(36) ‘මහින්ද-ධර්ම-පූජා’ මැඩම් අතින් පිටිදූවේ සිරිධම්ම හිමියන්ට || Madam launches ‘Mahinda-Dharma-Pooja’ program

කාලය: 2013 – නොවැම්බර්, සමාන්තර විශ්වය [මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට පත් වූවාට මාස කිහිපයකට පසුව]
ස්ථානය: කොළඹ දිස්ත්‍රික්කය, ලංකාව

**********(‘සාසනයා’ කියන කතාව )**********

මැඩම් හා මා අතර කැපියුලෙට්-මොන්ටේගු ජාතියේ පට්ට විරසකයක් ඇති බව ඔහේලාට තව දුරටත් රහසක් වන්ට බැරිය. මේකිට ඇහැක් නම් දැනටමත් මා රෝස්ට් කර, රෙඩ් වයින් දමා, Bœuf bourguignon එකක් හදා ඩිනර් එකට අරගෙනය. හරිය? ඇය මංගලයාටත් ශ්‍රීපතියාටත් එන්ට කියා උන්ට මගේ කටුද සූප්පු කරන්ට දෙනු ඇත්තේය. තවම එය කළ නොහැකිව ඇත්තේ මගේ වෙට්ටපිත්තලකම නිසාය.

ඇත්තටම එය මගේම වෙට්ටපිත්තලකම යැයි කීම එක අතකට අසාධාරණය. මා කිට්ටු කර ගෙන ඇත්තේද ඒ වගේම අණ්ඩපාල සෙට් එකකි. ඔක්කොම ගඟෙන් එහා පැත්තේය. එහේ සිට ඇස් ඇරපු පූස් පැටියකු වත් ගේන්ට එපා කියා තියෙන්නේ ඒ හන්දාය. මට ගැලැවී ඉන්ට ඇහැක් වී තියෙන්නේ මේ සියල්ලන්ගේම සාමූහික ප්‍රයත්නයෙනි. ටීම් වර්ක් එකෙනි. හරිය?

මගේ ලේකමුන් දෙදෙනාගෙන් පටන් ගනිමු. මගේ ‘මහ ලේකමා’ – මා ඔහු එසේ නම් කරන්නේ වයසින්ද ජ්‍යෙෂ්ඨත්වයෙන්ද, නාමික තනතුරින්ද අනෙකාට වඩා ඉහළ නිසාය. නැතුව අනෙකාට වඩා බලය ඇති නිසා නොවේ. හරිය? සමාජය ඉදිරියේ ඉතාම ගෞරවණීය ලෙස පෙනී සිටින ඔහු ඉහ නිකට පැසුණු ‘ජෙන්ටල්මන්’ කෙනෙකි. රවුම් කණ්නාඩි දෙකක් දමා කදාර් සූට් එක ඇන්දුවොත් බෙන් කිංස්ලිට වඩා හොඳින් මහත්මා ගාන්ධි චරිතය රඟපාන්ට ඇහැක්ය. ඇත්තටම ආණ්ඩුවේ ඉන්නා හොරුන් දෙස බලන විට ලොකු හොරෙක්ද නොවේ. ඔය වයිපරේට දුවට පුතාට තනතුරක් හදා දෙන එක හැම එකාම කරන දෙයකි. හොරකමක් සේ ගණන් ගත යුතු නොවේ. (ඒ තනතුරු වල පඩිය කොයිතරම් ඉහළ වුණත්.) ගොඩාක් ඉස්සර නම් මේකා ඔය ගෑනියෙක්ගේ දෙන්නෙක්ගේ තන් මිරිකුවා කියලා කතා තිබුණේය. ඇත්තද බොරුද මම නොදනිමි. අනෙක් අතට ගෑනුන්ට තන් තියෙන්නේ මිරිකන්ට නෙවෙයි නම් වෙන මක්කටෙයි? තමන්ගේ වාහෙලා පවා නොමිරිකන තන් මේකාවත් මිරිකීම ගැන ඒ ගෑණුලා තන්තෝස විය යුතුය.

මේකා ලේකමා කර ගන්ට පෙර මා ඔහු ඊට පෙර හොඳින් දන්නා හඳුනන ඇමැති සගයකු වන එළවළු-පෙට්ටියාගෙන් විමසීමි. පෙට්ටියා දුන් ප්‍රතිචාරය මෙසේය. “ඕකා ගත්තට කමක් නෑ. වැඩ හොඳයි. කම්මැලි නෑ. ඒ වගේම අණ්ඩපාලයා. සතේකට විශ්වාස කරන්න එපා. කොයි වෙලේ ඇහැක් ගලවං පනීද දන්නෙ නෑ” මම මේ රෙකමදාරුව ගැන පැහැදුනෙමි. මටත් අවශ්‍ය මේ වගේ එවුන්ය. මා වයිපරේවත් විශ්වාස නොකරන නිසා මූ විශ්වාස නොකිරීම ගැන ගැටළුවක් පැන නොනඟී. හරිය?

රාජ් කපූර් වගේ පෙන්සිල් මුෂ්ටෑෂ් එකක් වවාගෙන ඉන්නා ‘පොඩි ලේකමා’ නම් අම්බ හොරෙකි. කොටින්ම මේකා කාමරේට එනට දොර අරින කොටම මගේ අත අණ දෙන්ටත් ප්‍රථම ක්‍රියාත්මක වී මේසය මත ඇති පෑනක්, පැන්සලයක්වත් වත් ලාච්චුවට දමයි. හැබැයි මේකා ඒ වගේ සුළු දේවල් හොරකම් කරන එකෙක් නොවේ. රුපියල් මිලියන දහයකට වත් අඩු නම් ඌට ඒ පොඩි සල්ලිය. අනේ හොඳ එකා. කවදාවත් ඒ වගේ පොඩි සල්ලි වලට කෑදර නැත. වෙන කෙනෙකුට ගන්ට දෙයි. අර කොටි බෝම්බයෙන් ඉණෙන් ඉහළ සෙත්තපෝච්චි වුණු කොච්චියා එකතු කර ගත්තේ ඒ වගේ පොඩි සල්ලිය. කොච්චියත් හොඳ එකා තමයි. මගේ ලෝ කොලේජ් කාලේ ඉඳලාම ගජයාය. ඌ මැරුණු බව ඇසූ අවස්ථාවේ මටත් දුක හිතුනේය. මොනවා කරන්නද. සංසාරේ හැටි, මිත්‍රවරුනි, සංසාරේ හැටි. (ඉස්සෙල්ලා මැරුණේ කොච්ච්චියාද සරත් ෆොන්සේකා හමුදාපතිවරයාද මට කවදාවත් මතක තියා ගන්ට බැරිය. දෙන්නම මැරුණේ කිට්ටු දවස් වල බව නම් මතකය.)

මා මහ ලේකමාට වඩා බලතල පොඩි ලේකමාට ලබා දී තියෙන්නේ මක්කටෙයි දැන්වත් ඔහේලාට තේරුම් යනු ඇත. කොටින්ම මහ ලේකමා ඉන්නේ නමට විතරය. ඒකාට ගෙදර යන්ට කියන්ට මගේ සිත නොනැමේ. ඔන්නොහේ ඇවිදගන්ටවත් බැරි වෙනකල් හිටපුවාවේ. අනික් අතට මේකා ඉන්න එකත් හොඳයි. දැන් කාර්යාලයීය සේවකයින්ගේ ලීව් චිට් අස්සන් කිරීම වගේ දේවල් කරන්නේ ඒකාය. ගියොත් ඒ ටිකත් මට කරන්ට වනු ඇත. හරිය?

හැබැයි ‘මහින්ද-ධර්ම- පූජා’ ව්‍යාපෘතිය නම් බොහෝදුරට මහ ලේකමාගේ අදහසක් බව කිව යුතුය.

බුද්ධ ශාසන ඇමැති හැටියට මට කරන්ට තිබුණේ වැඩ අතළොස්සකි. මගේ අමාත්‍යාංශයේ බජට් එකම රුපියල් මිලියන දෙසීයක් විය. එයින් වැඩි හරියක් සේවකයින්ට පඩි ගෙවන්ට හා ගොඩනැඟිලි වාහන නඩත්තු කටයුතු වලට වියදම් වුණේය. මේ නිසා මට වැඩි වැඩ කරන්ට වූයේ ධන පරිත්‍යාග වලිනි. මෙහිදී මට උදව් කළෝ මා හිතවත් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝය. බොරු කියන්නේ මක්කටෙයි, උන් නම් ඇහැක් විදියට මට අත දිග ඇරලා සල්ලි දුන්නෝය. කවදා හරි මා මෙරට සිංහල බෞද්ධයින්ගේ දියසේන කුමාරයා වනු ඇතිය උන් සිතුවාසේය. මැඩම්ටත්, සිංහල ජාතිය හා බුද්ධාගම ගැන පොතින් කියැවූ දෙයක් මිස අන්දෝ සංසාරයක් නොදන්නා මිලින්ද මොරගොඩටත් වඩා උන් මට කැමැතිය.

ඔහේලාට ඇත්ත කියන්ටෙපායැ, රූප පෙට්ටියට ඔළුව දාගන්ට බැරි දේශපාලඥයකුගේ වටිනාකම බිංදුවය. මේ නිසා මටත් රූප පෙට්ටියට මීට වඩා ඔළුව දාගන්ට ඕනෑ විය. පන්සලක් පන්සලක් ගාණේ මල්වට්ටි උස්සාගෙන යන්ට ඇහැක් නම් මාරය. එවිට ඒ රූප දකින මිනිස්සුලා හිතන්නේ මේ තරම් සුද්දවන්ත නායකයෙක් තවත් නෑ කියලාය. කුඩු විකුණන එකකුට වුවද ටික කාලයකින්ම ශාන්තුවරයකු වෙන්ට මඟකි මේ. හැබැයි මේක ලේසි නැති වැඩකි. ගනු විතරක් ඇහැක් නැත. දෙනුද ඇහැක්ය. හරිය? අපේ හාමුදුරුවරුත් හරියට කිලී මහරාජා වගේය. උඹට ඒක ඕනෑ නම් මට මේක දීපන්. නැත්නම් බෑ. මොනව හරි ඕනෑමයි.

ඇත්තටම හාමුදුරුවරුන්ට පූජා කරන්නේ මක්කද?

මට හිතුනේ පන්සල් වලට බුදු පිළිම පූජා කරන ව්‍යාපෘතියක් හොඳ බවය. සබ්බ දානං බුද්ධ දානං ජිනාති. සිමෙන්ති වලින් හදන්ට වියදම වැඩි නිසා ෆයිබර් ග්ලාස් වලින් බුදු පිළිම හදා දෙන්ට මම කල්පනා කළෙමි. එක පන්සලට එක ගානෙ පන්සල් සීයකට බුදු පිළිම පූජා කරමි. හැම දිස්ත්‍රික්කයම කවර් වෙන පරිදි පන්සල් තෝරා ගනිමි. අනෙක ආගමික වශයෙන් වෙනසක් කරන්ටත් හොඳ නෑ. දවට ගහ මුස්ලිම් පල්ලියට වුණත් බුදු පිළිමයක් ඕනෑ නම් ඇප්ලිකේෂන් එකක් එවන්ට ඇහැකි. අපි ඒ ඉල්ලීම සලකා බලලා ඒක සාධාරණ නම් එතෙන්ටත් දෙනවා බුදු පිළිමයක්. හරිය?

“වැඩේ නම් හොඳයි, සර් …ඒත්…” මහ ලේකමා අදින හැටියෙන්ම මට මෙහි යම් වරදක් ඇති බව වැටහුණේය. මේකා මගේ කවර හෝ තීරණයකට කෙළින්ම නරකය කියන්නේ නැත. අණ්ඩපාල හොරදෙටුවා! ඒත් වැඩේ නොකර පොඩ්ඩක් ඇදීමෙන් අකැමැත්ත දක්වයි.

“ඇයි මක්කද ඒකෙ වැරද්ද…?”

“ඔය ෆයිබර් ග්ලාස් පිළිම පොඩ්ඩක්වත් බර නෑ සර්. අර ජයලත් ජයවර්ධනකාරයා නාගදීප විහාරෙට මේ වගෙ පිළිමයක් පූජා කරලා, තද හුළඟක් ආපු වෙලාවක ඒක හුළඟෙ ගහගෙන ගියා. තනි මිනිහෙකුට වුණත් පිළිමයක් උස්සන්න පුළුවන්. වැරදිලාවත් ලසන්ත වික්‍රමතුංග වගේ මිනිහෙක් කවුරු හරි ඔය පිළිමයක් උස්සගෙන ඉන්නව Sunday Leader පත්තරේ පොටෝ එක දැම්මොත් හෙම…?”

“ඊළඟට සිංහල පත්තර කාරයො කියයි ‘බුද්ධ ශාසන ඇමැති බොල් පිළිම බෙදයි!’ කියලා… ගුණදාස අමරසේකරගෙ පොතකුත් තියෙනවනෙ ‘ගල් පිළිමය හා බොල් පිළිමය’ කියලා”

පොඩි ලේකමා ද කතාවට එක්විය.

සිංහල පත්තරකාරයින් නම් මෙසේ නොකරන බවට මට ඉඳුරාම  විශ්වාසය. උන්ගේ අම්මලා තාත්තලාවත් මං වගේ උන්ට කන්ට බොන්ට දීලා නැති එකේ කෙළෙහි ගුණය තියන්ට උන් දන්නවාය. හැබැයි ලසන්තයා වගේ එවුන් ෂුවර් නැත. නිකං ටිංකිරි කන්නේ මක්කටෙයි?

“එහෙනම් අපි කලින් හිතුවා වගේ සිමෙන්ති පිළිම පූජා කරමු. හැබැයි ගාණ තමයි සැර…”

මහ ලේකමාගේ මුහුණ තාමත් මාතර ගඟේ කිඹුලිගෙ පැටියාට හසුවූ හරකකුගේ වගේය.

“ඇයි සර් අපි බුදු පිළිමම පූජා කරන්නේ…?”

“බුදු පිළිම නැතුව මොනවද මනුස්සයො පන්සල් වලට පූජා කරන්නේ? පුජා උමාශංකර්ව පූජා කරන්ඩයැ…?

මුන් කියන ගොන් කතා වලට මටත් ඉඳහිට මළ පනියි.

“සර් දන්නවනෙ සංස්කෘතික අමාත්‍යාංශයත් ඔය වගේ ව්‍යාපෘතියක් කළා ලක්ෂ්මන් ජයකොඩි මහත්තයා ඉන්න කාලෙ පන්සල් වලට ධර්ම පුස්තක බෙදන්ට…”

“අන්න නියම අයිඩියා එකක්…”

“මොන නියම අයිඩියා එකක්ද සර්, අන්තිම අසාර්ථකයි. බෙදුව පොත් අන්න ඔහේ ගොඩ ගහල තියෙනව පන්සල් වල. බල්ලෙක් කියවන්නෙ නෑ. දැන් නම් කාවොත් කාල ඇති . අන්තිමට හාමුදුරුවරුම අහන්ට පටන් ගත්තා ධර්ම පුස්තක කන්ටද කියලා…”

“බලනකොට ජේ. ආර්. පප්පා කියල තියෙන්නෙ ඇත්තනෙ ඕයි…”

“එහෙමම කියන්ටත් බෑ සර්. ඔය සුජීව ප්‍රසන්නආරච්චි, මහේෂ් රත්සර මද්දුමආරච්චි, සෝමා ටී පෙරේරා, චන්දි කොඩිකාර, චන්දන මෙන්ඩිස් වගේ අයගෙ පොත් ටිකක් බෙදුව නම් පැනල ගනීවි….” පොඩි ලේකමා කීවේය.

මේකා මේ සමනළ ලේඛකයින් ගැන දන්නේ ඌ කියවන්නේද ඒවා නිසා විය යුතුය. මම රැවුමකින් ඔහු සයිලන්ස් කළෙමි. මේවා බෙදන්ට යෑම ඉක පුරා ගැනීමකි. අන්තිමට වික්ටර් අයිවනයාද සර් මගේ ‘චෞර රැජින’ පොතත් පන්සල් වලට බෙදන්ට බැරිද අසනු ඇත. ඒක ඉහත කී ලේඛක ලේඛිකාවන් ලියූ පොත් සියල්ලටම වඩා හොඳ ප්‍රබන්ධයකි. හැබැයි පීචං උණේ මැඩම් නිසා මම ඊට ප්‍රිය කළෙමි. අයිවන්ට රියැදුරා අත ස්කොච් විස්කි බෝතලයක්ද යැව්වෙමි. ඌ ඒකට ස්තූති කර සර් තව බෝතලයක් හෙම නැතුව ඇති නේද කියා අසා SMS එකක්ද එකක්ද එවා තිබුණේය. රනිල්වත් මේ වගේ පීචං කරපු දවසක ඉතුරු බෝතලේ දෙන බව කියා මම SMS කළෙමි.

“සර්, අපි මෙහෙම කරමු…පන්සල් හැම එකකම වගේ දැන් TV තියෙනවා. අපි දෙමු හැම පන්සලටම Cable TV කනෙක්ෂන් එකක්…”

අන්තිමේ මහ ලේකමා කීවේය.

“මනුස්සයෝ නච්චගීතවාදිත විසූකදස්සනමාලා ගන්‍ධවිලෙපන ධාරණමණ්ඩන විභූසනට්ඨානා කියලා නෙවෙද බුදු හාමුදුරුවන් දේශනා කරලා තියෙන්නෙ…?”

“ඉතින් සර් අපි ඒවා දෙන එකක්යැ. අපි දෙන්නෙ The Buddhist චැනල් එක විතරයිනෙ…අනික්වා බ්ලොක් කරමු”

“ගන්න බැරි විදියටම බ්ලොක් කරනවද…?”

“ඒක අපට අයිති වැඩක් නෙවෙයිනෙ සර්. අපි දෙන්නෙ කනෙක්ෂන් එකයි The Buddhist චැනල් එකයි විතරයි. සර් හිතන්නෙ අපේ හාමුදුරුවරු ඕකෙන් HBO, Star Movies, Fashion TV, Bollywood Masala බලයි කියලද…මම නම් හිතන්නෙ නෑ”

“නෑ, නෑ, මාත් හිතන්නෙ නෑ නිකමට ඇහුවෙ…ඒක හොඳ අයිඩියා එකක් තමයි.”

‘මහින්ද-ධර්ම-පූජා’ ව්‍යාපෘතිය ආරම්භ වූයේ එලෙසය. එය එනමින් නම් කරන ලද්දේ වසර 2,300 කට විතර පෙර අප රටට බුදු දහම ගෙන ආ මිහිඳු මහ රහතන් වහන්සේට කරන ගෞරවයක් හැටියටය. පොසොන් පෝය දවසේ මහනායක හිමිවරුන්ට ‘මහින්ද-ධර්ම-පූජා’ පැකේජ ප්‍රදානය කොට මේ සත් කාර්යය නමෝ විත්තියෙන් ආරම්භ කරන්ට අප කල්පනා කළත් ඒ වන විටත් උන්වහන්සේලා PEO Titanium පැකේජම ලබාගෙන තිබුණු නිසා අපේ අදහස වෙනස් කරන්ට සිදුවිය.

“අපට බැරිද ඕක රතු හාමුදුරුවන්ට පූජා කරල පටන් ගන්ට…?” මම ඇසුවෙමි.

“අපොයි ඒක හොඳ නෑ සර්…අසුබයි” මහ ලේකමා කීවේය.

හේතුව පැහැදිළි කළේ පොඩි ලේකමාය.

“සර් ඔය පන්සලේ මැරිච්චි මිනිහෙක් වළලල දාල කියලා කතාවක් තියෙනව. කවුරුත් ඇත්තද බොරුද දන්නෙ නෑ. අර පැත්තකින් තියෙනව නේද ලොකු මඩුවක්. ඒක යටලු තියෙන්නෙ…”

මුනුත් දන්න දේවල්!

“මං වත් නොදන්න දේවල් තමුසෙලා දන්නෙ කොහොමද ඕයි…?”

“ඕක ප්‍රසිද්ධ රහසක්නෙ සර්. මං හිතුවෙ සර් දන්නවා කියලා. ඕකට ඇමැතිවරයකුත් සම්බන්ධයි කියල තමයි කතාව තියෙන්නෙ… දැන් පළාතෙ ඉන්න මුස්ලිම් මිනිස්සු මේක දැනගෙන හාමුදුරුවො බ්ලැක් මේල් කරලලු…

මේ මට මාර වැදගත් නිව්ස් එකකි. එහෙත් මේ කතාව මෙතැනදී ඇසීම සුදුසු නොවේ. පොඩි ලේකමා පැත්තකට ගෙන පසුව හිමින් සීරුවේ ඇසිය යුතුය මම සිතුවෙමි. රතු හාමුදුරුවන් පරණ යූ. එන්. පී. කාරයෙකි. උන් වහන්සේ කිට්ටුවෙන් ආශ්‍රය කරන්නේ මැඩම්ගේ දෑත් ශක්තිමත් කරන්ට පැන්න සෙට් එකේ එවුන්ය. මේ ඉන් එකකුගේ හුටපටයක් විය හැකිය. මොනවා වුණත් මට වැදගත්ය.

මින් පසු අපි වෙනත් හිමිවරුන් ගැන කල්පනා කළෙමු. ගංගොඩවිල සෝම හිමියන් නම් උන් වහන්සේට පුරුදු සෝපාහාසාත්මක ස්වරයෙන් කෙළින්ම කීවේ ධර්මය ඉගෙන ගන්ට නම් රූපවාහිනී අවශ්‍ය නැති බවත් දැනට ඇති පත පොත හොඳටම ප්‍රමාණවත් බවත්ය. මාදුළුවාවේ සෝභිත හිමියන් කීවේ තමන් දැන් දේශපාලනයෙන් ඉවත්ව ධර්මානුකූල ජීවිතයක් ගත කරන නිසා ‘දේශපාලනය යැයි කෙනකුට හැඟිය හැකි කටයුත්තකට’ මැදිහත්වන්ට අකැමැති බවය. (අනේ මගෙ කට! ධර්මානුකූල ජීවිතේ!) දඹර අමිල හාමුදුරුවන් කීවේ සම්බුදු සසුනේ චිරස්තිථිය පිණිස දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වත් වෙන් කරන්ට අකැමැති ආණ්ඩුවකින් කරන බොරු වැඩ වලට ප්‍රචාරය දෙන්ට අකැමැති බවය. බුද්ධ ශාසනයට 6% ක් තියා දැනට ලැබෙන මිලියන 200 වත් ගන්නේ කොච්චර ඉක පුරාගෙනද දන්නේ මා විතරය.

මගේ පැරැණි සගයා මර්වින් සිල්වා දැන් තංගල්ලේ ධීරානන්ද නමින් පැවිදිවී සිටියි. උන් වහන්සේ සිටියේ නම් නම මෙච්චර මහන්සි වන්ට වන්නේ නැත. එත් මගේ කරුමයට උන් වහන්සේද සංසාරය ගැන හොඳටම කළ කිරී මඩකඩ ආරණ්‍යයෙහි දිරා යන මළ සිරුරක් දෙස බලා සිටිමින් බවුන් වඩන්නේලු. එනිසාම මොබයිල් එකත් ඕෆ් කරලාය.

අවසානයේ අප තීරණය කළේ දෙහිවල අත්තිඩිය පාරේ පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ආරාමයේදී මේ සත් කාර්යය ආරම්භ කිරීමටය. අපට කිසිම පැකිළීමකින් තොරව කැමැත්ත ලබා දුන්නේ උන් වහන්සේ පමණෙකි. අන්න බුද්ධ ශාසනයේ චිරස්තිථිය ප්‍රාර්ථනා කරන හාමුදුරුවරු!

මැඩම්ට ප්‍රධාන ආරාධිතයා හැටියට ඇරැයුම් කළ යුතුය මම යෝජනා කළෙමි. මහ ලේකමා සේම පොඩි ලේකමාද එය එකෙනෙහිම අනුමත කළහ. මුං මගේ ගේම දනිති.

මැඩම්ද ආරාධනාව පිළි ගත්තාය. ඇයද මගේ ගේම දනියි. නමුත් ඇයටද ගේමක් තියේ. අපි ඔක්කෝම ප්ලේ කරන්නේ එකිනෙකාගේ ගේම්ය.

සුපුරුදු පරිදි මැඩම් ආවේ පැය තුනක් ප්‍රමාදව සිරිධම්ම හාමුදුරුවන්ට නව දොරින්ම මළ පැන්නායින් පසුවය. මට නම් ඕවා පුරුදු නිසා මම නිහඬව සිටියෙමි.

මැඩම් මා සමඟ කතා කරන්නේ කෙනකු තව කෙනකු සමඟ කතා කරන සාමාන්‍යාකාරයට නොවේ. අපි කටින් කතා කරනවාට අමතරව එකිනෙකා සමඟ ඒ අවස්ථාවේදීම සමාන්තරව ටෙලිපති වලින්ද සංවාදයේ නියැළෙමු. මන්ද මේ මෝඩ් දෙකම අපට අවශ්‍ය නිසාය. කටින් පිටවන වචනද එහි ස්වරයද ටෙලිපති වලින් කරන සංවාදයට ඉඳුරා වෙනස්ය. පාඨකයින්ගේ පහසුව පිණිස මම කටින් කරන සංවාදය සාමාන්‍ය ලෙසින්ද ටෙලිපති වලින් කළ සංවාදය කොටු වරහන් තුළද ඉදිරිපත් කරන්ට තීරණය කළෙමි.

මැඩම්: මම පරක්කු වුණාද දන්නෙ නෑ…ඛනිජ තෙල් සංස්ථාවෙ ලොකු ප්‍රශ්නයක් විසඳන්ට අහු වුණා මෙයා. [හරි. කැමරා එකට හිනා වුණා. සාසනයෝ, බලපන් මුං කාගෙද ෆොටෝ ගහන්නෙ කියලා. උඹේද? මගේද?]

මම: අනේ නෑ මැඩම්. පරක්කු වෙලා හරි එනව කියල අපි දන්නවනෙ. [උඹ කවද්ද හු****යෙ තැනකට වෙලාවට ආවෙ?]

මැඩම්: මේ වගේ හොඳ වැඩ වලට ඉතින් උදව් නොකර පුළුවනෑ…එහෙම නේද හාමුදුරුවනේ? [සාසනයෝ, උඹ ඉතින් ලකුණු දා ගනින්. උඹ හිතෙන්නෙ උඹේ ගේම් මම නොදන්නව කියලද ඈං?]

පිටිදූවේ සිරිධම්ම හිමි: එහෙමයි

මැඩම්: පන්සල් කීයකට දැන් ‘මහින්ද-ධර්ම-පූජා’ පැකේජ් එක දෙනවද? [මුං කීදෙනෙක් දැන් හෙට ඉඳන් Star movies බලනවද?]

මහ ලේකමා: අපි පන්සල් සීයකටයි මුලින් දෙන්න අදහස් කළේ මැඩම්. දැන් ගාණ දෙසීයකට වැඩිකළා.

මැඩම්: දෙසීයක් මදිනෙ. ලංකාවෙ පන්සල් කීයක් තියෙනවද? අඩු ගානෙ දාහකට වත් දෙන්න එපායැ? එහෙම නේද හාමුදුරුවනේ…? [සාසනයෝ, තෝ ඉවරයි කියල හිතා ගනින්. දැන් දීපියකෝ පන්සල් දාහකට Cable TV]

පිටිදූවේ සිරිධම්ම හිමි: එහෙමයි.

මම: (සිනාවෙමින්) ඔන්න හාමුදුරුවනේ ඇහුණ නේද? මැඩම්මනෙ කිව්වෙ. දැන් පන්සල් දාහකට ‘මහින්ද-ධර්ම-පූජා’ දෙන්න ඊළඟ බජට් එකෙන්ම සල්ලි පාස් කරලා දෙයි. [ඈ බොල හු****යෙ උඹ හිතුවද මාව තම්බන්ඩ?]

පිටිදූවේ සිරිධම්ම හිමි: මැඩම්ගෙම කටින් එහෙම කියැවුණු එක කොච්චර හොඳද? දැන් අර දඹර අමිල හාමුදුරුවො හෙම ආණ්ඩුවට බනින්නේ බුද්ධ ශාසනේ වෙනුවෙන් සීයට හයක් ක් දෙන්නෙ නෑ කියලනෙ. මැඩම්ම ඇමැති තුමාට මෙහෙම උදව් කරනව නම් මොනව කරන්ඩ බැරිද…?

මැඩම්: රටක ආණ්ඩුවකට හුඟාක් දේවල් කරන්ට තියෙනවනෙ හාමුදුරුවනේ…අපි උත්සාහ ගන්නව පුළුවන් තරම් බුද්ධ ශාසනේ වෙනුවෙන් වැඩ කරන්න. ඒ වුණත් රටකට අධ්‍යාපනේ, සෞඛ්‍යය, ජාතික ආරක්ෂාව වගේ තවත් බලන්ඩ ඕනැ දේවල් තියෙනවනේ. දැන් හිතන්ඩකො කවුරු හරි අධ්‍යාපනේට සීයට හයක් ඉල්ලුවොත් කොහොම වෙයිද කියලා…එහෙම නේද හාමුදුරුවනේ? [අද මිස් වුණාට උඹව මම අල්ලගන්නම්කො]

පිටිදූවේ සිරිධම්ම හිමි: එහෙමයි

මැඩම්: අපි එහෙනම් තව පරක්කු නොවී පටන් ගනිමු නේද? [ඉක්මණට ඉවර කරපන්. මම උඹ එක්ක මෙතන පැලවෙන්ඩ ආවෙ නැහැ.]

මම: හා, මැඩම්ම ඔතැන ඔය ස්විච් එක දාන්නකෝ. [පැලවෙන්ඩ ආවත් උඹව තියා ගන්නෙත් නෑ මෙතැන. දැන් ඕක ඉක්මණට ඉවර කරලා පලයන්.]

මොහොතකින් රූපවාහිනිය ක්‍රියාත්මක වී The Buddhist චැනලය එහි ප්‍රදර්ශනය වේ. ඇත්තටම එතැන ඇති Cable TV කනෙක්ෂන් එකක් නැත. මේ දර්ශනය වන්නේ රූපවාහිනියට සඟවා සම්බන්ධ කොට ඇති DVD යන්ත්‍රයක ඇති DVD තැටියක ඇති වීඩියෝ ක්ලිප් එකකි. එය මැඩම් අරලිය ගහ මන්දිරයේ සිට බණ අහන අවස්ථාවකි.

මැඩම්: (සිනාසෙමින්) හරියටම මම ඉන්නම තැනක්නෙ අහු වුණේ…ඒකෙත් හැටි [අනේ යකෝ, මේ උඹේ මැජික් පෙන්නලා මාව අන්දන්නද හිතුවෙ?]

මම: (සිනාවෙමින්) එහෙම තමයි වාසනාව තියෙන කට්ටියට…එහෙම නේද හාමුදුරුවනේ? [ආ, දැන් ඉතින් ඕක කළා නම් පලයන් අපට පව් නොදී]

පිටිදූවේ සිරිධම්ම හිමි: එහෙමයි.

මෙවෙලේම මැඩම්ගේ දුරකථනයට ඇමැතුමක් ආවේය. ඇයගේ කටහඬ විනා එහා පැත්තේ කවුරුන් හෝ කතා කරනු මට නොඇසුණේය. එය කෙටි ඇමැතුමකි. එහෙත් ඉන් ඇගේ මුහුණේ ඉරියව් ඉඳුරා වෙනස් වනු මට පෙණුනේය.

“ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තියලා…” ඇය කලබලයෙන් කීවාය. “මට දැන්ම යන්න ඕනැ….”

.

.

(ඉවසන්න…………………සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

22 Comments

  1. මා ලේඛකයා සමඟ සිටියේ සිත් අමනාපයෙනි. ඒ සරත් ෆොන්සේකා මරා දැමීම පිලිබඳවය. එහෙත් ඔබ තුන් කල් දැක්මක් ඇති වතුර ලේබකයකු බව අද මා හට වැටහින. මෙතක් මල ගෙදර නිදි මැරු ජයන්ත කැටගොඩද තව දුරටත් නිදි මැරිය නොහැකි බව පවසා පිටව ගොස් ඇත.

    සරත් පොන්සෙකා මැති තුමනි. ඔබට නිවන් සුව…!!!

    Reply
  2. DDT

     /  November 16, 2012

    මේ සමාන්තර විශ්වය නම් මාරයි ආ…… මැඩම් ෂීට් එකේ ඉද්දිම ළඟකදි චුතවෙන පාටක් දකින්න නැතුවත් වික්ටර් අයිවන් ‘චෞර රැජින‘ ලියල. එහේ අයිවන් නම් මාර පොරක්.

    අර පිටිදූවෙ උන්නාන්සෙට ටෙලිපති එකක් නැති එක ලොකු අඩුවක් ලේඛකයා. මෙහේ පොරට නම් පස්සෙ කාලෙ හෙලිවෙච්ච හැටියට එහෙම එකක් තිබුණ. 😀

    Reply
    • @DDT,

      ලිව්වෙ ටිකක් සැර බාල කරපු පොතක්ද දන්නෙ නෑ. 🙂

      – ලේඛකයා

      Reply
      • DDT

         /  November 16, 2012

        ෴ රනිල්වත් මේ වගේ පීචං කරපු දවසක ඉතුරු බෝතලේ දෙන බව කියා මම SMS කළෙමි. ෴

        (ඔන්න පරණ කුණු අවුස්සන්න යන්නෙ, :D) ඇයි ශාසනයා 2013 දි මෙහෙම කියන්නෙ, රනිල් 2008 වෙනකොට සෙත්තපෝච්චි වෙල මිලින්ද මොරගොඩ එජාප නායකත්වයටත් පත්වෙල ඉවරයිනේ. අවුරුදු 4-5කට කලින් මැරිච්ච මිනිහෙක්ට අපහාසකරවන එක ශාසනයගෙ ජාතියෙ එවුන්ගෙ වැඩක් නෙවිනේ.

        https://samanalaviplavaya.wordpress.com/2012/08/20/butterflyrevolution11/

        මේ කතාංගය ආරම්භ කරන සමාරම්භක සටහනෙත් රනිල්ගෙ මරණය සඳහන් වෙනව.

      • සාසනයා ඒ සිද්ධිය කියන්නේ 2013 වුණු පළියට ඒ සිද්ධිය අනිවාර්යයෙන්ම 2013දී සිදු විය යුතු නොවේ. එය ඊට ඉහත සිදු වූවක් විය හැකිය.

        – ලේඛක

      • DDT

         /  November 16, 2012

        එය එතරම් පරණ සිද්ධියක් නම් එතකොට වැඩේ තවත් අවුල් වගේනේ. 2013 දි මැඩම් එක්ක මෙච්චර ගේමක් ගහන මිනිහ 2008 ට කලින් රනිල් එක්ක අර වගේ ගේමක් ප්ලේ කරන්න දඟලන්නෙ මොටද. කොටින්ම බුද්ධශාසන ඇමත්තට රනිල් එක්ක තියෙන ගේම මොකක්ද.

        ලේඛකයා මේ ගේම් එකේ සීමාවන් ගැන මොනව කිව්වත් අපේ වර්තමානෙ ඔහුටත් නොදැනිම මේ කතාව අස්සට රිංගනවය කියල මම යෝජනා කරනව. මම හිතන්නෙ ඔහු ගැටළුවලට පිළිතුරු හොයන්නෙ දෙවනුව.

      • ඇත්තටම මෙතැන වෙන්නෙ මේ වගේ ‘චෝදනා’ වලට මා උත්තර බඳින්ට යාමෙන් දිගින් දිගටම අර්ථ විරහිත ප්‍රශ්න වැලක් අසන්නට පාඨකයාට අවස්ථාව උදාවීම. නිර්මාණකරුවකු තමන්ට නැඟෙන චෝදනා වලට සත්‍ය වශයෙන්ම පිළිතුරු දිය යුතු නැහැ. නමුත් සරල කාරණා වරද්දා ගෙන ප්‍රශ්න නඟනකොට හරි පාරට දාන්න මම උත්තර දෙන අවස්ථා තියෙනවා. බලනකොට හරි පාරට වඩා පාඨකයා වැඩිපුර යොමු වෙන්නේ වැරදි පාරට. එනිසා මින්පසුව මට නඟන ‘චෝදනා’ වලට උත්තර දීම හැකිතාක් පාලනය කරනවා. පාඨයාට අවශ්‍ය තම්න් මට වඩා ‘ස්මාට් බව පෙන්නන්න නම් එසේ වුනාවේ.

        – ලේඛක

      • DDT

         /  November 17, 2012

        ස්මාට්? 🙂 🙂 🙂

        ඔව්ව ගනන් ගන්න එපා ලේඛකයා, ජොලියට කරන වැඩනේ. මම නම් බ්ලොග් කියවන්න එන්නෙ දැනුම ලබාගන්න අරව මේව බයිල නිසා නෙවි, තනිකරම විනෝදය සඳහා. අනිත්ව අතුරු ප්‍රතිඵල.

      • ~Kasun~

         /  November 18, 2012

        @DDT
        අපි එහෙනම් සෙට් වෙලා මම එක කමෙන්ට්ස් දාමුද.. ? 😀

      • කමෙන්ට් දැමීම පිළිබඳ ගැටළුවක් නෙවෙයි මෙතැන තියෙන්නෙ. කතාවේ තාත්විකත්වය පිළි ගැනීම හෝ නොගැනීම පාඨකයා සතුයි. නමුත් උසාවියකදි වගේ හරස් ප්‍රශ්න අහන්න ගියාම ඒක කතාවේ රසයට බාධාවක්. උදාහරණයක් හැටියට DDT ගේ අවසාන එකට කලින් කමෙන්ට් එකට මට උත්තර දෙන්න පුළුවන් 2007 වනතුරු (මේ සමාන්තර විශ්වයේ) රනිල් අගැමැති කියලා මතක් කරලා. නමුත් මා බලාපොරොත්තු වෙනවා මේ වගේ සුළු කාරණා මගේ පෙන්නා දීමකින් තොරව පාඨකයා වටහා ගනියි කියලා.

        – ලේඛකයා

      • DDT

         /  November 18, 2012

        @ Kasun,

        ඒකත් අවුලක් නැහැ බං. මමත් ඉස්සර හිතන් හිටියෙ ඒක මහ ගොන් වැඩක් කියල. ඒත් බ්ලොග් පොලිසියෙන් පැනල ඒකට විරුද්ධව සද්දෙ දාන්න ගත්තට පස්සෙ මාත් ගිහින් අහුවෙන අහුවෙන වෙලාවට මාරය අප්කරල ‘මං එක‘ දාලා එනව. කවුරු හරි ඇවිත් ඒකට සද්දයක් දානවනම් ඊට වඩා ජොලියක් තවත් නැහැ.

        @ ලේඛකයා,

        මේක නිවැරදිව පැහැදිලි කරන්න ගියොත් මට ටිකක් ටයිප් කරන්න වෙන නිසා කම්මැලියි. ඒ නිසා ඔන්න වැඩිය මොකුත් කියන්නෙ නැහැ.

        ප්‍රශ්න අහන්නෙ නැතුව ඇවිත් තියෙන දේ කියවල යන්න පුළුවන් කිසි ගැටළුවක් නැහැ. ඒත් මට නම් වෙලාව තියෙන නිසා තමයි ඇවිත් ඔය අනම් මනං දොඩවල යන්නෙ. මම ඔය කාලා නිකම් ඉන්න බැරුවට දාන කමෙන්ට් ගනන් ගන්න එපා, බොහෝවිට මම ලේඛකයගෙන් ප්‍රශ්නයක් අහන විදියට කමෙන්ට් එකක් දැම්මත් ඇත්තටම මම ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

        අන්තිමට මම අහපු එක නම් ලේඛකයා වටහාගෙන නැහැ කියලයි මට හිතෙන්නෙ. සුළු සුළු දේවල් වටහාගැනීම ගැන නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මා ඇසුවෙ 2013 වනවිටත් මැඩම්ගෙන් ගේම ඉල්ලමින් සිටින බුද්ධශාසන ඇමතිට 2008 (හෝ 2007) තරම් අතීතයෙදි රනිල් එක්ක තිබුණු ගේම මොකක්ද කියල. (ශාසනයගෙ ජාතියෙ මිනිස්සු අවශ්‍ය තැනට එනකන් පය තියන්නෙ පරිස්සමින්.) මට කියන්න අවශ්‍ය වුනේ ලේඛකයගෙ කීබෝඩ් එක අස්සෙන් අපේ වර්තමානය කතාවට කාන්දු වෙනවය කියන එක. මොන හේතුවක් උඩ හෝ ඒ ප්‍රශ්නය ලේඛකයට පොඩි ආසාත්මිකතාවයක් ඇතිකළා වගේ.

      • @DDT,

        මේ වගේ සුළු කාරණා මා පැහැදිළි කර නොදී තේරුම් ගන්න තරම් බුද්ධියක් මගේ පාඨකයන්ට ඇතැයි මා විශ්වාස කරනවා. පැහැදිළි කර දුන්නාටත් පසුව එය තේරුම් ගන්න බැරි නම් කණගාටුයි. නිර්මාණකරුවාගේ කාර්යභාරය spoon feeding නෙවෙයි.

        අසාමිකත්වය ඇතිකලේ මගේ පාඨකයෝ මේ තරම් බුද්ධි මට්ටමින් පහළද කියන සිතිවිල්ල. හැමදෙනාම මෙහෙම නම් තව දුරටහ් මෙය ලිවීමේ පලක් නැහැ.

        – ලේඛක

      • DDT

         /  November 19, 2012

        මා ලේඛකයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවන බව පෙන්වා දුන් පසුත් ඔහු මේ ආකාරයෙන් වද වන්නේ ඇයි දැයි මට නම් නොවැටහේ. එහෙත් මගේ වැටහීම අනුව නම් ලේඛකයා තවමත් මා ඇසූ ප්‍රශ්නයේ අරුත වටහාගෙන නොමැති බව පෙනෙන්නට ඇත. ඔබ පැහැදිලි කළේ අනෙකක්, මා විමසුවේ තවත් දෙයක්. කෙසේවතුදු ඔබගෙන් ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් අපේක්‍ෂා නොකරමි.

        පැහැදිලිවම ලේඛකයාගෙ කාර්යභාරය වෙනකක්, ඒ පිළිබඳ ගැටළුවක් මට නොමැත. ඔබගෙ කමෙන්ටුවෙන් ගම්‍යවන පරිදි, සමනළ විප්ලවය උසස් බුද්ධිමට්ටමකින් හෙබියවුන් උදෙසා ලියවෙන මහාර්ඝ ප්‍රබන්දයක් බව මෙතෙක් මා නොදැන සිටියෙමි. ඔබ සඳහන් කරන බුද්ධිමත් පාඨකයාගෙ කුලකයට කිසිසේත් ඇතුලත් නොවන හෙන සාමාන්‍ය කොළුවකු වන මා නම් සමනළ විප්ලවයෙන් ලැබූයේ සරල රසාස්වාදයක් පමණක් වන අතර තව දුරටත් මේ කරුණ මත එල්බගෙන සිටීමේ අදහසක් නොමැති බව දන්වමින් නවතිමි.

        (සිංහල බ්ලොග් අවකාශය තුළ සිටි මා ඉතාමත් කැමත්තෙන් සිටි පුද්ගලයාටත් මේ චරිත ලක්‍ෂණ තිබූ බව මම දනිමි. එය වඩාත් තහවුරු වූ මෙවැනි අවස්ථාවක් උදාවීම පිළිබඳව මම සතුටුවෙමි. කොහොම උනත් අපේ අනෙක් උගත් බුද්ධිමත් පාඨකයොන්ට දැන් අපි දෙන්න ගැන මෙහෙම හිතෙන්නත් බැරි නෑ,

        කුප්පනු ලැබූ බුද්ධිමතෙක් හා කටවාචාල නූගත් කොළුවෙක්. 😀 😀 😀 )

      • Patakaya

         /  November 20, 2012

        😀 😛

  3. මේක ‘සාසනයා’ කියන එකකට වඩා ‘සාසනයා’ දිහා බාහිරින් බලන් ඉන්න කෙනෙක් තමන් සාසනයා කියල හිතන් ලිව්වා කියල තේරෙනවා, අනික දකුණේ ඌරුව ප්‍රතිනිර්මාණයත් කෘතිම යි. ඒ අතින් කතාව සාර්ථක නෑ.
    කතාව තව කොටස් කීයක් විතර යයිද? ඔහේ තැනින් තැනින් සිද්ධි refer කරලා මිසක් එකට එකක් ගැලපෙන කතාවක් තාමනම් පේන්න නෑ.

    Reply
    • @Hiranya,

      පොඩි අභියෝගයක් අරගෙන කතාව ලියන්නේ. දැන් කරන්නේ හරියට මාලෙකට මුතු එකතු කරනවා වගේ වැඩක්. තාමත් මුතු ඇට තියෙන්නෙ තනි තනිව. මුතු ඔක්කෝම එකතු වුණාම අන්තිම කථාංග පහ හෝ හය ඒවා අතරින් නූලක් යවන්ට භාවිතා කරන්නයි අදහස. බයවෙන්න එපා. කතාව ඈඳනවා ඈඳනවාමයි. නැතිනම් තනි තනි මුතු ඇට වලින් ඵලක් නැහැනෙ.

      – ලේඛකයා

      Reply
  4. ~Kasun~

     /  November 16, 2012

    1) ආයාසයකින් දකුණේ ගතියක් සාසනයට අරෝපනයකරන්න උත්සහ කරලා කියල පැහැදිලිව පේනව. මීට වඩා සුක්ෂමව ඒක පෙන්නන්න තිබ්බ.
    2) යෙස්‌ මිනිස්ටර් ලින්ක්ස් දාල ලේකඛයා වැඩේ අනාගත්ත වගේ මටනම් පේන්නේ.. බ්ලැක් ලේබල් ගහපු එකාට කසිප්පු බොනවා වගේ දැන් ලිපි කියවද්දී.. ඒත් ඉතින් යෙස්‌ මිනිස්ටර් ලින්ක්ස් දැම්මට බොහොම ස්තුතියි.
    3)ෆොන්සේකා ගැන මාතලන් කියපු දේමයි මටත් කියන්න තියෙන්නේ. 🙂

    ප.ලි

    Sir Humphreyගෙ මට්ටමේ අය ඇත්තටම ලංකාවේ ඉන්නවද?

    Reply
  5. Sujeewa

     /  November 16, 2012

    ලේඛකයා සාසනයා ගේ ටෝන් එකෙන් ලියන විට අනාගන්නා බව කලිනුත් කීවෙමි. මෙවරත් නොවෙනස් ව ඒ ස්වරය තියේ. සාසනයා මේ වගේ පට්ට විහිළුවක් නොවේ. එහෙත් ඌ කතා බැහැ කරන්නේ මෙයාකාරයෙනි. කටින් එලියට එන වචන වලින් ඌ ප්‍රතිනිර්මාණය කල විට මෙවැනි තත්වයක් උද්ගත විය හැක. සාසනයා එක්ක තියෙන පොදු මළ ඊට එකතු වීමෙන් තත්වය තවත් අවුල් වේ.

    මගේ මතය නම් ලේඛකයා සාසනයා මීට වඩා සීරියස් පොරක් කරගන්නේ නම් කතාවේ තාත්වික කම වැඩි වන බවයි.

    හිරන්‍ය කියන්නාක් වගේ දකුණේ ටෝන් එකත අසාර්ථකයි.

    කෙසේ වෙතත් ඉතාමත්ම වැදගත් දේශපාලන කරුණු පිරීගිය කතාංගයක්.

    Reply
  6. Jesse James

     /  November 16, 2012

    ඩේවිඩ් ඇක්සල්රෝඩ් ගේ කිට්ටු යාලුවෙක් ඔබාමා ගැන ලිව්වා වගේ 🙂

    Reply
  7. ranwala

     /  November 16, 2012

    ගායනය සහ තනුව කොයි හැටි වෙතත් පද රචනය නම් අපූරුය..

    Reply
  8. සුපිරිම ලියැවිල්ලක් නියමයි.
    ජයම වේවා …….
    එන්න සමකය වටේ රවුමක් යන්න

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: