(39) දඹර අමිල හිමි කොටින්ගේ අත් අඩංගුවේ || Dambara Amila thero abducted by tigers

කාලය: 2009, සමාන්තර විශ්වය [උපකුලපතිතුමා සරසවි සිසුවිය දූෂණය කළාය කියා වසරකට පමණ පසුව හා මේ කැබිනට් මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන් මාස කිහිපයකට පසුව]
ස්ථානය: ඉරණමඩු, උතුරු පළාත

**********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

නඩේසන් හා පුලිදේවන්ද අප පස් දෙනා සමඟ, ඉරණමඩු වැව අසළ ඔවුන්ගේ කුඩා ‘ගුවන් තොටුපළෙහි’ පර්යන්ත ගොඩනැඟිල්ලට ඇවිද ආවෝය. පර්යන්ත ගොඩනැඟිල්ල කීවාට එය තනි තට්ටුවේ පුංචි ගෙයකි. ඉස්තෝප්පුවේ දම්රෝ ප්ලාස්ටික් පුටු කිහිපයක් තබා තිබුණේය. කොයිතරම් ලක් රජය සමඟ සටන් කළද ලක් රජයෙන් තොර පැවැත්මක් ඔවුන්ට නැති බවට මේ අපූරු සාක්ෂියකි. දම්රෝ පුටු පමණක් නොව ඊයේ අපේ කණ්ඩායමේ කෙනකුට සිගරැට් එකක් පත්තු කරන්ට අවශ්‍ය වූ විට ඔහුට ලැබුණේද සූර්යා ගිනි පෙට්ටියක් බව මම දුටිමි. ලංකාවෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් සේ ගොඩ නැඟෙන්ට උත්සාහ කරන ඊළමය අඩු තරමින් ගිනි පෙට්ටියක්වත් නිෂ්පාදනය නොකරයි. තමන් සමඟ සටන් වදින ලක් රජය විසින් නිකුත් කළ කිළිටි දාහේ නෝට්ටුවකට ඊළමය තුළ රැයක් සඳහා යුවතියක් – අවශ්‍ය නම් කොටි කෙල්ලක – මිළට ගෙන ඉතුරු සල්ලිද ඉල්ලා ගත හැක්කේය. මේ පිරබාහරන් වරද්දා ගත් මුල් තැනෙකැයි මට සිතෙයි. සතුරාගේ ආර්ථිකය මතම රඳා පවතින ගමන් සතුරා සමඟ සටන් කළ නොහැකිය.

කොයි තරම් වහසි බස් දෙඩුවද ඔවුන් සටන් ප්‍රකාශ කොට ඇති ලංකාවේ දෘඪ බලය (hard power) සේම මෘදු බලයද (soft power) ඊළාමය තුළ හොල්මන් කරනු දැක ගත හැකිය. කිලිනොච්චියේ මා මුලින් රැගෙන ගිය නිවහනෙහි රූපවාහිනිය විකාශය කරමින් සිටියේ Shakthi TV වැඩ සටහනකි. (සමහරවිට පටිගත කළ එකක් වන්ට ඇත.) ඉඳහිට මා සමඟ සිනාවක් හුවමාරු කර ගන්නා පහළ මට්ටමේ කොටි සෙබළු ‘ශනත් ජෙයසූරියා’, ‘කුමාර් සංගක්කාරම්’, ‘මහේලා ජෙයවර්ධන’,  ‘මුරලිදරන්’ හෝ “ලෂිත් මාලිංගා’ ගැන යමක් කියති. මේ කියන්නේ දෙමළෙන් නිසා මට මෙලෝ මළ දානයක් නොවැටහේ. එහෙත් ඒ අසන මට දේශපාලනිකව හා මිලිටරිමය වශයෙන් කෙසේ වෙතත් සංස්කෘතිමය වශයෙන් අපේ රට තවම බිඳී නැතැයි සතුටක් ඇති වේ.

නඩේසන් සේම පුලිදේවන්ද මා සමඟ කතා කිරීමේ විශේෂ උවමනාවක් නොදැක්වූහ. මටද ඔවුන් සමඟ කතා කරන්ට දෙයක් නොවීය. අනෙක මුන් දෙන්නා කැඩිච්චි ඉංගිරිසියෙන් මා සමඟ කතාවට එන විට මට මළ පනියි. පුලිදේවන්ට කෙසේ වෙතත් නඩේසන්ට හොඳින් සිංහල පුළුවන් බවය බුද්ධි අංශ මඟින් මේ ගමනට පෙර මට සැපැයූ තොරතුරු වල තිබුණේ. එහෙත් ඔහු එය මොනම අවස්ථාවකවත් නොපෙන්වයි.

“සිංහල සින්දු කියන නලළේ තිලක තියන කිරිල්ලි – තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී” කියන ගුණදාස කපුගේ ගායනා කරන ගීතය ලියැවී ඇත්තේ නඩේසන්ගේ සිංහල භාර්යාව ගැනය මට වරෙක කීවේ මහීරාය. මම ඔහුගෙන් භාර්යාවගේ සුවදුක් අසන්ට නොයමි. අවශ්‍ය නම් ඒ තොරතුරු බුද්ධි අංශ ෆයිල් වල ඇති බව මම දනිමි. ඔහුද දනියි. එකිනෙකා රවටා ගන්නේ කුමටද?

මම යාන්තමට මතක ගී පද කිසිවකුට නොඇසෙන සේ මුමුණමි.

සිංහල සින්දු කියන නලළේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
පිණි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලි
මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනඟ අඬාවි
ඒ කඳුලු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැක ගනින් ‍දේවතාවී

මේ ගමන මා මින් දශක තුනකට පමණ ඉහත ගාමිණී දිසානායක මහතා සමඟ යාපනයට ආ ගමනින් ඉඳුරා වෙනස්ය. එසේම මම තව දුරටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී සිසු සටන් වල නියැළි මානවකයා නොවෙමි. මම වඩා සංකීර්ණ අත්දැකීම් ලබා පදම් වූ දේශපාලකයෙක්මි.

මම ඉස්තෝප්පුවෙහි වූ ප්ලාස්ටික් පුටුවක් ඇදගෙන හිඳ ගනිමි. දඹර අමිල හිමි හොර බළලකු ලෙස සිටගෙනම සිටියි. මට ඔහු ගැන කණගාටුවක් ඇතිවේ. ඊයේ වනතුරුම ඔහුට මාස හයකට කිට්ටු කාලයක් හරි හමන් දෙයක් කන්ට ලැබෙන්ට නැත. අඳින්ට ලැබුණේ සරමක් හා කමිසයකි. වැද්දකුගේ මෙන් ඔහුගේ කොණ්ඩය හා රැවුලද වැවී තිබුණේය. මෙසේ ඔහු දකුණේ ජනතාවට දකින්ට ලැබීම නොමනා නිසා ඊයේ ඔහුගේ හිස හා රැවුල නැවත මුඬුකොට මවිසින් දුර දිග කල්පනා කොට ගෙන ආ අළුත් සිවුරක් අන්දවන ලද්දේය. පිටි මුට්ටියක් වැනි වූ ඔහුගේ සිරුරද මේ මාස හයට කේඬෑරි වී ගොස්ය. හරියට අර පුංචි ගමයා හා මහ ගමයා කතාවේ කොටියාගේ හොරි කස කසා ගිනි පිම්බ මහ ගමයා මෙන්ය. දකුණේදී කට මැත දොඩවන බොහෝදෙනා උතුරේදී පූස් පැටව් වෙති. දඹර අමිලගේද වෙනසක් නොවේ.

මම දඹර අමිල හිමියන්ට හිඳ ගන්ට සන් කරමි. ඔහු බයාදු ලෙස පුටුවේ කොණක වාඩි වේ. නෝර්වේ රාජ්‍යයේ නියෝජිතයන් දෙදෙනා සේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ ප්‍රධානියාද බැම්ම උඩ වාඩිවෙති. නඩේසන් ඔවුන්ට යමක් කියයි. එකකු ඔහුට පිළිතුරු දී සිනාසෙයි.

“Do you have broadband here? I couldn’t check my emails yesterday…?”

මේ නෝර්වේ නියෝජිතයන් දෙදෙනාගෙන් තරුණයාය. මූට ඊ-මේල් චෙක් කරන්ට තව පැය දෙකකින් කොළඹ කාර්යාලයට යන තුරු ඉවසන්ට බැරිද?

“What…?” නඩේසන් අසයි. ෂුවර් එකට මූට ‘බ්‍රෝඩ් බෑන්ඩ්’ වචනය තේරුම් ගන්ට බැරිවය.

“I mean can I use my computer here…?”

“Yes. Power is there…”

“I know. I have a battery too. I mean… do you have broadband…?”

“Internet is at our office…not here”

ඔහු කියයි. මුන් ලොකු මිනිස්සු වගේ කතා කළාට මුන්ට ඉන්ටර්නෙට් හම්බ වෙන්නේත් සැටලයිට් කනෙක්ෂන් එකක් හරහා ඉතාම සීමිතව බව මට කීවේ යුද හමුදාවේ මිතුරෙකි. යාන්තම් භාවිතයට පමණය. ඒද බ්ලැක් මාකට් මිළ ගෙවීමෙනි.

“Why don’t you stop that…?” මම එවෙළෙහි වහාම ඔහුගෙන් ඇසීමි. කොටින් සමස්ත ලෝකයෙන් තනිකර ගන්ට පුළුවන් නම් අපේ සටන සියයට පණහක් අවසන් නොවේද?

“We try our best. It is difficult. They have several satellite connections…”

ඔහු උත්තරයේ අවසාන කොටස ගිලගත්තේය. ඔහු කියන්ට ගියේ කුමක්ද මම දනිමි. සටන් විරාම මුල් කාලයේ මුන්ට සැටලයිට් දුරකථන දුන්නේ රනිල්ය. ඒ අපරාදයට ඔහුගේ සොහොනටත් හෙණ ගැසිය යුතුය.  මැඩම් මොනවා කළත් ඒ තරමට ගොන්කම් නොකළාය.

මම මගේ දුරකථනය අතට ගෙන බලමි. මේකා බ්‍රෝඩ්බෑන්ඩ් ගැන කතා කරන්නේ පිස්සුවෙන් විය යුතුය. ජංගමයට වත් සිග්නල් නැත. සිග්නල් ලැබෙන්ට වවුනියාව හරියට වත් යා යුතුය සිතමි. මැඩම්ට කථා කළ යුතුය. මුන් ඉන්නා තැන එය කරන්ට බැරිය.

අප පස් දෙනා රැගෙන යන්ට එන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකි. ඊට ගොඩ බහින්ට අවසර ලැබෙන්නේ ඊළම් රාජ්‍යයේ විශේෂ අවසරයකිනි. මේ ගැන මට ඇත්තේ දුකකි. අපේ රටේ ගුවන් හමුදාවට අපේම රටේ තැනෙකට හෙලිකොප්ටරයක් පාත් කිරීමට කාගෙන් හෝ අවසර ගත යුත්තේ ඇයි? එසේ වීමට මාද එක්තරා ආකාරයකින් වග කිව යුතු බවට ඇති අවබෝධය මට ඊට වඩා වේදනාවකි. මුන්ට මේ සියලු නැටුම් නටන්ට ඉඩ ලැබුණේ රනිල්ගේ ඊනියා සාම ගිවිසුම නිසාය. මමද ඒ සාම ගිවිසුම ඉදිරිපත් කළ ආණ්ඩුවේ වැදගත්, වගකීම් දැරූ කොටස්කරුවකු වීමි. මාද ඒ ශෝචනීය තත්ත්වයට වග කිව යුතු නොවේද?

මා ඊළමට ආවේ ඊයේය. රැය පහන් කළේ කිලිනොච්චියේ කොටි සංවිධානයේ නිල කාර්යාලයේය. පළමු වරට ඊළමට පැමිණ යන ලාංකීය සිංහල ඇමැතිවරයා හැටියට මා ඉතිහාසයට එක්වනු ඇත්තේය. එය මගේ දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවන්ට මෙන්ම මැඩම්ගේ වැඩි සැලකිල්ලක් දිනාගන්ටද හේතු වනු ඇත. මට ඇති එකම සතුට එයයි.

මම නැවත මේ සිද්ධි දාමයේ පුරුක් එකිනෙක ගැන කල්පනා කරමි.

කොටි සංවිධානය විසින් දඹර අමිල හිමියන් පැහැරගන්නා ලද්දේ යාපනයේදීය. මීට සය මසකට පමණ පෙරදීය. බෞද්ධ භික්ෂුවක්, විශේෂයෙන්ම දකුණේ සමාජයේ ප්‍රබල චරිතයක් වූ බෞද්ධ භික්ෂුවක් මොන කෙංගෙඩියට කොටින්ගේ බල ප්‍රදේශයකට ගියා දැයි මට වටහා ගත නොහැකිය. සමහරවිට අනවශ්‍ය එඩිතරකම (ගොන්කම යනු මීට පර්යාය පදයකි.) විය හැකිය. දකුණෙන් ජාතිවාදී බෞද්ධ භික්ෂුවක් තමන්ගේ අඩවියට පැමිණ තග දැමීම කොටින්ට දිරෙව්වේ නැත. ඔවුහු වහාම එහිමියන් අත් අඩංගුවට ගත්තෝය.

රනිල් හා ප්‍රභාකරන් අත්සන් කළ ඊනියා සාම ගිවිසුම 2007දී යූ. එන්. පී ආණ්ඩුවේ බිඳ වැටීමත් සමඟ බොහෝ දුරට බෙලහීන වූ බව ඇත්තකි. එහෙත් ප්‍රායෝගිකව එය සහමුලින් අතහැරදැමීම නොකළ හැක්කක් බව දෙපාර්ශ්වයටම අවබෝධ වී තිබිණි. මේ නිසා වූයේ සාම ගිවිසුම බල පවත්වද්දීම පාලනය කළ නොහැකි ආකාරයට ගැටුම් ඇති වීමයි. එය පූර්ණ යුද්ධයක් නොවේ. ඉඳහිට චටපට ගාන බැලූ බැල්මට නිවුණාක් සේ පෙණුනු ගිනි මැලයකි. මේ නිසා එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශවයේ කෙනකු පැහැර ගැනීම ගිවිසුම බිඳ දැමීමක් ලෙස අර්ථ දක්වන්ට ඉඩක් නොවීය. අනෙක් අතට විරුද්ධ පාර්ශ්වයේ සීමා බිඳ ඒතුළට ඇතුළු වීම ගිවිසුම කඩ කිරීමක් බවය කොටි සංවිධානයේ තර්කය වූයේ. එක අතකට ඒ තර්කය හරිය. එකම දේ දකුණේ ජනතාව ඒ තර්කය පිළි නොගැනීමයි. ඔවුන්ද හරිය. අනීතික සංවිධානයකට, රජය මොන මතයක් දැරුවත්, භූමියට අයිතිවාසිකම් කියනු බැරිය. ඒ භූමිය තුළ පැහැර ගනු ලබන ඕනෑම කෙනකු මුදා ගැනීම රජයේ වගකීම වෙයි.

මුලින් ලොකු ගැටළුවක් හැටියට නොපෙනුණු මේ සිද්ධිය දළුලා වැඩුණේ බලා සිටිද්දීමය. ඒ හේතු කිහිපයක් නිසාය. පැහැරගනු ලැබූ පුද්ගලයා බෞද්ධ භික්ෂුවකි. ඔහුගේ දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත් දකුණේ සිංහල බෞද්ධ අන්තවාදීන්ට මෙය වවාගෙන කන්ට හොඳ අවස්ථාවකි. දෙවැන්න, ඔහු මේ ආණ්ඩුවේ ප්‍රබල පාර්ශ්වකරුවකු වූ ජවිපෙ සාමාජිකයෙකි. ජවිපෙ ප්‍රබලව ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. මේ කාරණා දෙක එක්වූ කළ භූමිතෙල් හා පෙට්රල් එකට මිශ්‍ර කොට බට කැළයට දමා ගිනි තිබ්බාක් සේ ප්‍රශ්නය ඇවිළ ගියේය.

අනෙක් අතට කොටි සංවිධානය ඉන් ඉහළම දේශපාලන වාසි ගන්ට බැලුවේය. දඹර අමිල හිමි නිදහස් කරන්ට ඔවුන්ගේ ඉල්ලීම් දරුණු විය. මින් රටේ ජනතාව දැන ගත්තේ කොටසක් පමණෙකි. ඔවුන් නොදැන ගත් ඉල්ලීම් අතර ඩොලර් නෝට්ටු වලින් පමණක් නිකුත් කළ යුතු මුදල් ප්‍රමාණයක්, සන්නිවේදන උපකරණ ලැයිස්තුවක් හා නිදහස් කළ යුතු ඔවුන්ගේ සාමාජික ලැයිස්තුවක් විය. දෙපාර්ශ්වයම ජනතාවට මෙහිදී බොරු කළෝය. ජනතාවට හෙළි කරන ලද්දේ කොටින්ගේ ඉල්ලීම එකම හමුදා කඳවුරක් ඉවත් කර ගැනීම පමණක් බවයි.

මැඩම් පත්ව සිටියේ අන්තිම අසීරු අවස්ථාවකටය. මේ ගැටළුව නොවිසඳුවේ නම් ඇගේ රජය කොයි මොහොතේ හෝ ජනතා විරෝධය මට කඩා වැටෙන්ට ඉඩ ඇති බව පෙනුණේය. විපක්ෂ නායක මිලින්ද මොරගොඩ දිගින් දිගටම කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ බඳු දූරදර්ශී නයාකයකු යටතේ එක්සත් ජාතික පක්ෂ රජයක් බලයේ සිටියේ නම් මෙවැන්නක් වන්ට ඉඩ නොතිබුණු බවයි. ඊට නම් එක්තරා දුරකට මම එකඟ වෙමි. රනිල් දිගටම බලයේ සිටියේ නම් මේ වන විට මුළු රටම කොටින්ට නතු වන්ට ඉඩ තිබුණේය. එනිසා පැහැරගැන්මක් ගැන ගැටළුවක් පැණ නොනඟිනු ඇත්තේය.

මම මේ අඳුරු වළාකුළේ රිදී රේඛාවක් දිටිමි. යම් අවස්ථාවක ස්වේච්ඡාවෙන්ම මේ ගැටළුව කරට ගෙන විසඳන්ට සහාය දිය හැකි බව මම මැඩම්ට කීවෙමි.

මට මෙසේ කියන්ටද හේතුවක් තිබුණේය. මැඩම් අප ඇගේ ‘දෑත් ශක්තිමත් කරන්ට’ විපක්ෂයෙන් බිලී බා ගත්තේ අපට ඇති ආදරයකට නොව පළමුව ඇගේ බහුතරයද, දෙවනුව ව්‍යවස්ථා සංශෝධනයක් කරන්ට අවශ්‍ය තුනෙන් දෙකක බලයද ලබා ගැනීම පිණිසය. බොහෝ දෙනකු කල්පනා කළ ලෙස අපට සැලැකුණේ මුදලින් නොව පදවි වලිනි. (අඩු තරමින් මට එසේය. උපතින්ම පොහොසත් පවුලකට අයත් වූ මට මුදලෙහි ලොකු වැදගත්කමක් නොවීය. එනිසා මගේ ඩීල් එකේදී ඒ ගැන කතා නොකළෙමි.) අපට බලාපොරොත්තු වූ කැබිනට් පදවි ලැබුණද මැඩම් අප තියා ගත්තේ අතේ දුරිනි. එක්තරා මට්ටමකට අපට වැඩ කරන්ට වූයේ පසමිතුරු වාතාවරණයකය. එවැනි තත්ත්වයක් දිගු කාලීන දේශපාලන ගමනකට අවාසිදායකය. කිසිවෙක් අප මැඩම්ගේ හිතවතකු ලෙස නොදකිති. එනිසා අප අත්‍යාවශ්‍ය සේ නොසැලකේ. අනාගත මැතිවරණයකදී පැරදුණොත් අපට යන්ට වෙන්නේ ගෙදරය. එනිසා නොපරදින බවට වග බලා ගත යුතුය. අවදානම් නොගෙන ඒ කරන්ට නුපුළුවන. මා ගත්තේ ඒ අත්‍යාවශ්‍ය අවදානමයි. Rational risk එකයි.

මේ සම්බන්ධ වූ කතා බහේදී මම මැඩම් ගැන එක දෙයක් දැන ගතිමි. ඒ ඇය මොන කුණු ගොඩකට යටවී සිටියද, වෙනත් බොහෝ නායික නායිකාවන්ගේ මෙන් ඇගේ මිනිසත්කම නැතිව ගොස් නැති වගයි. උදාරණයක් හැටියට මා මේ කැපවීම රනිල්ට ඉඟිකළේ නම් ඔහු ප්‍රශ්නයක් නොනඟා මට අනුමැතිය දෙනු ඇත. එහෙත් මැඩම් මගේ ආරක්ෂාව ගැන ප්‍රශ්න කළාය.

“I assume you know the type of risk you take Victor…”

“I think so Madam…”

“If it does not work, it can ruin your entire political career and sometimes even take your life…” ඇය තම අන්ධ වූ ඇසට ඇඟිල්ල දිගු කළාය. “I don’t want you to learn the hard way…”

“I understand Madam…”

“වික්ටර් මං වගේම සින්ගල් පේරන්ට් කෙනෙක් කියලයි මං අහල තිබුණේ…?”

පට්ට හෙර! මා මේ කතාව කී වහාම ඇය කරන්ට ඇත්තේ මගේ ෆයිල් එක ගෙන්වා ගෙන මේ තොරතුරු බලා ගන්නා එකය. ගේම ඇයට කැමැති විදියට ක්‍රීඩා කරන්ට මමද ඉටා ගත්තෙමි. සල්ලි යන එකක්යැ.

“ඔව් මැඩම්…”

“බබාලා කීදෙනෙක් ඉන්න්වද…?”

“පුතෙක් විතරයි මැඩම්…”

“පුතාගෙ වයස…?”

“He is in his early twenties…”

“එහෙනම් ඉතින් යමක් තේරෙන වයස. විමුක්තිගේ වයසෙම වගේ තමයි. ඒ තරමටම ලොකු ප්‍රශ්නයක් නෑ… හැබැයි මම නම් විමුක්තිට තාම සලකන්නේ පොඩි එකෙකුට වගේ…”

“Yes, Madam”

“වික්ටර්, මේ කරන්න යන වැඩේ පුද්ගලිකව විතරක් නෙවෙයි පවුලටම බලපාන දෙයක්. That is why I ask all these….”

“I can understand, Madam…”

“Tigers are ruthless Victor. If you get it wrong. They will not forgive you. I think you know that…”

“Yes, Madam…”

“Then what more can I say…? කොයිකටත් ගෙදර ගිහින් හොඳට හිතල බලලා ඇවිත් මට කියන්න…”

මට හිතන්ට බොහෝ දේවල් තිබුනේ නැත. මිහිමත මගේ එකම බැඳීම වූයේ පුතා චරිත්ටය. අම්මා ජීවිතයේ අග භාගයේ තවම ලෙඩ ඇඳක ජීවත් වුවද ඇයට කිසිවකු හඳුනාගන්ට තරම් වත් සිහියක් නැතිව මාස කිහිපයකි. මගේ සියළු නිශ්චල චංචල දේපළ, පරාණ බුක්තිය තියාගෙන චරිත්ගේ නමට ලියා අහවර කළේ මහීරාගේ සිංගප්පූරු හුටපටය අවසන් වූ දවස්වලමය. චරිත් තවම මේ බවක් නොදනියි.

මේ දීර්ඝ දේශපාලන ව්‍යායාමය සම්පූර්ණයෙන් විස්තර කරමින් ඔබේ කාලය නාස්ති කරන්ට මම අකැමැත්තෙමි. අද ඒ නාටකයේ අවසාන ජවනිකාව බව පමණක් සටහන් කිරීම ප්‍රමාණවත්ය. මම සටන සාර්ථකව ජයගත් සෙනෙවියෙක්මි. එකම වරදක් හෝ නොකොට දෙපාර්ශ්වයේම අපේක්ෂා නොබිඳ මේ ගැටළුව නිරාකරණය කර ගන්ට මට හැකියාව ලැබුණේය. සය මසෙකට පසු නිදහස් වූ දඹර අමිල හිමියන් මා සමඟ නැවත ගම් රට බලා යන්ට බලා හිඳියි.

ලෝකයේ සමහර දෙවල් වන්නේ පුදුමාකාරයටය. උග්‍ර ජවිපෙ විරෝධියකු වූ මම අද ඔවුන්ගේම සගයකු නිදහස් කොට ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ වීරයකු වී සිටිමි. වසර විස්සකට පමණ ඉහත මා ඔවුන්ගේ අනුත්තර නායකයා මරණයට පත්වූ අවස්ථාව ඇසින්දුටු සාක්ෂිකරුවකු වීද ඔවුන් දන්නේද නොදනිමි. එය දැන ගත්තද තව දුරටත් එය වලංගු නොවනු ඇත. මම වීරයෙක්මි.

අප රැගෙන යන්ට ආ ගුවන් හමුදා හෙලිකොප්ටරය ඉරණමඬුවේ කොටි ගුවන් තොටුපළට ගොඩ බායි. අපි අතට අත දී නඩේසන්ගෙන් හා පුලිදේවන්ගෙන් සමුගනිමු. අපේ සිනහව කැමරාව පිණිස පමණය. මට පුළුවන්කමක් තිබුණා නම් මුන් දෙන්නටම වග කියලාය. ඡායාරූප ශිල්පියකු අපේ සමුගැනීම කැමරා කරයි. පින්තූර Tamilnet පිණිස විය හැකිය.

හෙලිකොප්ටරය අහසට නැඟෙද්දී මම සැනසුම් සුසුමක් හෙළමි. ටික වේලාවකින් අපි මැදවච්චිය පසුකර අනුරාධපුරයට කිට්ටු කරමු. ඈතින් ජේතවනාරාමයේ හා රුවන්වැලිසෑයේ කොත් දකින විට මගේ ඇඟට ටිකක් ලේ උණයි. මැඩම්ට කථා කළ යුතුය.

මම ජංගමය අතට ගන්නා සැණින් එය නාද වේ.

කීර්ති වර්ණකුලසූරිය!

මා දන්නා තරමින් මගේ ගමන මාධ්‍යයට රහසක් විය. එය අසාර්ථක වීමට ඉඩ තිබුණු හෙයිනි. අපට අවශ්‍ය වූයේ සියල්ල නිසි පරිදි වූවායින් පසුව ඩීසන්ට් පුවත් සාකච්ඡාවක් කරන්ටයි. මෙය මැඩම්ට ලකුණු ටිකක් දමා ගැනීමේ වෑයමක් බව අමුතුවෙන් කිව මනා නොවේ, නමුත් හෝටලයේ වේටර්ලාට ඉතුරු වෙච්චි කෑම ලැබෙන්නාක් සේ මටද හිලව්වට ලකුණු ටිකක් ලැබේ.

“ඇයි පුතා මොකද්ද ප්‍රශ්නෙ…?”

“සර්, අද සන්ඩේ ලීඩර් එක කියවන්න ඇතිනෙ…?”

“තාම බැරි වුණා පුතා. මම කොළඹින් එළියෙ ඉන්නෙ…ඇයි මොකද්ද කියල තියෙන්නෙ….?”

“….සර්, අද ලීඩ් නිව්ස් එක සර් ගැන…?”

“මං ගැන…?”

ලීඩ් නිව්ස් එකට යන්ට තරම් වැදගත් මා හා සම්බන්ධ පුවත කුමක්ද…?

“සර්ට මතකද මීට මාසෙකට විතර කලින් පත්තරවල ගියා මුස්ලිම් ගෑනු ළමයෙක් ඇඹිලිපිටියෙදි සුදු වෑන් එකකින් පැහැර ගන්න ගිහිල්ලා පොඩ්ඩක් අල වෙච්චි සීන් එකක්? කොහොමහරි ඒ ගෑනු ළමයා ගැන අරාංචියක් ලැබුනෙම නෑ ඊට පස්සෙ…ඒක එහෙමම අමතක වෙලා ගියා…”

මගේ සුසුම්නාව ඔස්සේ විදුලි සැරයක් ගමන් කරයි. මා ඊයේ දවසම වාගේ හිටියේ උතුරේ මොබයිල් එකට සිග්නල් නැති තැන් වලය. ඊයේ රාත්‍රිය කිලිනොච්චියේ කොටි කඳවුරේය. මම සන්ඩේ ලීඩර් සංස්කාරක ලසන්ත හඳුනමි.ලසන්ත මෙහි ඇත්ත නැත්ත සහතික කර ගන්ට මා සම්බන්ධ කර ගන්ට උත්සාහ ගන්ට ඇත. ඒත් ඒ උත්සාහ ව්‍යවර්ථ වීම පුදුමයක් නොවේ.

මම පරිස්සමෙන් වචන තෝරා ගනිමි.

“නෑ පුතා, මට එහෙම මතකයක් නෑ. මම දැනුත් කොළඹින් එළියෙ ඉන්නෙ…මොබයිල් එකට සිග්නලුත් හරියටම නෑ….”

“එක තමයි. පත්තරේ එන්න කලින් මාත් දැනගත්තෙ. සර්ව ගන්න බැළුවා හරිගියේ නැහැ…”

“දැන් මොකද්ද ප්‍රශ්නෙ…? මාව කොහොමද ඕකට සම්බන්ධ වෙන්නෙ…?” මම උත්තරය දන්නා ප්‍රශ්නයක් අසමි.

“සන්ඩේ ලීඩර් කියන හැටියට සර් මේ ගෑණු ළමයා සර්ගෙ නීත්‍යානුකූල භාර්යාවලු….”

.

.

(ඉවසන්න………………..සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

22 Comments

  1. Namal Wijayamuni zoysa

     /  November 23, 2012

    Who is this politician…??? I got the Victor part, but what his full name..??

    Reply
  2. වික්ටර් සාලිය බණ්ඩාර ගේ සුදු වෑන් රථය පැදවූවේ අමරේද?

    Reply
  3. Sujeewa

     /  November 23, 2012

    පබළු බර ගානක් අමුණන ලදී.

    Reply
    • පළවැනි සැරේට දැම්ම බැක් ලින්ක් එකක්. (අළුත් කතාවක් ලින්ක් කරා පරණ එකකට. සාමාන්‍යයෙන් වෙන්නේ ඕකෙ අනෙක් පැත්තනේ.)

      දහ අට වැනි වැනි කතාංගයේ (“මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට”) පහත කොටසට දැන් අළුත් කතාව ලින්ක් වෙලා ඇති.

      වික්ටර් සාලිය බණ්ඩාර මරන්ට තරම් විශේෂ උවමනාවක් කොටින්ට නුවූ බව මම දනිමි. ඔහු කොටින් හා ගණුදෙනු කළ එකම අවස්ථාව ‘දඹර අමිල සිද්ධිය’යි. එයද කිසිදු පාර්ශ්වයකට පරාජයක් අත් නොවන සේ සූක්ෂ්මව විසඳා ගන්ට ඔහු සමත් විය. අනෙක තමන්ට හොඳටම වැදී ඇති මේ අවස්ථාවේ කොටින් වික්ටර් මරන්නේ ඇයිද? (රනිල් මරපු එක වෙනම කතාවකි. සාම සාකච්ඡා හරහා තමන්ව පාච්චල් කිරීම ගැන කොටින්ට හැමදාමත් රනිල් සම්බන්ධයෙන් වූයේ තරහකි.)

      කතන්දරගේ අදහස් මොකද්ද බැක් ලින්ක්ස් ගැන?

      Reply
      • Sujeewa

         /  November 23, 2012

        1. ලසන්ත වික්‍රමතුංග මැරුව්වේ කවුද? ඔහු මැරෙව්වේ අමරේ විසින් වික්ටර්ගේ උවමනාවටද? එසේ නම් ඒ ඇයි? වික්ටර්ට ලසන්ත සමඟ තිබුණු පලහිලව්ව මොකද්ද?

        2. ප්‍රගීත් එක්නැලිගොඩට වූයේ කුමක්ද? ඔහු ඉස්සුවේත් වික්ටර්ගේ උපදෙස් මත අමරේද? එසේ නම් ඒ ඇයි? නැත්නම් එය වික්ටර්ට සම්බන්ධයක් නැති සිදුවීමක්ද? මැඩම් මේ ගැන යමක් දන්නවාද?

        3. වික්ටර් මැරුවේ/මැරෙව්වේ කවුද? අමරේද? එසේනම් ඒ ඇයි? කලින් කළ වැඩ වලට ගාණ සෙට්ල් නොකළ නිසාද? වික්ටර්ගේ ඝාතනයට මැඩම්ගේ සම්බන්ධයක් ඇත්ද? වික්ටර් තමන්ට තර්ජනයක් බව මැඩම් සැක කළාද?

        4. අමරේ කොහේද? අමරේට මොකද උණේ? කිසිම කෙනෙක් ඒ ගැන නොදන්නේ ඇයි?

        5. ඇඹිලිපිටියේ පියදාසට වූයේ කුමක්ද? ඔහුගේ මේ සිද්ධීන් වලට ඇති සම්බන්ධය කුමක්ද? තුම්මෝදර පැත්තේ වෙළකින් මතු වූ හඳුනාගත නොහැකි තරමට පිළිස්සුණු මළ සිරුර පියදාසගේද? අමරේගේද?

      • අමරේට අවුලක් නැහැ නෙද? ශාසනයා පොරව ඉතාලි යවන්න හිතන සීන් එකක් තිබුනා නේද?
        මං හිතන්නේ වික්ටර් අමරේව ගන්නේ මහීරාගේ ප්‍රශ්ණේ විසඳන්න,කොල්ලාගාව සල්ලි නැති කේස් එකත් නිසා මහීරා පස්සෙන් පහු වික්ටර්ට ඇනයක් වෙන්න ඇති.

      • Sujeewa

         /  November 25, 2012

        මේක මේ කතාන්ගයට සැහෙන්න සම්බන්ධයි: https://samanalaviplavaya.wordpress.com/2012/08/02/butterflyrevolution5/

  4. Sujeewa

     /  November 23, 2012

    මේක පොතක් කරමු නේ. අන්වර්ථ නමින් පොත් ලියන්න තහනම් නැහැ නේද?

    Reply
    • ඔව්. මුහුරත් උළෙලක් තියලා සාසනයාගෙ අතින්ම චරීටම පිළිගන්වන්න බැරියැ. පත්තර වලිනුත් ප්‍රචාරයක් හෙම දෙයිනෙ. 🙂

      Reply
    • ~Kasun~

       /  November 23, 2012

      @Sujeewa
      Grow up…!!!

      Reply
    • DDT

       /  November 23, 2012

      විහිළුවට නෙවි, මේ වැඩේට නම් මමත් එකඟයි. ඔළුව ඇතුලෙ මොළේ සුට්ටක් තියෙන ප්‍රකාශකයෙක් හොයාගත්තොත් වැඩේ ගොඩ.

      Reply
    • Sujeewa

       /  November 24, 2012

      අවංකවම නොදන්නා කමටයි අහන්නේ ලේඛකයා ඔබතුමාව අමාරුවේ දාන්න නොවේ. අන්වර්ථ නමකින් පොතක් ලියන්න බැරිද?

      හරි මම එකඟයි මේක මාට්ටු වෙනවා කියන ඒකට. ඒ නිසා සමනල විප්ලවය මේ විශ්වයේ නම් පොතක් කරන්න බැරි වෙයි. එය හරිම කනගාටුදායක සිද්ධියක්.

      Reply
  5. ~Kasun~

     /  November 23, 2012

    මටනම් හිතෙන්නේ සන්නිවේදන උපකරණ දීම රනිල්ගෙ වැරදුනු උප්පරවැට්ටියක් කියල.. රනිල් බලපොරෝත්තුවෙන්න ඇත්තේ කොටින්ව ලෝකයත් එක්ක සම්බන්ධ කරලා ගෝත්‍රික අදහස් වෙනස් කරන්න වෙන්න ඇති.. සමහර විට යම් ප්‍රමාණයක් එහෙම උනා වෙන්නත් පුළුවන්.. මොකද රනිල්ට ඕනේ උනේ මහින්දගේ බජාර් ටයිප් එකෙන් විසඳන්නේ නැතුව සකාච්චාමය විසඳුමක් ගේන්න.. ඒ සැලැස්මට අනුව කරන්න පුළුවන් හැමදේම ඉතාම හොඳින් රනිල් කරා.. රනිල්ට තව දුරටත් මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන්න ලැබුණානම් මේ වෙනකොට හොඳ විසඳුමක් ලැබිලා.. කව්රු හරි කියනවනම් රනිල් හිටියනම් රටම කොටින්ට ගිහිල්ල කියල ඒක අදාළ පුද්ගලයාගේ කුහක කම..

    අනික මතක තියාගන්න ඕනේ ප්‍රධානම කාරනේ ප්‍රශ්නේ තාම විසඳිලා නැතිබව.. ප්‍රශ්නයක් තියෙන බව කියන අයව අයින් කරපු එක විතරයි වෙලා තියෙන්නේ.. අන්තිමට කැරකිලා වැටෙන්නේ රනිල්ගේ පාරටම තමයි..

    Reply
    • DDT

       /  November 23, 2012

      ගනං ගන්න එපා. මේක පරණ කතාවක්. ලේඛකයට කොහොමත් ඉස්සර ඉඳලම රනිල්ව ඇලජික්.

      Reply
    • Jesse James

       /  November 23, 2012

      සැලැස්මට අනුව රනිල් කරපු මගුලක් නැහැ කසුන් , රනිල්ගේ මාද්‍ය නඩය එහෙම දෙයක් ගිල්ලෙව්වා .
      රනිල් නිසා කොටි ගොඩක් ප්‍රයෝජන ගත්ත
      රනිය කලේ පුළුවන් තරම් කොටින්ට වර දාන දීල නිස්සද්ද කරලා තියාන ඉන්න එක

      Reply
      • ~Kasun~

         /  November 24, 2012

        එක එක අය දෙන පාට කන්නාඩි දාගන්නේ නැතුව මධ්‍යස්තව බලල රනිල් කරපු දේවල් විග්‍රහ කරලා බලන එකයි කරන්න ඕනේ.. රටේ සාමාන්‍ය ජනතාව හැටියට අපට කරන්න පුළුවන් දේ ඒකනේ.. මම කරේ ඒ දේ.. මම දැකපු දේ තමයි විග්‍රහ කරේ.. තමුන්නැහෙටත් පුළුවන් දන්නා දේ කරුණු කාරණා සහිතව ඉදිරිපත් කරන්න.. එහෙම නැතුව අපෝ ඕක රට කෑව කියල හරියන්නේ නෑ..

      • අංජන

         /  November 24, 2012

        ගෝට කලා වගේ එකෙක් පස්සට අඩියක් ගන්නෙ නැතුව, කීයක් මලත් ඔක්කොම මරල දානවට වඩා රනිල් කරපු දේ නම් යමක් හිතල කලේ. නමුත්, ආන්ඩුවෙ හරක්ට විදෙශ සංචාර දුන්නම ඒකෙන් කෙරන්න ඕන දෙවල් මොකුත් නොකර ෂොපිං විතරක් කරනව වගේ, කොටින්ටත් සංනිවේදන යන්ත්‍ර දුන්නම ඒකෙං අයුද ගෙන්නන්නයි පාවිචි කලා මගෙ හිතේ.

  6. DDT

     /  November 23, 2012

    ෴ පළමු වරට ඊළමට පැමිණ යන ලාංකීය සිංහල ඇමැතිවරයා හැටියට මා ඉතිහාසයට එක්වනු ඇත්තේය.෴

    එහේ ඩොක්ටර් ජයවර්ධන ඉඳල නෑ වගේ.

    Reply
    • Sujeewa

       /  November 24, 2012

      මෙහි ඔහු “ඊලම” කියා කියන දෙය අප සිටින විශ්ව්වයේ තිබ්බ තත්වයෙන් ඔබ්බට ගිය එකක් හැටියට මා හිතන්නේ. මොකද අපේ විශ්වයේ 2002 සාම වැඩ සටහන 2004 වෙද්දී [රනිල් යටතේම] අඩාළ වෙලා, 2005 වෙද්දී [සැටලයිට් යටතේ] අකර්මන්‍ය වෙලා, 2006 වෙද්දී [මහින්ද යටතේ] අහෝසි ටහ්ත්වෙට එනවා. මම හිතන්නේ මේ කියන්නේ එහෙම නොවී එය වසර දහයක දිගට ගියා නම් ඇතිවන අලුත් තත්වයක් ගැන.

      Reply
      • DDT

         /  November 24, 2012

        ඒක හරි, ඒත් මගේ ප්‍රශ්නෙ වලංගුතාවය තවමත් එසේමනේ. එහෙත් ජයලත් ජයවර්ධන කෙනෙක් හිටියනම් වික්ටර් සාලිය බණ්ඩාරට ඉස්සර වෙල කොටි එක්ක ගනුදෙනු කරන එකේ වගකීම එයා කරට ගන්න උනත් ඉඩ තිබුණ, මැඩම් උනත් හිතේ කරදරයක් නැතුව ඒක අනුමත කරන්න තිබුණ.

  7. SB නොහොත් Smart Brain

     /  November 24, 2012

    සර්… සර්… කිය කියා කීර්ති වර්ණකුලසූරිය මේ විශ්වයේ අදත් කරන්නේ ඒ දෙයමයි.

    Reply
  8. කෝ මේ ලේඛකය! මුල ඉඳල අගටම කියෙව්ව. දැන් ඉතින් ඉවසන්න බෑ.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: