(25) අසම්මතයේ පෙම්වතුන් අපි || The illicit lovers

කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය (මේ පෝස්ට් එකෙන් මාස කිහිපයකට පසුව)
ස්ථානය: ලංකාව

**********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී…
ඔබ නිසා පදවන්නෙමී…

ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩබිමෙහි මං ලකුණු දක්වන්න…
නැංඟුරම් ලන තැනට පෙනෙන සේ ඔබ ඉන්න…

වෙරළ වෙත සැපත් මා දෝතපා පිළිගන්න සිනාසී
දුර්ඝ වූ ගමන් මග විඩා ගිනි දුරළන්න
යාත්‍රාව පදවන්න මා සමග එක්වන්න…

වයස අවුරුදු හතළිස් හතේදී ප්‍රේමය මගේ ජීවිතයට එබිකම් කරමින් සිටියි. මෙය නව යොවුන් නොමේරූ ගැටවර ප්‍රේමයෙන් ඉඳුරා වෙනස් හැඟීමකි.

මේ මා මුළු ජීවිත කාලයටම ප්‍රේමයෙන් වෙළුණු පළමු හෝ දෙවන අවස්ථාවය. හරිහැටි කිව නොහැක්කේ බියට්‍රිස් කෙරෙහි මගේ සිත තුළ වූ හැඟීම ප්‍රේමයක්දැයි මා තවමත් නොදන්නා නිසාය. මම එය විශ්ලේෂණයට නොයමි. එහෙත් එය මා සිත දැනට පිරී ඇති ප්‍රේමයට කිසිසේත් සමාන නොවූ බව නම් මට ඉඳුරා කිව හැකිය. මෙබඳු සුවබර හැඟීමක් මම ජීවිතයේ කිසිදිනෙක ආස්වාදනය කොට නැත්තෙමි. එය මගේ දෙපා වල බැඳි යගුලීන්ගෙන් මා මුදා ඈත අහසේ වළාකුළු මත මා පා කිරීමෙහි සමත්ය. මුළු මහත් ලෝකයම මගේ මනසින් බැහැර කොට එතෙක් පවතින්නේය මා හාංකවිසියක් දැන නොසිටි අසිරිමත් විශ්වයකට මා රැගෙන යාමේ සමත්ය. මේ මා කුඩා කළ ධර්ම දේශනාවන්හීදී අසා ඇති තාවතිංසයද?

බියට්‍රිස් ගේ මරණයෙන් පසුව මා (n+1) ගණනක් ගැහැණු ඇසුරු කළ බවත් අඩු තරමින් ඉන් අඩක් සමඟ යහන් ගත වූ බවත් සැබෑවකි. මේ හුදෙක් ලිංගික සුවය පතා කළ එක්වීම්ය. සමහර කාලවලදී නාඬි වැටේ නම් තම්පලා මිටියක් සමඟ වුව යහන් ගත වන්ට තරම් මගේ ලිංගික පිපාසය දැඩි විය. මා සමඟ සයනයට නඟින ගැහැණියක් සිසිල් දිය පොදකින් මගේ තිබහ කාලයකට නිවයි. ඇගේ තිබහ නිවුණාද නැද්ද සොයන්ට මම කරදර නොවෙමි. කලාතුරෙකින් ගැහැණියක දෙදෙනක හැරෙන්නට මට මේ කිසිවක් one night stand එකකින් ඔබ්බට ගෙන යන්ට අවශ්‍ය වුයේ නොවේ. දෙතුන් වර රමණයට ආවෝද, ඉන්පසු හේතුවක් ඇතිව හෝ නැතිව මා මඟ හැරියහ. නැත්නම් කාර්යබහුලත්වය විසින් අපේ සම්බන්ධතා බිඳින ලද්දේය.  මේ ගැහැණුන්ට අවශ්‍ය වූයේද එක්කෝ මුදල්ය; නැතිනම් රස්සාවක් බඳු උදව්වකි. මට හැකි පමණින් මම ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කළෙමි. ගනුදෙනුකාරියන් රැවටීම මගේ සිරිත නොවේ. රමණය තුළින් යමක් ලැබුණාය ඔවුන්ට සිතන්ට පුළුවන් මට්ටමට මම සාධාරණ වීමි. එනිසාම රැකියා ලද කිහිප දෙනකුගේ ජීවිත වෙනස් වූ බවද මම දනිමි.

මා හා යහන් ගත වූ තරුණියක ඉඳ හිට මඟ තොටේදී, කාර්යාලයකදී, සුපර් මාර්කට් එකකදී මට මුණ ගැසෙයි. සමහරවිට තනිවය. සමහරවිට පෙම්වතා/සැමියා සමඟය. සමහරවිට සැමියා ඇතිව හෝ නැතිව දරුවන් සමඟය. මා දුටු කළ ඔවුන්ගේ ප්‍රතිචාර විවිධය. සමහරු නොදක්කා සේ වහා සැඟව යති. සමහරු අසළට විත් “සර්…” කියා කතා කොට ඉන්පසු ගොළු වෙති. එකියකට තම පෙම්වතා මට හඳුන්නා දී කොමළ කරන්ට තරම් නිර්භීතකමක්ද තිබුණේය. මම මේ සියල්ලට උපේක්ෂාවෙන් මුහුණ දෙමි. මා හා ඔවුන් අතර වූ සම්බන්ධය ශාරීරිකය. ප්‍රාථමිකය. තිරිසන්ය. ඔවුනොවුන් අතර සම්බන්ධතා ඊට වඩා උසස්ය. මම අපේ තිරිසන් සම්බන්ධතා නිසා ඒ උසස් සම්බන්ධතා බිඳෙන්ට ඉඩ නොදෙමි.

මහීරා මගේ ලෝකයට ඇතුළු වූයේ ගැහැණියක සමඟ තිරිසන් සම්බන්ධතාවයක් හැර වෙනෙකක් පවත්වා ගත නොහැකිය මා අත්දැකීමෙන්ම අවබෝධ කොට දශක ගණනාවකට පසුය. ඇය මේ අවබෝධය වෙනස් කරන්ට සමත් වූවාය.

එසේම ඇය මා එතෙක් දැන සිටි සියළු ගැහැණුන්ගෙන් වෙනස් වූවාය. ඇය වැන්නියක මට යළි කවදා හෝ හමුවේද මම නොදනිමි.

‘පෞද්ගලිකයි’ කියා ලියුම් කවරයේ දකුණු පස උඩු කෙළවරෙහි වටකුරු සිංහල අකුරින් ලියැවුණු ඇගේ ලිපිය ලැබුණු දිනය මට තවම මතකය.

සාමාන්‍යයෙන් මගේ ලියුම් කඩන්නේ කාර්ය මණ්ඩලයයි. එසේම ඉන් 99%කට මගේ කිසිම මැදිහත්වීමකින් තොරව උත්තර බඳින්නේද ඔවුන්ය. එහෙත් ‘පෞද්ගලිකයි’ (Personal) හෝ ‘රහසිගතයි’ (Confidential) ලෙස සලකුණු කරනු ලැබූ ලියුමක් නොකඩා මා අතට පත්වේ. මේ ලියුම මා අතට පත් වූයේ එලෙසය.

එය පෙම් ලියුමකැයි ඔබ උපකල්පනය කළේ නම් මට කියන්ට ඇත්තේ එසේ නොවූ බවයි.

එය ගම්බද ප්‍රදේශයක යුවතියක තමන් විසින් ස්ථාපනය කරනු ලදුව ක්‍රියාත්මක කරගෙන යනු ලබන ක්ෂුද්‍ර ජල විදුලි බලාගාරයක් ගැන රටේ විදුලි බල නියෝජ්‍ය අමාත්‍යතුමන්ට ලියූ දීර්ඝ ලිපියකි. ඇය සඳහන් කර තිබූ සමහර කාරණා මට තවමත් මතකය.

“සර්, මේ බලාගාරෙ සැලසුම් කළේ මම තනියම. ඒත් මට කවදාවත් මේ ගැන විධිමත් පුහුණුවක් ලබන්න අවස්ථාවක් නම් ලැබිල නැහැ.”

“මං පොඩිකාලෙ ඉඳන් අනෙක් ළමයින්ට වඩා දක්ෂයි. කැම්පස් ගියා නම් අනිවාර්යයෙන්ම ලොකු තැනකට යන්න තිබුණා.”

“ගමේ කවුරුත් මට උදව් කළේ නැහැ. ගමේ අය අපි එක්ක ඉරිසියයි. තාත්තා තමයි මේ ප්‍රොජෙක්ට් එකට සියළු වියදම් දැරුවේ.”

“දැන් මම මෙයින් ගමේ ගෙවල් හාරසීයකට විදුලිය දෙනවා. විදුලි බල මණ්ඩලේ ලයිට් කපපු ගෙවල් වලටත් අපි විදුලිය දෙනවා”

“මේ බලාගාරයෙන් සාමාන්‍ය ගෙදරකට විදුලිය දෙන්න වැය වෙන්නේ මාසෙකට රුපියල් 200ක් විතරයි. අපි අය කරන්නෙත් ඒකෙන් කොටසක් විතරයි”

“හැමෝම මගෙන් අහන්නේ මේ තරම් ලොකු වැඩක් තනිවම කළේ කොහොමද කියලයි.”

මේ දීර්ඝ විස්තරය අවසානයේ මම ආධාර ඉල්ලීමක් බලාපොරොත්තු වූයෙමි. රටේ පුරවැසියකු දේශපාලකයකුට ලියන්නේ ඒකටය. පුදුමයකට මෙන් ඇය ඉල්ලා තිබුණේ මුදල් නොවේ.

“සර් මට එකම උදව්වක් කරන්න. මට සල්ලි අවශ්‍ය නෑ. මේ සල්ලි බලාගෙන කරන වැඩක් නෙවෙයි. මට මේ බලාගාරය දියුණු කර ගන්න පුළුවන් නම් ideas ටිකක් දෙන්න”

ඇය මෙන් සියළු දෙනා අපෙන් ideas පමණක් නොඉල්ලන්නේ මන්ද? ඒවා දීම පහසුය. මුදල් වියදම් නොවේ.

ලියුමේ අග ඇගේ දුරකථන අංකය විය. එදින උදෑසන වැඩි වැඩක් නොතිබුණු හෙයින් මම ඇයට කතා කළෙමි.

මහීරාට තිබුණේ මිහිරි සීනු නාදයක් බඳු කටහඬකි. මම ඊට වශී වීමි. ඇය ලියුමෙහි වූ දීර්ඝ විස්තරය මා වෙනුවෙන් යළි කරනු මම අසා සිටියෙමි. මගේ නිලධාරියකු යමක් ගැන මේ තරම් උනන්දුවකින් කතා කරනු මම කිසිදිනෙක අසා නැත්තෙමි. ඇය කථා කළේ මේ බලාගාරයෙන් තොර ජීවිතයක් ඇයට නැත්තාක් සේය.

මිනිත්තු තිහක පමණ දුරකථන කතාබහ අවසානයේ මම ඇය හමුවීමට රත්නපුර, බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක තුන භූගෝලීයව මුණ ගැසෙන ලක්ෂ්‍යයට ආසන්නයේ වූ ඇගේ ගමට යන්ට පොරොන්දු වී සිටියෙමි. එය දේශපාලකයකුගේ නොව අවංක මිනිසකුගේ පොරොන්දුවකි.

සතියකට පමණ පසු දිනෙක මා ඇය හමුවන්ට ගියේ වාහනයේ රියැදුරා පමණක් සමඟය. ඇය දිගින් දිගටම කීවේ ඇයට මුණ ගැසෙන්ට අවශ්‍ය මා පමණක් බවත් වැඩකට නැති නිලධාරීන් පිරිසක් නොවන බවත්ය.

මා මේ ගමනින් ලබන දෙයක් ගැන මට නිශ්චිත හැඟීමක් නොවීය. සමහර විට එය නිකරුණේ කාලය නාස්ති වීමක් වන්ටද පිළිවන් බව මම දැන සිටියෙමි. එක මයික්‍රොහයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් එකක් යනු මහ දෙයක් නොවේ. රට පුරා එවැනි ව්‍යාපෘති සිය ගණනක් වෙයි. එහෙත් දවසේ පැය විසි හතරක් නගරයේ කොන්ක්‍රීට් මැද සිරව සිටින අපි ඉඳ හිට හෝ හරිත වර්ණ ස්වභාවික පරිසරය විඳින්ට ලබන අවස්ථාවක් අගය කරමු. “අපේ ගම හරීම ලස්සන පළාතක්” කියා ඈ කී බවද මතකයේ කොණක තිබුණේය.

මා ගියේ ඇගේ නිවසටය. පියා නිවසින් බැහැරව සිටි නිසා ඒ අවස්ථාවේ නිවසෙහි සිටියේ ඇය හා මෑණියන් පමණය.

මහීරා මා එතෙක් දැන සිටි හැම යුවතියකගෙන්ම වෙනස් වූවාය. ඇය බොහෝ කාලයකින් දැන සිටි මිතුරකු ලෙසින් මා සමඟ සල්ලාපයේ යෙදුණාය. අප අතර වූ වයස් පරතරය සේම රාජකාරිමය පරතරයද ඉවත් වී ඇත්තාක් සේ මට සිතුණේය.

මහීරා! මම කෙසේ නම් ඇය විස්තර කරන්නෙම්ද!

ඇයගේ පියා සිංහල බෞද්ධය. මව මුස්ලිම්ය. විවාහය විසින් මේ ඇදැහීම් දෙකින් එකක් වත් වෙනස් කොට නොතිබුණේය. ඇගේ පියාට කෘෂිකර්ම උපදේශකවරයකු සේ ‘ආණ්ඩුවේ රස්සාවක්’ තිබුණේය. එනිසා නෑදෑයින් හෝ යාළු මිත්‍රාදීන් මත රඳා පැවැත්ම අනිවාර්ය නොවීය. මහීරාගේ දෙමාපියෝ දෙපසෙහිම නෑදෑයින්ගෙන් මෑත්ව තනිව ජීවත් වන්ට තීරණය කළෝය. ඔවුන් දැනට ජීවත් වන නිවස, විවාහයෙන් පසු තනා, පදිංචියට ආ එකකි. ගෙවත්ත බිම් අඟලක් අත නොහැර එළවළු වගා කොට තිබුණේය. මේ වගාව ඔවුන්ගේ දෛනික ආදායමට සැලකිය යුතු තරමින් යමක් එක් කරනවා ඇතිය මට සිතිණි.

ඇයට වයස දෙකකින් වැඩිමහළු අක්කා විවාපත්ය. ඇය මහනුවර වාසය කරයි. විසි දෙහැවිරිදි මහීරා එතෙක් විවාපත් නොවූයේ ඇය මුස්ලිම් ප්‍රජාවෙන් වෙන්ව ජීවත්වූ හෙයින් විය හැකිය මම උපකල්පනය කළෙමි. ඇය පැහැපත්ය. අතිශයින් රූමත්ය. කුඩා සිහින් සිරුරකින් යුක්තය. අඩුවෙන් දෙමළද, වැඩියෙන් සිංහලද කතා කරයි. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත්ය. උසස් පෙළ කලා විෂයයන් හැදෑරීය. සිංහලට B සාමාර්ථයක්ද, ආර්ථික විද්‍යාවට C සාමර්ථයක්ද ලැබුවාය. ඉංගිසි සාහිත්‍යය අසමත් වූවාය. පාසලේ එම විෂය උගන්වන්ට ගුරුවරයකු නොවූ හෙයිනි.

මේ ගම්බද පාසල් වල ඉංගිරිසි සාහිත්‍යය විෂයක් සේ තෝරා ගන්ට පහසුකම් තිබේද? මා දන්නා තරමින් නම් කොළඹ ඉස්කෝලයක සිසුවකුට සිසුවියකට පවා උසස් පෙළ ඉංගිරිසි සාහිත්‍යය හැදෑරීම අභියෝගයකි.

“ටීචර් කෙනෙකුත් නැතුව මොකටද ඉන්ග්ලිෂ් ලිට්‍රේචර් කරන්න ගියේ?” මම අසමි.

“තෝර ගන්න කොට දන්නෙ නෑනෙ ටීචර් කෙනෙක් නෑ කියල…”

“ඉතින් දෙවෙනි සැරේට වෙනත් විෂයයක් කරන්න තිබුණනෙ…”

මගේ ප්‍රශ්නයට ඈ කෙළින් පිළිතුරක් නොදෙයි. ඒ වෙනුවට කථාව වෙනතක හරවයි.

“මම ඒ-ලෙවෙල් ප්‍රොජෙක්ට් එකට කළේ අපරාධ පරීක්ෂණ විද්‍යාව ගැන එකක්…”

“මොකද්ද ඒ…?”

“මට තිබුණේ පොලීසියට උදව් වෙන්න අපරාධයක් විසඳන්න…”

“ඉතින්…?”

ඇය මිනීමැරුමක් ගැන දීර්ඝ විස්තරයක් කරයි. ඉන් කොපමණ ප්‍රමාණයද ඇත්තද කොපමණ ප්‍රමාණයක් ඇගේ පරිකල්පනයද මම නොදනිමි. මට හැඟෙන එකම කාරණාව වෙන කිසිම කෙනෙක් මේ තරම් සැහැල්ලුවෙන් මේ තරම් රසවත් විෂයයක් ගැන බොහෝ කාලයකින් මා සමඟ කතා නොකළ බවය.

“මං කිව්වෙ අර එක වගේ ඇඟිලි සලකුණු දෙකක් හම්බ වුණාය කියලා…ඒ අනුව මට තීරණය කරන්න පුළුවන් වුණා මේ මිනීමැරුමට නිවුන් සහෝදරයින් දෙන්නෙක් සම්බන්ධයි කියලා. පොලීසිය ඒ අනුව මිනීමරුවා හොයා ගත්තා…”

මා ඇය විශ්වාස කළ යුතුද? පොලීසිය උසස් පෙළ සිසුවියන්ගෙන් මිනීමැරුම් විසඳන්ට උපකාර ලබා ගන්නේද?

මට තවත් ගැටළුවක් වූයේ ඇගේ මවගේ හැසිරීමයි. (ඇය මට වඩා බාලය සිතමි. මුස්ලිම් ගැහැණු ඉක්මණින් විවාපත් වෙති.) තම අවිවාහක, තරුණ දියණිය මුණ ගැසෙන්ට මැදිවියේ පිරිමියකු තනිව ආ කල්හි ඇගේ මෑණියන්ගේ බලාපොරොත්තු විය හැකි හැසිරීමව තිබුණේ දියණිය ආරක්ෂා කරමින්, සමහරවිට ඇණයක් වෙමින්, හැමවිටම ඇය පස්සෙන් සිටීමය. එහෙත් පුදුමයකට මෙන් මුස්ලිම් කාන්තාවකද වූ ඇගේ මව මහීරා ගැන මොහොතක්වත් කරදර වන වගක් නොපෙන්නුවාය. ඇය හැසිරුණේ දියණියගේ සේවිකාවට වඩා කිට්ටු භූමිකාවකි.

“අම්මේ මොනවා කරනවද? ඔය තේ එක ගේන්නකෝ…” මහීරා කෑ ගසයි.

ඇගේ මව බයාදු ලෙසින් තැටියක තැබූ තේ දෙකක් අරගෙන එයි.

“ඔය..මම තේ කිව්වෙ තේ විතරක් නෙවෙයිනෙ. අර බිස්කට් ටිකයි චීස් ටිකයි ගේන්නකෝ ඉස්සෙල්ලා…”

මව යළි ගෙතුළට යයි. ඉන්පසු ඇය බිස්කට් හා චීස් රැගෙන එයි. මෙතැන පාලිකාව කවුද පාලිතයා කවුද තේරුම් ගන්ට ලොකු දැනුමක් අවශ්‍ය නොවේ.

“මට තවත් හුඟාක් දෙනෙක් උදව් කළා මේ ප්‍රොජෙක්ට් එකට. කොළඹ ඇමෙරිකන් එම්බසි එකේ එක්ස්පර්ට් කෙනෙක් මට උදව් කළා තොරතුරු හොයා ගන්න…” මහීරා ඒ අතර කියයි.

“කවුද ඒ? මොකද්ද එයාගෙ නම?”

“ස්මිත්…ජේම්ස් රොජර්ස් ස්මිත්”

“හ්ම්…”

“ඒ ගොල්ල මට හුඟාක් කන්ෆිඩෙන්ෂල් ඉන්ෆොර්මේෂන් දුන්නා. සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට නොදෙන දේවල්. තව තොරතුරු දෙන්න නම් මට ඇමෙරිකන් සිටිසන්ෂිප් එක ගන්න ඕනැ කිව්වා. ඒකත් අමාරුවක් නැතුව ගන්න තිබුණා. ෆොටෝස් හෙමත් අරගෙන තිබ්බේ. ඒත් තාත්තා කැමැති වුණේ නැහැ…”

“හ්ම්…”

“සමහර තොරතුරු කොයිතරම් රහසිගතද කියනව නම් ඒවා එම්බසි එකෙන් එළියට ගේන්න දෙන්නෙ නෑ. ඉතින් මට එම්බසි එකේ නතර වෙන්න වුණා සමහර දවස් වලට…”

“හ්ම්…”

“මොකෝ බකමූණෙක් වගේ හ්ම්…හ්ම්ම් ගාන්නෙ?”

“මං ඉතින් තාම දැක්කෙ නෑනෙ ඔයාගෙ මයික්‍රො හයිඩ්‍රො ප්‍රොජෙක්ට් එක…”

“අපෝ එක තියෙන්නෙ ටිකක් දුර… ගේ පිටිපස්සෙන් යන්න ඕනැ. කාල ඉවර වෙලා යමුකෝ”

මා කල්පනා කළේ ඇගේ මුස්ලිම් පසුබිම මත නිවසින් කවුරු හෝ අප සමඟ ගමනට එක් වේය කියාය. නමුත් ඇය මා සමඟ ආවේ තනිවය. අපට ඇයගේ නිවස පසුපස පොඩි කන්දක් නඟින්ට විය. තැන තැන නිවෙසක් දෙකක් තිබුණද මේ කැලෑ ප්‍රදේශයකි.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය මට සිතුණේය.

“දැන් මේ මැරීගෙන කැලේ යනවට මට මොනවද හම්බ වෙන්නෙ…”

“සර් කැමැති ඕනැම දෙයක්..!” ඇය මා බලාපොරොත්තු නොවූ පිළිතුරක් දුන්නාය.

“ඕනෑම දෙයක්ය කියන්න විවෘත උත්තරයක්නෙ…”

ඇය බැරෑරුම් පෙණුමක් මුහුණට ආරූඪ කර ගත්තාය.

“මං කෙළින්ම කියන්නම්කො. සර්ට ඕනැ නම් මාත් එක්ක නිදා ගන්න, ඒකට කමක් නෑ. හැබැයි මට මේ බලාගාරය දියුණු කරන්න ideas ටිකක් දෙන්න. මේක තමයි මගේ ජීවිතේ…”

.

.

(ඉවසන්න……….සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

16 Comments

  1. ඇති යාන්තම්..ඉන්ටිවල් ඉවරයි.ආපහු ලියන්න පටන් අරන් කථාව කියවලාම එන්නම්

    Reply
  2. බලාගාරයක් දියුණු කරන්න අයිඩියා ටිකකට ඔනේම දෙයක් දෙනවා….එකත් ඇමති නෙමෙයි..නියොජය ඇමති..

    Reply
  3. @Lekakaya:

    Never knew this is a real life story.

    Reply
  4. සැබෑව සහ ප්‍රභන්දය අතර ලොකු පරතරයක් තිබිය නොහැකියි කියලා හිතෙන කොට බය හිතෙනවා . . .

    Reply
  5. DDT

     /  October 8, 2012

    හුඟ කාලෙකින්. මම ඒත් කම්පනා කළේ අපේ හිටපු (නියෝජ්‍ය හෝ ) විදුලිබල ඇමතිවරුන්ටත් ඔහොම පල්ලමුත් අහුවෙන්ට ඇති ද කියල.

    Reply
  6. Weerasinghe

     /  October 8, 2012

    මට පේන්නෙ නියෝජ්‍ය ඇමතිතුමා බුද්ධි මෙහෙයුමකට අහුවෙලා වගේ

    Reply
  7. Ciel

     /  October 8, 2012

    At Last, U have started posting……. Thank u. Nice story… I don’t know how you imagine such stories….

    Reply
  8. විශ්ෙල්ෂකයා

     /  October 8, 2012

    mmm….this is unchartered territory ……

    Reply
  9. kathandarakaraya

     /  October 8, 2012

    “ඒ ගොල්ල මට හුඟාක් කන්ෆිඩෙන්ෂල් ඉන්ෆොර්මේෂන් දුන්නා. සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට නොදෙන දේවල්. තව තොරතුරු දෙන්න නම් මට ඇමෙරිකන් සිටිසන්ෂිප් එක ගන්න ඕනැ කිව්වා. …”

    What’s so confidential about running a turbine?

    Reply
  10. Kenji @ Japan

     /  October 8, 2012

    අර්ජුනකාරයා නේද කෙල්ල දීපු දේවලුත් අරගෙන,බලාගාරයත් තමන්ටම ගත්තේ?

    Reply
  11. usaide යු එස් ඒඩ් ප්‍රොජෙක්ට් එකක් වගේ.

    Reply
  12. මෙය එක්තරා උපක්‍රමයක් පමණි. මෙහි ඇති මෙතරම් රහසිගතභාවය කුමක්ද?

    අපව අතරමං නොකර යලි කැදවීම ගැන ස්තුතිවන්ත වෙමි.

    Reply
  13. හෙනම ස්වීට්.මට ඇඬෙනවා ඇතැම් ඉස්ථානයන්හිදී.සිරාවටම!

    Reply
  14. Charith M

     /  October 10, 2012

    thanx for starting the story

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: