(27) ඇය මගේ ඇඳට ආවාය || She came to my bed

කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය
ස්ථානය: ලංකාව

**********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ඔහුට විශ්වාස නොකළ හැකි කතන්දර ගණනාවක් කියා තිබේ. දිනෙක ඇය තමන් පිටසක්වළින් මෙහි එවන ලද නියෝජිතවරියකිය ඔහුට කියයි. මේ එතැන් සිට කතාවයි.

“ඔයා මං කියන දේවල් විශ්වාස කරන්නෙ නෑ නේද?” ඇය ඇසුවාය.

මට එක එල්ලේ යමක් කියා ගන්ට බැරිවිය. “පිස්සු කතා නොකර ඉන්නවා!” වෙන කෙනෙකු මෙවැන්නක් කීවේ නම් කියන්ට තිබිණි. ඇයට එසේ කියන්ට බැරිය. මා උත්තර දුන්නේ මිනිත්තු කිහිපයකට පසුවය.

“ඔය වගේ දේවල් ගැන මගේ තියෙන්නෙ විවෘත දැක්මක්. මට ඔයා කියන දේ ඇත්ත හරි බොරු හරි කියන්න තරම් සාක්ෂි නැහැ. ඒ හන්ද මම ඒක ගැන තීරණයක් ගන්නෙ නැහැ. මම ඒ ගැන විවෘත මනසකින් ඉන්නෙ…”

“හරි, මං ඔයාට සාක්ෂි ඉදිරිපත් කළොත් ඔයා පිළි ගන්නවද…?”

“ඔව්. සාක්ෂි තියෙනවනම් මම පිළි ගන්නවා…” (මා වෙන මොනවා කියන්ටද?)

“එහෙනම් ඉන්නකෝ, මම මගේ කතාව කියන්න…”

මට විනාඩි පහකින් රැස්වීමක් තිබුණේය. එනිසා කියන දෙයක් කෙටියෙන් කියන ලෙස මම ඇයට කීවෙමි.

“මං පුංචි කාලෙ අනෙක් ළමයි වගේ නෙවෙයි…” ඇය කීවාය. “…මම වයස අවුරුදු දෙකේ තුනේදි කාටවත් නොතේරෙණ භාෂාවකින් කතා කළා කියලා අම්මලා කියනවා…”

මේ පුදුමයක් නොවන බව ඇයට කිව යුතුද? මේ වයසේ දරුවකු හෝ දැරිවියක අනිවාර්යයෙන්ම අවෙශේෂ ලෝකයාට කිසිම තේරුමක් නැති බොහෝ දේ කියවයි. කිසිම මානව භාෂාවකට අයත් යැයි සිතන්ට බැරි අපූරු ශබ්දද නිකුත් කරයි.

මගේ නිහඬතාවය ඇය ඍණාත්මකව ගත්තාක් සේය.

“ඔයා හිතන්නෙ බොරු කියල නේද? බොරු නෙවෙයි අනේ. අපේ අම්මල මං කියපු දේවල් පොතක ලියලත් තියෙනවා…”

මෙය අප නිතර අසා පුරුදු පුනරුප්පත්ති කතාවේම වඩා සංකීර්ණ වර්ෂන් එකක් බව තේරුම් ගන්ට මට අසීරු නොවීය. එක්තරා වයසකදී ළමයි අඩු වැඩි වශයෙන් අමුතු කතා කියන්ට පටන් ගනී. මගේම නංගීද මෙසේ අමුතු කතා කී බව මට මතකය.

“…අපේ ගේ තිබුණේ ලොකු කන්දක් මුදුණේ. අපේ තාත්තයි අම්මයි මැරිලා. මම ආච්චි එක්ක හිටියේ. ආච්චිගෙ නම බටකොළ-ආච්චි. සීයගෙ නම කදිරා…”

“…දවසක් දා රාජ කුමාරයෙක් කැළේ අතරමං වෙලා අපේ ගෙදරට ආවා. ඇවිල්ලා දොර අස්සෙ හැංගිලා හිටියා.  අපි එයාව කාර් එකේ දාගෙන මාළිගාවට ඇරලෙව්වා…”

“…අපේ ගේ ගොඩාරියක් ලොකුයි. රතුපාටයි, කහපාටයි, නිල්පාටයි, දම්පාටයි, තැඹිලි පාටයි තීන්ත ගාලා තිබුණේ. ගේ වටේම පුහුල් වවලා තිබුණා. හරීයට සමනල්ලු හිටියා. පූසොත් හිටියා. සිංහයොත් හිටියා.ලොකුම සිංහයගෙ නම ටාසන්…”

“…මම ඉස්කෝලෙ ගියේ කෝච්චියේ. කෝච්චිය එළෙව්වෙ සුනිල් කියල අන්කල් කෙනෙක්. එයාට ගිරවෙක් හිටියා. ඒ ගිරවගෙ කරේ රත්තරන් පාට මාලයක් බැඳල තිබුණා. කෝච්චියෙදි අපට සුනිල් අන්කල් අයිස් ක්‍රීම් කන්න දෙනවා. ගිරවත් අයිස් ක්‍රීම් කනවා…” (අපේ නිවසට නිතර අත්වැඩ කරන්ට ආ තරුණයකුගේ නමද සුනිල්ය. හැබැයි කෝච්චියක් නම් ඇය තරමක් ලොකු වනතුරුම දැක නොතිබුණාය.)

ඇය මේවා කියනු අසා අපි උඩ පැණ පැණ හිනාවෙමු. “ආ නංගි, සීයගෙ නම කදිරා නේද?” යි පසු දිනයෙක ඇසූ කළ ඒ නම ඇයට මතක හිටී. (‘කදිරා’ යනු එවක ප්‍රකටව තිබුණු මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ ප්‍රධාන චරිතයකි.) ඉන්පසුව ඇය ගෙදරට එන අමුත්තටද “මගේ සීයගෙ නම කදිරා” කියයි. ඉන්පසු සියල්ලන් සිතන්නේ ඇය ඇත්තටම කදිරා නම් සීයා කෙනෙකු ගැන කියනවා කියාය.

අපේ සමාජ මට්ටමට වඩා අඩු මට්ටමකදී නම් මෙවැනි දරුවකු අනිවාර්යයෙන්ම ‘පුනරුප්පත්ති කතා කියන්නකු’ බවට පත් වේ. දෙමාපියන් සිතන්නේ දරුවන්ට – විශේෂයෙන්ම කුඩා දරුවන්ට කිව හැක්කේ තමන් විසින්ම ඔවුන්ට කියා දෙන කතා විතරකැයි කියාය. විවිධ පුද්ගලයින්ගෙන් අසන කතා කොටස්, සිද්ධීන්, අත්දකින අවස්ථා සිහිනයකදී මෙන් කලවම් කොට තමන්ගේ පරිකල්පනයද අවිඥානකව ඊට එකතු කොට කුඩා දරුවන්ට ඔවුන්ටම සුවිශේෂ වූ අපූරු කතා මවන්ට පුළුවන් බව දෙමාපියන්ට වැටහීමක් නොවේ.

අනෙක් අතට ‘පුනරුප්පත්ති කතාවක්’ හොඳ ආදායම් මාර්ගයකි. මේ නිසා සුලු දෙයක් වුව පෝර දා වගා කර ගන්නා තැනට මිනිස්සු පත්වෙති.

කාලයකට පෙර රණසිංහ ප්‍රේමදාස මහත්තයා නැවත උපන්නේය රාවයක් පැතිරූ හඟුරන්කෙත පියකු තම කුඩා දරුවා විකුණා ගමටම හොද්ද බොර කර ගත්තේය. ගෙදරට වැල නොකැඩී ආ සෙනඟ පවුලට මුදලින් ආධාර කළා පමණක් නොව දරුවාගේ නමින් බැංකු ගිණුමක්ද විවෘත කොට ඊට ලක්ෂ ගණනක මුදලක් රැස් කළේය. එන සෙනඟට කඩල, සරුවත්, අරුමෝසම් බඩු, අයිස් ක්‍රීම් විකුණා තවත් විශාල පිරිසක් දෛනික ආදායමක් උපයා ගත්තෝය.

මේ එස්. බී. දිසානායකගේ මහ ගෙදර කිට්ටුවය. ගමේ ගිය විටෙක එස්. බී. “අනේ බොංඩියෙ, ප්‍රේමදාසට පුළුවන්ද අපේ ගමේ උපදින්න? ඕකා ප්‍රේමදාස නම් ඌ අපේ කොල්ලන්ට කළ දේම ඌටත් කරනවා” කියා දරුවාගේ මවට තගක් දමා තියේ. එදායින් පසුව, යළි ඉපැදුණු ප්‍රේමදාස එක රැයින්ම අතුරුදහන් විය.

“මොනවද ඉතින් ඔයා කියල තියෙන්නෙ…?” මම මහීරාගෙන් අසමි.

“මම කියල තියෙනව මම ආපු ග්‍රහලෝකෙ විස්තර. හැබැයි ඒ ගොල්ල වැඩිය සැලකිල්ලට අරගෙන නැහැ. ඒ හන්ද සටහන් කරගෙන නැහැ. නැත්නම් මට ඔයාට ඒ තොරතුරු ඔක්කෝම කියන්න තිබුණා…”

“දැන් මට මීටිමකට යන්න තියෙනවා. ඉතුරු ටික හෙට කියනවද…?”

“අනේ ඉන්නකෝ. ඔයා හොඳම හරියට එන කොටනෙ දුවන්න හදන්නෙ…”

“තව විනාඩි දෙකක් දෙන්නම්. ඉක්මණට කියන්න…”

“හා. ඔන්න මට වයස පහක් විතර වෙන කොට ඒ ගොල්ල තවත් දෙයක් එව්වා…”

“ඒ මොකද්ද…?”

“උල්කාවක්…”

“උල්කාවක්…?”

“ඔව්. අපේ ගෙදර පිටිපස්සේ වත්තටමයි කෑල්ලක් කඩා ගෙන වැටුණේ…”

“ඒකට මොකද වුණේ…?”

“මම එතකොට පොඩියි. මොකද්ද කියලා දන්නෙ නෑ…හැබැයි මටම තමයි ඒක හම්බ වුණේ. ලොකු කළුපාට ගලක් වගේ එකක්. හැබැයි නිකං කළු ගලක් වගේ නෙවෙයි ඔපදාලා වගේ…”

“ඒක තාම තියෙනවද…?”

“නෑ අපේ තාත්තා ඩොක්ටර් චන්දන ජයරත්නට ඒක ගැන දන්නලා තිබුණා. එයා ඇවිත් ඒක ගෙනිහිල්ලා. ඔයා එයාගෙන් අහලා බලන්නකෝ. ලංකාවෙ හරි ලෝකෙ හරි කොතැනකවත් ඒ තරම් ලොකු, ඔප දාපු උල්කාපාතයක කොටසක් හමු වෙලා නැහැ. ඒක කෝටි ගාණක් වටිනවලු. ඩොක්ටර් චන්දන ජයරත්න ඒක නාසා එකට විකුණුවලු ලොකු ගානකට. නාසා එකේ අයත් පුදුම වුණාලු ඒක දැකලා. නාසා එකෙන් පිරිසක් ඇවිත් අපේ වත්තත් අඟලක් නෑර බැලුවලු තව උල්කා කොටස් තියෙනවද කියලා. හැබැයි හම්බ වෙලා නෑ මොකුත්ම…”

“ඔය වාගෙ දෙයක් වුණා නම ළමයො ඒ කාලෙ පත්තර වලත් යන්න එපායැ…”

“ඔව්. මෙහේ පත්තර වල නෙබෙයි. ඇමෙරිකාවෙ ඒවයෙ මේ ගැන පළ වෙලා තියෙනවා. Times මැගසින් එකේ දිග ලිපියක් පළ වෙලා තියෙනවා. ඩොක්ටර් චන්දන ජයරත්න අපේ තාත්තටත් කොපියක් ගෙනල්ල දීල තිබුණලු.අපේ වත්තෙත් පින්තූරයක් තිබුණලු ඒකෙ…”

“Times නෙවෙයි TIME වෙන්න ඇති. Times කියන්නෙ පත්තරයක්නෙ…”

“ඔව්. ඔව්. TIME මැගසින් එක තමයි…”

“ඒක තාමත් ඇතිනෙ එහෙනම්…?”

“නෑ අනේ, අපේ අම්ම දවසක් ඇඳුම් මදින කොට වැරදිලා ඒක උඩින් ඉස්තිරික්කෙ තියලා ඒක පිච්චිලා…”

“අඩුගාණෙ පුස්තකාලෙකින්වත් හොයා ගන්න පුළුවන් ඇතිනෙ. ඔයාට මතක නැද්ද දවස්…?”

“මට හරියටම මතක නෑ. මම හොයලා කියන්නම්කෝ. මේ ගොඩාක් ඉස්සරනෙ…”

“හරි. දැන් මට යන්න තියෙනව. හෙට කියන්නකෝ ඉතුරු ටික…”

දයාබර පාඨකය, පසු දිනයෙහි ඇය තමන් නතර කළ තැනින් කතාව පටන් ගත්තේය ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. ඇය මට කතා කළ මුත් මේ මාතෘකාව ගැන වචනයක් වත් නොකීවාය. ඇය කතා කළේ මෙහෙම දෙයක් මට කීවාදැයි අංශුමාත්‍රයක්වත් මතක නැති සේය. කොටින්ම එදින සිට සති දෙකක විතර යනතුරු ඒ ගැන ඇය මට කිසිවක් සඳහන් නොකළාය. ඒ කාලය තුළ ඇය කතා කළේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිද්ධීන්ය.

ඇය මට එදා එවැනි කතාවක් කීවේ ඇයි? විහිළුවටද? මා රවටන්ටද? මා බයිට් කරන්ටද?

ආචාර්ය චන්දන ජයරත්නට කතා කොට ඇය කී කතාවේ ඇත්ත නැත්ත තහවුරු කර ගන්ට මට කිහිප වාරයක්ම සිතුණේය. ඒත් කරදර වන්නේ කුමටද? ඇයගේ ගම අහලාවත් නැතැයි ඔහු කියන්ට පිළිවන. ඇගේ කතාවක් තහවුරු කර ගන්ට තැත් කළ හැම අවස්ථාවකම මා ගිහින් නතර වුණු dead end එක මෙතැනදී වෙනස් වෙතැයි සිතිය හැක්කේ කෙසේද? මේවා සමාන්තර විශ්වයකදී සිදුවන ක්‍රියාවලි මෙන්ය. ඇගේ සමාන්තර විශ්වයේදී සිදුවී තියෙන්නේ අප ජීවත්වන පොදු විශ්වයේදී වුණු දේවල් නොවේ.

මා මේ සියල්ල අමතක කර දමන්ට ඔන්න මෙන්න කියා තිබියදී ඇය ආපහු දවසක මේ පිටසක්වළ කතාව ඇද ගත්තාය.

“එදා මං ඔයාට කිව්ව නේද අපේ වත්ත පිටිපස්සට උල්කාවක් වැටුණ කියලා…”

“හ්ම්…”

“මං ඉතුරු ටික කිව්වෙ නැහැනෙ…”

“හ්ම්…”

“මොකද අනේ හ්ම් හ්ම් ගාන්නෙ බකමූණෙක් වගේ…”

“හා, කියන්නකො ඉතින්…?”

“ඒ වැටුණයින් පස්සෙ අපේ වත්ත එහෙම පිටින්ම වෙනස් වුණා. වත්තෙ වැවෙන හැම දේම ලොකු වෙන්න පටන් ගත්තා. පොල් ගස් අනෙක් පොල් ගස් වගේ තුන් ගුණයක් විතර උඩට ගියා…”

“කෝ මං එදා එහෙම පොල් ගස් දැක්කෙ නෑනෙ..?”

“ඒ දැන්නෙ. මං මේ කියන්නෙ කොච්චර කාලෙකට ඉස්සෙල්ල කතාවක්ද? දැන් ඒ ගස් මැරිලා ගොඩාක් කල්…”

“දැන් එහෙම වත්තෙ වැවෙන ගස් ලොකු වෙන්නෙ නැද්ද…?”

“දැන් ඒකෙ බල බිඳිලා. ඒ කාලෙ නම් හැම ගහකම වෙනසක් තිබුණා. නාරං ගහක් තිබුණා ඒකෙ ගෙඩි දොඩම් ගෙඩි තරම් ලොකු වෙනවා. බිලිං ගහේ ගෙඩි පිපිඤ්ඤා තරමට ලොකුයි. දැන් ඒ බල නැහැ. ඒ වුණත් ඔයාට පේන්න ඇති තාමත් අපේ වත්තෙ ඕනැ දෙයක් හොඳට වගා කරන්න පුළුවන්. ඵලදාවත් හොඳයි…”

මම කිසිත් නොකියා නිහඬ වූයෙමි.

මින් පසුව ඇය ගැන මතයක් ගොඩ නඟා ගන්ට මම උත්සාහ කළෙමි. මෙහි පහත ඇත්තේ ඒ මතයයි. මා නිවැරදිද නොදනිමි.

මහීරා අතිශයින් බුද්ධිමත් යුවතියකි. විශේෂයෙන්ම ඇය වෙසෙන පරිසරයට සාපේක්ෂව ඇය කැපී පෙණෙන ලෙස දක්ෂය. ස්මාර්ට්ය. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තීය. ඇගේ පියා කී ලෙසට විද්‍යාලයේදී ප්‍රධාන ශිෂ්‍ය නායිකාවද වන අතරම වසරේ හොඳම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල ගෙන තිබුණේ ඇයයි. එසේ වුවත් ඇය වෙසෙන සමාජය තුළින් ඇගේ දක්ෂතා වලට බුද්ධියට ඇයට යම් පිළිගැනීමක් නොලැබේ. ඒ දක්ෂතා බුද්ධිය තේරුම් ගන්ට තරම් ඒ සමාජය දියුණු වී නොමැතිය. ඔවුන් සිටින්නේ ඇයට බොහෝ පහළිනි. ඇය කියන්නක් ඔවුන්ට නොවැටහේ. එසේම ඇගේ පියා හා මවගේ සාම්ප්‍රදාය විරෝධී සිංහල-මුස්ලිම් සම්බන්ධය නිසා ඇය (පවුලත් සමඟ) සිංහල සමාජයෙන් මෙන්ම මුස්ලිම් සමාජයෙන්ද කොන් වී ඇත. ගමේ ඇයට මිතුරකු මිතුරියකවත් නැත්තේය. ඇය තනියෙකි.

මේ පරිසරයට ඇය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? තමාගේම ෆැන්ටසියක් මවා එය තුළ ජීවත් වීමෙනි. සැබෑ ලෝකය තුළ ජීවත් වනවාට වඩා මේ ෆැන්ටසිය තුළ ජීවත් වීම ඇයට සුව දායකය. තමන් සමාජයේ අනෙකුන්ට වඩා විශේෂ නිසා මේ සමාජයට තමන් එවා ඇත්තේ යම් වෙනසක් කිරීම පිණිස පිට සක්වළ ග්‍රහලෝකයකිනැයි ඇය ගේ සිතට අවිඥානකව ඇතුළු වී තියේ.

මේ ලෝකයේ රැකියාවක් හෝ ආදායමක් නැති කාගේවත් අවධානයට බඳුන් නොවන නිකම්ම නිකම් ගොඩේ තරුණියක වනවාට වඩා පිට සක්වළින් ආ නියෝජිතවරියක වීම සිතට මොන තරම් සුවදායී හැඟීමක්ද?

මා කළ තවත් නිරීක්ෂණයක් වූයේ ඇය කියන බොරු ලෙහෙසියෙන්ම බොරු බව සොයා ගත හැකි ඒවා බවය. ඇයට මෙසේ අතේ පැලවෙන බොරු කියන්ට කිසිම අවශ්‍යතාවයක් නොවේ. ටිකක් වෙහෙස ගත්තේ නම් මීට වඩා හොයන්ට අමාරු බොරු ගොතන්ට තරම් ඇය බුද්ධිමත්ය. එසේ නම් ඇය ලෙහෙසියෙන්ම හොයා ගන්ට පුළුවන් බොරු කියන්නේ ඇයි? හුදෙක් අසන්නා රවටන්ට වන්ට බැරිය.

මගේ අදහස නම් මේද ඇයගේ ෆැන්ටසියේම කොටසක් බවයි. සමහරවිට තමන් කියන්නෙ බොරු බව ඇයද නොදන්නවා වන්ට පිළිවන. ඇගේ ෆැන්ටසියට අනුව ඔහේ හිතෙන දෙයක් කියයි. ඊට ගැළපෙන සේ අනෙකුත් කාරණා වෙනස් කරයි.

මේ අවබෝධය ලැබීමෙන් පසුව මම ඇය ගැන සිතූ ආකාරය වෙනස් කර ගතිමි. ඇය කපටියක නොවේ. ඉතාම අහිංසක ලෙස අනුන්ගේ අවධානය අයදින්නියකි. ඇය සිටින ස්ථානය (ගම, අධ්‍යාපන මට්ටම) අනුව මේ අවධානය ලබා ගන්ට ලෙහෙසි නැත. ඇය ඒ වෙනුවෙන් විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරයි. මා හසුව සිටින්නේ ඒ ක්‍රමවේදයටය. ඇත්තටම ඇය මගේ අනුකම්පාවට බඳුන් විය යුතු තැනැත්තියකි.

එකතරා මට්ටමකට මා ආත්මාර්ථකාමී වූ බවද නොසැඟවිය යුතුය. ලොකුවටම නොවුණත් ඇය හා යහන් ගත වන්ට මට අවශ්‍යතාවයක් විය. මීට එක හේතුවක් නම් මා මේ වන විටත් ඇය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් හා කාලයක් වැය කොට තිබීමයි. හිටි හැටියේ ඇය මා සමඟ සන්නිවේදනය නතර කළොත් සියල්ල වාෂ්ප වී යන්ට පිළිවන. ඉක්මණ් විය යුතුය.

ඇය මගේ යහනට ගන්ට අසීරු වූයේ නැත. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි මගේ අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව පවත්වන ‘විදුල්කා’ ජාතික විදුලි බල ප්‍රදර්ශනයට සමාන්තරව මම ක්ෂුද්‍ර ජල විදුලි බලාගාර ව්‍යවසායකයින්ට එක් දින වැඩ මුළුවක් සංවිධානය කළෙමි. ලෝක බැංකුව මේ සම්බන්ධ සියළු බරපැණ දැරුවේය. ඇයට මේ වැඩ මුළුවට සහභාගි වන්ට සඳහා රාජකාරි මට්ටමෙන් ආරාධනා කරන්ට කිසිම අපහසුවක් වූයේ නැත. එසේම කළ වහාම ඇය ආරාධනය පිළි ගත්තාය.

අප මේ වැඩ මුළුවට සහභාගි වූවන්ට නවාතැන් පහසුකම් සැපැයූවේ අසළ පදනම් ආයතනයේ හොස්ටල් එකේය. ගැහැණු පස් දෙනකු හා පිරිමි දොළොස් දෙනකු වෙන් වෙන්වය. දෙදෙනෙකුට එක කාමරය ගණනේ බෙදා ගන්ට සිදු විය. ගැහැණු පස් දෙනකු නිසා එක් අයෙකුට තනි කාමරයක් ගන්ට තිබුණේය. මම කිසිම අපහසුවකින් තොරව එය මහීරාට ලබා දුනිමි.

ඇය පැමිණියේ පියාද සමඟය. තම දියණියගේ ආරක්ෂාව ගැන කල්පනා කළ පියෙකි ඔහු. මම නවාතැන හා සම්බන්ධ කිසිම කටයුත්තකට සහභාගි නොවීමි. පදනම් ආයතනය පැත්ත පළාතේ නොගියෙමි. තම දියණිය තවත් යුවතියන් කිහිප දෙනකු සමඟ රැය ගත කරන බව අසා ඇයගේ පියා තෘප්තිමත්ව නික්ම ගියේලු.

වැඩ මුළුවට පෙර රාත්‍රියේ මම ඇයට කරදර නොකළෙමි. වැඩ මුළුව දවසේ උදෑසන මා ආරම්භක උත්සවයේදී ඇය දුටුවද ඇය සමඟ කතා කරන්ට වත් උනන්දු නොවීමි. ඇයද මගේ උපදෙස් මත මා නොදත්තියක මෙන් හැසුරුණාය. (මා හෙඩ් ටේබල් එකේ හිඳගෙන සිටියදී “ටයි එකටයි කෝට් එකටයි ඔයා හරි ස්මාර්ට්” කියා SMS එකක් නම් එව්වාය.)

එදින සවස ඇය මගේ ජංගම දුරකථන පණිවිඩයකට අනුව වැඩ මුළුවෙන් පසුව නිදහස් චතුරශ්‍රය අසළට ආවාය. මා ගියේ මගේ පුද්ගලික රථයෙන් රියැදුරකු නැතිවය. ලොකු සන් ග්ලාස් එකක් පැළඳය. ඇය රාත්‍රියෙහි කාමරයේ නොසිටි බව කවරකු හෝ නිරීක්ෂණය කරනු ඇතැයි මම නොසිතුවෙමි. එසේ කොට ඇය නැති බව දැන ගත්තද කොළඹ නැන්දලාගෙ ගෙදරක නතර වුණාය කියන්ට ඇය බොරුවක් නිර්මාණය කර ගෙන සිටියාය.

සාමාන්‍යයෙන් මා කොළඹදී යුවතියන් කැටුව යන්නේ රේණුකා හෝ ජානකී හෝටල් දෙකින් එකකටය. දෙතැනම ගාණ අඩුය. කළමණාකාරිත්වයෙන් කරදරයක් නැත. විශ්වාස කටයුතුය. නමුත් මෙදින විශේෂ අවස්ථාවක් නිසා මම ටජ් එකේ ඩබල් රූම් එකක් බුක් කළෙමි.

මළ හිරු බසිනා සැන්දෑ යාමයේ මම බෞද්ධාලෝක මාවත ඔස්සේ ඇය සමඟ රිය ධාවනය කරමින් සිටිමි. ඇය හැසිරෙන්නේ සැහැල්ලුවෙනි.

“ඔයාට බය නැද්ද මාත් එක්ක මෙහම යන්න…?” මම අසමි.

“මොනවට බය වෙනවද…?” ඇය කිසිම බරක් පතළක් නැතිව සිනාසෙයි.

“ඇයි ඒ…”

“ඔයා මගේ සුදු අයියනේ…”

.

.

(ඉවසන්න……………..සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

9 Comments

  1. තිසර

     /  October 12, 2012

    මේ කොටසේ නම් මොකද්දෝ අවුලක් තිබේය… අර පුනරුප්පත්ති කෑල්ල සයිඩ් ට්‍රැක් ගිහින් වැඩිය…. ෆැන්ටසිය එක්ස්ප්ලේන් නොකලා නම් වඩා හොඳ වෙන්නට තිබුනි…. නමුත් අවසානය බලාපොරොත්තු දල්වන සුලුය…

    Reply
  2. //ඒ වැටුණයින් පස්සෙ අපේ වත්ත එහෙම පිටින්ම වෙනස් වුණා. වත්තෙ වැවෙන හැම දේම ලොකු වෙන්න පටන් ගත්තා. පොල් ගස් අනෙක් පොල් ගස් වගේ තුන් ගුණයක් විතර උඩට ගියා…

    හ්ම්ම්.. ගෑණු ළමය පොඩි කාලෙ Adventures Of Tintin – The Shooting Star බලල තියෙනව වගේ

    Reply
  3. “ඔයා මගේ සුදු අයියනේ…” කාලා වරෙන්කෝ… ඉතිං මට පාන්යෑ කියලා ගෝල්ෆේස් එක පැත්තට හරවන්න… 🙂

    අපරාදේ ඊයේ මම හෙන කතාවක් හිතින් හදාගත්තා අන්තිමට චරියට ඒලියන් සහෝදරියක් ලැබෙන තැනට එනකල්… 😀 ඇත්ත තමයි… කොච්චර කිව්වත් මේක දේශපාලන නවකතාවක් කියලා… සමහර වෙලාවට ඒක අමතක වෙනවා…

    Reply
    • හැම දේකම දේශපාලනයක් තියෙනවලුනේ. 😉

      Reply
    • කථාවක් ලියන්න පටන් ගත්තාම වෙනස් අතකට යන්න කොයි තරම් හිතක් තිබුණත් කතාව තුළ කොන්ටම් පිමි පනින එක හරි නැහැ.

      සමනළ විප්ලවය පටන් ගත්තේ දේශපාලන නව කතාවක් හැටියට ඒක ඉවර වෙන්නෙත් දේශපාලන නවකතාවක් හැටියට. විද්‍යා ප්‍රබන්ධයක් හරි, ලව් ස්ටෝරි එකක් හරි, හොල්මන් කතාවක් හරි, ෆැන්ටසියක් හරි, කොමඩියක් හරි විදියට නෙවෙයි.

      – ලේඛක

      Reply
  4. Sudheera

     /  October 12, 2012

    ” දෙමාපියන් සිතන්නේ දරුවන්ට – විශේෂයෙන්ම කුඩා දරුවන්ට කිව හැක්කේ තමන් විසින්ම ඔවුන්ට කියා දෙන කතා විතරකැයි කියාය. විවිධ පුද්ගලයින්ගෙන් අසන කතා කොටස්, සිද්ධීන්, අත්දකින අවස්ථා සිහිනයකදී මෙන් කලවම් කොට තමන්ගේ පරිකල්පනයද අවිඥානකව ඊට එකතු කොට කුඩා දරුවන්ට ඔවුන්ටම සුවිශේෂ වූ අපූරු කතා මවන්ට පුළුවන් බව දෙමාපියන්ට වැටහීමක් නොවේ” – දෙමාපියන් පමණක නොව බහුතරයක් පත්තර කාරයින්ද ඔය ගොඩේමය.

    Reply
  5. ලේසි නෑ පිටසක්වල කෑල්ලක් ඇයත් සමඟ රැයක්
    අවුලක් නෑ දේශපාලනය සමඟ අපි සැමටම කාදමන්න ඕනෑ තරමි කාලය ඇත

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: