(38) මාලක ගැන රෙහාන් විජේරත්න කියන කතාව || Rehan Wijeratne on his friend Malaka

කාලය: 2010, සමාන්තර විශ්වය [චරිත් තිසර හා පිරිස මාලකට හා රෙහාන්ට නෙලූ කාලයට සමාන්තරවයි ]
ස්ථානය: දකුණු හා බස්නාහිර පළාත්, ලංකාව

**********(රෙහාන් විජේරත්න කියන කතාව )**********

මාලක බඳු මෝඩ මූසලයකු මගේ කිට්ටු මිතුරකු වූයේ යැයි මටම අදහා ගත නොහැකිය. අප දෙදෙනාගේ පසුබිම ඒ තරමටම එකිනෙකින් වෙනස්ය. ඔහුගේ පියා, මර්වින් අංකල්, වලව්වට ප්‍රවේණි දාසකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමූපාකාර මැනේජර් කමේ සිට ඇමැතිකම දක්වා පදවි ලද, නූගත්, අශිෂ්ට, තැන නොතැන බලා කුණුහරුප ඇදබෑමේ සමත්, මුළු රටේම පිළිකුලට භාජනය වූ මැර දේශපාලුවෙකි. මගේ දිවංගත පියා, අනෙක් අතට, උගත් හැදිච්චි වැදගත් මහත්මයකු විය. අපේ පවුල් අතරද මේ හා සමාන ලොකු පරතරයක් තියේ. ඔවුන් මැර දේශපාලනය විනා වෙනත් කිසිම දේකට ප්‍රසිද්ධියක් නොදරද්දී අපි පරම්පරා ගණනාවක් තිස්සේ සමාජයේ වැදගතුන් වීමු. මගේ සීයා මෙරට කීර්තිමත් ඇමැතිවරයකු වූ රන්ජන් විජේරත්නය. මගේ මව තුර්කියේ ශ්‍රී ලංකා තනාපතිවරියයි. මේ නිසා මාලක හා මා අතර මිතු දම කපුටකු හා හංසයකු අතර මිත්‍රත්වයකට වඩා සමාන විය. එහෙත් එවැන්නක් පැවැතියේය.

මේ මිත්‍රත්වය අම්මා, අයියා ඇතුළු මගේ අනෙකුත් ඥාතීන්ද කිසිසේත් අනුමත නොකළ බැව් කිව යුතුය. මගේ මිය ගිය පියා ජීවතුන් අතර සිටියේ නම් ඔහුද එය අනුමත නොකරනු ඇතැයි සිතමි. මගේද මාලක ගැන වූයේ එක්තරා අන්දමකට දැඩි පිළිකුලකි. ක්‍රියාවෙන් ඔහු වඩා සමාන වන්නේ තිරිසනකුටය. එහෙත් මට ඒ තිරිසනාද ඕනෑ විය. ඒ මට තනිව ලබා ගත නොහැකි බොහෝ දේ ඔහු මාර්ගයෙන් ලබා ගත හැකි වූ නිසාය. මුදල්, මත්පැන්, සමාජ තත්ත්වය, ලිංගික සුවය – ඒ සියල්ලටම වඩා බලය! මට මේ සියල්ල ඕනෑ විය. මාලක බඳු මෘගයකු පිට නැඟී ගිහින් වත් ඒවා ලබා ගත හැකි නම් හොඳය මම සිතීමි.

ඒ අතින් මාලක අපේ වයසේ තරුණයින් බොහෝ දෙනකුට ඉරිසියා හිතෙන තරමේ වාසනාවන්තයකු විය. ඔහු Archie කොමික් සීරීස් එකේ Reggie Mantle වැනි ‘Some Guys Have All The Luck’ කියා අනෙකුන්ට හිතෙන ජාතියේ චරිතයකි.

මාලකට ස්විමිං පූල් එකකට දමා පීනන්ට තරමට සල්ලි තිබුණේය. (දශක කිහිපයකට පෙර දුප්පතකු වූ මර්වින් අංකල් මේවා කෙසේ උපයා ගත්තාද කියන ප්‍රශ්නය මෙතැනට අනදාළය.) එසේම මර්වින් අංකල් ඔහුට මේ ධන කන්දරාව රිසි අයුරින් වැය කරන්ට පූර්ණ නිදහස ලබා දී තිබිණි. සල්ලි නාස්ති කිරීම ගැන කවදාවත් මර්වින් අංකල් ඔහුට වචනයකින් හෝ දොස් පවරා ඇතැයි මම නොසිතමි. ඇරත් එය අනවශ්‍ය විය. හොඳ උල්පතක් ඇති ළිඳකින් කොයිතරම් වතුර ගත්තද ළිඳ හිස් නොවේමැයි. මර්වින් අංකල්ගේ ධනයද එසේම විය. මාලක නාස්ති කර දමන දමන තරමට අනෙක් පැත්තෙන් ධනය ඉණුවේය. කොටින්ම සමාජයේ ධනවත්ය සැලකිය හැකි පවුලකින් පැවත ආ මා පවා විස්මය පත් කරන්ට තරම් මේ පවුලට මුදල් තිබුණේය. සේප්පුවල ගොඩ ගසාගත්, බැංකු ගිණුම්වල තැන්පත් කොට ගත් ධනය නොව මේ ලෝකයේ මහා ධන කුවේරයන් සේ කාමසුඛල්ලිකානුයෝගී ජීවිතයක් ගත කරන්ට ප්‍රායෝගිකව යොදා ගත හැකි ධනයයි. ඉංගිරිසියෙන් dirty rich කියන්නේ මෙවැන්නන්ටය.

මාලකගේ ශක්තිය වූයේ ධනය පමණක් නොවේ. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කර ගන්ට අපූර්ව සමත්කමක්ද ඔහු සතු විය. අප වැනි කෙනකු මුළු ජීවිතකාලයම ට්‍රයි කර දා ගන්නට බැරි පට්ට කෑලි එක සිනහවක් වෙනුවෙන් මාලක සමඟ යහන් ගත වීමට සූදානමින් සිටියෝය. කොතැනක ගියත් ඔහු වටා රොක්වන කෑලි කිහිපයක් විය. හාමුදුරුවන් වළඳා ඉතිරිවන දානයෙන් කොටහක් පන්සලේ බල්ලාටද ලැබෙන්නාක් සේ මාලකගේ පාවිච්චියෙන් පසු මින් කිහිපයක් වත් අපේ වින්දනයටද ලැබුණේය.

නමුත් මේ සියල්ල වෙනුවෙන් ගෙවිය යුතු යම් වන්දියක් විය. එය මට මුල් වරට වැටහුණේ ජයික් හිල්ටන් සිද්ධියේදීය.

රාත්‍රී සාදය මැදදී (ඔරලෝසු වෙලාවෙන් නම් මේ පසුදින පාන්දරය සිතමි.) මා මාලක සමඟ එළියට ආවේ ඔහුට සිගරැට් අවශ්‍ය වූ බැවිනි. මේ වන විට අප සතුව තිබුණු සියළු සිගරැට් අවසන්ව තිබුණේය. අප බී නොවේ. මාලකට සෙට් වූ කෑල්ලක් ඔහුගේ සිගරැට් පැකට් එකම උස්සා තිබුණේය. මෙන්න පාටි වලට එන පොෂ් කෑලි වල හැටි.

අපි සිගරැට් සොයමින් ඉදිරියට ඇදුනෙමු. තරමක බීමතින් සිටි නිසා අප ගමන් කළේ සෙමිනි. මඟදී හමුවුණු කිහිප දෙනකුගෙන් ඇසුවද ඔවුන් අත සිගරැට් නොවීය.

ටොයෝටා කැප්රි එකකට හේත්තු වී සිටින අඳුරු චරිතයක් අප දුටුවේ මේ ගමනේදීය.

අඳුරු චරිතයක් කිව්වේ පුද්ගලයා කළු පැහැ වුණු නිසා නොවේ. කිසිවකු හඳුනා ගත නොහැකි තරමට හාත්පස අඳුර දැඩි වූ නිසාය.

“අයියා…සිගරැට් එකක් ගන්න බැරිද…?” මාලක ඇසුවේය.

ඔහු තත්පර කිහිපයක නිසලතාවයකින් පසුව, කතාවක් නැතිවම, ගෝල්ඩ් ලීෆ් පැකට් එකක් අප වෙත දිගු කළේය. අපි ඉන් එක එක ගෙන දල්වා ගතිමු. ඔහු සිගරැට් එකක් දල්වා ගත්තේ නැත.

“තෑන්ක් යූ අයියා…”

අප තව මොනවාදෝ වල් පල් වගයක් කතා කළ වගක් මතකය. මොනවාද හරියටම මතක නැත. සාදයේ සිටි කෑල්ලක් දෙකක් ගැන විය හැකිය. වැඩක් ඇති ඒවා නම් නොවේ. සියල්ල බඩුය.

සිගරැට් එක ඉවර වේගන ආවේය. අපට යන්ට කාලය හරි විය. ඒ වන තෙක්ම අපි එකිනෙකා හඳුනාගෙන නොසිටියෙමු.

“අපි කැපෙන්ඩද අයියා එහෙනං…?”

“හා මල්ලි…මම චන්දන ප්‍රදීප්…”

“මම මාලක, මේ රෙහාන්….”

“උඹට මාර නමක්නෙ මල්ලි තියෙන්නෙ….ඕක මාරු කර ගනින්…”

ඔහු හිනැහුණේය. යම් වරදක් සිදුවෙමින් පවතින බැව් මට ඉවෙන් මෙන් වැටහුණේය. එහෙත් එය නිවැරදි කරන්ට පුළුවන් තැනෙක මම නොසිටියෙමි.

“ඇයි උඹ එහෙම කිව්වෙ…?”

“නෑ බං අර මර්වියගෙ වේස කොල්ලට තියෙන්නෙත් ඔය නමමනෙ…”

මා කිසිවක් සිතා ගන්ට වත් පළමුව මාලක අනෙකාගේ කොලරයෙන් අල්ලා ගෙන ‘දඩාස්’ ගා ඔහු ගේ හිස කාර් එකේ හැප්පුවේය.

“මොකද්ද හු**තො තෝ කිව්වෙ…?”

මේ කඩා වැටුණු මරාලය කුමක්දැයි සමහට විට අනෙකා විපිලසර වන්නට ඇත. මට නම් සිතුණේ ඔහු අප කවුද කියා අඳුරේ හඳුනා නොගත් නිසා මෙසේ කියන්ට ඇති බවයි. ඒත් ඔහුද ජවශීලී තරුණයෙකි. ඔහුගේද බුද්ධියට කලින් සහජ තිරිසන් ගති ක්‍රියාත්මක වන්ට ඇත. ඔහු පෙරළා මාලකට ගැසුවේය. මට මේ දබරයට මැදිහත් වන්ට වූයේ එනිසාය.

අප තරමක බීමතින් සිටියද, අවසානයේ ජය අත් වූයේ අපටය. ඒ සමහරවිට අප දෙදෙනකු සිටි නිසා විය හැකිය. එහෙත් අනෙකා සටනක් නොදීම ගුටි කෑවාය මට පසුව සිතුණේය. සියල්ලට මිනිත්තු හතරක් පහක් ගත වන්ට ඇත.

“ප**යා, මීට පස්සෙ වත් කතා කරන්නෙ කාටද දැනගෙන කතා කරපන්…”

මාලක බිම වැටී සිටි ප්‍රතිවාදියාගේ පපුවට කකුල තබා කීවේය. මා දුටුවේ ප්‍රතිවාදියාගේ දකුණු අත යමකට ඇදෙන බවයි. නමුත් මා අනතුරු අඟවන්ටත් පළමුව මාලක එය දැක තිබිණි. ඔහුගේ පා පහරින් අනෙකාගේ පිස්තෝලය ඉවත විසි වී ගොස් වැටිණි. මම එය අහුළා මාලක අතට දුනිමි.

“දැන් මොනවද කියන්නෙ චණ්ඩියා? උඹ පිස්තෝල දික් කර ගන්ඩද ආවෙ? දික් කර ගනින් උඹෙ අම්මට… කැ** වේ**** පුතා…”

මාලක තව දෙතුන් වරක් ඔහුට පයින් ඇන්නේය. ඔහු වේදනාවෙන් කෙඳිරි ගානු මට ඇසිණි.

“අල්ලලා දාල යමු බං. දැන් ඇති…”

මට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් ඔහු එතැනින් ඉවතට ගෙන යන්ටයි. ඒ අහු අස්සේ පිස්තෝලය නැවත දෙන්ටය කියන්ට මට අමතක විය.

පසුවදා උදෑසන වනතුරු මේ සිද්ධිය ගැන ගැඹුරින් සිතීමේ අවශ්‍යතාවයක් මට නොවීය. මාලක සාද වලදී මෙවන් ගැටුම් වලට පටළැවීම සාමාන්‍ය සිද්ධියකි. එහෙත් එදින වෙනස් විය. අප නොදැන පහර දී තිබුණේ බුද්ධි අංශයේ හමුදා මේජර් වරයකුටය.

Minister’s son leads another hysterical attack’ ‘ද නේෂන්’ පුවත්පත පසුවදා වාර්තා කළේය. මේ ඒ ගැන පළවූ පුවත් වාර්තා ගණනෙක පළමුවැන්නය. එහිම පමණක් වූ විස්තරය මා නම් බිය ගන්වන සුළු විය එහෙත් මාලකට එය දැණුනාය කිසිසේත් නොසිතමි.

This time, notorious minister-son has joined with another minister-son and attacked an Army Major and a corporal attached to the Armed Intelligence Unit. Malaka’s pal this time is the late Minister Mano Wijerathne’s stepson Rehan Wijerathne. According to the complaint lodged with the Slave Island police, the incident had occurred when Malaka asked the major for a cigarette. The officer had given him one. Then Malaka had asked for a lighter. The major had said he did not have one and the duo with a few others had then started a brawl. The incident had occurred between 2.30 am and 3.00 am last Sunday early in the morning.

Sri Lanka Army Intelligence Unit has been doing an enormous service to defeat the LTTE. Though the war was over, they barely have a time to rest. They have some other duties to attend for the country. Army Intelligent (Southern) Group Commander Major Susein and his assistant Corporal Dissanayake were on duty last Monday. Collecting data on illegal drugs and weapons trade in the country and providing VIP security were his/their assignments.

He has been in Colombo for the VIP security arrangements as the Commonwealth Parliamentary Association sessions were going on. They had got a tip about two international drug dealers and were collecting data on them. The Major with his assistant corporal went to the Hilton Hotel to meet a spy on last Saturday to get some more details.

මේ අප්‍රසන්න සිද්ධිය බොහෝ දෙනකුට රහසක් නොවන නිසා මා එය දිගින් දිගට විස්තර කිරීමේ ඵලක් නොවේ. ඒ මගේ ජීවිතයේ අසීරුම සති දෙකක් බවට සඳහන් විය යුතුය. රිමාන්ඩ් කිරීමෙන් පසුව පවා පොලීසිය අපට අපරාධකරුවන් ලෙස නොසැලකූ බව ඇත්තය. එසේම ඔවුන් අපට හැම විටම ‘සර්’ කියා ආමන්ත්‍රණය කොට ලබා දිය හැකි හැම සැප පහසුවක්ම ඇතිව පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයේ රඳවා තිබූ බවත් ඇත්තය. මා කණගාටු වූයේ ශාරීරික වදය ගැන නොව මට විඳින්ට වූ මානසික වදය ගැනය.

එහෙත් අවසානයේ මර්වින් අංකල්ගේ බලය දිනුවේය. මා මාලක ගැන කැමැතිම දෙය මෙයයි. මොන තරම් දරුණු ආගාධයකට වැටුණද ඔහුට ලෙහෙසියෙන්ම කිසිවක් නුවූවා සේ ගොඩ එන්ට පිළිවන. අපෙන් ගුටි කෑ මේජර් නම් අම්බ පොන්නයෙකි. අම්බානට කෑවා මදිවාට මේකා අප දෙදෙනා ඌට පහර නොදුන් බව පවා උසාවියේදී පිළිගත්තේය. එතකොට ඌට ගහගෙන තියෙන්නේ ඌමය. මේ වගේ පොන්ස්ලා ඉන්නවා නම් මොනවා කරන්ට බැරිද? මූට අපි ගැහුවා මදිය. දන්නවානම් මුගේ කකුලක් කඩන්ටම තිබුණේය.

මා කොයිතරම් මොට්ටයෙක්ද කියතොත් මේ සිද්ධියෙන් පසුව පවා මාලක අත අරින්ට මට සිත නුදුන්නේය. ඉන් මාස කිහිපයකට පසු ඔහු සමඟ දින කිහිපයකට උණවටුනට යන්ට මා කැමැති වූයේ එහෙයිනි.

මාලක මේ ගමනට ඉන්දියන් කෑල්ලක් සෙට් කර ගත්තේය. ටිකාක් විතර ගණන් එකකි. ගණන් එකක් කියන්නේ ඔහු එය බෙදා ගන්ට අකැමැති වූ හෙයිනි. මේ නිසා මා සිටියේ තරමක තරහිනි.

අප නැවැතුණේ ට්‍රිපල් රූම් එකකය. මාලක සේම ඔහුට සෙට් වන ජාතියේ කෑලිද රමණයේ පුද්ගලිකත්වය ගැන ඒ තරම් ලොකුවට තැකූවන් නොවේ. පිටස්තරයකු කාමරයේ හිඳීම ඔවුන්ට ගැටළුවක් නුවූයේය. කොහොමටත් ඔවුන්ට ඇඳ දී මා නිදා ගත්තේ බිම මෙට්ටයකය. එසේම හැකිතාක් අඩු කාලයක් කාමරයේ රැඳී සිටින්ට පරෙස්සම් වීමි.  රාත්‍රියේ, මට නොපෙණුනද ඔවුන් නඟන හඬ හා අඳුරෙහි ඇඳ රිද්මයානුකූලව සෙලවීම මඟින් මම ඔවුන් රමණයේ යෙදෙන බව දැන ගනිමි. එසේම ඇය සුරතාන්තයට පත් වීමේදී කොයිතරම් හයියෙන් කෑ ගෑවේද යත් ඒ හඬ මුළු හෝටලයම අවදි කරවනු ඇතැයි මට සිතුණේය. ඉන්පසු දෙදෙනාම තුවායක් පටලවාගෙන හෝ (මාලක නම්) අමු හෙළුවෙන්ම, මගේ ඇඟ උඩින්ම පැණ, බාත් රූම් එකට යති.  එවිට මම ඔවුන් නොසලකා හැර නිදන්ට තැත් කරමි. නැතිනම් මලක් ගසමි. මාලකගේ ආත්මාර්ථකාමීත්වය කෙතෙක්ද යත් ඇඳ පාමුල මෙට්ටයක නිදන එකාට කලාතුරෙකින් හෝ ඇඳ උඩ නිදා ගන්ට දිය යුතු නොවේද කියා මොහොතකට හෝ නොසිතුවේය.

නමුත් මම මාලක තරහ කර නොගත්තෙමි. එසේ වුවහොත් මට දැන් ලැබෙන මස් කටුව වත් නොලැබෙන්ට ඉඩ තියේ.

කෙසේ වුවද ‘Two is company, three’s a crowd’ කියමනේ ඇත්ත මට මේ දින කිහිපය තුළ තදින් දැනුණේය. මෙනිසා මා වැඩි කාලයක් ගත කළේ හෝටලයේම සිටි ජර්මන් ජාතික තරුණ පිරිසක් සමඟය. ඒද යුගල දෙකකි. ඔවුන් අතර බැඳීම් හුදෙක් ලිංගික සුවය පිණිස වන බැඳීම් වලට වැඩි බවක් පෙණුනේය. මෙනිසා මම කෑලි දෙකෙන් එකකට හෝ ට්‍රයි කිරීමෙන් වැළකී සිටියෙමි. මිතුරන් වශයෙන් මේ හොඳ පිරිසකි. ඔවුහු මා සමඟ ලංකාව ගැන බොහෝ දේ කතා කළෝය. සාමාන්‍යයෙන් වසරකට වරක් ලංකාවට එන ඔවුන් මේ ඇවිත් තියෙන්නේ සය වැනි වතාවටය. මෙනිසා රට ගැන ඔවුන්ගේ දැනුම මට වඩා වැඩි වීම ගැන මට ලොකු පුදුමයක්ද ඇති නොවීය.

මේ සිද්ධිය වන දවසේ මා අවසාන වතාවට මාලක හා කෑල්ල කාමරයේ දුටුවේ සවස පහට පමණය. දෙදෙනාම ඇඳ උඩ මාරුවෙන් මාරුවට බෙදාගෙන මලක් ගසමින්, වොඩ්කා තොළ ගාමින් සිටියෝය. වේපරයිසරයක් නොතිබුණු නිසා ඔවුන් භාවිතා කළේ සිගරැට් එකකි. මම මල් හා වොඩ්කා මිශ්‍ර කර නොගනිමි. මල් නම් මල්ය. වොඩ්කා නම් වොඩ්කාය. මේ දෙක මිශ්‍ර කරගත් විට ඉන්ට බැරි තරම් හිස රදයක් හැදේ. එහෙත් මාලක ඉන්නේ මේ ගමනේ මට වඩා ඉදිරියෙනි. අප සිතන්ට වත් නොපෙළඹෙන එක්ස්පෙරිමන්ට්ස් වල ඔහු නිරත වෙයි.

මගේ ජර්මන් මිතුරන් සමඟ මුහුදේ නාන්ට යන්ට මට ඕනෑ විය. ‘සී යූ’ කියා මම තුවායක් කරට දමාගෙන ගෙන නාන්ට ගියෙමි. මාලක හා කෑල්ල සාමාන්‍යයෙන් තව ටිකක් සවස් වූ පසුව නාන්ට එන බව මම දනිමි. ජර්මන් මිතුරන් ඉක්මණින් නා අහවර කොට නික්ම ගියද මා තව දුරටත් වෙරළෙහි රැඳී සිටියේ ඔවුන් දෙදෙනා වෙරළට එන තුරුය.

මා නැවත මාලක දුටුවේ ඔහු කවුදෝ කොල්ලන් රංචුවක් සමඟ ගැටුමකට පැටළී ඇති අවස්ථාවකදීය. මේ යකා යන යන තැන කොකු දා ගනියි. එහෙත් එසේය කියා මට ඔහු නොසළකා හැරිය නොහැකිය. ගැටුම කවුරුන් සමඟද, ඊට හේතුව කුමක්ද කියාවත් නොදැන මම ඊට මැදිහත් වීමි.

හැම ගසකටම කොට කොටා යන කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටූ දවසට හොට පටළවා ගන්නේය කියමනක් වේ. මේ මාලක (හා මා) කෙසෙල් ගසට කෙටූ දවසක් විය. ගැටුම නිමවූයේ අපට සැලකිය යුතු මට්ටමේ ශාරීරික හානියක් කරමිනි. ඊට වඩා හිතට දරන්ට බැරි කාරණය වූයේ අපට ගැසූ මැර පිරිස සොයා ගන්ට නොහැකි වන සේ අතුරුදන්ව තිබීමයි. මෙය මටත් වඩා මාලකට හා මර්වින් අංකල්ට දරා ගන්ට බැරි කාරණාවක් විය.

එකකු මාලකගේ ඇ** දෙක මිරිකා තිබූ නිසා ඊට ආසිරි සර්ජිකල් හොස්පිටල්හීදී සුළු ශල්‍යකර්මයක්ද කරන්ට සිදුවිය. මාලක සිටියේ ශල්‍යකර්මයේ වේදනාවට වඩා පරාජයේ වේදනාවෙනි. ඔහු කවදාවත් පරාජය මෙලෙස අත්විඳ සිටියකු නොවීය. ජයග්‍රහණය, බලය මිසක පරාජය හා දුර්වලබව ඔහුගේ උරුමයන් නොවූයේය. ඔහුගේ වේදනාව කවරදාටත් වඩා වැඩි වී තිබුණේ එනිසාය.

මර්වින් අංකල් පත්තර වලට කීවේ පුතාට ගැසූ මැර කල්ලිය හසු වූයේ නම් අඬු කඩන බවය. නමුත් ඔහුගේ කේන්තිය කෙතරම්ද යත් හිත මිතුරන්ට කියා තිබුණේ “උන් අහු වුණා නම් අම්මලා ටික පෝලිමට තියා හු**ගෙන හු**ගෙන යනවා!” කියලාය. මේ ඒ ටික කරන්ට බැරි පුතයෙක්ද නොවේය සිතමි.

මට මාලක තනිකොට ගත හැකි වූයේ දින කිහිපයකට පසුය. මේ වන විට ඔහු සම්පූර්ණ සුවය ලබා සිටියේය.

“මොකද යකෝ තොට උණේ? යන හැම තැනම වලි දාගන්න යන්නෙ…?”

“නෑ බං වෙරළෙ පොන්නයො දෙන්නෙක් කිස් කර කර හිටිය. උඹ දන්නවනෙ මට ඔය පොන්ස් සීන්ස් දැක්කම තද වෙන බව…”

“උඹට මොකද ඉතින් උන් කිස් කළහම? උඹ ඊට වැඩි දේවල් කරන්නෙ…”

“ඒ අපිනෙ බං. උඹ කියන්නේ මේ රටේ ඇමෙරිකාවෙ වගේ පොන්නයින්ට ඕනැ ඕනැ දෙයක් කර ගන්ඩ දීල අපි බලා ඉන්න ඕනැ කියලද…?”

“දැන් ඉතින් ඔය කර ගත්තේ… අන්තිමට පොන්නයින්ගෙන්ම ගුටි කෑවා…”

මාලකගේ මුහුණ කළු වී ගියේය. ඔහුගේ වෛරය තවම පහව නැති සෙයක්ය මට පෙණුනේ.

“තාම ගේම ඉවර නෑ මල්ලි…උන් ටික අහුවුණා නම් දැන ගනියි දවසක…”

“ඇයි උඹ මොනවා කරන්ඩද…?”

” මේ මාලක එහෙම කරන දේවල් කිය කියා යන එකෙක් නෙවෙයි කියලා උඹ දන්නවනෙ. අපි බලමුකො. They will never know what hit them…”

මා සතියකට පමණ පසුව දන්ත වෛද්‍යවරයා හමුවන්ට නොයන්ට මේ සිද්ධිය මෙතෙකින් අහවර වන්ට තිබුණේය. එහෙත් ලෝකයේ බොහෝ දේ සිදු වන්නේ අප නොසිතන ආකාරයටය. හැම දන්ත වෛද්‍යවරයකුම තමන්ගේ රැඳී සිටීමේ කාමරයේ පරණ සඟරා ගොන්නක් තියාගෙන සිටී. ඩොක්ටර් රාජපක්ෂද ඉන් නොවෙනස් වූවෙකි. දතක සුළු රිදුමක් ඇතිව වුවද මම ඉන් Hi සඟරා කිහිපයක් ගෙන නිකමට කියවමින් සිටියෙමි. ඇත්තටම Hi සඟරා වල කියවන්ට කියා ලොකු දෙයක් නොවේ. වැඩිය තිබුණේ පින්තූරය.

මින් එකක මාධුරී දික්සිත් ලංකාවට පැමිණි අවස්ථාවක වූ ෆෑන් ක්ලබ් හමුවක් ගැන ෆොටෝ කිහිපයක් විය. ඒ පින්තුර වල සිටින්නන් දෙදනකු සම්බන්ධව යම් පුරුදු බවක් මට දැණුනේය. අර දිගැටි නාසය නිසා නොවේ නම් සියල්ල මීටර් නොවන්ටද තිබුණේය.

මේ උන් දෙදෙනෙකි!

මම මාලකට SMS එකක් යැවීමි.

“I think I’ve found them…”

.

.

(ඉවසන්න…………….සමනළයා යළි පියා සලන තුරු)

Advertisements
Leave a comment

14 Comments

  1. Jesse James

     /  November 21, 2012

    This episode reminds me of Fredrick Forsyth’s literary style and brilliant interconnection as well

    Reply
  2. මුතු පබලු අස්සෙන් නූල යවන්නයි වගේ කල්පනාව….

    Reply
  3. ~Kasun~

     /  November 21, 2012

    “නෑ බං වෙරළෙ පොන්නයො දෙන්නෙක් කිස් කර කර හිටිය. උඹ දන්නවනෙ මට ඔය පොන්ස් සීන්ස් දැක්කම තද වෙන බව…”

    LOL We both have something in common Malaka aiya..!!! 😀

    Reply
  4. මාලක සිල්වා ගැන කලින් කතාංගය හුදෙකලා සිද්ධියක් කියලා තමයි හිතුවේ.

    Reply
    • හුදෙකලා සිද්ධි කතාවට එකතු කරන්නට උපරිම වෙහෙසක් දරණවා. අවසානයේදී දෙකක් තුනක් ඇරෙන්න අනෙක් ඒවා මුතු වැලට එකතු වෙලා තියෙයි. මීළඟ කතාංගයත් බලන්නකෝ.

      – ලේඛක

      Reply
  5. මිස්ටර් හයිඩ්

     /  November 21, 2012

    Reblogged this on Beyond the Island.

    Reply
  6. DDT

     /  November 21, 2012

    ඔය කරල තියෙන්නෙ ! මේ මුතු වැලේ ඊළඟ (මුතු) ඇටේ ඉක්මනින් ඒවියි සිතනව.

    දත් ගලවන ඩොක්ටර්, රාජපක්ෂ වීම හුදෙක් අහම්බයක්මද? මෙහේ නම් ඇඟට පතට නොදැනි හක්කෙ දත් ගලවන එවුන් ඔක්කොම රාජපක්ෂල. 🙂

    Reply
  7. Tin Man

     /  November 21, 2012

    That other episode/chapter makes much more sense now. Kudos to you, this part is much more appealing than the last ones!

    Reply
  8. ඊයේ ඉඳන් හරියට මුල ඉඳන් කියවන්න පටන් ගත්තේ. එක හුස්මට එකේ ඉඳන් 15 දක්වා කියෙව්වා අනුපිලිවල වෙනස් වුනා කියල අවුලක් නෑ කියල හිතුන නිසා මේ කොටස බැලුවා. මේ ප්‍රබන්ධ නව කතාව ලිව්වාට කියා නිමකළ නොහැකි ලෙස ස්තුතියි.

    Reply
  9. Sujeewa

     /  November 21, 2012

    හරි මාලක සිද්ධියේ පළමු පොස්ටුවේ කොමෙන්ටුවෙ නොගැලැපෙන බව ගැන කල සඳහන ඉල්ලා අස් කර ගන්නම්. 🙂

    වැඩේ ඉවරයක්‌ කර දාන්න වගේ ලැහැස්තිය. මල කෙල්ල ලේසියෙන්ම හැලුවා. දැන් ඉතින් තනමල් විල බුවාට රතු හාමුදුරුවන්ට එහෙමත් අබ සරණයි ද?

    Reply
    • කතාව ඉවරමය කියන්න බැහැ. නමුත් ලබන කථාංගයේදී වික්ටර්ගේ කතාව එක්තරා අවසානයකට පැමිණෙනවා. චරිත්ගේ කතාව ඉදිරියට යාවි.

      – ලේඛක

      Reply
  10. මෙතන මූලීක දෙයක් අමතක කර කතාව ගොඩනගා ඇති බව පෙනේ. මා විවේච්නයට ලක්විය හැක. එහෙත් සත්‍යය නම්, ප්‍රභූ පව්ලේ උන්ද, දළදාන විකානාගෙන කාපු උන්ය. අද ඔවුන් අසරණව ඇත. තම පූර්ණ බලය යොදවා දන්ත දාතුව විකුණා කෑ උන් අසරනව ඇත. රෙහාන්, මාලකගේ සේවකයෙක් බව ලේඛකයා හිතා මතාම අමතක කර ඇත. නැතිනම් ඒ ගැන හං කවිසියක් නොදන්නා බව පෙනේ. ප්‍රභූවරුනද අද අනාථව ඇත. සත්‍ය එයයි. පුභූ පන්තිය පාදඩ පන්තියට යටත්ව ඇත. 56 බූරූ පුත්තු රජ වූ කළ එසේ වීම වලකාලිය නොහැක…

    Reply
    • @Maathalan,

      / රෙහාන්, මාලකගේ සේවකයෙක් බව ලේඛකයා හිතා මතාම අමතක කර ඇත./

      නෑ නේද? ආයෙත් හොඳට කියවලා බලන්න.

      – ලේඛක

      Reply
  11. ranwala

     /  November 22, 2012

    දත ගලවන්නත් රාජපක්ෂ කෙනෙකු සෙට් වීම අපුරුය!ඔවුහු දක්ෂ දන්ත කාර්මිකයෝය!

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: