(43) ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? || Who killed Lasantha Wickrematunge?

**********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )**********

beautifulthing

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට තියේ. මේ මොහොතෙහි රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය එයයි. වර්තමාන ආණ්ඩුව අතිශය අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියි. මේ තනි සිද්ධිය 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය බලයට පත් වූ තැන් පටන් ඇය මුහුණ දුන් දරුණුතම අර්බූද වලින් එකකට ඇගේ ආණ්ඩුව තල්ලු කර දැමිය හැකි බැව් දේශපාලන විචාරකයින්ගේ මතයයි.

ඉතින් මට පාන්යැ?

මට එසේ අසා නිහඬ විය නොහැකිය. මේ නාටකයේ මා ප්‍රමුඛ භූමිකාවක් රඟ පා ඇති නිසාය.

පඳුර වටේ නොතලා කෙළින්ම ප්‍රස්තුතයට බසිමි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඇඟිල්ල දිගුවී ඇත්තේ අප්පච්චි දෙසටය.

අප්පච්චි ඔහු මරා දැමුවේද? කොයිතරම් බල ලෝභියකු වුවද අප්පච්චිට මිනිසකු මරා දමන්ට තරම් දරුණු විය හැක්කේද? මම මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්ට නොයමි. එහෙත් එකක් මට කිව හැකිය. අප්පච්චිට ලසන්ත මරා දමන්ට තරම්ම දරුණු හේතු තිබුණු බවය.

Sunday Leader එක අප්පච්චි ගැන මඩ ප්‍රවෘත්ති (මඩ කීවාට මේවා ඇත්ත විය හැකිය.) එකක් පස්සේ එකක් පළ කරන්ට ගත්තේ වසර හතකට පමණ ඉහතදී ඔහු එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුව සිටියදීය. මට මතක හැටියට එය ඔහු විදෙස් එල්.ටී.ටී. ඊ. ක්‍රියාකාරිනියක සමඟ ඕස්ට්‍රේලියාවේ නිරුවත් වෙරළකට ගිය සිද්ධියක් ගැන නම නොකියා වාර්තා කොට තිබුණේය. නම නොකියැවුණු නිසා එය අප්පච්චිට ලොකු ගැටළුවක් නුවූයේය. නමුත් මේ සිද්ධිය ඔහු කුපිත කළ බව මම දනිමි. අප්පච්චිට වැඩියෙන්ම තරහ ගොස් තිබුණේ කටුනායක ගුවන් තොටුපළේදී ඔහුට හමුවූ ලසන්ත මිතුරකු ලෙසින් සියළු තොරතුරු අසාගෙන පසුව ඒවා Sunday Leader හි පළකළ නිසාය. මේ මා අප්පච්චිගෙන් දැනගත් කාරණා නොවේ. නමුත් පවුලේ ගොසිප් කොහෙන් කොහෙන් හෝ මගේ කණටද වැටෙයි.

දෙවැනිව මහීරා පිළිබඳ ප්‍රශ්නය. මේ ගැන මා දන්නේ යන්තමිනි. අප්පච්චි ඇය විවාහ කර ගන්ට සූදානමින් සිටි බැව් මම දනිමි. එහෙත් ඔහු ඇය නීත්‍යානුකූලව විවාපත් කර ගත් බව මම නොදැන සිටියෙමි. යම් මොහොතක මේ සම්බන්ධය බිඳුනේය. ඉන්පසු මම ඇය ගැන නොඇසුවෙමි. ඇය ගැන නැවත ඇසුවේ ඇය වසර කිහිපයකට පසුව හිටි හැටියේම අභිරහස් ආකාරයෙන් අතුරුදහන් වූ පසුවය. තවමත් කිසිවෙක් ඇයට කුමක් වීද නොදනිති. එහෙත් අප්පච්චි ඇය හා විවාහ වී සිටීම (මේ විවාහය ගැන මා මුල් වරට දැන ගත්තේද Sunday Leader එකෙනි.) ඔහුට අවාසියක් විය. Sunday Leader එක මේ සිද්ධිය සති ගණනාවක් වවාගෙන කෑවේය. කොටින්ම කොටින්ගේ ග්‍රහණයට නතුව සිටි දඹර අමිල හිමි ඉන් මුදාගෙන නැවත ගෙන එමින් රටේ ජනප්‍රියතාවයක් දිනා ගන්ට අදහස් කර ගෙන සිටි ඔහුගේ අභිප්‍රාය මේ පළකිරීම නිසා යම් මට්ටමකට බිඳුනේය. අප්පච්චි කෝප නොගත්තේ නම් එයයි පුදුමය!

ඉතාම අවාසනාවන්ත ආකාරයෙන් තෙවන වර Sunday Leader එකට අප්පච්චි අපහසුවට පත් කරන්ට හේතුවක් හදා දුන්නේ මාය. සමහරවිට මෙය අන්තිම පිදුරු ගහ විය හැකිය.

මම තිසූට ආදරය කළෙමි. ඔහු මගේ හොඳම මිතුරා පමණක් නොව ආදරවන්තයාද විය. වසර ගණනාවක් එය ලොවින් සඟවා ගෙන තබන්ට අප දෙදෙනාට හැකිවිය. එහෙත් තීරණාත්මක මොහොතක එය ලෝකයටම හෙළි වූයේය. ඒ අප දෙදෙනා පමණක් නොව අපේ පවුල්ද දැඩි අසීරුතාවයකට පත් කරමිනි.

මම තිසූට ආදරය කරන්ට පටන් ගත්තේ කවදාදැයි මට නිශ්චිතව කිව නොහැකිය. සමහරවිට ඒ ඔහු මට මුණ ගැසුණු පළමු දිනයේ පටන් විය හැකිය. අප දෙදෙනාම ඒ වන විට කුඩා දරුවන්ය. නමුත් සංසාර සම්බන්ධතා ඇරැඹෙන්නේ අප හිනතවාට කලින්ය.

කුඩා කළ පටන්ම මා මගේ වයසේ අනෙක් ළමයින්ගෙන් වෙනස් බව මම නිශ්චිතව දැන සිටියෙමි. ඔවුහු කෙළි බිමට ඇළුම් කළහ. මම පොතේම ගැළුනෙමි. ඔවුහු සමාජ ආශ්‍රය ප්‍රිය කළහ. මම තනියකු වීමි. ඔවුහු රළු පිරිමි ප්‍රතිරූප වන්දනා කළහ. මම සියුමැළි ගැහැණු ප්‍රතිරූප වලට කැමැති වීමි. මා නොදැන සිටියේ මේ කිසිවකට හේතුවයි. මා සිතූයේ මගේ වෙනස් පසුබිම ඊට හේතුවන්ට ඇති බවයි. මගේ මිතුරන්ට අම්මලා සිටියහ. ඔවුන්ගේ තාත්තලා ඔවුන්ට සමීප වූවෝය. මා පාසල ඇරී ගෙදර එනතුරු බලා සිටින්නට අම්මකු නොවීය. මගේ අප්පච්චිට මා ගැන වූයේ අවම උනන්දුවකි. මා සමාජ ආශ්‍රයෙන් ඈත්ව, ඉතා අවම මිතුරන් ගණනක් තනා ගනිමින් පතපොතට නැඹුරු වන්ට හේතුව සේ මා දුටුවේ එයයි.

මා වැනි බොහෝ දෙනකු සේම මට මා අවබෝධ කර ගත හැකි වූයේ බොහෝ කාලයකට පසුවය. ඒ වන විට තිසූ මගේ ලෝකයේ වූ රික්තය පුරවා තිබුණේය. අප දෙදෙනා දෙදෙනාටම නැතිවම බැරි තත්ත්වයට පත්ව සිටියෙමු.

මම බිය වීමි. සමහරවිට එක්වර තීරණයක් ගන්ට තිබුණේ නම් අප දෙදෙනාම ඊට බියව දෙපසට වනු ඇත්තේය. නමුත් සියල්ල සිදුවූයේ සෙමෙනි. අපේ ජීවිතයට සුන්දරත්වයක් එක් කරමිනි. අප එතෙක් පිය නොතැබූ ප්‍රසන්න ලෝකයකට අප කැඳවාගෙන යමිනි.

යම් අවස්ථාවෙක අප දෙදෙනාට එක ළඟ වාඩිවෙන්ට ලැබුණොත් මගේ හිසකේ අතරින් ඇඟිලි යවා සුමුදුව හා සෙමෙන් හිස පිරි මදින්ට තිසූ පුරුදුව සිටියේය. මෙය පූසකුගේ හිස පිරිමදිද්දී ඌට දැනෙන සනීපය බඳු සනීපයක් දනවයි. මමද ටික කලෙකින් මේ ක්‍රියාව ප්‍රත්‍යාවර්තනය කරන්ට පෙළඹුනෙමි.

පන්තියේදී අප එකිනෙකාගේ හිස පිරිමදින්ට ගොස් අනෙකුන්ගේ නිරීක්ෂණයට බඳුන් වූ බව මතකය. අප ඔවුන්ගේ විහිළුවට බඳුන් වූ බවත් මතකය.

ඉතින් අපට පාන්යැ! රෝයල් එක යනු මොරගහහේන මහා විද්‍යාලය නොවේ. එයින් අපි තවත් ධෛර්යමත් වීමු.

ඉඳහිට තිසූගේ නිවසෙහි නිදාගන්ට යෑමේ පුරුද්දක් මට විය. අප දෙදෙනා නිදා ගත්තේ එක ඇඳේය. එකිනෙකාට තුරුළුව නිදන්ට අප පුරුදු වූයේ මේ කාලයේදීය. ජීවිතයේ කිසි දවසෙක මවකගේ උණුසුම නොදැන සිටි මා පළමු වරට උණුසුම උගත්තේ තිසූගෙනි.

තිසූ මා සමඟ නිවාඩුවට මීගමුවට ආයේය. ඒ අප දෙදෙනා අතර මිතුදම ක්‍රමයෙන් ආදරයකට පරිවර්තනය වෙමින් පැවැති සමයයි. සාමාන්‍යයෙන් මට ඕනෑවටත් වඩා කාරුණික වන මීගමුවේ සීයා මා තිසූ කැන්දා එනවාට වැඩි කැමැත්තක් නොදැක්වූයේ මන්දැයි මම නොදනිමි. අප දෙදෙනා කරන්නේ මොනවාදැයි බලන්ටත් කවදාවත් නැතුව ඔහු විමසිලිමත් විය. මෙය තිසූට දැනුනාද නැද්ද මම නොදනිමි.

එකිනෙකාට ප්‍රකාශ කර නොගත්තද, අප දෙදෙනා තුළම අනෙකා කෙරෙහි තුනීව ආදරයක් මෝදු වෙමින් පැවැතුණේය.

සංසාර සාගරේ – ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමි..
ඔබ නිසා පදවන්නෙමි..

ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි – මං ලකුණූ දන්වන්න
නැංගුරම් ලන තැනට – පෙනෙන සේ ඔබ ඉන්න…

වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී…
දුර්ග වූ ගමන්මඟ – විඩාගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න – මා සමඟ එක්වන්න

අවාරයේ සිරීපාදය වන්දනා කරන්ට ගිය ගමන අපේ ආදරය නොබිඳෙන සේ තහවුරු කළේය මම සිතමි. අපොස උසස්පෙළ විභාගයෙන් පසුව ඊට එක් වූයේ පන්තියේ පාසල් මිතුරන් හය හත් දෙනෙකි. තිසූ හිටියේ අපේ උසස්පෙළ පන්තියේ නොවේ. ඔහු හදෑරුවේ ජීව විද්‍යා විෂයන්ය. ඔහු මීට සම්බන්ධ වූයේ ප්‍රමුඛවම මගේ සම්බන්ධය නිසාය.

අපට අවශ්‍ය වූයේ රියල් ඇඩ්වෙන්චර් එකකකි. සිරිපා කරුණා කරන්ට අවාරයම අප තෝරා ගත්තේ එනිසාය. ගමන තවත් අමාරු කරන්ට අප ඕනෑකමින්ම රත්නපුර මාර්ගය තෝරා ගත්තෙමු. මේ සිරිපා කරුණා කරන්ට ඇති අපහසුම මාර්ගයයි. නල්ලතන්නියේ (හැටන්) වල සිට සිරිපා නඟින්ට පටන් ගැන්මේදී ඔබ සිටින්නේ උස් බිමෙකය. ඔබට ඇත්තේ කන්ද නඟින්ට නොව කඳු ගැටය නඟින්ටය. රත්නපුර මාර්ගයේදී ඔබ බිම් මට්ටමේ සිටම කන්ද නැඟිය යුතු වේ.  මාර්ගයේ මුළු දිග කිලෝ මීටර විස්සකට කිට්ටුය. කන්ද නැඟීමටද ඇති හෙයින් මෙය මෙසේ කිහිප ගුණයක් සේ දැනේ.

අප සිරිපා තරණය ආරම්භ කළේ මහ වැසි මැදය. නව යොවුන් වියේ අප කවර හෝ වැස්සෙකින් නතර කළ හැක්කේද? වැහි කබා පොරවාගෙන මම සීතලට තිසූට තුරුළු වී සිටියෙමි. කබාය පසාරු කොට මට ඔහුගේ උණුසුම දැණුනේය.

පිටාර ගැලූ සීත ගඟුල අපේ ගමන දින දෙකකින් ප්‍රමාද කරන්ට සමත් විය. අප ඒ අසළ බාගෙට ඉදිකළ ගොඩනැඟිල්ලෙක තාවකාලිකව නවාතැන් ගතිමු.

මේ සිරිපා ගමන ගැන මට ලෙහෙසියෙන්ම පොතක් ලියන්ට අත්දැකීම් තියේ. මේ එයට අවස්ථාව නොවේ. මම ප්‍රමුඛ මතක දෙකකට ඉඩ දෙමි.

අවාරයේ බල්ලකු වත් සිරිපා තරණය නොකරයි. මෙනිසා අපට අපේ හිතුමතයට ඕනෑම දෙයක් කරන්ට නිදහස තිබුණේය. ලිහිණි හෙළට ආසන්න ස්ථානයකදී මහ කැළය මැදට වැදුණු අප ගලා යන දොළ පහරෙකින් කිටිකිටියේ ගැහෙමින් නෑම මගේ එක් සොඳුරු මතකයකි. (මේ සීත ගඟුළෙහි අතු ගංගාවක් විය හැකිය.) අමතර ඇඳුම් නොවූ නිසා අපට නාන්ට වූයේ නිරුවතිනි. මේ මා තිසූගේ නිරුවත් සිරුර පළමු වතාවට දුටු දිනයයි. එතැන් පටන් මට ආපසු හැරීමක් නුවූයේය.

මේ ගමන පිළිබඳ මගේ දෙවන සුන්දර මතකය රෑ කළුවර වැටෙමින් ඇති මොහොතක මහ ගිරි දඹෙහි අවසන් අදියර පසු කරමින් මහ මළුවට පිවිසීමයි. මේ වන විට අප සිටියේ දින කිහිපයක ගමනින් දැඩි වෙහෙසකින් යුතුවය. එහෙත් ඒ අපූර්ව දර්ශනය අපේ සියළු වෙහෙස නිවන්ට සමත් වන්නකි. මඳ අඳුර ටිකෙන් ටික හාත්පස පරිසරය ගිල ගනියි. සීත සුදු වළාකුළු අපේ අතේ ගෑවෙන නොගෑවෙන මානයෙන් පාව යයි. මා දුබල හා විඩා බර වූ හෙයින් මේ වන විට මා ගමන් ගත්තේ තිසූට තුරුළුව ඔහුගේ වාරුවෙනි. අවාරයේ වුවද මහ මළුවෙහි විදුලි පහනක් දැල්වෙනු අපට පෙණුනේය.

“Crash…you know what I think in this very moment…”

තිසූ මට කෙඳිරුවේය.

“I know Eddie…You don’t have to tell…”

මම පිළිවදන් දිනිමි. Crash හා Eddie යනු අප දෙදෙනා කුඩා කල පටන් විශේෂ අවස්ථාවලදී එකිනෙකා ආමන්ත්‍රණය කරන්ට යොදා ගත් සුරතල් නාමයන්ය.  අපට මෙවැනි අපේම වචන කිහිපයක් තිබුණේය. ‘Sorry’ වෙනුවට ‘Thowy’ කීමද ඉන් එකකි.

ඔහු අනෙකුන්ට නොපෙනෙන්ට මගේ නළල සිප ගත්තේය. මඳ අඳුරේ මගේ නහය දිගේ ලිස්සා ආ ඔහුගේ උනුසුම් දෙතොල් මගේ තොල් මත නතර විය. මම ඊට ඉඩ දී නිරාමිස සතුට විඳිමින් ඇස් පියා ගතිමි. ඔහු ඉක්මණින් මුහුණ ඉවතට ගත්තේ අනෙකුන් දකීය සිතා විය යුතුය.

තිසූ හා මගේ ආදරය සුරංගනා කතාවක් සේ මෙසේ ගලා ගියේ නම් මා කැමැතිය. නමුත් අප දෙදෙනාටම එසේ කරන්ට පුළුවන්කමක් නොවීය. මෙනිසා අපට එය කරන්ට වූයේ රහසේය. ලොවට වසන් වෙමිනි.

සැබෑව වසන් කරන්ට අපට බොහෝ දේ කරන්ට සිදුවිය. සමහරවිට ඒ තුන්වන පාර්ශ්වයන්හි ජීවිත සමඟ ක්‍රීඩා කරමිනි. අප දෙදෙනාම යම් යම් අවස්ථාවන්හි ‘කවර්’ පෙම්වතියෝ සිටියහ. මේ අපේ උනන්දුවෙන්ම සිදු වූ දේ නොවේ. මම දිනූෂා පසුපස නොගියෙමි. මා පසුපස ආවේ ඇයයි. නමුත් යම් මොහොතෙක ඇයට ඉඩ දිය යුතුය මම සිතුවෙමි. ඒ කවර් එකටම නොවේ, මගේ සිතෙහි යම් කොටසක් මට ඇය සමඟ අනාගතයක් ඇතැයි හැමදාමක් තරයේ විශ්වාස කළේය. එය එසේ නොවූ බව පසුව පසක් කළෙමි.

මම දිනූෂා රැවටුවේය මම නොසිතමි. දැඩි මනෝ ව්‍යාධීන්ට මැදිව වුවද මම හැකි ඉක්මණින් ඇයට ඇත්ත කීවෙමි. ඇය මා කෙරෙහි සානුකම්පික වූවාය. යම් කාලයක් ඇය මා වෙනස් කරන්ට උත්සාහ ගත් බව දනිමි. නමුත් ඇයට එය නොකළ හැකි විය. අපි වෙන්වීමු. තිසූටද මෙසේ කෙටි කළෙකින්ම අසාර්ථක වූ ප්‍රේම සම්බන්ධතා ගණනාවක් වූයේය. අවසානයේ අපි දෙදෙනාම ආරම්භක කොටුවට පැමිණියෙමු.

මට මගේ ආත්මය සමඟ කරන්ට වූ සටන කිසිසේත් සරල නොවීය. කිහිප අවස්ථාවකම මම තිසූ අමතක කොට ‘සාමාන්‍ය තරුණයකු’ වන්ට උත්සාහ ගතිමි. නමුත් එය කරන්ට තරම් මම ශක්තිමත් නුවූයෙමි. විශාදයෙන් පෙළීම් හා සිය දිවි නසා ගන්ට කළ අසාර්ථක උත්සාහ කිහිපයක් හමුවේ මම අරේෂාගේ මඟ පෙන්වීම යටතේ මනෝ ප්‍රතිකාර ලද්දෙමි. මගේ මනෝ විශ්ලේෂකයාගේ උවදෙස වූයේ මේ සාමාන්‍ය තත්ත්වයක් බවය. මට මගේ අනාගතය ගැන තීරණයක් ගන්ට ඔහු ඉඩ දුන්නේය. මම ‘පාරිශුද්ධත්වයේ සුදු රකුසා’ (‘the white demon of purity’) පරාජය කළෙමි.

මට තිසූගෙන් වෙන් වන්ට අවශ්‍ය විය. නමුත් මට කවදාවත් එය නොකළ හැකි විය. බූමරංගයක් සේ නැවත නැවතද මම තිසූ වෙතටම ඇදී ගියෙමි.

මා උසස් අධ්‍යාපනය පිණිස පිටරට යැවිය යුතුය යන්න අප්පච්චිගේ අදහසක් වුවද මම විරුද්ධත්වයක් නොපා ඊට අවනත වීමි. ඒ අසා අප්පච්චි පවා විස්මය පත් වූ බැව් මම දනිමි. මේ මතක හැටියට ප්‍රධාන තීරණයකට මා ප්‍රශ්නයක් නොනඟා ඔහුට අවනත වූ පළමු වතාවයි. රටින් පිට යෑමෙන් තිසූ ගෙන් වෙන් විය හැකිය මම සිතුවෙමි. අප වෙන්ව යන්ට පෙර රාත්‍රිය අතිශයින් හැඟීම්බර වුවද හිත හදාගෙන තිසූගෙන් සමුගන්ට මට හැකිවිය.

මැලේසියාවේදී මම අමුතුම ලෝකයකට අවතීර්ණ වීමි. නමුත් මට තිසූ අමතක කළ නොහැකි විය. සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා අප කයින් කෙසේ වුවද සිතින් එක් වූයෙමු. අනෙක මට හැම නිවාඩුවකටම ගෙදර එන්ට ලැබුණේය. මා මගේ නිවාඩුව වැඩි හරියක් ගත කළේ තිසූ හෝ අරේෂා සමඟය. අරේෂා මගේ ආදරයට බාධා නොකළාය. අඬන්ට අවශ්‍ය වූ විටෙක සොහොයුරියක සේ උරහිස දුන්නාය. ඇය මට වැඩිමහළු නොවී නම් ඒ අම්මාගේ පුනරුප්පත්තියය සිතන තරමට මම ඇයට ළංවීමි. එසේ සිතන්ට ඉඩ නොදුන් එකම හේතුව අම්මා මිය ගොස් තිබුණේ (එනම් මා උපත ලද්දේ) ඇය උපත ලබා මාස කිහිපයකට පසුව වීමයි.

එක්තරා කාලයක වෙයි මට ට්‍රයි කළේය. මාද ඊට එක්තරා මට්ටමක දිරි ගැන්වීමක් සැපයීමි. නමුත් එය දිගු කාලයක් නොපැවතියේය. මට තිසූගෙන් වෙන් විය නොහැකි විය. අප දෙදෙනා බැඳී සිටියේ එතරම් තදිනි. අවසානයේ වෙයි පරාජය පිළිගෙන ඉවත් විය. එහෙත් අපි තව දුරටත් හොඳ මිතුරන් වීමු.  පසුව වෙයි අපට වඩා පහළ බැච් එකක ඉන්දියානු ශිෂ්‍යයකු සමඟ මැච් විය. වෙයි හා පියූෂ් අද සතුටින් දිවි ගෙවන බැව් මම දනිමි.

මා ඔහුගෙන් ඈත් වන්ට දැරූ වෑයමම තිසූ මගෙන් ඈත්වන්ට දැරුවේය. සමහරවිට මා වැරදි පාරවල යවා හෝ ඊට උත්සාහ කළේය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළුණු දින රාත්‍රියේ, ඡන්ද ප්‍රතිඵල මට SMS කරන අතරතුර ඉතාම කැෂුවල් ලෙස තමන් අන් පෙම්වතකු සොයා ගත් බව කියා මා නොමඟ හරින්ට ඔහු ගත් උත්සාහය කෙළවර වූයේ මගේ තවත් සිය දිවි නසා ගැන්මේ උත්සාහයෙකිනි. තිසූ කීවේ බොරුවක්ම නොවේ. ඔහු ඇත්තටම තවත් පෙම්වතකු සොයා ගත්තේය. සඳරු දෙවන පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. නමුත් ඔහු සොයා ගත් පෙම්වතියන් සේම සඳරුද වැඩි කල් තමන් ළඟින් තබා ගන්ට ඔහුට නුපුළුවන් විය. ඔහුට චරීව ඕනැ විය. අපි නැවත පළමු තැනට ආවෙමු.

අපේ අවාසනාව පියඹා ආයේ රිවර්ස්ටන් හීදීය.

අප නුවර ගියේ නිරෝෂ් හා සවින්ද සමඟය. රිවස්ටන් හීදී උන් දෙන්නාට ඕනැ දෙයක් කර ගන්ට කියා අපි වෙන් වූයෙමු. මේ වන විට අප මහ පාරේ සිට කිලෝමීටරයකට දෙකකට වැඩි දුර ප්‍රමාණයක් ඇතුළට ගොස් සිටියෙමු. සවස් කාලය වූ හෙයින් වැඩි පිරිසක්ද නොවීය.

ප්‍රසිද්ධියේ ආදරය කිරීම තිසූගේ හෝ මගේ හෝ සිරිත නොවේ. නිරෝෂ් හා සවින්ද මෙන් නොව අප දෙදෙනා හැම විටම අවට පරිසරය ගැන විමසිලිමත් වීමු.  අපට අපේ ආදරය හැම දෙනාගෙන්ම රහසක්ව තබා ගන්ට හැකි වූයේද එනිසාය. එහෙත් මේ අවස්ථාවෙහි කිසිවකු අප අසළ නොවූ හෙයින් අපි නිර්භීත වූයෙමු. මම ඔහුගේ මුව සිප ගතිමි. මේ ආරම්භයයි. අපි තව බොහෝ දුර ගියෙමු. එය ආන්තික නුවූවත් පිටතින් බලන්නකුට අප අතර ඇති සියළු දේ තේරුම් ගන්ට තරම් ප්‍රමාණවත්ය.

“Erotica of minister’s son” ලෙසින් පසු සතියෙහි Sunday Leader පුවත්පතෙහි පළ වූයේ මේ එක්වීමේ ඡායාරූපය. අපේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන්ට ඔවුන්ට අයිතියක් නැති බැව් සැබෑය. එහෙත් රිවස්ටන් යනු පොදු බිමකි. එසේම මෙවැනි අවස්ථාවක අපේ සමාජයේ කිසිවකුත් තමන්ගේ අයිතීන් ගැන කතා කරන්ට නො එන බව ලසන්ත හොඳින්ම දැන සිටියා විය හැකිය.

ඇත්තටම මේ ඡායාරූප ගත්තේ කවුදැයි මම තවම නොදනිමි. මෙතරම් අමාරුවෙන් අප ෆලෝ කරන්ට ලසන්තට අවශ්‍ය වූයේය මම නොසිතමි. ඔහුගේ සිතෙහි අප්පච්චි ගැන වෛරයක් වීය මම නොසිතමි. ඔහුට අවශ්‍ය වූයේ පත්තරය විකුණා ගන්ට උණු උණු ගොසිප් පුවත් ටිකක් විය හැකිය. ඒ ගොසිප් පළ කළේ කවරකු හෝ ගැන ඔහුට තිබුණු වෛරයක් නිසා විය නොහැකිය.

එවන් තත්ත්වයක් තුළ මට හිතන්ට ඇත්තේ එක් දෙයකි. ඒ කලකට පෙර අපෙන් ඇති වෙන්ට කෑ මාලක සිල්වාගේ මීට සම්බන්ධයක් ඇති බවය. ඔහුට නම් අප දෙදෙනාට වෛර කරන්ට හේතුවක් තිබුණේය. නමුත් මාලක අප ගැන දැන ගත්තේ කෙසේද? මේ අයුරින්ම පළි ගන්ට ඔහුට අවශ්‍ය වූයේ මන්ද? මම නොදනිමි.

අපේ පින්තූර Sunday Leader එකේ පළවීම  දීර්ඝ කාලයක් තිස්සේ පිපිරෙන්ට නියමිතව තිබූ කාල බෝම්බයක් එකවර පිපිරුණාක් වැනි විය. එය අප දෙදෙනාගේ හා අපේ පවුල් වල අනෙකුන්ගේ ජීවිත වලට කළ බලපෑම විස්තර කරන්ට වචන නාස්ති කළ යුතු නොවේ. අප්පච්චි යක්ෂාවේශව සිටියේය. මගේ බොහෝ නෑදෑයෝ කෝප ගත්හ. මා දෙස යම් පමණෙකට හෝ අනුකම්පා සහගත වූයේ මීගමුවේ සීයා පමණෙකි. මම මාස කිහිපයක් මීගමුවේ ඔහුගේ ගෙදර නතරව සිටියෙමි. මට කරමින් සිටි රැකියාව අහිමි විය. පෙර නොදන්වා නික්මීම වෙනුවෙන් ඔවුහු මගේ මාසයක වැටුප කපා ගත්තෝය.

තිසරගේ පවුලේ ප්‍රතිචාරයද මෙසේමය මට කිව හැකිය. ඔහු මගේ ඇමැතුම් වලට කතා කිරීම අත හැරියේය. ටික දිනෙකින්ම ‘This number is not in use’ පණිවිඩය මට ලැබුණේය. ඒ තාක් අප කිසිවකට වෙන්කළ නොහැකි වූ අප මේ සිද්ධිය නිසා බිඳුනෙමු. මටද තිසර පස්සේ යන්ට තරම් ධෛර්යයක් නොවීය. මාස කිහිපයකට පසු ඔහු වැඩිදුර අධ්‍යාපනය පිණිස විදේශ ගත වූ බව මිතුරන්ගෙන් ඇසුවෙමි.

පෙර සේම මේ අවස්ථාවේදීම මගේ දිවි රැකුණේ නම් ඒ අරේෂා නිසාය. නමුත් මා නිසා ඇයට කරදරයක් වී ඇති බැව් මම පසුව තේරුම් ගතිමි. ඇගේ අළුත් පෙම්වතා අපේ ඇසුරට කැමැති නොවීය. මට තව දුරටත් අරේෂාට වදයක් වන්ට අවශ්‍ය නොවූ නිසා මම ඇගෙන් ඈත්වීමි. ඇය ලබන අවුරුද්දේ විවාහ වන්ට යන බව ළඟදී මට ලියා එවා තිබුණාය.

මේ සිද්ධියට පසු දිනම මම ලසන්ත වික්‍රමතුංගට කතා කොට මගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි නොගසන ලෙස බැගෑපත්ව ආයාචනා කළෙමි. දීර්ඝ කරුණු පැහැදිළි කිරීමකට පසුව ඔහු ඊට එකඟ වුණා පමණක් නොව මගෙන් සමාවද ඇයැදියේය. නමුත් විනාශය වී හමාරය. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකිය. මේ මාස කිහිපයකට පෙරය.

පසුගිය සතියේදී ලසන්ත වික්‍රමතුංග නාඳුනන කල්ලියක් විසින් දෙහිවලදී ඝාතනය කොට තියේ. ඔහුගේ ඝාතකයින් තවම හඳුනා ගෙන නොමැත.

.

.

(ඉවසන්න……………………….සමනලයා යළි පියා සලන තෙක්)

(35) චරිත් මැරෙන්ට තැත් කළේ ඇයි? || What was behind Charith’s suicide attempt?

කාලය: 2007, සමාන්තර විශ්වය [ජනරාල් සරත් ෆොන්සේකා මිය ගොස් වසරකට පමණ පසුව]
ස්ථානය: ක්වාලා ලම්පූර්, මැලේසියාව

**********(Zhou Dewei කියන කතාව. පහසුව පිණිස දෙබස් හැර සිංහලට පරිවර්තනය කොට ඇත.)**********

මැදියම. මා නිදන්ට යන්ට සූදානම් වූවා පමණෙකි. නොදන්නා අංකයකින් ජංගම ඇමැතුමක් ලැබුණේය. ප්‍රතිචාර නොදක්වන්ටත් කල්පනා කොට, ජංගමය අතට ගතිමි. මේ මගේ silent admirer කෙනකු විය නොහැක්කේද?

“Dewei, This is Azlan…” පිරිමි කට හඬක්. මගේ බොහෝ මිතුරෝ මගේ නම ‘වෙයි’ ලෙස කෙටි කොට ගත්හ. මුළු නමින් මා ඇමැතුවේ එතරම් නොදන්නා කෙනකු පමණෙකි. අස්ලාන් කෙනකු මගේ කිට්ටු මිතුරන් අතර නොවීය.

“Sorry…?”

“Azlan. I am Chari’s roommate…”

“Ah, yes, I remember…”

“Dewei, this is an emergency. This bastard has taken sleeping pills. We found him lying in the bathroom. Can you come fast…?”

“Who? Chari…Is he…?”

“Yes. He is still alive… but it looks serious…Can you come…?”

“Yes, give me a minute…”

මම boxer short එකට උඩින් ඩෙනිමක් දා ගතිමි. ඇඳ සිටි ටී-ෂර්ට් එක එතරම් කිළිටි වී නොතිබුණු හෙයින් මාරු කරන්ට අවශ්‍යතාවයක් නොවීය. චරිත්ගේ නේවාසිකාගාරය තිබුණේ මගේ එකින් තරමක් ඇතය. වෙන අවස්ථාවක නම් මම කැම්පස් බස් රථය භාවිතා කරමි. එහෙත් මේ වේලාවට බස් නැත. වාසනාවකට කාමර තුනකට එපිටින් සිටි මිතුරකුට බයිසිකලයක් තිබුණේය. මම එය ඉල්ලා ගතිමි.

චරී මේ කර ගත්තේ කුමක්ද?

අප ආයතනයේ සිසුන් අතර සිය දිවි නසා ගැනීම් හෝ ඊට තැත් කිරීම් එදිනෙදා සිදුවීම් නුවුවද දුර්ලභම ඒවාය නොකිව හැකි විය. මාස කිහිපයකට වරක් මෙවන් ශෝචනීය පුවතක් අපට අසන්ට ලැබේ. මරණය සිදු වුවහොත් අපට එය අසන්ට ලැබෙන්නේ නිල පුවතක් ලෙසය. මරණය සිදු නොවූ බොහෝ අවස්ථාවල අහවලා සිය දිවි නසා ගන්ට තැත්කරලාය කට කතාවක් පැතිර යයි. ශිෂ්‍යයකුගේ මරණයක් වෙනුවෙන් බොහෝ විට ගෞරවයක් සේ, කෙටි ගුණ සිහි කිරීමේ උත්සවයකින් පසුව, දින භාගයක නිවාඩුවක් ලැබේ. එහෙත් සිය දිවි හානි කරගත් සිසුන් සම්බන්ධයෙන් එවැන්නක් නොසිදුවේ.

සිය දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් අප බොහෝදෙනකු තුළ පැවැතියේ ඒ පැත්තටත්, මේ පැත්තටත් නැති විවෘත මතයකි. ඒ හැම සිද්ධියක්ම අප කම්පනයට පත් කළ බව සැබැවි. (වරෙක නේවාසිකාගාරය අසළම ගසෙක එල්ලී මැරී සිටි අප්‍රිකානු ශිෂ්‍යයකුගේ මෘත දේහය බිමට බාන ලද්දේ අප ඉදිරිපිටදීමය.) මේවාට බොහෝ හේතූන් මුල් විය. එක්කෝ ආදර හබයකි. නැතිනම් අධ්‍යයන කටයුතු වලින් ඇතිකළ පීඩනය පුපුරා යෑමකි. නමුත් මේ සියල්ලක් උද්දීප්ත වූ යෞවනයේ ගැටළු ලෙස අපි පිළිගෙන සිටියෙමු. අඩුම තරමින් මේ කිසිවක් අපට නතර නොකළ හැකි දේවල්ය යන අවබෝධය අපට විය. එසේම සිය දිවි නසා ගැනීම වරදක් හැටියට ගෙන එසේ කළෙකුකට වරද පටවන සිරිතක්ද අපේ නොවීය. ඔවුන්ට අපෙන් හිමිවූයේ අනුකම්පාව පමණෙකි.

මේ සියල්ල මෙතක් මා සිතුවේ අන්‍යයින් ගැනය. අද මට එයම සිතන්ට සිදුව ඇත්තේ චරී ගැනය. ඔහු මගේ හොඳම මිතුරාය. අප දෙදෙනා අතර වූයේ වචනයෙන් විස්තර කරන්ට බැරි ආකාරයේ කිට්ටු සම්බන්ධයකි.

චරී මුල් වරට මුණ ගැසුණු දවස මට අදත් බොර නොවූ, ගැඹුරු පොකුණක දිය සේ පැහැදිළි මතකයකි. ඒ පළමු වසරේ මුල් සෙමෙස්තරයයි. මේ ප්‍රායෝගිකව CAD යුගයට පෙරය. Engineering Drawing පිණිස දකුණු පැත්තේ ඉහළ කෙළවරෙහි මිනි ඩ්‍රාෆ්ටරය සවිකළ 2 1/2′ x 3 1/2′ ලී පුවරුවක් අපට ගෙන යන්ට තිබුණේය. අනෙකුත් පත පොත පැන්සල් පෑන්ද සමඟ මා මෙය ගෙන ගියේ අමාරුවෙනි. මා ගියේද තනිවය. අපේ කුඩා තැපැල් කන්තෝරුව හරියේදී මගේ අත ලිස්සා පොත් සියල්ලම බිම වැටුණේය. මා ලී පුවරුව පසෙක තියා පොත් ඇහිඳ ගන්ට නැඹුරු වීමි. මා දෙස බලා සිටියේ ඒවා දැනටමත් ඇහිඳ මා වෙත දිගු කරන සිහින් සිරුරකින් යුතු ඉන්දියානු සම්භවයකින් යුතුය සිතිය හැකි ශිෂ්‍යයකුගේ දිලිසෙන නෙත් දෙකකි. දිගු නැහැයකි.

“Thank you…“ මම කීවෙමි.

“You’re welcome…” ඔහු කීවේය. මම ඔහු මින් පෙර දැක නොතිබුණෙමි.

“Sorry. I don’t remember you…You in mech or ‘trical…?”

“No. I’m in comps…”

මම නැවත පුවරුව එක අතකින්ද, පොත් තොගය අනෙක් අතින්ද සමතුලිත කරමින් ගමන ආරම්භ කරන්ට උත්සාහ කළෙමි. නමුත් අප දෙදෙනාටම එකවරම වාගේ වැටහී ගියේ මා මෙසේ කළොත් වරක් සිදු වූ අකරතැබ්බයටම නැවත මුහුණ දෙන්ට හැකි බවයි.

“Are you heading for hostels…?” ඔහු ඇසුවේය.

“Yes…”

“Me too…Lets go…” ඔහු මගේ පොත් ටික අතට ගත්තේය.

මේ පොත් ගණනාවක් ලිවිය හැකි අපූර්ව සන්ථව කථාන්තරයක ආරම්භයයි. එනිසාම චරීගේ ජීවිතය මට විවෘත පොතක් වුයේය. මා කවදා හෝ චරීගේ චරිතාපදානය ලියන්නේ නම් එය මෙසේ පරිච්ඡේද කළ හැක්කේය සිතමි.

  1. මව් මරා උපන් කුමරා (1985)
  2. සමනල පැටවා (1992)
  3. මේ සිංහල අපගේ රටයි!! (1993)
  4. උගනිව්, නැත පිටවෙව් (1997)
  5. හුණුවටය හා ගෲෂා (2001)
  6. මගේ පළමු හාදුව (2002)
  7. චරිත්ට පුංචි අම්මා කෙනෙක්! (2003)
  8. මඩොල් දූවේ සමනල්ලු (2004)
  9. ආදරයේ කෝඩුකාරයෝ (2005)

චරී මොනම ආකාරයෙකින්වත් සිය දිවි නසා ගැන්මට යොමුවේය සිතිය නොහැකි තරමට නිසල චරිතයකි. එහෙත් මින් ඉහත මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් සියල්ලෝ එසේ වූවෝය. සිය දිවි නසා ගන්ට යොමුවන්නේ සුපර් මෑන්ලා, ඉන්ක්‍රෙඩිබල් හල්ක්ලා, ස්පයිඩර් මෑන්ලා නොවේ. ඔබද මාද වැනි බිඳෙන සුළු මිනිසුන්ය.

චරී සිය දිවි හානි කර ගන්ට තීරණය කළේ ඇයි දැයි මට සිතා ගත නොහැකිය. මා ඔහු අවසාන වතාවට හමුවූයේ ඊයේය. හෙට බාර දෙන්ට නියමිත පැවරුමක් කරන්ට සිටි හෙයින් අද මට ඔහු හමුවීමේ අවකාශයක් නොවීය. ඊයේ ඔහුගෙන් ලොකු වෙනසක් විද්‍යාමාන නොවූයේය. චරී කොහොමටත් සමහරවිට මූඩ් ගසයි. කිසිවකුටත් කතා නොකොට කාමරයට ගොස් නිදා ගනියි. ඔහු වීරයකු කොට තැකූ රටේ හමුදාපතිවරයා මිය ගිය දිනයේ ඔහුගෙන් එවන් හැසිරීමක් ප්‍රදර්ශනය විය. එවන් අවස්ථාවල ඔහුට කරදර කරන්ට එපාය මට කලින්ම ඔහු කියා තිබුණේය. මෙනිසා මම චරී දින කිහිපයක් තමන්ගේම කටුව තුළට වැදුණු අවස්ථා නොසළකා හරිමි. මේ කාලයෙන් පසු ඔහු නැවත තමන්ගේ පියවි ස්වරූපයට ආරෝපණය වේ.

ඊට අමතරව චරී ගැන බොහෝදෙනකු නොදන්නා දෙයක් මම දැන සිටියෙමි. ඒ ඔහු මින් ඉහත විශාදයට මනෝ චිකිත්සක ප්‍රතිකාර ගෙන ඇති බවය. ඒ මීට වසර දෙකකට පමණ කලිනි.

මට චරීගේ නේවාසිකාගාරයට එන්ට මිනිත්තු පහක් පමණ ගතවන්ට ඇත. ඔහුගේ කාමරයේ වසා තිබුණු දොර එක තට්ටුවකින්ම විවර විය. චරීගේ නිරුවත් සිරුර ඇඳ මත බාවා තිබුණේය. අස්ලාන් හා මලික් දෙදෙනාම වූ අතර මා හොඳින් නොහඳුනන තවත් සිසුවකු විය. ඔහු ඉන්දුනීසියානුවෙකැයි මට අපහැදිළි හැඟීමක් වූයේය. කොතැනක හෝ චරී සමඟ මම ඔහු හමුව ඇත්තෙමි. මම ඒ කොතැනකද මතක් කරන්ට කල් නොගත්තෙමි. මේ ඊට කාලය නොවේ.

චරී නිරුවත් කිරීම ගැන මට ඇති වූයේ කෝපයකි.

“Why you removed his clothes…?”

“We didn’t…he was lying like this in the bathroom when Azlan saw him…”

“When was that…?”

“Just five minutes back…I immediately called you…”

“Ah, yes. How you got my number. From his phone…?”

“No I couldn’t find it. I got your number from Facebook…”

මම චරීගේ නාඬි බැලීමට නැඹුරු වීමි. එහෙත් එය අනවශ්‍ය බව පෙණුනේය. ඔහු සෙමෙන් ඇස් හැර මොහොතක් බලා සිට වසා ගත්තේය. ඉන්පසු දෙපා මඳක් සෙලවුනු පෙණිනි. පණ තවම ඔහු හැර යන්ට මැළි වූවාක් සේය.

“It doesn’t look so serious…but we can’t keep him like this…”

“Can we take him to institute medical center…?”

මම මොහොතක් කල්පනා කළෙමි.

“No. Can’t do that…Lets take him to Pantai Hospital…”

“You have cash…?”

“I have cash…”

අපි අමාරුවෙන් චරීට කොට කලිසමක් හා ටී- ෂර්ට් එකක් අන්දවා ගතිමු. ඔහු මඳක් කෙඳිරි ගා ඉන්පසු වමනය කළේය. මගේ කමිසය ඔහුගේ වමනයෙන් තෙමී ගියේය. එහෙත් මම ඒ ගැන අසතුටු නොවීමි. වමනය සමඟ ලේ පිටවීද මම පරිස්සමින් බැලුවෙමි. එවැන්නක් දැකිය නොහැකි විය. මට හඳුනාගත නොහැකි සැර බෙහෙත් හා මත්පැන් ගඳක් ඉන් වහනය විය. එසේම චරී කලින් ගත්තැයි සිතිය හැකි නූඩ්ල්ස් වැනි ආහාරයක කොටස් කිහිපයක් විය.

“Shall we give him something to drink…? It will make him vomit…”

අපි ඉංජිනේරු හා පරිගණක ශිෂ්‍යයින් මිස වෛද්‍ය ශිෂ්‍යයින් නොවූයෙමු. කුමක් කළ යුතුද අප කිසිවකුට නිවැරදි අවබෝධයක් නොවීය. මට සිතුණේ අප හැකි ඉක්මණින් යමක් කළ හැකි කෙනකු අතට ඔහු පත්කළ යුතු බවයි.

“No. Don’t’…”

“I have even milk…”

“Better not. We are not doctors…”

“Come on. That’s what they say. Shall I check Internet…?”

“No. Don’t waste time. Let’s take him to hospital as quickly as possible…”

“See, Chari’s mobile was there on the balcony…”

මලික් කොහෙන්දෝ චරීගේ ජංගමය සොයා ගෙන ආවේය. මම එය සාක්කුවේ දාගතිමි. වරින් වර SMS එකක් ලැබෙන නිසාදෝ එය නාද විය. මම එය silent mode එකට වෙනස් කළෙමි.

ඉන්පසු අසීරු කාර්යය වූයේ කාගේවත් දැඩි අවධානයට යොමු නොවී චරී පහළට ගෙන ඒමයි. නේවාසිකාගාරයට ලිෆ්ට් එකක් නොවීය. තෙවන මහලේ සිට අප ඔහු ගෙන යායුතු වූයේ පඩි පෙළිනි. චරී කුඩා සිරුරකින් යුතු වීම සහනයක් විය. අප දෙදෙනකුට මාරුවෙන් මාරුවට ඔහු ලෙහෙසියෙන් ඔසවා ගෙන යා හැකි වූයේ එනිසාය. ඇත්තටම ඔහු සිරුරින් කෙතරම් කුඩාද යන්න මට සැබැවින්ම පසක් වූයේ එදිනයි. මලික් පාරට දිව ගොස් ටැක්සියක් හරවා ගෙනෙන තුරු පහළ මහලෙහි යම් වෙලාවක් රැඳෙන්ට අපට සිදුවිය. තවත් වටිනා මිනිත්තු කිහිපයක් ගෙවී ගියේය.

“You have any fukin idea why he did it…?” මේ මලික්ය.

“Nope…”

අස්ලාන් සේම මා නම නොදන්නා ඉන්දුනීසියානු ශිෂ්‍යයාද මදෙස විමසිල්ලෙන් බලා සිටින බවක් මට හැඟී ගියේය. චරී මා ගැන ඔවුන්ට කියා ඇත්තේ මොනවාද? දැන් මා ඔවුන්ට චරී ගැන කිව යුත්තේ මොනවාද? පරිස්සමෙන් ක්‍රීඩා කළ යුතු මොහොතකි මේ. දැවී යා යුතු නොවේ. එසේම චරී ගැන මා පමණක් දන්නා රහස් ඔවුනට හෙළිකළ යුතු නොවේ.

“Just think…Can you think of anything that pissed him off…? Anything…?”

“No…I have no idea…”

“He didn’t have a girlfriend…” එය ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද තෝරා ගන්ට මට මඳ වේලාවක් ගතවිය. අස්ලාන් අදහස් කොට තිබුණේ දෙවැන්නය.

“No…I thought you knew him…”

“Yes…I guessed that but…….” ඔහු වාක්‍යය ඉවර කරන්ට මත්තෙන් ටැක්සිය පැමිණි හෙයින් අපේ සංවාදය ඇණ හිටියේය. අපි දෙදෙනෙක් චරී පසුපස ආසනයට දා ගතිමු. මලික් ඉදිරි අසුනට නැංඟේය.

පුදුමයකට මෙන් මේ මොනම අවස්ථාවකදීවත් චරීගේ ජීවිතය ගැන මට බියක් ඇති නොවීය. එසේ වූයේ මන්ද මම නොදනිමි. මේ තත්ත්වයට පත්වූවකුට මුලින්ම ඇති වන්නේ ඒ බියයි. එහෙත් මෙහිදී එය වෙනස් විය. අවසානය දක්වාම චරිට අනතුරක් නැති බැව් මගේ මනසෙහි කොතැනක හෝ අදහසක් තිබුණේය.

පන්ටායි රෝහලේ වෛද්‍යවරු මගේ අනුමානය සනාථ කළහ. චරීගේ ජීවිතයට අනතුරක් නැත. එක්කෝ වමනය සමඟ ඔහු ගත් ඖෂධ යම් ප්‍රමාණයක් ශරීරයෙන් බැහැර වන්ට ඇත. නැතිනම් ඔහු එක්කෝ නොතිබුණු නිසා, නැතිනම් නොදන්නාකම නිසා ගන්ට ඇත්තේ අනතුරක් කරන්ට තරම් නොවන මාත්‍රාවකි. ආමාශයෙහි වූ සියල්ල ඉවත් කොට යම් කාලයකයට පසුව චරී නෙත් හැර යම් ප්‍රාණවත් බවක් දැක්වූයේය. ඔහුගේ ඇඳ ළඟින්ම සිටියේ මායි. ඔහු කතාකළේ නැත. එහෙත් මගේ අත දැඩි කර අල්ලා ගත්තේය. මම මගේ අනෙක් අතද ඊට උඩින් තබා උණුහුමට තද කළෙමි.

“He will be okay…Just give him some time to recover…”

තරුණ වෛද්‍යවරයා අප සිතුවාට වඩා කාරුණික විය. මා රැය රෝහලේ නතර කරන්ටත්, මා එහි නතර වන්ටත් අපි තීරණය කළෙමු. අනෙක් තිදෙනා නැවත නේවාසිකාගාරයට පිටව ගියෝය.

මුදල් ප්‍රශ්නය නිසා අප චරී වෙනුවෙන් ගත්තේ කුඩාම වර්ගයේ කාමරයකි. එහි අමතර ඇඳක් නොවූයේය. මට නිදන්ට වන්නේ කොරිඩෝවෙහි බව කල්පනා විය. එයද නරකම නැත. මීට වඩා බෙහෙවින් අසීරු තැන් වල මම සයනය කොට ඇත්තෙමි. ඇරත් මට නිදන්ට දිගු වෙලාවක් නොතිබුණේය. වෙලාව පාන්දර හතරයි.

සාක්කුව හිස් කරද්දී මට එහි සාමාන්‍යයෙන් නැති තව දෙයක් ඇති බව වැටහුණේය. ඒ මා කලබලයෙන් සාක්කුවට දා ගත් චරීගේ ජංගමයයි.

චරී දිවි නසා ගැනීමට තීරණය කළේ ඇයි? එහි රහස මේ ජංගමයේ නොතිබිය හැකිද? SMS පණිවිඩ වලින් මගේ රහස් පරීක්ෂණය පටන් ගන්ට මම තීරණය කළෙමි.

මැදියමට කලින් SMS පණිවිඩ සියල්ල එකක් නෑර මකා තිබුණේය. මේවා චරී තම ක්‍රියාවට සම්බන්ධ යම් හෝඩුවාවක් ලැබෙතැයි සිතා මකා දැමුවා විය හැකිය.

ඉන්පසුව ලැබී තිබුණේ වෙළඳ ප්‍රචාරණ SMS හැරුණු විට තිසර ගෙන් SMS කිහිපයක් පමණෙකි. එහි අරුත චරීගේ මේ ක්‍රියාව තිසර පවා නොදන්නා බවයි. මෙය මට ගැටළුවක් විය. පෞද්ගලිකත්වය අමතක කොට මේ SMS කිහිපය කියවා බලන්ට මට අවශ්‍ය විය.

Thisu: 12.30:23: Digamadulla PA 3, SLMC 2, ITAK 1, UNP 1

Thisu: 12.52:51: Matale PA 3, UNP 2 nw it is clr. I m so sry.

Thisu: 01.28:49: Hambantota PA 5, UNP 2 fuk mahinda

Thisu: 01.54:41 Matara PA 5, UNP 3 y don’t u reply?

Thisu: 02.24:52 Batticaloa ITAK 3, SLMC 2 chari, is evrythng ok? y don’t u reply?

Thisu: 02.36:10 chari? r u alryte?

Thisu: 02.38:17 ok. i 2 wil sleep. no use. dreams bs tc ❤

ඉන්පසු SMS පණිවිඩ නතරව තිබුණේය. චරී නිදන්ට යන්ට ඇතැයි තිසර උපකල්පනය කරන්ට ඇත. ලංකාව මැලේසියාවට වඩා පැය දෙකහමාරකින් පසුපසය. එනිසා මෙහි අළුයම 2.38ට චරී ලද අවසාන පණිවිඩය තිසර එවන්ට ඇත්තේ තමන්ගේ රටේ මධ්‍යම රාත්‍රියේදීය.

මේ පණිවිඩ කිසිවක් කවරේද යන්න මට අවබෝධයක් නොවීය. එහෙත් මට එකක් පැහැදිළි විය. ඒ තිසර චරීගේ මේ ක්‍රියාව ගැන කිසිම දෙයක් දැන නොසිටි බව හා තවමත් නොදන්නා බවයි. එසේම ඊට ඔහුගේ සම්බන්ධයක් ඇතිය සිතන්ට ඇති ඉඩ අවම බවයි.

එසේ නම් දිවි නසා ගන්ට තරම් චරී පෙළඹවූ සිද්ධිය කුමක්ද?

හදිසියේ මට මතක් වූයේ අප මේ ගැන චරීගේ පියාට දැන්විය යුතු බවයි. අස්ලාන් හෝ මලික් ගැන එය කතා කර ගන්ට බැරි විය. ඔවුන් එය කරතැයි මම නොසිතමි. චරී හා ඔහුගේ පියා අතර වූ දුර්වල සම්බන්ධතාවය මා නොදැන සිටියා නොවේ. නමුත් මෙය විය යුත්තකි.

ලංකාවේ මේ වන විට අළුයම වන්ට පිළිවන. චරීව කොයිතරම් කිට්ටුවෙන් දැන සිටියද මම ඔහුගේ පියා සමඟ මින් පෙර කතා කොට නැත්තෙමි. මම ඔහුගේ ජංගමයේ Dad ලෙස සඳහන් අංකයට කථා කළෙමි. හිතුවාට වඩා ඉක්මණින්, මා යමක් කියන්ටත් පළමුව, පිළිතුරක් ලැබිණි. නමුත් රළු කට හඬෙකිනි.

“…I know why called. Don’t blame me. I didn’t do this. Hell. I didn’t do this. I told Ranil so many times this would happen to us. That bastard didn’t listen to me. What happened is not my fault…Now leave me alone. Please. I am not sure even I am in or not…”

මා යමක් කියන්ටත් පළමුව දුරකථනය විසන්ධි විය.

මා කිහිප වාරයක් නැවත උත්සාහ කළද අනෙක් පැත්තෙන් දුරකථනය වැදුණා විනා ප්‍රතිචාරයක් නොවීය.

.

.

(ඉවසන්න…………………සමනළයා යළි පියා සලන තුරු)

(28) නිරුවතින් දිය නෑ සමනළිය || The Naked Butterfly

කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය
ස්ථානය: ලංකාව

**********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ඔහුට විශ්වාස නොකළ හැකි කතන්දර ගණනාවක් කියා තිබේ. දිනෙක ඇය තමන් පිටසක්වළින් මෙහි එවන ලද නියෝජිතවරියකිය ඔහුට කියයි. මේ ඇගේ ෆැන්ටසියක් පමණක් බව වික්ටර් වටහා ගනී. කොළඹ පැවැති වැඩමුළුවකට ඇය සහභාගි කරවා ගන්නා ඔහු ඇය කාටත් හොරෙන් ඇගේ නවාතැන් ගත් ස්ථානයෙන් රැගෙන යයි. මේ එතැන් සිට කතාවයි.

මහීරා ෂවරය හැර දිය නාන්ට පටන් ගත්තාය. ඇය නාන කාමරයේ දොර වහන්ට කරදර නුවූවාය. ඇගේ සුදු නිරුවත් සිරුර මා සිටින තැනට හොඳින් පෙනෙයි. එය දක්ෂ කැටයම්කරුවකු විසින් කරන ලද කිරිගරුඬ වීනස් ප්‍රතිමාවක් වැන්න. හිස් කෙස් හැරුණු විට ඇගේ ශරීරයේ රෝම කූපයකුදු නැත. සිහින් සිරුර. නුපුළුල් උරහිස්. ගැට තන්. රතට හුරු තද දුඹුරු පැහැ නිපල්ස්. සිහිනිඟ. වට්ටක්කා ගෙඩියක් සිහි ගන්වන නිතඹ, සුදු දිග දෙපා, කුඩා පාද, කුඩා පා ඇඟිලි.

රන් කුඹු සේමැයි දිලෙනා තිසර යුග…
රිය සක සේමැයි වැනෙනා පුළුලුකුළ…

තැන තැන අළුහම් නොවේ නම් මේ පරිපූර්ණ නාරි ශරීරයකි. රජ කෙනකුටම සුදුසු යුවතියකගේ ශරීරයකි. මට මා ගැන ආඩම්බරයක් දැනේ.

අළුහම් වලට ඇයට ක්‍රීම් වර්ගයක් මිළට ගෙන දිය යුතුය. ඕනෑ නම් “පිටසක්වළත් අළුහම් තියේද?” කියා විහිළුවක් කරන්ට පිළිවන. “ඔයා විහිළු කරන්ට එනවා නම් මීට පස්සෙ කිසිම දෙයක් කියන්නෙ නෑ…” ඇය සමහරවිට කියනු ඇත්තේය.

එසේම මතක ඇතිව ඇයට ඔඩෙල් එකෙන් හෝ MC එකෙන් හොඳ තොන්ග්ස් හා G-ස්ට්‍රින්ග්ස් ටිකක්ද අරන් දිය යුතුය. කොළඹ එනවා වෙලාත් ඇය ඇඳගෙන ඇවිත් තිබුණේ චීත්ත රෙදි වලින් මැසූ ජංගියකි. අපේ ගැමි යුවතියන්ගේ ෆැෂන්ස් මේ තරමටම ප්‍රාථමිකද?

ඊයේ මා ජීවිත කාලයටම අත් නොවිඳින ලද ආකාරයේ සොඳුරු රැයක් බව සටහන් විය යුතුය. මේ තාක් සතුටක් මා ලද්දේ නම් ඒ බියට්‍රිස් සමඟ මගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වූ අවස්ථාවේදීය. එදිනද මා අළුත් මිනිසකු වී ඇතැයි මට සිතුණේය. නමුත් ඒ සතුට පැවතියේ ටික කාලයකි. බියට්‍රිස් හා මා අතර ඇති වූ සුළු ගැටුම් දරුණු සිත් රිදීම් දක්වා දුර ගියේය. ඒ සමඟම අප අතර වූ සෙනෙහසද බිඳ වැටුණේය.

මා ආස්වාදය කළේ මහීරාගෙන් මා උරා බිව් රොන්ම නොවේ. ඉන්ද්‍රියයන් පිනවීම පමණකින්ම ගත්තොත් එක ගැහැණියක ගෙන් ලබන පහස වෙන එකියකගෙන් ලබන පහසින් වෙනස් වන්නේ කලාතුරෙකින්ය. මා පුදුමයට පත් කළේ මහීරා මා සතුටු කරන්ට ගත් උත්සාහයයි. වෙන කිසිම ගැහැණියක එසේ මා සතුටු කරන්ට උත්සාහයක් ගත් වගක් මට මතක නැත. ඇය යමකට මුල පුරන්ට මා කියන තුරු නොසිටියාය. මා සිතැඟි පර චිත්ත විජානන ඥානයෙන් සේ දැන, මා බලපොරොත්තු වූ හැම සුවයක්ම මට දුන්නාය. එසේම මොහොතකට හෝ මේ මා සතුටු කරන්ට දරණ උත්සාහයකැයි මට හැඟෙන්ට ඉඩ නොහැරියාය. ඇය හැසිරුණේ මා හා නිරත වූ හැම ලිංගික අන්තර්-ක්‍රියාවකින්ම ඇය උපරිම තෘප්තියට පත් වූ ලෙසිනි. ඇත්තටම ඇය තෘප්තියක් ලැබුවාද නැද්ද මම නොදනිමි. එසේ නොලැබුවෙහි නම් ඇගේ රඟපෑම ලොව දක්ෂතම නිළියකගේ රඟපෑමට සම වේය සිතමි.

මට තායි වෙසඟනන් සිහිවිය. ඔවුන්ද (වෙනත් බොහෝ රටවල වෙසඟනන් මෙන් නොව) තම අනුග්‍රාහකයාගේ සතුට පිණිස උපරිම ලෙස කැපව සිටිති. කුටියට ඇතුළු වූ වහාම තායි වෙසඟනක කරන්නේ සම්ප්‍රදායික තායි චාරිත්‍රානුකූලව අනුග්‍රාහකයාගේ දෙපා නැමැඳීමය. මේ තමන්ගේ බඩ වියත රැක ගන්ට මස්සක් දෙකක් දීම වෙනුවෙන් දක්වන කෘතඥතාවකි. ඉනික්බිති අනුග්‍රාහකයාගේ ඇඳුම් සීරුවෙන් හා සැලකිල්ලෙන් ඉවත් කොට ඔහුගේ ශරීරය සුමුදු ස්පොන්ජයකින් සෝදා පවිත්‍ර කරනු ලැබේ. රමණය ආරම්භ වන්නේ ඉන්පසුවය. ඒද අනවශ්‍ය ඉක්මන් කිරීම් වලින් තොරව අනුග්‍රාහකයාගේ වේගයටය. අනුග්‍රාහකයකු ඔවුන්ගෙන් තුටු නොවන්නේ නම් එයයි පුදුමය!

“මොනවද බලන්නෙ…?”

“ලස්සන බැලුවා…”

“අනේ යන්න…”

ඇය මට වතුර විසි කරන බවක් අභිනයෙන් දක්වයි. එහෙත් සිය නිරුවත සඟවා ගැන්ට කිසිදු වෑයමක් නොදරයි.

ඊයේ ඇය මට කියා තිබුණේ තමන් කන්‍යාවක බවය. මෙය මා විශ්වාස නොකළත් අවදානමක් ගන්ට අකැමැති වීමි.

“කමක් නැද්ද…?” සයනයෙහි දිගා වන ගමන් මම ඇගෙන් ඇසුවෙමි.

“මොකටද…?”

“මෙහෙම ඉන්න..?”

“ඇයි එහෙම ඇහුවෙ…?”

“ඔයා වර්ජින් කෙනෙක් හින්ද…”

“කමක් නෑ…”

“ඇත්තටම…?”

“ඔව්. ඔයා මගෙ සුදු අයියනේ…”

ඇය කන්‍යාවක වීද නැද්ද මම නොදනිමි. එහෙත් ඇය කන්‍යාවකය සිතන්ට කිසිම ලකුණක් නම් මම නුදුටුවෙමි. විජිතපුර බලකොටුවේ දොර බිඳ දැමුවේ කඩොලැතාය. ඉන්පසු බොහෝ පිරිස් ඒ විවරයෙන් ඇතුළු වන්ට ඇත්තේය. මට හිතුනේ මා මෙසේ පසු ගමන් කළ කෙනකු වන්ට වඩා ඉඩ ඇති බවයි.

මම ඇඳෙන් නැඟිට කවුළුව දෙසට පිය මැන්නෙමි. කණ්නාඩියෙන් මගේ නිරුවත් ශරීරය මට පෙණේ. එය මහීරාගේ නිරුවතෙහි පරස්පරයයි. ඊයේ රාත්‍රියෙහි ඇය මට “අලියා” කීවේ මන්ද මට අවබෝධ විය. (ඇගේ අඩ මුස්ලිම් සම්භවය නිසා නොවේ නම් ඇය මට කියනු ඇත්තේ “ඌරා” කියාය.) මගේ තරුණ කඩවසම් සිරුර මේ වන විට මක් වීද සිතන්ට බැරි තරමට වෙනස් වී තියේ. බිස්නස් කරන කාලයේද ඉදිරියට නෙරා විත් තිබුණු බඩ දැන් පත කළ ගෙඩියක් වැන්න. මට මෙවැනි අලි බඩක් ආවේ කොහොමද හිතා ගන්ට වත් බැරිය. පපුවේ රෝම කූපයන් බාගයට බාගයක් සුදු පැහැයට හැරිලාය. පියකරු තරුණ මුහුණ මටම කැතය සිතන තරමට වැහැරිලාය. එකම සහනය තවමත් තට්ටය පෑදෙන්ට පටන් නොගැනීමයි. ළඟදීම එයද වන්ට පිළිවන. පොඩියක් කෙට්ටු වීම පිණිස හවසට දුවන්ට පටන් ගන්ට ඕනෑය මට සිතුණේය. නැතිනම් මා මහීරා සමඟ ඉන්නා විට අප දෙදෙනා beauty and the beast ලෙස පෙණෙනු ඇත්තේය.

“සර්…”

“ඇයි…”

“නාගන්නෙ නැද්ද…?”

“මාව නාවන්ට බැරිද…?”

“අනේ පුංචි බබා නාවන්න…”

මම නාන කාමරයට ඇතුළු වීමි. ඇය මවක දරුවකු නහවන්නාක් සේ මා නාවා පිරිසිදු කළාය.

අපට ඉක්මණින් අහර ගෙන අහවර කරන්ට වූයේ ඇයට පදනම් ආයතනයේ ඇගේ කාමරය නිදහස් කරන්ට තිබුණු නිසාය. මම පදනම් ආයතනයටම නොයා ඇය නිදහස් චතුරශ්‍රය අසළින් බැස්සුවෙමි. සියල්ල කරදරයකින් තොරව සිදුවුණු බව ඇය පසුව මට දුරකථන කොට දැන්වූවාය.

ඉන් පසු මාස කිහිපය තුළ ජීවිතය ෆාස්ට් ෆෝර්වර්ඩ් කළාක් සේ දිවෙන්ට පටන් ගත්තේය.

මුල්ම සිද්ධිය වූයේ මහීරා ක්ෂුද්‍ර විදුලි බලාගාරය සම්බන්ධ කටයුතු වලින් ඈත් වීමයි. ඊට හේතු වූයේ ඇය අදාළ රාජ්‍ය නොවන සංවිධානයෙන් වැටුපක් ඉල්ලීම හා ඒ ඉල්ලීමට ඉඩ නොලැබීමය.

“බලන්න අනේ, මං මෙච්චර කාලයක් මේක මගේ දෙයක් වගේ කිසිම පඩියක් නොගෙන කළා. හැමදාමත් එහෙම කරන්න බැහැනෙ. නමුත් ඒ අය සතයක් වත් දෙන්න ලැහැස්ති නැහැ…ඒක ගමට යහපතක් නිසා මට පඩියක් ගෙවන්න ඕනැ ගමෙන්ලු. ඒක හරි කතාවක්නෙ. මේ මිනිස්සුන්ට ඕවට සල්ලි තියෙනවද…?” ඇය මට කථා කළ අවස්ථාවක කීවාය.

මේ ප්‍රවණතාවයේ ලොකු වරදක් මම නුදුටුවෙමි. ඇත්තටම මටත් අවශ්‍ය වූයේ ඇය ගමෙන් එළියට ගන්ටය.

“දැන් මොකද කරන්ට බලාගෙන ඉන්නෙ?” මම ඇසීමි.

“තාම දෙයක් හිතල නැහැ. අනේ ඔයාට බැරිද මට රස්සාවක් හොයල දෙන්න…?”

මේ ඉල්ලීම කවදා හෝ මට එල්ල වෙතැයි මම දැන සිටියෙමි. එ නිසා මා සිටියේ එය එල්ල වූ මොහොතක ඊට පිළිතුරු දීමේ සූදානමිනි. ඇත්තටම ඇයට කළ හැකි රැකියාවක් ගැනද මගේ සිතෙහි යම් අදහසක් තිබුණේය. ඒ මගේ පාසල් සමයේ සගයකුට අයත් සමාගමකය. (මගේ බිස්නස් වලට ඇය ගාවා ගන්ට මම අකැමැති වූයෙමි. හේතූන් කිහිපයක් නිසාය. මම ඥාතීන් හා මිතුරන් බිස්නස් වලට සම්බන්ධ කර නොගනිමි. එය කරදර වැඩකි. අනෙක මට අවශ්‍ය වූයේ ඇයට සැබෑ ලෙස වැඩ ඉගෙන ගන්ට හැකි තැනකි. මා ඇය මගේ යටතට ගතහොත් ඇයට ඒ අවස්ථාව නොලැබේ.)

මම නසීර්ගේ දුරකථන අංකය හා ඉලෙක්ට්‍රොනික තැපැල් ලිපිනය ඇයට දී ඔහුට CV එකක් යවන සේ උපදෙස් දුන්නෙමි. මහීරාගේ අර්ධ මුස්ලිම් සම්භවය ගැන මම නසීර්ට යමක් නොකීවෙමි. ඔහුම සොයා ගත්තාවේ. එසේම පස්සෙන් පන්නන්ටද නොගියෙමි. රස්සාවක් අවශ්‍ය නම් ඊට අවශ්‍ය දේවල් කරන්ට ඇය දැන ගත යුතුය. නසීර් මිතුරකු වූ පළියට බලෙන් ඇයට රස්සාවක් ගෙන දෙන්ට මට අවශ්‍ය වූයේ නැත.

දින කිහිපයකට පසුව නසීර් මට කථා කළේය.

“As-salamu alaykum Nazeer, what’s up…?”

“Salam Victor, you remember the girl you talked about…?”

“Yes…?”

“Well, do you know her closely…?”

මම ඇටෙන්ෂන් මෝඩ් එකට ඇතුළු වූයෙමි.

“Well, not really. Came to know her through a contact. Have met her once or twice…”

“I have interviewed her and we have a problem…”

“Problem…?

“Yes. A bit…”

“Isn’t she experienced…?”

“Not the experience. I am happy about her. She looks good enough…”

“Then…?”

“She asks for an impossible package. I thought you want to know…”

“How much…?”

“She expects hundred and twenty thousand rupees a month…”

“What…?”

නියෝජ්‍ය ඇමැතිවරයකු හැටියට මගේ මාසික වැටුප රුපියල් 40,000 ක් පමණ වේ. දීමනාත් සමඟ සම්පූර්ණ පැකේජය රුපියල් අසූ දහස නොපනී. මාසෙකට රුපියල් 1,20,000 ක පඩියක් ඉල්ලන්ට මැයට පිස්සුද?

“Yes. She said that is what she earns a month by helping her father’s agri-work and part time teaching…”

මේ කිසිවක් ඇය මට කියා නැත. ඇරත් ඒ සියල්ලෙන් වුව මෙතරම් මුදලක් ඉපැයීම තේරුම් ගත නොහැකිය. මේ වන විට ඇගේ බොරු කතා ගැන මම වෙහෙසට පත්ව සිටියෙමි. ඇයට රැකියාවක් සොයා දීමට මම උත්සාහ කළෙමි. ඇයට එය කරන්ට අවශ්‍ය නොවේ නම් මා කුමක් කරන්ටද?

“I don’t think Nazeer, but anyway that is not for us to judge. If she doesn’t want to take what you can realistically offer let us forget this…”

“Yes, Victor. That was what I wanted to tell you. I am sorry that I of little help…”

“No worries Nazeer. I don’t expect you to do miracles…”

මට මහීරාට කතා කොට බනින්ට හිතුණේය. ඇය කතා කරන්නේ රටේ තොටේ කිසිම දෙයක් නොදැනද? උදව් කරන්ට තැත් කළ විට මෙලෙස ඇය මා විහිළුවට ලක් කරන්නේ මන්ද?

මොහොතකට පසු මම මගේ තීරණය වෙනස් කර ගතිමි. රැකියාව අවශ්‍ය වූයේ ඇයටය. මම එය ලබා දෙන්ට අවංකව උත්සාහ ගෙන ඇත්තෙමි. ඇයට එය එපා නම් මා කුමක් කරන්ටද? අනෙක මේ තත්ත්වයන් යටතේ ඇය කොතැනක හෝ රැකියාවක් කරනු ඇතැයි සිතිය හැකිද?

ඉන්පසු දින කිහිපය තුළ මහීරා සමඟ කතා කළත් මේ ගැන කිසිම දෙයක් සඳහන් නොකරන්ට මම පරිස්සම් වීමි. ඇයද කිසිවකුත් නොකීවාය. ඇය කතා කළේ කිසිම සම්බන්ධයක් නැති වෙන දේවල්ය.

මේ නිසා නසීර්ගෙන් දින කිහිපයකට පසුව ලද ඊළඟ දුරකථන ඇමැතුම මා පුදුමයට පත් කළේය.

“Victor, that girl agreed to work for us…”

“What…? How much you pay…?”

“Finally she agreed to work for Rs. 7,000…”

මට එක පාරටම හිනා ගියේය.

“Why are you laughing…?

“It looks you got a real bargain…”

“Yes, I cannot understand it. She just called and said she is ready to work for any salary. So I offered what I can…”

“Strange…”

“Victor, I want to tell you another thing…”

“Yes…”

“Her CV says she is an entrepreneur and set up a micro-hydro project but I know this is an NGO project..”

“Yes. I should tell you this. She has the bad habit of exaggerating things. But other than that she has no problems…”

“True. I don’t find anything wrong with her. No problem Victor. Anyway I am taking her probationary for six months…”

“Thanks Nazeer…”

ඉන්පසු සිද්ධීන් ටික මම නැවත ෆාස්ට් ෆෝවර්ඩ් කරමි. රැකියාවට ඇය කොළඹ පැමිණිය යුතු වූවාය. එසේම නවාතැනක් සොයා ගන්ටද අවශ්‍ය විය. අවශ්‍ය නම් මට නවාතැනක් සොයා දෙන්ට පුළුවන්කම තිබුණේය. නමුත් ඇය නොඉල්ලූ නිසා මම ඊට මැදිහත් නොවීමි. මට අවශ්‍ය වූයේ ඇය කවදා හෝ තනියෙන් නැඟිටිනු දකින්ටය. (මේ මා ඇය විවාහ කර ගන්ට තීරණය කරන්ට බොහෝ කාලයකට පෙරය.) මේ නිසා හැම දෙයක්ම ඇයට තනියෙන් කර ගන්ට දී මම පසෙකට වීමි. මා ඇයට උදව් කළේ අළුත් රැකියාවට අවශ්‍ය ඇඳුම් ටිකක් ගන්ට විතරය.

පුදුමයකට මෙන් ඇයට දෙහිවලින් නවාතැනක් සොයා ගන්ට අපහසු වූයේ නොවේ. එහෙත් එය සොයා ගත්තේ කෙසේද කියා ඇය කෙදිනකවත් පැහැදිළිව නොකීවාය.

“අර ගායකයෙක් ඉන්නෙ ටී. එම්. ජයරත්න කියලා…”

“ආ, එයාද බෝඩිං ප්ලේස් එක හොයලා දුන්නෙ…?”

“නෑ අනේ අයාගෙ පුතාගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් හම්බවෙච්චි එකක්. ඒක නෙවෙයි, ඔයා කැමැති නැද්ද ටී. එම්. ජයරත්නගෙ සින්දු අහන්න…?”

මින්පසු නවාතැන ගැන ඇසූ හැම වාරයකදීම කතාව ටී. එම්. ජයරත්න ගෙන් කෙළවර විය. මමද හාරා හාරා අවුස්සන්ට නොගියෙමි.

මා සිතූ හැටියට මේ වන විට අප දෙදෙනා අතර අපේ සම්බන්ධය ගැන අලිඛිත අවබෝධයක් විය. මම වෙනත් ගැහැණුන් ආශ්‍රය කිරීම, අඩු තරමින් රාගාශ්‍රිත විහිළුවක් වත් කිරීම සම්පූර්ණයෙන් අත් හළෙමි. ඇයටද මා ඒ බව කී අතර මා ඇගෙන් බලාපොරොත්තු වූයේද එයමය. කවදාවත් කෙළින්ම ප්‍රකාශයක් නොකළද ඇය වක්‍රව ඒ බව ඇඟෙව්වාය.

“දැන් රස්සාවක් හොයල දුන්නට මොකද්ද මට දෙන්නෙ…?” මම වරෙක ඇගෙන් ඇසුවෙමි.

“තව මොනව දෙන්නද? මගෙ මුළු ජීවිතේම ඔයාට දීල තියෙද්දි…?” ඇය කීවාය.

මේ නිසා මගේ නිගමනය වූයේ අප දෙදෙනාගේ සම්බන්ධය සංවෘත එකක් බවයි. සමහරවිට එය මෝඩ ලෙස විශ්වාස කරන්ට මට අවශ්‍යව තියෙන්ට ඇත.

ඇය කොළඹ ආවායින් පසු අප හමුවීමේ සංඛ්‍යාතය වැඩි වූ බව කිවමනා නොවේ. එසේම මම ඇය මැජෙස්ටික් සිටි, ක්‍රෙස්කැට්, ඔඩෙල් ඇතුළු ඇයට ඉන්පෙර විවෘත නොවූ ලෝකයකට ගෙන ගියෙමි. ඇය හැසිරුණේ නම් උපන්දා සිට ඒවායේ දිවිගෙවූ ලෙසය. එහෙත් හද්දා පිටිසර කෙල්ලකට මේ ගොඩයට මැජික් බව මා නොදැන සිටියා නොවේ.

ඉක්මණින්ම ඇය සිංගප්පුරුවට හෝ බැංකොක් වලට රැගෙන යන්ට මම අදහස් කළෙමි. එහෙත් අනවශ්‍ය පරිදි ඇගේ පවුලේ අවධානය ලක් වන්ටද මට අවශ්‍ය වූයේ නැත.

සතියකට දවසක් විතර ඇය මා සමඟ රැය ගත කළාය. මේ අත්දැකීම් මගේ පොකට් එකට ටිකක් තදින් දැනෙන්ට පටන් ගත් හෙයින් මම ටජ් වෙනුවට රේණුකා එකට ස්ථානය මාරු කළෙමි. එය ඈට ගැටළුවක් නොවීය සිතමි.

මගේ ඇයට වූ ආදරය කවදා පටන් ගත්තේද මට නිශ්චිතව කිව නොහැකිය. සමහරවිට එය ඇය දුටු දවසේ පටන්ම විය හැකිය. සමහරවිට ඇය කොළඹ ආවායින් පසුව විය යුතුය. කෙසේවෙතත් මට ලව්සික් වැළඳී ඇති බව නම් අවබෝධ කොට ගතිමි. ඒ ඇය සමඟ රැයක් ගත කරනවාට වඩා අළුත් සිතුවම් පටයක් බලන්ට ඇය රැගෙන යන්ට මට උනන්දුවක් ඇති වූ නිසාය. ලිංගික සුවය වෙනුවට ඇගෙන් මම ආදරයක් බලාපොරොත්තු වන්ට පටන් ගත්තෙමි.

බියට්‍රිස්ගේ මරණයත් සමඟම, සමහර විට ඊට පෙර සිටම මගේ ජීවිතයේ විශාල හිස් තැනක් ඇති වී තිබුණේය. ඇය විසින් පුරවමින් සිටියේ ඒ හිස් ඉඩය.

මා ඇය විවාහ කර ගත යුතුද නැද්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් නම් මගේ හදවත හා බුද්ධිය සිටියේ දෙතැනකය.

මට ඇය විවාහ කර ගන්ට අවශ්‍ය වූ එකම හේතුව ඇය මට අහිමි වේද යන බියයි. නැතිනම් මේ ගෙවන දිවියෙන් මම සෑහීමකට පත්වීමි. නමුත් විවාහ වන වයසේ සිටි මහීරා කොයි මොහොතක හෝ “සර් මට ආදරේ බව දන්නවා, ඒත් සර්ට මාව හැමදාම බලා ගන්න බෑනෙ.මටත් අනාගතයක් තියෙන්ට එපායැ…” කියයිද කියන්ට බැරිය. එවිට මට වන්නේ වහ කන්ටය.

විවාහය ගැන බුද්ධිය තර්ක කළේ මෙසේය.

මම වැන්දඹු පුරුෂයෙක්මි. මැදිවිය ගත කරමි. එනිසා මට නැවත කසාද බඳින්ට කවරකුගේවත් අවසරය අවශ්‍ය නොවේ. මේ නෛතිකවය. සාමාජීය වශයෙන් එය එසේ නොවේ. තවම ජීවතුන් අතර ඉන්නා මගේ අම්මා මා “දහ පඳුරියක” විවාහ කර ගැනීම කොයි ලෙසකින් දකියිද සිතන්ට අමාරු නොවේ. මගේ ඥාති වර්ගයා ගනු ඇත්තේද අම්මාගේ පැත්තය. අනෙක් අතට මට රැක ගන්ට දේශපාලන ජීවිතයක් ඇත. මාත් මගේ පවුලත් අතර බිඳීමක් දේශපාලන විරුද්ධවාදීන් විසින් අනිවාර්යයෙන්ම තමන්ගේ වාසියට හා මගේ අවාසියට යොදා ගනු ඇත්තේය.

අප දෙදෙනා අතර තවත් බෙදීම් තිබුණේය.

මහීරා සිංහල-මුස්ලිම්ය. මට වසර විසි පහකින් පමණ බාලය. ගැමි තරුණියකි. ලොකු උගත්කමක් නැත. දුප්පත් පවුලකය. ඇගේ දෙමාපියෝ දුප්පත්තුය. මා හා සම වයසේය. ඇගේ මව මටද බාලය සිතමි.

මේ වෙනස්කම් මගේ සංකීර්ණ ජීවිතයට කෙසේ බලපානු ඇද්ද?

දේශපාලන ක්ෂේත්‍රයේ කටකතා පැතිර යන්නේ අධි වේගයෙනි. දිනක් පාර්ලිමේන්තු ලොබියේදී ටිරෝන් ප්‍රනාන්දු “Young man…” කියා මගේ කරට අත දමාගෙන මා පැත්තකට ගත්තේය. ඔහු ලලිත් ඇතුලත්මුදලි-ගාමිණී දිසානායක-රන්ජන් විජේරත්න යුගයේ සිටම මා දැන සිටි තවත් පරිනත දේශපාලනඥයෙකි. ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු මට ‘Young man’ කිව්වේ වයස පරතරය නිසාම නොවේ. ඇත්තටම අප දෙදෙනා අතර ලොකු වයස පරතරයක් නැත. මේ ජ්‍යෙෂ්ඨයින් අප සැලකුවේ ආදරයෙන් බලා ගත යුතු දරුවන් විදියටය.

“Victor, what are these stories I hear about you…?”

“What do you hear sir…?”

මම ආයාසයෙන් මුවඟට සිනාවක් මතු කර ගතිමි.

“Nothing serious Victor. But you should be careful. You are no longer young. You are at a critical age. I don’t want to get into your personal life, but be careful. Don’t forget the politicians live in glass houses…”

“Sir, you didn’t tell me what you heard…”

“Not just heard Victor. I saw you with her once. You were so engaged that you didn’t see me. She is beautiful but still too young…”

“Ah…”

“I know you are single Victor, so I don’t really bother seeing you with a lady friend…what worries my friend, is something else…”

“…And that sir…?”

“Don’t pretend Victor. It is written all over your face. I am ready to take any bet that you are in love with that girl…”

.

.

(ඉවසන්න……………සමනළයා යළි පියා සලන තෙක්)

(21) නිරුවත් වෙරළකට ගිය ඇමැතිවරයකුගේ දින සටහන් || Ministerial diaries…from a Nude Beach

  • කාලය: 2001/2, සමාන්තර විශ්වය
  • ස්ථාන: කොළඹ, ලංකාව/අහස/මෙල්බන්, ඕස්ට්‍රේලියාව

**********(නියෝජ්‍ය ඇමැති වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

[මේ තෝරාගත් දින සටහන් උපුටාගෙන ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දින පොතිනි. පාඨකයාට පහසුවක් වනු පිණිස ඒවා සිංහලයට පෙරළා තියේ.]

දෙසැම්බර් 21, 2001 – සිකුරාදා

අද දවල් රනිල් වික්‍රමසිංහ මට දුරකථන කොට වහාම අරලියගහ මන්දිරයට එන්ටය කීවේය. මන්දැයි ඇසූ විට ඔහු දුන්නේ කැත පිළිතුරකි. “Victor, the Prime Minister of Sri Lanka doesn’t ask you to come if it is not important. So hereafter don’t ask why”

රනිල් මට වඩා වැඩිමහළු වසර හය හතෙකිනි. වසර ගණනින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය ගණන් බැලූ විට අප දෙදෙනා අතර වෙනසක් නැති තරම්ය. කලෙක ඔහු කොළඹත් මම පේරාදෙණියේත් සමවාදී ශිෂ්‍ය සංගම් නායකත්වය දැරීමු. එහෙත් අද ඔහු ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. මම ඔහුගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්මි. එනිසා හේතුවක් හෝ නොදැන සවස් කාලයෙහි මට නියමිතව තිබූ සියළු වැඩ කටයුතු අවලංගු කරන ලෙස දන්නා සුභද්‍රාට (මගේ පෞද්ගලික ලේකම්වරිය) SMS එකක් යවා අරලිය ගහ මන්දිරයට ඉගිලෙන්ට මට සිදුවිය. මා සිටියේ කාර්යාලයෙන් පිටත වෙනත් රැස්වීමක හෙයින් අඩු තරමින් මගේ දෛනික කාලසටහන පිරික්සා බලා ඇපොයින්ට්මන්ට් එකින් එකට කරන්නේ මන්දැයි උපදෙස් දෙන්ටවත් අවකාශයක් නොවීය.

හදිසියේ මා කැඳවූවාට රනිල් එක්වර මා ඇතුළට ගන්ටවත් කාරුණික නොවූයේය. ඔහු පැය දෙකකට ආසන්න කාලයක්, ඒ වන විට දිවා ආහාරයවත් නොගෙන සිටි මා අමුත්තන්ගේ ලොබියෙහි රස්තියාදු කරවූයේ ඕනෑකමින්ය සිතමි. මම රනිල්ගේ good chaps’ list එකට පිටින් සිටින්නෙක්මි. මගේ සම්බන්ධතා වූයේ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, රංජන් විජේරත්න බඳු ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ හා අනිවාර්යයෙන්ම දක්ෂ පැරණි නායකයින් සමඟය. තමන්ට ‘සර්’ නොකියන්නන්ට රනිල් සමාවක් නොදෙන බවද මම දනිමි. ඒත් මේ පරයාට ‘සර්’ කියන්ට මගේ දිව නොනැමෙන්නේය.

රනිල් මා කැඳවා තිබුණේද මහ ලොකු දෙයකට නොවේ. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‘දිළිඳුකම දුරැලීම’ (poverty alleviation) පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකට ඔහු ලද ආරාධනයකට මට ඔහු නියෝජනය කළ හැකි දැයි අසන්ටය. ‘දිළිඳුකම දුරැලීම’ ගැන රනිල් සේම මාද දන්නා කෙංගෙඩියක් නැත. මගේ අමාත්‍යාංශයේ විෂය පථය විදුලි බලයයි. මා ධනවත් පවුලක උපන් හෙයින් කවදාවත් දිළිඳුකම ගැන හිතන්ටද මට උවමනාවක් නොවීය. නමුත් මා ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ එක් වතාවකි. ඒ ද මෙල්බන් නුවරට නොවේ. එසේම රටතොට බලා කියා ගන්ටද එවර අවකාශයක් නොවීය. එබැවින් මේ ඇරැයුම පිළිගන්ට මම තීරණය කළෙමි. ගමන යන්ට තව කල් තියේ. ඒ අතර මා දිළිඳුකම ගැන අනෙක් ජාතීන්ට උපදෙස් දෙන තරමට යමක් ඉගෙන ගන්ට අධිෂ්ඨාන කර ගතිමි. අද උදෑසන ඉගෙන ගත් දෙයක් ජීවිත කාලයක් ප්‍රගුණකළ ශාස්ත්‍රයක් සේ සවස් කාලයේ වැමරීමේ හැකියාව මම මේ වන විට ප්‍රගුණ කර සිටියෙමි.

මේ කාලකණ්නියා නිසා මා සමාව දිය නොහැකි වරදක් කර ඇති බව දැනගත්තේ සවස නැවත කාර්යාලයට පැමිණි පසුය. මම ප්‍රධාන අමුත්තා හැටියට රාජකීය විද්‍යාලයේ English Day එකට සහභාගි වන්ට නියමිතව සිටියෙමි. පුතා චරිත්ද එහි නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්ට නියමිත විය. දැන් කරන්ට දෙයක් නැත. චරිත්ට පසුව කතා කර පැහැදිළි කරමි. ඇරත් ඕනෑත් නැත. මේ මා චරිත් සහභාගි වූ ප්‍රසංගයක් මඟ හැරිය පළමු වතාව නොවේ.

.

මැයි 12, 2002 – ඉරිදා

කටුනායකදීය.

තව සුළු මොහොතෙකින් මම ක්වාලා ලම්පූර් හරහා මෙල්බන් බලා පිටත් වන්ට සූදානම්ව සිටිමි. තවමත් පොඩ්ඩකු නිසා මට යන්ට සිදුවූයේ තනිවමය. පරිවාර සේනා සමඟ යන්නේ නියෝජ්‍ය ඇමැතිවරුන්ට වඩා ලොක්කන්ය.

සිංගප්පුරුව හරහා යන්ට මම වඩාත් කැමැති වූයෙමි. එසේ වී නම් දින කිහිපයක් සිංගප්පුරුවේ රැඳෙන්ටද තිබුණේය. Singapore Airlines මඟී සේවාව මා අත්විඳ ඇති හොඳම මඟී සේවාව වූ අතර Singapore girlsලාද ලිප්ස්ටික්, පවුඩර් පදාස ගණනින් උලාගත් අපේ හුචක්කුවලට වඩා සෙක්සිය. ඔවුහු දීර්ඝ ගුවන් ගමනෙක වෙහෙස මොහොතෙකින් මඟ හැරලන්නේ නෙතට රසඳුනක් වෙමිනි. Singapore Airlines වල මත්පැන්ද වඩා හොඳය. මේ සියල්ලට හරස් වූයේ අපේම නායකයකු විසින් පනවා තිබුණු පැරැණි රෙගුලාසියකි. එයාර් ලංකා පිහිටුවීමේදී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පැණවූ එක් නීතියක් නම් හැම රාජ්‍ය සේවකයකුම හැකි හැම අවස්ථාවකදීම රාජ්‍ය ගුවන් සේවය භාවිතා කළ යුතු බවයි. රාජ්‍ය ගුවන් සේවයට මෙල්බන් නුවරට කෝඩ් ෂෙයාරිං තිබුණේ Malaysia Airlines සමඟ ක්වාලා ලම්පූර් හරහාය. එනිසා නොකැමැත්තෙන් වුව ඒ මාර්ගය තෝරා ගන්ට මට සිදුවිය.

මොහොතකට පෙර මා හඳුනා ගත් වැදගත් පුද්ගලයකු නම් ‘සන්ඩේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංගය. දුරකථනයෙන් කතා බස් කොට තිබුණද, මා ඔහු මුහුණට මුහුණ හමුවූ මුල් වතාවයි මේ. ට්‍රාන්සිට් ඒරියා එකේදී, Dilmah ෂොප් එකෙන් මා තේ පැකට් කිහිපයක් මිළදී ගනිමින් සිටියදී, ඔහුම විත් තමන් හඳුන්නා දී මට කතා කළේය. ලසන්තද සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ යමින් සිටියේ මෙල්බන් වෙතයි. නිවාඩුවක් පිණිසය. ඔහු මෙල්බන් ගැන හොඳින් දන්නා බවක් පෙණුනු නිසා මම උපදෙස් කිහිපයක් ලබා ගන්ට අදහස් කළෙමි. මා අදහස් කර සිටියේ සමුළුව අවසානයේ මගේ වියදමින් දින කිහිපයක් රැඳී සිට රටතොට බලා කියා ගන්ටයි.  Federation Square, Melbourne Museum, Melbourne Cricket Ground, Melbourne Observation Deck වැනි ප්‍රකට සංචාරක ආකර්ෂණ කිහිපයක් ඔහු යෝජනා කළේය. Great Ocean Road එක දිගේ ටික දුරක් හෝ ගමන් කරන්ට පුළුවන් නම් හොඳය කියාද කීවේය. ඊට අමතරව මට මෙල්බන් හි සුප්‍රකට වෙරළකට යන්ට අවශ්‍ය විය. ලසන්ත ඒ ගැන වැඩිපුර නොදැන සිටි හෙයින් රාණිගෙන් විමසීමෙන් අනතුරුව මට ටිප්ස් කිහිපයක් දුන්නේය. ලසන්තට දේශපාලන කාරණා කිහිපයක්ද දැන ගන්ට අවශ්‍යව තිබුණු මුත් Final Call එක නිකුත් වී තිබුණු නිසා අපට ඉක්මණින් ගුවන් යානය වෙතට යන්ට සිදුවිය.

මා යන එන තැන් ගැන මේ සියළු තොරතුරු ස්වේච්ඡාවෙන්ම දුන්නේ පැපරාසියකුට බව මතක් වූයේ පසුවයි.

.

මැයි 13, 2002 – සඳුදා

මම ක්වාලා ලම්පූර් සිට මෙල්බන් බලා පොළෝ මට්ටමේ සිට අඩි 30,000ක් ඉහළින් පියාසර කරමින් සිටිමි.

ලසන්ත ක්වාලා ලම්පූර් හිදීද මා සමඟ කතා බහට පැටළෙන්ට ආයේය. වෙහෙස බව කියා මම VIP ලොන්ජ් එකට ගොස් විස්කි එකක් මත ඇළවීමි. මේ කෙටි නින්ද තුළදී මට බොහෝ කාලයකට පසුව බියට්‍රිස් සිහිනෙන් පෙණුනේය. මෑතදී ජනප්‍රිය වූ ඉන්දියානු නිළියකට බියට්‍රිස්ගේම පෙනුම ඇති බව දවසක කිව්වේ අම්මාය. මම ඒ ගැන කරදර නොවීමි. බියට්‍රිස් මිය ගොස්ය. චරිත් නිසා නොවේ නම් ගෙදර ඇති ඇගේ පින්තූර පවා මා ඉවත් කොට බොහෝ කල්ය.

පොතක් කියවන්ට කම්මැලි හිතුණු බැවින් මම සරල වින්දනයක් පිණිස Finding Nemo බලන්ට තීරණය කළෙමි. මම කාටූන් සිතුවම්පට වලට අකැමැත්තෙමි. නමුත් ගුවන් ගමනෙකදී ඒවා නරකම නැත.

වෝල්ට් ඩිස්නි චිත්‍රපටයක් වූ Finding Nemo මාලින් නැමැති clown fish කෙනකු හා ඔහුගේ පුතා නිමෝ ගැනය. මාලින්ගේ බිරිය කොරල්, මහා බාධක කොරල් පරයෙහි දමන බිත්තර දහස් ගණනක් සමඟින්ම බැරකූඩාවකුට ගොදුරු වේ. ඉතිරි වන්නේ එකම එක බිත්තරයකි. ඒ නිමෝය. මාලින් ඔහු රැක බලා ගන්නේ දෙඇස මෙනි. පාසල් යන වයසට පැමිණි නිමෝ හිතුවක්කාරකම නිසා කිමිදුම්කරුවකුගේ දැළට හසුවෙයි. කිමිදුම්කරුවාගේ ගිලී වැටෙන ගෝග්ල් එකක Sydney යන වචනය දකින මාලින් කවර හෝ බාධක මැද නිමෝ සොයා යන්ට තීරණය කරයි. Finding Nemo ඔහු එසේ සිය දරුවා සොයා යන කතාවය.

මේ කියන්නේ මගේම කතාවය මට සිතුණේ වරක් දෙවරක් නොවේ. චරිත්ද මාද බියට්‍රිස් නැතිව මෙලොව තනිව සිටිමු. වෙනස චරිත් හා මා අතර මාලින් හා නිමෝ අතර බඳු කිට්ටු සම්බන්ධතාවයක් නොතිබීමය. එහි වගකීම මා සම්පූර්ණයෙන් ගත යුතුද මම නොදනිමි. චරිත්ට අම්මාගෙන් නොලැබුණු ආදර අප්සරාගෙන් ලැබුණේය. ඔහුගේ සියළු කටයුතු පිණිස මම වියදම් කළෙමි. නිහඬ චරිතයක් වුව චරිත් ඉගෙනීමට අදක්ෂ බවක් කවදාවත් නොපෙන්නුවේය. දැන් ඔහු ලංකාවේ හොඳම පාසලෙහි අධ්‍යාපනය ලබයි. වෙනත් බොහෝ දරුවන්ට වන ප්‍රශ්න ඔහුට නොවීය. මම එයින් සතුටු වීමි. මව්පියන් අහිමි වන දරුවෝ කාලයාත් සමඟ පරිසරයට හුරු වෙති. මේ මා හිත හදා ගන්ට කරන කල්පනා නොවේ. ඇත්තය.

චරිත්ද කිමිදුම්කරුවකුගේ දැළකට හසු වුවහොත් මා මාලින්ගේ භූමිකාව රඟපානු ඇතිද? එසේය මම සිතමි. 1993 ජූලි කලබල මැද, අන්තරාදායක මොහොතක සියල්ලට පළමු මම ඔහු ගැන සිතුවෙමි. මේ තාත්තලාගේ හැටිය. චරිත් පිළි ගත්තද නැතද මම චරිත්ට හොඳ පියකු වීය මම අවංකව සිතමි.

.

මැයි 15, 2002 – බදාදා

අද සමුළුවෙහි දෙවන දිනයයි. මගේ කෙටි දේශනය නියමිතව තිබුණේ අද උදෑසනටය. එයද සමුළුවේ වෙනත් දේශන වලට වඩා වෙනස් නුවූයේය. මම ලංකාවේ ඓතිහාසික දුප්පත්කම ගැනද, නිදහසින් පසු දුප්පත්කම මැඬීමට විවිධ රජයන් යටතේ ගෙන ඇති පියවරද විස්තර කළෙමි. විශේෂයෙන් 1977 දී අපේ ආණ්ඩුවක් යටතේ විවෘත ආර්ථිකය හඳුන්නා දීමෙන් පසු දුප්පත්කම අඩු වූ හැටි මම විස්තර කළෙමි. වර්තමානයේ දුප්පත්කම දුරලීමට ඇති බාධා ගැන කථා කළ මා ඉන්පසු යොමුවූයේ ජනවාර්ගික අර්බූදය හා සිවිල් යුද්ධය මේ තත්ත්වය තවත් උග්‍ර කරන ලද්දේ කෙසේද පැහැදිළි කරන්ටය. සාම සාකච්ඡාවල සුභවාදී ආරම්භයෙන් මම දේශනය නිම කළෙමි. රනිල්ට මා ලවා කියවා ගන්ට අවශ්‍ය වූයේත් ඒ ටිකය.

මගේ දේශනයට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණේය. ලෝක බැංකු හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ පිළිවෙල නියෝජිතයෝ මා කියූ දේවල් අගය කරමින් අදහස් දැක්වූහ. යුරෝපීයයන් හා ඕස්ට්‍රේලියානුන් කිහිපදෙනකුට සාම ක්‍රියා දාමයේ ඉදිරි මඟ ගැන දැන ගන්ට අවශ්‍ය විය. (මේ නම් මා අමාරුවේ වැටුණු තැනක් විය. සාම ක්‍රියාදාමයේ තොරතුරු රනිල් අප සමඟ වත් බෙදා නොගත්තේ එය තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ සලකමිනි. එය බාරව සිටියේ මිලින්ද හා ළඟදී අපට එක්වූ ජී. එල්. පප්පාය. ජී. එල්. නම් මම කොහොමටත් නොදත්තෙමි. මිලින්ද සමඟ වුව මගේ වැඩි සමාගමක් නොවීය. ඒ නිසා මා මේ සියල්ලක් ගැන දැන සිටියේ යන්තමිනි. මගේ ප්‍රශ්න විචාරකයන් ඒ ගැන මට වඩා දන්නා බව පෙණුනේය.)

ඉන්දියාවෙන් පැමිණි, open economy, neo liberal , capitalism වැනි යෙදුම් ඇහෙන විටම සර්පයකුට බූමිතෙල් ගැසුවාක් මෙන් කුලප්පු වන වාමාංශික උගතකු මා සමඟ දීර්ඝ වාදයකට පැටළෙන්ට හැදුවේය. මා එයින් ගැළවුණේ මුලසුනේ සිටි ලෝක බැංකු නියෝජිතයාගෙන් ඔහුට අනුකම්පාවක් නොලැබුණු නිසාය.

මම රනිල්ට සාධාරණය ඉටු කළාය සිතමි. කෙටි විස්තරයක් අතින් ලියා සවස ඔහුට ෆැක්ස් කළෙමි. ඔහු ලැබුණු බව වත් දන්වන්ට උනන්දු නොවූයේය.

.

මැයි 16, 2002 – බ්‍රහස්පතින්දා

අද සමුළුවේ තෙවන දිනයයි. මගේ දේශනය බොහෝ පුවත්පත් නොසලකා හැර දමා තිබුණේය. ප්‍රධාන කොටම වික්ටෝරියා ප්‍රාන්තයට, ටස්මේනියාවට, හා නිව් සවුත් වේල්සයට සීමා වූ ටැබ්ලොයිඩයක් වන Herald Sun පමණක් කෙටි නිව්ස් අයිටම් එකක් පළ කොට තිබුණේ මා අවසානයට කියූ සාම සාකච්ඡා ගැන පමණක් අවධානය යොමු කරමිනි. රනිල් හා සාම සාකච්ඡා ගැන මා නොකී කොටසක්ද වාර්තාකාරිනිය අතින් දමා තිබීම මට වාසියක් විය. මම එයද කපා රනිල්ගේ ඔෆිස් එකට ෆැක්ස් කළෙමි.

.

මැයි 17, 2002 – සිකුරාදා

සමුළුවේ අවසාන දිනයයි. බොහෝ දුරට විවේකී දිනයකි. දිවා ආහාරය සමඟ සමුළුව නිමාවන්ට නියමිත වූ අතර සවස සංවිධායකයින් විසින් අප වෙනුවෙන් නගර සංචාරයක්ද සූදානම් කොට තිබුණේය. ඊට සහභාගි වනවාද තීරණය කිරීම මම පසුවට කල් දැමීමි.

උදෑසන මා සමුළුවෙන් ටික වේලාවකට සමු ගත්තේ අංජලීට දී තුබුණු ඇපොයින්ට්මන්ට් එක නිසාය. ඇය ලාංකීය දෙමළ සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු නීති ශිෂ්‍යාවකි. ඇගේ දෙමාපියන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයව තිබුණේ 1956හි සිංහල රාජ්‍ය භාෂාව කරද්දී සිංහල නොදත්තවුන්ට සිය රැකියාවෙන් වන්දියක් සහිතව විශ්‍රාම ගැනීමට ලැබුණු අවකාශය ප්‍රයෝජනයට ගනිමිනි. ඈ මට කථා කළේ පෙරදින Herald Sun පුවත්පතෙහි වූ වාර්තාව දැක්කායින් පසුවය. ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා සාම සාකච්ඡා ගැන දැන ගන්ට ඇයට අවශ්‍ය විය.

අංජලී හමුව පළමු මිනිත්තු පහ තුළ මා කාරණා තුනක් නිරීක්ෂණය කළෙමි. එකක් ඇය මා සිතුවාට වඩා ලාබාල විය හැකි බවයි. මගේ ඇස්තමේන්තුව වයස 20-22 අතරය. දෙවැන්න ඇය අතිශයින් රූමත් බවය. ඕනෑවට වඩා විශාලව පෙණුනු ඇගේ පියොවුරු සිරුරෙහි අනෙක් මිනුම් වලට නොගැළපුනද මම ඊට ආසා කළෙමි. තෙවැන්න ඇය ආන්තිකව දෙමළ කොටි සංවිධානයට අනුකම්පා පාන්නියක බවයි. තෙවැන්න සිහියට ගැනීම වැදගත් වුවද මට ඒ අවස්ථාවෙහි කාරණා  එක හා දෙක ඊට වඩා වැදගත් විය. අපි පැය දෙක හමාරක් පමණ ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා වර්තමාන දේශපාලනය ගැන කතා කළෙමු. මගේ භූමිකාව අවසන්ව තිබුණු හෙයින් සමුළුවට සහභාගි වීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වූයේ නැත.

මේ සංවාදය අවසානයේ අපි එකිනෙකාට පෞද්ගලික වශයෙන් කිට්ටුව සිටියෙමු. මා මගේ පවුල ගැනද තනිකඩ ජීවිතය ගැනද ඇයට කී මුත් පුතා ගැන නොකියන්ට පරිස්සම් වීමි. ඇය මෑතදී බිඳුනු තම ප්‍රේම සම්බන්ධයක් ගැන කීවාය. තම හිටපු පෙම්වතා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව ඇය කීවාය. ‘කවුරුත් කරන’ එක්තරා මට්ටමකට මත්ද්‍රව්‍ය භාවිතය ඇය හෙළා නොදකින මුත් එය සීමාව ඉක්මවා කිරීම ඇය නොරිස්සුවාය. අද ප්‍රේම සම්බන්ධතා බිඳෙන කාරණා අපේ කාලයේ ප්‍රේම සම්බන්ධතා බිඳෙන කාරණා වලින් කොයිතරම් වෙනස්දැයි මම කල්පනා කළෙමි.

අවදානමක් රැගෙන මම ඇයට රාත්‍රී භෝජන සංග්‍රයකට ඇරැයුම් කළෙමි. මඳක් සිතා බැලීමෙන් පසුව ඇය එය පිළි ගත්තාය.

ඉතාලි අවන්හළෙක අපේ රාත්‍රි භෝජනය බොහෝ කාලයකට පසු මා අත්විඳි රෝමෑන්තික අත්දැකීමකි. පසුගිය වසර කිහිපය තුළ මගේ කාන්තා සම්බන්ධතා සෙක්ස් වලට පමණක් සීමා විය. පසුගිය අමිහිරි අත්දැකීම් වලින් පසු නැවත ආදරයක පැටලෙන්ට මට අවශ්‍යතාවයක් නුවූ අතර මට හමුවූ ගැහැණුද දකින දකින පිරිමියා ඉදිරියේ සළුව ඔසවන්නියන් මිස භාවාතිශය සම්බන්ධයකට සුදුස්සෝ නුවූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සල්ලිය. නැතිනම් රැකියාවකි. මට අවශ්‍ය වූයේ සෙක්ස්ය. මේ ඉල්ලුම හා සැපැයුම මනාව සමතුලිත වී අපේ ගනුදෙනු අවසන් විය. කොටින්ම මා ලිංගික සම්බන්ධතා පැවැත්වූ සමහර ගැහැණු ඉඹින්ට පවා මම පැකිළුණෙමි.  අපි ඒ තරමටම යන්ත්‍ර වී සිටියෙමු.

අංජලී වෙනස්ය. ඇය මා හා හරවත් දෙයක් කතා කරන්ට, මා කියන දේවල් ප්‍රශ්න කරන්ට, මා දැනමුත්තකු බව අයත්නයෙන්ම මට ඒත්තු ගන්වා මට ego boost එකක් දෙන්ට සමත් වූවාය. ඇය මා කියන දේවල් ලියා ගත්තා පමණක් නොව නැවත ඒවා ගැන සඳහන් කරමින් මා ප්‍රශ්න කළාය. බියට්‍රිස්ද මා හා වාද කරන්ට තරම් දැන උගත්තියක වූ මුත් මෙසේ මා කියන හැම දෙයක්ම වැදගත්ය යන හැඟීම මට දෙන්ට සමත් වූයේ නැත. එසේම බියට්‍රිස්ගේ උගත්කම හමුවේ මට සමහරවිට පහළ වූයේ හීනමානයකි. අංජලී සමඟ මගේ අත්දැකීම ඊට වෙනස් විය සමහර විට අංජලී හා මා අතර වූ වයසෙහි හා වෘත්තීමය වෙනස මීට හේතු වන්ට ඇත.

වැඩි විස්තර නැතිව, මේ හමුව මගේ හෝටල් කාමරයේදී කායික සම්බන්ධයකින් අවසන් වූ බව ලියමි. ඒ මා වසර ගණනාවකින් ලද හොඳම ලිංගික අත්දැකීම බව සටහන් විය යුතුය.

.

මැයි 19, 2002 – ඉරිදා

සමුළුව අවසන් වූයේ පෙරේදාය. ඊයේ මම මෙල්බන් නුවර බලා කියා ගතිමි. කිහිප දෙනකුට තෑගිද ගතිමි. අම්මා නම් මගෙන් යමක් බලාපොරොත්තු නුවූවාය. දීර්ඝ කාලයක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්නා ඇයට දෙන්ට සුදුසු යමක්ද නොවේ. මම මගේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම මොන මොනවා හෝ ගතිමි. එසේම ඉඳහිට හෝටලයකට උස්සාගෙන යන ගෑනු කිහිප දෙනාටද වැඩකට ඇති දෙයක් ගන්ට අවශ්‍ය විය. (ප්‍රතිපත්තියක් ලෙස මම මගේ කාර්ය මණ්ඩලයේ කිසිවකු සමඟ පුද්ගලික සම්බන්ධතා නොපවත්වමි. එය දේශපාලකයකු හෝ ව්‍යාපාරිකයකු විසින් කළ හැකි දරුණුම ප්‍රමාදයක් බැව් මට වරෙක නොකියා කීවේ ගාමිණී දිසානායක ඇමැතිතුමාය.)

බටහිර රටක නිරුවත් වෙරළකට යන්ට මට බොහෝ කාලයක් තිස්සේ ආසාවක් විය. එය එක්තරා ආකාරයක කුතුහලයකි. වසර ගණනාවකට පෙර දිවයින පුවත්පතෙහි පළ වූ, භද්‍රජී මහින්ද ජයතිලක නිරුවත් කඳවුරකට ගිය ගමනක් පාදක කොට ගෙන ලියූ ලිපියක් මීට බොහෝ සෙයින් පාදක විය. මේ කාලය තුළ බටහිර රටවල් කිහිපයකම සරන්නට ලැබුනද විවිධ හේතූන් නිසා මේ අත්දැකීම ලබා ගන්ට නොලැබුණේය.

මම නිකමට මේ ගැන සඳහන් කළ අවස්ථාවේ අංජලී මා සමඟ එන්ට කැමැති වූවාය. ඈ දැමූ එකම කොන්දේසිය ඇයට මුළුමණින් නිරුවත් වන්ට බැරි බවයි. වෙරළ clothing optional මිස nude නොවූ නිසා මට ඒ ගැන ගැටළුවක් නොවීය. අනෙක මටද මුළුමණින් ප්‍රසිද්ධියේ නිරුවත් වෙන්ට අවශ්‍යතාවයක් නොවීය. මට අවශ්‍යවූයේ peeping tom කෙනක් වෙන්ට විතරය.

නිරුවත් වෙරළ ගැන මගේ ඇගැයීම මිශ්‍රය. නිරුවත් නාරි දේහ එහි නොවුණා නොවේ. එහෙත් අප බලාපොරොත්තු වන්නාක් සේ එලිසබෙත් ටේලර්ලා, සොෆියා ලොරේන්ලා, ජූලියා රොබර්ට්ස්ලා, කේට් වින්ස්ලෙට්ලා, අව්ව තපින්ට නිරුවත් වෙරළ තීරයන්ට නො එති.

මෙහි නාන්නට අව්ව තපින්ට එන බොහෝ ගෑණු මැක්ඩොනල්ඩ්ස් වලින්, KFC වලින් සෞඛ්‍යයට අහිතකර Fast Foods කා තරවූ එල්ලෙන මස් වැදලිවලින් යුතු working class එළදෙනුන්ය. නැතිනම් වැල මදුලු සේ එල්ලන තන් ඇති නාකිච්චියන්ය. තරුණ වියෙහි වූ යුවතියන් කිහිප දෙනකුද නොසිටියා නොවේ. එහෙත් ඔවුන් සිටියේ පෙම්වතුන් සමඟ නිසා කතා කරන්ට වත් බැරිවිය. නිරුවත් ආච්චිලා නම් මඳ සිනාවක් පෑවත් එල්ලී කතාවට එයි. මුන්ට ඇත්තේ පුදුම විසයක් විය යුතුය. නමුත් මට ඒ සමඟම අනුකම්පාවක්ද ඇතිවිය. මේ ජීවිතකාලය පුරාවට කිසිම ආදරයක් නොලද මහළු විය හෝ මැදිවිය තනිව ගත කරන ගැහැණු විය යුතුය. බටහිර රටවල එවන් ගැහැණු සුලබය. බටහිර වියපත් බඹරෝ මේ ගැහැණු වෙනුවට නෑඹුල් තරුණ මල් සොයා යති. එනිසා මොවුන් ගැන බලන්ට කෙනෙක් නැත. ඔවුන්ට අවශ්‍ය වයස මොක වුණත් පිරිමි පරාණයකි. අපේ කොල්ලන්ට මෙහි එන්ට විදියක් හොයා දෙන්ට පුළුවන් නම් මට ඊළඟ ඡන්දයත් නිසැකවම දිනිය හැකි වනු ඇත්තේය.

අංජලී තනපට ඉවත් කොට topless අව්ව තැප්පද මොනම හෝ අවස්ථාවක, ඇඳුම් මාරු කරද්දී පවා නිරුවත් නොවන්ට මම පරිස්සම් වීමි. එසේම මගේ උකුසු ඇස් ever vigilant පැවතියේ වැරදිලාවත් මා දන්නා අඳුනන කෙනෙක් – විශේෂයෙන්ම ලාංකිකයකු – මෙහි වේද නොදත් හෙයිනි. වාසනාවකට එවැනි අබග්ගයක් වූයේ නොවේ.

මගේ අවසාන දොම්නස වූයේ, හිර ඇඳුමින් නිදහස් වූ හා  මුහුදු වතුරින් මේකප් සේදී ගිය අංජලී මා සිතූ තරම් තරුණ හෝ රූමත් නොවන බවට වූ අවබෝධයයි. ඇයට වයස 26-28ක්ය මම සිතමි. එසේම ඇය සැබැවින්ම නීති ශිෂ්‍යාවක්ද යන්න මම සැක කරමි. එහෙත් ඇය මට බොරුවක් කීවේ මන්ද?

.

.

(ඉවසන්න………………සමනළයා යළි පියා සලන තෙක්)

(20) මගේ පළමු හාදුව || My first kiss

**********(තිසර රාජිත සේනාපති කියන කතාව)**********

.

පෙම්වත, මම ඔබට බොහෝ පෙම් කරමි.
දිවුරමි මම ඒ ගැන, ඔබ රිසියෙහි නම්,
දිවුරමි මම, දෙවියන්ගේ නාමයෙන්.

හැම මොහොතක්ම මා ඔබට ඇති ආදරයෙන් පිරී ඇත්තේය.
එවන් දැඩි ආශාවක් පවතින්නේ කෙසේදැයි
පෙම්වත, ඔබ මා හමුවුවහොත්
මම ඔබට කියාදෙමි.

මගේ කවිය ඔබ ගැන මැවූ අපූරු සිහිනයකි.
ඔබෙන් තොර දිවියක් මට නැත්තේය
මට හුස්ම වැටෙන්නේ කවදා තෙක්ද
එතෙක් මම ඔබට ආදරය කරමි.

සයුරෙහි රළ ඇත්තේ යම් පමණෙකටද
එපමණටම මම ඔබට ආදරය කරමි.
එබැවින් මේ මනදොළ
කිසිදිනෙක තුනී නොවන්නේය.

පෙම්වත, මම ඔබට බොහෝ පෙම් කරමි.
දිවුරමි මම ඒ ගැන, ඔබ රිසියෙහි නම්,
දිවුරමි මම, දෙවියන්ගේ නාමයෙන්.

.

හැම මිනිසකුම පළමු වරට මවගෙන්ද, දෙවන වර තවත් ගැහැණියකගෙන්ද උපත ලබන්නේය කතාවක් තිබේ.

මමද එලෙස වෙනත් ගැහැණියකගෙන් ද්වෝත්පත්තිය ලද්දෙක්මි. ඒ අසිරිමත් ගැහැණිය මාධුරී දික්සිත්ය.

“දිල් තෝ පාගල් හේ – දිල් දිවානා හේ…”

‘දිල් තෝ පාගල් හේ’ මා  අනිමිසලෝචනය කළ පළමු හින්දි සිතුවම්පටයයි. ඉංග්ලිෂ් ෆිල්ම් එකකට හෝ ඉතා කලාතුරෙකින් සිංහල ෆිල්ම් එකකට හැරුණු විට තාත්තා අප හින්දි ෆිල්ම්ස් බලන්ට කැටුව නොගියේය. මගේ වැඩිමහළු සොහොයුරියන්ටද හින්දි උන්මාදයක් නොවීය. “කුච් කුච් හෝතා හේ” වැනි රණවිරු අයියා කෙනකුට, ගාමන්ට් අක්කා කෙනෙකුට වුව වැටහෙන සරල හින්දි කෑල්ලක් වත් ඔවුහු නොදත්තෝය.  මෙනිසා මා පළමු හින්දි සිතුවම්පටය දුටුවේ නව යොවුන් වියෙහි එළිපත්තේදීය. මගේ පරිගණක තිරයෙනි. DVD එක ඉල්ලා ගත්තේ මිතුරකුගෙනි. සොසේජ් බන් එකක හා ප්ලේන්ටියක හිලව්වටය.

පුංචි තිරයේ නටන මේ අපූරු යුවතියට මම එකෙණෙහිම වශී වූයෙමි. ඇගේ, ඇස්, නැහැය, සිහින් සිරුර, ආඩම්බරකාර පෙනුම මා උදෙසාම දෙවියන් විසින් මවන ලද්දාක් වැන්න. මට හැඟුණේ ඇය මා ජීවිතකාලය පුරාවට දත් කෙනකු සේය. මගේ මොළයෙහි නියුරෝන සියල්ල එකවර පණ ආවාක් සේ විදිලි සර නිකුත් කරන්ට පටන් ගත්තේය. කිසිම වෙහෙසක් නොදරාම ‘දිල් තෝ පාගල් හේ’ ගීතය මට පාඩම් විය. ඉන්ටර්නෙට්හි එක සැරයක් දැක කියැවූවාට පසු එහි අර්ථය මට මතක හිටියේය.

ඉනික්බිති  එකකට පසු එකක් මම ඇය රඟපෑ සිතුවම්පට නරඹන්ට පටන් ගතිමි. එසේ වෙතත්, මට DVD ගන්ට අම්මා සල්ලි නුදුන් නිසාත්, තැටියක් ඉල්ලා ගන්ට හෝ හින්දි ෆිල්ම් පිස්සන් මගේ මිතුරන් අතර සුලබ නොවූ නිසාත් මට ඉදිරියට යන්ට හැකි වූයේ සෙමෙනි.

මගේ දෙවන ‘මාධුරී’ අත්දැකීම ‘සාජන්‘ය. ‘දිල් තෝ පාගල් හේ’ ට වඩා වසර හයක් පැරැණි එය ත්‍රිකෝණ ප්‍රේම වෘත්තාන්තයකි.

අමාන් (සන්ජේ දත්) ආබධිත අනාථ දරුවෙකි. ඔහු සම වයසේ වූ ආකාෂ් (සල්මන් ඛාන්) ට මුණ ගැසෙයි. ටිපිකල් හින්දි ෆිල්ම් එකක වන්නාක් සේම ආකාෂ් ගේ දෙමාපියෝ අමාන් හදා වඩා ගන්ට කැමැති වෙති. මේ දෙදෙනාම සොහොයුරන් සේ වැඩෙති. අමාන් ‘සාගර්’ යන නමින් කවි ලියන්ට පටන් ගන්නා අතර නොබෝ කාලයකින්ම ටිපිකල් හින්දි ෆිල්ම් එකක වන්නාක් සේම අතිශය ජනප්‍රියතාවයක් දිනා ගන්ට සමත් වෙයි. පූජා (මාධුරී) ඔහුගේ රසිකාවියකි. ඇය කවියා හා ලියුම් ගණුදෙනු කරන මුත් ඔහු මුහුණට මුහුණ හමුවී නොමැත. මේ අතර ටිපිකල් හින්දි ෆිල්ම් එකක වන්නාක් සේම ආකාෂ්ට පූජා වෙසෙන ගම්මානයටම ව්‍යාපාරික කටයුත්තකට යන්ට සිදුවේ. අමාන් හා පූජා අතර වූ අතත්‍ය සම්බන්ධතාවය දන්නා ආකාෂ් ‘සාගර්’ නම් කවියා තමන්ය පූජා රවටයි. අමාන් ඇයට පෙම් කළද මිත්‍රත්වය හා තමන්ගේ ආබාධිත තත්ත්වය හමුවෙහි ඇය ආකාෂ් හා එක් වන්නේ නම් යහපත්ය කල්පනා කරයි. අවසානයේ ටිපිකල් හින්දි ෆිල්ම් එකක වන්නාක් සේම මේ ගැටළුවට හැමට පිළිගන්ට පුළුවන් විසඳුමක් ලැබී පූජා අමාන් හා එක්වෙයි. සිතුවම්පටය අවසාන වෙද්දී මගේ නෙත් තෙත්ව තිබුණේය.

මේ බොළඳ අතාත්වික ආදර අන්දරයට මා එතෙක් බැඳුනේ මන්ද?

‘සාජන්’ හි ප්‍රධාන චරිතය මාධුරී රඟ නොපෑවේ නම් මා ඊට ආකර්ෂණය වනු ඇත්දැයි මම මගෙන්ම අසා ගනිමි. ඊට පිළිතුරක් නැත. මාධුරීගෙන් තොර ‘සාජන්’ සිතුවම්පටයක් නිර්මාණයව නොතිබුණු බැවිනි. එනිසා මට සන්සන්දනය කර බලන්ට දෙයක් නැතිය.

මම සාජන් හි ‘බහුත් ප්‍යාර් කර්ති හේන්..’, ‘ජියේ තෝ ජියේ කයිසේ…’ හා ‘මෙරා දිල්භි කිතනා පාගල් හේ…‘ ගීත තරමටම ඊළඟට හමු වූ ‘පාරින්දා‘හි ‘තුම් සේ මිල්කේ‘ ටත් ආදරය කළෙමි. හින්දි අර්ථය පිළිබඳව අන්දෝ සංසාරයක දැනුමක් නැතිව ඒවා පොත් වල ලියා තැබුවෙමි. දිනෙකට සිය සැරයක් ඉඩ ලැබුණු විටෙක මිමුණුවෙමි. ඒ රහසිනි. මා කොටසක් වූ සමාජය හින්දි සිතුවම්පට ගැන ප්‍රශංසා මුඛයෙකින් කතා කළ එකක් නොවීය. ඔවුන් අතර නුසුදුස්සකු වන්ට ඕනෑකමක් නොවූ හෙයින් මම ලේබල් ගසා නොගන්ට පරෙස්සම් වීමි.

‘බහුත් ප්‍යාර් කර්ති හේන්..’ ගැයුවේ අනුරාධා පෞද්වාල් ය. ‘තුම් සේ මිල්කේ’ හි ගායිකාව ආශා බෝස්ලේ ය. මේ දෙදෙනාගේම හඬ මාධුරීට අපූරුවට ගැළපුණේය.

මට මාධුරී කෙරෙහි වූයේ රසිකයකුට ශිල්පිනියක කෙරෙහි දැක්විය හැකි උතුම් ප්ලැටොනික වීතරාගී ආදරයකි. මිතුරකු ඇගේ නිරුවත් පින්තූර රැසක් ඉන්ටර්නෙට් හි ඇතැයි කී නිසා දිනෙක මම නිකමට ‘Madhuri Dixit Nude Photos’ කියා ගූගල් කළෙමි. මා දුටු සියල්ල ෆොටෝ දක්ෂ ග්‍රැෆික් එඩිටර්ලාගේ නිර්මාණ බවට සැකයක් නැත. නැතිනම් පින්තූරයෙන් පින්තූරයට මාධුරීගේ ඇනටොමි එක වෙනස් වන්ට බැරිය. (එක පින්තූරයක ඇගේ පියයුරු දොඩම් ගෙඩි තරම් වූ අතර තවෙකක ඒවා ජම්බෝල තරම් විය!) මේ කිසිවකට මම නොකැමැති වීම්. ඉන්පසු කෙදිනක හෝ මම ඇගේ නිරුවත් ඡායාරූප නොසෙවීමි. වරක් හෝ එසේ කිරීම ගැනද මට ඇතිවූයේ වරදකාරී හැඟීමකි. මා ගැනම පිළිකුළෙකි. මා එසේ නොකළා නම් හොඳය මට අදත් සිතෙයි.

මාධුරීට වශී වූ එකම පිරිමියා මා නොවීම ගැන නම් මට වූයේ සතුටකි. ඇගේ රසිකයින් අතර මට වඩා බොහෝ ඉහළින් සිටියෝ වූහ. එවැන්නකු නම් ‘භාරතයේ පිකාසෝ’ ලෙස Forbes සඟරාව වරක නම් කරන ලද. එරට ප්‍රකටතම චිත්‍ර ශිල්පියකු වූ එම්. එෆ්. හුසේන්ය. ජීවිතයේ නව වැනි දශකය ගෙවමින් හුන් හුසේන් මාධුරී රඟපෑ ‘හම් ආප්කේ හේන් කෞන්” හැට හත් (67) වතාවක් නැරැඹීය. ඇය සිය තෙලි තුඩට වාර ගණනාවක්ම මාතෘකා කොට ගත්තේය. භාරත මාධ්‍ය හුසේන්ට ‘නාකි මනමාළයා’ය නොකියා කීහ. නමුදු ඔහු තුළ මාධුරී කෙරෙහි වූයේ මා තුළ වූවාක් සේම ප්ලැටොනික වීතරාගී ආදරයක් බවය මා සිතූයේ.

මා මාධුරී දික්සිත් ගැන මෙතෙක් කියන්නේ මන්ද?

ජීවිතය ගලා යන්නේ අපට ඕනෑ විදියට නොවේ. සමහර විට එය අප කිසිසේත් නොසිතන ආකාරයේ වංගු ගනියි. මාධුරී නිසා මා ජීවිතයේ නොසිතූ විරූ වංගුවක් ගෙන ඇති බව මා අවබෝධකොට ගත්තේ බොහෝ කාලයකට පසුවය.

චරී මාධුරීගේ රසිකයකු බව මම දැන නොසිටියෙමි. අඩු තරමින් ඔහු හින්දි ෆිල්ම්ස් බලන බවක් වත් මම අසා නොතිබුණෙමි. නමුත් මා ඔහුගෙන් ඉල්ලාගත් එරික් සෙගාල්ගේ  Love Story ඇතුළේ මාධුරීගේ ටිකක් පරණ වූ කළු සුදු ඡායාරූපයක් තිබුණේය. මුහුණ පොඩියක් විතර මා දැන සිටි මාධුරීට වෙනස්ය. සමහර විට ඇය සිතුවම්පටයකට වෙස් ගන්වා ඇති අවස්ථාවෙක ගත් එකක් වන්ට ඉඩ තියේ. එසේම සැබෑ ජීවිතයේදී නළු නිළියන් තිරයෙහි දකිනවාට වඩා වෙනස්ය. මට තවත් ගැටළුවක් වූයේ ඡායාරූපය පසුපස ස්ටූඩියෝ එකක නමක් හා යම් අංකයක් ලියා තිබීමයි. ඒ ගැන දුරට කල්පනා කරන්ට මට එවෙලෙහි නොසිතුණේය.

“I didn’t know you were a fan of Madhuri…” පසු දිනෙක මම පොත රිටර්න් කරද්දී කීවෙමි.

“Who..?” චරී විපිළසර විය.

“Madhuri…Madhuri Dixit. Don’t tell you don’t know her”

“Who is she? Why should I know her?”

“There was a photo of her in your book.”

“In my book…?”

මම පොත තුළින් ඡායාරූපය ඇද ඔහුට දුනිමි. ඔහු ටික වෙලාවක් එදෙස බලා සිටියේය.

“This was my mother…” චරී කීවේය. “…actually, this book was hers.”

අවුරුදු ගණනාවක ගැටළුවකට විසඳුම තත්පරයකින් දහයෙන් පංගුවකදී මට ලැබුණේය.

ඒ කළු දීප්තිමත් ඇස්! ඒ දිගටි නැහැය! ඒ සිහින් සිරුර!

‘දිල් තෝ පාගල්’ දුටු දිනයෙහිම මාධුරී බොහෝ කාලයක් තිස්සේ දැන සිටි කෙනකු යැයි මට හැඟුණේ මන්ද? මම දැන් ඊට පිළිතුර දනිමි.

දයාබර පාඨකය, ඉදින් මගේ කතාව නවකතාවක් වී නම් මාධුරී මගේ ජීවිතයට සම්බන්ධ වීම මේ සිද්ධියට අනුගාමීව චරීද මා සේම ඇගේ ඩිවෝටඩ් ෆෑන් කෙනකු වීමෙන් පමණක් නිමාවන්ට තිබුණේය. නවකතාකරුවෝ අතිශය කලාතුරෙකින් හැරුණු විට සංකීර්ණත්වයට නොරිසි වෙති.  එහෙත් ජීවිතය නවකතාවකට වෙනස්ය. අතිශය සංකීර්ණය. ජීවිතයෙහි වන්නේ නවකතාවෙක ඇතුළු කරන්ට ලේඛකයකු සිහිනෙකින්වත් නොසිතන දේය.

අප දෙදෙනාම මාධුරී සමඟ තවත් කාලයක් ඉදිරියට ගමන් කළ යුතුය කොතැනක හෝ ලියැවී තිබුණාක් වැන්න. මින් වසර කිහිපයකට පසු ඇය නැවත අපේ ජීවිත වලට ඇතුළු වූවාය. චරීගේ පැත්තෙන් ගතොත් ඒ ගෲෂාට පසුව දිනූෂාට කලිනි. අප දෙදෙනා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අවසන් කළ වහාම වාගේය.

මේ කතාව නවකතාකරුවකු අතින් ලියැවුණේ නම් ඔහු කොයි තරම් පිස්සකු වුණත් මාධුරී ලංකාවට කැඳවාගෙන එනු ඇතැයි ඔබ සිතන්නේද? එහෙත් සැබෑ ජීවිතයේදී මාධුරී ලංකාවට ආවාය. වඩා නිවැරදි වුවහොත් සිරස මාධ්‍ය ජාලය විසින් කැඳවාගෙන එනු ලැබුවාය. එපමණක් නොව චරීටද මටද ඇය හමුව කතා කරන්ටද ලැබුණේය.

දැන් නම් මෙය සහතිකවම මගේ සිහිනයකැයි ඔබ කියනු ඇත්තේය. නැත. එසේ වූයේ සිරස නිසාය.

Akon ලංකාවට ගෙනෙන්ට ගොස් හොම්බ බිම ඇණ ගත්තායින් පසුව සිරස ඊට වඩා ‘දේශප්‍රේමයට කිට්ටු’ මෙහෙයුමක් සැලසුම් කළේය. මාධුරී මෙහි ආවේ ඒ අනුවය.

සිරස මාධ්‍ය ජාලය මාධුරී ලංකාවට පැමිණෙන්ට මාස දෙකකට කලින් තරගයක් හඳුන්නා දුන්නේය. ඒ ඇය වෙනුවෙන් ෆේක්බුක් පිටුවක් තනා වැඩිම මිතුරන් පිරිසක් ඇති කර ගන්නා රසික රසිකාවියන් දස දෙනකුට ඇය සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වීමේ අවස්ථාව ලබා දෙන්ටය. චරී හා මා ඇය හමුවූයේ කෙසේ දැයි දැන් ඔබට සිතා ගත හැකි වන්නේය. චරී මේ තරගයේ තුන් වැන්නාය. ඔහුගේ පිටුවට මිතුරන් 18,000 කට අධික පිරිසක් විය. මිතුරන් 16,000 කට  ආසන්න සංඛ්‍යාවක් සමඟ මම සත්වැනි තැනට පත්ව සිටියෙමි.

සිරස මාධ්‍ය ජාලය පොරොන්දුවෙහි අඩක් ඉටු කළ මුත් ඉතිරි අඩ ඉටු නොකළාය. අපට ඇය සමඟ භෝජන සංග්‍රහයකට සහභාගි වන්ට නොලැබුණේය. ඒ වෙනුවට අප දස දෙනාට අවස්ථාව ලැබුණේ ඇය සමඟ මිනිත්තු පහක් ගත කරන්ටය. අනෙකුන් ගැන මම නොදනිමි. මම නම් ඉන් පූර්ණව තෘප්තිමත්ව සිටියෙමි. මා දෙවන වර ලොවට බිහිකළ මේ ගැහැණිය මුහුණට මුහුණ හමුවීම මට ඒ වනතෙක්ම සිහිනයක් පමණක් විය. ඉන් පෙර රාත්‍රිය මා නිදිවර්ජිතව ගෙවූයේ කවර හෝ හේතුවක් නිසා ඇය තම ලංකා ගමන කල් තබාවිය බියෙනි.

අපි ටජ් සමුද්‍රා හෝටලයේ ලොබියේදී ඇය හමුවීමු. ඒ නිල උත්සවයෙන් පසුය. නිල උත්සවයටද ආරාධනා ලැබුණු මුත් අනවශ්‍ය ප්‍රචාරය අපට ගැටළුවක් වූයේ මේ තරගයට අප සහභාගි වූ බව දෙමාපියන්වත් විද්‍යාලය වත් දැන නොසිටි හෙයිනි. මා ගෙදරට කියා ආයේ චරීලාගේ ගෙදර යන බවය. එය පාර්ශ්විකව ඇත්තකි. දෙල්කඳ සිට ටාජ් සමුද්‍රා එකට ආවේ චරිගේ අප්පච්චිගේ වාහනයෙන් නිසාය.

තමන්ගේ සිහින වීරවරිය පියවි ලෝකයේ මුණ ගැසීම කෙනකුට කොයිතරම් වැදගත් සිදුවීමක් විය හැක්කේද? එවන් අවස්ථාවක කෙනෙකුට අසන්ට ප්‍රශ්නයකුත් ඇද්ද? මාධුරීගෙන් අසන්ට ප්‍රශ්න දහසක් මට තිබුණද ඇය හමුවේ මම ගොලුවීමි.

මා වෙනුවෙන්ද කථා කළේ චරීය. සාමාන්‍යයෙන් නිහඬ චරිතයක් වූ ඔහු මේ අවස්ථාවේදී නම් අප සියළු දෙනා වෙනුවෙන්ම කතා කළේය. එය වැදගත් වූයේ අනෙක් අට දෙනාගෙන් වැඩි පිරිසකට Yes madam, No madam, You are very very beautiful madam, You like Sri Lanka madam, no? Do you like Sri Lanka cricket madam?, Who is the best Sri Lanka cricketer madam?, Do you like Sanath Jayasuriya madam?, What is your best film madam?, My grandmother too very much like you madam වලින් එපිට ඉංගිරිසියක් බැරි වූ හෙයිනි.

සිරස අයියලාද මේ විනාඩි පහ කැමරා කිහිපයකින්ම වීඩියෝ කළහ. එය වළක්වන්ට බැරිය. එය ඔවුන්ගේ ජොබ් එකය. මම හැකිතාක් කැමරාවට වෙට්ටු දමමින් සිටියෙමි. මේවා රූපවාහිනියේ පෙන්නුවාම උත්තර බඳින්ට වෙන එක ගැන සිතමිනි. චරීට නම් එය ලොකු ගැටළුවක් නොවෙන්ට ඇත. ඔහුගේ අප්පච්චි ඔහු උන්නාද මළාද නොසොයයි. චරී කවදාවත් ඒ නිදහස අයුතු ලෙස භාවිතා නොකළ බවත් ලිවිය යුතුය. මේ විශේෂ අවස්ථාවකි. අනෙක ටජ් සමුද්‍රා එකට විවෘතව ප්‍රකට ඉන්දියානු නිළියක මුණ ගැසෙන්ට යනවා කියන්නේ කෙල්ලක් එක්ක ගෝල්ෆේස් යනවාට නොවේ.

මාධුරී සිටියේ සැහැල්ලුවෙනි. මේ ඇගේ දින චරියාවෙහි එක් අංගයක් විය යුතුය. ඇය අප සියළුදෙනාගෙන්ම එක ප්‍රශ්නයක් හෝ අසන්ට උත්සුක වූවාය.

“So do you also love Devdas?”

මට සිහි එළවා ගන්ට ටික වෙලාවක් ගතවිය. කවුරුන් හෝ මගේ අතින් ඇද්දේය සිතමි.

“Of course! Chandramukhi’s role was perhaps the best in your career. It impressed me so much that I even read Chattopadhyay’s novel

“අචා. That’s good. බුක් පධා නහි හුම්…මත්ලබ්, ..I have not read the book”

මමද චට්ඨෝපාධ්‍යගේ ‘දේවදාසි’ නවකථාව කියවා නැත්තෙමි. මා දැන සිටියේද ඒ ගැන ඉන්ටර්නෙට් වලින් සොයා ගත් කාරණා කිහිපයක් පමණෙකි. එහෙත් තමන්ගේ වීරවරිය අභියස ලකුණු ටිකක් දමා ගන්ට අකැමැති කෙනෙකුත් වේද?

“It’s a great book. You should give a try…”

“Yes, I should definitely. Thanks…Now, what do you think about ‘Hum Aapke Hain Koun..’? You liked it?”  ඇය මට වම් පසින් සිටි පැල්මඩුල්ලෙන් ආවාය කියූ ගැහැණු ළමයා දෙසට හැරුණාය.

“Yes madam. Thank you madam. You are very beautiful madam…”

මේ මෙම ගැහැණු ළමයා ඕනෑම ප්‍රශ්නයකට දෙන්ට කට පාඩම් කර ගෙන ආ පිළිතුරය සිතමි.

මාධුරී ඉක්මණින් අපේ සමුගත්තේ “Sorry, I have to go. Minister is waiting for me, but I love to meet you all again.” කියමිනි. මේ නොවන්නක් බව මම දනිමි. මම ඒ ගැන කම්පා නොවෙමි. ඇය මා වෙනුවෙන් මිනිත්තුවක් හෝ වැය කිරීම මට වටනේය.

සමුගෙන යන්ට කලියෙන් මාධුරී අප සියළු දෙනාටම cheek kiss එක බැගින් දුන්නාය. ඇය චරීගේ මුහුණට සිය මුහුණ ළං කරද්දී මා දුටුවේ ඔවුන් දෙදෙනා අතර කෙළින් බලන විට මඳක් සැඟවෙන, එහෙත් පැත්තෙන් බලන විට අපූරුවට ඉස්මතු වන සමානතාවයයි.

කා-පාක් එකට ඇවිද යන තුරුද චරීගේ සුදු මුහුණ රතු වී තිබෙණු මම නිරීක්ෂණය කළෙමි.

“You know something Thisu…” ඔහු මට කොඳුරයි.

“Tell me…”

“That was the first kiss I had in my life…”

එය මගේ ජීවිතයේද පළමු හාදුව බව මා ඔහුට කිව යුතුද?

.

.

(ඉවසන්න…………………සමනළයා යළි පියා සලන තෙක්)

(18) මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට || Mervin Silva becomes a Buddhist monk

  • කාලය: 2012, නොවැම්බර්, සමාන්තර විශ්වය
  • ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව

**********(‘සාසනයා’ කියන කතාව )**********

මම කිරෙන් පොඟවා, තෙලෙන් බැද, ඩෙවිල් කරන ලද දේශපාලකයෙක්මි. දේශපාලනයේ අයන්නේ සිට අඃයන්න දක්වා මම අතැඹුලක් සේ දනිමි. මට තේරුම් ගන්ට බැරි සංසිද්ධීන් වලින් මා කැළඹීමට පත්වන්නේ එහෙයිනි.

වික්ටර් මිය ගොස් තෙමසක් පිරුණේ ඊයේටයි. මා එය දැන ගත්තේ රාවයේ පළවූ වික්ටර් අයිවන් විසින් ලියන ලද ගුණ සමරු ලිපියකිනි.

රාවයේ හිටපු කතුවර වික්ටර් අයිවන් දේශපාලන ලිපි ලිවීම නතර කොට (a) විශ්‍රාම දිවිය සුවසේ ගත කරන්නේ කොහොමද, (b) ගෙදරක බල්ලන් පූසන් ඇති කරන්නේ කොහොමද, (c) මළ පහ කොට කඩදාසියෙන් පිසදා ගැනීමට වඩා වතුරෙන් සෝදා ගැනීම හොඳ ඇයි, (d) මාසයකට කී වතාවක් ලිංගික සංසර්ගයෙහි යෙදිය යුතුද, (e) ඇඹෙණිය හා වළං පිඟන් හෝදා ගැනීම රෙදි සෝදා ගැනීම වැනි කටයුතු බෙදාගෙන කරන්නේ කොහොමද (f) නැන්දා ලේලි ආරාවුල හා අයිසෙක් නිව්ටන්ගේ බ‍්‍රහ්මචර්යාව වැනි සරත් විජේසූරිය කියන ජාතියේ හුචක්කු කතා කිය කියා හිටියේය. නාකි වෙන කොට සමහර මිනිසුන්ට අමුතුම ජාතියක උමතු රෝග ලක්ෂණ පහළ වෙයි. මේකාට හැදී තියෙන්නේ වෙන කාටවත් නොහැදුණු ඔරිජිනල් ම ඔරිජිනල් නැවට එකයි පිස්සුවකි. ඕවාට හිනා වී නිකං හිටියාම හරිය. වැඩිපුර කලබල වෙන්ට ඕනෑ නැත. ඔන්නොහෙ හොඳටම සීරියස් වී මුල්ලේරියාවට ඇඩ්මිට් කරපු දවසක ඇපල් ගෙඩි ටිකක් හා මිදි දෙසීයක් විතර අරගෙන ගොස් බලලා එන්ට පිළිවන.

වික්ටර් ගැන වික්ටර් ලියූ ලිපියේත් වැඩිපුර තිබුණේ මැරුණු (දේශපාලක) වික්ටර් ගැන නොව ජීවත් වුණාක් මළාක් වැනි විශ්‍රාම ගිය කතුවර වික්ටර්ගේ පුරසාරම් හා මැඩම්ට ගහපු හින්ට්ය. තමාට මෙන් හොඳට (දේශපාලක) වික්ටර්ට හෝ මැඩම්ට දරුවන් හදා ගන්ට බැරිවුණු බවත් තමන්ට දරුවන් හදා ගන්ට පුළුවන් වූයේ හැම සති අන්තයකම ඔවුන් හා ගත කළ නිසා හා පොඩිකාලයේ පටන්ම වෙන කාටවත් කරන්ට නොදී තමන්ම ඔවුන්ගේ කක්කි හේදූ නිසා බවත් අයිවන් වැඩි දුරටත් ලියා තිබුණේය.

පුදුමයකට මෙන් (දේශපාලක) වික්ටර්ගේ මරණය ගැන මට ඇති වූ සැක කිසිවකුත් (හිටපු කතුවර) වික්ටර්ට ඇති වී නොතිබුණේය. ඔහු රටේ බොහෝ දෙනා කරන්නාක් සේ එය කොටින්ගේ ගිණුමට බැර කරන්ට උත්සුක වී ඇති බව පැහැදිළිය. මේ වැඩිය හිතන්ට කරදර නොවන පිරිසට easy way out එකකි. මට එසේ කරන්ට පුළුවන් කමක් නැත්තේ මේ සිද්ධිය මත මගේ අනාගතය පමණක් නොව ජීවිතයද රැඳී පවත්නා නිසාය.

වික්ටර් සාලිය බණ්ඩාර මරන්ට තරම් විශේෂ උවමනාවක් කොටින්ට නුවූ බව මම දනිමි. ඔහු කොටින් හා ගණුදෙනු කළ එකම අවස්ථාව ‘දඹර අමිල සිද්ධිය’යි. එයද කිසිදු පාර්ශ්වයකට පරාජයක් අත් නොවන සේ සූක්ෂ්මව විසඳා ගන්ට ඔහු සමත් විය. අනෙක තමන්ට හොඳටම වැදී ඇති මේ අවස්ථාවේ කොටින් වික්ටර් මරන්නේ ඇයිද? (රනිල් මරපු එක වෙනම කතාවකි. සාම සාකච්ඡා හරහා තමන්ව පාච්චල් කිරීම ගැන කොටින්ට හැමදාමත් රනිල් සම්බන්ධයෙන් වූයේ තරහකි.)

මේ ප්‍රශ්න මටම ඇතිවන්නේ ඇයි? වික්ටර්ගේ මරණයට පෙර හා පසුව සිදු වූ සිද්ධි කිහිපයක් අතර විය හැකි (අන් කිසිවකු නොදන්නා) අන්තර්සම්බන්ධතාවය මා දන්නා නිසාද?

මගේ ප්‍රශ්න මම කාලානුරූපව පෙළ ගස්වමි.

1. ලසන්ත වික්‍රමතුංග මැරුව්වේ කවුද? ඔහු මැරෙව්වේ අමරේ විසින් වික්ටර්ගේ උවමනාවටද? එසේ නම් ඒ ඇයි? වික්ටර්ට ලසන්ත සමඟ තිබුණු පලහිලව්ව මොකද්ද?

2. ප්‍රගීත් එක්නැලිගොඩට වූයේ කුමක්ද? ඔහු ඉස්සුවේත් වික්ටර්ගේ උපදෙස් මත අමරේද? එසේ නම් ඒ ඇයි? නැත්නම් එය වික්ටර්ට සම්බන්ධයක් නැති සිදුවීමක්ද? මැඩම් මේ ගැන යමක් දන්නවාද?

3. වික්ටර් මැරුවේ/මැරෙව්වේ කවුද? අමරේද? එසේනම් ඒ ඇයි? කලින් කළ වැඩ වලට ගාණ සෙට්ල් නොකළ නිසාද? වික්ටර්ගේ ඝාතනයට මැඩම්ගේ සම්බන්ධයක් ඇත්ද? වික්ටර් තමන්ට තර්ජනයක් බව මැඩම් සැක කළාද?

4. අමරේ කොහේද? අමරේට මොකද උණේ? කිසිම කෙනෙක් ඒ ගැන නොදන්නේ ඇයි?

5. ඇඹිලිපිටියේ පියදාසට වූයේ කුමක්ද? ඔහුගේ මේ සිද්ධීන් වලට ඇති සම්බන්ධය කුමක්ද? තුම්මෝදර පැත්තේ වෙළකින් මතු වූ හඳුනාගත නොහැකි තරමට පිළිස්සුණු මළ සිරුර පියදාසගේද? අමරේගේද?

කාලයා විසින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ඇතැයි මම සිතමි.

බුද්ධ ශාසන ඇමැති හැටියටත්, පුද්ගලිකවත් වැදගත් උත්සවයකට අද මට සහභාගි වන්ට සිදුව තිබුණේය. ඒ දීර්ඝ කාලයක් තිස්සේ මගේ සගයකු හා කිට්ටු මිත්‍රයකු වූ හිටපු මන්ත්‍රී මර්වින් සිල්වා බම්බලපිටියේ වජිරාරාමයේදී ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට එක්වීමේ අවස්ථාවයි. (ඔහු කැමැත්තෙන් හිටියේ කැළණි විහාරයේදීම පැවිදි වීමටයි. නමුත් සියම් නිකායික මහා සඞඝයා වහන්සේ විසින් ගොවිගම නොවන හීනකුල ඇත්තන් මහණ දම් පිරීමට නුසුදුසුය කියා රටේ ජනාධිපතිට පවා වෙනස් කරන්ට බැරි දැඩි මතයක සිටි හෙයින් ඔහුට තමන්ගේ කුලයට අයිති වජිරාරාමය තෝරාගන්ට සිදුවිය.)

ලංකාවේ වර්තමාන දේශපාලනය වැටී ඇති පතුළක් නැති ආගාධය ගැන මර්වින් සිටියේ කණගාටුවෙනි. අද ඇති වාතාවරණය තුළ නම්බුකාර විදියට දේශපාලනය කරන්ට කිසිම ඉඩක් නැති බව ඔහු සංවේගයෙන් මට කීපවතාවක්ම කීවේය. මර්වින් වැදගත් දේශපාලනය කීවේ ආචාර්ය එන්. එම්. පෙරේරලා, ඩඩ්ලි සේනානායකලා, මෛත්‍රිපාල සේනානායකලා, දොස්තර වික්‍රමසිංහලා කළ මහත්මා දේශපාලනයයි. මේ මහත්වරුන් වෙනුවට අද දේශපාලනයට පිවිස ඇත්තේ කිසිම උගත්කමක් හෝ හැදියාවක් නැති සමාජයේ හැසිරෙන්ට නොදන්නා සුනඛයින්ය. රටේ පොදු යහපත බල්ලාට දමා ස්වකීය පෞද්ගලික සුඛ විහරණයම ඒකායන පරමාර්ථය කරගත් තක්කඩියන්ය. රටේ ජාතික ධනය කොල්ලකන, කිසිම ලජ්ජාවකින් තොරව කප්පම් ගන්නා අධමයින්ය. මර්වින් තුළ මේ තත්ත්වය ගැන විශාල කලකිරීමක් විය. පිරිසක් මැදට පැණ පිස්තෝලය උරුක් කොට කුණුහරුප වපුරන වර්තමාන මැර දේශපාලකයින් ඔහුට පිළිකුල් විය. මහත්මා දේශපාලනයක් කිරීමේ අවස්ථාව ඉක්මණින්ම උදාවනු ඇති බව කියූ මම එසේ වනතුරු ඉවසා සිටින්නැයි ඔහුට උපදෙස් දුනිමි, එහෙත් මර්වින් ඉක්මන් විය. ඔහු මේ කාලකණ්නි දේශපාලනයෙන් මිදී සසුන් ගත වීමට දැඩි තීරණයක් ගෙන සිටියේය.

සිරස මාධ්‍ය ජාලය විසින් කරන ලද අකටයුත්තක් ගැනද මර්වින් බෙහෙවින් කම්පා වී සිටියේය. යම් කිසි ‘රඟපෑමක්’ කරන්ට සිරස හා මර්වින් සිල්වා අතර එකඟතාවයක් විය. ඊට අනුව මර්වින් විසින් තමන් නිරුවත් කොට ගසෙක බඳිනවාට සිරස මාධ්‍යවේදියා සිය කැමැත්ත පළ කොට තිබුණේය. අනුන් විශ්වාස කරන්ට මර්වින්ට තිබුණු පුරුද්ද නිසා ඒ පිණිස දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්ට අවශ්‍ය යැයි ඔහු කල්පනා නොකළේය. මර්වින් විසින් මාධ්‍යවේදියා නිරුවත් කොට ගස් බැන්ද පසු සිරස විසින් සිය මූලික එකඟතාව නිර්ලජ්ජිතව කඩ කරන ලදී. ඔවුන් Sirasa News1st ඔස්සේ කීවේ වෙනම කතාවකි. එනම් මර්වින් විසින් බලයෙන් මේ ක්‍රියාව සිදු කරන්ට ඇති බවයි. මෙසේ අස්ථාන චෝදනා වලට ලක් වෙන්ට වීමද මර්වින්ට ගිහි ජීවිතය ගැන කළකිරෙන්ට හේතු වූයේය මට සිතේ.

ගිහි සැප හැරපියා ස්ථිර වශයෙන්ම සසුන් ගත වන්ට මර්වින් තීරණය කළේ පසුගිය පොසොන් මාසයේ අනුරාධපුර චාරිකාවකදී සිදු වු යම් විශේෂ ආධ්‍යාත්මික සිද්ධියක් නිසාය. මා ඇසූ පරිදි ඒ මෙසේය. (මේ සිද්ධිය පාදක කර ගනිමින් වික්ටර් අයිවන් ‘මාසයකට වතාවක් වත් අෂ්ඨාංග සීලය සමාදන් වීමේ වැදගත්කම‘ ගැන ලිපියක් ලියා තිබූ නිසා මට එය විශේෂයෙන්ම මතකය.)

සැදහවැත් බෞද්ධයකු වූ මර්වින් සිල්වා තම කණ්ඩායම සමඟ ජය සිරිමා බෝධි මූලයෙහි අෂ්ඨාංග සීලය සමාදන් වූයේය. රාත්‍රියෙහි පශ්චිම යාමය වනතෙක් ධර්ම සාකච්ඡාවෙහි නියැළි පිරිස අතුරින් බොහෝ දෙනෙක් නින්දට වන්හ. මර්වින්ට නින්ද නොආයේය. ඔහු ඈතින් පෙනෙන රුවන්වැලි සෑයේ කොත් වහන්සේ දෙස බලාගෙන සසරෙහි අනියතභාවය ගැන අනුලෝම ප්‍රතිලෝමව මෙනෙහි කරමින් හුන්නේය.

සුදෝ සුදු වතින් සැරසුණු ඍෂිවරයකු, බෝ මළුව ඒකාලෝක කොට ඔහු ඉදිරියේ පහළ වූයේ ඒ අවස්ථාවේදීය. මර්වින් විස්මය පත්වුවද බිය නොවීය. ඔවුන් අතර ඇති වූ ආධ්‍යාත්මික සංවාදය මෙසේය.

මර්වින් සිල්වා: ස්වාමීනි ඔබ කවුරුන්ද?

(මේ අවස්ථාවේ ඍෂිවරයා හා තමන් මිසෙක පිරිසෙහි අන් කිසිවකු දකින්ට නැති බවද, දැවැන්තව පෙණුනු රුවන්වැලියෙහි කොත් වහන්සේ පවා අතුරුදන් වී ඇති බවද මර්වින්ට අවබෝධ විය. හාත්පස බැලූ බැලූ අත පැවතියේ නිරපේක්ෂ නිශ්චලතාවයයි. එහෙත් ඩෙංගි මදුරුවාට වත් මෙල්ල කළ නොහැකි වූ මහා පුරුෂයකු වූ මර්වින් බිය නොවීය.)

ඍෂි: දරුව, වඩා වැදගත් තමන් සෙවීම නොවේද?

මර්වින් සිල්වා: ස්වාමීනි, මම ඔබ නොදනිමි. එහෙත් ඔබ මට ගැටළුවකි. ඔබ මා වෙහෙස කරවමින් මා ඉදිරියෙහි වෙයි. ඔබ මා වෙහෙස කරන්නේ මන්ද?

ඍෂි: දරුව ඔබට මේ දැනෙන වෙහෙස හෙවත් ස්කන්ධය ඔබේ වර්තමාන ස්වරූපය හා අත්‍යන්තයෙන් බැඳුනකි. ඒ බර, ගැල පිටුපස ඇදෙන සක් රිය සේ ඔබ පසුපසින් එයි. ඔබ වර්තමාන ස්වරූපයෙන් මිදෙන්නේ යම් මොහොතකද ඔබ එකී වෙහෙසින්ද ස්කන්ධයෙන්ද මිදෙන්නෙහිය. ශූන්‍යතාවයට පත් වන්නෙහිය.

මර්වින් සිල්වා: මට නොවැටහෙයි ස්වාමීනි.

ඍෂි: ශූන්‍යතාවයෙහි ඇදෙන හිග්ස් බෝසෝනය ස්කන්ධ රැස් නොකරන්නේය; ස්කන්ධ රැස් නොකරනා තුරු ජීවය රැස් නොකරන්නේය; ජීවය රැස් නොකරනා තුරු පැවැත්මක් නොවන්නේය. පැවැත්මක් නොවනා තුරු සංසාරයක් නොවන්නේය. මේ බව පසක් කරන්නේ යම් ප්‍ර ඥාවන්තයෙක් වේද ඔහු නිරපේක්ෂ ශුන්‍යතාවයෙහි ඇදෙන හිග්ස් බෝසෝනය සේම මිදුණේ වෙයි.

මෙසේ කියූ ඍෂිවරයා කෙමෙන් වාතලයෙහි මැකී ගියේය. මර්වින් සිල්වා නැවත මහා සෑයෙහි කොත දුටුවේය. මේ නින්දෙහි දුටු සිහිනයක් නොව සැබෑව තුළ තුටු මායවක් නැතහොත් මායාව තුළ දුටු සැබෑවක් බව ඔහුට අවබෝධ විය.

මර්වින් සිල්වා අනුරාධපුර චාරිකාව නිමා කොට කොළඹ ආයේ වෙනස් එහෙත් අපූර්ණ පරිවර්තිත, මිනිසකු සේය. ඔහුගේ ආධ්‍යාත්මික පරිවර්තනය සම්පූර්ණ වී නොතිබිණි. දින කිහිපයක ඇවෑමෙන් ස්විට්සර්ලන්තයේ CERN ආයතනයේ විද්වත්හු හිග්ස් බෝසෝනය දුටහ. හරියටම මේ අවස්ථාවේදීම එය වීම මර්වින්ට පෙණුනේ අසාමාන්‍ය සිද්ධියක් හැටියටය. මර්වින් සිල්වා හිග්ස් බෝසෝනය තුළින් අඳුර විනිවිද එළිය දුටුවේය.

තවදුරටත් නිරපේක්ෂ ශුන්‍යතාවයෙහි ඇදෙන හිග්ස් බෝසෝනය සේ, ස්කන්ධ රැස් නොකරන්ට මර්වින් සිල්වා තීරණය කළේය.

එහෙත් ගිහි ජීවිතය අතාරින්ට ඔහුට මඳක් පමා වන්ට සිදුවූයේ ගිහියකුව හිඳිමින්ම අනිවාර්යයෙන්ම කළ යුතු වැදගත් කටයුතු කිහිපයක් තිබුණු නිසාය. ඉන්පසු මාස කිහිපය තුළ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් වික්ටර් සාලිය බණ්ඩාරද මැරුණේය. ජුලම්පිටියේ අමරේ හා ඇඹිලිපිටියේ පියදාස ආ ගිය අතක් නැති විය. මර්වින් සිල්වා සසරින් සමුගන්ට මුල් පියවර තබන්ට කල්පනා කළේය. රතු හාමුදුරුවන්ද යම් පමණෙකට ඒ තීරණය පසුපස හුන් බව මම දනිමි.

මර්වින් සිල්වා බඳු වැදගත් මහත්මා දේශපාලකයකු රටට අහිමි වීම ගැන යම් කණගාටුවක්ද ඇති මුත් අද මට සතුටු දවසකි. ඒ තමන් තෝරාගත් ආධ්‍යාත්මික මාර්ගයෙහි ගමන් කොට ඔහුට ඊට වඩා සාර්ථකත්වයක් ලබා ගත හැකි බව මා හොඳින්ම දන්නා නිසාය.

මම වජිරාරාමයේදී තංගල්ලේ ධීරානන්ද හිමියන්ට ශීර්ෂ ප්‍රණාමය කොට වැන්දෙමි. උන්වහන්සේ  මට “සුවපත් වේවා!” යි ආශිර්වාද කළහ. මගේ නෙතින් ගිළිහුණු කඳුළක් සාටකයෙන් පිසදාගන්ට ප්‍රථමයෙන් දෙපා මැදින් වැටී වජිරාරාමයේද වැලි කැට අතරට එක් විය.

මා වජිරාරාමයෙන් එළියට බැස්සේ උසස් අධ්‍යාපනයා සමඟය. ඔහු මට මොකද්දෝ ඕපාදූපයක් කියන්ට තටමන බව පෙනුණේය.

“දන්නවද, ළඟඳිම අපට කේක් කන්ට ලැබෙන පාටයි…”

“ඇයි උඹට අන්තරෙන් පාටියක් වත් දෙනවද..?” මගේ බ්‍රේක් නැති කටය, මටත් කලින් කතා කළේ.

“නෑ. නෑ. පබා දිනේෂ්ව බඳින්න යනවලු…”

“දිනේෂ්…? මේ අපේ දිනේෂයා..?”

“ඔව් බං ඌ තමයි…”

දිනේෂයාගේ බිරිඳ මියගියේ වසර තිස් පහකට පෙරය. පබා දැන් සිය සැමියාගෙන් දික්කසාද වී සිටී. දිනේෂයා දැන් නිකම් මිනිස්ටර් කෙනෙක් නොව සීනියර්ම සීනියර් මිනිස්ටර් කෙනෙකි. මේ මැඩම් පට්ට නාකින්ට නාකින්ය නොකියා නාකි කියන හැටිය. ඒකට කමක් නැත. මේ මඟුල් සක්වලෙහි වෙන්ට බැරි දෙයක් නැත්තේය. තිස් ගණන් වල හුන් ජැකී කෙනඩි හැට පැනපු ඕනාසිස් බැන්දා නම් ඕවා මොනවද? අනෙක හිරුණිකා දුමින්ද බඳී කියලත් අපි හිතාන හිටියයැ? පබා දිනේෂ්ට යහපත් භාර්යාවක් වනු ඇතිය මම සිතමි. වෙන දේවල් බැරි වුණත් ඇයට දිනේෂ්ගේ රෝද පුටුව වත් තල්ලු කරන්ට, උදේ හවා හැන්දකින් කිරි ටිකක් පොවන්ට පුළුවන් වුණා නම් ඒකම මදෑ.

.

.

(ඉවසන්න………….සමනළයා යළි පියා සලන තෙක්)