(43) ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? || Who killed Lasantha Wickrematunge?

**********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )**********

beautifulthing

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට තියේ. මේ මොහොතෙහි රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය එයයි. වර්තමාන ආණ්ඩුව අතිශය අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියි. මේ තනි සිද්ධිය 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය බලයට පත් වූ තැන් පටන් ඇය මුහුණ දුන් දරුණුතම අර්බූද වලින් එකකට ඇගේ ආණ්ඩුව තල්ලු කර දැමිය හැකි බැව් දේශපාලන විචාරකයින්ගේ මතයයි.

ඉතින් මට පාන්යැ?

මට එසේ අසා නිහඬ විය නොහැකිය. මේ නාටකයේ මා ප්‍රමුඛ භූමිකාවක් රඟ පා ඇති නිසාය.

පඳුර වටේ නොතලා කෙළින්ම ප්‍රස්තුතයට බසිමි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඇඟිල්ල දිගුවී ඇත්තේ අප්පච්චි දෙසටය.

අප්පච්චි ඔහු මරා දැමුවේද? කොයිතරම් බල ලෝභියකු වුවද අප්පච්චිට මිනිසකු මරා දමන්ට තරම් දරුණු විය හැක්කේද? මම මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්ට නොයමි. එහෙත් එකක් මට කිව හැකිය. අප්පච්චිට ලසන්ත මරා දමන්ට තරම්ම දරුණු හේතු තිබුණු බවය.

Sunday Leader එක අප්පච්චි ගැන මඩ ප්‍රවෘත්ති (මඩ කීවාට මේවා ඇත්ත විය හැකිය.) එකක් පස්සේ එකක් පළ කරන්ට ගත්තේ වසර හතකට පමණ ඉහතදී ඔහු එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුව සිටියදීය. මට මතක හැටියට එය ඔහු විදෙස් එල්.ටී.ටී. ඊ. ක්‍රියාකාරිනියක සමඟ ඕස්ට්‍රේලියාවේ නිරුවත් වෙරළකට ගිය සිද්ධියක් ගැන නම නොකියා වාර්තා කොට තිබුණේය. නම නොකියැවුණු නිසා එය අප්පච්චිට ලොකු ගැටළුවක් නුවූයේය. නමුත් මේ සිද්ධිය ඔහු කුපිත කළ බව මම දනිමි. අප්පච්චිට වැඩියෙන්ම තරහ ගොස් තිබුණේ කටුනායක ගුවන් තොටුපළේදී ඔහුට හමුවූ ලසන්ත මිතුරකු ලෙසින් සියළු තොරතුරු අසාගෙන පසුව ඒවා Sunday Leader හි පළකළ නිසාය. මේ මා අප්පච්චිගෙන් දැනගත් කාරණා නොවේ. නමුත් පවුලේ ගොසිප් කොහෙන් කොහෙන් හෝ මගේ කණටද වැටෙයි.

දෙවැනිව මහීරා පිළිබඳ ප්‍රශ්නය. මේ ගැන මා දන්නේ යන්තමිනි. අප්පච්චි ඇය විවාහ කර ගන්ට සූදානමින් සිටි බැව් මම දනිමි. එහෙත් ඔහු ඇය නීත්‍යානුකූලව විවාපත් කර ගත් බව මම නොදැන සිටියෙමි. යම් මොහොතක මේ සම්බන්ධය බිඳුනේය. ඉන්පසු මම ඇය ගැන නොඇසුවෙමි. ඇය ගැන නැවත ඇසුවේ ඇය වසර කිහිපයකට පසුව හිටි හැටියේම අභිරහස් ආකාරයෙන් අතුරුදහන් වූ පසුවය. තවමත් කිසිවෙක් ඇයට කුමක් වීද නොදනිති. එහෙත් අප්පච්චි ඇය හා විවාහ වී සිටීම (මේ විවාහය ගැන මා මුල් වරට දැන ගත්තේද Sunday Leader එකෙනි.) ඔහුට අවාසියක් විය. Sunday Leader එක මේ සිද්ධිය සති ගණනාවක් වවාගෙන කෑවේය. කොටින්ම කොටින්ගේ ග්‍රහණයට නතුව සිටි දඹර අමිල හිමි ඉන් මුදාගෙන නැවත ගෙන එමින් රටේ ජනප්‍රියතාවයක් දිනා ගන්ට අදහස් කර ගෙන සිටි ඔහුගේ අභිප්‍රාය මේ පළකිරීම නිසා යම් මට්ටමකට බිඳුනේය. අප්පච්චි කෝප නොගත්තේ නම් එයයි පුදුමය!

ඉතාම අවාසනාවන්ත ආකාරයෙන් තෙවන වර Sunday Leader එකට අප්පච්චි අපහසුවට පත් කරන්ට හේතුවක් හදා දුන්නේ මාය. සමහරවිට මෙය අන්තිම පිදුරු ගහ විය හැකිය.

මම තිසූට ආදරය කළෙමි. ඔහු මගේ හොඳම මිතුරා පමණක් නොව ආදරවන්තයාද විය. වසර ගණනාවක් එය ලොවින් සඟවා ගෙන තබන්ට අප දෙදෙනාට හැකිවිය. එහෙත් තීරණාත්මක මොහොතක එය ලෝකයටම හෙළි වූයේය. ඒ අප දෙදෙනා පමණක් නොව අපේ පවුල්ද දැඩි අසීරුතාවයකට පත් කරමිනි.

මම තිසූට ආදරය කරන්ට පටන් ගත්තේ කවදාදැයි මට නිශ්චිතව කිව නොහැකිය. සමහරවිට ඒ ඔහු මට මුණ ගැසුණු පළමු දිනයේ පටන් විය හැකිය. අප දෙදෙනාම ඒ වන විට කුඩා දරුවන්ය. නමුත් සංසාර සම්බන්ධතා ඇරැඹෙන්නේ අප හිනතවාට කලින්ය.

කුඩා කළ පටන්ම මා මගේ වයසේ අනෙක් ළමයින්ගෙන් වෙනස් බව මම නිශ්චිතව දැන සිටියෙමි. ඔවුහු කෙළි බිමට ඇළුම් කළහ. මම පොතේම ගැළුනෙමි. ඔවුහු සමාජ ආශ්‍රය ප්‍රිය කළහ. මම තනියකු වීමි. ඔවුහු රළු පිරිමි ප්‍රතිරූප වන්දනා කළහ. මම සියුමැළි ගැහැණු ප්‍රතිරූප වලට කැමැති වීමි. මා නොදැන සිටියේ මේ කිසිවකට හේතුවයි. මා සිතූයේ මගේ වෙනස් පසුබිම ඊට හේතුවන්ට ඇති බවයි. මගේ මිතුරන්ට අම්මලා සිටියහ. ඔවුන්ගේ තාත්තලා ඔවුන්ට සමීප වූවෝය. මා පාසල ඇරී ගෙදර එනතුරු බලා සිටින්නට අම්මකු නොවීය. මගේ අප්පච්චිට මා ගැන වූයේ අවම උනන්දුවකි. මා සමාජ ආශ්‍රයෙන් ඈත්ව, ඉතා අවම මිතුරන් ගණනක් තනා ගනිමින් පතපොතට නැඹුරු වන්ට හේතුව සේ මා දුටුවේ එයයි.

මා වැනි බොහෝ දෙනකු සේම මට මා අවබෝධ කර ගත හැකි වූයේ බොහෝ කාලයකට පසුවය. ඒ වන විට තිසූ මගේ ලෝකයේ වූ රික්තය පුරවා තිබුණේය. අප දෙදෙනා දෙදෙනාටම නැතිවම බැරි තත්ත්වයට පත්ව සිටියෙමු.

මම බිය වීමි. සමහරවිට එක්වර තීරණයක් ගන්ට තිබුණේ නම් අප දෙදෙනාම ඊට බියව දෙපසට වනු ඇත්තේය. නමුත් සියල්ල සිදුවූයේ සෙමෙනි. අපේ ජීවිතයට සුන්දරත්වයක් එක් කරමිනි. අප එතෙක් පිය නොතැබූ ප්‍රසන්න ලෝකයකට අප කැඳවාගෙන යමිනි.

යම් අවස්ථාවෙක අප දෙදෙනාට එක ළඟ වාඩිවෙන්ට ලැබුණොත් මගේ හිසකේ අතරින් ඇඟිලි යවා සුමුදුව හා සෙමෙන් හිස පිරි මදින්ට තිසූ පුරුදුව සිටියේය. මෙය පූසකුගේ හිස පිරිමදිද්දී ඌට දැනෙන සනීපය බඳු සනීපයක් දනවයි. මමද ටික කලෙකින් මේ ක්‍රියාව ප්‍රත්‍යාවර්තනය කරන්ට පෙළඹුනෙමි.

පන්තියේදී අප එකිනෙකාගේ හිස පිරිමදින්ට ගොස් අනෙකුන්ගේ නිරීක්ෂණයට බඳුන් වූ බව මතකය. අප ඔවුන්ගේ විහිළුවට බඳුන් වූ බවත් මතකය.

ඉතින් අපට පාන්යැ! රෝයල් එක යනු මොරගහහේන මහා විද්‍යාලය නොවේ. එයින් අපි තවත් ධෛර්යමත් වීමු.

ඉඳහිට තිසූගේ නිවසෙහි නිදාගන්ට යෑමේ පුරුද්දක් මට විය. අප දෙදෙනා නිදා ගත්තේ එක ඇඳේය. එකිනෙකාට තුරුළුව නිදන්ට අප පුරුදු වූයේ මේ කාලයේදීය. ජීවිතයේ කිසි දවසෙක මවකගේ උණුසුම නොදැන සිටි මා පළමු වරට උණුසුම උගත්තේ තිසූගෙනි.

තිසූ මා සමඟ නිවාඩුවට මීගමුවට ආයේය. ඒ අප දෙදෙනා අතර මිතුදම ක්‍රමයෙන් ආදරයකට පරිවර්තනය වෙමින් පැවැති සමයයි. සාමාන්‍යයෙන් මට ඕනෑවටත් වඩා කාරුණික වන මීගමුවේ සීයා මා තිසූ කැන්දා එනවාට වැඩි කැමැත්තක් නොදැක්වූයේ මන්දැයි මම නොදනිමි. අප දෙදෙනා කරන්නේ මොනවාදැයි බලන්ටත් කවදාවත් නැතුව ඔහු විමසිලිමත් විය. මෙය තිසූට දැනුනාද නැද්ද මම නොදනිමි.

එකිනෙකාට ප්‍රකාශ කර නොගත්තද, අප දෙදෙනා තුළම අනෙකා කෙරෙහි තුනීව ආදරයක් මෝදු වෙමින් පැවැතුණේය.

සංසාර සාගරේ – ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමි..
ඔබ නිසා පදවන්නෙමි..

ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි – මං ලකුණූ දන්වන්න
නැංගුරම් ලන තැනට – පෙනෙන සේ ඔබ ඉන්න…

වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී…
දුර්ග වූ ගමන්මඟ – විඩාගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න – මා සමඟ එක්වන්න

අවාරයේ සිරීපාදය වන්දනා කරන්ට ගිය ගමන අපේ ආදරය නොබිඳෙන සේ තහවුරු කළේය මම සිතමි. අපොස උසස්පෙළ විභාගයෙන් පසුව ඊට එක් වූයේ පන්තියේ පාසල් මිතුරන් හය හත් දෙනෙකි. තිසූ හිටියේ අපේ උසස්පෙළ පන්තියේ නොවේ. ඔහු හදෑරුවේ ජීව විද්‍යා විෂයන්ය. ඔහු මීට සම්බන්ධ වූයේ ප්‍රමුඛවම මගේ සම්බන්ධය නිසාය.

අපට අවශ්‍ය වූයේ රියල් ඇඩ්වෙන්චර් එකකකි. සිරිපා කරුණා කරන්ට අවාරයම අප තෝරා ගත්තේ එනිසාය. ගමන තවත් අමාරු කරන්ට අප ඕනෑකමින්ම රත්නපුර මාර්ගය තෝරා ගත්තෙමු. මේ සිරිපා කරුණා කරන්ට ඇති අපහසුම මාර්ගයයි. නල්ලතන්නියේ (හැටන්) වල සිට සිරිපා නඟින්ට පටන් ගැන්මේදී ඔබ සිටින්නේ උස් බිමෙකය. ඔබට ඇත්තේ කන්ද නඟින්ට නොව කඳු ගැටය නඟින්ටය. රත්නපුර මාර්ගයේදී ඔබ බිම් මට්ටමේ සිටම කන්ද නැඟිය යුතු වේ.  මාර්ගයේ මුළු දිග කිලෝ මීටර විස්සකට කිට්ටුය. කන්ද නැඟීමටද ඇති හෙයින් මෙය මෙසේ කිහිප ගුණයක් සේ දැනේ.

අප සිරිපා තරණය ආරම්භ කළේ මහ වැසි මැදය. නව යොවුන් වියේ අප කවර හෝ වැස්සෙකින් නතර කළ හැක්කේද? වැහි කබා පොරවාගෙන මම සීතලට තිසූට තුරුළු වී සිටියෙමි. කබාය පසාරු කොට මට ඔහුගේ උණුසුම දැණුනේය.

පිටාර ගැලූ සීත ගඟුල අපේ ගමන දින දෙකකින් ප්‍රමාද කරන්ට සමත් විය. අප ඒ අසළ බාගෙට ඉදිකළ ගොඩනැඟිල්ලෙක තාවකාලිකව නවාතැන් ගතිමු.

මේ සිරිපා ගමන ගැන මට ලෙහෙසියෙන්ම පොතක් ලියන්ට අත්දැකීම් තියේ. මේ එයට අවස්ථාව නොවේ. මම ප්‍රමුඛ මතක දෙකකට ඉඩ දෙමි.

අවාරයේ බල්ලකු වත් සිරිපා තරණය නොකරයි. මෙනිසා අපට අපේ හිතුමතයට ඕනෑම දෙයක් කරන්ට නිදහස තිබුණේය. ලිහිණි හෙළට ආසන්න ස්ථානයකදී මහ කැළය මැදට වැදුණු අප ගලා යන දොළ පහරෙකින් කිටිකිටියේ ගැහෙමින් නෑම මගේ එක් සොඳුරු මතකයකි. (මේ සීත ගඟුළෙහි අතු ගංගාවක් විය හැකිය.) අමතර ඇඳුම් නොවූ නිසා අපට නාන්ට වූයේ නිරුවතිනි. මේ මා තිසූගේ නිරුවත් සිරුර පළමු වතාවට දුටු දිනයයි. එතැන් පටන් මට ආපසු හැරීමක් නුවූයේය.

මේ ගමන පිළිබඳ මගේ දෙවන සුන්දර මතකය රෑ කළුවර වැටෙමින් ඇති මොහොතක මහ ගිරි දඹෙහි අවසන් අදියර පසු කරමින් මහ මළුවට පිවිසීමයි. මේ වන විට අප සිටියේ දින කිහිපයක ගමනින් දැඩි වෙහෙසකින් යුතුවය. එහෙත් ඒ අපූර්ව දර්ශනය අපේ සියළු වෙහෙස නිවන්ට සමත් වන්නකි. මඳ අඳුර ටිකෙන් ටික හාත්පස පරිසරය ගිල ගනියි. සීත සුදු වළාකුළු අපේ අතේ ගෑවෙන නොගෑවෙන මානයෙන් පාව යයි. මා දුබල හා විඩා බර වූ හෙයින් මේ වන විට මා ගමන් ගත්තේ තිසූට තුරුළුව ඔහුගේ වාරුවෙනි. අවාරයේ වුවද මහ මළුවෙහි විදුලි පහනක් දැල්වෙනු අපට පෙණුනේය.

“Crash…you know what I think in this very moment…”

තිසූ මට කෙඳිරුවේය.

“I know Eddie…You don’t have to tell…”

මම පිළිවදන් දිනිමි. Crash හා Eddie යනු අප දෙදෙනා කුඩා කල පටන් විශේෂ අවස්ථාවලදී එකිනෙකා ආමන්ත්‍රණය කරන්ට යොදා ගත් සුරතල් නාමයන්ය.  අපට මෙවැනි අපේම වචන කිහිපයක් තිබුණේය. ‘Sorry’ වෙනුවට ‘Thowy’ කීමද ඉන් එකකි.

ඔහු අනෙකුන්ට නොපෙනෙන්ට මගේ නළල සිප ගත්තේය. මඳ අඳුරේ මගේ නහය දිගේ ලිස්සා ආ ඔහුගේ උනුසුම් දෙතොල් මගේ තොල් මත නතර විය. මම ඊට ඉඩ දී නිරාමිස සතුට විඳිමින් ඇස් පියා ගතිමි. ඔහු ඉක්මණින් මුහුණ ඉවතට ගත්තේ අනෙකුන් දකීය සිතා විය යුතුය.

තිසූ හා මගේ ආදරය සුරංගනා කතාවක් සේ මෙසේ ගලා ගියේ නම් මා කැමැතිය. නමුත් අප දෙදෙනාටම එසේ කරන්ට පුළුවන්කමක් නොවීය. මෙනිසා අපට එය කරන්ට වූයේ රහසේය. ලොවට වසන් වෙමිනි.

සැබෑව වසන් කරන්ට අපට බොහෝ දේ කරන්ට සිදුවිය. සමහරවිට ඒ තුන්වන පාර්ශ්වයන්හි ජීවිත සමඟ ක්‍රීඩා කරමිනි. අප දෙදෙනාම යම් යම් අවස්ථාවන්හි ‘කවර්’ පෙම්වතියෝ සිටියහ. මේ අපේ උනන්දුවෙන්ම සිදු වූ දේ නොවේ. මම දිනූෂා පසුපස නොගියෙමි. මා පසුපස ආවේ ඇයයි. නමුත් යම් මොහොතෙක ඇයට ඉඩ දිය යුතුය මම සිතුවෙමි. ඒ කවර් එකටම නොවේ, මගේ සිතෙහි යම් කොටසක් මට ඇය සමඟ අනාගතයක් ඇතැයි හැමදාමක් තරයේ විශ්වාස කළේය. එය එසේ නොවූ බව පසුව පසක් කළෙමි.

මම දිනූෂා රැවටුවේය මම නොසිතමි. දැඩි මනෝ ව්‍යාධීන්ට මැදිව වුවද මම හැකි ඉක්මණින් ඇයට ඇත්ත කීවෙමි. ඇය මා කෙරෙහි සානුකම්පික වූවාය. යම් කාලයක් ඇය මා වෙනස් කරන්ට උත්සාහ ගත් බව දනිමි. නමුත් ඇයට එය නොකළ හැකි විය. අපි වෙන්වීමු. තිසූටද මෙසේ කෙටි කළෙකින්ම අසාර්ථක වූ ප්‍රේම සම්බන්ධතා ගණනාවක් වූයේය. අවසානයේ අපි දෙදෙනාම ආරම්භක කොටුවට පැමිණියෙමු.

මට මගේ ආත්මය සමඟ කරන්ට වූ සටන කිසිසේත් සරල නොවීය. කිහිප අවස්ථාවකම මම තිසූ අමතක කොට ‘සාමාන්‍ය තරුණයකු’ වන්ට උත්සාහ ගතිමි. නමුත් එය කරන්ට තරම් මම ශක්තිමත් නුවූයෙමි. විශාදයෙන් පෙළීම් හා සිය දිවි නසා ගන්ට කළ අසාර්ථක උත්සාහ කිහිපයක් හමුවේ මම අරේෂාගේ මඟ පෙන්වීම යටතේ මනෝ ප්‍රතිකාර ලද්දෙමි. මගේ මනෝ විශ්ලේෂකයාගේ උවදෙස වූයේ මේ සාමාන්‍ය තත්ත්වයක් බවය. මට මගේ අනාගතය ගැන තීරණයක් ගන්ට ඔහු ඉඩ දුන්නේය. මම ‘පාරිශුද්ධත්වයේ සුදු රකුසා’ (‘the white demon of purity’) පරාජය කළෙමි.

මට තිසූගෙන් වෙන් වන්ට අවශ්‍ය විය. නමුත් මට කවදාවත් එය නොකළ හැකි විය. බූමරංගයක් සේ නැවත නැවතද මම තිසූ වෙතටම ඇදී ගියෙමි.

මා උසස් අධ්‍යාපනය පිණිස පිටරට යැවිය යුතුය යන්න අප්පච්චිගේ අදහසක් වුවද මම විරුද්ධත්වයක් නොපා ඊට අවනත වීමි. ඒ අසා අප්පච්චි පවා විස්මය පත් වූ බැව් මම දනිමි. මේ මතක හැටියට ප්‍රධාන තීරණයකට මා ප්‍රශ්නයක් නොනඟා ඔහුට අවනත වූ පළමු වතාවයි. රටින් පිට යෑමෙන් තිසූ ගෙන් වෙන් විය හැකිය මම සිතුවෙමි. අප වෙන්ව යන්ට පෙර රාත්‍රිය අතිශයින් හැඟීම්බර වුවද හිත හදාගෙන තිසූගෙන් සමුගන්ට මට හැකිවිය.

මැලේසියාවේදී මම අමුතුම ලෝකයකට අවතීර්ණ වීමි. නමුත් මට තිසූ අමතක කළ නොහැකි විය. සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා අප කයින් කෙසේ වුවද සිතින් එක් වූයෙමු. අනෙක මට හැම නිවාඩුවකටම ගෙදර එන්ට ලැබුණේය. මා මගේ නිවාඩුව වැඩි හරියක් ගත කළේ තිසූ හෝ අරේෂා සමඟය. අරේෂා මගේ ආදරයට බාධා නොකළාය. අඬන්ට අවශ්‍ය වූ විටෙක සොහොයුරියක සේ උරහිස දුන්නාය. ඇය මට වැඩිමහළු නොවී නම් ඒ අම්මාගේ පුනරුප්පත්තියය සිතන තරමට මම ඇයට ළංවීමි. එසේ සිතන්ට ඉඩ නොදුන් එකම හේතුව අම්මා මිය ගොස් තිබුණේ (එනම් මා උපත ලද්දේ) ඇය උපත ලබා මාස කිහිපයකට පසුව වීමයි.

එක්තරා කාලයක වෙයි මට ට්‍රයි කළේය. මාද ඊට එක්තරා මට්ටමක දිරි ගැන්වීමක් සැපයීමි. නමුත් එය දිගු කාලයක් නොපැවතියේය. මට තිසූගෙන් වෙන් විය නොහැකි විය. අප දෙදෙනා බැඳී සිටියේ එතරම් තදිනි. අවසානයේ වෙයි පරාජය පිළිගෙන ඉවත් විය. එහෙත් අපි තව දුරටත් හොඳ මිතුරන් වීමු.  පසුව වෙයි අපට වඩා පහළ බැච් එකක ඉන්දියානු ශිෂ්‍යයකු සමඟ මැච් විය. වෙයි හා පියූෂ් අද සතුටින් දිවි ගෙවන බැව් මම දනිමි.

මා ඔහුගෙන් ඈත් වන්ට දැරූ වෑයමම තිසූ මගෙන් ඈත්වන්ට දැරුවේය. සමහරවිට මා වැරදි පාරවල යවා හෝ ඊට උත්සාහ කළේය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළුණු දින රාත්‍රියේ, ඡන්ද ප්‍රතිඵල මට SMS කරන අතරතුර ඉතාම කැෂුවල් ලෙස තමන් අන් පෙම්වතකු සොයා ගත් බව කියා මා නොමඟ හරින්ට ඔහු ගත් උත්සාහය කෙළවර වූයේ මගේ තවත් සිය දිවි නසා ගැන්මේ උත්සාහයෙකිනි. තිසූ කීවේ බොරුවක්ම නොවේ. ඔහු ඇත්තටම තවත් පෙම්වතකු සොයා ගත්තේය. සඳරු දෙවන පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. නමුත් ඔහු සොයා ගත් පෙම්වතියන් සේම සඳරුද වැඩි කල් තමන් ළඟින් තබා ගන්ට ඔහුට නුපුළුවන් විය. ඔහුට චරීව ඕනැ විය. අපි නැවත පළමු තැනට ආවෙමු.

අපේ අවාසනාව පියඹා ආයේ රිවර්ස්ටන් හීදීය.

අප නුවර ගියේ නිරෝෂ් හා සවින්ද සමඟය. රිවස්ටන් හීදී උන් දෙන්නාට ඕනැ දෙයක් කර ගන්ට කියා අපි වෙන් වූයෙමු. මේ වන විට අප මහ පාරේ සිට කිලෝමීටරයකට දෙකකට වැඩි දුර ප්‍රමාණයක් ඇතුළට ගොස් සිටියෙමු. සවස් කාලය වූ හෙයින් වැඩි පිරිසක්ද නොවීය.

ප්‍රසිද්ධියේ ආදරය කිරීම තිසූගේ හෝ මගේ හෝ සිරිත නොවේ. නිරෝෂ් හා සවින්ද මෙන් නොව අප දෙදෙනා හැම විටම අවට පරිසරය ගැන විමසිලිමත් වීමු.  අපට අපේ ආදරය හැම දෙනාගෙන්ම රහසක්ව තබා ගන්ට හැකි වූයේද එනිසාය. එහෙත් මේ අවස්ථාවෙහි කිසිවකු අප අසළ නොවූ හෙයින් අපි නිර්භීත වූයෙමු. මම ඔහුගේ මුව සිප ගතිමි. මේ ආරම්භයයි. අපි තව බොහෝ දුර ගියෙමු. එය ආන්තික නුවූවත් පිටතින් බලන්නකුට අප අතර ඇති සියළු දේ තේරුම් ගන්ට තරම් ප්‍රමාණවත්ය.

“Erotica of minister’s son” ලෙසින් පසු සතියෙහි Sunday Leader පුවත්පතෙහි පළ වූයේ මේ එක්වීමේ ඡායාරූපය. අපේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන්ට ඔවුන්ට අයිතියක් නැති බැව් සැබෑය. එහෙත් රිවස්ටන් යනු පොදු බිමකි. එසේම මෙවැනි අවස්ථාවක අපේ සමාජයේ කිසිවකුත් තමන්ගේ අයිතීන් ගැන කතා කරන්ට නො එන බව ලසන්ත හොඳින්ම දැන සිටියා විය හැකිය.

ඇත්තටම මේ ඡායාරූප ගත්තේ කවුදැයි මම තවම නොදනිමි. මෙතරම් අමාරුවෙන් අප ෆලෝ කරන්ට ලසන්තට අවශ්‍ය වූයේය මම නොසිතමි. ඔහුගේ සිතෙහි අප්පච්චි ගැන වෛරයක් වීය මම නොසිතමි. ඔහුට අවශ්‍ය වූයේ පත්තරය විකුණා ගන්ට උණු උණු ගොසිප් පුවත් ටිකක් විය හැකිය. ඒ ගොසිප් පළ කළේ කවරකු හෝ ගැන ඔහුට තිබුණු වෛරයක් නිසා විය නොහැකිය.

එවන් තත්ත්වයක් තුළ මට හිතන්ට ඇත්තේ එක් දෙයකි. ඒ කලකට පෙර අපෙන් ඇති වෙන්ට කෑ මාලක සිල්වාගේ මීට සම්බන්ධයක් ඇති බවය. ඔහුට නම් අප දෙදෙනාට වෛර කරන්ට හේතුවක් තිබුණේය. නමුත් මාලක අප ගැන දැන ගත්තේ කෙසේද? මේ අයුරින්ම පළි ගන්ට ඔහුට අවශ්‍ය වූයේ මන්ද? මම නොදනිමි.

අපේ පින්තූර Sunday Leader එකේ පළවීම  දීර්ඝ කාලයක් තිස්සේ පිපිරෙන්ට නියමිතව තිබූ කාල බෝම්බයක් එකවර පිපිරුණාක් වැනි විය. එය අප දෙදෙනාගේ හා අපේ පවුල් වල අනෙකුන්ගේ ජීවිත වලට කළ බලපෑම විස්තර කරන්ට වචන නාස්ති කළ යුතු නොවේ. අප්පච්චි යක්ෂාවේශව සිටියේය. මගේ බොහෝ නෑදෑයෝ කෝප ගත්හ. මා දෙස යම් පමණෙකට හෝ අනුකම්පා සහගත වූයේ මීගමුවේ සීයා පමණෙකි. මම මාස කිහිපයක් මීගමුවේ ඔහුගේ ගෙදර නතරව සිටියෙමි. මට කරමින් සිටි රැකියාව අහිමි විය. පෙර නොදන්වා නික්මීම වෙනුවෙන් ඔවුහු මගේ මාසයක වැටුප කපා ගත්තෝය.

තිසරගේ පවුලේ ප්‍රතිචාරයද මෙසේමය මට කිව හැකිය. ඔහු මගේ ඇමැතුම් වලට කතා කිරීම අත හැරියේය. ටික දිනෙකින්ම ‘This number is not in use’ පණිවිඩය මට ලැබුණේය. ඒ තාක් අප කිසිවකට වෙන්කළ නොහැකි වූ අප මේ සිද්ධිය නිසා බිඳුනෙමු. මටද තිසර පස්සේ යන්ට තරම් ධෛර්යයක් නොවීය. මාස කිහිපයකට පසු ඔහු වැඩිදුර අධ්‍යාපනය පිණිස විදේශ ගත වූ බව මිතුරන්ගෙන් ඇසුවෙමි.

පෙර සේම මේ අවස්ථාවේදීම මගේ දිවි රැකුණේ නම් ඒ අරේෂා නිසාය. නමුත් මා නිසා ඇයට කරදරයක් වී ඇති බැව් මම පසුව තේරුම් ගතිමි. ඇගේ අළුත් පෙම්වතා අපේ ඇසුරට කැමැති නොවීය. මට තව දුරටත් අරේෂාට වදයක් වන්ට අවශ්‍ය නොවූ නිසා මම ඇගෙන් ඈත්වීමි. ඇය ලබන අවුරුද්දේ විවාහ වන්ට යන බව ළඟදී මට ලියා එවා තිබුණාය.

මේ සිද්ධියට පසු දිනම මම ලසන්ත වික්‍රමතුංගට කතා කොට මගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි නොගසන ලෙස බැගෑපත්ව ආයාචනා කළෙමි. දීර්ඝ කරුණු පැහැදිළි කිරීමකට පසුව ඔහු ඊට එකඟ වුණා පමණක් නොව මගෙන් සමාවද ඇයැදියේය. නමුත් විනාශය වී හමාරය. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකිය. මේ මාස කිහිපයකට පෙරය.

පසුගිය සතියේදී ලසන්ත වික්‍රමතුංග නාඳුනන කල්ලියක් විසින් දෙහිවලදී ඝාතනය කොට තියේ. ඔහුගේ ඝාතකයින් තවම හඳුනා ගෙන නොමැත.

.

.

(ඉවසන්න……………………….සමනලයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

40 Comments

  1. Kasun

     /  December 17, 2012

    මේ කොටස කියවලා මම කම්පනය උණා. ඒ අන්තිමටම තියෙන වචනෙ දැකලා.

    Reply
  2. The Analyst

     /  December 17, 2012

    truly disappointed writer ! why you have to end such a great story so suddenly !! at least you should have taken some time off and come up with a truly fulfilling conclusion . Sorry to say but this is unacceptable and falls far below your own standards

    Reply
    • @The Analyst,

      This is not a sudden end. My initial plan was to run 25 episodes. So I have gone far more than I planned.

      – The Writer

      Reply
      • The Analyst

         /  December 17, 2012

        Anyway don’t let my comment dishearten you …enjoyed it immensely , was a bit put off at the end …

  3. මගේ සහ චරිත්ගේ පෞද්ගලික ජීවිතවලට දැන්වත් ඇඟිලි නොගසන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. 🙂

    …. ඔබ යම් දිනක මෙය පොතක් වශයෙන් පලකරනු ඇතැයි සිතමි. ලොකුම අපහසුතාවය ජිග්සෝ ප්‍රහේලිකාවේ නියමිත කොටස නියමිත තැනට දමා ගැනීමය.

    Reply
    • තවත් දෙයක්… සමනල විප්ලවය මෙතෙකින් අහවරද? නැතිනම් තවත් දේශපාලන නවකතාවක් සමග දිගටම යනවාද?

      Reply
      • සමනල විප්ලවය මෙතැනින් අහවරයි. මීළඟ පියවර තවම සිතා නැත්තෙමි. කෙසේ වෙතත් ඒ තවත් දේශපාලන නවකතාවක් නම් නොවේ. දෙයක් එක වරක් කළායින් පසුව එහි ඇති නව්‍යතාවය කුමක්ද?

        – ලේඛක

    • මෙය පොතක් වශයෙන් පළ කිරීමට කිසිම බලාපොරොත්තුවක් නැත. මගේ පාඨකයෝ වෙබ් කියවන්නෝ, බ්ලොග් කියවන්නෝ මිස පොත් කියවන්නෝ නොවෙති. පොත් කියවන්නට කියවන්නට ගුරු ගීතය හා ගම්පෙරළිය ඇති නිසා සමනළ විප්ලවය පොතක් වීම අනවශ්‍යය.

      – ලේඛක

      Reply
  4. මුල සිට අගටම… දේශපාලන කතාවද… ආදර කතාවද… ඒ දෙක අතර කතාවද… යන තුනම උපරිමයෙන් රසවින්දෙමි… ස්තූතියි..! නැවත ඔබ කියවන්නට අවස්ථාවක් ඉක්මණින් ලැබේයැයි බලාපොරොත්තුවෙමි…

    //මා වැනි බොහෝ දෙනකු සේම මට මා අවබෝධ කර ගත හැකි වූයේ බොහෝ කාලයකට පෙරය.// මෙතන ටයිපෝ එකක් නේද..?

    Reply
  5. Anonymous

     /  December 17, 2012

    වික්ටර් සාලිය බණ්ඩාර මරන්නෙ කවුද ?මේ කොටසත් එකතු කර මෙය නවත්වන්න.

    Reply
    • කතාවක නැඟෙන හැම ප්‍රශ්නයක්ම රචකයා විසඳිය යුතු නොවේ. සිංහලේ ගිය ජිනදාස මැරුණා කියා ආරංචිය එන්නේ කොහොමද? දෙවෙන්දොරා සං සිය දිවි නසා ගන්නේ ඇයි? Jackal, Charles Calthrop නොවේ නම් කවුද? මේවා පාඨකයා විසඳා ගත යුතු ප්‍රශ්නය.

      – ලේඛක

      Reply
  6. වික්ටර් ගේ මරණය ගැන විස්තර දැන් ගැනීමට ආශාවෙන් සිටියෙමි. කෙසේ හෝ අවසානය දැන් සනිටුවහන් වී අවසානය. මෙතෙක් කලක් ඔබ අප වෙනුවෙන් වෙන් කළ වටිනා කාලය ගැන පාඨකයෙකු වශයෙන් ස්තුතිවන්ත වෙමි.

    තවත් නැවුම් මාතෘකාවක් ඔස්සේ ඔබේ හැකියාව පෙළ ගැස්වීමට මේ කමෙන්ටුවත් ධන උත්ප්‍රේරකයක් වේවායි පතමි.

    තිසර පැවසූ සේම මෙහි මුල මැද අග පෙළගස්වා නැවත් කියවීමට උත්සහ ගනිමින් සිටිමි. සුභ පැතුම්!

    Reply
  7. ගයි පියර්ස් රඟ පෑ මොමෙන්ටෝ ටිත්‍රපටිය බැලූ අයෙකුට යලිත් වරක් එය අග සිට මුලට බැලීමට සිදුවේ.

    සමනලයා ගේ කතාව ඊටත් වඩා ඉහල පහල යමින් නැවත කියවිය යුතු කතාවකි.

    Reply
    • මහාතිත්ථ

       /  June 8, 2015

      kaka

      චයිනාමන් නවකතාවද එසේමැයි

      Reply
  8. nidahase kiyawanna one…

    Reply
  9. Sudheera

     /  December 17, 2012

    මුල සිට අවසානය තෙක් එකසේ රසවින්දේමි. අවසානය මෙතරම් ඉක්මන් බව ගැන නොසතුටුය..!

    Reply
  10. සිංහල බ්ලොග් එකකින් කියවූ ඉහළම නිර්මාණය..ස්තූතියි ඔබට…
    The Modern Patriot කියූ සේම…
    //තවත් නැවුම් මාතෘකාවක් ඔස්සේ ඔබේ හැකියාව පෙළ ගැස්වීමට මේ කමෙන්ටුවත් ධන උත්ප්‍රේරකයක් වේවායි පතමි.//

    Reply
  11. Sujeewa

     /  December 17, 2012

    අවසානය බොහෝ දෙනෙක් හිතු තැන නොවුවත් අවසානය හොඳින් කර තිබේ.

    බොහෝ දෙනා අසන වික්ටර් මැරුවේ කවුද යන කතාව ගැන මගේ මතය මෙයාකාරයි. එම ප්‍රශ්නය ඔබ විසඳුවේ නම් මෙය නිර්මාණයක් වෙනුවට ලෝකයේ සියල්ල පැහැදිලි කරන ආගමික පොතක් වේ. කොටින්ම ඒ සංකීර්ණ ප්‍රශයට උත්තර දෙන්න ඔබටත් අසීරුය. එහෙම උත්තර දුන්නොත් මේ සියලු සිද්ධීන් සාමාන්‍ය දේවල් වේ. මෙහි නිර්මානාත්මක අගය සුරකෙන්නට එම ගැටලුව ඉතිරි වීම වැදගත් වේ.

    චිත්‍ර ශිල්පියෙකුගේ මාස්ටර් පීස්‌ එක ගැන ගෙතුණු ප්‍රංශ චිත්‍රපටයක් නරඹා ඇත්තෙමි [අලියෝන්ස් එකේ ප්‍රංශ නමින් බැලු නිසා නම මතක නැත]. එම චිත්‍රය ලෝකයේ උසස්ම නිර්මාණයයි. එහි දිවෙන්නේ අදාළ හැගීම චිත්‍රණය කරන්නට ඔහු අත් විඳින අපහසුතාවයයි. කතාව අවසන එම චිත්‍රය දකින්නට පුල පුලා බලා සිටි කාටවත් එය දකින්නට නොලැබේ. එය පෙන්නුවා නම් මුළු ෆිල්ම් එකම චොර වන බව ස්ථිරවම කිවහැක.

    කෙසේ වෙතත් අවසාන කතාන්ගයේ විකටර් ඝාතනය ගැන ජිග්සෝ පසල් එක තවත් තීව්‍ර වන තැනකින් නිමා කලේ නම් එය තවත් හොඳ අවසානයක් කියා මට සිතේ. මෙහි ඔබ එය කර හරින බවක් පෙනෙන බැවිනි. අර චිත්‍ර ශිල්පියා තම නිර්මාණය බිරිඳට පමණක් පෙන්වා අලුත හදන ගොඩනැගිල්ලක බිත්තියක් තුල දමා වසා දමයි.

    ඔබේ නිර්මාණශිලිත්වය මහත් සේ අගය කරන අතර නිර්මාණයක් වෙනුවෙන් හා පාටක පිරිසක් වෙනුවෙන් කල කැප කිරීමට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමු. පොතක් ලෙස පල කරන්නට බැරිවීම මහත් අවාසනාවකි.

    ස්තුතියි ලේඛකයා. Now don’t vanish pls.

    Reply
  12. මේ කතාවේ තාර්කික අවසානයක් නැතැයි සිතන, තාර්කික අවසානයක් දක්වා එය ගෙන යා හැකි ඕනෑම කෙනෙකුට එය continue කිරීමට අවසරය සහිතව බ්ලොග් එකේ username එක හා password එක දීමට සූදනමින් සිටිමි. මා නැවතූ තැනින් පටන්ගෙන ඔහුට හෝ ඇයට කතාව ඉදිටියට ලියා ගෙන යා හැකිය.

    – ලේඛක

    Reply
    • DDT

       /  December 18, 2012

      විහිළු කරන්නෙපා. ලේඛකයා හොඳාකාරවම දන්නව ඔබේ ක්‍රමයට මේක ලියන්න පුළුවන් තවත් කෙනෙක් අපි අතර නැහැ කියල.

      Reply
      • මේ කතාව වගේ එකක් ලියන්න විවිධ වූ විෂය කරුණු ගැන විශාල දැනුමක් අවශ්‍ය බව සත්‍යයක්. ඒ වගේ තත්වයක් ලබාගන්න එක්කෝ අඩු වශයෙන් අවුරුදූ හතලිහක් ජීවත් වී තිබිය යුතුයි.

        නැති නම්, ජීවිතයේ වැඩිහිටි කාලය මුළුමණින්ම කියවීමට, ලේඛණයට ගත කළ කෙනෙක් විය යුතුයි!

        එවැන්නෝ අති විරලයි!

    • මෙහි අවසානය ගැන කරන ප්‍රශ්න කිරීම් නවත්වන්න යොදපු උපක්‍රමයක්.

      Reply
  13. charithm

     /  December 17, 2012

    Shocked!!!

    Reply
    • Charithm ගේ ගති ලක්ෂණ යම් තාක් දුරට කථාවට සම්බන්ධ කර ගත්තද Charithm ගෙන් චරිත් කාලිංග වියුක්ත වන බව දනිමු. Don’t be Shocked. That’s Natural in a Creation.

      Reply
      • He was shocked for something else. He knew the end. (In fact he was the only person except me who knew it.)

        – The Writer

  14. ranwala

     /  December 17, 2012

    ලේඛකයා කියවන්න දෙයක් නැතුව නැත්නම් තියෙන දේවල් කියවන්න හිරිකිතව හිටපු මා වගේම බොහෝ දෙනෙකුට ඔබ පොද වැස්සක් නෙමෙයි ධාරානිපාත වර්ෂාවක් !අනේ ආයෙමත් අතුරුදහන් නොවී මේවගේම වැස්සක් අරන් එන්න.මේ වේලෙන ඉරිතැලුන බ්ලොග් අවකාශය විරාමයන් ගොඩක් මැද්දෙ හරි තෙමන්න! like sujeewa said please don’t vanish!

    Reply
  15. හීරෝ

     /  December 18, 2012

    තව දුර යායුතුව තිබු බව සිතුවත් ලේඛකයාගේ තීරණයට ගරු කරමි

    Reply
  16. DDT

     /  December 18, 2012

    මේ අවසානය එක විදියකින් මාව පුදුමයට පත් කළා. කොහොම උනත් මෙතරම් ඉක්මනින් අවසානයක් නම් මම බලාපොරොත්තු උනේ නෑ, ඒත් මේක මෙගා ටෙලියක් නෙවිනේ.

    මේ සමාන්තර විශ්ව කතාව වගේ එකක් මම මුලින්ම ඇහුවෙ spellbinder කතා මාලාව බලද්දි, එතකොට මම ඉස්කෝලෙ යන කාලෙ, ඒ දවස්වලත් සමාන්තර විශ්වයක් කියන එක මගේ හිතේ විචිත්‍ර හැඟීම්, සංකල්පනා ඇති කළා. කොහොම උනත් ලේඛකයගෙ මේ කතාව නම් මම හුඟක් රසවින්දා. කතන්දරගෙ සඳහනක් නිසා තමයි මම මුලින්ම මේ පැත්තට ආවෙ, ස්තූතියි කතන්දර. ඒ වගේම අපි වෙනුවෙන් තමන්ගෙ කාලය කැපකරල සමනළ විප්ලවය ලියු ඔබටත් ස්තූතියි ලේඛකයා. ඉදිරියෙදීත් ඔබ නැවත අතුරුදන්නොවී මේ අඩවිය පවත්වාගෙන යාවි කියා සිතනවා.

    Reply
  17. සමාන්තර විශ්වය තුල ලංකාෙව් (:P) සිදුවුන ෙද්ශපාලන කතන්දරය සහ චරිත්ෙග් කතන්දරය ඉතාමත් අාසාවෙන් කිෙයව්ව. අවසානය දිහා බැලුවම ෙප්න ෙද් තමයි ෙම්ක ෙද්ශපාලන කතන්දරයකටත් වඩා චරිත්ෙග් කතාව කියල.

    දැන් වැඩිය වැදගත් වෙන්නෙ ෙම් කාරණාව.
    සමනල විප්ලවය අවසන් වීමත් ඒක්ක ෙල්ඛකයත් නිහඬ වෙනවද? හැම ෙදනාම ව ෙග් මගෙත් ඉල්ලීම අමුතුවෙන් කියන්න ඔ්න නෑෙන්.

    Reply
  18. හිරු

     /  December 18, 2012

    පටන් ගත්ත තැන ඉඳලම මුල, මැද, අග ගලපගන්න උඩ, පහල යමින්, ලින්ක් දිගේ යමින් කියෙව්ව නිසා අවසානයේ ඉතුරු කරපු කුහුල ගැන නම් දුකක් නෑ.. ‌මෙච්චර දෙයක් පටලෝ ගන්නේ නැතුව ලියපු එකට ලේඛකයාට ස්තූතියි.. මං දකින වැදගත්ම දේ ඒකයි මේ කතාවේ….

    මේකෙන් පස්සේ අතුරුදහන් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

    Reply
  19. අංජන

     /  December 18, 2012

    මිත්‍රය, මේක ඉවර කරපු නිසා මටත් මොනා හරි කියන්න හිතෙනව. ටික දවසක් comment බලන්න එවෙයි නේද??

    Reply
  20. sinha

     /  December 18, 2012

    විශිෂ්ටයි . තව වෙන මොනවා කියන්නද 🙂

    Reply
  21. ම්ම්ම්……. මං බලා සිටි අවස්ථාව. මේ සේරම නැවත මුල ඉඳං එක දිගට කියවා අවසන්කරන්න.
    වෙබ් අවකාශය වෙනුවෙන් මෙතෙක් නිමැවුනු* හොඳම නිර්මාණය මේක කියන එකයි මගෙත් හැඟීම. ස්තුතියි මේ නිර්මාණයට.

    (* වෙබ් අවකාශය වෙනුවෙන් නිමැවූ කියන එක අන් සියළු මාධ්‍ය නිර්මාණයන්ට වඩා සුවිශේශීයි මං හිතන්නෙ. මන්ද මෙවන් නිර්මාණයක් කිරීමේ එකම අභිලාෂය වෙබ් පාඨකයා වෙත යම් රසයක්(ඇතැම්විට දැනුමක්) ලබාදීම පමණයි. නැවත ලැබෙන්නේ එම කාර්යය නිසි ලෙස ඉටුකලා යන තෘප්තිය පමණයි. (තව දුරකථන බිලකුත්.) අවම වශයෙන් ලේඛකයාට සිය පෞද්ගලික ජීවිතයේදී ආයෝජනය කල හැකි සංකේතීය වටිනාකමක්වත් මෙයින් ලැබෙන්නේ නැහැ. ලේඛකයා වැනි වෙබ් ඇනොනිමසයන් ඇගයිය යුත්තේ එනිසයි)

    Reply
    • සම්පූර්ණයෙන්ම එකගයි චාමි. ඇනෝ සංකල්පයේ Optimum Use එකක් විදිහට මේ විශිෂ්ඨ නිර්මාණය හදුන්වන්න පුළුවන්. ඒ වගේම තමා අපිට අමතක වෙච්ච තව දෙයක් තමා අපිට මෙතනට එන්න පාර කිව්ව කතන්දර ට ස්තුති කරන්න. මම ත් පුද්ගලිකව සමනළ විප්ලවය Promote කළා. හැබැයි මම ආවේ කතන්දරගේ හදුන්වාදීම නිසා.

      Reply
      • කතන්දර, මාතලන් ඇතුළු ජනප්‍රිය බ්ලොග්කරුවන් කිහිප දෙනෙක්ම ලබා දුන් අනුග්‍රහය කෘතඥතාපූර්වකව සඳහන් කරනවා. මේ නිර්මාණයට මේ තරම් පාඨක පිරිසක් හොයා ගන්න පුළුවන් වුණේ ඒ නිසයි.

        මා මේ කතාව ලියද්දී පනවා ගත් ස්වයං වාරණ කිහිපයක් තිබුණා. හිට්ස් ගණන ප්‍රදර්ශනය නොකිරීම, කමෙන්ට් ගණන සංඛ්‍යාත්මකව වැඩි කර ගන්ට උත්සාහ නොදැරීම, අනවශ්‍ය ලෙස ප්‍රමෝට් නොකිරීම වගේ. මොනම ආකාරයකට වත් සිංහල බ්ලොග් අවකාශය කතාවට සම්බන්ධ නොකැර ගැනීම එබඳු එක් වාරණයක්. (උදාහරණයක් හැටියට චරිත්ව බ්ලොගර්ස්ලාගේ හමුවකට ගෙන ආවානම් හිට්ස් ටිකක් වැඩි කර ගන්න තිබුණා.)

        නමුත් මේ වාරණය මා අවසාන කථාංගයට කථාංග දෙකකට පෙර බිඳ දැමුවා කතන්දරට cameo appearance එකක් දීමෙන්. (ඒකත් මා කතාවට බාධාවක් කර ගත්තේ නැහැ. කතන්දර ප්‍රශ්ණය අහන්ටත් කලින් ලයින් එක විසන්ධි කළා.) ඒ මට අනුග්‍රහය දැක්වූ සියළු බ්ලොග්කරුවන් වෙනුවෙනුයි.

        – ලේඛක

  22. අතුරුදන් නොවන ලෙස ඔබෙන් ඉල්ලා ඇති කොමෙන්ට් කීපයක් දුටු නිසා මෙය ලිවීමට සිතුනි. මම, මෙම කතාව කියවන ලෙස කිහිප දෙනෙකුට අරයුම් කර ඇත්තෙමි… මෙම බ්ලොගය හිටිඅඩියේ අතුරුදන් නොවනු ඇතැයි (ඔබ අතුරුදන් වුවත් 🙂 ) බලාපොරොත්තු වෙමි.

    Reply
  23. SB නොහොත් Smart Brain

     /  December 21, 2012

    මමනම් හිතන්නේ හරි විදිහටම කතාව අවසන් වුනා කියලා.

    Reply
  24. Anonymous

     /  January 9, 2014

    ලේඛකයා කියවන්න දෙයක් නැතුව නැත්නම් තියෙන දේවල් කියවන්න හිරිකිතව හිටපු මා වගේම බොහෝ දෙනෙකුට ඔබ පොද වැස්සක් නෙමෙයි ධාරානිපාත වර්ෂාවක් !අනේ ආයෙමත් අතුරුදහන් නොවී මේවගේම වැස්සක් අරන් එන්න.මේ වේලෙන ඉරිතැලුන බ්ලොග් අවකාශය විරාමයන් ගොඩක් මැද්දෙ හරි තෙමන්න…..

    Reply
  25. තවත් අලුත් වැඩක් කරන්න කාලෙ හරි නේද? 🙂

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: