(21) නිරුවත් වෙරළකට ගිය ඇමැතිවරයකුගේ දින සටහන් || Ministerial diaries…from a Nude Beach

  • කාලය: 2001/2, සමාන්තර විශ්වය
  • ස්ථාන: කොළඹ, ලංකාව/අහස/මෙල්බන්, ඕස්ට්‍රේලියාව

**********(නියෝජ්‍ය ඇමැති වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

[මේ තෝරාගත් දින සටහන් උපුටාගෙන ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දින පොතිනි. පාඨකයාට පහසුවක් වනු පිණිස ඒවා සිංහලයට පෙරළා තියේ.]

දෙසැම්බර් 21, 2001 – සිකුරාදා

අද දවල් රනිල් වික්‍රමසිංහ මට දුරකථන කොට වහාම අරලියගහ මන්දිරයට එන්ටය කීවේය. මන්දැයි ඇසූ විට ඔහු දුන්නේ කැත පිළිතුරකි. “Victor, the Prime Minister of Sri Lanka doesn’t ask you to come if it is not important. So hereafter don’t ask why”

රනිල් මට වඩා වැඩිමහළු වසර හය හතෙකිනි. වසර ගණනින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය ගණන් බැලූ විට අප දෙදෙනා අතර වෙනසක් නැති තරම්ය. කලෙක ඔහු කොළඹත් මම පේරාදෙණියේත් සමවාදී ශිෂ්‍ය සංගම් නායකත්වය දැරීමු. එහෙත් අද ඔහු ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. මම ඔහුගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්මි. එනිසා හේතුවක් හෝ නොදැන සවස් කාලයෙහි මට නියමිතව තිබූ සියළු වැඩ කටයුතු අවලංගු කරන ලෙස දන්නා සුභද්‍රාට (මගේ පෞද්ගලික ලේකම්වරිය) SMS එකක් යවා අරලිය ගහ මන්දිරයට ඉගිලෙන්ට මට සිදුවිය. මා සිටියේ කාර්යාලයෙන් පිටත වෙනත් රැස්වීමක හෙයින් අඩු තරමින් මගේ දෛනික කාලසටහන පිරික්සා බලා ඇපොයින්ට්මන්ට් එකින් එකට කරන්නේ මන්දැයි උපදෙස් දෙන්ටවත් අවකාශයක් නොවීය.

හදිසියේ මා කැඳවූවාට රනිල් එක්වර මා ඇතුළට ගන්ටවත් කාරුණික නොවූයේය. ඔහු පැය දෙකකට ආසන්න කාලයක්, ඒ වන විට දිවා ආහාරයවත් නොගෙන සිටි මා අමුත්තන්ගේ ලොබියෙහි රස්තියාදු කරවූයේ ඕනෑකමින්ය සිතමි. මම රනිල්ගේ good chaps’ list එකට පිටින් සිටින්නෙක්මි. මගේ සම්බන්ධතා වූයේ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, රංජන් විජේරත්න බඳු ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ හා අනිවාර්යයෙන්ම දක්ෂ පැරණි නායකයින් සමඟය. තමන්ට ‘සර්’ නොකියන්නන්ට රනිල් සමාවක් නොදෙන බවද මම දනිමි. ඒත් මේ පරයාට ‘සර්’ කියන්ට මගේ දිව නොනැමෙන්නේය.

රනිල් මා කැඳවා තිබුණේද මහ ලොකු දෙයකට නොවේ. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‘දිළිඳුකම දුරැලීම’ (poverty alleviation) පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකට ඔහු ලද ආරාධනයකට මට ඔහු නියෝජනය කළ හැකි දැයි අසන්ටය. ‘දිළිඳුකම දුරැලීම’ ගැන රනිල් සේම මාද දන්නා කෙංගෙඩියක් නැත. මගේ අමාත්‍යාංශයේ විෂය පථය විදුලි බලයයි. මා ධනවත් පවුලක උපන් හෙයින් කවදාවත් දිළිඳුකම ගැන හිතන්ටද මට උවමනාවක් නොවීය. නමුත් මා ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ එක් වතාවකි. ඒ ද මෙල්බන් නුවරට නොවේ. එසේම රටතොට බලා කියා ගන්ටද එවර අවකාශයක් නොවීය. එබැවින් මේ ඇරැයුම පිළිගන්ට මම තීරණය කළෙමි. ගමන යන්ට තව කල් තියේ. ඒ අතර මා දිළිඳුකම ගැන අනෙක් ජාතීන්ට උපදෙස් දෙන තරමට යමක් ඉගෙන ගන්ට අධිෂ්ඨාන කර ගතිමි. අද උදෑසන ඉගෙන ගත් දෙයක් ජීවිත කාලයක් ප්‍රගුණකළ ශාස්ත්‍රයක් සේ සවස් කාලයේ වැමරීමේ හැකියාව මම මේ වන විට ප්‍රගුණ කර සිටියෙමි.

මේ කාලකණ්නියා නිසා මා සමාව දිය නොහැකි වරදක් කර ඇති බව දැනගත්තේ සවස නැවත කාර්යාලයට පැමිණි පසුය. මම ප්‍රධාන අමුත්තා හැටියට රාජකීය විද්‍යාලයේ English Day එකට සහභාගි වන්ට නියමිතව සිටියෙමි. පුතා චරිත්ද එහි නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්ට නියමිත විය. දැන් කරන්ට දෙයක් නැත. චරිත්ට පසුව කතා කර පැහැදිළි කරමි. ඇරත් ඕනෑත් නැත. මේ මා චරිත් සහභාගි වූ ප්‍රසංගයක් මඟ හැරිය පළමු වතාව නොවේ.

.

මැයි 12, 2002 – ඉරිදා

කටුනායකදීය.

තව සුළු මොහොතෙකින් මම ක්වාලා ලම්පූර් හරහා මෙල්බන් බලා පිටත් වන්ට සූදානම්ව සිටිමි. තවමත් පොඩ්ඩකු නිසා මට යන්ට සිදුවූයේ තනිවමය. පරිවාර සේනා සමඟ යන්නේ නියෝජ්‍ය ඇමැතිවරුන්ට වඩා ලොක්කන්ය.

සිංගප්පුරුව හරහා යන්ට මම වඩාත් කැමැති වූයෙමි. එසේ වී නම් දින කිහිපයක් සිංගප්පුරුවේ රැඳෙන්ටද තිබුණේය. Singapore Airlines මඟී සේවාව මා අත්විඳ ඇති හොඳම මඟී සේවාව වූ අතර Singapore girlsලාද ලිප්ස්ටික්, පවුඩර් පදාස ගණනින් උලාගත් අපේ හුචක්කුවලට වඩා සෙක්සිය. ඔවුහු දීර්ඝ ගුවන් ගමනෙක වෙහෙස මොහොතෙකින් මඟ හැරලන්නේ නෙතට රසඳුනක් වෙමිනි. Singapore Airlines වල මත්පැන්ද වඩා හොඳය. මේ සියල්ලට හරස් වූයේ අපේම නායකයකු විසින් පනවා තිබුණු පැරැණි රෙගුලාසියකි. එයාර් ලංකා පිහිටුවීමේදී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පැණවූ එක් නීතියක් නම් හැම රාජ්‍ය සේවකයකුම හැකි හැම අවස්ථාවකදීම රාජ්‍ය ගුවන් සේවය භාවිතා කළ යුතු බවයි. රාජ්‍ය ගුවන් සේවයට මෙල්බන් නුවරට කෝඩ් ෂෙයාරිං තිබුණේ Malaysia Airlines සමඟ ක්වාලා ලම්පූර් හරහාය. එනිසා නොකැමැත්තෙන් වුව ඒ මාර්ගය තෝරා ගන්ට මට සිදුවිය.

මොහොතකට පෙර මා හඳුනා ගත් වැදගත් පුද්ගලයකු නම් ‘සන්ඩේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංගය. දුරකථනයෙන් කතා බස් කොට තිබුණද, මා ඔහු මුහුණට මුහුණ හමුවූ මුල් වතාවයි මේ. ට්‍රාන්සිට් ඒරියා එකේදී, Dilmah ෂොප් එකෙන් මා තේ පැකට් කිහිපයක් මිළදී ගනිමින් සිටියදී, ඔහුම විත් තමන් හඳුන්නා දී මට කතා කළේය. ලසන්තද සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ යමින් සිටියේ මෙල්බන් වෙතයි. නිවාඩුවක් පිණිසය. ඔහු මෙල්බන් ගැන හොඳින් දන්නා බවක් පෙණුනු නිසා මම උපදෙස් කිහිපයක් ලබා ගන්ට අදහස් කළෙමි. මා අදහස් කර සිටියේ සමුළුව අවසානයේ මගේ වියදමින් දින කිහිපයක් රැඳී සිට රටතොට බලා කියා ගන්ටයි.  Federation Square, Melbourne Museum, Melbourne Cricket Ground, Melbourne Observation Deck වැනි ප්‍රකට සංචාරක ආකර්ෂණ කිහිපයක් ඔහු යෝජනා කළේය. Great Ocean Road එක දිගේ ටික දුරක් හෝ ගමන් කරන්ට පුළුවන් නම් හොඳය කියාද කීවේය. ඊට අමතරව මට මෙල්බන් හි සුප්‍රකට වෙරළකට යන්ට අවශ්‍ය විය. ලසන්ත ඒ ගැන වැඩිපුර නොදැන සිටි හෙයින් රාණිගෙන් විමසීමෙන් අනතුරුව මට ටිප්ස් කිහිපයක් දුන්නේය. ලසන්තට දේශපාලන කාරණා කිහිපයක්ද දැන ගන්ට අවශ්‍යව තිබුණු මුත් Final Call එක නිකුත් වී තිබුණු නිසා අපට ඉක්මණින් ගුවන් යානය වෙතට යන්ට සිදුවිය.

මා යන එන තැන් ගැන මේ සියළු තොරතුරු ස්වේච්ඡාවෙන්ම දුන්නේ පැපරාසියකුට බව මතක් වූයේ පසුවයි.

.

මැයි 13, 2002 – සඳුදා

මම ක්වාලා ලම්පූර් සිට මෙල්බන් බලා පොළෝ මට්ටමේ සිට අඩි 30,000ක් ඉහළින් පියාසර කරමින් සිටිමි.

ලසන්ත ක්වාලා ලම්පූර් හිදීද මා සමඟ කතා බහට පැටළෙන්ට ආයේය. වෙහෙස බව කියා මම VIP ලොන්ජ් එකට ගොස් විස්කි එකක් මත ඇළවීමි. මේ කෙටි නින්ද තුළදී මට බොහෝ කාලයකට පසුව බියට්‍රිස් සිහිනෙන් පෙණුනේය. මෑතදී ජනප්‍රිය වූ ඉන්දියානු නිළියකට බියට්‍රිස්ගේම පෙනුම ඇති බව දවසක කිව්වේ අම්මාය. මම ඒ ගැන කරදර නොවීමි. බියට්‍රිස් මිය ගොස්ය. චරිත් නිසා නොවේ නම් ගෙදර ඇති ඇගේ පින්තූර පවා මා ඉවත් කොට බොහෝ කල්ය.

පොතක් කියවන්ට කම්මැලි හිතුණු බැවින් මම සරල වින්දනයක් පිණිස Finding Nemo බලන්ට තීරණය කළෙමි. මම කාටූන් සිතුවම්පට වලට අකැමැත්තෙමි. නමුත් ගුවන් ගමනෙකදී ඒවා නරකම නැත.

වෝල්ට් ඩිස්නි චිත්‍රපටයක් වූ Finding Nemo මාලින් නැමැති clown fish කෙනකු හා ඔහුගේ පුතා නිමෝ ගැනය. මාලින්ගේ බිරිය කොරල්, මහා බාධක කොරල් පරයෙහි දමන බිත්තර දහස් ගණනක් සමඟින්ම බැරකූඩාවකුට ගොදුරු වේ. ඉතිරි වන්නේ එකම එක බිත්තරයකි. ඒ නිමෝය. මාලින් ඔහු රැක බලා ගන්නේ දෙඇස මෙනි. පාසල් යන වයසට පැමිණි නිමෝ හිතුවක්කාරකම නිසා කිමිදුම්කරුවකුගේ දැළට හසුවෙයි. කිමිදුම්කරුවාගේ ගිලී වැටෙන ගෝග්ල් එකක Sydney යන වචනය දකින මාලින් කවර හෝ බාධක මැද නිමෝ සොයා යන්ට තීරණය කරයි. Finding Nemo ඔහු එසේ සිය දරුවා සොයා යන කතාවය.

මේ කියන්නේ මගේම කතාවය මට සිතුණේ වරක් දෙවරක් නොවේ. චරිත්ද මාද බියට්‍රිස් නැතිව මෙලොව තනිව සිටිමු. වෙනස චරිත් හා මා අතර මාලින් හා නිමෝ අතර බඳු කිට්ටු සම්බන්ධතාවයක් නොතිබීමය. එහි වගකීම මා සම්පූර්ණයෙන් ගත යුතුද මම නොදනිමි. චරිත්ට අම්මාගෙන් නොලැබුණු ආදර අප්සරාගෙන් ලැබුණේය. ඔහුගේ සියළු කටයුතු පිණිස මම වියදම් කළෙමි. නිහඬ චරිතයක් වුව චරිත් ඉගෙනීමට අදක්ෂ බවක් කවදාවත් නොපෙන්නුවේය. දැන් ඔහු ලංකාවේ හොඳම පාසලෙහි අධ්‍යාපනය ලබයි. වෙනත් බොහෝ දරුවන්ට වන ප්‍රශ්න ඔහුට නොවීය. මම එයින් සතුටු වීමි. මව්පියන් අහිමි වන දරුවෝ කාලයාත් සමඟ පරිසරයට හුරු වෙති. මේ මා හිත හදා ගන්ට කරන කල්පනා නොවේ. ඇත්තය.

චරිත්ද කිමිදුම්කරුවකුගේ දැළකට හසු වුවහොත් මා මාලින්ගේ භූමිකාව රඟපානු ඇතිද? එසේය මම සිතමි. 1993 ජූලි කලබල මැද, අන්තරාදායක මොහොතක සියල්ලට පළමු මම ඔහු ගැන සිතුවෙමි. මේ තාත්තලාගේ හැටිය. චරිත් පිළි ගත්තද නැතද මම චරිත්ට හොඳ පියකු වීය මම අවංකව සිතමි.

.

මැයි 15, 2002 – බදාදා

අද සමුළුවෙහි දෙවන දිනයයි. මගේ කෙටි දේශනය නියමිතව තිබුණේ අද උදෑසනටය. එයද සමුළුවේ වෙනත් දේශන වලට වඩා වෙනස් නුවූයේය. මම ලංකාවේ ඓතිහාසික දුප්පත්කම ගැනද, නිදහසින් පසු දුප්පත්කම මැඬීමට විවිධ රජයන් යටතේ ගෙන ඇති පියවරද විස්තර කළෙමි. විශේෂයෙන් 1977 දී අපේ ආණ්ඩුවක් යටතේ විවෘත ආර්ථිකය හඳුන්නා දීමෙන් පසු දුප්පත්කම අඩු වූ හැටි මම විස්තර කළෙමි. වර්තමානයේ දුප්පත්කම දුරලීමට ඇති බාධා ගැන කථා කළ මා ඉන්පසු යොමුවූයේ ජනවාර්ගික අර්බූදය හා සිවිල් යුද්ධය මේ තත්ත්වය තවත් උග්‍ර කරන ලද්දේ කෙසේද පැහැදිළි කරන්ටය. සාම සාකච්ඡාවල සුභවාදී ආරම්භයෙන් මම දේශනය නිම කළෙමි. රනිල්ට මා ලවා කියවා ගන්ට අවශ්‍ය වූයේත් ඒ ටිකය.

මගේ දේශනයට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණේය. ලෝක බැංකු හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ පිළිවෙල නියෝජිතයෝ මා කියූ දේවල් අගය කරමින් අදහස් දැක්වූහ. යුරෝපීයයන් හා ඕස්ට්‍රේලියානුන් කිහිපදෙනකුට සාම ක්‍රියා දාමයේ ඉදිරි මඟ ගැන දැන ගන්ට අවශ්‍ය විය. (මේ නම් මා අමාරුවේ වැටුණු තැනක් විය. සාම ක්‍රියාදාමයේ තොරතුරු රනිල් අප සමඟ වත් බෙදා නොගත්තේ එය තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ සලකමිනි. එය බාරව සිටියේ මිලින්ද හා ළඟදී අපට එක්වූ ජී. එල්. පප්පාය. ජී. එල්. නම් මම කොහොමටත් නොදත්තෙමි. මිලින්ද සමඟ වුව මගේ වැඩි සමාගමක් නොවීය. ඒ නිසා මා මේ සියල්ලක් ගැන දැන සිටියේ යන්තමිනි. මගේ ප්‍රශ්න විචාරකයන් ඒ ගැන මට වඩා දන්නා බව පෙණුනේය.)

ඉන්දියාවෙන් පැමිණි, open economy, neo liberal , capitalism වැනි යෙදුම් ඇහෙන විටම සර්පයකුට බූමිතෙල් ගැසුවාක් මෙන් කුලප්පු වන වාමාංශික උගතකු මා සමඟ දීර්ඝ වාදයකට පැටළෙන්ට හැදුවේය. මා එයින් ගැළවුණේ මුලසුනේ සිටි ලෝක බැංකු නියෝජිතයාගෙන් ඔහුට අනුකම්පාවක් නොලැබුණු නිසාය.

මම රනිල්ට සාධාරණය ඉටු කළාය සිතමි. කෙටි විස්තරයක් අතින් ලියා සවස ඔහුට ෆැක්ස් කළෙමි. ඔහු ලැබුණු බව වත් දන්වන්ට උනන්දු නොවූයේය.

.

මැයි 16, 2002 – බ්‍රහස්පතින්දා

අද සමුළුවේ තෙවන දිනයයි. මගේ දේශනය බොහෝ පුවත්පත් නොසලකා හැර දමා තිබුණේය. ප්‍රධාන කොටම වික්ටෝරියා ප්‍රාන්තයට, ටස්මේනියාවට, හා නිව් සවුත් වේල්සයට සීමා වූ ටැබ්ලොයිඩයක් වන Herald Sun පමණක් කෙටි නිව්ස් අයිටම් එකක් පළ කොට තිබුණේ මා අවසානයට කියූ සාම සාකච්ඡා ගැන පමණක් අවධානය යොමු කරමිනි. රනිල් හා සාම සාකච්ඡා ගැන මා නොකී කොටසක්ද වාර්තාකාරිනිය අතින් දමා තිබීම මට වාසියක් විය. මම එයද කපා රනිල්ගේ ඔෆිස් එකට ෆැක්ස් කළෙමි.

.

මැයි 17, 2002 – සිකුරාදා

සමුළුවේ අවසාන දිනයයි. බොහෝ දුරට විවේකී දිනයකි. දිවා ආහාරය සමඟ සමුළුව නිමාවන්ට නියමිත වූ අතර සවස සංවිධායකයින් විසින් අප වෙනුවෙන් නගර සංචාරයක්ද සූදානම් කොට තිබුණේය. ඊට සහභාගි වනවාද තීරණය කිරීම මම පසුවට කල් දැමීමි.

උදෑසන මා සමුළුවෙන් ටික වේලාවකට සමු ගත්තේ අංජලීට දී තුබුණු ඇපොයින්ට්මන්ට් එක නිසාය. ඇය ලාංකීය දෙමළ සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු නීති ශිෂ්‍යාවකි. ඇගේ දෙමාපියන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයව තිබුණේ 1956හි සිංහල රාජ්‍ය භාෂාව කරද්දී සිංහල නොදත්තවුන්ට සිය රැකියාවෙන් වන්දියක් සහිතව විශ්‍රාම ගැනීමට ලැබුණු අවකාශය ප්‍රයෝජනයට ගනිමිනි. ඈ මට කථා කළේ පෙරදින Herald Sun පුවත්පතෙහි වූ වාර්තාව දැක්කායින් පසුවය. ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා සාම සාකච්ඡා ගැන දැන ගන්ට ඇයට අවශ්‍ය විය.

අංජලී හමුව පළමු මිනිත්තු පහ තුළ මා කාරණා තුනක් නිරීක්ෂණය කළෙමි. එකක් ඇය මා සිතුවාට වඩා ලාබාල විය හැකි බවයි. මගේ ඇස්තමේන්තුව වයස 20-22 අතරය. දෙවැන්න ඇය අතිශයින් රූමත් බවය. ඕනෑවට වඩා විශාලව පෙණුනු ඇගේ පියොවුරු සිරුරෙහි අනෙක් මිනුම් වලට නොගැළපුනද මම ඊට ආසා කළෙමි. තෙවැන්න ඇය ආන්තිකව දෙමළ කොටි සංවිධානයට අනුකම්පා පාන්නියක බවයි. තෙවැන්න සිහියට ගැනීම වැදගත් වුවද මට ඒ අවස්ථාවෙහි කාරණා  එක හා දෙක ඊට වඩා වැදගත් විය. අපි පැය දෙක හමාරක් පමණ ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා වර්තමාන දේශපාලනය ගැන කතා කළෙමු. මගේ භූමිකාව අවසන්ව තිබුණු හෙයින් සමුළුවට සහභාගි වීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වූයේ නැත.

මේ සංවාදය අවසානයේ අපි එකිනෙකාට පෞද්ගලික වශයෙන් කිට්ටුව සිටියෙමු. මා මගේ පවුල ගැනද තනිකඩ ජීවිතය ගැනද ඇයට කී මුත් පුතා ගැන නොකියන්ට පරිස්සම් වීමි. ඇය මෑතදී බිඳුනු තම ප්‍රේම සම්බන්ධයක් ගැන කීවාය. තම හිටපු පෙම්වතා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව ඇය කීවාය. ‘කවුරුත් කරන’ එක්තරා මට්ටමකට මත්ද්‍රව්‍ය භාවිතය ඇය හෙළා නොදකින මුත් එය සීමාව ඉක්මවා කිරීම ඇය නොරිස්සුවාය. අද ප්‍රේම සම්බන්ධතා බිඳෙන කාරණා අපේ කාලයේ ප්‍රේම සම්බන්ධතා බිඳෙන කාරණා වලින් කොයිතරම් වෙනස්දැයි මම කල්පනා කළෙමි.

අවදානමක් රැගෙන මම ඇයට රාත්‍රී භෝජන සංග්‍රයකට ඇරැයුම් කළෙමි. මඳක් සිතා බැලීමෙන් පසුව ඇය එය පිළි ගත්තාය.

ඉතාලි අවන්හළෙක අපේ රාත්‍රි භෝජනය බොහෝ කාලයකට පසු මා අත්විඳි රෝමෑන්තික අත්දැකීමකි. පසුගිය වසර කිහිපය තුළ මගේ කාන්තා සම්බන්ධතා සෙක්ස් වලට පමණක් සීමා විය. පසුගිය අමිහිරි අත්දැකීම් වලින් පසු නැවත ආදරයක පැටලෙන්ට මට අවශ්‍යතාවයක් නුවූ අතර මට හමුවූ ගැහැණුද දකින දකින පිරිමියා ඉදිරියේ සළුව ඔසවන්නියන් මිස භාවාතිශය සම්බන්ධයකට සුදුස්සෝ නුවූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සල්ලිය. නැතිනම් රැකියාවකි. මට අවශ්‍ය වූයේ සෙක්ස්ය. මේ ඉල්ලුම හා සැපැයුම මනාව සමතුලිත වී අපේ ගනුදෙනු අවසන් විය. කොටින්ම මා ලිංගික සම්බන්ධතා පැවැත්වූ සමහර ගැහැණු ඉඹින්ට පවා මම පැකිළුණෙමි.  අපි ඒ තරමටම යන්ත්‍ර වී සිටියෙමු.

අංජලී වෙනස්ය. ඇය මා හා හරවත් දෙයක් කතා කරන්ට, මා කියන දේවල් ප්‍රශ්න කරන්ට, මා දැනමුත්තකු බව අයත්නයෙන්ම මට ඒත්තු ගන්වා මට ego boost එකක් දෙන්ට සමත් වූවාය. ඇය මා කියන දේවල් ලියා ගත්තා පමණක් නොව නැවත ඒවා ගැන සඳහන් කරමින් මා ප්‍රශ්න කළාය. බියට්‍රිස්ද මා හා වාද කරන්ට තරම් දැන උගත්තියක වූ මුත් මෙසේ මා කියන හැම දෙයක්ම වැදගත්ය යන හැඟීම මට දෙන්ට සමත් වූයේ නැත. එසේම බියට්‍රිස්ගේ උගත්කම හමුවේ මට සමහරවිට පහළ වූයේ හීනමානයකි. අංජලී සමඟ මගේ අත්දැකීම ඊට වෙනස් විය සමහර විට අංජලී හා මා අතර වූ වයසෙහි හා වෘත්තීමය වෙනස මීට හේතු වන්ට ඇත.

වැඩි විස්තර නැතිව, මේ හමුව මගේ හෝටල් කාමරයේදී කායික සම්බන්ධයකින් අවසන් වූ බව ලියමි. ඒ මා වසර ගණනාවකින් ලද හොඳම ලිංගික අත්දැකීම බව සටහන් විය යුතුය.

.

මැයි 19, 2002 – ඉරිදා

සමුළුව අවසන් වූයේ පෙරේදාය. ඊයේ මම මෙල්බන් නුවර බලා කියා ගතිමි. කිහිප දෙනකුට තෑගිද ගතිමි. අම්මා නම් මගෙන් යමක් බලාපොරොත්තු නුවූවාය. දීර්ඝ කාලයක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්නා ඇයට දෙන්ට සුදුසු යමක්ද නොවේ. මම මගේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම මොන මොනවා හෝ ගතිමි. එසේම ඉඳහිට හෝටලයකට උස්සාගෙන යන ගෑනු කිහිප දෙනාටද වැඩකට ඇති දෙයක් ගන්ට අවශ්‍ය විය. (ප්‍රතිපත්තියක් ලෙස මම මගේ කාර්ය මණ්ඩලයේ කිසිවකු සමඟ පුද්ගලික සම්බන්ධතා නොපවත්වමි. එය දේශපාලකයකු හෝ ව්‍යාපාරිකයකු විසින් කළ හැකි දරුණුම ප්‍රමාදයක් බැව් මට වරෙක නොකියා කීවේ ගාමිණී දිසානායක ඇමැතිතුමාය.)

බටහිර රටක නිරුවත් වෙරළකට යන්ට මට බොහෝ කාලයක් තිස්සේ ආසාවක් විය. එය එක්තරා ආකාරයක කුතුහලයකි. වසර ගණනාවකට පෙර දිවයින පුවත්පතෙහි පළ වූ, භද්‍රජී මහින්ද ජයතිලක නිරුවත් කඳවුරකට ගිය ගමනක් පාදක කොට ගෙන ලියූ ලිපියක් මීට බොහෝ සෙයින් පාදක විය. මේ කාලය තුළ බටහිර රටවල් කිහිපයකම සරන්නට ලැබුනද විවිධ හේතූන් නිසා මේ අත්දැකීම ලබා ගන්ට නොලැබුණේය.

මම නිකමට මේ ගැන සඳහන් කළ අවස්ථාවේ අංජලී මා සමඟ එන්ට කැමැති වූවාය. ඈ දැමූ එකම කොන්දේසිය ඇයට මුළුමණින් නිරුවත් වන්ට බැරි බවයි. වෙරළ clothing optional මිස nude නොවූ නිසා මට ඒ ගැන ගැටළුවක් නොවීය. අනෙක මටද මුළුමණින් ප්‍රසිද්ධියේ නිරුවත් වෙන්ට අවශ්‍යතාවයක් නොවීය. මට අවශ්‍යවූයේ peeping tom කෙනක් වෙන්ට විතරය.

නිරුවත් වෙරළ ගැන මගේ ඇගැයීම මිශ්‍රය. නිරුවත් නාරි දේහ එහි නොවුණා නොවේ. එහෙත් අප බලාපොරොත්තු වන්නාක් සේ එලිසබෙත් ටේලර්ලා, සොෆියා ලොරේන්ලා, ජූලියා රොබර්ට්ස්ලා, කේට් වින්ස්ලෙට්ලා, අව්ව තපින්ට නිරුවත් වෙරළ තීරයන්ට නො එති.

මෙහි නාන්නට අව්ව තපින්ට එන බොහෝ ගෑණු මැක්ඩොනල්ඩ්ස් වලින්, KFC වලින් සෞඛ්‍යයට අහිතකර Fast Foods කා තරවූ එල්ලෙන මස් වැදලිවලින් යුතු working class එළදෙනුන්ය. නැතිනම් වැල මදුලු සේ එල්ලන තන් ඇති නාකිච්චියන්ය. තරුණ වියෙහි වූ යුවතියන් කිහිප දෙනකුද නොසිටියා නොවේ. එහෙත් ඔවුන් සිටියේ පෙම්වතුන් සමඟ නිසා කතා කරන්ට වත් බැරිවිය. නිරුවත් ආච්චිලා නම් මඳ සිනාවක් පෑවත් එල්ලී කතාවට එයි. මුන්ට ඇත්තේ පුදුම විසයක් විය යුතුය. නමුත් මට ඒ සමඟම අනුකම්පාවක්ද ඇතිවිය. මේ ජීවිතකාලය පුරාවට කිසිම ආදරයක් නොලද මහළු විය හෝ මැදිවිය තනිව ගත කරන ගැහැණු විය යුතුය. බටහිර රටවල එවන් ගැහැණු සුලබය. බටහිර වියපත් බඹරෝ මේ ගැහැණු වෙනුවට නෑඹුල් තරුණ මල් සොයා යති. එනිසා මොවුන් ගැන බලන්ට කෙනෙක් නැත. ඔවුන්ට අවශ්‍ය වයස මොක වුණත් පිරිමි පරාණයකි. අපේ කොල්ලන්ට මෙහි එන්ට විදියක් හොයා දෙන්ට පුළුවන් නම් මට ඊළඟ ඡන්දයත් නිසැකවම දිනිය හැකි වනු ඇත්තේය.

අංජලී තනපට ඉවත් කොට topless අව්ව තැප්පද මොනම හෝ අවස්ථාවක, ඇඳුම් මාරු කරද්දී පවා නිරුවත් නොවන්ට මම පරිස්සම් වීමි. එසේම මගේ උකුසු ඇස් ever vigilant පැවතියේ වැරදිලාවත් මා දන්නා අඳුනන කෙනෙක් – විශේෂයෙන්ම ලාංකිකයකු – මෙහි වේද නොදත් හෙයිනි. වාසනාවකට එවැනි අබග්ගයක් වූයේ නොවේ.

මගේ අවසාන දොම්නස වූයේ, හිර ඇඳුමින් නිදහස් වූ හා  මුහුදු වතුරින් මේකප් සේදී ගිය අංජලී මා සිතූ තරම් තරුණ හෝ රූමත් නොවන බවට වූ අවබෝධයයි. ඇයට වයස 26-28ක්ය මම සිතමි. එසේම ඇය සැබැවින්ම නීති ශිෂ්‍යාවක්ද යන්න මම සැක කරමි. එහෙත් ඇය මට බොරුවක් කීවේ මන්ද?

.

.

(ඉවසන්න………………සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

33 Comments

  1. misterhydetheotherhalf

     /  September 12, 2012

    එක්ස්කියුස් මී ලේඛකයා, එතකොට ජනාධිපති මැඩම්ද, ප්‍රෙමදාසද, ඩීබී ද

    Reply
    • මැඩම්. එයා අවුරුදු විසි ගාණනක් අල්ලගෙන හිටියා. මේ මුල හරියේ.

      – ලේඛක

      Reply
      • තව අවුරුදු දෙක තුනකින් මේ පැත්තේ විශ්වයේ අයටත් කියන්න පුළුවන් රනිලුත් අවුරුද්දු විසි ගාණක් අල්ලන් හිටියා විපක්ෂ නායක විදියට කියලා….හැබැයි ඔය විදියටම තව අවුරුද්දු7ක් 8ක් අල්ලන් හිටියොත් ජනධිපති ධුරයට පත් වෙන්නත් බැරි නැහැ.

  2. ~Kasun~

     /  September 12, 2012

    මන් හිතන්නේ ලෝකෙ ජරාම එයා ලයින් එක පිලිපීන් එයාලයින්. දෙක ශ්‍රී ලන්කන් එයා ලයින්. ශ්‍රී ලන්කන් අප්සට් වෙන්න හේතුව ඒකෙ ඉන්න ලංකාවේ එයා හොස්ටස්ල. මගියන්ට ගරුසරු ඇතුව කතා කරන්න කෘතිමව හරි හිනාවකින් සංග්‍රහ කරන්න මේ අයට බැහැ.

    හැමතිස්සෙම වීරයට රූමත් කාන්තාවක් එක්ක යහන්ගතවෙන්න අවස්තාවක් ලබාදෙන විදිහට ලිව්වම මේකෙ තාත්වික බව නැතිවෙනවා වගේ. හරියට ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක ස්ටෝරියක් වගේ.. මන් විශ්වාස කරන විදිහට පැය කීපයකින් කාන්තාවක් සමග යහන්ගතවෙන්න පුළුවන් පුතෙක් ලංකාවේ බිහිවෙලා නැහැ.. ලංකාවේ සංස්කෘතියට අනුව එහෙම අය බිහිවෙන්නේ නැහැ.

    Reply
    • /මන් විශ්වාස කරන විදිහට පැය කීපයකින් කාන්තාවක් සමග යහන්ගතවෙන්න පුළුවන් පුතෙක් ලංකාවේ බිහිවෙලා නැහැ.. ලංකාවේ සංස්කෘතියට අනුව එහෙම අය බිහිවෙන්නේ නැහැ./

      හොඳටම විශ්වාසද? 🙂

      අනෙක මේ කතාවෙ වීරයා වික්ටර් නෙවෙයි. 🙂

      – ලේඛක

      Reply
      • කසුන් ට වැරදුන ලොකුම තැන. පැය කීපයකින් නෙමේ පුතේ, පැයකටත් අඩු කාලයකින් අභිසාරිකාවක් නොවන අයත් එක්ක යන්න තරම් දක්ෂ උන් අපේ ඕනෑ තරම්.

    • Vimukthi

       /  September 12, 2012

      /මන් විශ්වාස කරන විදිහට පැය කීපයකින් කාන්තාවක් සමග යහන්ගතවෙන්න පුළුවන් පුතෙක් ලංකාවේ බිහිවෙලා නැහැ.*/

      දෙය්යනේ ඉන්නවා!

      මගේ බැචෙක් හිටියා රස්පුටින්ගෙ මුනුබුරෙක් වගේ එකෙක්. මේ යකා මගෙ බැචා විතරක් නෙවෙයි රූමාත් වෙලා හිටිය. ඒ දවස් වල හිටි හැටියේ මේ යකාගෙන් කෝල්ස් එනවා; “මචන්.. පොඩි සීන් එකක් සෙට් උනා, උඹල වැරදිලාවත් library එහෙම යන්නෙ නෑ නේද කියල” අපිත් ඉතින් ඌට සාප කර කර ඩෙනිමක් එහෙම දා ගන්න අතරෙදි මේකා පාත් වෙනවා මොකෙක් හරි කෙල්ලක් එක්ක. එකියක්ව එක්කන් එන්නේ වැඩිම උනොත් දවස් 4,5ක් විතරයි. අපිත් ඉතින් මූ ආපහු කෝල් එකක් දෙනකම් පාරවල් දිගේ ඔහේ ඇවිද්ගෙන යනවා. මූ දැන් ඉන්නේ UK, මුගේ ක්‍රියා පටිපාටිය අන්තර්ජාතික මට්ටමෙන් කරගෙන යනවලු.

      /*ලංකාවේ සංස්කෘතියට අනුව එහෙම අය බිහිවෙන්නේ නැහැ./

      මූ දවස් දෙකක් උස්සන් ආවා හම්බ වෙච්ච පළවෙනි දවසේ කෑලි. එකියක් අවුරුදු 4ක ලවු එෆෙයාර් එකකින් බැන්ද ගෑනියෙක්. කසුන්, උඹ මුගේ සීන් ඔක්කොම ඇහුවොත් ජීවිතේට බඳින්නෙ නෑ.

      Reply
      • ~Kasun~

         /  September 12, 2012

        @Vimukthi
        “”කසුන්, උඹ මුගේ සීන් ඔක්කොම ඇහුවොත් ජීවිතේට බඳින්නෙ නෑ.””
        ගෑනියෙක් ටෝක් කරලා අල්ලන්න පුළුවන් බව මම පිළිගන්නව. ඒත් පැය කිහිපයකින් යහන් ගත වෙන එකනම් Nympho කෙනෙක් එක්ක ඇර කරන්න පුළුවන් කියල මම පිළිගන්නේ නැහැ. පළවෙනියටම මුණගැහෙන තැන ඉඳන් යහන්ගතවීම දක්වා යන්න පියවරවල් කීපයක් තියෙනවා. සංස්කෘතිය අනුව ඒ පියවරවල් වෙනස්. ලංකාවේ සංස්කෘතියට අනුව ඔය පියවරවල් ටික පන්නන එක පැය කීපයකින් කරන්න පුළුවන් කියන එකනම් සිද්ධවෙන්න අමරුයි.

      • Vimukthi

         /  September 12, 2012

        /ලංකාවේ සංස්කෘතියට අනුව ඔය පියවරවල් ටික පන්නන එක පැය කීපයකින් කරන්න පුළුවන් කියන එකනම් සිද්ධවෙන්න අමරුයි./

        සංස්කෘතිය කියන්නේ සදාකාලිකව වෙනස් නොවී තියෙන දෙයක් නෙවෙයි. අපි ඉස්කෝලෙ, කැම්පස් යනකාලෙටත් වැඩිය දැන් ඔය සංස්කෘතිය වෙනස් වෙලා. මම ඉස්සෙල්ල කිව්ව යාලුවගෙ හුටපටයි, තව සිද්ධි දෙක තුනකුයි ඇස් පනාපිට නොදකින්න මමත් ඉන්නෙ කසුන්ගෙ අදහස කිට්ටුවම වෙන්න තිබුන. මෙතන තියෙන සීන් එක තමයි කටුක සත්‍යට මුහුන දෙනවට වඩා “එන්ගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ” කියල අවුරුදු 2500ක සභ්‍යත්ව ෆැන්ටසියක ඉන්න එක හරි ආතල් වැඩක් වීම.

    • Gayan

       /  September 12, 2012

      මචන් මම කුරුණෑගල ඉදල වරියපොලට එන ටිකට එකක් අරගෙන බැස්ස

      Reply
    • හුඟ දෙනෙක් ලංකාවෙ සංස්කෘතිය කියලා හිතන් ඉන්නේ තමන්ගේ ඔලුවල තියෙන මහ අමුතු වික්ටෝරියානු සංස්කෘතියකට. ලංකා ඉතිහාසයේ කවමදාකවත් තිබිලා නැහැ ඔය කියන සදාචාර සංස්කෘතියක්. අඩුම තරමේ සිංහල ජාතිය ගැන කියවෙන මිත්‍යා කතාවලවත් නැහැ. සිංහබාහු විවාහ වෙන්නේ ස්ංහ සීවලි, තමන්ගේ සහෝදරී එක්ක.

      Reply
      • මෙහෙම දෙයක් තියෙනවා. වික්ටෝරියා රැජන කියන්නෙ අවුරුදු දෙදහස් පන්සීයක ලිඛිත ලංකා ඉතිහාසයේ පණ්ඩුකාභය හැරුණු විට දීර්ඝම කාලයක් අප පාලනය කළ රාජ්‍යත්වය. අපි සාමාන්‍යයෙන් දීර්ඝ රාජ්‍ය කාල කියන්නෙ වසර 20 වගේ ඒවා. නමුත් වික්ටෝරියා රැජන වසර 64ක් අප පාලනය කළා දේශපාලනිකව හා අර්ධ සංස්කෘතිකව. එසේම අපේ සමාජය වැඩවසම් යුගයේ සිට නූතනත්වයට පා තැබුවේ මේ කාලයෙදි. එනිසා:

        1. වික්ටෝරියා රැජනගේ සමයෙන් අප ලැබූ දෙයක් කෙළින්ම ‘අපේ නෙවෙයි’ කියන්න බැහැ.

        2. ඒ වගේ දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කළ දේවල් එක පාරටම නැති වෙන්නේ නැහැ.

        3. වික්ටෝරියා බලපෑම අපේ රටට විතරක් නෙවෙයි දකුණු ආසියාවටම පොදුයි. එදා ඒක අධිරාජ්‍යයේ පොදු සංස්කෘතිය.

        4. ඉන්දියානු අර්ධද්වීපය යටත් විජිතයක්ව තිබීම පවා වික්ටෝරියානු සංස්කෘතියට බලපෑවා. කොටින්ම අධිරාජ්‍යය ගැන කතා නොකර වික්ටෝරියානු යුගය ගැන කතා කරන්න බැහැ.

        වික්ටෝරියා යුගයෙන් ලද දේවල් ‘අපේ නෙවෙයි’ කියන කොට අප පොඩ්ඩක් ලුණු එක්ක ගන්න ඕනැ ඒ නිසා.

        – ලේඛක

    • ……..මිස නොලැබෙන බැවින….

      Reply
  3. ජූනී 1 – 2002 – සඳුදා

    ඉතින් කොටින්ට අපේ උන්ට ගේම දෙන එක කජ්ජක්ද. වහාම මෙම වාර්ථාව බුද්ධි අංශයට ඉදිරිපත් කළ යුතු බවත්, නියෝජ්‍ය ඇමතිතුමා වෙනුවෙන් ලිපිගොනුවක් ආරම්බ කල යුතු බවත්, මින් පසු මැති ඇමතිවරුන්ගේ දේශීය හා විදේශීය ගමන් පිලිබඳ මීට වඩා සැකලිකිමත් වන ලෙසත් කළු බලලුන් වොනෝදයට ඇති කරන ලෝරන්ස් මහතා වෙත දැණුම් දෙන ලදි.

    ප්‍රබාකරන්ටද තමන්ගේ බුද්ධී අංශය ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස ජයලත් මාර්ගයෙන් දන්වා සිටියෙමි.

    හොඳ වෙලාවට ගෑනුන්ටත් කැමති එකෙක් මගේ ලයික් ලිස්ට් එකේ උන්නේ. ඌත් එක්ක වික්ටර් මේ කතාව නොකීවනම්. මම මුකුත් දන්නේ නෑනේ.

    (උපුටා ගැනීම – රනිල් වික්‍රමසිංහගේ දින පොත.)

    Reply
    • මාතලන් නරකද නිර්මාණයක් කරන්න හිතුවොත්? හැමෝම ලියනවා වගේ කෙටි කතා නෙවෙයි. ටිකක් සීරියස් වැඩක්. අළුත් දෙයක්.

      – ලේඛක

      Reply
      • සිරාවටම. ඒ යෝජනවා මං ඉස්ථීර කරමි..!
        මාතලන් දේවල් දිහා බලන විදිහ සිරා.

      • ලේඛකයාට හා මාලන්ට බොහොම ස්තූතියි.
        කවද හරි ලියනවා.

      • @මාතලන්,

        බ්ලොග් එකක් ලියන කොට මුලින්ම හිත ඇදිලා යන්නෙ හිට්ස් කමෙන්ට්ස් වලට. හිට්ස් කමෙන්ට්ස් බලාගෙනම ලියනවා නම් සීරියස් දෙයක් කරන්න අමාරුයි. නමුත් තව අවුරුදු දහයකින් හැරිලා බලනකොට ඔය හිට්ස් කමෙන්ට්ස් වල ලොකු වැදගත්කමක් නෑ. ඊට වඩා වැදගත් මා මේ දේවල් කළ නේද කියන හැඟීම. ඒ ලයින් එක දිගේ හිතන්න. නෙට් එකේ නිර්මාණයක් කරනවා කියන්නෙ අමාරු අභියෝගයක්. හරියට සෙනඟ නොඑන බව දැන දැන කලාත්මක ෆිල්ම් එකක් කරනවා වගේමයි.

    • Chathura

       /  September 12, 2012

      අන්ජලීට hidden agenda එකක් තියෙන්න බැරිද? (පුදුමයි මාතලන්ට එහෙම නොහිතුනා).

      Reply
      • බොහෝම ස්තූතියි ලේඛකයා අවවාදයට. ඒත් මම සම්භාව්‍ය කළාව කියන දෙයටත් ජනප්‍රිය කළාව කියන දෙයටත් කෝකටත් කැමතියි. උදාහරනයකට මම ඔබේ මේ අඩවිය වගේම පොඩි මෑන් ගේ අඩවියත් එකසේ රස විඳිනවා තොදොල් පල්හෑලී නිසදැස් ඇර. මට නම් කළාවේ ප්‍රභේධයක් නෑ…

  4. කුංචා

     /  September 12, 2012

    අනේ ඇයි මාමේ එයාටෙල් එකට විකිනුනේ ?

    Reply
  5. මාලක සිල්වා

     /  September 12, 2012

    අනේ නොදන්න ඉලව් නොලියා හිටපන් බං. මෙල්බන් වල නියුඩ් බීචස් නෑ. ඕස්ට්‍රේලියාව කියන්නෙ ඇමෙරිකාව නෙවෙයි.

    Reply
    • අළුතෙන් කියවන්න ආපු කෙනෙක් වෙන්නැති. පව්.

      Reply
      • මාලක සිල්වා

         /  September 12, 2012

        මොකද මේ මලිත්ට ගහන කොට චංචලා අඬන්නේ? 🙂 🙂 🙂

      • “”මෙල්බන් වල නියුඩ් බීචස් නෑ. ඕස්ට්‍රේලියාව කියන්නෙ ඇමෙරිකාව නෙවෙයි.””
        meanwhile in a parallel universe……. 🙂

      • There are four nudist beaches near Melbourne that are said to draw special group of bathers. Campbell’s Cove, Southside, Sunnyside North and Point Impossible are all legal nude and clothing optional beaches. Anyone who doesn’t like the strap marks can go to these places since these beaches allow nude sunbathing.

        http://www.australiablog.com/featured-articles/nude-beaches-near-melbourne.html

      • /meanwhile in a parallel universe……. :)/

        Though I can use this excuse for almost anything, I prefer to use it only as a last resort.

        – The Writer

      • පැරලල් යුනිවර්ස් එකේ සිඩ්නි සහ හෝබාර්ට් ඉන්න අය ගැන මට නං දුකයි!
        පව්! ඒ ගොල්ලෝත් හෙරල්ඩ් සන් නේ කියවන්නේ?

        ඇයි ඩේලි ටෙලිග්‍රාෆ් සහ ද මර්කරි වැහිලා ගිහිල්ලාද?

  6. Kenji @ Japan

     /  September 12, 2012

    මැඩම් සහ සනාබෝය් ව [SG ] මුණගැහිලා නැද්ද සමනලය පියසලනවිට.ඒ කාලයේ නම් තුවාය ඇදගෙන ,පෙම් රැගුම් රගන හැටි දැක්ක ගේ [not GAY] කුරුල්ලොනම් හිටිය මතකයි.

    Reply
  7. DDT

     /  September 12, 2012

    සමාන්තර විශ්වයෙ ඉන්න රනිල්ව මෙහේ ඉන්න ලේඛකයට වැඩිය රුස්සන්නෙ නෑ වගේ. 😀 😀

    හාබෑවටම වික්ටර්ට කෙලවෙන්නෙ බලාගෙන ගියාම එයාගෙම වරදින්නේ.

    Reply
  8. අංජන

     /  September 13, 2012

    මෙතන අංජලී set වෙන එක වික්ටර් ඇනගන්න පටන්ගන්න තැන කියල මට හිතෙන්නෙ ඇයි.

    Reply
  9. prabath

     /  October 2, 2012

    භද්‍රජි මහින්ද ජයතිලගේ දිවයිනේ කතාව මතක තිබුන තුන්වෙනියා උඹ. දෙක අරුණි ශපිරෝ. අපි වයසක වෙලා වගේ හිතට දැනෙනවා…
    ඇමරිකාවේ ඉඳලත් ඔයින් එකකට යන්න බැරිවුනානේ.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: