(30) මාලක සිල්වා හා රෙහාන් විජේරත්න මැරයන්ට නෙළුවෙමු || How we beat the thugs Malaka Silva and Rehan Wijeratne

කාලය: 2010, සමාන්තර විශ්වය
ස්ථානය: දකුණු පළාත, ලංකාව

**********(තිසර රාජිත සේනාපති කියන කතාව)**********

Jesse Woodson James (1847-1882) ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ විසූ මැරයෙකි; මැර කල්ලි නායකයෙකි; බැංකු කොල්ලකරුවෙකි, දුම්රිය කොල්ලකරුවෙකි, මිනීමරුවෙකි. කොටින්ම නම ඇසූ සැණින් නිලධරයන් බියට පත් කළ දාමරිකයෙකි.

මේ මහා දාමරිකයා මරණයට පත් වූයේ කිසිවකුත් නම අසා නැති සොච්චං තරුණයකු අතිනි.

Brad Pitt රඟන ‘The Assassination of Jesse James by the Coward Robert Ford’ ඔහුගේ ඝාතනය ගැන කතාවය.

මේ මැරයන් සාමාන්‍යයෙන් සල්ලං වන හැටිය. මා කියන්ට යන කතාවද ඊට නොවෙනස්ය.

Galle Literary Festival එකට යන්ට ඕනෑ වූයේ චරිත්ටය. ප්‍රධාන කොටම කිරන් දේසායි හා මනුකා විජේසිංහ නිසාය. මනුකාගේ නවකථා වලට මමද කැමැත්තෙමි. එසේ වුවද ඇය මුහුණට මුහුණ හමුවන්ට තරම් දරුණු ආසාවක් නොවේ. කිරන් දේසායි මම කියවා නැත්තෙමි. ඇගේ මව අනිටා දේසායිගේ කෘති වලින් පවා මා කියවා තිබුණේ The Village By The Sea, Bye-bye Blackbird ඇතුළු ප්‍රකට නවකථා කිහිපයක් විතරය. මේ නිසා මේ ගමන ගැන මගේ ලොකු කැමැත්තක් නොතිබුණේය. එසේම අකැමැත්තක්ද තිබුණු බව කියන්ට බැරිය.

චන්න අයියා හා නිරෝෂ් – සවින්ද ජෝඩුව එකතු කර ගත් විට අපේ ගැන්සිය සම්පූර්ණ විය. චන්න අයියා සේම නිරෝෂ්ද රෝයල් එකේ සිට අප දෙදෙනා දන්නවුන්ය. චන්න අයියා අපට වසර තුනකින් හෝ හතරකින් වැඩිමහළුය. විද්‍යාලයේදී ඔහු ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ සැළකිය යුතු භූමිකාවක් රඟපෑවේය. නිරෝෂ් වසරකට බාලය. මේ දෙදෙනා සමඟම අපට දිගටම සම්බන්ධයක් තිබුණේ ඔවුන් චරිත් හා නාට්‍ය කටයුතු වලට ඉඳහිට එකතු වන නිසාය.

චරීගේ දුකට කාරණය වූයේ අරේෂා කැටුව යන්ට බැරි වීමයි. ඇය සිටියේ නිවාඩු ඉල්ලන්ට බැරි තත්ත්වයකය.

“Why d hell u wnt 2 take her?” මම චරීට txt කළෙමි.

“U hv 4gotten she is my bokka” ඔහු පිළිතුරු එව්වේය.

චරිත් කීවේ ඇත්තකි. චරිත් හා අරේෂා අතර අමුතුම ආකාරයේ දැඩි බැඳීමක් ඇති වෙමින් තිබුණේය. කාලයකදී එය ප්‍රේම සම්බන්ධතාවයකැයි සිතුවෝ (එක්තරා මට්ටමකට අරේෂාගේ දෙමාපියන්ද ඇතුළුව) ඉක්මණින් අදහස් වෙනස් කර ගත්තෝය. එය අතිශය අස්වාභාවික මිතුදමක් විය. මිතුරන්ට අරේෂා චරිත්ගේ ‘බොක්ක’ වුණේ එනිසාය. මට මතකයට නැඟෙන කිට්ටුම උදාහරණය Les roseaux sauvages හි Francois හා Maite ය.

හිතුණු හිතුණු වෙලාවට චරිත් අරේෂාගේ ගෙදර නතර වන්ට පටන් ගත්තේය. කොටින්ම චරී අරේෂාගේ පවුලේම කෙනකු මෙන් විය. ඔහුට නිදන්ටම එහි සෙටියක් විය. අරේෂා ගෙදර නැතිනම් ඔහු අරේෂාගේ ඇඳේද නිදා ගත්තේය. අරේෂාගේ ඩෙනිම්, ටී-ෂර්ට් ඇඳගෙන වැඩට ගියේය. අරේෂාගේ ෆේස් බුක් එකවුන්ට් එකට ලොග් වී පිස්සු කෙළියේය. අරේෂාගේ එකම පැමිණිල්ල වූයේ චරී නාන්ට හා ඇඳුම් හෝදා ගන්ට කම්මැලි බවය. (මෙය එක්තරා දුරකට ඇත්තකි.) “ගඳයා” කියා බැන වැදුනද අරේෂා චරීගේ ඇඳුම් සෝදා දුන්නාය.

අරේෂාට ගාළු යන්ට බැරිවීම ගැන මම පුද්ගලිකව සතුටු වීමි. ඇය පරිස්සම් කරන්ට ගිය විට අපේ නිදහසට සීමා පැමිණේ.

අප ගමන සැලසුම් කළේ ප්‍රමාද වීය. මේ නිසා නතර වෙන්ට වූයේ බූස්සේය. නරකම නැත. මේ ස්ථාන දෙක අතර දුර වැඩිය කියා හිතුණේම නැත. චරීගේ අප්පච්චිගේ පරණ ටොයෝටා කොරොල්ලා එක තිබුණු හෙයිනි. අවශ්‍ය නම් චරීට රියැදුරකු සමඟ නිල වාහනයක් ගෙනෙන්ට පුළුවන්කම තිබුණේය. එහෙත් ඔහු මෙවැනි ගමන් වලට, කාලෙකින් ටින්කර් කර නැති මේ පරණ වාහනය භාවිතා කරයි. චරීගේ අප්පච්චි මේ කබල විකුණා නොදමන්නේ මන්ද මම නොදනිමි.

“You know it has a sentimental value. This is the car that brought us to Colombo from Kandy in the middle of 1993 riots…  චරී ඉඳහිට එහි අතීතය මතක් කොට දෙයි.

“Yes, the ideal car for a minister’s son…” මම කියමි.

මේ කාර් එකේ තව වාසියක් ඇත. එය කවදාවත් හයි ස්පීඩ් අල්ලන්නේ නැති වාහනයකි. එතරම් පරණ වාහනයකට හැටකට වඩා හයියෙන් යා නොහැකිය පොලීසිය සිතනවාක් මෙන්ය. එහෙත් පිට පෙනුම කෙසේ වුවද, එන්ජින් එක හොඳට තියා ඇති හෙයින් එයට පහසුවෙන් අසූවකට යා හැකිය. වීල් බැලන්ස් කළොත් සීයක් විතර අමාරුවක් නැතිය සිතේ.

මා කියන්ට ගියේ Galle Literary Festival ගැන නොවේ. වැඩි උනන්දුවක් නොතිබුණු නිසා මා ඊට සහභාගි වූයේ අනිටා දේසායිගේ සැසියට විතරය. ඒත් ඕනැවට එපාවටය. මේ නිසා Galle Literary Festival එක ගැන මගේ හා කල්ලියේ ෆේස්බුක් පින්තූර වලට කතා කරන්නට ඉඩ දී අතුරු කතාවට අවතීර්ණ වෙමි.

උළෙලෙහි දෙවන දවසේ රැය. උණවටුන වෙරළ. රාත්‍රී අටට පමණ වන්ට ඇත. බලාපොරොත්තු නොවූ ලෙස වෙරළ හිස්ය. අප උණවටුනට ආවේ බූස්සේ කුඩා හෝටලයේ කරන්ට දෙයක් නොතිබුණු නිසාය. ඒ එක්කම උණවටුන වෙරළ විනෝද වන්ට වඩා හොඳය.

අප පස්දෙනා වෙරෙළහි හිඳගෙන හිටියේ කණ්ඩායමක් සේ නොවේ. සමහරවිට අප කණ්ඩායමක් සේ සිටියේ නම් මේ සිද්ධිය සිදු නොවන්ට ඉඩ තිබුණේය.

මා සිටියේ චරී සමඟය. ඔහු මනුකාගේ Monsoons and Potholes හි ප්‍රධාන චරිතය මුකුණුවැන්න සම්බෝල සමඟ සැන්ඩ්විචස් පාසලට ගෙන ගිය සැටි විස්තර කරමින් හුන්නේය. නිරෝෂ් හා සවින්ද සිටියේ ඊට ටිකකට එපිටින් ඔවුන්ගේම ලෝකයක තනිව  VSOA බෝතලයක් බෙදා ගනිමිනි. චන්න අයියා කොහේ සිටියේද හරියටම මතක නැත. තරමකට හෝ මත්පැන් පානය කළේ නිරෝෂ් හා සවින්ද පමණෙකි. අප තිදෙනාගේ නහරයන්හි ගමන් කරමින් තිබුණේ කෝක්, ෆැන්ටා හෝ ස්ප්‍රයිට්ය. White Wine එකක් ඕඩර් කරන්ට සිතුවත් චරී ඒ වන විට මත්පැණින් සම්පූර්ණයෙන්ම මිදී සිටි නිසා එය අනුචිතය මම කල්පනා කළෙමි.

කළුවර හා වැඩි ඕනෑකමකින් නොසිටීම නිසා එදින රාත්‍රියේ සිදුවීම් පැහැදිළිව පෙළ ගසා ගන්ට මට කිසිවිටෙකත් නොහැකි විය. මා මේ කියන්නේ මට මතක හැටියට හා මා පසුව අනෙකුන්ගෙන් අසා දැනගත් විදියට සිදුවීම් අනුක්‍රමයයි.

“See that…” චරී මගේ අතින් ඇද්දේය.

අපට ටිකක් එපිටින් සිටි නිරෝෂ් හා සවින්ද සමඟ කවුදෝ උණුසුම් කතාවකට පැටැළවී තිබුණේය. ඔහු හැඳ සිටියේ නාන කඩ පමණෙකි. සමහරවිට ඒ මොහොතෙහිම සයුරෙන් ගොඩට ආ කෙනකු වන්ට ඇත. ඔහුගේ අතින් අලාගෙන සිටියේ පෙම්වතිය වන්ට ඇත. ඇයද සැරසී සිටියේ නාන කඩෙකිනි. ඔවුන් දෙදෙනාම සිටියේ අපට පිටුපා ගෙනය.

ඉන්පසු උස් හඬින් ඇසුණු වචන කිහිපය නොවන්නට අප මේ සිද්ධිය සම්පූර්ණයෙන් අමතක කොට දමන්ට ඉඩ තිබුණේය.

“..Bloody ponnayaa. Do you fucking know whom you are talking to…?”

මේ සමඟම මා දුටුවේ නානකඩින් සැරසී සිටි මැරයා (ඔහු කවුද අපි ඒ අවස්ථාවේ නොදැන සිටියෙමු. එබැවින් මැරයා-1 නමින් හඳුන්වමු.) ඒ වන විට නැඟිට සිටි සවින්දගේ ටී-ෂර්ට් එකෙන් අල්ලා තමන් දෙසට ඇදගන්නා ආකාරයයි.

චරීත් මාත් දෙදෙනාටම පෙර ඔවුන් දෙසට දිව ගියේ චන්න අයියාය. ඔහු වයසින් සේම ඇඟපතින්ද මෝරා ගිය කෙනෙකි. ඔහුගේ අභිප්‍රාය වූයේ ගැටුම සංසිඳුවීමය.

“Come on guys…What’s this? We can settle this…”

මේ වචන වලට යම් බලයක් ඇති බව පෙණුනේය. මැරයා-1 සවින්දගේ ටී-ෂර්ට් එක අතහැර චන්න අයියා දෙසට හැරුණේය. ඔහු යමක් කියන්ට උත්සාහ දරණ බව පෙණුනේය. නමුත් තරහ නිසා හෝ බීමත් කම නිසා වචන කටට නො ආයේය.

මේ අවස්ථාවේ නිරෝෂ් කළ හැකි අන්තිම ගොන් කම නොකරන්ට මේ සිද්ධිය සාමකාමීව එතැනින් නිමා වන්ට තිබුණේය. නමුත් නිරෝෂ් සිටියේද බීමතිනි. එසේම මැරයා-1 සවින්දගේ ටී-ෂර්ට් එකෙන් ඇදීම ඔහු සීරියස්ලි ගෙන තිබුණා වන්ට පිළිවන. එය straight කොල්ලකුට අමනයකු තමන් හා සිටින පෙම්වතියගේ අතින් ඇදීමට සමාන අවමානයට හේතුවකි. ඉන්පසු එය පෞරුෂය සම්බන්ධ ප්‍රශ්නයක් බවට පත් වේ.

නිරෝෂ් බෝතලයේ ඉතිරි වී තිබුණු අරක්කු මැරයාගේ හිස මත වත් කරනු දුටු චරීගේත් මගේත් කටින් “Shit” යන්න පිටවූයේ එකටමය.

මින්පසු ක්‍රියා දාමය උපකල්පනයට කෙනකුට වැඩි පරිකල්පන ශක්තියක් අවශ්‍යය නොසිතමි.

මැරයා-1 එක් වරම “Fuck you bastard…” යි කෑ ගසාගෙන නිරෝෂ් දෙසට පැන්නේය. නමුත් ඔහුගේ පහර දුබල වූයේ පෙම්වතිය අතේ එල්ලුණු නිසාය. මේ සමඟම තවත් මැරයෙක් (මැරයා-2) කොහෙන්දෝ දිව ආවේය. ඔහු සවින්දගේ බෙල්ලෙන් අල්ලාගෙන සවින්දට ගහන්ට පටන් ගත්තේය.

මගේත් චරීගේත් (මට හිතුණු හැටියට) චන්න අයියාගේත් මැදිහත් වීම මුලින් වූයේ ගැටුම සමථයකට පත් කරන්ටය. එහෙත් මැරයා-1 ගේ  හා මැරයා-2 ගේ හැසිරීම අනුව අපට එසේ කරන්ට අවස්ථාවක් තිබුණේ නැත. ඔවුන් නිරෝෂ්ට හා සවින්දට බිම පෙරළාගෙන ගසනු අපට බලා සිටින්ට නුපුළුවන. මොහොතෙකින් සියල්ල ඔවුන් හා අප අතර ගුටි කෙළියක් බවට පත්විය.

පැහැදිළි ලෙසම සටනෙහි සමතුලිතතාව බිඳී තිබිණි. ඔවුන්ගේ පිළෙහි වූයේ තිදෙනෙකි. එකියක කෙල්ලකි. ඇයද ඇතුළුව තිදෙනාම සිටියේ බීමතින් බව පෙණුනේය. අපේ පිළෙහි පස් දෙනාගෙන් කොල්ලන්ම පස් දෙනකු වූ අතර තරමකට හෝ වැදී තිබුණේ දෙදෙනකුට පමණෙකි. මේ නිසා මේ ගැටුමින් අපට වැඩි වාසියක් අත් වන බව මුල පටන්ම පෙනෙන්ට තිබුණේය.

කියනවාට මුල පටන්ම කීවාට මේ සියල්ලට වැඩි වෙලාවක් ගත වූයේ නොවේ. වැඩිම වුණොත් මිනිත්තු පහක් අප ගහ ගන්ට ඇත. මේ පරණ සිංහල චිත්‍රපටයක ගාමිණී ෆොන්සේකා දුෂ්ඨයින්ට නෙළන ජාතියේ දිග ගැටුමක් නොවේ.

මට සීරියස්ලි ගැටුමට මැදිහත් වන්ට වූයේ මැරයා-1 චරිත්ට ගහන්ට පටන් ගැනීමත් සමඟය. චරී කෙනෙක්ය ගහන්ට නොදනී. ඔහු කළේ අනෙකාගෙන් වැදෙන පහර වළකමින් පස්සෙන් පස්සට යන එකය. මා සිටියේ මැරයා-1 ට පසු පසිනි. මගේ මුල් අදහස වූයේ පොල්ලක් ගෙන ඔහුගේ නිරුවත් පිටට නෙළන්ටය. පොල්ලක් සෙවූ මුත් සමහරවිට මගේ වාසනාවට කිසිවක් ළඟක නොවීය. මොහොතෙකින් ඊට වඩා හොඳ අදහසක් මට ආවේය. මම මැරයා-1 පසුපසින් ඔහුගේ දෙකකුල් අතරින් අත දැමීමි. නානකඩට යටින් මට ඔහුගේ වෘෂණ කෝෂය හසුවිය. මම හැකි උපරිම වැර යොදා එය මිරිකුවෙමි. මැරයා-1 වේදනාවෙන් කෑ ගසන හඬ මට ඇසිණි. ඒ ඇසිල්ලෙන් ඔහුගේ ග්‍රහණයෙන් මිදී ගත් චරිත් සවින්දගේ අතින් ඇදගෙන කාර් එක ඇති පැත්තට දුවන්ට විය.

මේ වන විට අපේ ගැටුමට අනෙකුන්ගේ අවධානය යොමුව තිබුණු අතර,  තරමක් ඈතින් වූ හෝටලයෙන් යම් පිරිසක් අප දෙසට එනුද දක්නට ලැබුණේය. තව මිනිත්තු කිහිපයක් ගත වන්නේ නම් ඔවුන් අප අල්ලා ගනු ඇතිය මට සිතිණි.

මැරයා-1 ගේ පෙම්වතිය හෝටලය දෙසට දුවමින් සිටියාය.

මෙතැනින් වහාම පැණ ගත යුතුය මට සිතිණි. වට පිට බැලූ මට පෙණුනේ වෙරළෙහි සිටින්නේ මා පමණක් බවයි. චරීද, චන්න අයියාද අනෙක් දෙදෙනා ඇදගෙන කාර් එක දෙසට දිව ගොස්ය.

මම අවසාන වතාවට මැරයන් දෙදෙනා දෙස බැලුවෙමි. දෙදෙනාම සිටියේ බිම වැටිලාය. එකකු (මා වෘෂණ කෝෂය මිරිකූ එකා) වේදනාවෙන් කකුල් දෙක අතර අත් දෙක ගසා ගෙනය.

චරීට අමුතුවෙන් කියන්ට දෙයක් නැත. අර්බූදයකදී ඔහු තරම් ඥාණාන්විතව හැසිරෙන කෙනකු මා දැක නැත්තෙමි. මා කාර් එකට කිට්ටු වන විටද ඔහු සිටියේ එය ස්ටාර්ට් කරගෙනය. මම ඉදිරිපස අසුනට පැණ ගතිමි. චරී පොල් ගහකට සෙන්ටි මීටර කිහිපයකට මෙහායින්, ගෑවී නොගෑවී ලොකු වංගුවක් ගත්තේය.මොහොතෙකින් අපි පාරේය.

“කාට හරි තුවාලද…?” ඒ චන්න අයියාය.

“Yeap. My leg hurts…” චරී කොඳුරයි.

“Can you drive…?”

“Yes, can manage…”

“No. Stop you idiot. I’ll take the wheel…”

චරී පාර අයිනේ රථය නතර කොට ඉදිරි වම්පස අසුනට මාරු වෙයි. මම සුක්කානම අතට ගනිමි.

“වැදුණ උන් දෙන්නට මදියි නොකියන්න…” බැරි බැරි ගාණේ මේ කියන්නෙ සවින්දය.

“උන්ට වැදුණ එක නෙවෙයි හු***,  තොපි ඩබලට පිස්සුද යන යන තැන වළි දා ගන්න…?”

“අපි මුකුත් කළේ නෑ… ඌයි වළියට ආවේ…”

“පලයන් යන්න, උඹල උගෙ කෑල්ලට මොකක් හරි කියන්න ඇති…”

“නෑ චන්නයියෙ… අපි උගේ කෑල්ල දැක්කෙත් නෑ. ඌ ඇවිල්ල අපෙන් සිගරැට් ඉල්ලුවෙ…”

මේ කියන දේ ඇත්තය මටද සිතෙයි. මෙහෙම ලෑතර කෑලි නොව ඓශ්වර්යා රායි මේ වෙරළට නාවත් මුන් දෙන්නාට නොපෙනෙන්ට තිබුණේය.

“ඉතින් උඹ මොකද කිව්වෙ…?”

“ඉතින් සිගරැට් නෑ කිව්ව. නැත්නං කොහෙන් දෙන්නද…?”

“ඉතින් ඌට තරහ ගියේ…?”

“ඌට තරහ ගියේ මොකද දන්නෙ නෑ. සිගරැට් නැති හින්ද තරහ යන්න ඇති…”

අපි සියළු දෙනාම සිනාසෙමු.

“Now, what are we going to do…?” මම අසමි.

අපි සියළු දෙනාම චන්න අයියාගේ මුහුණ දෙස බලමු. නඩේ වැඩිමහල්ලා හැටියට තීරණ ගත යුත්තේ ඔහුය.

“Let us go and sleep. I don’t think we should take it seriously…”

මගේ ඉහමොළ සීතල වී ගෙන යන්නේ කිසිවකුත් නොදන්නා යමක් මා දන්නා නිසාය. ඒ එකකුගේ වෘෂණ කෝෂය මවිසින් මිරිකූ බවය. ඒකාට අමාරු වෙන්නට පිළිවන.

“Are you sure? Don’t you think we should report to police…?”

“We cannot…”

“We cannot..?”

“Not with one of being the son of a powerful minister…Let us not create stories for the media”

අප නැවත සිනාසෙමු. චන්න අයියා කියන්නේ ඇත්තය. චරී අප අතර සිටිනා තුරු අප පරිස්සම් විය යුතුය. Minister’s son squeezes testicles එසේ නැතිනම් හෙට පුවත්පත් කියනු ඇත. මළ කෙළියයි. පොලීසියට යාම අපට ගැලැවීමක් නොවේ. අපට කළ හැකි එකම දෙය හැකි උපරිමයෙන් සිද්ධිය සිදු නොවීය කීමය. අප කෙතෙක් සාර්ථකවේද මම නොදනිමි.

මම ජීවිතයේ තීරණාත්මකම රාත්‍රියක් නිදිවර්ජිතව ගෙවමි. මගේ එක් පසෙකින් චරී සුව නින්දකය. පැය කිහිපයකට පෙර සිදු වූ කිසිවක් ඔහුට ගාණක් වත් නැතිවා සේය. අනෙක් පසින් චන්න අයියාද ඇඳේ ඒ මේ අතට පෙරළෙන්නේ ම පෙළන චකිතය ඔහු සිත තුළද ඇති හෙයින් විය හැකිය.

අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මාධ්‍යයට නිව්ස් අයිටම් එකක් නිර්මාණය කර ඇති වග තේරුම් ගන්නේ පසු දිනය. අප විසින් පහර දී ඇත්තේ ලංකාවේ අංක එකේ මැරයන් දෙදෙනකු වන මාලක සිල්වාට හා රෙහාන් විජේරත්නටය. මා විසින් වෘෂණ කෝෂ මිරිකා ඇත්තේ මාලක සිල්වාගේය.

දැන අපට පොලීසියට යනවා තියා එළියට බහින්ටවත් බැරිය. මුළු දවසක් අපි බූස්සේ හෝටලයට වී ගත කරමු. අවට ලෝකයේ වන්නේ කුමක්දැයි රූපවාහිනියෙන් නරඹමිනි.

“මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර පිණිස හෙලිකොප්ටරයෙන් කොළඹට”

“මාලක සිල්වා හා රෙහාන් විජේරත්න මහතුන්ට පහර දුන් මැර කල්ලිය ගැන තවමත් ආරංචියක් නෑ”

“හේතුවක් නැතුව අපට පහර දුන්නා! – මාලක සිල්වා මහතාගේ පෙම්වතිය කියයි”

“රෙහාන් විජේරත්නට තුවාල නැහැ. රෝහලින් පිටවෙයි”

“මගෙ අහිංසක පුතාට පහර දුන් මැර කල්ලිය හමු වුවහොත් අඬු කඩනවා! – මර්වින් සිල්වා මහතා ස්වර්ණවාහිනියට කියයි

“මාලක සිල්වා මහතාගේ වෘෂණ කෝෂයට සුළු සැත්කමක්!”

“මැර කල්ලිය ගැන තවම ආරංචියක් නැහැ…”

“තවම ආරංචියක් නැහැ…”

“ආරංචියක් නැහැ…”

“නැහැ…”

මාලක සිල්වා හා රෙහාන් විජේරත්නහේ මැර ක්‍රියා චිර ප්‍රසිද්ධ නිසා සිද්ධියේදී මුල පටන්ම ජනතා අනුකම්පාව ලැබුණේ අපටය. පොලීසියද අප ගැන සොයන්ට වැඩි උවමණාවක් නොගත්තේ එනිසා විය හැකිය. සමහර මාධ්‍ය වලට අප වීරයින් වූ බවක්ද පෙනෙන්ට තිබුණේය. මාලක සිල්වා හා රෙහාන් විජේරත්න ඒ තරමටම රටට එපා කළ චරිත දෙකක් විය. තම පුතා රේහාන් විජේරත්නගේ ක්‍රියා කලාපය ගැන තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි වන ඔහුගේ මව භාරතී විජේරත්න ලජ්ජා විය යුතුය කියා සී. ඒ. චන්ද්‍රප්‍රේම The Island එකට ලියා තිබුණේය.

ඇත්තටම අප වාසනාවන්තයින්ය මම සිතමි. මාලක සිල්වාගෙන් හා රෙහාන් විජේරත්නගෙන් මීට පෙර ගුටි කෑ යුද හමුදා මේජර්වරයකුට තමන් තමන්ටම ගසා ගත් බව දිවුරුම් පෙත්සමක් මඟින් අධිකරණයෙහි පිළි ගන්ට වූ අතර ඒ මදිවාට රස්සාව අහිමි කර ගන්ටද සිදු විය. නමුත් කොකාට වාරයක් ඒ නම් තිත්ත්යාටද වාරයක් ඒය කියන්නාක් සේ එදින ඔවුන්ගේ නොව අපේ වාරය විය.

දින තුනකට පසු අපි කලබලයක් නැතිව කොළඹ ආවෙමු. චරී අරේෂාටවත් මේ ගැන txt නොකළ බැව් මා දැනගත්තේ පසුවය.

.

.

(ඉවසන්න……………..සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

24 Comments

  1. Jesse James

     /  October 19, 2012

    හොඳ නිර්මාණයක්. එතරම්ම සාර්ථක උදාහරණයක් නොවුනත් සිල්වෙස්ටර් ස්ටලෝන් , රම්බෝ ලෙස වියෙට්නාම් හමුදාවට සහ ඔවුන්ගේ රුසියානු මිතුරන්ට නෙලීම හා එයින් එම චිත්‍රපටයේ නිර්මාපකයන්ට අවශ්‍ය වූ දේ මීට සමාන විය හැක .

    Reply
  2. මාලකටත් ගැස්සුවා එහෙනම්…..

    Reply
  3. Jesse James

     /  October 19, 2012

    and as for squeezing the balls … freudian 🙂

    Reply
  4. රයන්ත

     /  October 19, 2012

    වෙනත් කෝනයක්
    http://kunchaa.blogspot.com/2012/10/blog-post.html

    Reply
  5. ~Kasun~

     /  October 19, 2012

    අර උඩින් දාන බැනර් එකටත් කමෙන්ට් එකක් දාන්න විදිහක් තිබ්බනම් හොඳයි. සිද්ධ වෙච්ච දේවල් සිද්ධ වෙලා ඉවරයි කියල අමතක කරලා දානවනම් හොඳයි. මොකද කව්රු මොනවා කිව්වත් රනිල් දක්ෂ නායකයෙක් කියල තමයි මටනම් හිතෙන්නෙ.

    Reply
    • සාසනයා

       /  October 19, 2012

      ඇත්ත තමයි. ඒ බැනර් එකටත් කමෙන්ට් දාන්න බැරිද? අර රනිල්ට එහා පැත්තෙ දත් විලිස්සගෙන ඉන්න එකා සිරි ලංකා කාරයෙක්. ඌ හිනාවෙන්නෙ ඇයි දන්නවද? මූ කොච්චර ආවත් වැඩක් නෑ මගේ ඡන්දෙ මහින්ද මහත්තයටමයි කියලා හිතලා.

      Reply
  6. සමාන්තර ලෝකෙදි හරි අපේ ෆැන්ටසියකට තැනක් ලැබෙනවනම් කොච්චර සතුටුද…මෙය අනාගතයට පෙරවදනක්ම වේවා!

    Reply
  7. හීරෝ

     /  October 19, 2012

    තාත්තාගේ බෙහෙත (ඇට මිරිකීම) පුතාටත් හම්බ වෙලා තියෙන්නේ.. සමාන්තර විශ්වයක හරි ඕකුන්ට ගහපු නම් එක ලොකු දෙයක්..

    Reply
  8. Sri

     /  October 19, 2012

    Munge etadeka galawala Dana thibune.
    Ela gemak.

    Reply
  9. Sujeewa

     /  October 19, 2012

    මගේ මතය ඩිංගක් වෙනස් වෙනවා. මම සමනල විප්ලවය අගය කරන්නේ ඉතාමත් ඉහල ලේඛන ශයිලියක කතාවක් හැටියට. මට හිතෙනවා කතාවේ මූලික සන්දර්භය වෙනුවට සිල්ලර කතා, ගැලරි පිනවන කතා වගේ දේවල් පිරෙනවා කියලා. කතාව මුල හරියේ අප වෙලා ගන්න කුහුල, සහ වරින් වර අත් දකින සස්පෙන්ෂන් එක මේ වගේ කතාවල නැහැ.

    මම පුද්ගලිකව හිතනවා සාර්ථක ලේඛනයක සැඟවුණු යමක් පළමු පේලියේ පටන් අන්තිම වෙනකම් තියෙන්න ඕනේ කියලා. මේකේ නම් හෙඩින් එකෙන්ම වැඩේ ඉවරයි.

    මම මේ ගතිය පොස්ට් කීපයකම දුටුවා. එකක් තමා සාසනයාගේ පත්‍ර මිත්‍ර කතාව. ඒකෙ අනවශ්‍ය දුරකට ගිය උපහාසයක්‌ තියේ කියා මට හිතෙන්නේ. පත්තර කාරයින් සිරා පොරවල් නොවෙන බව ඇත්ත. කියූ කරුනුත් බොහෝ දුරට හරි ඇති. හැබැයි බන්දු ටෙනි ගානට දාලා ලිස්සලා වැටී වැටී නොන්ඩි කලාම කතාවේ ගාන්භීරත්වය යනවා. ගැලරිය නම් සිනා සේවි.

    මෙහෙම කියන්නේ සමනල විප්ලවයේ කතා සාරය ගැන හිතලයි. එහෙම නැතුව මේ ලියමනේ අවුලක් නිසා නොවේ. ඔකුං දෙන්නට කෙලින එක ජාතික වැදගත්කමක් වෙන අවස්තාවක මේ පොස්ට් එක හොඳ හා කාලින පොස්ට් එකක් බව කියන්න අවශ්‍ය නැහැ,

    Reply
    • ඔබේ ‘චෝදනාව’ වැටහෙනවා. නමුත් චිත්‍රපටකරුවකු ගැලරියේ සිට බැල්කනිය දක්වා සියළුම ප්‍රේක්ෂකයින් (ඔව්, බොක්ස් වලට එන්නන් ගැන පවා!) හිතනවා වගේම නවකථා රචකයකු විවිධ මට්ටම් වල රසිකයින් ගැන සිතිය යුතුයි. මා හදන්න උත්සාහ ගන්නේ බැලන්ස් එකක්.

      හැබැයි ඔබ පරිස්සමින් කියෙව්වොත් මේ කතාංගයේත් කෙළින්ම නොපෙනෙණ දේවල් හොයා ගන්න පුළුවන් වෙයි.

      – ලේඛක

      Reply
      • Sujeewa

         /  October 19, 2012

        මතවාදී ව වෙනස් තැනක ඉන්නේ. ඒත් ඔබේ අදහසට ගරු කරනවා. ලිවීමේ කලාව පෝස්ට් කීපයක පහලට වැටෙන බවක් දකින නිසයි ලිව්වේ.

      • ඉදිරි කතාංග දෙකම මීට පෙර පළ වූ ඒවාට ඉඳුරා වෙනස් මඟක් ගත් ඒවායි. ඔබ වැනි පාඨකයින් ඊට ප්‍රිය කරනු ඇතැයි සිතමි.

        – ලේඛක

      • jESSE jAMES

         /  October 19, 2012

        එච් ඩී ප්‍රේමරත්න වගේ වීම සාර්ථක වෙළඳ උපක්‍රමයකි එහෙත් ඕවර් ඩූ කිරීම හොඳ නැත. ලේඛකයාගේ අවසාන පිළිතුරෙන් ධෛර්්‍යමත් වීමි

      • Sujeewa

         /  October 20, 2012

        එච් ඩී ගැලරිය ඉල්ලන තරමට දුන්නේ නම් ඔහු සෙල්ලප්පෙරුම කෙනෙකි. මගේ කන්සර්න් එක රාවයේ විමලනාත් යන පාරට වැටෙයිද කියායි

  10. sam

     /  October 19, 2012

    මල්ලි මමත් බූස්සේ ඇත්තටම අරුන් දෙන්නටම ගැහෙවුවනම්
    කියල වැඩක් නැහැ
    උන්ගේ වෘෂණ කෝෂ ගලවන්න තිබුනේ
    සමන්

    Reply
  11. DDT

     /  October 19, 2012

    මිරිකන්න ඌට එහෙම එකක් තිබුණද මන්දා.

    Reply
  12. SB නොහොත් Smart Brain

     /  October 19, 2012

    චරිත් හා අරේෂා අතර වූ බොක්කේ මිතුදම නම් හරිම සුන්දරය.

    Reply
  13. Charith M

     /  October 20, 2012

    chari haa thisara athara mithudama eetawath wada sundaraya

    Reply
    • 🙂 🙂

      – The Writer

      Reply
    • Sujeewa

       /  October 21, 2012

      ලේඛකයා අඩියෙන් අඩිය සීරුවට තබා,අල්ලන්නට යන ලොකු ඉලක්කයක් හඬ නගා එළවා දැමීමට තරම් මට සැහසි විය නොහේ. ඔහොම යමු එඩිටර්.

      Reply
  14. Today The dream has come true !

    😀

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: