(23) සර්වඥ ධාතූන් වහන්සේලා වැඩියහ; මා එතැනමය. || The mystery begins

  • කාලය: අවශ්‍ය නැත, පින්වත
  • ස්ථානය: අවශ්‍ය නැත, පින්වත

**********(රතු හාමුදුරුවන් කියන කතාව)**********

න අනතලිකෙඛ, න සමුදදමජෙඣ,
න පබබතානං විවරං පවිසස,
න විජජති සො ජගතිපපදෙසො
යත‍ථටඨිතො මුඤෙචය්‍ය පාපකමමා.

යම් තැනක සිට අකුශලයා ගේ විපාකයෙන් මිදිය හැකි නම් එවැනි තැනක් ලෝකයෙහි නැත. අහසෙහි සිටියත් මූද මැද සිටිය , පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් එයින් නිදහස් වෙන්ට නො හැකි ය.

(ධම්මපදය, පාප වග්ගය )

රතනාරාමයෙහි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසාන වූයේ ඊයේය. මේ රටේ සිංහල බෞද්ධයෝ කොයි තරම් රාග, ද්වේෂ මෝහයන්හි ඇලී ගැලී සිටියද අමා මෑණියන් කෙරෙහි අපරිමිත භක්තියක් දක්වති. කිලෝ මීටර දෙකක් හෝ තුනක් දිග පෝලිමක් හැම විටෙකම දිවා රෑ නැතිව සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කර ගන්ට තිබුණේය. මේ මගේ මතකයට අනුව රතනාරාමයට විශාලතම පිරිසක් එක වර රැස් වු අවස්ථාවයි.

පින්වතුනි , මා මීට වසර විස්සකට පෙර සිටි පුද්ගලයාම වී නම් මේ බුද්ධාලම්බන ප්‍රීතියෙන්ම මට සති මාස ගණනක් ගෙවා දමන්ට තිබුණේය. එහෙත් මම දැන් වෙනස් පුද්ගලයෙක්මි. මා අගය කරන පුරුෂාර්ථ, චර්යා හා සාර ධර්ම වෙනස් වී ඇත්තේය. එබැවින් මේ සිද්ධිය වුව මට ලොකු සතුටක් ගෙන නොආයේය. එයින් වුව මගේ සිතෙහි ඇති මහ බරින් දශමයක් වත් නොඅඩු වූ හෙයිනි.

මේ බර මම මරණය තෙක්ම රැගෙන යමි. එයින් මතු මට මිදීමක් නොවන බව දනිමි.

මෙලොව කී දෙනකු තම ජීවිතයෙහි වසර ගණනාවක් දැන දැනම මළ මිනියක් සමඟ ගෙවා ඇත්ද මම නොදනිමි. මෙරට මෙන්ම තායිලන්තය, ලාඕසය වැනි වෙනත් බෞද්ධ රටවලද, කෙනකුට ලෙහෙසියෙන් පිවිසිය නොහැකි, හුදෙකලාව පිහිටා ඇති වන ආරණ්‍යයන්හි බෞද්ධ භික්ෂූහු දිරායන මළ මිනී අරමුණු කොට ගෙන කමටහන් වඩති. ජීවිතයේ නිස්සාරත්වය අවබෝධ කොට ගනිති. මම එසේ කමටහන් වඩන්නකු නොවෙමි. මට මළ මිනියක් සමඟ ජීවිතය ගත කරන්ට සිදුවී ඇත්තේ වෙනත් හේතූන් නිසාය.

මේ සියල්ලම සිදුවූයේ ඇමැතියා නිසාය. මේ අසත්පුරුෂයා නමින් වත් හඳුන්වන්ට මම අකැමැත්තෙමි. සමාජයට ප්‍රසිද්ධියේ මුහුණ දෙන්ට අවශ්‍ය අවස්ථාවන්හීදී අප දෙදෙනා එකිනෙකාට ප්‍රශංසා කර ගන්නා අවස්ථා ඔබ දැක ඇතිවා වන්ට පිළිවන. එසේම අප දෙදෙනාගේ සමූහ ඡායාරූප පවා අන්තර්ජාලයෙහි නොවිරලයහ. ඒවායින් සමහරක මම සිනහමුසු මුහුණින් ඔහුට පිරිත් නූලක් බඳිමින් සිටිමි. තව එකක ඔහු සමඟ දිගු කලක් දන්නා මිතුරකු සේ දොඩමින් සිටිමි. මේ ලෝකයා රවටන්ට කරන දේය. මගේ ජීවිතය අපායක් කළේ මේ පාපතරයාය.

මේ සියල්ල ආරම්භ වූයේ මීට වසර ගණනාවකට පෙර අඳුරු රාත්‍රියකය.

මම දවසේ වැඩ කටයුතු අවසන් කොට ස්වාධීන රූපවාහිනී සේවයේ ‘දොරමඬලාව’ නරඹමින් සිටියෙමි. එහි සූරියප්පෙරුම උපාසක මහත්මයා “දැන් බලන්ඩ හසන්ත මහත්තයෝ…” යි පටන් ගෙන කරන ‘අපේ කම’ ගැන කරන අව්‍යාජ, හිතට වදින සුළු කෙටි දේශනාවන්ට මම කැමැත්තෙමි. ඒවා අසන විට මගේද ඇඟේ මවිල් කෙළින් වෙයි. ජාතිකාභිමානය වැඩේ. දේශ වාත්සල්‍යය තියුණු වේ. අපේ මේ රට විනාශ කළ පර සුද්දා මරාගෙන මැරෙන්ට හිතේ. සූරියප්පෙරුම උපාසක මහත්මයා වැනි ජාති හිතෛශීන් තව නව දෙනකු සිටියේ නම් මෙරට කේතුමතී රාජ්‍යයක් වනු ඇතැයි මම බොහෝ අවස්ථාවන්හීදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත්තෙමි. සූරියප්පෙරුම උපාසක මහත්මයා යනු අනගාරික ධර්මපාල හාමුදුරුවන්ගේම අත් භවයකැයි මට වරෙක සිතුණේය. එහෙත් මම එය ප්‍රකාශ කරන්ට නොගියෙමි. කටට එන හැම දෙයක්ම කියන්ට හොඳ නැත.

අනෙක් උන්නාන්සේලා සියළු දෙනාම පාහේ නුදුරු නිවෙසක පිරිත් පිංකමකට වැඩම කර හුන් හෙයින් ඒ අවස්ථාවේ පන්සලේ හුන්නේ මා පමණෙකි. උන්නාන්සේලා කිවාට අපේ පන්සලේ මහ ලොකු ගණනක් නැත. ඔය හතර පස් දෙනක් විතරයි. ඇබිත්ත කොලුවා සුදත් හැරුණු විට ඩේවිඩ් අයියාද අපට උදව් වෙයි. නමුත් මේ කියන අවස්ථාවේ ඔහුද නොසිටියේය. මගේ තනියට හිටියේ එකොළොස් හැවිරිදි සුදතාය.

ලොකු කළු පාට ජීප් එකක් බරාස් ගා මිදුලේ බ්‍රේක් ගැසූ නිසා කවුදැයි බලන්ට මම එළියට ආවෙමි. මම ඔය ප්‍රාඩෝ, අර ඩෝ, මේ ඩෝ වැනි ජීප් ගැන අන්දෝ සංසාරයක් නොදන්නෙමි. මේවා ලොකු ලොක්කන් භාවිතා කරනවා කියා මිසෙක අඩු ගණනේ ඒවා ජීප් බවත් මා දැනගත්තේ බොහෝ කාලයකට පසුයි. අප ඉස්සර ජීප් කිව්වේ කොළපාට, එකිනෙකට කිට්ටුවෙන්, සාමාන්‍ය මෝටර් රථයක ඒවා ඇති මට්ටමට ඉහළින්, ලොකු රවුම්  ලයිට් දෙකක් තිබුණු, පිටිපස්සට හුඩ් එකක දැමූ පොලෝසියේ මහත්වරුන් පාවිච්චි කල ජීප් වලටය. ඇමැති ගොයියන්ගේ මේ අරුමෝසං වාහන වලට කියන්නේද ජීප් කියා මට මුලින්ම කියා දුන්නේ පන්සලේ ඇබිත්ත කොලුවා සුදත්ය. ඒකා නම වසවර්තියෙකි. ඒත් මේ වගේ නොදන්නා දෙයක් අසා දැන ගැන්මට සේම, ඉඳ හිටලා මේ කුණු ශරීරය රිදුම් දෙන වෙලාවට ටිකක් මිරිකා ගන්ටද, හදිසියකට අර කොණ්ඩෝංද මොණ්ඩෝංද කියන කාම කොපු පැකැට් එකක් දෙකක් ඉඳහිට හන්දියේ ජීවක ෆාමසියෙන් ගෙන්නා ගන්ටද කුකුල් ගූ වගේ ඌත් ඕනෑ වෙනවාය.

එදා ජීප් එකේ පැමිණි පිරිස මට විස්තර කරන්ට පුළුවන් සංජය බෙල්ලට්ඨිපුත්තගේ භාෂාවෙන් පමණෙකි. ඔවුන් මා දන්නා එහෙත් නොදන්නා පිරිසකි.  ඔවුන් ඇමැතිතුමාගේ ගෝලයින් බව පෙර දුටු බැවින් මම දත්තෙමි. එහෙත් මේ මේකාය කියා නමින් කියන්ට පුළුවන් කමක් මට නොතිබුණේය.

පන්සලට එන කවුරුත් සාමාන්‍යයෙන් ආවාසයට ගොඩ වෙති. එහෙත් මේ පිරිස හැසිරුණේ ගිනි පෙනෙල්ල ලිපේ දමා ආ ගොයියන් විදියටය. ඔවුන්ට තිබුණේ හරියට රා පෙවූ නාලාගිරි ඇතා පස්සෙන් පන්නාගෙන එන විට දුවන්ට තියෙන හදිස්සිය මෙන් හදිස්සියකි.

“රතු සාදු අපි ඇමැතිතුමාගෙන්…”

ගෝඨයිම්බරයා මෙන් තඩි ශරීරයක්ද කුඩා හිසක්ද ඇත්තෙක් රථයේ ඉදිරිපසින් එළියට බසින ගමන් කීවේය. මේකා හැරුණු විට තව පස් හය දෙනක් ඒ වාගේම තඩියන් ඉන්ට ඇත. ඒත් වැඩිපුර කතා කළේ මේකාය. හරියට කටක් තිබුණේ ඌට පමණක් වාගේය.

සක්විති රජකෙනකු වුවද කිසිම ගරුසරුවක් නැතුව ‘රතු සාදු’ කියන විට මට සිංහ කොඩිය බිම දමා සුද්දාගේ කතිර කොඩිය උස්සා තියෙනු දුටු වාරියපොළ සුමංගල උන්නාසේට මෙන් සාධාරණ කෝපයක් ඇතිවේ. හරියට අප උන්ගේ අත පල්ලෙන් වැටිලා වගේය. ඒත් මේ අනුශාසනා පවත්වන්ට වෙලාවක් නොවේ. පසුව ලොක්කා ආපු සැරේක ගෝලයින්ට කතා කොරන හැටි උගන්නන්ට කියලා, රෙදි ගැළවෙන්ට ලැක්චර් එකක් දෙන්ට පුළුවන්ය.

“ඔව්. මං නොදන්නවය ළමයිනේ. ඇතුළට ආවනං…”

“ඇතුළට එන්ට ඕනැන්නෙ නෑ රතු සාදු. අපි ආවෙ අර ළිඳ වහල දාන්ටය කියල ඇමැතිතුමාට කියපු පණිවිඩේට ඒ වැඩේ කරලා දෙන්ට…”

මේ කියවන්නේ මොන අන්තෝ ජටාවක් බහි ජටාවක් දැයි තේරුම් ගන්ට මට ටික වෙලාවක් ගතවිය. තේරුණේ පස්සේය. මේ පන්සල පුරාණ විහාරයකි. එහි එක් කොණක එකදාස් නවසිය තිස් හතළිස් ගණන් වල මහ සේනානායක උන්නැහේගේ කාලයේ කළ, දැනට කාලෙකින් පාවිච්චි කොට නැති  ළිඳක් තියේ. ළිඳක් කීවාට එහි ඇති ලොකු වතුරක් නැත. හැබැයි (පන්සල පිහිටියේ තරමක උස් බිමක නිසා) ටිකක් ජඹුරය. වසර ගණනක් තිස්සේ රොඩු බොඩු, මළුවෙන් අතුගා දමන බෝ කොළ, පරවුණු මල් ගඩොල් සිමෙන්ති කෑලි හා පස් දැමීම නිසා බාගෙට පිරිලාය. එහි ඩෙංගු මදුරුවන් බෝවෙන්ට පුළුවන් කියා හෙල්ත් ඉස්පැට්ටර මහත්තයා දැන් කාලයක සිට කෝන්තර කරයි. එනිසා මට එය වසා දමන්ට ඕනෑ වී තිබුණේය. ඇමැතිතුමා පන්සලට ආ දවසක, ඔහුටද ඒ වග, හැමදෙනාටම කියනවා වාගේම, කියන්ටත් ඇත. හැබැයි ඒ ගැන මට නම් හාංකවිසියක මතකයක් නොවීය. දැන් මේ උදවිය එන්ට ඇත්තේ ඇමැතිතුමාට මට වඩා මේ කාරිය ගැන මතක තිබුණු නිසා විය යුතුය.

“ළිඳ නං වහ ගන්ට ඕනෑ තමයි දරුවො. ඒත් මේ මහ රෑ ඕව කරන්ට පුළුවනෑ…දවාලෙක කළා නං නෙවෙද හොඳ…”

“…ඔන්න ඕකට මොන රැයක් දවාලක්ද සාදු? වැඩේ කෙරෙන්ඩ නෙව ඕනැ. අනෙක මේ වෙලාවට තමයි ඇමැතිතුමාට අපිව රිලීස් කරන්ඩ පුළුවන්. නැත්නම් දවල් දවස තිස්සෙ වැඩනෙ…”

“නෑ මං කිව්වෙ මේ රෑ එළියක් වත් නැතුව කොහොමද ඔව්ව කරන්නෙ?”

“මොන එළියක්ද සාදු? අර හඳ තියෙන්නෙ. මේ වාහනේ හෙඩ් ලයිට්ස් ඔය පැත්තට හැරෙව්වාම ඉතුරු ටික හරිනෙ…”

මේ තරම් ඕනෑ කමින් මේ වැඩේ කරන්ට මේ ඇත්තන් සැරසීම ගැන මට ඇති වූයේ ගර්වයකි. ඇරත් මේ ගැන කිසිම ඕනැකමකින් ඇමැතිතුමාට කියලත් නැතිව! වැදගත් පුද්ගලයින් වුණාම ඔහොම තමයි. අනේ පිඬු සිටාණන් අප මහ බුදුරජානන් වහන්සේට බිම වැහෙන්ට රන්කාසි අතුරා ජේතවනාරාමය මිළ දී ගෙන දුන්නේ උන්නාන්සෙ ඉල්ලලයැ. ඔන්නොහේ ඕනැ එකක්. මමයැ කරන්නෙ?

“… කොහෙන්ද දැන් ඔය ළිඳ පුරවන්ට පස් අදින්ට හිතාන ඉන්නේ..?”

උනන්දුවේ තරම කොපමණද කිව්වොත් ඒ වන විටත් දෙදෙනකු ගොස් ළිඳ තියෙන හරිය බලා කියාගෙන ඇවිත් තිබුණේය.

“…ඕකට ඔච්චර පස් ඕනැ නෑ හාමුදුරුවනේ. ඔය ළිං කණු දෙකයි, ළිං බිත්තියයි කඩා දැම්මාම බාගයක් පිරෙයි. මදි වුණොත් අර එහායින් කණ්ඩිය ටිකක් කපලා ගනිමුකෝ…”

“…අනේ මන්දා ළමයිනේ. මට නං හිතෙන්නෙම මේක කරන්ට මේ වෙලාව නෙවෙයි කියලා. අනෙක් උන්නාන්සෙලත් නැති කොට…”

“සාදු. බණ නං කතා කරන්ට එපා…” ගෝඨයිම්බරයා එය කීවේ තරමක කෝපයෙනි.  “ඇමැතිතුමා එව්වෙ කොහොම හරි මේක කරලාම දීල එන්ට කියල. මං ඇමැතිතුමාට ෆෝන් කරලා කියන්ටද සාදු ඥං පචං ගානවා කියලා…”

“අනේ, නෑ දරුවො. මං මේ කල්පනා කළේ ඔය දරුවන්ගෙ පහසුව. මට නං ඕක කොයි වෙළේ කළාම මොකද…?”

මම වහා කීමි. ඔය පැත්තක තියෙන ළිඳක් නිසා ඇමැතිතුමා තරහ කර ගන්ට ඕනැ නැත.

“හරි. සමරේ. ඔන්න ඕක පොඩ්ඩක් ඉස්සරහට ගනින් බං…”

“එහෙනං අපි තේ ටිකක් හෙම බීලම වැඩට බහිමුද දරුවනේ…?”

“තේ නං බොන්ට බැරුවයැ, කොයි වෙලාවෙ හරි. අපි වැඩ පටන් ගනිමුකෝ. සාදු ගිහින් නිදා ගන්ටකෝ. වැරදුනා…සැතපෙන්ටකෝ. කොහෙද අපි පොඩිකාලෙ පන්සල් ආශ්‍රය කරපු අයයැ සාදු. සාදුලට රෙස්පෙක්ට් එකට කතා කරන්ට ඉගෙන ගත්තු එකක්යැ. ඇමැතිතුමා හින්ද නෙවැ මේ විදියට වත් පන්සලකට එන්නේ…”

කරගන්නා මළ දානයක් කර ගන්ට දී මා ඉවත් විය යුතුය මට සිතුණේය. අරෙහෙ සූරියප්පරුම මහත්මයා කළු සුද්දන්ට අම්මා මුත්තා කාලේ බිව් රංකිරි මතක් වෙන්ට නෙළනවා ඇති. මේ කෙහල්මලක් නිසා මට ඒකත් නැති වුණා. ඉවර වෙන්ට කලින් ටිකක් වත් බලන්ට ඕනැ.

මම නැවත ආවාසයට ගොස් රූපවාහිනිය නරඹන්ට පටන් ගත්තෙමි. උදළු අලවංගු ආදී ඕනෑ දෙයක් දෙන ලෙස ඇබිත්ත කොලුවාට කීවෙමි.

එදා දොරමඬලාව නම් මල් හතය. මාතෘකාව ‘ගම් පෙරළිය’ හෙවත් නූතනත්වයත් සමඟ අපේ පුරාණ සිංහල බෞද්ධ ගම් විනාශ වීමයි. සූරියප්පෙරුම උපාසක මහත්මයා අපේ හැම ගමකම දැන් ටැලිවිසොං කණු, මොබයිල් පෝං කණු හතු පිපෙන්නාක් මෙන් බිහිවී ගම් වල ස්වභාවික සෞන්දර්යය විනාස වෙන හැටි ටෙලිවිසොං ටෙලිපෝං කොම්පැණි වල ගොයියන්ට කණේ ඇඟිලි ගහ ගන්ට හිතෙන විදියට විග්‍රහ කළේය. මම අවට පන්සල් හැම එකකම දන්නා කියන උන්නාසෙලාට මගේ මොබයිල් පෝං එකෙන් කතා කොට වැඩ සටහන බලන්ට කීවෙමි.

දොරමඬලාව බැලුවායින් පසු මට ළිඳ පැත්තට ගොහින් වැඩ කෙරෙන හැටි ගැන බලන්ටද සිතුණේය. ඒත් මා සිටියේ මහන්සියෙනි. ඊට කලින් දවසේද පිරිත් පින්කමක් නිසා සැතපෙන්ට ලැබුණේ කඩින් කඩය. මුන් ළිඳ උස්සගෙන යන එකක්යැ. ඔන්නොහෙ කරන මඟුලක් කරපුවාවෙ. හෙට උදේට බලන්ට බැරියැ.

මේ වන විට තව උන්නාන්සෙලා කීප නමක් පැමිණ සිටි හෙයින් පිරිසට අවශ්‍ය නම් කෝපි වත්කර දෙන්ටත්, වැඩ ඉවර වුණාම මට කරදර නොකොට යන්ට කියන ලෙසටත් දැනුම් දී සැතැපුණෙමි.

පැය කිහිපයකට පසුව ජීප් එක පිටව යනු මට ඇසුණේය. මා ඒ වන විට මඳ නින්දේය. වෙලාව බලා ගන්ට බැරිවිය. හඳ එළිය වැටී තිබුණු හැටියට එක හෝ දෙක විතර වෙන්ට ඇත. තුන හතරද කියන්ට බැරිය. අනිද්දා පසළොස්වකය. නිදිමතයි.

පසුදින උදෑසන මට පෙණුනේ වරදක් නැතුව වැඩේ සිදු වී ඇති බවයි. මට නොතේරුණු එකම දෙය ළිඳ පුරවා මේ ඇත්තන් උඩින් සිමෙන්තිද දමා තිබුනේ මන්ද යන්නය. ඒක නම් වැඩි වැඩකි. එතැන සිමෙන්ති දාන්ට කිසිම ඕනැකමක් නැත. ඇමැතිතුමාගෙ උනන්දුව තමයි. දවල් වෙලා කතා කරලා පින් දෙන්ට ඕනැ.

අර අලුගුත්තේරු ඇබිත්තයා සුදතා නොවේ නම් මේ සියල්ල යහපත් පරිදි නිමා වෙන්ට තිබුණේය.

මේකා පසු දින උදේ වරුවම නූලට ඉඳිකට්ට වාගේ මගේ පස්සෙන් එන්නේ හොඳකට නොවන බව මට තේරුණේය. ඌ හිටපු ගමන් “ලොකු හාමුදුරුවනේ…” කියයි. “ඇයි?” කියා ඇසුවාම නිහඬ වෙයි. මොකක් හරි කියන්ට තියෙනවාද ඇහුවාම නෑ කියයි. ඒත් මුහුණේ තියෙන්නේ බිය වූ පෙණුමකි.

මීට ටික කාලයකටද පෙරද මේකා මීට බෙහෙවින් සමාන හැසිරීමක් පළ කළ බව අවස්ථාවක් වූ බව මට මතක් විය.

“සුදත්…මෙහාට වරෙන්” මම කොලුවාට කතා කළෙමි. ඔහු එක් වර නොආවේය.

“කිව්වම වරෙන්. නැත්නම් මම ගෙන්න ගන්ඩද?”

කොලුවා මා අසළට විත් සිට ගත්තේය.

“කියපං දැං උඹට කියන්ඩ ඕනැ දේ…”

“නෑ මොකුත් නෑ , ලොකු හාමුදුරුවනේ…”

“ධම්මරතන උන්නාන්සෙ ආයෙත් උඹට කරදර කළා නේද…?”

ධම්මරතන උන්නාන්සේ කීවෙ මගේ ජ්‍යේෂ්ට ගෝලයෙකි. කැළණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසර සිසුවකු වූ ඔහු පන්සලේ රැඳී හිටියේ ඉඳ හිට දවසකය. එසේ හුන් දවසක ඇබිත්ත කොලුවා සමඟ පොඩි හුටපටයක් වී තිබුණේය. මේවා සිදු නොවන දේවල් නොවේ. මේවා නොවෙන තැං හොයන එක කිසිවකු නොමළ ගෙයකින් අබ ඇට හොයනවාටත් අමාරුය. හැබැයි කරේ එල්ල ගන්නේ නැතුව කුණු මාළු කන හැටිත් අපේ උන්නාන්සෙලා ඉගෙන ගත යුතුය. ප්‍රශ්නය විසඳන්ට වුණේ මටය. කොළුවාගේ මව් ඊළඟ සැරේට ආ ගමන්ම රුපියක් දෙදාහේ කොළයක් ඉල්ලන්ට පෙරම ඇය අතට දුනිමි. ඒ බලා සිටි කොලුවා ඒ සිද්ධිය සම්බන්ධව කිසිවක් මවට නොකීවේය. මුහුදෙහි නැව් ගියාට පාරවල් හැදෙන්නේ නැති බව ඌටත් වැටහුණා විය යුතුය. ඒ අතින් ඌ හොඳ එකෙකි. ඒ නිසා ඌ අසීරුවට නොවැටී බේරන එක මගේ යුතුකමය.

“ඇත්ත කියාපන්. නැත්නම් වැඩ දුරදිග යයි. ධම්මරතන හාමුදුරුවො ආයෙත් උඹට ආවාසෙට කතා කළා නේද…?”

“නෑ, අනේ නෑ හාමුදුරුවනේ…”

කොලුවාගේ ඇත්ත දැන ගන්ට පුළුවන් වුණේ පැයක පමණ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසුය. මේ ධම්මරතන සම්බන්ධ දෙයක් නොව ඊයේ රෑ සිද්ධිය සම්බන්ධ දෙයකි. කට්ටිය ළිඳ වහන්ට ඇවිත් තියෙන්නේ නිකම් නොවේ. මාත් ගොනා වෙච්චි හැටි. මුන්ට කෝපි හදවලත් දුන්න නෙවැ.

කොලුවා කී හැටියට ළිඳ වහන්ට කලියෙන් ජීප් එකේ පිටිපස්සෙන් ගත් තරමක් ලොකු හා බර පෝර උරයක් දෙදෙනකු උස්සාගෙන ගොස් ළිඳට දමා තිබේ. ළිඳේ කණු දෙක කඩා දමා තියෙන්නේ ඒ මතටය. පෝර උරයේ තිබුණේ මොකද්ද කොලුවා නොදනියි. නමුත් ඔහුට යම් සැකයක් ඇති වී තියෙන්නේ එහි යට කොටස කළුපාටට පෙණුනු නිසාය. රෑ නිසා හරියටම පෙනී නැත.

පිරවූ පෝර උරයෙක යට කළුපාට වෙන්නේ මන්ද?

මම මෑත භාගයේ සිවුරට නුසුදුසු යම් යම් දෑ කළ බව අවංකව පිළිගනිමි. මාද පෘතග්ජන මනුෂ්‍යයකු නිසාය.  ඒ කිසිවක් නිසා අහස කඩා නොවැටුණේය. දැන අහස කඩා වැටී තියේ.

මම වහාම පෙරදින රාත්‍රියෙහි වාහනය නතර කොට තිබුණු තැන සිට ළිඳ පිරවූ භූමිය තෙක් පැහැදිළිව අඟලෙන් අඟල පරීක්ෂා කළෙමි. දෙයි හාමුදුරුවන්නෙ පිහිටෙන් අපල උපද්‍රවයක් නැත. මා සෙවූ දේ මට දක්නට නොලැබුණේය.

නමුත් මගේ ඇඟ තාම සීතලය. පෝර උරයේ වූ දේ මට සිතා ගැනීමට අපහසු නොවේ. මා අත දරුවකු නොවන නිසාය. ඇමැතිවරුන්ගේ වැඩ ගැන මා අසා තිබුණු නිසාය. මේ නුවණ මට ඊයේ නොපැමිණියේ මන්ද?

දැන් වැඩ කළ යුත්තේ කල්පනාකාරීවය. පැටළුණු නූල් බෝලය තවත් පටළවා ගන්ට බැරිය. පැටළුම් එකින් එක ඇරිය යුතුය. පිරිත් නූල් වල පැටළුම් ඇර පුරුදු නිසා එය කෙසේ කළ යුතුද මම දනිමි.

මම කොලුවාට කතා කළෙමි.

“සුදත්…”

කොලුවා ඇස් දල්වාගෙන මා දෙස බලා සිටී.

“මං ඇමැතිතුමාට කතා කළා. ඒක අර ඇමැතිතුමාගෙ බංගලාවෙ කුස්සියෙන් විසි කරපු එළෝලු ගෝනියක්. උන් ඒක පාර අයිනට විසික් කරන්ට අරං ඇවිත් තියෙන්නේ. මේ වැඩේ කරන්ට ආපු නිසා ළිඳට දාල…එච්චරයි.”

මම ආයාසයෙන් සිනා වීමි. කොලුවාගේ මුවටද සිනාවක් නැංගේය.

“උඹ ඒ ගැන හිතන්ට ඕනැ නෑ. මම ඒක බලා ගන්නම්.”

කොලුවා හිස සැලුවේය. ඌ මා කියන දෙයකට ඉහළින් නොයයි. අනෙක් උන්නාසෙලාගේ අතවර වලින් මිදෙන්ට නම් මා නැතිව බැරි බවද දනී. එ නිසා ඌ කට අරීය නොසිතමි.

“ටික කාලෙකින් ගිය නැති නිසා කිරිකැට් ගහන්න ගියාට කමක් නෑ. හවස් නොවී වරෙන්…” සුදත් ඉගිලුණේය. ඌට කිරිකැට් තරම් දෙයක් නැත. තව ටික දොහකින් ඌට ඕක අමතක වනු ඇත්තේය.

මට එය එසේ අමතක කරන්ට බැරිය.

එක පැටළුමක් ලිහූ පසුව මට ගත හැකි පියවර කවරේද මම කල්පනා කළෙමි. එක – මට මේ සිද්ධිය පොලෝසියට දන්වන්ට පිළිවන. “ඇමැතිතුමාගේ ගෝලයින් පිරිසක් ඇවිත් ඊයේ රෑ ගෝනියක් ළිඳට දාල තියෙනවා. ඒකෙ මනුස්ස සරීරයක් තියෙනවා කියලා මට සැකයි” දෙක (ඒ තරමටම නිවැරදි නොවුණත්) සිද්ධිය පොලෝසියට කියනවා කියා තර්ජනය කොට වහාම ළිඳ නැවත හාරා ඒ සරීරය රැගෙන යන්ට ඇමැතියාට කියන්ට පිළිවන. තුන – වෙනත් උන්නාන්සේ කෙනෙකුට කතා කොට උපදේසයක් ඇසිය හැකිය. හතර – කිසිවක් නොකර එන දේකට එන විදියට මුහුණ දෙනවා කියා ඉන්ට පුළුවන.

හොඳයි පොලෝසියට කිව්වාය හිතමු. කියන්නේ කවුරු කළා කියලාද? ඊයේ පැමිණි එකෙකුගේ වත් නම් මම නොදනිමි. අඩු ගණනේ ආපු ජීප් එකේ අංකයවත් නැත. තමන් එවන් පිරිසක් නො එවූ බව ඇමැතියාට පහසුවෙන් කිව හැකිය. උන් ළිඳට දැම්මේ මනුස්ස සරීරයක්ම නම් මේ පිරිස දැනටමත් සඟවලා වෙන්ට පිළිවන. මට තියෙන එකම සාක්ෂිය සුදත්ය. ඌ එකොළොස් හැවිරිදි කොලුවෙකි. උසාවියකදී දක්ෂ නීතිඥයකුට ඉතාම පහසුවෙන් උගේ සාක්ෂිය කඩන්ට පිළිවන. ඒ උසාවියට ගියොත්ය. උසාවියට යන්ට පෙර මෙය අහවර කර ගන්ට ඇමැතියා හැම උත්සාහයක්ම දරණු ඇත. ඒ කාලය තුළ පත්තර වල යනු ඇත්තේ ඇමැතියා ගැන නොව පන්සල හා මා ගැනය. පොටෝ අල්ලනු ඇත්තේ පන්සල් වත්තටය. කවුරු වැරදි වුවද නොවැරදි වුවද ඉන්පසු බල්ලකු වත් පන්සලට නො එනු ඇත. අන්තිමේදී මේක මා විසින්ම කළ එකක් බව උසාවිය තීරණය දින්නොත් මට එල්ලුම් ගහට යන්ට වෙනු ඇත්තේය. අනෙක මා වැනි සාමාන්‍ය පුද්ගලයකුට රටේ බලවත්ම ඇමැතියකු හා හැපී ජය ගන්ට පුළුවන්ද? මා දන්නා අනෙක් ඇමැතියන් හා මැඩම් පවා ගනු ඇත්තේ කාගේ පැත්තද? මට කළු ගල් හා ඔළුව හප්පා ගන්ට පුළුවන්ද?

මගේ අහිංසක අම්මා, ගමේ නෑදෑයන්, අවට පන්සල් වල උන්නාන්සෙලා මා ගැන මොනවා නොසිතනු ඇත්ද?

මේ හේතුව නිසාම දෙවැන්න කරන්ටත් බැරිය. මට පොලෝසියට යන්ට බැරි බව ඇමැතියා දනියි. ඒ නිසා ඔහු තර්ජන වලට බිය නොවෙයි.

තව උන්නාන්සෙ කෙනකු ගෙන් ඇහුවා කියා වැඩක් වෙයිද? බෞද්ධ භික්ෂූන් වහන්සේලා යනු ලෝකෝත්තර ජීවිතය ගැන පමණක් දන්නා පිරිසකි. ලෞකික ජීවිතයේ ඉතාම සරල ගැටළුවක් ඉදිරියේ පවා ඔවුහු අසරණ වෙති. මේ ලෝකෝත්තර ගැටළුවක් නොවේ. අනෙක අපේ උන්නාන්සෙලා ගැනත් මම දනිමි. ඕපාදූප කඳුය. පත්තරේ දාන එක ඊට වඩා හොඳය. එනිසා කට පරිස්සම් කර ගනිමි.

කොයි තරම් දුරට සිතා බැලුවද මට ඉතිරිව ඇති එකම විකල්පය සේ පෙණුනේ සිව් වැන්නය. එන හැටියකට මුහුණ දෙමි. මගේ කර්ම ශක්තිය මගේ ඉරණම තීරණය කරනු ඇත. මම මේ මළ මිනිය සමඟ මියෙන තුරු දිවි ගෙවමි.

ඇමැතියාට කථා කළ යුතුය මට සිතුණේය. ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කොට තිබේ.

මම නිකමට එදින උදේ ලංකාදීපයට නැවත නෙත් යොමු කළෙමි. “ප්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් නෑ” හෙඩිම කළු අකුරින් කියයි. ඊට යටින් ඔහුගේ බිරියගේ හා දරු දෙදෙනාගේ දුක්මුසු මුහුණු දැක්වෙන ඡායාරූපයකි. තම ස්වාමි පුරුෂයාගේ, පියාගේ ඉරණම ඔවුන් කවදා හෝ දැන ගනීද මම නොදනිමි.

පැයකට පමණ පසු මම නැවත ඇමැතියාට කථා කළෙමි. ඔහු එහා පැත්තෙන් හලෝ කීවේය. කතා කරන්ට බැරි තරමට මම කෝප ගෙන සිටිමි. ඇමැතියා කතා කළේය.

“අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සෙ කතා කරපු එක හොඳයි. මාත් ඔබ වහන්සෙට කතා කරන්ටමයි හිටියෙ. ඔන්න අපි ඔබ වහන්සෙගෙ එක ප්‍රශ්නයක් ඊයේ විසඳුවා…”

මම සිවුර දරා ගත් පසු කිසිම දවසක කිසිම කෙනකුට කතා නොකළ තරම් සැරෙන් ඔහුට කුණුහරුපයෙන් බනිමි.

“ගෙරි වේසිගෙ පුතෝ, තොගෙ අම්මට හැමිනෙන්ඩ මොන ගෙරි වැඩක්ද තෝ ඊයෙ රෑ කළේ? ගෙරි බල්ලා තෝ මාව කෑවා…”

.

.

(ඉවසන්න,……………….සමනළයා යළි පියා සලන තුරු )

Advertisements
Leave a comment

17 Comments

  1. අදත් නෙළලා තියෙන්නේ හතර අතටම.
    අන්තිම පේළිය කියවද්දි හිනාවෙලා පණ ගියා. 😀

    මේ කෑල්ලත් වෙනස් කරන්න තිබ්බේ,
    “ඉවසන්න පින්වත,……………….සමනළයා යළි පියා සලන තුරු”

    Reply
  2. කවුද මේ ඇමතියා?

    Reply
  3. කටට එන හැම දෙයක්ම කියන්ට හොඳ නැත.

    Reply
  4. Anonymous

     /  September 17, 2012

    සූරියප්පෙරුම වැනි ඊනියා දේශප්‍රේමීන් චාටු කතාවෙන් මුළා කොට තැබූ බෞද්ධයින්ට සූරියප්පෙරුමලාගේ ආණ්ඩුවෙන්ම පුකේ අරින හැටි සංකේතාත්මකව ඉදිරිපත් කොට තිබේ. කතාවක කොටසක් ලෙස නොව කෙටි කතාවක් ලෙස ගත්තද විශිෂ්ඨයි.

    Reply
  5. මුල ඉඳලා කියවනගෙන එන කොට හිතුවා මේක වෙන්නෑ කියලා සීන් එක. සුපිරියි උපාසක මහත්තයෝ..

    මහත්තයට කියන්න… ඔය මගේ ඉස්සර පුරුද්දක් තිබුනා.. සල්ලි දීලා ටිකැට් අරන්, ටෙනිසොන් කුරේ මහත්තයගේ නාට්ටි බලන්න යන සිරිතක්.. එතනදි, ටිකට් ගන්න බැරිවෙච්ච පින්වතෙක් තමයි කිව්වේ, ඔබ වහන්සේ සල්ලී දීලා මේවා බලන්නේ අපරාදේ… දොරමඩලාව කියලා කොමඩි සීරීස් එකක් යනවා, ඒකට එනවා කන්නාඩියක් දාගෙන, ඒකෙන් බලන්නේ නැතුව, කන්නාඩියට් උඩින් හොරෙන් බලන, මාර කොමිට් දන්න, නැෂනල් ඇඳගත්තු මහත්තයෙක්… සල්ලි දීලා බැලුවත් පාඩු නෑ හාමුදුරුවනේ කියලා. එදා ඉඳන් තමා මම මේකට ඇබ්බැහි උනේ..

    Reply
    • ~Kasun~

       /  September 17, 2012

      දැන්නම් ඉතින් කොමිටලයක් වීගෙන එන්නේ..

      Reply
  6. jaya

     /  September 17, 2012

    බ්ලොග් කලාව කොතරම් අසිරිමත් දැයි සිතෙන්නේ මෙවැනි දේ කියවූ විටය. ඔබට හිසනමා ආචාර කරමි.

    Reply
  7. අරුමයක මහත….මා ජීවත් වන විශ්වයේ මෙසේ සිදු වෙයි.

    ස්ථානය – රත්නාරාමය වෙනුවට **රාමය
    විහාරාධිපති – රතු හාමුදුරුවෝ වෙනුවට ** හාමුදුරුවෝ

    Reply
    • කමෙන්ට් එක මඳක් එඩිට් කළෙමි, පින්වත.

      – ලේඛක

      Reply
      • DDT

         /  September 17, 2012

        එසේ වූයේ **රාමයේ සිටින ** හාමුදුරුවො පිළිබඳ අනුකම්පාවෙන්ද නැත්නම් **රාමයෙ ** හාමුදුරවො වශයෙන් හැඳින්වීමට සුදුසුකම් ලැබූ බහුතරයක් රට වටා සිටින නිසාද? එහෙමත් නැත්නම් ඔය කවුරුත් බය කේස් එකද?

  8. DDT

     /  September 17, 2012

    මහ රෑ තදියමට ලිං වහන්න එනකොටම මට හිතුන වැඩේ හරි කියල, ඒත් අන්තිමට හාමුදුරුවො අරහෙම ඇමතියාට අභිධර්මය දේශනාකරයි කියල නම් මට හිතුනෙම නෑ. ඕං 😀

    මමත් ඒලෙවල් කරපු කාලෙනම් නොවරදවම දොරමඬලාව බැලුව, සූරියප්පෙරුම උන්නැහෙගෙ කතාවලට මමත් හරි මනාපයි, මාර කොමඩිනේ. වැරැද්ද මිනිහගෙ කටට බ්‍රේක් නෑ. බ්‍රේක් එක තමයි හසන්ත. එයාට අවශ්‍ය උත්තරේ ගත්ත ගමන් බ්‍රේක්එක ගහනව, නැත්නම් අර යකා වක්කඩ කඩපු වගේ දස අතේ නෙලනව.

    Reply
  9. සූරියප්පෙරුමාල් ලා ට කිසිත් නොකියනු!

    Reply
  10. ranwala

     /  September 17, 2012

    මේ විශ්වයේ නම් ඔය වගේ වහපු වලක් හාරල බලපු නෝන කෙනෙක් අන්තිමට රජ පුටුවෙන් නතර උනේ .හැබැයි ඉතින් රතු සාදුට නම් වහපු වල හෑරුවොත් වලකජ්ජ ගහන්න තමයි වෙන්නෙ.සූරියප්පෙරුම ගොය්යගේ නැෂනල් එකත් ගලවල තීන්නේ සුපිරියටම ගලපල.මේකට නම් කාලයක් අවශ්‍යත් නැහැ සර්වකාලීන කතාවක් නේ.

    Reply
  11. Ashi

     /  September 23, 2012

    දේශපාලනය මගේ ඉතාමත්ම අකමැති මාතෘකාවක් සමනළ විප්ලවයේ එය ඉදිරිපත් කරල තියෙන විධිය අනර්ඝයි… කොටස් කීපයක් මැදින් මැදින් කියවද්දි හිතුන මුල ඉඳල පිලිවෙලට කියවන්න ඕනෙ කියල… ඒ වගේම කියෙව්ව… කතා අන්තර්ගතයට වගේම කතාව ලියවෙන සමාන්තර විශ්වයේ concept එකටත් මම ගොඩක් කැමතියි… ඒ වගෙමයි ලේඛකයාගේ භාශා හැසිරවීමත්…

    Looking forward to the rest of the story…!!!

    Reply
  12. ග්‍රාම සේවක

     /  October 10, 2012

    අතිශය කැමැත්තෙන්, පැටළුම් ද ලෙහාගෙන කිය‍වගෙන ගියත් මට නොතේරෙන දේ නම් බෞද්ධ පාර්ශවය බොහෝ කලු පාටින්ද ක්‍රිස්තියානි පාර්ශවය සුදු පාටින්ද තැබීමට සමාන්තර විශ්වයේ ඇති චරිත වලට මුවාවූ ලේඛක යාගේ ඇති අසීමිත කැමැත්තයි. සියලු දුසිරිත් පන්සල් ආශ්‍රිතවම සිදු වන බව පෙන්වීමට ගන්නා උත්සාහයම මේ අගනා ‍ලේඛන රටාව ට හානිකර බව ඔහුට නොතේරෙන්නේ ඇයි? එය ඔහුට නොපෙනෙන නිසාද එසේත් නැත්නම් එය ඔහුගේ අරමුණ නිසාද?

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: