විරාමය: Hitler: The Rise of Evil නරඹමු

.

.

දීර්ඝ හැඳින්වීමක් අනවශ්‍යයි. ඔබ හොඳින් දන්නා හඳුනන චරිත කිහිපයක් මුණ ගැසෙනු ඇතැයි සිතමි.

(39) දඹර අමිල හිමි කොටින්ගේ අත් අඩංගුවේ || Dambara Amila thero abducted by tigers

කාලය: 2009, සමාන්තර විශ්වය [උපකුලපතිතුමා සරසවි සිසුවිය දූෂණය කළාය කියා වසරකට පමණ පසුව හා මේ කැබිනට් මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන් මාස කිහිපයකට පසුව]
ස්ථානය: ඉරණමඩු, උතුරු පළාත

**********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

නඩේසන් හා පුලිදේවන්ද අප පස් දෙනා සමඟ, ඉරණමඩු වැව අසළ ඔවුන්ගේ කුඩා ‘ගුවන් තොටුපළෙහි’ පර්යන්ත ගොඩනැඟිල්ලට ඇවිද ආවෝය. පර්යන්ත ගොඩනැඟිල්ල කීවාට එය තනි තට්ටුවේ පුංචි ගෙයකි. ඉස්තෝප්පුවේ දම්රෝ ප්ලාස්ටික් පුටු කිහිපයක් තබා තිබුණේය. කොයිතරම් ලක් රජය සමඟ සටන් කළද ලක් රජයෙන් තොර පැවැත්මක් ඔවුන්ට නැති බවට මේ අපූරු සාක්ෂියකි. දම්රෝ පුටු පමණක් නොව ඊයේ අපේ කණ්ඩායමේ කෙනකුට සිගරැට් එකක් පත්තු කරන්ට අවශ්‍ය වූ විට ඔහුට ලැබුණේද සූර්යා ගිනි පෙට්ටියක් බව මම දුටිමි. ලංකාවෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් සේ ගොඩ නැඟෙන්ට උත්සාහ කරන ඊළමය අඩු තරමින් ගිනි පෙට්ටියක්වත් නිෂ්පාදනය නොකරයි. තමන් සමඟ සටන් වදින ලක් රජය විසින් නිකුත් කළ කිළිටි දාහේ නෝට්ටුවකට ඊළමය තුළ රැයක් සඳහා යුවතියක් – අවශ්‍ය නම් කොටි කෙල්ලක – මිළට ගෙන ඉතුරු සල්ලිද ඉල්ලා ගත හැක්කේය. මේ පිරබාහරන් වරද්දා ගත් මුල් තැනෙකැයි මට සිතෙයි. සතුරාගේ ආර්ථිකය මතම රඳා පවතින ගමන් සතුරා සමඟ සටන් කළ නොහැකිය.

කොයි තරම් වහසි බස් දෙඩුවද ඔවුන් සටන් ප්‍රකාශ කොට ඇති ලංකාවේ දෘඪ බලය (hard power) සේම මෘදු බලයද (soft power) ඊළාමය තුළ හොල්මන් කරනු දැක ගත හැකිය. කිලිනොච්චියේ මා මුලින් රැගෙන ගිය නිවහනෙහි රූපවාහිනිය විකාශය කරමින් සිටියේ Shakthi TV වැඩ සටහනකි. (සමහරවිට පටිගත කළ එකක් වන්ට ඇත.) ඉඳහිට මා සමඟ සිනාවක් හුවමාරු කර ගන්නා පහළ මට්ටමේ කොටි සෙබළු ‘ශනත් ජෙයසූරියා’, ‘කුමාර් සංගක්කාරම්’, ‘මහේලා ජෙයවර්ධන’,  ‘මුරලිදරන්’ හෝ “ලෂිත් මාලිංගා’ ගැන යමක් කියති. මේ කියන්නේ දෙමළෙන් නිසා මට මෙලෝ මළ දානයක් නොවැටහේ. එහෙත් ඒ අසන මට දේශපාලනිකව හා මිලිටරිමය වශයෙන් කෙසේ වෙතත් සංස්කෘතිමය වශයෙන් අපේ රට තවම බිඳී නැතැයි සතුටක් ඇති වේ.

නඩේසන් සේම පුලිදේවන්ද මා සමඟ කතා කිරීමේ විශේෂ උවමනාවක් නොදැක්වූහ. මටද ඔවුන් සමඟ කතා කරන්ට දෙයක් නොවීය. අනෙක මුන් දෙන්නා කැඩිච්චි ඉංගිරිසියෙන් මා සමඟ කතාවට එන විට මට මළ පනියි. පුලිදේවන්ට කෙසේ වෙතත් නඩේසන්ට හොඳින් සිංහල පුළුවන් බවය බුද්ධි අංශ මඟින් මේ ගමනට පෙර මට සැපැයූ තොරතුරු වල තිබුණේ. එහෙත් ඔහු එය මොනම අවස්ථාවකවත් නොපෙන්වයි.

“සිංහල සින්දු කියන නලළේ තිලක තියන කිරිල්ලි – තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී” කියන ගුණදාස කපුගේ ගායනා කරන ගීතය ලියැවී ඇත්තේ නඩේසන්ගේ සිංහල භාර්යාව ගැනය මට වරෙක කීවේ මහීරාය. මම ඔහුගෙන් භාර්යාවගේ සුවදුක් අසන්ට නොයමි. අවශ්‍ය නම් ඒ තොරතුරු බුද්ධි අංශ ෆයිල් වල ඇති බව මම දනිමි. ඔහුද දනියි. එකිනෙකා රවටා ගන්නේ කුමටද?

මම යාන්තමට මතක ගී පද කිසිවකුට නොඇසෙන සේ මුමුණමි.

සිංහල සින්දු කියන නලළේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
පිණි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලි
මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනඟ අඬාවි
ඒ කඳුලු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැක ගනින් ‍දේවතාවී

මේ ගමන මා මින් දශක තුනකට පමණ ඉහත ගාමිණී දිසානායක මහතා සමඟ යාපනයට ආ ගමනින් ඉඳුරා වෙනස්ය. එසේම මම තව දුරටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී සිසු සටන් වල නියැළි මානවකයා නොවෙමි. මම වඩා සංකීර්ණ අත්දැකීම් ලබා පදම් වූ දේශපාලකයෙක්මි.

මම ඉස්තෝප්පුවෙහි වූ ප්ලාස්ටික් පුටුවක් ඇදගෙන හිඳ ගනිමි. දඹර අමිල හිමි හොර බළලකු ලෙස සිටගෙනම සිටියි. මට ඔහු ගැන කණගාටුවක් ඇතිවේ. ඊයේ වනතුරුම ඔහුට මාස හයකට කිට්ටු කාලයක් හරි හමන් දෙයක් කන්ට ලැබෙන්ට නැත. අඳින්ට ලැබුණේ සරමක් හා කමිසයකි. වැද්දකුගේ මෙන් ඔහුගේ කොණ්ඩය හා රැවුලද වැවී තිබුණේය. මෙසේ ඔහු දකුණේ ජනතාවට දකින්ට ලැබීම නොමනා නිසා ඊයේ ඔහුගේ හිස හා රැවුල නැවත මුඬුකොට මවිසින් දුර දිග කල්පනා කොට ගෙන ආ අළුත් සිවුරක් අන්දවන ලද්දේය. පිටි මුට්ටියක් වැනි වූ ඔහුගේ සිරුරද මේ මාස හයට කේඬෑරි වී ගොස්ය. හරියට අර පුංචි ගමයා හා මහ ගමයා කතාවේ කොටියාගේ හොරි කස කසා ගිනි පිම්බ මහ ගමයා මෙන්ය. දකුණේදී කට මැත දොඩවන බොහෝදෙනා උතුරේදී පූස් පැටව් වෙති. දඹර අමිලගේද වෙනසක් නොවේ.

මම දඹර අමිල හිමියන්ට හිඳ ගන්ට සන් කරමි. ඔහු බයාදු ලෙස පුටුවේ කොණක වාඩි වේ. නෝර්වේ රාජ්‍යයේ නියෝජිතයන් දෙදෙනා සේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ ප්‍රධානියාද බැම්ම උඩ වාඩිවෙති. නඩේසන් ඔවුන්ට යමක් කියයි. එකකු ඔහුට පිළිතුරු දී සිනාසෙයි.

“Do you have broadband here? I couldn’t check my emails yesterday…?”

මේ නෝර්වේ නියෝජිතයන් දෙදෙනාගෙන් තරුණයාය. මූට ඊ-මේල් චෙක් කරන්ට තව පැය දෙකකින් කොළඹ කාර්යාලයට යන තුරු ඉවසන්ට බැරිද?

“What…?” නඩේසන් අසයි. ෂුවර් එකට මූට ‘බ්‍රෝඩ් බෑන්ඩ්’ වචනය තේරුම් ගන්ට බැරිවය.

“I mean can I use my computer here…?”

“Yes. Power is there…”

“I know. I have a battery too. I mean… do you have broadband…?”

“Internet is at our office…not here”

ඔහු කියයි. මුන් ලොකු මිනිස්සු වගේ කතා කළාට මුන්ට ඉන්ටර්නෙට් හම්බ වෙන්නේත් සැටලයිට් කනෙක්ෂන් එකක් හරහා ඉතාම සීමිතව බව මට කීවේ යුද හමුදාවේ මිතුරෙකි. යාන්තම් භාවිතයට පමණය. ඒද බ්ලැක් මාකට් මිළ ගෙවීමෙනි.

“Why don’t you stop that…?” මම එවෙළෙහි වහාම ඔහුගෙන් ඇසීමි. කොටින් සමස්ත ලෝකයෙන් තනිකර ගන්ට පුළුවන් නම් අපේ සටන සියයට පණහක් අවසන් නොවේද?

“We try our best. It is difficult. They have several satellite connections…”

ඔහු උත්තරයේ අවසාන කොටස ගිලගත්තේය. ඔහු කියන්ට ගියේ කුමක්ද මම දනිමි. සටන් විරාම මුල් කාලයේ මුන්ට සැටලයිට් දුරකථන දුන්නේ රනිල්ය. ඒ අපරාදයට ඔහුගේ සොහොනටත් හෙණ ගැසිය යුතුය.  මැඩම් මොනවා කළත් ඒ තරමට ගොන්කම් නොකළාය.

මම මගේ දුරකථනය අතට ගෙන බලමි. මේකා බ්‍රෝඩ්බෑන්ඩ් ගැන කතා කරන්නේ පිස්සුවෙන් විය යුතුය. ජංගමයට වත් සිග්නල් නැත. සිග්නල් ලැබෙන්ට වවුනියාව හරියට වත් යා යුතුය සිතමි. මැඩම්ට කථා කළ යුතුය. මුන් ඉන්නා තැන එය කරන්ට බැරිය.

අප පස් දෙනා රැගෙන යන්ට එන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකි. ඊට ගොඩ බහින්ට අවසර ලැබෙන්නේ ඊළම් රාජ්‍යයේ විශේෂ අවසරයකිනි. මේ ගැන මට ඇත්තේ දුකකි. අපේ රටේ ගුවන් හමුදාවට අපේම රටේ තැනෙකට හෙලිකොප්ටරයක් පාත් කිරීමට කාගෙන් හෝ අවසර ගත යුත්තේ ඇයි? එසේ වීමට මාද එක්තරා ආකාරයකින් වග කිව යුතු බවට ඇති අවබෝධය මට ඊට වඩා වේදනාවකි. මුන්ට මේ සියලු නැටුම් නටන්ට ඉඩ ලැබුණේ රනිල්ගේ ඊනියා සාම ගිවිසුම නිසාය. මමද ඒ සාම ගිවිසුම ඉදිරිපත් කළ ආණ්ඩුවේ වැදගත්, වගකීම් දැරූ කොටස්කරුවකු වීමි. මාද ඒ ශෝචනීය තත්ත්වයට වග කිව යුතු නොවේද?

මා ඊළමට ආවේ ඊයේය. රැය පහන් කළේ කිලිනොච්චියේ කොටි සංවිධානයේ නිල කාර්යාලයේය. පළමු වරට ඊළමට පැමිණ යන ලාංකීය සිංහල ඇමැතිවරයා හැටියට මා ඉතිහාසයට එක්වනු ඇත්තේය. එය මගේ දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවන්ට මෙන්ම මැඩම්ගේ වැඩි සැලකිල්ලක් දිනාගන්ටද හේතු වනු ඇත. මට ඇති එකම සතුට එයයි.

මම නැවත මේ සිද්ධි දාමයේ පුරුක් එකිනෙක ගැන කල්පනා කරමි.

කොටි සංවිධානය විසින් දඹර අමිල හිමියන් පැහැරගන්නා ලද්දේ යාපනයේදීය. මීට සය මසකට පමණ පෙරදීය. බෞද්ධ භික්ෂුවක්, විශේෂයෙන්ම දකුණේ සමාජයේ ප්‍රබල චරිතයක් වූ බෞද්ධ භික්ෂුවක් මොන කෙංගෙඩියට කොටින්ගේ බල ප්‍රදේශයකට ගියා දැයි මට වටහා ගත නොහැකිය. සමහරවිට අනවශ්‍ය එඩිතරකම (ගොන්කම යනු මීට පර්යාය පදයකි.) විය හැකිය. දකුණෙන් ජාතිවාදී බෞද්ධ භික්ෂුවක් තමන්ගේ අඩවියට පැමිණ තග දැමීම කොටින්ට දිරෙව්වේ නැත. ඔවුහු වහාම එහිමියන් අත් අඩංගුවට ගත්තෝය.

රනිල් හා ප්‍රභාකරන් අත්සන් කළ ඊනියා සාම ගිවිසුම 2007දී යූ. එන්. පී ආණ්ඩුවේ බිඳ වැටීමත් සමඟ බොහෝ දුරට බෙලහීන වූ බව ඇත්තකි. එහෙත් ප්‍රායෝගිකව එය සහමුලින් අතහැරදැමීම නොකළ හැක්කක් බව දෙපාර්ශ්වයටම අවබෝධ වී තිබිණි. මේ නිසා වූයේ සාම ගිවිසුම බල පවත්වද්දීම පාලනය කළ නොහැකි ආකාරයට ගැටුම් ඇති වීමයි. එය පූර්ණ යුද්ධයක් නොවේ. ඉඳහිට චටපට ගාන බැලූ බැල්මට නිවුණාක් සේ පෙණුනු ගිනි මැලයකි. මේ නිසා එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශවයේ කෙනකු පැහැර ගැනීම ගිවිසුම බිඳ දැමීමක් ලෙස අර්ථ දක්වන්ට ඉඩක් නොවීය. අනෙක් අතට විරුද්ධ පාර්ශ්වයේ සීමා බිඳ ඒතුළට ඇතුළු වීම ගිවිසුම කඩ කිරීමක් බවය කොටි සංවිධානයේ තර්කය වූයේ. එක අතකට ඒ තර්කය හරිය. එකම දේ දකුණේ ජනතාව ඒ තර්කය පිළි නොගැනීමයි. ඔවුන්ද හරිය. අනීතික සංවිධානයකට, රජය මොන මතයක් දැරුවත්, භූමියට අයිතිවාසිකම් කියනු බැරිය. ඒ භූමිය තුළ පැහැර ගනු ලබන ඕනෑම කෙනකු මුදා ගැනීම රජයේ වගකීම වෙයි.

මුලින් ලොකු ගැටළුවක් හැටියට නොපෙනුණු මේ සිද්ධිය දළුලා වැඩුණේ බලා සිටිද්දීමය. ඒ හේතු කිහිපයක් නිසාය. පැහැරගනු ලැබූ පුද්ගලයා බෞද්ධ භික්ෂුවකි. ඔහුගේ දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත් දකුණේ සිංහල බෞද්ධ අන්තවාදීන්ට මෙය වවාගෙන කන්ට හොඳ අවස්ථාවකි. දෙවැන්න, ඔහු මේ ආණ්ඩුවේ ප්‍රබල පාර්ශ්වකරුවකු වූ ජවිපෙ සාමාජිකයෙකි. ජවිපෙ ප්‍රබලව ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. මේ කාරණා දෙක එක්වූ කළ භූමිතෙල් හා පෙට්රල් එකට මිශ්‍ර කොට බට කැළයට දමා ගිනි තිබ්බාක් සේ ප්‍රශ්නය ඇවිළ ගියේය.

අනෙක් අතට කොටි සංවිධානය ඉන් ඉහළම දේශපාලන වාසි ගන්ට බැලුවේය. දඹර අමිල හිමි නිදහස් කරන්ට ඔවුන්ගේ ඉල්ලීම් දරුණු විය. මින් රටේ ජනතාව දැන ගත්තේ කොටසක් පමණෙකි. ඔවුන් නොදැන ගත් ඉල්ලීම් අතර ඩොලර් නෝට්ටු වලින් පමණක් නිකුත් කළ යුතු මුදල් ප්‍රමාණයක්, සන්නිවේදන උපකරණ ලැයිස්තුවක් හා නිදහස් කළ යුතු ඔවුන්ගේ සාමාජික ලැයිස්තුවක් විය. දෙපාර්ශ්වයම ජනතාවට මෙහිදී බොරු කළෝය. ජනතාවට හෙළි කරන ලද්දේ කොටින්ගේ ඉල්ලීම එකම හමුදා කඳවුරක් ඉවත් කර ගැනීම පමණක් බවයි.

මැඩම් පත්ව සිටියේ අන්තිම අසීරු අවස්ථාවකටය. මේ ගැටළුව නොවිසඳුවේ නම් ඇගේ රජය කොයි මොහොතේ හෝ ජනතා විරෝධය මට කඩා වැටෙන්ට ඉඩ ඇති බව පෙනුණේය. විපක්ෂ නායක මිලින්ද මොරගොඩ දිගින් දිගටම කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ බඳු දූරදර්ශී නයාකයකු යටතේ එක්සත් ජාතික පක්ෂ රජයක් බලයේ සිටියේ නම් මෙවැන්නක් වන්ට ඉඩ නොතිබුණු බවයි. ඊට නම් එක්තරා දුරකට මම එකඟ වෙමි. රනිල් දිගටම බලයේ සිටියේ නම් මේ වන විට මුළු රටම කොටින්ට නතු වන්ට ඉඩ තිබුණේය. එනිසා පැහැරගැන්මක් ගැන ගැටළුවක් පැණ නොනඟිනු ඇත්තේය.

මම මේ අඳුරු වළාකුළේ රිදී රේඛාවක් දිටිමි. යම් අවස්ථාවක ස්වේච්ඡාවෙන්ම මේ ගැටළුව කරට ගෙන විසඳන්ට සහාය දිය හැකි බව මම මැඩම්ට කීවෙමි.

මට මෙසේ කියන්ටද හේතුවක් තිබුණේය. මැඩම් අප ඇගේ ‘දෑත් ශක්තිමත් කරන්ට’ විපක්ෂයෙන් බිලී බා ගත්තේ අපට ඇති ආදරයකට නොව පළමුව ඇගේ බහුතරයද, දෙවනුව ව්‍යවස්ථා සංශෝධනයක් කරන්ට අවශ්‍ය තුනෙන් දෙකක බලයද ලබා ගැනීම පිණිසය. බොහෝ දෙනකු කල්පනා කළ ලෙස අපට සැලැකුණේ මුදලින් නොව පදවි වලිනි. (අඩු තරමින් මට එසේය. උපතින්ම පොහොසත් පවුලකට අයත් වූ මට මුදලෙහි ලොකු වැදගත්කමක් නොවීය. එනිසා මගේ ඩීල් එකේදී ඒ ගැන කතා නොකළෙමි.) අපට බලාපොරොත්තු වූ කැබිනට් පදවි ලැබුණද මැඩම් අප තියා ගත්තේ අතේ දුරිනි. එක්තරා මට්ටමකට අපට වැඩ කරන්ට වූයේ පසමිතුරු වාතාවරණයකය. එවැනි තත්ත්වයක් දිගු කාලීන දේශපාලන ගමනකට අවාසිදායකය. කිසිවෙක් අප මැඩම්ගේ හිතවතකු ලෙස නොදකිති. එනිසා අප අත්‍යාවශ්‍ය සේ නොසැලකේ. අනාගත මැතිවරණයකදී පැරදුණොත් අපට යන්ට වෙන්නේ ගෙදරය. එනිසා නොපරදින බවට වග බලා ගත යුතුය. අවදානම් නොගෙන ඒ කරන්ට නුපුළුවන. මා ගත්තේ ඒ අත්‍යාවශ්‍ය අවදානමයි. Rational risk එකයි.

මේ සම්බන්ධ වූ කතා බහේදී මම මැඩම් ගැන එක දෙයක් දැන ගතිමි. ඒ ඇය මොන කුණු ගොඩකට යටවී සිටියද, වෙනත් බොහෝ නායික නායිකාවන්ගේ මෙන් ඇගේ මිනිසත්කම නැතිව ගොස් නැති වගයි. උදාරණයක් හැටියට මා මේ කැපවීම රනිල්ට ඉඟිකළේ නම් ඔහු ප්‍රශ්නයක් නොනඟා මට අනුමැතිය දෙනු ඇත. එහෙත් මැඩම් මගේ ආරක්ෂාව ගැන ප්‍රශ්න කළාය.

“I assume you know the type of risk you take Victor…”

“I think so Madam…”

“If it does not work, it can ruin your entire political career and sometimes even take your life…” ඇය තම අන්ධ වූ ඇසට ඇඟිල්ල දිගු කළාය. “I don’t want you to learn the hard way…”

“I understand Madam…”

“වික්ටර් මං වගේම සින්ගල් පේරන්ට් කෙනෙක් කියලයි මං අහල තිබුණේ…?”

පට්ට හෙර! මා මේ කතාව කී වහාම ඇය කරන්ට ඇත්තේ මගේ ෆයිල් එක ගෙන්වා ගෙන මේ තොරතුරු බලා ගන්නා එකය. ගේම ඇයට කැමැති විදියට ක්‍රීඩා කරන්ට මමද ඉටා ගත්තෙමි. සල්ලි යන එකක්යැ.

“ඔව් මැඩම්…”

“බබාලා කීදෙනෙක් ඉන්න්වද…?”

“පුතෙක් විතරයි මැඩම්…”

“පුතාගෙ වයස…?”

“He is in his early twenties…”

“එහෙනම් ඉතින් යමක් තේරෙන වයස. විමුක්තිගේ වයසෙම වගේ තමයි. ඒ තරමටම ලොකු ප්‍රශ්නයක් නෑ… හැබැයි මම නම් විමුක්තිට තාම සලකන්නේ පොඩි එකෙකුට වගේ…”

“Yes, Madam”

“වික්ටර්, මේ කරන්න යන වැඩේ පුද්ගලිකව විතරක් නෙවෙයි පවුලටම බලපාන දෙයක්. That is why I ask all these….”

“I can understand, Madam…”

“Tigers are ruthless Victor. If you get it wrong. They will not forgive you. I think you know that…”

“Yes, Madam…”

“Then what more can I say…? කොයිකටත් ගෙදර ගිහින් හොඳට හිතල බලලා ඇවිත් මට කියන්න…”

මට හිතන්ට බොහෝ දේවල් තිබුනේ නැත. මිහිමත මගේ එකම බැඳීම වූයේ පුතා චරිත්ටය. අම්මා ජීවිතයේ අග භාගයේ තවම ලෙඩ ඇඳක ජීවත් වුවද ඇයට කිසිවකු හඳුනාගන්ට තරම් වත් සිහියක් නැතිව මාස කිහිපයකි. මගේ සියළු නිශ්චල චංචල දේපළ, පරාණ බුක්තිය තියාගෙන චරිත්ගේ නමට ලියා අහවර කළේ මහීරාගේ සිංගප්පූරු හුටපටය අවසන් වූ දවස්වලමය. චරිත් තවම මේ බවක් නොදනියි.

මේ දීර්ඝ දේශපාලන ව්‍යායාමය සම්පූර්ණයෙන් විස්තර කරමින් ඔබේ කාලය නාස්ති කරන්ට මම අකැමැත්තෙමි. අද ඒ නාටකයේ අවසාන ජවනිකාව බව පමණක් සටහන් කිරීම ප්‍රමාණවත්ය. මම සටන සාර්ථකව ජයගත් සෙනෙවියෙක්මි. එකම වරදක් හෝ නොකොට දෙපාර්ශ්වයේම අපේක්ෂා නොබිඳ මේ ගැටළුව නිරාකරණය කර ගන්ට මට හැකියාව ලැබුණේය. සය මසෙකට පසු නිදහස් වූ දඹර අමිල හිමියන් මා සමඟ නැවත ගම් රට බලා යන්ට බලා හිඳියි.

ලෝකයේ සමහර දෙවල් වන්නේ පුදුමාකාරයටය. උග්‍ර ජවිපෙ විරෝධියකු වූ මම අද ඔවුන්ගේම සගයකු නිදහස් කොට ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ වීරයකු වී සිටිමි. වසර විස්සකට පමණ ඉහත මා ඔවුන්ගේ අනුත්තර නායකයා මරණයට පත්වූ අවස්ථාව ඇසින්දුටු සාක්ෂිකරුවකු වීද ඔවුන් දන්නේද නොදනිමි. එය දැන ගත්තද තව දුරටත් එය වලංගු නොවනු ඇත. මම වීරයෙක්මි.

අප රැගෙන යන්ට ආ ගුවන් හමුදා හෙලිකොප්ටරය ඉරණමඬුවේ කොටි ගුවන් තොටුපළට ගොඩ බායි. අපි අතට අත දී නඩේසන්ගෙන් හා පුලිදේවන්ගෙන් සමුගනිමු. අපේ සිනහව කැමරාව පිණිස පමණය. මට පුළුවන්කමක් තිබුණා නම් මුන් දෙන්නටම වග කියලාය. ඡායාරූප ශිල්පියකු අපේ සමුගැනීම කැමරා කරයි. පින්තූර Tamilnet පිණිස විය හැකිය.

හෙලිකොප්ටරය අහසට නැඟෙද්දී මම සැනසුම් සුසුමක් හෙළමි. ටික වේලාවකින් අපි මැදවච්චිය පසුකර අනුරාධපුරයට කිට්ටු කරමු. ඈතින් ජේතවනාරාමයේ හා රුවන්වැලිසෑයේ කොත් දකින විට මගේ ඇඟට ටිකක් ලේ උණයි. මැඩම්ට කථා කළ යුතුය.

මම ජංගමය අතට ගන්නා සැණින් එය නාද වේ.

කීර්ති වර්ණකුලසූරිය!

මා දන්නා තරමින් මගේ ගමන මාධ්‍යයට රහසක් විය. එය අසාර්ථක වීමට ඉඩ තිබුණු හෙයිනි. අපට අවශ්‍ය වූයේ සියල්ල නිසි පරිදි වූවායින් පසුව ඩීසන්ට් පුවත් සාකච්ඡාවක් කරන්ටයි. මෙය මැඩම්ට ලකුණු ටිකක් දමා ගැනීමේ වෑයමක් බව අමුතුවෙන් කිව මනා නොවේ, නමුත් හෝටලයේ වේටර්ලාට ඉතුරු වෙච්චි කෑම ලැබෙන්නාක් සේ මටද හිලව්වට ලකුණු ටිකක් ලැබේ.

“ඇයි පුතා මොකද්ද ප්‍රශ්නෙ…?”

“සර්, අද සන්ඩේ ලීඩර් එක කියවන්න ඇතිනෙ…?”

“තාම බැරි වුණා පුතා. මම කොළඹින් එළියෙ ඉන්නෙ…ඇයි මොකද්ද කියල තියෙන්නෙ….?”

“….සර්, අද ලීඩ් නිව්ස් එක සර් ගැන…?”

“මං ගැන…?”

ලීඩ් නිව්ස් එකට යන්ට තරම් වැදගත් මා හා සම්බන්ධ පුවත කුමක්ද…?

“සර්ට මතකද මීට මාසෙකට විතර කලින් පත්තරවල ගියා මුස්ලිම් ගෑනු ළමයෙක් ඇඹිලිපිටියෙදි සුදු වෑන් එකකින් පැහැර ගන්න ගිහිල්ලා පොඩ්ඩක් අල වෙච්චි සීන් එකක්? කොහොමහරි ඒ ගෑනු ළමයා ගැන අරාංචියක් ලැබුනෙම නෑ ඊට පස්සෙ…ඒක එහෙමම අමතක වෙලා ගියා…”

මගේ සුසුම්නාව ඔස්සේ විදුලි සැරයක් ගමන් කරයි. මා ඊයේ දවසම වාගේ හිටියේ උතුරේ මොබයිල් එකට සිග්නල් නැති තැන් වලය. ඊයේ රාත්‍රිය කිලිනොච්චියේ කොටි කඳවුරේය. මම සන්ඩේ ලීඩර් සංස්කාරක ලසන්ත හඳුනමි.ලසන්ත මෙහි ඇත්ත නැත්ත සහතික කර ගන්ට මා සම්බන්ධ කර ගන්ට උත්සාහ ගන්ට ඇත. ඒත් ඒ උත්සාහ ව්‍යවර්ථ වීම පුදුමයක් නොවේ.

මම පරිස්සමෙන් වචන තෝරා ගනිමි.

“නෑ පුතා, මට එහෙම මතකයක් නෑ. මම දැනුත් කොළඹින් එළියෙ ඉන්නෙ…මොබයිල් එකට සිග්නලුත් හරියටම නෑ….”

“එක තමයි. පත්තරේ එන්න කලින් මාත් දැනගත්තෙ. සර්ව ගන්න බැළුවා හරිගියේ නැහැ…”

“දැන් මොකද්ද ප්‍රශ්නෙ…? මාව කොහොමද ඕකට සම්බන්ධ වෙන්නෙ…?” මම උත්තරය දන්නා ප්‍රශ්නයක් අසමි.

“සන්ඩේ ලීඩර් කියන හැටියට සර් මේ ගෑණු ළමයා සර්ගෙ නීත්‍යානුකූල භාර්යාවලු….”

.

.

(ඉවසන්න………………..සමනළයා යළි පියා සලන තෙක්)

(38) මාලක ගැන රෙහාන් විජේරත්න කියන කතාව || Rehan Wijeratne on his friend Malaka

කාලය: 2010, සමාන්තර විශ්වය [චරිත් තිසර හා පිරිස මාලකට හා රෙහාන්ට නෙලූ කාලයට සමාන්තරවයි ]
ස්ථානය: දකුණු හා බස්නාහිර පළාත්, ලංකාව

**********(රෙහාන් විජේරත්න කියන කතාව )**********

මාලක බඳු මෝඩ මූසලයකු මගේ කිට්ටු මිතුරකු වූයේ යැයි මටම අදහා ගත නොහැකිය. අප දෙදෙනාගේ පසුබිම ඒ තරමටම එකිනෙකින් වෙනස්ය. ඔහුගේ පියා, මර්වින් අංකල්, වලව්වට ප්‍රවේණි දාසකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමූපාකාර මැනේජර් කමේ සිට ඇමැතිකම දක්වා පදවි ලද, නූගත්, අශිෂ්ට, තැන නොතැන බලා කුණුහරුප ඇදබෑමේ සමත්, මුළු රටේම පිළිකුලට භාජනය වූ මැර දේශපාලුවෙකි. මගේ දිවංගත පියා, අනෙක් අතට, උගත් හැදිච්චි වැදගත් මහත්මයකු විය. අපේ පවුල් අතරද මේ හා සමාන ලොකු පරතරයක් තියේ. ඔවුන් මැර දේශපාලනය විනා වෙනත් කිසිම දේකට ප්‍රසිද්ධියක් නොදරද්දී අපි පරම්පරා ගණනාවක් තිස්සේ සමාජයේ වැදගතුන් වීමු. මගේ සීයා මෙරට කීර්තිමත් ඇමැතිවරයකු වූ රන්ජන් විජේරත්නය. මගේ මව තුර්කියේ ශ්‍රී ලංකා තනාපතිවරියයි. මේ නිසා මාලක හා මා අතර මිතු දම කපුටකු හා හංසයකු අතර මිත්‍රත්වයකට වඩා සමාන විය. එහෙත් එවැන්නක් පැවැතියේය.

මේ මිත්‍රත්වය අම්මා, අයියා ඇතුළු මගේ අනෙකුත් ඥාතීන්ද කිසිසේත් අනුමත නොකළ බැව් කිව යුතුය. මගේ මිය ගිය පියා ජීවතුන් අතර සිටියේ නම් ඔහුද එය අනුමත නොකරනු ඇතැයි සිතමි. මගේද මාලක ගැන වූයේ එක්තරා අන්දමකට දැඩි පිළිකුලකි. ක්‍රියාවෙන් ඔහු වඩා සමාන වන්නේ තිරිසනකුටය. එහෙත් මට ඒ තිරිසනාද ඕනෑ විය. ඒ මට තනිව ලබා ගත නොහැකි බොහෝ දේ ඔහු මාර්ගයෙන් ලබා ගත හැකි වූ නිසාය. මුදල්, මත්පැන්, සමාජ තත්ත්වය, ලිංගික සුවය – ඒ සියල්ලටම වඩා බලය! මට මේ සියල්ල ඕනෑ විය. මාලක බඳු මෘගයකු පිට නැඟී ගිහින් වත් ඒවා ලබා ගත හැකි නම් හොඳය මම සිතීමි.

ඒ අතින් මාලක අපේ වයසේ තරුණයින් බොහෝ දෙනකුට ඉරිසියා හිතෙන තරමේ වාසනාවන්තයකු විය. ඔහු Archie කොමික් සීරීස් එකේ Reggie Mantle වැනි ‘Some Guys Have All The Luck’ කියා අනෙකුන්ට හිතෙන ජාතියේ චරිතයකි.

මාලකට ස්විමිං පූල් එකකට දමා පීනන්ට තරමට සල්ලි තිබුණේය. (දශක කිහිපයකට පෙර දුප්පතකු වූ මර්වින් අංකල් මේවා කෙසේ උපයා ගත්තාද කියන ප්‍රශ්නය මෙතැනට අනදාළය.) එසේම මර්වින් අංකල් ඔහුට මේ ධන කන්දරාව රිසි අයුරින් වැය කරන්ට පූර්ණ නිදහස ලබා දී තිබිණි. සල්ලි නාස්ති කිරීම ගැන කවදාවත් මර්වින් අංකල් ඔහුට වචනයකින් හෝ දොස් පවරා ඇතැයි මම නොසිතමි. ඇරත් එය අනවශ්‍ය විය. හොඳ උල්පතක් ඇති ළිඳකින් කොයිතරම් වතුර ගත්තද ළිඳ හිස් නොවේමැයි. මර්වින් අංකල්ගේ ධනයද එසේම විය. මාලක නාස්ති කර දමන දමන තරමට අනෙක් පැත්තෙන් ධනය ඉණුවේය. කොටින්ම සමාජයේ ධනවත්ය සැලකිය හැකි පවුලකින් පැවත ආ මා පවා විස්මය පත් කරන්ට තරම් මේ පවුලට මුදල් තිබුණේය. සේප්පුවල ගොඩ ගසාගත්, බැංකු ගිණුම්වල තැන්පත් කොට ගත් ධනය නොව මේ ලෝකයේ මහා ධන කුවේරයන් සේ කාමසුඛල්ලිකානුයෝගී ජීවිතයක් ගත කරන්ට ප්‍රායෝගිකව යොදා ගත හැකි ධනයයි. ඉංගිරිසියෙන් dirty rich කියන්නේ මෙවැන්නන්ටය.

මාලකගේ ශක්තිය වූයේ ධනය පමණක් නොවේ. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කර ගන්ට අපූර්ව සමත්කමක්ද ඔහු සතු විය. අප වැනි කෙනකු මුළු ජීවිතකාලයම ට්‍රයි කර දා ගන්නට බැරි පට්ට කෑලි එක සිනහවක් වෙනුවෙන් මාලක සමඟ යහන් ගත වීමට සූදානමින් සිටියෝය. කොතැනක ගියත් ඔහු වටා රොක්වන කෑලි කිහිපයක් විය. හාමුදුරුවන් වළඳා ඉතිරිවන දානයෙන් කොටහක් පන්සලේ බල්ලාටද ලැබෙන්නාක් සේ මාලකගේ පාවිච්චියෙන් පසු මින් කිහිපයක් වත් අපේ වින්දනයටද ලැබුණේය.

නමුත් මේ සියල්ල වෙනුවෙන් ගෙවිය යුතු යම් වන්දියක් විය. එය මට මුල් වරට වැටහුණේ ජයික් හිල්ටන් සිද්ධියේදීය.

රාත්‍රී සාදය මැදදී (ඔරලෝසු වෙලාවෙන් නම් මේ පසුදින පාන්දරය සිතමි.) මා මාලක සමඟ එළියට ආවේ ඔහුට සිගරැට් අවශ්‍ය වූ බැවිනි. මේ වන විට අප සතුව තිබුණු සියළු සිගරැට් අවසන්ව තිබුණේය. අප බී නොවේ. මාලකට සෙට් වූ කෑල්ලක් ඔහුගේ සිගරැට් පැකට් එකම උස්සා තිබුණේය. මෙන්න පාටි වලට එන පොෂ් කෑලි වල හැටි.

අපි සිගරැට් සොයමින් ඉදිරියට ඇදුනෙමු. තරමක බීමතින් සිටි නිසා අප ගමන් කළේ සෙමිනි. මඟදී හමුවුණු කිහිප දෙනකුගෙන් ඇසුවද ඔවුන් අත සිගරැට් නොවීය.

ටොයෝටා කැප්රි එකකට හේත්තු වී සිටින අඳුරු චරිතයක් අප දුටුවේ මේ ගමනේදීය.

අඳුරු චරිතයක් කිව්වේ පුද්ගලයා කළු පැහැ වුණු නිසා නොවේ. කිසිවකු හඳුනා ගත නොහැකි තරමට හාත්පස අඳුර දැඩි වූ නිසාය.

“අයියා…සිගරැට් එකක් ගන්න බැරිද…?” මාලක ඇසුවේය.

ඔහු තත්පර කිහිපයක නිසලතාවයකින් පසුව, කතාවක් නැතිවම, ගෝල්ඩ් ලීෆ් පැකට් එකක් අප වෙත දිගු කළේය. අපි ඉන් එක එක ගෙන දල්වා ගතිමු. ඔහු සිගරැට් එකක් දල්වා ගත්තේ නැත.

“තෑන්ක් යූ අයියා…”

අප තව මොනවාදෝ වල් පල් වගයක් කතා කළ වගක් මතකය. මොනවාද හරියටම මතක නැත. සාදයේ සිටි කෑල්ලක් දෙකක් ගැන විය හැකිය. වැඩක් ඇති ඒවා නම් නොවේ. සියල්ල බඩුය.

සිගරැට් එක ඉවර වේගන ආවේය. අපට යන්ට කාලය හරි විය. ඒ වන තෙක්ම අපි එකිනෙකා හඳුනාගෙන නොසිටියෙමු.

“අපි කැපෙන්ඩද අයියා එහෙනං…?”

“හා මල්ලි…මම චන්දන ප්‍රදීප්…”

“මම මාලක, මේ රෙහාන්….”

“උඹට මාර නමක්නෙ මල්ලි තියෙන්නෙ….ඕක මාරු කර ගනින්…”

ඔහු හිනැහුණේය. යම් වරදක් සිදුවෙමින් පවතින බැව් මට ඉවෙන් මෙන් වැටහුණේය. එහෙත් එය නිවැරදි කරන්ට පුළුවන් තැනෙක මම නොසිටියෙමි.

“ඇයි උඹ එහෙම කිව්වෙ…?”

“නෑ බං අර මර්වියගෙ වේස කොල්ලට තියෙන්නෙත් ඔය නමමනෙ…”

මා කිසිවක් සිතා ගන්ට වත් පළමුව මාලක අනෙකාගේ කොලරයෙන් අල්ලා ගෙන ‘දඩාස්’ ගා ඔහු ගේ හිස කාර් එකේ හැප්පුවේය.

“මොකද්ද හු**තො තෝ කිව්වෙ…?”

මේ කඩා වැටුණු මරාලය කුමක්දැයි සමහට විට අනෙකා විපිලසර වන්නට ඇත. මට නම් සිතුණේ ඔහු අප කවුද කියා අඳුරේ හඳුනා නොගත් නිසා මෙසේ කියන්ට ඇති බවයි. ඒත් ඔහුද ජවශීලී තරුණයෙකි. ඔහුගේද බුද්ධියට කලින් සහජ තිරිසන් ගති ක්‍රියාත්මක වන්ට ඇත. ඔහු පෙරළා මාලකට ගැසුවේය. මට මේ දබරයට මැදිහත් වන්ට වූයේ එනිසාය.

අප තරමක බීමතින් සිටියද, අවසානයේ ජය අත් වූයේ අපටය. ඒ සමහරවිට අප දෙදෙනකු සිටි නිසා විය හැකිය. එහෙත් අනෙකා සටනක් නොදීම ගුටි කෑවාය මට පසුව සිතුණේය. සියල්ලට මිනිත්තු හතරක් පහක් ගත වන්ට ඇත.

“ප**යා, මීට පස්සෙ වත් කතා කරන්නෙ කාටද දැනගෙන කතා කරපන්…”

මාලක බිම වැටී සිටි ප්‍රතිවාදියාගේ පපුවට කකුල තබා කීවේය. මා දුටුවේ ප්‍රතිවාදියාගේ දකුණු අත යමකට ඇදෙන බවයි. නමුත් මා අනතුරු අඟවන්ටත් පළමුව මාලක එය දැක තිබිණි. ඔහුගේ පා පහරින් අනෙකාගේ පිස්තෝලය ඉවත විසි වී ගොස් වැටිණි. මම එය අහුළා මාලක අතට දුනිමි.

“දැන් මොනවද කියන්නෙ චණ්ඩියා? උඹ පිස්තෝල දික් කර ගන්ඩද ආවෙ? දික් කර ගනින් උඹෙ අම්මට… කැ** වේ**** පුතා…”

මාලක තව දෙතුන් වරක් ඔහුට පයින් ඇන්නේය. ඔහු වේදනාවෙන් කෙඳිරි ගානු මට ඇසිණි.

“අල්ලලා දාල යමු බං. දැන් ඇති…”

මට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් ඔහු එතැනින් ඉවතට ගෙන යන්ටයි. ඒ අහු අස්සේ පිස්තෝලය නැවත දෙන්ටය කියන්ට මට අමතක විය.

පසුවදා උදෑසන වනතුරු මේ සිද්ධිය ගැන ගැඹුරින් සිතීමේ අවශ්‍යතාවයක් මට නොවීය. මාලක සාද වලදී මෙවන් ගැටුම් වලට පටළැවීම සාමාන්‍ය සිද්ධියකි. එහෙත් එදින වෙනස් විය. අප නොදැන පහර දී තිබුණේ බුද්ධි අංශයේ හමුදා මේජර් වරයකුටය.

Minister’s son leads another hysterical attack’ ‘ද නේෂන්’ පුවත්පත පසුවදා වාර්තා කළේය. මේ ඒ ගැන පළවූ පුවත් වාර්තා ගණනෙක පළමුවැන්නය. එහිම පමණක් වූ විස්තරය මා නම් බිය ගන්වන සුළු විය එහෙත් මාලකට එය දැණුනාය කිසිසේත් නොසිතමි.

This time, notorious minister-son has joined with another minister-son and attacked an Army Major and a corporal attached to the Armed Intelligence Unit. Malaka’s pal this time is the late Minister Mano Wijerathne’s stepson Rehan Wijerathne. According to the complaint lodged with the Slave Island police, the incident had occurred when Malaka asked the major for a cigarette. The officer had given him one. Then Malaka had asked for a lighter. The major had said he did not have one and the duo with a few others had then started a brawl. The incident had occurred between 2.30 am and 3.00 am last Sunday early in the morning.

Sri Lanka Army Intelligence Unit has been doing an enormous service to defeat the LTTE. Though the war was over, they barely have a time to rest. They have some other duties to attend for the country. Army Intelligent (Southern) Group Commander Major Susein and his assistant Corporal Dissanayake were on duty last Monday. Collecting data on illegal drugs and weapons trade in the country and providing VIP security were his/their assignments.

He has been in Colombo for the VIP security arrangements as the Commonwealth Parliamentary Association sessions were going on. They had got a tip about two international drug dealers and were collecting data on them. The Major with his assistant corporal went to the Hilton Hotel to meet a spy on last Saturday to get some more details.

මේ අප්‍රසන්න සිද්ධිය බොහෝ දෙනකුට රහසක් නොවන නිසා මා එය දිගින් දිගට විස්තර කිරීමේ ඵලක් නොවේ. ඒ මගේ ජීවිතයේ අසීරුම සති දෙකක් බවට සඳහන් විය යුතුය. රිමාන්ඩ් කිරීමෙන් පසුව පවා පොලීසිය අපට අපරාධකරුවන් ලෙස නොසැලකූ බව ඇත්තය. එසේම ඔවුන් අපට හැම විටම ‘සර්’ කියා ආමන්ත්‍රණය කොට ලබා දිය හැකි හැම සැප පහසුවක්ම ඇතිව පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයේ රඳවා තිබූ බවත් ඇත්තය. මා කණගාටු වූයේ ශාරීරික වදය ගැන නොව මට විඳින්ට වූ මානසික වදය ගැනය.

එහෙත් අවසානයේ මර්වින් අංකල්ගේ බලය දිනුවේය. මා මාලක ගැන කැමැතිම දෙය මෙයයි. මොන තරම් දරුණු ආගාධයකට වැටුණද ඔහුට ලෙහෙසියෙන්ම කිසිවක් නුවූවා සේ ගොඩ එන්ට පිළිවන. අපෙන් ගුටි කෑ මේජර් නම් අම්බ පොන්නයෙකි. අම්බානට කෑවා මදිවාට මේකා අප දෙදෙනා ඌට පහර නොදුන් බව පවා උසාවියේදී පිළිගත්තේය. එතකොට ඌට ගහගෙන තියෙන්නේ ඌමය. මේ වගේ පොන්ස්ලා ඉන්නවා නම් මොනවා කරන්ට බැරිද? මූට අපි ගැහුවා මදිය. දන්නවානම් මුගේ කකුලක් කඩන්ටම තිබුණේය.

මා කොයිතරම් මොට්ටයෙක්ද කියතොත් මේ සිද්ධියෙන් පසුව පවා මාලක අත අරින්ට මට සිත නුදුන්නේය. ඉන් මාස කිහිපයකට පසු ඔහු සමඟ දින කිහිපයකට උණවටුනට යන්ට මා කැමැති වූයේ එහෙයිනි.

මාලක මේ ගමනට ඉන්දියන් කෑල්ලක් සෙට් කර ගත්තේය. ටිකාක් විතර ගණන් එකකි. ගණන් එකක් කියන්නේ ඔහු එය බෙදා ගන්ට අකැමැති වූ හෙයිනි. මේ නිසා මා සිටියේ තරමක තරහිනි.

අප නැවැතුණේ ට්‍රිපල් රූම් එකකය. මාලක සේම ඔහුට සෙට් වන ජාතියේ කෑලිද රමණයේ පුද්ගලිකත්වය ගැන ඒ තරම් ලොකුවට තැකූවන් නොවේ. පිටස්තරයකු කාමරයේ හිඳීම ඔවුන්ට ගැටළුවක් නුවූයේය. කොහොමටත් ඔවුන්ට ඇඳ දී මා නිදා ගත්තේ බිම මෙට්ටයකය. එසේම හැකිතාක් අඩු කාලයක් කාමරයේ රැඳී සිටින්ට පරෙස්සම් වීමි.  රාත්‍රියේ, මට නොපෙණුනද ඔවුන් නඟන හඬ හා අඳුරෙහි ඇඳ රිද්මයානුකූලව සෙලවීම මඟින් මම ඔවුන් රමණයේ යෙදෙන බව දැන ගනිමි. එසේම ඇය සුරතාන්තයට පත් වීමේදී කොයිතරම් හයියෙන් කෑ ගෑවේද යත් ඒ හඬ මුළු හෝටලයම අවදි කරවනු ඇතැයි මට සිතුණේය. ඉන්පසු දෙදෙනාම තුවායක් පටලවාගෙන හෝ (මාලක නම්) අමු හෙළුවෙන්ම, මගේ ඇඟ උඩින්ම පැණ, බාත් රූම් එකට යති.  එවිට මම ඔවුන් නොසලකා හැර නිදන්ට තැත් කරමි. නැතිනම් මලක් ගසමි. මාලකගේ ආත්මාර්ථකාමීත්වය කෙතෙක්ද යත් ඇඳ පාමුල මෙට්ටයක නිදන එකාට කලාතුරෙකින් හෝ ඇඳ උඩ නිදා ගන්ට දිය යුතු නොවේද කියා මොහොතකට හෝ නොසිතුවේය.

නමුත් මම මාලක තරහ කර නොගත්තෙමි. එසේ වුවහොත් මට දැන් ලැබෙන මස් කටුව වත් නොලැබෙන්ට ඉඩ තියේ.

කෙසේ වුවද ‘Two is company, three’s a crowd’ කියමනේ ඇත්ත මට මේ දින කිහිපය තුළ තදින් දැනුණේය. මෙනිසා මා වැඩි කාලයක් ගත කළේ හෝටලයේම සිටි ජර්මන් ජාතික තරුණ පිරිසක් සමඟය. ඒද යුගල දෙකකි. ඔවුන් අතර බැඳීම් හුදෙක් ලිංගික සුවය පිණිස වන බැඳීම් වලට වැඩි බවක් පෙණුනේය. මෙනිසා මම කෑලි දෙකෙන් එකකට හෝ ට්‍රයි කිරීමෙන් වැළකී සිටියෙමි. මිතුරන් වශයෙන් මේ හොඳ පිරිසකි. ඔවුහු මා සමඟ ලංකාව ගැන බොහෝ දේ කතා කළෝය. සාමාන්‍යයෙන් වසරකට වරක් ලංකාවට එන ඔවුන් මේ ඇවිත් තියෙන්නේ සය වැනි වතාවටය. මෙනිසා රට ගැන ඔවුන්ගේ දැනුම මට වඩා වැඩි වීම ගැන මට ලොකු පුදුමයක්ද ඇති නොවීය.

මේ සිද්ධිය වන දවසේ මා අවසාන වතාවට මාලක හා කෑල්ල කාමරයේ දුටුවේ සවස පහට පමණය. දෙදෙනාම ඇඳ උඩ මාරුවෙන් මාරුවට බෙදාගෙන මලක් ගසමින්, වොඩ්කා තොළ ගාමින් සිටියෝය. වේපරයිසරයක් නොතිබුණු නිසා ඔවුන් භාවිතා කළේ සිගරැට් එකකි. මම මල් හා වොඩ්කා මිශ්‍ර කර නොගනිමි. මල් නම් මල්ය. වොඩ්කා නම් වොඩ්කාය. මේ දෙක මිශ්‍ර කරගත් විට ඉන්ට බැරි තරම් හිස රදයක් හැදේ. එහෙත් මාලක ඉන්නේ මේ ගමනේ මට වඩා ඉදිරියෙනි. අප සිතන්ට වත් නොපෙළඹෙන එක්ස්පෙරිමන්ට්ස් වල ඔහු නිරත වෙයි.

මගේ ජර්මන් මිතුරන් සමඟ මුහුදේ නාන්ට යන්ට මට ඕනෑ විය. ‘සී යූ’ කියා මම තුවායක් කරට දමාගෙන ගෙන නාන්ට ගියෙමි. මාලක හා කෑල්ල සාමාන්‍යයෙන් තව ටිකක් සවස් වූ පසුව නාන්ට එන බව මම දනිමි. ජර්මන් මිතුරන් ඉක්මණින් නා අහවර කොට නික්ම ගියද මා තව දුරටත් වෙරළෙහි රැඳී සිටියේ ඔවුන් දෙදෙනා වෙරළට එන තුරුය.

මා නැවත මාලක දුටුවේ ඔහු කවුදෝ කොල්ලන් රංචුවක් සමඟ ගැටුමකට පැටළී ඇති අවස්ථාවකදීය. මේ යකා යන යන තැන කොකු දා ගනියි. එහෙත් එසේය කියා මට ඔහු නොසළකා හැරිය නොහැකිය. ගැටුම කවුරුන් සමඟද, ඊට හේතුව කුමක්ද කියාවත් නොදැන මම ඊට මැදිහත් වීමි.

හැම ගසකටම කොට කොටා යන කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටූ දවසට හොට පටළවා ගන්නේය කියමනක් වේ. මේ මාලක (හා මා) කෙසෙල් ගසට කෙටූ දවසක් විය. ගැටුම නිමවූයේ අපට සැලකිය යුතු මට්ටමේ ශාරීරික හානියක් කරමිනි. ඊට වඩා හිතට දරන්ට බැරි කාරණය වූයේ අපට ගැසූ මැර පිරිස සොයා ගන්ට නොහැකි වන සේ අතුරුදන්ව තිබීමයි. මෙය මටත් වඩා මාලකට හා මර්වින් අංකල්ට දරා ගන්ට බැරි කාරණාවක් විය.

එකකු මාලකගේ ඇ** දෙක මිරිකා තිබූ නිසා ඊට ආසිරි සර්ජිකල් හොස්පිටල්හීදී සුළු ශල්‍යකර්මයක්ද කරන්ට සිදුවිය. මාලක සිටියේ ශල්‍යකර්මයේ වේදනාවට වඩා පරාජයේ වේදනාවෙනි. ඔහු කවදාවත් පරාජය මෙලෙස අත්විඳ සිටියකු නොවීය. ජයග්‍රහණය, බලය මිසක පරාජය හා දුර්වලබව ඔහුගේ උරුමයන් නොවූයේය. ඔහුගේ වේදනාව කවරදාටත් වඩා වැඩි වී තිබුණේ එනිසාය.

මර්වින් අංකල් පත්තර වලට කීවේ පුතාට ගැසූ මැර කල්ලිය හසු වූයේ නම් අඬු කඩන බවය. නමුත් ඔහුගේ කේන්තිය කෙතරම්ද යත් හිත මිතුරන්ට කියා තිබුණේ “උන් අහු වුණා නම් අම්මලා ටික පෝලිමට තියා හු**ගෙන හු**ගෙන යනවා!” කියලාය. මේ ඒ ටික කරන්ට බැරි පුතයෙක්ද නොවේය සිතමි.

මට මාලක තනිකොට ගත හැකි වූයේ දින කිහිපයකට පසුය. මේ වන විට ඔහු සම්පූර්ණ සුවය ලබා සිටියේය.

“මොකද යකෝ තොට උණේ? යන හැම තැනම වලි දාගන්න යන්නෙ…?”

“නෑ බං වෙරළෙ පොන්නයො දෙන්නෙක් කිස් කර කර හිටිය. උඹ දන්නවනෙ මට ඔය පොන්ස් සීන්ස් දැක්කම තද වෙන බව…”

“උඹට මොකද ඉතින් උන් කිස් කළහම? උඹ ඊට වැඩි දේවල් කරන්නෙ…”

“ඒ අපිනෙ බං. උඹ කියන්නේ මේ රටේ ඇමෙරිකාවෙ වගේ පොන්නයින්ට ඕනැ ඕනැ දෙයක් කර ගන්ඩ දීල අපි බලා ඉන්න ඕනැ කියලද…?”

“දැන් ඉතින් ඔය කර ගත්තේ… අන්තිමට පොන්නයින්ගෙන්ම ගුටි කෑවා…”

මාලකගේ මුහුණ කළු වී ගියේය. ඔහුගේ වෛරය තවම පහව නැති සෙයක්ය මට පෙණුනේ.

“තාම ගේම ඉවර නෑ මල්ලි…උන් ටික අහුවුණා නම් දැන ගනියි දවසක…”

“ඇයි උඹ මොනවා කරන්ඩද…?”

” මේ මාලක එහෙම කරන දේවල් කිය කියා යන එකෙක් නෙවෙයි කියලා උඹ දන්නවනෙ. අපි බලමුකො. They will never know what hit them…”

මා සතියකට පමණ පසුව දන්ත වෛද්‍යවරයා හමුවන්ට නොයන්ට මේ සිද්ධිය මෙතෙකින් අහවර වන්ට තිබුණේය. එහෙත් ලෝකයේ බොහෝ දේ සිදු වන්නේ අප නොසිතන ආකාරයටය. හැම දන්ත වෛද්‍යවරයකුම තමන්ගේ රැඳී සිටීමේ කාමරයේ පරණ සඟරා ගොන්නක් තියාගෙන සිටී. ඩොක්ටර් රාජපක්ෂද ඉන් නොවෙනස් වූවෙකි. දතක සුළු රිදුමක් ඇතිව වුවද මම ඉන් Hi සඟරා කිහිපයක් ගෙන නිකමට කියවමින් සිටියෙමි. ඇත්තටම Hi සඟරා වල කියවන්ට කියා ලොකු දෙයක් නොවේ. වැඩිය තිබුණේ පින්තූරය.

මින් එකක මාධුරී දික්සිත් ලංකාවට පැමිණි අවස්ථාවක වූ ෆෑන් ක්ලබ් හමුවක් ගැන ෆොටෝ කිහිපයක් විය. ඒ පින්තුර වල සිටින්නන් දෙදනකු සම්බන්ධව යම් පුරුදු බවක් මට දැණුනේය. අර දිගැටි නාසය නිසා නොවේ නම් සියල්ල මීටර් නොවන්ටද තිබුණේය.

මේ උන් දෙදෙනෙකි!

මම මාලකට SMS එකක් යැවීමි.

“I think I’ve found them…”

.

.

(ඉවසන්න…………….සමනළයා යළි පියා සලන තුරු)

(37) මං මුළා වූ සමනළියකගෙනි පාර අසා ඇත්තේ || It was just like that

කාලය: 2003  මුල හරිය, සමාන්තර විශ්වය. [චරිත්ට මහින්ද අංකල් හමුව මාස කිහිපයකට පසුව හා ත්සුනාමිය එන්ට අවුරුදු එක හමාරකට විතර කලින්]
ස්ථාන: කොළඹ, කටුනායක හා සිංගප්පුරුව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව )**********

මම උණුහුමට ආලෝක පුංජයක් වෙත ඇදී, ඉන්ම දැවෙන මෙරුවකු සේ තිරව, ප්‍රේමයෙන් වෙලී සිටියෙමි. සාමාන්‍ය මිනිසකුට බැලූ බැල්මට පෙනිය යුතු බොහෝ දේවල් මට නොපෙනුණේ එනිසා විය හැකිය.

බොහෝ කාලයකට පෙර මම සිතින් මිය ඇදුනෙමි. එසේ වුවද, මත නැතිව ගිය පසුද ඉතිරිවන හැන්ග්ඕවර් එකක් සේ  මගේ කය අරක්ගත් ආත්මය ජීවත් වූයේය. එය මගේ නොවේය සිතන්ට තරම් මගෙන් ඈත් වූවකි. ඊට උවමනා වූයේ දේවල් තුනකි. පළමුවැන්න බලයයි. දෙවැන්න ලිංගික සුවයයි. තෙවැන්න කීර්තියයි. මගේ ආත්මය ජීවත් වූයේ මේ තුන සඳහාය. මගේ දේශපාලන හා ව්‍යාපාරික ජීවිතයේ සකලවිධ ක්‍රියාකාරම්වල අවසාන ඉලක්ක වූයේ (ඉහත සඳහන් අනුපිළිවෙළටම) බලය, ලිංගික සුවය හා කීර්තියයි. මම මේ අසරුවන් තිදෙනාට කැමැති හැටියට පිටේ නැඟී යන්ට හැකි වූ තුරඟකු පමණක් වීමි.

මහීරා මේ සියල්ල වෙනස් කළාය. ඇය වේලී ඉරි තැළී ගිය කතරකට ගැලූ සුනිල් සිසිල් දිය දහරක් වූවාය. ඒ දිය දහරින් මා මළාය සිතා සිටි වියළි කාන්තාරයේ සැඟව සිටි ජීවය පිබිදුනේය. ඇය මට ජීවත්වන්ට අරුතක් ලබා දුන්නාය. අළුතින් හිතන්ට දෙයක් ලබා දුන්නාය. මම ඒ ගැන පෙර දවසක මෙසේ සටහන් කළෙමි.

“මේ හමුවෙන් පසු මා තුළ පෙර නොවූ විරූ ජවයක් ඇති බව මට වැටහිණි. මා රාජකාරි කටයුතු කළේ කවදාවත් නැති තරම් ප්‍රබෝධයෙනි. මිනිසුන්ගේ ප්‍රශ්න විසඳුවේ විසඳන්ට ඕනෑ නිසා නොව මා එසේ කිරීමෙන් තෘප්තියක් ලද නිසාය. පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම බඳු අන්තිම නීරස ක්‍රියාවන්හි නිරත වීමෙන් පවා මට තෘප්තියක් ලැබුණේය. කොටින්ම අන් කවදාවත් නැති විදියට මගේ වැදගත්කම මට ඒත්තු ගියේය. මා මෙතැන සිටින්නේ අන් කිසිවකුට නොහැකි යම් දෙයක් කරන්ටය. එය කිරීම මගේ තෘප්තිය විය යුතුය. මා ඉන් ආස්වාදයක් ලැබිය යුතුය.’

“මම විදුලි බල ක්ෂේත්‍රය ගැන ගැඹුරින් හදාරන්ටද පටන් ගතිමි. මා පටන් ගත්තේ ක්ෂුද්‍ර විදුලි බලාගාර වලිනි. ටික කලකින්ම මා එම ක්ෂේත්‍රයේ විශේෂඥයකු වනු මටම දැනුනේය. ඉන්පසු මම රටේ ප්‍රමුඛ විදුලිබල ප්‍රශ්න අධ්‍යයනයට නැඹුරු වීමි. දේශපාලකයකුගේ ඇසින් බලන විට මහා වියවුල් සේ පෙනෙන මේ ගැටළු අප හිතනවාට වඩා බෙහෙවින් සරල ඒවා බව මට අවබෝධ විය. මේවා අවුල් කරන්නේ නිලධරයින් හා ඉංජිනේරුවන්ය. හේතු කිහිපයක් නිසාය. එක- ප්‍රශ්න ප්‍රශ්න හැටියට තිබීම ඔවුන්ට වාසිය. එවිට ඔවුන්ගේ අගය වැඩි වේ. ඇමැතිවරයාට ඔවුන් නැතිවම බැරිවේ. දෙක – නිලධර පැලැන්තිය කොහොමටත් වෙනස් ලෙස සිතන්ට ඇකැමැත්තෝය. සුද්දාගේ කාලයේ සිට පවත්වාගෙන ආ රෙකුලාසි, ක්‍රමවේද එසේම පවත්වා ගන්ට ඔවුන් වඩා කැමැතිය. තුන – අවශ්‍ය නැතිකම. ප්‍රශ්නයක් විසඳනවාට නිලධරයකුට අමුතුවෙන් කිසිවක් නොලැබේ. මගේ අළුත් දැනුම මම වසර ගණන් නොවිසඳී තිබුණු ගැටළු විසඳීමට යොදා ගතිමි. මේ නිසා මම සේවක පිරිස – විශේෂයෙන්ම පහළ මට්ටම් වල සේවක පිරිස අතර යම් ගෞරවයක් දිනා ගතිමි.’

“මගේ මේ වෙනසෙහි උල්පත මහීරාය කියන්ට මම මොහොතකුදු මැළි නොවෙමි.”

සංගීතය යනු අල්ලා ගන්ට ඔහේ වැටෙන දෙයක් මිස තෝරාගෙන අසන්ට දෙයක් නොවන බව එතෙක් විශ්වාස කළ මගේ කණට ඇය අමරදේවගේ, ගුණදාස කපුගේගේ, වික්ටර් රත්නායකගේ, නන්දා මාලිනියගේ ගී අහන්ට පුරුදු කළාය.

පාළු අඳුරු නිල් අහස මමයි – ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන – බලාපොරොත්තුව පැතුම ඇයයි

අසාර වූ මහ පොළොව මමයි – ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නළවන – සදාකාලික වූ සැපත ඇයයි

කැලෑව මැද කටු පැදුර මමයි – පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන – අඳුරු වේදනා කැටිය ඇයයි

අපේ ආදර කතාව කෙටිය. තව දුර යන්ට මත්තෙන් මම එය කොටසින් කොටස සකසන්ට කැමැත්තෙමි. ඒ ඇයිද ඔබට තව මොහොතෙකින් වැටහෙනු ඇත්තේය.

මහීරා-වික්ටර් පෙම් පුවත

  1. අසම්මතයේ පෙම්වතුන් අපි
  2. මගේ අසම්මත ආදර කතාවේ දෙවන පරිච්ඡේදය
  3. ඇය මගේ ඇඳට ආවාය
  4. නිරුවතින් දිය නෑ සමනළිය
  5. චරිත්ට පුංචි අම්මා කෙනෙක්!

මම ඊයේ උදෑසන මහීරා නීත්‍යානුකූලව විවාහ කර ගතිමි.

මේ මෙතෙක් ඉක්මණින් වන්ට තිබුණු විවාහයක් නොවේ. ඇය විවාහ කර ගනිම්දෝ නොගනිම්දෝ දෙගිඩියාව මේ වන විට පහව ගොස් තිබුණද එතරම් ඉක්මණින් ඇය මගේ නීත්‍යානුකූල භර්යාව කර ගැනීමේ අදහසක් මට නොවීය. කොටින්ම මා මේ ගැන අම්මා හෝ අක්කලා සමඟවත් කතා කොට නොතිබිණි. මගේ අදහස වූයේ මේ හැම දෙයක්ම නිවී සැනසිල්ලේ කරන්ටය. සියල්ලට කලින් ඇය සිංගප්පූරුවට ගෙන ගොස් සතියක් පමණ නිවී සැනසිල්ලේ pre-marriage honeymoon එකක් විඳින්ට මට ඕනෑ විය.

“අපි බඳින්නෙ නැතුව එහෙම යන එක හරි නෑනෙ…”

ගමනට දින හතරක් තියා ඇය කීවාය. ඉතාම උනන්දුවෙන් සිංගප්පුරු යන්ට සූදානම් වෙමින් සිටි ඇය ඒ වනතුරු කිසිම අවස්ථාවක එවැන්නක් කියා නොතිබුණු හෙයින් මම විස්මය පත්වීමි.

“ඒක හරි කතාවක්නෙ. එතෙකොට අපි ගිය සතියෙ නුවරඑළි ගියේ? ඒ ගියෙත් බැඳලයැ….?”

“ඒ මේ රටේ ඇතුළෙනෙ…”

“මොකද්ද රට ඇතුළෙයි පිටතයි කියල ඇති වෙනස…? ඔයාට මාව විශ්වාස නම් මට ඔයාව විශ්වාස නම් එච්චරයි…”

“අපි එහෙම හිතුවට හැමෝම එහෙම හිතන්නෙ නැහැනෙ…”

ඇය කියන දෙයෙහි එක්තරා මට්ටමකට සත්‍යයක් ඇතැයි මටද සිතුණේය. රට තුළ සංචාරයකදී එය දැන ගන්නා පිරිස අවමය. එහෙත් රටින් පිට යාම වෙනස්ය. වැඩි පිරිසක් එය අනිවාර්යයෙන්ම දැන ගනිති. මා කෙසේ වෙතත් ඇය ඒ සියල්ලන්ටම මුහුණ දිය යුතුය. නැතිනම් ඇයට වන්නේ දේශපාලකයකුගේ අනියම් භාර්යාව කියන ලේබලය අලවා ගන්ටය.

ඇත්තටම මට ගන්ට ලොකු තීරණයක් තිබුණේ නැත. මම ඇය කොහොමත් විවාහ කර ගන්ට සිටියෙමි. මා කළේ ඒ තීරණය ඉදිරියට ගැනීම පමණෙකි.

විශේෂ අවසරයකින් මා මහීරා මගේ භාර්යාව ලෙස ජීවිතයට එක් කර ගන්නා අවස්ථාවට එක් වූයේ අතිශය සීමිත පිරිසකි. අඩු තරමින් ඇගේ මව පියා හෝ සොහොයුරිය වත් ඊට එක් නොවූවෝය. ඔවුන්ට ආරංචිය කීම පමණක් මේ අවස්ථාවේදී ප්‍රමාණවත්ය අපි කල්පනා කළෙමු. මගේ අම්මා නම් අඩු තරමින් මා විවාහ වන බව වත් දැන නොසිටියාය. එනිසාම මම එය පුතා චරිත්ගෙන්ද සැඟැවීමි. අපට එක් වූයේ මගේ කිට්ටුම මිතුරන් තිදෙනකු පමණෙකි. ඉන් එකකු සාක්කියට අත්සන් කරන්ටය. ඉතිරි සාක්කිය මගේ රියැදුරාය.

නොබෝ කලකින්ම සියළුදෙනාටම බැරිනම් අත්‍යාවශ්‍ය කිහිපදෙනකුටවත් දන්නා අපේ විවාහය චාරිත්‍රානුකූලව ගන්ට මම සිතා ගතිමි. ඇරත් එය අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. කවුරුත් මඟුල් කා සමරන්නේ පළමු විවාහයයි. දෙවැන්න නොවේ.

සිංගප්පුරුවට අපට SriLankan Airlines ෆ්ලයිට් එක තිබුණේ මැදියමට පැය භාගයකට පමණ පසුවය. එනිසා සවස් වරුවෙහි ඇය වෙහෙස කරන්ට මට අවශ්‍ය නොවීය. මා ඇය කැටුව දෙල්කඳ නිවසට ගියේ පැය කිහිපයක විවේකයකටයි. එහෙත් ඇය ඒ කෙටි කාලය තුළ නිවස අතු ගා අස් පස් කළාය. මගේ බඩු කිසිවකු විසින් හෝ අදිනවාට නොකැමැති වුවද මම ඇයට ඉඩ දුනිමි. මේ අප දෙදෙනා සැබැවින්ම එකකු වූ මුල් දිනයයි. එදින ඇය සතුටින් තියන්ට මම හැම උත්සාහයක්ම ගතිමි.

ගුවන් ගමන ගැන මට කාරණා දෙකක් මතකය.

එක – ගුවන් තොටුපළේදී ඇය අස්වාභාවික ලෙස ජංගම දුරකථනයේම එල්ලී සිටි බවය. මෙය සාමාන්‍යයෙන් ඇගේ සිරිත නොවේ. ජීවිතයේ පළමු වතාවට පිට රටකට යන්ට සූදානම් වන හෙයින් ඇය දෙමාපියන්ට හා සොහොයුරියට කතා කරන්නේය මට සිතුණේය. ඇය හැම විටම කතා කළේ මට නොඇසෙන දුරකින් සිට වුවද මට ඒ ගැන සැකයක් හිතන්ට අවශ්‍යතාවයක් නොවීය.

දෙක – බලාපොරොත්තු නොවූ ලෙස මා ගුවන් යානයෙහිදී ගිලන් වූ බවයි. මට ගුවන් ගමන් පුරුදුය. එහෙත් එදින කවර හෝ හේතුවක් නිසා මට ගමන පටන් ගත් තැන සිටම වමනය එන්ට පටන් ගත්තේය. සමහර විට කලින් දින කිහිපය දැඩි ආතතියකින් ගතකළ නිසා වන්ට පිළිවන. සිංගප්පුරුවට වූ පැය තුනහමාරක ගුවන් කාලයක් තුළ මම පස් වතාවක් වත් වමනය කළෙමි. ඇය කුඩා දරුවකු බලා ගන්නා මවක මෙන් මට සහාය වූ බවද සඳහන් කළ යුතුය. කෙසේ වුවද ගොඩ බෑ පසු මගේ තත්ත්වය යහපත් අතට හැරුණේය. ගමන් වෙහෙස නිසා අපි දහය පමණ වනතුරු නිදා ගතිමු.

මුහුණ කට දොවා, උදය ආහාරය ගෙන අප පළමු පශ්චාත් වෛවාහික රමණයට එක් වන විට එකොළහමාර හෝ දොළහ පමණ වන්ට ඇත. ලංකාවේ වෙලාව ඊට පැය දෙකහමාරකට කලින්ය.

රමණය හැර අපට සිංගප්පුරුවේ කරන්ට වෙන වැඩක් තිබුණේම නැද්දැයි දැන් කෙනකු අසන්ට පිළිවන. ඕනෑ තරම් තියෙන්ට ඇත. නමුත් මහීරා බඳු නාඹර රණ හංසියකද, නීල මහා යෝධයාගේ යගදාව සේ ප්‍රාණවත් වූ ශිශ්නයක්ද ඇතිව කාමරයක තනිවන ඕනෑම පිරිමියකුට අන් සියල්ලට පළමු රමණය මතක් නොවන්නේ නම් එය අස්වාභාවිකය සිතමි. රත් වූ යකඩය දකින ආචාරියා උඩ පැන පැන එය තළන්ට පටන් ගනියි.

මේ රමණය මෙසේ තනි වැකියෙකින් දැක්වීම එයට කරන අසාධාරණයකි. එය එතරම්ම සුන්දරය. මහීරා හැසිරුණේ මගේ සිතැඟි අකුරක් අකුරක් නෑර දැන ඊට අනුකූලවය. ඇගේ උණුහුම් දිවා ගුහාව, මගේම සිලිලාරේ සීතලෙන් පිරී ගොස් මටම දැනෙන විට මම ලෝකයේ මට අපූරුවටම ගැළපෙන මනාලිය සොයා ගෙන ඇතිය මම ආඩම්බර වීමි. ඒ තව පැය කිහිපයකින් වන්ට යන දේ ගැන හාංකවිසියක් නොදැනය.

රමණයෙහි මා කෙතෙක් උද්‍යෝගයෙන් නියැළුනේද යත් එය අවසාන වූයේ මට නැති නිදිමතක්ද එක් කරමිනි. කොහොමටත් මගේ සැලසුම වූයේ රෑට Orchard Road එක පැත්තේ යන්ටයි. සිංගප්පුරුව රාත්‍රී නගරයකි. දහවල කුසීතව නිදන එය නිඳි ගැට හැර, කම්මැලි කමක් නැතිව නැඟිටින්නේ රෑටය. මෙනිසා යළි කෙටි නින්දක් නිදන්ට මම කල්පනා කළෙමි.

මා පැයක් පමණ හොඳින් නිදන්ට ඇත. ඉන්පසු නින්දට බාධා ඇති වූයේ මහීරා කිසිවකුට දුරකථන කරන හඬිනි. ඇය කඩින් කඩ මිනිත්තු පහළවක් විස්සක් කතා කරන්ට ඇත. ඒද සමහර විට උස් හඬෙකිනි. මුලින් මා මෙය ගණනකට නොගත්තද පසුව කොතැනක හෝ යමක් වැරදී ඇති බව මට හැඟෙන්ට විය.

මම සයනයෙහිම වැතිර යාන්තමට ඇස් හැර ඇය දෙස බලා සිටියෙමි.

ඇය එක් ඇමැතුමක් නිමා කරයි. ගැටළු සහගත මුහුණින් කවුළුවෙන් එපිට බලා සිටී. ඇස් වල කඳුළු පිරිලාය. එක් කඳුළු බිඳක් ඇගේ කොපුල ඔස්සේ ඇද හැළේ. ඇයට මා එහි සිටින බව වගක් වත් නැති සේය. ඇය යළි දුරකථනයෙහි අංකයක් ඔබයි. කතා කරන්නේ මට ශබ්දය ඇසෙන එහෙත් කිසිවක් නොවැටහෙන හඬිනි. අනෙක් පැත්තෙන් කියන කිසිවක් මට නොඇසෙයි. මිනිත්තු කිහිපයකට පසු ඇය රිසීවරය තබා යළි පරණ බැල්මම ඇතිව ඈත බලා සිටියි.

“මහීරා…” මම කතා කරමි.

පිළිතුරක් නැත. ඇය ඉරියව් වෙනස් නොකර ඔහේ බලා හිඳියි.

“මහීරා, ඇයි ප්‍රශ්නයක්ද…?”

මා ඇගෙන් බලාපොරොත්තු වූයේ “නෑ, මොකුත් නෑ” වැනි පිළිතුරකි. එහෙත් ඇය එසේය කියන්ට හිස සලයි.

මම ඇඳ උඩ වාඩි වෙමි.

“ඇයි මොකද්ද ප්‍රශ්නෙ? කවුද ඒ කතා කළේ…?”

“මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්…!”

ඇය එය කියූ අපූරුව!

සාම්ප්‍රදායික නවකතාවකදී නම් මෙතැනදී විය යුත්තේ මා කෝපයෙන් දැවී ඇගේ කම්මුලට ගැසීමය. ඊයේ විවාපත් වූ තමන්ගේ පෙම්වතිය තවත් පෙම්වතකු ගැන කතා කරන විට ස්වාමි පුරුෂයකු හැසිරිය යුත්තේ එසේය. එහෙත් මම ඒ සාම්ප්‍රාදායික ස්වාමි පුරුෂයා නොවෙමි. ඇරත් මහීරාගේ පොඩි පොඩි සම්බන්ධකම් ගැන මට වටින් ගොඩින් ආරංචි වී තිබුණේය. මා ඇය විවාපත් කර ගත්තේ ඒ සියල්ල දැන, ඒ සියල්ල ඉවසමින්, මා හා විවාහ වන්ට පෙර නැතොත් වූවාට පසුව වත් ඒවා නතර වේය යන අවංක චේතනාවෙනි. නමුත් මේ පැටැලැවිලි තවම ලිහී නැති බවය පෙනෙන්නේ.

“මහීරා, තමුසෙට පිස්සුද…?”

ඇය මගේ උරහිස බදාගෙන වැලහින්නක සේ අඬන්ට පටන් ගත්තාය. මා නිහඬව සිටියේ කළ යුතු කුමක්ද සිතා ගත නොහැකි වූ හෙයිනි. පුදුමයකට මෙන් ඇය කෙරෙහි ක්‍රෝධයක් වෙනුවට මට වඩාත් ඇති වූයේ අප සිටින ස්ථානය හා පරිසරය අනුව කාරණා වඩා සංකීර්ණ වුණොත් විසඳා ගන්නේ කෙසේද යන බියයි.

ඇය කතා කළේ, මට දීර්ඝව හැඟුණු, එහෙත් සැබැවින්ම කෙටි කාලයකට පසුවය.

“…මං ඇත්තටම ඔයාට කියන්නමයි හිටියෙ…(ඉහි ඉහි) මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා…මං දන්නව මං කළ වැඩේ වැරදියි කියලා (ඉහි ඉහි)…මගේ වරදින් තමයි මේවා මෙහෙම වුණේ…මං ඔයා එක්ක මෙහෙම ආපු එක වැරදියි මට බෝයි කෙනෙක් ඉන්න කොට (ඉහි ඉහි)…”

මා ඇයට පහර නොදෙන්නේ මා එසේ කළහොත් මේ පරිච්ඡේදය කොතැනකින් නතර වේද නොදන්නා නිසාය. ඊට හරියන්ට මම ඇඳට පයින් ගසමි. ඇඳට නොරිදෙයි. මගේ කකුලම රිදෙයි. මෙවන් මොහොතක වේදනාව දැනෙන එක හොඳය. එනිසා යම් පමණෙකට කෝපය පහව යයි.

“තමුසෙට මොළයක් කියලා නාමයක් නැද්ද ඕයි…දකින දකින එකා එක්ක බුදිය ගෙන…” මා නතර වන්නේ මේ මැට්ටියට තවත් බැණ ඵලක් නැති නිසාය. මා බැන්නාය කියා කිසිම දෙයක් නිවැරදි නොවේ.

“තමුසෙට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බෑනෙ….තමුසෙ දැන් බැඳපු ගෑනියෙක්. කෝ ඔය පරයා ගන්නවා ෆෝන් එකට…මම කියන්න…”

“මට බෑ…මම එයාට…ආ..ද..රෙ..යි…”

“මොකද්ද බැල්ලියෙ, උඹ මට කළේ එහෙනම්…?”

“ඔයාව හම්බ වෙන්නත් කලින් මම එයාව දැන ගෙන හිටියෙ (ඉහි ඉහි) එයා මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ…අනෙක ඔයාට මාව හැමදාමත් බලාගන්න බැහැනෙ…”

“මාව හම්බ වෙන්නත් කලින්…?”

“ඔව්, එයාව පිටසක්වළින් එව්වෙ. (ඉහි ඉහි) මට වෙන බඳින්ඩ කෙනෙක් මේ ලෝකෙ නැති වෙන නිසා (ඉහි ඉහි) ….”

කාලයකින් ඇය ඒ ගැන සඳහනක් නොකළ නිසා මා සිතා සිටියේ මේ පිටසක්වළ පිස්සුව අහවර වී ඇතැයි කියාය. මින් පෙනෙන්නේ එය තවම නිමා නොවූ බවය.

මේ සඳහනත් සමඟ මට එතෙක් මොනම අවස්ථාවකවත් නොපෙණුනු යමක් ගුවන් යානයක් ගොඩ බසින විට ටිකෙන් ටික පැහැදිළිව පෙනෙන පොළොව මෙන් පෙනෙන්ට පටන් ගනියි. මහීරා සාමාන්‍ය ගැහැනියක නොව යම් මානසික රෝගයකින් පෙළෙන්නියකි. ඇගේ විශේෂත්වය මෙය ඉතාම දක්ෂ ලෙස බාහිර ලෝකයෙන් වසන් කර තබා ගැනීමයි. බාහිර ලෝකයට ඇය පෙනෙන්නේ සාමාන්‍ය ගැහැනියක ලෙසය. නමුත් ඇයට ඊට වඩා ළංවූ මා ඇය ගැන මීට වඩා දැන ගත යුතුව තිබුණේය. ඇය තමන් කරන ක්‍රියාවන්හි වගකීමක් නොදරන්නියකි. අනුන් බොරුවෙන් අන්දනවා මදිවාට ඇය, එය කරන්නේද ඉතාම මෝඩ, අහුවෙන විදියටය. මේ ඇයගේ ස්වභාවයයි. දුර දිග සිතා බලා කටයුතු කළ යුතුව තිබුණේ මාය.

විවාහ නොවී සිටියා නම් මා කරන්නේ මේ සක්කරවට්ටමට ඕනෑ කුදයක් ගහ ගන්ට කියා ඒ අවස්ථාවේදීම හෝටලය මාරු කිරීමයි. එහෙත් දැන් මට ඒ වරණය නැත. ඇය මගේ විවාහක භාර්යාවයි. ඇයට සිදුවන යම් දෙයක් ගැන මාද වගකීම දැරිය යුතුය.

“තමුසෙට කටක් තිබුණෙ නැද්ද ඕයි, ඕක කලින් කියන්න…?” මම අසමි.

ඇය හිස් බැල්මෙන් මා දෙස බලා සිටියි.

ඇය තමන්ගේ පෙම්වතාය කියන අහිංසකයා ගැන මම කල්පනා කරමි. ඇය ඔහුට සැබැවින්ම ආදරය කරතැයි මම මොහොතකටවත් නොසිතමි. ඇයට අවශ්‍ය වූයේ අප දෙදෙනාම භාවිතා කරමින් ඩබල් ගේම් එකක් ප්ලේ කරන්ට විය හැකිය. නැතිනම් ඇය මා හා විවාහ වන්නේ වත්, යහනේදී මා උපරිම තෘප්තියක් ලබන පරිදි හැසිරෙන්නේවත් නැත. අප දෙදෙනාම ඇගේ දාම් ලෑල්ලේ ඉත්තෝය. ඇය මේ ඩබල් ගේම් එක දැන දැනම ප්ලේ කළාද, නැතිනම් ඇගේ මානසික ව්‍යාකූලතා නිසා එතැනට එළඹියාද මම තීරණය කරන්ට නොයමි. කොතැනකදී හෝ ඇය බලාපොරොත්තු වූ ලෙසින් කාරණා සිදු නොවූයේය. දැන් ඇයට ඔහු අතහැර දමන්ට බැරි හේතුවක් ඇතිවා වන්ට පිළිවන. සිදුව ඇති කිසිවක් මට වෙනස් කරන්ට නුපුළුවන. දැන් අවශ්‍ය වන්නේ මේ වැටුණු වළෙන් ගොඩ එන  ප්ලෑන් එකකි.

“මට තමුසෙව බලෙන් අල්ලගෙන ඉන්න ඕනැ නැහැ. කැමැති දෙයක් කරනවා…” මම අවසානයේ කියමි. ඇගේ ඇස් දීප්තිමත් වෙයි.

මේ වන විට මගේ කෝපය සම්පූර්ණයෙන්ම වාගේ නිවී අවසානය. මට දැන් ඇත්තේ මේ මානසික රෝගිනිය හැකිතාක් ඉක්මණින් මගේ ජීවිතයෙන් ඈත්කොට මගේ ජීවිතය නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවයි.

“එයා කලබල වෙලා ඉන්නෙ අපි බැන්දයි කියල දැනගෙන. සර්ට බැරිද එයාට කියන්න එහෙම දෙයක් වුණේ නෑ කියලා…”

“මං මොකටද බොරු කියන්නෙ….?”

ඇය ආයාචනාත්මක බැල්මෙන් මා දෙස බලයි. ළිඳේ වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය. මේ අප්‍රසන්න පරිච්ඡේදය නිමා කරන්ට ඕනෑම දෙයක් මවිසින් කරන්ට සූදානම් අවස්ථාවකි මේ.

“හා හා අර ගන්නවා ෆෝන් එක. මම කියන්නම්…”

ඇය ඔහුට දුරකථන කළද ඇගේ ‘පෙම්වතා’ මට කතා කරන්ට බිය වන්නාක් සේය. මෙය ඉක්මණින් ඉවර කළ යුතුය. මම රිසීවරය උදුරා ගනිමි.

“කවුද ඔය? මේ වික්ටර් බණ්ඩාර…”

අනෙක් පැත්තෙන් තත්පර කිහිපයක නිහැඬියාවකි. ඉන්පසු බයාදු කට හඬකි.

“අනේ, සර්. මට සමා වෙන්න සර්. මහීරා සර් ගැන කියල තිබුණට මේ වගේ කිට්ටු සම්බන්ධයක් තිබුණාය කියල මම දැන ගෙන හිටියෙ නෑ. මට මහීරා කියලා තියෙනවා සර් එයාට හුඟාක් උදව් කළා කියලා රස්සාවක් හොයා ගන්න හෙමත්…”

“අයිසෙ, මේ අහනවා…”

“…..සර්, මගේ එයා ගැන බලාපොරොත්තුවක් තිබුණා තමයි, ඒත් ඒ සර්ගෙ බලාපොරොත්තු ගැන නොදැන. දැන් මගේ එහෙම දෙයක් නෑ සර්. අනේ සර් මම ඇත්තටම දැන ගෙන හිටියෙ නෑ සර් මහීරා බඳින්න කියලා ආශ්‍රය  කළේ… අම්මාපල්ලා මට එහෙම දෙයක් කරන්න ඕනැ වුනේ නෑ සර්. සර් මං ගැන වැරදියට හිතන්න එපා. ..”

“පොඩ්ඩක් මේක අහනවා…”

“සර්…?”

“මල්ලි, ඔයා ඔය වල්ගෙ පාගාගෙනනෙ කතා කරන්නෙ. මං මහීරා බැන්ද එකක් නෑ. මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ….”

“…නෑ සර්…”

“…පොඩ්ඩක් මේක අහ ගන්නවා. මහීර තමුසෙගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නම් මං ඒකට බාධා කරන්න ආවෙ නෑ. ඒක මට මහීරා කියලා තිබුනෙත් නෑ…”

“සර්, ඒත් මහීරා බැන්දය කිව්වෙ….?”

“නෑ එහෙම එකක් නෑ. ඒක බොරුවක්…”

“…සර් මං වෙනුවෙන්…”

“පොඩ්ඩක් ඕක නතර කරලා කියන එක අහනවා…”

මේ වන විට මා කරන දෙය පියවරින් පියවර තීරණය කර අවසානය.

“ඔයා කොහෙද මල්ලි දැන් ඉන්නෙ…?”

“…සර්, ලංකාවෙ…”

“ඔව්, ලංකාවෙ තමයි. ලංකාවෙ කොහේද ඉන්නෙ…”

“සර්. කඩවත…”

“ආ, එහෙනම් වැඩි කරදරයක් නෑ. තමුසෙට පුළුවන්ද හෙට උදෙන්ම – උදෙන්ම කියන්නෙ පුළුවන් තරම් උදෙන් කටුනායක එයාපෝට් එකට එන්න…?”

“සර්…?”

“ඔයාට පුළුවන්ද හෙට පුළුවන් තරම් උදෙන් කටුනායක එයාපෝට් එකට එන්න…?”

“පුළුවන් වෙයි සර්…”

“ආ එහෙමනම් ඇවිල්ලා තමුන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් අර ගන්නවා…හරිද? තේරුණාද? හෙට කියන්නෙ දාහත් වැනිදා, සෙනසුරාදා හරි…?”

“ඔව් සර්…ඒත්…”

ඔහු වෙනත් යමක් කියන්ට පළමු මම ලයින් එක විසන්ධි කරමි. “මේකි මට කළ දේ කවද හරි තමුසෙටත් කරනවා තමයි ඕයි” මට කියන්ටත් හිතුණේය. එහෙත් මම කරදර නොවීමි. තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපයා ගත යුතුය. ඇරත් එසේ කීම මගේ හිතේ තියෙන ප්ලෑන් එකට බාධාවකි.

“දැන් බෑග් එක අස් කරගෙන යන්න ලැහැස්ති වෙනවා…” මම මහීරාට කියමි. ඇය විස්මය පත්ව මා දෙස බලයි.

“අපි යනවද සර්…?”

“අපි යන්නෙ නෑ. තමුසෙ යනවා. මම ඉන්නවා…තමුසෙව එක්ක ගෙන යන්න බෝයි ෆ්‍රෙන්ඩ් කටුනායකට එයි…”

ඇය නිහඬව ඇඳුම් පැක් කරන්ට පටන් ගනියි. ඇය ආවේ ගෙදර සිට නිසා ඇඳුම් ගෙනාවේ වෙනම බෑග් එකකය. වැඩිය එළියට නොගත් නිසා නැවත අසුරන්ටද අමාරුවක් නොවේ. මේ ඇයටද බලාපොරොත්තු විය හැකි හොඳම විසඳුම නොවේද?

දීර්ඝ කතාවක් කෙටි කොට කියන්නේ නම් කරදරයකින් තොරව ඇය ආපසු ලංකාවට ‘පටවන්ට’ මට හැකි වූ බව කිව යුතුය. හැම රාත්‍රියකම අඩුම වශයෙන් ගුවන් සේවා තුනක් – Singapore Airlines, SriLankan Airlines හා Cathay Pacific සිංගප්පුරුවේ සිට කොළඹ දක්වා පියාසර කරයි. අවශ්‍ය වූයේ නම් මේ කවරක හෝ Business class  හෝ ගෙවා හෝ ඇය නැවත ලංකාවට යවන්ට මට අවශ්‍යව තිබුනේය. එවිට මා මේ සියල්ලෙන් නිදහස්ය. ලොකු කරදරයක් නොවූයේ අප පැමිණි SriLankan Airlines හිම Economy class සීට් ඉතිරි වී තිබුණු හෙයිනි. දින වෙනසට මට සිං ඩොලර්ස් 100ක් ගෙවන්ට විය. මම එය ඉතා කැමැත්තෙන් ගෙවීමි. මගේ නිදහස මෙතරම් ලාභ බැව් මම නොසිතුවෙමි.

ඇගේ ගමන් මළු සිකියුරිටි චෙක් පොයින්ට් එක දක්වා ගෙන ගොස් දෙන්ට තරම් මම කාරුණික වීමි. මෙතැනින් එපිටට මට යා නොහැකිය.

“මේ මට තව පොඩි උදව්වක් කරනවද…?” ඇය මුකුළු වෙන්ට පටන් ගනියි.

“මොකද්ද…?” මම තරහින් අසමි.

“ඔයා ගාව තියේ නම් මට රුපියල් දෙදාහක් විතර දෙනවද…?”

මේ පඳුරියගේ ලජ්ජා නැතිකමේ තරම! ඇය මා මැසිවිලි නොනඟා ටිකට් එකේ දින වෙනසට සල්ලි ගෙවනු දුටුවාය.

“ඒ මොකටද…?”

“මට එයාපෝට් එකේ ඉඳන් ගෙදර යන්න සල්ලි නෑ…”

“ඉතින් අරය එයිනෙ එක්ක යන්න…”

“එයා ගාවත් සල්ලි නෑ. නැත්නම් මට බස් එකේ යන්න තමයි වෙන්නෙ…”

මම ජීවිතයේ කිසි දිනෙක මුදලට ලොල් නොවූයෙමි. කෙනකුට උදව්වක් වශයෙන් මුදලක් දීම මට මහා ලොකු දෙයක් නොවේ. මම ඇයට සිං ඩොලර් පනහේ නෝට්ටුවක් දෙමි.

“මං ගාව රුපියල් නැහැ. කටුනායකදි මාරු කර ගන්න…”

ඇය එය අතේ ගුළි කර ගනියි.

මා බලාපොරොත්තු නොවූ ලෙස ඇය වෙන් වන්ට පළමුව මා ඉදිරියේ වැඳ වැටුනාය. ඒ මට මතක හැටියට ඇය මට වැන්ද පළමු අවස්ථාවයි. කඳුළු බිඳු කිහිපයක් ඇගේ දෙකොපුල් හරහා ගලා යයි. “හොඳයි ගිහින් එන්න.” වැනි යමක් මගෙ කියැවෙතැයි ඇය අපේක්ෂා කළා විය හැකිය. මම කිසිවක් නොකියමි.

මා බැහැරව යන්නේ ඇය විගමන කවුන්ටරය හරහා ගමන් කළ පසුය. එතැනින් එපිට ඇයට වන කිසිවකට මගේ වගකීමක් නොවේ. කටුනායකට යන තෙක් SriLankan Airlines ගුවන් සමාගම ඇය රැක ගනු ඇත්තේය. (අනේ ප්ලේන් එක කඩා වැටුණ නම් කොයිතරම් දෙයක්ද? මගේ ඔක්කෝම ප්‍රශ්න ඉවරයි.) එතැන් සිට ඇගේ පෙම්වතා ඇය භාර ගනු ඇත. මට ඔහු ගැන දුක හිතෙයි. මැය ඔහුද ගත හැකි සියළු සාරය ගන්ට පුළුවන් තරම් ගෙන හපය විසි කර දමනු ඇත්තේය. ඒත් මං මොනවා කරන්නද? එයාම ඉල්ලලා කරේ දාගත්තු දහිර වාට්ටුවක් වෙන්න ඇතිනෙ.

මම පිටත් වීමේ පර්යන්තයෙන් පිටට විත් ටැක්සියකට ගොඩ වෙමි.

“Where to sir….?” රියැදුරා අසයි.

“Take me to Orchard Road…”

“Where in Orchard road….?”

“Just drop me in front of the Paragon. I can find my way from there…”

සිංගප්පුරුවේ මසාජ් පාලර් සාමාන්‍යයෙන් වසන්නේ රැය මැදියමටය. මට තව පැය දෙකක් තියේ.

.

.

(ඉවසන්න………………………සමනළයා යළි පියා සලන තෙක්)

(36) ‘මහින්ද-ධර්ම-පූජා’ මැඩම් අතින් පිටිදූවේ සිරිධම්ම හිමියන්ට || Madam launches ‘Mahinda-Dharma-Pooja’ program

කාලය: 2013 – නොවැම්බර්, සමාන්තර විශ්වය [මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට පත් වූවාට මාස කිහිපයකට පසුව]
ස්ථානය: කොළඹ දිස්ත්‍රික්කය, ලංකාව

**********(‘සාසනයා’ කියන කතාව )**********

මැඩම් හා මා අතර කැපියුලෙට්-මොන්ටේගු ජාතියේ පට්ට විරසකයක් ඇති බව ඔහේලාට තව දුරටත් රහසක් වන්ට බැරිය. මේකිට ඇහැක් නම් දැනටමත් මා රෝස්ට් කර, රෙඩ් වයින් දමා, Bœuf bourguignon එකක් හදා ඩිනර් එකට අරගෙනය. හරිය? ඇය මංගලයාටත් ශ්‍රීපතියාටත් එන්ට කියා උන්ට මගේ කටුද සූප්පු කරන්ට දෙනු ඇත්තේය. තවම එය කළ නොහැකිව ඇත්තේ මගේ වෙට්ටපිත්තලකම නිසාය.

ඇත්තටම එය මගේම වෙට්ටපිත්තලකම යැයි කීම එක අතකට අසාධාරණය. මා කිට්ටු කර ගෙන ඇත්තේද ඒ වගේම අණ්ඩපාල සෙට් එකකි. ඔක්කොම ගඟෙන් එහා පැත්තේය. එහේ සිට ඇස් ඇරපු පූස් පැටියකු වත් ගේන්ට එපා කියා තියෙන්නේ ඒ හන්දාය. මට ගැලැවී ඉන්ට ඇහැක් වී තියෙන්නේ මේ සියල්ලන්ගේම සාමූහික ප්‍රයත්නයෙනි. ටීම් වර්ක් එකෙනි. හරිය?

මගේ ලේකමුන් දෙදෙනාගෙන් පටන් ගනිමු. මගේ ‘මහ ලේකමා’ – මා ඔහු එසේ නම් කරන්නේ වයසින්ද ජ්‍යෙෂ්ඨත්වයෙන්ද, නාමික තනතුරින්ද අනෙකාට වඩා ඉහළ නිසාය. නැතුව අනෙකාට වඩා බලය ඇති නිසා නොවේ. හරිය? සමාජය ඉදිරියේ ඉතාම ගෞරවණීය ලෙස පෙනී සිටින ඔහු ඉහ නිකට පැසුණු ‘ජෙන්ටල්මන්’ කෙනෙකි. රවුම් කණ්නාඩි දෙකක් දමා කදාර් සූට් එක ඇන්දුවොත් බෙන් කිංස්ලිට වඩා හොඳින් මහත්මා ගාන්ධි චරිතය රඟපාන්ට ඇහැක්ය. ඇත්තටම ආණ්ඩුවේ ඉන්නා හොරුන් දෙස බලන විට ලොකු හොරෙක්ද නොවේ. ඔය වයිපරේට දුවට පුතාට තනතුරක් හදා දෙන එක හැම එකාම කරන දෙයකි. හොරකමක් සේ ගණන් ගත යුතු නොවේ. (ඒ තනතුරු වල පඩිය කොයිතරම් ඉහළ වුණත්.) ගොඩාක් ඉස්සර නම් මේකා ඔය ගෑනියෙක්ගේ දෙන්නෙක්ගේ තන් මිරිකුවා කියලා කතා තිබුණේය. ඇත්තද බොරුද මම නොදනිමි. අනෙක් අතට ගෑනුන්ට තන් තියෙන්නේ මිරිකන්ට නෙවෙයි නම් වෙන මක්කටෙයි? තමන්ගේ වාහෙලා පවා නොමිරිකන තන් මේකාවත් මිරිකීම ගැන ඒ ගෑණුලා තන්තෝස විය යුතුය.

මේකා ලේකමා කර ගන්ට පෙර මා ඔහු ඊට පෙර හොඳින් දන්නා හඳුනන ඇමැති සගයකු වන එළවළු-පෙට්ටියාගෙන් විමසීමි. පෙට්ටියා දුන් ප්‍රතිචාරය මෙසේය. “ඕකා ගත්තට කමක් නෑ. වැඩ හොඳයි. කම්මැලි නෑ. ඒ වගේම අණ්ඩපාලයා. සතේකට විශ්වාස කරන්න එපා. කොයි වෙලේ ඇහැක් ගලවං පනීද දන්නෙ නෑ” මම මේ රෙකමදාරුව ගැන පැහැදුනෙමි. මටත් අවශ්‍ය මේ වගේ එවුන්ය. මා වයිපරේවත් විශ්වාස නොකරන නිසා මූ විශ්වාස නොකිරීම ගැන ගැටළුවක් පැන නොනඟී. හරිය?

රාජ් කපූර් වගේ පෙන්සිල් මුෂ්ටෑෂ් එකක් වවාගෙන ඉන්නා ‘පොඩි ලේකමා’ නම් අම්බ හොරෙකි. කොටින්ම මේකා කාමරේට එනට දොර අරින කොටම මගේ අත අණ දෙන්ටත් ප්‍රථම ක්‍රියාත්මක වී මේසය මත ඇති පෑනක්, පැන්සලයක්වත් වත් ලාච්චුවට දමයි. හැබැයි මේකා ඒ වගේ සුළු දේවල් හොරකම් කරන එකෙක් නොවේ. රුපියල් මිලියන දහයකට වත් අඩු නම් ඌට ඒ පොඩි සල්ලිය. අනේ හොඳ එකා. කවදාවත් ඒ වගේ පොඩි සල්ලි වලට කෑදර නැත. වෙන කෙනෙකුට ගන්ට දෙයි. අර කොටි බෝම්බයෙන් ඉණෙන් ඉහළ සෙත්තපෝච්චි වුණු කොච්චියා එකතු කර ගත්තේ ඒ වගේ පොඩි සල්ලිය. කොච්චියත් හොඳ එකා තමයි. මගේ ලෝ කොලේජ් කාලේ ඉඳලාම ගජයාය. ඌ මැරුණු බව ඇසූ අවස්ථාවේ මටත් දුක හිතුනේය. මොනවා කරන්නද. සංසාරේ හැටි, මිත්‍රවරුනි, සංසාරේ හැටි. (ඉස්සෙල්ලා මැරුණේ කොච්ච්චියාද සරත් ෆොන්සේකා හමුදාපතිවරයාද මට කවදාවත් මතක තියා ගන්ට බැරිය. දෙන්නම මැරුණේ කිට්ටු දවස් වල බව නම් මතකය.)

මා මහ ලේකමාට වඩා බලතල පොඩි ලේකමාට ලබා දී තියෙන්නේ මක්කටෙයි දැන්වත් ඔහේලාට තේරුම් යනු ඇත. කොටින්ම මහ ලේකමා ඉන්නේ නමට විතරය. ඒකාට ගෙදර යන්ට කියන්ට මගේ සිත නොනැමේ. ඔන්නොහේ ඇවිදගන්ටවත් බැරි වෙනකල් හිටපුවාවේ. අනික් අතට මේකා ඉන්න එකත් හොඳයි. දැන් කාර්යාලයීය සේවකයින්ගේ ලීව් චිට් අස්සන් කිරීම වගේ දේවල් කරන්නේ ඒකාය. ගියොත් ඒ ටිකත් මට කරන්ට වනු ඇත. හරිය?

හැබැයි ‘මහින්ද-ධර්ම- පූජා’ ව්‍යාපෘතිය නම් බොහෝදුරට මහ ලේකමාගේ අදහසක් බව කිව යුතුය.

බුද්ධ ශාසන ඇමැති හැටියට මට කරන්ට තිබුණේ වැඩ අතළොස්සකි. මගේ අමාත්‍යාංශයේ බජට් එකම රුපියල් මිලියන දෙසීයක් විය. එයින් වැඩි හරියක් සේවකයින්ට පඩි ගෙවන්ට හා ගොඩනැඟිලි වාහන නඩත්තු කටයුතු වලට වියදම් වුණේය. මේ නිසා මට වැඩි වැඩ කරන්ට වූයේ ධන පරිත්‍යාග වලිනි. මෙහිදී මට උදව් කළෝ මා හිතවත් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝය. බොරු කියන්නේ මක්කටෙයි, උන් නම් ඇහැක් විදියට මට අත දිග ඇරලා සල්ලි දුන්නෝය. කවදා හරි මා මෙරට සිංහල බෞද්ධයින්ගේ දියසේන කුමාරයා වනු ඇතිය උන් සිතුවාසේය. මැඩම්ටත්, සිංහල ජාතිය හා බුද්ධාගම ගැන පොතින් කියැවූ දෙයක් මිස අන්දෝ සංසාරයක් නොදන්නා මිලින්ද මොරගොඩටත් වඩා උන් මට කැමැතිය.

ඔහේලාට ඇත්ත කියන්ටෙපායැ, රූප පෙට්ටියට ඔළුව දාගන්ට බැරි දේශපාලඥයකුගේ වටිනාකම බිංදුවය. මේ නිසා මටත් රූප පෙට්ටියට මීට වඩා ඔළුව දාගන්ට ඕනෑ විය. පන්සලක් පන්සලක් ගාණේ මල්වට්ටි උස්සාගෙන යන්ට ඇහැක් නම් මාරය. එවිට ඒ රූප දකින මිනිස්සුලා හිතන්නේ මේ තරම් සුද්දවන්ත නායකයෙක් තවත් නෑ කියලාය. කුඩු විකුණන එකකුට වුවද ටික කාලයකින්ම ශාන්තුවරයකු වෙන්ට මඟකි මේ. හැබැයි මේක ලේසි නැති වැඩකි. ගනු විතරක් ඇහැක් නැත. දෙනුද ඇහැක්ය. හරිය? අපේ හාමුදුරුවරුත් හරියට කිලී මහරාජා වගේය. උඹට ඒක ඕනෑ නම් මට මේක දීපන්. නැත්නම් බෑ. මොනව හරි ඕනෑමයි.

ඇත්තටම හාමුදුරුවරුන්ට පූජා කරන්නේ මක්කද?

මට හිතුනේ පන්සල් වලට බුදු පිළිම පූජා කරන ව්‍යාපෘතියක් හොඳ බවය. සබ්බ දානං බුද්ධ දානං ජිනාති. සිමෙන්ති වලින් හදන්ට වියදම වැඩි නිසා ෆයිබර් ග්ලාස් වලින් බුදු පිළිම හදා දෙන්ට මම කල්පනා කළෙමි. එක පන්සලට එක ගානෙ පන්සල් සීයකට බුදු පිළිම පූජා කරමි. හැම දිස්ත්‍රික්කයම කවර් වෙන පරිදි පන්සල් තෝරා ගනිමි. අනෙක ආගමික වශයෙන් වෙනසක් කරන්ටත් හොඳ නෑ. දවට ගහ මුස්ලිම් පල්ලියට වුණත් බුදු පිළිමයක් ඕනෑ නම් ඇප්ලිකේෂන් එකක් එවන්ට ඇහැකි. අපි ඒ ඉල්ලීම සලකා බලලා ඒක සාධාරණ නම් එතෙන්ටත් දෙනවා බුදු පිළිමයක්. හරිය?

“වැඩේ නම් හොඳයි, සර් …ඒත්…” මහ ලේකමා අදින හැටියෙන්ම මට මෙහි යම් වරදක් ඇති බව වැටහුණේය. මේකා මගේ කවර හෝ තීරණයකට කෙළින්ම නරකය කියන්නේ නැත. අණ්ඩපාල හොරදෙටුවා! ඒත් වැඩේ නොකර පොඩ්ඩක් ඇදීමෙන් අකැමැත්ත දක්වයි.

“ඇයි මක්කද ඒකෙ වැරද්ද…?”

“ඔය ෆයිබර් ග්ලාස් පිළිම පොඩ්ඩක්වත් බර නෑ සර්. අර ජයලත් ජයවර්ධනකාරයා නාගදීප විහාරෙට මේ වගෙ පිළිමයක් පූජා කරලා, තද හුළඟක් ආපු වෙලාවක ඒක හුළඟෙ ගහගෙන ගියා. තනි මිනිහෙකුට වුණත් පිළිමයක් උස්සන්න පුළුවන්. වැරදිලාවත් ලසන්ත වික්‍රමතුංග වගේ මිනිහෙක් කවුරු හරි ඔය පිළිමයක් උස්සගෙන ඉන්නව Sunday Leader පත්තරේ පොටෝ එක දැම්මොත් හෙම…?”

“ඊළඟට සිංහල පත්තර කාරයො කියයි ‘බුද්ධ ශාසන ඇමැති බොල් පිළිම බෙදයි!’ කියලා… ගුණදාස අමරසේකරගෙ පොතකුත් තියෙනවනෙ ‘ගල් පිළිමය හා බොල් පිළිමය’ කියලා”

පොඩි ලේකමා ද කතාවට එක්විය.

සිංහල පත්තරකාරයින් නම් මෙසේ නොකරන බවට මට ඉඳුරාම  විශ්වාසය. උන්ගේ අම්මලා තාත්තලාවත් මං වගේ උන්ට කන්ට බොන්ට දීලා නැති එකේ කෙළෙහි ගුණය තියන්ට උන් දන්නවාය. හැබැයි ලසන්තයා වගේ එවුන් ෂුවර් නැත. නිකං ටිංකිරි කන්නේ මක්කටෙයි?

“එහෙනම් අපි කලින් හිතුවා වගේ සිමෙන්ති පිළිම පූජා කරමු. හැබැයි ගාණ තමයි සැර…”

මහ ලේකමාගේ මුහුණ තාමත් මාතර ගඟේ කිඹුලිගෙ පැටියාට හසුවූ හරකකුගේ වගේය.

“ඇයි සර් අපි බුදු පිළිමම පූජා කරන්නේ…?”

“බුදු පිළිම නැතුව මොනවද මනුස්සයො පන්සල් වලට පූජා කරන්නේ? පුජා උමාශංකර්ව පූජා කරන්ඩයැ…?

මුන් කියන ගොන් කතා වලට මටත් ඉඳහිට මළ පනියි.

“සර් දන්නවනෙ සංස්කෘතික අමාත්‍යාංශයත් ඔය වගේ ව්‍යාපෘතියක් කළා ලක්ෂ්මන් ජයකොඩි මහත්තයා ඉන්න කාලෙ පන්සල් වලට ධර්ම පුස්තක බෙදන්ට…”

“අන්න නියම අයිඩියා එකක්…”

“මොන නියම අයිඩියා එකක්ද සර්, අන්තිම අසාර්ථකයි. බෙදුව පොත් අන්න ඔහේ ගොඩ ගහල තියෙනව පන්සල් වල. බල්ලෙක් කියවන්නෙ නෑ. දැන් නම් කාවොත් කාල ඇති . අන්තිමට හාමුදුරුවරුම අහන්ට පටන් ගත්තා ධර්ම පුස්තක කන්ටද කියලා…”

“බලනකොට ජේ. ආර්. පප්පා කියල තියෙන්නෙ ඇත්තනෙ ඕයි…”

“එහෙමම කියන්ටත් බෑ සර්. ඔය සුජීව ප්‍රසන්නආරච්චි, මහේෂ් රත්සර මද්දුමආරච්චි, සෝමා ටී පෙරේරා, චන්දි කොඩිකාර, චන්දන මෙන්ඩිස් වගේ අයගෙ පොත් ටිකක් බෙදුව නම් පැනල ගනීවි….” පොඩි ලේකමා කීවේය.

මේකා මේ සමනළ ලේඛකයින් ගැන දන්නේ ඌ කියවන්නේද ඒවා නිසා විය යුතුය. මම රැවුමකින් ඔහු සයිලන්ස් කළෙමි. මේවා බෙදන්ට යෑම ඉක පුරා ගැනීමකි. අන්තිමට වික්ටර් අයිවනයාද සර් මගේ ‘චෞර රැජින’ පොතත් පන්සල් වලට බෙදන්ට බැරිද අසනු ඇත. ඒක ඉහත කී ලේඛක ලේඛිකාවන් ලියූ පොත් සියල්ලටම වඩා හොඳ ප්‍රබන්ධයකි. හැබැයි පීචං උණේ මැඩම් නිසා මම ඊට ප්‍රිය කළෙමි. අයිවන්ට රියැදුරා අත ස්කොච් විස්කි බෝතලයක්ද යැව්වෙමි. ඌ ඒකට ස්තූති කර සර් තව බෝතලයක් හෙම නැතුව ඇති නේද කියා අසා SMS එකක්ද එකක්ද එවා තිබුණේය. රනිල්වත් මේ වගේ පීචං කරපු දවසක ඉතුරු බෝතලේ දෙන බව කියා මම SMS කළෙමි.

“සර්, අපි මෙහෙම කරමු…පන්සල් හැම එකකම වගේ දැන් TV තියෙනවා. අපි දෙමු හැම පන්සලටම Cable TV කනෙක්ෂන් එකක්…”

අන්තිමේ මහ ලේකමා කීවේය.

“මනුස්සයෝ නච්චගීතවාදිත විසූකදස්සනමාලා ගන්‍ධවිලෙපන ධාරණමණ්ඩන විභූසනට්ඨානා කියලා නෙවෙද බුදු හාමුදුරුවන් දේශනා කරලා තියෙන්නෙ…?”

“ඉතින් සර් අපි ඒවා දෙන එකක්යැ. අපි දෙන්නෙ The Buddhist චැනල් එක විතරයිනෙ…අනික්වා බ්ලොක් කරමු”

“ගන්න බැරි විදියටම බ්ලොක් කරනවද…?”

“ඒක අපට අයිති වැඩක් නෙවෙයිනෙ සර්. අපි දෙන්නෙ කනෙක්ෂන් එකයි The Buddhist චැනල් එකයි විතරයි. සර් හිතන්නෙ අපේ හාමුදුරුවරු ඕකෙන් HBO, Star Movies, Fashion TV, Bollywood Masala බලයි කියලද…මම නම් හිතන්නෙ නෑ”

“නෑ, නෑ, මාත් හිතන්නෙ නෑ නිකමට ඇහුවෙ…ඒක හොඳ අයිඩියා එකක් තමයි.”

‘මහින්ද-ධර්ම-පූජා’ ව්‍යාපෘතිය ආරම්භ වූයේ එලෙසය. එය එනමින් නම් කරන ලද්දේ වසර 2,300 කට විතර පෙර අප රටට බුදු දහම ගෙන ආ මිහිඳු මහ රහතන් වහන්සේට කරන ගෞරවයක් හැටියටය. පොසොන් පෝය දවසේ මහනායක හිමිවරුන්ට ‘මහින්ද-ධර්ම-පූජා’ පැකේජ ප්‍රදානය කොට මේ සත් කාර්යය නමෝ විත්තියෙන් ආරම්භ කරන්ට අප කල්පනා කළත් ඒ වන විටත් උන්වහන්සේලා PEO Titanium පැකේජම ලබාගෙන තිබුණු නිසා අපේ අදහස වෙනස් කරන්ට සිදුවිය.

“අපට බැරිද ඕක රතු හාමුදුරුවන්ට පූජා කරල පටන් ගන්ට…?” මම ඇසුවෙමි.

“අපොයි ඒක හොඳ නෑ සර්…අසුබයි” මහ ලේකමා කීවේය.

හේතුව පැහැදිළි කළේ පොඩි ලේකමාය.

“සර් ඔය පන්සලේ මැරිච්චි මිනිහෙක් වළලල දාල කියලා කතාවක් තියෙනව. කවුරුත් ඇත්තද බොරුද දන්නෙ නෑ. අර පැත්තකින් තියෙනව නේද ලොකු මඩුවක්. ඒක යටලු තියෙන්නෙ…”

මුනුත් දන්න දේවල්!

“මං වත් නොදන්න දේවල් තමුසෙලා දන්නෙ කොහොමද ඕයි…?”

“ඕක ප්‍රසිද්ධ රහසක්නෙ සර්. මං හිතුවෙ සර් දන්නවා කියලා. ඕකට ඇමැතිවරයකුත් සම්බන්ධයි කියල තමයි කතාව තියෙන්නෙ… දැන් පළාතෙ ඉන්න මුස්ලිම් මිනිස්සු මේක දැනගෙන හාමුදුරුවො බ්ලැක් මේල් කරලලු…

මේ මට මාර වැදගත් නිව්ස් එකකි. එහෙත් මේ කතාව මෙතැනදී ඇසීම සුදුසු නොවේ. පොඩි ලේකමා පැත්තකට ගෙන පසුව හිමින් සීරුවේ ඇසිය යුතුය මම සිතුවෙමි. රතු හාමුදුරුවන් පරණ යූ. එන්. පී. කාරයෙකි. උන් වහන්සේ කිට්ටුවෙන් ආශ්‍රය කරන්නේ මැඩම්ගේ දෑත් ශක්තිමත් කරන්ට පැන්න සෙට් එකේ එවුන්ය. මේ ඉන් එකකුගේ හුටපටයක් විය හැකිය. මොනවා වුණත් මට වැදගත්ය.

මින් පසු අපි වෙනත් හිමිවරුන් ගැන කල්පනා කළෙමු. ගංගොඩවිල සෝම හිමියන් නම් උන් වහන්සේට පුරුදු සෝපාහාසාත්මක ස්වරයෙන් කෙළින්ම කීවේ ධර්මය ඉගෙන ගන්ට නම් රූපවාහිනී අවශ්‍ය නැති බවත් දැනට ඇති පත පොත හොඳටම ප්‍රමාණවත් බවත්ය. මාදුළුවාවේ සෝභිත හිමියන් කීවේ තමන් දැන් දේශපාලනයෙන් ඉවත්ව ධර්මානුකූල ජීවිතයක් ගත කරන නිසා ‘දේශපාලනය යැයි කෙනකුට හැඟිය හැකි කටයුත්තකට’ මැදිහත්වන්ට අකැමැති බවය. (අනේ මගෙ කට! ධර්මානුකූල ජීවිතේ!) දඹර අමිල හාමුදුරුවන් කීවේ සම්බුදු සසුනේ චිරස්තිථිය පිණිස දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වත් වෙන් කරන්ට අකැමැති ආණ්ඩුවකින් කරන බොරු වැඩ වලට ප්‍රචාරය දෙන්ට අකැමැති බවය. බුද්ධ ශාසනයට 6% ක් තියා දැනට ලැබෙන මිලියන 200 වත් ගන්නේ කොච්චර ඉක පුරාගෙනද දන්නේ මා විතරය.

මගේ පැරැණි සගයා මර්වින් සිල්වා දැන් තංගල්ලේ ධීරානන්ද නමින් පැවිදිවී සිටියි. උන් වහන්සේ සිටියේ නම් නම මෙච්චර මහන්සි වන්ට වන්නේ නැත. එත් මගේ කරුමයට උන් වහන්සේද සංසාරය ගැන හොඳටම කළ කිරී මඩකඩ ආරණ්‍යයෙහි දිරා යන මළ සිරුරක් දෙස බලා සිටිමින් බවුන් වඩන්නේලු. එනිසාම මොබයිල් එකත් ඕෆ් කරලාය.

අවසානයේ අප තීරණය කළේ දෙහිවල අත්තිඩිය පාරේ පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ආරාමයේදී මේ සත් කාර්යය ආරම්භ කිරීමටය. අපට කිසිම පැකිළීමකින් තොරව කැමැත්ත ලබා දුන්නේ උන් වහන්සේ පමණෙකි. අන්න බුද්ධ ශාසනයේ චිරස්තිථිය ප්‍රාර්ථනා කරන හාමුදුරුවරු!

මැඩම්ට ප්‍රධාන ආරාධිතයා හැටියට ඇරැයුම් කළ යුතුය මම යෝජනා කළෙමි. මහ ලේකමා සේම පොඩි ලේකමාද එය එකෙනෙහිම අනුමත කළහ. මුං මගේ ගේම දනිති.

මැඩම්ද ආරාධනාව පිළි ගත්තාය. ඇයද මගේ ගේම දනියි. නමුත් ඇයටද ගේමක් තියේ. අපි ඔක්කෝම ප්ලේ කරන්නේ එකිනෙකාගේ ගේම්ය.

සුපුරුදු පරිදි මැඩම් ආවේ පැය තුනක් ප්‍රමාදව සිරිධම්ම හාමුදුරුවන්ට නව දොරින්ම මළ පැන්නායින් පසුවය. මට නම් ඕවා පුරුදු නිසා මම නිහඬව සිටියෙමි.

මැඩම් මා සමඟ කතා කරන්නේ කෙනකු තව කෙනකු සමඟ කතා කරන සාමාන්‍යාකාරයට නොවේ. අපි කටින් කතා කරනවාට අමතරව එකිනෙකා සමඟ ඒ අවස්ථාවේදීම සමාන්තරව ටෙලිපති වලින්ද සංවාදයේ නියැළෙමු. මන්ද මේ මෝඩ් දෙකම අපට අවශ්‍ය නිසාය. කටින් පිටවන වචනද එහි ස්වරයද ටෙලිපති වලින් කරන සංවාදයට ඉඳුරා වෙනස්ය. පාඨකයින්ගේ පහසුව පිණිස මම කටින් කරන සංවාදය සාමාන්‍ය ලෙසින්ද ටෙලිපති වලින් කළ සංවාදය කොටු වරහන් තුළද ඉදිරිපත් කරන්ට තීරණය කළෙමි.

මැඩම්: මම පරක්කු වුණාද දන්නෙ නෑ…ඛනිජ තෙල් සංස්ථාවෙ ලොකු ප්‍රශ්නයක් විසඳන්ට අහු වුණා මෙයා. [හරි. කැමරා එකට හිනා වුණා. සාසනයෝ, බලපන් මුං කාගෙද ෆොටෝ ගහන්නෙ කියලා. උඹේද? මගේද?]

මම: අනේ නෑ මැඩම්. පරක්කු වෙලා හරි එනව කියල අපි දන්නවනෙ. [උඹ කවද්ද හු****යෙ තැනකට වෙලාවට ආවෙ?]

මැඩම්: මේ වගේ හොඳ වැඩ වලට ඉතින් උදව් නොකර පුළුවනෑ…එහෙම නේද හාමුදුරුවනේ? [සාසනයෝ, උඹ ඉතින් ලකුණු දා ගනින්. උඹ හිතෙන්නෙ උඹේ ගේම් මම නොදන්නව කියලද ඈං?]

පිටිදූවේ සිරිධම්ම හිමි: එහෙමයි

මැඩම්: පන්සල් කීයකට දැන් ‘මහින්ද-ධර්ම-පූජා’ පැකේජ් එක දෙනවද? [මුං කීදෙනෙක් දැන් හෙට ඉඳන් Star movies බලනවද?]

මහ ලේකමා: අපි පන්සල් සීයකටයි මුලින් දෙන්න අදහස් කළේ මැඩම්. දැන් ගාණ දෙසීයකට වැඩිකළා.

මැඩම්: දෙසීයක් මදිනෙ. ලංකාවෙ පන්සල් කීයක් තියෙනවද? අඩු ගානෙ දාහකට වත් දෙන්න එපායැ? එහෙම නේද හාමුදුරුවනේ…? [සාසනයෝ, තෝ ඉවරයි කියල හිතා ගනින්. දැන් දීපියකෝ පන්සල් දාහකට Cable TV]

පිටිදූවේ සිරිධම්ම හිමි: එහෙමයි.

මම: (සිනාවෙමින්) ඔන්න හාමුදුරුවනේ ඇහුණ නේද? මැඩම්මනෙ කිව්වෙ. දැන් පන්සල් දාහකට ‘මහින්ද-ධර්ම-පූජා’ දෙන්න ඊළඟ බජට් එකෙන්ම සල්ලි පාස් කරලා දෙයි. [ඈ බොල හු****යෙ උඹ හිතුවද මාව තම්බන්ඩ?]

පිටිදූවේ සිරිධම්ම හිමි: මැඩම්ගෙම කටින් එහෙම කියැවුණු එක කොච්චර හොඳද? දැන් අර දඹර අමිල හාමුදුරුවො හෙම ආණ්ඩුවට බනින්නේ බුද්ධ ශාසනේ වෙනුවෙන් සීයට හයක් ක් දෙන්නෙ නෑ කියලනෙ. මැඩම්ම ඇමැති තුමාට මෙහෙම උදව් කරනව නම් මොනව කරන්ඩ බැරිද…?

මැඩම්: රටක ආණ්ඩුවකට හුඟාක් දේවල් කරන්ට තියෙනවනෙ හාමුදුරුවනේ…අපි උත්සාහ ගන්නව පුළුවන් තරම් බුද්ධ ශාසනේ වෙනුවෙන් වැඩ කරන්න. ඒ වුණත් රටකට අධ්‍යාපනේ, සෞඛ්‍යය, ජාතික ආරක්ෂාව වගේ තවත් බලන්ඩ ඕනැ දේවල් තියෙනවනේ. දැන් හිතන්ඩකො කවුරු හරි අධ්‍යාපනේට සීයට හයක් ඉල්ලුවොත් කොහොම වෙයිද කියලා…එහෙම නේද හාමුදුරුවනේ? [අද මිස් වුණාට උඹව මම අල්ලගන්නම්කො]

පිටිදූවේ සිරිධම්ම හිමි: එහෙමයි

මැඩම්: අපි එහෙනම් තව පරක්කු නොවී පටන් ගනිමු නේද? [ඉක්මණට ඉවර කරපන්. මම උඹ එක්ක මෙතන පැලවෙන්ඩ ආවෙ නැහැ.]

මම: හා, මැඩම්ම ඔතැන ඔය ස්විච් එක දාන්නකෝ. [පැලවෙන්ඩ ආවත් උඹව තියා ගන්නෙත් නෑ මෙතැන. දැන් ඕක ඉක්මණට ඉවර කරලා පලයන්.]

මොහොතකින් රූපවාහිනිය ක්‍රියාත්මක වී The Buddhist චැනලය එහි ප්‍රදර්ශනය වේ. ඇත්තටම එතැන ඇති Cable TV කනෙක්ෂන් එකක් නැත. මේ දර්ශනය වන්නේ රූපවාහිනියට සඟවා සම්බන්ධ කොට ඇති DVD යන්ත්‍රයක ඇති DVD තැටියක ඇති වීඩියෝ ක්ලිප් එකකි. එය මැඩම් අරලිය ගහ මන්දිරයේ සිට බණ අහන අවස්ථාවකි.

මැඩම්: (සිනාසෙමින්) හරියටම මම ඉන්නම තැනක්නෙ අහු වුණේ…ඒකෙත් හැටි [අනේ යකෝ, මේ උඹේ මැජික් පෙන්නලා මාව අන්දන්නද හිතුවෙ?]

මම: (සිනාවෙමින්) එහෙම තමයි වාසනාව තියෙන කට්ටියට…එහෙම නේද හාමුදුරුවනේ? [ආ, දැන් ඉතින් ඕක කළා නම් පලයන් අපට පව් නොදී]

පිටිදූවේ සිරිධම්ම හිමි: එහෙමයි.

මෙවෙලේම මැඩම්ගේ දුරකථනයට ඇමැතුමක් ආවේය. ඇයගේ කටහඬ විනා එහා පැත්තේ කවුරුන් හෝ කතා කරනු මට නොඇසුණේය. එය කෙටි ඇමැතුමකි. එහෙත් ඉන් ඇගේ මුහුණේ ඉරියව් ඉඳුරා වෙනස් වනු මට පෙණුනේය.

“ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තියලා…” ඇය කලබලයෙන් කීවාය. “මට දැන්ම යන්න ඕනැ….”

.

.

(ඉවසන්න…………………සමනළයා යළි පියා සලන තෙක්)

(35) චරිත් මැරෙන්ට තැත් කළේ ඇයි? || What was behind Charith’s suicide attempt?

කාලය: 2007, සමාන්තර විශ්වය [ජනරාල් සරත් ෆොන්සේකා මිය ගොස් වසරකට පමණ පසුව]
ස්ථානය: ක්වාලා ලම්පූර්, මැලේසියාව

**********(Zhou Dewei කියන කතාව. පහසුව පිණිස දෙබස් හැර සිංහලට පරිවර්තනය කොට ඇත.)**********

මැදියම. මා නිදන්ට යන්ට සූදානම් වූවා පමණෙකි. නොදන්නා අංකයකින් ජංගම ඇමැතුමක් ලැබුණේය. ප්‍රතිචාර නොදක්වන්ටත් කල්පනා කොට, ජංගමය අතට ගතිමි. මේ මගේ silent admirer කෙනකු විය නොහැක්කේද?

“Dewei, This is Azlan…” පිරිමි කට හඬක්. මගේ බොහෝ මිතුරෝ මගේ නම ‘වෙයි’ ලෙස කෙටි කොට ගත්හ. මුළු නමින් මා ඇමැතුවේ එතරම් නොදන්නා කෙනකු පමණෙකි. අස්ලාන් කෙනකු මගේ කිට්ටු මිතුරන් අතර නොවීය.

“Sorry…?”

“Azlan. I am Chari’s roommate…”

“Ah, yes, I remember…”

“Dewei, this is an emergency. This bastard has taken sleeping pills. We found him lying in the bathroom. Can you come fast…?”

“Who? Chari…Is he…?”

“Yes. He is still alive… but it looks serious…Can you come…?”

“Yes, give me a minute…”

මම boxer short එකට උඩින් ඩෙනිමක් දා ගතිමි. ඇඳ සිටි ටී-ෂර්ට් එක එතරම් කිළිටි වී නොතිබුණු හෙයින් මාරු කරන්ට අවශ්‍යතාවයක් නොවීය. චරිත්ගේ නේවාසිකාගාරය තිබුණේ මගේ එකින් තරමක් ඇතය. වෙන අවස්ථාවක නම් මම කැම්පස් බස් රථය භාවිතා කරමි. එහෙත් මේ වේලාවට බස් නැත. වාසනාවකට කාමර තුනකට එපිටින් සිටි මිතුරකුට බයිසිකලයක් තිබුණේය. මම එය ඉල්ලා ගතිමි.

චරී මේ කර ගත්තේ කුමක්ද?

අප ආයතනයේ සිසුන් අතර සිය දිවි නසා ගැනීම් හෝ ඊට තැත් කිරීම් එදිනෙදා සිදුවීම් නුවුවද දුර්ලභම ඒවාය නොකිව හැකි විය. මාස කිහිපයකට වරක් මෙවන් ශෝචනීය පුවතක් අපට අසන්ට ලැබේ. මරණය සිදු වුවහොත් අපට එය අසන්ට ලැබෙන්නේ නිල පුවතක් ලෙසය. මරණය සිදු නොවූ බොහෝ අවස්ථාවල අහවලා සිය දිවි නසා ගන්ට තැත්කරලාය කට කතාවක් පැතිර යයි. ශිෂ්‍යයකුගේ මරණයක් වෙනුවෙන් බොහෝ විට ගෞරවයක් සේ, කෙටි ගුණ සිහි කිරීමේ උත්සවයකින් පසුව, දින භාගයක නිවාඩුවක් ලැබේ. එහෙත් සිය දිවි හානි කරගත් සිසුන් සම්බන්ධයෙන් එවැන්නක් නොසිදුවේ.

සිය දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් අප බොහෝදෙනකු තුළ පැවැතියේ ඒ පැත්තටත්, මේ පැත්තටත් නැති විවෘත මතයකි. ඒ හැම සිද්ධියක්ම අප කම්පනයට පත් කළ බව සැබැවි. (වරෙක නේවාසිකාගාරය අසළම ගසෙක එල්ලී මැරී සිටි අප්‍රිකානු ශිෂ්‍යයකුගේ මෘත දේහය බිමට බාන ලද්දේ අප ඉදිරිපිටදීමය.) මේවාට බොහෝ හේතූන් මුල් විය. එක්කෝ ආදර හබයකි. නැතිනම් අධ්‍යයන කටයුතු වලින් ඇතිකළ පීඩනය පුපුරා යෑමකි. නමුත් මේ සියල්ලක් උද්දීප්ත වූ යෞවනයේ ගැටළු ලෙස අපි පිළිගෙන සිටියෙමු. අඩුම තරමින් මේ කිසිවක් අපට නතර නොකළ හැකි දේවල්ය යන අවබෝධය අපට විය. එසේම සිය දිවි නසා ගැනීම වරදක් හැටියට ගෙන එසේ කළෙකුකට වරද පටවන සිරිතක්ද අපේ නොවීය. ඔවුන්ට අපෙන් හිමිවූයේ අනුකම්පාව පමණෙකි.

මේ සියල්ල මෙතක් මා සිතුවේ අන්‍යයින් ගැනය. අද මට එයම සිතන්ට සිදුව ඇත්තේ චරී ගැනය. ඔහු මගේ හොඳම මිතුරාය. අප දෙදෙනා අතර වූයේ වචනයෙන් විස්තර කරන්ට බැරි ආකාරයේ කිට්ටු සම්බන්ධයකි.

චරී මුල් වරට මුණ ගැසුණු දවස මට අදත් බොර නොවූ, ගැඹුරු පොකුණක දිය සේ පැහැදිළි මතකයකි. ඒ පළමු වසරේ මුල් සෙමෙස්තරයයි. මේ ප්‍රායෝගිකව CAD යුගයට පෙරය. Engineering Drawing පිණිස දකුණු පැත්තේ ඉහළ කෙළවරෙහි මිනි ඩ්‍රාෆ්ටරය සවිකළ 2 1/2′ x 3 1/2′ ලී පුවරුවක් අපට ගෙන යන්ට තිබුණේය. අනෙකුත් පත පොත පැන්සල් පෑන්ද සමඟ මා මෙය ගෙන ගියේ අමාරුවෙනි. මා ගියේද තනිවය. අපේ කුඩා තැපැල් කන්තෝරුව හරියේදී මගේ අත ලිස්සා පොත් සියල්ලම බිම වැටුණේය. මා ලී පුවරුව පසෙක තියා පොත් ඇහිඳ ගන්ට නැඹුරු වීමි. මා දෙස බලා සිටියේ ඒවා දැනටමත් ඇහිඳ මා වෙත දිගු කරන සිහින් සිරුරකින් යුතු ඉන්දියානු සම්භවයකින් යුතුය සිතිය හැකි ශිෂ්‍යයකුගේ දිලිසෙන නෙත් දෙකකි. දිගු නැහැයකි.

“Thank you…“ මම කීවෙමි.

“You’re welcome…” ඔහු කීවේය. මම ඔහු මින් පෙර දැක නොතිබුණෙමි.

“Sorry. I don’t remember you…You in mech or ‘trical…?”

“No. I’m in comps…”

මම නැවත පුවරුව එක අතකින්ද, පොත් තොගය අනෙක් අතින්ද සමතුලිත කරමින් ගමන ආරම්භ කරන්ට උත්සාහ කළෙමි. නමුත් අප දෙදෙනාටම එකවරම වාගේ වැටහී ගියේ මා මෙසේ කළොත් වරක් සිදු වූ අකරතැබ්බයටම නැවත මුහුණ දෙන්ට හැකි බවයි.

“Are you heading for hostels…?” ඔහු ඇසුවේය.

“Yes…”

“Me too…Lets go…” ඔහු මගේ පොත් ටික අතට ගත්තේය.

මේ පොත් ගණනාවක් ලිවිය හැකි අපූර්ව සන්ථව කථාන්තරයක ආරම්භයයි. එනිසාම චරීගේ ජීවිතය මට විවෘත පොතක් වුයේය. මා කවදා හෝ චරීගේ චරිතාපදානය ලියන්නේ නම් එය මෙසේ පරිච්ඡේද කළ හැක්කේය සිතමි.

  1. මව් මරා උපන් කුමරා (1985)
  2. සමනල පැටවා (1992)
  3. මේ සිංහල අපගේ රටයි!! (1993)
  4. උගනිව්, නැත පිටවෙව් (1997)
  5. හුණුවටය හා ගෲෂා (2001)
  6. මගේ පළමු හාදුව (2002)
  7. චරිත්ට පුංචි අම්මා කෙනෙක්! (2003)
  8. මඩොල් දූවේ සමනල්ලු (2004)
  9. ආදරයේ කෝඩුකාරයෝ (2005)

චරී මොනම ආකාරයෙකින්වත් සිය දිවි නසා ගැන්මට යොමුවේය සිතිය නොහැකි තරමට නිසල චරිතයකි. එහෙත් මින් ඉහත මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් සියල්ලෝ එසේ වූවෝය. සිය දිවි නසා ගන්ට යොමුවන්නේ සුපර් මෑන්ලා, ඉන්ක්‍රෙඩිබල් හල්ක්ලා, ස්පයිඩර් මෑන්ලා නොවේ. ඔබද මාද වැනි බිඳෙන සුළු මිනිසුන්ය.

චරී සිය දිවි හානි කර ගන්ට තීරණය කළේ ඇයි දැයි මට සිතා ගත නොහැකිය. මා ඔහු අවසාන වතාවට හමුවූයේ ඊයේය. හෙට බාර දෙන්ට නියමිත පැවරුමක් කරන්ට සිටි හෙයින් අද මට ඔහු හමුවීමේ අවකාශයක් නොවීය. ඊයේ ඔහුගෙන් ලොකු වෙනසක් විද්‍යාමාන නොවූයේය. චරී කොහොමටත් සමහරවිට මූඩ් ගසයි. කිසිවකුටත් කතා නොකොට කාමරයට ගොස් නිදා ගනියි. ඔහු වීරයකු කොට තැකූ රටේ හමුදාපතිවරයා මිය ගිය දිනයේ ඔහුගෙන් එවන් හැසිරීමක් ප්‍රදර්ශනය විය. එවන් අවස්ථාවල ඔහුට කරදර කරන්ට එපාය මට කලින්ම ඔහු කියා තිබුණේය. මෙනිසා මම චරී දින කිහිපයක් තමන්ගේම කටුව තුළට වැදුණු අවස්ථා නොසළකා හරිමි. මේ කාලයෙන් පසු ඔහු නැවත තමන්ගේ පියවි ස්වරූපයට ආරෝපණය වේ.

ඊට අමතරව චරී ගැන බොහෝදෙනකු නොදන්නා දෙයක් මම දැන සිටියෙමි. ඒ ඔහු මින් ඉහත විශාදයට මනෝ චිකිත්සක ප්‍රතිකාර ගෙන ඇති බවය. ඒ මීට වසර දෙකකට පමණ කලිනි.

මට චරීගේ නේවාසිකාගාරයට එන්ට මිනිත්තු පහක් පමණ ගතවන්ට ඇත. ඔහුගේ කාමරයේ වසා තිබුණු දොර එක තට්ටුවකින්ම විවර විය. චරීගේ නිරුවත් සිරුර ඇඳ මත බාවා තිබුණේය. අස්ලාන් හා මලික් දෙදෙනාම වූ අතර මා හොඳින් නොහඳුනන තවත් සිසුවකු විය. ඔහු ඉන්දුනීසියානුවෙකැයි මට අපහැදිළි හැඟීමක් වූයේය. කොතැනක හෝ චරී සමඟ මම ඔහු හමුව ඇත්තෙමි. මම ඒ කොතැනකද මතක් කරන්ට කල් නොගත්තෙමි. මේ ඊට කාලය නොවේ.

චරී නිරුවත් කිරීම ගැන මට ඇති වූයේ කෝපයකි.

“Why you removed his clothes…?”

“We didn’t…he was lying like this in the bathroom when Azlan saw him…”

“When was that…?”

“Just five minutes back…I immediately called you…”

“Ah, yes. How you got my number. From his phone…?”

“No I couldn’t find it. I got your number from Facebook…”

මම චරීගේ නාඬි බැලීමට නැඹුරු වීමි. එහෙත් එය අනවශ්‍ය බව පෙණුනේය. ඔහු සෙමෙන් ඇස් හැර මොහොතක් බලා සිට වසා ගත්තේය. ඉන්පසු දෙපා මඳක් සෙලවුනු පෙණිනි. පණ තවම ඔහු හැර යන්ට මැළි වූවාක් සේය.

“It doesn’t look so serious…but we can’t keep him like this…”

“Can we take him to institute medical center…?”

මම මොහොතක් කල්පනා කළෙමි.

“No. Can’t do that…Lets take him to Pantai Hospital…”

“You have cash…?”

“I have cash…”

අපි අමාරුවෙන් චරීට කොට කලිසමක් හා ටී- ෂර්ට් එකක් අන්දවා ගතිමු. ඔහු මඳක් කෙඳිරි ගා ඉන්පසු වමනය කළේය. මගේ කමිසය ඔහුගේ වමනයෙන් තෙමී ගියේය. එහෙත් මම ඒ ගැන අසතුටු නොවීමි. වමනය සමඟ ලේ පිටවීද මම පරිස්සමින් බැලුවෙමි. එවැන්නක් දැකිය නොහැකි විය. මට හඳුනාගත නොහැකි සැර බෙහෙත් හා මත්පැන් ගඳක් ඉන් වහනය විය. එසේම චරී කලින් ගත්තැයි සිතිය හැකි නූඩ්ල්ස් වැනි ආහාරයක කොටස් කිහිපයක් විය.

“Shall we give him something to drink…? It will make him vomit…”

අපි ඉංජිනේරු හා පරිගණක ශිෂ්‍යයින් මිස වෛද්‍ය ශිෂ්‍යයින් නොවූයෙමු. කුමක් කළ යුතුද අප කිසිවකුට නිවැරදි අවබෝධයක් නොවීය. මට සිතුණේ අප හැකි ඉක්මණින් යමක් කළ හැකි කෙනකු අතට ඔහු පත්කළ යුතු බවයි.

“No. Don’t’…”

“I have even milk…”

“Better not. We are not doctors…”

“Come on. That’s what they say. Shall I check Internet…?”

“No. Don’t waste time. Let’s take him to hospital as quickly as possible…”

“See, Chari’s mobile was there on the balcony…”

මලික් කොහෙන්දෝ චරීගේ ජංගමය සොයා ගෙන ආවේය. මම එය සාක්කුවේ දාගතිමි. වරින් වර SMS එකක් ලැබෙන නිසාදෝ එය නාද විය. මම එය silent mode එකට වෙනස් කළෙමි.

ඉන්පසු අසීරු කාර්යය වූයේ කාගේවත් දැඩි අවධානයට යොමු නොවී චරී පහළට ගෙන ඒමයි. නේවාසිකාගාරයට ලිෆ්ට් එකක් නොවීය. තෙවන මහලේ සිට අප ඔහු ගෙන යායුතු වූයේ පඩි පෙළිනි. චරී කුඩා සිරුරකින් යුතු වීම සහනයක් විය. අප දෙදෙනකුට මාරුවෙන් මාරුවට ඔහු ලෙහෙසියෙන් ඔසවා ගෙන යා හැකි වූයේ එනිසාය. ඇත්තටම ඔහු සිරුරින් කෙතරම් කුඩාද යන්න මට සැබැවින්ම පසක් වූයේ එදිනයි. මලික් පාරට දිව ගොස් ටැක්සියක් හරවා ගෙනෙන තුරු පහළ මහලෙහි යම් වෙලාවක් රැඳෙන්ට අපට සිදුවිය. තවත් වටිනා මිනිත්තු කිහිපයක් ගෙවී ගියේය.

“You have any fukin idea why he did it…?” මේ මලික්ය.

“Nope…”

අස්ලාන් සේම මා නම නොදන්නා ඉන්දුනීසියානු ශිෂ්‍යයාද මදෙස විමසිල්ලෙන් බලා සිටින බවක් මට හැඟී ගියේය. චරී මා ගැන ඔවුන්ට කියා ඇත්තේ මොනවාද? දැන් මා ඔවුන්ට චරී ගැන කිව යුත්තේ මොනවාද? පරිස්සමෙන් ක්‍රීඩා කළ යුතු මොහොතකි මේ. දැවී යා යුතු නොවේ. එසේම චරී ගැන මා පමණක් දන්නා රහස් ඔවුනට හෙළිකළ යුතු නොවේ.

“Just think…Can you think of anything that pissed him off…? Anything…?”

“No…I have no idea…”

“He didn’t have a girlfriend…” එය ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද තෝරා ගන්ට මට මඳ වේලාවක් ගතවිය. අස්ලාන් අදහස් කොට තිබුණේ දෙවැන්නය.

“No…I thought you knew him…”

“Yes…I guessed that but…….” ඔහු වාක්‍යය ඉවර කරන්ට මත්තෙන් ටැක්සිය පැමිණි හෙයින් අපේ සංවාදය ඇණ හිටියේය. අපි දෙදෙනෙක් චරී පසුපස ආසනයට දා ගතිමු. මලික් ඉදිරි අසුනට නැංඟේය.

පුදුමයකට මෙන් මේ මොනම අවස්ථාවකදීවත් චරීගේ ජීවිතය ගැන මට බියක් ඇති නොවීය. එසේ වූයේ මන්ද මම නොදනිමි. මේ තත්ත්වයට පත්වූවකුට මුලින්ම ඇති වන්නේ ඒ බියයි. එහෙත් මෙහිදී එය වෙනස් විය. අවසානය දක්වාම චරිට අනතුරක් නැති බැව් මගේ මනසෙහි කොතැනක හෝ අදහසක් තිබුණේය.

පන්ටායි රෝහලේ වෛද්‍යවරු මගේ අනුමානය සනාථ කළහ. චරීගේ ජීවිතයට අනතුරක් නැත. එක්කෝ වමනය සමඟ ඔහු ගත් ඖෂධ යම් ප්‍රමාණයක් ශරීරයෙන් බැහැර වන්ට ඇත. නැතිනම් ඔහු එක්කෝ නොතිබුණු නිසා, නැතිනම් නොදන්නාකම නිසා ගන්ට ඇත්තේ අනතුරක් කරන්ට තරම් නොවන මාත්‍රාවකි. ආමාශයෙහි වූ සියල්ල ඉවත් කොට යම් කාලයකයට පසුව චරී නෙත් හැර යම් ප්‍රාණවත් බවක් දැක්වූයේය. ඔහුගේ ඇඳ ළඟින්ම සිටියේ මායි. ඔහු කතාකළේ නැත. එහෙත් මගේ අත දැඩි කර අල්ලා ගත්තේය. මම මගේ අනෙක් අතද ඊට උඩින් තබා උණුහුමට තද කළෙමි.

“He will be okay…Just give him some time to recover…”

තරුණ වෛද්‍යවරයා අප සිතුවාට වඩා කාරුණික විය. මා රැය රෝහලේ නතර කරන්ටත්, මා එහි නතර වන්ටත් අපි තීරණය කළෙමු. අනෙක් තිදෙනා නැවත නේවාසිකාගාරයට පිටව ගියෝය.

මුදල් ප්‍රශ්නය නිසා අප චරී වෙනුවෙන් ගත්තේ කුඩාම වර්ගයේ කාමරයකි. එහි අමතර ඇඳක් නොවූයේය. මට නිදන්ට වන්නේ කොරිඩෝවෙහි බව කල්පනා විය. එයද නරකම නැත. මීට වඩා බෙහෙවින් අසීරු තැන් වල මම සයනය කොට ඇත්තෙමි. ඇරත් මට නිදන්ට දිගු වෙලාවක් නොතිබුණේය. වෙලාව පාන්දර හතරයි.

සාක්කුව හිස් කරද්දී මට එහි සාමාන්‍යයෙන් නැති තව දෙයක් ඇති බව වැටහුණේය. ඒ මා කලබලයෙන් සාක්කුවට දා ගත් චරීගේ ජංගමයයි.

චරී දිවි නසා ගැනීමට තීරණය කළේ ඇයි? එහි රහස මේ ජංගමයේ නොතිබිය හැකිද? SMS පණිවිඩ වලින් මගේ රහස් පරීක්ෂණය පටන් ගන්ට මම තීරණය කළෙමි.

මැදියමට කලින් SMS පණිවිඩ සියල්ල එකක් නෑර මකා තිබුණේය. මේවා චරී තම ක්‍රියාවට සම්බන්ධ යම් හෝඩුවාවක් ලැබෙතැයි සිතා මකා දැමුවා විය හැකිය.

ඉන්පසුව ලැබී තිබුණේ වෙළඳ ප්‍රචාරණ SMS හැරුණු විට තිසර ගෙන් SMS කිහිපයක් පමණෙකි. එහි අරුත චරීගේ මේ ක්‍රියාව තිසර පවා නොදන්නා බවයි. මෙය මට ගැටළුවක් විය. පෞද්ගලිකත්වය අමතක කොට මේ SMS කිහිපය කියවා බලන්ට මට අවශ්‍ය විය.

Thisu: 12.30:23: Digamadulla PA 3, SLMC 2, ITAK 1, UNP 1

Thisu: 12.52:51: Matale PA 3, UNP 2 nw it is clr. I m so sry.

Thisu: 01.28:49: Hambantota PA 5, UNP 2 fuk mahinda

Thisu: 01.54:41 Matara PA 5, UNP 3 y don’t u reply?

Thisu: 02.24:52 Batticaloa ITAK 3, SLMC 2 chari, is evrythng ok? y don’t u reply?

Thisu: 02.36:10 chari? r u alryte?

Thisu: 02.38:17 ok. i 2 wil sleep. no use. dreams bs tc ❤

ඉන්පසු SMS පණිවිඩ නතරව තිබුණේය. චරී නිදන්ට යන්ට ඇතැයි තිසර උපකල්පනය කරන්ට ඇත. ලංකාව මැලේසියාවට වඩා පැය දෙකහමාරකින් පසුපසය. එනිසා මෙහි අළුයම 2.38ට චරී ලද අවසාන පණිවිඩය තිසර එවන්ට ඇත්තේ තමන්ගේ රටේ මධ්‍යම රාත්‍රියේදීය.

මේ පණිවිඩ කිසිවක් කවරේද යන්න මට අවබෝධයක් නොවීය. එහෙත් මට එකක් පැහැදිළි විය. ඒ තිසර චරීගේ මේ ක්‍රියාව ගැන කිසිම දෙයක් දැන නොසිටි බව හා තවමත් නොදන්නා බවයි. එසේම ඊට ඔහුගේ සම්බන්ධයක් ඇතිය සිතන්ට ඇති ඉඩ අවම බවයි.

එසේ නම් දිවි නසා ගන්ට තරම් චරී පෙළඹවූ සිද්ධිය කුමක්ද?

හදිසියේ මට මතක් වූයේ අප මේ ගැන චරීගේ පියාට දැන්විය යුතු බවයි. අස්ලාන් හෝ මලික් ගැන එය කතා කර ගන්ට බැරි විය. ඔවුන් එය කරතැයි මම නොසිතමි. චරී හා ඔහුගේ පියා අතර වූ දුර්වල සම්බන්ධතාවය මා නොදැන සිටියා නොවේ. නමුත් මෙය විය යුත්තකි.

ලංකාවේ මේ වන විට අළුයම වන්ට පිළිවන. චරීව කොයිතරම් කිට්ටුවෙන් දැන සිටියද මම ඔහුගේ පියා සමඟ මින් පෙර කතා කොට නැත්තෙමි. මම ඔහුගේ ජංගමයේ Dad ලෙස සඳහන් අංකයට කථා කළෙමි. හිතුවාට වඩා ඉක්මණින්, මා යමක් කියන්ටත් පළමුව, පිළිතුරක් ලැබිණි. නමුත් රළු කට හඬෙකිනි.

“…I know why called. Don’t blame me. I didn’t do this. Hell. I didn’t do this. I told Ranil so many times this would happen to us. That bastard didn’t listen to me. What happened is not my fault…Now leave me alone. Please. I am not sure even I am in or not…”

මා යමක් කියන්ටත් පළමුව දුරකථනය විසන්ධි විය.

මා කිහිප වාරයක් නැවත උත්සාහ කළද අනෙක් පැත්තෙන් දුරකථනය වැදුණා විනා ප්‍රතිචාරයක් නොවීය.

.

.

(ඉවසන්න…………………සමනළයා යළි පියා සලන තුරු)

(34) රෝහණ විජේවීර ඝාතනය දුටුවෙමි || I saw the killing of Rohana Wijeweera

කාලය: නොවැම්බර් 12-13, 1989, සමාන්තර විශ්වය (දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි ට වසර එක හමාරකට පමණ පසුව)
ස්ථානය: කොළඹ, ලංකාව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

රාත්‍රි දහය පසුව මිනිත්තු තිස් පහකි. මම රන්ජන් විජේරත්න ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමන්ට දුරකථන කරමි. මට ඔහු අල්ලා ගන්ට ලැබෙන්නේ තරමක පරිශ්‍රමයකින් පසුවය. වෙන කෙනකුට නම් මෙවැනි අවස්ථාවක ඔහු කතා නොකැර හරිනු ඇත්තේය සිතමි. එහෙත් මා වෙනස්ය. මම රන්ජන් විජේරත්න, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක ත්‍රිත්වයේම අනාගත දේශපාලන බලාපොරොත්තුව නියෝජනය කරමි. ඔවුන්ට අවශ්‍ය ආකාරයට පක්ෂය ආරක්ෂා වනු ඇත්තේ මා වැනි තරුණයින් ආරක්ෂා වුනොතිනි. කවදා හරි දවසක රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා, මිලින්ද මොරගොඩලා වැනි දේශපාලන නපුංසකයින්ගෙන් පක්ෂය රැක ගන්ට ඉන්නේ අපය. එනිසා මේ සියළුම දෙනා තුළ මා වැන්නන්ට soft spot එකක් ඇති බව මම දනිමි. ඔවුන් ආයාස ගෙන අප නායකත්වයට පුහුණු කරන්නේ පරාර්ථයෙන්ම නොව තමන්ගේද සිහිනය ආරක්ෂා කරනු පිණිසය. අප ඔවුන්ගේ අනාගත ආධ්‍යාත්මයයි. අප විසින් ගොඩ නඟනු ලබන්නේ අපේ පමණක් නොව ඔවුන්ගේද හෙට දවසයි. ඔහුට මා නොසලකා නොහැරිය හැක්කේ එනිසාය.

“Yes Victor, What can I do for you…?” ඇමැතිවරයාගේ කටහඬෙහි ඇත්තේ ජයග්‍රාහී ස්වරයකි.

“Sir, I have an old tyre in my garage…”

“An old tyre, Victor…?

“Yes, Sir. With Wijeweera’s name written on it!”

“Ah, that’s interesting…”

“…and I just thought you will need it today!”

මට ඔහු හක හක ගා හිනැහෙන හඬ ඇසේ.

“Jokes apart Victor, why don’t you come right now…I need you”

“Yes sir…”

“How long will it take…?”

“To Army headquarters? I am in Colombo. Give me half an hour maximum. I will be there…”

“…and you will not spill the beans. I know who leaked the news to you. It should stop there. Not even the President knows about this yet. Do you understand…?”

“Yes, sir..”

“Just show your driving license at the gate and they will direct you…”

“Yes, sir…”

කල්පයක් සේ හැඟුණු මිනිත්තු හතළිස් පහක කාලයක් තුළ මම ඔහුගේ කුටියට කැඳවාගෙන යනු ලබමි. එහි දැනටමත් හත් අටදෙනෙක් චීස් සමඟ ක්‍රීම් ක්‍රැකර් කමින්, කෝපි හා තේ බොමින් සිටිති. අමාත්‍යවරයා හැරුණු විට මා එක් වර හඳුනා ගන්නේ එක් අයකු පමණකි. ඒ සිය නිළ ඇඳුමින් සිටින මේජර් ජෙනරාල් මුණසිංහය. සිවිල් ඇඳුමින් සිටින අනෙකුන්ද හමුදා හෝ පොලිස් නායකයින්ම බව හඳුනා ගැන්මේ අපහසුවක් නොවේ.

කිසිවකු කිසිවකුට හඳුන්වා දීමක් සිදු නොවේ. මේ ඊට කාලය නොවන්නාක් සේය. ඇරත් කාමරයේ සිටින දැවැන්තයින්ට සාපේක්ෂව මම පුංචෙක්මි. අමාත්‍යවරයා මට වාඩි වෙන්ට සන් කොට මේසය මත ඇති හිස් කෝප්පයකට ඇඟිල්ල දිගු කරයි. මම ඊට කෝපි පුරවා ගනිමි.

මා ඇතුළු වන්ට පෙර එහි කෙරුණු කතාබහ නොකඩව එසේම කෙරීගෙන යයි.

“…Perhaps the bugger would have thought you would just leave. Ha. Ha. Ha So what you did…?”

කර්නල් ජානක පෙරේරා ලෙස මා පසුව හඳුනා ගත් තැනැත්තා මේ කතාවෙහි ප්‍රධාන නළුවා සේ පෙනෙයි. ඔහු කතා කරන්නේ සෙමෙනි. වචන බර කරමිනි.

“I too, sir, I too would have just come. He was so convincing…but then I thought to myself why the hell somebody has to take a shave at two o’clock, even if he were a planter. Then I put my gun to his head and asked in Sinhala “ඔයා විජේවීර නේද?” That was when the bugger retaliated. If he said no, perhaps I would have returned empty handed…He was so convincing…”

“Clever bugger…”

“Definitely clever. He fooled us for so many years…”

“Not anymore gentlemen. Not anymore… Now if you will excuse me for a while, I want to have a chat with my friend Victor here. Then let’s get over with it. I have ordered two bottles of Champaign. Open it when it comes. No need to wait for me…Victor, if you come with me, please…”

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ කාමරය ඇති තට්ටුවේ ගෘහ නිර්මාණ ශිල්පය මට අවබෝධ කර ගන්ට අපහසු තරමට සංකීර්ණය. තනිව නැවත මඟ සොයා ගත හැකිවේද මම නොදන්නා තරම් වංගගිරියකි මේ. සමහර විට වැඩි ආරක්ෂාව නිසා විය හැකිය. මොහොතෙකින් අප දෙදෙනා යාබද වෙනත් කුඩා කුටියකය. මම හිඳ ගන්ට ඔහු සන් කරන තුරු හිඳිමි.

“Victor, I need your advice…”

“Sir…?” මම විපිළසර වෙමි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අංකුර දේශපාලනය කළ කාලයට හා ගාමිණී දිසානායක මහතා සමඟ යාපනයේ ගිය කාලයට වඩා මා දේශපාලනමය වශයෙන් මුහුකුරා ගොස් ඇති බව ඇත්තකි. එහෙත් රන්ජන් විජේරත්න මහතාගේ මට්ටමේ කෙනකු මගෙන් අවවාද බලාපොරොත්තුවීම මට අදහා ගන්ට බැරිය.

“Relax boy.  I am old enough to take my decisions. But still I am more a solider than a politician. Everyone else here are soldiers – just like me. You are a politician. I need your views, as a politician…”

“Yes, sir…”

“You know we have captured Wijeweera…He is in custody now. Few buildings away, interrogated by our men…what you think the next step should be…?”

“I can think of only one course of action, sir. I thought it has already been taken…”

“Victor, I told you to think like a politician. Keep the biases aside. Is it the best political move…?”

මම පිළිතුරු දෙන්ට කල් ගනිමි.

“Is that the best political move, Victor…?”

“Let me ask this sir. What other options we have…?”

නියෝජ්‍ය ඇමැතිතුමා කැරැකෙන පුටුවේ වාඩිවී කකුල් දෙක මේසය මතට ගනියි. ඔහු කතා කරන්නෙ පැහැදිළි සිංහලෙනි.

“මං වික්ටර්ට කිව්වනෙ. විජේවීර ඇල්ලුවාය කියලා ලොක්කා තවමත් දන්නෙ නෑ. මේක දෙකෙන් එකක් ඉවර කරන තුරු මට කියන්න ඕනැ කමකුත් නැහැ. ඇයි මම නොකියන්නෙ? මම වගේ නෙවෙයි එයා ප්‍රශ්නයක් දිහා බලන්නෙ පොලිටිකලි. විජේවීරට නඩු දාල හිරේ යවන එක නැත්නම් එල්ලුම් ගස් නග්ගන එක පොලිටිකලි වාසියි. හරියට ඇඩොල්ෆ් අයිෂ්මාන් ගේ කේස් එක වගේ. ජේ. වී. පී. කාරයින් මරපු මිනිස්සුන්ගෙ ගෑනු ගෙන්නලා, විත්ති කූඩුවට නංවපු විජේවීර ඉස්සරහා අඬවලා හොඳ පබ්ලිසිටි එකක් ගන්න පුළුවන්. නමුත් වික්ටර් ඔය අතර මොන දේවල් වෙයිද අපි දන්නෙ නෑ. සිරිමා බණ්ඩාරනායක කරපු ගොන්කමම අපට කරන්න පුළුවන්ද වික්ටර්…?”

“ඒත් සර්ම දන්නව නම් ලොක්කා එහෙම දෙයක් කරන්න හිතේ තියාගෙන ඉන්නවය කියලා ලොක්කා මොනව කියයිද හෙට උදේට…?”

“Victor, don’t worry about me. I am a big boy. I can take care of myself. Maximum I will lose my job, which has little value after this…my concern is about the party and army…What do you think the people will say…?”

“Sir, as far as I know everybody waits for an end to this mess. They will care little about the rest…That I can assure. They will not object to what you have in mind”

“Including Mahanayakes…?”

“Including Mahanayakes, Bishops, Mullahs and the opposition…”

“How do you feel so sure about the opposition? Are you sure that Hambanthota-wallah will not take it to Geneva?”

“I am sure. He will not…”

“Why?”

“He has big hopes. One day he too might have to do the same thing. Why rock the boat now…?”

“He has big hopes…?”

“Yes…”

Do you think he will ever be the President? Even if they come to power, do you think Bandaranaikes will let him to…?”

“I am not a soothsayer, sir. I said it is a possibility…”

“Yes, right now it is not our concern…Come…”

මෙතැන් සිට මට කියන්ට ඇත්තේ අසම්පූර්ණ කතාවකි. ඊට එක හේතුවක් මේ නාටකයට සම්බන්ධ අනෙක් බොහෝ පාර්ශ්වයන්සේම මාද දුටුවේ නාටකයේ එක් පැතිකඩක් පමණක් වීමය. මේ සිද්ධිය ගැන වචනයෙන් වචනයට විස්තර කොට පොත් ලියූ (එවක මේජර් ජෙනරාල් පසුව බ්‍රිගේඩියර්) සරත් මුණසිංහලාද දුටුවේ මා දුටුවාට ඕනෑනම් යාන්තම් වැඩියෙන්ය. මා සමහර කාරණා සම්බන්ධයෙන් නිහඬ කරවන අනෙක් හේතුව සදාචාරාත්මක එකකි. අප දකින හැම දෙයක්ම ප්‍රකාශ කළ යුතු නොවේ. නිහඬව සිටිය යුතු තැන්ද ඇත.

නමුත් මට කාරණා කිහිපයක් කියන්ට පිළිවන. ඒ මේ සිද්ධිය සම්බන්ධයෙන් පැතිර ඇති මිථ්‍යා කිහිපයක් හෙළිකරනු පිණිසය.

එකක් රන්ජන් විජේරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්ම විජේවීරගේ හිසට පිස්තෝලයක් එල්ල කොට ඝාතනය කරන ලදැයි කියන කතාව බොරුවක් බවයි. ඔහු එදින රාත්‍රියේ නාරාහේන්පිට ගොල්ෆ් පිටියට ගියේ නිරීක්ෂකයකු වශයෙන් පමණෙකි. ඔහුද මා මෙන්ම දුටුවේ අඳුරේ විජේවීර ඇතුළු නිරුවත් සිරකරුවන් පස් දෙනකු වැටි වැටී ගොල්ෆ් පිටියේ ප්‍රධාන ගොඩනැඟිල්ල අසළ සිට තණ බිමට දක්කාගෙන යනු පමණෙකි. (මෙසේ සැකකරුවන් තම අවසාන ගමනේදී නිරුවත් කරන ලද්දේ මක් නිසාද මම නොදනිමි. සමහරවිට ලේ ගෑවෙන ඇඳුම් විනාස කිරීමේ කරදරයෙන් මිදෙන්ට වන්ට පිළිවන.) අපට වෙඩි හඬ සේම ලතෝනි කිහිපයක්ද ඇසුණු බව ඇත්තය. එය මා යම් පමණකට සසල කළ බව කිව යුතුය. මින් පෙර කිසි දිනෙක මම මිනිසකු මරණයට පත් කරන තැනෙක සිට නැත්තෙමි. ඉන් පසුව එළඹි රාත්‍රි කිහිපයක්ම මා මානසිකව යම් වේදනාවක් නොවිඳි බව නොකියැවෙන්නේ නම් එය බොරුවකි. නමුත් එය ඉක්මණින්ම පහ විය.

එසේම දැඩි ආයාසයකින් යුතුව මගේ හැඟීම් වචනයෙන් හෝ මුහුණින් පළ නොකරන්ට වග බලා ගත්තෙමි. රන්ජන් විජේරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මා මේ තීරණාත්මක ගමනට එක් කොට ගත්තේ මාව එක්තරා මට්ටමකට ‘ටෙස්ට් කරන්ට’ බවද මම දැන සිටියෙමි. ඒ ‘ටෙස්ට් එක’ ෆේල් විය යුතු නැත.

අනෙක් අතට විජේවීර යනු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයෙන්ම වන මෘගයෙකි. මෙරට හය හතර නොදත් දරුවන්ට ආදරණීය පියවරුන් අහිමි කළ, ගැහැණුන්ට සැමියන්, පුතුන් අහිමි කළ වධකයෙකි. ඔහු මේ සියල්ල කළේ තමන්ට කවදා හෝ එබඳු ඉරණමක් ලැබෙන්නට ඉඩ ඇති බව නොදැන නොවිය හැකිය. වන මෘගයකුගේ මරණය ගැන මා කම්පා විය යුතුද? නැතොත් එම වන මෘගයාගේ මරණය නිසා යහපත් වන ලෝකය දෙස බලා සතුටු විය යුතුද? මම දෙවැන්න තෝරා ගතිමි. ඇත්තටම පසු කලෙකදී මේ සිද්ධිය දෙස නැවත හැරී බලන විට, එදා මා රඟ පෑ සුළු හෝ භූමිකාව ගැන මට ඇති වූයේ කළකිරීමක් නොව ආත්ම තෘප්තියකි.

දෙවැනි කාරණාව විජේවීර මරණයට පෙර වධ බන්ධනයට ලක් කළ කතාව බොරුවක් බවය. ‘නිමල් කස්තුරි අත්තනායක’ (එන්.කේ. අත්තනායක) ලෙසින් පෙනී සිටි ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ සවස දෙකට පමණය. උලපනේ සිට කොළඹට රහසේ රැගෙන එන්ටම පැය හයකටත් වඩා ගතව තිබුණේය. ‘එයා ලිෆ්ට්’ කළ නොහැකි වූයේ රටේ නායකයාගෙන්ද රහස රැක ගත යුතු වූ නිසාය. ඉන්පසුව ආරම්භ වූයේ දීර්ඝ ප්‍රශ්න කිරීමේ අවස්ථාවයි.

මේ නාටකය පසුව ලේඛන ගත කළ වැඩි දෙනකු සහභාගි වූයේ ප්‍රශ්න කිරීමේ ජවනිකාවටයි. නමුත් ඔවුන් අතුරින් එකකු ලියූ ආකාරයට එය පසුදින උදෑසන හතර දක්වා නොඇදුණේය. ප්‍රශ්න කිරීම සේම විජේවීර කළ රූපවාහිනී ප්‍රකාශයද රෑ මැදියම පසුව ටික වේලාවකින් කර අවසන් විය. අප යුද හමුදා මූලස්ථානයෙන් ගොල්ෆ් පිටිය බලා පිටත් වූයේ උදේ එකට පමණය. මේ සුළු කාලය කෙනකු වධ බන්ධනයට ලක් කරන්ට ප්‍රමාණවත් නොවේ. ඇරත් එය අනවශ්‍ය විය. ඔහු සිය කැමැත්තෙන්ම සියළු ප්‍රකාශ කර තිබිණි. කොටින්ම තමන්ගේ දෙවැනියා වූ උපතිස්ස ගමනායකගේ පානදුර ‘ඩයස් මුදලාලි’ අවතාරය පිළිබඳ සියළු තොරතුරු පවා ඔහු විසින් කිසිම පැකිළීමකින් තොරව හෙළි කොට තිබුණේය. සමහරවිට ඔහු මෙසේ කරන්ට ඇත්තේ අභය දානය බලාපොරොත්තුව විය හැකිය. එහෙත් ඔහුට වැරදිනි.

සඳහන් නොකොටම නොහැකි තෙවන කාරණය යම් වධ බන්ධනයකට ලක් වීමේ අනතුර ඇතිව හෝ ඔහු හමුදා නිලධරයින් සමඟ සහයෝගයෙන් කටයුතු නොකළේ නම් ඔහුගේ දිවි රැකෙන්ට ඉඩ තිබුණු බවයි. එසේ වී නම් ප්‍රශ්න කිරීම තව දිගට ඇදෙන්ට ඉඩ තිබුණේය.  එසේම උදේ පහට නැඟිටින්ට පුරුදුව සිටි ජනාධිපති ප්‍රේමදාස මේ සිද්ධිය අනිවාර්යයෙන්ම දැන ගන්ට තිබුණේය. එසේ වී නම් විජේවීරගේ දිවි ගැළවෙන්ට තිබිණි. රන්ජන් විජේරත්නට අවශ්‍ය නුවූයේද මේ ටිකය.

එදින රාත්‍රියේ මගේ රාජකාරිය නිරුවත් මිනිසුන් පස්දෙනකු වෙඩි වැදී මැරී සිටිනු දැකීමේ අප්‍රසන්න ජවනිකාවෙන් නිමා වූයේ නොවේ. මළ සිරුරු පුළුස්සන්ට කොළඹ මහ නගර සභා කනත්තේ සොහොන් පල්ලා අවදි කරන්ට වූයේ මේ පිරිස අතර සිටි එකම සිවිල් පුද්ගලයා වූ මටය. (නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ වන විට නික්ම ගොස් සිටියේය.) හේතුව පසුව හඳුනා ගැනීමට ලක්වේය බියෙන් හමුදා කණ්ඩායමේ සිටි කිසිවකුත් මේ අවදානම ගන්ට මැළිවීමය. ඔවුන් සියළු දෙනාම තම ලේන්සු වලින් මුව වසා සිටියේ ගඳකට නොවේ. කිසිවකු ඔවුන් පසුව හඳුනා ගනිතැයි බියෙනි.

කොළඹ කනත්තේ භාරකරුගේ නිවස තිබුණේ බේස්ලයින් පාරේ අද ජයරත්න මල් ශාලාව ඇති තැනට පොඩ්ඩක් නාරාහේන්පිට පැත්තට වන්ට, පාරේ ඒ පැත්තේමය. එය ශීට් හා රටඋළු සෙවිළි කළ, කුඩා ගෙයකි. මිදුලේ අඹ ගසක් වූ අතර වත්තේ ඉදිරිපස උස නැති කොට්ටම්බා ගස් කිහිපයකි. මම ගොස් ලී ගේට්ටුවට දමා තිබුණු යෝධ ඉබ්බා සමඟ වූ යකඩ දම්වැල ගේට්ටුවේ කිහිප වතාවක් වැද්දුවෙමි. මට උපදෙස් ලැබී තිබුණේ මෙය බොහෝ රාත්‍රියන්හි සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් බවත් ඔහු කලබල වෙන්ට හේතුවක් නැති බවත්ය.

ලී ගේට්ටුවට කොයිතරම් හයියෙන් තට්ටු කළද පළක් නොවීය. ඉස්තෝප්පුවට ගසා ඇති යකඩ දැල් අතරින් දුබල ටෝච් එළියක් පත්තු වනු පෙණුනේ “කවුද ගෙදර?” යි කිහිප වාරයක් හඬ නඟා කතා කළ පසුය.

“ගුණතිලක මහත්තයා, පොඩි හදිස්සියක්…”

“කවුද මහත්තේලා…?”

“අපි පොලීසියෙන්…”

අඳුරේ වුවද ඔහු ජීප් රථය දකින්ට ඇතැයි සිතමි. දොර මඳක් විවර විය. සුදු සරමකින් සැරැසුණු, නිරුවත් උඩුකය සාළුවකින් වසා ගත්තකු, නිදි බර දෙනෙතින් යුතුව එදොරින් එළියට ආවේය. තරමක අඳුරේ වුවද ලඟ වූ ලයිට් කණුවේ එළියෙන් මට ඔහුගේ හැඟීම් විරහිත දිගටි මුහුණ පැහැදිළිව පෙණුනේය.

“ඇයි මහත්තයා…?”

“අපට කනත්තෙ දොර ඇර ගන්න ඕනැ…”

මේ ප්‍රකාශය ඔහු තුළ වෙනසක් ඇති කළ බවක් පෙණුනේ නොවේ. මෙය හැමදා සිදුවන පුරුදු ක්‍රියාවලියක් නිසා වන්ට හැකිය.

“අද කීයද…” ඔහු ඇසුවේ බලකොටුවකට ඇතුළු වන්නට තනන්නකුගෙන් මුර පදය අසනා ආකාරයෙනි.

“පහයි…”

“කට්ටිය ඉන්නවද…?”

“කට්ටිය කිව්වෙ…?”

“මං ඉතින් දොර ඇරල දෙන මිනිහ විතරයිනෙ…”

“ඔව්. ඒ හොඳටම ඇති. අපට කට්ටිය ඉන්නවා…”

“ඉන්න මම ඇඳුමක් දාගෙන එන කල්…”

මගේ අසම්පූර්ණ කතාව මෙතැනින් නතර කරන්ට හැකි නම් යහපත්ය. එහෙත් එය ඉදිරියට ඇදුණේය.

මින් වසර විස්සකටත් වැඩි කාලයකට පසු මට මේ ගුණතිලක නැමැති අපූර්ව මිනිසා හමුවූයේය. ඒ ඇතුල්කෝට්‌ටේ සාරානන්ද නම් භික්ෂුවක ලෙසිනි. ඔහු මා සහභාගි වූ රැස්වීමක පන්සිල් දී කෙටි අනුශාසනාවක් කළේය. දිගටි මුහුණ නිසා නොවේ නම් මවිසින් ඔහු හඳුනා නොගන්ට ඉඩ තිබුණේය.

“ඔබ වහන්සෙගෙ ගිහි නම ගුණතිලකද…?” යන්ට ලැහැස්ති වී මම නිකමට ඇසුවෙමි. උන් වහන්සේ පුදුම වූ සෙයක් දැක්වූහ.

“ඔව්, ඇමැතිතුමා කොහොමද දන්නෙ…?”

“අපිත් ඉතින් ඔය කනත්තට හෙම ආගිය කට්ටිය නෙවැ…” මම කතාව කෙටියෙන් නිම කළෙමි.

“ඒක මිසක්…අපි ඉතින් ඒ දවස් වලම ජීවිතයේ නිස්සාරත්වය දැකපු අයනේ මහත්තයෝ!”

මම වැඳ යන්ට සමුගතිමි. ජුලම්පිටියේ අමරේ හමුවන්ට තිබුණේ එදින සවසය. ඊට ප්‍රමාද නොවිය යුතු යැයි මට සිතුණේය.

.

.

(ඉවසන්න…………….සමනළයා යළි පියා සලන තුරු)