(37) මං මුළා වූ සමනළියකගෙනි පාර අසා ඇත්තේ || It was just like that

කාලය: 2003  මුල හරිය, සමාන්තර විශ්වය. [චරිත්ට මහින්ද අංකල් හමුව මාස කිහිපයකට පසුව හා ත්සුනාමිය එන්ට අවුරුදු එක හමාරකට විතර කලින්]
ස්ථාන: කොළඹ, කටුනායක හා සිංගප්පුරුව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව )**********

මම උණුහුමට ආලෝක පුංජයක් වෙත ඇදී, ඉන්ම දැවෙන මෙරුවකු සේ තිරව, ප්‍රේමයෙන් වෙලී සිටියෙමි. සාමාන්‍ය මිනිසකුට බැලූ බැල්මට පෙනිය යුතු බොහෝ දේවල් මට නොපෙනුණේ එනිසා විය හැකිය.

බොහෝ කාලයකට පෙර මම සිතින් මිය ඇදුනෙමි. එසේ වුවද, මත නැතිව ගිය පසුද ඉතිරිවන හැන්ග්ඕවර් එකක් සේ  මගේ කය අරක්ගත් ආත්මය ජීවත් වූයේය. එය මගේ නොවේය සිතන්ට තරම් මගෙන් ඈත් වූවකි. ඊට උවමනා වූයේ දේවල් තුනකි. පළමුවැන්න බලයයි. දෙවැන්න ලිංගික සුවයයි. තෙවැන්න කීර්තියයි. මගේ ආත්මය ජීවත් වූයේ මේ තුන සඳහාය. මගේ දේශපාලන හා ව්‍යාපාරික ජීවිතයේ සකලවිධ ක්‍රියාකාරම්වල අවසාන ඉලක්ක වූයේ (ඉහත සඳහන් අනුපිළිවෙළටම) බලය, ලිංගික සුවය හා කීර්තියයි. මම මේ අසරුවන් තිදෙනාට කැමැති හැටියට පිටේ නැඟී යන්ට හැකි වූ තුරඟකු පමණක් වීමි.

මහීරා මේ සියල්ල වෙනස් කළාය. ඇය වේලී ඉරි තැළී ගිය කතරකට ගැලූ සුනිල් සිසිල් දිය දහරක් වූවාය. ඒ දිය දහරින් මා මළාය සිතා සිටි වියළි කාන්තාරයේ සැඟව සිටි ජීවය පිබිදුනේය. ඇය මට ජීවත්වන්ට අරුතක් ලබා දුන්නාය. අළුතින් හිතන්ට දෙයක් ලබා දුන්නාය. මම ඒ ගැන පෙර දවසක මෙසේ සටහන් කළෙමි.

“මේ හමුවෙන් පසු මා තුළ පෙර නොවූ විරූ ජවයක් ඇති බව මට වැටහිණි. මා රාජකාරි කටයුතු කළේ කවදාවත් නැති තරම් ප්‍රබෝධයෙනි. මිනිසුන්ගේ ප්‍රශ්න විසඳුවේ විසඳන්ට ඕනෑ නිසා නොව මා එසේ කිරීමෙන් තෘප්තියක් ලද නිසාය. පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම බඳු අන්තිම නීරස ක්‍රියාවන්හි නිරත වීමෙන් පවා මට තෘප්තියක් ලැබුණේය. කොටින්ම අන් කවදාවත් නැති විදියට මගේ වැදගත්කම මට ඒත්තු ගියේය. මා මෙතැන සිටින්නේ අන් කිසිවකුට නොහැකි යම් දෙයක් කරන්ටය. එය කිරීම මගේ තෘප්තිය විය යුතුය. මා ඉන් ආස්වාදයක් ලැබිය යුතුය.’

“මම විදුලි බල ක්ෂේත්‍රය ගැන ගැඹුරින් හදාරන්ටද පටන් ගතිමි. මා පටන් ගත්තේ ක්ෂුද්‍ර විදුලි බලාගාර වලිනි. ටික කලකින්ම මා එම ක්ෂේත්‍රයේ විශේෂඥයකු වනු මටම දැනුනේය. ඉන්පසු මම රටේ ප්‍රමුඛ විදුලිබල ප්‍රශ්න අධ්‍යයනයට නැඹුරු වීමි. දේශපාලකයකුගේ ඇසින් බලන විට මහා වියවුල් සේ පෙනෙන මේ ගැටළු අප හිතනවාට වඩා බෙහෙවින් සරල ඒවා බව මට අවබෝධ විය. මේවා අවුල් කරන්නේ නිලධරයින් හා ඉංජිනේරුවන්ය. හේතු කිහිපයක් නිසාය. එක- ප්‍රශ්න ප්‍රශ්න හැටියට තිබීම ඔවුන්ට වාසිය. එවිට ඔවුන්ගේ අගය වැඩි වේ. ඇමැතිවරයාට ඔවුන් නැතිවම බැරිවේ. දෙක – නිලධර පැලැන්තිය කොහොමටත් වෙනස් ලෙස සිතන්ට ඇකැමැත්තෝය. සුද්දාගේ කාලයේ සිට පවත්වාගෙන ආ රෙකුලාසි, ක්‍රමවේද එසේම පවත්වා ගන්ට ඔවුන් වඩා කැමැතිය. තුන – අවශ්‍ය නැතිකම. ප්‍රශ්නයක් විසඳනවාට නිලධරයකුට අමුතුවෙන් කිසිවක් නොලැබේ. මගේ අළුත් දැනුම මම වසර ගණන් නොවිසඳී තිබුණු ගැටළු විසඳීමට යොදා ගතිමි. මේ නිසා මම සේවක පිරිස – විශේෂයෙන්ම පහළ මට්ටම් වල සේවක පිරිස අතර යම් ගෞරවයක් දිනා ගතිමි.’

“මගේ මේ වෙනසෙහි උල්පත මහීරාය කියන්ට මම මොහොතකුදු මැළි නොවෙමි.”

සංගීතය යනු අල්ලා ගන්ට ඔහේ වැටෙන දෙයක් මිස තෝරාගෙන අසන්ට දෙයක් නොවන බව එතෙක් විශ්වාස කළ මගේ කණට ඇය අමරදේවගේ, ගුණදාස කපුගේගේ, වික්ටර් රත්නායකගේ, නන්දා මාලිනියගේ ගී අහන්ට පුරුදු කළාය.

පාළු අඳුරු නිල් අහස මමයි – ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන – බලාපොරොත්තුව පැතුම ඇයයි

අසාර වූ මහ පොළොව මමයි – ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නළවන – සදාකාලික වූ සැපත ඇයයි

කැලෑව මැද කටු පැදුර මමයි – පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන – අඳුරු වේදනා කැටිය ඇයයි

අපේ ආදර කතාව කෙටිය. තව දුර යන්ට මත්තෙන් මම එය කොටසින් කොටස සකසන්ට කැමැත්තෙමි. ඒ ඇයිද ඔබට තව මොහොතෙකින් වැටහෙනු ඇත්තේය.

මහීරා-වික්ටර් පෙම් පුවත

  1. අසම්මතයේ පෙම්වතුන් අපි
  2. මගේ අසම්මත ආදර කතාවේ දෙවන පරිච්ඡේදය
  3. ඇය මගේ ඇඳට ආවාය
  4. නිරුවතින් දිය නෑ සමනළිය
  5. චරිත්ට පුංචි අම්මා කෙනෙක්!

මම ඊයේ උදෑසන මහීරා නීත්‍යානුකූලව විවාහ කර ගතිමි.

මේ මෙතෙක් ඉක්මණින් වන්ට තිබුණු විවාහයක් නොවේ. ඇය විවාහ කර ගනිම්දෝ නොගනිම්දෝ දෙගිඩියාව මේ වන විට පහව ගොස් තිබුණද එතරම් ඉක්මණින් ඇය මගේ නීත්‍යානුකූල භර්යාව කර ගැනීමේ අදහසක් මට නොවීය. කොටින්ම මා මේ ගැන අම්මා හෝ අක්කලා සමඟවත් කතා කොට නොතිබිණි. මගේ අදහස වූයේ මේ හැම දෙයක්ම නිවී සැනසිල්ලේ කරන්ටය. සියල්ලට කලින් ඇය සිංගප්පූරුවට ගෙන ගොස් සතියක් පමණ නිවී සැනසිල්ලේ pre-marriage honeymoon එකක් විඳින්ට මට ඕනෑ විය.

“අපි බඳින්නෙ නැතුව එහෙම යන එක හරි නෑනෙ…”

ගමනට දින හතරක් තියා ඇය කීවාය. ඉතාම උනන්දුවෙන් සිංගප්පුරු යන්ට සූදානම් වෙමින් සිටි ඇය ඒ වනතුරු කිසිම අවස්ථාවක එවැන්නක් කියා නොතිබුණු හෙයින් මම විස්මය පත්වීමි.

“ඒක හරි කතාවක්නෙ. එතෙකොට අපි ගිය සතියෙ නුවරඑළි ගියේ? ඒ ගියෙත් බැඳලයැ….?”

“ඒ මේ රටේ ඇතුළෙනෙ…”

“මොකද්ද රට ඇතුළෙයි පිටතයි කියල ඇති වෙනස…? ඔයාට මාව විශ්වාස නම් මට ඔයාව විශ්වාස නම් එච්චරයි…”

“අපි එහෙම හිතුවට හැමෝම එහෙම හිතන්නෙ නැහැනෙ…”

ඇය කියන දෙයෙහි එක්තරා මට්ටමකට සත්‍යයක් ඇතැයි මටද සිතුණේය. රට තුළ සංචාරයකදී එය දැන ගන්නා පිරිස අවමය. එහෙත් රටින් පිට යාම වෙනස්ය. වැඩි පිරිසක් එය අනිවාර්යයෙන්ම දැන ගනිති. මා කෙසේ වෙතත් ඇය ඒ සියල්ලන්ටම මුහුණ දිය යුතුය. නැතිනම් ඇයට වන්නේ දේශපාලකයකුගේ අනියම් භාර්යාව කියන ලේබලය අලවා ගන්ටය.

ඇත්තටම මට ගන්ට ලොකු තීරණයක් තිබුණේ නැත. මම ඇය කොහොමත් විවාහ කර ගන්ට සිටියෙමි. මා කළේ ඒ තීරණය ඉදිරියට ගැනීම පමණෙකි.

විශේෂ අවසරයකින් මා මහීරා මගේ භාර්යාව ලෙස ජීවිතයට එක් කර ගන්නා අවස්ථාවට එක් වූයේ අතිශය සීමිත පිරිසකි. අඩු තරමින් ඇගේ මව පියා හෝ සොහොයුරිය වත් ඊට එක් නොවූවෝය. ඔවුන්ට ආරංචිය කීම පමණක් මේ අවස්ථාවේදී ප්‍රමාණවත්ය අපි කල්පනා කළෙමු. මගේ අම්මා නම් අඩු තරමින් මා විවාහ වන බව වත් දැන නොසිටියාය. එනිසාම මම එය පුතා චරිත්ගෙන්ද සැඟැවීමි. අපට එක් වූයේ මගේ කිට්ටුම මිතුරන් තිදෙනකු පමණෙකි. ඉන් එකකු සාක්කියට අත්සන් කරන්ටය. ඉතිරි සාක්කිය මගේ රියැදුරාය.

නොබෝ කලකින්ම සියළුදෙනාටම බැරිනම් අත්‍යාවශ්‍ය කිහිපදෙනකුටවත් දන්නා අපේ විවාහය චාරිත්‍රානුකූලව ගන්ට මම සිතා ගතිමි. ඇරත් එය අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. කවුරුත් මඟුල් කා සමරන්නේ පළමු විවාහයයි. දෙවැන්න නොවේ.

සිංගප්පුරුවට අපට SriLankan Airlines ෆ්ලයිට් එක තිබුණේ මැදියමට පැය භාගයකට පමණ පසුවය. එනිසා සවස් වරුවෙහි ඇය වෙහෙස කරන්ට මට අවශ්‍ය නොවීය. මා ඇය කැටුව දෙල්කඳ නිවසට ගියේ පැය කිහිපයක විවේකයකටයි. එහෙත් ඇය ඒ කෙටි කාලය තුළ නිවස අතු ගා අස් පස් කළාය. මගේ බඩු කිසිවකු විසින් හෝ අදිනවාට නොකැමැති වුවද මම ඇයට ඉඩ දුනිමි. මේ අප දෙදෙනා සැබැවින්ම එකකු වූ මුල් දිනයයි. එදින ඇය සතුටින් තියන්ට මම හැම උත්සාහයක්ම ගතිමි.

ගුවන් ගමන ගැන මට කාරණා දෙකක් මතකය.

එක – ගුවන් තොටුපළේදී ඇය අස්වාභාවික ලෙස ජංගම දුරකථනයේම එල්ලී සිටි බවය. මෙය සාමාන්‍යයෙන් ඇගේ සිරිත නොවේ. ජීවිතයේ පළමු වතාවට පිට රටකට යන්ට සූදානම් වන හෙයින් ඇය දෙමාපියන්ට හා සොහොයුරියට කතා කරන්නේය මට සිතුණේය. ඇය හැම විටම කතා කළේ මට නොඇසෙන දුරකින් සිට වුවද මට ඒ ගැන සැකයක් හිතන්ට අවශ්‍යතාවයක් නොවීය.

දෙක – බලාපොරොත්තු නොවූ ලෙස මා ගුවන් යානයෙහිදී ගිලන් වූ බවයි. මට ගුවන් ගමන් පුරුදුය. එහෙත් එදින කවර හෝ හේතුවක් නිසා මට ගමන පටන් ගත් තැන සිටම වමනය එන්ට පටන් ගත්තේය. සමහර විට කලින් දින කිහිපය දැඩි ආතතියකින් ගතකළ නිසා වන්ට පිළිවන. සිංගප්පුරුවට වූ පැය තුනහමාරක ගුවන් කාලයක් තුළ මම පස් වතාවක් වත් වමනය කළෙමි. ඇය කුඩා දරුවකු බලා ගන්නා මවක මෙන් මට සහාය වූ බවද සඳහන් කළ යුතුය. කෙසේ වුවද ගොඩ බෑ පසු මගේ තත්ත්වය යහපත් අතට හැරුණේය. ගමන් වෙහෙස නිසා අපි දහය පමණ වනතුරු නිදා ගතිමු.

මුහුණ කට දොවා, උදය ආහාරය ගෙන අප පළමු පශ්චාත් වෛවාහික රමණයට එක් වන විට එකොළහමාර හෝ දොළහ පමණ වන්ට ඇත. ලංකාවේ වෙලාව ඊට පැය දෙකහමාරකට කලින්ය.

රමණය හැර අපට සිංගප්පුරුවේ කරන්ට වෙන වැඩක් තිබුණේම නැද්දැයි දැන් කෙනකු අසන්ට පිළිවන. ඕනෑ තරම් තියෙන්ට ඇත. නමුත් මහීරා බඳු නාඹර රණ හංසියකද, නීල මහා යෝධයාගේ යගදාව සේ ප්‍රාණවත් වූ ශිශ්නයක්ද ඇතිව කාමරයක තනිවන ඕනෑම පිරිමියකුට අන් සියල්ලට පළමු රමණය මතක් නොවන්නේ නම් එය අස්වාභාවිකය සිතමි. රත් වූ යකඩය දකින ආචාරියා උඩ පැන පැන එය තළන්ට පටන් ගනියි.

මේ රමණය මෙසේ තනි වැකියෙකින් දැක්වීම එයට කරන අසාධාරණයකි. එය එතරම්ම සුන්දරය. මහීරා හැසිරුණේ මගේ සිතැඟි අකුරක් අකුරක් නෑර දැන ඊට අනුකූලවය. ඇගේ උණුහුම් දිවා ගුහාව, මගේම සිලිලාරේ සීතලෙන් පිරී ගොස් මටම දැනෙන විට මම ලෝකයේ මට අපූරුවටම ගැළපෙන මනාලිය සොයා ගෙන ඇතිය මම ආඩම්බර වීමි. ඒ තව පැය කිහිපයකින් වන්ට යන දේ ගැන හාංකවිසියක් නොදැනය.

රමණයෙහි මා කෙතෙක් උද්‍යෝගයෙන් නියැළුනේද යත් එය අවසාන වූයේ මට නැති නිදිමතක්ද එක් කරමිනි. කොහොමටත් මගේ සැලසුම වූයේ රෑට Orchard Road එක පැත්තේ යන්ටයි. සිංගප්පුරුව රාත්‍රී නගරයකි. දහවල කුසීතව නිදන එය නිඳි ගැට හැර, කම්මැලි කමක් නැතිව නැඟිටින්නේ රෑටය. මෙනිසා යළි කෙටි නින්දක් නිදන්ට මම කල්පනා කළෙමි.

මා පැයක් පමණ හොඳින් නිදන්ට ඇත. ඉන්පසු නින්දට බාධා ඇති වූයේ මහීරා කිසිවකුට දුරකථන කරන හඬිනි. ඇය කඩින් කඩ මිනිත්තු පහළවක් විස්සක් කතා කරන්ට ඇත. ඒද සමහර විට උස් හඬෙකිනි. මුලින් මා මෙය ගණනකට නොගත්තද පසුව කොතැනක හෝ යමක් වැරදී ඇති බව මට හැඟෙන්ට විය.

මම සයනයෙහිම වැතිර යාන්තමට ඇස් හැර ඇය දෙස බලා සිටියෙමි.

ඇය එක් ඇමැතුමක් නිමා කරයි. ගැටළු සහගත මුහුණින් කවුළුවෙන් එපිට බලා සිටී. ඇස් වල කඳුළු පිරිලාය. එක් කඳුළු බිඳක් ඇගේ කොපුල ඔස්සේ ඇද හැළේ. ඇයට මා එහි සිටින බව වගක් වත් නැති සේය. ඇය යළි දුරකථනයෙහි අංකයක් ඔබයි. කතා කරන්නේ මට ශබ්දය ඇසෙන එහෙත් කිසිවක් නොවැටහෙන හඬිනි. අනෙක් පැත්තෙන් කියන කිසිවක් මට නොඇසෙයි. මිනිත්තු කිහිපයකට පසු ඇය රිසීවරය තබා යළි පරණ බැල්මම ඇතිව ඈත බලා සිටියි.

“මහීරා…” මම කතා කරමි.

පිළිතුරක් නැත. ඇය ඉරියව් වෙනස් නොකර ඔහේ බලා හිඳියි.

“මහීරා, ඇයි ප්‍රශ්නයක්ද…?”

මා ඇගෙන් බලාපොරොත්තු වූයේ “නෑ, මොකුත් නෑ” වැනි පිළිතුරකි. එහෙත් ඇය එසේය කියන්ට හිස සලයි.

මම ඇඳ උඩ වාඩි වෙමි.

“ඇයි මොකද්ද ප්‍රශ්නෙ? කවුද ඒ කතා කළේ…?”

“මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්…!”

ඇය එය කියූ අපූරුව!

සාම්ප්‍රදායික නවකතාවකදී නම් මෙතැනදී විය යුත්තේ මා කෝපයෙන් දැවී ඇගේ කම්මුලට ගැසීමය. ඊයේ විවාපත් වූ තමන්ගේ පෙම්වතිය තවත් පෙම්වතකු ගැන කතා කරන විට ස්වාමි පුරුෂයකු හැසිරිය යුත්තේ එසේය. එහෙත් මම ඒ සාම්ප්‍රාදායික ස්වාමි පුරුෂයා නොවෙමි. ඇරත් මහීරාගේ පොඩි පොඩි සම්බන්ධකම් ගැන මට වටින් ගොඩින් ආරංචි වී තිබුණේය. මා ඇය විවාපත් කර ගත්තේ ඒ සියල්ල දැන, ඒ සියල්ල ඉවසමින්, මා හා විවාහ වන්ට පෙර නැතොත් වූවාට පසුව වත් ඒවා නතර වේය යන අවංක චේතනාවෙනි. නමුත් මේ පැටැලැවිලි තවම ලිහී නැති බවය පෙනෙන්නේ.

“මහීරා, තමුසෙට පිස්සුද…?”

ඇය මගේ උරහිස බදාගෙන වැලහින්නක සේ අඬන්ට පටන් ගත්තාය. මා නිහඬව සිටියේ කළ යුතු කුමක්ද සිතා ගත නොහැකි වූ හෙයිනි. පුදුමයකට මෙන් ඇය කෙරෙහි ක්‍රෝධයක් වෙනුවට මට වඩාත් ඇති වූයේ අප සිටින ස්ථානය හා පරිසරය අනුව කාරණා වඩා සංකීර්ණ වුණොත් විසඳා ගන්නේ කෙසේද යන බියයි.

ඇය කතා කළේ, මට දීර්ඝව හැඟුණු, එහෙත් සැබැවින්ම කෙටි කාලයකට පසුවය.

“…මං ඇත්තටම ඔයාට කියන්නමයි හිටියෙ…(ඉහි ඉහි) මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා…මං දන්නව මං කළ වැඩේ වැරදියි කියලා (ඉහි ඉහි)…මගේ වරදින් තමයි මේවා මෙහෙම වුණේ…මං ඔයා එක්ක මෙහෙම ආපු එක වැරදියි මට බෝයි කෙනෙක් ඉන්න කොට (ඉහි ඉහි)…”

මා ඇයට පහර නොදෙන්නේ මා එසේ කළහොත් මේ පරිච්ඡේදය කොතැනකින් නතර වේද නොදන්නා නිසාය. ඊට හරියන්ට මම ඇඳට පයින් ගසමි. ඇඳට නොරිදෙයි. මගේ කකුලම රිදෙයි. මෙවන් මොහොතක වේදනාව දැනෙන එක හොඳය. එනිසා යම් පමණෙකට කෝපය පහව යයි.

“තමුසෙට මොළයක් කියලා නාමයක් නැද්ද ඕයි…දකින දකින එකා එක්ක බුදිය ගෙන…” මා නතර වන්නේ මේ මැට්ටියට තවත් බැණ ඵලක් නැති නිසාය. මා බැන්නාය කියා කිසිම දෙයක් නිවැරදි නොවේ.

“තමුසෙට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බෑනෙ….තමුසෙ දැන් බැඳපු ගෑනියෙක්. කෝ ඔය පරයා ගන්නවා ෆෝන් එකට…මම කියන්න…”

“මට බෑ…මම එයාට…ආ..ද..රෙ..යි…”

“මොකද්ද බැල්ලියෙ, උඹ මට කළේ එහෙනම්…?”

“ඔයාව හම්බ වෙන්නත් කලින් මම එයාව දැන ගෙන හිටියෙ (ඉහි ඉහි) එයා මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ…අනෙක ඔයාට මාව හැමදාමත් බලාගන්න බැහැනෙ…”

“මාව හම්බ වෙන්නත් කලින්…?”

“ඔව්, එයාව පිටසක්වළින් එව්වෙ. (ඉහි ඉහි) මට වෙන බඳින්ඩ කෙනෙක් මේ ලෝකෙ නැති වෙන නිසා (ඉහි ඉහි) ….”

කාලයකින් ඇය ඒ ගැන සඳහනක් නොකළ නිසා මා සිතා සිටියේ මේ පිටසක්වළ පිස්සුව අහවර වී ඇතැයි කියාය. මින් පෙනෙන්නේ එය තවම නිමා නොවූ බවය.

මේ සඳහනත් සමඟ මට එතෙක් මොනම අවස්ථාවකවත් නොපෙණුනු යමක් ගුවන් යානයක් ගොඩ බසින විට ටිකෙන් ටික පැහැදිළිව පෙනෙන පොළොව මෙන් පෙනෙන්ට පටන් ගනියි. මහීරා සාමාන්‍ය ගැහැනියක නොව යම් මානසික රෝගයකින් පෙළෙන්නියකි. ඇගේ විශේෂත්වය මෙය ඉතාම දක්ෂ ලෙස බාහිර ලෝකයෙන් වසන් කර තබා ගැනීමයි. බාහිර ලෝකයට ඇය පෙනෙන්නේ සාමාන්‍ය ගැහැනියක ලෙසය. නමුත් ඇයට ඊට වඩා ළංවූ මා ඇය ගැන මීට වඩා දැන ගත යුතුව තිබුණේය. ඇය තමන් කරන ක්‍රියාවන්හි වගකීමක් නොදරන්නියකි. අනුන් බොරුවෙන් අන්දනවා මදිවාට ඇය, එය කරන්නේද ඉතාම මෝඩ, අහුවෙන විදියටය. මේ ඇයගේ ස්වභාවයයි. දුර දිග සිතා බලා කටයුතු කළ යුතුව තිබුණේ මාය.

විවාහ නොවී සිටියා නම් මා කරන්නේ මේ සක්කරවට්ටමට ඕනෑ කුදයක් ගහ ගන්ට කියා ඒ අවස්ථාවේදීම හෝටලය මාරු කිරීමයි. එහෙත් දැන් මට ඒ වරණය නැත. ඇය මගේ විවාහක භාර්යාවයි. ඇයට සිදුවන යම් දෙයක් ගැන මාද වගකීම දැරිය යුතුය.

“තමුසෙට කටක් තිබුණෙ නැද්ද ඕයි, ඕක කලින් කියන්න…?” මම අසමි.

ඇය හිස් බැල්මෙන් මා දෙස බලා සිටියි.

ඇය තමන්ගේ පෙම්වතාය කියන අහිංසකයා ගැන මම කල්පනා කරමි. ඇය ඔහුට සැබැවින්ම ආදරය කරතැයි මම මොහොතකටවත් නොසිතමි. ඇයට අවශ්‍ය වූයේ අප දෙදෙනාම භාවිතා කරමින් ඩබල් ගේම් එකක් ප්ලේ කරන්ට විය හැකිය. නැතිනම් ඇය මා හා විවාහ වන්නේ වත්, යහනේදී මා උපරිම තෘප්තියක් ලබන පරිදි හැසිරෙන්නේවත් නැත. අප දෙදෙනාම ඇගේ දාම් ලෑල්ලේ ඉත්තෝය. ඇය මේ ඩබල් ගේම් එක දැන දැනම ප්ලේ කළාද, නැතිනම් ඇගේ මානසික ව්‍යාකූලතා නිසා එතැනට එළඹියාද මම තීරණය කරන්ට නොයමි. කොතැනකදී හෝ ඇය බලාපොරොත්තු වූ ලෙසින් කාරණා සිදු නොවූයේය. දැන් ඇයට ඔහු අතහැර දමන්ට බැරි හේතුවක් ඇතිවා වන්ට පිළිවන. සිදුව ඇති කිසිවක් මට වෙනස් කරන්ට නුපුළුවන. දැන් අවශ්‍ය වන්නේ මේ වැටුණු වළෙන් ගොඩ එන  ප්ලෑන් එකකි.

“මට තමුසෙව බලෙන් අල්ලගෙන ඉන්න ඕනැ නැහැ. කැමැති දෙයක් කරනවා…” මම අවසානයේ කියමි. ඇගේ ඇස් දීප්තිමත් වෙයි.

මේ වන විට මගේ කෝපය සම්පූර්ණයෙන්ම වාගේ නිවී අවසානය. මට දැන් ඇත්තේ මේ මානසික රෝගිනිය හැකිතාක් ඉක්මණින් මගේ ජීවිතයෙන් ඈත්කොට මගේ ජීවිතය නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවයි.

“එයා කලබල වෙලා ඉන්නෙ අපි බැන්දයි කියල දැනගෙන. සර්ට බැරිද එයාට කියන්න එහෙම දෙයක් වුණේ නෑ කියලා…”

“මං මොකටද බොරු කියන්නෙ….?”

ඇය ආයාචනාත්මක බැල්මෙන් මා දෙස බලයි. ළිඳේ වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය. මේ අප්‍රසන්න පරිච්ඡේදය නිමා කරන්ට ඕනෑම දෙයක් මවිසින් කරන්ට සූදානම් අවස්ථාවකි මේ.

“හා හා අර ගන්නවා ෆෝන් එක. මම කියන්නම්…”

ඇය ඔහුට දුරකථන කළද ඇගේ ‘පෙම්වතා’ මට කතා කරන්ට බිය වන්නාක් සේය. මෙය ඉක්මණින් ඉවර කළ යුතුය. මම රිසීවරය උදුරා ගනිමි.

“කවුද ඔය? මේ වික්ටර් බණ්ඩාර…”

අනෙක් පැත්තෙන් තත්පර කිහිපයක නිහැඬියාවකි. ඉන්පසු බයාදු කට හඬකි.

“අනේ, සර්. මට සමා වෙන්න සර්. මහීරා සර් ගැන කියල තිබුණට මේ වගේ කිට්ටු සම්බන්ධයක් තිබුණාය කියල මම දැන ගෙන හිටියෙ නෑ. මට මහීරා කියලා තියෙනවා සර් එයාට හුඟාක් උදව් කළා කියලා රස්සාවක් හොයා ගන්න හෙමත්…”

“අයිසෙ, මේ අහනවා…”

“…..සර්, මගේ එයා ගැන බලාපොරොත්තුවක් තිබුණා තමයි, ඒත් ඒ සර්ගෙ බලාපොරොත්තු ගැන නොදැන. දැන් මගේ එහෙම දෙයක් නෑ සර්. අනේ සර් මම ඇත්තටම දැන ගෙන හිටියෙ නෑ සර් මහීරා බඳින්න කියලා ආශ්‍රය  කළේ… අම්මාපල්ලා මට එහෙම දෙයක් කරන්න ඕනැ වුනේ නෑ සර්. සර් මං ගැන වැරදියට හිතන්න එපා. ..”

“පොඩ්ඩක් මේක අහනවා…”

“සර්…?”

“මල්ලි, ඔයා ඔය වල්ගෙ පාගාගෙනනෙ කතා කරන්නෙ. මං මහීරා බැන්ද එකක් නෑ. මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ….”

“…නෑ සර්…”

“…පොඩ්ඩක් මේක අහ ගන්නවා. මහීර තමුසෙගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නම් මං ඒකට බාධා කරන්න ආවෙ නෑ. ඒක මට මහීරා කියලා තිබුනෙත් නෑ…”

“සර්, ඒත් මහීරා බැන්දය කිව්වෙ….?”

“නෑ එහෙම එකක් නෑ. ඒක බොරුවක්…”

“…සර් මං වෙනුවෙන්…”

“පොඩ්ඩක් ඕක නතර කරලා කියන එක අහනවා…”

මේ වන විට මා කරන දෙය පියවරින් පියවර තීරණය කර අවසානය.

“ඔයා කොහෙද මල්ලි දැන් ඉන්නෙ…?”

“…සර්, ලංකාවෙ…”

“ඔව්, ලංකාවෙ තමයි. ලංකාවෙ කොහේද ඉන්නෙ…”

“සර්. කඩවත…”

“ආ, එහෙනම් වැඩි කරදරයක් නෑ. තමුසෙට පුළුවන්ද හෙට උදෙන්ම – උදෙන්ම කියන්නෙ පුළුවන් තරම් උදෙන් කටුනායක එයාපෝට් එකට එන්න…?”

“සර්…?”

“ඔයාට පුළුවන්ද හෙට පුළුවන් තරම් උදෙන් කටුනායක එයාපෝට් එකට එන්න…?”

“පුළුවන් වෙයි සර්…”

“ආ එහෙමනම් ඇවිල්ලා තමුන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් අර ගන්නවා…හරිද? තේරුණාද? හෙට කියන්නෙ දාහත් වැනිදා, සෙනසුරාදා හරි…?”

“ඔව් සර්…ඒත්…”

ඔහු වෙනත් යමක් කියන්ට පළමු මම ලයින් එක විසන්ධි කරමි. “මේකි මට කළ දේ කවද හරි තමුසෙටත් කරනවා තමයි ඕයි” මට කියන්ටත් හිතුණේය. එහෙත් මම කරදර නොවීමි. තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපයා ගත යුතුය. ඇරත් එසේ කීම මගේ හිතේ තියෙන ප්ලෑන් එකට බාධාවකි.

“දැන් බෑග් එක අස් කරගෙන යන්න ලැහැස්ති වෙනවා…” මම මහීරාට කියමි. ඇය විස්මය පත්ව මා දෙස බලයි.

“අපි යනවද සර්…?”

“අපි යන්නෙ නෑ. තමුසෙ යනවා. මම ඉන්නවා…තමුසෙව එක්ක ගෙන යන්න බෝයි ෆ්‍රෙන්ඩ් කටුනායකට එයි…”

ඇය නිහඬව ඇඳුම් පැක් කරන්ට පටන් ගනියි. ඇය ආවේ ගෙදර සිට නිසා ඇඳුම් ගෙනාවේ වෙනම බෑග් එකකය. වැඩිය එළියට නොගත් නිසා නැවත අසුරන්ටද අමාරුවක් නොවේ. මේ ඇයටද බලාපොරොත්තු විය හැකි හොඳම විසඳුම නොවේද?

දීර්ඝ කතාවක් කෙටි කොට කියන්නේ නම් කරදරයකින් තොරව ඇය ආපසු ලංකාවට ‘පටවන්ට’ මට හැකි වූ බව කිව යුතුය. හැම රාත්‍රියකම අඩුම වශයෙන් ගුවන් සේවා තුනක් – Singapore Airlines, SriLankan Airlines හා Cathay Pacific සිංගප්පුරුවේ සිට කොළඹ දක්වා පියාසර කරයි. අවශ්‍ය වූයේ නම් මේ කවරක හෝ Business class  හෝ ගෙවා හෝ ඇය නැවත ලංකාවට යවන්ට මට අවශ්‍යව තිබුනේය. එවිට මා මේ සියල්ලෙන් නිදහස්ය. ලොකු කරදරයක් නොවූයේ අප පැමිණි SriLankan Airlines හිම Economy class සීට් ඉතිරි වී තිබුණු හෙයිනි. දින වෙනසට මට සිං ඩොලර්ස් 100ක් ගෙවන්ට විය. මම එය ඉතා කැමැත්තෙන් ගෙවීමි. මගේ නිදහස මෙතරම් ලාභ බැව් මම නොසිතුවෙමි.

ඇගේ ගමන් මළු සිකියුරිටි චෙක් පොයින්ට් එක දක්වා ගෙන ගොස් දෙන්ට තරම් මම කාරුණික වීමි. මෙතැනින් එපිටට මට යා නොහැකිය.

“මේ මට තව පොඩි උදව්වක් කරනවද…?” ඇය මුකුළු වෙන්ට පටන් ගනියි.

“මොකද්ද…?” මම තරහින් අසමි.

“ඔයා ගාව තියේ නම් මට රුපියල් දෙදාහක් විතර දෙනවද…?”

මේ පඳුරියගේ ලජ්ජා නැතිකමේ තරම! ඇය මා මැසිවිලි නොනඟා ටිකට් එකේ දින වෙනසට සල්ලි ගෙවනු දුටුවාය.

“ඒ මොකටද…?”

“මට එයාපෝට් එකේ ඉඳන් ගෙදර යන්න සල්ලි නෑ…”

“ඉතින් අරය එයිනෙ එක්ක යන්න…”

“එයා ගාවත් සල්ලි නෑ. නැත්නම් මට බස් එකේ යන්න තමයි වෙන්නෙ…”

මම ජීවිතයේ කිසි දිනෙක මුදලට ලොල් නොවූයෙමි. කෙනකුට උදව්වක් වශයෙන් මුදලක් දීම මට මහා ලොකු දෙයක් නොවේ. මම ඇයට සිං ඩොලර් පනහේ නෝට්ටුවක් දෙමි.

“මං ගාව රුපියල් නැහැ. කටුනායකදි මාරු කර ගන්න…”

ඇය එය අතේ ගුළි කර ගනියි.

මා බලාපොරොත්තු නොවූ ලෙස ඇය වෙන් වන්ට පළමුව මා ඉදිරියේ වැඳ වැටුනාය. ඒ මට මතක හැටියට ඇය මට වැන්ද පළමු අවස්ථාවයි. කඳුළු බිඳු කිහිපයක් ඇගේ දෙකොපුල් හරහා ගලා යයි. “හොඳයි ගිහින් එන්න.” වැනි යමක් මගෙ කියැවෙතැයි ඇය අපේක්ෂා කළා විය හැකිය. මම කිසිවක් නොකියමි.

මා බැහැරව යන්නේ ඇය විගමන කවුන්ටරය හරහා ගමන් කළ පසුය. එතැනින් එපිට ඇයට වන කිසිවකට මගේ වගකීමක් නොවේ. කටුනායකට යන තෙක් SriLankan Airlines ගුවන් සමාගම ඇය රැක ගනු ඇත්තේය. (අනේ ප්ලේන් එක කඩා වැටුණ නම් කොයිතරම් දෙයක්ද? මගේ ඔක්කෝම ප්‍රශ්න ඉවරයි.) එතැන් සිට ඇගේ පෙම්වතා ඇය භාර ගනු ඇත. මට ඔහු ගැන දුක හිතෙයි. මැය ඔහුද ගත හැකි සියළු සාරය ගන්ට පුළුවන් තරම් ගෙන හපය විසි කර දමනු ඇත්තේය. ඒත් මං මොනවා කරන්නද? එයාම ඉල්ලලා කරේ දාගත්තු දහිර වාට්ටුවක් වෙන්න ඇතිනෙ.

මම පිටත් වීමේ පර්යන්තයෙන් පිටට විත් ටැක්සියකට ගොඩ වෙමි.

“Where to sir….?” රියැදුරා අසයි.

“Take me to Orchard Road…”

“Where in Orchard road….?”

“Just drop me in front of the Paragon. I can find my way from there…”

සිංගප්පුරුවේ මසාජ් පාලර් සාමාන්‍යයෙන් වසන්නේ රැය මැදියමටය. මට තව පැය දෙකක් තියේ.

.

.

(ඉවසන්න………………………සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

12 Comments

  1. DDT

     /  November 19, 2012

    හ්ම් … තාවකාලික නැවතීමක් වගේ. ඔච්චර ලේසියෙන් ඇයගෙන් ගැලවෙන්න පුළුවන්වෙයි කියල මම හිතන්නෙ නෑ.

    Reply
  2. රසිකයා

     /  November 19, 2012

    මෙයා ලිඳේද?

    Reply
  3. Tin Man

     /  November 19, 2012

    //ඇගේ උණුහුම් දිවා ගුහාව// LOL!

    Reply
  4. Sujeewa

     /  November 19, 2012

    ලේඛකයා මේක නියමයි. මේ කතාවේ ඔබ නිර්මාණය කළ සංකීර්ණම චරිතයක්. සුබ පැතුම්.

    මහීරා අපෙන් වෙන් වී නොයනු ඇතිය යන්න මගේ විශ්වාසයයි. රමණය මෙන් වැකි කීපයකින් ඩිවෝසයක් කරගත නොහේ.

    Reply
  5. Anonymous

     /  November 19, 2012

    I think she is going to request a large compensation for giving divorce. Otherwise why on the earth she wanted to marry Victor at the last minute.

    Reply
  6. හිරු

     /  November 19, 2012

    ලියවිල්ලකට මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න පුළුවන් අපූරුව..

    බඳින්න කලින් මහීරාගේ මානසික රෝගය හිනා වෙලා අමතක කරන්න පුළුවන් වෙච්ච වික්ටර්ට විවාහ සහතිකය අත්සන් කරන්නම උනා මෙයා මානසික රෝගියෙක් කියලා තේරුම් ගන්න…. හි හි..

    Reply
  7. ~Kasun~

     /  November 19, 2012

    සිංහල වැල පත්තරයක් බැලුව වගේ.. 😀

    Reply
    • DDT

       /  November 19, 2012

      ඊට ටිකක් ඇඩ්වාන්ස් නේද? ශ්‍රී ලාංකික මුහුණුවරත් සැලකිල්ලට අරගෙනම නවගත්තේගමගෙ සුද්දිලාගෙ කතාවෙ නිව් වර්ෂන් එක වගේ කියල කියන්න පුළුවන්.

      Reply
      • ~Kasun~

         /  November 20, 2012

        ඒ කියන්නේ සිංහල වැල පත්තරයක නිව් වර්ෂන් එක වගේ කියලද.. ?? 😀
        ලේඛකයාටත් සයිමන් වගේ හැට පැනල හොට බිම ඇනිල ඉන්න කාලෙක සුද්දිලාගේ කතාව වගේ එකක් ලියන්න සුදුසුකම් තියෙනවා කියලද තමුන්නැහේ කියන්නේ. ??? 😀

      • DDT

         /  November 20, 2012

        😀

        අම්මෝ …. ලේඛකයත් එක්ක ඔය වගේ විහිළු කරන එක, මම ‘මහින්ද-ධර්ම-පූජා මැඩම් අතින් පිටිදූවේ සිරිධම්ම හිමියන්ට’ පෝස්ට් එකෙන් පස්සෙ අත්හිටුවන්න හිතාගෙන තියෙන්නෙ. මේක කියවන්න එන ඔක්කොම මම වගේ මැටි හරක්ය කියල අන්තිමට ලේඛකයා මේක ලියන එක නැවැත්තුවොත් ඊට පස්සෙ බොලා මාව කන්න හදාවි. 😀 😀

  8. ranwala

     /  November 19, 2012

    Good one…!

    Reply
  9. ඉබ්බා

     /  November 20, 2012

    maheera maanasika rogiyek kiyala therum ganna victorta bandina kanma inna unaane..

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: