(22) දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි || The days of wolves

  • කාලය: 1988, සමාන්තර විශ්වය
  • ස්ථානය: ලංකාව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

අපේ රටේ ආණ්ඩු දෙකකි. මහ ආණ්ඩුව හා පුංචි ආණ්ඩුවය. මීට අමතරව මහ ජනතාව උපහාසයට කියන්නේ තුන්වැනි ආණ්ඩුවකුත් ඇති බවයි. ඒ සියඹලාණ්ඩුවය.

සියඹලාණ්ඩුව කෙසේ වෙතත් අනෙක් ආණ්ඩු දෙකම නම් තියෙන බව අපට හොඳින්ම දැනේ. ඒ ඒ දෙකෙන් මාරුවෙන් මාරුවට සතියට දවස් දෙක තුනක් ඇඳිරි නීතිය පැනැවීම නිසාය. කිසිම විටෙක මේ ආණ්ඩු දෙකම එක දවසේ ඇඳිරි නීතිය නොපණවයි. මන්ද මේ ඇඳිරි නීතිය පැනැවීම තම තමන්ගේ බලය ප්‍රකාශ කිරීමක් වන නිසාය. එක ආණ්ඩුවක ඇඳිරි නීතිය දවස ඒ නිසා අනිවාර්යයෙන්ම අනෙක් ආණ්ඩුවේ වැඩ කරන දවසක් බවට පත්වේ.

මහ ආණ්ඩුවේ ඇඳිරි නීතිය මිනිස්සු දණින් ඉහළට නොගනිති. උදේ පාන්දරට ටිකක් පාරවල් හිස් වෙනවා විතරය. කඩ වසා තියේ. නමුත් නවය දහය වෙද්දී මිනිස්සු පාරට එති. කඩද එකින් එක විවෘත වේ. මුලින්ම බඩු දෙන්නේ පස්සා දොරින්ය. ඉන්පසු ඉදිරියේ එක දොර පළුවක් විවෘත කර ගෙනය. ඉර මුදුන් වෙද්දී තත්ත්වය සාමාන්‍ය අතට හැරේ. කඩ ඔක්කෝම ඇරළාය. මිනිස්සු එක්කෝ පන් මළු රැගෙන කඩේ යති. නැත්නම් පාරට වී ජේ. ආර්.ට බනිති. ඉස්කෝලේ නොගිය කොල්ලෝ පාර බදු ගෙන ක්‍රිකට් ගසති. වාහනයක් ඉඳහිට යයි. ලංගම බස්ද දුවයි. ටිකක් වෙලා බලා හිඳ ප්‍රයිවෙට් බස් කාරයෝද ගමන පටන් ගනිති. රජයේ කාර්යාල බැංකු හෙමත් පැයකට දෙකකට හෝ ඇරෙයි.

“බඩගින්නට ඇඳිරි නීති දාන්න පුළුවනෑ” මිනිස්සු එකිනෙකාට කියා ගනිති.

පුංචි ආණ්ඩුවේ ඇඳිරි නීතිය මීට වෙනස්ය. පුංචි ආණ්ඩුව ඇඳිරි නීතිය දැමූ දවසට මිනිස්සු බඩගින්නටද ඇඳිරි නීතිය දමති.

ඒ දිනවලට කළ හැකි එකම කාර්යය නිවෙසට වී බඩගින්නේ හෝ රූපවාහිනිය නැරැඹීමය. නැති නම් බබා හම්බ වෙයි. “දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි.” මේ කට කහනවාට කියන කතාවක් නොවේ. සමහරවිට දඬුවම මරණයෙන්ද නොනවතියි. ‘දේශද්‍රෝහියකුගේ’ මිනිය කරින් ගෙනයාම තහනම්ය. අදාළ පුද්ගලයා සමාජයේ මොනතරම් ප්‍රභූවරයකු වුවද මිනී පෙට්ටිය ඔසවාගෙන යා යුත්තේ මරණ දණ්ඩනයට නියම වූ අපරාධකරුවකුගේ මිනිය සේ දණිස් මට්ටමිනි. එසේ නැතහොත් ‘දේශප්‍රේමීහු’ දඬුවම දෙගුණ කරති. මෙසේ ‘දේශප්‍රේමීන්ගේ’ අණ නොතකා කරින් ගෙන ගිය දේහයන්ට ‘දේශප්‍රේමීන්’ විසින් දඬුවම් දුන් ආකාර ගැන නිරන්තරයෙන් ඔවුන්ගේ බලකඳවුර වූ දකුණින් වාර්තා වේ. එවන් එක් මිනියක් ‘දේශප්‍රේමීන්’ විසින් වල හාරා නැවත ගොඩ ගෙන එළිමහනේ දමා තිබුණේය. එය යළි වළලන්නකුට දඬුවම මරණය බවටද දැන්වීමක් විය. මෙනිසා කිසිවකුත් මේ මිනිය යළි වළ නොලෑවෝය. එය බලු කපුටුවන්ට අහර වී සති මාස ගණනාවක් පරිසරය දුර්ගන්ධවත් කරමින් දිරා ගියේය.

‘දේශප්‍රේමීන්’ මළ කුණු ගඳින් මාර තෘප්තියක් ලබන්නාක් සේ පෙනේ. වරෙක ඔවුහු සතියක පොදු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහ. කර්මාන්තශාලා, කාර්යාල, ගමනාගමනය පමණක් නොව රෝහල්ද මේ සතිය තුළ වැඩ නොකළේය. (මෙය සේවකයින් ස්වේච්ඡාවෙන් වැඩ වැරීමක් සේ වරදවා වටහා නොගත යුතුය. එය බලෙන් වැඩ වරවා ගැන්මකි. වැඩ කිරීමට දඬුවම වූයේ, කෲර ලෙස – සමහරවිට කුඩා දරුවන්ද ඇතුළු පවුලේ සාමාජිකයින් ඉදිරිපස දීම – අමු අමුවේ ඝාතනය කිරීමය.) රෝහල් වල මෝචරි වල පවා සේවකයෝ නොවූහ. මළ මිනී ඔහේ දිරා ගියේය. කොළඹ මහ ඉස්පිරිතාලය කිට්ටු වෙන්ට බැරි තරමට ගඳ ගැසුවේය.

මේ දශකයකට පමණ ඉහත යාපනයේදී මා අත්විඳි සිද්ධීන්ටත් දරුණු ඒවාය.

මා ‘දේශප්‍රේමීන්’ කියන යෙදුම භාවිතා කළේ මේ අමනයන්ට ඇති ඊනියා ‘දේශප්‍රේමයක්’ නිසා නොවේ. ඔවුන් මේ වචනයේ තේරුම වත් නොදන්නවා විය හැකිය. ‘දේශප්‍රේමීන්’ ලෙස තමන් හඳුන්නා ගත්තෝ ඔවුහුමය. ඔවුන්ගේ ‘ව්‍යාපාරය’ ජනතා විමුක්ති පෙරමුණ නොව ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි’. එහි නායකයා රෝහණ විජේවීර නොවේ. කීර්ති විජේබාහුය. ඉරිදා ලංකාදීපයට රෝහණ විජේවීර විසින් ලබාදුන් චිර ප්‍රසිද්ධ සාකච්ඡාවේදී ඔහු දිගින් දිගටම කීවේ කීර්ති විජේබාහු යනු කවරෙක්ද තමන් නොදන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කල්ලියක් නොවන බවත්ය. මේවා විශ්වාස කරන්ට කොණ්ඩේ බැඳපු චීනුන් එදත් නොසිටියේය සිතමි.

නායකතුමාට නම් සිදුවෙමින් පවතින දේ ගැන ඌරු ජුවල් ගොස් ඇති බව පෙණුනේ ඔහු ප්‍රසිද්ධියේ කතා කරන්ට ගොස් වචනද වරද්දා ගත් හෙයිනි.

“…බණ්ඩරනායක මැතිනි මේ ඔක්කොම නායකයො ටික හිර ගත කොරලයි තිබුණේ. රොහාන් විජේවීරයි (sic), ලොකු අතුලයි පුංචි අතුලයි (sic) හැමෝම. මං ඇවිල්ලා තමයි නිදහස් කොරාන්ට කටයුතු කොළේ. මටත් උපදෙස් ලැබුණා නිදහස් කොරාන්ට එපාය කියල. මුරුගයෝ සර්, අන්න එහෙමයි මට කිව්වෙ. මුරුගයෝ සර්, මුංව නිදහස් කොරාන්ට එපා කිව්වා. ඒ වුණත් මම නිදහස් කොරාන්ට කටයුතු කළා. දැන් එනවා ගල්කට්ට (sic) අරන් මටම උළුක් කොරලා වෙඩි තියන්ට…”

(ලොක්කා ‘ගල්කට්ට’ කීවේ ‘ගල්කටස් එකටයි. ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ප්‍රාථමික මට්ටමේ තුවක්කු වලට එවක ප්‍රචලිත නාමයයි ඒ.)

පුංචි ආණ්ඩුව සම්බන්ධව මගේ අත්දැකීම් බොහෝය. මින් සමහරක් එකල විසූ හැමෙකෙකුටම පොදු ඒවාය. සමහරක් පාලක එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයකු ලෙස මටම විශේෂ ඒවාය.

සමහර අත්දැකීම් හාස්‍යජනකය. එහෙත් ඒ හාස්‍යයට යටින් කියැවෙන්නේ පොදු ජනතාවට වෘකයින් දෙදෙනකුට මැදි වූ මුව පොව්වකු වෙන්ට සිදුවූ  මේ යුගය  පිළිබඳ කටුක අන්දරයයි.

1988 හෝ තදාසන්න කාලයක කොළඹ සිට මහනුවරට ගමන් ගත් ජපන් වැසියකු නිවෙස් ගණනෙකම තම රටේ ධජය ලෙලදෙනු දැකීමෙන් විස්මය පත්වන්ට ඉඩ තිබුණේය. මේට පාදක වූ සිද්ධිය මෙසේය: රජය විසින් ජවිපෙ ප්‍රබලයකු මරා දමන ලද්දේය.  (මතක හැටියට ශාන්ත බණ්ඩාර – ඔව්, රාජගිරියේ ආයුර්වේද ශිෂ්‍ය නිවහනක් පසු සමයෙක අනවසරයෙන් නම් වූයේ ඔහුගේ නමිනි.) තම නායකයාගේ මිනිය මහනුවර නිවෙසට රැගෙන යන දින පාර දෙපස හැම ගෙදරක්ම රතු හා සුදු කොඩි වලින් සරසා ගන්ට ‘දේශප්‍රේමීන්’ට ඕනෑ විය. මෙය ඉටු කර ගන්නා ලද්දේ ඒ වන විට ප්‍රචලිත වූ සාමාන්‍ය ක්‍රමයටය.

“කොඩි නොදමන දේශ ද්‍රෝහීන්ට මරණය”

කවර හෝ හේතුවක් නිසා හමුදාවද මෙහිදී තදින් සිට රතු / සුදු කොඩි දමන්නන්ට බකට් එක පෙරළන්ට පටන් ගත්තේය. ගිරයට අසුවුණු පුවක මෙන් වූ අහිංසක මිනිස්සු වඩා නිර්මාණශීලී උපායක් තෝරාගත්හ. ඒ නිවෙස්වල ජපානයේ ජාතික ධජය ප්‍රදර්ශනය කිරීමය. එයද රතු හා සුදු පැහැයෙන් යුක්තය. එසේම මිතුරු රටක ජාතික ධජය ප්‍රදර්ශනය කළේය කියා කාටවත් නඩු දැමිය නොහැකිය. එනිසා දෙපාර්ශ්වයෙන්ම ගැලැවිය හැක්කේය.මෙසේම ජවිපෙ ඉන්දියන් භාණ්ඩ තහනම් කළ අවස්ථාවක “xx-xx-1988 දිනට පෙර මිළට ගත් බස් රථයකි” කියා දැන්වීම ගැසූ TATA බස් රථ මහා මාර්ගයේ දකින්ට ලැබුණේය. මේ සම්‍යප්‍රයෝගයන්ය

පුංචි ආණ්ඩුවේ බලවතා වන රෝහණ විජේවීර සහෝදරයා මේ දිනයන්හි නිතර FM තරංග මාලා ඔස්සේ ‘ජනතාව’ අමතයි. ඔහු එක තරංග මාලවෙක වැඩි දිනක් නොසිටියි. එසේම මේ කථා අපැහැදිළිය. අසාගත හැක්කේ කණ රෝඩියෝ එකට ළං කිරීමෙන් පමණෙකි. ‘දේශ ද්‍රෝහීන්’ පනස් දෙනකුගේ ලැයිස්තුවක් ගැන විජේවීර සහෝදරයා නිතර කථා කළේය. ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතු බවද කියැවිණි. කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි, විජය කුමාරතුංග ඇතුළු මේ ලැයිස්තුවේ කිහිපදෙනකුට ‘දඬුවම්’ ලැබුණු බවද පෙණුනේය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා “විජයගේ ලස්සන මුහුණ කැත මුහුණක් ඇත්තකු විසින් ඊර්ෂ්‍යා සහගතව විනාශ කළා” ය කියා පින්ලන්තයට පැණ ගියේය.

පුංචි ආණ්ඩුව ඇඳිරි නීතිය දැමූ දවසක මම අත්‍යාවශ්‍ය කටයුත්තකට දෙල්කඳ සිට කොළඹට යමින් සිටියෙමි. පොදු වාහන කිසිවක් නැති නිසාත් පෞද්ගලික වාහනයකින් යෑම අන්තරායකට අත වැනීමක් නිසාත් මේ කිලෝ මීටර විසි ගණනෙක ගමන මා ගමන් කළේ පයිනි. කිලිටි කමිසයක් හා සරමක් ඇඳගෙන සෙරෙප්පු පවා නැතිවය. පුංචි ආණ්ඩුවේ ඇඳිරි නීතිය දිනවලට සමහරුන් රස්සාවට යන්නේත් මෙහෙමය. සම්පත් බැංකුවේ සේවය කරන මගේ මිතුරෙක් මේ විදියට රැකියාවට ගොස්, කොළඹ කොටුවෙන් කමිසයක් මිළට ගෙන එය ඇඳගෙන, (රටේ අන් කොතැනකට දැම්මත්, කොළඹ කොටුවට ඇඳිරි නීතිය දාන්ට තරම් පුංචි ආණ්ඩුව තවම බලවත් නොවේ) ටයි පටියකුත් පැළඳ, සරම පිටින්, සෙරෙප්පුවක් වත් නැතිව දවසම වැඩ කළේය.

හයිලෙවල් පාරම හිස්ය. චලනය වන වාහනයක් බේතකටවත් දකින්ට නැත. පාර දෙපැත්තේ නතර කර ඇති වාහන වලද (හදිසියේවත් කවර හෝ පාර්ශ්වයක් විසින් ගෙන යතැයි බියෙන්) එක රෝදයක් හෝ ගලවලාය. සම්පූර්ණ මහා මාර්ගයේම අයිතිකරුවා මා වැන්න.

ගම්සභා හන්දිය කිට්ටුවට යන විට නුගේගොඩ සිට වෑන් එකක් සෙනඟ පුරවා එනු පෙණුනේය. පුංචි ආණ්ඩුවේ ඇඳිරි නීති දිනවල කිසිම ප්‍රවාහණ සේවාවක් පැවැත්වීම සපුරා තහනම්ය. එසේ කරන්නට දඬුවම – ‘දේශප්‍රේමීන් දැන සිටි එකම දඬුවම වූ – කටුක මරණයයි. එහෙත් අවදානමක් ගනු රිස්සෝ, මේ හොද්ද බොරවන දිනයකැයි දැන කවර හෝ වාහනයක සෙනඟ අදිති. එය එක්තරා අන්දමක සේවයකි. එසේම බිස්නස් එකද නරකම නැත. පයින් යාගත නොහැක්කෝ ඉල්ලන ගාණක් දී මෙවැනි තාවකාලික බස් රථයන්හි ගමන් කරති.

නමුත් එදින නම් වැඩ වැරදුණු සෙයක්ය පෙණුනේ. හිටි හැටියේ බස් එක (වෑන් එක) පාර මැද නතර කරන ලද්දේය. රියැදුරු හා කොන්දොස්තර බයාදු ලෙස බැස ගත්හ. ඉන්පසු මඟියෝද එකා දෙන්නා බැස ගත්තෝය. ඔවුනතර යම් යම් අන්තර්ක්‍රියා ඇතිවනු පෙණුනු මුත් මා සිටියේ ඈතින් නිසා සිදුවන්නේ කුමක්ද හරියටම කිව නොහැකි විය.

ඉන්පසු එකපාරටම වෑන් එක සවිමත් අත් කිහිපයකින් අනෙක් අතට පෙරළා දමන ලදී. ඉන් මොහොතකට පෙර එහි ගමන් ගත් මගියෝම ඊට ගල් මුල් වලින් දමා ගසා වීදුරු කුඩු කළහ. රියදුරා හා කොන්දෝස්තර ඉවතට ඇවිද ගිය අතර කිසිවකු ඔවුන් ගැන උනන්දුවක් දක්වනුද නොපෙණිනි. මොහොතෙකින් මඟියෝ වෑන් රථය ගිනි තැබුවෝය. එය ගිනි දළු වලින් වැසී යද්දී ඔවුහු නුගේගොඩ මහරගම දෙසට පයින්ම ගමන් කරන්ට පටන් ගත්හ.

‘දේශ ද්‍රෝහියාට’ දඬුවම ලැබී තියේ.

මා සසල කළේ මේ සිද්ධියම නොවේ. තුවක්කුකරුවකු පැමිණ අණදී මිනිසුන් මේ වෑන් රථය ගිනි තැබුවා නම් මම විස්මය පත් නොවෙමි. නමුත් මට එවැනි කිසිම අණ දෙන්නකු නොපෙණුනේය. එවැන්නකු හෝ දෙදෙනකු සිටින්ට ඇති බවට සැක නැති මුත් සියල්ල බලා සිටියකුට පෙණුනේ මිනිසුන් සිය කැමැත්තෙන් මේ කාර්යය කළ බවය.

මගේ ඇඟද සීතල වී ගියේය. ඉදින් මෙතැන මා ද ‘දේශ ද්‍රෝහියකු’ සේ නම් කළේ නම් මේ මිනිසුන්ම අවම උත්තේජයකින් මාද මෙසේම ගිනිබත් කරනු ඇත්තේය. ඉන්පසු ඔවුන් කිසිවක් නොසිදුවුනාක් සේ තමන්ගේ ගමන යනු යනවා විය හැකිය. ඔවුන් මා ගිනි බත් කරනු ඇත්තේ මා සමඟ තරහකට හෝ ගනුදෙනුවක් විසඳා ගන්ට නොවේ. මේ චණ්ඩියකු ඉදිරියේ බෙලහීන අහිංසක මිනිසුන් හැසිරෙන සාමාන්‍ය ආකාරයයි. රෝහණ විජේවීරගේ අණින් ඔවුන් තම දෙමාපියන් වුව කෲර ලෙස මරා දමනු ඇත්තේය. මෙවන් සිදුවීමක් භීතිය ජනනය නොකරන්නේ නම් වෙන කවරක්ද එසේ කරනුයේ?

මම පේරාදෙණියේදී රෝහණ වීරසූරිය මරා දැමූ දිනටත් වඩා තියුණු ආත්මානුකම්පාවෙකින් පෙළෙමි.

කුඩා තුණ්ඩු කැබැල්ලකට මේ කාලයේ ලැබුණු බලය විස්මය සහගතය. “අද ඇඳිරි නීතිය. අවනත නොවන්නන්ට මරණය” ය ලියූ තුණ්ඩු කැබැල්ලකින් කම්හලක් කොයිතරම් වැඩ රාජකාරි තිබුණද වසා දැමිය හැකිය. අපේ දෙහිවල මුද්‍රණාලයද මෙසේ දවස් ගණනක් වසන්ට වූයේය. පසුව අපි මෙසේ වසන දවස් වලට පඩි නොගෙවීමේ ප්‍රතිපත්තියක් ඇතිකර ගතිමු. තරමක හෝ වැඩක් කර ගන්ට පුළුවන් වූයේ ඉන් පසුය.

‘දේශප්‍රේමීන්’ ගේ ක්‍රියාකාරකම් ගැන අප අසන්නේද ඉන් පෙර කවදා හෝ නොඇසූ කතාය.

දකුණේ මුදලාලි කෙනකුගෙන් ‘දේශප්‍රේමීහු’ රුපියල් විසිපන්දහසක කප්පමක් ඉල්ලූහ. මුදලාලි අත එපමණ මුදල් නොතිබුණු නිසා ඔහු එය දෙන්ට කල් ඉල්ලා සිටියේය. කල් ලැබිණි. මේ අතර කප්පම් ඉල්ලීම ගැන දැන ගත් වෙනත් පුද්ගලයකු ‘දේශප්‍රේමියකු’ සේ පැමිණ රඟපා මුළු මුදලම ගෙන ගියේය.

‘දේශප්‍රේමීන්’ කප්පම එකතු කරන්ට එද්දී මේ සොරකම වී අවසානය. මුලදී ඔවුහු මුදලාලිගේ කතාව විශ්වාස නොකළහ. නමුත් මුදලාලි බිම වැටී දණ ගසා තමන් නොමරන ලෙස කළ බැගෑපත් ආයාචනය ඇසූ ඔවුහු මුදලාලි කියන්නේ ඇත්ත බව තේරුම් ගත්තෝය.

දින කිහිපයකට පසු සවසක මෝටර් බයිසිකලයක පැමිණි පිරිසක් “අපේ මහත්තයා දෙන්ට කීවා” කියමින් මුදලාලිට මල්ලක් දී ගියෝය. මුදලාලි ‘අපේ මහත්තයා’ ‘අපේ මහත්තයා’ කවුදැයි කල්පනා කරමින් මල්ල විවෘත කර බැලුවේය. ඔහුට එක්වණම කෑගැසිණි. මල්ල තුළ වූයේ කප්පම සොරෙන් ගත් පුද්ගලයාගේ හිසය.

මමද ඒ වන විටද ‘දේශ ද්‍රෝහියකු’ සේ ලේබල් ගැසී සිටියෙමි. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකයකු වූ නිසාය. මේ ලේබලය ගැසුණායින් පසු කෙනකුගේ ජීවිතය අවිනිශ්චිතය. මට ගමින් මෑත් වී සිටින්ට සිදුවූයේ ඒ නිසාය. මා ගමේ කරන දේශපාලනය කොළඹ ‘දේශප්‍රේමීන් නොදනිතැයි මම උපකල්පනය කළෙමි. මෙහි මම සාමාන්‍ය ව්‍යාපාරිකයකු මිස පාලක පක්ෂයේ නියෝජිතයක් නොවෙමි. ‘දේශප්‍රේමීන්’ අතර සන්නිවේදනය පිළිබඳ ගැටළුද වූ බව රහසක් නොවීය. (කොටින්ම ධනවත් වතු හිමියකු සේ වෙස් වළාගෙන සිටියදී රෝහණ විජේවීරද,  ඔහු කවුරුන්දැයි නොදන්නා ඒ පළාතේම ගම් මට්ටමේ ‘දේශප්‍රේමීන්’ගේ අඩන්තේට්ටම් වලට නතු වී තිබුණේ ඒනිසාය.) මගේ දිවිය මෙතෙක් රැකී තිබුණේ නම් ඒ මේ සියළු කාරණා නිසාය.

නමුත් හැම එක්සත් ජාතික පාක්ෂිකයකුම එසේ වාසනාවන්ත නොවූයේය. ගම් මට්ටමේ අපේ සංවිධායකයින් විශාල පිරිසක් ‘දේශප්‍රේමීන්’ ගේ තුවක්කුවට ගොදුරුව මිය ගියහ. ඔවුන්ගේ අවමඟුල් සද්ද බද්දයකින් තොරව සිදුවිය. එක අතකට සියල්ලන්ගේම මරණ දේශප්‍රේමීන්ගේ ගිණුමට බැර කිරීම අසාධාරණය. පෞද්ගලික කෝන්තර නිසා සිදුවූ ඝාතනද ඇති තරම් විය. එහෙත් එවක පැවැති වාතාවරණය මත ඒවා වෙන් කර හඳුනා ගැන්ම පහසු නොවූයේය. අනෙක් අතට කවුරු මැරුවත් මේ වාතාවරණය ඇති කරන ලද්දේ ‘දේශප්‍රේමීන්’ නිසා ඔවුන් ඊට යම් පමණෙකට හෝ වග කිව යුතු බවට සැක නැත.

දේශප්‍රේමීන්ගේ ඝාතන අතින් මා වඩාත්ම සසල කළේ මගේ කිට්ටුම හිතවතකු හා දේශපාලන සගයකු වූ ඉන්ද්‍රනාම ගේ මරණයයි. ඇත්තටම මා සෑහෙන කාලයක ආපසු නොයන්ට ගමින් පැණ ගත්තේ ඔහුගේ අවමඟුලෙන් පසුවය.

ඉන්ද්‍රනාම ස්වෝත්සාහයෙන් නැඟී සිටින්ට උත්සාහ කළ සුළු ව්‍යාපාරික තරුණයෙකි. ව්‍යාපාරික කටයුතු නිසා ඔහු විවාහ වූයේද කල වයස පැන්නායින් පසුවය. මියෙන විට පස් වියැති දැරියකගේ පියෙකි. ඉන්ද්‍රනාම කැපුවත් කොළපාට යූ. එන්. පී. කාරයෙකි. මේ ‘දේශප්‍රේමීන්’ විසින් ඔහු ඝාතනය කරන්ට වූ එකම හේතුවයි.

ඉරිදා දවසක බිස්නස් කටයුත්තකට කියමින් නිවෙසට ආ තරුණයින් දෙදෙනා ගැන සැක සිතන්ට ඉන්ද්‍රනාමට හේතුවක් නොවූයේය. එන් එකකු වතුර වීදුරුවක් ඉල්ලූ නිසා ඔහුගේ බිරිඳ එය ගෙනෙන්ට ගෙට ගියාය. සිය පස් වියැති දියණිය ඉදිරිපිටදීම ඉන්ද්‍රනාමට වෙඩි තබන ලද්දේ ඒ අවස්ථාවේදීය.

මගේ පුතා චරිත්ගේ වයස අවුරුදු තුනකි. ඔහු ඉදිරිපසම මට වෙඩි තබන ලද්දේ නම් ඔහු එය කෙසේ දරා ගනු ඇත්තේද? මම ඒ ගැන නොසිතන්ට උත්සාහ ගනිමි.

‘දේශප්‍රේමීහු’ අප කෙතෙක් සංකීර්ණ ජීවිත ගත කරන්නේද නොදනිති. දැන ගත්තද එය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවේ. මා මරා දැමුවොත් අම්මාත් නැති චරිත් ලොව තනිවනු ඇත. මගේ පැවැත්ම මට වෙනත් කෙනකුට වඩා වැදගත් එනිසාය. පුතා චරිත්ට ලොව තනිවන්ට ඉඩ දිය නොහැකිය.

පුදුමය නම් ඔවුන් පමණක් නොව අපේ සමහර නායකයින්ද මේ බව තේරුම් නොගැනීමයි. මා ආසනයෙන් බැහැරව සිටීම ගැන පක්ෂයේ ඉහළ පෙළ නායකයින් තුළ ඇත්තේ අමනාපයකි. එක අතකට එය ඇත්තය. එක්සත් ජාතික පක්ෂයේ කොඳු නාරටිය ගම් මට්ටමේ ශාඛා සංවිධානය. අපේ නායකයින් කරන සියළු වැරදි අතරේද පක්ෂය තවමත් ජනතාව අතර ජීවමාන මේ ගම් මට්ටමේ ශාඛා නිසාය. මේවා බිඳවැටුණු දවසට පක්ෂයක් නොවේ. එසේ වෙතත් අප අපේ ජීවිත ගැනද සැලකිලිමත් විය යුතු වෙයි.

‘දේශප්‍රේමීන්’ට බිය වී ගම හැර පැණ නොගිය මගේ එක් මිතුරකු නම් විජේතුංගය. ඔහු බිය නොවුණා නොවේ. නමුත් වඩා හිඳ සැලසුමක් නිසා ජීවිතය බේරා ගත්තේය.

විජේතුංග මොහොතකටවත් සේවකයින් හෝ ආරක්ෂකයින් හෝ ඒ තබා පොලීසිය වත් විශ්වාස නොකළේය. තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසා ගත යුතුය යන ප්‍රතිපත්තියේ සිටි කෙනෙකි ඔහු. මෙනිසා රාත්‍රී දහයේ සිට උදෑසන හය දක්වා කාලය – මෙහෙකරුවන්, ආරක්ෂකයින් සියළු දෙනා කෙතෙක් අවදියෙන් සිටියද – ඔහු බිරිඳ හා වැඩිවිය පත් පිරිමි දරුවා සමඟ බෙදාගෙන මුර කළේය. තමන් මරන්ට රාත්‍රියේ ආ ‘දේශප්‍රේමීන්’ දෙදෙනකු ගෙන් එකකු ඔහුගේ මුරකාරයින්ට අල්ලා ගන්ට පුළුවන් වූයේ එනිසාය. මේ අල්ලපු ගමේ වයස දහහතක් පමණ ගැටයෙකි. ඔහුගේ පියා මම යන්තමින් දනිමි. කාලයක මේ පවුලම අලියාට ඡන්දය දුන්නෝය. පසුව විරසක වන්ට ඇත. ඔහුගේ පියා නම් අහිංසක පෙදරේරුවෙකි. මව්පියන්ගෙන් දරුවන් මනින්ට බැරිය, විශේෂයෙන්ම මේ කාලයේ.

විජේතුංගගේ අතටම අසුවූ ගැටයාට වූ දේ ගැන අමුතුවෙන් කියන්ට දෙයක් නැත. පොලීසියට භාර දෙන්ට පළමු මේ ගැටයා නිරුවත් කොට ගස් බැඳ, ඉන්පසු පාරේ බිම දමා නහයෙන් කටින් ලේ දමමින් වැඳ වැටී බැගෑපත්ව අනුකම්පාව යදින තුරු පහර දෙන ලද්දේය. දිග කතාවක් කෙටියෙන් කියන්නේ නම් ඔහු පොලීසියට භාර දෙන ලද්දේ සදාකාලික අබ්බගාතයකු හා ලිංගික බෙලහීනයකු කළායින් අනතුරුවය.

මේ සිද්ධිය ගැන මා සසල කළ කාරණා දෙකක් විය. එකක් සාමාන්‍යයෙන් ආගම ධර්මයට ලැදි ‘හොඳ’ මිනිසකු සේ මා දැන සිටි විජේතුංග තම පුතාගේම වයසේ මේ තරුණයාට එවන් කෲර දඬුවමක් දීමය. දෙවැන්න ඒ දඬුවමින් වැඩි කොටසක් දෙන ලද්දේ මේ තරුණයා හා සම වයසේ සිටි විජේතුංග ගේ පුත්‍රයා විසින්ම වීමය.

බොහෝ කාලයකට පසුව, මේ සියල්ලෙහි ගිනි නිවුණායින් පසුව ඒ ගැන මට විජේතුංග සමඟ කතා කරන්ට ලැබුණේය. මේ වන විට කතාවට අදාළ තරුණයා අර්ධ මානසික රෝගියකු හා ආබාධිතයකුව, ඇඳට සීමා වී මහළු හා දුප්පත් දෙමාපියන්ගෙන් යැපෙමින් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කාලකණ්නි ජීවිතයක් ගත කරමින් සිටියේය. (විජේතුංග විසින් පොලීසියට භාර දීමෙන් පසුව ඔහු පොලීසියේදී ලද සැලකිල්ල අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.) නමුත් විජේතුංගගේ කටහඬෙහි දොම්නසක සේයාවක් හෝ නොතිබිණි.

“උඹට පිස්සුද වික්ටර්. ඒ පරයා ආවෙ මාව මරන්ඩ. මං ඌ අල්ල ගත්තෙ නැත්නම් ඌ මාව මරල. උඹ කියන්නෙ මාව මරන්ඩ ආපු බැල්ලිගෙ පුතෙකුට අනුකම්පා කරන්ඩ කියලද? මට දුක එදා ඌ මරන්ඩ බැරි වෙච්චි එක…”

මෙය ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ පෙළ නායකයින් සියල්ලන් තුළ වූ පොදු අදහස ලඝු කිරීමක් විය. එය වඩාත් හොඳින් ප්‍රකාශ කළේ රන්ජන් විජේරත්නය.

“Kill the son of bitch or otherwise he will kill you!”

.

.

(ඉවසන්න……..සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

34 Comments

  1. ඒ දේශප්‍රේමීන් සහ මේ දේශප්‍රේමීන් හැරුනුවිට වෙනත් දේශප්‍රේමීන් සිටිත්ද..?

    ලේඛකතුමා, පොඩි කාරණයක් තියේ දැනගන්න. රිචර්ඩ් ද සොයිසාව [අපේ විශ්වයේදි] මැරුවේ කවුරුන්ද..? [ඔබේ මතකයේ/දැනුමේ හැටියට]. ඔහු ජවිපේට සම්බන්ධද..? සරලව ඉන්ග්‍රීස් වලින් නිවුස් කියපු එලියට් ක්ලෑස් එකේ පොරක්ව මැරුවේ ඇයි..? කවුද..? [හැකිනම් උත්තරයක් දෙන්න දවෙන ප්‍රශ්නයක්]

    Reply
    • මා හරියටම නොදන්නා දේවල් ගැන කතා කරන්න අකැමැතියි. ඔය ප්‍රශ්නය මටත් තිබුණා. හරියට සිංහලවත් කතා කරන්න බැරි, ධනපති පංතියට ශේක්ස්පියර්ගේ නාට්‍ය උගන්වමින් සිටි, ‘විජාතික’ රිචඩ් ද සොයිසා හා ජවිපෙ අතර තිබුණු ලින්ක් එක මොකද්ද? වික්ටර් අයිවන් ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න ගිහින් වරෙක අනාගෙන තියෙනවා මා දුටුවා. මට නම් තවමත් රිචඩ් ජවිපෙට සම්බන්ධය කියනා කාරණාව සැක සහිතයි.

      (මා නොව) වික්ටර් බණ්ඩාර මේ ගැන දන්නා දේවල් සමහරක් ඉස්සරහට එළිවේවි.

      – ලේඛක

      Reply
      • ප්‍රතිචාරයට ස්තූතියි. එහෙනම් වික්ටර්ගෙන්ම කතාව අහගමු.

      • රිචඩ් ද සොයිසා ජේ වී පී එකට සම්බන්ධදැයි කීමට නොදන්නා නමුත් මා සමග එකම ආයතනයේ සේවය කල ඉංග්‍රීසි කතාකරන සාන්ත තෝමස් විද්‍යාලයට ගිය පුභූ පන්තියෙ කොල්ලෙකුත් මීට් ක්‍රියාකාරීව සහයෝගය දෙනු ලැබුවා. එම නිසා රිචඩ් වැනි අයත් නොසිටීයයි කියා සිතීමට අපහසුයි. සමහරුන් පවසන්නේ මෙය පෞද්ගලික සිද්ධියක් බවකුයි. එයට හේතුව ඔබ දන්නවා ඇතයි සිතමි.

      • රිචර්ඩ් ජවිපෙට සම්බන්ධව සිටි අතර . ඔහු මිය යන විට විජේවීරගේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් නැමති පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් සිටියේය.

    • Vishleshakaya

       /  September 15, 2012

      මාලන්
      රිචඩ්ගේ සමරිසි කිට්ටුම මිතුරෙක් වන රජීව විජේසිංහ රිචඩ්ගේ මවගේ මරණයෙන් පසු පොතක් ලිවුවා , ලිමිට්ස් ඔෆ් ලව් , පුලුවන්නන්ම් හොයාගෙන කියවන්න . ඔහුට අනුව රිචඩ් මුලදී ලලිත් ඇතුලත්මුදලි සමග කටයුතු කලත් ( ඔපරේෂන් ලිබරේෂන් එකේදී) පසුව කෙමෙන් රැඩිකල් වී තිබෙනවා. ඊට මුලික හේතුව එවකට රටේ පවතී තත්වයත් , බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් සංවිධානය කරන ලද නාට්‍ය පුහුණු කිරීමේ වැඩමුළුවකදී ක්‍රම විරෝධී වාමවාදී නාට්‍යක් පුහුණු කරන විටදී ඔහුට ඇසුරු කිරීමට ලැබුණු ජ වී පෙ හිතවාදී තරුණ පිරිසකගේ බලපෑම ( රුපවාහිනී නිවේදකයෙකු වන ඔහුට කොක්ක ගැසීමට හිතා මතාම මොවුන් එවන ලද බවට මතයක් තිබෙනවා )
      තවද රිචඩ්ගේ ලඟම මිතුරෙක් සහ ප්‍රසිද්ධ නිවේදක රවී ජෝන් ගෙන් රිචඩ් රුපවාහිනියේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සඳහා උදව් ඉල්ලා තිබෙනවා . ඉතා විශ්මයට පත් රවී එය තදින්ම ප්‍රතික්ෂේප කරලා . තවද රෝහණ විජේවීරගේ දේශනා /ප්‍රකාශන ඉංග්‍රීසියට නැගුවේ රිචඩ් බවත් පැවසෙනවා . මේ බව නිරීක්ෂණය කල රන්ජන් විජේරත්න රිචඩ් අයිති පැලැන්තියට අනතුරු ඇඟවීමක් ලෙස රිචඩ් ඝාතනය කිරීමේ නියෝගය දුන් බවය් රජීව් ගේ පිතේ හඟවන්නේ . විශේෂයෙන් කොළඹ 7 සුපිරි පැලැන්තියේ අයෙක් මෙලෙස ජ වී පෙ ට සහයෝගය දැක්වීම රන්ජන්ගේ කෝපයට හේතුවී තිබෙනවා

      Reply
      • පොතනම් කියවා නැහැ. ඒත් ඔබ කිව් කරුණු අනුව ඉහළ පැලැන්තියේ [සම්මත් වි‍යවහාරයෙන්] කොටස් ජවිපෙට එක්වීම වැළැක්වීම රන්ජන්ගේ අරමුණ වෙන්න ඇති. hmmmm…

  2. අද කථාව නිකං වික්ටර්ත් වෙන කාගෙන්ද අහගත්ත කථාවක් කියනවා වාගේ….

    හැබැයි 88 දී දැවැන්ත භිෂණයකට මුණ දුන්න දකුණ අවුරුද්දු 5 ක් යන්නත් කලිං 93 ජුලි දැවැන්ත භිෂණයක් මුදාහරින්න තරම් පාදක වුන හේතු මේ විශ්වයේ 83 ජුලි කලබල වලට පාදක වුනු හේතු වලට වඩා ප්‍රබල වෙන්න ඔනේ කියලා හිතනවා…..

    චරිත් ඉපදුනේ 86 ද 87 ද?

    Reply
    • 1993 ජුලි භීෂණය භීෂණයක් වූයේ එහි victim ලාට විතරයි. එක ක්‍රියාත්මක කළ පාර්ශ්වයට කවදාවත් එය භීෂණයක් හැටියට දුටුවේ නැහැ.

      මේ ටික මතක නැද්ද?

      “හරි. හරි. මහත්තයා ඔක්කොම ගන්නේ නෑ. අපි එහෙම අසාධාරණ වැඩ කරන මිනිස්සු නෙවෙයි . මේ වගේ දරුවො නිසා තමයි අපි පර දෙමළට බය නොවී මේ වෙලාවෙ රට, ජාතිය, ආගම ආරක්ෂා කර ගන්ඩ ඕනැ. මේක අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන දෙයක්. සාංඝීක දානයක් දෙනවා වගේ මහා පින්කමක් කළා කියා හිතා ගන්ඩ. රට, ජාතිය, ආගම වෙනුවෙන් පොඩි යුතුකමක් කරමු…”

      – ලේඛක

      Reply
    • DDT

       /  September 14, 2012

      // චරිත් ඉපදුනේ 86 ද 87 ද? //

      // මගේ පුතා චරිත්ගේ වයස අවුරුදු හතරකි. //

      ඉතිං 88 දි අවුරුදු හතරනම් උත්තරේ පැහැදිලි නේ. මම ලේඛකයට කලිනුත් කිව්ව ඔය ගැන, මේ විශ්වයයි ඒ විශ්වයයි එකිනෙකට සමාන්තරව, පරස්පරව පවත්වගෙන යන එක ලේසි නෑ කියල. එයා කලින් ඉඟිකළ චරිත්ගෙ උපන් වයස අද චුට්ටක් වෙනස් වෙල වගේ.

      Reply
      • හතරක් නෙවෙයි තුනක් ලෙස නිවැරදි විය යුතුයි.

        1993-8 = 1985
        1988-3 = 1985

        – ලේඛක

      • ඔව්.දිගටම ලියද්දි කාල වකවානු ගලපගෙන ලියන්න ඔබ තුමාට සෑහෙන්නමහන්සිවෙන්න වෙයි! ඔය වයස වගේ පොඩි පොඩි කාල වකවානු වෙනස් උනත් කතා රසයට බාධාවක් වෙන්නේ නෑ මට නම්!

      • DDT

         /  September 14, 2012

        ඔව් සාබිත්, ගණන් ගන්න එපා මචං අපිටත් කතා රසයට බාධාවක් නෑ ගෙඩි පිටින් අවුරුදු ගණන් එහාමෙහා වුනත්. කතාව කියවල ඉවරවෙල වැඩි උනන්දුවට නේ ඔය වංහුං හොයන්නෙ. ඔය අවුරුදු ගණන් හොයන්න යන එකේ ආතල් එක තියෙන්නෙ පරණ පොස්ට් ආයෙ ආයෙ පෙරල පෙරල කියවනව, ඒ නිසා නිතරම කොනක ඉඳන් කතාව හිතේ තියෙනව. වැරදිලවත් ලේඛකයට පොඩි මිස්ටේක් එකක් වුනාම පැනල දෙන්න අපි වගේ එවුනුත් ඉන්න එපාය. 😀 😀 😀

        හිතේ සතුට, ආත්ම තෘප්තිය ඇරෙන්න වෙනත් ප්‍රතිලාභයක් නැතුවම කියවන්න එන අපි වෙනුවෙන් ඔය වගේ කැපකිරීමක් කරල මෙහෙම ලියන එක ගැනනම් ලේඛකයට ස්තූතිවන්ත වෙන්න ඕන.

  3. ඔන්න අද තමයි කතාවේ පැහැදිලි වෙනස. මං හිතුවෙ දේශප්‍රේමින් ටික වැඩ අල්ලන්නේ 98 කියල. මට තියන ප්‍රශ්නේ සහ අදහස 88 දී තමන් අත්දැකපු භීෂණය 93දි දෙමළ අය වෙත මුදා හරින්න මානසිකත්වයක් හැදෙන්න බෑ කියන එකයි

    Reply
    • උඩින් දීපු උත්තරේ තමයි නැවත කියන්න තියෙන්නේ. භීෂණය භීෂනයක් වන්නේ එහි ගොදුරු වලට පමණයි. භීෂණය මුදා හරින පිරිසට එය හරියට උදෑසන දත් මදිනවා වගේ සරල ක්‍රියාවක්.

      – ලේඛක

      Reply
  4. මේ වගේ කතා ගොඩක් අපේ අම්මලා තාත්තලා කතා කරනවා අහලා තියනවා…අවුරුද 5දි මොන්ටිසෝරි යනකොට ඔය දිගේ ගහගෙන ආපු ‌බාගෙට පිච්චුනු මිනී වල දර්ශනය තාමත් හිතේ ඇදිලා තියෙනවා.. එදා හිතේ ඇති වෙච්ච හැඟීම අදත් ඇතිඋනා… බය, තිගැස්ම, චකිතය, පිළිකුල, අනුකම්පාව කියලා අද තේරුම් ගන්න පුළුවන්.. ඒත් එදා….

    Reply
  5. විජේවීර සහෝදරයාට අයත්ව තිබුණු බණ්ඩාරවෙල නෙළුවේ තේ වතු බංගලාව ඔහුගේ මරණින් පසු යුද හමුදා කඳවුරක් බවට පත්වුනා. එහි ආරක්ෂාව භාරව සිටියේ මා මිතුරු හමුදා නිලධාරියෙක්. ඔහු දිනක් මට ආරාධනා කළා දිවා ආහාරය සඳහා එහි එන ලෙස. එහි ගිය විටයි මට අවබෝධ වුනේ සහෝදරරා කොපමණ සැප සම්පත් අනුභව කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගතකොට ඇතිද යන්න. එය නිස්කලංක මනරම් පරිසරයක පිහිටි සාරවත් තේ වත්තක්. බංගලාව බොහොම විශාලයි, ලස්සනයි. වාහන හත අටක වුනත් නවත්වන්න ඉඩ තියනවා. අනේ අර පාරේ මැරී මැරී යන සහෝදරයෝ කියා මට හිතුනා.

    Reply
    • @wicharaka විචාරක,

      ඕක හුඟාක් දෙනක් කියූ කතාවක්. හැබැයි ඕකටත් හොඳ counter argument එකක් තියෙනවා. හිතන්න ඔබට ජීවිත තර්ජනයක් නිසා වෙස් වළා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මොකද්ද ඔබ තෝරා ගන්නා භූමිකාව? ඔබේ දැනට චරිතයෙන් ඉඳුරාම වෙනස් එකක් නේද? ඉතින් විජේවීර ගමනායක දෙදෙනාම තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ අංශක 180 ඒ පිණිස තෝරා ගත්තා කියා හිතන්න පුළුවන්. ගමනායක සැඟවී හිටියේත් පානදුරේ ඩයස් මුදලාලි නම් ව්‍යාපාරිකයෙක් හැටියටයි. මේ පුද්ගලයා ඉතාම ශූර ව්‍යාපාරිකයෙක් වුණ බවයි ආරංචිය.

      1966දී අර්නෙට්ටෝ (චේ) ගෙවාරා බොලීවියාවට ඇතුළු වූයේද Adolfo Mena González නමින්, Organization of American States සංවිධානය වෙනුවෙන් සේවය කරන ව්‍යාපාරිකයකු ලෙසයි! http://all-that-is-interesting.com/che-guevara-master-of-disguise

      – ලේඛක

      Reply
      • අනික තමයි කැරළි නායකයෙකු වශයෙන් ඔහු දැවැන්ත පීඩනයක ඉන්න ඇති. කැරළි සාමාජිකයන් දිනපතා ඝාතනය වීම, කැරැල්ලත් සමගම තමුන්ගේ ජීවිතය හා සමව ගොඩනැගූ පක්ෂය සුන්නද්දූලි වෙලා යාම, ආණ්ඩුව මුළු වැර යොදා ඔහුගේ ඔළුගෙඩිය සෙවීම වගේ දේවල්. ඉතින් ඔය වගේ තත්වයක ඉන්න මිනිහෙකුට විඳින්න පුළුවන් සුඛෝපභෝගී ජීවිතය කුමක්ද?

        ඇතුළතින් ගිනිගොඩක දැවෙමින් මොන විල්ලුද යහනේ හිටියත් පලක් ඇද්ද?

  6. ranwala

     /  September 14, 2012

    //ඒ දිනවලට කළ හැකි එකම කාර්යය නිවෙසට වී බඩගින්නේ හෝ රූපවාහිනිය නැරැඹීමය//මේ විශ්වයේ නම් අපි ඕක කලෙත් පන බයෙන්.මොකෝ ඒ ගොල්ලන්ගේ ඇඳිරි නීතිය යටතේ රුපවාහිනී ගුවන් විදුලි යන්ත්‍ර පරිහරණයත් තහනම් නොව.ලයිට් නිමපු ගෙයි රූප පෙට්ටියේ එලිය දැක්ක නම් සොරි තමයි.කොහොම වෙතත් දේශප්‍රේමියන්ගේ එකවුන්ට් එකට දාල තමන්ගේ භීෂණය මුදා හැරපු කොළ බළල්ලු ,කහ බළල්ලුත් මේ විශ්වයේ හිටිය.ඒව ලීඩ් කරපු සමහර ත්‍රස්තවාදියෝ මේ විශ්වයේදී නම් පස්සෙ අවිහිංසවාදී මහජන නායකයෝ!

    Reply
  7. පානදුරේ ඩයස් මුදලාලිව අල්ලලා කුදලලා ගෙනාවේත් මගේ සහෝදරයෙක්.

    Reply
  8. අද නං අමුතු දෙයක් නැත!

    නමුත් දේශප්‍රේමී ලේබලය අලවාගන්නා උන් එලොවදීද මෙලොවදීද එකසේ භයානක උන් බව පැවසීම ගැන ස්තුතියි.

    Reply
  9. කතන්දර හා එකඟවෙමි. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මුළු රටම ගිනි තියපු කාළකන්නින් ලැජ්ජාවක් නැතුව ඒවාට තරඟ කරන හැටිත්. අද දින පස්චාත් ප්‍රදේශයට එල්ලවන දරුණු පහරදීම් හමුවේ යාන්තම් එකෙකුට පමණක් ඒවාට පිවිසීමට සිඳුවන හැටිත් ගැන ලියුවා නම් අගනේයයි සිතමි. මගේ මතයේ හැටිය විජේවීර ඒ කාළකන්නි මාර්ගයේ ගමන් නොකර ප්‍රජාතන්ත්‍රවාදය පිලිගත්තේ නම් රට මීට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබුනි. අදටත් තුන්වන බලවේගයකට මෙරට තුල ඉඩක් ඇති බව මෑතකදි නැගෙනහිරෙන් පෙනිනි.

    Reply
  10. ලංකාව අවුරුදු සීයක් පසු පසට ඇද දැමූ
    අපේ මුලු තරුණ කාලයම මහා මානසික කම්පනයක් trauma කල
    මහා ඛේදවාචකය

    සුද්දා විසින් නිශ්පාදිත රාජ්‍ය යන්ත්‍රය
    සහ
    නිදහස් අධ්‍යාපනයේ නිශ්පාදනයන් අතර
    අසමතුලිත බව ලෙස අද අපට ලඝු කොට දැක්විය නොහැකිද?

    මේ තත්වය තවමත් එසේ පෙර පරිදිමය.

    රාජ්‍ය තන්ත්‍රය දකුනත් උතුරත් පෙරට වඩා භිය ගන්වා ඇත.
    විකල්ප දේශපාලන මං දිගේ ගොස් ඉතිරි වූ නායකයින්ට පාර්ලිමේන්තු, පලාත් සභා, හා වෙනත් රාජ්‍ය ආයතනවල අසුන් ලැබී ඇත. යන්ත්‍රය තවත් ශක්තිමත් වී ඇත.

    වෙනස එපමණය.

    තරුන ජනයාට ගෞරවාන්විතව ජීවත් වීමට අවකාශ ඇති නොවුනහොත් ඒ සිදු වූ දේ නැවත සිදු නොවේ යයි කියන්න පුලුවන් කාටද? 71, 88, 83- 2009

    Reply
  11. james j angleton

     /  September 15, 2012

    මීටම ටිකක් අදාළ දෙයක් කියන්නේ නම් ගුණදාස අමරසේකර ,නලින් දේ සිල්වා යන ජාතික චින්තනයේ න්යාචර්යවරුන් එවකට ජ වී පෙ භීෂණය හමුවේ ආංඩුව තතිගන්වෙන අන්දම මහත් අභිරුචියෙන් බලා සිටි බව සී ඒ චන්ද්‍රප්‍රේම මහතා පවසය් . නලින් දේ සිල්වා ආතල් එක වැඩිවී ” බයල්ය්ටිස් භීතිකාව ” නම් ලිපයක් ලිව්වෙලු . තවද ගුණදාස අමරසේකර ගේ ” ගල් පිළිමය සහ බොල් පිළිමය ” කියවා ඔවුන් එවකට ආවඩුවේ කාටදය් බලාගන්න

    Reply
  12. මෙම කතාව ලියන රටාවත් එහි අන්තර්ගතයත් සලකා බැලූ විට මේ රචකයා ටැබූ සබ්ජෙක්ට්ස්ම විය යුතුය. ඔහු ටැබූ අඩවිය ලියන කාලයේ පෙන්වූ සමහර ලක්ෂන මෙහිද දක්නට ඇත.
    විශේෂයෙන්ම ඔහුගේ දැඩි රනිල් විරෝධය ,මහින්ද විරෝධය මෙන්ම හෙල උරුමය කෙරෙහි දක්නට ඇති මෘදු භාවය මෙම කතාව තුලද දක්නට තිබේ. පුනරාගමනය ගැන සතු‍ටුයි.

    කතාවත් පංකාදු පහයි. විශේෂයෙන්ම අසූ ගනන් හා අනූ ගනන් වල තිබූ දේශපාලන තත්වයන් ගැන යම් අවබෝදයක් ඇති අයට නම් මෙය හරිම අපූරු කතාවක් වනවා නො අනුමානය.

    Reply
    • විශ්ලේෂකයා

       /  September 16, 2012

      ඔහු මහින්ද විරෝධියෙක් නොවේ , මහින්ද “හරි මාර්ගයට” ගැනීමට තැත් කරන්නෙත් විය හැකිය 🙂

      Reply
  13. sunil kumara. jayakodi

     /  September 16, 2012

    විචාරයක් නොව අපචාරයක් බව පෙනෙයි.

    Reply
    • විශ්ලේෂකයා

       /  September 17, 2012

      Sunil Kumara Jayakodi

      පොඩි ප්‍රශ්නයක් . රජය විසින් ජවිපෙ‍ ට එරෙහිව දියත් කළ භීෂණය අසාධාරණ වීමත් එල් ටීටි ය ට එරෙහි පුහාරය සාධාරණ වීමටත් හේතුවක් නැහැ නේද ?

      Reply
  14. //පුංචි ආණ්ඩුවේ බලවතා වන රෝහණ විජේවීර සහෝදරයා මේ දිනයන්හි නිතර FM තරංග මාලා ඔස්සේ ‘ජනතාව’ අමතයි.//

    FM ද? SW (Shortwave) ද?

    Reply
  15. විශ්ලේෂකයා

     /  September 17, 2012

    මගේ ළමා විය ගෙවුණු පිටිසර ගම්මානය ජවිපෙ තෝතැන්නක් වීය. ජවිපෙ ඇඳිරි නීතිය දින වල අපි විදුලි පහන් නිවා දැමීමු . ඇතැම් විට උන්ගේ විරුවන් සැමරීමට රතු /සුදු කොඩි එල්ලුවෙමු. රජයේ සේවකයන් සහ දක්ෂිණාංශිකයන් වූ මගේ මව්පියන් මෙන්ම විශ්‍රාමික සීයා ද ජීවිතය ගත කළේ දැඩි බියකිනි. එවකට 1988 දී යම්තම් දෙක වසරේ සිටියද රටේ අරාජිකත්වය මටද වැටහිණි. ඇතැම් උදයක අප පාසැල් වෑන් රියේ නගරයේ පාසැලට ගමන් කරන විට මඟ දෙපස රෝස් ගඳ ගහමින් ටයර් සෑ මත පිච්චෙන මළ මිණි ළමා අප හැඟිමෙන් තොරව කවුළු වලින් නැරඔුවෙමු. මව්පියන් හොර රහසේ “ප්‍රා” “කොළ කොටි” ගැන කතා කරනු මට ඇසිණි. ආණ්ඩුවට පළු යන්නට භයානක ලෙස බැනවැදුණු දේජවි පෝස්ටර් ඇතැම් දවසක කඩ මණ්ඩියේ ඇලවිණි. අපේ පාසැල ඇතුළු සෑම පාසැලකම අය්යලා උද්ඝෝෂණය කරන්නට වූහ. 1989 වන තෙක් මේ භීෂණය අපි පවුලක් ලෙස අත්වින්දෙමු. එම අත් දැකිම ජීවිත කාලයටම මා වාම විරෝධියෙක් කරන්නට සමත් වීය. 1989 චිනයේ කොමියුනිස්ට් ඒකාධිපති විරෝධී තියන්ආන් මෙන් උද්ඝෝෂන ආරම්භය රෑපවාහිණි ප්‍රවෘත්ති ඔස්සේ නැරඔූ , එවකටත් යම් දේශපාලනික ඉවක් තිබූ මා දුටුවේ අපේ රටේ තරුණයන් ජවිපෙ ඔස්සේ කරන දේට වඩා එම උද්ඝෝෂණ නම් ඉතා සාධාරණ බවය

    Reply
  16. deshamamaka

     /  November 13, 2012

    වික්ටර් සාලිය බන්ඩාර උපාසකයෙක් වගේ කතාව කියල තියෙන්නෙ.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: