(41) ප්‍රවාහකයා || The Transporter

කාලය: 2010, සමාන්තර විශ්වය [ මේ කැබිනට් මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන්/ අමාත්‍ය වික්ටර් බණ්ඩාර දඹර අමිල හිමි කොටින්ගේ අත් අඩංගුවෙන් මුදාගෙන ඒමෙන් මාස කිහිපයකට පසුව]
ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව

**********(ඇඹිලිපිටියේ පියදාස කියන කතාව)**********

විසි දෙවැනිදා වැඩේ දා ගන්ට මා මුලින් අකැමැති වූයේ කටයුත්තේ බැරෑරුම්කම දැන නොවේ. එයට ඊට වඩා ප්‍රාථමික හේතුවක් විය. මනෝජ් පුතාගේ ඉස්කෝලයේ වාර්ෂික විවිධ ප්‍රසංගය යෙදී තිබුණේද හරියටම එදිනටය. පසුගිය වසරේත් මොකක් හෝ කටයුත්තක් නිසා මට ඔහුගේ විවිධ ප්‍රසංගයට යන්ට බැරි විය මේ අවුරුද්දේ නම් කොහොම හරි එනවාමය මා පොරොන්දු වූයේ වසරකට එපිටදීය. පොඩි එව්වෝ මෙවන් දේවල් බැරෑරුම් ලෙස ගනිති. මතක තබා ගනිති. දැන් ඔහු එය සිහි කරමින් මට කරදර කරයි.

“පුතාට තේරෙනවනෙ. ඔක්කෝටම කලින් තාත්තා රස්සාවත් කරල ඉන්ට එපායැ. පුතාලට කන්න බොන්න උගන්නන්න, නිවාඩු කාලෙට අනුරාධපුරේ එක්ක යන්න ඔක්කෝම කරන්න ඕනැ රස්සාව කරලනෙ…”

මම ඔහු සනසන්ට උත්සාහ දරමි.

“ඉතින් තාත්තට එක දවසක් නිවාඩු දාන්න බැරිද…?” ඔහු කට කජු ලෙල්ල කර ගෙන අසයි.

“එහෙම නිවාඩු ගන්න බෑනෙ පුතා. කලින් කියල තියන්ට එපායැ…”

“ඉත්…තින්….. තාත්තට මම කිව්වෙ අවුරුද්දකට කලින්නෙ…”

“මට මතක නැති වුණානෙ පුතා…”

“තාත්තා කිව්වෙ මේ අවුරුද්දෙ නම් කොහොම හරි එනවමයි කියලනෙ…”

“මං ඊළඟ අවුරුද්දෙ එනවමයි. මොන වැඩේ තිබුණත් එනවා…”

“බෑ. බෑ. ගිය අවුරුද්දෙත් කිව්වෙ ඔහොම තමයි…”

“නෑ මං පොරොන්දු වෙන්නම්කෝ, කොහොම හරි එනවා කියලා…”

“බෑ. බෑ. ලබන අවුරුද්දේ ග්‍රේඩ් ෆෝ වල කොන්සට් එකක් නෑ. ග්‍රේඩ් ත්‍රී වල විතරයි තියෙන්නෙ. තාත්තා මං ග්‍රේඩ් ටූ ඉන්නකොට ආවෙත් නෑ. මේ සැරේ නම් එන්නම ඕනෑ…”

“එහෙම කියලා බෑනෙ පුතා…”

“නෑ, එහෙම කියලා පුළුවන්…”

“මං එන්නම බැරි වුණොත් පුතාට සෙල්ලම් බඩුවක් අරන් දෙන්නම්කො…”

“මොකද්ද…?”

“බෙන් 10 ජීප් එකක්…” පොඩි එකාට බෙන් 10 පිස්සුවක් තිබුණු බව මම දනිමි.

“එපා. මං දැන් බෙන් 10 බලන්නෙ නෑ. ඒක බලන්නෙ පොඩි ළමයි…”

“එහෙනම් මං පුතාට සැටලයිට් එකක් අරන් දෙන්නම්…”

“මොකද්ද සැටලයිට් කියන්නෙ…?”

“අර අපේ මහින්ද මහත්තයගෙ පොඩි පුතා රෝහිත අයියා සැටලයිට් යවනවලුනෙ අහසට. එයාට කියලා එයින් එකක් ඉල්ලලා දෙන්නං….”

“එපා. ඔය බොරු. තාත්තා එදාට එන්නම ඕනැ….”

“මටත් තේරෙන්නෙ නෑ ඔයාට ඔය තරමට තියෙන වැඩ මොනවද කියලා….”

මදාරාද මෙවැනි අවස්ථාවල මැදට පැණ කතාව තවත් අල කරයි. වැඩි විස්තර නැතිවද, මා කුඩු විකුණන බව ඇය දනියි. ඇය කසාද බැන්දේද මා ශාන්ත පීතර නොවන බව දැන ගෙනය. එහෙත් මා අවුස්සන්ට දෝ ඇය බොහෝ විට මා අපහසුවට පත්වන සේ මෙවැනි කතා කියයි – විශේෂයෙන්ම මට ඊට ප්‍රතිඋත්තර දෙන්ට බැරි අවස්ථාවල. මේ ගෑණුන්ගේ හැටිය. කුඩු සල්ලි වලින් කන බොන තාක් කල් ඒවා හොඳයි. ඒවා නරක් වෙන්නේ පොඩ්ඩ මිස් වෙච්චි වෙලාවටය.

ඕනැ පුකක් වෙද්දෙන් කියා මට එන්න කොහොමටවත් විදියක් නැති බව අමරේ අයියාට දුරකථන කර කීවෙමි.

“එහෙම කියල කොහොමද බං. මට මේකට විස්වාසවන්තයෙක් එක්ක යන්න ඕනැ. උඹ දන්නවනෙ මේ වැඩ ගැන…”

“ඉතින් ඕක වෙන දවසකට දාගනින්කෝ…”

“මේකනේ මලයා, මේ වැඩ උඹටයි මටයි ඕනැ දවසට කරන්න බෑ….”

මෙය නම් මට අමුතුවෙන් මතක් කළ යුතු නොවේ. යම් කාර්යයක නීති විරෝධී බවට අනුපාතිකව එය සැලසුම් කිරීමේදී ඇති දුෂ්කරතාව ඉහළ යයි.

“උඹව ඕනැ කටුනායකට වෑන් එක ගෙනියන කල් විතරයි. ඊට පස්සෙ උඹ නිදහස්, ඕනැ කෙළියක් නටා ගන්න…”

අමරේ අයියා ප්ලෑන් කරන්නේ කුමකටදැයි මම නොදනිමි. මා එය ඇසුවේ වත් ඔහු කීවේ වත් නැත. ඇසුවත් නොකියනු ඇත. යම් කිසි හොරබඩු ප්‍රවාහණයක්ය මට සිතෙයි. ඒ ගැන විශේෂඥ දැනුමක් ඇති මගේ සහාය ඔහුට අවශ්‍ය වන්නේ එනිසා විය හැකිය. කටුනායකට ගෙනි යනු ඇත්තේ ගුවන් ගත කරනු පිණිස විය යුතුය. මේ හොර බඩු මොනවා විය හැකිද? වෙනම වෑන් එකක් ගෙනයන්ට තරම් ලොකු තොගයක්? මම උත්තර නොදන්නා ප්‍රශ්න වලට පිළිතුරු සොයන්ට නොයමි. බෑ කියා ඉවත් වන එක (වෙන පාඩු දරාගෙන පවා) හිතකරය.

“අනේ තරහා වෙන්න එපා අමරෙ අයියෙ මේක නම් මට කරන්න බෑ, උඹ කීය දුන්නත්. වෙන ඕනැ දෙයක් ඉල්ලපං. මේක නම් බෑ…”

“එහෙමද මලයෝ. බලමුකෝ අපි එහෙනම්…”

අමරේ අයියා දුරකථනය විසන්ධි කළේය.

ඉන්පසු සතිය මට බලාපොරොත්තු නොවූ ආකාරයෙන් දුෂ්කර එකක් වූයේය. වෑන් ගණනාවක් පොලීසිය විසින් කොටු කර ගන්නා ලදී. කොටින්ම එක වෑන් එකකටවත් ගමනාන්තයට ළඟා වන්ට හැකි වූයේ නැත. ඉඳ හිට සිදුවන මෙවැනි ඇබැද්දියකට අපි සූදානමින් සිටිමු. පොලීසියට හමුවන ගෝලයින් නිදහස් කර ගන්ට අවශ්‍ය වන්නේ ටෙලිෆෝන් ඇමැතුම් කිහිපයකුත් ජරාව දෙන්ට මොණරු මිටි කිහිපයකුත් පමණෙකි. එහෙත් පොලීසියට හසුවන බඩු යම් ප්‍රමාණයක් වේද ඒවා අපට අහිමි වේ. මෙනිසා මෙසේ අසුවන හැම වතාවකම අපට සිදු වන්නේ ශුද්ධ පාඩුවකි. සතියක් තුළ කිහිප වතාවක් එසේ වූ විට අතේ ඇති සියළු මුදල් සිඳී ගොස් මහා පරිමාණයෙන් ණය ගන්ට සිදුවෙයි. සිකුරාදා වන විට මා මුහුණ දී සිටියේ මේ තත්ත්වයටයි.

මේ සියල්ල අමරේ අයියා නිසා වුවායැයි මම නොකියමි. එහෙත් පිට පිටම එක වගේ සිද්ධීන් වීම අස්වාභාවිකය. වෙච්චි සියල්ල අමතක කළත්, මේ ආගාධයෙන් මා ගොඩ ගත හැකි ගත හැකි එක් පුද්ගලයෙකි ඔහු. මට මනෝජ් පුතාගේ කඳුළ අමතක කරන්ට වූයේ ඒ නිසාය. සියල්ලට සල්ලි තිබිය යුතුය. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකාය බුදු හාමුදුරුවන් දේශනා කොට තිබූ බව මා උගත්තේ ආනන්දයට යන කාලයේදීය. මනෝජ් ගැන පසුව කරදර වෙමි.

transporter3-6

කොයිතරම් හිත හදා ගන්ට උත්සාහ දැරුවත් දෙහිවලට රිය පදවා යන තුරුද මගේ සිතෙහි වැඩ කළේ මනෝජ් පුතාට දුන් පොරොන්දුව කඩ වීම ගැනයි. පියකුට තම දරුවන්ට දෙන පොරොන්දු කඩ කරන්ට වීමා තරම් වේදනාත්මක වෙනත් කිසිවක් වීද මම නොදනිමි.

මා සමඟ රථයේ ගමන් කළේ අමරේ අයියා හැරුණු විට තවත් සගයින් දෙදෙනකු පමණෙකි. ඔවුන්ගේ බිස්නස් එක මට තවම රහසකි. හොර බඩු මොනවා හෝ වේවා තවම රථයට පටවා නැති බවය මට සිතුණේ. රථයට ගොඩ වෙද්දී අමරේ අයියා අත වූයේ ජංගමය පමණෙකි. ඔහු එයින් කාටදෝ දිගින් දිගටම කථා කරමින් සිටියේය. ඔහුගේ සගයින් දෙදෙනා තවමත් විසි ගණන් වල මුල හරියේය පමණ සිතිය හැකි තරමට තරුණ පාටය. ආමි එකෙන් පැණ ආ එවුන් දෙදෙනකු විය හැකිය. දෙදෙනාම බැක් පැක් එක බැගින් කරේ දමාගෙන සිටියෝය. රථයට ගොඩ වූ පසු ඔවුහු ඒවා නොසැලකිල්ලෙන් ආසන මතට දැමුවෝය. ඒ වායේ ඇත්තේ හොර බඩු නොවිය හැකිය. එසේ නම් ඔවුන් ඒවාට මීට වඩා සැලකිල්ලක් දක්වනු ඇත. ඔවුන් දෙහිවලට යන්නේ හොර බඩු තොගයක් පටවා ගන්ටද?

මේ ප්‍රශ්න වලින් මගේ සිත අවුල් කර ගත යුතු නැතැයි මම සිතමි. හොර බඩු කවරක් හෝ වේවා මගේ වගකීම ඇත්තේ ඒවා කටුනායකට ගෙන යන තුරු පමණෙකි. ඉන්පසු මට නිදහස් විය හැකිය. ගාල්ලට යන්ට ගතවන පැය තුනක කාලය නිසා නොවේ නම් මට පොඩි එකාගේ විවිධ ප්‍රසංගයට පවා සහභාගි වන්ට තිබුණේය. කටුනායක සිට කෙසේ වෙතත් කොළඹ සිට ගාල්ලටවත් අධිවේගී මාර්ගයක් තිබිය යුතුය මට සිතෙන්නේ මෙවැනි අවස්ථා වලය. හැමදාම මේ ගැන කියෙව්වත් මැඩම් එවැන්නක් හදන බවට පේන්ට නම් නැත. මේ රට හදන්ට නම් මැඩම්ට වඩා ජරා පප්පෙක් සිටිය යුතුය මට සිතෙයි. අඩුගානේ ජරාව කන්ට ඕනෑ කමට වත් එතකොට මේ වැඩ ටිකක් කෙරෙනු ඇත්තේය. මෙයා හිටියොත් නම් අපේ දරුවන්ටත් සිරීපාදේ නඟින්ට වෙන්නේ දම්වැල් වල එල්ලිලාය.

මම අත්තිඩිය පාර හා කව්ඩාන පාර ඔස්සේ දෙහිවල දෙසට පදවමින් සිටිමි. මේ පාර ගන්ට කීවේ අමරේ අයියාය. ගාළු පාර කෙටිය. ට්‍රැෆික් වැඩිය. එසේම ආරක්ෂාවද අඩුය. මයි කා වුණත් හිස් පැට් රල්ය. යන දිල්ලියක ඔහුගේ උපදෙස් අනුව පදවමි.

“ඔන්න ඔය බෝක්කුව ගාවින් නතර කරපං…”

අමරේ අයියා කියයි. මම වෑන් එක පාර අයිනට වන්ට, වෙනත් වාහනයක ගමනට කරදරයක් නොවන සේ නතර කරමි. ඉදිරිපසින් ඇත්තේ අබේසේකර පාරය. Ours is not to ask why, ours is just to do or die. මේ කතාවද මා ඇසූයේ ආනන්දයට යන කාලයේදී එවක අපේ විදුහල්පතිතුමන් වූ කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ මහතාගේ මුවිනි. මේ දේවල් කලින්ම දැන සිටීම මගේ වැඩ වලට අද කොයි තරම් පහසුවක්ද?

“අපි එන්න පැය භාගයක් විතර යයි. මෙතැනම හිටපං කොහේවත් යන්න එපා….”

අමරේ අයියා සගයින් දෙදෙනා සමඟ වෑන් එකෙන් එළියට බසියි. මම පිළිතුරු දෙන්ට නොයමි. ජීවිතයට ආදරයක් තියේ නම් ඔහු එනතුරු මා මෙතැන සිටින බව අමරේ අයියා දනියි. ඔහු එය දන්නා බව මමද දනිමි. මා එය දන්නා බවද ඔහු දනියි. මේ තරම් හොඳින් දන්නා දෙයක් වෙනුවෙන් වචන නාස්ති කරන්නේ කුමකටද?

අමරේ අයියා තම සගයින් දෙදෙනා සමඟ ඉදිරිපස පටු මඟෙකින් හැරී අතුරුදහන් වෙයි. ඔහුගේ ගෝලයින් දෙන්නා බැක් පැක් දෙකද රැගෙන යාම ගැන මට ඇත්තේ අස්වැසුමකි. දැන් මගේ වාහනය ක්ලීන්ය. හොර බඩු කිසිත් නැත. වැරදිලා හෝ ගමේ යන කොස්සකු පැමිණ ප්‍රශ්න කළත් මා ගැළවිලාය.

කරන්ට දෙයක් නැති නිසා මම රේඩියෝ එක ඔන් කරමි. පෙර දිනයෙක ‘දොරමඬලාව’ වැඩ සටහනක් ලක්හඬ යළි ප්‍රචාරය කරයි.  ඊට එක් වන්නේ මැදදී හෙයින් මාතෘකාව මම නොදනිමි. මහාචාර්ය ජැක්සන් ඇන්තනි හා ආචාර්ය ජේ. ආර්. පී. සූරියප්පෙරුම සංවාදයට එක්ව සිටිති.

48032388_640

.

මහාචාර්ය ජැක්සන් ඇන්තනි: … මා කැමැතියි කලින් කියූ දෙයක් පුනරුච්චාරණයට… ඇය ජනමූල නායිකාවක්. ඒකයි අප වටහා ගත යුත්තේ. මගේ උදාහරණය නැවත සලකන්න. විහාර මහා දේවිය – ඇයත් ජනමූල නායිකාවක්. යම් අවස්ථාවක ඇය එකඟ වෙනවා තමන්ගේ ජීවිතය රට ජාතිය ආගම වෙනුවෙන් පරදුවට තියා මුහුදට බිලි වෙන්න… මා දකිනවා මේ විහාර මහා දේවියගේම පරම්පරාවෙන් පැවත එන අපේ වර්තමාන ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය තුළිනුත් ඒ වගේම ජනමූල ජන හිතෛශී කැපවීමක්. තමන්ගේ ස්වාමියා මැරුණු අවස්ථාවේ ඇය දරුවන් දෙදෙනාත් සමඟ රටින් පැණ යන්නේ නෑ. තමන්ට මූලයක් වුණු ජනතාව අතර හිඳ ඔවුන්ගේ දුක කඳුළ බෙදා ගන්නවා. ඒ ජනතාවගේ හද ගැහෙන රිද්මය ඇය දන්නවා. අන්න ඒකයි මා ඇය විහාර මහා දේවියට සමාන කරන්නේ…ඇයට ඒ ගති ලක්ෂණය කොයින් ලැබුණාද මා දන්නේ නැහැ. නමුත් මේ නායිකාවන් දෙදෙනාගේම – විහාර මහා දේවියගේ හා වත්මන් ජනාධිපතිනියගේ ජනමූල ස්වරූපය පැහැදිළියි…

හසන්ත: හොඳයි ජැක්සන් ඇන්තනි මහාචාර්යතුමා ඒ පැහැදිළි කළේ අපේ අතිගරු වත්මන් ජනාධිපතිනිය, අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ ජනතාවට සමීප වීමේ හැකියාව පිළිබඳව. සූරියප්පෙරුම මහත්මයා ඔබ මොකද්ද හිතන්නේ ඒ ගැන…?

ආචාර්ය සූරියප්පෙරුම:…දැන් බලන්ඩ හසන්ත මහත්තයෝ, මෙතුමා මෙහෙම කියන කොට අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා නේද…? හසන්ත මහත්තයෝ, මේ වාගේ ජනමූල නායිකාවක් නේද අප පාලනය කරන්නේ…? මේ නායිකාව ගැන නේද හසන්ත මහත්තයෝ අපට හිතෙන්නේ ‘රැජිණක් වුණත් රැජිණක් නොවේ’ ය කියලා…? මෙතැනදි හසන්ත මහත්තයෝ මට මතක් වෙනවා අනගාරික ධර්මපාලතුමාගේ කියමනක්. එතුමා කියනවා ‘උඹලා දැන ගනිල්ලා කවද හරි සුද්දා අපිව දාල යනවා. ඒත් ඒ යන්නේ තමන් වාගෙ කළු සුද්දෝ දහසක් බෝ කළායින් පස්සෙ…’ කියලා. දැන් බලන්ඩ ඒ කියමන මොන තරම් ඇත්තද? හසන්ත මහත්තයෝ, මෙච්චර කල් අපි පාලනය කළේ ඒ පරසුද්දා විසින් බිහි කරපු කළු සුද්දන් නෙවෙයිද? ඒ කළු සුද්දන් රටට කරපු මහා භයානක අපරාධ නිවැරදි කරන්න දැන් මෙතුමිය වගේ ජනමූල නායිකාවක් බිහි වෙලා තියෙන්නේ අපේ පෙර කළ පිනට බව අපට හිතෙන්නේ නැද්ද හසන්ත මහත්තයෝ…

හසන්ත: ඔව්, සූරියප්පෙරුම මහත්මයා, අප සමඟ අසන්නෙක් සම්බන්ධ වෙනවා මේ අවස්ථාවේදී…

අසන්නා:…හලෝ…

හසන්ත: …ඔව්, අපට ඇසෙනවා, ඔබේ නම කියන්න,…කොහේ ඉඳන්ද ඔබ කතා කරන්නේ…?

අසන්නා:…මම මේ රසික සූරියආරච්චි කියල කෙනෙක් කතා කරන්නේ, කොට්ටාවේ ඉඳලා…මට අහන්න තියෙන්නේ…

හසන්ත:…ඔව්, සූරියආරච්චි මහත්තයා ඔබේ ප්‍රශ්නය අහන්න…හලෝ…ඔව්, ඔබේ ප්‍රශ්නය අහන්න…මා හිතන්නේ ඔහු විසන්ධි වුණා. ඒ නිසා අප නැවත කතා කරමින් සිටි තැනට යමු. අපි කතා කරමින් සිටියේ වර්තමාන ජනාධිපතිනිය අතිගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ජනමූල ස්වරූපය ගැනයි…

තව දුරට අසා සිටියා නම මැනවය සිතුණද මට රේඩියෝව ක්‍රියා විරහිත කරන්ට වූයේ අමරේ අයියා සගයින් දෙදෙනා සමඟ නැවත ඔහු හැරුණු කෙටි පාරෙන්ම මතුවනු දුටු හෙයිනි. ඔවුන් ආවේ ගියාට වඩා ඉක්මණිනි. අතේ කිසිවක් නැතිවය. ඒ ඔවුන් ගෙන ගිය බැක් පැක් දෙක හරුණු විටය.

කඩිමුඩියේ ඉස්සරහ ආසනයට ගොඩ වූ අමරේ අයියා “යමු” කීවේය.

“කොහාටද…?”

“කටුනායකට…”

“ආපු පාරෙන්ම…?”

“එපා…කව්ඩාන පාරේ අනෙක් පැත්තෙන් ගිහින් දෙහිවල-මහරගම පාරට දාල සූ එක ඉස්සරහින් දාල කොහුවලට යමු. එතනින් දුටුගැමුණු මාවත, බලපොකුණ පාර දිගේ ගිහින් ඇල්විටිගල මාවතට දාමු…”

“දුරයිනේ බං…”

“කියන දේ කරපන්…!”

මට උපදෙස් ලැබී තිබුණේ හැකිතරම් ඉක්මණින්, එහෙත් මාර්ග නීති නොබිඳ, කිසිවකුගේ අවධානයට බඳුන් නොවී රථය ධාවනය කරන්ටය. ජීවිත කාලයෙන් තුනෙන් එකක් කුඩු ප්‍රවාහණය කළ කෙනකුට මේ පිළිපැදීමට අසීරු උපදේශ නොවේ. පැයකට ආසන්න කාලයකදී ටැෆික් මැද වුවද මම ජා ඇල පසු කර සිටියෙමි.

අමරේ අයියා වෑන් එකේ කබි හෝල් එකෙන් ලියුම් කවර දෙකක් ගෙන සගයන්ට දුන්නේය. මා පුදුමයට පත් වූයේ ඒ වන තෙක් ඒවා එහි තිබුණු බව මා නොදත් නිසාය. මගේ ඇහැට වැලි ගසා මේකා මේවා කබි හෝල් එකට දැමුවේ කෙසේද? කොතැනකදීද?

“දෙකයි පනස් පහට එමිරේට්ස් ෆ්ලයිට් එක. ඕක කොහොමත් ඩුබායි වල ඉඳන් පිරිලා එන්නේ. ලංකාවෙන් නඟින්නේ ටිකයි…දෙන්නට එක ළඟ සීට් නැහැ. වෑන් එකෙන් බැස්සායින් පස්සෙ දෙන්නා එක්ක කතා කරන්න යන්න එපා…ඉරිදා හවසට මුස්තාෆා එක ඉස්සරහට එයි අමීන්, කරන්න ඕනැ මොනවද කියන්න…හරි?”

මීට පිළිතුරක් මට නොඇසුණේය. ඒ සමඟම මට කල්පනා වූයේ අමරේ අයියාගේ සගයින් දෙදෙනාගෙන් එකකු හෝ මට ඇසෙන්ට වචනයක් වත් කතා නොකළ බවයි.

ඒ සමඟම අවබෝධ වූ යමක් මගේ හිතට තරමක බරක් එක් කළේය. මගේ විශ්වාසය වූයේ අමරේද මොවුන් සමඟම කටුනායකදී වාහනයෙන් බැසීමෙන් මගේ කාර්යය අහවර වනු ඇති බවයි. දැන් බලාගෙන යනකොට අමරේ බසින්ට සූදානමක් නැත. ඔහු ඉන්පසු මගෙන් බලාපොරොත්තු වනු ඇත්තේ කුමක්ද?

මේ වන විටත් මම අමරේගේ කටයුත්ත ගැන හාංකවිසියක් නොදැන සිටියෙමි. මොවුන් රට පටවන්ට යන හොර බඩු මොනවාද? බැක් පැක් දෙකක ගෙන යන්ට තරම් කුඩා ප්‍රමාණයකට මුන්ට මගේ වාහනය අදම අවශ්‍ය වූයේ ඇයි? බැලූබැල්මට විශේෂ කාර්යයක් නැතැයි සිතූ අමරේ මේ ගමනට එක් වූයේ ඇයි? මොවුන් හොර බඩු ගෙනයන්ට තැත් කරන්නේ කැබින් බැගේජ් වලද?

මගේ ටියුබ් ලයිට් එක පත්තු වුණේ වාහනය කැනඩා මිත්‍රත්ව මාවතට හරවද්දීය. මගේ පිට දිගේ විදුලි සැරයක් ඇදී ගියේය. මුන්ගේ ජොබ් එක හොර බඩු පැන්නීමක් නොවේ. මිනීමැරුමකි. අමරේ අයියාගේ වෑයම මිනීමරුවන් දෙදෙනා රට පැටවීමය.

හොර බඩු පැන්නීම එකකි. මිනීමැරුම තව එකකි. මට මිනී මැරුමක කොටස් කරුවකු වන්ට මොනම හෝ අවශ්‍යතාවයක් නොවූයේය. නීතිය අමතක කළත් මෙය අප අදහන ආගම අනුව ජාති ජාති සහ ගහන දෙයකි. එහෙත් දැන් ප්‍රමාද වූවා වැඩිය. කළ හැකි එකම දෙය හැකි ඉක්මණින් අමරේ අයියා අතහැර කොළඹින් පිට පැණ ගැනීමයි. ඉන්පසු යම් කාලයක් වෑන් එක සඟවා තබන්ට සිදු වනු ඇත්තේය. මේ සියල්ල අනාගතයේ සිදුවන දේවල්ය. දැන් වර්තමානයට මුහුණ දිය යුතුය.

මා බලාපොරොත්තු වූ පරිදිම, ගෝලයින් ඩිපාචර් ඒරියා එකෙන් බැස්සුවා මිසක අමරේ අයියා බැස්සේ නැත.

“…දැන්…?”

“…යමු…”

“කොහේද…?”

“ඇයි උඹ වැඩේ ඉවර කරලා ගමේ යන්න නේද හිටියේ… මං මගින් බහින්නම්…”

“මගින් කිව්වෙ…කටුනායකින්ද? කොළඹින්ද…?”

“උඹට වැඩක් නෑනෙ ඒක. උඹ කොහොමත් යන එකනෙ…”

“උඹ මට කිව්වේ කටුනායකින් වැඩේ ඉවරයි කියලනෙ…”

“…එහෙම තමයි බං. මේ වැඩ වලදි කියන ඒවා වෙනස් කරන්න වෙනවා…යමන් දැන් මෙතැන නතර කර ගෙන ඉන්නෙ නැතුව…”

මම වාද කරන්ට නොගියෙමි. බැඳ ගත් බේරේ ගැසිය යුතුය.

කටුනායක – ජා ඇල – සීදූව – වත්තල – බොරැල්ල – නුගේගොඩ – දෙහිවල – ගල්කිස්ස – පානදුර. අමරේ අයියා ඉස්සරහ සීට් එකේ නිදිය. ඔහු වාහනයෙන් බසිනු ඇත්තේ කොතැනකදීද? මම වාහනය රත්නපුර පාරට හැරැවූයේ ඔහුගෙන් නොඅසාය. ටික වේලාවකින් අපි ඉංගිරියට ළං වී සිටියෙමු. කම්මැලිකමට නැවත රේඩියෝව දාන්ට මට සිත්විය. ඒ දොරමඬලාව අසන මානසිකත්වයක සිටි නිසා නම් නොවේ.

“බුදු හාමුදුරුවො අපිත් දකින්නැති – බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති – ඒකයි තවමත් සංසාරේ…”

ලක් හඬෙහි වික්ටර් රත්නායක නාහෙන් අඬමින් සිටියේය. ඇත්ත තමයි. මූ ඒ කාලේම නිවන් දැක්කා නම් අපට මේ වගේ නාහෙන් අඬන සින්දු අහන්න වෙන්නේ නැත. මම සිරසට කැරැකැවීමි.

“…මීට ටික වෙලාවකට කලින් අවසාන හුස්ම හෙලූ බවයි කළුබෝවිල රෝහල් පරිශ්‍රයේ සිටින සිරස වාර්තාකරු ප්‍රකාශ කරන්නේ. විශේෂ වෛද්‍ය කණ්ඩායමක් කොළඹ සිට කළුබෝවිල රෝහල බලා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ විශේෂ උපදෙස් පරිදි පිටත් වුණේ මීට පැයකට පමණ පෙරයි. ශල්‍යකර්මයකට සියල්ල සූදානම්ව, ඊට භාජනය කරන්නට ඔන්න මෙන්න තිබියදී ලසන්ත වික්‍රමතුංග මහතා ජීවිතක්ෂයට පත් වුණා. අප වාර්තාකරු කියන හැටියට විශාල පිරිසක් මේ වන විටත් කළු බෝවිල රෝහල වටා රැස්ව සිටිනවා…”

මගේ කණට හීතලට තද වන්නේ අමරේ අයියාගේ පිස්තෝලය බව හිතා ගන්ට මට හැරී බලන්ට අවශ්‍ය වූයේ නැත.

transporter_3_2008_8

.

.

(ඉවසන්න……..සමනලයා නැවත තටු සලන තුරු )

Advertisements
Leave a comment

20 Comments

  1. Ran

     /  December 12, 2012

    සිංගප්පූරුවේ හිටපු මගේ යාලුවෙක්ට හමුවෙලා තියනවා එහෙ හොරෙන් ඉන්න සෙට් එකක්ම. ඒ අතර මිනීමැරුම් නඩු වලින් බේරෙන්න ආපු අය ගොඩක් හිටියා. විශේෂයෙන්ම සිරසට ගිනිතියන්න ගිය දෙන්නෙකුත් එහෙට වෙලා හිටියා.

    Reply
  2. DDT

     /  December 12, 2012

    අර නර පනුව ලසන්ත චන්දිරිකගෙ ඩිග්රි සැටිපිකේට් එක ගැන කතා කරා ඇරෙන්න වෙන මොනවද දන්නෑ කරල තියෙන්නෙ මරන්න තරම්.

    අර රසික සූරියආරච්චි එහෙම අද මේ පැත්තෙ එයිද දන්නෑ කමෙන්ට් එකක් දාලා යන්න.

    Reply
    • DDT

       /  December 12, 2012

      අහන්ට බැරි වුනා, මොකක්ද අර බර්ත් ඩේ ඇඩ් එක.

      Reply
      • හවසට දැන ගන්න ලැබෙයි සමහරවිට.

        – ලේඛක

    • මාත් එනකල් තමයි ඉන්නේ අර අහන්න ගිය ප්‍රශ්නය මොකද්ද දැන ගන්න.

      – ලේඛක

      Reply
  3. යකෝ ජේසන් ස්ටෙතමුත් ආනන්දේ කොල්ලෙක් නේ බලං කියාම…..මං හිතන් හිටියේ ඌ රෝයල් බොයී කෙනෙක් කියලනේ….

    Reply
  4. අතර මැද තියන “දොරමඬලාව” කතාව අමතක වෙන්න තරම්ම රසවත්. ඇත්තටම ජැකා-හසන්ත-ජේආර්පී ආවටත් වැඩිය ලස්සනට ලියවිලා තියනව. හැබැයි ඉතිං සමාන්තර විශ්වයේ සිද්ධවෙච්ච දේ මෙහෙත් උනනානං ජැකා චන්ද්‍රිකා නෝනව විහාරමහාදේවිට අන්දන එක නවත්තන්න වයිමටවත් බෑ.

    Reply
  5. ඔය කියන රසික සූරියආරච්චි මා විය නොහැක.

    සමහර විට රසික සුරවීරආරච්චි වැනි නමක් සමහ ටැපලිමක් සිදුවුණාවත්ද?

    Reply
  6. Sujeewa

     /  December 12, 2012

    සමනල විප්ලවය කතාවට සවන් දුන් ඔබෙන් අසන පැනය මෙන්න.

    “කතාවේ දුරකථන විසන්ධියකින් අසන්නට නොලැබෙන රසික සූරියආරච්චි අසන්නට ගිය ප්‍රශ්නය කුමක්ද?”

    නිවැරදි පිළිතුර ඔබේ නමට මුද්දර අලවන ලද තැපැල් පතක් සමග එවීමෙන් ඔහුට හෝ ඇයට අනුග්‍රාහක ඒ බවර් සමාගම නිපදවන අලුත්ම කෘමි නාශක බෝතලයක් නොපමාව ලබා දීමට අප සූදානම්

    Reply
    • Sujeewa

       /  December 12, 2012

      ලේඛක: ප්‍රශ්නය දෙපාරක් දාන ඒක “රේඩියෝ සිලෝන්” එකේ ක්‍රමයයි.

      Reply
      • සමාවෙන්න. මා හිතුවේ වැරදීමක් කියලා.

        – ලේඛක

    • කෑමි නාශක බෝතලය තැපැල් පතේ බහා යවන හැටි දැනගන්නට කැමතියි.

      Reply
      • Sujeewa

         /  December 13, 2012

        මේක අහන්නද අප්පේ ඔච්චර මහන්සි වෙලා දොර මඩලාවට කෝල් කලේ.

        ඇත්තෙන්ම සිද්ධ වෙන හැටි නම්. තැපැල් පතේ ලියා යවනවා ඔබ ජයග්‍රහණය කළා තෑග්ග ලබා ගන්න කොළඹ ගු වී ස ට එන්න කියලා. ආවාම අර බෝතලේ දෙනවා.

  7. ranwala

     /  December 12, 2012

    ඒ කියන්නේ ඇඹිලිපිටියේ පියදාස ඉංගිරිය හරියෙදී දෙව්ලොව ගියා?දකුණේ පාතාලේ වම්බොට්ටත් ඔය විදිහටම ඔය කිට්ටුවදි නේද දෙව්ලොව ගියේ?

    Reply
    • Jesse James

       /  December 13, 2012

      දෙව් ලොව ගියා නම් කතාව කියන්නේ දෙයියො ද 🙂

      Reply
  8. Sujeewa

     /  December 13, 2012

    පුංචි ප්‍රශ්නයක්. අහක උන්නු පියදාසයා බලෙන්ම ඇදගෙන ඇවිත් මරා දාන්න තරම් ඩ්‍රයිවර් කෙනෙකුගේ අවශ්‍යතාවයක් තිබුණු බවක් පෙන්නේ නැහැ. ඕක පියදාස නැතුව කරන්න බැරිද?

    හැම ප්‍රශ්නෙටම උත්තර අවශ්‍ය නැති බව කිව යුතුයි. ලේඛකයා ලියන්න.කැමති නම් පමණක් උත්තර දෙන්න.

    Reply
    • පියදාස මැරුණා කියා කොතැනකවත් නිශ්චිතව කියා නැත. අනෙක් අතට අමරේ පියදාස මැරුවා වුවද එය කලින් ප්ලෑන් කර තිබුණේය සිතීම අවශ්‍ය නොවේ. සමහරවිට එය සිද්ධියෙන් පසු ඇතිවූ, කලින් බලාපොරොත්තු නොවූ ගැටුමක ප්‍රතිඵලයක් විය හැකිය.

      – ලේඛක

      Reply
      • Sujeewa

         /  December 14, 2012

        හ්ම්ම්ම්ම් ඇඹිලිපිටියේ පියදාස “කියන’ කතාව

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: