(43) ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? || Who killed Lasantha Wickrematunge?

**********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )**********

beautifulthing

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට තියේ. මේ මොහොතෙහි රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය එයයි. වර්තමාන ආණ්ඩුව අතිශය අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියි. මේ තනි සිද්ධිය 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය බලයට පත් වූ තැන් පටන් ඇය මුහුණ දුන් දරුණුතම අර්බූද වලින් එකකට ඇගේ ආණ්ඩුව තල්ලු කර දැමිය හැකි බැව් දේශපාලන විචාරකයින්ගේ මතයයි.

ඉතින් මට පාන්යැ?

මට එසේ අසා නිහඬ විය නොහැකිය. මේ නාටකයේ මා ප්‍රමුඛ භූමිකාවක් රඟ පා ඇති නිසාය.

පඳුර වටේ නොතලා කෙළින්ම ප්‍රස්තුතයට බසිමි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඇඟිල්ල දිගුවී ඇත්තේ අප්පච්චි දෙසටය.

අප්පච්චි ඔහු මරා දැමුවේද? කොයිතරම් බල ලෝභියකු වුවද අප්පච්චිට මිනිසකු මරා දමන්ට තරම් දරුණු විය හැක්කේද? මම මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්ට නොයමි. එහෙත් එකක් මට කිව හැකිය. අප්පච්චිට ලසන්ත මරා දමන්ට තරම්ම දරුණු හේතු තිබුණු බවය.

Sunday Leader එක අප්පච්චි ගැන මඩ ප්‍රවෘත්ති (මඩ කීවාට මේවා ඇත්ත විය හැකිය.) එකක් පස්සේ එකක් පළ කරන්ට ගත්තේ වසර හතකට පමණ ඉහතදී ඔහු එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුව සිටියදීය. මට මතක හැටියට එය ඔහු විදෙස් එල්.ටී.ටී. ඊ. ක්‍රියාකාරිනියක සමඟ ඕස්ට්‍රේලියාවේ නිරුවත් වෙරළකට ගිය සිද්ධියක් ගැන නම නොකියා වාර්තා කොට තිබුණේය. නම නොකියැවුණු නිසා එය අප්පච්චිට ලොකු ගැටළුවක් නුවූයේය. නමුත් මේ සිද්ධිය ඔහු කුපිත කළ බව මම දනිමි. අප්පච්චිට වැඩියෙන්ම තරහ ගොස් තිබුණේ කටුනායක ගුවන් තොටුපළේදී ඔහුට හමුවූ ලසන්ත මිතුරකු ලෙසින් සියළු තොරතුරු අසාගෙන පසුව ඒවා Sunday Leader හි පළකළ නිසාය. මේ මා අප්පච්චිගෙන් දැනගත් කාරණා නොවේ. නමුත් පවුලේ ගොසිප් කොහෙන් කොහෙන් හෝ මගේ කණටද වැටෙයි.

දෙවැනිව මහීරා පිළිබඳ ප්‍රශ්නය. මේ ගැන මා දන්නේ යන්තමිනි. අප්පච්චි ඇය විවාහ කර ගන්ට සූදානමින් සිටි බැව් මම දනිමි. එහෙත් ඔහු ඇය නීත්‍යානුකූලව විවාපත් කර ගත් බව මම නොදැන සිටියෙමි. යම් මොහොතක මේ සම්බන්ධය බිඳුනේය. ඉන්පසු මම ඇය ගැන නොඇසුවෙමි. ඇය ගැන නැවත ඇසුවේ ඇය වසර කිහිපයකට පසුව හිටි හැටියේම අභිරහස් ආකාරයෙන් අතුරුදහන් වූ පසුවය. තවමත් කිසිවෙක් ඇයට කුමක් වීද නොදනිති. එහෙත් අප්පච්චි ඇය හා විවාහ වී සිටීම (මේ විවාහය ගැන මා මුල් වරට දැන ගත්තේද Sunday Leader එකෙනි.) ඔහුට අවාසියක් විය. Sunday Leader එක මේ සිද්ධිය සති ගණනාවක් වවාගෙන කෑවේය. කොටින්ම කොටින්ගේ ග්‍රහණයට නතුව සිටි දඹර අමිල හිමි ඉන් මුදාගෙන නැවත ගෙන එමින් රටේ ජනප්‍රියතාවයක් දිනා ගන්ට අදහස් කර ගෙන සිටි ඔහුගේ අභිප්‍රාය මේ පළකිරීම නිසා යම් මට්ටමකට බිඳුනේය. අප්පච්චි කෝප නොගත්තේ නම් එයයි පුදුමය!

ඉතාම අවාසනාවන්ත ආකාරයෙන් තෙවන වර Sunday Leader එකට අප්පච්චි අපහසුවට පත් කරන්ට හේතුවක් හදා දුන්නේ මාය. සමහරවිට මෙය අන්තිම පිදුරු ගහ විය හැකිය.

මම තිසූට ආදරය කළෙමි. ඔහු මගේ හොඳම මිතුරා පමණක් නොව ආදරවන්තයාද විය. වසර ගණනාවක් එය ලොවින් සඟවා ගෙන තබන්ට අප දෙදෙනාට හැකිවිය. එහෙත් තීරණාත්මක මොහොතක එය ලෝකයටම හෙළි වූයේය. ඒ අප දෙදෙනා පමණක් නොව අපේ පවුල්ද දැඩි අසීරුතාවයකට පත් කරමිනි.

මම තිසූට ආදරය කරන්ට පටන් ගත්තේ කවදාදැයි මට නිශ්චිතව කිව නොහැකිය. සමහරවිට ඒ ඔහු මට මුණ ගැසුණු පළමු දිනයේ පටන් විය හැකිය. අප දෙදෙනාම ඒ වන විට කුඩා දරුවන්ය. නමුත් සංසාර සම්බන්ධතා ඇරැඹෙන්නේ අප හිනතවාට කලින්ය.

කුඩා කළ පටන්ම මා මගේ වයසේ අනෙක් ළමයින්ගෙන් වෙනස් බව මම නිශ්චිතව දැන සිටියෙමි. ඔවුහු කෙළි බිමට ඇළුම් කළහ. මම පොතේම ගැළුනෙමි. ඔවුහු සමාජ ආශ්‍රය ප්‍රිය කළහ. මම තනියකු වීමි. ඔවුහු රළු පිරිමි ප්‍රතිරූප වන්දනා කළහ. මම සියුමැළි ගැහැණු ප්‍රතිරූප වලට කැමැති වීමි. මා නොදැන සිටියේ මේ කිසිවකට හේතුවයි. මා සිතූයේ මගේ වෙනස් පසුබිම ඊට හේතුවන්ට ඇති බවයි. මගේ මිතුරන්ට අම්මලා සිටියහ. ඔවුන්ගේ තාත්තලා ඔවුන්ට සමීප වූවෝය. මා පාසල ඇරී ගෙදර එනතුරු බලා සිටින්නට අම්මකු නොවීය. මගේ අප්පච්චිට මා ගැන වූයේ අවම උනන්දුවකි. මා සමාජ ආශ්‍රයෙන් ඈත්ව, ඉතා අවම මිතුරන් ගණනක් තනා ගනිමින් පතපොතට නැඹුරු වන්ට හේතුව සේ මා දුටුවේ එයයි.

මා වැනි බොහෝ දෙනකු සේම මට මා අවබෝධ කර ගත හැකි වූයේ බොහෝ කාලයකට පසුවය. ඒ වන විට තිසූ මගේ ලෝකයේ වූ රික්තය පුරවා තිබුණේය. අප දෙදෙනා දෙදෙනාටම නැතිවම බැරි තත්ත්වයට පත්ව සිටියෙමු.

මම බිය වීමි. සමහරවිට එක්වර තීරණයක් ගන්ට තිබුණේ නම් අප දෙදෙනාම ඊට බියව දෙපසට වනු ඇත්තේය. නමුත් සියල්ල සිදුවූයේ සෙමෙනි. අපේ ජීවිතයට සුන්දරත්වයක් එක් කරමිනි. අප එතෙක් පිය නොතැබූ ප්‍රසන්න ලෝකයකට අප කැඳවාගෙන යමිනි.

යම් අවස්ථාවෙක අප දෙදෙනාට එක ළඟ වාඩිවෙන්ට ලැබුණොත් මගේ හිසකේ අතරින් ඇඟිලි යවා සුමුදුව හා සෙමෙන් හිස පිරි මදින්ට තිසූ පුරුදුව සිටියේය. මෙය පූසකුගේ හිස පිරිමදිද්දී ඌට දැනෙන සනීපය බඳු සනීපයක් දනවයි. මමද ටික කලෙකින් මේ ක්‍රියාව ප්‍රත්‍යාවර්තනය කරන්ට පෙළඹුනෙමි.

පන්තියේදී අප එකිනෙකාගේ හිස පිරිමදින්ට ගොස් අනෙකුන්ගේ නිරීක්ෂණයට බඳුන් වූ බව මතකය. අප ඔවුන්ගේ විහිළුවට බඳුන් වූ බවත් මතකය.

ඉතින් අපට පාන්යැ! රෝයල් එක යනු මොරගහහේන මහා විද්‍යාලය නොවේ. එයින් අපි තවත් ධෛර්යමත් වීමු.

ඉඳහිට තිසූගේ නිවසෙහි නිදාගන්ට යෑමේ පුරුද්දක් මට විය. අප දෙදෙනා නිදා ගත්තේ එක ඇඳේය. එකිනෙකාට තුරුළුව නිදන්ට අප පුරුදු වූයේ මේ කාලයේදීය. ජීවිතයේ කිසි දවසෙක මවකගේ උණුසුම නොදැන සිටි මා පළමු වරට උණුසුම උගත්තේ තිසූගෙනි.

තිසූ මා සමඟ නිවාඩුවට මීගමුවට ආයේය. ඒ අප දෙදෙනා අතර මිතුදම ක්‍රමයෙන් ආදරයකට පරිවර්තනය වෙමින් පැවැති සමයයි. සාමාන්‍යයෙන් මට ඕනෑවටත් වඩා කාරුණික වන මීගමුවේ සීයා මා තිසූ කැන්දා එනවාට වැඩි කැමැත්තක් නොදැක්වූයේ මන්දැයි මම නොදනිමි. අප දෙදෙනා කරන්නේ මොනවාදැයි බලන්ටත් කවදාවත් නැතුව ඔහු විමසිලිමත් විය. මෙය තිසූට දැනුනාද නැද්ද මම නොදනිමි.

එකිනෙකාට ප්‍රකාශ කර නොගත්තද, අප දෙදෙනා තුළම අනෙකා කෙරෙහි තුනීව ආදරයක් මෝදු වෙමින් පැවැතුණේය.

සංසාර සාගරේ – ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමි..
ඔබ නිසා පදවන්නෙමි..

ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි – මං ලකුණූ දන්වන්න
නැංගුරම් ලන තැනට – පෙනෙන සේ ඔබ ඉන්න…

වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී…
දුර්ග වූ ගමන්මඟ – විඩාගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න – මා සමඟ එක්වන්න

අවාරයේ සිරීපාදය වන්දනා කරන්ට ගිය ගමන අපේ ආදරය නොබිඳෙන සේ තහවුරු කළේය මම සිතමි. අපොස උසස්පෙළ විභාගයෙන් පසුව ඊට එක් වූයේ පන්තියේ පාසල් මිතුරන් හය හත් දෙනෙකි. තිසූ හිටියේ අපේ උසස්පෙළ පන්තියේ නොවේ. ඔහු හදෑරුවේ ජීව විද්‍යා විෂයන්ය. ඔහු මීට සම්බන්ධ වූයේ ප්‍රමුඛවම මගේ සම්බන්ධය නිසාය.

අපට අවශ්‍ය වූයේ රියල් ඇඩ්වෙන්චර් එකකකි. සිරිපා කරුණා කරන්ට අවාරයම අප තෝරා ගත්තේ එනිසාය. ගමන තවත් අමාරු කරන්ට අප ඕනෑකමින්ම රත්නපුර මාර්ගය තෝරා ගත්තෙමු. මේ සිරිපා කරුණා කරන්ට ඇති අපහසුම මාර්ගයයි. නල්ලතන්නියේ (හැටන්) වල සිට සිරිපා නඟින්ට පටන් ගැන්මේදී ඔබ සිටින්නේ උස් බිමෙකය. ඔබට ඇත්තේ කන්ද නඟින්ට නොව කඳු ගැටය නඟින්ටය. රත්නපුර මාර්ගයේදී ඔබ බිම් මට්ටමේ සිටම කන්ද නැඟිය යුතු වේ.  මාර්ගයේ මුළු දිග කිලෝ මීටර විස්සකට කිට්ටුය. කන්ද නැඟීමටද ඇති හෙයින් මෙය මෙසේ කිහිප ගුණයක් සේ දැනේ.

අප සිරිපා තරණය ආරම්භ කළේ මහ වැසි මැදය. නව යොවුන් වියේ අප කවර හෝ වැස්සෙකින් නතර කළ හැක්කේද? වැහි කබා පොරවාගෙන මම සීතලට තිසූට තුරුළු වී සිටියෙමි. කබාය පසාරු කොට මට ඔහුගේ උණුසුම දැණුනේය.

පිටාර ගැලූ සීත ගඟුල අපේ ගමන දින දෙකකින් ප්‍රමාද කරන්ට සමත් විය. අප ඒ අසළ බාගෙට ඉදිකළ ගොඩනැඟිල්ලෙක තාවකාලිකව නවාතැන් ගතිමු.

මේ සිරිපා ගමන ගැන මට ලෙහෙසියෙන්ම පොතක් ලියන්ට අත්දැකීම් තියේ. මේ එයට අවස්ථාව නොවේ. මම ප්‍රමුඛ මතක දෙකකට ඉඩ දෙමි.

අවාරයේ බල්ලකු වත් සිරිපා තරණය නොකරයි. මෙනිසා අපට අපේ හිතුමතයට ඕනෑම දෙයක් කරන්ට නිදහස තිබුණේය. ලිහිණි හෙළට ආසන්න ස්ථානයකදී මහ කැළය මැදට වැදුණු අප ගලා යන දොළ පහරෙකින් කිටිකිටියේ ගැහෙමින් නෑම මගේ එක් සොඳුරු මතකයකි. (මේ සීත ගඟුළෙහි අතු ගංගාවක් විය හැකිය.) අමතර ඇඳුම් නොවූ නිසා අපට නාන්ට වූයේ නිරුවතිනි. මේ මා තිසූගේ නිරුවත් සිරුර පළමු වතාවට දුටු දිනයයි. එතැන් පටන් මට ආපසු හැරීමක් නුවූයේය.

මේ ගමන පිළිබඳ මගේ දෙවන සුන්දර මතකය රෑ කළුවර වැටෙමින් ඇති මොහොතක මහ ගිරි දඹෙහි අවසන් අදියර පසු කරමින් මහ මළුවට පිවිසීමයි. මේ වන විට අප සිටියේ දින කිහිපයක ගමනින් දැඩි වෙහෙසකින් යුතුවය. එහෙත් ඒ අපූර්ව දර්ශනය අපේ සියළු වෙහෙස නිවන්ට සමත් වන්නකි. මඳ අඳුර ටිකෙන් ටික හාත්පස පරිසරය ගිල ගනියි. සීත සුදු වළාකුළු අපේ අතේ ගෑවෙන නොගෑවෙන මානයෙන් පාව යයි. මා දුබල හා විඩා බර වූ හෙයින් මේ වන විට මා ගමන් ගත්තේ තිසූට තුරුළුව ඔහුගේ වාරුවෙනි. අවාරයේ වුවද මහ මළුවෙහි විදුලි පහනක් දැල්වෙනු අපට පෙණුනේය.

“Crash…you know what I think in this very moment…”

තිසූ මට කෙඳිරුවේය.

“I know Eddie…You don’t have to tell…”

මම පිළිවදන් දිනිමි. Crash හා Eddie යනු අප දෙදෙනා කුඩා කල පටන් විශේෂ අවස්ථාවලදී එකිනෙකා ආමන්ත්‍රණය කරන්ට යොදා ගත් සුරතල් නාමයන්ය.  අපට මෙවැනි අපේම වචන කිහිපයක් තිබුණේය. ‘Sorry’ වෙනුවට ‘Thowy’ කීමද ඉන් එකකි.

ඔහු අනෙකුන්ට නොපෙනෙන්ට මගේ නළල සිප ගත්තේය. මඳ අඳුරේ මගේ නහය දිගේ ලිස්සා ආ ඔහුගේ උනුසුම් දෙතොල් මගේ තොල් මත නතර විය. මම ඊට ඉඩ දී නිරාමිස සතුට විඳිමින් ඇස් පියා ගතිමි. ඔහු ඉක්මණින් මුහුණ ඉවතට ගත්තේ අනෙකුන් දකීය සිතා විය යුතුය.

තිසූ හා මගේ ආදරය සුරංගනා කතාවක් සේ මෙසේ ගලා ගියේ නම් මා කැමැතිය. නමුත් අප දෙදෙනාටම එසේ කරන්ට පුළුවන්කමක් නොවීය. මෙනිසා අපට එය කරන්ට වූයේ රහසේය. ලොවට වසන් වෙමිනි.

සැබෑව වසන් කරන්ට අපට බොහෝ දේ කරන්ට සිදුවිය. සමහරවිට ඒ තුන්වන පාර්ශ්වයන්හි ජීවිත සමඟ ක්‍රීඩා කරමිනි. අප දෙදෙනාම යම් යම් අවස්ථාවන්හි ‘කවර්’ පෙම්වතියෝ සිටියහ. මේ අපේ උනන්දුවෙන්ම සිදු වූ දේ නොවේ. මම දිනූෂා පසුපස නොගියෙමි. මා පසුපස ආවේ ඇයයි. නමුත් යම් මොහොතෙක ඇයට ඉඩ දිය යුතුය මම සිතුවෙමි. ඒ කවර් එකටම නොවේ, මගේ සිතෙහි යම් කොටසක් මට ඇය සමඟ අනාගතයක් ඇතැයි හැමදාමක් තරයේ විශ්වාස කළේය. එය එසේ නොවූ බව පසුව පසක් කළෙමි.

මම දිනූෂා රැවටුවේය මම නොසිතමි. දැඩි මනෝ ව්‍යාධීන්ට මැදිව වුවද මම හැකි ඉක්මණින් ඇයට ඇත්ත කීවෙමි. ඇය මා කෙරෙහි සානුකම්පික වූවාය. යම් කාලයක් ඇය මා වෙනස් කරන්ට උත්සාහ ගත් බව දනිමි. නමුත් ඇයට එය නොකළ හැකි විය. අපි වෙන්වීමු. තිසූටද මෙසේ කෙටි කළෙකින්ම අසාර්ථක වූ ප්‍රේම සම්බන්ධතා ගණනාවක් වූයේය. අවසානයේ අපි දෙදෙනාම ආරම්භක කොටුවට පැමිණියෙමු.

මට මගේ ආත්මය සමඟ කරන්ට වූ සටන කිසිසේත් සරල නොවීය. කිහිප අවස්ථාවකම මම තිසූ අමතක කොට ‘සාමාන්‍ය තරුණයකු’ වන්ට උත්සාහ ගතිමි. නමුත් එය කරන්ට තරම් මම ශක්තිමත් නුවූයෙමි. විශාදයෙන් පෙළීම් හා සිය දිවි නසා ගන්ට කළ අසාර්ථක උත්සාහ කිහිපයක් හමුවේ මම අරේෂාගේ මඟ පෙන්වීම යටතේ මනෝ ප්‍රතිකාර ලද්දෙමි. මගේ මනෝ විශ්ලේෂකයාගේ උවදෙස වූයේ මේ සාමාන්‍ය තත්ත්වයක් බවය. මට මගේ අනාගතය ගැන තීරණයක් ගන්ට ඔහු ඉඩ දුන්නේය. මම ‘පාරිශුද්ධත්වයේ සුදු රකුසා’ (‘the white demon of purity’) පරාජය කළෙමි.

මට තිසූගෙන් වෙන් වන්ට අවශ්‍ය විය. නමුත් මට කවදාවත් එය නොකළ හැකි විය. බූමරංගයක් සේ නැවත නැවතද මම තිසූ වෙතටම ඇදී ගියෙමි.

මා උසස් අධ්‍යාපනය පිණිස පිටරට යැවිය යුතුය යන්න අප්පච්චිගේ අදහසක් වුවද මම විරුද්ධත්වයක් නොපා ඊට අවනත වීමි. ඒ අසා අප්පච්චි පවා විස්මය පත් වූ බැව් මම දනිමි. මේ මතක හැටියට ප්‍රධාන තීරණයකට මා ප්‍රශ්නයක් නොනඟා ඔහුට අවනත වූ පළමු වතාවයි. රටින් පිට යෑමෙන් තිසූ ගෙන් වෙන් විය හැකිය මම සිතුවෙමි. අප වෙන්ව යන්ට පෙර රාත්‍රිය අතිශයින් හැඟීම්බර වුවද හිත හදාගෙන තිසූගෙන් සමුගන්ට මට හැකිවිය.

මැලේසියාවේදී මම අමුතුම ලෝකයකට අවතීර්ණ වීමි. නමුත් මට තිසූ අමතක කළ නොහැකි විය. සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා අප කයින් කෙසේ වුවද සිතින් එක් වූයෙමු. අනෙක මට හැම නිවාඩුවකටම ගෙදර එන්ට ලැබුණේය. මා මගේ නිවාඩුව වැඩි හරියක් ගත කළේ තිසූ හෝ අරේෂා සමඟය. අරේෂා මගේ ආදරයට බාධා නොකළාය. අඬන්ට අවශ්‍ය වූ විටෙක සොහොයුරියක සේ උරහිස දුන්නාය. ඇය මට වැඩිමහළු නොවී නම් ඒ අම්මාගේ පුනරුප්පත්තියය සිතන තරමට මම ඇයට ළංවීමි. එසේ සිතන්ට ඉඩ නොදුන් එකම හේතුව අම්මා මිය ගොස් තිබුණේ (එනම් මා උපත ලද්දේ) ඇය උපත ලබා මාස කිහිපයකට පසුව වීමයි.

එක්තරා කාලයක වෙයි මට ට්‍රයි කළේය. මාද ඊට එක්තරා මට්ටමක දිරි ගැන්වීමක් සැපයීමි. නමුත් එය දිගු කාලයක් නොපැවතියේය. මට තිසූගෙන් වෙන් විය නොහැකි විය. අප දෙදෙනා බැඳී සිටියේ එතරම් තදිනි. අවසානයේ වෙයි පරාජය පිළිගෙන ඉවත් විය. එහෙත් අපි තව දුරටත් හොඳ මිතුරන් වීමු.  පසුව වෙයි අපට වඩා පහළ බැච් එකක ඉන්දියානු ශිෂ්‍යයකු සමඟ මැච් විය. වෙයි හා පියූෂ් අද සතුටින් දිවි ගෙවන බැව් මම දනිමි.

මා ඔහුගෙන් ඈත් වන්ට දැරූ වෑයමම තිසූ මගෙන් ඈත්වන්ට දැරුවේය. සමහරවිට මා වැරදි පාරවල යවා හෝ ඊට උත්සාහ කළේය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළුණු දින රාත්‍රියේ, ඡන්ද ප්‍රතිඵල මට SMS කරන අතරතුර ඉතාම කැෂුවල් ලෙස තමන් අන් පෙම්වතකු සොයා ගත් බව කියා මා නොමඟ හරින්ට ඔහු ගත් උත්සාහය කෙළවර වූයේ මගේ තවත් සිය දිවි නසා ගැන්මේ උත්සාහයෙකිනි. තිසූ කීවේ බොරුවක්ම නොවේ. ඔහු ඇත්තටම තවත් පෙම්වතකු සොයා ගත්තේය. සඳරු දෙවන පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. නමුත් ඔහු සොයා ගත් පෙම්වතියන් සේම සඳරුද වැඩි කල් තමන් ළඟින් තබා ගන්ට ඔහුට නුපුළුවන් විය. ඔහුට චරීව ඕනැ විය. අපි නැවත පළමු තැනට ආවෙමු.

අපේ අවාසනාව පියඹා ආයේ රිවර්ස්ටන් හීදීය.

අප නුවර ගියේ නිරෝෂ් හා සවින්ද සමඟය. රිවස්ටන් හීදී උන් දෙන්නාට ඕනැ දෙයක් කර ගන්ට කියා අපි වෙන් වූයෙමු. මේ වන විට අප මහ පාරේ සිට කිලෝමීටරයකට දෙකකට වැඩි දුර ප්‍රමාණයක් ඇතුළට ගොස් සිටියෙමු. සවස් කාලය වූ හෙයින් වැඩි පිරිසක්ද නොවීය.

ප්‍රසිද්ධියේ ආදරය කිරීම තිසූගේ හෝ මගේ හෝ සිරිත නොවේ. නිරෝෂ් හා සවින්ද මෙන් නොව අප දෙදෙනා හැම විටම අවට පරිසරය ගැන විමසිලිමත් වීමු.  අපට අපේ ආදරය හැම දෙනාගෙන්ම රහසක්ව තබා ගන්ට හැකි වූයේද එනිසාය. එහෙත් මේ අවස්ථාවෙහි කිසිවකු අප අසළ නොවූ හෙයින් අපි නිර්භීත වූයෙමු. මම ඔහුගේ මුව සිප ගතිමි. මේ ආරම්භයයි. අපි තව බොහෝ දුර ගියෙමු. එය ආන්තික නුවූවත් පිටතින් බලන්නකුට අප අතර ඇති සියළු දේ තේරුම් ගන්ට තරම් ප්‍රමාණවත්ය.

“Erotica of minister’s son” ලෙසින් පසු සතියෙහි Sunday Leader පුවත්පතෙහි පළ වූයේ මේ එක්වීමේ ඡායාරූපය. අපේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන්ට ඔවුන්ට අයිතියක් නැති බැව් සැබෑය. එහෙත් රිවස්ටන් යනු පොදු බිමකි. එසේම මෙවැනි අවස්ථාවක අපේ සමාජයේ කිසිවකුත් තමන්ගේ අයිතීන් ගැන කතා කරන්ට නො එන බව ලසන්ත හොඳින්ම දැන සිටියා විය හැකිය.

ඇත්තටම මේ ඡායාරූප ගත්තේ කවුදැයි මම තවම නොදනිමි. මෙතරම් අමාරුවෙන් අප ෆලෝ කරන්ට ලසන්තට අවශ්‍ය වූයේය මම නොසිතමි. ඔහුගේ සිතෙහි අප්පච්චි ගැන වෛරයක් වීය මම නොසිතමි. ඔහුට අවශ්‍ය වූයේ පත්තරය විකුණා ගන්ට උණු උණු ගොසිප් පුවත් ටිකක් විය හැකිය. ඒ ගොසිප් පළ කළේ කවරකු හෝ ගැන ඔහුට තිබුණු වෛරයක් නිසා විය නොහැකිය.

එවන් තත්ත්වයක් තුළ මට හිතන්ට ඇත්තේ එක් දෙයකි. ඒ කලකට පෙර අපෙන් ඇති වෙන්ට කෑ මාලක සිල්වාගේ මීට සම්බන්ධයක් ඇති බවය. ඔහුට නම් අප දෙදෙනාට වෛර කරන්ට හේතුවක් තිබුණේය. නමුත් මාලක අප ගැන දැන ගත්තේ කෙසේද? මේ අයුරින්ම පළි ගන්ට ඔහුට අවශ්‍ය වූයේ මන්ද? මම නොදනිමි.

අපේ පින්තූර Sunday Leader එකේ පළවීම  දීර්ඝ කාලයක් තිස්සේ පිපිරෙන්ට නියමිතව තිබූ කාල බෝම්බයක් එකවර පිපිරුණාක් වැනි විය. එය අප දෙදෙනාගේ හා අපේ පවුල් වල අනෙකුන්ගේ ජීවිත වලට කළ බලපෑම විස්තර කරන්ට වචන නාස්ති කළ යුතු නොවේ. අප්පච්චි යක්ෂාවේශව සිටියේය. මගේ බොහෝ නෑදෑයෝ කෝප ගත්හ. මා දෙස යම් පමණෙකට හෝ අනුකම්පා සහගත වූයේ මීගමුවේ සීයා පමණෙකි. මම මාස කිහිපයක් මීගමුවේ ඔහුගේ ගෙදර නතරව සිටියෙමි. මට කරමින් සිටි රැකියාව අහිමි විය. පෙර නොදන්වා නික්මීම වෙනුවෙන් ඔවුහු මගේ මාසයක වැටුප කපා ගත්තෝය.

තිසරගේ පවුලේ ප්‍රතිචාරයද මෙසේමය මට කිව හැකිය. ඔහු මගේ ඇමැතුම් වලට කතා කිරීම අත හැරියේය. ටික දිනෙකින්ම ‘This number is not in use’ පණිවිඩය මට ලැබුණේය. ඒ තාක් අප කිසිවකට වෙන්කළ නොහැකි වූ අප මේ සිද්ධිය නිසා බිඳුනෙමු. මටද තිසර පස්සේ යන්ට තරම් ධෛර්යයක් නොවීය. මාස කිහිපයකට පසු ඔහු වැඩිදුර අධ්‍යාපනය පිණිස විදේශ ගත වූ බව මිතුරන්ගෙන් ඇසුවෙමි.

පෙර සේම මේ අවස්ථාවේදීම මගේ දිවි රැකුණේ නම් ඒ අරේෂා නිසාය. නමුත් මා නිසා ඇයට කරදරයක් වී ඇති බැව් මම පසුව තේරුම් ගතිමි. ඇගේ අළුත් පෙම්වතා අපේ ඇසුරට කැමැති නොවීය. මට තව දුරටත් අරේෂාට වදයක් වන්ට අවශ්‍ය නොවූ නිසා මම ඇගෙන් ඈත්වීමි. ඇය ලබන අවුරුද්දේ විවාහ වන්ට යන බව ළඟදී මට ලියා එවා තිබුණාය.

මේ සිද්ධියට පසු දිනම මම ලසන්ත වික්‍රමතුංගට කතා කොට මගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි නොගසන ලෙස බැගෑපත්ව ආයාචනා කළෙමි. දීර්ඝ කරුණු පැහැදිළි කිරීමකට පසුව ඔහු ඊට එකඟ වුණා පමණක් නොව මගෙන් සමාවද ඇයැදියේය. නමුත් විනාශය වී හමාරය. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකිය. මේ මාස කිහිපයකට පෙරය.

පසුගිය සතියේදී ලසන්ත වික්‍රමතුංග නාඳුනන කල්ලියක් විසින් දෙහිවලදී ඝාතනය කොට තියේ. ඔහුගේ ඝාතකයින් තවම හඳුනා ගෙන නොමැත.

.

.

(ඉවසන්න……………………….සමනලයා යළි පියා සලන තෙක්)

(42) ආදරයේ ප්‍රාග් ඓතිහාසික අතීතය || Pre-historic days of love

  • කාලය: 1950, සමාන්තර විශ්වය
  • ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව

**********{වෝල්ටර් සමරසිංහ (චරිත්ගේ මවගේ පියා) කියන කතාව}**********

hands jpeg

යම් යෙහෙකින් මා උඩ දැමූ කාසිය Tail  උඩට සිටිනායුරින් වැටුණේ නම් චරිත් කාලිංග බණ්ඩාර මෙලොවට බිහි නොවිය හැකිව තිබුණේය. ඔහු මෙලොවට බිහි වූයේ එය Head වැටුණු නිසාය.

පුදුමයකට මෙන් කාසිය උඩ දමන ක්ෂණයෙහිම කහ පැහැති සමනළයෙක් මගේ කාමරයේ තටු සලමින් පියාඹන්ට පටන් ගත්තේය. සමහරවිට ඌ එහි ඉන් පෙරද සිටියා විය හැකිය. නමුත් ඌ මගේ අවධානයට බඳුන් වූයේ කාසිය උඩ දමන මොහොතේය. සමහරවිට එනිසා මගේ මහපටැඟිල්ලෙන් කාසිය මත වූ තෙරපුම අඩු වන්ට ඇත. මේ සමනළයා නොවී නම් කාසිය අනෙක් පැත්ත වැටෙන්ට ඇත්දැයි ඉඩ තිබුණේද මම නොදනිමි. මම ඒ ගැන සිතන්ට නොගියෙමි.

මා කාසිය උඩ දැමූයේ ඇයි?

තීරණයකට එළඹිය නොහැකිව මම අන්ත අසරණව සිටියෙමි. මගේ එකම සරණ වූයේ සර්ව බලධාරී දෙවියන් වහන්සේය. මට මඟ දක්වන ලෙස මම උන් වහන්සේගෙන් අයැද සිටියෙමි.

මගේ මේසය මත වූ සතයේ කාසියේ සයවන ජෝර්ජ් මහ රජ්ජුරුවෝ මදෙස බලා සිටියහ. ඔහුගේ මුවෙහි ඇත්තේ අවඥාසහගත සිනාවකැයි මට සිතුණේය. මේ මා කාසිය උඩ දමන්ට පෙර කිසි ලෙසකින් වත් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයකි. පොල්ගස දුටු වහාම කළ යුතු සියල්ල මම ඒ වන විටද තීරණය කොට සිටියෙමි. එහෙත් දෙවියන් වහන්සේ මා වෙත දැක්වූයේ මා දිවි හිමියෙන් බිඳින්ට අධිෂ්ඨාන කොට සිටි අධිරාජ්‍යයේ නයුවාය. ඔහුගේ අධිරාජ්‍යයෙහි හිරු බසිමින් තියේ. මගේ අධිරාජ්‍යයෙහිද අදින් මතු හිරු නොනඟින බැව් මම දනිමි. සර්වබලධාරී දෙවියන්වහන්සේට මා ගැන මීට වඩා කාරුණික නොවිය හැකිව තිබුණේද?

අනෙක් අතට එය උන්වහන්සේගේ කැමැත්ත නම් එය එසේම වේවා! එය ප්‍රශ්න කරන්ට මා කවරෙක්ද?

කිසිදා හැර නොයන බවට Rට මා දුන් පොරොන්දුව කඩ කොට දෙමාපිය කැමැත්තට හා සමාජ සම්මතයට නතුව විවාහ ජීවිතයට ඇතුළත් වන්ට මම තීරණය කළෙමි.

R මා තේරුම් ගනු ඇති බවත් මේ තීරණය නිසා මට වෛර නොබඳින බවත් මම දැන සිටියෙමි. අප දෙදෙනා අප දෙදෙනාගේ අනාගතය ගැන කතා කළ බොහෝ අවස්ථාවලදී අපේ කතාව නතර වූයේ එකම තැනෙකය. ලෝකයේ බොහෝ දේ අපේ කැමැත්තට අනුව නොව සමාජයේ කැමැත්තට සිදුවන රටකය, අප ජීවත් වන්නේ. ඊට නතු නොවන්නකු විසින් ගෙවිය යුතු වන්දිය කිසිවකු සිතනවාට වඩා විශාලය. ඒ වන්දිය ගෙවීමට වඩා අපේ පෞද්ගලික කැමැත්ත ආයාසයෙන් හෝ යටපත් කොට සමාජ සම්මතයන්ට නතු විය යුතු බවයි R හැමදාමත් කීවේ. ඊට එරෙහිව කතා කළේ මාය. දැන් මගේ වරදද ඔහුගේ නිවරදද පසක් වී තියේ. එබැවින් ඔහු මා කඩ කළ පොරොන්දුව ගැන අහිතක් නොසිතනු ඇතැයි මම දැන සිටියෙමි.

ඇත්තම කියනවා නම් R මට වඩා නිර්භීත විය. තමන්ට රැකියාවක් නැතිවද, ලබමින් සිටි වෛද්‍ය අධ්‍යාපනය අත හැර දමා හෝ මා සමඟ එන්ට ඔහු සූදානමින් සිටියේය.

“…Becoming a doctor is my lifelong dream, but there is nothing that I can give up…I have some money with me. Surely we can start a small business…”

මේ (මා පසුව ගිනිබත් කළ) පෙම් හසුනෙක වූ ඔහුගේම වදන්ය.

මම මොහොතකට හෝ ඔහුගේ වචනයක් සැක නොකළෙමි. අප දෙදෙනා අතර වූයේ එතෙක් දැඩි බැඳීමකි. විශ්වාසයකි. ඔහුගෙන් තොර ලෝකයක් මට නොතිබුණාක් සේම මගෙන් තොර ලෝකයක් ඔහුටද නොතිබුණු බව මම දනිමි. අප එකට ඇවිද ගිය කොළඹ නගරයේ මාවත් – බුලර්ස් පාර, රැජන පාර, රීඩ් මාවත, ගාළුපාර – වැල්ලවත්ත හා ගල්කිස්ස වෙරළ තීරය ඊට සාක්ෂි දරනු ඇත්තේය.

.

ඔබේ නෙත් මා නෙත් හමුවූයේ කෙදිනකද, එතැන් පටන්
මම උමතු වීමි; මුළු ලොවටම අමුත්තෙක් වීමි.
අහා, දෙවියන්ද ඔබ දැක උමතු වනවා ඇත්තේය!

ඔබේ නෙත් මා නෙත් හමුවූයේ කෙදිනකද, එතැන් පටන්
උමතු වූ මිනිසකු උපත ලද්දේය
මා ඔබ ලකුණ හැඳින ගත්තේ කවදාද, එතැන් පටන්
මට අන් කිසිවකට අවධානයක් යොමුකළ නොහැකි විය
අවට පරිසරය කසුකුසුවෙන් පිරිගියේ යම් දිනෙකද, එතැන පටන්
මහත් වූ ප්‍රමෝදයක් මෝදු වූයේය

පෙම්වත, අප ජීවිත තන්තු එකිනෙක බැඳුනේ යම් දිනෙකද, එතැන් පටන්
මම උමතු වීමි; මුළු ලොවටම අමුත්තෙක් වීමි.
අහා, දෙවියන්ද ඔබ දැක උමතු වනවා ඇත්තේය!

අප සෙල්ලක්කාර වූයේ යම් දිනෙකද එතැන් පටන්
නිසල බව බිඳුනේය; සංසිඳීමක් නැති විය
ඔබේ සළුව ගිළිහුනේ යම් දිනෙයකද , එතැන් පටන්
මා වශි බන්ධනයෙකින් බැඳ තැබුවාක් මෙන් විය
ඔබ මගේම වූයේ කෙදිනෙකද, එතැන් පටන්
මගේ හදවත වේගයෙන් සැලෙයි
මම උමතු වීමි; මුළු ලොවටම අමුත්තෙක් වීමි.
අහා, දෙවියන්ද ඔබ දැක උමතු වනවා ඇත්තේය!

අපට දැඩි තීරණයක් ගත හැකිව තිබුණේය. එහෙත් එවැනි පියවරකින් පසු එළඹිය හැකි තත්ත්වය මට සිතා ගත නොහැකි තරමට දරුණු විය. Rගේ පියා මුළු රටම දන්නා ශල්‍ය වෛද්‍යවරයෙකි. කොළඹ බලපුළුවන්කාර සමාජයේ වැදගත් පුරවැසියෙකි. අධ්‍යාපනය කඩා කප්පල් කර ගැනීම ගැන හෝ සමාජ සම්මතයන්ට පිටු පෑම ගැන ඔහු තම එකම පුතණුවන්ට කිසිසේත් සමාව නොදෙන බව අප දෙදෙනාම ඉඳුරා දැන සිටියෙමු. සමාජය විසින් ප්‍රතික්ෂේප කරන අප දෙදෙනා සතු අනාගතය කුමක්ද?

ස්වාත්මය හා ස්වාර්ථය අතර සනාතන අරගලය මම දෙවියන් වහන්සේ ඉදිරියට ගෙන ගියෙමි. උන් වහන්සේ මට හිරු බසිමින් පවත්නා අධිරාජ්‍යයෙහි නයුවා දැක්වූවෝය.

මා සරත් චන්ද්‍ර චට්ඨොපාධ්‍යගේ දෙව්දාස් නවකතාවේ කථා නායකයා බඳුය මට සිතුණේය. දෙව්දාස්ගේ පළමු ආදරය ඔහු කුඩා කළ පටන් දන්නා, නව යොවුන් වියේදී ඔහුගේ සිත පැහැර ගන්නා, පාර්වතීය. එහෙත් ඔහුට කිසිදිනෙක පාර්වතී සමඟ එක්වනු නොහැකි වෙයි. සමාජය විසින් ඔවුන්ගේ ආදර කතාව දෙපළු කොට මහා පවුරක් බැඳ ඇත්තේය.

මා කතෝලික පල්ලිය නැවත වැද්ද නොගන්නා ලෙසට ජීවිතයෙන් ඈත් කළේ බොහෝ කාලයකට ඉහතදීය. නමුත් දෙවියන් වහන්සේ මගේ ජීවිතයෙන් ඈත් නොවීය. ශුද්ධ වූ බයිබලය තවමත් මා අසීරු අවස්ථාවකට පත් වූ කල්හි මට ජීවිතය පිළිබඳ නවමු බලාපොරොත්තු ඇති කරයි.

When I was a child, I used to speak as a child, think as a child, reason as a child; when I became a man, I did away with childish things. For now we see in a mirror dimly, but then face to face; now I know in part, but then I shall know fully just as I also have been fully known. But now abide faith, hope, love, these three; but the greatest of these is love.

Corinthians 13:4-13

අවසානය කෙතෙක් සහතිකව දැන සිටියද අප දෙදෙනා එක්ව ගතකළ අන්තිම රාත්‍රිය බෙහෙවින් හැඟුම්බර එකක් වූයේය. මගේ බෝඩිමේ ඇඳ මත අප දෙදෙනාගෙන් කිසිවකු හරිහැටි නින්දක් නොලැබ රැය පහන් කළෙමු. R මට තුරුළුව, මගේ දෑත් අතර සිරව සිටියේය. ඔහුගේ කඳුළු කොපමණ මගේ ළැම තෙත් කරමින් ගලා ගියාද මම නොදනිමි. බොහෝ කාලයකින් කම් සැප නොලැබුවද, අන්තිම රාත්‍රියේදී එහි නියැළෙන්ට අපට ඕනෑකමක් හෝ මානසික ඒකාග්‍රතාවයක් නොවීය. අප දෙදෙනාම සිතමින් සිටියේ නොදන්නා හෙට දවස ගැනය. අප දෙදෙනා එකිනෙකාගෙන් වෙන්ව තනිව පිය නැඟිය යුතු ලෝකය ගැනය.

පාන්දර යාමයේ මම කෙටි නින්දකට වැටුණේය සිතමි. කවර හෝ නපුරු හීනයකින් මම බියපත්ව පිබිදුනෙමි. මා දුටුවේ තවමත් අවදියෙන් කඳුළු පිරි දෙනෙතින් යුතුව මා දෙස බලා සිටින R ය. මම ඔහු අත මගේ අතට තදකර ගතිමි. මේ වෙන්වීම මෙතක් සංවේගදායක බැව් මට නොසිතුණේය. එහෙත් කිසිවක් වෙනස් නොකළ හැක්කේය. අපි වෙන්විය යුතු වෙමු.

පසුදින උදෑසන R මගේ ජීවිතයෙන් සදහටම සමු ගත්තේය. අපට ප්‍රසිද්ධියේ සිප වැළද ගන්ට තියා හඬන්ට වත් අවසර නොවීය. මම මගේ නෙතින් ඇද හැළෙන කඳුළු සඟවා ගන්ට කවර හෝ වෑයමක් නොකොට ඔහු රැගත් බී. ජේ. ප්‍රනාන්දුගේ සිල්වර්ලයින් කොම්පැණියේ බස් රථය මගේ දසුනින් ඈත්වන තුරුම බලා සිටියෙමි.

බඩගින්නක් නැතද මම පුරුද්දට YMCA කැන්ටිමට ගොඩ වැදුනෙමි. එහා පැත්තේ කඩයක රෙඩිෆියුෂන් යන්ත්‍රයෙන් ඇසුණු ගීතය මා වෙනුවෙන්ම වූ බවක් මට සිතුණය.

“පෙම් කැකුළ පිපී එන විට ම හදේ – එය පරව ගියා
මා හෙළා මේ දුක් අන්ධකාරේ… අන්ධකාරේ…”

පාර්වතී අහිමි වන දෙව්දාස් චන්ද්‍රමුඛියගෙන් ගෙන් පුනරුප්පත්තිය ලබයි. R අහිමිව රුවල් ඉරීගිය නෞකාවක් බවට පත්වූ මගේ ජීවිතයටද පාවී යන්ට මඟක් විය. ඒ දේශපාලනයයි.

එතෙක් කෑම දිරවන්ටය මගේ සගයින්ගේ විසුළුවට ලක් වූ මගේ සමසමාජ දේශපාලනය සැබෑ කැපවීමකින් කරන එකක් බවට පරිවර්තනය විය. මේ රටේ තැළෙන පොඩිවන පොඩි මිනිසුන් වෙනුවෙන් මට කළ හැකි යමක් වේද, මගේ දිවි දෙවන කොට එය කරන්ට මම අධිෂ්ඨාන කර ගතිමි. මම සමාජවාදය පළමුවද ජීවිතය දෙවනුවද ගත් සමාජවාදියෙක් වූයෙමි.

.

Stand up, damned of the Earth
Stand up, prisoners of starvation
Reason thunders in its volcano
This is the eruption of the end.
Of the past let us make a clean slate
Enslaved masses, stand up, stand up.
The world is about to change its foundation
We are nothing, let us be all.
This is the final struggle
Let us group together, and tomorrow
The Internationale
Will be the human race.

පුදුමයකට මෙන් මා මේ තීරණය ගැන කිසි දවසෙක දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න නොකළෙමි. එසේ කළ යුතුය මට නොසිතුණේය. මේ මට උරුමය උන්වහන්සේ තෝරා දුන් මාර්ගයෙහි කොටසකි. උන් වහන්සේ මගේ තීරණය ඉඳුරා අනුමත කරන බවට මට සුළු හෝ සැකයෙක් නොවීය.

Seeing the crowds, he went up on the mountain, and when he sat down, his disciples came to him. And he opened his mouth and taught them, saying: “Blessed are the poor in spirit, for theirs is the kingdom of heaven. “Blessed are those who mourn, for they shall be comforted. “Blessed are the meek, for they shall inherit the earth. …

Matthew 5:1-48

එසේම තාත්තා මේ තීරණය ගැන කුමක් සිතන්නේද යන්න මට ගැටළුවක් නුවූයේය. ඔහු ඊට අනිවාර්යයෙන්ම කෝප ගන්ට ඇතැයි සිතමි. මම එය නොසලකා හැරියෙමි. ස්ථිර රැකියාවක් නැතද මේ දිනවල මට සුළු සුළු පරිවර්තන කටයුතු කර දීමෙන් යමක් සොයා ගත හැකි විය. එනිසා මට තාත්තා මත ආදායම වෙනුවෙන් යැපෙන්ට ලොකු ඕනෑකමක් නොවීය.

1952 මැතිවරණය ලංකා සමසමාජ පක්ෂයට තීරණාත්මක විය. මම මගේ ගම වූ මීගමුවේ සමසමාජ කඳවුරේ බලවතකු වීමි. මේ ගැන මගේ නෑයින් බොහොමයක් නොසතුටු වූ බව ඇත්තය. මම හිතුවක්කාරයෙක් වීමි. තවදුරටත් මට රකින්ට දෙයක් නොතිබුණු නිසාය.

බලපොරොත්තු වූ ලෙසින්ම මගේ දරුණුම විවේචකයා වූයේ කතෝලික පල්ලියයි. 1952 මහ මැතිවරණය යනු කතෝලික පල්ලිය නීත්‍යානුකූලව හා එළිපිට එක්සත් ජාතික පක්ෂයට සහයෝගය පළ කරන්ට තීරණය කළ අවස්ථාවකි. පල්ලියේ ෆාදර් හැම ඉරිදාම යාච්ඥාවට පැමිණි බැතිමතුන්ට අනුශාසනා කළේ අලියා ලකුණ ඉදිරියේ ඡන්දය ලකුණු කරන ලෙසය. සමසමාජ පාක්ෂිකයින් ඔහු විසින් අකාරුණිකව හඳුන්නා දෙන ලද්දේ යක්ෂයාගේ නියෝජිතයන් ලෙසිනි. එජාපයේ ජය පල්ලියේ පැවැත්ම සඳහා නැතුවම බැරි එකක් වී තිබුණු සෙයක් පෙනුණේය. තමන්ගේ භක්තිමත් අනුගාමිකයකු වූ ඔගස්ටස් සමරසිංහගේ අකීකරු පුත්‍රයා යක්ෂයාට එක් වී සිටීම ඔවුන්ට දැරිය නොහැකි වේදනාවක්ව තිබුණේය.

මම මගේ නෑයින් අත් හළෙමි. මගේ දෙමාපියන් අත් හළෙමි. පල්ලිය නම් කොහොමටත් අත් හැර තිබුණු නිසා අමුතුවෙන් අත හරින්ට දෙයක් තිබුණේ නැත. ෆාදර්ලා මා මුහුණට මුහුණ හමු වුවද කතා නොකර යන මට්ටමට දුරස්ථ වූවෝය.

මම සමාජවාදය අත් නොහළෙමි. මම දෙවියන් වහන්සේ අත් නොහළෙමි. මම මගේ විශ්වාසය වෙනුවෙන් අවංකව උන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියෙමි.

1952 මැතිවරණයේදී, සමසමාජ නායකයින්ට මීගමුවේ රැස්වීම් වලදී කටක් අරින්ට බැරි වන විදියට බාධා කරන්ට යූ. එන්. පී. මැරයන් යොදා තිබුණේය. එක් තීරණාත්මක රැස්වීමක කථා කරමින් සිටියේ අපේ අනුපමේය වීරයකු වූ කොල්වින් සහෝදරයාය. කොල්වින් සහෝදරයා තම කතාවට වූ බාධාවන් වරක් දෙකක් ඉවසුවේය. බැරිම තැන අසළ හුන් පොලිස් නිලධරයන්ට මැදිහත් වන්ට ඉල්ලා සිටියේය. එයින්ද පළක් නොවූයේ පොලිස් නිලධරයන් සංඛ්‍යාව මඳ වූ හෙයිනි.

මඳක් කතාව නතර කළ කොල්වින් සහෝදරයා මට අත වැණුවේය. ඔහු හරියටම මට කතා කරන්නේද යන්න මට පැහැදිළි නොවූ නිසා මම නොසෙල්ව සිටියෙමි.

“I say.. yes, you… come here…”

මම ලොසින්ජරයක් ගෙනැවිත් එය දෙන්ට කතා කරන පියකු වෙත දුවන්නාක් සේ කොල්වින් සහෝදරයා වෙත දුව ගියෙමි.

“Bring me a stick…”

“A stick sir…?” ඔහුට comrade කියන්ට මගේ දිව කවදාවත් නොනැමුණේය.

“Yes, take one from that fence…”

මම වැටෙන් ඉන්නක් ගලවාගෙන ගොස් ඔහු අතට දුනිමි.

ඉන්පසු ඔහුගේ කතාව වේගවත් විය.

“සහෝදරවරුනි, ඔය අපට මෙතැන්ට ඇවිල්ලා බාධා කරන යූ. එන්. පී.යේ කුලී ගැත්තන් නිහඬ කරන්ඩ කියලා මම පොලීසියේ මහත්වරුන්ට කිව්වා… ඒත් ඒක වුණේ නැහැ. දැන් අපට පිහිට අපිමයි. ඔය ගැත්තන් අල්ලලා මෙන්න මෙහම කඩලා දාන්ඩ. (ඔහු දණ්ඩ හඬ නැඟෙන පරිදි කැඩුවේය.) බය වෙන්ඩ එපා, පොඩ්ඩක් වත්. තමුන්නාන්සෙලා කාටවත් හිරේ යන්ඩ දෙන්නෙ නෑ… මමම උසාවියෙ කතා කරලා බේරා ගන්නවා…”

ඒ ඇසුණු වහා යූ. එන්. පී. මැරයෝ පැණ ගියහ.කොල්වින්ගේ කතාවට ඉන්පසු කිසිදු බාධාවක් නොවීය .

1953 හර්තාලය මගේ ජීවිතයේ තවත් කඩ ඉමක් සනිටුහන් කළේය. මේ සමසමාජ පක්ෂය සිය දේශපාලන ගමනේ කූටප්‍රාප්තියට පත් වූ අවස්ථාව සේ මම සලකමි. කතෝලික පල්ලියේ හා යූ. එන්. පී. මැරයින්ගේ ක්‍රියා නිසා අපට බලපිටියේ, කොස්ගම සහෝදරයින් පෑ විකුම් පෑ නොහැකි වුවද, අපේ සලකුණ නොමැකෙන සේ මීගමු දේශපාලන සිතියමේ සටහන් කළෙමු. මගේ සගයකු පොලිස් නිලධරයකුට ගඩොලකින් පහර දී ඔහු සදාකාලික මානසික රෝගියකු බවට පත් කොට ‘හර්තාල් සේනානායක’ සේ ප්‍රසිද්ධ වූයේය. මේ ජයග්‍රාහී හර්තාලයේ මට ඇති එකම ශෝචනීය සිද්ධියයි.

1954 දී මම විවාපත් වීමි. මගේ චන්ද්‍රමුඛිය වූයේ එලිසබෙත්ය. අය සාපේක්ෂව අඩු වයසින් මිය යනතුරුම මට යහපත් බිරිඳක වූ බව සටහන් විය යුතුය. ඇය මට දැරියන් දෙදෙනකු ලබා දුන්නාය. බියට්‍රිස් ඉන් වැඩිමලාය.

R ඉන්පසු කිසිදිනෙක මට හමු නොවීය. ඔහු දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු වූ බව නම් ඉඳහිට පුවත්පත් වාර්තාවෙකින් දැන ගතිමි. එසේම පසුව ඔහු විදෙස් රටකට සංක්‍රමණය වූ බවද ඇසීමි. දිගින් දිගට ඔහු ගැන සොයන්ට මට උවමනාවක් හෝ කාලයක් නොවීය. වෘත්තීය ජීවිතයෙන් ලබන ඉසඹුව මම සමසමාජ පක්ෂයේ කටයුතු වලට කැප කළෙමි. ඒ හැරුණු විට මට රකින්ට පවුලක් විය. මේ සියල්ල අතර මගේ පළමු ආදරය හිස නො ඔසවාම මැරී ගියේය.

බියට්‍රිස්ගේ හෝ ක්ලාරාගේ ජීවිත වලට මම ඇඟිලි ගසන්ට නොගියෙමි. බියට්‍රිස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වන්ට තීරණය කළේ ඇගේම මනාපයටය. ඇය පසුව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පවුලක තරුණයකු හා ප්‍රේම සම්බන්ධයක් ඇති කොට ගැන්ම නම් මා සසල කළ සිද්ධියක් විය. එහෙත් මා ඇගෙන් ඇසූයේ එක ප්‍රශ්නයක් පමණෙකි. ඒ ඇය ඔහු සිය කැමැත්තෙන්ම තෝරා ගන්නේද යන්නයි. ඇය එසේය කීවාය. මගේ පියා මට ආදරය අහිමි කළාක් සේ ඇයට ආදරය අහිමි කරන්ට මට අවශ්‍යතාවයක් නොවීය. මම ඇයට මගේ පූර්ණ ආශිර්වාදය ලබා දුනිමි.

බියට්‍රිස් තම පළමු දරු උපතේදී මිය ගියාය. ඒ කිරිකැටි බිළිඳකු ලොව තනි කොටය.

චරිත් කාලිංග බණ්ඩාර!

මම ජීවිතය ෆස්ට් ෆෝවර්ඩ් කර පශ්චාත් සහස්‍රක යුගයට එමි. චරිත් දැන් ළමා විය පසු කොට නව යොවුන් වියට එළඹෙමින් සිටියි.

මා වැන්නකුගේ හිසට ඉහළින් නිරන්තරයෙන් ඩැමොක්ලියස්ගේ කඩු කිහිපයක්ම එල්ලී ඇත්තේය. ඉන් එකක් නම් නොදැනුවත්වම මවිසින් ඊළඟ පරම්පරා වලට මගේ ජාන වලින් මොනවා දායාද කොට ඇතිද යන ගැටළුවයි.

බියට්‍රිස් හා ක්ලාරා ගැහැණු දරුවන් වීම මට මඳ අස්වැසුමක් විය. මේ නිසා මගෙන් පසු පළමු පරම්පරාව ගැන හිතන්ට අවශ්‍ය නොවීය. චරිත් දෙවන පරම්පරාවය. එසේම ඔහු ඒ දෙවන පරම්පරාවේ එකම පිරිමි දරුවාය. ඔහු මගේ ජාන කවරක් හෝ සොරා ගෙන ඇත්තේද? මම බිය වෙමි.

චරිත් ‘රෝග ලක්ෂණ’ කිහිපයක් කුඩා වියේදීම විද්‍යාමාන කළේය. ඔහු අතිශය නිහඬ චරිතයකි. සගයින් පිට්ටනියට බැස ක්‍රීඩා කරන විට ඔහු පොතේම ගැලී සිටියේය. (එය එක්තරා දුරකට, ඔහුගේ දිගු නැහැය සේම එලිසබෙත්ගේ ජානමය බලපෑම විය හැකිය.) ඇතුළතට හැරුණු සිතැත්තකු වීම සියයට සියයක් යමක් ස්ථීර කරන ‘රෝග ලක්ෂණයක්’ නොවේ. එලිසබෙත්ගේ පරණ කියුටෙක්ස් වලින් ඔහු නිය පැහැ කර ගන්නේ අම්මාට ඇති බැඳීම නිසාය අනෙකුන් සේම සිතන්ට මමද හුරු වීමි.  ඔහු ශේක්ෂ්පියර්ගේ නාට්‍යවල ගැහැණු චරිත නිරූපනය කරන්නේය ඇසුණු විට මම බිය වීමි. නමුත් තවම කිසිවක් ස්ථිර නොවීය. චරිත් මට ඒ තීරණාත්මක දුරකථන ඇමැතුම දුන්නේ එවන් විටෙකය.

“Hi seeyaa…what’s up…?”

“You tell me, dear…!”

“Nothing here too…I just call to remind you that I will be coming on seventh, as soon as the vacation starts…”

චරිත් පාසල් නිවාඩු කාලයේ මීගමුවේ නතර වන්ට ඒම සාමාන්‍ය සිද්ධියක් විය. ඔහු එසේ ආ විටෙක සතියක් පමණ අප සමඟ රැඳී සිටියේය.

“Yes, I thought so…”

“…But with a little difference…”

“Difference…?”

“Yes, I know, you won’t say no. I am bringing a friend of mine…”

“A friend…?”

“Yes, seeyaa…pleeease. He is my best friend…His name is Thisuu…Thisara Senapathi…”

මීට වසර හැට හැත්තෑවකට කලින් සිදු වූ කතා බහක් මට නිතැතින්ම සිහියට ආයේය.

“Dad, I am bringing a friend of mine for vacation…he will stay with us for about a week…”

“A friend…?”

“Yes, dad…he is my best friend. His name is Reggie…Reginald de Saram…”
.
.
(ඉවසන්න……………..සමනළයා යළි පියා සලන තෙක්)

(41) ප්‍රවාහකයා || The Transporter

කාලය: 2010, සමාන්තර විශ්වය [ මේ කැබිනට් මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන්/ අමාත්‍ය වික්ටර් බණ්ඩාර දඹර අමිල හිමි කොටින්ගේ අත් අඩංගුවෙන් මුදාගෙන ඒමෙන් මාස කිහිපයකට පසුව]
ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව

**********(ඇඹිලිපිටියේ පියදාස කියන කතාව)**********

විසි දෙවැනිදා වැඩේ දා ගන්ට මා මුලින් අකැමැති වූයේ කටයුත්තේ බැරෑරුම්කම දැන නොවේ. එයට ඊට වඩා ප්‍රාථමික හේතුවක් විය. මනෝජ් පුතාගේ ඉස්කෝලයේ වාර්ෂික විවිධ ප්‍රසංගය යෙදී තිබුණේද හරියටම එදිනටය. පසුගිය වසරේත් මොකක් හෝ කටයුත්තක් නිසා මට ඔහුගේ විවිධ ප්‍රසංගයට යන්ට බැරි විය මේ අවුරුද්දේ නම් කොහොම හරි එනවාමය මා පොරොන්දු වූයේ වසරකට එපිටදීය. පොඩි එව්වෝ මෙවන් දේවල් බැරෑරුම් ලෙස ගනිති. මතක තබා ගනිති. දැන් ඔහු එය සිහි කරමින් මට කරදර කරයි.

“පුතාට තේරෙනවනෙ. ඔක්කෝටම කලින් තාත්තා රස්සාවත් කරල ඉන්ට එපායැ. පුතාලට කන්න බොන්න උගන්නන්න, නිවාඩු කාලෙට අනුරාධපුරේ එක්ක යන්න ඔක්කෝම කරන්න ඕනැ රස්සාව කරලනෙ…”

මම ඔහු සනසන්ට උත්සාහ දරමි.

“ඉතින් තාත්තට එක දවසක් නිවාඩු දාන්න බැරිද…?” ඔහු කට කජු ලෙල්ල කර ගෙන අසයි.

“එහෙම නිවාඩු ගන්න බෑනෙ පුතා. කලින් කියල තියන්ට එපායැ…”

“ඉත්…තින්….. තාත්තට මම කිව්වෙ අවුරුද්දකට කලින්නෙ…”

“මට මතක නැති වුණානෙ පුතා…”

“තාත්තා කිව්වෙ මේ අවුරුද්දෙ නම් කොහොම හරි එනවමයි කියලනෙ…”

“මං ඊළඟ අවුරුද්දෙ එනවමයි. මොන වැඩේ තිබුණත් එනවා…”

“බෑ. බෑ. ගිය අවුරුද්දෙත් කිව්වෙ ඔහොම තමයි…”

“නෑ මං පොරොන්දු වෙන්නම්කෝ, කොහොම හරි එනවා කියලා…”

“බෑ. බෑ. ලබන අවුරුද්දේ ග්‍රේඩ් ෆෝ වල කොන්සට් එකක් නෑ. ග්‍රේඩ් ත්‍රී වල විතරයි තියෙන්නෙ. තාත්තා මං ග්‍රේඩ් ටූ ඉන්නකොට ආවෙත් නෑ. මේ සැරේ නම් එන්නම ඕනෑ…”

“එහෙම කියලා බෑනෙ පුතා…”

“නෑ, එහෙම කියලා පුළුවන්…”

“මං එන්නම බැරි වුණොත් පුතාට සෙල්ලම් බඩුවක් අරන් දෙන්නම්කො…”

“මොකද්ද…?”

“බෙන් 10 ජීප් එකක්…” පොඩි එකාට බෙන් 10 පිස්සුවක් තිබුණු බව මම දනිමි.

“එපා. මං දැන් බෙන් 10 බලන්නෙ නෑ. ඒක බලන්නෙ පොඩි ළමයි…”

“එහෙනම් මං පුතාට සැටලයිට් එකක් අරන් දෙන්නම්…”

“මොකද්ද සැටලයිට් කියන්නෙ…?”

“අර අපේ මහින්ද මහත්තයගෙ පොඩි පුතා රෝහිත අයියා සැටලයිට් යවනවලුනෙ අහසට. එයාට කියලා එයින් එකක් ඉල්ලලා දෙන්නං….”

“එපා. ඔය බොරු. තාත්තා එදාට එන්නම ඕනැ….”

“මටත් තේරෙන්නෙ නෑ ඔයාට ඔය තරමට තියෙන වැඩ මොනවද කියලා….”

මදාරාද මෙවැනි අවස්ථාවල මැදට පැණ කතාව තවත් අල කරයි. වැඩි විස්තර නැතිවද, මා කුඩු විකුණන බව ඇය දනියි. ඇය කසාද බැන්දේද මා ශාන්ත පීතර නොවන බව දැන ගෙනය. එහෙත් මා අවුස්සන්ට දෝ ඇය බොහෝ විට මා අපහසුවට පත්වන සේ මෙවැනි කතා කියයි – විශේෂයෙන්ම මට ඊට ප්‍රතිඋත්තර දෙන්ට බැරි අවස්ථාවල. මේ ගෑණුන්ගේ හැටිය. කුඩු සල්ලි වලින් කන බොන තාක් කල් ඒවා හොඳයි. ඒවා නරක් වෙන්නේ පොඩ්ඩ මිස් වෙච්චි වෙලාවටය.

ඕනැ පුකක් වෙද්දෙන් කියා මට එන්න කොහොමටවත් විදියක් නැති බව අමරේ අයියාට දුරකථන කර කීවෙමි.

“එහෙම කියල කොහොමද බං. මට මේකට විස්වාසවන්තයෙක් එක්ක යන්න ඕනැ. උඹ දන්නවනෙ මේ වැඩ ගැන…”

“ඉතින් ඕක වෙන දවසකට දාගනින්කෝ…”

“මේකනේ මලයා, මේ වැඩ උඹටයි මටයි ඕනැ දවසට කරන්න බෑ….”

මෙය නම් මට අමුතුවෙන් මතක් කළ යුතු නොවේ. යම් කාර්යයක නීති විරෝධී බවට අනුපාතිකව එය සැලසුම් කිරීමේදී ඇති දුෂ්කරතාව ඉහළ යයි.

“උඹව ඕනැ කටුනායකට වෑන් එක ගෙනියන කල් විතරයි. ඊට පස්සෙ උඹ නිදහස්, ඕනැ කෙළියක් නටා ගන්න…”

අමරේ අයියා ප්ලෑන් කරන්නේ කුමකටදැයි මම නොදනිමි. මා එය ඇසුවේ වත් ඔහු කීවේ වත් නැත. ඇසුවත් නොකියනු ඇත. යම් කිසි හොරබඩු ප්‍රවාහණයක්ය මට සිතෙයි. ඒ ගැන විශේෂඥ දැනුමක් ඇති මගේ සහාය ඔහුට අවශ්‍ය වන්නේ එනිසා විය හැකිය. කටුනායකට ගෙනි යනු ඇත්තේ ගුවන් ගත කරනු පිණිස විය යුතුය. මේ හොර බඩු මොනවා විය හැකිද? වෙනම වෑන් එකක් ගෙනයන්ට තරම් ලොකු තොගයක්? මම උත්තර නොදන්නා ප්‍රශ්න වලට පිළිතුරු සොයන්ට නොයමි. බෑ කියා ඉවත් වන එක (වෙන පාඩු දරාගෙන පවා) හිතකරය.

“අනේ තරහා වෙන්න එපා අමරෙ අයියෙ මේක නම් මට කරන්න බෑ, උඹ කීය දුන්නත්. වෙන ඕනැ දෙයක් ඉල්ලපං. මේක නම් බෑ…”

“එහෙමද මලයෝ. බලමුකෝ අපි එහෙනම්…”

අමරේ අයියා දුරකථනය විසන්ධි කළේය.

ඉන්පසු සතිය මට බලාපොරොත්තු නොවූ ආකාරයෙන් දුෂ්කර එකක් වූයේය. වෑන් ගණනාවක් පොලීසිය විසින් කොටු කර ගන්නා ලදී. කොටින්ම එක වෑන් එකකටවත් ගමනාන්තයට ළඟා වන්ට හැකි වූයේ නැත. ඉඳ හිට සිදුවන මෙවැනි ඇබැද්දියකට අපි සූදානමින් සිටිමු. පොලීසියට හමුවන ගෝලයින් නිදහස් කර ගන්ට අවශ්‍ය වන්නේ ටෙලිෆෝන් ඇමැතුම් කිහිපයකුත් ජරාව දෙන්ට මොණරු මිටි කිහිපයකුත් පමණෙකි. එහෙත් පොලීසියට හසුවන බඩු යම් ප්‍රමාණයක් වේද ඒවා අපට අහිමි වේ. මෙනිසා මෙසේ අසුවන හැම වතාවකම අපට සිදු වන්නේ ශුද්ධ පාඩුවකි. සතියක් තුළ කිහිප වතාවක් එසේ වූ විට අතේ ඇති සියළු මුදල් සිඳී ගොස් මහා පරිමාණයෙන් ණය ගන්ට සිදුවෙයි. සිකුරාදා වන විට මා මුහුණ දී සිටියේ මේ තත්ත්වයටයි.

මේ සියල්ල අමරේ අයියා නිසා වුවායැයි මම නොකියමි. එහෙත් පිට පිටම එක වගේ සිද්ධීන් වීම අස්වාභාවිකය. වෙච්චි සියල්ල අමතක කළත්, මේ ආගාධයෙන් මා ගොඩ ගත හැකි ගත හැකි එක් පුද්ගලයෙකි ඔහු. මට මනෝජ් පුතාගේ කඳුළ අමතක කරන්ට වූයේ ඒ නිසාය. සියල්ලට සල්ලි තිබිය යුතුය. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකාය බුදු හාමුදුරුවන් දේශනා කොට තිබූ බව මා උගත්තේ ආනන්දයට යන කාලයේදීය. මනෝජ් ගැන පසුව කරදර වෙමි.

transporter3-6

කොයිතරම් හිත හදා ගන්ට උත්සාහ දැරුවත් දෙහිවලට රිය පදවා යන තුරුද මගේ සිතෙහි වැඩ කළේ මනෝජ් පුතාට දුන් පොරොන්දුව කඩ වීම ගැනයි. පියකුට තම දරුවන්ට දෙන පොරොන්දු කඩ කරන්ට වීමා තරම් වේදනාත්මක වෙනත් කිසිවක් වීද මම නොදනිමි.

මා සමඟ රථයේ ගමන් කළේ අමරේ අයියා හැරුණු විට තවත් සගයින් දෙදෙනකු පමණෙකි. ඔවුන්ගේ බිස්නස් එක මට තවම රහසකි. හොර බඩු මොනවා හෝ වේවා තවම රථයට පටවා නැති බවය මට සිතුණේ. රථයට ගොඩ වෙද්දී අමරේ අයියා අත වූයේ ජංගමය පමණෙකි. ඔහු එයින් කාටදෝ දිගින් දිගටම කථා කරමින් සිටියේය. ඔහුගේ සගයින් දෙදෙනා තවමත් විසි ගණන් වල මුල හරියේය පමණ සිතිය හැකි තරමට තරුණ පාටය. ආමි එකෙන් පැණ ආ එවුන් දෙදෙනකු විය හැකිය. දෙදෙනාම බැක් පැක් එක බැගින් කරේ දමාගෙන සිටියෝය. රථයට ගොඩ වූ පසු ඔවුහු ඒවා නොසැලකිල්ලෙන් ආසන මතට දැමුවෝය. ඒ වායේ ඇත්තේ හොර බඩු නොවිය හැකිය. එසේ නම් ඔවුන් ඒවාට මීට වඩා සැලකිල්ලක් දක්වනු ඇත. ඔවුන් දෙහිවලට යන්නේ හොර බඩු තොගයක් පටවා ගන්ටද?

මේ ප්‍රශ්න වලින් මගේ සිත අවුල් කර ගත යුතු නැතැයි මම සිතමි. හොර බඩු කවරක් හෝ වේවා මගේ වගකීම ඇත්තේ ඒවා කටුනායකට ගෙන යන තුරු පමණෙකි. ඉන්පසු මට නිදහස් විය හැකිය. ගාල්ලට යන්ට ගතවන පැය තුනක කාලය නිසා නොවේ නම් මට පොඩි එකාගේ විවිධ ප්‍රසංගයට පවා සහභාගි වන්ට තිබුණේය. කටුනායක සිට කෙසේ වෙතත් කොළඹ සිට ගාල්ලටවත් අධිවේගී මාර්ගයක් තිබිය යුතුය මට සිතෙන්නේ මෙවැනි අවස්ථා වලය. හැමදාම මේ ගැන කියෙව්වත් මැඩම් එවැන්නක් හදන බවට පේන්ට නම් නැත. මේ රට හදන්ට නම් මැඩම්ට වඩා ජරා පප්පෙක් සිටිය යුතුය මට සිතෙයි. අඩුගානේ ජරාව කන්ට ඕනෑ කමට වත් එතකොට මේ වැඩ ටිකක් කෙරෙනු ඇත්තේය. මෙයා හිටියොත් නම් අපේ දරුවන්ටත් සිරීපාදේ නඟින්ට වෙන්නේ දම්වැල් වල එල්ලිලාය.

මම අත්තිඩිය පාර හා කව්ඩාන පාර ඔස්සේ දෙහිවල දෙසට පදවමින් සිටිමි. මේ පාර ගන්ට කීවේ අමරේ අයියාය. ගාළු පාර කෙටිය. ට්‍රැෆික් වැඩිය. එසේම ආරක්ෂාවද අඩුය. මයි කා වුණත් හිස් පැට් රල්ය. යන දිල්ලියක ඔහුගේ උපදෙස් අනුව පදවමි.

“ඔන්න ඔය බෝක්කුව ගාවින් නතර කරපං…”

අමරේ අයියා කියයි. මම වෑන් එක පාර අයිනට වන්ට, වෙනත් වාහනයක ගමනට කරදරයක් නොවන සේ නතර කරමි. ඉදිරිපසින් ඇත්තේ අබේසේකර පාරය. Ours is not to ask why, ours is just to do or die. මේ කතාවද මා ඇසූයේ ආනන්දයට යන කාලයේදී එවක අපේ විදුහල්පතිතුමන් වූ කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ මහතාගේ මුවිනි. මේ දේවල් කලින්ම දැන සිටීම මගේ වැඩ වලට අද කොයි තරම් පහසුවක්ද?

“අපි එන්න පැය භාගයක් විතර යයි. මෙතැනම හිටපං කොහේවත් යන්න එපා….”

අමරේ අයියා සගයින් දෙදෙනා සමඟ වෑන් එකෙන් එළියට බසියි. මම පිළිතුරු දෙන්ට නොයමි. ජීවිතයට ආදරයක් තියේ නම් ඔහු එනතුරු මා මෙතැන සිටින බව අමරේ අයියා දනියි. ඔහු එය දන්නා බව මමද දනිමි. මා එය දන්නා බවද ඔහු දනියි. මේ තරම් හොඳින් දන්නා දෙයක් වෙනුවෙන් වචන නාස්ති කරන්නේ කුමකටද?

අමරේ අයියා තම සගයින් දෙදෙනා සමඟ ඉදිරිපස පටු මඟෙකින් හැරී අතුරුදහන් වෙයි. ඔහුගේ ගෝලයින් දෙන්නා බැක් පැක් දෙකද රැගෙන යාම ගැන මට ඇත්තේ අස්වැසුමකි. දැන් මගේ වාහනය ක්ලීන්ය. හොර බඩු කිසිත් නැත. වැරදිලා හෝ ගමේ යන කොස්සකු පැමිණ ප්‍රශ්න කළත් මා ගැළවිලාය.

කරන්ට දෙයක් නැති නිසා මම රේඩියෝ එක ඔන් කරමි. පෙර දිනයෙක ‘දොරමඬලාව’ වැඩ සටහනක් ලක්හඬ යළි ප්‍රචාරය කරයි.  ඊට එක් වන්නේ මැදදී හෙයින් මාතෘකාව මම නොදනිමි. මහාචාර්ය ජැක්සන් ඇන්තනි හා ආචාර්ය ජේ. ආර්. පී. සූරියප්පෙරුම සංවාදයට එක්ව සිටිති.

48032388_640

.

මහාචාර්ය ජැක්සන් ඇන්තනි: … මා කැමැතියි කලින් කියූ දෙයක් පුනරුච්චාරණයට… ඇය ජනමූල නායිකාවක්. ඒකයි අප වටහා ගත යුත්තේ. මගේ උදාහරණය නැවත සලකන්න. විහාර මහා දේවිය – ඇයත් ජනමූල නායිකාවක්. යම් අවස්ථාවක ඇය එකඟ වෙනවා තමන්ගේ ජීවිතය රට ජාතිය ආගම වෙනුවෙන් පරදුවට තියා මුහුදට බිලි වෙන්න… මා දකිනවා මේ විහාර මහා දේවියගේම පරම්පරාවෙන් පැවත එන අපේ වර්තමාන ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය තුළිනුත් ඒ වගේම ජනමූල ජන හිතෛශී කැපවීමක්. තමන්ගේ ස්වාමියා මැරුණු අවස්ථාවේ ඇය දරුවන් දෙදෙනාත් සමඟ රටින් පැණ යන්නේ නෑ. තමන්ට මූලයක් වුණු ජනතාව අතර හිඳ ඔවුන්ගේ දුක කඳුළ බෙදා ගන්නවා. ඒ ජනතාවගේ හද ගැහෙන රිද්මය ඇය දන්නවා. අන්න ඒකයි මා ඇය විහාර මහා දේවියට සමාන කරන්නේ…ඇයට ඒ ගති ලක්ෂණය කොයින් ලැබුණාද මා දන්නේ නැහැ. නමුත් මේ නායිකාවන් දෙදෙනාගේම – විහාර මහා දේවියගේ හා වත්මන් ජනාධිපතිනියගේ ජනමූල ස්වරූපය පැහැදිළියි…

හසන්ත: හොඳයි ජැක්සන් ඇන්තනි මහාචාර්යතුමා ඒ පැහැදිළි කළේ අපේ අතිගරු වත්මන් ජනාධිපතිනිය, අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ ජනතාවට සමීප වීමේ හැකියාව පිළිබඳව. සූරියප්පෙරුම මහත්මයා ඔබ මොකද්ද හිතන්නේ ඒ ගැන…?

ආචාර්ය සූරියප්පෙරුම:…දැන් බලන්ඩ හසන්ත මහත්තයෝ, මෙතුමා මෙහෙම කියන කොට අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා නේද…? හසන්ත මහත්තයෝ, මේ වාගේ ජනමූල නායිකාවක් නේද අප පාලනය කරන්නේ…? මේ නායිකාව ගැන නේද හසන්ත මහත්තයෝ අපට හිතෙන්නේ ‘රැජිණක් වුණත් රැජිණක් නොවේ’ ය කියලා…? මෙතැනදි හසන්ත මහත්තයෝ මට මතක් වෙනවා අනගාරික ධර්මපාලතුමාගේ කියමනක්. එතුමා කියනවා ‘උඹලා දැන ගනිල්ලා කවද හරි සුද්දා අපිව දාල යනවා. ඒත් ඒ යන්නේ තමන් වාගෙ කළු සුද්දෝ දහසක් බෝ කළායින් පස්සෙ…’ කියලා. දැන් බලන්ඩ ඒ කියමන මොන තරම් ඇත්තද? හසන්ත මහත්තයෝ, මෙච්චර කල් අපි පාලනය කළේ ඒ පරසුද්දා විසින් බිහි කරපු කළු සුද්දන් නෙවෙයිද? ඒ කළු සුද්දන් රටට කරපු මහා භයානක අපරාධ නිවැරදි කරන්න දැන් මෙතුමිය වගේ ජනමූල නායිකාවක් බිහි වෙලා තියෙන්නේ අපේ පෙර කළ පිනට බව අපට හිතෙන්නේ නැද්ද හසන්ත මහත්තයෝ…

හසන්ත: ඔව්, සූරියප්පෙරුම මහත්මයා, අප සමඟ අසන්නෙක් සම්බන්ධ වෙනවා මේ අවස්ථාවේදී…

අසන්නා:…හලෝ…

හසන්ත: …ඔව්, අපට ඇසෙනවා, ඔබේ නම කියන්න,…කොහේ ඉඳන්ද ඔබ කතා කරන්නේ…?

අසන්නා:…මම මේ රසික සූරියආරච්චි කියල කෙනෙක් කතා කරන්නේ, කොට්ටාවේ ඉඳලා…මට අහන්න තියෙන්නේ…

හසන්ත:…ඔව්, සූරියආරච්චි මහත්තයා ඔබේ ප්‍රශ්නය අහන්න…හලෝ…ඔව්, ඔබේ ප්‍රශ්නය අහන්න…මා හිතන්නේ ඔහු විසන්ධි වුණා. ඒ නිසා අප නැවත කතා කරමින් සිටි තැනට යමු. අපි කතා කරමින් සිටියේ වර්තමාන ජනාධිපතිනිය අතිගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ජනමූල ස්වරූපය ගැනයි…

තව දුරට අසා සිටියා නම මැනවය සිතුණද මට රේඩියෝව ක්‍රියා විරහිත කරන්ට වූයේ අමරේ අයියා සගයින් දෙදෙනා සමඟ නැවත ඔහු හැරුණු කෙටි පාරෙන්ම මතුවනු දුටු හෙයිනි. ඔවුන් ආවේ ගියාට වඩා ඉක්මණිනි. අතේ කිසිවක් නැතිවය. ඒ ඔවුන් ගෙන ගිය බැක් පැක් දෙක හරුණු විටය.

කඩිමුඩියේ ඉස්සරහ ආසනයට ගොඩ වූ අමරේ අයියා “යමු” කීවේය.

“කොහාටද…?”

“කටුනායකට…”

“ආපු පාරෙන්ම…?”

“එපා…කව්ඩාන පාරේ අනෙක් පැත්තෙන් ගිහින් දෙහිවල-මහරගම පාරට දාල සූ එක ඉස්සරහින් දාල කොහුවලට යමු. එතනින් දුටුගැමුණු මාවත, බලපොකුණ පාර දිගේ ගිහින් ඇල්විටිගල මාවතට දාමු…”

“දුරයිනේ බං…”

“කියන දේ කරපන්…!”

මට උපදෙස් ලැබී තිබුණේ හැකිතරම් ඉක්මණින්, එහෙත් මාර්ග නීති නොබිඳ, කිසිවකුගේ අවධානයට බඳුන් නොවී රථය ධාවනය කරන්ටය. ජීවිත කාලයෙන් තුනෙන් එකක් කුඩු ප්‍රවාහණය කළ කෙනකුට මේ පිළිපැදීමට අසීරු උපදේශ නොවේ. පැයකට ආසන්න කාලයකදී ටැෆික් මැද වුවද මම ජා ඇල පසු කර සිටියෙමි.

අමරේ අයියා වෑන් එකේ කබි හෝල් එකෙන් ලියුම් කවර දෙකක් ගෙන සගයන්ට දුන්නේය. මා පුදුමයට පත් වූයේ ඒ වන තෙක් ඒවා එහි තිබුණු බව මා නොදත් නිසාය. මගේ ඇහැට වැලි ගසා මේකා මේවා කබි හෝල් එකට දැමුවේ කෙසේද? කොතැනකදීද?

“දෙකයි පනස් පහට එමිරේට්ස් ෆ්ලයිට් එක. ඕක කොහොමත් ඩුබායි වල ඉඳන් පිරිලා එන්නේ. ලංකාවෙන් නඟින්නේ ටිකයි…දෙන්නට එක ළඟ සීට් නැහැ. වෑන් එකෙන් බැස්සායින් පස්සෙ දෙන්නා එක්ක කතා කරන්න යන්න එපා…ඉරිදා හවසට මුස්තාෆා එක ඉස්සරහට එයි අමීන්, කරන්න ඕනැ මොනවද කියන්න…හරි?”

මීට පිළිතුරක් මට නොඇසුණේය. ඒ සමඟම මට කල්පනා වූයේ අමරේ අයියාගේ සගයින් දෙදෙනාගෙන් එකකු හෝ මට ඇසෙන්ට වචනයක් වත් කතා නොකළ බවයි.

ඒ සමඟම අවබෝධ වූ යමක් මගේ හිතට තරමක බරක් එක් කළේය. මගේ විශ්වාසය වූයේ අමරේද මොවුන් සමඟම කටුනායකදී වාහනයෙන් බැසීමෙන් මගේ කාර්යය අහවර වනු ඇති බවයි. දැන් බලාගෙන යනකොට අමරේ බසින්ට සූදානමක් නැත. ඔහු ඉන්පසු මගෙන් බලාපොරොත්තු වනු ඇත්තේ කුමක්ද?

මේ වන විටත් මම අමරේගේ කටයුත්ත ගැන හාංකවිසියක් නොදැන සිටියෙමි. මොවුන් රට පටවන්ට යන හොර බඩු මොනවාද? බැක් පැක් දෙකක ගෙන යන්ට තරම් කුඩා ප්‍රමාණයකට මුන්ට මගේ වාහනය අදම අවශ්‍ය වූයේ ඇයි? බැලූබැල්මට විශේෂ කාර්යයක් නැතැයි සිතූ අමරේ මේ ගමනට එක් වූයේ ඇයි? මොවුන් හොර බඩු ගෙනයන්ට තැත් කරන්නේ කැබින් බැගේජ් වලද?

මගේ ටියුබ් ලයිට් එක පත්තු වුණේ වාහනය කැනඩා මිත්‍රත්ව මාවතට හරවද්දීය. මගේ පිට දිගේ විදුලි සැරයක් ඇදී ගියේය. මුන්ගේ ජොබ් එක හොර බඩු පැන්නීමක් නොවේ. මිනීමැරුමකි. අමරේ අයියාගේ වෑයම මිනීමරුවන් දෙදෙනා රට පැටවීමය.

හොර බඩු පැන්නීම එකකි. මිනීමැරුම තව එකකි. මට මිනී මැරුමක කොටස් කරුවකු වන්ට මොනම හෝ අවශ්‍යතාවයක් නොවූයේය. නීතිය අමතක කළත් මෙය අප අදහන ආගම අනුව ජාති ජාති සහ ගහන දෙයකි. එහෙත් දැන් ප්‍රමාද වූවා වැඩිය. කළ හැකි එකම දෙය හැකි ඉක්මණින් අමරේ අයියා අතහැර කොළඹින් පිට පැණ ගැනීමයි. ඉන්පසු යම් කාලයක් වෑන් එක සඟවා තබන්ට සිදු වනු ඇත්තේය. මේ සියල්ල අනාගතයේ සිදුවන දේවල්ය. දැන් වර්තමානයට මුහුණ දිය යුතුය.

මා බලාපොරොත්තු වූ පරිදිම, ගෝලයින් ඩිපාචර් ඒරියා එකෙන් බැස්සුවා මිසක අමරේ අයියා බැස්සේ නැත.

“…දැන්…?”

“…යමු…”

“කොහේද…?”

“ඇයි උඹ වැඩේ ඉවර කරලා ගමේ යන්න නේද හිටියේ… මං මගින් බහින්නම්…”

“මගින් කිව්වෙ…කටුනායකින්ද? කොළඹින්ද…?”

“උඹට වැඩක් නෑනෙ ඒක. උඹ කොහොමත් යන එකනෙ…”

“උඹ මට කිව්වේ කටුනායකින් වැඩේ ඉවරයි කියලනෙ…”

“…එහෙම තමයි බං. මේ වැඩ වලදි කියන ඒවා වෙනස් කරන්න වෙනවා…යමන් දැන් මෙතැන නතර කර ගෙන ඉන්නෙ නැතුව…”

මම වාද කරන්ට නොගියෙමි. බැඳ ගත් බේරේ ගැසිය යුතුය.

කටුනායක – ජා ඇල – සීදූව – වත්තල – බොරැල්ල – නුගේගොඩ – දෙහිවල – ගල්කිස්ස – පානදුර. අමරේ අයියා ඉස්සරහ සීට් එකේ නිදිය. ඔහු වාහනයෙන් බසිනු ඇත්තේ කොතැනකදීද? මම වාහනය රත්නපුර පාරට හැරැවූයේ ඔහුගෙන් නොඅසාය. ටික වේලාවකින් අපි ඉංගිරියට ළං වී සිටියෙමු. කම්මැලිකමට නැවත රේඩියෝව දාන්ට මට සිත්විය. ඒ දොරමඬලාව අසන මානසිකත්වයක සිටි නිසා නම් නොවේ.

“බුදු හාමුදුරුවො අපිත් දකින්නැති – බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති – ඒකයි තවමත් සංසාරේ…”

ලක් හඬෙහි වික්ටර් රත්නායක නාහෙන් අඬමින් සිටියේය. ඇත්ත තමයි. මූ ඒ කාලේම නිවන් දැක්කා නම් අපට මේ වගේ නාහෙන් අඬන සින්දු අහන්න වෙන්නේ නැත. මම සිරසට කැරැකැවීමි.

“…මීට ටික වෙලාවකට කලින් අවසාන හුස්ම හෙලූ බවයි කළුබෝවිල රෝහල් පරිශ්‍රයේ සිටින සිරස වාර්තාකරු ප්‍රකාශ කරන්නේ. විශේෂ වෛද්‍ය කණ්ඩායමක් කොළඹ සිට කළුබෝවිල රෝහල බලා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ විශේෂ උපදෙස් පරිදි පිටත් වුණේ මීට පැයකට පමණ පෙරයි. ශල්‍යකර්මයකට සියල්ල සූදානම්ව, ඊට භාජනය කරන්නට ඔන්න මෙන්න තිබියදී ලසන්ත වික්‍රමතුංග මහතා ජීවිතක්ෂයට පත් වුණා. අප වාර්තාකරු කියන හැටියට විශාල පිරිසක් මේ වන විටත් කළු බෝවිල රෝහල වටා රැස්ව සිටිනවා…”

මගේ කණට හීතලට තද වන්නේ අමරේ අයියාගේ පිස්තෝලය බව හිතා ගන්ට මට හැරී බලන්ට අවශ්‍ය වූයේ නැත.

transporter_3_2008_8

.

.

(ඉවසන්න……..සමනලයා නැවත තටු සලන තුරු )

(40) පාළු අඳුරු නිල් අහස මමයි || The forsaken days of white dreams

**********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )**********

543568_398739280179792_127760551_n

ආවොත් යා යුතුමය.
නොගියොත් නැවත ඊමක් නැත.
නාවොත් යන්ට බැරිය.
නොගොස් එන්ට බැරිය.

දිනූෂා මගේ ජීවිතයෙන් පියඹා ගියාය. වැහි ලිහිණියක සේය. ඇය කවදා හෝ මා හැර යනු ඇතැයි මට අපැහැදිළි අදහසක් විය. එහෙත් එය මෙතෙක් ඉක්මණින් වෙතැයි මම නොසිතුවෙමි. ලෝකයේ සාමාන්‍යයෙන් සිදු වන්නේ අප නොසිතන දේ මිස සිතන දේ නොවේ.

ඇත්තටම ඇය මා හැර ගියා කීම වැරදිය. අප දෙදෙනා එක මඟෙක ගමන් කිරීම නතර කළ බව කීම වඩා නිවැරදිය. මානව සම්බන්ධතා සංකීර්ණය. ආදරයක් බිඳීම හුදෙක් එක් පාර්ශ්වයක වරදක් සේ දකින්ට බැරිය. ඇරත් සිදු වූ සියල්ල සිදු වී හමාරය. කවුරු වැරදිද කවුරු හරිද කියා සෙවීමෙන් ඇති ඵලය කිමද?

එසේම අපේ ආදරය බිඳීමට හේතුව ශේන්ද නොවේ. දිනූෂා ශේන් ගැන සියල්ල මට කීවාය. ඔවුන් අතර සම්බන්ධය බිඳී තුබුණේය. ඊට හේතුව මා නොවේ. එය අපේ ආදරය (එය එසේ හැඳින්විය හැකි නම්) ඇතිවන්ට පෙර වූ සිද්ධි දාමයක ප්‍රතිඵලයකි. ශේන් ගුවන් ගමනෙකදී ඔහුට මුණ ගැසුණු ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක හා මිතුරු වී ඉන්නා බවද මට කීවේ දිනූෂාය.

අප දෙදෙනා අතර කවදා හෝ ආදරයක් විණිද මම නොදනිමි. අප හොඳ මිතුරන් වූ බව ඇත්තෙකි. ඇය මා ප්‍රිය කළ බවද මා ඇය ප්‍රිය කළ බවද ඇත්තෙකි. අප දෙදෙනාගෙන් එකකුට හෝ අනෙකා නුරුස්සන්ට තරම් ප්‍රබල හේතුවක් නොවීය.  එහෙත් ප්‍රත්‍යවේක්ෂණයේදී මට සිතෙන්නේ ආදරයක් යනු ඒ කිසිවක් නොවන බවයි. එය ඊට වඩා සංකීර්ණ, ගැඹුරු දෙයකි. එවන් දැඩි බැඳීමක් අප දෙදෙනා අතර කවරදාකවත් විණිය මට නොසිතෙයි. ඉබේ ඇති නොවන ආදරයක් කෘත්‍රිමව නිර්මාණය කර ගත නොහැකිය. තව දුරටත් එකිනෙකා රවටා ගැනීමෙකින් තොරව වෙන් වන්ට අප කල්පනා කළේ එනිසාය. මේ මගේ වර්ශන් එකයි. ඇයට මීට වඩා වෙනස් වර්ශන් එකක් ඇතිවා වන්ට පිළිවන. මම එය ප්‍රශ්න නොකරමි.

මේ කාලයේදී මා ගීතයකට කන් දුන්නා නම් ඒ මහගමසේකර ලියූ අමරදේව ගයන ‘මා මළ පසු…” ගීතයට පමණක් විය හැකිය. මා එය කී සැරයක් නැවත නැවත ශ්‍රවණය කළේද නොදනිමි.

මා මළ පසු සොහොන් කොතේ
දුක්‌ ගීයක්‌ ලියනු මැනව
දුක්‌ ගීයක්‌ ලියනු මැනව
දුක්‌ ගීයක්‌ ලියනු මැනව

නන්නාදුණනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
දුක්‌ ගීයක්‌ ලියනු මැනව
දුක්‌ ගීයක්‌ ලියනු මැනව

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙන යන සඳ
රෑහී හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී

මේ ලොව යම් කිසිවකු
මා හට පෙම්කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවී

මේ අසුන්දර සමය ගැන මම දිගින් දිගටම ලියන්ට නොයමි. එක හේතුවක් මේ සිද්ධීන් කිසිවක ආවර්ජනය කරමින් විඳින්ට තරම් අපූර්වත්වයක් නැති වීමයි. දෙවැනි හා ප්‍රධාන හේතුව මා එවක සිටි මානසික තත්ත්වය අනුව ඒ සියල්ල නිවැරදිව මතක ඇත්දැයි මට නිශ්චිතව නොකිව හැකිවීමයි.

ඇත්තටම මේ කථාන්තරය ආරම්භ වන්නේ අප දෙදෙනා වෙන් වන්ට මාසයකට පමණ කලිනි. විශාදය (Depression) ලෙස පසුව රෝග විනිශ්චය කරනු ලැබූ මානසික රෝගයක ප්‍රාථමික ලක්ෂණ මා ප්‍රදර්ශනය කරන්ට පටන් ගත්තේ මීට සමගාමීවය.

විශාදය පිළිබඳව විකිපීඩියාව මෙසේ කියයි.

Depression is a state of low mood and aversion to activity that can have a negative effect on a person’s thoughts, behavior, feelings, world view and physical well-being. Depressed people may feel sad, anxious, empty, hopeless, worried, helpless, worthless, guilty, irritable, hurt or restless. They may lose interest in activities that once were pleasurable, experience loss of appetite or overeating, have problems concentrating, remembering details, or making decisions and may contemplate or attempt suicide. Insomnia, excessive sleeping, fatigue, loss of energy, or aches, pains or digestive problems that are resistant to treatment may also be present.

විශාදය පිළිබඳ කෙනකුගේ සැබෑ අත්දැකීම මේ වචන වලට වඩා අතිශයින් රුදුරුය. ඔබ නිදන්ට සැරසී සිටියි. ඔබ නින්දට බියවෙයි. නින්දෙහි හැම මොහොතක්ම අපායක ජීවත් වීමක් හෙයිනි. එහෙත් ඔබ නිදන්ට යායුතුය. වෙනදා ජීවිතයෙහි සරතැස නිවන සුව නින්ද විශාදයෙහිදී කුරිරු වධකාගාරයක් වේ. ඉඳිකටුවෙකින් ඔබේ හිසට ඇනීමේදී දැනෙන වේදනාව සිහියට නඟා ගන්න. එවන් ඉඳිකටු මිලියනයකින් ඔබේ මස්තිෂ්කයෙහි හැම සෛලයකටම අනින වේදනාව ඔබ අරුත් දක්වන්නේ කෙලෙසද? ඔබ ජීවිතයට වෛර කරන්ට පටන් ගනියි. ඔබ ජීවත්වීමට වෛර කරන්ට පටන් ගනියි.

ස්වනාශක සිතිවිලි විශාදයෙහි එක් අනිවාර්ය අංගයකි. කිහිප විටෙකම මම ජීවිතය නැති කර ගන්ට උත්සාහ ගත්තෙමි. මා නොමැරුණේ නම් ඒ සිය දිවි නසා ගන්නා නිවැරදි ක්‍රමය මා නොදැන සිටි නිසා විය යුතුය සිතමි.

හුස්ම හිරවීමෙන් කෙනකුගේ මරණය සිදු වෙතැයි මම උපකල්පනය කළෙමි. මා ඇඳ ඇතිරිල්ලෙන් ගෙළ සිර නොකැර ගන්නේ මක් නිසාද? මම එයින් මගේ ගෙළ තදින් සිර කැර ගනිමි. හුස්ම ගැනීම අපහසු වන තෙක් සිර කර ගනිමි. වාතය පෙනහළුවල සිරවෙයි. තව මිනිත්තු කිහිපයකින් මගේ මොළයට ඔක්සිජන් නොලැබී මා මිය යනු ඇත්තේය. ඉන්පසු සිද්ධි දාමය මගේ මනසෙහි ෆාස්ට් ෆෝර්වර්ඩ් වෙයි. කවරකු විසින් හෝ මගේ මළ සිරුර සොයා ගනු ඇත. සමහරවිට මෙහිදීම මරණ පරීක්ෂණය පැවැත්වෙනවා ඇත්තේය. හේරත්හාමි ඔහුගේ නැඟණියගේ මළ සිරුර කැපුවේය. මගේ මළ සිරුර කපනු ඇත්තේ කවරකු විසින්ද? මා සිය දිවි නසා ගත්තේ ඇයිදැයි කවරකු හෝ ප්‍රශ්න නඟනු ඇත්තේද? “ලව් සීන් එකක් වෙන්න ඇති” බහුතරය තමන්ගේ නිගමනය දෙනු ඇත. සියල්ල අවසානයේ සිරුර එම්බාම් කොට මිනී පෙට්ටියක බහා පාංශුකූලය දෙනු ඇත. හාමුදුරුවන්ගේ අනුශාසනාව කෙටි විය හැකිය. තම ජීවිතයෙන් පළාගියෝ අපේ සමාජයේ වීරයන් සේ නොගැනෙති. ඔවුන් ගැන කියන්ට වැඩි දෙයක් නැත. මා වෙනුවෙන් පැන් පිරීමට එක්වනු ඇත්තේ කවරෙක්ද?

උන්න මේ උදකං වට්ඨං යථා නින්නං පවත්තති
එව මේව ඉතො දින්නං පේතානං උපකප්පති
යථා වාරීවහා පුරා පරිපුරෙන්ති සාගරං
එව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති

මා තව මොහොතෙකින් මිය යනු ඇත්තේය. මට බියක් නැත. කටුක වූ ගිරි දුර්ග තරණය කොට ගමනාන්තයට ළඟාවන මඟියකුගේ අස්වැසුම පමණක් මට ඉතිරිව ඇත්තේය. මම මරණයට සූදානම් වෙමි. ඔරලෝසුවේ තත්පර කට්ටේ හඬ මට ඇසෙයි. ටික්. ටික්. ටික්. ටික්…

මගේ සිත මිස කය මරණයට සූදානම් නැති සේය. තදින් බැඳි ඇතිරිල්ලේ ගැටය අතික්‍රමණය කොට මගේ පෙනහළුවල සිරව තිබූ වාතය ප්‍රශ්වාස වේ. මම උත්සාහය එවරට අතහරිමි.

නැවත මම ගෙළ සිර කොට ගනිමි. පැරණි චක්‍රය නැවත. කොයිතරම් තදින් ගෙළ සිර කරන ගැටය දැමුවද යම් මොහොතෙක පෙනහළුවල වාතය ප්‍රශ්වාස වෙයි.

මම නාන කාමරයට ඇවිද යමි. තදින් ගෙළ සිර කෙරුණු තැන්ද, මුහුණෙහි තැන තැනද තදින් රත් පැහැ ගැන්ව ඇත්තේය. ගෙළ රත් පැහැ ගෙන ඇත්තේ ඒ ඒ තැන ලේ සිරවූ නිසා විය හැකිය. මුහුණ රත් පැහැ ගත්තේ මන්ද? හෙට උදේට මේ පැල්ලම් කළු පැහැ ගැණෙනු ඇත්ද? මා සිය දිවි නසා ගන්ට තැත් කළ බව හෙට උදෑසන සියල්ලන්ම දැන ගනු ඇත්ද? මම බිය වෙමි.

මම හඬ නොනැඟෙන සේ ඇඟිලි තුඩු වලින් ඇවිද යමි. ලොකු වතුර වීදුරුවක් බී නින්දට යන මම ආයාසයෙන් නිදන්ට උත්සාහ කරමි.

පුදුමයකට මෙන් මේ සම්පූර්ණ ක්‍රියාවලියේදීම මට අම්මා සිහි නොවූයේය. උපන් දා සිට මොහොතක් මා අත නොහැර, හැමවිටම Chari, think before you do that putha, Chari, don’t do that, you will regret afterwards මට කියමින් සිටි ඇය හිටිහැටියේ කොතැනක ගියේද? එසේම මට දෙවැනි මවක වූ අප්සරා ආන්ටි හෝ ඇගේ පවුලේ කිසිවකු ගැනද මතකයට නොආයේය. අප්පච්චි ගැන මා සිතූයේ නම් ඒ තරහකිනි.

මගේ විශාදය දිනූෂා ගෙන් වෙන් වීම නිසා ඇති වූ ඵලයක් සේ ඔබ වරදවා හඳුනා ගනු ඇත්තේය. නැත. මේ දෙකින් කවරක් හේතුවද කවරක් ඵලයද මම නොදනිමි. දෙකම එක සමාන්තරව ඇති වූ බව මට විටෙක සිතෙයි. මම මගේ මනෝ විශ්ලේෂණයට නොයමි. මම මනෝ විද්‍යාඥයකු නොවෙමි.

දිනූෂා ගෙන් වෙන් වීම නිසා මට ඇය හැර තවත් බොහෝ දේ අහිමි විය. මා කල්පනා කළේ අපට ඉන් පසුව යළි මිතුරන් බවට පත්වන්ට හැකි බවයි. එහෙත් එය නොකළ හැක්කක් බව අවබෝධ වූයේ පසුවය. බොහෝ රසායනික ප්‍රතික්‍රියාවන් සිදු වන්නේ එක් අතෙකට පමණෙකි. එය ප්‍රත්‍යාවර්තනය කරන්ට යාම මෝඩ කමකි. මා මෙය අවබෝධ කර ගත්තේ පසුවය. ඒ සඳහා වූ දැවැන්ත වන්දිය ගෙවීමෙන් අනතුරුවය.

මඩොල් දූවට ගියායින් පසුව අපේ ගැන්සිය නුවරඑළි යන්ට සැලසුම් කරන බැව් මට ආරංචී වූයේ ගමනට දින කිහිපයක් ඇතිවය. මේ ගැන්සියේ ස්ථිර සාමාජිකයකු වූ මට මේ බව නොදන්වන්ට ඔවුන් ක්‍රියා කළේ ඇයි? මම රන්දිමාට කතා කළෙමි. ඇය ඇත්ත කාරණය කීවේ තරමක අදිමදි කිරීමකින් පසුවය.

“…I am really sorry, Chari….but Dinusha was adamant. She said she wouldn’t join if you do…We tried our best to show her reason but she didn’t agree. We had to vote on that… and again sorry to tell this… but as you know Dinusha was more popular…”

මා ගමනින් ඉවත් කළ හේතුව දැන ගන්ට ලැබීම මට ඊට සහභාගි නොවන්ට ලැබුණාට වඩා වේදනාවක් විය. මගේ පෙම්වතිය නොවතුදු දිනූෂා මිතුරියක සේ ගන්ට මා කිසි විටෙක නොපැකිළුනෙමි. ඇය මට මෙසේ සලකන්නේ මන්ද?

“චරී රැවුල වවන්න පටන් අරන්…” මගේ මිතුරෝ රාශියක් කීවෝය. මා රැවුල වැවූවා නොවේ. එය ඊට ඕනෑ හැටියට වැඩුණේය. මා කළේ එය නොකපා සිටීම විතරය.

The Adventures of Tintin පොත්පෙළෙහි නිර්මාපකයා Hergé හෙවත් Georges Remi (1907–1983) යම් අවස්ථාවක විශාදයෙන් පීඩා වින්දේය. ඔහු සුදෝ සුදු සිහින දකින්ට පටන් ගත්තේය. මේ සිහින ගැන ඔහු මෙසේ ලියයි.

“At the time I was going through a time of real crisis and my dreams were nearly always white dreams. And they were extremely distressing. I took note of them and remember one where I was in a kind of tower made up of a series of ramps. Dead leaves were falling and covering everything. At a particular moment, in an immaculately white alcove, a white skeleton appeared that tried to catch me. And then instantly everything around me became white.”

Hergé ගේ මනෝ විශ්ලේශකයෝ ඔහුට ඔහු තුළ වූ ‘පාරිශුද්ධත්වයේ සුදු රකුසා’ (‘the white demon of purity’) මරාදමන ලෙස උපදෙස් දුන්නෝය.  ඊට ඔහුගේ වූ නිර්මාණාත්මක ප්‍රතිචාරය Tintin in Tibet කෘතියයි. තිබ්බතයෙහි සුදු හිම මත දිග හැරෙන Tintin in Tibet සුවිශේෂ කෘතියකි. මුළු The Adventures of Tintin කතා මාලාවෙහිම දුෂ්ටයකු නැති එකම කෘතිය එයයි. Tintin හා Captain Haddock මෙහිදී සටන් වදින්නේ මිනිස් දුෂ්ටයින් සමඟ නොව තමන්ගේම අභ්‍යන්තරය සමඟය. ඒ සටනින් ජය ගන්න ඔවුහු මිත්‍රත්වයේ අගය ලොවට කියමින් Tintin ගේ චීන මිතුරා Chang Chong-Chen යෙටී නම් හිම මිනිසාගේ ග්‍රහණයෙන් මුදවා ගනිති.

මගේ විශාදය නිර්මාණාත්මක මඟට යොමු කරන්ට මම උත්සාහ ගතිමි. මම කවි ලියන්ට පටන් ගත්තෙමි. ඉන් කිහිපයක් කියැවූ මගේ ඉංග්‍රීසි ගුරුතුමිය ගේ අදහස වූයේ ඒවායේ ලොකු වටිනාකමක් නැති බවයි. (ඇය මේ ටික ඉවසිලිමත්ව හා ආචාරශීලීව කියූ බව සඳහන් විය යුතුය.) නිකමට වගේ මම ඒවා කිහිපයක් ඉංග්‍රීසි පුවත්පත් වලට තැපැල් කර යැවූයෙමි. එකක් හෝ පළ වූයේ නොවේ.

මම බ්ලොග් එකක් ලියන්ට උත්සාහ ගතිමි. මට නිර්මාණය කරන්ට හැකිවූයේ Michael Buble ගේ ” Lost ” ගීතය අන්තර්ගත කළ එහි මුල්පිටුව පමණෙකි.

I can’t believe it’s over
I watched the whole thing fall
And I never saw the writing that was on the wall
If I’d only knew
The days were slipping past
That the good things never last
That you were crying

Summer turned to winter
And the snow it turned to rain
And the rain turned into tears upon your face
I hardly recognize the girl you are today
And God I hope it’s not too late
It’s not too late

‘Cause you are not alone
I’m always there with you
And we’ll get lost together
Until the light comes pouring through
It’s when you feel like you’re done
And the darkness has won
Babe, you’re not lost
When your world’s crashing down
And you can’t bear the cross
I said, babe, you’re not lost

මම අරමුණෙකින් තොරව වීථි සරන්නකු වීමි.

බ්‍රිටිෂ් කවුන්සිල් පුස්තකාලය පිහිටි ආර්. ඒ. ද මැල් මාවත (ඩුප්ලිකේෂන් පාර) හා කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභා මන්දිරය පිහිටි කුමාරතුංග මුනිදාස මාවත යා වන්නේ රැජන පාරෙනි. මේ කාලයේ යම් දිනයෙක මම බ්‍රිටිෂ් කවුන්සිල් එකට ගොස් පොත් මාරු කර ගෙන (මෙසේ ගත් බොහෝ පොත් නොකියවාම යළි මාරු කරන ලද්දේ භාර දිය යුතු දින ඉකුත් වූවායින්ද පසුවය.) ඉබාගාතේ ඇවිද යන ගමන් රැජන පාර ඔස්සේ ගමන් කරමින් සිටියෙමි.

එල්. ටී. ටී. ය විසින් ඝාතනය කරන ලද කුමාර් පොන්නම්බලම් නම් හිටපු මන්ත්‍රීවරයාගේ නිවස ඇත්තේද මේ පාරේය. එහි බිත්තියේ කොනක ඇබිත්තං දේවාලයකි. යන එන හින්දු බැතිමත්හු මේ දේවාලයට යමක් පුදකොට එහි සීනුව නාද කොට, අළු ස්වල්පයක් නළලේ උළාගෙන යති. මා එය දැක තිබුණද කවදාවත් එය කරන්ට අදහසක් නොවීය. එහෙත් අද වෙනස්ය. විශේෂ අවස්ථාවන්ට ලක් වූ මිනිස්සු විශේෂ හැසිරීම් ප්‍රදර්ශනය නොකරත්ද? මා එය නොකළ යුත්තේ මක්නිසාද? මා සීනුව නාද කොට අළු ටිකක් නළලේ උළා ගන්ට සූදනම් වූවා පමණෙකි.

මෝටර් රථයක් මට ළං කොට බ්‍රාස් ගා නතර කරන තුරුම ඊට මගේ අවධානය යොමු නොවීය. එහි පසු පස අසුනේ සිටගෙන සිටියේ අරේෂාය. ඔව්, දිනූෂා නව රඟහලේදී මට මුණ ගැසුණු දිනයේම මා හමුවූ නමුත් දිනූෂාට ඉඳුරාම වෙනස් චරිතයක් වූ අරේෂාය. ඇය අපේ ගැන්සියේ සාමාජිකාවක් නුවූවාය. ඒත් ෆේස්බුක් හරහා ඇය මා හා නිරතුරුව බඳුනාය. එසේ හෙයින් මගේ විත්ති – යම් කොටසක් බැහැරව – ඇයට රහසක් නොවීය.

“…Chari, What a surprise!  What are you doing here…? “

මම හිස් බැල්මෙන් බලා සිටියෙමි.

“You have changed. What happened to you…? Where are you going now…?”

මට යන්ට තැනක් නැතැයි මම ඇයට කීවෙමි. ඇය මොහොතක් කල්පනා කොට “ Get in..” ය කීවාය. මම රථයේ පසුපස අසුනට නැඟ ඇය සමඟ හිඳ ගතිමි.

එදින අරේෂා හා මා අතර ඇති වූ දීර්ඝ කතාබහ මම ලියන්ට නොයමි. පැය කිහිපයකට පසු ඇගෙන් සමු ගනිද්දී මට වඩා සන්සුන් සිතක් සේම සාක්කුවේ කොළ කැබැල්ලක්ද වූ බව මතකය. ‘Dr. Diyanath Samarasinghe, Psychologist’ කියා එහි ලියා දුන්නේ අරේෂාය.

“How do you know him..?” මම ඇසුවෙමි.

“It’s a long story Chari…, you may not want to hear it…” ඇය කීවාය.

.

.

(ඉවසන්න…සමනළයා නැවත පියා සලන තෙක්)