(35) චරිත් මැරෙන්ට තැත් කළේ ඇයි? || What was behind Charith’s suicide attempt?

කාලය: 2007, සමාන්තර විශ්වය [ජනරාල් සරත් ෆොන්සේකා මිය ගොස් වසරකට පමණ පසුව]
ස්ථානය: ක්වාලා ලම්පූර්, මැලේසියාව

**********(Zhou Dewei කියන කතාව. පහසුව පිණිස දෙබස් හැර සිංහලට පරිවර්තනය කොට ඇත.)**********

මැදියම. මා නිදන්ට යන්ට සූදානම් වූවා පමණෙකි. නොදන්නා අංකයකින් ජංගම ඇමැතුමක් ලැබුණේය. ප්‍රතිචාර නොදක්වන්ටත් කල්පනා කොට, ජංගමය අතට ගතිමි. මේ මගේ silent admirer කෙනකු විය නොහැක්කේද?

“Dewei, This is Azlan…” පිරිමි කට හඬක්. මගේ බොහෝ මිතුරෝ මගේ නම ‘වෙයි’ ලෙස කෙටි කොට ගත්හ. මුළු නමින් මා ඇමැතුවේ එතරම් නොදන්නා කෙනකු පමණෙකි. අස්ලාන් කෙනකු මගේ කිට්ටු මිතුරන් අතර නොවීය.

“Sorry…?”

“Azlan. I am Chari’s roommate…”

“Ah, yes, I remember…”

“Dewei, this is an emergency. This bastard has taken sleeping pills. We found him lying in the bathroom. Can you come fast…?”

“Who? Chari…Is he…?”

“Yes. He is still alive… but it looks serious…Can you come…?”

“Yes, give me a minute…”

මම boxer short එකට උඩින් ඩෙනිමක් දා ගතිමි. ඇඳ සිටි ටී-ෂර්ට් එක එතරම් කිළිටි වී නොතිබුණු හෙයින් මාරු කරන්ට අවශ්‍යතාවයක් නොවීය. චරිත්ගේ නේවාසිකාගාරය තිබුණේ මගේ එකින් තරමක් ඇතය. වෙන අවස්ථාවක නම් මම කැම්පස් බස් රථය භාවිතා කරමි. එහෙත් මේ වේලාවට බස් නැත. වාසනාවකට කාමර තුනකට එපිටින් සිටි මිතුරකුට බයිසිකලයක් තිබුණේය. මම එය ඉල්ලා ගතිමි.

චරී මේ කර ගත්තේ කුමක්ද?

අප ආයතනයේ සිසුන් අතර සිය දිවි නසා ගැනීම් හෝ ඊට තැත් කිරීම් එදිනෙදා සිදුවීම් නුවුවද දුර්ලභම ඒවාය නොකිව හැකි විය. මාස කිහිපයකට වරක් මෙවන් ශෝචනීය පුවතක් අපට අසන්ට ලැබේ. මරණය සිදු වුවහොත් අපට එය අසන්ට ලැබෙන්නේ නිල පුවතක් ලෙසය. මරණය සිදු නොවූ බොහෝ අවස්ථාවල අහවලා සිය දිවි නසා ගන්ට තැත්කරලාය කට කතාවක් පැතිර යයි. ශිෂ්‍යයකුගේ මරණයක් වෙනුවෙන් බොහෝ විට ගෞරවයක් සේ, කෙටි ගුණ සිහි කිරීමේ උත්සවයකින් පසුව, දින භාගයක නිවාඩුවක් ලැබේ. එහෙත් සිය දිවි හානි කරගත් සිසුන් සම්බන්ධයෙන් එවැන්නක් නොසිදුවේ.

සිය දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් අප බොහෝදෙනකු තුළ පැවැතියේ ඒ පැත්තටත්, මේ පැත්තටත් නැති විවෘත මතයකි. ඒ හැම සිද්ධියක්ම අප කම්පනයට පත් කළ බව සැබැවි. (වරෙක නේවාසිකාගාරය අසළම ගසෙක එල්ලී මැරී සිටි අප්‍රිකානු ශිෂ්‍යයකුගේ මෘත දේහය බිමට බාන ලද්දේ අප ඉදිරිපිටදීමය.) මේවාට බොහෝ හේතූන් මුල් විය. එක්කෝ ආදර හබයකි. නැතිනම් අධ්‍යයන කටයුතු වලින් ඇතිකළ පීඩනය පුපුරා යෑමකි. නමුත් මේ සියල්ලක් උද්දීප්ත වූ යෞවනයේ ගැටළු ලෙස අපි පිළිගෙන සිටියෙමු. අඩුම තරමින් මේ කිසිවක් අපට නතර නොකළ හැකි දේවල්ය යන අවබෝධය අපට විය. එසේම සිය දිවි නසා ගැනීම වරදක් හැටියට ගෙන එසේ කළෙකුකට වරද පටවන සිරිතක්ද අපේ නොවීය. ඔවුන්ට අපෙන් හිමිවූයේ අනුකම්පාව පමණෙකි.

මේ සියල්ල මෙතක් මා සිතුවේ අන්‍යයින් ගැනය. අද මට එයම සිතන්ට සිදුව ඇත්තේ චරී ගැනය. ඔහු මගේ හොඳම මිතුරාය. අප දෙදෙනා අතර වූයේ වචනයෙන් විස්තර කරන්ට බැරි ආකාරයේ කිට්ටු සම්බන්ධයකි.

චරී මුල් වරට මුණ ගැසුණු දවස මට අදත් බොර නොවූ, ගැඹුරු පොකුණක දිය සේ පැහැදිළි මතකයකි. ඒ පළමු වසරේ මුල් සෙමෙස්තරයයි. මේ ප්‍රායෝගිකව CAD යුගයට පෙරය. Engineering Drawing පිණිස දකුණු පැත්තේ ඉහළ කෙළවරෙහි මිනි ඩ්‍රාෆ්ටරය සවිකළ 2 1/2′ x 3 1/2′ ලී පුවරුවක් අපට ගෙන යන්ට තිබුණේය. අනෙකුත් පත පොත පැන්සල් පෑන්ද සමඟ මා මෙය ගෙන ගියේ අමාරුවෙනි. මා ගියේද තනිවය. අපේ කුඩා තැපැල් කන්තෝරුව හරියේදී මගේ අත ලිස්සා පොත් සියල්ලම බිම වැටුණේය. මා ලී පුවරුව පසෙක තියා පොත් ඇහිඳ ගන්ට නැඹුරු වීමි. මා දෙස බලා සිටියේ ඒවා දැනටමත් ඇහිඳ මා වෙත දිගු කරන සිහින් සිරුරකින් යුතු ඉන්දියානු සම්භවයකින් යුතුය සිතිය හැකි ශිෂ්‍යයකුගේ දිලිසෙන නෙත් දෙකකි. දිගු නැහැයකි.

“Thank you…“ මම කීවෙමි.

“You’re welcome…” ඔහු කීවේය. මම ඔහු මින් පෙර දැක නොතිබුණෙමි.

“Sorry. I don’t remember you…You in mech or ‘trical…?”

“No. I’m in comps…”

මම නැවත පුවරුව එක අතකින්ද, පොත් තොගය අනෙක් අතින්ද සමතුලිත කරමින් ගමන ආරම්භ කරන්ට උත්සාහ කළෙමි. නමුත් අප දෙදෙනාටම එකවරම වාගේ වැටහී ගියේ මා මෙසේ කළොත් වරක් සිදු වූ අකරතැබ්බයටම නැවත මුහුණ දෙන්ට හැකි බවයි.

“Are you heading for hostels…?” ඔහු ඇසුවේය.

“Yes…”

“Me too…Lets go…” ඔහු මගේ පොත් ටික අතට ගත්තේය.

මේ පොත් ගණනාවක් ලිවිය හැකි අපූර්ව සන්ථව කථාන්තරයක ආරම්භයයි. එනිසාම චරීගේ ජීවිතය මට විවෘත පොතක් වුයේය. මා කවදා හෝ චරීගේ චරිතාපදානය ලියන්නේ නම් එය මෙසේ පරිච්ඡේද කළ හැක්කේය සිතමි.

  1. මව් මරා උපන් කුමරා (1985)
  2. සමනල පැටවා (1992)
  3. මේ සිංහල අපගේ රටයි!! (1993)
  4. උගනිව්, නැත පිටවෙව් (1997)
  5. හුණුවටය හා ගෲෂා (2001)
  6. මගේ පළමු හාදුව (2002)
  7. චරිත්ට පුංචි අම්මා කෙනෙක්! (2003)
  8. මඩොල් දූවේ සමනල්ලු (2004)
  9. ආදරයේ කෝඩුකාරයෝ (2005)

චරී මොනම ආකාරයෙකින්වත් සිය දිවි නසා ගැන්මට යොමුවේය සිතිය නොහැකි තරමට නිසල චරිතයකි. එහෙත් මින් ඉහත මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් සියල්ලෝ එසේ වූවෝය. සිය දිවි නසා ගන්ට යොමුවන්නේ සුපර් මෑන්ලා, ඉන්ක්‍රෙඩිබල් හල්ක්ලා, ස්පයිඩර් මෑන්ලා නොවේ. ඔබද මාද වැනි බිඳෙන සුළු මිනිසුන්ය.

චරී සිය දිවි හානි කර ගන්ට තීරණය කළේ ඇයි දැයි මට සිතා ගත නොහැකිය. මා ඔහු අවසාන වතාවට හමුවූයේ ඊයේය. හෙට බාර දෙන්ට නියමිත පැවරුමක් කරන්ට සිටි හෙයින් අද මට ඔහු හමුවීමේ අවකාශයක් නොවීය. ඊයේ ඔහුගෙන් ලොකු වෙනසක් විද්‍යාමාන නොවූයේය. චරී කොහොමටත් සමහරවිට මූඩ් ගසයි. කිසිවකුටත් කතා නොකොට කාමරයට ගොස් නිදා ගනියි. ඔහු වීරයකු කොට තැකූ රටේ හමුදාපතිවරයා මිය ගිය දිනයේ ඔහුගෙන් එවන් හැසිරීමක් ප්‍රදර්ශනය විය. එවන් අවස්ථාවල ඔහුට කරදර කරන්ට එපාය මට කලින්ම ඔහු කියා තිබුණේය. මෙනිසා මම චරී දින කිහිපයක් තමන්ගේම කටුව තුළට වැදුණු අවස්ථා නොසළකා හරිමි. මේ කාලයෙන් පසු ඔහු නැවත තමන්ගේ පියවි ස්වරූපයට ආරෝපණය වේ.

ඊට අමතරව චරී ගැන බොහෝදෙනකු නොදන්නා දෙයක් මම දැන සිටියෙමි. ඒ ඔහු මින් ඉහත විශාදයට මනෝ චිකිත්සක ප්‍රතිකාර ගෙන ඇති බවය. ඒ මීට වසර දෙකකට පමණ කලිනි.

මට චරීගේ නේවාසිකාගාරයට එන්ට මිනිත්තු පහක් පමණ ගතවන්ට ඇත. ඔහුගේ කාමරයේ වසා තිබුණු දොර එක තට්ටුවකින්ම විවර විය. චරීගේ නිරුවත් සිරුර ඇඳ මත බාවා තිබුණේය. අස්ලාන් හා මලික් දෙදෙනාම වූ අතර මා හොඳින් නොහඳුනන තවත් සිසුවකු විය. ඔහු ඉන්දුනීසියානුවෙකැයි මට අපහැදිළි හැඟීමක් වූයේය. කොතැනක හෝ චරී සමඟ මම ඔහු හමුව ඇත්තෙමි. මම ඒ කොතැනකද මතක් කරන්ට කල් නොගත්තෙමි. මේ ඊට කාලය නොවේ.

චරී නිරුවත් කිරීම ගැන මට ඇති වූයේ කෝපයකි.

“Why you removed his clothes…?”

“We didn’t…he was lying like this in the bathroom when Azlan saw him…”

“When was that…?”

“Just five minutes back…I immediately called you…”

“Ah, yes. How you got my number. From his phone…?”

“No I couldn’t find it. I got your number from Facebook…”

මම චරීගේ නාඬි බැලීමට නැඹුරු වීමි. එහෙත් එය අනවශ්‍ය බව පෙණුනේය. ඔහු සෙමෙන් ඇස් හැර මොහොතක් බලා සිට වසා ගත්තේය. ඉන්පසු දෙපා මඳක් සෙලවුනු පෙණිනි. පණ තවම ඔහු හැර යන්ට මැළි වූවාක් සේය.

“It doesn’t look so serious…but we can’t keep him like this…”

“Can we take him to institute medical center…?”

මම මොහොතක් කල්පනා කළෙමි.

“No. Can’t do that…Lets take him to Pantai Hospital…”

“You have cash…?”

“I have cash…”

අපි අමාරුවෙන් චරීට කොට කලිසමක් හා ටී- ෂර්ට් එකක් අන්දවා ගතිමු. ඔහු මඳක් කෙඳිරි ගා ඉන්පසු වමනය කළේය. මගේ කමිසය ඔහුගේ වමනයෙන් තෙමී ගියේය. එහෙත් මම ඒ ගැන අසතුටු නොවීමි. වමනය සමඟ ලේ පිටවීද මම පරිස්සමින් බැලුවෙමි. එවැන්නක් දැකිය නොහැකි විය. මට හඳුනාගත නොහැකි සැර බෙහෙත් හා මත්පැන් ගඳක් ඉන් වහනය විය. එසේම චරී කලින් ගත්තැයි සිතිය හැකි නූඩ්ල්ස් වැනි ආහාරයක කොටස් කිහිපයක් විය.

“Shall we give him something to drink…? It will make him vomit…”

අපි ඉංජිනේරු හා පරිගණක ශිෂ්‍යයින් මිස වෛද්‍ය ශිෂ්‍යයින් නොවූයෙමු. කුමක් කළ යුතුද අප කිසිවකුට නිවැරදි අවබෝධයක් නොවීය. මට සිතුණේ අප හැකි ඉක්මණින් යමක් කළ හැකි කෙනකු අතට ඔහු පත්කළ යුතු බවයි.

“No. Don’t’…”

“I have even milk…”

“Better not. We are not doctors…”

“Come on. That’s what they say. Shall I check Internet…?”

“No. Don’t waste time. Let’s take him to hospital as quickly as possible…”

“See, Chari’s mobile was there on the balcony…”

මලික් කොහෙන්දෝ චරීගේ ජංගමය සොයා ගෙන ආවේය. මම එය සාක්කුවේ දාගතිමි. වරින් වර SMS එකක් ලැබෙන නිසාදෝ එය නාද විය. මම එය silent mode එකට වෙනස් කළෙමි.

ඉන්පසු අසීරු කාර්යය වූයේ කාගේවත් දැඩි අවධානයට යොමු නොවී චරී පහළට ගෙන ඒමයි. නේවාසිකාගාරයට ලිෆ්ට් එකක් නොවීය. තෙවන මහලේ සිට අප ඔහු ගෙන යායුතු වූයේ පඩි පෙළිනි. චරී කුඩා සිරුරකින් යුතු වීම සහනයක් විය. අප දෙදෙනකුට මාරුවෙන් මාරුවට ඔහු ලෙහෙසියෙන් ඔසවා ගෙන යා හැකි වූයේ එනිසාය. ඇත්තටම ඔහු සිරුරින් කෙතරම් කුඩාද යන්න මට සැබැවින්ම පසක් වූයේ එදිනයි. මලික් පාරට දිව ගොස් ටැක්සියක් හරවා ගෙනෙන තුරු පහළ මහලෙහි යම් වෙලාවක් රැඳෙන්ට අපට සිදුවිය. තවත් වටිනා මිනිත්තු කිහිපයක් ගෙවී ගියේය.

“You have any fukin idea why he did it…?” මේ මලික්ය.

“Nope…”

අස්ලාන් සේම මා නම නොදන්නා ඉන්දුනීසියානු ශිෂ්‍යයාද මදෙස විමසිල්ලෙන් බලා සිටින බවක් මට හැඟී ගියේය. චරී මා ගැන ඔවුන්ට කියා ඇත්තේ මොනවාද? දැන් මා ඔවුන්ට චරී ගැන කිව යුත්තේ මොනවාද? පරිස්සමෙන් ක්‍රීඩා කළ යුතු මොහොතකි මේ. දැවී යා යුතු නොවේ. එසේම චරී ගැන මා පමණක් දන්නා රහස් ඔවුනට හෙළිකළ යුතු නොවේ.

“Just think…Can you think of anything that pissed him off…? Anything…?”

“No…I have no idea…”

“He didn’t have a girlfriend…” එය ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද තෝරා ගන්ට මට මඳ වේලාවක් ගතවිය. අස්ලාන් අදහස් කොට තිබුණේ දෙවැන්නය.

“No…I thought you knew him…”

“Yes…I guessed that but…….” ඔහු වාක්‍යය ඉවර කරන්ට මත්තෙන් ටැක්සිය පැමිණි හෙයින් අපේ සංවාදය ඇණ හිටියේය. අපි දෙදෙනෙක් චරී පසුපස ආසනයට දා ගතිමු. මලික් ඉදිරි අසුනට නැංඟේය.

පුදුමයකට මෙන් මේ මොනම අවස්ථාවකදීවත් චරීගේ ජීවිතය ගැන මට බියක් ඇති නොවීය. එසේ වූයේ මන්ද මම නොදනිමි. මේ තත්ත්වයට පත්වූවකුට මුලින්ම ඇති වන්නේ ඒ බියයි. එහෙත් මෙහිදී එය වෙනස් විය. අවසානය දක්වාම චරිට අනතුරක් නැති බැව් මගේ මනසෙහි කොතැනක හෝ අදහසක් තිබුණේය.

පන්ටායි රෝහලේ වෛද්‍යවරු මගේ අනුමානය සනාථ කළහ. චරීගේ ජීවිතයට අනතුරක් නැත. එක්කෝ වමනය සමඟ ඔහු ගත් ඖෂධ යම් ප්‍රමාණයක් ශරීරයෙන් බැහැර වන්ට ඇත. නැතිනම් ඔහු එක්කෝ නොතිබුණු නිසා, නැතිනම් නොදන්නාකම නිසා ගන්ට ඇත්තේ අනතුරක් කරන්ට තරම් නොවන මාත්‍රාවකි. ආමාශයෙහි වූ සියල්ල ඉවත් කොට යම් කාලයකයට පසුව චරී නෙත් හැර යම් ප්‍රාණවත් බවක් දැක්වූයේය. ඔහුගේ ඇඳ ළඟින්ම සිටියේ මායි. ඔහු කතාකළේ නැත. එහෙත් මගේ අත දැඩි කර අල්ලා ගත්තේය. මම මගේ අනෙක් අතද ඊට උඩින් තබා උණුහුමට තද කළෙමි.

“He will be okay…Just give him some time to recover…”

තරුණ වෛද්‍යවරයා අප සිතුවාට වඩා කාරුණික විය. මා රැය රෝහලේ නතර කරන්ටත්, මා එහි නතර වන්ටත් අපි තීරණය කළෙමු. අනෙක් තිදෙනා නැවත නේවාසිකාගාරයට පිටව ගියෝය.

මුදල් ප්‍රශ්නය නිසා අප චරී වෙනුවෙන් ගත්තේ කුඩාම වර්ගයේ කාමරයකි. එහි අමතර ඇඳක් නොවූයේය. මට නිදන්ට වන්නේ කොරිඩෝවෙහි බව කල්පනා විය. එයද නරකම නැත. මීට වඩා බෙහෙවින් අසීරු තැන් වල මම සයනය කොට ඇත්තෙමි. ඇරත් මට නිදන්ට දිගු වෙලාවක් නොතිබුණේය. වෙලාව පාන්දර හතරයි.

සාක්කුව හිස් කරද්දී මට එහි සාමාන්‍යයෙන් නැති තව දෙයක් ඇති බව වැටහුණේය. ඒ මා කලබලයෙන් සාක්කුවට දා ගත් චරීගේ ජංගමයයි.

චරී දිවි නසා ගැනීමට තීරණය කළේ ඇයි? එහි රහස මේ ජංගමයේ නොතිබිය හැකිද? SMS පණිවිඩ වලින් මගේ රහස් පරීක්ෂණය පටන් ගන්ට මම තීරණය කළෙමි.

මැදියමට කලින් SMS පණිවිඩ සියල්ල එකක් නෑර මකා තිබුණේය. මේවා චරී තම ක්‍රියාවට සම්බන්ධ යම් හෝඩුවාවක් ලැබෙතැයි සිතා මකා දැමුවා විය හැකිය.

ඉන්පසුව ලැබී තිබුණේ වෙළඳ ප්‍රචාරණ SMS හැරුණු විට තිසර ගෙන් SMS කිහිපයක් පමණෙකි. එහි අරුත චරීගේ මේ ක්‍රියාව තිසර පවා නොදන්නා බවයි. මෙය මට ගැටළුවක් විය. පෞද්ගලිකත්වය අමතක කොට මේ SMS කිහිපය කියවා බලන්ට මට අවශ්‍ය විය.

Thisu: 12.30:23: Digamadulla PA 3, SLMC 2, ITAK 1, UNP 1

Thisu: 12.52:51: Matale PA 3, UNP 2 nw it is clr. I m so sry.

Thisu: 01.28:49: Hambantota PA 5, UNP 2 fuk mahinda

Thisu: 01.54:41 Matara PA 5, UNP 3 y don’t u reply?

Thisu: 02.24:52 Batticaloa ITAK 3, SLMC 2 chari, is evrythng ok? y don’t u reply?

Thisu: 02.36:10 chari? r u alryte?

Thisu: 02.38:17 ok. i 2 wil sleep. no use. dreams bs tc ❤

ඉන්පසු SMS පණිවිඩ නතරව තිබුණේය. චරී නිදන්ට යන්ට ඇතැයි තිසර උපකල්පනය කරන්ට ඇත. ලංකාව මැලේසියාවට වඩා පැය දෙකහමාරකින් පසුපසය. එනිසා මෙහි අළුයම 2.38ට චරී ලද අවසාන පණිවිඩය තිසර එවන්ට ඇත්තේ තමන්ගේ රටේ මධ්‍යම රාත්‍රියේදීය.

මේ පණිවිඩ කිසිවක් කවරේද යන්න මට අවබෝධයක් නොවීය. එහෙත් මට එකක් පැහැදිළි විය. ඒ තිසර චරීගේ මේ ක්‍රියාව ගැන කිසිම දෙයක් දැන නොසිටි බව හා තවමත් නොදන්නා බවයි. එසේම ඊට ඔහුගේ සම්බන්ධයක් ඇතිය සිතන්ට ඇති ඉඩ අවම බවයි.

එසේ නම් දිවි නසා ගන්ට තරම් චරී පෙළඹවූ සිද්ධිය කුමක්ද?

හදිසියේ මට මතක් වූයේ අප මේ ගැන චරීගේ පියාට දැන්විය යුතු බවයි. අස්ලාන් හෝ මලික් ගැන එය කතා කර ගන්ට බැරි විය. ඔවුන් එය කරතැයි මම නොසිතමි. චරී හා ඔහුගේ පියා අතර වූ දුර්වල සම්බන්ධතාවය මා නොදැන සිටියා නොවේ. නමුත් මෙය විය යුත්තකි.

ලංකාවේ මේ වන විට අළුයම වන්ට පිළිවන. චරීව කොයිතරම් කිට්ටුවෙන් දැන සිටියද මම ඔහුගේ පියා සමඟ මින් පෙර කතා කොට නැත්තෙමි. මම ඔහුගේ ජංගමයේ Dad ලෙස සඳහන් අංකයට කථා කළෙමි. හිතුවාට වඩා ඉක්මණින්, මා යමක් කියන්ටත් පළමුව, පිළිතුරක් ලැබිණි. නමුත් රළු කට හඬෙකිනි.

“…I know why called. Don’t blame me. I didn’t do this. Hell. I didn’t do this. I told Ranil so many times this would happen to us. That bastard didn’t listen to me. What happened is not my fault…Now leave me alone. Please. I am not sure even I am in or not…”

මා යමක් කියන්ටත් පළමුව දුරකථනය විසන්ධි විය.

මා කිහිප වාරයක් නැවත උත්සාහ කළද අනෙක් පැත්තෙන් දුරකථනය වැදුණා විනා ප්‍රතිචාරයක් නොවීය.

.

.

(ඉවසන්න…………………සමනළයා යළි පියා සලන තුරු)

Advertisements
Leave a comment

8 Comments

  1. DDT

     /  November 14, 2012

    හික් හික් …. අර යකා SMS යවල තියෙන්නෙ චරියට නෙට් එකෙන් බලන්න බැරුවද?

    මේ සීන් එක ගැනනම් අදහසක් නෑ, බලමු ඉස්සරහට.

    Reply
    • මනික්

       /  November 14, 2012

      In that universe, the internet is one day behind , LOL

      Reply
      • A better explanation: He was just forwarding the txts received from a news service, sometimes with own comments. (NOT typing the entire thing) Txts are typically faster than the net.

        – The Writer

      • DDT

         /  November 14, 2012

        ගුණත් නැති අගුණත් නැති වැල් පතෝල පිළිතුරක් !

        ඒක මම නිකමට කිව්වෙ, ඇති වැදගත්කමක් නෑ. කොහොමටත් ලේඛකයා ඒ SMS කිහිපය යොදා ගන්නෙ චරිත්ට යමක් අවබෝධ කරවීමට වඩා පාඨකයොන්ට යමක් අවබෝධ කරවන්න. 😀

  2. Sujeewa

     /  November 14, 2012

    පෙට්ටිය ඇරියා. පෙට්ටිය වැහුවා. ඇතුලේ තියෙන දේ ගැන පුංචි ඉඟියක් වත් නැහැ. ඒ කලාවත් අගෙයි.

    Reply
  3. හිරු

     /  November 14, 2012

    මට හිතෙන්‌ෙන් තාත්තටත් මැරෙන්න හිතිලාද කොහෙද ඉන්නේ ඒ වෙලාවේ… ඒත් තාත්තගේ දේශපාලනේ ගැන චරීගේ උනන්දුවක් තිබුනේ නෑ නේද… හම්ම්…

    Reply
  4. Charith M

     /  November 14, 2012

    thaththa paraduna hinda chari sleeping pills biwwa??? i cant believe

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: