙයවූයේ ධර්මසිරි බණ්ඩාරනායක.

      සහභාගි වූ කෙනෙක් මෙහෙමෙ ඇහුවා: හිට්ලර් කියන්නෙ මැරුණු මිනිහෙක්. නාසිවාදය කියන්නෙ මැරුණු දර්ශනයක්. මැරුණු මිනිහෙක් ගැන මැරුණු දර්ශනයක් ගැන ඇයි චිත්‍රපටයක් හදන්නෙ?

      ධර්මසිරි මෙහෙම කිව්වා: නැවත මතක් කර ගන්න හිට්ලර් පළමු වරට (ඔහු එතකොට ආධුනික දේශපාලකයෙක් විතරයි.) කෑම මේසයකදී කරන කතාව. ඔබට කවුරුත් මතක් වුණේ නැද්ද ඒ කතාව ඇහුවම? ඔබට හිතුණෙ නැද්ද ඒ කතාවම වචන වල පොඩි වෙනස් කම් ඇතිව අප අහනවා කියලා. ඔබට හොඳටම විශ්වාසද හිට්ලර් මැරිලා කියලා?

      ‘මිය ගිය ජීවිත’ ගැන මටත් කියන්න තියෙන්නෙ එච්චරයි.

      Reply
  9. හීරෝ

     /  September 7, 2012

    අදත් නියමයි 🙂

    Reply
  10. මර්වින්, රතු හාමුදුරුවෝ බෞද්ධ භික්ෂූන් වෙනකොට, 93 ජුලි කැරැල්ලෙදි වික්ටර්ගේ වාහනය මිරිස්වත්තෙදී නවත්වලා පෙට්‍රල් බලෙන් ගත්තේ අවිගත්ත බෞද්ධ භික්ෂුවක්. සාසනයා ලෝකෙ කාල වතුර බීපු එකෙක්.

    මේ ඔක්කොම වෙන්නේ බෞද්ධ අන්තගාමී බලවේගවලට වලට සියුම් නමුත් ප්‍රභල දේශපාලන පහර ගැසීමක් කරන්න නේද?

    මොකද කීර්තිමත් දිස්ත්‍රික් විනිශ්චයකරුවකු වන වෝල්ටර් සමරසිංහ, අනුන්ගේ දරුවෙකුට තමන්ගේ වගේ සලකන අප්සරා පුෂ්පාංජලී, හැම අතින්ම පරිපූර්ණ බියට්‍රිස්..මේ හැමෝම භක්තිමත් කිතුණු භක්තිකයින්.

    Reply
    • ලෝකය පරිපූර්ණවත් සමතුලිතවත් නොවේ. නිර්මාණයකදී නිකමට හෝ එසේ කරන්ටවත් උත්සාහ නොදරමි.

      – ලේඛක

      Reply
      • අනිවාර්යෙන්ම. එහෙම බලපොරොත්තු වෙන්නෙත් නෑ. මොකෝ එහෙම වුනොත් එහි ප්‍රායෝගික ස්වරූපයට හානි වෙනවා. මේ ස්ටයිල් එකට පෞද්ගලිකව කැමතියි.

        මම කිව්වෙ, මම සියුම්ව නිරීක්ෂණය කරපු දෙයක් ගැන විතරයි. කොටින්ම මට කථා ඔක්කොම කට පාඩම්. ඔහොමම ගලාගෙන යන්න දෙමු.

  11. ranwala

     /  September 7, 2012

    චරියාගේ හැඩ හුරුකම් කියද්දී විජය කුමාරණතුංග මතක් උනා.එයයිටත් සමනලයා කියල නොව කිව්වෙ.

    Reply
    • චරියා කවුරු වගේද කියලා හිතා ගන්න විජයට වඩා හොඳ උදාහරණයක් ඉදිරි චැප්ටර් එකක එයි.

      – ලේඛක

      Reply
  12. Asela

     /  September 7, 2012

    කාලෙක ඉඳන් කියවන්න හිතාගෙන හිටියට කියවන්න හම්බවුනේ අද. මේ කතාව කියවද්දි අපි දන්න කියන ප්‍රභල චරිත කීපයක් මතක් උනා. ලියන විදිය උපරිමයි. දිගටම ලියාවි කියල හිතනව. හොඳින් රසවිඳින්න පුලුවන් කතාවක් ඇතුලෙ තියෙන කතා ගොඩක් කියලයි පේන්නේ.

    Reply
  13. DDT

     /  September 7, 2012

    ඇත්තටම ඔය චරිත්ගෙ චරිතෙ ලේඛකයා ගොඩ නගන්නෙ මේ අපි ඉන්න සමාන්තර විශ්වයෙ කවුරු හරි පුද්ගලයෙක්ව ආර්ශෙට අරගෙනද?

    Reply
    • ඔව්. නෑ. ඔව්. නෑ. ඔව්. නෑ. ඔව්. නෑ.

      – ලේඛක

      Reply
      • DDT

         /  September 7, 2012

        හප්පටසිරි……. සන්නස්ගල කෙනෙකුත් ඉඳල. 😀

      • විශ්ලේෂකයා

         /  September 7, 2012

        in Rajiva Wijesinha’s beautifully written novel on Richard de Soyza, Limits of Love,the main character was not just based on Richard but an admixture of several famous characters such as Lasantha Wickramatunga, Chanaka Amaratunga and Rajiv himself. Charith is probably alter ego of someone

  14. Charith M

     /  September 7, 2012

    ow naa ow naa ow naa??? ai kiyanna bayada?? 😀

    Reply
  15. Zach

     /  September 9, 2012

    1st time commenting here.. but ive read this since the begining.. and waiting for each episode eagerly…Love ur stye.. keep on writing..

    Reply
  16. Daba

     /  September 9, 2012

    The essay at the beginnig is very unrealistic specially for a child in grade 2. Using words like “his excellency” is an example.Eventhough th writer says that Charith’s English is really good we cant expect such an essay from a grade 2 child.Else is just fine but would love it if you bring each episode in an oreder so that we could figure out heads n tails of this 🙂

    Reply
    • The whole idea is NOT to let you figure head or tail out of it! If you can figure it out yourself, why should I write it? Ha Ha.

      – The Writer

      Reply
    • විශ්ලේෂකයා

       /  September 11, 2012

      This novel does not run in chronological order and this is what makes it unique and readable . Writer is shrewd enough to offer something special to the blog readers at a time “Vargapurnikaawa” rules the roost. Although I don’t believe he’s after the hits count, time will tell whether this particular style can take this blog to the top

      Reply
      • I do not think a blog reader with limited time will be interested in reading a story in chronological order.

        – The Write

  17. සිසේරියන් සැත්කමක් යනු අරුමයක් නොවේ. සාමාන්‍යයෙන් ඕනෑම සංකූලතා සහිත දරු උපතක් පිණිස නිර්දේශිත විකල්පයයි. දරු උපතෙහි සංකූලතා ඇති විය හැකි බව හොඳින්ම දැන සිටි මේ අවස්ථාවේ එය භාවිතා නොවූයේ මන්ද?// දැන් අරුමයක් නූනට ඔය කියන වකවානුවේ බරපතල දෙයක්. මම හිතන් හිටියට වඩා මේ ලිපියේ රචකයා තරුණයි වගේ, නැත්නම් ඕක මීටර් වෙනව.

    Reply
    • මට නං කිසිම කාල විරෝධි දෙයක් අහන්න හිතෙන්නේ නැහැනේ. මේකමේ සමාන්තර විශ්වයක කථාවක්නේ………….. 🙂

      Reply
      • ඒ නැතත් මා දන්නා පරිද්දෙන්1980 ගණං වල මුල ඉඳන්ම සිසේරියන් සැත්කම් ප්‍රචලිත වෙමින් තිබුනා. ඊට පෙරත් සමහරවිට තියෙන්න ඇති. ඒ ගැන අදහසක් නැහැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: