(33) භව දුක || The suffering

කාලය: අවශ්‍ය නැත, පින්වත
ස්ථානය: අවශ්‍ය නැත, පින්වත

**********(රතු හාමුදුරුවන් කියන කතාව)**********

අථ පාපානි කම්මානි
කරං බාලාන බුජ්ජති
සෙහි කම්මෙහි දුම්මධෝ
අග්ගිදඩ්ඪොච තප්පති

පාප කර්මයෙහි යෙදෙන්නා වූ අඥානයා එයින් ලබන කටුක විපාකය තේරුම් නොගනී. ඒ පවිටු සිතැති තැනැත්තා ස්වකීය ක්‍රියාවන් නිසා ගින්නෙහි දැවුනකු මෙන් තැවෙයි.

– ධම්ම පදය, පාප වග්ග

පින්වතුනි, ඔබ කල්පනා කරන්නේ එදින සිද්ධියෙන් යම් කාලයකට පසු මගේ ජීවිතය සාමාන්‍ය අතට හැරුණේය කියා නම් ඔබ නිවැරදි කරන්ට මට ඉඩ දෙන්න. එවන් යහපත් විපර්යාසයක් සිදු නොවූයේය. ඇත්තටම වූයේ ඒ සිද්ධිය නිසා මගේ කාලකණ්ණි ජීවිතය තව තවත් අවුල් වීමයි. ගිහි ගෙයි ගින්නෙන් මිදී සසර කෙටි කර ගන්ට ආ මගේ සසර තවත් දිගු වීමයි. මේ මා පූර්ව ආත්මයක කළ අකුසළ කර්මයක විපාකයකැයි මට නොයෙක් වර සිතෙන්නේය. පෙර අත් බවයන්හීදී කරන ලද දැඩි අකුසළ ක්‍රියාවන් සම්පූර්ණයෙන් ඵල නොදී අහෝසි නොවේ. මේ එවැන්නක් විය හැකිය.

එදා සිද්ධියෙන් පසු ගෙවීගිය වසරකට අඩු කාලය තුළ වූ සිදුවීම් ගැන ඔබ යාවත්කාල කරන්ට අවසර දෙන්න.

ඇමැතියාගේ පාහර ගෝලයින් රොත්ත එදා රෑ, මළ මිනියක් යට කොට, ළිඳ ගොඩ කොට සිමෙන්ති දැමූ පුවත මම ඔබට විස්තර කළෙමි. මට එතැන එලෙසින්ම තබා ගත නොහැකිය. අනුන්ට වඩා කුතුහලයක් ඇති දායකයකු එතැනට පමණක් සිමෙන්ති දමා ඇත්තේ මන්දැයි අසන්ට පිළිවන. මේ නිසා මම වැඩි කල් නොයවා එතැන කුඩා ටකරන් මඩුවක් ඉදිකළෙමි. මේ මඩුව කුමකටද දායකයෝ ඇසූහ. මට ඊට දෙන්ට එක පිළිතුරක් නොවූයේය. ඒ වෙලාවට කටට ආ දෙයක් කීමි.

නමුත් මඬුව සාදා නිමකළ පසුව හැමදෙනාටම ඉන් ගන්ට වැඩක් ඇති බව පෙණුනේය. බෝධි-පූජා ආදී කටයුතු වලට කළමනා ගෙනෙන උපාසකම්මලා ඒවා තාවකාලිකව තැබූයේ එතැනය. ඉරිදාට දහම් පාසලේ එක පන්තියක් මේ මඬුවේ පවත්වන්ට යෙදුණේය. එසේම හදිසියේ පන්සලට පාත්වූ දුර ගමන්කරුවකු රාත්‍රිය ගත කළේ එහිය. වැස්ස දවසට බල්ලෝ හතර පස් දෙනක් වත් නොවරදවා එහි ටැග් ගැහුණෝය. බණ මඬුවේ වහල පිළිසකර කළ කාලයේ ධර්මාසනය තාවකාලිකව තබා තිබුණේද මේ මඬුවේය. මේ නිසා මඬුව කාගේත් උවමනාවට ඉදිකළ එකක් සේ පෙණුනේය. එසේම එහි බිමට යෙදූ සිමෙන්තිය නිසා ළිඳ ගොඩකළ අවස්ථාවෙහි දැමූ සිමෙන්තිය නොපෙනී ගියේය.

කලින් දැමූ සිමෙන්තිය ඉවත් නොකොට බිමට අළුතින් සිමෙන්ති දමන්නේ මන්දැයි බාසුන්නැහේ මගෙන් දෙතුන් වතාවක් ඇසුවේය. මා කීවේ ඉදි කරන්නේ තාවකාලික මඩුවක් නිසා ඒ ගැන කරදර වෙන්ට ඕනෑ නැති බවය. ඔහු ඊට නොකැමැති බව පෙන්නුවත් මුවින් නොබැණ මා කී විදියට වැඩේ කළේය. මේ බාසුන්නැහේ සේම ගෝලයින්ද ආවේ කුරුණෑගල පැත්තෙනි. ඔවුන්ටද අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් වැඩේ ඉවර කර ගෙදර යන්ටය. මෙනිසා මේ සුළු ගැටළු ලොකුවට ඇදී ආවේ නැත. ගාස්තුව අතට ගත් බාසුන්නැහේ මඬුව තැනීම හිතින් ඉවත් කළාය සිතමි.

නමුත් පුංචි පරහක් තිබුණේය. මේ මඩුව තනන්ට නගර සභාවෙන් අවසර ගන්ට බැරි විය. හේතුව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ.

මීට අමතරව තවත් වැදගත් සිද්ධියක් සඳහන් විය යුතුය. ඒ පන්සලේ ඇබිත්තයා වූ එකොළොස් හැවිරිදි සුදතාගේ මරණයයි. මේ මරණය නුහුරු නොවූ මා පවා දැඩි ලෙස කම්පනයට පත් කළ මරණයකි. ඒ සුදත්ගේ වයස නිසාම නොවේ.

සුදතාට දවසක් එක් වරම උණ ගත්තේය. එකසිය දෙකටත් ටිකක් වැඩියෙනි. හේතුව අපි නොදනිමු. පන්සලේ ආවතේවකම් කරන්ට කෙනෙක් නැත. සුදත්ගේ මෑණියන්ටද පණිවිඩයක් යවා අපි ඔහු ආණ්ඩුවේ ඉස්පිටිතාලයට ඇතුළු කළෙමු. රෝගය ඩෙංගු නොවන බව දින දෙකකට පසු දැනගන්ට ලැබුණේය. එසේම ඔහුට අවශ්‍ය බේත් හේත්ද අඩුවක් නැතිව කෙරෙනවා පෙණුනේය. අපි සැනසුම් සුසුම් හෙළුවෙමු. ඒත් ටික කාලයකටය. සුදතාගේ උණ බැස්සේම නැත. උණ ගැනී පස් වන දින පමණ වන විට ඔහු බෙහෙවින් දුබලව සිටියේය. බලන්ට ගිය මා වත් හඳුනා ගන්ට බැරිවිය. සයවැනි දින ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේය. “දැන් ඔහොම හඳුනා ගන්ට බැරි උණ රෝග හරියට තියෙනවා!” දොස්තරලා කීහ. උන්ට නම් මොනවා කියන්ට බැරිද? තමන්ගේම දරුවන් ගැන නම් ඔවුන් එසේ කියයිද?  අහිංසකයා! වතුර බහින්නේද මිටි තැනින්මය.

කොතැනක සැඟවුණද කර්ම විපාකයෙන් ගැළවෙන්ට බැරිය කියා හිත හදාගන්ට මම වෙර දරමි. බුදු හාමුදුරුවන් කීවේ එහෙමය. න අනතලිකෙඛ, න සමුදදමජෙඣ – න පබබතානං විවරං පවිසස – න විජජති සො ජගතිපපදෙසො – යත‍ථටඨිතො මුඤෙචය්‍ය පාපකමමා.ඒ එක්කම මට හිතෙන්නේ මෑණියන් වත් ළඟ සිටියේ නම් මේ අහිංසකයාගේ දිවි ගැළවෙන්ට ඉඩ තිබුණු බවය. අනෙක් අතට එසේ කියන්ටද බැරිය. ධම්මරතන උන්නාන්සේ හැකි සෑම ආකාරයෙන්ම සුදතා ගැන සොයා බැලුවේය. කොලුවා ගැන ඔහුට තිබුණේ සැබෑ ලෙන්ගතුකමක් බව මේ කාලය තුළ හොඳාකාරවම පෙණුනේය. එහෙත් සුදතා මියැදුනේය. සංසාරේ හැටි, පින්වතුනි, සංසාරේ හැටි.

මියෙන්ට දින දෙකකට පමණ පෙර සුදතා මළ මිනියක් වළලපු සිද්ධියක් ගැන උණ විකාරෙන් දොඩවා තිබුණු බව මට කීවේ ධම්මරතන උන්නාන්සේය. මෙය හෙදියන්ටද ගැටළුවක් වී තිබුණද, ඔවුන් එය පසුව නොසලකා හැර ඇත. උණ වැඩි වූ විට මිනිස්සු කොහොමටත් විකාර කතා කියති.  මගේ පූරුවේ වාසනාවට කිසිවකුත් පූර්වාපර සන්ධි ගලපා නොතිබුණේය.

අදාළ සිද්ධියට සිටි එකම ඇසින් දුටු සාක්ෂිකරුවාත් මියගිය කල්හි සිද්ධිය සම්පූර්ණයෙන් යටපත් වන්ට ඇතැයි ඔබ සිතනු ඇත්තේය. එය එසේ වූයේ නොවේ. ජීවිතය පුදුමාකාරය. අප නොසිතූ දෙවල්මය සිදුවන්නේ. මේ සිද්ධිය නැවත හොල්මන් කරන්ට පටන් ගත්තේ මා නොසිතූ විරූ ආකාරයටය.

මේ සිද්ධියට එන්ට කලියෙන් මා දැනට පදිංචිව සිටින පන්සල සහිත ග්‍රාමයෙහි ඉතිහාසය ගැන යමක් කිව යුතුය. මා මෙහි ආවේ මෑතකදීය. එනිසා මේ කියන සමහර තොරතුරු මා ද වෙනත් අයගෙන් අසා දැනගත් ඒවාය.

අපේ ගම බොහෝ දුරට සිංහල බෞද්ධ එකකි. මේ සිංහල බෞද්ධකම අඩු වශයෙන් සිය වසරක් වත් ඈතට දිව යන බවට සාක්ෂි තියේ. මා වැඩ සිටින රතනාරාමය තනා ඇත්තේ එකදාස් නවසිය ගණන් වල මුලය. ටිකක් දුරින් ඇති අනෙක් ආරාමය ඊටත් පැරැණිය.

එකදාස් නවසිය හැට ගණන් වලදී ගමේ ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තුවක් පන්සලේ තවම තියේ. එයින් දෙමළ නම් තුනක් හැරුණු විට අනෙක්වා සියල්ලම සිංහලය. සමහරවිට කතෝලිකයින් ඉන්ට ඇත. එය නම් වලින් හොයන්ට අමාරුය. නමුත් මුස්ලිම් මිනිසුන් නොහිටි බව නම් හොඳටම පෙණේ. (දෙමළුන් තිදෙනාද ඉන්දියන් කාරයෝය. මේ තිදෙනාම 1993ට පසුව ගම හැර ගියෝය. එක්කෙනෙක් නම් ඉන්දියාවටමය. මටත් ඇවිත් කියලා ගිය නිසා මම දනිමි. අනෙක් අය කොහේ ගියාද නොදනිමි. මේවා කතාවට අදාළ නොවන කාරණාය.)

අපේ ගමට ආ මුල්ම මුස්ලිම්කාරයා සිද්දික්ය. සිද්දික්ගේ පැමිණීම ඓතිහාසික සිද්ධියකි. ඔහු ආවේ නඩු හබයක් නිසා හන්දියේ සිංහල මුදලාලි කෙනකුගේ පවුලම කැති ගා මරාදැමූ අවාසනාවන්ත සිද්ධියකදී කඩේ ගෙනියන්ට කෙනකු නැති වුණු විටය. කලින් තිබුණු කඩේ සිල්ලර කඩයකි. සිද්දික් එතැන හෝටලයක් දා ගත්තේය.

සිද්දික් ශූර ව්‍යාපාරිකයෙකි. අනෙක් ආපන ශාලාවලද මස් පිසූ නමුත් හැමදනාම කීවේ සිද්දික්ගේ ආපන ශාලාවෙහි තරම් රහට අහළ ගම් හතක වත් හරක් මස් පිසෙන්නේ නැති බවය. (මෙහි ඇත්ත නැත්ත මම නොදනිමි. බෞද්ධ භික්ෂුවක් හැටියට මම ගව මස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිමි.) මේ නිසාම සිද්දික්ගේ කඩේට පෞද්ගලික බස් රියැදුරන්ගෙන් ලොකු ඉල්ලුමක් විය. දුර ගමන් යන පෞද්ගලික බස් රථ පවා නතර කරන ලද්දේ ඔහුගේ හෝටලය ඉදිරිපසය. එසේ නතර කළ විට රියැදුරාට හා කොන්දොස්තරට හෝටලයේ වෙනම කාමරයක නොමිළයේ බුරියානි හෝ ෆ්‍රයිඩ් රයිස් එකක් නොවරදවාම ලැබුණේය.

සිද්දික් මිනිසුන් අල්ලා ගන්ටද දක්ෂයෙකි. ඔහු හැම අවුරුද්දේම, බිස්නස් කොච්චර වැටුණත්, ලොකු ඉලක්කම් සහිත කැලැන්ඩරයක් ගහයි. මෙය ගනුදෙනුකාරයාය නැත කියා වෙනසක් නැතිව හැමෝටම බෙදයි.

සිද්දික්ගේ කඩයට කවදාවත් ගොඩ නොවැදුණු (මගේ හොඳ දායකයකු වූ) සුමතිරත්න මහත්තයා පසුපස දවසක් එළවාගෙන ආ සිද්දික් ඔහුටද කැලැන්ඩරයක් දී තිබුණේය.

“මං මේක ගන්න එක හරි නෑනෙ මුදලාලි…” අවංක මිනිසකු වූ සුමතිරත්න මහත්තයා කියා තිබේ. “මම ඉඳල හිටල වත් මුදලාලිගෙ හෝටලේට එන කෙනෙක්යැ!”

“අපට ඕනේ බිශ්නශ් නෙවෙයි මහතයා. අපට ඕනෑ මිනිශ්ශු…බිශ්නශ් අද තිබුණා එට නේ. මිනිශ්ශු ඒමද?”

සිද්දික් ධර්ම දේශනාවක් කොට තියේ.

එදා පටන් ඉතාම අවංක මිනිසකු හා ශාකාහාරියකු වූ සුමතිරත්න මහත්තයාද ඉඳ හිටවත් හෝටලයට ගොඩ වදින්ට වග බලා ගත්තේය. ඔහු බොහෝ විට මිළට ගත්තේ මුනුබුරාට ලොසින්ජර කීපයකි. සිද්දික් හැම ගනුදෙනුකරුවකුටම කරන ඉහළ සැලකිල්ල ඔහුටද පෑයේය. සුමතිරත්න මහත්තයාගේ මහළු මෑණියන් මිය ගිය විට සිද්දික් මළ ගෙදරට සිගරැට් දුන්නේ සතයක් වත් නොගෙනය.

“බෝධිසත්වයෙක් වාගෙ මනුස්සයෙක්…”

සුමතිරත්න මහත්තයා සිද්දික් ගැන කීප දෙනෙකුට කියා තිබුණේය. මම ඔහු නිවැරදි කරන්ට නොගියෙමි. ඔය අනවශ්‍ය කතා මාසෙකට සැරයක් හම්බ වෙන පේරු දානෙටත් කෙළ වෙන වැඩකි.

හම්බයින් එකකු තැනකට රිංගා ගත්තාම ජාතිය බෝ කරන හැටි අමුතුවෙන් කියන්ට ඕනෑ නැත. එනිසා සිද්දික්ගේ පැමිණීමෙන් වසර තිහක හතළිහට පමණ කාලයක් තුළ ගමේ මුස්ලිම් ජනගහණය පවුල් විස්සක් තිහක් බවට පත්වී තිබුණේය.

මෙයද මගේ ප්‍රශ්නයක් නොවේ. රටේ පාලකයින් ඉන්නේ මේවා බලා ගන්ටය. එනිසා මම ඒ ගැන කරදර නොවීමි. මට කරදර වෙන්ට වුණේ එය මගේ ප්‍රශ්නයක් වෙන්ට පටන් ගත් පසුවය.

මේ මුස්ලිම් පවුල් ගණනට දේවස්ථානයකුත් ඕනෑලු. ඉස්සර ඔවුන් ගියේ ළඟ නගරයක පල්ලියකටය. ළඟදී ඉඳන් ලේසියට ගමේම මඩුවක් අටවාගෙන තියේ. මගේ ඉවසීමේ සීමාව පැන්නේ අහළ පහළ ආරාම වල උන්නාන්සේලා මට මේක ඇඟිල්ලෙන් ඇණ පෙන්නා දෙන්ට පටන් ගත් කල්හිය.

“ඕකුන්ට ඉඩ දෙන්න හොඳ නෑ. දන්නෙම නැතුව අපිවත් එළවලා තියෙයි…අන්තිම භයානක ජාතිය”

“ඔය පල්ලිය තියෙන්නේ පන්සල කිට්ටුවම නේද? ඇයි පොඩ්ඩක් එහායින් වත් ඕක අටවා ගන්න බැරි?”

“ඕක අනවසර ඉදි කිරීමක්. බලන් ඉන්ට නරකයි…”

අවසානයේ මුස්ලිම් දේවස්ථානයට විරුද්ධව උද්ඝෝෂණයක් පවා කෙරුණේය. එයද මගේ උවමනාවට කෙරුණු දෙයක් නොවේ. ඊට මූලික වූයේ කොළඹින් පැමිණි තරුණ පිරිසකි. ඔවුන් ගැන වැඩි විස්තර මම නොදනිමි. ඔවුන් පැමිණ සිටියේද මගේ නොව අනෙක් පන්සලේ හාමුදුරුවන්ගේ සම්බන්ධයක් මතය. නමුත් මට උද්ඝෝෂණයට විරුද්ධ වන්ට නුපුළුවන. එනිසා මම මගේ සහයෝගය දුන්නෙමි. ඊට අක්‍රියව එක්වීමෙනි.

උද්ඝෝෂණය රූපවාහිනී නාලිකා දෙකකවත් පෙන්නු බව මම දනිමි. ඉන් එකක විනාඩියක් පමණ මමද කථා කළෙමි. මම කාගේවත් හිත රිදෙන්ට දෙයක් නොකීවෙමි. එක ගමේ මිනිසුන් ගහ මරා ගත යුතු නොවේ. මා කීවේ මේ මුස්ලිම් දේවස්ථානය අනවසර ඉදිකිරීමක් බවත් එනිසා ඉවත් කළ යුතු බවත්ය. හැබැයි අපේ ධම්මරතන උන්නාන්සේ නම් ටිකක් සැරට කතා කොට තිබුණේය.

එදා හවස සිද්දික් තමන්ම තැඹිලි වල්ලකුත් උස්සාගෙන පන්සලට එන කොටම මට කාරණා නරක අතට හැරෙන්ට ඉඩ ඇති බව වැටහුණේය.

මා සිද්දික් ඉන් පෙර මුණ ගැසී තිබුණේ වාර කීපයකදී පමණෙකි. ඒ හැම හමුවක්ම ප්‍රසන්න ඒවාය. ඔහු රෝම පිරි,  විශාල ශරීරයක්ද දිග රැවුළක්ද ඇති මිනිසෙකි. සිද්දික් තැඹිලි වල්ල පිළ උඩ තියා ඒ අසළම හිඳ ගත්තේය. මමද “සුවපත් වේවා!” ය කියා ඔහුට කතාව අරඹන්ට දී බලා සිටියෙමි.

ඔහු කතාව ඇරැඹුවේ මා නොසිතූ තැනෙකිනි.

“ශාදු…රතු ශාදු දන්නවද අපේ තාත්තා අරිම නපුරු මිනිහා. ආයෙ කිව්වොත් කිව්වා තමයි…”

මේ එන්නේ මොකාටදැයි වටහා ගන්ට බැරිව මම ඔහේ අසා සිටියෙමි. මේවාට ඔව් කියලාත් බෑය. නෑ කියලාත් බෑය.

“ඔව් ශාදු ඒ කාලෙ තාත්තා මට එමදාම ගානවා. වෙඩ නොකළාත් ගානවා. කළාත් ගානවා. වෙනින් කවුරු අරි ඔරකම් කළාත් ගානවා …ඉතින් රතු ශාදු මම අවුරුදු දහයක් දොළාක් කොල්ලා කාලෙ ඉතුණා මෙහෙම හිටියා එති. මේම ඉඳලා මට වෙන දෙයක් නේ. ඉතින් මම දවශක් රේ ගත්තා එඳුම් ටික පොදියකට. ගෙදර ඉන්ඩම එපා වෙලා ඉටියේ. මං ගියා බස් හෝල්ට් එකට. එල්ලුවා අනුරාජපුර බස් එක. නිදාගත්තා පස්සේ ශීට් එකේ. ගියා අනුරාජපුර. අතේ ෂල්ලිත් නේ….”

මම අසා සිටිමි.

“ඉතින් ශාදු මං අනුරාජපුර බස් ස්ටේන්ඩ් එකෙන් බෙහෙ ගත්තා. ශාදුට කියන්ඩ මට උදේ අරීම බඩගිනියි. මොනා කරන්ඩද ශාදු. කඩේකින් ඉල්ලුවට දුන්නේ නේ. එක මුශ්ලිම් මනුශ්ශයෙක් මට උදව් කළේ නේ ශාදු. යන්ඩ කිවා ගෙදර.ඉතින් මම එවිදලා එවිදලා ගියා කොහාටද දන්නවද ශාදු…?”

“කියමුකෝ බලන්ට…”

“මම ගියා රතු ශාදු බෞද්ධ පන්ශලකට. මං කවදාවත් ඊට කලින් බෞද්ධ පන්ශලකට ගිහිල්ලා නෑ ශාදු. ඉතින් පයෙන් පයෙන් තමයි ගියා. එතකොට එතන හිටියා ලොකු ශාදු. මං ලොකු ශාදුට කිව්වා ලොකු ශාදු මට බඩගිනියි. ඒත් මං බෞද්ධයා නෙවෙයි….ශාදු දන්නවද ලොකු ශාදු මොකද කිව්වා….”

මම උත්තරයක් නොදී බලා හිඳිමි.

“රතු ශාදු…ඒ ලොකු ශාදු මට කිව්වා, පුතා බඩගින්නට ආගම් නේ. අපි කාටත් බඩගිනි වෙනවා. අපි කේම කාලා කතා කරමු. කියලා ශාදු මට ලොකු බත් ගොඩාක් දුන්නා පිඟානකට…”

අපේම උන්නාන්සෙලා හිත හොඳ කමට කරන දේවල් අපටම කැරැකී එන හැටි මම කල්පනා කරමි.

“රතු ශාදු…එදා ඒ ලොකු ශාදු මට බුදු ආමුදුරුවො ගෙන ගොඩාක් දේවල් කියලා දුන්නා ශාදු. ඔන්න එක දවසක් බුදු ආමුදුරුවො ළඟට එනවලු දුප්පත් මිනිහා. බඩගින්නෙ. ශාදු දන්නවද බුදු ආමුදුරුවො මොකද කිව්වා? බුදු ආමුදුරුවො කිව්වා මේ අහිංසක මිනිහට කන්ඩ දෙන්ඩ. මෙයාට බණ කියන්ඩ එපා. එයා ඉන්නෙ බඩගින්නේ. බඩගින්නෙ ඉන්න මනුස්සයාට බණ කියලා වෙඩක් නේ…බලන්ඩ ශාදු කොච්චර ශ්‍රේශ්ට කියමනක්ද ඒ? බඩගින්නෙ ඉන්න මිනිආට තමයි කන්ඩ දෙන්ඩ ඕනේ. ඊට පස්සෙ තමයි බණ කියන්ඩ පුළුවන්…”

සිද්දික් මාතෘකාවට එන්නේ තවත් පැය භාගයක් පමණ මට ‘බුදු බණ’ කියා දීමෙන් පසුවය. මේ වන විට මමද ඉවසීමේ සීමාවට ආසන්න වෙමින් සිටිමි. වැඩිය කියවන්ට ආවොත් මේකාට කොස්සෙන් ගසා පන්නා දැමිය යුතුය.

“ශාදු එම ආගමම ඇති වෙලා තියෙන්නෙ මොකද? එම ආගමම මනුශ්ශ්‍යයාට කියනවා හොඳ කරන්ඩ. නරක කරන්ඩ එපා. නමුත් මනුශ්‍යයා ඒ ආගම් පිළි ගන්නේ නේ. මුශ්ලිම් මනුශ්‍යයා ඉශ්ලාම් ආගම පිළි පදින්නේ නේ. බෞද්ධ ශහෝදරවරු බෞද්ධාගම පිළි පදින්නේ නේ. මේ ආගම් වල වරද නෙවෙයි ශාදු. මේ මනුශ්‍යයාගේ වරද…”

තවත් කාලය නාස්ති නොකොට මේ අප්‍රසන්න මාතෘකාව අහවර කර දැමිය යුතුය මට සිතෙයි.

“දැන් සිද්දික් මහත්තයෝ ඕක නෙවෙයිනේ මෙතැන ප්‍රශ්නෙ…”

“ඔව් රතු ශාදු ඔව්. මං දන්නවා. මං දන්නවා මොකද ප්‍රශ්නය කියලා…”

“ප්‍රශ්නෙත් දන්නවා නම් මහත්තයෝ, ඇයි තවත් බලා ගෙන ඉන්නේ ඒ ප්‍රශ්නෙ විසඳන්නෙ නැතුව…?”

“ඔව් රතු ශාදු…මං ප්‍රශ්නෙ දන්නවා රතු ශාදු….”

මට දැන් නම් රතු ඉරට ආසන්න වීගෙන එයි.

“සිද්දික් මහත්තයෝ, මෙතැන තියෙන ප්‍රශ්නෙ තමුන්ලා කිසිම අවසරයක් නැතිව හිතුමතේට මුස්ලිම් පල්ලි හදන එකනෙ. තැනක පන්සලක් පල්ලියක් හදන කොට ඒක හදන්න ඕනැ ක්‍රමයක් තියෙනවා. තමුන්ලට ඕනැ ඕනැ විදියට ඒවා හදන්න බෑ…”

“එත්ත රතු ශාදු. එත්ත. ඒව එහෙම හදන්න බෑ….”

“ඇත්ත නම් මොන මඟුලටද ඕයි ඔය පල්ලිය තාමත් තියාගෙන ඉන්නේ. තමුසෙලා ඕක ගලවනවද? මං ඕක ගලවලා දෙන්ඩද…?”

මා කතා කරන්නේ උස් හඬිනි. සිද්දික් ලේන්සු පොඩියක් ගෙන නළලේ දහදිය පිස දමයි. ධම්මරතන උන්නාන්සේ පන්සලේද නොදනිමි. මේ වාදය ඇසී මෙතැනට ආවොත් මළ ජංජාලයක් වන්ට බැරි නැත.

“ශාදු…එත්ත තමයි ශාදු කියන්නේ. මං ඕක අපේ මිනිශ්ශුලාටත් කිව්වා. ඒ පල්ලිය එතෙන තියෙන එක වෙරදි…”

මේ මා බලාපොරොත්තු වූ ප්‍රවේශයක් නොවේ. මම ටිකක් උපේක්ෂා සහගත වෙමි.

“ඒ ඉන්ද මං අපේ මුශ්ලිම් ශහෝදරවරුන්ට කිව්ව ශාදු ඒ පල්ලිය එතෙනින් අයින් කරන්ඩ කියලා. අපි මේ එක ගමේ ශිංහල බෞද්ධ ශහෝදරවරුයි මුශ්ලිම් ශහෝදරවරුයි ෆයිට් කරන්ඩ ඕනෑ දෙයක් නෙවෙයි මේක…අපිට ශමාවෙන්ඩ ඕනෑ රතු ශාදු. අපි වෙරෙද්ද තමා කළා. අපි පල්ලිය අයින් කර ගන්නවා රතු ශාදු. ඒක කියන්ඩ තමා මම අද ආවා පන්ශලට…”

මේ මට කිසිසේත් බලාපොරොත්තු නොවිය හැකි වූ ප්‍රශස්ත විසඳුමකි. සියල්ල යහපත් පරිදි විසඳුනේය මට සතුටු විය හැකිය. එකම උද්ඝෝෂණයෙන් ඔවුහු පරාජය පිළි ගෙන තිබේ.

“හෙබෙයි රතු ශාදු, මට පුංචි උදව්වක් ඕනෑ රතු ශාදු ගෙන්…ශාදු ඒක කරනව කියල මට විශ්වාශයි…”

මම ඔහුට සවන් යොමු කරමි.

“රතු ශාදු අපි ඔය පල්ලිය අයින් කර ගන්නම්. ඒක ලොකු වෙඩක් නෙවෙයි. හෙබෙයි ශාදු දෙන් මේ ගමේ ශිංහල ශහෝදරවරු හා මුශ්ලිම් ශහෝදරවරු අතර සමගිය බිඳිලා තියෙන්නෙ. ඒ හන්දා ශාදු අපට ඉඩ දෙන්න මේ පන්ශලට ඉක්මණටම දානෙ වේලක් දෙන්න ශාදු. අපි මෂ් උයන්නෙ නේ. එළවළු වලින් විතරක් දානෙ දෙනවා…”

මේ මොන වාසනාවක් කඩා වැටෙන්ට යන්නේද මට සිතා ගත නොහැකිය. මස් නම් ටිකක් තිබුණාත් කමක් නැතිය කියා කියන්ට මට සිතේ. තමන් වහන්සේ පිණිසම සකස් නොකරණ ලද මාංශය පිළි ගන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට බාධාවක් නොවේ. නමුත් එය කියා මේ හම්බයා ඉදිරියේ පාච්චල් විය යුතු නැත.

“අපෝ, ඒක නම් කවදා කරන්ට බැරිද සිද්දික් මහත්තයෝ…”

“එහෙම කියල බේ රතු ශාදු. මට දෙන්මම දිනයක් දෙන්ඩ…”

මම පොත බලා ඊළඟ සතියේම ඔහුට දානේ වේලක් දෙන්ට දිනයක් දෙමි. ඔහු හීල හා දහවල් දානය දෙකම භාර ගනියි. වෙනත් ආගමිකයින් දානේ වේල භාර ගැනීම අරුම දේවල් නොවේ. එවැනි දේ ඉන් පෙර බොහෝ අවස්ථාවලදී සිදුව තිබේ.  ඇරත් ඔහු කියන්නේ ඇත්තය. ගමේ ආගමික සමඟිය පළුදු වී තිබේ. එය පිළිසකර කර ගන්ට ඔවුන්ට අවස්ථාව දිය යුතුය.

නමුත් මගේ ඉහමොළ රත් වූයේ සිද්දික් යන්ට ලෑස්ති වී කිව් මේ කතාවටයි. ඒ අවස්ථාවේ මා කිනම් ප්‍රතිචාරයක් දැක්වීද යන්න පවා මට අමතකය.

“ශාදු… රතු ශාදු නම් ළඟදිනෙ මේ පන්සලට ආවේ. අපි ඉතින් මේ ගමේ කාලයක් තිශ්ශේ ඉන්න කට්ටියනේ. ඉශ්ශරත් හිටිය ලොකු ශාදු කෙනෙක්. හෙබෙයි රතු ශාදු වගේ නෙවෙයි. චරිතේ ගෙන ටික ටික කතන්දර තිබුණා. ශමහරවිට ඒ ලොකු ශාදු හොඳ වෙන්ඩත් එති. දන්නවනෙ අපේ මිනිශ්ශු කියන කතන්දර. ඒ කාලෙ මිනිශ්ශු කිව්වේ පන්ශලේ ඉඩමේ මෙරිච්චි මිනියෙක් වළලල දාල තියෙනව කියලා. මං කිව්වෙ මීට අවුරුදු විශි පාකට විතර එහා කතාවක් ශාදු…ශාදු කලබල වෙන්ඩ ඕනෙ නේ. බොරු කතාවක් වෙන්ඩත් එති ශමාර විට මං කිව්වෙ ඔය මිනිශ්ශුලා කියල කතා තමයි. අපි ගිහින් එන්නම් රතු ශාදු…”

පින්වත. මෙයින් මතු සිද්ධීන් පරිකල්පනය කර ගන්ට ඔබට බාධාවක් ඇතිවේය නොසිතමි. සිද්දික් සිය වචනයට ගරු කර දානය දුන්නේය. අමතක වීමකින් බව පෙන්නා ඊට මාංශයක්ද එක් කොට තිබුණු නමුත් (ගව මස් නොවේ.) අපි ඔවුන් කෙරෙහි කරුණාවෙන් එය ප්‍රතික්ෂේප නොකළෙමු. දානය රසය. දුටු තැන හම්බයන්ට නෙළන්ට සූදානම්ව සිටිනා අපේ පන්සලේ උන්නාන්සේලා වුව ගැටළුවක් කොට නොගෙන දානය වැළඳූයේ එහෙයිනි. ගමක අන්තර්-ආගමික සමගිය ඇති කොට ගැනීමේ වැදගත්කම ගැන මම කෙටි අනුශාසනාවක් කළෙමි. අනෙක් උන්නාන්සෙලා එය අනුමත කළේද නොදනිමි. බැලූ බැල්මට ගමේ සමගිය යළි ඇති වූ බවක්ද පෙණුනේය.

එහෙත් සිද්දික් පොරොන්දු වූ ලෙස කවදාවත් මුස්ලිම් පල්ලිය ඉවත් කර නොගත්තේය. එය මේ මොහොතෙහිද එසේම වෙයි. දෙවන වර ඊට එරෙහි උද්ඝෝෂණය නතර කරන්ට වූයේ මටය. මා එසේ නොකළා නම් සිද්දික් කවර ක්‍රියා මාර්ගයක් ගනු ඇත්තේද මම නොදනිමි. ඔහුට කරන්ට ඇත්තේ පන්සලේ වසන ලද ළිඳේ මෘත දේහයක් ඇති බවට සැකය කියා පොලීසියට කීම පමණය. ඉතිරි සියල්ල ඉබේ සිදුවනු ඇත්තේය.

ඇත්තටම සිද්දික් මේ රහස දැන ගත්තේ කෙසේදැයි මම තවම නොදනිමි. මගෙන් එළියට නොගියා නම් එය එළියට යන්ට ඉඩ ඇති එකම පුද්ගලයා සුදත්ය. අවාසනාවකට සුදත් දැන් මළවුන් අතරය. රහස නොදැන ගත යුතුම පුද්ගලයකු අතට පත්ව තිබේ.

අවසානයේ වූයේ මා මුස්ලිම් ජනතාවගෙන් දානය ලබන්ට ගිජු නිසා ඔවුන්ගේ දේවස්ථානයට ඉඩ දුන්නේය මගේම දායකයින්ගෙනුත්, අසල පන්සල් වල උන්නාන්සේලාගෙනුත් නරක නාමයක් අසා ගැනීම පමණෙකි. මේ චෝදනාව ඇත්තය. නමුත් මා එසේ කළේ දානයට ගිජු වීම නිසා නොවේ. ඊට හේතුව මට හැම දෙනාට පහදා දිය නොහැකිය.

මා විඳි අවමානයේ කූට ප්‍රාප්තිය ඉස්ලාම් භක්තිකයින්ගේ නෝම්බි බිඳීමේ ‘ඉෆ්තාර්’ උත්සවයක් සිද්දික්ගේ ඉල්ලීම මත වරෙක පන්සලේ තබන්ට සිදු වීමය. මේ නිසා අවට පන්සල් රාශියක උන්නාන්සේලා මා සමඟ අමනාප වූහ. මා එය කළේ කොයි තරම් පිළිකුලෙකින්ද කියා මට ඔවුන්ට පහදා දිය නොහැකිය.

පින්වත, පින්වතිය. ඔබ මට අනුකම්පා කරන්නෙහිද?

.

.

(ඉවසන්න……………සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

20 Comments

  1. Sujeewa

     /  October 26, 2012

    බ්‍රිලියන්ට් යැ, ලව්ලි යැ.

    Reply
    • Sujeewa

       /  October 26, 2012

      කතාවේ විවිධ චරිත විසින් ලෝකය පරිකල්පනය කල යුත්තේ කතාකරුවාගේ දර්ශනයෙන් නොව එ චරිතවලට ආවේනික දර්ශනයකින් කියන ඒකට මේ කතාංගය හොඳ උදාහරණයක්. වෙනත් කතාංග වල තිබුන අඩුවක් ඒක හැබැයි මෙතන නම් නියමෙටම සාධාරණය ඉෂ්ට වෙනවා චරිතයට.

      Reply
      • තිසර

         /  October 26, 2012

        ඇග්‍රී මි

      • සුදත් එහෙම මේ කථාව මැරෙන්න දවස් කීපයකට කලින් ලේඛක මහත්තැන්ට කිව්වේ නැත්ද? ලිව්වොත් සුපිරි!

  2. ~Kasun~

     /  October 26, 2012

    හ්ම්ම්.. මේ ලිපියනම් රසවත්.. හැබැයි නිකන් ෂර්ලොක් හෝම්ස් කතාවක වගේ පොඩි අතාත්වික ගතියක් තියෙනවා..
    වොට්සන්ගේ සපත්තුවේ ගෑවිච්ච මැටි හරියටම තැපැල් කන්තෝරුව ළඟ මඩගොඩෙන් ගෑවුනා කියල කියනේ කොහොමද.. වෙන තැන්වල ඒ ජාතියේම මැටි නැද්ද?

    Reply
    • වොට්සන්ගේ සපත්තුවේ ඇත්තේ ඒ මැටිමද නැද්ද මම නොදනිමි. ළිඳ පුරවද්දී යටකළේ නරක් වූ ගෝවා තොගයක් විය හැකිය. එය මළ මිනියක්ය යන්න කතාවේ පාත්‍රයකුගේ අනුමානයක් මිස නිශ්චයක් නොවේ.

      එසේම සිද්දික් කියන්නාක් සේ මීට කලින් විසූ භික්ෂූන් වහන්සේ නමකගේ කාලයේ සිදුවූ සිද්ධිය ඇත්තක්මද විය හැකිය. සිද්දික් මෑතක වූ සිද්ධිය ගැන කිසිවකුත් නොදන්නවා විය හැකිය. (ෆ්‍රෙඩෙරික් ෆෝසයිත්ගේ ‘Used in evidence’ කෙටි කතාව මතකයට නැඟේ.)

      – ලේඛක

      Reply
  3. Jesse James

     /  October 26, 2012

    Holy cow !!!!!!!!! I’ll be damned !
    Well brother you proved your brilliance once again!

    Reply
  4. අනේ පව් අර මිනිය වෙනතැනකින් වල දැම්ම නං හරි….අපරාදෙ….මිනිය ලිද අස්සෙ නොතිබුනා නං ඉවරයි නේ….සික් …මෝඩ හාමුදුරුවො….

    Reply
  5. වෙන්න බැරි දේකුත් නෙමෙයි. ඇත්ත ඒ මිනිස්සුන්ට පල්ලියක් හදාගන්න බැරිනම් තමන්ගේ ආගම අදහන්න බන මඩුවෙද ඒ මිනිස්සු යාඤා කොරන්නෙ.. නමුත් එක දෙයකට නම් මම විරෝදියි. දරුණු ආකාරයේ තලේබාන් ව්‍යාපාරයක් යනවා ඒක වහාම පල්ලි එක්කාසු වෙලා නවත්වන්න ඕන. ඉස්සර මේ තරම් මුළු ඇඟම වැහෙන්න කළු කිට් (හිජාබ්) ගහපු මුස්ලිම් කාන්තාවන් අපි දැකලා ඒ මිනිස්සු ඔළුව වහගෙන ගියා විතරයි. ඒත් අද දරුණු විදියට මේක ව්‍යාප්ත වෙනවා. ඉදිරියේදි ළොකු ප්‍රශ්නයක් වන එක නවත්වන්න බෑ. මුස්ලිම් රටවල ගෑනු අය ඒකෙන් එලියට එන්න සටන් කරන කොට. මෙහේ ෆාතිමාලා හැංගෙන්න හදනවා.

    එක තැනක මුදලාලී හොඳට හෝල්ට් එක කියලා කියලා තියෙනවා. සමහර තැන්වල භෂා විලාසය ටිකක් අපේ ආරට ඇවිල්ලා.

    Reply
  6. Sujeewa

     /  October 26, 2012

    “අවසානයේ මුස්ලිම් දේවස්ථානයට විරුද්ධව උද්ඝෝෂණයක් පවා කෙරුණේය. එයද මගේ උවමනාවට කෙරුණු දෙයක් නොවේ. ඊට මූලික වූයේ කොළඹින් පැමිණි තරුණ පිරිසකි. ඔවුන් ගැන වැඩි විස්තර මම නොදනිමි.”

    🙂

    Reply
  7. හිරු

     /  October 26, 2012

    මට මතක් උනේ ගෑණු ළමයෙක්ට කොල්ලෙක් කරදර කළාම, අම්මලා තාත්තලා තමන්ට බනියි කියලා බයේ කට පියාගෙන ඉන්න එක….

    හම්ම්ම්…

    Reply
  8. අංගම්මන සුමන… අංගම්මන සුමන…………….

    Reply
  9. තිහාරිය, අත්තනගල්ල තියෙන්නේ කිට්ටුව.

    ඉතාම හොද නිර්මාණයක්. ඒත් පොඩි පරහක් තියනවා. වෙච්ච සිද්ධිය ඇමතිතුමා දන්නවා. රතු සාදු දන්න බවත් දන්නවා. ආගමික සහජීවනයට වඩා ආගම්වාදය බලවත් දේශපාලන අයුධයක්. ඇයි සිද්දික්ට පහර දෙන්න, ඔය සිද්ධියම යොදා ගන්න ඇමතිතුමා ව පාවිච්චි නොකලේ?

    Reply
    • Sujeewa

       /  October 26, 2012

      ඇමතියා මොන පැත්තේද යන්න හාමුදුරුවන්ට ෂුවර් නැති නිසා. ටිකක් අතාත්විකයි තමා. මොකද අපේ හාමුදුරු සෙට් එක දෙසපාලකයින් එක්ක බහින්නේ බොක්කටම නිසා. ඒත් මෙයා ටිකක් අවංක හාමුදුරු කෙනෙක් නේ සිය කැමැත්තෙන් නොවේ දේශපාලනයට සහය වෙන්නේ.

      Reply
  10. තිසර

     /  October 26, 2012

    මේ දැන් මේක අර එකම නවකතාවක කොටස් ද? අර වික්ටර් සූරිය බණ්ඩාර ගෙ පිටසක්වල කෙල්ල එහෙම හිටිය එක?

    Reply
    • ඔන්න ඉතින් මල පනිනවා. එම්බල කියව මෙය මුල සිට, කථා රසය අඩු වේ මැදින් පැන්න කල. මාරයගෙන් ඇත්තටම මහණ වෙලා හිටියද කියල ඇහුවා වගේ.

      Reply
  11. ranwala

     /  October 26, 2012

    ආයෙත් සමනළයා පිය සලනව! සතුටුයැ!

    Reply
  12. Charith M

     /  October 28, 2012

    samanalaya mala ha lamaya se…. but i like love seances most..

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: