(26) මගේ අසම්මත ආදර කතාවේ දෙවන පරිච්ඡේදය || The second chapter of my love story

කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය
ස්ථානය: ලංකාව

**********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

මෙතෙක් කතාව: වික්ටර් සාලිය බණ්ඩාර තමන්ම කුඩා බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. මේ එතැන් සිට කතාවයි.

“සර්ට බැරිද අද ඉඳලා හෙට යන්න…?” ඇය ඇසුවාය. මේ සරල ප්‍රශ්නය මගේ ජීවිතය වෙනස් කරනු ඇතැයි මම ඒ මොහොතේදී සිහිනෙකින්වත් නොසිතුවෙමි.

“කොහේද නතර වෙන්නෙ…?”

“අපේ ගෙදර ඉන්න පුළුවන්. සමහරදාට ඇවිත් නතර වෙන තාත්තගෙ යාළුවෙකුට වෙන් කරපු ඇඳක් තියෙනව වෙනම කාමරේක…”

“ඒත් එහෙම නතර වෙන්න බෑනෙ ළමයො…මම ඇඳුම් ගෙනාවෙත් නෑනෙ…”

” අනේ ඕවත් ප්‍රශ්නද? මං තාත්තගෙ සරමක් ඉල්ලල දෙන්නම්…”

“ඩ්‍රයිවර්…?”

“ඩ්‍රයිවර් යවල ඔයා ඉන්න. අපෝ නියෝජ්‍ය ඇමැති කෙනකුට ඕකවත් කරන්න බැරිද…?”

වෙනත් අවස්ථාවක, වෙනත් කෙනකුගෙන් මේ යෝජනාව කෙරුණේ මම ඊට සිනාසී නිකම් හිඳිමි. එහෙත් පුදුමයකට මෙන් එදා මට ඒ බොළඳ යෝජනාවට කීකරු විය යුතුය සිතුණේය.

මම රියැදුරාට ළඟම ඇති විදුලි බල මණ්ඩල ක්වාටර්ස් වලට රිය ගෙන ගොස් රැය එහි නතර වන්ට උපදෙස් දුනිමි. ඔහු ඊට පුදුම වන බවක් පෙණුනේය. රෑ නතර වන්ට එන බව ඔහු ගෙදරට කියා පැමිණ තිබුණේ නැත. නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ කාල සටහන් වෙනස් විය හැකි බැව් මම ඔහුට කීවෙමි. එසේ වුවද ඔහුගේ මුහුණෙහි අඳුර පහවූයේ රෑට කන්ටය කියා රුපියල් පන්සියයක් අත මිට මෙළෙව්වායින් පසුවය. අප ගැටළුය නොසිතන සමහර දෑ ඔවුන්ගේ මට්ටමේදී විශාල ගැටළුය. සමහරවිට රියැදුරන්ට ගමනක් ගිය විට කන්ටවත් අතේ මුදල් නැත. අඩු පඩි නිසාම නොවේ. අප ඔවුන් ගැන සියල්ල බලා ගනිතැයි අදහසක් ඔවුන්ට වේ. එනිසා ඒ ගැන ඔවුහු කරදර නොවෙති. කාල සටහන වැරදුණු විට පමණක් ඔවුන් කුලප්පු වන්නේ එනිසාය.

මා එදින රැය ඇගේ නිවසෙහි ගත කරන්ට සිතුවේ මන්ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු දීම අපහසුය. ඒ ඇගේ ක්ෂුද්‍ර ජල විදුලි බලාගාරය නිසා නොවන බව නම් කිව හැකිය. ඇය එම බලාගාරය තනන්ට මුල් වූ බව ඇත්තක් මුත් එහි එතරම් ගන්ට දෙයක් නොවීය. හැම තැනෙකම කෙරෙන්නාක් සේ ගලා හැලෙන දිය පහරෙකින් ටර්බයින් එකක් කැරකැවීම මඟින් ජෙනරේටරයක් ක්‍රියාත්මක කිරීමකි එහිදීද කෙරුණේ. එයින් ගෙවල් හාරසිය ගණනකට විදුලිය සපයන බව ඇය කියූ මුත් ඇත්තටම විදුලිය සපයන්නේ ගෙවල් විස්සකට අඩු ප්‍රමාණයකට බව පෙණුනේය. එයින්ද සමහර සම්බන්ධතා විවිධ හේතූන් නිසා විසන්ධි කොට ඇත. එසේම ඊට වියදම් වූ මුළු මුදල ඇගේ පියාගේය කීම වරදක් විය. මෙවැනි ජල විදුලි බලාගාර ඇති කිරීමට ප්‍රමුඛව කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානයකින් ඇයට ආධාර ලැබී තිබුණේය. අවශ්‍ය තාක්ෂණික උපදේශ පවා ලැබී තිබුණේ ඔවුන්ගෙන්ය. ඇයගේ භූමිකාව මෙම ව්‍යාපෘතිය ගම් මට්ටමේදී සම්බන්ධීකරණය කිරීම විය හැකිය.

ඇය මට මෙලෙස බොරු කිව්වේ මන්ද?

“ඔයා කිව්ව නේද මේකෙන් ගෙවල් හාරසීයකට විතර විදුලිය දෙනවා කියලා…?”

“මේක සම්පූර්ණයෙන් සැලසුම් කළේ ඔයා කියලා නේද කිව්වෙ…?”

“ගෙවල් වලට අඩු මිළට විදුලිය දෙන්න විශේෂ වැඩ පිළිවෙලක් තියෙනවා කිව්ව නේද. කෝ ඒක…?”

“ඇයි මේක මේ NGO එකක වැඩක් කියලා මට කිව්වෙ නැත්තේ…?”

මේ කිසිවකට ඇය කෙළින් පිළිතුරක් නුදුන්නාය. ඒ වෙලාවට මොකක් හරි කියයි. නැතිනම් කපටි ලෙස මාතෘකාව වෙනස් කරයි. අනෙක් අතට එළව එළවා ඇගෙන් ප්‍රශ්න ඇසීමේ උවමනාවක් මටද නොතිබුණේය. මට අවශ්‍ය වූයේ වෙනත් දෙයකි. බොහෝ කාලයකට පසු මට අළුත් දෙයක් ගැන උනන්දුවෙන් කතා කළ හැකි, මා කියන දෙයට ඇත්තටම සවන් දෙන, මට මා අති විශේෂ පුද්ගලයකු සේ සිතෙන තරමට මා කෙරෙහි ගෞරවයෙන් ක්‍රියා කරන චරිතයක් හමුවී තියේ. අවිඥානකව හෝ මට අවශ්‍ය වූයේ මේ සම්බන්ධතාව පවත්වා ගන්ටය.

අනෙක් අතට ඇය බලාගාරයේ තත්ත්වය පවත්වා ගන්ට හැකි උපරිම උත්සාහ යොදන බවක් පැහැදිළිව පෙනෙන්ට තිබුණේය. තරමක කැලයක් මැද වුවද එහි යන්ට තිබුණු පාර පුළුවන් තරම් දුරට එළිකොට වැලි අතුරා තියේ. එසේම බලාගාරයේ කුඩා ගොඩනැඟිලි පවා මනාව පින්තාරු කොට තිබිණි. එක බිත්තියක බලාගාරයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන ලැමිනේට් කළ සටහන් රාශියකි. බලාගාරය කුඩා වුව එහි සියළුම කොටස් හා අනු කොටස් සිංහලෙන් හා ඉංගිරිසියෙන් (සමහර විට වැරදි සහිතව) නම් කොට තිබුණේය. අසළ ගස් කිහිපයක නම් පවා ඉංගිරිසියෙන් හා සිංහලෙන් නම් කොට තිබුණේ සමහර පාසල් වල එසේ කරන සම්ප්‍රදාය සිහි ගන්වමිනි. කොටින්ම ක්ෂුද්‍ර බලාගාරයක් යනු මේය තේරුම් ගන්ට උත්සාහ දරණ පාසල් ශිෂ්‍යයකුට නම් මේ අපූරු ආදර්ශකයක් විය. එසේම එය පිහිටා තිබුණේ නිසළ ලස්සන පරිසරයකය. ඉඳහිට මා හමුවන්ට එන විදේශීයයකු කැටුව එන්ට මේ අපූරු තැනෙකයි මට සිතුණේය.

ගහ දන්නා මට කොළ කඩා පෑමක් සේ පෙණුනද ඇය බලාගාරයේ පුරාජේරුව කීමද නතර නොකළාය.

“මේ බලාගාරෙ විශේෂත්වය තමයි මේකෙන් මේ වගෙ වෙන එකකට වඩා ගෙවල් හතරකට විදුලිය දෙන්න පුළුවන් වීම. ඒක කරන්න පුළුවන් වුණේ සැලසුමේ විශේෂ වෙනසක් නිසා. මේ වෙනස දන්න තුන් දෙනයි ඉන්නෙ. අපි පේටන්ට් එකක්වත් ගන්න උත්සාහ නොකළේ කවුරු හරි ඒක හොරකම් කරයි කියලා. අපි මේ විශේෂ රහස රැක ගන්න විශේෂ වැඩ පිළිවෙලක් යොදල තියෙනවා. හැමදාම උදේට අපි එක්කෙනෙක්ගෙ මොබයිල් එකෙන් අනික් දෙන්නගෙ මොබයිල්ස් වලට SMS මැසේජ් එකක් යනවා. ඒ නිසා මේ රහස ගන්න කවුරු හරි අපි තුන්දෙනාගෙන් කෙනෙක් පැහැර ගත්තොත් අනික් දෙන්නට ඒක එදාම දැන ගන්න පුළුවන්. එහෙම වුණොත් ඉතුරු වෙලා ඉන්න දෙන්න කලින් කතා කර ගත්තු තැනකට එකතු වෙලා ඊළඟට ගන්න පියවර ගැන කතා කර ගන්නවා…”

“දැන් මොනවද ඔය විශේෂ සැලසුම් රහස්…?”

“ඒක එහෙම ඔයාට කියන්න බැහැ. ඒක දැන ගන්න එක ඔයාගෙ ජීවිතයටත් තර්ජනයක් වෙන්න පුළුවන්…”

“කවුද ඉතින් ඔය රහස් දන්න අනික් දෙන්නා…?”

“ඒකත් ඔයාට කියන්න බැහැ. ඒක අපේ සංවිධානයේ තීරණයක්…”

කොළඹින් කිලෝමීටර සිය ගණනක් එපිට හද්දා පිටිසර ගම්මානයක මා මේ කරන්නේ කුමක්දැයි මම කල්පනා කරමි. මෙය හුදෙක් මගේ වටිනා කාලය නාස්ති කිරීමක්ම නොවේද? මා ඇගෙන් ලබන්නේ කුමක්ද මම කල්පනා කරමි. ඇය තරුණ බව ඇත්තය. රූමත් බවත් ඇත්තය. නමුත් තරුණ හා රූමත් යුවතියක සමඟ යහන් ගත වන්ට මේ තරම් කරදර විය යුත්තේද?

නමුත් මම දැනටමත් රියැදුරා පිටත් කර යවා හමාරය. එන දේකට මුහුණ දිය යුතුය.

ආපසු එන ගමනේදී මා ඇගේ පියා මුණ ගැසුණු බවද කිව යුතුය. ඔහු වැඩි සද්දයක් නැති සාමාන්‍ය මිනිසෙකි. මා සිතුවාට වඩා වයසය. මහීරා අසළ සිටින විට ඇගේ සීයා සේ පෙනෙන තරමට වයසය. ඔහුද මහීරාගේ මවද අතර සැලකිය යුතු වයස් පරතරයක් ඇතිය මම සිතමි. තම දියණියගේ හපන්කම් ගැන ඔහු ආඩම්බරයෙන් කතා කරයි.

“ඕනැම දේකට උනන්දුවක් තියෙන ගෑනු ළමයෙක් මහත්තයා. මගේ දුව නිසා කියනවා නෙවෙයි. ඔය බලාගාරෙ හැදුවෙ එයාගෙම උවමනාව හින්ද. නැත්නම් ඕක කවදාවත් කෙරෙන වැඩක් නෙවෙයි…”

“ඔව්. මට පෙණුන ඒක…”

“මෙහේ එන හැම මහත්තයෙක්ම කියන්නෙ ඕකම තමයි. මාස දෙකකට විතර කලියෙන් ඉංජිනේරු මහත්තයෙක් ඇවිලා පුදුම වුණා මේ බලාගාරෙ දැකලා…”

“ඉංජිනේරු මහත්තයෙක්…?”

“ඔව්. විදුලි බල මණ්ඩලෙන්. එයා තමයි අර බලාගාරෙ ගාව ගහල තියෙන පෝස්ටර්, සටහන් ටික හෙම හදල දුන්නෙ. අපේ ගෙදර රෑ නතර වෙලත් ගියේ. මේ වගේ ගමක මේ වගේ දෙයක් තියෙන එක ලොකු දෙයක් කියල කිව්ව එයත්. හොඳම තමයි කිව්වෙ…”

දැන් මට ඇගේ ගේම්-ප්ලෑන් එක තරමක් දුරට වැටහෙයි. මේ බලාගාරය ඇයට ඇමකි. ඒ ඇම සමඟ හවුලේ ඇය තම රූපයද, ශරීරයද, මාකටින් කතාවද ටෝක් එකද අනුපානු ඇතිව අනා ග්‍රාහකයින් දිනා ගනියි. හොඳ බිස්නස් මොඩ්ල් එකකි. දශක ගණනාවක් බිස්නස් සේම දේශපාලනයද කළ මා පවා ඇද ගන්ට තරම් හොඳ බිස්නස් මොඩ්ල් එකකි. එහෙත් ඇය බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇය මුදල් බලාපොරොත්තු වන බවක් මට නොකීවාය. නොපෙණුනේය. අනෙක මට පෙර මෙසේ පැමිණි ඇත්තන්ද (ඇය ඔවුන්ටද ලිංගික සේවා සපයන ලද බවට සැක නැත.) ඇයට මුදල් දී ඇති බවට සාක්ෂි පෙනෙන්ට නොතිබුණේය. ඇගේ නිවස දුප්පත්ය. රූපවාහිනියක් හැරුණු විට වෙනත් අරුමෝසම් බඩු කිසිවක් නැත. ඇරත් ඇය මගෙන් දිගින් දිගටම බලාපොරොත්තු වූයේ බලාගාරය දියුණු කිරීමට නව අදහස්ය. මා කී සුළු දේවල් පවා ඇය සටහන් කර ගන්නා සෙයක් පෙණිනි. ඇත්තටම ඉතාම සුළු දේවල් පවා වටකුරු අකුරින් සටහන් කර ගත් පොතක් ඈ සතු විය. එහි “අදහස්” හයසිය ගණනක් තිබුණේය. (සමහර ඒවා බලාගාරය නැරැඹීමට එන්නන්ගෙන් මුදලක් අය කළ යුතුය වැනි සරල ඒවාය.) ඇය අනෙකුන්ගෙන්ද බලාපොරොත්තු වී තිබුණේ මෙවැනිම අදහස් වැන්න.

පුදුමයකට මෙන් මේ නිසා ඇය ගැන මට පිළිකුළක් වෙනුවට පැහැදීමක් ඇති විය. ඇයට යම් අරමුණක් තියේ. එසේම ඒ අරමුණ කරා ළඟා වන්ට ප්ලෑන් එකක්ද තියේ. ඇය ඊට ලඟා වන්නේද පියවරින් පියවරය. ඇය එක්වරම බලාගාරය ගැන මට නොලීවේය. මට වඩා පහළ ඇත්තන්ගෙන් උදව් ලබා යම් තැනකට එය ගෙනා පසුය ඇය මට ලීවේ. එසේම අස්වාභාවික වුවද ඇයගේ මාකටිං ක්‍රමවේදයද මගේ සිත් ගත්තේය.

රාත්‍රිය ගැනද මා සඳහන් කළ යුතුය. ඔවුන් මගේ රාත්‍රී ආහාරය ගැන උපරිම වෙහෙස දරා ඇති සෙයක් පෙණුනේය. ගම්බදව මිස නගරබදව අප කිසිසේත් නොදකින වෑංජන කිහිපයක්ම විය. මුස්ලිම් ඌරුවට හරක් මස් පිස තිබුණද මා ඉන් කෑවේ ටිකක් පමණය.

සාමාන්‍යයෙන් මා මුණ ගැසෙන බොහෝ දෙනකු මා සමඟ කතා කරන්නේ දේශපාලනයයි. එහෙත් මේ මිනිස්සු දේශපාලනය ගැන සඳහනක් වත් නොකළහ. ඔවුන් කතා කළේ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගැනය. (“පහුගිය ටිකේ අමු මිරිස් වලට ලොකු ඉල්ලුමක් තිබුනා”) නැතිනම් පරණ කතාය. (“දෙමෝදර කෝච්චි පාර හැදුවෙ දෙමළ කම්කරුවෙකුගෙ ජටාව බැඳපු හැටි බලාගෙන කියනවනෙ.”) දේශපාලනය ගැන කතා කොට හෙම්බත් වී සිටි මගේ මනසට එය අපූරු විවේකයක් විය.

වෙනම කාමරයක් කීවාට මගේ ඇඳද තිබුණේ ඇගේ පියාගේ කාමරයෙහිමය. මා පුදුමයට පත් කරමින් ඔහු රාත්‍රිය මුළුල්ලේ යම් FM සේවයක ප්‍රචාරය වන පිරිත් දමා තිබුණේය. මෙය නින්දට බාධාවක් වේය සිතූ මුත් මම වෙනදාටත් වඩා හොඳින් නිදා ගතිමි. රෑ නින්ද කැඩුණු හැම විටෙකම මට ඇසෙමින් පැවතියේ පිරිත්ය. මා අවදි වූයේ ප්‍රබෝධජනක මිනිසකු ලෙසිනි.

රියැදුරාට උදේම එන්ට කියා තිබුණු හෙයින් මට උදෑසන ආහරයෙන් පසු ඔවුන්ගෙන් සමු ගන්ට සිදුවිය. මහීරා මේ වන විට මට අතිශයින් සමීපව සිටියාය. ඇගේ ජංගමයේ මගේ අංකය නම් කොට තිබුණේ ‘අපේ සර්’ හැටියටය. මම නිකමට ජංගමය ඉල්ලාගෙන බැලුවෙමි. ‘ගාල්ලෙ සර්’, ‘ඉන්ජිනියර් සර්’, ‘බැංකුවෙ සර්’ වැනි තවත් සර්ලා කිහිප දෙනකුගේම අංක එහි විය.

විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මේ දින දෙක තුළදී අප අතර මොනම ආකාරයකවත් ශාරීරික සම්බන්ධතාවයක් නුවූ බවයි. අඩු ගණනේ මම ඇගේ අතින් වත් නෑල්ලුවෙමි. එවැන්නකට අවසර තිබුණේද නැත. අනෙක මුල පටන්ම අනා ගන්ටද මට අවශ්‍ය නොවීය. සියල්ලටම වඩා ප්‍රමුඛ කාරණාව වූයේ මා ඇගෙන් බලපොරොත්තු වූයේ ලිංගික සුවයක් නොවීමය. මා තුළ මටත් නොදැනීම විශාල හිඩැසක් විය. ඇය පිරවූයේ ඒ හිඩැසය.

මේ හමුවෙන් පසු මා තුළ පෙර නොවූ විරූ ජවයක් ඇති බව මට වැටහිණි. මා රාජකාරි කටයුතු කළේ කවදාවත් නැති තරම් ප්‍රබෝධයෙනි. මිනිසුන්ගේ ප්‍රශ්න විසඳුවේ විසඳන්ට ඕනෑ නිසා නොව මා එසේ කිරීමෙන් තෘප්තියක් ලද නිසාය. පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම බඳු අන්තිම නීරස ක්‍රියාවන්හි නිරත වීමෙන් පවා මට තෘප්තියක් ලැබුණේය. කොටින්ම අන් කවදාවත් නැති විදියට මගේ වැදගත්කම මට ඒත්තු ගියේය. මා මෙතැන සිටින්නේ අන් කිසිවකුට නොහැකි යම් දෙයක් කරන්ටය. එය කිරීම මගේ තෘප්තිය විය යුතුය. මා ඉන් ආස්වාදයක් ලැබිය යුතුය.

මම විදුලි බල ක්ෂේත්‍රය ගැන ගැඹුරින් හදාරන්ටද පටන් ගතිමි. මා පටන් ගත්තේ ක්ෂුද්‍ර විදුලි බලාගාර වලිනි. ටික කලකින්ම මා එම ක්ෂේත්‍රයේ විශේෂඥයකු වනු මටම දැනුනේය. ඉන්පසු මම රටේ ප්‍රමුඛ විදුලිබල ප්‍රශ්න අධ්‍යයනයට නැඹුරු වීමි. දේශපාලකයකුගේ ඇසින් බලන විට මහා වියවුල් සේ පෙනෙන මේ ගැටළු අප හිතනවාට වඩා බෙහෙවින් සරල ඒවා බව මට අවබෝධ විය. මේවා අවුල් කරන්නේ නිලධරයින් හා ඉංජිනේරුවන්ය. හේතු කිහිපයක් නිසාය. එක- ප්‍රශ්න ප්‍රශ්න හැටියට තිබීම ඔවුන්ට වාසිය. එවිට ඔවුන්ගේ අගය වැඩි වේ. ඇමැතිවරයාට ඔවුන් නැතිවම බැරිවේ. දෙක – නිලධර පැලැන්තිය කොහොමටත් වෙනස් ලෙස සිතන්ට ඇකැමැත්තෝය. සුද්දාගේ කාලයේ සිට පවත්වාගෙන ආ රෙකුලාසි, ක්‍රමවේද එසේම පවත්වා ගන්ට ඔවුන් වඩා කැමැතිය. තුන – අවශ්‍ය නැතිකම. ප්‍රශ්නයක් විසඳනවාට නිලධරයකුට අමුතුවෙන් කිසිවක් නොලැබේ. මගේ අළුත් දැනුම මම වසර ගණන් නොවිසඳී තිබුණු ගැටළු විසඳීමට යොදා ගතිමි. මේ නිසා මම සේවක පිරිස – විශේෂයෙන්ම පහළ මට්ටම් වල සේවක පිරිස අතර යම් ගෞරවයක් දිනා ගතිමි.

මගේ මේ වෙනසෙහි උල්පත මහීරාය කියන්ට මම මොහොතකුදු මැළි නොවෙමි.

අපේ මුල් හමුවෙන් පසු ඉදිරිය ගැන මට ලොකු ප්ලෑන් එකක් නොවීය. මා වෙනත් තරුණියන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියම මහීරා සම්බන්ධයෙන්ද අනුගමනය කළේ නම් ඇය කොහේ හෝ රෙස්ට් හවුසියකට ඇය උස්සා ගෙන යාමෙන් අපේ සම්බන්ධය අවසාන වන්ට ඉඩ තිබුණේය.

එහෙත් මහීරාම කථා පිටපත වෙනස් කළාය.

ඇය මට දවස ගණනේ දුරකථන කරන්ට පටන් ගත්තාය. මේ ඇමැතුම් ආවේ සවස පහට පමණය. පාර්ලිමේන්තුවේ වැඩක් නැතිනම් මේ මට සාපේක්ෂව විවේකී කාලයකි. මේ නිසා ඇය සමඟ පැය භාගයක් විතර කතා කිරීමේ නිදහස ලැබුණේය. යම් කලකට පසු මම මේ දුරකථන ඇමැතුම් ලැබෙන තුරු බලා සිටින්ට පුරුදු වීමි.

මේ ඇමැතුම් වලදී අප කතා කළේද වල්පල්ය. වැඩකට ඇති මාතෘකා නොවේ. ඇය නිතර බලාගාරය ගැන කතා කළාය. අනෙක් තැන්වල බලාගාර ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි බලන්ට ගිය ගමන් ගැන කීවාය. පස්සෙන් එන්ට දඟලන මුස්ලිම් කොල්ලන් දෙදෙනකු ගැනද ඉඳහිට සඳහන් කළාය. මම මගේ දෛනික චර්යාවේ යම් දෙයක් හෝ දේශපාලන ඕපාදූපයක් ඇයට කීමි. සමහර දේශපාලන ඕපාදූප අපට කතා කරන්ට වන්නේ මෙවන් අවස්ථාවක විතරය. ඇමැති හෝ මන්ත්‍රී සගයින්ට අප අසන ඕපාදූප කීම භයානක ඒවා කොතැනින් කෙළවරවේද නොදන්නා නිසාය. උන් එකෙක්ම ‘වික්ටර් මෙහෙම කිව්වා” කියා ගොස් රනිල්ගේ කණේ තියන්ට පිළිවන. නිලධරයන්ට කීම ඊටත් භයානකය. මේ නිසා එක අතකට මේ දුරකථන පණිවිඩ මගේ ආතතිය අඩු කරන මාර්ගයක්ද විය.

බොහෝ විට මට කතා කළේ ඇයයි. මම ඇගේ දුරකථන බිල ගෙවන්ට ලැහැස්ති වීමි. ඇය හැම විටෙකම එය කාරුණිකව ප්‍රතික්ෂේප කළාය.

“ඒ මොකටද ඔයා මගේ බිල ගෙවන්නෙ?” ඇය ඇසුවාය.

ඒ සමඟම මොනයම්ම හෝ කාරණාවක් පිණිස ඇය මගෙන් සත පහක් වත් ඉල්ලු බව මට මතක නැත.

ඇය සැබැවින්ම too good to be true මිතුරියක වූවාය.

“ඔය අද කතා කළාට තව ටික කාලෙකින් ඔයාට මාව අමතක වෙයි…” මම දවසක් ඇයට කීමි.

“එහෙම වෙන්නෙ නෑ සමහන් බොනවනෙ…” ඇය වහා කීවාය.

ඇය කියූ සමහර දේවල් මම නිකමට වගේ cross-check කළෙමි. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඇය සඳහන් කළ නමින් නිලධරයකු නොවූයේය. එසේම ඇය සඳහන් කළ පොලීසියේ ස්ථානාධිපතිවරයා කීවේ උසස් පෙළ සිසුවියකගේ ව්‍යාපෘතියකට මොනම අවස්ථාවකදීවත් පොලීසියේ ලොකු සම්මාදමක් කෙරුණු අවස්ථාවක් ඔහුට මතක නැති බවය. බොහෝ විට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ යම් යම් කරුණු සොයා පොලීසියට එති. ඔවුන්ට හැකි තොරතුරක් සැපයේ. ඒවා විශේෂ දේවල් නොව හැම දෙනාම දන්නා සුලබ කාරණාය. (උදාහරණයක් හැටියට ඇඟිලි සලකුණු ගන්නා ආකාරය) මා කියන්නේද එසේ යම් අවස්ථාවක පොලීසියෙන් සුළු කරුණු කිහිපයක් අසා දැනගත් සිසුවියක බවය ඔහුගේ අදහස වූයේ.

මහීරා මට බොරු කීවේ මන්ද?

මේ අතර දුරකථන සංවාදයකදී ඇගෙන් කියැවුණු යමක් ඇය ගැන මගේ සිතේ ඇඳී තිබුණු ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්ට සමත් විය.

“මං මේක ලෝකෙ වෙන කාටවත්ම කියල නෑ. ඔයාට විතරයි කියන්නෙ. ඔයාට ඒක රහසක් හැටියට තියා ගන්න පුළුවන්ද…?”

ඇය දිනෙක මගෙන් ඇසුවාය.

මේ වඳින්ට ගිය දේවාලය ඉහේ කඩා වැටීමක්ද? ඇය ගැබ්බර වෙලා වත්ද? මට එහි වරද භාර ගන්ට වේද?

“කියන්නකො…”

“ඔයා කාටවත්ම කියන්නෙ නෑ නේද..?”

“නෑ ළමයො. කියන්නෙ නෑ. මම පොරොන්දු වෙන්නම්කො…”

“මේක ඔයාට විතරමයි කියන්නෙ. ඔයා විතරමයි ඒක දන්නෙ. මම මේ ලෝකෙ කෙනෙක් නෙවෙයි…”

“මොකක්…?”

“අනේ ඔයා භවත්‍රා බලල නැද්ද? අර පිටසක්වලින් පිරිසක් ලෝකෙට එන ටෙලි ඩ්‍රාමා එක…?”

“නෑ…”

“අනේ ඇමැති කෙනෙක් වුණාට ඔයා මොනවද දන්නෙ. අපි මේ විශ්වයේ ඉන්නෙ තනියම නෙවෙයි. තවත් බුද්ධිමත් ජීවීන් ඉන්නවා වෙනත් ග්‍රහලෝක වල…”

“ඉතින්..?”

“මාත් ඒ වගේ වෙනත් ග්‍රහ ලෝකෙකින් මෙහාට නියෝජිතවරියක් හැටියට එවපු පිට සක්වළ ජීවියෙක්…”

මම නිහඬව සිටියෙමි. මීට මම කෙසේ නම් ප්‍රතිචාර දක්වන්නෙම්ද?

“අනේ ඔයා කිව්වට විශ්වාස කරන්නෙ නෑ නේද? මේ ලෝකෙ විනාශ වෙන්නයි යන්නෙ. මාව ඒ ග්‍රහලෝකෙන් මෙහාට එවල තියෙන්නේ මේ ලෝකෙ බේර ගන්න…”

.

.

(ඉවසන්න……………සමනළයා යළි පියා සලන තුරු)

Advertisements
Leave a comment

17 Comments

  1. තිසර

     /  October 10, 2012

    මල සේක…..

    Reply
  2. misterhydetheotherhalf

     /  October 10, 2012

    ඒ පාර මේක එක්ස් ෆයිල්ස් වගේ උනානේ

    Reply
    • ඇත්තටම මේ මා විසින් කළ යුතු පැහැදිළි කිරීමක් නොවේ. නමුත් පාඨකයින් නොමඟ යෑම වැලැකීම පිණිස මෙය කීම වඩා පහසුය. (නැත්නම් කතන්දරද මේ කාරණයම නැවත ඇසිය හැකිය.)

      මේ කතාවේ genus එක ‘දේශපාලන නවකතාවක්’ යන්නයි. එය කතාව මුල සිට අගට වෙනස් නොවී පවතිනු ඇත.

      – ලේඛකයා

      Reply
  3. බලමු ඊලඟ කොටසත් කියවලම.

    Reply
  4. DDT

     /  October 10, 2012

    දෙවැනි කොටසකුත් ආවෙ මේ පොයින්ට් එක ඒ තරමටම අල්ලල ගිහිපු නිසාද, නැත්නම් ……

    Reply
  5. ගොසිප් 9 එකේ අභ්‍යවකාශයට යවපු යානයක් ගැන තිබ්බ ලිපියක් බලපු ගමන් මම මේක කියෙව්වේ. කරකෝල ඇතෑරියා වගේ උනා.

    සිද්ධිය වුන කාල පරාසය එක්ක බලනකොට මෙයා ආවේ ‘කිලිනොච්චිය’ කියන ග්‍රහ ලෝකෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කියන බොරුත් එක්ක බලන කොට මෙයා අපේ ලෝකෙ ලංකාවෙන් සමාන්තර විශ්වයේ ලංකාවට ගියා වෙන්නත් පුළුවන්.

    Reply
  6. අංජලීලසන්තමහීරා
    මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඔනේ…..

    Reply
  7. ප්‍රශ්න විසඳන අපූරුව නම් පේනව,
    පචමයි කෙලින්නෙ
    ගෙවල් 400කට ලයිට් දෙනව කියල 20කට දෙනව
    ලයිට් ඇන්ජිම පෙන්නල සර්ලාව අල්ලගන්නව

    නොස්ට්‍රඩෑමුස් විසින් එව්ව උනත්
    හිත හොඳ කෙල්ල
    සෑර්ලගෙ ප්‍රශ්න විසඳන අතරේ එයාගෙ ප්‍රශ්නෙත් විසඳගන්නව

    Reply
  8. Charith M

     /  October 10, 2012

    sex file becomes a X-file …:) anyway it was shocking .. and love it

    Reply
  9. භවත්‍රා ටෙලිටම පැත්ත මාරුවෙලාවත් වෙන්න යනවද?

    Reply
  10. Ciel

     /  October 10, 2012

    I would like to tell you that you ruin the story with these pictures…. these pictures are good for a teenager…

    Reply
  11. හසී

     /  October 11, 2012

    ඇඟ සීතල වෙලා මවිල් කෙලින් වෙලා.

    Reply
  12. තාරකා ඉබ්බා

     /  October 13, 2012

    ඇයි මේ අලුත්ම කොටස අයින් කළේ? ලින්ක් එක තිබුනට ගිහින් බලන්න බෑනේ..

    Reply
  13. Zach

     /  October 14, 2012

    27 kotasa balannata bariya…

    Reply
  14. Zach

     /  October 14, 2012

    27 kotasa balanna giyaama mehema ekak enawaaya: Page not found
    The page you were looking for could not be found. If you followed a link on this site to get here, please contact the administrator so it can be corrected.

    Search for:

    Reply
  15. දේශපාලකයිට පිටසක්වල ජීවිනුත් සෙට් වෙනවා නේද
    ඒක තමා අනිත් මිනිස්සුන්ට වටා දේශපාලකයෝ වෙනස් වෙන්නේ

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: